Saturday, November 29, 2014

අත්තම්මා (කෙටි කතාව)

"පොඩි නැන්දෙ පොඩි නැන්දෙ...අදත් අපි දෙන්නා කැරම් ගහමුද" සති අන්ත පුවත්පතක් ගෙන විවෘත ආලින්දයේ වු වේවැල් පුටුවක අසුන් ගන්නවාත් සමගම මා අසලට දුව ආ මල්ලිගේ ලොකු පුත් ගඟන මගෙන් ඇසීය.
"නැන්දා පත්තරේ බලන්න පටන් ගත්තා විතරනෙ පුතේ...ඔයා ගිහින් මල්ලිත් එක්ක ටිකක් සෙල්ලම් කරන්නකො...නැන්දා චුට්ටකින් එන්නම්"
"මල්ලි අම්මත් එක්ක හෝම් වර්ක් කරනවා"
"එතකොට ඔයා දැන් ඔය හෝම් වර්ක් ඉවර කරලද සෙල්ලම් කරන්නෙ"
"මල්ලි දන්නෙ නැතුවට නිවාඩුව ඉවර වෙන්න තව දවස් තියෙනවනෙ. මං දැන් සෙල්ලම් කරලා හෙට හෝම් වර්ක් කරන්නම්"
"බෑ… බෑ.. ඔයා හෝම් වර්ක් ඉවර කරොත් විතරයි මං සෙල්ලම් කරන්න එන්නෙ...නැත්නම් අප්පච්චිගෙන් මටත් එක්ක බැනුම් අහන්න වෙයි"

"අප්පච්චි අපිට බැන්නට පොඩි නැන්දට බනින්නෙ නෑ... නැන්දා ඔය බොරු කියන්නෙ"
"බොරු හරි ඇත්ත හරි මං අද සෙල්ලම් කරන්න එන්නෙ දෙන්නම හෝම් වර්ක් කරලා ඉවර උනාම විතරයි" නරක් කරගත් මුහුණින් අනුකම්පාවක්
ලැබෙන තුරු මෙන් මොහොතක් මා දෙස බලා සිටි ඔහු ගෙතුලට යනවාත් සමගම සිනාසෙමින් එලියට ආ මල්ලිගේ බිරිද "මං අහගෙන අක්කා කියන ඒවා...අක්කා කිව්ව නිසා ඔය ගියාට මං කිව්වට නම් කීයටවත් අද ඔය හෝම් වර්ක් ටික ඉවර කරන්නෑ" කියමින් මා අසලින් අසුන්ගත්තාය..

"තාම පොඩි එවුන්නෙ නංගි. ඉස්සර මල්ලිත් ඔහොමමයි...කොයි වෙලාවෙත් සෙල්ලමටට තමයි"

"නිවාඩුවට ආවා කිව්වට අක්කට මෙහෙ ආවම කිසිම විවේකයක් නෑ. මේ දෙන්නට මං ඊයෙත් කිව්වා වැඩිය කරදර කරොත් නැන්දා ලොකු නැන්දලාගෙ ගෙදර යයි කියලා"
"මේ දරුවො මට කරදරයක් නෙවෙයි නංගි...මං එහෙ කොහෙ හරි ඇවිද ඇවිද ඉන්නෙ නැතුව නිවාඩුවක් ලැබුන ගමන් මෙහෙ දුවගෙන එන්නෙත් ඔය කොල්ලො දෙන්නා නිසා"
"ඒ දෙන්නටත් එහෙම තමයි. ගිය වතාවෙ අක්කා ඇවිත් ගියාට පස්සෙ චුටි පුතාට උණත් හැදුනා සාංකාවට" කියන්නට දහසක් දේ තිබුනත් මොහොතකට මගේ මුව ගොළු විය.
"මං අර දෙන්නා මොනාද කරන්නෙ බලලා අක්කට තේ ටිකකුත් අරගෙනම එන්නම්කො" ඇය ගෙතුලට ගියේ මගේ හිත ආපස්සට අදිමිනි.


සෑම වසරකම මෙන් මේ වසරේත් ගිම්හාන නිවාඩුවේ සති තුනක් ගත කිරීමට වැලිමඩ නුගතලාවෙ පිහිටි අපේ මහ ගෙදරට මා පැමිණියේ දින තුනකට පෙරය. හැමදාමත් මෙන් මෙවරත් ගුවන් තොටුපලේ සිට මා රැගෙන යාමට පැමිණි අක්කාගේ ගම්පහ පිහිටි නිවසේ දින දෙකක් ගෙවු මා ගමට පැමිණියේ මල්ලී සමගිනි. නෙදර්ලන්තයේ ගෙවන ඒකාකාරි වසරක අවසානයේ මගේ සිත සතුටින් පුරවන්නේ මල්ලීගේ කොලු පැටව් දෙදෙනාය. අගනුවර උසස් යැයි සම්මත බාලිකාවක ඉගෙනුම ලබන කොළඹ තාලයට හැදුන අක්කාගේ නිවුන් දරු දෙදෙනාට වඩා වැඩි ඉඩක් මල්ලිගේ කුඩා දඟකාරයන් දෙදෙනා මගේ හිතෙන්
වෙන්කරගෙන ඇත්තේ මටත් නොදැනීමය. .

"ලොකු පුංචි ඇයි අපේ ගෙදර ඉන්න අකමැති" අක්කලාගේ නිවසේ සිට ගමට එන්නට සුදානම් වන විට මා අසලම දැවෙටෙමින් සිටි චුටි දෝණි ඇසුවේ පිළිතුරු දීමට අපහසු පැණයකි.
"මෙහෙ ඉන්න අකමැත්තක් නෑ පුතේ...ඒත් පුංචිට ලංකාවට ආවා කියලා දැනෙන්නෙ ගමට ගිහින් පීල්ලෙන් නාලා හොදට හුලං ටිකක් වදින්න වත්ත පිටියෙ ඇවිදලා ඉන්නකොට විතරයි".
" ඔය බොරු .. අපි දන්නවා ලොකු පුංචි වැඩියෙන් ආදරේ මල්ලිලාට කියලා" මා හැර වෙනත් පුංචම්මා කෙනෙකු නොසිටියත් අක්කගේ දරුවන්ට මා ලොකු පුංචී වුයේ පුරුද්දට මෙන් අක්කා තවමත් ලොකු නංගී නමින් මා අමතන නිසාය.
"එහෙම දෙයක් නෑ පුතේ...හැබැයි ඔයාලගෙ අම්මා නම් ඉස්සර අපිට වඩා මාමට තමයි ආදරේ"
"අම්මගෙන් කිරි උගුරක්වත් බොන්න බැරි වෙච්ච ඒ අසරණයා ගැන මමවත් නොබැලුවනම් අද ඌ ඔතනවත් නෑ"
අක්කා තරමක් තදින් එසේ කියමින්ම උන් තැනින් නැගිට ගියේ දරුවන් ඉදිරියේ හඩන්නට තිබු අක්මැත්තට විය යුතුය. මල්ලිගේ උපතත් සමග අම්මා මෙලොව හැර යනවිට මා සිටියේ තුනේ පංතියේය. එදා සිට අවුරුදු පහ හමාරක් වු චුටි නංගීත් මල්ලීත් මමත් බලාගැනීමේ වගකීම නිරායාසයෙන්ම එවකට එකොලොස් හැවිරිදි දැරියක් වු අක්කාගේ කරපිට පැටවුනි. මල්ලී කුඩා කාලයේ විටින් විට අත්තම්මලා දෙදෙනාගෙන් අයෙකු අපේ නිවසේ රැදී සිටියත් ඔවුන් සතු වු අනේක විද රාජකාරි හමුවේ කාලයත් සමග අපි සිව්දෙනා අප්පච්චි සමග නිවසේ තනිවීමු. මල්ලි ලොකු මහත් කරගැනීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කල අක්කා අදටත් මල්ලී කෙරෙහි දක්වන්නේ මවකට සමාන සෙනෙහසකි. උසස් පෙළ විභාගය අසමත් වු පසු ගමේ කොලු රෑනට එකතු වි රස්තියාදුකාරයෙකු ලෙස හංවඩු ගැසෙන්නට තිබු මල්ලීගේ ඉරණම අක්කාගේ කදුළු වල බලයෙන් වෙනස් වුයේද ඔවුන් දෙදෙනා අතර වු සහෝදරත්වය ඉක්මවා ගිය පුදුමාකර බැදීමට පින් සිදුවන්නටය..



"දෙන්නා සද්දයක්වත් නැතුව වැඩ" දුම් දමන තේ කෝප්පයක්ද රැගෙන යලි ආලින්දයට ආ මල්ලීගේ බිරිද මා අසලින් අසුන් ගත්තේ පුන්චි දඟකාරයන් දෙදෙනා ගැන කියමිනි.
"ආ...මට අක්කට කියන්න බැරි උනා..මෙහෙට අළුතින් ආව A.G.A. මැඩම් අක්කා ගැන අහලා තිබුනා පල්ලෙහා ගෙදර මල්ලිගෙන්".
"මං ගැන...කවුද?. කොහොමද පල්ලෙහා ගෙදර මල්ලිව මුන ගැහිලා තියෙන්නෙ?"

