Tuesday, April 21, 2020

විල්තෙර අද්දර 2 - පළමු මතක සක්මන




පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html


යොවුන් වියේදී අසීමිතව පෙම් බැඳි වෙද නළාව අමතක කොට මේ හරිත නිම්නයේ හුදෙකලා වීම පිටුපස ඇති කතාව ආරම්භ කළ යුත්තේ කොතනින්දැයි සිතන්නට මා දැනටමත් බොහෝ දවසක් ගත කොට හමාරය. පිළිවෙලකට අකුරු අමුණා මේ කතාව ලියන්නට ඇති උවමනාවට වඩා සියල්ල ඔබට පවසා හිත නිදහස් කරගන්නට ඇති ආශාව බලවත් නොවන්නට මා අතින් මේ කතාව මෙලෙසින් නොලියවෙන්නට ඉඩ තිබිණ. සියල්ල හැරපියා විත් ජනශූන්‍ය නගරයක මා මගේ තුරුණුවිය ගෙවා දැමීම ගැන ඔබ වද වෙන තරමටම ළමාවියේ මතක අතරට මා ඔබව කැඳවාගෙන යනවාට ඔබ දක්වන ප්‍රතිරෝධයද මම හොඳාකාරවම දනිමි. ඒත් මගේ සපත්තුවට බැස පියවර දෙක තුනක් හෝ ආපස්සට ඇවිද නොගොස් ඔබට මා අද විඳින මානසික සුවය අනුමාන කරන්නටවත් නොහැක.

බැංකු ණය පියවීම සඳහා ගේ දොර විකුණා තිස්සමහාරාමයට යන්නට අම්මා තීරණය කරන විට මා එකේ පංතියට බාර දී දෙමසකට වැඩි කලක් ගෙවී නොතිබෙන්නට ඇත. එවකට දහයෙ පංතියේ ඉගෙනුම ලබමින් සිටි අක්කා මාතර සුජාතා බාලිකාවෙන් තිස්සමහාරාම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීම අද මෙන් ගැටළුවක් නොවූවත් කුමාරි නැන්දා ඊට තදින්ම විරුද්ධ විය. එක හෙලා ඇගේ තීරණය පිළිගත් පාලිත මාමා අප දෙදෙනාවම ඔවුන්ගේ නිවසේ තබා යන ලෙස අම්මාට බල කළේය. ඒ වන විට තාත්තාගේ වියෝවෙන් වසර තුනක්ම ගෙවී ගොස් තිබුණත්, එහි අඩුව අපට දැනෙන්නට නුදුන් නැන්දාගේත් මාමාගේත් හිත් බිඳීමට අකමැති වූ අම්මා අවසානයේ ඔවුන්ගේ තීරණයට හිස නමා ඇගේ ගම් පියසට ගියේ තනිවමය.

පයින්ම පාසැලට ඇවිද යන අක්කාත් මියුරු අක්කාත් පසු කරමින් පාලිත මාමාගේ යතුරු පැදියෙන් ඔවුනට අත වනා ඉඟිල යාම එදවස මටත් ගීත් අයියාටත් මහත් විනෝදයක් විය. පාසැල් ඇරී මුලින්ම නිවසට යාමේ අවස්ථාව උදා වන්නේ මටය. රතු පාට කොටු වැටුණ ඒප්‍රනයක් පැලඳ කේක් ගෙඩියක අයිසින් තවරමින් සිටින නැන්දා බොහෝවිට මා පිළිගන්නේ අයිසින් ඇබිත්තක් දෙතොලෙහි තවරමිනි.
"කවදාහරි මගෙ පොඩි එකීගෙ දත් ටික සවුත්තු කරන්නෙ ඔයා තමයි" මාමාගේ චෝදනා සිනහවෙන් ඉවසන නැන්දා ඔහු නිවසින් පිටව ගිය වහාම යහමින් අයිසින් තැවරූ කේක් කෑල්ලක් මා අත තබන්නට අමතක නොකළ අතීතය ජීවමාන සිත්තමක් මෙන් මනසෙහි දිගහැරෙන අවස්ථා අදටත් විරල නැත.

