Wednesday, May 6, 2020

විල්තෙර අද්දර - 17 : දාසයවෙනි මතක සක්මන





ධාතු කරඬුවක් වඩම්මාන්නාක් මෙන් ප්‍රවේශමෙන් නැන්දා විසින් මියුරු අක්කාගේ පුංචි පුතු වඩාගෙන නිවසට ගෙන ආ දිනය මගේ ජීවිතයේ මා වඩාත්ම සතුටට පත් වූ සුවිශේෂි දින කිහිපයෙන් එකක් විය. මියුරු අක්කාත් ගීත් අයියාත් වයසින් වැඩී ස්වාධීන වන්නට පටන් ගත් කාලයේ සිටම ක්‍රමයෙන් ඔවුන්ගෙන් ඈත් වන්නට පටන් ගත් මාමා යළිත් පෙර පුරුදු ළෙංගතු චරිතයට අවතීර්ණ වූයේ එදිනය. ඔහුගේ දෙතොල මත සිනහවක් නොරැඳුණ වෙලාවක් සොයාගන්නට බැරි තරම් විය. විශ්වවිද්‍යාලයට ගොස් දිවා ආහාරය සඳහා කියමින් නිවසට ආ ගීත් අයියාව සවස දේශන වලට යවාගන්නට අපේ සරදම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. කප්පරක් වැඩ මැද පුංචි පුතු අසල ගැවසෙන්නට ඉඩක් නොලද නැන්දා පවා දෙතොල සැරසූ සිනහට සැඟවෙන්නට ඉඩක් නුදුන්නාය. ආඩම්බර හිනාවම ආභරණයක් කරගත් රොෂාන් අයියා එදා ජීවත් වූයේ ලෝකයේ මුල් වරට දරුවෙකු බිහිකළේ මියුරු අක්කා බව සිතාගෙනය.

උතුම් මව් පදවියත් සමඟ තිළිණ ලද සුන්දර සිනහවෙන් ප්‍රසූතියේ වෙහෙසත් අපහසුවත් සඟවාගත් මියුරු අක්කා හවස් වරුවම සිටියේ සුව නින්දකය. අම්මගේ උණුසුමට ගුලිවී හා පැටියෙකු මෙන් නිදන පුංචි පුතුගේ විල්ලුද වන් සිනිඳු දෙපා පිරිමඳිමින් මා සිටියේ ඇඳ අසල දණ ගසාගෙනය. එක්වරම දොර දෙසින් ඇසුණ පා ගැටෙන හඬට හිස හරවන විටත් ඔහු මා අසලය.

"ඔය පොඩි එකාට පාඩුවේ නිදාගන්න දීලා චූටි නැන්දි ගිහින් දැන්වත් පොතක් පතක් බලාගත්තොත් නරකද?"

"අනේ අද විතරයි. මං හෙට ඉදන් පාඩම් කරන්නම්"

"ඒ ලෙවල් කියන්නෙ සෙල්ලමක් කියලා හිතුවද" උරහිසින් අල්ලා මා නැගිට්ටවා ගත් ඔහු කනට කර දත් අතරින් ගුගුලේය.

"අනේ....තව චුට්ටක් ඉදලා එන්නම්"

"මෙන්න මෙහෙ එනවා යන්න. මං හවස කැම්පස් නොගිහින් නැවතුණෙන් ළමයගෙ හැටි දන්න නිසා" කියමින් ගීත් අයියා මගේ අතින් ඇදගෙන කාමරයෙන් එළියට එනවිටත් රොෂාන් අයියා දොර ළඟට වී සිටියේ සිනාසෙමිනි.

"දෙන්නත් එක්ක මගෙ කොල්ලව නරක් කරන්නැතුව මෙතනින් යන එකනම් හොඳයි. මොකද උඹලා තාත්තට වගේ හොඳ යාළුවෝ මට නෑ"

"පොඩි එකා ගෙදර ගෙනා වෙලේ ඉදන් විභාගෙ ගැන මෙලෝ සිහියක් නෑ. අපරාදෙ ගෙන්නා ගත්තෙ කියලා හිතෙන්නෙ ඔය වෙලාවට තමයි" රොෂාන් අයියාගේ සරදම මායිම් නොකොට මගේ අතින් ඇදගෙන කාමරයට යන අතර තුරත් ගීත් අයියාගේ කටට විවේකයක් නොවීය.