"ඒ මල්ලිනෙ දැන් මෙහෙ ග්‍රාම සේවක. A.G.A. ඔෆිස් ගිය වෙලාවක තමයි අහලා තියෙන්නෙ ඩොක්ටර් ජානකී කියලා කෙනෙක් දන්නවද කියලා...ඩොක්ටර් කිව්වම ඒ මල්ලි ඉස්සෙල්ලා හිතලා තියෙන්නෙ ලේඩි ඩොක්ටර් කෙනෙක් ගැන අහනවා කියලා... මොකක්ද නමකුත් කිව්වා මට දැන් මතක නෑ. කවුරුහරි අක්කාගෙ යාළුවෙක් වෙන්නැති"

"යාලුවෙක්ද ගෝලයෙක්ද කවුද දන්නෑ. යාලුවෙක් උනත් ගෝලයෙක් උනත් දැන් නම් නමින් අදුරන්න බෑ. ගෝලයින්ගෙ නම් මතක නෑ. යාළුවන්ගෙත් වැඩි දෙනෙක්ගෙ නම් දැනන් හිටියෙ නෑ.කාඩ් එකමනෙ කිව්වෙ"
“හවසට මං මල්ලිගෙන් ආපහු නම අහන්නම්කො.”
"ඔයා ඔය පල්ලෙහා ගෙදර කියන්නෙ රත්නායක මාමලාගෙ ගෙදර නේද"
"ඔව්.. ඇයි දැන් මතක නෑ වගේද"
"ලෝකෙ වටේ ගිහින් ආවත් මට මේ ගමේ හැම තැනක්ම මතකයි. ඒත් මං කල්පනා කරේ රත්නායක මාමට එච්චර ලොකු පුතෙක් ඉන්නවද කියලා"
"අක්කා ඉතින් වයසට ගියෙ නැතුවට අනික් මිනිස්සු යනවනෙ. එහෙ පොඩි මල්ලිත් ලබන පාර උසස්පෙළ කරනවා"
"මොකද මං වයසට යන්නෙ නැත්තෙ. කසාද බැන්දෙ නෑ කියලා නෑ. මිනිස්සු වයසට යනවා"
"කණ්නාඩියක් ළගට ගිහින් බලන්නකො වයසට ගිහින්ද කියලා. නලින් ඊයෙ හවසත් කිව්වා පොඩි අක්කා දැන් හිටියටත් වඩා තරුණ පාටයි කියලා" මල්ලී ඔය කතාවම අක්කා සමගද කියනවා ඇසී තිබුනෙන් මට සිනහා නැගුනි.
"හිනාවෙන්නෙ මං බොරු කියනවා කියලද?. ඇත්තමයි පොඩි අක්කට හතලිස් ගානක් කියලා හිතන්නවත් බෑ. දැන් උනත් ඕනිකමක් තියෙනවනම් කසාදයක් කරගන්න පුළුවන්"
"පුළුවන්නම් ඔය විකාර අර කොල්ලා එක්ක කියලා ආයෙ අවුස්සනවා. ඔය හදන්නෙ මං නිවාඩුවටවත් ලංකාවට එන එක නතර කරගන්න"


"අක්කා මෙහෙ එනවා කිව්වම අර පොඩි උන් දෙන්නටත් වඩා සතුටක් මට දැනෙනවා. එත් ඔයා පිළිවෙලක් වෙනවනම් මෙහෙ නාවත් දුකක් නෑ පොඩි අක්කෙ. අක්කගෙ අනාගතයක් ගැන අක්කට බය නැතුව ඇති...ඒත් අපේ හිතට ඒක ලොකු වදයක්. මං දන්නවා කවදාහරි මේ දරුවො අපි ගැන බැලුවෙ නැතත් අක්කා ගැන බලනවා කියන්න.ඒත් පොඩි අක්කෙ"
ඉන් එහා කිසිවක් කතාකරගත නොහැකි තරමට කටහඩ බිදුන පසු ඇය උන් තැනින් නැගිට්ටේ පිටි අත්ලින් කදුලු පිසිමිනි. මගේ තනිකඩ දිවිය මට හැර අන් සියල්ලන්ටම බරක් බව දැන සිටියද ඔවුන්ගේ හිත් ගිනි නිවන්නට දැන්නම් කොහෙත්ම හැකියාවක් නැත. විශ්ව විදයාල කථිකාචාර්යවරියක ලෙස මා ලැබු මුල්ම රැකියාව පවා වසර හය හතකට උඩදී අත් හරින්නට මා තීරණය කලේ ඔවුන්ගේ මේ අදෝනා අසා සිටිය නොහැකි තත්වයකට පත්වු පසුය.



විසිපස්වන වියට එලඹෙමින් සිටියදී දරුණු උණ රෝගයකට ගොදුරු වු චුටි නංගිගේ අකල් වියෝවත් ඉන් වසරක් ඉක්ම යාමට පෙර සිදුවු අප්පච්චිගේ නික්මයාමත් සමගින් අහිමි වු කුළුදුල් ප්‍රේමය ගැන මුලින් කෙතරම් දුකක් දැනුනත් පස් වසරක පශ්චාත් උපාධිය නිමකර මා යලි මව්බිමට ආවේ ශක්තිමත් සිතකිනි. නොලැබුන කිසිවකට හඩා පලක් නැති බව කාලය හා අත්දැකීම් ඒ වන විට මට හොදින් උගන්වා තිබුනි.




"මිස්ද අද අපිට ලෙක්චර් එක කරන්නෙ" ඒ මා පශ්චාත් උපාධිය නිමකර පැමිණි පසු ලැබුන මුල්ම දේශණ මාලාව පටන් ගත් දිනයේ දේශණ ශාලාව අසල රැදී උන් ශිෂයාවක මට යොමුකල පැනයයි. උරහිසින් තරමක් පහලට වන්නට වු කඩාහැලෙන සෘජු කොණ්ඩය ලිහිල්ව ගැටගසාගෙන සැහැල්ලු ගවුමක් ඇද උන් කෙලිලොල් යුවතිය තුලින් එවෙලෙහි මා දුටුවේ සරසවියේ අවසන් වසර ශිෂයාවකව සිටියදී මියගිය චුටි නංගීය.
"ඔව්... මං ඇටෙන්ඩන්ස් ෂීට් එක අරගෙන අර පැත්තෙන් එනකල් ඔයාලා ලෙක්චර් හෝල් එක ඇතුලට යන්න" චුටි නංගී වෙනුවෙන් අළුතින් උපන් කඳුළු ඇගෙන් සගවාගෙන පිළිතුරු දුන් මම පැමිණීමේ ලේකනයද රැගෙන දේශණ ශාලාවට ඇතුල් වුයේ අවුල් වු සිතිනි.


සේවය නිමවි තනිකඩ නිළ නිවාස සංකීර්ණයට ඇවිද යන අතරේදී යලිත් වරක් මට නංගීව සිහිවිය. ඇය සරසවියේ තෙවන වසරට සමත් වුයේත් ආධුනික කතිකාචාර්යවරියක ලෙස මා සේවයට බැදුනේත් එකම කාලයේදීය.
"මටත් කවදා හරි ඔයා වගේ ස්ටාෆ් යන්න පුළුවන් උනොත් හොදයි"
"උනොත් හොදයි නෙවෙයි...ඔයත් පොඩි අක්කා වගේම හොදට වැඩ කරලා ක්ලාස් එකක් ගන්න ඕනි" කොහේදෝ සිට අපේ කතාව ඇසී කාමරයට ආ අප්පච්චි නංගීගේ හිස පිරිමැද්දේ ආදරයෙනි.

"කැම්පස් එකේ ක්ලාස් නෑනෙ අප්පච්චි...තියෙන්නෙ ලෙක්චර් හෝල්..අප්පච්චි කියනවනම් මං ඒකක් දෙන්න පුළුවන්ද කියලා අපේ වි සී ගෙන් අහලා බලන්නම්"
"මේකිගෙ කට තමයි කට" අප්පච්චී එතනින් නික්ම ගියේ ඇගේ හිස් මුදුනට අත තබා කොණ්ඩය අවුල් කරමිනි.අම්මා නැති ගෙදර අපි සිව්දෙනාටම අම්මාගේ සෙනෙහසත් ලබාදෙමින් විටක මිතුරෙකු තරමට සමිපව උන් අප්පච්චි මෙලොව හැරයාම ඉක්මන් කරවන්නට ඇත්තේද චුටි නංගිගේ වියෝවයි.



අප්පච්චි සහ නංගී ගැන රිදුම්දෙන හදවතින් පසුදා උදෑසන සේවයට පැමිණි මට පුදුමයකට මෙන් මුලින්ම මුණ ගැසුනේ පෙරදා මුණ ගැසුන ශිෂයාවයි.

"ගුඩ් මෝනිං මිස්" මා දුටුවනම ඇගේ මුව සොදුරු සිනහවකින් විකසිත විය.
"ගුඩ් මෝනිං. මොකක්ද ඔයාගෙ නම"
"මම දිමිත්‍රි"ඇගේ හුරුබුහුටි පෙනුමටම සරිලන අපුරු නමක්ද ඇය සතු විය.
"දිමිත්‍රිගෙ ගෙවල් කොහෙද"
"අපි කෑගල්ලෙ මිස්. ඒත් දැන් ඉන්නෙ රත්මලානෙ තාත්තගෙ ක්වාටර්ස් එකේ" ඒ මොහොතේ ඇගෙන් සමුගෙන පැමිණියත් චුටි නංගී ගැන අලුත් වු මතකයන්ට සමුදීම නම් දුෂ්කර විය.




නන්නාදුනන රටක තනිව වසර පහක් ගෙවා දමමින් මා ලැබු චිත්ත දහිරිය මටත් නොදැනීම මා වෙතින් ගිලිහෙන්නට පටන් ගත්තේ දේශණ ශාලාවකට යාබද කාමරයක සිටි මට දිනකට දෙතුන් වාරයක් දිමිත්‍රි මුණ ගැසෙන්නට පටන් ගත් පසුය. අම්මාගේ වියෝවෙන් ටික කලක් යන තුරුම අම්මා ඉල්ලා හඩමින් ගේ දෙවනත් කල චුටි නංගීම කාලයත් සමග මුළු නිවසම සිනහවෙන් පුරවන්නට සමත්විය. සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවන්නට පුරුදුව උන් ඇයට කිසිදිනෙක පෙම්වතෙකුද නොවිය. මට මුණ ගැසෙන සෑම මොහොතකම සැහැල්ලු සිනහවකින් මුව සරසාගෙන සිටින දිමිත්‍රිගේ බොහෝ ඉරියව් තුලින් මා දුටුවේද චුටි නංගිවය.


