Sunday, November 30, 2014

පොරොන්දුව (කෙටි කතාව)

ත්‍රිරෝද රිය මිදුලේ නතර කරන්නටත් පෙරම අම්මා එලියට ආවේ අවේලාවේ නිවසට එන්නේ කවරෙක්දැයි සිතාගත නොහැකිව මෙන් විපරමිනි.ඇගේ සිතුවිලි හදුනාගත් තාත්තා මුව කොණකට නැගුන සිනහවෙන්ම මා දෙස බලත්දි මම රියෙන් බිමට පා තැබීමි.

"ආනේ ලොකු දුව....මං ඒත් බැලුවා කවුද මේ අවේලාවෙ කියලා"

අම්මාගේ හඩ තුල පුදුමයටත් වඩා සතුටක් ගැබ්ව තිබුනි. අඩියට දෙකට මා අසලට ආ ඇය මගේ දෙකොපුලම සිප හිසද පිරිමදිමින්ම ත්‍රිරෝද රිය දෙස බැලුවේ මා පැමිණියේ කා සමඟ දැ‍යි දැනගන්නටය.ඇගේ මුව මත වූ සොදුරු සිනහව අතුරුදහන් වන්නට වැඩි වේලාවක් ගත නොවුයේ තාත්තා ඒ සමඟම මෙන් රියෙන් බැස අප වෙත ඇවිද එනු දැකීමෙනි. මාස හත අටකට පෙර කිරිල්ලියක් මෙන් සැහැල්ලුවෙන් කැදැල්ල හැරගිය දියණිය සැමියා නොමැතිව යලි නිවසට පැමිණෙන්නේ ඇයිදැයි ඇගේ ගැහැණු සිත කුමක් හෝ ඉඟි කරන්නට ඇත.

"ඇයි මහත්තයා මේ කෝ සරෝජ් පුතා"

දැනගත යුතු සියල්ල ඇය කෙටියෙන්ම තාත්තාට ඉදිරිපත් කලේ මගේ මුහුණ දෙසද මොහොතක් විමසිල්ලෙන් බලා සිටීමෙන් අනතුරුවය.

"පුතා වැඩට ගිහින්" සුපුරුදු සැහැල්ලුවෙන් පිළිතුරු දෙමින් ගෙට ඇතුළු වු තාත්තා ඇද සිටි කමීසයේ උඩ බොත්තම් දෙක ගලවමින්ම අසුන්ගත්තේ දැඩි විඩාබර බවක් පෙන්වමිනි. විඩාපත්ව නිවසට පැමිණි බොහෝ විට අම්මා හරස් ප්‍රශ්ණ ඇසීම පසුවට කල් දමන බව ඔහුට මතක් වන්නට ඇත.

"මං අහන්නෙ ඇ‍යි ලොකු දුව ගෙදර එක්ක ආවෙ කියලා" එහෙත් ඒ මොහොතේ අම්මා ඇගේ සුපුරුදු චර්යාවෙන් ඈත් වන්නට ඇත්තේ තාත්තාගේ ගමන් මහන්සියට වඩා ඇගේ හද ගැස්ම වැඩි වු නිසා විය යුතුය.

"මං අද වැඩකට කොට්ටාවට ගිය ගමන් ලොකු දුව බලන්න ගියා. ගියාට පස්සෙ මට හිතුනා දවසකට දෙකකට ගෙදර එක්ක ආවනම් හොදයි කියලා. ඉතින් මං එක්ක ආවා"

"සරෝජ් පුතා දන්නවද?"

"ඔයා හිතන්නෙ මම මේ පුතා නැති වෙලාවෙ ලොකු දුව හොරෙන් එක්ක ආවා කියලද?. මං පුතාගෙනුයි පුතාලගෙ අම්මගෙනුයි දෙන්නගෙන්ම අහලයි එක්ක ආවෙ නිකන් විකාර කියවන්නෙ නැතුව ගිහින් තේ ඩිංගක් හදාගෙන එන්න මං ආපහු යන්නත් ඕනි"
තාත්තා අම්මාගේ පැණය මග හැරියද කිනම් මොහොතක් හෝ ඇ‍යැ මා කොටුකරගන්නා බව මම දැන සිටියෙමි.

"ඔයත් ගිහින් මූණ කට හෝදගෙන ඇදුමක් මාරුකරගන්න පුතේ තව ටිකකින් නංගිත් එයි" කියාගෙනම තාත්තා අම්මාටත් පෙර මුළුතැන්ගෙය දෙසට ගියේය.ඔවුන් පසුපසින් නොයා සාලය තුල රැදුනත් මගේ සවන් ඔවුන් පසුපසම විය.
"ඇත්තටම මොකද උනේ කියන්නකො"

"ඇත්ත තමයි කිව්වෙ. මං යනකොට කෙල්ල හිටියෙ හේබාවෙලා වගේ. ඒකමයි මට දවසකට හමාරකට හරි එක්ක එන්න හිතුනෙ. සරෝජ් පුතත් කිව්වෙ දුව කම්මැලි කමේ ඉන්න නිසා ඒක හොදයි කියලා."

"ඔයා ඔහොම කිව්වට මගේ හිතට නම් මොකක්ද වගේ.. දුවට ගෙදර එන්න ඕනිනම් ඔයාට තිබුනෙ සරෝජ් පුතාට ගෙනත් ඇරලන්න කියන්නනෙ"

"ඒ දරුවට ඉහටත් උඩින් වැඩ තියෙද්දි මේවයෙ එන්න වෙලාවක් තියෙනවද?.. අනෙක ඔයාට පුළුවන්නෙ දැන් දුවට ආසා හිතෙන දෙයක් හදලා දෙන්න"

"ඒකනම් එහෙම තමයි" තාත්තා උත්සහ කරන්නේ අම්මා අස්වැස්වැසීමටද නැතිනම් ඔහුගේම සිතට අප අතර ගැටළුවක් නොමැති බව ඒත්තු ගන්වන්නටදැයි මට සිතාගත නොහැකිය.
සරෝජ්ගේ පතිනිය වී මා මේ නිවසින් පිටව ගියේ මීට හරියටම මාස හතකුත් දවස් දාහතරකට පෙරය.මංගල යෝජනාවක් රැගෙන වැහිබර උදෑසනක සරෝජ් අපේ නිවසට ආවේ ඊටත් මාස හයකට පෙරය. එවකට විසිතුන් හැවිරිදි වියේ පසු වු මා තවත් වසර කිහිපයකින් පතිකුලයට යා යුතු බව අම්මා මෙන්ම තාත්තාත් විටින් විට මතක් කලද සරෝජ් නිවසට පැමිණෙන තුරුම මට සහකරුවෙකු සොයන්නට ඔවුන් සිතා තිබුනේවත් නැත.

"මං සරෝජ්. සරෝජ් මොරගොඩ...වැඩ කරන්නෙ ...කම්පැණියෙ" ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක නමක් කියමින් ඔහු තාත්තාට සිය සේවා හැදුනුම්පත දිගු කරනු නංගීත් මමත් බලා සිටියේ දොර රෙද්දට මුවා වෙමිනි.

"මාර හැන්ඩියෙක් හලෝ...ගෙදරටම ආව එකේ පොඩි ට්‍රයි එකක් දාලා බලමුද?" විසේකාරියක නොවුවද දඟකාරියක වු නංගී කියත්දි මම අතින් මුව වසාගෙන සිනාසුනේ අපේ හඩට ඔහු හැරී බලනු ඇතැයි සැකයෙනි.

"එක්කො හොදට ලුණු ටිකක් දාලා තේ එකක් හදාගෙන ඇවිත් ටිකක් මඩවමුද?"

"පිස්සුද ඔයාට මොනවට ආව මනුස්සයෙක්ද කවුද දන්නෙ" ඉන්පසු ඇය නිහඩවම ගොස් ඇද මතින් අසුන් ගත්තාය. විදුලි කාර්මික ශිල්පියෙකු වු තාත්තාගේ සේවය අවශ‍ය වු අයෙකු ඉදහිට ඔහු හමුවීමට නිවසට පැමිණීම අපට අළුත් දෙයක් නොවීය.

