Wednesday, February 4, 2015

ඉල්ලීම (කෙටි කතාව)

"සර්.." බැල්කනියේ බීරළු වැටට බරදී  කල්පනාවක උන් මම හිස හැරෙව්වේ තරින්දිගේ හඩටය. ප්රශ්ණ පත්තරයක් අත තබාගෙන මා දෙස බලා උන් ඇය එකවරම නැගුන සිනහව මගෙන් සගවන්නට මෙන් රවින්දී දෙසට හැරුනි. අඩියට දෙකට මම මේසය අසලට යනවිට තරින්දිගේ සිනහව රවින්දිටද බෝ වී තිබුනි.
"මොකද අක්කයි නංගියි හොරෙන් හොරෙන් හිනා වෙන්නෙ"
"මේ ගාන ආපහු කියලා දෙන්නකො සර්" සිනහව මැඩගත් තරින්දී අත වු ප්රශ්ණ පත්තරයේ තැනකට ඇඟිල්ල තැබීය.
"හිනා උනේ ඒකට වෙන්න බෑ" මම බැරෑරුම් හඩක් මවාගන්නට තැත් කලද එය එතරම් සාර්ථක වුයේ නැත. "සර් අද අමුතුයි" තරින්දිගේ වදනින් කලබල වු මට මුලින්ම බැලුනේ  වසර ගනනාවකට පසු මගේ කැමැත්තට අනුව ගලපාගෙන ඇදගත් කලිසමත් කමීසයත් දෙසය. එහි කුමක්දෝ නොගැලපීමක් ඇති බව උදෑසන කැඩපතට එබෙත්දී දැනුනද දැන්නම් එහි අමුත්තක් සොයාගත නොහැක..

කිසිදාක ඇදුම් පැළදුම් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වු මට පිලිවෙලකට අදින්නට පළදින්නට පුරුදු කලේ මනෝරිය. විවාහයට පෙර මගේ අපිලිවෙල ගැන කතා නොකල ඇය විවාහයෙන් පසුවද ගැන යමක් කිව්වේ ඉදහිටකය.  සෝදා මදින ලද ඇදුමක් මා වෙනුවෙන් තෝරා තැබීම මට පිලිවෙල අපිලිවෙල ගැන ඉගැන්වීමට වඩා පහසු බව කාලයත් සමග ඇය වටහාගෙන තිබුනි. අද උදෑසන කාර්ය හිතාමතාම අමතක කලාද නැතහොත් සිතේ වු දෙගිඩියාව සහ කලබලය නිසා වෙනදාට වඩා වේලාසනින් මා සුදානම් වීමෙන් ඇයට එය මගහැරුනාදැයි දන්නේ ඇයම පමණි.
"ඇයි සර්...සර්ට සනීප නැද්ද" සිතුවිලි සමග මා ඈතක උන් බව යලිත් වරක් මතක් කර දුන්නේ තරින්දිය.
"...නෑ...මොකක්ද දැන් කියලා දෙන්න කිව්වෙ..මේකද" හිස් කඩාදාසියක් අතට ගත් මම සියල්ල අමතක කර ඉගැන්වීමට සුදානම් වුවත් ඔවුන් දෙදනාම ඊට සවන් දෙන බවක් පෙනෙන්නට නොතිබුනි.
"ඇයි දැන් මේක අහගන්න ඕනි නැද්ද"
"එක්කෝ සර්ට අද සනීප නෑ...නැත්නම් මොකක් හරි ප්රශ්ණයක්" රවින්දී හිස ඇල කොට මා දෙස බලා එය ප්‍රත්‍යක්ෂ කරගන්නට මෙන් සිය නිවුන් සොයුරිය දෙසට හැරුනාය 
"ඇයි සර්...ගෙදර කවුරුහරි ලෙඩ වෙලාද?...අද උදේ මල්ලිලා ස්කූල් වෑන් එකේ හිටියෙත් නෑ"
තරින්දී එතෙක් මා නොදැන සිටි යමක්ද එකතු කලේ උදෑසන සිට සිත පෙලූ පීඩාකාරී හැඟීම තවත් තීව් කරමිනි.
"සර් අද ආව වෙලාවෙ ඉදලා අමුතුයි...සර්ට ගෙදර මොකක් හරි කරදරයක්නම් අපි අද ක්ලාස් එක නතර කරමු" රවින්දිගේ වදන් පංතිය අතර මග නතර කරන්නේ කෙලෙසදැයි සිතමින් සිටි මට ඒ සදහා හොද දිරියක් සැපයීය.
"ගෙදර කරදරයක් නෙවෙයි...අද මගෙ ඇගට ටිකක් හරි නෑ. ඉස්කෝලෙ හිටියෙත් අමාරුවෙන්”
"ඉතින් සර්ට අසනීප නම් කෝල් එකක් දීලා නෑවිත් ඉන්න තිබුනනෙ"
"එහෙම කරනවා ඔයාලගෙ විභාගෙ හෙට අනිද්දා නොතිබුනානම්"
"ඒකට කමක් නෑ සර්..අපි මේ පේපර් එකට උත්තර ලියලා සර්ට එවන්නම්" රවින්දී යලිත් වරක් මට තීරණයක් ගැනීමට පහසු කලාය.
"එහෙනම් ලබන සතියෙ මං පැය බාගයක් කලින් එනවා...ඔය දෙන්නට වෙලාවට ක්ලාස් එකක් නෑනෙ"
"නෑ සර්...එතකොට සර්ගෙ නයිට් ක්ලාස් එක"
"ඒකත් කැන්සල් කරනවා"

