Sunday, May 10, 2020

විල්තෙර අද්දර - 22 : විසි එක්වෙනි මතක සක්මන




රොෂාන් අයියාගේ මාමා කෙනෙකු නාරාහේන්පිට පිහිටි පෞද්ගලික ආරෝග්‍යශාලාවක නේවාසිකව ප්‍රතිකාර ලබන පුවත දැනගන්නට ලැබුණේ එදා රාත්‍රියේදීය. ඉරිදාවක් වූ පසුදින රොෂාන් අයියා ඔහුගේ සුවදුක් බලා ඒමට පිටව ගියේ ගීත් අයියාත් සමඟය. ඒ ගමන යෑමේ උවමනාවක් හෝ කැමැත්තක් ගීත් අයියාගේ තුන් හිතකවත් නොතිබුණ වග මට විශ්වාසය. එහෙත් නැන්දාට ඕනෑකම තිබුණේ රොෂාන් අයියාගේ පවුලත් සමඟ තිබූ දුරස්ථ සබඳතාවය අඟලකින් හෝ කෙටිකර ගන්නටය. පුංචි පුතු උපන් දිනයේම රොෂාන් අයියාගේ අප්පච්ච්චී ලොකු අක්කාත් සමඟ රෝහලටම පැමිණ සිය පරම්පරාවේ ඊළඟ උරුමක්කාරයා දැක බලා සතුටින් පිටව ගොස් තිබුණේ කෙසේ හෝ අම්මා කැඳවාගෙන එන පොරොන්දුව පිටය. ඒ පොරොන්දුව එලෙසම ඉටු කරමින් ඔහු සිය පවුලම නිවසට කැඳවාගෙන ඇවිත් තිබුණේ මා රෝහල්ගත කර සිටි කාලයේදීය.

අයියලා නිවසින් පිටව ගිය පසු, ගේ අස්පස් කර අතුගා තබා ගීත් අයියා ඒ සිකුරාදා රැගෙන ආ චිත්‍රා අයි පෙරේරා ගේ “උත්පලා” නවකතා පොතත් රැගෙන මිදුලේ බංකුවෙන් වාඩි වූ මට ඔහු ගෙදර නැති පාළුව නොදැනුණි. සුපුරුදු අවන්හලේ වාඩි වී රෝල්ස් එකක් රස විඳිමින් සිය මිත්‍රයාට සවන් යොමු කරමින් සිටි උත්පලාට කමින් සිටි රෝල්ස් කෑල්ල පිට උගුරේ යවමින් මහේන්ද්‍ර සිය ප්‍රේමය ප්‍රකාශ කළ අපූරුව කියවමින් සිටියදී ඉබේටම සිත ඇදී ගොස් නැවතුණේ පෙර වසරේ උසස් පෙළ විභාගය නිමා වූ දවසේය. බත් කටක් කා මගේ හිතත් අරගෙන ඉගිල ගිය සොඳුරු හිතුවක්කාරයා සමගින් ගෙවුණ වසරක කාලය සිතින් ස්පර්ශ කරමින් මා බොහෝ වේලාවක් සිටින්නට ඇත්තේ මතක සක්මනකය. ගේට්ටුවේ සීනුව නාද නොවන්නට තව හෝරාවකටවත් ඒ අතීත මතක් සක්මනින් මිදෙන්නට ඉඩ නොලැබෙන්නට තිබුණි.

පොත අතට ගෙන නැඟිටිද්දී බැල්කනියේ සිටි මියුරු අක්කා ගේට්ටුව අරින ලෙස අතින් සංඥා කර නොපෙනී ගියාය. එකත් එකටම ගීත් අයියා තනිව නිවසට පැමිණ පොත අතේ තබාගෙන කල්පනා කරමින් සිටි මා දැක සීනුව නාද කරන්නට ඇත. ඇතුළතින් අගුලු දා නොතිබුණ ගේට්ටුව අරින බව අඟවමින් ගොස් අගුල තද කර පරාජය ඔහුට දී දිනුම මා සන්තක කරගැනීම මගේ සැලැසුම විය. එහෙත් පුදුමයකට මෙන් ගේට්ටුව අද්දර සිටගෙන සිටියේ නාඳුනන තරුණයෙකි. ඔහු අසලම සිටි තරුණියන් දෙදෙනාගේ මුවෙහි මා දුටු විටම ඇතිවී නැතිවී ගිය සිනහව හිත කුහුලින් බර කළේය.

