Tuesday, October 9, 2018

තාරා (නවකතාව )......12 කොටස



"ඔයාට සනීප නැද්ද නංගි" 

බියෙන් තැතිගෙන සිටි මට ඒ වදන් ඇසුනේ දිව්‍ය ලෝකයේ සිට අමතන සුරඟනකගේ හඬක් මෙන් මිහිරිවය. මා දෑස් හැරියේ හිස දෙපසට සොලවමිනි.

"එහෙනම් මේ මහ රෑ තට්ට තනියම මෙතනට වෙලා මොකද්ද කරන්නෙ රූම් එකට යන්නැතුව" 

ඒ සුරඟනගේ හඬ මා කිසිදා අසා නොතිබූ ගොරහැඬි හඬක් හිමි යක්ෂණියක උදුරාගත්තේ එවෙලෙහිය. බිය පරදවා දැනුන ආත්මානුකම්පාව විසින් කැඳවූ කඳුළක් ගමනාන්තය සොයාගත නොහැකිව නෙත් අගට විත් නැවතුනි. ඇය මා අසලින් අසුන් ගනිද්දී  අප සිටි තැනට මදක් එහායින් නතරව සිටි මාධව අයියා දරුවන් සමඟ ඒ දෙසට එමින් සිටි නිසා මම  එහි ගමනාන්තය පිටි අත්ලින් සනිටුහන් කළෙමි. 

"මට මහන්සියි අක්කෙ" 

ඉන්පසු වචනයක්වත් නොකී ඈ මගේ හිස සිය උරමත සතපවාගෙන පිරිමැද්දේ මවක මෙන් ලෙංගතුවය. ඉකිගසා හඬන්නට තරම් පීඩනයක් හිත තුල පුපුරු ගසමින් තිබුණත් කුඩා දරුවන් හා මාධව අයියා ඉදිරියෙ අඬාවැටෙන්නට තිබූ අකමැත්ත නිසාම මට මගේ හැඟීම් පාලනය කරගැනීම අපහසු නොවීය. 

"මොකද වෙලා තියෙන්නෙ රාධි" අසාගෙන අප අසලට ආ මාධව අයියාව නිහඬ කරගන්නට රාධිකා අක්කා සිය හස්ථ මුද්‍රාව පාවිච්චි කරද්දීම මම හිස එසවූයේද එනිසාය. 

"ඔයාලා මේ කොහෙ ගිහින් එන ගමන්ද?" 

බලාපොරොත්තු නොවන තැනකදී සිදු වූ ඒ අහඹු හමුව ගැන මා ප්‍රශ්ණ කරද්දී යන්තමින් සිනාසුන මාධව අයියා "තව රෑ වෙන්න කලින් යමුද? නැත්තන් මෙයාලට ට්‍රේන් එකේම නින්ද යයි" කියමින් දරු දෙදෙනා අත් දෙකෙන් අල්ලාගෙන ඉස්සර විය. බංකුව මත වූ බෑගය පිටේ එල්ලාගනිමින් මා නැඟිටිද්දී තාත්තාගේ ග්‍රහණයෙන්  අත මුදාගත් මනෙත් "නැන්දිගෙ කැම්පස් එක කොහෙද තියෙන්නෙ" අසමින් මගේ අත අල්ලා ගත්තේය. ඇලෙන් එපිට වූ විශ්ව විද්‍යාලය දෙසට මා අත දිගු කරද්දී මනෙත්ගේ දෙනෙත රැදී තිබුණේ ඇල ඉවුර සමීපයේම නවතා තිබූ උන්යෝ මරු නෞකාව මතය.

"එතකොට අර නැව"

"ඒක අපේ කැම්පස් එකේ පරණ නැවක්. ඕක දැන් මුහුදෙ යන්නෑ. හැබැයි ඕක මේ රටේ සංස්කෘතික උරුමයක් විදිහටයි සැලකෙන්නෙ"

"එතකොට සෙනිත් අංකල් මුහුදු ගියෙ මේකෙ නෙවෙයිද?"

