Friday, April 29, 2016

සකුරා සුවඳ 4 (සකුරා මල් පිපීම සහ හනාමි-i)


සකුරා ජපානයට ආවේණික ශාකයක් නොවුනත් ඒ නම බැදී පවතින්නෙ එහි උපත සිදු වූ හිමාලය සමග නොව ජපානය සමගය. උත්තර අර්ධ ගෝලයේ ඇති තවත් රටවල් ගනනාවක සකුරා පිපුණද ජපානයට සකුරා විශේෂය. Prunus ගණයට අයත් සකුරාගේ පවුලේ අනෙක් සාමාජිකයන් ලෙස ඇපල්, පීච්, ආමඩ් ආදි තව බොහොමයක් අප දන්නා ශාක තිබුනද සකුරා සිටින්නේ මේ සියල්ලේම පෙරමුණේය.සකුරා ගැන සාමාන්‍ය විස්තර ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය කුරුටු ගා සොයාගත හැකි නිසා මා ඒ ගැන ලියන්නට අදහස් කරන්නේ නැත. ඒ වෙනුවට ජපන් ජාතිකයන් සමග සකුරා දක්වන සබදතාවය මා දන්නා තරමින් ලියා තැබීමට කැමතිය.


සෘතු භේදය ඇති සෑම රටකම පයිනස් වැනි සමහර ගස්වල හැරෙන්නට අනෙක් ගස්වල කොළ හැලී ගස් මහණදම් පිරීම අප කවුරුත් දන්නා දෙයකි. මේ පොදු ධර්මතාවය සකුරාටද වලංගුය. සැප්තැම්බර් මාසයෙන් ඇරඹී නොවැම්බර් දක්වා දිගු වන සරත් සෘතුවේදී සකුරා ගස් මහණ වන්නට පටන් ගනී. මේ මහණවීම වන අතරේ කුඩා පොහොට්ටු දහස් ගනනක් ශීත කාලයට ඔරොත්තු දීමට සූදානමින් අතු අග දීර්ග නිද්‍රාවක පසුවේ. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ජපානයේ නිළ සීත කාලයයි. පෙබරවාරි දෙවන සතියෙන් නිළ සීත කාලය අවසන් වුවත් මාර්තු දෙවන සතියෙ වැඩිපුර හිම පතනයක් නැති තෝක්යෝවට පවා හිම වැටෙන්නට පුළුවන. කාළගුණයේ හැටි කොහෙත් එහෙමය. ජපානයේ කාළගුණය කොහොමත් පිස්සු නටන්නට දක්ෂ නිසා තත්වය වඩාත් බරපතලය.
මේ පොකුණට උඩින් ඉපලක් වගේ තියෙන්නෙ සකුරා අත්තක්.මේක නොවැම්බර් මාසෙක ගත්තු පින්තූරයක්


මේ පින්තූරයේ තියෙන්නෙත් කොළ හැලුනු සකුරා ගස් පේලියක්. මේක මේ මල් පිපෙන්න ඔන්න මෙන්න තියලා පහුගිය මාර්තු වල ගත්තු පින්තූරයක්.අකලට මල් පිපිච්ච හිතුවක්කාරියෙකුත් මේ අයිනක ඉන්නවා.



ජපානය  දික් අතට තීරුවක් ලෙස පිහිටන විශාල දූපත් රාශියකින් සැදුම්ලත් රටකි. මෙහි උත්තර අර්ධගෝලය දෙසට ඇති කොටසේ බොහෝ දෙනා දන්නා නගරය හොකයිඩො වන අතර පහළ පැත්තට ඇත්තේ ඔකිනාවා (තායිවානයට ආසන්නෙයෙ) සහ ක්යුසු ය. මා ජීවත්වන ජපානයේ අගනුවර වන තෝක්යෝව ඇත්තේ මැද කොටසේය. හොකයිඩො අධික ලෙස හිම පතනය වන වසරේ වැඩි කාලයක් සීතල පවතින කොටසය. ඔකිනාව වල පවතින්නේ අර්ධ නිවර්තන කලාපීය දේශගුණයකි. මැද කොටස ඔය දෙක අතරමැදය.මේ හේතුව නිසාම ජපානය තුලත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාළගුණය මෙන්ම සීත කාලය සහ අනිකුත් සෘතූන් ඇරඹෙන සහ අවසන් වන කාල වකවානු තරමක් වෙනස්ය. මා ලියන්නේ රට මැද තත්වය නිසා එය තරමක් දුරට ජපානයේ දර්ශීය තත්වයකට ආසන්නය.