"වැඩි වැල්වටාරම් නැතුව මං ආව කාරනේ කෙටියෙන් කියලා ඉන්නම්කො"

සාලයෙන් ඇසුන සරෝජ්ගේ හඩට නංගී යලි උන් තැනින් නැගිට්ටේ "අරයා අර කෙටියෙන් කියන්න හදනවා ඇත්තෙ මං ආවෙ ඔයාලගෙ පොඩි දුව ඉල්ලගෙන යන්න කියලා නෙවෙයි වෙන්න ඇතිනෙ" කියමිනි. එවර මගේ සිනහවද තරමක හඩින් විසිරුනද ඒ සිනහවේ වැඩි වේලාවක් රැදෙන්නට ඉඩක් නොතබමින් සරෝජ්ගේ හඩ ඇසුනි.

"මිස්ට වික්‍රමසිංහලාගෙ අකමැත්තක් නැත්නම් මං කැමතියි මධුරංගිව කසාද බදින්න" මා දකිමින් සිටින්නේ සිහිනයක්දැයි සිතන්නටත් පෙරම නංගී මා වැළද ගත්තේ "ඔයානම් මාර ලකී අක්කි" කියමිනි.

මට වඩා දස වසරකින් වැඩිමහල් වු සරෝජ්ට මා විවාහ කරවිය නොහැකි බව අම්මා එක් හෙලා කියා සිටියද තාත්තාගේ අදහස වුයේ මට ගැලපෙන්නේ එවැන්නෙකු බවය. නංගීද අම්මාගේ අදහස් වලට විරුද්ධ වුවත් එදවස ඒ ගැන කතා කරන්නට පවා මම මැලි වීමි. සරෝජ්ගේ කඩවසම් රුවට, ආඩම්බර හිනාවට මෙන්ම කතාවේ ඇති ආකර්ශණීය බවට හිත යටින් පෙම් කරමින් සිටියද අමමාගේ හිත රිදවීමට ඇති අකමැත්ත නිසාම තීරණ ගැනීම ඔවුනටම පවරා නිහඩ වන්නට මට අවැසි විය.
වෘත්තියෙන් ගෘහ නිර්මාණශිල්පියෙකු වු සරෝජ් පවුලේ එකම දරුවා බවත්, ඔහු කුඩා කාලයේම පියා මියගොස් ඇති බවත්, අම්මාට ඉතාමත් ලෙන්ගතුව හැදී වැඩී ඇති සරෝජ් තරම් හොද බෑණෙකු යලි නොලැබෙන බවත් කියමින් තාත්තා නිතර නිතර ඔහුව වර්ණනා කරන විට නෑසු කන්ව සිටි අම්මා වරක් දෙවරක් සරෝජ් අපේ නිවසට පැමිණ ගිය පසු ඇගේ අදහස වෙනස් කරගත්තාය.

"තාම ඇදුමවත් මාරු කරගත්තෙ නැද්ද?.. අන්න තාත්තා යන්නත් ලෑස්තියි" අතීතාවලෝකනය නිමා කරමින් අම්මා කාමරයට පිවිසියේ දොඩම් යුෂ වීදුරුවක්ද අතැතිවය.

"මං ඔයාට තේ හැදුවෙ නෑ… ළිඳ ලග ගහේ දොඩම් ගෙඩි දෙකක් තිබුනා.. මං නංගිටත් කිය කියා හිටියෙ හෙට අනිද්දට ඒ පැත්තෙ ගිහින් එන්න යමු කියලා"

"හින් නාරං නැද්ද අම්මා"

"තාම ගැට… නංගි ආවම බලමුකො පැහිච්ච ගෙඩියක් දෙකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. කෝකටත් මං තාත්තටත් කියන්නම්කො ඔය යන එන දිහාවක දැක්කොත් අරන් එන්න කියලා" අම්මා හිස අතගාගෙනම නික්ම ගියේ මගේ අවශයතාවය තාත්තාට දැනුම් දෙන්නට විය යුතුය.

"ලොකු දුව මං එහෙනම් ගිහින් එන්නම්" තාත්තාගේ හඩට එලියට ආ මා දෙස තාත්තා බැලුවේ තරමක පුදුමයෙනි.
"ඇයි තාත්තා"

"ඇයි මේ ඇදුමවත් මාරු කරගෙන නැත්තෙ මගෙ පුතාට හවස ආපහු යන්න ඕනිද?"
"නෑ තාත්තෙ මහන්සියට චුට්ටක් වාඩි වෙලා හිටියා තව ටිකකින් ළිඳට ගිහින් නාගෙනම ඇදුම මාරු කරගන්නවා"

"ළිඳෙන් නෑවට නම් කමක් නෑ පුතේ… අම්මා හරි නංගි හරි නැතුව තනියම නම් ළිඳ ලගට යන්න එපා. සරෝජ් පුතත් දෙතුන් පාරක්ම මතක් කරා ළිඳ ලගට යවන්න එපා කියලා"
"තාත්තා කියන්න එපැයි එයා හම්බෙන්න කලින් මම හැමදාම නෑවෙ ඔය ළිඳෙන් කියලා"

"ඒ ඉස්සරනෙ පුතේ දැන් පරිස්සම් වෙන්න ඕනිනෙ. ළිඳ ලග ලිස්සන්න පුළුවන්"

"මහත්තයා බය නැතුව යන්නකො.. මං ළිඳ ලග සුද්ද කරලා තියෙන්නෙ පොඩි දුවත් දැන් එයිනෙ"

තාත්තා නිවසින් පිටවු සැනින් අම්මා ප්‍රශ්ණ පත්තරයක් දිගහැර ගනී යැයි බියක් තිබුනද එය හුදෙක් සිතිවිල්ලක් පමණක් විය. ඇය මා කන්නට කැමති මොනවාදැයි අසාගෙනම මුළුතැන්ගෙට ගියේ ඉක්මනින් දිවා ආහාරය පිළියල කරන්නටය. මීට සති හයකට පෙර අම්මාත් තාත්තාත් නංගීත් මා බලන්නට ආවේ අපේ පවුලට අළුතින් අමුත්තෙකු එකතුවන්නට සැරසෙන බව සරෝජ් ඔවුනට දනුම් දී පැය කිහිපයකට පසුය. රටක් රාජ්ජයක් දිනා ගත්තාක් වැනි සතුටකින් උන් සරෝජ් අම්මලා නිවසට පැමිණි මොහොතේ සිටම කුමක්දෝ සිත් තැවුලකින් පසුවන බව වැටහුනද මා ඒ ගැන හාරා අවුස්සන්නට නොගියෙමි.

"මං බයේ හිටියෙ අම්මලා ඔයාව මෙහෙ තනියම තියන්න බෑ කියලා ගෙදර එක්ක යන්න ලෑස්ති වෙයි කියලා"
ඔහුගේ සිත පෙලු කාරණාව දැනගත් මොහොතේ ඔහු කෙරෙහි දැනුන අසීමිත සෙනෙහස පෑළ දොරින් පැන යන්නට පටන් ගත්තේ ඔහුගේ මව සිය කැමැත්තෙන්ම අපේ තනි නොතනියට නතර වන්නට පැමිණි පසුය.

"මේ වෙලාවෙ අම්මා කැමැත්තෙන්ම මෙහෙ නතර උන එක මගෙ හිතට පුදුම සහනයක් මධු..නැත්නම් මට ඔයාව තනියම මේ ගෙදර දාලා ගිහිල්ලා හරියට වැඩක්වත් කරගන්න බෑ" එදා රෑ සරෝජ් සිය සිත තුල එතෙක් තිබු අසහනය මා හමුවේ තැබීය.