සෙනිත්ගේ කෙටි පණිවිඩයට පසු ක්‍රියා විරහිත කළ දුරකතනය තාමත් තිබෙන්නේ එලෙසම බව මගේ මතකයට ආවේ මනුත්ගේ ප්‍රශ්ණයත් සමඟය.  අපේ විශ්ව විද්‍යාලය සතුව තවත් පර්යේෂණ නෞකා හයක් ඇති බවත්, සෙනිත් සිය සාගර ගවේෂණයේ යෙදුනේ ඉන් එක් නැවක් වූ උමිතක මරු  නෞකාවේ බවත් ඔහු පැහැදිලි කරදුන් මා බෑග් සාක්කුවක වූ ජංගම දුරකතනය පණ පොවා ගද්දී සිය ප්‍රශ්ණ පත්තරය අකුලා ගත්  මනුත් තාත්තා හා එකතු විය. රාධිකා අක්කාත් සමග මම  ඔවුන් පසුපසින් ගමන් කළේ කොයි මොහොතක හෝ සෙනිත්ගෙන් ඇමතුමක් ලැබෙනු ඇතැයි විශ්වාසෙනි.

"ඔයාගෙ ෆෝන් එක ඕෆ් වෙලාද?. මං ඉන්ටර්කොම් එකට  ගත්තම නැති පාර මොබයිල් එකට ගත්තට ඒක  වැඩ කළේ නෑ" 

"ඔයා ඇයි මට කෝල් කරන්ඩ බැලුවෙ ? මං ලොකු වැඩක හිටිය නිසා ෆෝන් එක ඕෆ් කරලා තිබ්බෙ"

"අර මං ඔයාට දවසක් කිව්වෙ පොඩි අයියගෙ යාළුවෙක් නීගතා ඉන්නවා කියලා. එයාලා අද සිංගප්පූර් යනවා. හනීදා වලින් ෆ්ලයිට් එක තියෙන්නෙ රෑ දොළහයි හතලිස්පහට. හවස ඒගොල්ලො අපේ ගෙදර ආවා. ඔයා ඉතින් ලංකාවෙ කට්ටිය හම්බෙන්න ආස නැති නිසයි මං කෑමට කතා කරේ නැත්තෙ. පස්සෙ පුතාලට මොනොරේල් එකේ යන්න ආසයි කියපු නිසා අපිත් ඒගොල්ලොත් එක්ක එයාර්පෝට් ගිහින් මේ එන ගමන්. එන්න ලෑස්ති වෙලා තමයි මං ඔයා ඉන්නවද බැලුවෙ කෑම එක්ක ගෙනත් දෙන්ඩ"

එතෙක් හිතාගත නොහැකිව තිබූ ඒ අහම්බයට හේතු කාරණා ඇය විසින් ඉදිරිපත් නොකරන්නට මා සිතන්නේ ඔවුන් මා සොයමින් පැමිණි බවය. රෑ මැදියමට ආසන්න වනතුරු මා විද්‍යාගාරයේ රැදී සිටීම හෝ උද්‍යාන බංකුවකට වී කල් මැරීම ගැන ප්‍රශ්ණ නොකළ ඇය ඉන්පසු නිවසට පැමිණි අමුත්තන් සමඟ ගතකළ  සැදෑවේ අසිරිය  දිගහරින්නට පටන් ගද්දී  පුදුමයක් දැනුනද මා සිටියේ සිත සැහැල්ලු කරගනිමින්ය.. තෙන්නොසු අයිරු දුම්රිය ස්ථානයේත් විනාඩි පහ හයක් රැදී සිටි අපි ටෙලිෆෝට් දුම්රිය ස්ථානයෙන් පිටවන විට මධ්‍යම රාත්‍රියට අත වනමින් සිටි ඔදයිබාව ජනශූන්‍ය පෙදෙසක් බවට පත්ව තිබුණි.  