සිතියම අන්තර්ජාලයෙන්

සීත කාලයේ තෝක්යො හරියට හිම වැටෙන්නෙ අඩුවෙනි. නමුත් පහුගිය අවුරුදු දෙකේම මාර්තු අවසන් වන තුරු පමණක් නොව අප්‍රේල් මුල් සති දෙක තුලද සීතල අඩුවූයේ නැත.








මේ  තියෙන්නෙ අර උඩ සකුරා ගහක පින්තූරය තිබුන තැන සීත කාලයේ තත්වයයි.(ජායාරූපය ගත් දිශාව  වෙනස් )
සකුරා පිපීමට බාහිර පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම මෙන්ම ප්‍රමාණවත් සීතලකට මල් කැකුළු නිරාවරණය වී තිබීමද අවශ්‍ය නිසා සකුරා පිපෙන දිනය අනාගත කාළගුණය මත මෙන්ම අතීත කාළගුණය මතද රදා පවතී. සාමාන්‍යයෙන් සෑම වසරකදීම රෝස වියන් යටින් ඇවිද යන්නට වාසනාව ලැබෙන්නේ නපුරු හිම කැට  සිනිදු මල්පෙති විනාශ නොකරන බවට සහතික කරමින් හොදින් හිරු එළිය වැටී ක්‍රමයෙන් උෂ්ණත්වය ඉහළ යන මාර්තු තුන්වෙනි හතරවෙනි සතිය වන විටය.ඒ කාලය එලඹෙන තුරු ජපනුන්ට ආවේණික ඉවසීම තමාටද ඇති බව පෙන්වන්නට මෙන් අතු අග බලා සිටින සකුරා පොහොට්ටු පහත ජායාරූපයේ දැක්වේ



.


මේ ඉවසිලිමත් නිද්‍රාව ඉවසිල්ලෙන් බලා සිටිය නොහැකි වූ පසුගිය වසන්ත කාලයේ ආරම්භයේදී මා වත්පොතේ සටහන් කල නිසදැසක්  වගේ එකක් මේ සමග අමුණන්නේ "කුරුටු ගී පවුරේ" සාමාජිකයෙකු මුලින්ම කළ ඉල්ලීම දිගින් දිගටම නොසලකා හැරීමට හිත ඉඩ නොදෙන  නිසාය.

පෙති දෙපෙති
හොර හොරෙන් විහිදා
වසත් සොම්නස
නෙතඟ පුරවා
රෝස කම්මුල
ටිකක් හරවා
හිනාවෙනු බැරි
කිමද සකුරා

සකුරා පිපීම සහ හනාමි ගැන ඊළග ලිපියෙන් ( මැයි දෙවනදාට පෝස්ට් වෙන්නට සකසා තිබූ මේ පෝස්ටුව මරණ තර්ජනයක් නිසා අද මුදාහරින්නට සිදු වූ බව සලකන්න)






Wednesday, April 27, 2016

සකුරා සුවඳ 3 (ජපානයේ ආචාර සමාචාර)



පින්තූරය ගත්තෙ මෙතනින්


සකුරා සුවඳ 1 (පිවිසුම )
සකුරා සුවඳ 2 (ජපානයේ ආමන්ත්‍රණ )

හිස සහ කද නමා ආචාර කිරීම ජපන් ජාතිකයන්ගේ සිරිතය. හිස නමන ප්රමාණය සහ හිස නමා සිටින කාලය, අවස්ථාව සහ පුද්ගලයා අනුව තරමක් වෙනස් වුවත් ගැන හරි විග්රහයක් කරන්නට මගේ දැනුම මදිය. ගරුත්වය හා හිස නමන ප්රමාණයත් කාලයත් අතර සම්බන්දයක් තිබෙනවා විය හැක. ක්රීඩා පුහුණුවීම් අවසානයේ ගුරුවරයාට ආචාර කිරීම සදහා පාසැල් දරුවන් වැඩි කාලයක් හිස නමාගෙන සිටිනු  මම බොහෝවිට දැක ඇත්තෙමි. ඒත් මට ඒ ගැන ඉන් ඔබ්බට කතා කරන්නට  නොහැකිය.මෙසේ හිස නැමීම සභාවකදී හෝ වෙනත් තැනකදී කෙනෙක් හදුන්වාදීමේදී, සුබ පැතීමේදී, ස්තූති කිරීමේදී, සමාව ගැනීමේදී ආදි විවිධ අවස්ථාවන් වලදී දැක බලාගත හැක.