"අම්මා…..කවුද මෙයාට ගෙදර එන්න පාර කියලා තියෙන්නෙ" අසාගෙන නංගි ළගට එනතෙක්ම මා සිටියේ කල්පනාවකය.ඇගේ හඩට සාලයට එබුන අම්මා අප දෙදෙනා දෙසම බලා සිනාසී
"තාත්තා උදේ කොට්ටාවට ගිය වෙලාවෙ අක්කව ගෙදර එක්ක ඇවිල්ලා" කීවාය.
"තනියම" නංගී දෑස් ලොකු කරගෙන අසන්නේ සරෝජ්ගේ හැටි දන්නා නිසාය.
"තාත්තා ගියාම තනියක් මොකක්ද"
"නෑ මං ඇහුවෙ මෙයාගෙ මහතැන නැතුව ආවෙ කොහොමද කියලා. පුදුමයි එන්න දුන්නා"
"තාත්තා ගෙදර එක්ක යන්නද ඇහුවම බෑ කියන්න බැරි වෙන්න ඇති."
"කට්ටයා..මාමණ්ඩියගෙන් එක දාගන්න එනන් දුනනට මොකද හවස් වෙනකොට දුවගෙන එයි යමු මධු කියාගෙන"

වෙනත් දවසක නම් අනිවාර්යෙන්ම එය සිදු වුවත් අදනම් සරෝජ්ගේ මෙහි නො එන බව මට ඉර හඳ මෙන් විශ්වාසය.ඊයේ රාත්‍රියේ ඇති වු හිත් අමනාපකමටත් වඩා ඔහුට නොදන්වා නිවසට පැමිණීම ගැන සමාවක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. සැබවින්ම නම් මට අවැසි වුයේද ටික දිනකට හෝ ඔහු මා සොයා ඒමත් වලක්වාගෙන නිවසට වි සිටීමය.

"මොකද මෙයා මේ ගොළු වෙලා.දෙන්නා වලියක්වත් දාගත්තද?" නංගි මා දෙස බැලුවද මට බැලුනේ අම්මා ගේ මුහුණය. නංගිටත් වඩා ඒ පැණයට පිළිතුරු අවැසි වන්නේ ඇයට බව ඒ දෙනෙත් තුල වු කුතුහලය කියා පෑවාය.

"පිස්සුද ඔයාට"
"එහෙනම් කවදාවත් නැතුව තනියම ගෙදර එන්න හිතුනෙ මොකද?.මං දවසක් යමු කිව්වම කිව්වෙ පව්නෙ සරෝජ්ට දුක හිතෙයි කියලා"

"ඒ එතකොටනෙ දැන් සරෝජ්ගෙ අම්මා ගෙදර ඉන්න නිසා එයාට තනියක් නෑ"

මගේ පිළිතුරින සෑහීමකට පත්ව හෝ සිදුව ඇති දේ තනිව සොයාගන්නට සිතා ඉන්පසු ඒ ගැන හාරා ඇවිස්සීම නතර කල ඇය සුපුරුදු පරිදි ඇගේ පන්තියේ සිදුවන රසබර සිදුවිම් විස්තර කරන්නට පටන් ගත්තාය.
කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයෙන් සැතපුම් බාගයක් පමණ ඇතුලත තරමක විශාල වත්තක් මැද පිහිටි අපේ කුඩා නිවහනේ ඇති සුන්දරත්වය බව කොට්ටාව නාගරික පරිසරය තුල නැත. එලිමහනේ ඇති සුවදායක බව විදිමින් වත්ත පහල වු ළිඳෙන් දිය නා නංගිත් සමග ගෙට එන්විට අම්මා කෑම මේසය පිලියල කරමින් සිටියාය.

“පිට කෙනෙක් ආවා වගේනෙ අම්මා කෑම මේසෙ ලෑස්ති කරන්නෙ" නංගි තෙත කොණ්ඩය පිසිමින් ගෙට ඇතුල් වුයේ නෝක්කාඩුවක්ද සමගිනි.

"ඔයත් කවදහරි ගෙදරින් පිට ගිය දවසට මෙහෙම තමයි"

"අනේ එපා මට අර කුස්සියේ බංකුවේ වාඩිවෙලා අම්මා කොත වගේ බෙදලා අතට දෙන බත් එක කනවා වගේ නෑ කොහෙ ඉදන් කෑවත්"

නංගී කවදත් ඇගේ සිතුවිලි වචන වලට පෙරලන්නට මැලිකමක් දක්වන්නේ නැත.එහෙත් කවදත් අඩුවෙන් කතාකරන්නට පුරුදුව උන් මට මගේ සිතැගි අඩුම වශයෙන් සරෝජ් සමග හෝ බෙදාගන්නට තාමත් හැකියාවක් නැත.

"පොඩ්ඩ බැරි වෙනකොට කදුළු පුරවාගන්නෙ නැතුව හිතේ තියෙන දෙයක් කියන්න පුරුදු වෙන්නකො මධු" ඉදහිටක සරෝජ් අමනාපයෙන් මෙන් එසේ කියන්නේ මගේ නිහඩ බව ඔහුට දරාගත හැකි සීමාව ඉක්මවා ගිය විටකය.

"ඔය තුවාය මට දීලා දෙන්නත් එක්ක කන්නකො අක්කට බඩගිනිත් ඇති"

"අක්කට විතරද ඇයි මට" කියමින් නංගී පුටුවක් පස්සට කර මට අසුන්ගන්නට සලස්වා ඉන්පසු ලොකු බත් පිඟානක් බෙදා මා අසලින් තැබීය.

"අපෝ මට මෙච්චර කන්න බෑ"

"බෑ කියලා හරියන්නෙ නෑ දැන් දෙන්නෙකුට හරියන්න කන්න එපැයි"

"ඔයාටත් පිස්සු අර සරෝජ්ලගෙ අම්මට වගේ"

"ඒ කතාව නම් මට ඇල්ලුවෙ නෑ මොකෝ නැන්දම්මයි ලේලියි කෙහෙවලු පටලා ගත්තද?"

"පොඩි දුව මොනාද ඔය කියන්නෙ අක්කා ඔයා වගේ එකට එක කියන ළමයෙක් නෙවෙයිනෙ ඒ වගේ වෙන්න"

"ඒ කියන්නෙ අම්මා හිතාගෙන ඉන්නවා මං කවදහරි එහෙම කරයි කියලා ඒකනෙ ඔය කියන්නෙ"

"විකාර කියවා කියව ඉන්නෙ නැතුව කන්න ළමයො" අම්මා එතනින ඉවත්ව ගියේ නංගීට ටොක්කකද ඇනගෙනය. පවුලේ බාලයා නිසා තාත්තාගේ වැඩි ආදරය දිනාගත් ඇය අම්මා සමග පමනක් නොව තත්තා සමගද විටක වාද කරයි.

“රෑට සරෝජ් පුතා මෙහෙ එයිද?" කෑමෙන් පසු කෙසෙල් ගෙඩියක්ද ගෙන කුස්සියේ ලී බංකුව මත අසුන් ගන්නවාත් සමගම අම්මා මගෙන් ඇසීය.

"නැති වෙයි අම්මා ..ඇයි"

"මං ඔයාට කන්න පොළොස් ඇඹුලක් ලිපේ තියන්න හදන්නෙ. ඒත් සරෝජ් පුතා එනවනම් තාත්තට කියලා තව මොනාහරි ගෙන්නා ගන්න් ඕනි උයන්න"

"අද එයා මෙහෙ එන එකක නෑ අම්මා. ආවත් ඔය තියෙන් දේකින් කන්න දෙන්න බැරියැ"

"මට ඇත්ත කියන්න ලොකු දුව ඔයා මොකක් හරි ප්‍රශ්ණයක් හිතේ තියාගෙනද ඉන්නෙ" අම්මා මා ලගටම පැමිණ අසුන්ගත්තේ හිසද පිරිමැදගෙනය. දින ගනනාවක් පුරා කිසිවෙකුටත් කියාගත නොහැකිව හිත තුල පැසවමින් තිබු වේදනාව සිහින් ඉකියක සමග පිටතට ගන්නට ඒ සෙනෙහස ප්‍රමාණවත් විය.