"ඔයා වෙනදට මෙච්චර රෑ වෙනකල් ඉන්නෑනෙ" මගේ ප්‍රමාදය ගැන හේතු විමසීමට අතපසු වූ බව ඇයට මතක් වූයේ මිනිස් පුලුටක්වත් ඇස නොගැටී ගන්දම් පසුකර නිවාස සංකීර්ණය දෙසට ඇවිද එනවිටය. 

"මං එයාට දෙකක් කතා කරලා එනකල් ඔයා මේ දෙන්නත් එක්ක යන්නකො" කියමින් මාධව අයියා පදික මාරුව සමීපයේදී දරු දෙදෙනා රාධිකා අක්කා අසලට කර මදක් නතර විය. සිනාසී මා දෙස බැලූ රාධිකා අක්කා දරුවන් සමඟ පාර මාරු වූයේ අපට තරමක් ඉදිරියෙනි.

"ඔයා හෙට ෆ්‍රී ද නංගි" බැණුම් ඇසීමේ අපේක්ෂාවෙන් සිටි මට මාධව අයියාගේ පැණය ප්‍රහේළිකාවක් වුවත් පිළිතුර තිබුණේ දිව අගය. මහාචාර්යවරයාට යැවූ  පර්යේෂණ වාර්තාවේ නිවරදි කිරීම් කාමරයට පැමිණියද කළ හැකිව තිබුණත් මා වෙලාව නොතකමින් ඒ කාර්ය එහිදීම නිම කළේ පසුදා සැහැල්ලුවෙන් ගෙවීමටය.

"විශේෂ වැඩක්නම්  නෑ"

"එහෙනම් මාත් එක්ක අර ගමන යන්න එන්න පුළුවන්නෙ"

"මොන ගමනද"

"ඇයි ළමයෝ මං කිව්වෙ අක්කට තෑග්ගක් තෝරලා දෙන්න එන්න කියලා" ඔහු එවන් උදව්වක් ඉල්ලූ බව පවා මගේ මතකයට පිවිසියේ එවෙලෙහිය.

"ආ ඒකද?. මං එන්නම්. අයියා කීයට විතරද යන්නෙ"

"මං දහයට ෆුනෙ-නො-කාගකුකන් ස්ටේෂන් එකේ ඉන්නම්. ඔයාට එන්ඩ පුළුවන්ද ඒ වෙලාවට" 

හිස දෙපසට සොලවා ඊට එකඟ වූ මා ඔවුන්ගෙන් සමුගෙන කාමරයට ආවේ විශ්ව විද්‍යාලයෙන් පිටතට එනවිට හිස මත වූ පීඩනය ගැන මතකයක්වත් නැතුවය.

හිරි නැඟී හෝරා කීපයක් ගතවන තුරු නිදාගත් මා පසුදා උදෑසන අවදි වූයේ මාධව අයියා සමඟ ඔකාචිමචි යාමේ බලාපොරොත්තුවෙනි. රාධිකා අක්කාගේ උපන් දිනය හෝ ඔවුන්ගේ විවාහ සංවත්සරය වැනි සුවිශේෂි දිනයක් එළඹෙන සතිය තුල ඇති බවට අනුමානයක් ඇතත් එය තහවුරු කරගත හැක්කේ මාධව අයියා හමු වූ පසුය. ලැප්ටොප් බෑගයේ වූ මුදල් පසුම්බියත් චාජරයට සම්බන්ධ කර තිබූ වයි ෆයි රවුටරයත් පිටේ එල්ලාගෙන යා හැකි කුඩා හම් බෑගය තුලට ඔබාගත් මා ඇද මත වූ ජංගම දුරකතනය අතට ගෙන කාමරයෙන් පිටවූයේ දහයට විනාඩි  හතක් තිබියදීය. 

