Wednesday, November 7, 2018

තාරා (නවකතාව ).....18 කොටස


අග්නිදිග විශ්ව විද්‍යාලයේ මා අයදුම් කළ ආධුනික කථිකාචාර්ය තනතුරට බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සදහා කැදවීමේ ලිපිය ලද බව අනුලා ටීච මට දැන්වූයේ ජනවාරි 28 දා රාත්‍රියේය. සම්මුඛ පරීක්ෂණය යෙදී තිබුණේ පෙබරවාරි හය වෙනිදාටය. ඒ වනවිට සහය මහාචාර්යවරයා සම්මන්ත්‍රණයට සහභාගී වීම  සදහා ලංකාවට යාමට ඔහුටත් මටත් ගුවන් ටිකට්පත් වෙන් කරවාගෙන තිබුණේ මාර්තු 18 වෙනිදාටය. සති හයක් තුල දෙවතාවක් නිවාඩු ලබාගත නොහැකි වීමටත් වඩා උපාධිය අවසන් කිරීමට තවත් මාස අටක කාලයක් ජපානයේ රැදී සිටිය යුතු නිසා අකමැත්තෙන් හෝ ඒ බලාපොරොත්තුව අතහැරගන්නට මම තීරණය කළෙමි. මුලින් කිහිප වරක් පෙරැත්ත කළද අවසානයේ අනුලා ටීචද මගේ තීරණයට එකඟ වීම මා ලැබූ ලොකුම අස්වැසිල්ල විය. 


"ඔයානම් මහ මෝඩියෙක්. ඔයාට තිබ්බෙ දවස් තුන හතරකට හරි නිවාඩුවක් ඉල්ලන් ගිහින් බලන්නනෙ " මගේ තීරණය දැනගත් වහා රාධිකා අක්කා අවලාද කියන්නට වූවාය.


"ඒකට ගිහින් වැඩක් නෑ අක්කෙ. කල් වැඩියිනෙ. හොදයි මට ජොබ් එක හම්බුනා කියලා හිතන්නකො. එයාලා මට නිවාඩු දෙයිද පීඑච්ඩී එක කම්ප්ලීට් කරගන්න"

"මොකද දෙන්නැත්තෙ. නිවාඩු දෙන්න බැරිනම් ඔයාට පුළුවන්නෙ රස්සාව බාරගන්න එක ටිකක් පරක්කු කරන්න"

"එහෙමත් පුළුවන්ද"

"මොකෝ බැරි. ආයෙ එහෙම ඔය ගොන් වැඩ කරන්න එපා. ඔයා මට නිකමට හරි කලින් ඔය ගැන කිව්වනම් මං කීයටවත් ඔයාට නොයා ඉන්න දෙන්නෑ" 


මා ඒ දිනය පසුවන තුරු ඇයට ඒ ගැන නොකියා සිටින්නට වග බලා ගත්තේද ඇගේ පෙරැත්තය හමුවේ මට පරදින්නට වන බව දැනගෙනය. ඒත් රැකියාව ලැබුණේ නම් වැඩ බාරගැනීමට කල් ඉල්ලාගත හැකි බව  දැන සිටියා නම් සම්මන්ත්‍රණය මඟහැර හෝ සම්මුඛ පරීක්ෂණයට යාමට මට උත්සහ කරන්නට තිබුණි. නොලැබුණ දේවල් වලට හඬා දොඩා පුරුද්දක් නැතත් ඒ ගිලිහ ගිය අවස්ථාව අමතක කිරීම මා සිතූ තරම් පහසු කටයුත්තක් නොවීය. ජපන් රජයෙන් මට ශිෂ්‍යත්ව මුදල් ලබාදෙන්නේ සැප්තැම්බර් වන තෙක් ඉදිරි මාස අට සදහා පමණක්  බව මම මුල සිටම දැන සිටි කරුණකි. ඉන්පසුවත් ජපානයේ රැදී සිටින්නට නම් පශ්චාත් ආචාර්ය උපාධියක් සදහා ලියාපදිංචි විය යුතුය. මුල් කාලයේදී එවන් සිතුවිල්ලක් සිත යට සැඟව තිබුණත් කාර්‍යබහුලත්වයත් සමග මගේ වැඩ කටයුතු අමතක කළ මහාචාර්යවරයා සමග තවදුරටත්  වැඩ කරන්නට  හිත හදාගත නොහැක. ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක පශ්චාත් ආචාර්ය උපාධියක් සදහා අයදුම් කරන ලෙස සෙනිත්ගේ පෙරැත්තතයක් තිබුණත් මට ඒ ගැන දෙවතාවක් නොව, සිය දහස් වාරයක් සිතන්නට උවමනා නිසාම මා සිටියේ ඒ ඉල්ලීම හිතාමතාම අමතක කරමිනි. තවදුරටත් ඉගෙන ගැනීමේ උවමනාවක් තිබුණත් ඒ වෙනුවෙන් විදෙස් රටක ජීවත් වීමට පෙර විශ්‍රාම සුවයෙන් තනිව සිය නිවසේ වෙසෙන  අනුලා ටීචර්ගේ සුව දුක් සොයා බැලීමට මා මුල්තැන දිය යුතුය. ආචාර්ය උපාධිය ලබාගත් සැනින් මා ලංකාවට යායුත්තේ එනිසාය. ඊට පෙර රැකියාවක් සොයාගත නොහැකි වුවහොත් පත්වන අපහසුතාවය ගැන හිතන්නට මම අකමැතිය. ඒ වනවිට සැලකිය යුතු තරම් මුදලක්  මා අත ඉතිරිව තිබුණත්  රැකියාවක් නොමැතිව අනුලා ටීචගේ නිවසට වී කල්ගත කිරීමක් ගැන සිතීමත් දුෂ්කරය.


