Saturday, May 2, 2020

විල්තෙර අද්දර - 13 : දොළොස්වෙනි මතක සක්මන




"හෙට ඉදන් වැඩ කරන්නෝනි මේ ටයිම් ටේබල් එකට. ඔයාගෙ ක්ලාසස් වැටෙන හැටි බලලා මේ වීක්ඩේස් ටිකේ දවල් දවස ඇජෙස් කරගන්න" පසුදින සන්ධ්‍යාවේ මා නිවසට ඇරලවීමට පැමිණි ගීත් අයියා මගේ පොත් මේසයට ඉහළින් කාල සටහනක් එල්ලමින් පැවසීය.

"ඔයා සිකුරාදට එනවද?"

"එන්නම තමයි වටින්නෙ කරන වැඩ වලට" කියමින් රවා බැලූ ඔහු කාමරයෙන් පිටව යන්නට සූදානම් විය. මළ ගෙදර අස්පස් කිරීම් වලට උදව් වීමට ගිය නැන්දා අප එනවිටත් නිවසේ සිටියේ නැත. වෙනදා ගීත් අයියා මගේ කාමරයට පැමිණි විට ඔහුව එලවාගන්නට දඟලන මට එදා එවන් චකිතයක් නොදැනෙන්නට ඇත්තේ එහෙයිනි.

"මේ වතාවෙත් A දෙකක් ගන්න බැරි වුණොත් තරහා වෙන්න හිතා ඉන්නවනම් නාවට කමකුත් නෑ. මං කොහොමහරි ක්ලාස් ගිහින් කරගන්නම්"

"කවුද දැන් A දෙකක් ගත්තෙ නැතුවට තරහා වුණේ" අසාගෙන යළිත් මා අසලට ආ ඔහු රිදෙන තරම් තදින් දෙවුරෙන් අල්ලා ගත්තේය. පෙරදින සැඟව ගිය කෝපය නැවතත් ඒ දෑස්වල විය. හිමිහිට බිම බලා ගන්නට ගත් උත්සහය වැරදුණි. සුරතේ මහපටඟිල්ලටත් දබරඟිල්ලටත් මැදිවූ නිකට එසවී අපේ සිව්නෙත් යාවුණි.

"මට කවදාවත් එච්චර දුක හිතිලා නෑ පොඩී. මං බලන් හිටියෙ ඔයා ගෙදර ආව ගමන් මට කෝල් එකක් දෙයි කියලා. රිසල්ට්ස් වලට වඩා මට කේන්ති ගියෙ ඒකට"

"රිසල්ට්ස් හොඳ වුණානම් මං ඒක ඉස්සෙල්ලම කියන්නෙ ඔයාට. මං කාසිත් අරන් ගියෙ. ඒ වුණාට......"

"එතකොට මට කියන්න හිතා ඉන්නෙ සතුටු හිතෙන ආරංචි විතරද? රිසල්ට් හොඳ වුණානම් ඒක ඉස්සෙල්ලම කියන්නෙ මට. නැත්තන් මං ඒක දැනගන්න ඕනි එක එක්කෙනාගෙන්.....එහෙමද?... .....ආහ්.......ඔයාට මාව ඕනි හිනාව බෙදාගන්න විතරයිද?.... ….ආහ්....කතා කරනවකො පොඩී....ඔයා මං ගැන හිතා ඉන්නෙ එහෙමද?....ආහ්" කියමින් කේන්තියෙන්ම උරහිස සොලවමින් කෑ ගැසූ ඔහු එක්වරම නිහඬ වී ඒ වනවිටත් කම්මුල දිගේ පල්ලම් බසිමින් තිබූ කඳුළකට දෙතොල් තැබුවේය.

හිස් මුදුනින් පටන් ගත් හිරිවැටීම කොතනින් කෙළවර වූවාදැයි සිතන්නට අදට ද මා අපොහොසත්ය. ගීත් අයියාත් මාත් අතර වූ දීර්ඝ ප්‍රේම වෘත්තාන්තය තුළ අසීමිත වාර ගණනක් ඔහු මා සිප වැළඳගන්නට ඇත. එහෙත් නෙතඟින් කඳුළක් ගිලිහෙන සෑම මොහොතකම තවමත් කොපුලට උණුසුම් දැනෙන ඒ දෙතොලෙහි පහස ඊට පසු එතරම් තදින් හිත හිරිවැට්ටවූ මතකයක් නැත.