"මට ඔයාව මුණ ගැහෙන්න ඕනි. දහයට එන්න පුළුවන්ද?" 

දුරකතන තිරය මත සටහන්ව තිබූ සෙනිත්ගේ කෙටි පණිවිඩය  මා දුටුවේ විදුලි සෝපානයෙන් පහළට ගමන් කරමින් සිටින මොහොතේ ජංගම දුරකතනය පරීක්ෂා කරද්දීය. මාධව අයියාට  පොරොන්දුවක් දී තිබු එවෙලෙහි කළ යුත්තේ කුමක්දැයි සිතමින් මා විදුලි සෝපානයෙන් පිටතට එනවිටත් සෙනිත් සිටියේ අපේ නිවාස සංකීර්ණය ඉදිරිපිටය.

"ඔයාගෙන් උත්තරයක් හම්බුනේ නැති  නිසා මං හිතුවෙ ඔයා මගේ පණිවිඩේ දකින්න නැතුව ඇති කියලා"  මගේ මුහුණේ ඇති හැඟීම් වටහා ගත නොහැකිව නළල රැලි කරගෙන බලා සිටි ඔහු මා එලියට එද්දීම පැවසීය.

"එහෙනම් ඇයි මෙතන ඉන්නෙ"

"දන්නෑ. මගෙ හිතට දැනෙන්නැති ඔයා එනවමයි කියලා" 

ඔහු සැහැල්ලු ස්වරයකින් එසේ කියමින්ම ප්‍රධාන මාර්ගය දෙසට හැරුනේ මා ඔහු සමඟ එන බවට අනුමානයෙනි. එහෙත් සිදු වූ අහම්බය ඔහුට තේරුම් කර දෙන්නේ කෙසේදැයි සිතමින් මා සිටියේ උන් තැනමය.  බොහෝවිට ඔහුගේ කෙටි පණිවිඩය ලැබෙන්නට ඇත්තේ මා නාන කාමරයේ සිටියදීය. එක්වරක් හෝ දුරකතනය පරීක්ෂා කළේ නම් එය මඟ නොහැරෙන්නට ඉඩ තිබුණද ඒ වනවිට මා ප්‍රමාද වැඩිය.

"තාරා ඇයි ඔයාට මොකක් හරි පරශ්ණයක්ද?" ක්ෂණයකින් මහිත හඳුනාගත් ඔහු ආපිට හැරී මගේ නෙත් වලට එබුනේ කලබලයෙනි.

"මෙහෙම කියනවට සමාවෙන්න සෙනිත්. මං ඇත්තටම ඔයාගෙ  පණිවිඩේ දැක්කෙ මේ දැන්. පහළට එද්දි"

"එතකොට ඔයා මේ ආවෙ විශ්ව විද්‍යාලෙට යන්ඩද? කමක් නෑ ඔයා ගිහින් ඔයාගෙ වැඩේ කරගෙන එන්නකො. අපි හවසට බැරි වුණොත් හෙට මුණ ගැහෙමු. යමු මං ඔයත් එක්ක දුම්රිය ස්ථානයට එන්නම්" 

"මං අද විශ්ව විද්‍යාලෙට යන්නෑ "

"එහෙනම්"

"මාධව අයියා කතා කරා එයත් එක්ක පොඩි ගමනක් යන්ඩ. අයියා දැන් මෙතන දුම්රිය ස්ථානෙට ඇවිත් ඇති" 

