Monday, May 4, 2020

විල්තෙර අද්දර - 15 : දාහතරවෙනි මතක සක්මන




ජූනි මාසයේ අවසන් සිකුරාදා වූ එදින පංතිය අවසන් කරන විට විනාඩි දහයක් පමා වී තිබිණ. ගෙදර පැත්තට යන බසය ඒ වනවිට පිටව ගොස්ය. අකුරැස්ස බසයක තෙරපී පැමිණීමටත් වඩා ප්‍රධාන පාරේ සිට ඉතිරි දුර පයින් එන්නට වීමෙන් ලද වෙහෙස ගෙට ඇතුල් වෙද්දීම වාෂ්ප විය. සාලයේ සෝෆාවේ දිගෑදී රූපවාහිනිය නරඹමින් සිටි ගීත් අයියා දකිද්දී එක්වරම කෑ ගැසෙන්නට ගියත් ඒ සතුට නොරිස්සුමකින් වැසී යන්නට ගත වූයේ තත්පර කීපයකි. කල්තබා නිවසට පැමිණෙන බව දැනුම් නොදීමත් මා කැඳවාගෙන යාමට පංතිය අසලට නොපැමිණීමත් පැයක් හමාරක් බුම්මාගෙන සිටීමට හොඳටම ප්‍රමාණවත්ය. මගේ පැමිණීම සත පහකට මායිම් නොකොට මොකද්දෝ වාර්තා වැඩසටහනක් ලොකු කරගෙන සිටි ඔහුට රවාගෙන මා කුස්සියට යනවිට නැන්දා සිටියේ උයන්නට සූදානම් වෙමිනි.

"මං තේ හදනකල් වොෂ් එකක් දාගෙන එනවද?"

" ඔන්නොහෙ තේ එකක් බීලම යන්නම්"

" එහෙනං අයියත් ආයෙ තේ එකක් බොනවද අහලා එන්නකො"

"අනේ මට බෑ"

"ඇයි ආව ගමන් රණ්ඩුවක් පටන් ගත්තද?"

"වැඩේමයි එයත් එක්ක රණ්ඩු වෙන්න" මොකද්දෝ කියන්නට කට හැදූ නැන්දා සිනාසෙමින් ආපිට හැරෙද්දී සිදුවන්නට යන දේ තේරුම් ගන්නට අමුතු ඉවක් අවශ්‍ය නොවීය.

"ඔයා තේ එක හදලා තියන්නකො. මං ටක් ගාලා එන්නම්" කියාගෙන එතනින් පැන ගන්නට ගියත් දොර උළුවස්ස උඩින් අත තැබූ ඔහු මගේ ගමන වැලැක්වීය. අත ඉවතට කරන්නට මෙන් බොරුවට ඒ උඩින් අත් දෙකම තබා තදකර ඔහු හිතන්නටත් ප්‍රථම අත යටින් රිංගාගන්නට මට හැකිවිය. එහෙත් තනි කරලට ගොතාගෙන සිටි කොණ්ඩය මට පරාජය හිමිකර දෙමින් ඔහුගේ ජයග්‍රහණය තහවුරු කළේය.

"ඔය කෙල්ලව අතාරින්න පුතා. දැන් ඔය ක්ලාස් ඇරලා ආවා විතරනෙ" කිසිදාක නැන්දාගේ එවන් උපදෙසක් කනකට නොගන්නා ඔහු එදා පුදුමයකට මෙන් කියූ සැණින් මා නිදහස් කළේය.