"මෙහෙ ඉදන් කෑ ගහන්න බෑ අර දෙන්නට නිදාගන්න ඕනි. පොත් ටිකත් අරන් පල්ලෙහා කෑම මේසට යමු" නැන්දාත් මමත් නිදාගන්නා කාමරයට මාව ඇදගෙන ආ ගීත් අයියා පැවසුවේ වටපිට බලමිනි.

"ඉතින් ඒකට කෑ ගහන්නැතුව ඉන්නකො"

"ආසා ඇති" කියමින් දිව ඇද කළ ඔහු කම්මුලක් මිරිකා සිනාසෙමින් පහළට ගියේය.

මගේ අධ්‍යාපනික වැඩ කටයුතු ගැන පූර්ණ බලතල බලහත්කාරයෙන්ම තමා සන්තක කරගත් ගීත් අයියාගේ වචනයට පිටින් යා හැකි කවුරුත් නිවසේ නොසිටි පසුබිමක ඔහුට අවනත වීම හැර මට කරන්නට දෙයක් නොතිබිණ. පෙරදින මියුරු අක්කලාගේ නිවසට එනවිට රැගෙන ආ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ෆයිල් එකක් අස්සෙ හංගාගෙන මා පහළට යනවිටත් ඔහු කෑම මේසය පාඩම් කරන්නට සුදුසු ලෙස සකසාගෙන බලා සිටියේය. භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්තරයේ නිවරදි පිළිතුරු ගණන ඔහු ලවා පරීක්ෂා කරගැනීමේ උවමනාව පෙර දින සිටම තිබුණත් ඊට සුදුසු මොහොතක් එනතුරු කල් බලන්නට මට සිදුවිය.

"මං පුතාට කියන්නමත් කියලා හිටියෙ. පොඩි එකා ගෙනා වෙලාවෙ ඉදන් ඒ පස්සෙන්මයි" ප්‍රශ්න පත්‍රයක් සාකච්ජා කරමින් සිටියදී අපට තේ රැගෙන ආ නැන්දා මා දෙස හොරැහින් බලමින් පැවසීය.

"අපරාදෙ. විභාගෙ ඉවර වෙනකල් ඉන්න අරින්නයි තිබ්බෙ. නේද අම්මා"

"හිතේ ඇති අම්මටයි පුතාටයි" කියමින් කට ඇද කර බිම බලාගත් මගේ හිස අත ගෑ නැන්දා සිනාසෙමින් පිටව යනතුරු බලා සිටි ගීත් අයියා "හෙට උදේට තාත්තා යනකොට යන්න ලෑස්ති වෙන්න මැඩම්" කීවේය. විහිළුවක ස්වරයක් යන්තමින් දැවටුණ ද, දකිමින් සිටි සිහින කන්දම දෙපා මුල තුනී කරන්නට තරම් එවදන් ප්‍රබල විය. හැඬීමෙන් හෝ කන්කෙඳිරි ගෑමෙන් ලබාගත නොහැකි දේ මුරණ්ඩුකමින් ලබාගත හැකි බව අත්දැකීමෙන් දැන සිටි මට උත්සාහ නොකර පරාජය පිළිගන්නා පුරුද්දක් මේ කියන කාලයේදී නොතිබිණ.

"බෑ මට තේරෙන්නැති දේවල් ගොඩාක් තියෙනවා. ගෙදර ගියොත් කාගෙන්ද අහගන්නෙ" මහ හඬින් සිනාසී කොණ්ඩය අවුල් කර දැමූ ගීත් අයියා තේ එකත් රැගෙන එතනින් නැඟිට මිදුළට ගියේ "උඹත් එක්ක හිටියොත් මාත් නරක් වෙනවා" කියමිනි.

පුතු අවදි වී හඬන්නට පටන් ගත්තේ ගීත් අයියා එතනින් නැඟිට ගොස් මිනිත්තු පහ හයකට පසුය. ඒ වනවිට ඔහු සිටියේ මාමාත් සමඟ මිදුලේ සක්මන් කරමින් බර කතාවකය. හඬ නොනැඟෙන ලෙස පුටුව පස්සට කර තබා හිමිහිට උඩුමහළට ගොස් මියුරු අක්කලාගේ කාමරයට එබෙන විට රොෂාන් අයියා පෙනෙන්නට නොසිටියේය.