"මාත් එක්ක කියන්න බැරි දෙයක් ඉස්සර ඔයාට තිබ්බෙ නෑ පොඩී. ඔයාට මතකද දන්නෑ ඉස්සෙල්ලම ඔයාව දහම් පාසැලට බාරදුන්නු දවසෙ ඉන්ටර්වල් එකේදි ටොයිලට් යන්නෝනි වෙලා චූ බරයි ගීත් අයියෙ කියාගෙන ඔයා අක්කලා දෙන්නම ඉද්දි මාවයි හොයාගෙන ආවෙ. වැඩිය ඕන්නෑ ඔයා ලොකු ළමයෙක් වෙච්ච දවසෙත් ගීත් අයියෙ මගෙ ගවුමෙ මොනාද ගෑවිලා කියලා මට නෙවෙයිද ඉස්සෙල්ලම කිව්වෙ. එතකොට ඔයා චූටියි.හයට පාස් වුණා විතරයි. එහෙව් කෙල්ලට ඇයි මට ඒ ලෙවල් රිසල්ට්ස් කියන්න බැරි වුණේ කියලා මට තාමත් හිතාගන්න බෑ පොඩී. ඇත්තටම ඒක මට ෂොක් එකක්"

"ගීත් අයියෙ සො........" කියා ඉවර වෙන්නට පෙර දෙතොලට ඇඟිල්ල තබා මා නිහඬ කළ ඔහු "කතා කරන්න එපා. ඒ ඔක්කොම අමතක කරලා ඉද්දි මොකද්ද දැන් අර කිව්ව උද්දච්ච කතාව" කියමින් කන මිරිකූ ඔහු මා අත්හැර වේගයෙන් පඩිපෙළ බැස පහළට ගියේය. මා අතින් සිදුවූ අතපසුවීම කෙතරම්දැයි ඒ මොහොතේත් මට හරිහැටි වැටහුණාදැයි සැක සහිතය.

නැන්දා පැමිණි පසු කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා ගබඩා කාමරයේ තිබූ පොත් පෙට්ටිය පිටතට ගෙන දූවිලි පිස දමා උඩට ගෙනයන්නට ගීත් අයියා උදව් කළේය. පසුදා සිටම පාඩම් වැඩ ආරම්භ කරන්නට කල්පනා කරමින් සිටි මට එතනදීත් වැරදුණි. රෑ කෑමෙන් පසු පසුදා පාන්දරම පිටව යා යුතු බව මාමාට දැනුම් දුන් ගීත් අයියා උඩට යනවිට මා සිටියේ පිඟන් කෝප්ප සෝදමිනි. නැන්දා වළං සෝදන තුරු කුස්සියත් කෑම කාමරයත් අතු ගා දැමූ මා උඩට ගියේ තවත් ටික වේලාවක් නැන්දා සමඟ මියුරු අක්කලාගේ නිවසේ ගතකළ පෙරදිනයේ තතු රස කර කීමෙනුත් පසුය.

"පොල් ගෑවද මෙච්චර වෙලා" මා යනවිටත් මගේ පොත් මේසය අසල මොනවදෝ සොයමින් සිටි ගීත් අයියා නුරුස්නා හඬින් ඇසීය.

"කාලා ඉවර වෙලා පොල් ගාන්නෙ අතුරුපසටද?" කන බේරාගත හැකි තරම් දුරකින් සිට කටට ආ වචන ටික පිට කළේ බෝම්බය පිපිරීමට ආසන්න බව දැන දැනය.

"යාන්ත්‍ර විද්‍යාව නෝට් එකත් හොයාගෙන එනවකො ඉස්සරහට මං අතුරුපස පෙන්නන්න" කියමින් ඔහු පිටව යනතුරුත් ඔහු එදිනම පාඩම් පටන් ගන්නට සූදානම් බව මා දැන සිටියේ නැත. ප්‍රේමයෙන් ආතුරව තිබූ හිත එක්වරම විෂය කරුණු කෙරෙහි යොමු කරවීමේ දුෂ්කරතාව අවබෝධ කර නොගත් ඔහුට හිතින් බැණ බැණ එදා මා සඳැල්ලට ගිය අයුරු පසු කලෙක ඔහු රඟ දක්වමින් සිනාසෙන්නට පුරුදුව සිටියේය.

"පොඩී" එකොළහට පමණ ඔහු සිය ඉගැන්වීමේ වැඩ කටයුතු අවසන් කළ පසු පොත් ටික එකතු කරගෙන කාමරයට යන්නට සැරසුණ මගේ අතින් අදිමින් ඔහු මා තවත් මොහොතක් රඳවා ගත්තේය.

"මීට පස්සෙ අම්මා නැතුව කොහෙවත් නවතින්න තියා හිතන්නවත් ලෑස්ති වෙන්න එපා"

"මං පිට තැනක නැවතුණා නෙවෙයිනෙ. අනික මං නැවතුණා නෙවෙයි මියුරු අක්කමයි මාමගෙන් අහලා මාව නවත්තා ගත්තෙ"

"ඒවා මට වැඩක් නෑ. මීට පස්සෙ කිව්ව දේ කරනවා"

"කරේ නැත්තන්"

"නැත්තන් කරන්නෙ මොකද්ද කියලා මං ඒ වෙලාවටම කරලා පෙන්නන්නම්. මේ රෑ බොරුවට මාව අවුස්සගෙන අඬන්න ලෑස්ති වෙන්නැතුව හොඳ ළමයා වගේ ගිහින් නිදාගන්නකො" කියා මගේ අත නිදහස් කළ ඔහු එතනින් නැඟිට මා ගෙතුළට තල්ලු කළේය. රව රවා කාමරයට පැමිණි මට සාලයේ විදුලි පහන් නිවූ බව දැනුණේත් ඔහුගේ කාමරයේ දොර වැසෙන හඬ ඇසුණේත් ඊට විනාඩි දහය පහළොවකට පසුය.