(මේ පින්තූරයෙන් දැක්වෙන්නේ පාපන්දු පුහුණුවීම අවසානයේ තම පුහුණුකරුට ආචාර කරන දෙකේ පංතියේ දරුවන්ය.මේ අවස්ථාව පුහුණුකරුට ආචාර කිරීමකට වඩා ඔහුගෙන් ආශිර්වාද ලබාගැනීමක් වැනිය. මන්ද ඔහු මේ අවස්ථාවේ මොන මොනවාදෝ හෑල්ලක් කියවාගෙන යනු මම අසා තිබුනද තේරුම්ගත හැකි වුයේ හොදින් සෙල්ලම් කිරීමට නම් හොද ආහාර වේලක් ගත යුතු බව පමණි.)
දෙදෙනෙකු මුලින් මුණ ගැසුන විටදී අතට අත දීමක් ජපානයේ සිදු නොකරයි. වෙනුවට හිස නමා "හජිමෙමස්තෙ” කියා (ඔබව මුල් වරටයි මුණ ගැසුනෙ ) “දෝසො යුරොසුකො ඔනෙගායිසිමාස්(nice to meet you  and please be nice to me) කියමින්   හමුවීම සතුටක් බව ප්රකාශ කරයි.
හමුවීමේදී අතට අතදීම නොකරනවා සේම සමුගැන්මේදී සිප වැළද ගැනීමක්ද නැත. කොහොමත් ජපානයේ බටහිර රටවල මෙන් මඟතොටදී සිප වැළද ගැනීම් පෙම් යුවලක් අතරවත් ඉතාමත්ම කලාතුරකින් මිස සාමාන්යයෙන් දකින්නට නැත (මා කියන්නෙ ජපානයේ වෙසෙන ජපන් ජාතිකයන් අතර මඟ තොටදී සිප වැළද ගැනීම් නැති බව). නමුත්  හමුවීම් වෙන්වීම් වලදී අතට අත දීමට හෝ සිප වැළද ගැනීම් වලට හුරු වූ විදෙස් මිතුරෙකු හමුවූ විට එය ප්රතික්ෂේප කිරීමක්ද නොකරයි. ජපනුන් සාමාන්යයෙන් ඔවුන්ගේ සිරිත් විරිත් ආරක්ෂා කරගන්නා තරමටම අන් අයගේ ඇදහිලි විශ්වාස සහ සිරිත් විරිත් වලටද එලෙසම ගරු කිරීමද කැපී පෙනෙන ලක්ෂණයකි.
උදෑසනට, දහවලට සහ සන්ධ්යාවට මුණ ගැසෙන පුද්ගලයින්ට "සුබ උදෑසනක්" "සුබ දහවලක්" ලෙස සුබ පැතීමද සාමාන් දෙයකි. අපිනම් "ගුඩ් මෝනිං" කියන්නේ බොහෝවිට දන්න හදුනන අයට පමණක් වුවත් මෙහි එවන වෙනසක් නැත. ගේට්ටුවෙන් ඇතුළුවන විට ආරක්ෂක නිළධාරීන් සුබ පතන අතර පෙරලා ඔවුන්ටද සුබ පැතීම එම ආයතනයේ පහළම නිළධාරියාගේ සිට ඉහළම නිළධාරියා දක්වාම එක ලෙස සිදු කරයි.
ඊළගට වැදගත්ම දේ ස්තූති කිරීම සහ සමාව ගැනීමය. මේවායේදීද කිසිදු තරාතිරම් බේදයක් නැත. බසයකින් බසින විට රියදුරු මහතා මගීන්ට එම බස් රියේ ගමන් කිරීම ගැන "අරිගතෝ ගොසයිමස්ටා" කියා ස්තූති කරන අතර මඟීන්ද ඔවුන්ව ප්රවේශමෙන් රැගෙන ඒම පිළිබද බහින අතරම ඔහුටද  ස්තූති කරයි.මේ පුරුද්ද මා බොහෝවිට දැක ඇත්තේ වයස්ගත පුද්ගලයින් තුල හා කුඩා දරුවන් තුලය.සෑම විනාඩියකට එකාකාර පෝළිමක් ඇති කඩ සාප්පුවල අයකැමියන්ද සෑම පාරිභෝගිකයෙකුටම කිසිදු වෙහෙසකට බවක් නොපෙන්වා එක ලෙසම ස්තූති කිරීම විටකදී පුදුම සහගතය.