"ඔන්න ආවා පුංචි අම්මා" මියුරු අක්කා සිනහවකින් මා පිළිගනිමින් ඇය ළඟින් වාඩිවෙන්නට දෙනෙතින් ඉඟි කළාය.

"ඇයි ඇඬුවෙ. මං හිතුවෙ ඇහැරලා කියලා. ඒ වුණාට මෙයාගෙත් වැඩේම අම්මා වගේ නිදියන එක"

"මං චුට්ටක් නැඟිටින්න හැදුවනෙ. ඒකට ඇහැරෙන්න ඇති. ඔයත් චූටි දවස්වල මේ වගේ තමයි. මල්ලි බණිනවත් ඒ බෝනික්කා නිදියන්න විතරයි දන්නෙ කියලා"

"ඒ කියන්නෙ එයා මට බණින්න පටන්ගෙන තියෙන්නෙ අද ඊයෙ නෙවෙයි"

"ඒකනෙ අපි ඔය දෙන්නගෙ වලි ගණන් ගන්නැත්තෙ" කියා ගීත් අයියා විසින් අවුල් කර තිබූ කොණ්ඩය තව ටිකක් ඇවිස්සූ මියුරු අක්කා අල්මාරිය අසලට ගොස් සැහැල්ලු ඇඳුමක් තෝරා ගත්තාය.

"මං වොෂ් එකක් දාගෙන එනකල් ඔතන චුට්ටක් ඉන්නවද" දුවගෙන ගොස් මියුරු අක්කා බදා වැළඳගන්නට ආ සිතුවිල්ල සඟවා මම හිස දෙපසට පැද්දුවෙමි.

පුංචි පුතු ළඟ වාඩි වී නිදහසේ ඒ සිඟිති මුහුණේ හැඩතල හදවතේ සිත්තම් කරගන්නට ඉඩක් ලැබුණේ එවෙලෙහිය. තදින් මිට මොලවාගත් සිඟිති අතැඟිලි හිමිහිට දිගහරින්නට උත්සහ කරමින්, හය හතර නොදත් කිරිකැටියා සමඟ තනිව කතා කරමින් සිටි මට රොෂාන් අයියාත් මියුරු අක්කාත් සිනාසෙමින් මා දෙස බලා සිටින බව නොදැනුණි.

"මෙයා මොකද මෙතන කරන්නෙ" ගීත් අයියාගේ හඬට හිස ඔසවන විට සිනාසෙමින්ම මා ළඟට ඇවිද ආ රොෂාන් අයියා කර වටා අත යවන්නට සැරසුණේ "කිරි දෙන්න ඇවිල්ලා" කියමිනි. අත ගසා දමමින් රවාගෙනම එතනින් පිටවන්නට ගිය මා දොරකඩ සිටි ගීත් අයියාගේ දෑත් අතරෙහි සිරවිය.

"අපරාදෙ කියන්න බෑ මොනා නැතත් අම්මා මේ දෝණියැන්දලා දෙන්නට රවන්න පුප්පන්න නම් උගන්නලා තියෙනවා නියමෙටම" රොෂාන් අයියාගේ සරදම් හඬ ගීත් අයියාගේ සවන් අසලට ළඟා වූවාදැයි සැක සහිතය. සිනහව නාඳුනන ලෙස තදින් පියවුණ දෙතොල දෑසෙහි නළියන කෝපය හා මොනවට ගැලපුණි.

"හෙට උදේම තාත්තත් එක්ක ගෙදර යන්න ලෑස්ති වෙනවා"

"මට බෑ. මං යන්නෙ ඉරිදා හවසට . ඒකත් මාමා එක්ක නෙවෙයි මාව එක්ක යන්න පොරොන්දු වෙච්චි කෙනා ගිහින් දානවනම් විතරයි" අවසන් කොටස ඔහුට පමණක් ඇසෙන තරම් සෙමින් මුමුණා මා පහළට බහින විට මට ඇසුණේ මියුරු අක්කාගේ සිනාහඬ පමණි.

ඉන්පසුව ඔහු මට ගෙදර යන්නට බල කරමින් කෑ ගැසීම නතර කළේය. ඒ වෙනුවට හැකි හැමවිටම පසුපසින් රැඳෙමින් මා මියුරු අක්කලාගේ කාමරයට එබෙන වාර ගණන බලහත්කාරයෙන් පාලනය කළේය.