"අඩන්නෙ නැතුව මොකක්ද උනේ කියන්න පුතේ. මං ඔයාගෙ අම්මනෙ. ඔයා හිත කරදරෙන් ඉන්නෙ කියලා මට ඔයාව දැක්ක වෙලාවෙම හිතුනා. තියෙන් ප්‍රශ්ණයක් මාත් එක්ක කියන්න අපි හවස් වෙලා ගෙදර යමු ප්‍රශ්ණයක් තියෙන වෙලාවක ඔයා මෙහෙම ගෙදර ඉදලා හරියන්නෙ නෑ"

."මට ආයෙ ඒ ගෙදරට යන්න බෑ" මා වැඩිදුර නොසිතා භාවිතා කල වචනය අම්මාගේ දෑස් කදුලින් පුරවන්නට සමත්විය. කෑම මේසයට වාඩි වි අපේ කතාවට සවන් යොමාගෙන සිටි නංගීද ඇසිල්ලකින් මා අසලට ආවේ එවන්නක් අසන්නට ඇය කිසිවිටක අපේක්ශා නොකල පරිදිය.
"මොකක්ද උනේ අක්කා එදා අපි එහෙ යනකොටත් ඔය දෙන්නා හොදට හිටියනෙ"

"සරෝජ්ට දැන් මාව ඕනි නෑ" පෙරදිනක සරෝජ්ගේ මුහුණට කියන්නට සිතා සිටි එහෙත් කියාගත නොහැකි වු වදන් වැල මගේ මුවින් පිටවුයේ ඉබේටමය.

"නිකන් එහෙන් මෙහෙන් කෑලි කියවන්නෙ නැතුව මොකද උනේ කියන්නකො අක්කා"
"එහෙම කියන්න කියලා දෙයක් මට තේරෙන්නෙ නෑ නංගි. ඒත් දැන් සරෝජ් ඉස්සර වගේ නෑ. වෙනදට උදේ අට අට හමාර වෙනකල් ගෙදර ඉන්න මනුස්සයා දැන් ගෙදරින් යන්නෙ හතටත් කලින්. ඒත් කමක් නෑ කලින් එනවවත්නම්. පහුගිය ටිකේම අටට කලින් ගෙදර ආව දවසක්වත් මතක් නෑ. ඒ ඇවිල්ලත් පැය ගනන් අම්මා ගාවට වෙලා කුටු කුටු ගගා ඉන්නවා. වෙලාවකට මං ඉන්නවද කියලත් ගානක් නෑ. දැන් කුස්සියේ වැඩත් ඔක්කොම කරන්නෙ අම්මා. මට ඒ පැත්තට යන්න දෙන්නෙත් නෑ.පහුගිය දවසක සරෝජ් මට තේ එකක් හදන්න කිව්වා කියලා අම්මා සරෝජ්ට බැන්නා ඇයි මාව කුස්සියට යැව්වෙ කියලා.මං හරියට පිට තැනක ඉන්නවා වගේ. ඒ මදිවට අම්මගෙ කේලම් අහලා මට බනින්නත් එනවා"

"තාත්තට මං ඔය ටික කලින්ම කිව්වා. කොහෙද තාත්තට මගේ කීමට වඩා බෑණගෙ රස්සාවයි වත් පොහොසත්කමයි ලොකු උනානෙ" අම්මා එකහෙලාම චෝදනාව තාත්තාට බැර කලාය.

"නිකන් බොරුවට කලබල වෙලා තාත්තට කෑ ගහන්න එපා අම්මෙ..තාත්තා හැමදාම බැලුවෙ අක්කටයි මටයි ඉස්තරම්ම දේ ගෙනත් දෙන්න. සරෝජ් අයියට උනත් තාත්තා කැමති උනේ එයා ලඟ අක්කට දුකක් කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියලා හිතපු නිසා" තවමත් විසි දෙවන විය ඉක්මවා නැති නංගීගෙන් එතරම් දැනමුතු කමක් අපේක්ෂා නොකල අම්මා ඇය දෙස රවා බැලීය.

"මේ පොඩි දුව.. දන්නැති දේවල් වලට කට නොදා පැත්තකට වෙලා ඉන්නවා"

"අක්කෙ මේ.. ඔයා බොරුවට කුලප්පු වෙලා ගෙදර දුවගෙන ආවට මටනම් පේන්නෑ ඔයාට ඒ ගෙදර ප්‍රශ්ණයක් තියෙනවා කියලා"

"ඔයාට එහෙම දෙයක් උනොත් ඔයා ඔහොම කතා කරන එකක් නෑ නංගි. පෙරේදා හවස සරෝජ් අම්මට කෝල් කරලා කියලා තිබුනා එයාට එන්න රෑ වෙනව කියලා මට කාලා බීලා නිදාගන්න කියලා. මං නොකා ඉන්න හදනකොට අම්මා එක එක ඒවා කියලා මට කන්නම බල කරා. අන්තිමට සරෝජ් එනකොට මට නින්දත් ගිහින්. මං නැගිටලා බලනකොට අම්මයි පුතයි මොකක්දෝ බර කතාවක්. පහුවදා උදේ තමයි එයා මට කිව්වෙ කලින් දවවෙ ගමේ ගියා කියලයි මාමගෙ දුවට බබා ලැබෙන්න හොස්පිටල් ඇඩ්මිට් කරපු නිසා එන්න රෑ උනා කියලයි"

"ඔයාට නොකියා ගමේ ගිය එකනම් වැරදියි. ඒත් ඔය පොඩි දේවල් ලොකුවට ගනන් ගන්න එපා අක්කෙ. අයියා හවසට ආවම අම්මත් එක්ක කතා කර කර ඉන්නවා ඇත්තෙ අම්මට පාළු නිසා. එයත් දන්නවනෙ ඔයා වැඩිය කතා කරන ළමයෙක් නෙවෙයි කියලා"

"පොඩි දුව… මං දැන් සැරයක් කිව්වා. ඔයා පැහිච්චකම් කතා නොකර පැත්තකට වෙලා ඉන්න. ඔයාට වඩා හොදට මිනිස්සු ගැන අපිට තේරෙනවා"

"එතකොට අම්මා කියන්නෙ අක්කා ඔය පොඩි දේකට හැමදේම දමා ගහලා ආව එක හරි කියලද?"

"ඔයාට තේරෙන්නෙ නැතුවට ඒ මහ අම්මණ්ඩිට ලොකු දුවත් එක්ක ඉරිසියා ඇති. කොහොමත් අඩු වයසින් කණ්වැන්දුම් උන ගෑනු තව කවුරුත් හොදට පවුල් කනවට ඉරිසියයි. අනෙක ඔය දකුණෙ මිනිස්සු මහ අමුතු ජාතියක්. මං තාත්තට ඕක තමයි මුල ඉදලම කිව්වෙ"

"අම්මටයි දුවටයි දෙන්නටම පිස්සු. අම්මා හදන්නෙ තව එක එක විකාර අක්කගෙ ඔළුවට දාන්න"

නංගී ගස්සාගෙනම එතනින් ඉවත්ව ගියේ කේන්තියෙනි. ගෙවුන සති තුන හතර පුරාවට මා විදි මානසික පීඩාව දැන සිටියානම් ඇය කිසිවිටක එසේ හැසිරෙන්නේ නැත. වෙනදා මා තුරුළු කරගෙන ගෙට ඇතුළු වන සරෝජ් දැන් දැන් ඔහු එන පෙරමගට යන මගේ හිස පිරිමැද ගොස් සාලයේ අසුන්ගන්නේ අම්මාගේ සැපදුක් අසාගෙනය. "අද මොනවද කලේ, කම්මැලි හිතුනද?, මොනාද බලපු ෆිල්ම්ස්" වැනි දහසකුත් දේ මගෙන් අසන්නට පුරුදු වි සිටි ඔහුට අම්මාගේ ආගමනයත් සමග ඒ සියල්ල අමතක විය.

සරෝජ්ට විරුද්ධව මා ගොනුකල චෝදනා සියල්ලටම ඔහු වැරදිකරු කරමින් අම්මා හෝ මගේ පැත්තට සිටීම ගැන සිතට දැනුන සැහැල්ලුවෙන්ම මම තද නින්දක් ලැබීමි.අම්මාත් මමත් සමග අමනාපයෙන් මිදුලේ ගල් බංකුවක් මතට වී පොතක් කියවමින් සිටි නංගී පැමිණ මා අවදි නොකරන්නට රැ‍ය පහන් වනතුරුම මට නින්ද යන්නට ඉඩ තිබුනි.ගෙවි ගිය දින කිහිපයේම හරිහැටි නින්දක් නොලැබීමටත් වඩා සිත තුල තෙරපුන සියල්ල අම්මාට හෝ කියාගත හැකි විම මසිත සැහැල්ලු කරවිය.

