Wednesday, May 6, 2020

විල්තෙර අද්දර - 18 : දාහත්වෙනි මතක සක්මන


 
 
"මං මේ මාළු ඇඹුල් තියලයි පොළොස් ටිකකුයි බෝතල් වලට දාලා දෙන්නම්. හෙට උදේට අයියත් ඉන්නවනෙ. එයාට කියලා පොල් ටිකක් ගාවගෙන සම්බෝලයක් හදන් බත් ටිකක් කාලා යන්න පුතේ. මාමා දවාලටයි රෑටයි කොහෙන් හරි කෑම ගෙනත් දෙයි. මං අයියටත් කියන්නම් උදේට චුට්ටක් කලින් නැඟිටලා ඔයාට උදව් වෙන්න කියලා"
නැන්දා පැවසුවේ සෙනසුරාදා රෑ නිදි වරාගෙන සැකසූ පොළොස් ඇඹුල වීදුරු බෝතලයකට පුරවමිනි. තුන් වේලම බේකරි කෑම කන්නට මට හැකිබව දැන දැනත් ඇය ඕනෑවට වඩා අප වෙනුවෙන් වෙහෙසීම හිතේ බර තව තවත් ඉහළ දැමීය.

"අයියෝ....වේලක් දෙකක් ඔය මොනාහරි කෑවා කියලා අපි මැරෙන්නෑ. ඔයා මේ වැඩ නැතුවට වැඩ වනාගෙන. නිදි මරාගෙන එක එක ඒවා හදලා ලෙඩ වුණොත් එහෙම ඔන්න මංනම් ඇහැක්වත් ඇරලා බලන්නෑ" පිටුපසින් ගොස් ඉඟ වටා දෑත් යවමින් පිට මැද්දට මූණ තද කර ඇයට නෝක්කාඩු කියන විටත් මගේ දෑස් කඳුළින් පිරී තිබිණ. මා ඇයව වැළඳගන්නා ඉරියව්වෙන්ම මගේ සිතැඟි කියවා ගත හැකි නැන්දා හිමිහිට දෑත් මුදාහැර ආපිට හැරී අත්ලින් කඳුළු පිසදමා මා තුරුළු කරගත්තාය.

"අයියා හරි අක්කා හරි ඔය කතාව කිව්වනම් මට ටිකක් දුක හිතෙයි. ඒ මං එයාලව කුසින් වදාපු නිසා නෙවෙයි, කවදාහරි එහෙම වෙන්න පුළුවන් කියන සැකේ මගේ හිතේ තියෙන නිසා. ඒත් ඔයා ඔය කිව්වෙ කවදාවත් කරන්න බැරි දෙයක් නිසා මට ඒකට හිනාවෙන්න තමයි තියෙන්නෙ" හේතුවක් නැතුවම ගලාගිය කඳුළු නැන්දා හැඳ සිටි දිගු බතික් ගවුමේ උරහිස මතින් ඇයව සිපගන්නට ඇත. විනාඩි තුන හතරක් හිස පුරා ආදරය තවරමින් රටාවකට එහෙ මෙහෙ ගිය අතැඟිලි නොකියාම විරාමයක් ගත්තේය.

"මේ මොකද මේ නාකි හුරතලේ. බලන්නකො තාත්තා පොඩි එකා යසට ඇඟිල්ලක් කටේ ගහගෙන තනියම නිඳි. අම්මා මෙතන අලි බබාව නළවනවා"

කඳුළු පිසගන්නටවත් පමා නොවී මා හිස ඔසවන විටත් ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසින් මාමා අප දෙස බලා සිටියේය. බස් එකේ පිටුපස අසුනක ගීත් අයියා අසලින් වාඩි වී පැය පහක දීර්ඝ ගමනක් යන්නට දින ගණනාවක සිට පෙරුම් පුරමින් සිටි මට එවෙලෙහි මාමා ව සතුරෙකු මෙන් පෙනුණ බව නොකියා සිටියද ඔබ එය වටහා ගන්නා බව සිකුරුය.