නිවාස සංකීර්ණයට වම්පසින් පිහිටි මාධව අයියා මා එනතුරු බලාසිටින්නට පොරොන්දු වූ දුම්රිය නැවතුම අත දිගු කර පෙන්වමින් මා කිව්වේ වෙනත් විකල්පයක් නොවූ නිසාය.
රාධිකා අක්කා තරමටම සමීප නැතත් මාධව අයියාට මා ලබාදී තිබුණේ මගේම සහෝදරයෙකුට හිමි තැනය. සහෝදර සහෝදරියන් කිසිවෙක් නැති මාධව අයියා මට සැලකුවේද ඔහුගේ බාල සොයුරියකට සලකන පරිදිය. එනිසාම ඔහු සමග තනිව ගමනක් යාම වරදක් යැයි මට මොහොතකටවත් නොසිතුනි. ලාංකික අපිට වඩා සෑම දෙයක් දෙසම විවෘත මනසකින් බැලීමට මෙන්ම ඕනෑම දෙයක් විවෘතව කතා කිරීමට පුරුදුව සිටි සෙනිත්ට මා මාධව අයියා සමග ගමනක් යන බව පැවසීම අපහසු නොවූයේ එනිසාය. එහෙත් ඔහුගේ මුහුණට ආරෝපණය වූයේ මා කිසිදා දැක නැති තරම් රෞද්‍ර පෙනුමකි. මා මාධව අයියා සමග ගමනක් යාම ඔහුට කෝප ගන්නට කාරණයක් වූයේ කෙලෙසදැයි  එවෙලෙහි මට සිතාගත නොහැකි විය. තත්පර තිහ හතලිහක් ඒ බැල්මෙන්ම මා දෙස බලාසිටි ඔහු " ගිහින් ඇවිත් මට කතා කරන්න පුළුවන්ද?" කියා අසද්දීම මාධව අයියා අප අසලට පැමිණියේ "සුබ උදෑසනක් සෙනිත්" කියමිනි. වෙනදා මාධව අයියා සමග ඉතාමත් සුහදව කතාබහ කරන සෙනිත්ගෙන් ඊට එතරම් උණුසුම් ප්‍රතිචාරයක් නොලැබුනද මාධව අයියාට එය නොතේරුණි.

"සෙනිත් ඔය විශ්ව විද්‍යාලෙට යන ගමන්ද"

"නෑ මං තාරව මුණ ගැහෙන්න ආවෙ" 

රාධිකා අක්කාගේ සැකය හෝ ඉන් මා පත්වූ අපහසුතාවය ගැන කිසිවක් නොදත් සෙනිත් පිළිතුරු දුන්නේ මගේ දෑස් දෙස බලාගෙනය. මාධව අයියාගේ කට කොණක සිනහවක් නලියනු දුටුවද මා සිටියේ එය නොදැනුනා සේ බිම බලාගෙනය.

"එහෙනම් සෙනිත්ටත් පුළුවන්නෙ අපිත් එක්ක එන්න. මං ඔයාගෙ තාරව එක්ක යන්න හදන්නේ මගේ බිරිඳට දෙන්න හොඳ තෑග්ගක් තෝරවා ගන්න " 

පෙරදිනක රාධිකා අක්කා ඉඟි කළ පරිදිම මාධව අයියාද අප අතර පෙම් සබදතාවක් ඇති බවට අනුමානයෙන් හෝ ඔහු ඒ ගැන හොඳින් දන්නා බවක් ඇඟවීමට හෝ "ඔයාගෙ තාරා" කියා බර කර කියා සිටියද සෙනිත්ට එහි වෙනසක් නොදැනෙන්නට ඇත. මා දෙස බලා සිනාසුන ඔහු "බලමුකො ඔයත් එක්ක සාප්පු සවාරි යන එක අපෙ අක්කා එක්ක යනවට වඩා වෙනස්ද කියලා" කියමින් අප සමග පැමිණීමට කැමැත්ත පල කළේ එනිසාය.


