Saturday, May 9, 2020

විල්තෙර අද්දර - 21 : විසිවන මතක සක්මන




පුංචි පුතුට දෙමසක් සපිරුණු ඔක්තෝබර් 17 වනවිටත් නැන්දාත් මමත් සිටියේ මියුරු අක්කලාගේ නිවසේය. ඊළඟ සතියේ සිට මියුරු අක්කාත් කැටුව නිවසට යායුතු බව නැන්දා කියමින් සිටියේ ඊට සති දෙක තුනකට පෙර සිටය. එහෙත් සතියෙන් සතිය අපේ ගමන පමා කරන්නට සිදු වූයේ රොෂාන් අයියා වරින් වර ඔහු හඳුනන විශේෂඥ වෛද්‍යවරයා ළඟට මා කැටුව යායුතු බව පැවසූ නිසාය.

"දකුණෙත් නෑ මෙහෙම ගැට" කියමින් ගීත් අයියා ඔහුට සරදම් කරමින් සිටියත් අප එහි සිටීමෙන් වැඩියෙන්ම සතුටට පත්ව සිටියේත් ඔහුමය. වෙලාවට කෑමක් බීමක් නොමැතිව මාමා ගෙවන කටුක දිවි‍ය ගැන නැන්දාත් මමත් වද වූ තරමට අන් කිසිවෙකුට ඒ ගැන වගක් නොවීය. ඉගෙනගෙන ඉහළට යමින් පවුලෙන් ඈත්වන සෑම දරුවෙක්ම එතරම් ආත්මාර්ථකාමීදැයි නොදනිමි. එහෙත් මියුරු අක්කාත් ගීත් අයියාත් තමාගේ පහසුව හා රුචි අරුචිකම් ගැන වද වූ තරමින් ඇබිත්තක් හෝ තම මව්පියන්ගේ පැත්තෙන් නොසිතූ බව අදටත් නොබියව පවසන්නට මට පුළුවන.

"නොවැම්බර් වෙනකල් යන්න දෙන්නෑ" නැන්දාත් මමත් ඊළඟ සතියේ ගෙදර යන්නට කතා කරමින් සිටියදී කොහේදෝ යන්නට සූදානමින් කුස්සියට එබුණ ගීත් අයියා කනට කර පැවසුවේ නැන්දාට හොරෙන් මගේ අතැඟිලි මිරිකමිනි.

"අප්පච්චියි චූටි මාමියි හවසට ගෙදර ආවම රෙදි ටික එහෙම හෝදලා අයන් කරලා අහුරලා තියන හැටි බලන්නත් එක්ක අපි මේ සතියෙ කොහොමහරි ගෙදර යමු නැන්දෙ" පොල් මිරිකමින් සිටි නැන්දා සිනහව කිරි දීසියේ සඟවාගෙන ගීත් අයියාට පිටුපා සිටගත්තේය.

"මොකද්ද කිව්වෙ" කියමින් එසවුණ සුරත කන ළඟට විත් පල්ලම් බසින්නට මත්තෙන් අල්ලා ගන්නට මාන බලමින් සිටි සිතුවිල්ල පරාජය කරමින් ඔහු කන මිරිකුවේය. පුංචි කොලු ගැටයෙකු සන්ධියේ සිටම ක්‍රියාවෙන් හෝ වචනයෙන් ඔහුට එරෙහිවන සෑම විටකම මගේ කන මිරිකීම පුරුද්දක් කරගෙන සිටි ඔහු හදිස්සියේම ඒ පුරුද්දට සමුදීමෙන් මා ලද පීඩනය මට හරියටම වටහාගත හැකි වූයේ ඒ මොහොතේය. වෙනදාට කන මුදාගන්නට ගන්නා වෙහෙස එදා යොදවන්නට වූයේ කඳුළු සඟවන්නටය. එහෙත් දිනුම තිබෙන්නට ඇත්තේ මා සිතා සිටියාට වඩා බොහෝ ඈතකය.