"තාත්තා ආවද?" අසාගෙන ගීත් අයියාත් කලබලයෙන් කුස්සියට එබුණේ එවෙලෙහිය. තත්පරයකට අපේ සිව්නෙත් එකිනෙක ගැටී එසැණින් වෙනතකට යොමු විය.

"තාත්තා ඇයි මේ හදිස්සියේම කියන්නෙවත් නැතුව"

"පොඩි දුව එක්ක යන්න. හෙට විභාගෙත් තියන් බස් එකේ ඔච්චර දුරක් යන්න අමාරුයිනෙ"

"ඉතින් ඔයා කියන්නෙවත් නැතුව එද්දි පුතා පොඩි දුව එක්ක ගියානම් එහෙම දෙන්නගෙම ගමන අපරාදෙනෙ"

"එහෙම වුණානම් පුතාට පොඩ්ඩක් වැඩ පාඩුවෙනවා තමයි. මටනම් ඉතින් ආව එකේ පොඩි එකාව හරි චුට්ටක් බලලා යන්න පුළුවන්නෙ" රොෂාන් අයියා මහ හඬින් සිනාසී යන්නට ගියේ "ඔන්න දැන් තමයි තාත්තා ඇත්ත කිව්වෙ" කියමිනි. ගීත් අයියා කිසිවක් නොකියාම ඔහු පිටුපසින් ගියේය.

උදෑසන කෑමෙන් පසු කොළඹින් පිටවන්නට ගීත් අයියා සැලසුම් කර තිබුණත් නැන්දා ඊට විරුද්ධ විය. ඇය දිවා ආහාරය සකසන තෙක් අපට රැඳී සිටින්නට සිදු වූයේ එනිසාය.

"පොඩි දුව ගිහින් ලෑස්ති වෙලා එන්න" තාමත් දෑස් මුල ශේෂව ඇති කඳුළු පැල්ලම් වල රහස අනාවරණය කරගන්නට මාමා ට හදිස්සි විය. අලස ලෙස පඩියෙන් පඩිය නඟිමින් උඩට එනවිට මියුරු අක්කලාගේ කාමරයේ දොර වසා තිබිණ. ගීත් අයියාත් රොෂාන් අයියාත් කොතනකවත් පේන්නට නොසිටීම සිතට එක් කළේ අස්වැසිල්ලකි. උදෑසනම ඇඳ උඩ සූදානම් කර තැබූ ඇඳුම් ටික සමඟ තුවායත් රැගෙන නාන කාමරයට යන්නට ගිය මගේ ගමන වලක්වමින් එක්වරම කාමරයෙන් පිටතට ආ ගීත් අයියා අතින් ඇද්දේය.

"ගීත් අයියේ"

"ෂ්....." කියා දෙතොලට ඇඟිල්ල තබා මා නිහඬ කරගත් ඔහු දොර වසා ඊට පිටදී හේත්තු වෙමින්ම මා තුරුළු කරගත්තේය. තුන් තිස් පැයම ඒ උණුසුමේ දැවටෙන්නට දකින සිහින අමතක වී නළලත දාබිඳු මතු වෙන්නට ඒ හැටි වෙලාවක් නොගියේය.

"ඇයි මේ බයවෙලා"

"අනේ දොර අරින්නකො"

"අරින්නම් ඇඬුවෙ ඇයි කියලා කිව්වොත්"

"අනේ ඒක මහ දෙයක් නෙවෙයි. නැන්දා හෙට උදේට කන්නත් එක්ක කෑම ලෑස්ති කරද්දි මට දුක හිතුණා"

"ඒවට පස්සෙ සලකන්න. නැත්තන් දැන්මම ඒවටත් එක්ක පුතාට සැලකුවත් මං මොකුත් කියන්නෑ" මනමාල හිනාවකින් දෑසට එබී බැලූ ඔහු ග්‍රහණය දැඩි කරමින් කොපුලකට දෙතොල තැබීය.