රියදුරෙකු නොමැතිව ධාවනයේ යෙදෙන යුරිකමොමෙ දුම්රියකින් ෂිම්බාශි වලට පැමිණ එතැනින් වෙනත් දුම්රියක නැග අප ඔකාචිමචි දුම්රිය ස්ථානයට ළඟා වූයේ පෙරවරු 10.45 ට පමණය. අඩ හෝරාවකට මදක් වැඩි ගමන් කාලය තුලම සෙනිත් මා අසලින්ම සිටියේ මාධව අයියාට මා හා වචනයක්වත්  කතා කිරීමට ඉඩක් නොතබමිනි. දුම්රිය ස්ථානයෙන් පිටව ගූගල් සිතියමේ ආධාරයෙන් ස්වර්ණාභරණ අලෙවි සැල සොයා යද්දී මාධව අයියා සමග ජපානයේ ගමනාගමන පහසුකම් ගැන  සාකච්චා කරමින් ගිය ඔහු අදාල ස්ථානයේ අප නතර වූ විට මා දෙස වික්ෂිප්ත බැල්මක් හෙලීය. උදෑසන අප මුණ ගැසුන වේලාවේ සිටම ඔහුගේ හැසිරීමේ අමුත්තක් තිබුණද මට ඒ ගැන සිතමින් සිත වෙහෙසවන්නට වුවමනාවක් නොවීය.

"ඔයාලා ඕනි දෙයක් තෝරගෙන එනකල් මං මේ හරියෙ ඉන්නම්" කියමින් ඔහු ඒ අවට තිබූ අනෙකුත් කඩ සාප්පු දෙසට නෙත් යොමු කරමින් මාධව අයියාටත් මටත් තනිව සාප්පුව තුලට යාමට ඉඩ සැලසීම අපි තිදෙනාටම පහසුවක් විය. ඔහු ළඟ සිටියදී මාධව අයියා සමග සිංහලෙන් කතා කළ නොහැකි වීමටත් වඩා ඔහුගේ හැසිරීමේ වූ වෙනස මා අපහසුවට පත් කරවීය.


ස්වර්ණාභරණ සමග මට තිබුණේ දුරස්ථ සබදතාවක් බව මාධව අයියා දැන සිටින්නට හැටියක් නැත. එසේ නොවන්නට ඔහු මට එවන් ඇරයුමක් කරන්නට හිතන්නේවත් නැත. වාසනාවකට මෙන් මාධව අයියාගේ සිතට සරිලන රන් පෙන්ඩනයක් තෝරා දීමට මට ඒ හැටි වෙලාවක් ගත නොවුනද එහි මිල මා  බලාපොරොත්තු වූවාට වඩා කිහිප ගුණයකින්ම වැඩි විය. රන් අභරණ වල මිල ගනන් පිළිබදව මගේ ඇති අල්ප දැනීම නිසා මාධව අයියා අපහසුවට පත් වූ බව සිතා මා ඔහුට දැරිය හැකි මිලකට ගත හැකි වෙනත් පෙන්ඩනයක් තෝරන්නට උත්සහ කළද මාධව අයියා මා මුලින් තේරූ  පෙන්ඩනය මිලට ගත්තේ කිසිදු පැකිලීමකින් තොරවය. ඔහු එහි මිල ගැන  තැකීමක් නොකලද මට සිතුනේ එය ඔහුට ඔරොත්තු නොදෙන වියදමක් ලෙසය

"මේක දැක්ක ගමන් රාධි දැනගන්නවා තේරුවෙ මං නෙවෙයි කියලා" මාධව අයියා සාප්පුවෙන් පිටතට පැමිණියේ තෘප්තිමත් සිනහවකින් මුව සරසාගෙනය. 

"අක්කගෙ උපන්දිනේද නැත්තන් ඔයාලගෙ ඇනිවසරි එකද" 

"දෙකම ළඟක නෑ"

"එහෙනම්"

"මිනිහෙක් තමන්ගෙ ගෑනිට තෑග්ගක් දෙන්න ඕනි ඔය දවස් දෙකට විතරද?"  

මාධව අයියා මා වෙත නැමී රහසක ස්වරයෙන් අසද්දී යාබද සාප්පුවක සපත්තු තෝරමින් සිටි සෙනිත් අප අසලට ආවේ මිලට ගත් කිසිවක් අතේ නොමැතිවය.