"ඔය කෙල්ලගෙ කන ගලවන්නැතුව යන තැනක යන්න පුතා. පහුගිය ටිකේ පාඩුවේ හිටියහම මං හිතුවා දැන් හැදිලා කියලා. බලන් ගියාම මටයි වැරදිලා තියෙන්නෙ"

නැන්දා මෙන්ම මමත් සිතා සිටියේ ඔහු වෙනස්ව ඇති බවය. නැන්දා ඒ ගැන සිතමින් සතුටු වූ තරමටම ඉන් වේදනා විඳි මට ඔහු යථා තත්වයට පත්ව ඇතිවග කියන්නට තවත් සාක්ෂි උවමනා නොවීය. රිය අනතුරින් ලද කම්පනය සහමුලින්ම ඉවත් වූයේ ඉන්පසුව බව පැවසීම අතිශෝක්තියක් නොවේ.සතුටටත් දුකටත් දෙකටම එක ලෙස කඳුළු සැලීමේ පුරුද්දට තිත තැබිය යුතු බව ඔහු කියන පරක්කුවෙන් ප්‍රගුණ කර තිබුණානම් හොඳ බව හිතෙද්දීම කඳුළු වැගිරෙන්නට විය. දෑතින් මුහුණ වසාගෙන එතනින් දිව යන්නට මට උවමනා විය. එහෙත් ක්ෂණයකින් මගේ සිතුවිලි හඳුනාගත ගීත් අයියා "ඒයි......මොකද පොඩී මේ කවදාවත් නැතුව" කියමින් දෑත් ඉවතට කරන්නට සැරසුණේය.

"ඇඬෙව්වනම් නළවලාම යන එකයි ඇත්තෙ" කියමින් නැන්දා කුස්සියේ දොරෙන් එළියට යන්නට ඇත්තේ රම්පෙ කොළයක් කඩාගන්නටය. ඒ අවසරයෙන් මුහුණට පහත් වූ ඔහු කන් පෙත්තට යන්තමින් දෙතොල් තබා නැන්දා ගිය පැත්තෙන්ම එළියට බැස්සේ "රිදෙනවනම් මං ඇවිල්ලා අත ගාලා දෙන්නම් සුදු නෝනා" කියා අල්ලපු ගෙදරටත් ඇහෙන තරම් හයියෙන් කෑ ගසාගෙනය.

"කැම්පස් ගියාට මොකද වැඩ තාම මොන්ටිසෝරි ළමයෙකුටත් එහා" කරපිංචා ඉත්තක් සමඟ රම්පෙ කොළයක් කඩාගෙන ගෙට ගොඩ වූ නැන්දා ලිහී තිබූ කොණ්ඩය ගැට ගසා ගනිමින් නෝක්කාඩු කීවේ බොරුවටය. යන ගමන් ඔහු ඇය කෝප ගන්වන්නට කිසිවක් පවසා කොණ්ඩය ලිහා දමා පැන දුවන්නට ඇත. කන පිරිමදිමින්ම සිනාසෙමින් සිටි මා ළඟට ආ නැන්දා "අදනම් හොඳ පාරක් අහුවෙලා තියෙනවා. මේ කන හොඳටම රතු වෙලා පුතේ" කියද්දී කම්මුල් වලින් ගිනි පිටවීම වලක්වන්නට මට නොහැකි විය.

"මං ටක් ගාලා පුතා ඇහැරලා ද බලලා එන්නම්" කියාගෙන ඇගේ සුපරික්ෂාකාරී නෙතින් ගැලවී පැන දුවද්දී ගීත් අයියාගේ ජංගම දුරකථනය නාදවන හඬ ඇසුණේ සාලයෙනි. පුටුවක් උඩ ඔහු අමතක කර ගිය දුරකථනය මනෙත ගැටුණේ කුස්සියේ දොරෙන් පැනගොස් ඉදිරිපස දොරෙන් ඔහු ගෙට එන්නට ඇතැයි සිතමින් සාලයට කර පොවද්දීය. හිස හරව හරවා ඔහු ගිය තැනක් සොයමින් සිටියදී ඇමතුම විසන්ධි වුවත් එසැණින් යළිත් එය නාද විය. තිරය මත සටහන්ව තිබුණේ Parami යන අකුරු හයය. දෙවරක් නොසිතාම ඇමතුමට සම්බන්ධ වීම මෝඩකමක් වග තේරෙන විට එහා ඉමෙන් ආ ගීතවත් කටහඬ මා නොසන්සුන් කර අවසන්ය.