දිනක් අහම්බෙන් මෙන් දිමිත්‍රි ඇගේ පෙම්වතා සමගම මට මුණ ගැසුනේ බස් නැවතුම්පල අසලදීය. මා දැක වෙනදා මෙන්ම සිනහසුන ඇය කිසිදු පැකිලීමකින් තොරවම සිය පෙම්වතාගේ අතින් ඇදගෙන මා අසලට පැමිණියේ මා පුදුමයට පත් කරලමිනි.පෙම්වතාගේ අතේ එල්ලී යන බොහෝ ශිෂයාවන් ආචාර්යවරයෙකු දුටු විට ලැජ්ජාවෙන් ඇඹරෙමින් පසෙකට වනු දැක තිබෙන මට ඇගේ හැසිරීම අමුත්තක් විය.
"මොකද මෙතන… ගෙදර යන්නද" එදා සිකුරාදා දිනයක් වුවත් මා එසේ ඇසුවේ අහන්නට වෙනත් යමක් මතක් නොවු නිසාය" .
"ඔව් මිස්..හැමදාම වීක් එන්ඩ් එකට අම්මා බලාගෙන ඉන්නෙ මං එනකල්" හැමවිටම සිනහමුසු මුහුණින් සිටින ඇගේ වත ඒ මොහොතේ යන්තමින් අදුරු වුවද මා ඒ බවක් නුදුටු ලෙස ඉන්නට උත්සහ කලෙමි.


"ඔයා විතරද ගෙදර ඉන්නෙ"
"අපෙ අම්මට දුවෙකුට ඉන්නෙ මම විතරයි මිස්.හැබැයි මට ඉන්නව සැරම සැර අයියා කෙනෙකුයි මෙන්න මේ වගේම පිස්සුම පිස්සු මල්ලි කෙනෙකුයි"


"මෙන්න මේ වගේම කියලා මෙයා දිහා බැලුවම මම හිතුවෙ මේ වගේම හැන්ඩ්සම් මල්ලි කෙනෙක් ඉන්නවා කියලා" ඇගේ පෙම්වතා ටී ෂර්ට් කොලරය උස්සාගත්තේ ඇයට සරදම් සිනහක් පාමිනි.
"මිස් ඉක්මනට කණ්නාඩි දෙක මාරු කරගන්න. මෙයා වගේ කෙනෙකුට හැන්ඩ්සම් කිව්වොත් අන්න අර වගේ අයට කියන්න දෙයක් නැති වෙනවා"කියමින් ඇය සරසවි බිමේ සැරිසරන ලොම් හැලුන නාටු බල්ලෙකු පෙන්වීය.


"තමුසෙත් එක්ක ගෙදර යන්න එන මටයි ගහන්න ඕනි" පෙම්වතාගේ නෝක්කාඩුවට අතින් මුව වසාගෙන සිනාසුන ඇය "අපි යනවා මිස්...රවින්දට තව ටිකක් තරහා ගියොත් මට අද ගෙදර යන්න වෙන්නෙ තනියම. තනියම යන්න නම් මං බය නෑ.. ඒත් අපෙ අයියගෙ යකාට මං බුදු බයයි"කියමින් මගෙන් සමුගත්තාය. සරසවියේ පළමු වසරේ සිසුවියක් නිවසියන්ගේ අනුදැනුම ඇතිව සිය පෙම්වතා සමග රාත්‍රියේ නිවසට යාම මට අරුමයක් වුවත් දිමිත්‍රිට හෝ රවින්දට එහි විශේෂත්වයක් නොවුන බව ඔවුන්ගේ සැහැල්ලු හැසිරීම කියා පෑවේය.




සිතට කෙතරම් වදයක් වුවත් දිනපතාම මෙන් දිමිත්‍රිගේ සුන්දර සිනහව දකින්නට යටි සිත බලා සිටින බව මටම වටහාගත හැකි වුයේ ඔවුන්ගේ දෙවන වසර අවසානයට යෙදුන සති තුනක දීර්ග නිවාඩු කාලය තුලය. සරසවි ශිෂයාවකව සිටියදී නිවසට යාමට නිවාඩුවක් ලැබෙන තුරු මග බලා සිටියාක් මෙන් නිවාඩුව අවසන්ව අළුත් අධයන සමාසිකය ඇරඹෙන තුරු මා සිටියේ තරමක නොඉවසිල්ලකිනි.


"මිස් මිස්" දේශණයක් අවසන්ව කාමරයට පැමිණෙන අතරතුර මට පිටුපසින් ඇසුන දිමිත්‍රිගේ හඩට නතර වු මට ඇගේ පෙනුමේ ඇති වෙනස සැනෙකින් වටහාගත හැකිවිය.

"කොණ්ඩෙට මොකද උනේ දිමිත්‍රි"
"මට තට්ටෙ ගාගන්න හිතුනා මිස්...ඒත් යන්තන් චුට්ටක් කොණ්ඩෙ කපාගන්නකොටම අපේ අයියා කොහෙදෝ ඉදලා එතනට ආවනෙ"
"අර මොකටද තට්ටෙ ගාගන්න ගියෙ...මහණ වෙන්නවත් හිතුනද?"
"මිස්ට මං අම්මා ගැන කියලා නෑනෙ මිස්...අපේ අම්මා ඉන්නෙ අසනීපෙන්..ට්‍රිට්මන්ට්ස් වලට අම්මගෙ කොණ්ඩෙ ඔක්කොම ගිහින්...ඒක දැක්කම මටත් තට්ටෙ ගාගන්න හිතුනා මිස්" නිරන්තරයෙන් සිනාසෙන ඒ දෑස් යට සැඟව ඇති කඳුළු කතාව මා දැනගත්තේ එලෙසය.


"මිස්ට මං අම්මා ගැන කලින් කිව්වෙ නැත්තෙ මට දුක හිතෙන නිසා මිස්. රවින්ද ඇරෙන්න අපේ බැච් එකේවත් කවුරුත් අම්මා අසනීපෙන් ඉන්නවා කියලා දන්නෙ නෑ මිස්" "මට නොකිව්වට කමක් නෑ දරුවො...ඒත් ඔයාට මගෙන් මොකක් හරි උදව්වක් ඕනි උනොත් නොකියා ඉන්න එපා.අම්මා දැන් කොහෙද ඉන්නෙ..ගෙදරද"
"නෑ මිස්...හොස්පිටල්...මහරගම .. ඒකයි මම හැමදාම සිකුරාදට ගෙදර දුවන්නෙත්."


ඇයට වඩා ඒ මොහොතේ මා ශක්තිමත්ව සිටිය යුතු නිසා ඉවසා සිටියද දිමිත්‍රිගේ මවගේ රෝගී තත්වය මා තවත් මානසික කම්පනයකට ලක් කලේය. වයස අවුරුදු අටේ ළදැරියක්ව සිටියදී අහිමි වු මව් සෙනෙහස මට යලි යලිත් සිහිවිය. කුස්සියේ ලිප අසල වු ලී බංකුවක අක්කාත් මමත් වාඩි කරවාගෙන චුටි නංගී උකුල මත තබාගෙන දෑස් අග වු කඳුළු චීත්ත පොටින් පිසිමින් "ලස්සන වසිලිස්සාගේ " කතාව කියාදුන් අම්මාගේ බොඳ වු රූපයක් මගේ මනසේ හැමදාමත් ඇදී පැවතුනද අප්පච්චී හෝ චුටි නංගී ගැන මතකයන් තරමට ඊට පෙර ඈ ගැන මතකය අළුත් වුයේ නැත..


"මොකක් හරි ප්‍රශ්ණයක්ද ලොකු නංගී" සති අන්තයේ අක්කලාගේ ගෙදරට පිවිසි සැනින් ඇය මගේ වෙනස වටහා ගත්තාය. වසර විසි ගනනක්ම මවක මෙන් ළගින් සිටි ඇයට අපේ කුඩා වෙනස්වීමක් වුවත් හදුනාගත හැකි ඉවක් තිබුනි.

"මට වෙන ජොබ් එකක් හොයාගන්න ඕනි අක්කා. කැම්පස් එකේ ඉන්නකොට හරියට චුටිව මතක් වෙනවා"

"මට ඇත්ත කියන්න ලොකු නංගි..ඔයාට මතක් වෙන්නෙ චුටිවද... නැත්නම් පරාක්‍රමද" අක්කා මගේ පුටු ඇන්ද මතින් වාඩි වුයේ බොහෝ ලෙන්ගතුව හිස මත අතක් තබමිනි.

"ඔයාලා පිලිගත්තෙ නැතුවට මට ඔය මාව එපා කියලා දාල ගිය මනුස්සයෙක් ගැන හිතන්න වෙලාවක් නෑ"


"එහෙනම් එකපාරටම චූටිව මතක් වෙන්න පටන් ගත්තෙ ඇයි"
"අවුරුදු දාසයක් දාහතක්ම එක ඇද බෙදාගත්තු චුටිව මට හැමදාමත් මතක් උනා අක්කෙ..ඒත් ඒක වැඩි උනා ෆැකල්ටියේ ඉන්න චුටි වගේම ළමයෙක් නිසා"
"පිළිගන්න අමාරු උනත් අම්මා අප්පච්චි චුටි ඔය හැමෝම අපිව දාලා ගියා ලොකු නංගි...ඒකයි ඇත්ත.අපි ඒ ඇත්තට මුණ දෙනවා මිසක් ඒ මත්තෙ නැහිලා හරියන්නෙ නෑ. මට දුකක් නෑ කියලා මම කියන්නෙ නෑ..ඒත් මට ඒ ගැනම හිත හිතා ඉන්න වෙලාවක් එන්නෑ.. මේ දරුවන්ගෙ වැඩයි ගෙදර වැඩයි එක්ක. ඒකයි මං ඔයාටත් හැමවෙලාවෙම කියන්නෙ ගිය දේවල් ගැන හිත හිතා ඉන්නෙ නැතුව දැන්වත් පිලිවෙලක් වෙන්න බලන්න කියලා. දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඔයාටත් ඉබේටම ගොඩක් දේවල් අමතක කරන්න ලේසි වෙයි ලොකු නංගි"
"මට මේ ඉන්න විදිහ හොදයි..මොකටද තවත් බැදීම් හදාගෙන දුක් විදින්නෙ"
"ඔයා ඔහොම කතා කරන්නෙ තාමත් පරාක්‍රම ගැන හිතේ තියෙන නිසා...නැත්නම් මොකටද කසාදයක් බැදගන්න බැරි...ඔයාට මොනවගෙන් අඩුවක්ද?" අක්කා උන් තැනින් නැගිට ගොස් මා ඉදිරියෙන් අසුන්ගත්තේ කේන්තියෙන් පුපුරමිනි.