හන්තානේ පිහිටි මූලික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ සහකාර තනතුරට යැවූ අයදුම්පත සලකා බලා මාර්තු 21 දා සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන ලෙස දැන්වූ ඊමේල් පණිවිඩය ලැබුණේ මා උදාවන්නට නියමිත දුෂ්කර කාල වකවානුව ගැන එලෙස ලතවෙමින් සිටියදීය. එය ස්ථිර රැකියාවක් නොවන බවත් පර්යේෂකයින් බදවා ගන්නේ වසරක කොන්ත්‍රාත් පදනම මත බවත් අයදුම් පත් යවන විටත් මම දැන සිටියෙමි.

"ෂා ඒකනම් ඔයාට හොද චාන්ස් එකක්" ඒ ආරංචිය මුලින්ම දැනුම් දීමට රාධිකා අක්කා සොයාගිය විට ඈ ඒ ගැන මටත් වඩා සතුටට පත්විය.

"කැම්පස් එකකට වඩා මං කොහොමත් ආසයි රිසර්ච් ඉන්ස්ටිටුයිට් එකක වැඩ කරන්න"

"ඔයා දැන් අර කොන්ෆරන්ස් එකට යන්න ඉන්නෙත් මාර්තු නේද?. සෙන්සෙ දෙපාරක් යන්න නිවාඩු දෙයිද?" 

"මගේ වෙලාවටමද මන්දා කොන්ෆරන්ස් එක තියෙන දවසකම තමයි ඉන්ටර්විව් තියෙන්නෙත්, 21 දා. වැඩි දුරකුත් නෑ හන්තානෙනෙ "

"එහෙනම් මේක ඔයාටම ලැබෙන්න තියෙන ජොබ් එකක්" 

"එහෙම වෙනවනම් කොච්චර හොඳද අක්කෙ. හැබැයි ඒ ඊමේල් එක මටයි තව දෙන්නෙකුටයි විතරයි යවලා තියෙන්නෙත්. හොඳ ට්‍රයි එකක් දීලා බලන්න ඕනි"

"ඔයාට නුවරින් ජොබ් එකක් හම්බෙනවනම් ෂෝක්. මට ඔයාව අපේ නැන්දලාගෙ ගෙදර නතර කරන්න පුළුවන්. එතන ඉදන් ඔය කියන තැනට යන්න බස් හෝල්ට් දෙකයි"


මාර්තු දහ අටවෙනිදා නරීටා ගුවන් තොටුපළෙන් කටුනායක බලා යන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයට පා තබද්දී, බලාපොරොත්තු කන්දක් හිත වටකොට පවුරු බැද තිබූ බව මට මතකය. ගුවන් තොටුපල කුලී රියකින් අපි උඩපේරාදෙණියේ පිහිටි මාධව අයියාගේ රෙකමදාරුවෙන් තෝරාගත් හෝටලයට එනවිට රෑ බෝ වී තිබුණි. අහස සිඹින ගොඩනැඟිලි වලින් පිරි තෝකියෝවේ සිට දොළ පහරකට මායිම්ව ඉදිකර තිබූ ගහ කොළ පිරිවරාගත් කුඩා හෝටලයකට පැමිණි පසු දැනෙන සැහැල්ලුව වචනයෙන් විස්තර කළ නොහැකි බව සහය මහාචාර්යවරයා පැවසුයේ පසුදා උදෑසන කෑම මේසයේදීය. අපට අමතරව සම්මන්ත්‍රණය වෙනුවෙන් පැමිණි තවත් විදේශිකයන් කිහිප දෙනෙක්ම එහි නවතැන්ගෙන සිටින බව අප දැනගත්තේද එවෙලෙහිය.  හෝටලයේ සිට ඇවිද යා හැකි දුරකින් තිබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්‍යට වශී වී සිටි සහය මහාචාර්යවරයා  අපේ මහාචාර්යවරයාට ඒ ගමන ඒමට නොහැකි වීම ගැන  කණගාටු වූයේ "තාරා සන්ගෙ රට මෙච්චර ලස්සනයි කියලා දන්නවනම් ඉෂිෂාකි සෙන්සෙ දවසකට හරි ඇවිත් යන්න එනවා" කියමිනි. 