"ඒකට උත්තරයක් දෙන්න බෑ මං තාම අන්මැරීඩ් නිසා" සෙනිත් නළල හකුලුවා මා දෙස බැලීය.

"මේ බදාදට පුතාලගෙ උපන්දිනේ. ඔන්න දෙන්නම එන්න ඕනි අපේ ගෙදර රෑ කෑමට" මාධව අයියා සෙනිත්ගේ උර මත අතක් තබමින් පැවසුවේ අප අතර සිංහලෙන් ඇති වූ සංවාදය ගැන අහිතක් හිතන්නට ඉඩ නොතබමිනි.  සෙනිත් ඊට කැමැත්ත පළ කල පසු "එහෙනම් මං මෙහෙමම යනවා අමේ යොකෝ වෙළඳ සංකීර්ණෙට. බොහොම ස්තූතියි! දෙන්නටම මට උදව් කළාට" කියමින් එතනින් නික්ම යන්නට සැරසුනි. 

"අයියා දැන් ගෙදර නෙවෙයිද යන්නෙ"

"මං කොහෙ ගියාම මොකද ඔය දෙන්නට ඕනි තැනක යන්න නිදහස දීලා" 

දෙතොලින් පිට පනින්නට සැරසෙන සරදම් සිනහව සඟවාගන්නට තැත් දරමින් ඔහු එය සිංහලෙන් පවසන්නට ඇත්තේ මා කේන්ති කරවීමටය. මොකද්දෝ කියාගත නොහැකි හැඟීමකින් පීඩා විදිමින් සිටි සිත කඳුළකට අඩ ගසන්නට ඇත්තේ එය එතැනට නුසුදුසු බව මතක් වන්නට පෙරය. "අයියෝ මං විහිළුවක් කරේ" කියමින්  හිසට තට්ටුවක් දැමූ මාධව අයියා එතනින් පිටව ගියේ සෙනිත්ගේ උරහිසටද තට්ටුවක් දමාගෙනය. ඔහු පිටව යනදෙස බලාසිටි සෙනිත් මා ඉදිරියෙන් සිටගත්තේ "දැන් පුළුවන්ද මාත් එක්ක කතා කරන්න" කියමිනි.

"දැන් පුළුවන්ද අහන්නෙ මං මීට කලින් බෑ කියලා තියෙනවද?" 

මාධව අයියා කෙරෙහි වූ අමනාපය සෙනිත් පිටින් ගිය වග තේරෙන විට මා ප්‍රමාද වැඩිය.

"මේ දවස් ටිකට ඔයා ගොඩක් වෙනස් වෙලා තාරා"

"මං නෙවෙයි වෙනස් වෙලා තියෙන්න ඔයා"  

"මෙතන රණ්ඩු කරන්නැතුව අපි කොහෙට හරි ගිහින් කතා කරමුද?" මම හිස සොලවා කැමැත්ත ප්‍රකාශ කරද්දී මා ප්‍රිය කල සිනහව ඒ දෙතොලතර විය.

මා සමග බොහෝ දේ කතා කිරීමට තිබෙන බව පැවසූ ඔහු ඊට සුදුසු ස්ථානය ලෙස විශ්ව විද්‍යාලයේ අපේ පර්යේෂණාගාරය පිහිටි ප්‍රධාන පරිශ්‍රය හෝ ඔහුගේ පර්යේෂණාගාරය පිහිටි එචුජිමා තෝරාගන්නා මෙන් මගෙන් ඉල්ලා සිටියේ දුම්රිය වේදිකාවේදීය. වරක් විදෙස් සිසුන් සඳහා විශ්ව විද්‍යාල පරිපාලනය විසින් සංවිධානය කළ සාදයකට සහභාගී වීමට පමණක්  එචුජිමා ගොස් තිබු මට ඒ පරිසරය නැවත දැක ගැනීමේ උවමනාවක් තිබුණේ කලක පටන්ය. දෙවරක් නොහිතාම මා එහි යාමට එකඟ වූයේ එනිසාය.