"බොරුවට කේන්ති අරන් වැඩක් නෑ අක්කා...මං ඔයාට කලිනුත් කිව්වනෙ… හැමදේම තිබ්බට වැඩක් නෑ හිතක් නැතුව....මාත් එක්ක ආයෙ ඔය ගැන කතා කරන්න එපා...මගේ හිතේ ඒ පැත්ත දැන් අයිස් කුට්ටියක් වගේ" තවත් යමක් කියා අක්කාගේ හිත රිදවිය යුතු නැතැයි සිතුන සැනින් මා උන් තැනින් නැගිට කාමරයට ගියද ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සිතූ අක්කා මා පසුපසින් විය.




"ඔයාගෙ ඔය හිතුවක්කාරකම තමයි මේ සේරටම මුල" පරාක්‍රම කී වතාවක් ඔය වචන ටික ඔයාකාරයෙන්ම කියන්නට ඇත්දැයි මතක නැතිමුත් සමුගෙන යන්නට පෙර අවසානයට කිව්වේද ඔය ටිකම බව නම් තාමත් මතකය. "අම්මා අප්ප්ච්චි හිටියනම් මං මේ ගැන මේ හැටි වද වෙන්නෑ ලොකු නංගි. ගමට ගියත් නෑදෑ ගෙදරක ගියත් කවුරුත් අහන්නෙ ලොකු නංගිට තාම කවුරුත් හෙව්වෙ නැද්ද? අරකද මේකද?..මිනිස්සු හිතනවා ඇත්තෙ අපි ඔයා ගැන බලන්නෑ කියලා"
"මිනිස්සු මොනා හිතුවත් මං එහෙම හිතන්නෙ නෑනෙ අක්කා..ඒක නිසා ඔයා බොරුවට ඕවා ඔළුවෙ තියාගෙන දුක් විදින්නැතුව මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"
"ඔයා කියන තරම් ලේසියෙන් ඒක කරන්න පුළුවන්කමක් තිබුනනම් මං මේ හැටි වද වෙන්නෑ...ඔයා තේරුම් ගත්තෙ නැතුවට ඔයා ඔහොම ඉන්න එක අපේ හිතට වදයක් ලොකු නංගි" අක්කාගේ හිත තුල තෙරපෙන වේදනාව තේරුම්ගත හැකි වුවත් ඇයව අස්වසාලන ක්‍රමයක් මා දැන සිටියේ නැත.
"අපි හිතුවා ඔයා රට ඉදන් එනකොටවත් හැමදේම අමතක වෙලා තියෙයි කියලා"
"ඔයා ඔය කතා කරන්නෙ පරාක්‍රම ගැන නම් මට කියන්න තියෙන්නෙ මම එයාව අමතක කරේ අප්පච්චිගෙ තුන්මාසෙ දානෙ දෙන්නත් කලින් කසාද බදින්න කතා කරපු දවසෙම කියලා"
"ඒ මිනිහා එහෙම කරේ ඔයා අකමැති වෙන බව දැන දැනම තියෙන කපටිකමට"
"දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑනෙ අක්කා...ඔයාලට මං මෙහෙම ඉන්න එක හිතට වදයක් නම් මං පිටරටකට යන්නම්"
"පුළුවන්නම් ඒ මෝඩකමත් කරනවා" මා සමග කතා කර පලක් නොමැති බව වටහාගත්තද අක්කා කාමරයෙන් පිටවුයේ කෙන්තියෙනි.




හදිසියේ රෝගාතුර වු චුටි නංගී අප හැර ගියේ පරාක්‍රමගේත් මගේත් විවාහයට මාස දෙකකට පෙරය. යොදාගත් දිනට විවාහය සිදු නොකරන්නට දෙපාර්ශ්වයම මුලින් එකග වුවත් පරාක්‍රමගේ අම්මා සිටීයේ ඒ ගැන සිත් කලකිරිමෙනි. නීතීඥ බෑණෙකු ගැන කප්පරක් සිහින දකිමින් සිටි අප්ප්ච්චි දෙනෙත් පියාගත්තේද ඒ සිහිනය සැබෑවන දිනය යලිත් වරක් ඇස් මානයේ තිබියදීය.

"ඔයාට මේ සතියෙ ගෙදර නොයා ඉන්න පුළුවන් නේද?" අප්පච්චි අපව හැරගොස් සති හයකට පමණ පසු එලැබුන බ්‍රහස්පතින්දා සවසක පරාක්‍රම දුරකතනයෙන් විමසා සිටියේ මා සිකුරාදා වේලාසනින්ම නිවසට යන්නට සැලසුම් කරමින් සිටියදීය.
"ඇයි?..මං හෙට උදේ ලෙක්චර් එකක් තියෙනවා ඒක ඉවර කරලා එහෙමම ගෙදර යන්නම් කියලා ලෑස්ති උනේ"
"මට ඔයත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනි..ප්ලීස් මං කියනවට මේ සතියට විතරක් නොයා ඉන්න ජානි...ඔයා පහුගිය ටිකේම ගෙදර ගියානෙ"

"මල්ලි මං එනකල් බලන් ඇති පරාක්‍රම...මං හෙට එනවා කියලා කිව්වනෙ"
"ඔයා එනකල් බලන් ඉන්න මල්ලි පොඩි එකෙක්ද?"
"අවුරුදු විස්සක් කියන්නෙ ලොකු වයසක් නෙවෙයිනෙ පරාක්‍රම...ඊටත් වඩා එයාට දැන් කවුරුත් නෑ කියලා දැනෙන්න දෙන්න නරකයි"
"කවුරුත් නැති වෙන්නෙ කොහොමද?..ඇයි අක්ක ගෙදර ඉන්නෙ...අතුල අයියත් වීක් එන්ඩ් එකට එනවනෙ"
"ඒකම තමයි මං හැම සතියෙම ගෙදර යන්න බලන්නෙත්...අතුල අයියා ආවම අක්කට අර පොඩි එවුන් දෙන්නගෙ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම බලන අතරෙ මල්ලි ගැන හොයන්න වෙලාවක් නෑ.. ඒ නැතත් එයාලත් දැන් වෙනම පවුලක්නෙ..අක්කා උනත් නොකිව්වට මං එනකල් බලන් ඉන්නෙ"


"ඔයාට හැමෝම ගැන හිතන්න වෙලාව තියෙනවා...තමන් ගැන හිතන්න තමයි වෙලාවක් නැත්තෙ". කිනම් මොහොතක හෝ ඔය චෝදනාව නැගෙන බව දැන සිටියත් එය එතරම් ඉක්මන් වනු ඇතැයි සිතා නොතිබුනෙන් මට නිදහසට කාරණා ගොනුකර ගත නොහැකි විය. ඉදහිටක මිස නිතරම කේන්ති නොගන්නා පරාක්‍රමගේ හඩෙහි වු තරවටුව ඇතිවන්නට යන උණුසුම් සංවාදය ගැන මට ඉඟි කලේය.
"මං ගැන හිතන්න ඔයා ඉද්දි මම මොකටද ඒ ගැන කරදර වෙන්නෙ"
"මං ඒ ගැන හිතන හන්දා තමයි ගෙදර නොයා ඉන්න කියන්නෙ..සෙනසුරාදා උදේ දහයට ලෑස්ති වෙලා ඉන්න..මං එනවා ඔයාව ගන්න"
"කොහෙටද එන්නෙ...අපේ ගෙදරටද?..හරි මං ලෑස්ති වෙලා ඉන්නම්"
"හැමදෙයක්ම විහිළුවට ගන්න ලෑස්ති වෙන්න එපා ජානි..මට ලොකු ප්‍රශ්ණයක්..ඒකයි ඔයත් එක්ක කතා කරන්න ඕනි කිව්වෙ"
"ෆෝන් එකෙන් කියන්න බැරි දෙයක්ද?"
"කියන්න බැරි නෑ..ඒත් කිව්වා කියලා ඒක ෆෝන් එකෙන් විසදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි..මට මේ වෙලාවෙ ඔයත් එක්ක රණ්ඩු වෙන්න ඕනි නෑ ජානි..මට ඕනි ටිකක් නිදහසේ කතා කරන්න"
"එහෙනම් මං හෙට ගෙදර ගිහින් අනිද්දා හවස ආපහු එන්නම්..අපි ඉරිදට කතා කරමු".


"බොරුවට ගියා කියන්න ගෙදර ගිහින් එන්න ඕනි නෑනෙ.. යන්න ලෑස්ති උන එකේ මේ සතියටත් ඔහොම ගිහින් එන්නකො...හැබැයි ලබන සතියෙ එන්නෙ නෑ කියලා මතක ඇතුව කියලා එන්න" ඒ හඩෙහි සුපුරුදු ලතෙත් බව මිස අමනාපයක් නොවුයෙන් මා පසුදා නිවසට ගියේ ඊලග සතියේ නොපැමිණෙන බව දැනුම්දෙන්නටත් සිතාගෙනය.