"ඒ වගේ යාළුවෝ ලබන්න තාත්තා පිං කරලා තිබුණට තාත්තා ළඟ ඉන්න අපිට පිං නැති වුණානෙ"

තාත්තා නැති අඩුව පිරිමසන නැන්දාගේත් මාමාගේත් කරුණාව ගැන තොරතෝංචියක් නැතිව කියවන සෑම විටකම එසේ කියන්නට පුරුදුව සිටි අම්මා එක්වරම තාත්තා ගැන මතකය අත්හැර දැමුවාය. එවකට හත් හැවිරිදි දැරියක් වූ මට නොතේරුණ බොහෝ දේ දාසය හැවිරිදි බාලිකාවක් වූ අක්කාට අවබෝධ වීමට වැඩි කලක් ගත නොවුණි. වෙනදාට පාසැල් නිවාඩුව ලද සැණින් ගමට යන්නට කල් යල් බලන අක්කාට හිටි හැටියේම පාඩම් වැඩ ගොඩ ගැසුණි. නොවරදවාම අප සමඟ ගමට යන මියුරු අක්කාට ඇලෙන් දිය නා වැව් මාළු සහ මුරුංගා හොද්දක් සමඟ ගිල දමන අමෘතය නීරස වී තිබිණ. අක්කලාගේ සිතුම් පැතුම් හදිස්සියේ වෙනස්වීම ගැන සංවේදී වුවත් ඊට හේතුවක් හිතාගන්නට අපහසු වූ ගීත් අයියාත් මමත් වාර අවසාන නිවාඩුව තෙක් ඇඟිලි ගනිමින් සිටින්නට අමතක නොකළෙමු.

මාතර ඉසදින් නගරයේ සිව් දෙසින්ම තාප්පයකින් කොටුකළ දෙමහල් නිවසක සිරව සිටි අප වෙල් යායක් මැද්දේ පිහිටි අපේ අම්මගේ මහ ගෙදරට එක සේ ඇලුම් කළෙමු. කිරි අත්තාගේ වියෝවෙන් පසු පාළුවට ගොස් තිබූ නිවසට නැවුම් පෙනුමක් ලැබෙන සේ අලුත්වැඩියා කොට එහි පදිංචි වූ අම්මාගේ දෑතේ මහන්සිය ගේ වට කර ඵල දරමින් තිබිණ. දවසින් භාගයකටත් වඩා අඹ ගස් උඩ හෝ දිවුල් ගස් කජුගස් යට ගෙවන අපි ඊළඟ අර්ධයට තෝරාගන්නේ ගේ පිටුපසින් ගලා බසින කුඩා ඇල පාරය. අම්මා ස්කාෆ් එකක් ලෙස පාවිච්චි කළ පරණ සාරි කෑල්ලක් දෙපැත්තෙන් අල්ලා වතුර යට ගිල්වා මාළු අල්ලන්නට අපි එක සේ ප්‍රිය කළෙමු. මගේ උදව්වත් ඇතිව කෙසේ හෝ කොරළි පැටියෙකු අල්ලා ගන්නා ගීත් අයියා සීරුවට ඌව අත්ලට ගෙන පනිට්ටුවට දාගන්නට තරම් ඉවසිලිමත් වන්නේ කලාතුරකින් දිනකය.

"අපි අක්කලාගෙ විභාගෙ ඉවර වෙනකල් ගමේ නොගිහින් ඉමු. එයාලට පාඩම් කරන්නත් තියෙනවනෙ" පාසැල් නිවාඩුව අම්මාගේ තුරුළේ ගෙවන්නට සිහින දකිමින් සිටි මගේ හිස පිරිමඳිමින් නැන්දා මා සැනසුව ද, ඒ වනවිටත් යුද්ධය ප්‍රකාශ කරන්නට පටන්ගෙන සිටි ගීත් අයියාව මෙල්ල කරන්නට ඇගේ කරුණාව ප්‍රමාණවත් නොවීය.