ඒ අරුම පුදුම හැසිරීමටත් මගේ පංතිය අසලට නොපැමිණීමටත් හේතුවක් හිතාගත නොහැකිව කාමරයට පය තබද්දීම මට එහි වෙනසක් දැනිණ. අන් දිනවලට වඩා පොත් මේසයේ පිළිවෙල ගැන මා වෙහෙසෙන්නේ සිකුරාදා උදෑසනටය. කවුරුන් හෝ මේසය අවුස්සා ඇති බව වටහා ගැනීම අපහසු නොවුණේ එනිසාය. කල්තියා නිවසට පැමිණි ඔහු මගේ පොත් මේසය අවුස්සන්නට ඇත්තේ සැඟවූ නවකතා ඇත්දැයි තහවුරු කරගන්නටය. ඔහුගේ රැවුම් ගෙරවුම් නොතකමින් නොකඩවා පවත්වාගෙන ආ ඒ පුරුද්දට මා සමුදුන්නේ සිංහල අවුරුදු නිවාඩුවෙන් පසුය. පාඩම් වැඩ කෙරෙහි පෙරට වඩා උනන්දු වෙමින් වෛද්‍ය විද්‍යාලයට යා හැකි ඉහළ ප්‍රතිඵලයක් ලබාගෙන එදා ඒ දෑස් අඳුරු කළ සිතුවිල්ලෙන් ඔහුව මුදවන්නට උපරිමයෙන් මහන්සි වෙමින් සිටි මට ඔහුගේ පැසසුම හිමිවූයේ වරක් දෙවරක් නොවේ. එහෙත් හිත කොනක සැඟව ඇති සැකය මා නැති අතරේ මගේ පොත් මේසය වෙතට ඔහුව කැඳවන්නට ඇත.

සුන්දර දබරයටකට ඔහුව කොටුකර ගැනීමේ සැලැස්මේ කටු සටහන හදමින් ඉක්මනින් ඇඟ පත දොවාගෙන මා නාන කාමරයෙන් පිටතට එනවිටත් ඔහු සිටියේ උඩුමහළේ වූ කුඩා සෝෆාවේ වාඩි වී පත්තරයක් බලමිනි. බිස්කට් ටින් එකත් සමඟ මගේ තේ එක ස්ටූල් එක උඩ දුම් දමමින් තිබුණි. ඇඟේ ගෑවෙන තරම් ළඟින් වාඩි වී බිස්කට් එකක් කරුස් කුරුස් ගා හපමින් ඔහුව අවුස්සා ගන්නට ගත් පළමු උත්සාහය බලාපොරොත්තු නොවූ තරමේ පරාජයක් හිමිකරගනිමින් අවසන් විය. ඊළඟට බිස්කට් එකක් තේ එකේ පොඟවමින් කන්නට ගත්තත් ඔහු සිටියේ මගේ මායම් කිසිවකට අසු නොවන පරිදිය.

"කවුද මගෙ පොත් මේසෙ ඇද්දෙ" පොඩි පොඩි මායම් සාර්ථක නොවන තැන මම අවසන් විකල්පය තෝරා ගත්තෙමි.

"මං ඇයි" පත්තරය පැත්තකට වීසි කළ ඔහු සෘජු පිළිතුරක් දී මා දෙසට හැරුණි. කොතනක හෝ වරදක් සිදුව ඇතිබව තහවුරු කරගන්නට ඒ හඬ පමණක් ප්‍රමාණවත් වුවත් රත් පැහැයට හැරෙනා දෙනෙතේද ඇති තරම් සාක්ෂි තැවරී තිබිණ.

"ලැජ්ජා නැද්ද කෙල්ලන්ගෙ කාමර අස්සට රිංගලා බඩු අදින්න"

"කෙල්ලන්ගෙ මං දන්නෑ. හැබැයි මගේ කෙල්ලගෙ කාමරේට ගිහින් මේසෙ පොඩ්ඩක් බලන්න ඔය කියන විදිහට ලැජ්ජා වෙන්න ඕනිද කියලා නම් මං දන්නෑ" කියමින් ඔහු කනෙන් අල්ලා ගත්තේය. අවසන් උත්සාහය නොසිතූ තරම් ඉක්මනින් සාර්ථකත්වයට ළඟා වීමේ ප්‍රීතිය දෙතොල් ආක්‍රමණය කළේය.