"මීට වඩා හොඳයි ගෙදරම හිටියනම්" පුතා අවදි වී අඬන කිසිඳු මොහොතක මට උඩට යන්නට අවසර නොදෙන ඔහුටත්, මේසය මත වූ පොත්පත් වලටත් රවමින් දවස ගෙවෙද්දී නොදැනීම එවදන් මුවින් පිටවිය.

"මොකද්ද කිව්වෙ"

"නෑ මොකුත් නෑ" පුටුව පස්සට වන හඬටම කන් දෙකේ ආරක්ෂාව දෑතින් තහවුරු කරගත් මම පොත දිහා බලාගෙන මිමිණුවෙමි.

"තව දවස් තුනනෙ පොඩී. ඊට පස්සෙ උදේ ඉදන් රෑ වෙනකල් බබාව අතේ තියාගෙන හිටියත් මං මොකුත් කියන්නෑ. දැන් හොඳ ළමයා වගේ ඔය ප්‍රශ්න ටිකට උත්තර ලියන්නකො" කන මත රැඳෙන තෙක් බලාසිටි සුරත හිස මත සක්මන් කරද්දී දෑස් කඳුළින් පිරෙනු වලක්වන්නට මට නොහැකි විය.

"ඔක්කෝටම ඉස්සෙල්ලා ඔය ඕනි එකටයි එපා එකටයි හැමදේටම ටැප් එක ඇරගන්න එක නතර කරගන්න ඕනි. හැම එකටම හොටු පෙරාගෙන අඬන්න ඔයා දැන් පොඩි ළමයෙක් නෙවෙයි හොඳේ" කියාගෙන ගෙතුළට ගිය ඔහු යළි ආවේ මා පිළිතුරු ලියා අවසන් වූවාටත් පසුය.

සෙනසුරාදා උදෑසන රොෂාන් අයියා වැඩට ගියේය. යාළුවෙක් මුණ ගැසීමට ඇති බව පවසමින් ඔහුත් සමඟම විශ්වවිද්‍යාලයට ගිය ගීත් අයියා නිවසට පැමිණියේ නැන්දා පුතා නාවමින් සිටියදීය. නැන්දා ළඟටම වී සිටි මට රැවුම් ගෙරවුම් කිසිවකින් සංග්‍රහ නොකළ ඔහු "තේ එකක් හදන්නකො පොඩී" කියමින් කාමරයට ගියේය. වතුර උණු වෙන්නට තබා කෝප්ප සෝදමින් සිටියදී කෑම කාමරය දෙසින් ඇසුණ අඩි හඬ ළං ළංව ඇහෙද්දී වතුර කේතලයේ තාලයටම හදවත උඩපනින්නට විය.

ඇඟේ ගෑවෙන තරම් ළඟින් සිටගත් ඔහු මුලින්ම කළේ ගෑස් ලිප නිවා දැමීමයි. ප්‍රශ්න දහසක් ලියවුණ මගේ දෑස් දෙස මොහොතක් බලාසිටි ඔහු එක්වරම මා තුරුළු කරගෙන නළලට දෙතොල තබා බොහෝ වේලාවක් ඒ ඉරියව්වෙන්ම රැඳෙමින් මට මගේ පියවි සිහිය අහිමි කළේය.

"ගීත් අයියේ" පියවි සිහියට එළඹි මුල්ම තත්පරයේ මගේ හඬ කෙඳිරියක් මෙන් පිටවිය.

"බය වෙන්නෙපා. අක්කා පුතාට කිරි දෙනවා අම්මා රෙදි සෝදලා ඉවර වෙලා මිසක් පහළැට එන්නෑ" දෙතොල් පමණක් මුදාගත් ඔහු ග්‍රහණයේ වෙනසක් නොකරම මා අස්වැසීය.

"අනේ..."

"බයගුල්ලී" කියමින් මා අත්හල ඔහු "මං ඔයා ෆයිල් එක අස්සෙ හංගන් හිටිය MCQ පේපර් එක බැලුවා" කීවේ පැන්ට්‍රි ටොප් එක මත වාඩි වී උජාරුවෙනි.