"අක්කලාට ගණන් වගයක් තේරෙන්නෑ කියලා තාත්තා නිවාඩු මාසෙට පංතියකුත් හොයලා" ටියුෂන් සංස්කෘතිය අද මෙන් ප්‍රචලිතව නොතිබුණ ඒ කාලයේ පංතියක් වෙනුවෙන් සිය සිහින පාවා දීමට මැලි වූ ගීත් අයියා සටන අත් හරින සූදානමක් නොවීය. අවසානයේදී ගීත් අයියා නිහඬ වූයේ අක්කලාට හොරෙන් අපව කෝච්චියෙන් කොළඹ එක්ක ගොස් සත්ව උද්‍යානය නැරඹීමේ අවස්ථාව උදා කර දෙන බවට මාමා ලබාදුන් පොරොන්දුවටය.

නිවාඩුව අවසන්ව පාසැල් පටන් ගැනීමට දෙදිනක් තබා අම්මා ඇගේ දෑතේ මහන්සියෙන් ගේ වටා වගාකළ එළවළු පළතුරු සමඟ හාල් පොල් කද බැඳගෙන ඇවිත් තිබුණේ තවත් කෙනෙකු සමඟය. අම්මා සමඟ වචනයක්වත් කතා කරන්නට අකමැති වූ අක්කා ඇය පිටව ගිය පසු හෝ කාමරයෙන් පිටතට නොආ බව මට තාමත් මතකය. කලකින් නොලද අම්මගේ උණුසුම අසල මට ඒ ආගන්තුකයා ගැන විශේෂ හැඟීමක් නොවුණද අම්මා අලුත් දිවියක් අරඹා ඇති බවත්, අපි ඊට එරෙහි වී ඇගේ සිත රිදවීම වෙනුවට ඇයට ආශිර්වාද කළ යුතු බවත් එදා රාත්‍රියේදී නැන්දා මගේ හිස පිරිමඳිමින් කියා දුන් මතක අදටත් හිත පුරා ඇත.

සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් කළ දිනට පසුදා ම ගමේ යායුතු බව අක්කා කියා සිටියදී නැන්දා ඊට විරුද්ධ විය. එහෙත් නැන්දාගේ සුවච කීකරු ලොකු දුව ඒ වනවිට හිතුවක්කාර මුරණ්ඩු කෙල්ලක් බවට පරිවර්තනය වී තිබිණ.

"නැන්දා කියන්නෙ අම්මට ඕනි හැටියකට නටාගන්න ඉඩ දීලා අපි මෙහෙට වෙලා ඉන්නෝනි කියලද?. ඒවා කොහෙද මාත් එක්ක" චණ්ඩියෙකු මෙන් කෑ ගැසූ අක්කා ඒ සතියේ නැන්දාගේ හෝ මාමාගේ අනුදැනුම නැතුව මාවත් කැටුව ගෙදර යන තරමටම මුරණ්ඩු වී සිටියාය. යොවුන් වියේ එළිපත්තේ උන් අක්කා එදා ගත් හිතුවක්කාර තීරණයේ ආනිසංශ අපට විඳින්නට සිදු වූයේ ඉන් වසර ගණනාවකට පසුය. නිදහසේ ආපසු හැරී බලන විට දැන් මට සිතෙන්නේ සියල්ල වෙනස් වූයේ එතැන් සිට බවය.