කිසියම් උදව්වක් කල විට ස්තූති කරන ආකාරයටම වැරැද්දක් සිදු වූ විට සමාව ඉල්ලීමද සිදු කරයි.මේ කියන වැරදි ඇතැම්විට අපට නම් වැරදි ලෙස පෙනෙන්නේවත් නැත. සෑම දුම්රිය මැදිරියකම සහ බස් රථවල ඉදිරිපස කොටසේ වයස්ගත, ආබාධිත, ගැබිණි හෝ කුඩා දරුවන් සමග එන දෙමාපියන්ට වෙනම සැලකිය යුතු ආසන ප්රමාණයක් ඇත. නමුත් ආසනයක ඉඩ නොමැතිව වෙනත් තැනක වූ අයෙකු නැගිට ඉඩ ලබාදුන් විට ඔවුන් අනේකවාරයක් ස්තූති කරන අතරම "ගොමෙන්නසායි" කියා කිහිපවාරයක්ම තමා නිසා අනෙක් මඟියාට සිදු වූ කරදරය ගැන සිය කණගාටුව පළ කරයි.

මොවුන්ගේ මේ චාරිත් වාරිත් නිසා අප අපහසුතාවයට පත්වූ අවස්ථාද එමටය. වරක් අපේ පුතාගේ අතක ඇඟිල්ලක් යාළුවන් සමග සෙල්ලම් කිරීමට යාමේදී දොරකට අසුවී තුවාල වී තිබුනි. සවස මා ඔහු එක්ක එන්නට ගියපසු අර පොඩි දරුවන් පස් හයදෙනාම එක පෙළට මා ඉදිරියෙන් සිට සිදුවූ වරදට සමාව ඉල්ලීය. ජපන් ජාතික මවකට නම් එය සාමාන් සිදුවීමක් වුවත් මා එවෙලෙහි මහත් අපහසුවකට පත්විය. එක පැත්තකින් ඔවුන් කියන සියල්ල මට තේරුම් ගන්නද බැරිය. අනෙක් අතට එය බොහොම සුළු සිදුවීමකි.

තවත් වරක් අපේ පුතා ඔහුගේ මිතුරෙකු පසුපස හඹායාම නිසා මිතුරාගේ හිස බිත්තියක වැදී ඉදිමී තිබුනි. වෙනුවෙන් සමාව ගැනීම සදහා පසුදා උදෑසන පාසලට යාමටත් ඒ දරුවාගේ පියාට ඊමේල් පණිවිඩයක් යවා සමාව ඉල්ලීමටත් මගේ සැමියාට සිදු වූ අතර සිදුවීමෙන් ටික දිනකට පසු පැවැත්වූ දෙමාපිය රැස්වීමක්දී මට ඔහුගේ මවගෙන් සමාව ඉල්ලා සිටීමටද සිදු විය. එවෙලෙහි ඈ "ඒ...ඒ...ඒ" කියා එය ඒ හැටි ගනන් ගත යුතු දෙයක් නොවන බව හැඟවීය. ඔවුන්ද අප මෙන්ම මේ කුඩා දරුවන් එකට සෙල්ලම් කිරීමේදී සිදුවන අනතුරු මහා ලොකුවට ගනන් නොගන්නා මුත් එසේ සමාව ඉල්ලීම පවතින චාරිත්රයකි.

මා මෙහි යහතින් සිටින බව දන්වා සෑම මාස හයකට වරක්ම මගේ මහාචාර්යවරයා විසින් ලංකාවේ මගේ ආයතන ප්රධානියාට ලියුමක් යැවිය යුතුය (ආයතන රෙගුලාසියක් ). අදාල කාල වකවානුව විට මා කරන්නේ ගැන සෙන්සේට දැනුම් දීමය. එවිට ඔහු කරන්නේ මගේ ප්රගති සමාලෝචනයක් ලියා එය මුද්රණය කර සිය අත්සන යොදා මට ගෙනත් දීමය. මා කරන්නේ එය තැපෑලට දැමීම පමණි. සාමාන්යයෙන් මගේ සිහි කැදවීමෙන් පැයක් හමාරක් ඇතුලත මට ඔය ලිපිය තැපෑලට දැමිය හැකි වුවත් එක් වරක් ඔහුට එය අමතක විය. ඔහුට එය යලි මතක් වුයේ අපේ කාමරය හරහා කොහෙටදෝ යන අතරදී  මා දැකීමෙනි. එවෙලෙහි ඔහු සිය අතපසුවීම ගැන කණගාටුව පළකලේ මා පුදුමයට පත් කරමිනි. අපි වදින විට අත්දෙක එකතු කරන ලෙසට අත් දෙක එකතු කල ඔහු කිහිප වරක් "ගොමෙන් නෙ....ගොමෙන් නෙ" කීවේය. "ගොමෙන්නසායි" යන්නෙහි අර්ථය සමාවෙන්න යන්නයි. ජපනුන්ද අප මෙන්ම කියන දේ තහවුරු කරගන්නට උවමනා විට "නෙ" යන්න යොදාගනී. මගේ සෙන්සේ මේ "ගොමෙන් නෙ" කීමෙන් අදහස් කලේ "සමාවෙන්න පුළුවන්නෙ/ සමාව දෙනවනෙ  වැන්නකි.