"මොකද තමුසෙ හිනාවෙන්නෙ. මං මේ තේ එක බීලා ඉවර වෙනකල් පොඩ්ඩක් ඉවසුවේ" කියමින් ඔහු කන තද කළේය.

"ඌයි......රිදෙනවා"

"රිදෙනවා නම් අතගාගන්නවා" කියමින් කන අත්හැරි ඔහු එතනින් නැඟිට කාමරයට ගොස් පිටතට ආවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත සහ අනෙකුත් තොරතුරු ඇතුළත් පොතත් රැගෙනය. මට හීන් දාඩිය දාන්නට පටන් ගත්තේ එවිටය. මේසයේ පැත්තක වූ කබඩ් එකේ සඟවා තැබූ පොතෙන් අයදුම්පත ඉවත් කරන්නට සිතා සිටියත් මට එය අමතකව තිබිණ. මා සිතාසිටි පරිදි වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට ප්‍රතිඵල ප්‍රමාණවත් නොවූවත්, අනෙකුත් පාඨමාලා සඳහා අයදුම්පත් යොමු කිරීම නුවණට හුරු බව ඔහු මට කියා තිබුණේ ප්‍රතිඵල ලැබුණ කාලයේදීමය. මියුරු අක්කාත් සිටියේ ඒ අදහසට එකඟවය. දෙවනවර විභාගයට මුහුණ දී ප්‍රතිඵල ලැබෙන තුරුම විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කර නොගන්නා බව ඔහු පුන පුනා කියා සිටියේය. එහෙත් විද්‍යා හෝ කෘෂි විද්‍යා පීඨයකට ඇතුළත් වීමේ සිහිනයක් කිසිදා නොදුටු මට ඒ අදහසට එකඟ වීම අපහසු විය. ඔහුගේ උපදෙස් පරිදි ඔහු ඉදිරියේම පුරවන ලද අයදුම්පත තැපෑලට නොදමා සඟවන්නට සිතා සිටියත් මගේ නොසැලකිල්ලෙන් සියල්ල හෙළි වී අවසන්ය.

"තමුසෙ මෙච්චර හිතුවක්කාර වෙන්න පටන් ගත්තෙ කවදා ඉදලද කියනවා ආහ්........" කියමින් එසවුණ අත කන ළඟටම ගොස් පහතට වැටිණ. අඩි හප්පා කෑ ගසා බැණ වැදුණා නම් මට එය දරාගැනීම අපහසු නැත. එහෙත් ඔහු සිය සුපුරුදු චර්යාවන්ගෙන් ඈත් වීමේ වේදනාව එතරම් පහසුවෙන් දරාගත නොහැක.

"ගීත් අයියෙ"

"කතා කරන්ඩ එපා මාත් එක්ක. පොතත් අතටම ගෙනත් දීලා ෆිල් කරන්නත් කියලා දීලා ඔක්කොම කරලා තියෙද්දි තමුසෙට බැරි වුණානෙ මේක ඩෙඩ් ලයින් එකට කලින් පෝස්ට් එකට දාන්න. ෂික්.... බලනවකො දැන් මාස දෙකකුත් පැනලනෙ"

"අහන්නකො"

"නෑ......මින් පස්සෙ තමුසෙ කියන ඒවා මං අහන්නෙත් නෑ......මං කියන ඒවා තමුසෙ අහන්න ඕනිත් නෑ.....ඒකනම් ඉතින් දැනටත් එහෙමනෙ" කියූ ඔහු කාමරයට ගොස් දොර වසා ගත්තේය.

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගන්නට බැරි බව අසා තිබුණාට අත්දුටුවේ එදිනය. එදා ඒ බිඳුණු සිත සුවපත් කරවීමේ බලය කඳුළකට හෝ සිනහවකට නොමැති බව මම නිවරදිව දැන සිටියෙමි. විශිෂ්ඨ ප්‍රතිඵලයක් සමඟ විභාගය සමත්වීම හැර ඒ චෝදනාවෙන් නිදහස් විය හැකි අන් මඟක් නොවුණි. පෙරටත් වඩා උවමනාවෙන් පාඩම් වැඩ කෙරෙහි අවධානය යොමු කරන්නට මා උනන්දු කරවූයේ ඒ සිතුවිල්ලය.