අප්පච්චි නොමැති නිවසේ පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගත්තේ සෙනසුරාදා උදෑසනම අක්කා දරු දෙදෙනාද රැගෙන අතුල අයියා සමග ඔවුන්ගේ නිවසට ගිය පසුවය. වත්ත පිටුපස වු එළවළු පාත්තියට පොහොර දමමින් සිටි මල්ලිට තේ කෝප්පයක් දුන් මම මිදුලේ බට් අඹ ගස යට වු ලී බංකුවෙන් අසුන්ගත්තේ ගෙතුල සිටීමට තිබු අකමැත්තටය. ළමා වියේදී සෑම සවසකම නංගීත් මමත් මල්ලීත් මේ බංකුව මතට වි අප්පච්චි කුඹුරේ සිට එනතුරු බලා සිටි හැටි මට මතක් විය.


"අක්කා තනියම කුස්සියට වෙලා උයත්දි මේ තුන්දෙනා මෙතන" සිනහවක් සමගින් නැගෙන අප්පච්චිගේ සුපුරුදු නෝක්කාඩුවට අපි කිසිවිටක බිය නොවන බව ඔහුද දැන සිටින්නට ඇත.මගේ සිත අතීතය දිගේ දුවන්නට පටන්ගන්නට පෙර පරාක්‍රමගේ රිය අපේ වත්තට ඇතුළු විය. ඊලග සති අන්තයේ මා බලන්නට සරසවියට එන්නට පොරොන්දු වු ඔහුගේ හදිසි ආගමනය මසිතට කෙතරම් ප්‍රීතියක ගෙන ආවාදැයි ඔහුම තේරුම්ගන්නට ඇත.
"අම්මෝ ඇති යන්තම් කාලෙකට පස්සෙ මේ මුණෙ හිනාවක් දැක්කා" මා අසලින් අසුන් ගත් ඔහුගේ මුහුණේද සැහැල්ලු සිනහවක් මා දුටුවේ බොහෝ දිනකට පසුය.


"කවුරු එනකල්ද මෙතනට වෙලා බලන් ඉන්නෙ"
"කවුරුත් නෑ..ඉස්සර අප්පච්චි කුඹුරෙ ඉදලා එනකල් අපි මෙතනට වෙලා බලන් හිටිය හැටි මතක් උනා...කොයි වෙලාවක හරි අප්පච්චි අර නියර උඩින් මතුවෙයි කියලා මට දැනුත් හිතෙනවා"
"ඔන්න පටන් ගත්තා...ඕකමයි මං මෙහෙ එන්න බෑ කියන්නෙත්"
"අවුරුදු විසි අටක් ලගින් හිටිය අප්පච්චි එහෙම මාසෙන් දෙකෙන් අමතක කරන්න බෑ පරාක්‍රම" මගේ හඩ බිදෙන්නට පෙර පරාක්‍රමගේ සුරත හිස මත නතර වී එහෙ මෙහෙ සක්මන් කරන්නට පටන්ගත්තේය.
"මං ඔයාට අප්පච්චිවත් චුටි නංගිවත් අමතක කරන්න කියන්නෑ ජානි..මං කියන්නෙ ඒ මත්තෙම නැහෙන්නෙ නැතුව ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන බලන්න කියලා.. ඔහොම තනියම ඉන්නකොට තමයි පහුගිය දේවල් මතක් වෙන්නෙත්"

"ගෙට යමු"කතා කරන්නට අකමැතිම මාතෘකාව ඊලගට එලැබෙන බව දැනුන වහා මට මට ඉන් මිදීයන්නට අවැසි වුවත් උන් තැනින් නැගිටින සුදානමක් ඔහු වෙත නොවිය. "මෙතන හොදයි..කෝ කවුද ගෙදර ඉන්නෙ...අතුල අයියා ආවද?"
"අයියා ඊයෙ රෑ ඇවිත් උදේ අක්කයි බබාලයි එක්ක බොරලන්දෙ ගියා"
"මල්ලි?"
"වත්ත පිටිපස්සෙ වැඩක්"
"එහෙනම් අපි මෙහෙන් ඉමු...මට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා" ඔහුට කතා කරන්නට ඇත්තේ මොනවාදැයි හොදාකාරවම දැනසිටි මට එතනින් පැන දුවන්නට අවැසි විය.
"අපි දැන් මොකද කරන්නෙ ජානි..යොදාගත්තු දිනේට එන්ගේජ්මන්ට් එකවත් ගමුද?"
"මට බෑ"
"ඔයා කියන්නෙ මේ පාරත් කල් දාමු කියලද?..මටනම් ප්‍රශ්ණයක් නෑ..ඒත් අපේ අම්මයි අක්කලයි එක්කනෙ මොකුත් කතා කරන්න බැරි...වෙඩිං එකක් එහෙම කල්දාන්න හොද නැතිළු.. අපලළු.. අරකළු ..මේකළු..දන්නවනෙ ඒගොල්ලන්ගෙ කතා.."
"ඒගොල්ලො නෙවෙයිනෙ.. බදින්නෙ අපි දෙන්නනෙ"
"බදින්නෙ අපි දෙන්නා උනාට බදිනකල් මට ඉන්න වෙන්නෙ එයාලත් එක්කනෙ" මගේ කේන්තිය නැති කරන්නට මෙන් ඔහු මහ හඩින් සිනාසුනි.
"මට ආපහු ඒ ගැන හිතන්න තව කාලයක් ඕනි පරාක්‍රම...ඔයා අම්මලට තේරුම් කරලා දෙන්න..අඩුගානෙ තව අවුරුද්දක්වත්"

"ඔයාට පුළුවන්නම් ඔයාම ඔය ටික අපේ අම්මලට කියන්න ජානි...මට දැන් ඔය ගැන කතා කරලා ඇතිවෙලා තියෙන්නෙ. ඔයත් එක්ක කතා කරලා වැඩකුත් නෑ අම්මලත් එක්ක කතා කරලා වැඩකුත් නෑ..මං හරියට ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ"
"මට දැන්ම අළුත් ජීවිතයක් පටන් ගන්න බැරිබව අම්මලාට තේරෙන්නෙ නැත්තෙ ඇයි පරාක්‍රම"
"ඔයා දන්නවනෙ අපෙ අම්මා හරියට ඔය කේන්දර විශ්වාස කරනවා කියලා..අම්මා කියන්නෙ ගියපාරත් වෙන දවසක් දාගන්න ඕනි කියනකොටම නැකැත් බලපු කෙනා කිව්වලු ඒ නැකතට කෙරුනෙ නැත්නම් මේ කසාදෙ කෙරෙන්නෙ නෑ කියලා..පස්සෙ ඔන්න ඒ මනුස්සයා අම්මට ග්‍රහ පූජාද මොනවද වගයක් තියලා තව මොනාද බාර හාර වගේකුත් වෙන්න කියලාළු මේ නැකත හදලා දුන්නා කියන්නෙ.අම්මා කියන්නෙ නැකැත් ප්‍රශ්ණෙ විතරක් නෙවෙයිලු තියෙන්නෙ..මේ අවුරුද්ද පැන්නොත් මට ආයෙ බදින්න වෙන්නෑ කියලා මගේ කේන්දරේ තියෙනවලු"

"ඕවා මිනිස්සු හිතෙන් හදාගත්තු මනස්ගාත"
"වෙන්නැති....ඒත් එහෙම දෙයක් කවුරුහරි කිව්වම අම්මා කෙනෙකුට පුළුවන් වෙයිද ඕවා මනස්ගාත කියලා හිතෙන් අමතක කරලා ඉන්න...ඕක ගැන කියන හැම වෙලාවෙම ඔයාව බේරන්න ඕනි නිසා මං අම්මත් එක්ක රණ්ඩු කරනවා..ඒත් අම්මගෙ හිතේ තියෙන වේදනාව මට දැනෙනවා ජානි...අම්මට මහ ගොඩක් පුතාලා නෑනෙ...ඉන්නෙ මං විතරයි..අප්පච්චි උනත් නොකිව්වට ඉන්නෙ අම්මගෙ තීරණේම කියලා මට තේරෙනවා..ඔක්කොටම හපන් අක්කලා දෙන්නා..ඕක නිසා මට දැන් ගෙදර එන එකත් එපා වෙලා තියෙන්නෙ..මේ සතියෙ එන්නෙ නෑම කියලා හිතලත් මේ ආවෙ ඔයාව බලන්න ඕනි නිසා" කඳුළකට සියල්ල පවසන්නට ඉඩහරිනවා හැර ඉන් එහා යමක් කතා කර ඔහුව රිදවීමට මට අවැසි නොවිය.

"ඔය බලන්නකො...ඕක ගැන කතා කරන්න ගියාම ඔයා මෙහෙන් අඩනවා..අම්මා එහෙන් අඩනවා...අඩන්න බැරිකමට මං මේවා බලන් හිටියට ඇත්තටම මට වෙලාවකට මේ සේරම දමලා ගහලා කොහෙ හරි රටකට යන්න හිතෙනෙවා...මං මේ හැටි ඉවසන්නෙ මේ වෙලාවෙ ඔයාව තනිකරන්න බැරි නිසා"

"මට හිතන්න තව ටික කාලයක් දෙන්න පරාක්‍රම"
"ඔයා හිතලා ඉවරවෙනකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවර වෙලත් තියෙයි. ගිය වතාවෙත් එන්ගේජ්මන්ට් එකවත් ගමු කියලා අපේ අම්මා කියනකොට අක්කයි අප්පච්චියි කැමති උනාත් ඔයා කැමති උනේ නෑ..දැන් බලන්න ඒකෙන් අන්තිමට මොකද උනේ කියලා...ඔයාට මගේ ළගට ආවා කියලා හිත හදාගන්න බැරි වෙන්නෙ නෑනෙ...හැමවෙලාවෙම හිතුවක්කාර වෙන්නැතුව පොඩ්ඩක් මගේ පැත්තෙනුත් හිතන්න ජානි...අපි අවුරුදු ගානක් ආදරේ කරේ කසාද බදින දවස තීරණේ කරගන්න බැරුව රණ්ඩු කරගන්න නෙවෙයිනෙ. ඔයා තව කල්පයක් මෙතනට වෙලා හූල්ලා හූල්ලා හිටියත් අප්පච්චිවත් නංගිවත් ආයෙ එන්නෙ නෑ..ඕකෙන් අන්තිමට වෙන්නෙ අපිට අපි නැතිවෙන එක විතරයි කියලා මතක තියාගන්න"

"අක්කා ලොකු කල්පනාවක" මල්ලිගේ බිරිද නිලු මා ළගට නොපැමිණෙන්නට මිහිදන්කල ප්‍රේමයේ නටඹුන් අතර මා තව තවත් සිරවන්නට ඉඩ තිබුනි.
"කෝ චණ්ඩියෝ දෙන්නා...තාම වැඩද?"
"ඔව් මං තව වැඩ ටිකක් දීලා ආවා මට අක්කත් එක්ක ටිකක් කතා කරන්න ඕනි නිසා" කියමින් ඇය පුටුවක් මා අසලටම ගෙන මගේ මුහුණ හොදින් පෙනෙන අයුරින් අසුන්ගත්තාය.