"මං හිතා හිටියෙ ඉෂිසාකි සෙන්සෙත් අපිත් එක්ක එනවා කියලා"

"සෙන්සෙට මේ දවස්වල කොහෙවත් යන්න අවසර නෑ. නැතිනම් සෙන්සෙ කීයටවත් මේ ගමන නෑවිත් ඉන්නෑ" 

එතෙක් ඔහුට ඒ ගමන වෙනුවෙන් වැය කරන්නට කාලයක් නොමැති බව සිතමින් සිටි මට එය අලුත් ආරංචියක් විය. විශ්ව විද්‍යාලයෙන් ඔහුට අවසර නොදීමට හේතුවක් සිතාගත නොහැකි වුවත් ඒ ගැන හාරා ඇවිස්සීම නොකළ යුත්තක් බව දැන වුන් මම ඉන්පසු නිහඬ වුණෙමි.

"තාරා සන්ගෙ ගෙවල් මෙහෙ ඉදන් ගොඩක් දුරද?" සම්මන්ත්‍රණයේ දෙවෙනි දිනය අවසානයේ හෝටලය වෙත ඇවිද එන අතරතුර සහය මහාචාර්යවරයා ඇසුවේ මා බලාපොරොත්තුවෙන් සිටි පැනයකි.

"ගොඩක් දුරනම් නෑ. ඒත් කඳු පාරවල් නිසා ගිහින් එන්න දවසක්ම වගේ ඕනි වෙනවා"

"ඔයාට අනිද්දා මෙහෙන් සංවිධානය කරලා තියෙන සංචාරයට සහභාගි වෙන්න ඕනි නැතිනම් ගෙදර ගිහින් ආවට කමක් නෑ" 

මට ඔහු බදා වැළඳ ගන්නට සිත් වූයේ එවිටය.  පසුදාට යෙදී ඇති සම්මුඛ පරීක්ෂණය පිළිබද මා ඔහුට ජපානයෙන් පිටවීමටත් පෙර දැනුම් දී තිබුණත් පැය කීපයක් ගතවෙන ගමනකට  අවසර ඉල්ලන්නට තරම් ශක්තියක් මට නොතිබුණි.  සම්මන්ත්‍රණයේ වැඩ කටයුතු අවසන් වූ පසු විදේශිකයින් වෙනුවෙන් සූදානම් කර තිබූ සීගිරි සංචාරයට සහභාගී වීමට මා මුලින් සිතාගෙන සිටියත් අනුලා ටීචගේ සැපදුක බලා ඒමට ලැබුණ අවස්ථාව වෙනුවෙන් එය මඟ හැරීම ඒ හැටි දෙයක් නොවීය.


සම්මුඛ පරීක්ෂණය යෙදී තිබුණේ 21 දා හවස දෙකටය. දිවා ආහාර විවේකයෙන් පසු සහය මහාචාර්යවරයාට දැනුම් දී විශ්ව විද්‍යාලයෙන් පිටව ආ මා පෙර සූදානම් කර තිබූ සාරියෙන් සැරසී හෝටලයටම ගෙන්වා ගත් ත්‍රිරෝද රථයකින් අදාල ස්ථානයට යනවිට දෙකට විනාඩි විස්සක්ම තිබුණි. මට පෙර එහි පැමිණ සිටි අනෙක් අපෙක්ෂකයින් දෙදෙනාම ලංකාවේ විශ්ව විද්‍යාල වල තාවකාලික ප්‍රදර්ශකවරු ලෙස සේවය කරන බව දැනගත් පසු මගේ බලාපොරොත්තු අලුත් වූයේ මා ඔවුන් දෙදෙනාටම වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටි නිසාය. ඒ අලුත් වූ බලාපොරොත්තුවේ පහන් සිළු පෙරටත් වඩා දීප්තිමත් වූයේ පරීක්ෂක මඩුල්ල මගේ ආචාර්ය උපාධියේ පර්යේෂණ කටයුතු ගැනත් ඒ වනවිට ප්‍රකාශයට පත්ව තිබූ පර්යේෂණ පත්‍රිකා දෙක පිළිබදවත් වඩාත් උනන්දුවෙන් ප්‍රශ්ණ කරන්නට ගත් පසුය. සවස තුනට පමණ මා එතනින් පිටව ආවේ ඒ රැකියාව ගැන බලාපොරොත්තු තබාගත හැකි බවට දැඩි විශ්වාසයකිනි.


අනුල ටීච වෙනුවෙන් තායිලන්තයෙන් හා ජපානයෙන් මිලට ගත් තෑගි බෝග බොහොමයක් තිබුණද ලංකාවෙන්ද ඈ සදහා කුමක් හෝ මිලදී ගත යුතුයැයි මට සිතුනේ සම්මුඛ පරීක්ෂණය අවසන් කර මහනුවර නගරයට දෙසට ඇවිද යද්දීය. යටිනුවර වීදියේ වූ සාරි කඩයකට මා ගොඩවුයේ ඒ හදිසියේ හිතට ආ සිතුවිල්ලට අවනතවය. 