ඒ සතියේ සිටම ගීත් අයියා පෙර පරිදිම සිකුරාදා රාත්‍රියේ නිවසට පැමිණ සඳුදා පාන්දර පිටව යාමට පුරුදු වූයේ වෙනදාට වඩා වැඩිපුර වැඩ ගොඩක් මට පවරමිනි. ඉස්සර සතියකට දෙතුන් වරකට වඩා දුරකථන ඇමතුම් නොදෙන ඔහු දිනපතාම රාත්‍රී දහය දොළහ අතර වේලාවක එක්වරක් හෝ දෙවරක් දුරකථනය නාද කර මා අවදියෙන්දැයි තහවුරු කරගන්නා අලුත් ක්‍රමෝපායක්ද සොයාගත්තේය. ඔහු නැන්දාටත් මාමාටත් කල්තියා ඒ ගැන දැනුම් දී තිබුණ බව මා අනුමාන කළේ නැන්දා අවදියෙන් සිටින මොහොතක වුවත් ඇය ඒ ඇමතුම කෙරෙහි සංවේදී නොවුණ නිසාය.

මතක හැටියට ඒ නිදහස් දිනයට පෙර දිනය විය යුතුය. බදාදාවක් වූ එදින එකොළහට මා වෙලාව බලන තුරුත් රින්ක් කට් එක නොලැබිණ. උඩුමහළේ වූ කුඩා සෝෆාවේ දිගෑදී ජීව විද්‍යා ටියුට් එකක් බලමින් සිටි මා තද නින්දකට වැටෙන්නට ඇත්තේ ඒ වේලාවෙන් පසුය. එක්වරම මා අවදි වූයේ "වොෂ් එකක් දාගෙනම එන්නම් අම්මා" කියන හඬටය. ඒ වනවිටත් ඔහු සිටියේ තරප්පුවේ මැදය. අත තිබුණ පොත කටත් නහයත් වැසී යන තරමට ඇඟ මතින් තබාගෙන මම තද නින්දක වග දැනෙන්නට හැරියෙමි. මුලින් වේගවත්ව ඇසුණ පියවර හඬ ක්‍රමයෙන් අඩුවිය. මා එතන සිටියදී ඔහු කාමරයට නොයන බව මුළු හිතින් විශ්වාස කළද හඬ නොඇසෙන විට පුංචි සැකයක් නොදැනුණා නොවේ. කිසිඳු හඬක් නොනැගෙන සේ හොරෙකු මෙන් ඔහු මගේ හිස අද්දරට විත් නැවතුණි. සිවිලිම උඩ යන තරම් හඬකින් කෑ ගසනු ඇතැයි බියක් හිත කොනක නොතිබුණා නොවේ. එහෙත් සිටි ඉරියව්ව මඳකින් හෝ වෙනස් නොකොට ඉවසා සිටින්නට මට හැකිවීමෙන් ලද ප්‍රීතිය අදටත් විටින් විට මුව මත සිනහ තවරන්නට තරම් ප්‍රබලය.

නළලත් සමඟම හිස පිටුපසට පිරිමැඳ හිමිහිට දණ බිම තබා පහත් වූ ඔහු නළලත දෙතොල තැවරුවේය. සිනහවකට විවර වූ දෙතොල් පොතෙන් වැසී ඇති නිසා ඔහුට එය නොදැනෙන්නට ඇතැයි මම තරයේම විශ්වාස කළෙමි. අතැඟිලි වලට මැදිව තිබූ පොත සීරුවට උදුරා පැත්තකින් තැබූ ඔහු මා දෑතින් ඔසවාගෙනම නැඟිට්ටේය. ගෙල මුල හිස හොවා ගැනීමෙන් සිනහව සඟවා අපහසුව නැතුව ගියේය. බාගෙට වැසී තිබුණ දොර , කකුලෙන් තල්ලු කරගෙන කාමරයට ඇතුළු වූ ඔහු මගේ හිස කොට්ටය මත තබා සීරුවට ඇඳෙන් බැස්සේය. අති විශිෂ්ඨ රංගනයක නිරත වීමේ ප්‍රීතියත් සමඟ බොහෝ දිනකට පසුව ලද උණුසුම අසල මුළු හිතම මල් වැස්සකින් නැහැවෙමින් තිබිණ.

"හීන බැලුවට කමක් නෑ. මං වොෂ් එකක් දාගෙන එනකොට පහළට ගිහින් තේ එක අරන් එනවද? මට එදා දීලා ගිය ගණන් ටික බලන්නෝනි" කියා නහය මිරිකූ ඔහු දොර අසලටම ගොස් නැවතී හැරී බලා බලා දිව ඇද කර යන්නට ගියේ "අපි ඔය වයස පහුකරා මැඩම්" කියමිනි.



ඊළඟ මතක සක්මනින් හමුවෙමු

No comments:

Post a Comment