රාත්‍රී පංතියද අවලංගු කර නිවසට යන අතර වාරයේ හිතට වද දුන් දහසකුත් එකක් සිතිවිලි වලට තිත තබමින් යතුරු පැදියේ හඩට එලියට දුව ආ පුතුන් තිදෙනා මා වට කරගත්තේ සතුටින් කෑ ගසමිනි. මේ සතුට මට ලැබෙන්නේ කලාතුරකිනි. බොහෝ දිනවල පාසැල නිමවී අමතර පංති දෙක තුනක් අවසන් කර නිවසට එන මට දරුවන්ගේ   සුරතල් වදන් අසන්නට ලැබෙන්නේ පසුදා උදෑසනය. වෛද්‍යවරයෙකු වීමේ සිහිනය දෙවරක්ම බොද වු පසු විද්‍යාවේදී උපාධිය සමත්ව පරිපාලන සේවයට එක්වීමේ සිහිනයක ජීවත් වු මා ගුරුවරයෙකු වුයේ අහම්බෙනි. තාත්තාගේ ඉල්ලීමකට අනුව ඔහුගේ හිතවතෙකුගේ පුතෙකුට රසායන විද්‍යාව ඉගැන්වීම මට බාර වුයේ සරසවියේ දෙවන වසර අවසානයේදීය. මගේ මුල්ම ගෝලයා වු දුලාර මහානාම වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුයේ මගේ ජීවන වෘත්තිය මෙන්ම ජිවන සහකාරියද  මුණ ගස්වා ගුරු ගෝල බැදීම ඉක්මවා ගිය නෑදෑ සබwදතාවක්ද අප අතර ගොඩ නංවාගෙනය. 

"තාත්තා අද කලින්" මගේ කාර්යබහුලත්වය ගැන මැසිවිලි නගන මනෝරි  තේරුම් කරන්නට දගලන සත්‍ය මටම අවබෝධ වුයේ මා වටකරගත් දරුවන්ගේ දෑස් වල  උතුරන සතුට දුටු පසුය.
"තාත්තා ආපහු ක්ලාස් එකකට යනවද" දරු තිදෙනාම එක පොදියට තුරුළු කරගෙන ගෙට ඇතුළු වත්ම හත් හැවිරිදි පොඩි පුතු මහිම් විමසීය.
"නෑ පුතේ...අද තාත්තා ඔයාලත් එක්ක ගෙදර ඉන්නවා"
"යේ යේ" කියා කෑ ගසමින් තිදෙනාම මා වටකර ගත්තද බිරිද පෙනෙන්නට නොසිටීම සිත පෙළු එකම පැණය විය.
"අම්මා කෝ" සිඟිති පුත් දිළුම්ව උකුල මතට  ගෙන අනෙක් දෙදෙනා දෙපසින් තබාගෙන යුගල පුටුවකට බරදෙන අතර තුර මම ලොකු පුතා දෙස හැරී බැලුවේ පිළිතුරක් අපේක්ෂාවෙනි.
"මං පොඩි වැඩක් කර කර හිටියෙ" පුතාගෙන් පිළිතුර ලැබෙන්නට පෙර අත් දෙක පිස දමමින් සාලයට මනෝරි පුටු ඇන්ද මතින් වාඩි වුයේ සිනාසීගෙනය.

පෙරදා රාත්රියේ ඇති වු  ගැටුම ගැන මතකයක්වත් තුල නැති බව සිනහවෙන් වටහාගත හැකි වුවද දවස පුරා සිතට වද දුන් අමිහිරි සිදුවීම යලිත් වරක් මගේ සිත පාරන්නට වුයේන් මම දෙස නොබලන්නට පරිස්සම් වීමි.
" ඇයි.. ඔයාට සනීප නැද්ද"  නළලටත් ගෙළටත් දැනුන ඇගේ අතැඟිලි වල උණුසුම ක්ෂණයකින් ගත සිත වෙලා සිටි සියළු දුක්ක දෝමනස්සයන් පලවා හැරියේය. 
"අසනීපයක් නෙවෙයි....මට අද කලින් ගෙදර එන්න හිතුනා"
"එතකොට ක්ලාස්"
"රවින්දිලාගෙ එක කලින් නතර කරා...රෑ ක්ලාස් එක වෙන දවසට දාගත්තා"
"එහෙම කරාම ළමයින්ගෙ අම්මලා මොකුත් කියන්නෙ නැද්ද"
"මොකුත් කියන්න මං මීට කලින් එහෙම කරලා නෑනෙ. මේ පළවෙනි සහ අන්තිම වතාව" සරදම් සිනහවක් සමග ඇය උන් තැනින් නැගිට්ටේ මුළුතැන්ගෙට යාමට බව අත්දැකීමෙන් දැන සිටි මමද අනුව නැගිටින්නට සුදානම් වුවත් ඈ එය වැලැක්වීය.
"ඔයා මේ තුන්දෙනත් එක්ක ඉන්නකො..මං ඉක්මන්ට තේ ටිකක් හදාගෙන එන්නම්" වෙනදාට මා සමග දොඩමළු වන්නට කාලය සොයන ඇය අද මා මගහරින්නේ හිතාමතාම බව වටහාගත හැකි වුවත් දරුවන් ඉදිරියේ කිසිවක් කියාගත නොහැකි නිසා  මට සිදු වුයේ ඇයට එකග වන්නටය.   