"මිස්ට පුළුවන්ද මටත් සාරියක් තෝරලා දෙන්න" 

අඩ හෝරාවකට කිට්ටු කාලයක් වෛවර්ණ සාරි අත පත ගා අනුලා ටීචට සුදුසු සාරියක් තෝරාගත් මා එන්නට හැරෙද්දී මා අසල සාරි තෝරමින් සිටි තරුණයා ඇසුවේ ආචනාත්මක හඬකිනි. කළු කලිසමක් හා සුදු අත්දිග කමීසයක් ඇද උන් ඔහු කමීස අත් වැලමිටට නවාගෙන තිබු අපිලිවෙලත් මුහුණේ වූ කණස්සලු ස්වභාවයත් ඒ ඔහුට උදව්වක් අවශ්‍යම මොහොතක් බව මොනවට කියාපෑවේය. දෙවරක් නොහිතාම මා කැමැත්ත ප්‍රකාශ කරද්දී ගණ රැවුලකින් වැසුන ඒ දෙතොලතරින් මතුවූ සැහැල්ලු සිනහව මගේ අනුමානයේ නිරවද්‍යභාවය ඔප්පු කරනා සාක්ෂියක් විය. සාරියක් තෝරා දෙන්නට කියූ ඔහු අවසානයේ සාරි දෙකක්ම තෝරවාගෙන මා සමඟම කඩෙන් එළියට බැස්සේ එහි උන් සේවකයන්ට බැණ වදිමිනි.


"මේ සාරි කඩ කාරයොත් මහ පුදුම ජාතියක්. අපි සාරියක් අතපත ගානකොට උන්ගෙ මූණු හතරැස් වෙනවා. ඊට පස්සෙ බර බරේ පටන් ගන්නවා මහත්තයා ඕක ගන්නවද, අරක ගන්නවද අහ අහා. ඒ වෙලාවට උගෙ හොම්බ ඇදවෙන්ඩ දෙකක් දෙන්ඩ හිතෙනවා ඇර සාරියක් ගන්ඩ හිතෙන්නෑ. ඒ වුණාට කෙල්ලෙක් සාරි ගන්න ආවම බලන්ඩ එපැයි උන්ගෙ කඩිසරකම. කඩේම තියෙන සාරි ඇද ඇද  පෙන්නවනවා මිස් මේකත් අලුතින් ආවෙ අරකත් අලුතින් ආවෙ කිය කියා. මීට පස්සෙ සාරියක් ගන්ඩ එනවනම් ගවුමක් ඇදන් එන්නෝනි" 


ඔහු කියන දේකට සිනාසෙනවා හැර මට කතා කරන්නට නොසිතුනි. "මිස් කොහෙටද යන්නෙ" කියා ඔහු ඇසූ ප්‍රශ්ණය නෑසුන ගානට "යන්නම්" කියමින් පාරේ යමින් තිබූ ත්‍රිරෝද රියක් නතර කරගත් මා එයට ගොඩ වූයේ ඔහුගේ කතාවට හිත වශී වන්නට පෙරය. එවෙලෙහි ඔහුගෙන් මිදී ආවද ඒ හිනාවත් කතාවත් මා පසුපසින් පැමිණ ඇති බව මා පසක් කරගත්තේ වරින් වර මුව මත සිනා තවරමින් ඔහු මගේ මතකයට එබෙන්නට පටන් ගත් පසුය. ඔහු මට මුලින්ම තෝරා දෙන්නට කිව්වේ මගේ වයසේම තරුණියකට උත්සවකට ඇඳිය හැකි සාරියකි. තම මව වෙනුවෙන්ද උත්සව අවස්ථවකට සුදුසු සාරියක් තෝරාදිය හැකිදැයි ඔහු ඇසුවේ තරුණිය වෙනුවෙන් තේරූ සාරිය ඔහුගේ හිතගත් නිසා විය හැක. බොහෝවිට ඔහු සිය පෙම්වතිය හෝ බිරිඳව පුදුම කරවීමට සිතා ඇයට හොරෙන් සාරියක් මිළදී ගන්නට පැමිණෙන්නට ඇත. එහෙත් සාරියක් තේරීම ඔහු සිතූ තරම් පහසු කටයුත්තක් නොවන බව තේරුම් ගත් පසු ඔහු අසලම සාරි තෝරමින් සිටි මගෙන් උදව්වක් ඉල්ලන්නට තීරණය කරන්නට ඇත. 


පසුදා පාන්දරම නිවස බලා යන බව දන්වා සහය මහාචාර්යවරයාට ඊමේල් පණිවිඩයක් යැවූ මා ගමනට පිටත් වූයේ මටමවත් නොතේරෙන මොකද්දෝ ප්‍රීතිමත් හැඟීමක් හිත පුරා පැතිරෙමින් තිබියදීය. මා උදෑසනම පැමිණෙන බව අනුලා ටීචර්ට දැනුම් දුන්නේ පෙරදින සම්මුඛ පරීක්ෂණය අවසන් වූ විගසමය. කීර්ති බණ්ඩාරපුර හරහා එන බදුල්ල බසයකින් පැමිණ බණ්ඩාරවෙලට ඒම වඩාත් පහසු මාර්ගය බව ඈ මට දැනුම් දුන්නේ එවිටය.  නුවරින් උදෑසන හයට පිටත්වන නගරාන්තර බස් රථයේ හිස්ව තිබි එකම ආසනයට හිමිකම් කියන්නට මා වාසනාවන්ත වූයේ බසය අද්දන්නට ඔන්න මෙන්න තිබියදී ගුඩ් ෂෙඩ් එකට එන්නට ත්‍රිරෝද රථ රියදුරුට හැකි වූ නිසාය.