ඊළඟ සිකුරාදා ඔහු නොපැමිණෙන බව කියා සිටියදීත් බදාදා උදේ වන විට ඒ සතියට සැලසුම් කර තිබූ භෞතික විද්‍යා හා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයා අවසන් කරන්නට මට හැකි විය. දිවා ආහාරයෙන් පසු ජීව විද්‍යා ටියුට් එකකට උත්තර ලියමින් සිටියදී නැන්දා මා සොයා ආවේ ඈ නිවසින් පිටතට යනබව දැනුම් දෙන්නටය. නැන්දා නිවසේ නොමැති විට මට වඩාත් ආරක්ෂාවක් දැනෙන්නේ ගෙයින් පිටතය. ටියුට් එකත් රැගෙන මිදුලේ බංකුවෙන් වාඩි වූ පසු යකෙකුටවත් බයක් දැනෙන්නේ නැත. ටියුට් එකට උත්තර සපයමින් සිටි මට කාලය ගෙවී යනවා නොදැනුණි.

හුරු පුරුදු සුවඳක ඉවට හිස ඔසවන විටත් ඔහු සිටියේ සැහැල්ලු සිනහවකින් මුව පුරෝගෙනය. ඔහු එතරම් සැහැල්ලුවෙන් සිනාසෙනු දකින්නට ලැබුණේත් මාස ගණනාවකට පසුය.

"කැම්පස් වහලද?" විශේෂ නිවාඩුවක් නොමැති නම් සතියේ මැද දිනක නිවසට පැමිණීමේ පුරුද්දක් ඔහුට නැත. ඊටත් වඩා මට පුදුමයක් දැනුණේ පෙර සතියේ යළි නො එන බව පවසා සෙනසුරාදාම කේන්තියෙන් පිටව ගිය ඔහු කල්තියා පැමිණීමය.

"ගුඩ් ගර්ල්. ගේට්ටුව අරින සද්දෙවත් ඇහුන්නෑනෙ" මගේ ප්‍රශ්නය නෑසුණා සේ ළඟට ආ ඔහු හිස මත සුරත තබමින් සිනාසුණේය.

"නැන්දා දන්නවද ඔයා අද එනවා කියලා"

"නැන්දා තියා මංවත් දන්නෑ" සිනාසෙමින්ම බංකුවේ පැත්තකින් වාඩි වූ ඔහු "මං හිතුවෙ නෑ ළමයා මෙච්චර හොඳට වැඩ කරනවා ඇති කියලා" කියමින් හිස් මුදුනට කර රඳවා තිබුණ කොණ්ඩ කටුව ගලවා අතට ගත්තේය.

"ගෙට යං. ඔයාට මහන්සිත් ඇතිනෙ" බංකුව මත වූ පොත් ටික එකතු කරගන්නා තුරු බලාසිටි ඔහු එතෙක් උරහිසේ එල්ලාගෙන සිටි බෑගය විවෘත කර ඉන් පිටතට ගත් මැංගුස් මල්ලක් මා අත තබා නැඟිට්ටේය.

"කොහෙද මේ දවස්වල මැංගුස් තියෙන්නෙ" සිනහවකින් පමණක් පිළිතුරු දුන් ඔහු මට පෙර ගෙට ඇතුළු වන්නට ගොස් වසා තිබුණ දොර ඉදිරියෙන් නතර වූයේ "අම්මා නැද්ද ගෙදර" අසමිනි.

"නෑ ටවුමට ගියා" කියාගෙනම ගෙට ඇතුළු වී පොත් ටික සමඟ මැංගුස් මල්ල ස්ටූල් එක උඩින් තබා කොණ්ඩය ගැට ගසාගෙන කුස්සියට යන්නට ගිය මා අතින් ඇද නවතාගත් ඔහු මගේ අතින් ඇදගෙනම සෝෆාවට බරවිය.