"තාත්තා දැන් යන්නෙ නැත්නම් අපිත් එක්ක කාටුන් බලමුද?" 
"ඊට කලින් කියන්න ඇයි අද ඔයාලා ඉස්කෝලෙ ගියෙ නැත්තෙ"  පිළිතුරක් වෙනුවට මොහොතක් පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටි අයියාත් මල්ලීත් "අපි ඉස්කෝලෙ ගියානෙ" කිව්වේ එකවරය.
"මොකේද ගියෙ. වෑන් එකේ නෙවෙයිද"
"දවල් ආවෙ වෑන් එකේ. උදේ වෑන් එක එනකොට අයියා ලෑස්ති වෙලා හිටියෙ නැති නිසා අම්මා වෑන් එක යවලා අපිව ත්රිවිල් එකක එක්ක ගියා" දෙක වසරේ සහ පහ වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් පුතුන් දෙදෙනා පාසැල්  වෑන් රථයකට බාර දෙන්නට වුයේ මේ වසරේදීය. එතෙක් ඔවුන් දෙදෙනා පාසලට ගියේ මා සමගය. දුර බැහැර පාසලකට ලද ස්ථාන මාරුව නොවන්නට දරුවන්ගේ පාසැල් ගමන ගැන බිරිදට වදවන්නට මා ඉඩ තබන්නේ නැත 
"මොනාද කට්ටිය තාත්තව වටකරගෙන කියන්නෙ" වැලිතලප පිඟානක්ද සමග තේ බන්දේසියක් රැගෙන මනෝරි යලිත් අප අසලට ආවේ ඇගේ සුපුරුදු සිනහවෙන් මුව පුරෝගනය. අවුරුදු ගනනාවකට එපිට අතීතයේ දුලාරට පාඩම් කියා දෙන දිනක මා මුලින්ම ඇයව දැන හදුනාගත්තේද මෙලෙසම අපට තේ රැගෙන මොහොතකය. අම්මාත් තාත්තාත් නිවසේ නොසිටි එදින ඇය අපට තේ ගෙන ආවේ දුලාර කිහිප වරක්ම ඇවිටිලි කල පසුව බව මා දැනගත්තේ පසු කාලයකය.

"කොහෙන්ද වැලිතලප"
"කොහෙන්වත් නෙවෙයි. මං හැදුවා "
"එහෙනම් හොද වෙලාවට කලින් ආවෙ"
"ඔයා එනකොට   ඕක ලිපේ.. ඒකයි මං එන්න පරක්කු උනෙත්"  පෙරදා සිදුවීම ගැන මතකයක්වත් තුල නැති වග ඉන් හොදාකාරවම පැහැදිලි වුයෙන් මසිත යලිත් සතුටින් පිනුම් ගැසීය.
"රසයි. ඉස්සර මං කැම්පස් ඉදලා ගෙදර යනකොට අම්මා අනිවාර්යෙන්ම හදලා තියන කෑමක්"
"එහෙනම් ඔයා තේ බීලා වොෂ් එකක් දාගන්න" ඇය යලිත් මුළුතැන්ගෙට යාමට සුදානමින් පැවසීය..
"ඉතින් ඔයත් ඉන්නකො"
"බෑ මට ඉක්මනට උයලා ඉවර කරන්න ඕනි...එතකොට කට්ටියටම අද රෑට එකට කන්න පුළුවන්" නිදහසට කාරණයක්ද ගොනු කර ඇය යලිත් වරක් මා නොසන්සුන් කර එතනින් පිටවිය.

"අම්මා උයනකල් අපි කාටුන් බලමුද" මගේ සිත පෙලන කාරණා කිසිවක් නොදත් පොඩි පුතු මහිම් අවසර ගන්නට මෙන් මා දෙස බලා රූපවාහිනිය ක්රියාත්මක කලේය. මොහොතකින් දැහැනකට සම වැදුනාක් මෙන් අයියලා මල්ලිලා ඇහිපිය නොහෙලා රූපවාහිනී තිරය දෙස බලාසිටින්නට වුයේ මා සිටින බවත් අමතක කරමිනි. පෙරදින රාත්‍රියේ අප අතර ඇති වු බහින්බස්විමේ ආරම්භය යලිත් වරක් මසිතේ හොල්මන් කරන්නට පටන් ගත්තේ ඒ අතරවාරයේදීය.

ලංකාව හා ඉන්දියාව අතර වු එක්දින ජාත්යන්තර ක්රිකට් තරඟයේ සජීවි විකාශය මුල සිටම නැරඹීමට තිබු ආසාව නිසාම ඊයේ රාත්රියේ මා නිවසට පැමිණියේ වෙනදාට වඩා තරමක් වේලාසනිනි. කඩිමුඩියේ ඇගපත දොවා කා බී අහවරව නවය වන විට රූපවාහිය ඉදිරියෙන් වාඩි වන්නට හැකිවීම එවෙලෙහි මට සතුටට කරුණක් විය.
තරඟය ආරම්භ වී මොහොතකට පසු මනෝරි ටෙලි නාට්යක් බැලීම සදහා නාලිකාව මාරු කලේ ඇයිදැයි මට තවමත් සිතාගත නොහැක්කේ මගේ ක්‍රිකට් උන්මාදයේ තරම ඇය හොදින්ම දන්නා නිසාය. රූපවාහිනියේ දිනපතා විකාශය වන ටෙලි නාට්යක් කෙරෙහි එතරම්  ඇල්මක් දැක්වීම ගැන සිත යටින් සිනහ සෙමින් නාලිකාව වෙනස් කර දුරස්ථ පාලකයකද  අත තබාගෙන උන් මට එවෙලෙහි ඈ දෙස බලන්නටවත් අමතක විය.
"පොඩ්ඩක් අර පැත්ත දාන්නකො" මා අසලටම වී විනාඩි දෙක තුනකට වරක් ඇය කල එකම ඉල්ලීම  එය වුවත් මට ඊට ප්රතිචාර දක්වන්නට සිතක් නොවීය.
"මොකක්ද අනේ පොඩි එකෙක් වගේ රිමෝට් එක බදාගෙන ඉන්නැතුව දැන්වත් අර පැත්ත දාන්නකො" ක්රීඩකයෙකු දැවී ගිය අවස්ථාවක ඇය යලිත් දුරස්ථ පාලකයේ බොත්තමක් එබුවේ මා කෝපයට පත් කරමිනි. "ඔය කෙහෙල්මල් හැමදාම බලනවනෙ...ඊටත් කොච්චර බැලුවත් ඕවයෙ අරකට මේකට වින කටිනවා ඇරෙන්න වෙන වැදගත් දෙයක් පෙන්නනවද"
" උනාට මට අද ඩ්රාමා එක බලන්නම ඕනි" "නෑ අද බලන්නෙ මැච් එක විතරයි. උදේ ඉදන් ගෙදරට වෙලා ඉන්න ඔයාට කොයි වෙලේ ටී වී බලන්න බැරිද.වැඩක් නැත්නම් දැන් ගිහින් නිදාගන්න මට පාඩුවේ මේක බලාගන්න දීලා" මගේ වදන් සැර වැඩි බව දැනුනද තරඟය කෙරෙහිම අවදානය යොමුව තිබුනෙන් එය නිවරදි කරන්නට තරම් ඉස්පාසුවක් එවෙලෙහි නොතිබිනි.
"ඔව් මට ගෙදරට වෙලා ටී වී බල බලා ඉන්නමනෙ නිදහස තියෙන්නෙ" 
දරුවන්ගේ හෝ ගෙදර දොර වැඩ ගැන කිසිදාක මැසිවිලි නොනගන ඇගේ එවදන් මා කෙතරම් කෝපයට පත් කලාදැයි දැන් මතකයේ නැතත් ගැටුම ආරම්භ වුයේ එලෙසය. නිදාසිටි දරුවන් ගැන හෝ දවස තිස්සේ දරුවන් වෙනුවෙන් වෙහෙසන බිරිද ගැන සිතන්නට අමතක වු මගේ කෑ ගැසීම නතර වුයේ "ඔයා දැන් හරියට වෙනස් වෙලා" කියමින් ඇය එතනින් නැගිට ගිය පසුවය.