"අනේ"

"කෑ ගහන්න එපා බං. මේක අස්සෙ කෙඳිරි ගානවා අර යකාට ඇහුණොත් ඔක්කොම ඉවරයි"

"එහෙනං අතාරින්න මාව"

"බෑ" කියමින් කම්මුල් මත දෑත් තබා මගේ දෑසෙහි ඇති කැලඹිල්ල සන්සුන්ව විඳගත් ඔහු හිමිහිට පහත් වී නළල සිප ගත්තේය. අදටද දෑස් පියාගෙන මතක් කළ හැකි තරම් උණුසුමක් හැමදාමත් මෙන් එදාත් ඒ දෙතොලෙහි තැවරී තිබිණ.

"එදා වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරන්න බැරි වුණාට තරහා වෙන්නැතුව පරිස්සමින් තාත්තත් එක්ක ගිහින් හෙටත් හොඳට විභාගෙ කරගන්න. රෑට නිදාගන්න කලින් උඩ බැල්කනි ඔක්කොගේම දොරවල් වැහිලද බලන්න"

ඔළුව පද්දමින් ඊට එකඟ වන මා දෙස බලා සිනාසුණ ඔහු හිස පිරිමැඳ "අනිද්දට මං එන්නම් ඔයාව එක්ක එන්න. එතකොට ඇති තරම් නිදාගන්න දෙන්නම් මෙතන" කියමින් සිය උරහිසට අතින් තට්ටු කළේය. විටින් විට දෑස් තුළ කිමිදී රහස් හොයනා ඔහු මගේ සිහින නිවරදිව අනුමාන කළේ කෙසේදැයි කියන්නට අදටත් නොදනිමි. එහෙත් ගීත් අයියාට තරම් හොඳින් මගේ හිත කියවීමට හැකියාවක් නිවසේ කාටවත්ම නොතිබිණ.

කල්තබා දිවා ආහාරය සූදානම් කරන්නට නැන්දා ගත් වෙහෙසට සාධාරණයක් කරන්නට මට නොහැකි විය. ගීත් අයියාගේ දෑත් අතරෙහි ගෙවීගිය උණුසුම් නිමේෂයේ ආදරණීය මතකයත්, පුංචි පුතුගේ හඬ නොඇසෙන ඉසව්වකට යාමට සිදුවීමේ වේදනාවත් මගේ කෑම රුචිය සොරාගෙන තිබිණ.

"පොඩි දුව කෑවෙ නෑ. අතගගා හිටියා විතරයි. යන ගමන් මෝනිස් එක ගාව නවත්තලා මොනාහරි අරන් දෙන්න" අපේ රෑ කෑම සහ තවත් මොන මොනවදෝ පිරවූ කූඩයක් ඩිකියට දමමින් නැන්දා විශේෂ උපදෙසක් දෙන්නට අමතක නොකළාය.

"කනවනම් කොහෙන් මොනවා අරන් දෙන්න බැරිද? ඔය මඟ දිගට ඕනි තරම් කඩ තියෙන්නෙ" නැන්දගේ උපදෙස් ගැන ඒ හැටි තැකීමක් නොකළ මාමා සිනාසෙමින් පැවසීය.

"මෙයා ඉල්ලුවත් එක එක තැන්වලින්නම් කන්න අරන් දෙන්න යන්න එපා තාත්තා. ඔය පාර දිගේ තියෙන මල ජරාව කාලා අන්තිමට හෙට උදේ විභාගෙ ලියනෙක පැත්තක තියලා ළමයට ටොයිලට් එකේ පදිංචි වෙන්න වෙයි. බඩගිනිනම් මෝනිස් එකෙන් තේ එකක් බීලා යන්න" නැන්දගේ උපදෙසේ වලංගුභාවය තහවුරු කරමින් මා ළඟට විත් කරවටා අත යැවූ ගීත් අයියා "තාත්තා අරන් දෙන්න හැදුවත් පාරෙ තියෙන එක එක ඒවා කන්න එපා පොඩී" කියමින් මටත් අනතුරු අඟවා දොර ඇර දුන්නේය.

"එක්කො මාත් එන්නද තාත්තා. දැන් යනකොට හවස් වෙනවත් නෙ" මා රියට නඟින තුරු දොර අල්ලාගෙන සිටි ගීත් අයියා හදිස්සියේ සිහිපත් වූ දෙයක් අසන්නට මෙන් ඇතුළට එබුණේය.