තැන්නෙකුඹුර පාලම පසුකර බස් රථය ඉදිරියට ඇදෙද්දී මගේ සිතුවිලි අතීතය වෙත ඇදී යාම වලකා ගැනීම පහසු කාර්‍යයක් නොවීය. පාසැල් යාම ඇරඹූ කුඩා දැරියක කාලයේදී මා දැකීමට පවා එතරම් කැමැත්තක් නොදැක්වූ අනුලා ටීච මා කෙරෙහි වූ දැඩි ප්‍රතිපත්ති ක්‍රමයෙන් ලිහිල් කරන්නට පටන් ගත්තේ මා ශිෂ්‍යත්ව විභාගය සමත් වූ පසුය. දම් හා කහ මල් වැටුන ගවුම් රෙද්දක්ද රැගෙන මගේ ජයග්‍රහණට සුබ පතන්නට අපේ ගෙදරට ආ පියදාස මාමා පිටව ගොස් සුළු වේලාවකට පසුව ආච්චි අම්මාටත් මටත් ඔවුන්ගේ නිවසට එන මෙන් අනුලා ටීචගෙන් පණිවිඩයක් ලැබෙද්දී මා තැතිගත් වග මට අදටත් මතකය. ඒ තිගැස්මෙන්ම ඈ හමුවට ගිය මගේ තැති ගැන්ම සම්පූර්ණයෙන්ම පහව ගියේ  "දිගටම මේ වගේ හොඳට ඉගෙන ගන්න ඕනි" කියමින් මගේ හිස පිරිමැදි ඈ මා අත තැබූ බ්‍රවුන් පේපර් බෑගය තුල වූ රතු පැහැ කුඩා විල්ලුද පෙට්ටිය ඇතුලේ දිලිසෙමින් තිබූ අරුංගල් දෙක දුටු පසුය. 


පියදාස මාමා මියගියේ  කුඩා කල සිටම අනුලා ටීචත් මාත් අතර වූ නිහඬ ගැටුම එලෙස ක්‍රමයෙන් ශුන්‍ය රේඛාවට ළඟා වෙමින් තිබියදීය. ලංගම බස් රථවලට හිටි හැටියේ ටිකට් පරීක්ෂකවරු ගොඩවන අයුරින්ම දිනයක් වෙලාවක් නොදන්වා වරින් වර මගේ පොත් බෑගය පරීක්ෂා කිරීමට ඇය පුරුදු වූයේ පියදාස මාමගේ මරණයට පසුය. ඈත පාසලක සේවය කළ ඈ මා ඉගෙනගත් පාසලට මාරු වී ආවේ හැමදාම පංතියේ පළමුවැනියා වූ මා හතර පස්වෙනි ස්ථාන දක්වා පල්ලම් බහින්නට පටන් ගත් නවය වසරේදීය.  හේතු විමසීමකින් තොරව මා පසුපසින් ඇස තබාගෙන වුන් ඈ සත්‍ය අනාවරණය කරගත්තාදැයි මා අදටත් නොදන්නා මුත් ඇගේ ආගමනය නොවන්නට මා පොතපත දිගේ මෙතරම් දුරක් නොයන්නට ඉඩ තිබුණි.


 අම්මාත් තාත්තාත්, ජායා මාත්‍ර මතකයක් හෝ නොතබා මගේ ලෝකයෙන් පිටව ගොස් තිබුණත් ඔවුන්ගේ නාමයෙන් ඉතිරි වූ දැලි කුණු කිසිවක් ඔවුන් රැගෙන ගොස් තිබුණේ නැත. තමාට ජීවය දුන් මව්පියන්ට වෛර කරන තරමට මා මනසින් ඇද වට්ටවන කයි කතාන්දර මට ඇසෙන්නට පටන් ගත්තේ ඒ කාලයේය. කිරිකැටි බිළිඳියක වූ මා ආච්චි අම්මගේ ඇකයෙන් තබා ගෙල වැළලාගන්නට තරම් අම්මා සාහසික වූයේ මන්දැයි මා මගෙන්ම ප්‍රශ්ණ කරගනිමින් සිටි ඒ කාලයේ  ඊට හේතු කාරණා සපයන්නට ඉදිරිපත් වූ අය බොහෝය. ඒවායේ ඇත්ත නැත්ත  ආච්චි අම්මාගෙන් අසා දැනගන්නට තරම් ශක්තියක්  නොතිබුණ මා සමාජයෙන් ඈත්ව හුදෙකලාව ජීවත් වන්නට පටන් ගත්තේ එතැන් සිටය. ඒ හුදෙකලාවට ඇලුම් කළද ආච්චි අම්මා නික්ම යද්දී ඇගෙන් තොර වූ ලෝකයක ඇති හුදෙකලාව ගැන  මට අවබෝධයක් තිබුණේ නැත.