තරඟය අවසන් වන විට මධ්යම රාත්රියද ඉක්මවා තිබුනෙන් සිදු වු කිසිවක් ගැන සිතෙන්නට පෙර මට නින්ද යන්නට ඇත. උදෑසන සිරිත් පරිදි මා අවදි කල මනෝරි කිසිවක් සිදු නොවු පරිදි ඉන්නට උත්සහ කලද නිවසින් පිටවු මොහොතේ පටන් මසිතට වද දෙන්නට වුයේ ඒ සිදුවීමය. විවාහයෙන් පසු ගෙවී ගිය දස වසරට මදක් වැඩි කාලය තුල අප අතර සිත් අමනාපකම් ඇති වු අවස්ථා බොහොමයක් තිබුනද ඒ සියල්ල දරුවන් කුඩා කාලයට සීමා විය. මගේ නොසැලකිල්ල හා හිතුවක්කාර තීරණ නිසාම ඇතිවන මත ගැටුම් දරුවන් වසසින් වැඩෙත්ම නතර කරගන්නට තරම් ඉවසීමක් කාලයත් සමග මනෝරිද ප්‍රගුණ කර තිබුනාය. වෙනදා කෙරෙන් දිස්වන ඉවසීම ඊයේ රාත්රියේද එලෙසම තිබුනා නම් රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්යක් වෙනුවෙන් ඇය මා සමග වාදයක පැටලෙන්නේ හෝ අරඹයා අප අතර බහින්බස් වීමක් ඇති වන්නේද නැත. 

"ඔයාලා ඕක බලනකල් මං කුස්සියට ගිහින් අම්මා මොකද කරන්නෙ බලලා එන්නම්"  පෙරදින වු සිදුවීම ගැන කතා කරන්නට පෙර ඇගේ සිත සතුටු කරවන්නට කාරණයක්ද මතක් කරගෙන මා මුළුතැන්ගෙට එබෙනවිට ඇය සිටියේ පොල් ගාමිනි.
"කෝ කට්ටිය කාටුන් බලනවද"
"ඔව්..මං ඉන්නවද කියලා ගානක්වත් නෑ" ඇය පොල් ගෑම නතර කලේ මගේ නෝක්කාඩුවට සිනාසෙමිනි. "මට ඔයාට කියන්න සතුටුදායක ආරංචියක් තියෙනවා"
"මොකක්ද ඔයාගෙ මාරුව හදාගන්න පුළුවන් උනාද" ඇගේ දෑස් සතුටින් බබලන්නට වුයෙන් ස්ථාන මාරුව ගැන තවමත් සොයාබලන්නටවත් නොහැකි වු බව නොකියා සිටින්නට තීරණය කලෙමි.