"මං තේ එකක් හදාගෙන එනකල් වොෂ් එකක් දාගන්නවද?" තක්කඩි හිනාවකින් මුව පුරෝගෙන උන් ඔහු "ඔයා තේ හදන්නෙත් නෑ මං වොෂ් දාන්නෙත් නෑ" කියමින් උකුළ මත හිස තබා දෙපා සුවපහසුවට දිගහැර ගත්තේය.

නොදැනීම හිස මත රැඳුණ සුරතෙහි ඇඟිලි හිස පුරා නිහඬ සක්මනක යෙදෙද්දී ඔහු මගේ නෙතු අතර පැටලිණ. විනාඩියක් දෙකක් හෝ ඊටත් වැඩි කාලයක් මගේ දෑස් අතරේ මොනවදෝ සොයමින් සිටි ඔහු හිස මත වූ සුරත දෝතින්ම ගෙන නහයට ළංකර තදින් හුස්ම ඉහළට ඇද්දේය. එවර නිදහස්ව තිබූ වමත ඒ කෙටි හිසකෙස් අතර දඟ කිරීම ඇරඹිණ. ලෝකය නැවතී ඇති සැටියක් දෙදෙනාටම දැනුණා වන්නට පුළුවන.

"පොඩී" බාගෙට වැවුණ රැවුල් කොට පිරි රළු කම්මුල පුරා මගේ අත අතුල්ලා ගනිමින් ඔහු හෙමිහිට හඬ අවදි කළේය.

"ඔයාගෙ ජීවිතේ මං ඉන්නෙ කීවෙනියටද කියලා මං දන්නෑ. මං ඒක අහන්නෙත් නෑ. ඒත් ඔයා දැනගන්න ඕනි මගේ ජීවිතේ ඔයා ඉන්නෙ කොතනද කියලා. ඇයි කියන්න තේරෙන්නෑ. ඒත් අම්මයි අක්කයි හිටියට මට පුංචි කාලෙ ඉඳන් සැනසීමක් දැනුණෙ මේ ඇස් දෙක ළඟ" කියා හෙමිහිට මගේ මුහුණ පිරිමැඳි ඔහු මොහොතකට දෑස් පියා ගත්තේය.

"පොඩී"

"ම්..."

"අර ඇප්ලිකේෂන් එක නොදැම්මෙ ඔයාට ඔයාව ෂුවර් නිසා කියලා මට පස්සෙ තමයි තේරුණේ. මේ පාර අපි ඒ තුනකටම ට්‍රයි කරමු. ඔයාට බැරිවෙන්නෑ. තව සති තුනනෙ. ඒ ටික කොහොමහරි මහන්සි වෙලා විභාගෙ ගොඩ දාගත්තොත් අපි දෙන්නම දිනුම්"

"බැරි වුණොත්"

"බැරි වුණොත් මැරෙන්නයැ....ඊළඟ පාරටත් ට්‍රයි එකක් දීලා බලමු. වැදගත් වෙන්නෙ විභාගෙ පාස් කරගෙන ඔයාගෙ ටාගට් එකට යන එක මිස ලියන වාර ගාණ නෙවෙයිනෙ පොඩී" කියමින් උකුළෙන් නැඟිට මගේ කම්මුලක් මිරිකා සිනාසුණ ඔහු භූමිතෙල් ගෑවුණ ගැරඬියෙකු පරදවන වේගයෙන් තරප්පුව නැග ගොස් අතරමඟ නැවතුණේය.

"තේ ගේන්න එපා. මං පහළට එන්නම්" හිස සලා ඊට එකඟ වන මා දෙස මොහොතක් බලා උන් ඔහුට ඉතිරි පඩි ටික නඟින්නට එතරම් කලබලයක් නොතිබිණ.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු

No comments:

Post a Comment