"ඔයා ඔතනට වෙලා කොච්චර අඬ අඬා හිටියත් ආච්චි අම්මට  තවත් ඔයා වෙනුවෙන් කරන්ඩ දෙයක් නෑ සෙව්වන්දි. ඔයාගෙ අනාගතේ ඔයාම දැන් හදාගන්න ඕනි. අම්මා තාත්තගෙ ජාන වලින් හරි පෙර ආත්මෙ කරපු කුසලෙකට හරි ඔයාට හොද මොළයකුයි මතක ශක්තියකුයි ලැබිලා තියෙනවා. දැන් ඔයාගෙ පිහිටට තියෙන්නෙ ඒ දෙක විතරයි කියලා හිතාගෙන ඔයා හොඳට ඉගෙන ගන්න ඕනි. ඔයාට මේ ජීවිතේ දිනන්න පුළුවන් එකම පාර ඒක විතරයි" 

ආච්චි අම්මාගේ චිතකය අසලට වී හූල්ලමින් සිටි මා වත්තම් කර නිවසට කැදවාගෙන එන අතරතුර අනුලා ටීචර් මගේ හිත හදන්නට උත්සහ කළේ එහෙමය.

"ආච්චි අම්මා නැති වුණාට ඔයාට මං ඉන්නවනෙ. මට පුළුවන් ඔයාව බලාගන්න" කියමින් ඈ මා සනසනු ඇතැයි යටිහිත තුල වූ අපේක්ෂාව භංග කරමින් ඈ දුන් අවවාදය පිළිගන්නට එදා මා තුල කැමැත්තක් නොවීය. ඈ නිවරදි වග කාලය මට ඔප්පු කර පෙන්වන තුරුම නිහඬව බලා සිටින්නට තරම් ඉවසීමක් හා පරිණත බවක් ඇයට නොතිබෙන්නට මා අද මෙතන සිටින්නට ඉඩක් නැත. අන් කිසිදු දිනයක ඈ ගැන නොදැනුන තරමේ ගෞරවයකින් හා සෙනෙහසකින් හිත පුරවාගෙන උන් මට බස් රථය පසුකරමින් යන මඟ දෙපස ගැන අවබෝධයක් නොතිබුණි.


"එක්ස්කියුස් මී" 

මා අතීත මතක අතරින් මිදුනේ පිටුපස අසුනක සිටි මඟියෙකුගේ හඬටය. ඔහුට  රියෙන් බැසීමට  මගේ අසුන අකුලා ඉඩදිය යුතු විය. ඔහු සමඟ තවත් මඟීන් හය හත් දෙනෙකුම බැසගත් ඒ ස්ථානය හඳුනාගත හැකි සලකුණක් මට සොයාගත නොහැකි විය.


"මිස් දැන් පිටිපස්සට ගියානම් හරි" 

මා යලිත් උන් තැනම අසුන් ගන්නට තරම් ඔළුව නරක් වූවෙකු සේ කොන්දොස්තර මහතාට පෙනීම ගැන කණගාටුවක් දැනුනද මා පිටුපස අසුනකට මාරු වූයේ ඔහුට ස්තූති කරමිනි. 

"කොහොමද පනිෂ්මන්ට් එක" මට යාබදව ජනේලය අයිනේ අසුන්ගෙන සිටි තරුණයාගේ හාස්‍ය පිරි කටහඬ ක්ෂණයකින් මා ඔහු වෙත හරවා ගන්නට සමත් විය. නිල් ඩෙනිම් කලිසමකින් හා මෙරුන් පැහැ කොටු වැටුන කමීසයකින් සැරසී සරදම් සිනහවකින් මුව පුරෝගෙන මා දෙස බලා සිටියේ පෙරදින සන්ධ්‍යාවේ මා ලවා සාරි තෝරවාගත් තරුණයාය.


"කොහොමද ඊයෙ මාව දාලා තනියම ත්‍රීවිලර් එකක ගියාට දෙයියො දුන්නු පනිෂ්මන්ට් එක" ඔහු කාලයක පටන් දන්නා හඳුනන මිතුරෙකු මෙන් ඔච්චම් කරද්දී මට සිනහව සඟවාගත නොහැකි විය.


"ඊයෙ මාව බය කරවලා දැන් හිනාවෙනවා" ආගන්තුක බවක් නොපෙන්වමින් ඔහු කතා කරද්දී මා තවදුරටත් සිනාසෙමින් සිටියේ මටද ඔහු අසල ආගන්තුක බවක් නොදැනුන නිසා විය යුතුය.

"මොකටද බය වුණේ"

"බය වෙන්නැද්ද දෙයියනේ මේ මහ දවල් මාත් එක්ක කතා කර කර ආව ගෑණි එකපාරට අතුරුදහන් වුණාම. මට හිතුනෙම හොල්මනක් ඇවිත් මට සාරි තෝරලා දුන්නා කියලා" 

මා එතරම් සැහැල්ලුවෙන් සිනාසෙන්නට ඇත්තේ බොහෝ කාලයකට පසුය. වටපිටාව අමතක කරවමින් මා සිනහ සයුරක ගිල්වීමේ හැකියාව තිබුණේ රාම්ටය. ඔහු නික්ම ගිය පසු විද්‍යාගාරයට ආවේ පරිගණකට එබීගෙන තනිව හිනාවෙන අය මිස හිනාව බෙදාහදාගන්නට පුරුදු වූ අය නොවේ.