"නැගිටින්න අක්කෙ..අම්මා තේ බොන්න එන්න කිව්වා. දැන් හයටත් ලගයි... තාත්තත් මඟ එනවා ඇති"

"දැන් තරහා ඉවරද?"

"ඔයා විහින් ඔයාගෙ ජීවිතේ අවුල් කරගන්න හදනවට මං මොකටද තරහා වෙන්නෙ"

"ඔයාට තාම තේරෙන්නෙ නෑ නංගි"

"මට ඔයාලට තරම් දේවල් නොතේරෙන්න පුළුවන්. ඒත් මට කියන්න තියෙන්නෙ අම්මා තාත්තා එක්කවත් තමන්ගෙ මනුස්සයාගෙ වැරදි කියන එක හොද පුරුද්දක් නෙවෙයි කියලා" නීති ප්‍රවේශ විභාගය සදහා සුදානම් වන නංගී සමග කතා කර ජය ගැනීම ඉස්සරටත් වඩා අමාරුය. මුහුණ කට සෝදාගත් මම ඇය පිටුපසින්ම මුළුතැන්ගෙට යනවිට අම්මා දුම් දමන ලැවරියා පිඟානක් සමග තේ කෝප්ප දෙකක් මේසය මත තැබීය.
ලැවරියා දෙකක් කා තේ කෝප්පය අතට ගත් නංගී මා අසලින් අසුන් ගත්තේ "ඔයා ගෙදර ඇවිත් අයියට කතා කලාද?" අසමිනි.
"නෑ"

"අයියා ඔයාට කතා කලාද?"

"නෑ නංගි.. ඒකයි මං කියන්නෙ සරෝජ් වෙනස් වෙලා කියලා. ඉස්සර වැඩට ගිහිල්ලත් පුළුවන් හැම වෙලාවෙම කතා කරනවා. ඒ දවස්වල මමම අහනවා පිස්සුද කියලත්"

"අයියගෙ ෆෝන් එක ඕෆ්. ඒ පාර මම ඔෆිස් එකට ගත්තම කිව්වා දැන් එයා වැඩ කරන්නෙ මෙහෙ නෙවෙයිනෙ ගාල්ලෙනෙ කියලා. මට ගාල්ලෙ නම්බර් එකකුත් දුන්නා. ඒත් මං කතා කරේ නැත්තෙ ඔයාගෙන් අහන්න ඕනි නිසා. ඇත්තටම ඔයා දන්නවද අයියා වැඩ කරන්නෙ වෙන තැනක කියලා. එහෙට ගිහින් දැන් මාසෙකටත් වැඩියි කිව්වා"

විවාහක බිරිඳක් කිසිවිටක සිය සැමියා පිලිබදව වෙනත් කෙනෙකුගෙන් දැනගන්නට බලාපොරොත්තු නොවන ඒ ආරංචියත් සමග මගේ දෑස් කදුලින් පිරී ඉතිරෙන්නට ඒ හැටි වෙලාවක් ගියේ නැත. “සුදු නෝනා” කියමින් ඔහු නිරන්තරයෙන් සුවදුක් සොයා බලන නෑනා සහ ඔහු අතර කුමක් හෝ සබදකමක් ඇත්දැ‍යි මට සැක සිතුනේ දෙතුන් මසකට උඩදී ගාල්ල හපුගල පිහිටි ඔහුගේ ගමට ගිය වතාවේදීය.
පොළිස් නිළධාරියෙකු හා විවාහ වි දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටි ඇය විටෙක ඇගේ සැමියාටත් වඩා වැඩි සැලකිල්ලක් සරෝජ් වෙත දක්වන බව මට දැනුනේ වරක් දෙවරක් නොවේ. පෙරදා රැයේ අප අතර දරුණු හිත් අමනාපකමක් ඇති වන්නට පවා මුල් වුයේ දරු ප්‍රසූතිය සදහා ඇයව රෝහල්ගත කර පමා වි නිවසට පැමිණීම මුල්කරගෙනය.

"අඩලා ප්‍රශ්ණ විසදන්න බෑනෙ අක්කෙ. දැන් තාත්තත් එයිනෙ. අපි කතා කරලා බලමු"

"ඔව් පුතේ.. දැන් නාඩා ඉන්න" අම්මා මා අසලට පැමිණ හිස අතගෑවාය. ඇගේ මේ සෙනෙහස තවත් වසරක් දෙකක් විදින්නට තිබු ඉඩකඩ අහුරමින් මා සොයාගෙන ආවේ සරෝජ්ය.

"ඉස්සරහා පැත්ත හායි ගාලා ඇරලා දාලා මොකද මේ කට්ටියම මේ පැත්තට වෙලා" අතින් කටින් උස්සාගෙන තාත්තා කුස්සියට එනතෙක්ම අපට නොදැනුනි. අම්මාත් නංගීත් දෙපසින් සිට මා සනසවනු දකින විට තාත්තාට සියල්ල අවබෝධ වන්නට ඇත. ඔහු කිසිවක් අසන්නට පෙරම අම්මා තේ කෝප්පයක සාදා ඔහු අත තැබීය.
"තේ එක බොන්න කලින් කියනවද දැන් මෙතන මොකක්ද උනේ කියලා"

"මහ ලොකු දෙයක් නෑ තාත්තා. තාත්තා තේ එක බීලා ඇගපත සෝදගෙන එන්නකො" අම්මාත් මමත් කතා කරගත නොහැකිව සිටියදී නංගී කීවාය.

"ලොකු දෙයක් නැත්නම් අක්කා මොකටද අඩන්නෙ?. සරෝජ් පුතාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ"

"අයියා ගමේ ගිහින්. එයා ඩ්‍රයිව් කරනකොට ෆෝන් එක ඕෆ් කරනවලු"

"මට ලොකු දුව ගෙදර එක්ක එන්න කියලා එයා මොකටද ගමේ ගිහින් තියෙන්නෙ"

"දන්නෙ නෑ තාත්තෙ..ඕක කියලා තමයි දැන් අක්කා අඩන්න ගත්තෙත්"

"අක්කව කාමරේට එක්ක යන්න" තාත්තාගේ අණට පිටින් යාම වෙනත් මොහොතක නම් නංගීට ඒ හැටි දෙයක් නොවුවත් ඒ මොහොතේ ඇය හැසිරුනේ ඉතාමත් කීකරු දියණියක පරිදිය. තාත්තාත් අම්මාත් අතර වන සංවාදය අසා ගැනීම අවැසි වුවත් කවදත් අම්මාට තාත්තාට කීකරු ලොකු දුව වු මට එතැන රැදීමට කොහොමත් ශක්තියක් නොතිබුනි.

මා අස්වසන්නට නොයෙක් දේ කියමින් සිටි නංගී මාත් සමගම යලිත් කාමරයෙන් පිටතට ආවේ රාත්‍රි ආහාරය සදහා අම්මා කතා කල පසුය. අප දෙදෙනා මුළුතැන්ගෙට එනතෙක් මෙන් බත් පිඟාන අත තබාගෙන කල්පනාවක උන් තාත්තා එක්වරක් මා දෙස බලා කන්නට පටන් ගත්තේ කතා බහකින් තොරවය. කෑමට පිරියක් නොවුවත් අම්මාගේ පැය ගනනක වෙහෙසට සාධාරණයක් ඉටුකල යුතු නිසා ඇය බෙදා දුන් බත්පත මම අතට ගත්තෙමි.

"පොඩි දුවට හෙට පන්ති නොයා අක්කත් එක්ක ගෙදරට වෙලා ඉන්න පුළුවන්නෙ"ප්‍රශ්ණයත් උත්තරයත් එකට තබා නංගීගෙන් අසමින්ම අත සෝදාගත් තාත්තා කුස්සියෙන් පිටතට ගියේ නංගීත් මමත් මුහුණින් මුහුණ බලා සිටියදීය.

"තාත්තටයි මටයි පොඩි ගමනක් යන්න තියෙනවා" අම්මා අපේ මුහුණු වල වු පැණයට පිළිතුරු බැන්දේ අතුරු ප්‍රශ්ණ කිසිවක් අසන්නට ඉඩ නොතබමින් වුවද නංගී එය ගනනකට ගත්තේ නැත.