"ඒකත් හරියයි. ඊට කලින් අර ලෝන් එක ගන්න පුළුවන් වෙයි. එහෙම උනොත් තව මාසෙකින් දෙකකින් වාහනයක් ගන්න පුළුවන්" මේ පණිවිඩය ලද විටක ඇගේ මුවගට නැගෙන තෘප්තිමත් සිනහව සිතින් මවාගෙන උන් මට ඇගේ නිහැඩියාව පුදුමයක් විය.
"ඇයි මනෝ" පිළිතුරක් දීම වෙනුවට මවෙතින් පලාගිය ඇය මද වේලාවකට පසු ආවේ සරමක් හා තුවායක්ද රැගෙනය.
"තව රෑ වෙන්න කලින් ගිහින් ඇග සෝදාගන්නකො"
"ඊට කලින් කියන්න ඔයාට මොකද වෙලා තියෙන්නෙ කියලා" එවර ප්රශ්ණයෙන් පැනයන්නට පෙර ඇගේ දෙවුරත් සමගම දෙනෙතද මගේ ග්රහණයට හසුවිය.
"මොකුත් නෑ" "එහෙනම් මං ඉස්සෙල්ලා ලෝන් එක ගැන කිව්වම මොකුත් නොකියා ඇහුනෙ නෑ වගේ ගෙට ගියෙ. මං හිතුවෙ ඉක්මනට වාහනයක් ගන්න පුළුවන් කිව්වම ඔයා සතුටු වෙයි කියලා"
"ගේ හදන්න ගත්තු ණය ගෙවලා ඉවර උනා විතරනෙ සාලින්ද" ඇගේ සිත පෙලන කාරණාව දැනගත් විට මට සිනා නොවී සිටීම අපහසු විය.
"අයියෝ මනෝ...අද කාලෙ ණයක් ගත්තෙ නැති රජයේ සේවකයෙක් හොයන එක නොමළ ගේකින් අබ ඇටයක් හොයනවා වගේ...ඒක නිසා ඔයා ණය ගැන එච්චර හිතන්න එපා. ඒවා ගෙවන්න මං ඉන්නවනෙ" මා ඇගේ හිස මත තැබු අත බදාගත් ඈ මා දෙස බැලුවේ  තෙත් වු දෙනෙතිනි.
"ඔයා ඔය ණය ගෙවන්න රෑ දවල් නැතුව මහන්සි වෙනවා කියලා මතක් උනාම මට ගැන නොහිතා ඉන්න බෑ සාලින්ද"
"මට විතරක් නෙවෙයිනෙ මනෝ කොයි මනුස්සයටත් හම්බ කරන්න දුක් විදින්නම වෙනවනෙ...ඒක නිසා මේ දරුවො ගැන හිතලවත් අපිට තව ටික කාලයක් මේ දුක මෙහෙමම විදිමු"
"මට ඕනි දුකක් විදින්න පුළුවන්. ඒත් මේ දරුවො තුන්දෙනාට ඔයා ලග නැති අඩුව මට පිරිමහන්න බෑ. ඊටත් කොල්ලො තුන්දෙනෙක්. පේනවනෙ ගෙදර ඉන්න දවසට කරේ නගින හැටි" 
"අපි මේ හැමදේම කරන්නෙ එයාලා වෙනුවෙන් කියලා ඔයා තේරුම් කරල දෙන්න"
"මේ දරුවන්ට දැන් ඕනි අම්මා තාත්තගෙ ආදරේ මිසක් සැප සම්පත් නෙවෙයි සාලින්ද...ඔයා දවල් රෑ නැතුව නිදි මරාගෙන හොයන සල්ලි වලින් දරුවන්ට ඕනි සතුට සාප්පුවකින් ගෙනත් දෙන්න පුළුවන්කමක් තිබුනනම් මං මේ තරම් ඒ ගැන වද වෙන්නෑ කියලා ඔයා තේරුම් ගන්න ඕනි."
"ඔයා දැන් මට මොකක්ද කරන්න කියන්නෙ...ලෝන් එක නොගෙන ඉන්න කියලද"
"ලෝන් එක ගත්තත් නැතත් පුළුවන්නම් සතියට දවස් දෙක තුනක්වත් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්න පුළුවන් විදිහට ක්ලාස් දාගන්න. එහෙම බැරිනම් අඩු ගානෙ රෑටවත් මේ දරුවො එක්ක එකට බත් කටක් කන්න ටිකක් කලින් ගෙදර එන්න" මගේ අත අතහැර ලිප අසලට ගිය ඇය පොල් මිරිකන්නට පටන් ගත්තේ තව දුරටත් ඒ ගැන කතාකරන්නට ඇති අකමැත්ත පෙන්වන්නට මෙනි..
"මං ආසාවට රෑ වෙනකල් ක්ලාස් දාගන්නෙ නෑ මනෝ...මාත් ආසයි ගෙදරට වෙලා ඔයයි දරුවොයි එක්ක ටිකක් විවේකෙන් ඉන්න" ඇගේ වදන් වල වු නොමනාපය යලිත් මා නොසන්සුන් කල වග තේරුම් ගත් ඈ නිහඩ වුයේ මට බොහෝ දේ ගැන යලි සිතන්නට අවස්ථාව සලසමිනි.

කාලය සහ කාර්යබහුලත්වය සමග දරුවන් ගැන මෙන්ම ඇය ගැනද සිතන්නට අමතකව වුවාදැයි මගෙ සිත මගෙන්ම විමසන්නට වුයේ ඉන්පසුවය. විවාහ වු මුල් යුගයේ ගෙදර වැඩ වලදී ඇයට උදව් වු මා දැන් ඇය අවදි වන වේලාවත් නොදන්නා  තරමටම  දුරස්  වුවද ඈ මෙතුවකට ඒ ගැන වචනයක් හෝ කතා කර නැත. දරුවන්ටත් මටත් නිවස සුරපුරයක් කරන්නට වෙහෙසෙන ඇගේ සිත නිකරුනේ රිදවන්නට වීම ගැන මටම දොස් පවරාගනිමින් සෙමින් සෙමින් ඈ අසලට ගියද දෙපා තරමට දෙතොල් කඩිසර නොවුයෙන් මා යලිත් වරක් ඇගේ හිස පිරිමැදීමි.