"ගොඩක් වැරදිද?" හිස ඉහළ පහළ කරමින් සිනාසුණ ඔහු "මං ඒක හොරෙන්ම අරන් බැලුවෙ වැරදි ගොඩක් තිබ්බොත් නොකියා ඉන්නවා කියලා හිතාගෙන. ඒත් පස්සෙ මට හිතුණා අනිද්දා පේපර් එකවත් හොඳට කරගන්න මේක ගැන දැනන් ඉන්නෙක හොඳයි කියලා"

"කීයක් හරිද?...........කියන්නකො. මං ප්‍රොමිස් වෙනවා ඒක ගැන හිතන්නැතුව පාඩම් කරනවා කියලා" තේ හැදීම පැත්තක තබා ළඟටම ගොස් දිගුකළ සුරත අල්ලාගත් ඔහු ඒ මත දෙතොල තැබුවේය.

"ගීත් අයියේ"

"ඊළඟ පේපර් එකත් හොඳට කරගත්තොත් ඔච්චර වෙව්ලන්න ඕන්නෑ පොඩී. අරකෙ වැරදිලා තිබ්බෙ එකයි"

"ඇත්තටම ද" කෑ ගසා උඩ පැණ ඔහුව වැළඳගන්නට ආ සිතුවිල්ල ආයාසයෙන් යටපත් කරගෙන විශ්මය පමණක් වදන් වල තැවරීම අසීරු වුවත් ඒ මොහොතේ මගේ උත්සාහය සාර්ථක විය.

"හ්ම්......ඔයා තෝරගෙන තියෙන Essay ප්‍රශ්න ටිකත් හොඳයි. ඒකට හොඳ A එකක් එයි කියලා මට ෂුවර්. කෙමිස්ට්‍රි පේපර් එක ඊටත් වඩා හොඳට කරගත්තොත් බයෝ වලට C එකක් තිබ්බත් හොඳ රෑන්ක් එකක් ගන්න පුළුවන්" කියමින් බිමට පැන නළලත් සමඟම එක් වරක් හිස පිටුපසට පිරිමැඳි ඔහු සුරත හිස මත තිබියදීම දෑස් තුළ කිමිඳුණේය.

"පස්සෙ මාත් එක්ක රණ්ඩු කරන්න නම් ලෑස්ති වෙන්න එපා....ඔන්න මං දැන්මම කිව්වා එක කලම්බො, දෙක ජපුර, තුන කැළණිය. පේරා යන්නෝනි කියලා කුණු කුණු ගාන්නනම් ලෑස්ති වෙන්නෙපා. හදිස්සියකට ත්‍රීවිල් එකකින් හරි ගිහින් බලලා එන්න බැරි දුරකටනම් මං ඔයාව යවන්නෑ සුදු නෝනා"

"ඇයි" පෙර පාසැල් යන වයසට එළඹීමටත් මත්තෙන් හෙමි හෙමින් මගේ ජීවිතය තුළ ආධිපත්‍ය පතුරුවන්නට පටන් ගත් ඔහුට එරෙහිව යමින් දිනාගත යුතු සිහින කිසිවකින් එදවස මගේ ලෝකය හැඩි වී තිබුණේ නැත. එහෙත් මගේ රුචිකත්වය ගැන අසා දැනගන්නටවත් සුනංගු නොවී තම අභිමතය ප්‍රකාශ කළ ඔහු ඊට දක්වන හේතුව දැනගන්නට වූ නොතිත් ආසාව සැඟවීමේ හැකියාවක් මා තුළ නොතිබිණ.

"මිනිහෙක් වුණාම තමන්ට වටින දේවල් පරිස්සම් කරගන්න දැනගන්නෝනි පස්සෙ ඤරු ඤුරු ගාන්න තියාගන්නැතුව"

"ඒ කියන්නෙ මාව විශ්වාස නෑ"

"ඔයාව විශ්වාස වුණාට මට මේ රටේ ලෝකෙ මිනිස්සු ඔක්කෝම ඒ තරමට විශ්වාස කරන්න බෑනෙ. ඒ නිසා ආයෙ ඒ ගැන කතා මොකුත් නෑ. අපේ එකට බැරි වුණොත් ජපුර නැත්තන් රාගම" කියූ ඔහු මා තවත් කිසිවක් කියන්නට පෙර පිටුපස දොරෙන් එළියට ගියේය.

No comments:

Post a Comment