"අම්මලා යන්නෙ සරෝජ් අයියව හම්බවෙන්නද?" නංගී දෙස නොරිස්සුමෙන් බැලු අම්මා "ඔයාට තාත්තා කිව්වෙ අක්කත් එක්ක ගෙදරට වෙලා ඉන්න කියලා නේද?" යි ඇසු සැනින් ඇය ඉඳුල් පිඟානවත් නොසෝදා ගස්සාගෙනම එතනින පිටවිය. හිත තුල වු පීඩනය බෙදාගන්නට ගොස් ගෙදර සියල්ලන්ගේම සතුට විනාශ කරන්නට විම ගැන සමාව ඉල්ලන්නට මම අම්මා දෙස බැලුවත් ඇය එය ගනනකට ගත්තේ නැත.නිහඩවම පිඟන් කෝප්ප සියල්ල සෝදා කුස්සියද අතුගා දැමු ඇය මා අසලින් අසුන් ගත්තේ දිගු කතාවකට මුල පුරන්නට සූදානමින් වුවත් මිඳුලේ නතර කල ත්‍රීරෝද රියක හඩ ඊට බාධා කලේය.

"මේ වෙලාවෙ කවුද?..අනුරුද්ධ පුතාවත්ද?"

අම්මාගේ හඩ මගේ දෙසවන දෝංකාර දුන්නාය. අනුරුද්ධ රත්නායක අපේ ගෙදරට ගෙවල් තුනක් එහායින් පදින්චිව සිටි නංගීටත් මටත් කුඩා කාලයේ සිටම සිටි හොදම මිතුරා මෙන්ම එකම සහෝදරයාද විය. දුර නෑදෑකමක් තිබුනද අප අතර මෙන්ම අපේ දෙමව්පියන් අතරද තිබුනේ දැඩි හිතවත්කමකි. පාසල තුලදීත් ඉන් පිටතදීත් සොහොයුරෙකු මෙන් නංගිගෙත් මගේත් ආරක්ෂාව ගැන කැපවීමකින් සොයා බැලු ඔහු වසර ගනනාවක පටන් මට ආදරය කරන බව මා දැන ගත්තේ විවාහයට දින නියම වුවාටත් පසුය. සහෝදරයෙකුට මිතුරෙකුට එහා තැනක් මගේ හිතේ ඔහු වෙනුවෙන් නොමැති බව දැන පරාජිත මුහුණින් මගෙන් සමුගත් ඔහු මට ඉන්පසු මුණ නොගැසුනි. හිතාමතාම අපේ විවාහ මංගලෝත්සවය පවා මග හැරිය ඔහුට මේ මොහොතේ මුහුණ දෙන්නේ කෙසේදැයි සිතා ගැනීමත් දුෂ්කර විය.

"මේ මොකද මේ මහ රෑ අතින් කටින් උස්සගෙන.. පාර වැරදිලාද?..නැත්නම් ගෙදර දොර වහලද?" නංගීගේ උද්යෝගිමත් කටහඩ පැමිණ තිබුනේ අනුරුද්ධම බව සනාථ කලාය.

"මගෙ කටකාර දඟකාර නෑනව පොඩ්ඩක් බලලා යන්න හිතුනා" අනුරුද්ධව දකින්නට සුදානමින් සිටි මොහොතක අනපේක්ෂිත ලෙස ඇසුන සරෝජ්ගේ හඩට මටත් වඩා කලබල වුයේ අම්මාය.

"සරෝජ් පුතා නේද" යි අම්මා මගෙන් ඇසුවේත් "ඔයාට ඉතින් නෑනව මතක් වෙන්නෙත් නෝනා ගෙදර ආවම විතරයි නේද" යි නංගී සරෝජ්ගෙන් ඇසුවේත් එකටමය.
වරක් මා දෙස දුකෙන් මෙන් බැලු අම්මා උන් තැනින් නැගිට්ටේ සාලයට යාමට වුවත් ඊට පෙර සරෝජ් නංගී පිටුපසින් කුස්සියට ආවේ වෙනදා මෙන්ම සිනහමුසු මුහුණිනි.

"ඇයි පුතා කුස්සියට ආවෙ"

"කුස්සියත් ගෙදරම කෑල්ලක්නෙ අම්මා" කියා මා දෙස බලා සිනාසුන ඔහු අම්මාට දණ බිම තබා වැන්දේය. ගෙදරින් පිටතට යනවිට අම්මාට තාත්තාට වදින පුරුද්දක් තිබුනද මෙසේ නිවසට පැමිණි වහා වදින පුරුද්දක් නොතිබුනෙන් මා මෙන්ම නංගීද ඒ දෙස බැලුවේ පුදුමෙනි. අම්මාගේ සිතේද මෙතෙක් ඔහු කෙරෙහි තිබු අමනාපය ඒ ක්‍රියාවත් සමග සේදි ගිය වග ඇගේ දෙනෙතට ඉනු කදුළු මනාවට කියා පෑවාය.

"අද පාළු නැතුව හිටියද?" අසමින්ම මා ලගට විත් හිස අතගෑ ඔහු මා අසුන්ගෙන සිටි කුඩා බංකුවේ කොණකින් අසුන්ගත්තේ මගේ ඇගටම තද වෙමිනි.

"අපෙ අක්කව වට්ටවන්නෙ නැතුව මෙන්න මේ පුටුවෙන් වාඩි වෙන්න"
නංගී කෑම මේසයෙන් පුටුවක් ගෙනවිත් මා අසලින් තැබුයේ සිනහසෙමිනි.

"පිස්සුද මං ළග ඉද්දි එහෙමත් වැටෙන්න දෙනවද?" නංගීට දෙවෙනි වන්නට නොසිතු සරෝජ් තව ටිකක් ළං වි ඉඟවටා අත දමා මා අල්ලාගත්තේය.

"නිකා ඉන්න අර අම්මත් ඉන්නවා" ඔහුට පමණක් ඇසෙන සේ මට සිහින් තරවටුවක් කරගත හැකි විය. කට කොණකට නැගුන සිනහව මැඩගෙන මගෙන් තරමක් ඈත් වු ඔහු අම්මා දෙස බැලුවේ "තාත්තා තාම ආවෙ නැද්ද අම්මා" අසමිනි.

අම්මා එක්වරම තරමක් කලබල වුවත් "ටිකක් හිසරදේ වගේ කියලා තාත්තා අද කලින්ම ඇවිත් කාලා බීලා ඇදට ගියා...මං හිතන්නෙ දැන් නින්ද ගිහිල්ලා වෙන්නැති" කියා ක්ෂණික පිළිතුරක්ද ගලපා ගත්තාය.

"අයියා කාලද" නංගී මාතෘකාව ඉක්මනින්ම වෙනස් කලාය

"උදේටයි දවාලටයි දෙකටම හරියන්න දෙකට විතර බත් ටිකක් කෑවා"

"එහෙනම් පුතාට බඩගිනි ඇති. මං කෑම ටික රත් කරනකල් පොඩි දුව ඔයා ගිහින් මේසෙ පොඩ්ඩක් අස් කරලා පිඟන් එහෙම අරන් එන්න"

"අම්මලා කාලද ඉන්නෙ"

"පුතා එනකොට අපි කාලා ඉවර උනා විතරයි"

"එහෙනම මට ඔය තියෙන දෙයක් පිඟානකට බෙදලා දෙන්න අම්මා"

"එහෙම පුළුවන්ද පුතා"

"එහෙම බැරි වෙන්න මං පිට මනුස්සයෙක්ද අම්මා... අම්මට බැරිනම් ඔයාවත් මට ඔය තියෙන දෙයක් බෙදලා දෙන්නකො මධු"

"මං පුතාට කෑම ටික බෙදලා දෙන්නම්. ලොකු දුව ඔයා ගිහින් තව රෑ වෙන්න කලින් ඇග හෝදාගන්න"
යන්නට එපා යැයි බැල්මක් සරෝජ්ගේ මුව තුල පොපියමින් තිබුනද මට අම්මාගේ අණට පිටින් යෑම දුෂ්කර විය. ඇතැම්විට අම්මාට සරෝජ් තනිකර ගැනීමේ උවමනාවක්ද තිබෙන්නට ඇත. සෙමින් නැගිටගත් මම සරෝජ්ගේ බැල්ම නොදුටු පරිදි එතනින් ඉවත් වුවත් මා පසුපසින්ම කාමරයට පැමිණි නංගී මට නෝක්කාඩු කියන්නට පටන් ගත්තාය.