"වොෂ් එකක් දාගෙන එන්න සාලින්ද…. නැත්නම් පුතාලා තව ටීවී බලයි"
"ඇයි වෙනදට බලන්න දෙන්නැද්ද"
"දෙනවා..හැබැයි හයට ඕෆ් කරන්න ඕනි"
"ඊට පස්සෙ" දරුවන්ගේ මෙන්ම බිරිදගේද දවස ගෙවෙන හැටි දැනගැනීමේ ක්ෂණික ආසාවක් එවෙලෙහි ඇතිවිය.
"ඊට පස්සෙ ඇග හෝදලා කන්න දෙනවා. කොහොමත් තුන්දෙනා කාලා ඉවර වෙනකොට හත හමාරවත් වෙනවා. ඊට පස්සෙ ටිකක් වෙලා මගෙන් කතන්දර අහ අහා ඉදලා අට අට හමාර වෙනකොට පොඩි දෙන්නා නිදා ගන්නවා"
"ලොකු පුතා"
"අර දෙන්නා නිදාගත්තට පස්සෙ තමයි මං එයාගෙ ඉස්කෝලෙ වැඩ බලන්නෙ..නැත්නම් චුටි පුතත් එක්ක බෑ. හවසට කාටුන් බලන්න කලින් හෝම් වර්ක් ඉවර කරලා තිබුනොත් ලොකුත් නවය වෙනකොට නිදියනවා" "පුතාලා ඔක්කොම නිදාගත්තම අම්මා මොකද කරන්නෙ"
"ඒක බලාගන්න අද ගෙදර ඉන්නවනෙ...දැන් ඔය කතාව නතර කරලා ගිහින් ඇග සෝදගෙන එන්න. මට චුටි පුතාව හෝදන්නත් තියෙනවා"
"ඔයා උයන්නකො... අද මං ඒ තුන්දෙනාගෙ වැඩ ඔක්කොම කරන්නම්"

බොහෝ දිනකට පසුව දරුවන් සමග කාලය ගෙවන්නට ලැබීම ගත සිත දෙකම සැහැල්ලු කරවීය. රාත්‍රී කෑම මේසයේදී මා අසලින් අසුන් ගන්නට අයියලා මල්ලිලා අතර වුයේ  තරඟයකි. කෑමෙන් පසු ලොකු පුතා පාසැල් වැඩ වල නිරත වන අතර අනෙක් දෙදෙනා  සුරංගනා කතන්දර නොදන්නා මට කතන්දරයක්ද කියාදී නින්දට ගිය පසු මම බිරිදව සොයා මුළුතැන්ගෙට ගියේ පෙරදා සිදුවීමට සමාව ගන්නේ කෙලෙසදැයි සිතමිනි.

"නිදාගත්තද"
"මට කතන්දරේකුත් කියලා දුන්නා" මා ඇගේ දෑසට එබුනේ සිනාසීගෙනය. දරුවන් තරමටම ඇයද අද දවස ගත කලේ සතුටින් බව ඇගේ දෑසේ වු තෘප්තිමත් සිනහව කියා පෑවාය.

"ලොකු පුතා වැඩ කරනවා බලන්න ඕනිද"
" ඇයි"
" පොඩ්ඩක් මෙහෙන් වාඩි වෙන්නකො.. මට කතාකරන්න ඕනි"
"ඔයා ඔය කියන්න යන්නෙ ඊයෙ වෙච්ච දේට සමාවෙන්න කියලා හරි ආයෙ එහෙම දෙයක් වෙන්නෑ කියලා හරි නම් ඒක කියන්න එපා සාලින්ද" ඈ මා අසලින් අසුන් ගත්තේ දවස තිස්සේ හිතේ පැසවමින් තිබු වේදනාව සුවපත් කරමිනි.
"ඇයි"
"ඔයා ඒක ඔළුව උඩ තියාගෙන හිටියට මං ඒක අමතක කරේ ඊයෙම"
"ඔයා කොහොමද කියන්නෙ මං ඒක ඔළුව උඩ තියන් හිටියා කියලා"
"නැත්නම් කීයටවත් මේ වෙලාවට ගෙදර එනවද"
"මං අද කලින් එයි කියලා ඔයාට හිතුනෙ නැද්ද"
"මොකද නැත්තෙ...මං ඒකනෙ වැලිතලප හැදුවෙත්... එකක් ඉවරවෙනකොට එකක් ක්ලාස් දාගෙන උදේ ඉදන් රෑ වෙනකල් නැහිලා නැහිලා ගෙදර එන ඔයාට දරුවොවත් මංවත් හිතන පතන දේ තේරුම් ගන්න බැරි උනාට මට ඉස්සරටත් වඩා හොදට ඔයාවයි ඔයා හිතන පතන දේවලුයි තේරෙනවා සාලින්ද"
"ඔළුව අත ගාලා අත ගාලා ඇන්න නේද හොද ටොක්කක්" ඈ සිනාසී මගේ උරමත හිස සතපවා ගත්තෙ සුරත දෝතින්ම ග්‍රහණය කරගෙනය. පෙම්වතුන් සමෙයේදීද මා පිළි නොගන්නා යමක් ඒත්තු ගැන්වීමට අවශ්‍ය වු විටද ඇය මෙලෙසම කලා මතකය.
"මං ඔයාට බනිනවාවත් වැරැද්දක් කියනවවත් නෙවෙයි...ඔයා හැමදෙයක්ම කරන්නෙ අපි වෙනුවෙන් කියලා මං දන්නවා... ඒත් මහන්සි වෙලා මහන්සි වෙලා සැප සම්පත් ගොඩ ගහලා ඉවර වෙනකොට අපේ ජිවිත අපෙන් ගොඩක් ඈතට යයි කියලා මට බයයි සාලින්ද....දැනට උනත් මේ දරුවො තුන්දෙනා ඔයාව දකින්නෙ උදේ පාන්දරට විතරයි"
" මට තේරෙනවා මනෝ" පටන්ගත් පංති කිසිවක් අතර මග නතර කරන්නට පොරොන්දු විය නොහැකි නිසාම මා ඇගේ හිස පිරිමැද්දේ ලබන වසරේ සිට හෝ පංති ඇරඹීමට පෙර ඇගේ කීමට සවන් දෙන නිහඩ ගිවිසුමකට එලැබෙමිනි.