 මතු සම්බන්දයි

10 comments:

  1. සෙනිත්ට මොකද මේ තරම් තරහා ගිහින්.
    මාධව අයියාට රාධිකා අක්කා කියලා ඇති දෙන්නාට දෙන්නා හොරෙන් ආදරේ කරනවා කියලාත්.නැතිනම් මාධව අයියා ඔහොම තාරාව දාලා යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //සෙනිත්ට මොකද මේ තරම් තරහා ගිහින්// එයා ජීවත් වෙච්චි රටවල් එකකවත් කොහිල තිබ්බෙ නැතිලු

      //නැතිනම් මාධව අයියා ඔහොම තාරාව දාලා යන්නේ නැහැ// ඔයා හිතන්නෙ අනිත් දවස්වලට මාධව අයියා තාරගෙ ආරක්ෂාවට එයාගෙ පස්සෙන් හිටියා කියලද?. නෑනෙ මල්ලි, තාරා කියන්නෙ මයි කාර්, මයි පැට්‍රල් මයි ඩ්‍රයිවින් ළමයෙක්නෙ. රෑ පානෙ සෙනිත් එක්ක යන එනවනම් ඔය මහ දවාලක මොකෝ දාලා එන්න බැරි තෝකියො කිට්ටුව ටවුමක


      Delete
    2. කොහිල වලට තරහා යන්නේ නැතිනම් අපේ ගෙදරට කිලෝ ගණන් අරන් යන්න ඕනේ.:D

      මාධව අයියා තාරගෙ පස්සෙන් වෙන දවස්වල නොහිටියාට මේ ගියේ මාධව අයියාගේ වැඩකටනේ.

      Delete
    3. ගේ පිටිපස්සෙ කොහිල ගාලක් වවාගන්න මල්ලි

      ඒ අයියා ඔයා වගේ හොද අයියෙක් වුණානම් තමන්ගෙ වැඩේට එක්ක ආව තාරව මග දාලා යන්නැති වෙයි. හැබැයි මෙයා එහෙම කෙනෙක් නෙවෙයිලු. සෙනිත් ආවෙ තාරව හම්බෙන්න කියලත් කිව්ව නිසා ඔන්නොහෙ දාලා යන්නැති

      Delete
  2. අන්තිම කොටස් හතරම එක දිගට කියවන්න උනේ. ඒක නියමයි නේ. :)

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ සද්ද බද්ද නැති නිසා මං හිතුවෙ කතාව එපා වෙලා කියලා.

      මොකද්ද නියම එක දිගට කොටස් හතරක් කියවන එකද?....මං ඉතිරි ටික එහෙනම් කොටස් හතර ගානෙ එකට පෝස්ට් කරන්නම්

      Delete
  3. අනේ මං දන් නෑ අක්කේ... මං කැමති නැහැ නේ වගේ ලව් ස්ටෝරි වලට.දුක හිතෙනවා. මොකද, ඈදරේ ප්‍රකාශ නොකල ආදරේ කලාම අනිවාර්යයෙන් හිමි වෙන්නේ දුකනේ.. තාරා පව් ඒ නිසා.අනික මේක ඇත්ත කතාවක් වගේ දැනෙන විදියට ඔයා ලියනවා.

    ReplyDelete
    Replies
    1. මේක කතාවක් නිසා එච්චර සීරියර්ස්ලි වොරි වෙන්න දෙයක් නෑ අරු.

      Delete
  4. ලස්සනයි. මටත් කලින් ටික මග ඇරිලා අද ඔක්කොම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙකුට ඒක වෙලා තියෙන්නෙ මගේ ෂෙඩූල් එක ෆාස්ට් වැඩිද කොහෙද

      Delete