"ඔයාට තිබුනෙ අයියා කාලා ඉවරවෙනකල් ඉන්නනෙ"

"අම්මා යන්න කියත්දි ඉන්නෙ කොහොමද?"

"අනේ මන්දා අක්කෙ ඔයානම් කවදා හැදෙයිද කියලා. අපෙ අම්මටත් පිස්සුනෙ. ඒකම තමයි තාත්තා නිතර නිතර අම්මට ඔයාව බලන්න යන්න දෙන්නෙ නැත්තෙත්"

ඇය කියන කිසිවක් නෑසුනා සේ නාන කාමරයට ගොස් දොර වසාගත් මා යලි පිටතට එනවිට ඇය පෙනෙන්නට නොසිටියාය. සරෝජ් තවමත් කුස්සියට වි අම්මා සමග ලොකු සාකච්ජාවකය. ඒ දෙසට යන්නට නොහැකි කුමක්දෝ චකිතයක් සිත යට තිබුනද තවදුරටත් සරෝජ්ව අමනාප කරගැනීමට තිබු අකමැත්ත නිසාදෝ මගේ දෙපා ඒ දෙසට ඇදුනි.මා දුටුවනම සරෝජ්ගේ මුහුණේ මා ප්‍රිය කරන සිනා රැල්ල ඇදී මැකී ගියේය.

"ලොකු දු මෙතනින් වාඩි වෙන්න" අම්මා ලී බංකුවෙන් නැගිට ලිප අසලින් සිට ගත්තාය. බංකුව අසලම පුටුවක අසුන්ගෙන උන් සරෝජ් යලිත් වරක් පැමිණ මා ලගින් අසුන් ගත්දී නංගීට සිනහ නැගුනි.

"ඇයි ත්‍රීවිල් එකක ආවෙ"
"පයින් එන්න කම්මැලි හිතුනා" මම සෙමින් ඇසුව මුත් සරෝජ් පිළිතුරු දුන්නේ පසෙක සිටි නංගිටත් ඇසෙන්නටය.

"මං ඇහුවෙ කාර් එකට මොකද උනේ කියලා"

"කාර් එකට මොකද උනේ කියලා දැනගන්න ඕනිනම් ඒක කෙලින් අහන්න එපැයි" කියා මහ හඩින් සිනාසුන සරෝජ් "ඒකෙ පොඩි ලෙඩක්. මං එන ගමන් හදන්න දාගෙන ආවෙ හෙට ගන්න පුළුවන් වෙයි" කීවේය

"අයියා දැන් අක්කව එක්කරගෙන යන්නෙ නෑනෙ"
"කොහෙද අක්කව මේ මහ රෑ එක්ක යන්න ඕනි...හොස්පිටල්ද?..ඒකට තව මාස හය හතක්ම තියෙනවනෙ"

"පිස්සුද මන්දා.. මං අහන්නෙ ගෙදර"

"ඇයි අපි මේ ගෙදරක නෙවෙයිද ඉන්නෙ"

"මං අහන්නෙ ඔයාලගෙ කොට්ටාවෙ ගෙදර"

"ඔයාට මේ රෑ එහෙ යන්න ඕනිද ඔධු" සරෝජ් අමුතුම ස්වරයකින් අසනවිට සිනහ නැගෙන්නට ගියද මට එය පාලනය කරගෙන ඔළුව වනාගත හැකි විය.

"දැක්කනෙ අක්කට එහෙ යන්න බෑ කියනවා"

"එයාට යන්න ඕනි කිව්වත් යන්න දෙන්නෙත් නෑ. අපි දවසක් දෙකක් තියාගෙන අනිද්දා හවස ගෙනත් ඇරලන්නම්"

"අනිද්දා නෙවෙයි මං මේ ආවෙ ටික දවසක් යනකල් දිගටම අක්කව මෙහෙ තියාගන්න කියන්න"

"ඇයි ඔයා දැන් වැඩ කරන්නෙ ගාල්ලෙ හන්දද?" මට අහන්නට අවැසි වු දේ නංගීම ඇසීය.
"කේලමී...කේලම් කියලා අක්කව ඇඩෙව්වට මං තමුන්ව අල්ලාගන්නම් පස්සෙ වෙලාවක"

"වැරදි වැඩ කරන්න හොදයි...අපි කියනකොට තමයි වැරදි" අම්මා වරක් දෙවරක් රවා බැලුවද නංගී පසුබසින්නට සුදානමක් නොවීය.

"ඒක ගැන නොකියපු එක වැරුද්දක් කියලා මං දන්නවා නංගි.ඒත් මං එහෙම කරේ අක්කගෙම හොදට. නැත්නම් මං ගිහින් එනකල්ම කල්පනා කර කර ඉදියි"

"කල්පනා කරන්න දෙයක් නෑනෙ ඔයා අක්කවත් එක්කරගෙන ගාල්ලෙ ඔයාලගෙ ගෙදර ගියානම්....බොරුවට කුලී ගෙව ගෙවා මෙහෙට වෙලා ඉන්නවා මදිවට පෙට්‍රල් පුච්චගෙන උදේ හවස කොළඹ ඉදන් ගාලු යනවා... ඇත්තටම ඔයාට පිස්සුද අයියෙ"

"අපේ බ්‍රාන්ච් එකක් ගාල්ලෙ දාන්න ලෑස්ති කරේ අවුරුදු දෙකකට විතර කලින්. මං ඒ කාලෙම කියලා තිබුනෙ මට එහෙට යන්න ඕනි කියලා. ඒත් ඇත්තටම නම් ගිය මාසෙ අළුත් බ්‍රාන්ච් එක ඕපන් කරනකොට මං හිටියෙ කීයටවත් එහෙට යන්න බැරි තත්වෙක. ඒත් කරන්න දෙයක් නැති කමට මට එහෙ යන්න උනාට මොකද මං තව සති දෙක තුනකින් ආපහු මෙහාට එන්නයි හිතාගෙන ඉන්නෙ. ඇත්තටම මම හිතාගෙන් හිටියෙ ඒ ඇවිල්ලම අක්කට විස්තරේ කියන්න"

සරෝජ්ගේ වචන විශ්වාස කරන බවක් නංගිගේ මුහුණේ නොවුවද ඇය තවත් යමක් අසන්නට පෙර ඔහුගේ දුරකතනය නාද විය. ඇමතුම ලැබුනේ අම්මාගෙන් වුවත් සරෝජ් මා උන් තැනින් නැගිට ගොස් කතා කිරීම මගේ සිතේ යටපත් වෙමින් තිබු සැකය යලිත් මතු කලාය. රෝහල් ගතව ඇති නෑනාගේ විස්තර අසා අම්මාට බෙහෙත් බී නිදාගන්නට කියමින් යලිත් මා අසලට ආ ඔහු ඇමතුම විසන්දි කලේ මහ හඩින් සිනාසී
"මං එනකොටත් මධු කුස්සියේ හිටියෙ...මට පේන විදිහට අම්මගෙ පුතාට වඩා මගේ පුතා හොදයි වගේ" කියමිනි.

"මොකටද ඒ හිනා උනේ" මගේ පැණයට පිළිතුරක් දීමට පෙර යලිත් වරක් සිනාසුන ඔහු "අපෙ අම්මටත් මාර ලෙඩ තියෙන්නෙ" කීවේය

"ඇයි"

"අම්මට මං හම්බෙන්න ඉන්න කාලෙ කුස්සිය පැත්තට යන්න බැරිලු ගඳයිලු. අවුරුදු තිස් පහක් විතර ගිහිල්ලත් අම්මට තාම මතකයිලු ඒ කාලෙ දැනුන ගඳ. ඔයා ප්‍රෙග්නන්ට් කියපු ගමන් ඔය තකහනියෙ දුවගෙන ඇවිත් අපේ ගෙදර නතර වෙලා තියෙන්නෙ ඒකයි. ඔයාට එහෙම අමාරුවක් නෑ කියලා මං කොච්චර කිව්වත් අහන්නෙ නෑ... මට බනිනවා උඹලට ඕවයෙ ගානක් තියෙන්න උඹලා දරුවො හදලා තියෙනවද කියලා"

අම්මාගේ මුහුණේ බොහෝ සුන්දර සිනහවක් ඇදෙද්දී මම සිතින් මටම දොස් පවරා ගත්තේ සරෝජ්ගේ අම්මා ගැන මගේම අම්මා හා නංගී සමග වුව වැරැද්දක් කියන්නට සිදුවිම ගැනය.