“ඔයා පොඩ්ඩක් ගිහින් ලොකු පුතා එක්ක කතා කරන්න. මං කුස්සිය අස් කරලා එන්නම්. ඊයෙ ඔයාට එයාගෙ පත්තරේ ගේන්න අමතක වෙච්ච එකටද කොහෙද  දුක හිතිලා ඉන්නෙ....අද ඉස්කෝලෙ ගියෙත් බෑ කිය කියා... වෑන් එක එනකොට ලෑස්ති වෙලාවත් නෑ. පස්සෙ මං ත්‍රිවිල් එකක ගිහින් දැම්මෙත්."
"ඉස්කෝලෙ ගියෙ ත්‍රීවිල් එකක කියලා මට පොඩි පුතා කිව්වා. ඊයෙ මට පත්තරේ පොඩ්ඩක්වත් මතක නැති උනා මනෝ..කොල්ලා තරහා වෙලාද දන්නෑ."
"මං උදේ චුටි පුතාව මොන්ටිසෝරි දාලා එනගමන් ටවුමට ගිහින් පත්තරෙත් අරගෙනමයි ආවෙ... දැන් ඒක ගැන කියන්න එපා. යන්නකො ගිහින් එයාගෙ ඉස්කෝලෙ වැඩ ගැන ටිකක් කතා කරන්න"

ඇය බලහත්කාරයෙන්ම මා නැගිට්ටේව්වේ අමතක වෙමින් යන වගකීම් කිහිපයක්ද මතක් කරවමිනි. බිරිද සහ දරුවන් ගැන මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද කෙරෙහිද මීට වඩා සැලකිල්ලක් යොමු කල යුතු බව සිතමින් මා කාමරයට යන විට ඔහු නිදාගන්නට සැරසුනා පමණි.
"මගෙ පුතාට නිදිමතද"
"නෑ"
"කොහොමද පුතේ දැන් ඉස්කෝලෙ වැඩ. ඔයාගෙ ටීචර් නම් කිව්වා ඔයා හොදට වැඩ කරනවා කියලා..ඔයා හොදට ඉගෙන ගත්තොත් තමයි මල්ලිලා ඉගෙන ගන්නෙත්" 
"මං හොදට වැඩ කරනවා තාත්තා. මං  මේ පාර  ශිෂ්‍යත්වෙ පාස් උනොත් තාත්තා මට මං ඉල්ලන දේ දෙනවද"
"තාත්තට දෙන්න බැරි දෙයක් ඔයා කවදාවත් ඉල්ලන්නෑ කියලා මං දන්නවා පුතේ...ඒක නිසා ඕනි දෙයක් කියන්න" මොහොතක් නිහඩව සිටි ඔහු "වෙන මොකුත් එපා...තාත්තට බැරිද මාසෙකට සැරයක්වත් අම්මට බනින්න" කීවේ මා පුදුමයට පත් කරලමිනි.

අම්මාගේ වරදක් නොමැතිව පුතෙකු කිසිවිටක එවැන්නක් නොකියන බව මට හොදටම විශ්වාසය. බිරිදකගේ වරදක් දරුවෙකුගේ මුවින් අසන්නට ලැබීම කෙතරම් අභාග්‍යක් වුවත් මා යලිත් ලොකු පුතා දෙස බැලුවේ ඇත්ත කෙතරම් තිත්ත වුවත් ඊට මුහුණ දෙන්නට සුදානමිනි.

"අම්මට බනින්න මොකක්ද අම්මා කරපු වැරැද්ද" එවර ඔහු නිහඩවම යමක් කල්පනා කරන්නට පටන් ගත්තේ මගේ හිත තුල භයංකාර සිතුවිලි සමුදායකට ගොඩ නැගෙන්නට ඉඩ හරිමිනි. "ඔයා මහන්සි වෙලා මහන්සි වෙලා සැප සම්පත් ගොඩ ගහලා ඉවර වෙනකොට අපේ ජිවිත අපෙන් ගොඩක් ඈතට යයි කියලා මට බයයි සාලින්ද”  කියමින් මීට සුළු මොහොතකට පෙර විස්සෝප වු බිරිදගේ හඩ යලිත් වරක් දෙසවන දෝංකාර දෙන්නට වුයේ මා නොසන්සුන් කරවමිනි.
"මට කියන්න පුතේ...ඇයි අම්මට බනින්න කියන්නෙ" මගේ හඩ දුර්වල වු නිසා හෝ කියන්නට ඇති දේ බරපතල කම ඔහුටම වැටහෙන නිසාදෝ නිහඩවම මගේ මුහුණ දෙස බලා සිටි ඔහු පපුවට තුරුළු  විය.

"තාත්තව බය නොකර කියන්න තියෙන දෙයක් කියන්න පුතේ" අශුභ යමක් අසන්නට වන බව දැන දැනම නොඉවසිලිමත් වන මා දෙස ඔහු හිස ඔසවා බැලුවේ දෙනෙතේ කඳුළු පුරවාගෙනය.

"තාත්තා අම්මට බනිනවට මං ආසයි....එතකොට තාත්තා පහුවදාට කලින් ගෙදර එනවනෙ"  

නිමි.

සඳමාලී සකුන්තලා හේරත්  03.02.2015 

10 comments:


  1. හොඳයි . දිගටම ලියන්න .නොනවත්වා ලිවීමෙන් මේ තියෙන හැකියාව තව ඔප මට්ටම් වේවි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔබ මෙය කියවීමත් ලිවීමට දිරි දීමත් හිතට සතුටක් වගේම හයියක්.