"මිගාර නැද්ද?" මගේ හඬ ඇසුණ සැණින් කලබල වූ ඒ ගීතවත් හඬේ හිමිකාරිය ඇසුවේ තරමක් කේන්තියෙනි.

"අයියා චුට්ටක් එළියට ගිහිල්ලා"

"කවුද ඔය කතා කරන්නෙ උත්තරා ද?" මගේ නම මා නොදන්නා තරුණියකගේ මුවින් පිටවීමේ පුදුමය මොහොතකට මගේ හඬ සොරාගත්තේය.

"උත්තරා නෙවෙයිද ඔය" පෙර තිබූ අමනාපය පහව ගොස් මිත්‍රශීලිව වදන් අමුණමින් ඇය සිටියේ මා කවුරුන්දැයි දැන ගන්නා නොඉවසිල්ලෙනි.

"උත්තරා තමයි. ඔයා කොහොමද කතා කරන්නෙ මං කියලා දැනගත්තෙ"

"මිගාරගේ ගෙදර ඉන්නෙ ඔයයි අක්කයි විතරයි කියලා අපි දන්නවනෙ. ඔයා කතා කළ විදිහට මං දැනගත්තා ඒ අක්කා නෙවෙයි කියලා" නිහඬව ගෙවී යන කාලය තුළ දහසක් සිතුවම් හිත ඇතුළේම ඇඳෙමින් මැකී ගියේය.

"ඔයාට දැන් හොඳයි නේද" මගේ නිහඬබව ඇයට මා මතකය අහිමිව කල් ගෙවූ වග සිහිපත් කිරීම පවා මට ප්‍රහේළිකාවක් විය.

"ඔයා කොහොමද දන්නෙ මං අසනීපෙන් හිටියා කියලා"

"ආ....පෝ.....ඔයත් මිගාර වගේමයි" කියමින් සැහැල්ලුවෙන් සිනාසුණ ඇය "මිගාර ආවම කියනවද පාරි කතා කරා කියලා. හවසට කැම්පස් එක පැත්තෙ එවෙනවනම් මතක් කරලා මට කෝල් එකක් දෙන්න කියන්න" කියූ ඇය ඇමතුම විසන්ධි කළාය.

අත තිබූ හුරුබුහුටි ජංගම දුරකථනයට රවාගෙන ගතකළ කාලය හරියටම නිශ්චයක් නැත. ගීත් අයියාගේ මිතුරියක් ඔහුට දුරකථනයෙන් කතා කළ පළියට ඔහු හා තරහා වන්නට තරම් බොළඳ සිතක් මට නොතිබි බව විශ්වාසය. එහෙත් මොකද්දෝ හේතුවක් හිත කොනිති ගසමින් තුවාල කරන්නට සැරසෙමින් තිබිණ.

"මොකද පොඩ්ඩි ඔය ෆෝන් එකට ඔරවගෙන කුටු කුටු ගාන්නෙ" මියුරු අක්කාගේ හඬින් කලබල වූ තරම පෙන්වන්නට මෙන් අතේ තිබුණ දුරකථනය ගෙබිම සිපගෙන තුන් තැනක වැතිරිණ.

"දෙන්නා ආයෙත් පටන් ගත්තද රණ්ඩු අල්ලන්න"

"මට වෙන වැඩ නෑනෙ" පාරමී කෙරෙහි ඇතිවූ කේන්තිය මියුරු අක්කා පිටින් යවමින් මා උඩුමහළට දිව්වේ බිම වැටුණ දුරකථනයේ කෑලි අහුලන්නටවත් පමා නොවෙමිනි.

"වැඩ නැතුවට නෙවෙයි. ඒ කොල්ලත් එක්ක එල්ලුනේ නැත්තන් එක්කෙනෙකුට නිකන් කෑවෙ නෑ වගේනෙ" කියමින් මියුරු අක්කා සිනාසෙණු ඇසුණ ද තවදුරටත් එල්ලි එල්ලී කතාවට යාමෙන් වැලකී මම කාමරයට ගොස් දොර වසා ගත්තෙමි.