"මං කියන්නෙ බොරු කියලා හිතලා වෙන්නැති හිනාවෙන්නෙ. කොච්චර බය වුණාද කියනවනම් ඊයේ රෑ අම්මා මගෙ අතේ පිරිත් නූලකුත් බැන්දා... මේ" කියමින් ඔහු සුරත දිගු කර පෙන්නුවේය. ඒ වෙදඟිල්ලේ මංගල මුදුවක් නොමැති බව මා දුටුවේ එවිටය. එසේනම් ඔහු සාරියක් තෝරවා ගන්නට ඇත්තේ පෙම්වතියට හෝ සොයුරියකටය. පිරිත් නූල බැන්දේ අම්මා නම් ඔහු සිටින්නේ අම්මා සමග නිවසේය. උදෑසන හයට නුවරින් පිටත්වන බසයක සිටින්නට නම් නිවස තිබිය යුත්තේ නුවර අවටය. එවර මා සිනාසුනේ මගේම සිතුවිලි වලටය. අහම්බෙන් මුණ ගැසුන තරුණයෙකු ගැන හිතන්නට තරම් මා බොළඳ වූයේ කෙසේදැයි එවෙලෙහි මටවත් සිතාගත නොහැකි විය.

"හිනාවෙවී ආවට තාම නමවත් දන්නෑනෙ. මම පූර්ණ" ඔහු ඔහුව හඳුන්වා දුන්නේ එහෙමය. 

"මං සිතාරා"

"සිතාරා උගන්නන්නෙ මොන ඉස්කෝලෙද?" මම දෑස් ලොකුකර ඔහු දෙස බැලුවෙමි. ගුරුවරියක වීමේ සිහිනයක කිසිදා ජීවත් නොවූ මට ඔහුට මා ගුරුවරියක ලෙස පෙනීමත් ප්‍රහේළිකාවක් විය.

"කවුද කිව්වෙ මං ටීචර් කෙනෙක් කියලා"

"ඒක මගේ උපකල්පනයක්. ෂර්ලොක් හෝම්ස් වගේ මාත් නිරීක්ෂණ මගින් නිගමනයකට ආවා"

"නිරීක්ෂණ ටික කිව්වොත් මට පුළුවන් වෙයි නිගමනය වැරදුනේ කොහොමද කියලා කියලා දෙන්න"

"ඒ කියන්නෙ ඔයා ටීචර් කෙනෙක් නෙවෙයි" 

මම හිස දෙපසට සෙලවීමී. ඒත් සමගම මා හිස සොලවන සෑම විටකම සෙනිත්ගේ මුවෙහි ඇදෙන සුන්දර සිනහව මා අසල මැවී පෙනෙන්නට විය. ඔහු අසලදී නොදැනෙන මොකද්දෝ අපූරු සැහැල්ලුවක් පූර්ණ අසලදී මා විදිමින් සිටින වග මට අවබෝධ වූයේ එවිටය. පූර්ණත් මාත් දෙදෙනාම ලාංකිකයින් වීමටත් වඩා උපන්දා සිටම හදවතට සමීප අපේ මව් භාෂාවෙන් අපිට කතා කළ හැකිවීම ඊට හේතු වන්නට ඇත.

"සාමාන්‍යයෙන් ලස්සනට රැලි තියලා නීට් එකට කැන්ඩියන් එක අදින්නෙ තරුණ ටීචර්ස්ලා. ටීචර්ස්ලට පඩි හම්බෙන්නෙ 20. ඒ කියන්නෙ සාරි ගන්නෙ විස්සට පස්සෙ. ඊයෙ 21. එතකොට ඔයා සාරි තෝරා තෝරා හිටියෙ හවස තුනහමාරට විතර ඔෆිස් ටයිම් එකට කලින්. මං හිතුවෙ ඔයා ඉස්කෝලෙ ඇරලා යන ගමන් සාරියක් ගන්න ඇවිත් කියලා " 


ඔහු සිය පූර්ව නිගමනයන්ට හේතු වූ නිරීක්ෂණ සාරංශගත කළේ මා ගුරුවරියක නොවන බව පිළිගන්නට අකමැත්තෙන් මෙනි.  ඊළඟට ඔහු අසන ප්‍රශ්ණ වලට දිය යුතු පිළිතුරු ගැන සිතමින් සිටියදී ඔහුගේ ජංගම දුරකතනය නාදවිය. "මං තාම මඟ" කියමින් දුරකතනය කණ තබාගත් ඔහු විනාඩි දෙක තුනක කෙටි සංවාදයකින් පසු ඇමතුමට සමුදුන්නේ "මං ඒ අදහස අතෑරියා කියලා හිතා ගනින්කො" කියා සිනාසෙමිනි.මුදු ගැසුන කැරලි කොණ්ඩයෙන් හා මුහුණින් හරි අඩක් වසාගත් ගණ රැවුලත් උපැස් යුවලත් නිසා අඳුරුව තිබෙන  ඒ මුහුණට එළියක් වැටෙන්නේ හිනාවෙනි. 