"මොකක්ද අප්පේ එච්චර වැදගත් දේ"
"අක්කට වැදගත්ද කියන්න මං දන්නෑ..ඒත් මට මේක අක්කා එක්ක ඉක්මනට කතා කරන එක වැදගත්..ඉස්සෙල්ලත් මං ආවෙ ඒක කියන්න"
"හරි..හරි මොකක්ද කියලා ඉන්නකො අගේ කරන්නැතුව" මොහොතක් නිහඩවම මා දෙස බලාසිටි ඇගේ මුහුණේ ප්‍රසන්න සිනහවක් ඇදුනේ මගේ කුහුල තවත් වැඩි කරමිනි.

"පහුගිය දවසක නලින්ට පරාක්‍රම අයියව හම්බවෙලා තිබුනා" වසර පහලවකට පසුව පවුලේ අයෙකුගේ මුවින් පරාක්‍රම ගැන අළුත් තොරතුරක් අසන්නට ලැබුන පලමු අවස්ථාව එය වුයෙන් සිතට දැනුන අසීමිත් සතුට දෙනෙත් වලින් පිටවන්නට ඇත.
"අප්පේ මුණෙ තියෙන සතුට...ඔහොම හිනාවෙලා අහන් ඉදියි කියලා දන්නවා නම් මං මේක ඊයෙම කියනවා"
"විකාර නැතුව කියන්නකො කොහෙදිද හම්බවෙලා තියෙන්නෙ...දැන් කොහොමද පරාක්‍රමට...හොදයි නේද?"
"පරාක්‍රම අයියගෙ දුව ඉන්නෙ චුටි පුතාලගෙ පංතියෙ..පන්ති රැස්විමකට ගිය වෙලාවෙ තමයි නලින්ට හම්බවෙලා තියෙන්නෙ"
"ඒ කියන්නෙ දැන් එයාලා ඉන්නෙ මෙහෙ"

"අක්කට පරාක්‍රම අයියව දකින්න ආසා හිතෙන් නැද්ද"
"නෑ කියලා බොරු කියන්න මට ඕනි නෑ..ඒත් මං එයාව දකින්න බයයි"
"බයවෙන්න අක්කා වැරැද්දක් කරේ නෑනෙ"
"මං වැරැද්දක් කරාද නැද්ද කියන එක තීරණේ වෙන්නෙ අද එයා ඉන්න තත්වෙ අනුව...හොද සතුටින් ඉන්නවනම් මට සතුටු වෙන්න පුළුවන් මං එයාට යහපතක් කලා කියලා"
මොහොතක් පුදුමයෙන් මෙන් මා දෙස බලාසිටි නංගී මගේ අතක් ඇගේ දෝතටම මැදි කරගත්තේ දෙනෙතට කදුළු පුරවාගෙනය. "මං දන්නෑ මං අක්කට මෙහෙම කියන එක හරිද වැරදිද කියලා....මට දැනෙන හැටියට නම් එයාලා හොදින් ඉන්නවා.දුවෙකුයි පුතෙකුයි ඉන්නවා..පුතා ලොකුයි දැන් හයේ...දුවනම් මං දැකලා නෑ..ඒ අක්කත් හරිම හොදයි…නලින් අක්කව එක්ක එන්න ගම්පහ ගිය දවසෙ එයාලා මෙහෙ ආවා"


"කවදාවත් දෙමව්පියෝ කියන දෙයක් අහන දරුවන්ට වරදින්න විදිහක් නෑ නංගි...දරුවෙක් ගැන අම්මා කෙනෙකුට තියෙන ඉව වෙන කාටවත් නෑ"
"මං ඇත්තටම අහන්නෙ...අක්කට දුක හිතෙන්නෙ නැද්ද?..මට නලින් කිව්වා ඔයාලා වෙඩිං එකට හැමදේම ලෑස්ති කරලා තිබුනෙ කියලා"
"කව්වුරුත් දන්නෙ නැතුවට ඉස්සර මං දවස් ගන්න අඩලා තියෙනවා..ඒත් දැන් එහෙම ලොකු දුකක් නෑ..හැමෝම හොදින් සතුටින් ඉන්නවා දකිනකොට මට ආඩම්බරයි මං ගත්තු තීරණේ ගැන..පරාක්‍රම හොදින් ඉන්නවා කියලා ඔයා කියනකොට මට දැනුන සතුට අවුරුදු ගානක් එයත් එක්ක ජීවත් උනත් ලබන්න බැරි තරම් සතුටක්"

"අක්කා කියන්නෙ ඇත්ත කියලා මට අක්කගෙ ඇස් දෙකෙන්ම පේනවා..මං තව එකම එක දෙයක් අහන්න අක්කා මාත් එක්ක තරහා වෙන්නෑ නේද?"
"අපේ මල්ලිව දාලා යන්නද අහන්නෙ නැතුව වෙන ඕනි දෙයක් ඇහුවට මගෙ තරහක් නෑ" මම සිනහ මුසු මුහුණින් පිළිතුරු දුන්නද ප්‍රශ්ණයක් ඇසීම වෙනුවට තවත් තදකර මගේ අත අල්වාගත් ඇය මගෙන් කඳුළු සගවාගන්නට අසාර්ථක උත්සහයක නිරත විය. දස වසරකින් මට බාල වු ඇය මල්ලිගෙ බිරිද වුවද මට මගේ අක්කා තරමටම සමීපය.
"මේ මොකද මේ අඩන්නෙ...මං විහිළුවක් කලේ"

"ඔයා කොහොමද පොඩි අක්කෙ එහෙම කලේ" ටික වේලාවක් කඳුළු පිරි දෙනෙතින් මදෙස බලාසිටි ඇය ඇසුවේ කිසිසේත්ම සිතාගත නොහැකි පැණයකි.
"මොකක් ගැනද ඔයා ඔය අහන්නෙ"
"ලොකු අක්කයි නලිනුයි පරාක්‍රම අයියා ඔයාව දාලා ගියා කියලා හිතන් හිටියට මං දැන් දන්නවා ඒ සම්බන්දෙ නතර කලේ ඔයා කියලා...මට හිතාගන්න බැරි ඔයා වගේ හැමෝම ගැන හිතන හොද කෙනෙක් කොහොමද එහෙම දෙයක් කරේ කියලා"

"මට ඒ වෙලාවෙ කරන්න තිබුන හොදම දේ මං කරා කියලා අදටත් මං විශ්වාස කරනවා නංගි...අපෙ අක්කා එයාගෙ ජීවිතේ හොදම කාලෙ අම්මා කෙනෙක් වගේ අපි වෙනුවෙන් කැප කරා..ගෙදර කරදර තිබුනෙ නැත්නම් උවමනාවෙන් විභාගෙ කරානම් චුටිටයි මටයි කලින් කැම්පස් යන්නෙ අක්කා"
"ඒ ඔක්කොම ඇත්ත පොඩි අක්කා..නලිනුත් නිතරම ඔහොම කියනවා"
"අප්පච්චි නැති උනාට පස්සෙ අපි දෙන්නටත් වඩා තනි උනේ මල්ලි..පරාක්‍රම මට කවදාවත් මල්ලි ගැන බලන්න එපා කියන එකක් නෑ...ඒත් අප්පච්චි නැති වෙලා මාස හතර පහක් යන්න කලින් මං බැන්දානම් එක්කෝ මල්ලි තනි වෙනවා...තනිවෙනවා විතරක් නෙවෙයි එයාව අපිට නැත්තටම නැති වෙන තරමට එයා අයාලේ යනවා...එහෙම උනානම් මල්ලි ගැන බලන්න ගිහින් අක්කා අක්කගෙ පවුල අවුල් කරගන්නවා.අක්කා වැඩිපුර මල්ලි ගැන බලනවට අතුල අයියා කොහෙත්ම කැමති නෑ කියන්න මං හොදටම දැනන් හිටියා. ඔය ඔක්කොම දේවල් හිතේ තියාගෙන මං පරාක්‍රම ලගට ගියානම් අපි අතරෙ උනත් ඕනි තරම් ප්‍රශ්ණ ඇතිවෙන්න ඉඩ තිබුනා නංගි..අප්පච්චි නැති වෙලා අවුරුදු එක හමාරක් විතර යනකල් මං හැම සතියෙම ගෙදර ආවා.ඒත් අපි බැන්දනම් පරාක්‍රමට තියෙන වැඩත් එක්ක මාසෙකට සැරයක්වත් එන්න බැරිවෙන්න තිබුනා..එහෙම උනානම් අපි තුන්දෙනාගෙම ජීවිත මීට වඩා නරක් වෙන්න තිබුනා…"

"ඒ ඔක්කොම ඇත්ත...ඒත් පොඩි අක්කෙ හැමෝම ගැන හිතන ඔයා ඇයි පරාක්‍රම අයියගෙ පැත්තෙන් හිතුවෙ නැත්තෙ "


"ඒ වෙලාවෙ මට ඒ අම්මගෙයි තාත්තගෙයි හිත රිදවන එක පරාක්‍රමගෙ හිත රිදවනවට වඩා අමාරු උනා...අපෙ අම්මා නැතිවෙන්කොට මං පොඩි නිසා මට ඒක එදා දැනුනෙ නැතුවට වයසින් ලොකු වෙන්න වෙන්න අනේ අපේ අම්මා හිටියනම් කියලා හිතුන වාර වැඩි උනා මිස අඩු උනේ නෑ...අප්පච්චිත් අපිව දාලා ගියෙ අපිට අප්පච්චිව ඕනිම වෙලාවක..ඒ හැමදෙයක්ම එහෙම වෙන්න ඇත්තෙ ගිය ආත්මෙ කරපු පවකට කියලා දැන දැනම මේ ආත්මෙත් අම්මා කෙනෙකුගෙ හිතට ගින්දරක් දෙන්න මට පුළුවන්කමක් තිබුනෙ නෑ නංගි"


දෙවරක්ම යොදාගත් දිනට විවාහය සිදු නොවු පසු තම එකම පුතුට සරිලන මනාලිය මා නොවන බව පවසමින් තම පුතුගේ ජීවිතයෙන් ඉවත්වන්නැයි ඉල්ලමින් පරාක්‍රමගේ මව මා අසල හඩා වැටුන බව අදටත් දැන සිටින්නේ ඇයත් මමත් පමණක් විය යුතුය.