"ඕන්නෑ පුතා. අපි දෙන්නා හිමින් යන්නම්" බලාපොරොත්තු කඩ වූ දෑසෙහි ද සිනහවක් තවරා මගේ හිස යන්තමින් පිරිමැඳි ඔහු ප්‍රවේශමෙන් දොර වසා දැමුවේ "හොඳට ලියන්න පොඩී" කියමිනි. වේගයෙන් ඇහිපිය සලා කඳුළු සඟවා හිස සෙලවීමකට වැඩි දෙයක් කරන්නට මට නොහැකි විය. ගේට්ටුව අද්දර නතරව අත වනමින් සිටි නැන්දාත් ගීත් අයියාත් නොපෙනී යන තුරුම හිස පිටුපසට හරවාගෙන සිටි මම ඊළඟට අසුනේ හරිබරි ගැසී වාඩි වී දෑස් පියා ගත්තෙමි.

"නිදිමතද පුතේ "

"නෑ"
"එහෙනං මොනා හරි කියවා කියවා යං. එද්දිත් මං හරි පාළුවෙන් ආවෙ"

මාමා හිතේ ඇති දේ කෙලින්ම කියන්නේ එහෙමත් දවසකය. අපි කවුරුත්ම නොමැතිව පාළුවෙන් දින දෙක තුනක් ගෙවූ ඔහු හදිස්සියේම කොළඹ ආවේ මන්දැයි මට වැටහුණේ එවිටය. නැන්දා සමඟ පැය ගණන් වරු ගණන් කියවන්නට දේවල් ඇතත් මාමා විෂයෙහි මට එය ආගන්තුකය. අපේ කුසගින්න ගැන අපටත් වඩා වදවෙන නැන්දා ගැනත්, හිතුවක්කාර ගති පැවතුම් වලින් ටික ටික ඈත් වෙමින් පවුලට ළංවන ගීත් අයියා ගැනත් කතා කරමින් ටික දුරක් එද්දීම අපේ මාතෘකාව චූටි පුතු ළඟින් නැවතිණ.

වෙනදා තරම් රථ වාහන තදබදයක් නොතිබි ගාලු පාර නොපෙනෙණ තරම් තදින් වැස්ස ඇදහැලෙන්නට පටන් ගත්තේ මොරටුවේදීය. කවදත් හිමින් රිය පදවන මාමා ට වැස්සෙන් බාධා වූවා නම් ඒ සුළු වශයෙනි. කුළුඳුළේ දෝතට ගත් මුණුබුරු ගේ කිරි සිනහා දිනපතා අසන්නට පෙරුම් පුරමින් සිටි මාමා, සිව් වසරක සේවා කාලයකින් පසුව ලැබෙන ස්ථාන මාරුව මාතර ට හෝ කරාපිටිය ට හදාගන්නට මියුරු අක්කාට යෝජනා කරන මෙන් මගෙන් ඉල්ලා සිටියේය. එතෙක් ප්‍රසූත නිවාඩුව අවසන් වනතුරු හෝ මියුරු අක්කා නිවසේ නතර කරගත යුතු බව අප දෙදෙනාගේම අදහස විය. රොෂාන් අයියාව ඊට එකඟ කරගන්නට එක එක ක්‍රම යෝජනා කරමින් සිනාසෙමින් ආ මාමා මග්ගොන මෝනිස් බේකරිය අසලදී තිරිංග තද කර පාරේ වම් පැත්තෙන් රිය නතර කළේය. පාරේ දකුණු පැත්තෙන් පිහිටි බේකරියේ ඉදිරිපස රථ ගාල ඒ වනවිටත් පාරිභෝගික වාහන වලින් පිරී තිබිණ.

"අපි තේ එකක් බීලා යමු ද"

"මාමට තේ බොන්න ඕනිද"

"මටනම් ඕන්නෑ. ඒ වුණාට ඔයාට බඩගිනි ඇතිනෙ"

"මටත් එපා. අපි යං" යන්තමින් කුසගිනි දැනෙමින් තිබුණ ද, එය ගීත් අයියාගේ ආදරණීය ඉල්ලීම අභිබවා යන්නට තරම් ප්‍රබල නොවීය.