එදා රෑ බෝ වී අප සොයාගෙන ගමට ආ මාමා අම්මාටත් අක්කාටත් එක ලෙස දොස් තබා පිටව ගියේ ඊළඟ වාරයේ සිට අක්කාව ඔවුන්ගේ නිවසේ තබාගත නොහැකි බවද පවසමිනි. දෛවය අක්කාට නපුරුකම් කරන්නට පටන් ගත්තේ එතැන් සිටය. යන්තමින් උසස් පෙළ කරන තරමටවත් විභාගය සමත්වීමට නොහැකි වූ අක්කාව තිස්සමහාරාම මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයට ඇතුළත් කරගෙන තිබුණේත් බාප්පාගේ නැදෑ පුත්‍රයෙකු වන නැටුම් ගුරුවරයෙකුගේ උදව්වෙනි. අම්මාගේ අලුත් දිවිය තුළ අපට වෙන්ව තිබූ සීමිත ඉඩකඩ ඒ වනවිටත් චූටි නංගී විසින් ආක්‍රමණය කර තිබූ නිසා අක්කා උසස් පෙළ පටන් ගන්නා කාලය වෙද්දී මට ගමේ යාම එපා වී තිබිණ. නිවාඩු කාලය ගමේ ගත කිරීමට පෙර තිබූ කැමැත්ත එලෙස මා වෙතින් ගිලිහ යාමේ වාසිය සමඟ තවත් මොකක් හෝ හේතුවකට නැන්දා මා ගමේ නොයවන්නට වග බලා ගත්තාය. අම්මා සහ අක්කා සමඟ වූ සබැඳියාව ලිහිල් වීමේ අඩිතාලම වැටුණේ එලෙසය.

මා පහේ ශිෂ්‍යත්වයට මුහුණ දුන් දා වනවිට අම්මාත් අක්කාත් නොදැක ගෙවී ගිය කාලය අනුමාන වසයෙන් වසර දෙකකට කිට්ටු විය යුතුය. හෘදයාබාදයක් වැළඳී බාප්පා මෙලොව හැරගොස් තිබුණේ එදිනය. බාප්පාගේ මළගමට සහභාගී වීම සඳහා මාමා පසුදා උදෑසනින්ම මා කැටුව ගියේ ඒ වනවිට උසස් පෙළ විභාගය අවසන් කර සිටි මියුරු අක්කා ඒ ගමනට සහභාගී වීමට කළ පෙරැත්තයන් තඹේකට මායිම් නොකරමිනි. වැලහින්නක් මෙන් වැලපෙමින් සිටි අම්මා දුටුවනම මා බදා වැළඳ ගත්තාය. දෙවසරකින් නුදුටු ඇගේ රූමත් සිරුර වැහැරී අම්මා වසර ගණනාවකින් වයසට ගිය බවක් ඒ වනවිට දස හැවිරිදි වියේ පසුවූ මගේ ලපටි දෑසටත් හසුවිය. බොහෝ කලකින් නිවසට නොපැමිණි මා පිළිගන්නට අක්කා කොතනක සිට හෝ දුව එනු ඇතැයි සිතුණද සුදෝ සුදු ඇඳුමින් සැරසී රැස්ව සිටි පිරිස අතරින් අක්කා සොයාගන්නට මට නොහැකි විය. චූටි නංගී අසලින් දෙපා දිගහැර චණ්ඩියෙකු මෙන් නිදා සිටි මල්ලියාව මා මුලින්ම දුටුවේ එලෙස අක්කා සොයා ගේ පුරා ඇවිද යාමේ ප්‍රතිඵලයක් ලෙසය. අම්මා තවත් දරු උපතකට සූදානම් වෙමින් සිටි බව මා නොදැන සිටියද නැන්දා සියල්ල දැන සිටින්නට ඇත. අම්මාගේ දෙවෙනි විවාහයත්, චූටි නංගිගේ උපතත්, එතෙක් කල් ළඟින් හිඳි අක්කාගේ ඈත්වීමත් සමඟ මා විඳි මානසික ව්‍යසනය තව දුරටත් වර්ධනය වීමට ඇය ඉඩ නොතබන්නට ඇත්තේ එහෙයින් බව පසු කලක ඒ සිදුවීම මනසින් විග්‍රහ කරද්දී මම උපකල්පනය කළෙමි.

මතු සම්බන්ධයි!

No comments:

Post a Comment