      Delete
  2. සඳ වියමන කියවපු මුල්ම වතාව.. ඉතාමත් අගෙයි.. කතාවක් කියවනකොට මං ගොඩක්ම කරදර වෙන එකක් තමයි අවස්ථා හා කාල සම්භන්දය.. ගොඩාක් ලියන අය මේ ගැන වැඩිය හිතන්නේ නෑ. ඒ නිසාම රසයට බාධා කරනවා.. ඒ අතින් ඔයාගේ ලියවිල්ල විශිෂ්ඨයි.. අවසානය තව ටිකක් ඔපමට්ටම් උනානම් හොඳයි කියල හිතෙනවා.. වරදක් නෑ.. කතාවේ ගොඩ නැගීමට සාපෙක්ශව අවසානය බර අඩු බවක් තමයි දැනුණේ.

    තිලකසිරි මහතාගේ කොමෙන්ටුව හා 100%ක් එකඟයි.. දිගටම ලිවීමෙන් බොහෝ දුර යෑමට හැකිවේවි. ජය ශ්‍රී!

    ReplyDelete
  3. බොහොම ස්තූතියි කළ්‍යාන මිත්‍ර. ඇත්තටම මේකෙ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඔබ පෙන්වලා දුන්නු තැන වගේම භාෂාවෙත්. මේ අවුරුදු විස්සකට විතර පස්සෙ ලියපු තුන්වෙනි කතාව. ඒත් දහය වසරට එනකල් හිටිය සිංහල මිස්ගෙන් පස්සෙ කියවලා අඩුපාඩුවක් පෙන්වලා දෙන කෙනෙක් මුන ගැහුන පලවෙනි වතාව.

    මං වටේ ඉන්නෙ මගේ පරාසෙම අයනෙ....කියවලා බලලා ලස්සනයි කියනවා ඇරෙන්න වෙනත් විවේචනයක් ලැබෙන්නෙ නෑ....ඒත් ඒක නිතර කියවන ලියන කෙනෙක්ගෙන්ම ලැබීම හිතට ලොකු සතුටක්....ස්තූතියි ඔබට.

    ReplyDelete
  4. දිගටම ලියන්න , අපි එනව බලන්න
    බ්ලොගර් ෆලෝවර් එක බ්ලොග් එකට දාන්න
    ඒ ක අපිට ලොකු පහසුවක්
    ( ගුගල් නෙමෙයි බ්ලොගර් )

    ඔයත් බ්ලොගර් ෆෝපයිල් එකට එන්න , ගුගල් ෆෝපයිල් එකට වඩා බ්ලොගර් කෙනෙකුට ගැලපෙන්නේ එතන කියල මට හිතෙන්නේ.

    ReplyDelete
  5. ස්තූතියි අදහසට..හැබැයි ඔය කියලා තියෙන ඒවා ගැන අවබෝධයක් නැති එක තමයි ප්‍රශ්ණෙ..

    ReplyDelete
  6. / මගේ මුල්ම ගෝලයා වු දුලාර මහානාම වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වුයේ මගේ ජීවන වෘත්තිය මෙන්ම ජිවන සහකාරියද මුණ ගස්වා …/

    පොඩි අඩුපාඩුවක් කියන්නද? මෙතන තේරී පත්වූයේ කියන එක වැරදියි. තේරී පත්වෙන්නෙ යම් තනතුරකට. සහකාර කොමසාරිස් තනතුරට තේරී පත්වූයේ..අන්න ඒ වගෙ. වෛද්‍ය විද්‍යාලයට තේරුනේ, නැත්නම් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූයේ කිව්වනම් අවුලක් නෑ...සමාවෙන්න..වැරැද්දක්ම හෙව්ව නෙවෙයි.කතාව බොහොම අපූරු නිසා ඒ පොඩි වැරැද්ද උනත් මට එක පාරට කැපිල පෙනුනා...:)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න කියන්න හේතුවක් නෑ රවී . වැරදි අඩුපාඩු පෙන්වලා දෙන එක තමයි මං මේවා කියවන අයගෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ. ගොඩාක් ස්තූතියි ඒ වැරැද්ද පෙන්නලා දුන්නට. මං ඒක හදන්නම්.

      කොහොමත් මගේ සිංහල ලිවීම දැන් සෑහෙන්න දුර්වලයි. (එහෙමයි කියලා වෙන පුළුවන් භාෂාවකුත් නෑ. ලියන්න පටන් ගත්තම තමයි ඒ දුර්වල කම මටම තේරුනේ)
      බොහොම ස්තූතියි මේවා කියවන්න අගය කරන්න වගේම වැරදි අඩුපාඩු පෙන්වලා දුන්නටත්

      Delete
  7. ලොකු පුතාගේ ඉල්ලීමත් පොඩි නැහැ.:)
    සල්ලි කියන්නේ හැමදේම නෙමෙයි කියලා පෙන්වපු ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. කෑමක් රස වෙන්නෙ ලුණු ඇඹුල් පදමට තිබුනොත් විතරනෙ මනෝජ්. මොනාහරි එක දෙයක් අඩු වැඩි උන ගමන් දැනෙන්නෙ වෙන රහක්. සල්ලිත් ඒ වගේ තමයි. ජීවිත් වෙන්න සල්ලි ඕනි වෙන්නෙ ප්රමාණයකට වගේම ඒකට සමපාත වෙන්න අනෙක් දේවලුත් හරියට තිබුනොත් විතරයි ඕනිම කෙනෙකුගෙ ජීවිතේ රසවත් සාරවත් ජීවිතයක් වෙන්නෙ.
      "ඉල්ලීම" කියවලා ඒ තුලින් මම දෙන්නට උත්සහ කල පණිවිඩය හරියට තේරුම් ගත්තට ස්තූතියි මනෝජ්. ඉල්ලීම කියවන හැමොගෙන්ම මං කරන ඉල්ලීමත් ඒක තමයි.

      Delete