"මේ දැන්වත් ඔය ප්‍රශ්ණ ටික අහලා ඉවර නම් ගිහින් බලන්න අර කොල්ලො දෙන්නා සද්දයක්වත් නැතුව මොකද කරන්නෙ කියලා" මට යලිත් වරක් නිදහසේ අතීතයේ සක්මන් කරන්නට අවැසි වුවත් නංගී මා ලගින් ඉවත්වන්නට සුදානමක් නොවිය.


"මං මට හිතෙන දෙයක් කියන්නම්"
"මොකක්ද?"
"මට හිතෙනවා හෙට අනිද්දා දවසක පරාක්‍රම අයියලා මෙහෙ එයි කියලා ඔයාව බලන්න...එදා ආව වෙලාවෙත් දෙතුන් පාරක්ම කිව්වා එයාලගෙ අම්මට මැරෙන්න
කලින් ඔයාව බලන්න ඕනි කියලා අඩනවා කියලා"


ඇය තවත් යමක් කියන්නට පෙර අපේ වත්තට ඇතුලු කල කිරි පැහැ කුඩා මෝටර් රථයක් මිදුලේ නතර කලේය. වසර ගනනාවක් පුරා හිත තුල නිදාසිටි වේදනාකාරී හැඟුම් යලි අවදි වන්නට පටන් ගනිත්දී පුටුවෙන් නැගිටීමට අපහසු වු මා නංගීගේ අතක එල්ලී නැගිටිනවාත් සමගම වයස අවුරුදු හය හතක රෝස මලක් බදු සුන්දර දැරියක් රියෙන්
බිමට බිමට පා තැබුවේ මා හා සිනාසෙමිනි.. රිය අසලට වී තවත් ටික වේලාවක් ඒ සිනහවෙන්ම මා දෙස බලාසිට එක්වරම අප වෙත දුව ආ ළදැරිය අත පිටුපසට කර තබාගෙන සිටි කුඩා මල් පොකුරක් මවෙත දිගු කලේ කාලාන්තරයක් පටන් දන්නා හදුනන අයෙකු පරිදිය. සිනාසී ඈ වෙත පහත් වු මගේ දෙකොපුලට මල් පෙත්තක සුසිනිදු බව දැනුනේත් රියෙන් බිමට පා තැබු රුව අසල දෙනෙත් නතර වුයේත් මගේ සිත වසර ගනනක් එහා අතීතයට ඉගිල ගියේත් එකටමය.

"මට මිස් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි...මිස් මේ වෙලාවෙ බිසීද?" විශ්ව විදයාල සේවයෙන් ඉල්ලා අස්වී විදේශගත වීමට සති තුන හතරකට පෙර දිනක මගේ කාමරයේ දොර අසල සිටගත් රවින්ද ඇසුවේ මා ඔහු මුණ ගැසීමට සිතමින් සිටියදීය.
"ආ...රවින්ද ආව එක හොදයි...මං ඔයාව හම්බවෙන්නමයි හිටියෙ...දිමිත්‍රිට මොකද වෙලා තියෙන්නෙ...එග්සෑම් ඉවර උනාට පස්සෙ මං දැක්කෙම නෑ.. මේ සෙමෙස්ටර් එක පටන්ගෙනත් දැන් මාසෙකට වැඩියිනෙ"
"එයා ගැන කතාකරන්න තමයි මිස් මං ආවෙ"
"ඇයි...එයාලට කරදරයක්ද?" දිමිත්‍රිගේ මවගේ රෝගී තත්වය දැන සිටි නිසාම ඒ මොහොතේ මම රවින්ද දෙස බැලුවේ අසුභ යමක් අසන්නට නොලැබේවායි සිත යටින් ප්‍රර්ථනා කරමිනි.

"දිමිත්‍රි ප්‍රෙග්නන්ට් මිස්"
"වට්.." මා කිව්වා නොව කියවුනාය. තරහත් දුකත් නොඉවසිල්ලත් විසින් මට සිංහලද අමතක කරවා තිබුනත් මා තවත් යමක් කියනතුරු රවින්ද දොර අසල සිටගෙන සිටියේ ඔහු කිසිදු වැරැද්දක් නොකල තරමේ ඉවසීමකින් හා සන්යමකින්ය.

"දිමිත්‍රි ආපහු කැම්පස් එන්න බෑ කියනවා මිස්" එක වසරට බාරදුන් දැරියක් පාසල් යාමට අදිමදි කරන බව ගුරුවරයෙකුට දැනුම් දෙන්නාක් මෙන් ඔහු දිමිත්‍රි ගැන සදහන් කරත්දී මේසය මත වු මල් පෝච්චියෙන් ඔහුට පහර දෙන්නට මට සිත්විය. සරසවි අධයාපනය නිම කරන්නට මත්තෙන් දරුවෙකු කුස දරන්නට වීම ශිෂයාවක ලෙස ඇයට අවමානයක් මිස ආඩම්බරයක් නොවන බව මට මෙන්ම ඔහුටද අවබෝධ විය යුතුය.


"මිස්ට පොඩ්ඩක් දිමිත්‍රිට කතා කරන්න බැරිද මිස්...අපි කියන දේ ඇහුවෙ නැතුවට මිස් කිව්වොත් එයා නෑවිත් ඉන්න එකක් නෑ මිස්" කිසිවක් හරිහැටි සිතාගත නොහැකිව උන් මා රවින්ද දෙස බලන්නට ඇත්තේ කෝපයෙනි.
"මොනවා කරන්නද මිස්...මිනිස්සු අතින් වැරදීම් වෙනවා" කියමින් පහත් කරගත් හිසින් මගේ මේසය අසලට ආ ඔහු කොල කැබැල්ලක ලියු දිමිත්‍රිගේ දුරකතන අංකය මා ඉදිරියෙන් තැබීය.
"දිමිත්‍රි මිස්ට හරි ආදරෙයි...මිස්ට පුළුවන්නම් එයාට ආපහු කැම්පස් එන්න කියන්න මිස්…මේ වෙලාවෙ දිමිත්‍රිගෙ තීරණේ වෙනස් කරන්න පුළුවන් මිස්ට විතරයි මිස්" කියු ඔහු
මගෙන් පිළිතුරක් ලැබෙන්නටත් පෙර නික්ම ගියේ මගේ සිත මතට තවත් බරක් එකතු කරමිනි.

සවස් කාලයම දිමිත්‍රි වෙනුවෙන් මා කල යුත්තේ කුමක්දැයි සිතමින් සිටි මා ඇයට දුරකතන ඇමතුමක් දුන්නේ රාත්‍රියේය. යලිත් සරසවියට පැමිණීමට කිසිදු අදහසක් නැති බව දිගින් දිගටම පැවසු ඇය මගේ දීර්ග දුරකතන ඇමතුමේ කෙලවරදී තරමක් නමයශීලි විය.

ඉන් සතියකට පමණ පසු දිනක උදෑසන රවින්ද යලිත් වරක් මගේ කාමරයේ දොර අසල සිටගෙන සිටියේ සිනහමුසු මුහුණිනි. "ඇයි රවින්ද...ඒ පාර මොකද්ද කියන්න හදන්නෙ" "දිමිත්‍රි ආවා මිස්"
"කෝ දැන්"
"මිස් ලගට එන්න ලැජ්ජයි කියලා අර පැත්තට වෙලා ඉන්නවා හස්බන්ඩ් එක්ක"

"හස්බන්ඩ්?"
"ඔව් මිස්...මං හිතුවෙ දිමිත්‍රි මැරි කලා කියලා මිස් දන්නවා කියලා...පුංචම්මට මැරෙන්න කලින් දිමිත්‍රි මනමාලියෙක් වෙනවා දකින්න ඕනි කියලා ගියපාර එග්සෑම් ඉවර උන ගමන්ම පවුලෙ අය විතරක් එකතු වෙලා පොඩි උත්සවයක් ගත්තා "
"එතකොට ඔයා දිමිත්‍රිරිගෙ …"
"මිස් හිතාගෙන හිටියෙ මං දිමිත්‍රිරිගෙ බෝයි ෆෙන්ඩ් කියලනෙ...මට ඒක තේරුනේ එදා මිස් ගහන්න වගේ මගෙ දිහා බලපු වෙලාවෙ...අපි දෙන්නා අයියයි නංගියි මිස්"


පෙරදිනක රවින්දම කියු පරිදි "මිනිස්සු අතින් වැරදීම් වෙනවා" යැයි ඒ මොහොතේ මට කියන්නට අවැසි වු මුත් ඊට පෙර, දෙමසකට වැඩි කාලයකින් නුදුටු දිමිත්‍රි මගේ කාමරයේ දොර අසලින් මතු වුයේ ඇගේ අත ගත් වාසනාවන්තයාද සමගිනි.