"මං උදේ මෙතනින් වාඩි වුණේ මේ ගමන ගිහින් ඇවිත් නුවර පීරලා හරි ඔයාව හොයාගන්න ඕනි කියලා හිතාගෙන. මගේ ඒ උදාර අරමුණ ගැන පැහැදිලාද කොහෙද දෙයියො කොන්දොස්තර මල්ලිත් එක්ක එකතු වෙලා ඔයාව මං ළඟටම ගෙනත් දුන්නා"

"ඇයි මාව හොයන්න හිතුවෙ. ඊයෙ සාරි දෙක හරිගියෙ නැද්ද?"

"හරිගියෙ නැත්තන් ඔයාව හොයන්නෑ. බිල දීලා කඩේට ගිහින් මාරු කරගන්ඩ කියනවා මිසක්

"එහෙනං මොකටද මාව හොයන්න හිතුවෙ


"ඔයා ඊයෙ සාරියක් තෝරලා දීලා මට කරේ එසේ මෙසේ උදව්වක් නෙවෙයි සිතාරා. මං ඔයාව හොයන්න හිතුවෙ වෙන දේකට නෙවෙයි, ස්තූති කරන්න. මොකද ඔයා තෝරපු සාරිය නිසා මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවිච්චි දෙයක් ඊයෙ මට ලැබුණා" 

"එහෙනං දැන්වත් ස්තූති කරන්න"

"ඒකට වචනෙන් ස්තූති කරලා මදි. අඩුගානෙ කඩේකට එක්ක ගිහින් අයිස්ක්‍රීම් එකක්වත් අරන් දෙන්න ඕනි. ඒත් සොරි සිතාරා මං මේ හදිස්සි ගමනක් යන ගමන්" කියා අසුනෙන් නැඟිටගත් ඔහු කලිසම් සාක්කුවට අත දමා එලියට ගත් මුදල් පසුම්බියේ වූ සුදුපැහැ කාඩ්පතක් මගේ උකුල මත තැබුවේ "ඔයාට වැරදිලාවත් මගේ ගානෙ අයිස් ක්‍රීම් එකක් එහෙම ඕනි වුණොත් මෙන්න තියෙනවා මගෙ නම්බර් එක" කියමිනි. 




 මතු සම්බන්දයි

10 comments:

  1. ඒ මොකාදා අෆ්ෆා ඒ එන්න හදන දුෂ්ටයා.!

    තාරා අර පුර්ණ ගැන හිතන කොට මම හිතුවා තාරා නිකම් හෝම්ස් වගේනේ මේකා ගැන නිරීක්ෂණය කරන්නේ කියලා.කියවාගෙන පහළට එනකොට දැක්කා පුර්ණම හෝම්ස් ගැන කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දුෂ්ඨයා?......,, අර බස් එකේදි හම්බිලා මනුස්සකමට කතා කරපු මනුස්සයාටද එහෙම කිව්වෙ

      Delete
  2. සෙනිත් පව් හරිය.. පව් වැඩ කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. මෙච්චර දවසක් තාරා පව් කිය කියා හිටියා. ඔන්න දැන් සෙනිත් පව්ලු. බස් එකකදි කොල්ලෙක් එක්ක පොඩ්ඩක් කතා කර කර ආවට සෙනිත් තරහා වෙන්නැති වෙයි.

      අරු ඔයා දකුණු පළාතෙ කෙනෙක්ද?.

      Delete
    2. හි හි...ඇත්ත නේන්නම් තාරනේ පව් වුනේ මෙච්චර කල්... කමක් නෑ හොඳ වැඩේ සෙනිත්ට... සෙනිත්ට පසුතැවෙන්නම වැඩ සිද්ධ වෙන්ට ඕනා...

      ඔව්නේ ඉපදුනේ දකුණේ අක්කේ... දැන් නම් බස්නාහිර, ඕන් නම් දකුණෙ විදියට කතා කරතැහැකි.😋😋

      Delete
    3. අන්න එහෙම එක්කෙනෙක් හරි මගෙ පැත්තෙන් හිටගන්න ඕනි. මදෑ මම ඔය සෙනිත්ට අවුරුදු දෙකක්ම කල් දුන්නා. කෝ තාමත් නෑනෙ කෙලින් වචනයක්.

      ඔයාගෙ අර හරියෙන් තමා දකුණෙ කියලා හිතුනෙ . අර ටෙලිෆෝන් නම්බර්ස් වල මුලට 2 ක් එකතු කරපු කාලෙ දකුණෙ රෙකොඩින් එක (ඔබ ඇමතූ අන්කය වැරදියි. මුලට දෙකක් එකතු කර නැවත අමතන්න) වෙනස් කරාලු මෙහෙම

      "ඔබ දෙඩූ අන්කය වැරදිය. හරිය. මුලට දෙකක් පූට්ටු කර නැවත දොඩන්න" කියලා

      Delete
  3. ada thamai okkoma episodes kiyawala iwara karanna welawak lebune nangi , den pandara 2 digatama kiyewwa ....ayamath kalin kathawa wage balanna inne elaga episide eka enakam....ikkmanata ewa tika danndooo

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා තර්ජන ගර්ජන නැත්තෙ මොකෝ කියලා

      Delete