"අපි ගෙදර යමු සරෝජ්... අම්මා තනියමනෙ" මගේ හඩ තරමක් බිදුනෙන් සරෝජ් හැරී බැලුවේය.

"මං දවල් ගමේ මල්ලි කෙනෙක් අතේ කාර් එක එවලා අම්මව ගෙදර ඇරියා”

"මං හෙට යන්නනෙ ආවෙ"

"ඔයා මෙහෙ හිටියට කමක් නෑ මධු.. අම්මා කොහොමත් ගෙදර යන්න හිටියෙ සුදු නෝනට බබා ලැබුනම...තාත්තගෙ අවුරුදු තිහේ දානෙත් ලගයිනෙ"

"ඔයාලට ඉතින් සුදු නෝනා කිව්වොත් ඊට එහා දෙයක් නෑනෙ" සිත තුල පැසවමින් තිබු යමක් එලියට ආ බව මටම තේරුනේ ඒ කතා කරේ මමදැයි සිතාගත නොහැකිව මෙන් අම්මාත් නංගීත් මා දෙස බලන විටය.

"මං ඔයාට ඊයෙත් කිව්වනෙ මධු... තාත්තා නැති උනාට පස්සෙ අපි දිහා බැලුවනම් බැලුවෙ පොඩි මාමයි සුදු නෝනයි විතරයි කියලා. අම්මා වැටිලා කකුල කැඩෙනකොට මං කැම්පස්. සුදු නෝනා අටේ. මට කරන්න බැරි හැමදේම අම්මා වෙනුවෙන් කලේ ඒ පුන්චි කෙල්ල. ඊට පස්සෙ උනත් මං සතියකට සැරයක් ගමේ ගියාට අම්මා ගැන බැලුවෙ ඒ කෙල්ල. පහුගිය කාලෙ උනත් අම්මා කොළඹ එන්න බෑ කිවවම මම හිතේ බයක නැතුව අම්මව තනියම එහෙ තියන්නෙ සුදු නෝනා ඉන්න නිසා. නෑදෑකමට නෑනා උනාට මට ඒ කෙල්ල මගේම නංගියෙක් ගානයි"

"දැන් ඔය කතාව ඔතනින් නවත්තලා පුතා මෙහෙ ඉන්නවනම් ඇග පත හෝදාගන්න ලෑස්ති කරන්න ලොකු දුව"

"නෑ අම්මා... මට මෙයාගෙ හිතේ තියෙන සැකේ මෙතනින්ම ඉවර කරන්න ඕනි...ඒක නිසා මධුට කැමති දෙයක් කියන්න අරින්න"

"අයියා අද මෙහෙ ඉන්නවද"

"අද විතරක් නෙවෙයි නංගි අක්කා මෙහෙ ඉන්න තාක් මාත් ඉන්නෙ මෙහෙ තමයි"

"මෙහෙ ඉදලා උදේ හවස ගාලු යන්න... ඔයාට පිස්සුද?..ඊට වඩ හොදයිනෙ මාව එහෙ ගෙදර එක්ක යන එක. එතකොට අම්මට තනිත් නෑ. ඔයාටත් ගෙදර ඉන්නත් පුළුවන් මේ හැටි දුර එන්න යන්නත් නෑනෙ"

"ඒක කරන්න පුළුවන්කමක් තිබුනානම් මම මෙච්චර වොරි වෙන්නෑ මධු...අම්මත් එක්ක ගමේ ඉන්න තිබුන ආසාවටම තමයි මම එහෙ ඉල්ලුවෙත්...ඒත් ඒ මං මැරි කරන්න අදහසක්වත් තිබුනෙ නැති කාලෙනෙ...ගෙදර ඉන්න පුළුවන්නම් මං දැන් ඊටත් වඩා ආසයි. කොළඹ හිරවෙලා ඉන්නවට වඩා දරුවෙකුට උනත් දුව පැනලා නටන්න ඉඩ තියෙනෙවනෙ"

"ඇයි ඒක කරන්න බෑ කියන්නෙ"

"ඔයාව බදින්න කලින් මං කෙනෙකුට පොරොන්දුවක් වෙලා තියෙනවා කවදාවත් ඔයාව ගමේ පදිංචියට එක්ක යන්නෙ නෑ කියලා"

අතට අසුවන ඕනෑම දේකින සරෝජ්ට දමා ගැසිය හැකි කේන්තියකින් සිටියද මම එතනින් නැගිට්ටේ ඔහුගේ මුහුණවත් නොබලමිනි. ඔහු මගේම අම්මා නංගී ඉදිරීයේ වුව මේ අපහාස කරන්නේ මා කුළුදුලේ පිදු ආදරයටය.

"කොහෙද දුවන්න හදන්නෙ" ඔහුගේ යදඩුවන් අතකට මගේ සුරත සිර විය

"මට යන්න දෙන්න. මට නිදිමතයි"

"නිදිමතනම් මෙතනම නිදාගන්න. මං පස්සෙ උස්සලා ඇදෙන් ගිහින් තියන්නම්" මගේ කේන්තිය තඹේකට මායින් නොකල ඔහු මා යලි ඔහු අසලින්ම හිදුවා ගත්තේය.

"හිතේ තියෙන දෙයක් කියන්නෙත් නෑ... මං කියන දෙයක් කියල ඉවරවෙනකල් අහගෙන ඉන්නෙත් නෑ"

"හරි මං අහගෙන ඉන්නම්...ඔයාට කියන්න පුලුවන්නම් කාටද ඔය පොරොන්දුව දුන්නෙ කියලා...කාටද පරණ ගර්ල් ෆෙන්ඩ් කෙනෙකුටද?" මගේ හඩේ වු උපහාසයට හෝ එය ඔහු ගනන් නොගත් බව පෙන්වන්නටදෝ සරෝජ් එවරත් මහ හඩින් සිනාසුනේය.

"ඉතින් කියන්න" ඉවසීමේ සීමාව ඉක්මවා යද්දී මට ඉබේටම මෙන් සරෝජ්ගේ භාහුව තදින් ඇල්ලුනි.

"ඔච්චර කේන්ති ගන්න දෙයක් නෑ මධු...මං ඔයාව කවදාවත් ගමට එක්ක යන්නෙ නෑ කියලා පොරොන්දු උනේ පිට කෙනෙකුට නෙවෙයි ඔයාගෙම තාත්තට...තාත්තා මට ඔයාව දෙන්න කලින් ඉල්ලුව එකම දේ ඒක…ඉතින් ඔයා වගේම මට ඒ පොරොන්දුවත් රකින්න ඕනි උනා කෙල්ලෙ"

හීනෙකින් මෙන් ඇසුන සරෝජ්ගේ හඩත් සමග ඔහුගේ උරහිසට වාරුවන්නට සැරසෙනවිට කුස්සියේ දොරෙන් එබුන තාත්තාගේ සිනහපිරි මුහුණ මා දුටුවේ බොද වු සිතුවමක් ලෙසිනි.

නිමි..

6 comments:

  1. "පොරොන්දුවත්"කියවලා දැම්මා. "මධු" ගේ සැකේට "සරෝජ්" උත්තර දීපු ලස්සන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්... සඳ වියමනට ගොඩ උනාට....
      " ඒකනෙ බලන්නකො දුන්න උත්තරේක හැටි"...

      Delete
  2. Replies
    1. ස්තූතියි! අටම්. මේක ඒ හැටි සාර්ථක කෙටි කතාවක් නෙවෙයි. ඒත් මේක තමයි මුලින්ම ලිව්ව කතාව. දැන් බලනකොට තේරෙනවා මේකත් පොඩි නවකතාවක් වෙන්න කිට්ටු වෙලා කියලා

      Delete