"එහෙනං ඔයා චුට්ටක් ඔහොම ඉන්නකො. මං ටක් ගාලා ගිහින් ඔයාට පාඩම් කරනකොට හප හපා ඉන්න ඇඟිලි ඉස්කෝතු එකක් අරන් එන්නම්කො. මෙතන තියෙනවා ඉඟුරු දාලා හදන එකක්. ඒක අපේ එකට වඩා රහයි" ආසන දෙක අතරින් පිටුපසට එබී කුඩයක් හොයාගත් මාමා රියෙන් බැස්සේ මියුරු බේක් හවුස් අධිපතියාව එක වචනෙකින් බිම හෙලූ මෝනිස් පාරිභෝගියෙකු ලෙසය.

ගීත් අයියාගේ ආදරණීය තරවටු හා දඟකාරකම් මැද්දේ ගෙවී ගිය දින දෙක තුන තුළ යළි යළිත් සක්මන් කරමින්, හිත රැඳුණ සොඳුරු තැන් වලදී ලද රස මිහිර සිතින් ස්පර්ශ කරමින් ඈත ලොවක පාවෙන්නට ඉඩක් ලැබුණේ මාමා රියෙන් බැස ගිය පසුය. පිටව එන්නට සූදානමින් මා මියුරු අක්කලාගේ කාමරයට යනවිට රොෂාන් අයියා සිටියේ නාන කාමරයේය. නිදහසේ පුංචි පුතුගේ දෙපා සිඹ සමුගන්නට ඉඩ ලැබීමේ ප්‍රීතිය හිත පුරා විඳිමින් මා එළියට ආවේ "පුංචි ඉක්මනට එන්නං" කියාගෙනය.

"මොකද්ද අර පොඩි එකාට කිව්වෙ" කියමින් ගීත් අයියා මගේ කනෙන් අල්ලා ගත්තේ තරප්පු පෙළ මැදදීය.

"මොකුත් කියන්න එයාට කතා කරන්න පුළුවන්ද"

"මගෙ යකා අවුස්සාගන්නැතුව කියනවා කවුරු ඉක්මනට එන්නං කියලද ආවෙ"

"ආහ්....ඒකද මේ" සිනාසෙමින් කන මුදාගත් මා ඔහුට දිව ඇදකර දුවන්නට සැරසුණත් ඒ දෑසෙහි නළියන වේදනාව මගේ සැලසුම් කුඩු පට්ටම් කළේය.

"ගීත් අයියෙ"

"මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්නෙපා පොඩී. ඔයා හොඳටම දන්නවා මගේ හිතේ ඔයා ඉන්නෙ කොතනද කියලා" අන්තිම ටික කන අසලටම නැවී පැවසූ ඔහු මගේ අත රැඳි බෑගයත් උදුරාගෙන මා එතන සීටියදී වේගයෙන් පඩිපෙළ බැස මිඳුළට ගියේය.

ඒ මතක අතරේ හිත දුවවමින් සිටි මට, නොනවත්වාම දිය බේරෙන වින්ඩ්ස්ක්‍රීනය තුළින්, පාර පුරා ගලා යමින් තිබූ බොරපැහැ වැහි දියට සිය කිරි පැහැ ජාතික ඇඳුමෙහි මඬ තවරන්නට ඉඩ නොදී පාර මාරුවෙන්නට සැරසෙන මාමා ව, පෙනුණේ බොඳව ගිය සිතුවමක් ලෙසය. ඉදිරියට තැබූ පය ලිස්සා මාමා වැටෙන්නට ගිය හැටිත්, කෑ ගසාගෙන රියෙන් බිමට පැන මා පාරට දුව ගිය බවත්, කන් බිහිරි කරවන නළා හඬක් සමඟ ක්රාස් ගා වාහනයක තිරිංග තද වූ බවත් මට යන්තමින් මතක තිබෙන්නේද ඒ බොඳව ගිය සිතුවමේම කොටසක් ලෙසය.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු.


No comments:

Post a Comment