රොෂාන් අයියා වැඩ ඇරී එන්නට පෙර ගෙදර ආ ගීත් අයියා අපේ කාමරය අසලින් කීප වාරයක් එහා මෙහා යනු දැනුණ ද මා සිටියේ ඒ බව නොදන්නා ලෙසටය.

"පොඩී පේන්නවත් නැත්තෙ ඇයි ආපහු අසනීපද" ඔහු මියුරු අක්කාගෙන් මා ගැන අහන්නට ඇත්තේ ඉවසා සිටිය නොහැකි තැනටම කුතුහලය උච්ච වූ පසුය.

"පිස්සුද ඔය යසට හිටියෙ. හැබැයි මොක්කට හරි තරහා ගිහින් ඉන්නෙ"

"මං චුට්ටක් බලන්නම්. අම්මා ආවොත් පොඩි ශේප් එකක් දාගන්නවද?"

"මෙච්චරකල් ඔක්කොම කරේ මගෙන් අහලා වෙන්නැති" මියුරු අක්කාගේ සිනහව මැදින්ම ඔහුගේ පියවර හඬ කාමරය දෙසට ඇඳුණි. නිදි බව අඟවමින් බිත්තිය පැත්තට හැරී නිදා සිටි මම ඉක්මනින් මුහුණ කොට්ටයේ සඟවා ගත්තෙමි.

"කැමැත්තෙන් නැඟිටිනවද නැත්තන් මං බලෙන් උස්සලා ගන්නෝනිද?" ඉහ අද්දරින් වාඩි වූ ඔහු සැහැල්ලුවෙන් පැවසීය. හැන්දෑවේ සිටම ඔහු වැරදිකරු කරමින් ගොනු කළ චෝදනා සියල්ල යළි මෙනෙහි කරගන්නට කාලය අවැසි නිසා නිදාසිටි ඉරියව්වේ සුළු වෙනසක්වත් නොකර සිටීම අත්‍යාවශ්‍ය විය. ඉවසීම නොහඳුනන ඔහුට ඒ කාලය කල්පයක් තරම් වූවාට සැක නැත. උරහිසින් ඇද අනෙක්පසට පෙරලා ගත් සිරුර දෑතින් ඔසවන්නට ඔහු සූදානම් විය.

"අතාරින්න ගීත් අයියෙ. නැත්තන් මං නැන්දට ඇහෙන්න කෑ ගහනවා"

"ඉතින් කෑ ගහනවා. හැබැයි ඊට පස්සෙ ආයෙ නැන්දා ගාව නිදාගන්න වෙන්නෑ. දිගටම ඉන්න වෙන්නෙ මාත් එක්ක. ඒකට හදිස්සි නම් කෑ ගැහුවට මගෙත් අකමැත්තක් නෑ. මාත් මේ බලන් ඉන්නෙ කොහොමද ඕක කියාගන්නෙ කියලා" එහෙමම ඇඳෙන් වාඩි වී, දිව ඇද කර සිනාසෙමින් සිටි ඔහුව අත් දෙකෙන්ම තල්ලු කර ඇඳ පාමුලින් බිමට පැනගත් මා නතර වූයේ මියුරු අක්කලාගේ කාමරයෙන්ය.

"මොකෝ රතු වෙලා. මොනා හරි දෙන්න හැදුවද බයේ පැනලා ආවෙ"

බැල්කනියේ වනා තිබූ රෙදි ටික එකතු කරමින් සිටි මියුරු අක්කා මා තවත් අපහසුවට පත් කළාය. ඇයට රවමින් චූටි පුතුගේ තොටිල්ලට අත තබද්දී සිනාසෙමින්ම මා ළඟට ආ ගීත් අයියා "මෙහෙම එක්කෙනෙක් නළවන්න හදිස්සිනම් අර කිව්ව විදිහට කරමු" කියමින් මා පිටුපසින් සිටගත්තේය. මිට මෙලවුන සුරත ඉහළට එසවෙද්දීම අල්ලා ගත් ඔහු "තරහා වුණේ ඇයි කිව්වෙ නැත්තන් මං අද රෑම බෝඩිමට යනවා" කියා සොඳුරු තර්ජනයකින් රණ්ඩුව කෙළවර කර කාමරයෙන් පිටව ගියේය.



ඊළඟ මතක සක්මනින් හමුවෙමු

No comments:

Post a Comment