දස වසරක වෘත්තීය දිවිය තුල හමුවි වෙන්ව ගිය දහසක් සිසු සිසුවියන් අතරින් කිසිවිටක මතකයෙන් බැහැර නොවු දිමිත්‍රිගේ සුපුරුදු සුන්දර සිනහව වසර ගනනාවකට පසු අනපේක්ෂිත ලෙස අපේ ගේ දොරකඩ විකසිත වුයේ ඒ අතීත සිදුවිමට පණ පොවමිනි.

"ඉතින් කොහොමද දිමිත්‍රි"

නිවසට පැමිණෙන අමුත්තන් කවුරුන්දැයි සිතාගත නොහැකිව මෙන් සිටි නංගිගේ මුවේ සිනහවක් ඇදුනේ දිමිත්‍රි ඇගේ සැමියා සමගම මා අසලට පැමිණ දණ බිම තබා වදින විටය. වෘත්තීය වගකීම් බැදීම කිසිවක් නොවු ඒ මොහොතේ මා ඇයව වැළද ගත්තේ උතුරා යන සොම්නසිනි.

"අම්මා" එතෙක් මට අමතකව ගොස් සිටි සිඟිත්තිය දිමිත්‍රිගේ අතේ එල්ලීමට පෙර මට ඇය ඔසවාගත හැකි විය. රෝස පෙති වන් සිනිදු ඇගේ දොකොපුල සිඹිත්දී නෙතට ඉනු කඳුළු සගවාගන්නට මත්තෙන් ඇය මා අතින් සිය පියාගේ අතට මාරු විය.

"කොහොමද නුවන්... දැක්කෙ එක දවසක් උනාට මට නමනම් මතක තිබුනා"
"මිස්ට පිං සිද්දවෙන්න අපි අද ගොඩක් සතුටින් ඉන්නවා මිස්"


"මට..."
"ඔව් මිස්..මිස් නොදැන හිටියට මිස් නිසා අපේ ජීවිත ගොඩක් වෙනස් උනා" මා වටා උන් මට ආදරය කල මා ආදරය කල අයගේ ජීවිත වෙනස් කිරිම සදහාම මගේ ජීවිතය වෙනස්කරගත් මට නුවන්ගේ කතාව වඩාත් හොදින් තේරුම් ගැනීමට අවැසි වුයෙන් මම දිමිත්‍රි දෙස බැලීමි
"අපෙ අම්මා අසනීප උන දවස්වලම මට කැම්පස් යන්න උන නිසා මං මුලදි කැම්පස් ගියේ යන්න බෑ කිය කියා. ඒත් මිස් අපිට උගන්නන්න ආවට පස්සෙ මට කැම්පස් එකේ ඉන්න ආසා හිතුනා..මං මිස්ට කවදාවත් කිව්වෙ නැතුවට මිස් ගොඩාක් දුරට අපෙ අම්මා වගේ...හැඩරුව නෙවෙයි..අදින පළදින විදිහ කතා කරන හැටි උගන්නන හැටි...අපෙ අම්මත් ටීච කෙනෙක්නෙ මිස්...අම්මත් හැමදාම ඇන්දෙ මිස් ඇන්දා වගේම ලා පාට කොට්න් සාරීස්..මිස්ව දකින දකින වෙලාවට අම්මව මතක් වෙන නිසා මගෙ හිත රිදුනට මොකද හැමදම මිස්ව දකින්න මට ආසා හිතුනා"

දෙවසරක් මුළුල්ලේ ඇයත් මමත් එකිනෙකා දැකීමෙන් එක හා සමාන සතුටක් හා දුකක් ලැබු බව අසන්නට ලැබීම කෙතරම් පුදුමයක්ද.
"හැමදාම ඉරිදා හවසට කැම්පස් යන්න බෑ කියලා නහයෙන් අඩන ගෑනි හිටපු ගමන් හරි සන්තෝසෙන් කැම්පස් එන්න ලෑස්ති වෙනකොට මුලින් මුලින් මට බයත් හිතුනා මිස්"
නුවන් අප තිදෙනාම සිනහවක ගිල්විය.
"මිස් රට යන ගමන තව ටිකක් ඉස්සර උනානම් හරි අපි මැරි කරන්න ටිකක් පරක්කු උනානම් හරි මෙයා ආපහු ඩිග්‍රි එක අතාරිනවා මිස්...දෝණි ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු වෙලාවෙ අපි හැමෝම සතුටු උනා වගේම දුක් උනා දිමිත්‍රි ආපහු කීයටවත් කැම්පස් යවන්න බෑ කියලා දන්න නිසා...මිස් එදා මෙයාගෙ හිත හදලා කැම්පස් ගෙන්නා ගත්තෙ නැත්නම් ඊට පස්සෙ අපිට වෙච්ච කරදරත් එක්ක මෙයාට කොහොමටවත් පස්සෙ කාලෙක හරි ඩිග්‍රි එක ගන්න බැරි වෙනවා…"
"ඔයාලා හිතන තරම් උදව්වක් මං කරා කියලා මමනම් හිතන්නෙ නෑ...ඒත් එදා දිමිත්‍රි මං කියන දේ අහලා ආපහු කැම්පස් එන්න පටන් ගත්තු නිසා මං හිත සැහැල්ලුවෙන් මගේ ගමන ගියා.


"අවුරුදු ගානක් ගිහිල්ලත් මිස් තාමත් ඒ වගේමයි"
"මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියලත් නෑ...ඔයත් ඒ වගේම තමයි.. දැන් ඔයා මොනවද කරන්නෙ දිමිත්‍රි"
"දැන් මෙහෙ ඒ.ඩී.එස්. මම මිස් .. නුවන් හැමවෙලේම කියන්නෙ මේ හැමදෙයක්ම ලැබුනෙ මිස් නිසා කියලා..අපිට චූටි පුතෙකුත් ඉන්නවා...එයාට ටිකක් සනීප නැති නිසා ගෙනාවෙ නෑ"
" මට හරි සතුටුයි දිමිත්‍රි...ඉතින් ඔයාලා මේ කොහෙ යන ගමන්ද?"
"අත්තම්මා බලන්න" දිමිත්‍රි වෙනුවට ඇගේ කුඩා දියණිය පිළිතුරු දුන්නෙ නැවත වරක් මගේ දෑතේ වෙලෙමිනි.
"කොහෙද පුතාගෙ අත්තම්මා ඉන්නෙ...මේ ලගද" මා යලිත් වරක් ඇය ඔසවාගනිත්දී දිමිත්‍රිගේ මුහුනෙන් මතු වුයේ මා ප්‍රියකල සුන්දර සිනහවය.

"ඔයා තමයි මගෙ අත්තම්මා" සුරතල් හඩින් ඇසුන මෙලොව මා ඇසු සුන්දරම වදන් පෙල තහවුරු කරමින් දිමිත්‍රි යලිත් වරක් මා වැළදගත්තේ "දැන් අපි දෙන්නටම අම්මා කියන්න ඉන්නෙ මිස් විතරයි මිස්" කියමිනි.

පහලොස් වසරක් සිත තුල සගවාගෙන සිටි සියළු දුක්ක දෝමනස්සයන් නෙත් අගින් බැස යත්දී අම්මාත් අප්පච්චීත් කොහේදෝ ලෝකයක සිට මා දෙස බලා සිටි බව පමණක් මසිත මටම කොදුරන්නට විය.

නිමි...

සඳමාලී සකුන්තලා හේරත්

2014.11.28

10 comments:

  1. හොඳයි සකුන්තලා තව ලියන්න,

    ReplyDelete
  2. ලස්සන කතාව....ඔබගේ චරිත ගොඩනැංවීමේ හැකියාව විශිෂ්ඨයි....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවී....නොදන්නා කෙනෙකුගෙන් ලැබෙන ඇගයීම හිතට ලොකු සතුටක්.

      Delete
  3. බොහෝම අපුරුයි සඳමාලි මේ කතාව.මිහිරි අවසානයක් වුණත් අන්තිමට අත්තම්මාගේ වගේ මගේ ඇසටත් කඳුළු නැගිලා....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ් කියවලා හිතට දැනුනෙ දේ ලියලා යන්නත් කාලය වැය කලාට.
      මිහිරි අවසානයකදී වුවත් නෙතට කඳුළක් නැගෙන්නට ඇත්තේ ඔබේ සංවේදී බව නිසා. මේ කතාව කියවූ මගේ යහළු යෙහෙළියන් කිහිප දෙනෙක්ම ඔය අදහස පල කලා.

      Delete
  4. කතා හතරම කියෙව්වා, හතරම හොඳයි :-)

    ReplyDelete
  5. Replies
    1. ඒක නේන්නම්.......පොඩි නවකතාවක් වගේ දිගයි. මේ මං අවුරුදු 20 ට විතර පස්සෙ ලියපු දෙවෙනි කෙටි කතාව. මේ ආපහු කෙටිකතා ලියන්න පටන් ගන්න කලින් මං නවකතා දෙකක් ලිව්වා. එන්න ඒව ලියද්දි තිබ්බ පුරුද්දයි, මම මේවා ලියන්න දවසකට දෙකකට සැරයයි ජේදෙ ගානෙ නිසයි තමයි ඔහොම දිග වෙන්නෙ. ඒත් මං අන්තිමට ලියපු කතාව වෙනකොට "තව ටිකක් දිගට තිබුණනම්" කියන ප්‍රතිචාර ලැබෙන ගානට ලිවිල්ල කොට කරගත්තා. හැබැයි එතනින් එහාට ලිව්වෙ නෑ.

      කොහොම වුණත් මේ කතාව මේ හැටි දිග වීම තමයි මාව බ්ලොග් එකකට තල්ලු කෙරුවෙ.

      Delete
  6. අපි ආස කරන පොත් දෙතුන් වතාවේ කියවන්නේ.ආන්න ඒ වගේ මට හිතුනා මේ "අත්තම්මා" කෙටි කතා පොත ආයෙමත් කියවන්න.එදා කියවද්දී දැනුන ඒ හැඟීම අදත් එහෙමමයි.

    ReplyDelete