බොහෝ දෙනෙකු සමුගැනීමේදි යෙදෙන ජපන් වචනය ලෙස දැන සිටින්නේ "සයෝනරා" . නමුත් මේ "සයෝනරා" අමතරව යෙදෙන වෙනත් සමුගැනීම් වචනද ඇත. සාමාන්යයෙන් සයෝනරාට වැඩියෙන් එදිනෙදා රාජකාරි නිමවා යනවිට භාවිතා කරන්නෙ "ඔත්සුකරේ සමාදෙස්" යන්නය (ජපන් භාෂාවේ "සු" යන්නක් නැත.තියෙන්නේ "ත්සු" ශබ්දයක්ය. සුනාමි යන්න "Tsunami" ලෙස ඉංග්‍රීසියෙන් ලියන්නේ එය ජපන් වචනයක් නිසාය ) (මගේ වරද නිවරදි කල ඇනෝට ස්තූතිය ). එහි නිවරදි සිංහල තේරුමක් දීමට අපහසු එහි අදහස භාවිතා කරන අවස්ථාව අනුව වෙනස්වන නිසාය (කොහොමත් ජපන් භාෂාවේ සමහර දේවල් වෙනත් භාෂාවකට හැරවීමට වඩා එහි දළ අදහස අරගෙන ජීවත්වීම පහසුය ). මා වැඩ කරමින් සිටිද්දී මට කලින් පර්යේෂණාගාරයෙන් පිටවන සියළු දෙනාම "ඔස්කරේ" කියාගෙන යයි. එක් පැත්තකින් එහි අදහස "ඔබ බොහොම මහන්සියෙන් වැඩ කරන පාටයි" වැන්නකි.තවත් ආකරයකින් "අද දවස අවසන්. ඔබට ස්තූතියි දවස හොදින් නිමාකරගන්න සහය උනාට" වැන්නකි. අප ගේට්ටුවෙන් පිටවන විට අර උදෑසන "ඔහායෝ" කියු ආරක්ෂක නිළධාරින්ද "ඔත්සුකරේ සමාදෙස්ටා" කියයි.එහි අදහස "අදට වැඩ ඉවරයිනෙ" වැන්නකි.මෙලෙසම අප කිසියම් පර්යේෂණ කටයුත්තක් හෝ Presentation එකක් වැනි දෙයක් අවසන් කල විට අප අසලට එන සියළු දෙනාම "ඔත්සුකරේ සමාදෙස්ටා" කියා සුබ පතයි. ඉන් ප්රකාශ කෙරෙන්නේ “Thank u for ur hard work” වැන්නකි.
"සයෝනරා" හා "ඔත්සුකරේසමා"ට අමතරව සමුගැනීමේදී යෙදෙන අනෙක් වචනය "කි ඕ ත්සුකෙත්තෙ ඉත්තෙරෙෂ්ෂායි (itterassai)" යන්නය. මෙය සුලභව යෙදෙන්නක් නොවන අතර කෙනෙක් දුර ගමනක් යනවිට "පරිස්සමින් ගිහින් එන්න" වැනි අදහසකින් එය භාවිතා වේ. කෙනෙකු මට සයෝනරා හෝ ඔත්සුකරේ කියූ විට මමද එලෙසම ඔවුන්ට සුබ පැතුවද "කි ඕ ත්සුකෙත්තෙ ඉත්තෙරෙෂ්ෂායි" යන්න පිටව යන පුද්ගලයා පවසන්නේ නැත. ඇතැම්විට ගුරුවරුන් දරුවන් පාසල නිමවා යනවිටත් මෙය පවසන අවස්ථා  ඇත.


චාරිත්‍ර වාරිත්‍ර සහ කෑම බීම මදකට කල් තබා ඊළග සටහනින් සකුරා ගැනත් සකුරා පිපෙන කාලයට ජපනුන්ගේ හැසිරීම ගැනත් විස්තර ගෙන එන්නම්