"මිගාර ඉන්නෙ මෙහෙ නේද?. අපි එයාගෙ කැම්පස් එකේ යාළුවෝ" ගීත් අයියාට වඩා වසරක් හමාරක් හෝ වැඩිමහල් යැයි සිතිය හැකි තරමේ පරිණත පෙනුමකට හිමිකම් කී නාඳුනන තරුණයා විමසුවේ කලබලයකින් තොරවය.

"ඔව්"

"කෝ මිගාර ගෙදර ඉන්නවද?" ගේට්ටුවේ කොක්ක පැන්නූ ඔහු ඇතුළට ආවේ උඩු මහළින් පටන්ගෙන මිදුලෙන් කෙළවර වන ලෙස දෑස් එහෙ මෙහෙ දුවවමිනි.

"අයියනම් පොඩි ගමනක් ගිහිල්ලා"

"එයා නැතුවට කමක් නෑ අපි ආවෙ ඔයාවයි පැංචවයි බලලා යන්න" කියමින් වත්තට ඇතුළු වූ තරුණියන් දෙදෙනාගෙන් කෙනෙක් මගේ අත අල්ලා ගත්තේ "මං පාරමී....මේ නුවන්දි....අරයා ඔයාගෙ අයියගෙ හොඳම යාළුවා වගීෂ" කියමිනි. කැරපොත්තෙකු ඇඟේ ගෑවුණ තරම් වේගයකින් අත ඉවතට ගන්නට ඉන් එක් වචනයක් හොඳටම ප්‍රමාණවත් විය.

"මොකෝ බය වුණේ.....ඇයි අයියා අපි ගැන කියලා නැද්ද?" අසමින් සිනාසුණ පාරමී "හැබැයි අපිනම් ඔයා ඉපදිච්ච දවසෙ ඉදලා විස්තර අහලා තියෙනවා නැද්ද නුවා" කියමින් ඇගේ යෙහෙළිය හා සිනහව බෙදා ගනිමින් ගේ දෙසට ඇවිද ගියේ ඇගේ ගෙදරට යන තරම් සැහැල්ලුවකිනි.

"අයියා ළඟට ද ගියෙ" වගීෂ නමින් හැඳින්වූ ගීත් අයියාගේ මිතුරා ගේට්ටුවට ඔබ්බෙන් දෑස් රඳවමින් විමසීය.

"රොෂාන් අයියත් එක්ක ලෙඩෙක් බලන්න ගියා. දැන් මඟ එනවත් ඇති. අයියලා යමු ගෙට වාඩිවෙන්න. අක්කයි නැන්දයි ගෙදර ඉන්නවා" ඔවුන් මා පසුපසින් ගෙට ඇතුළු වූයේ “මූ වීක් එන්ඩ් එකට දොස්තර විභාගෙටත් ලෑස්ති වෙනවද කොහෙද” කියා ගීත් අයියාට සිනාසෙමිනි.

කාමරයේ සිටි මියුරු අක්කා කලබලයෙන් පඩිපෙළ බැස ආවේත්, කුස්සියේ සිටි නැන්දා සාලයට එබී බැලුවේත් එකවරය.
"අයියගෙ යාළුවෝ වගයක් කැම්පස් එකේ" එතෙක් කුහුලින් බරව තිබූ මුව ළෙංගතු සිනාවකින් හැඩ කරගත් නැන්දා "වාඩිවෙන්න පුතේ" කියමින් ඔවුන්ට අසුන් පනවන්නට යුහුසුළු විය.

"අපේ පුතා දන්නවද පුතාලා අද මෙහෙ එනවා කියලා"

"අපෝ නෑ අම්මෙ. කිව්වනම් එන්න දෙන්නැති නිසා අපි මේ නොකියම ආවෙ උත්තරාවයි චුට්ටවයි බලලා යන්න. උත්තරා තාම මෙහෙ ඉන්නවා කියලා අපි දැනගත්තෙ ඊයෙනෙ" පාරමී ගේ මුවින් පිටවන වචනයක් වචනයක් ගානේ පෙරදින ඇය විසින්ම හදවතෙහි ඇතිකළ තුවාලයේ වපසරිය වැඩි විය. ඒ කිසිවක් නොදත් ඇගේ මූඛරී කට මට ඔච්චමට මෙන් සුන්දර සිනහවකින් හැඩවී තිබිණ.

නැන්දාට ඔවුන්ගේ වගතුග දැන ගැනීමට අවැසි වූයේ ඉන්පසුය. පාරමිගේ ගම රත්නපුරයේ බවත්, නුවන්දි පැමිණ තිබුණේ අනුරාධපුරයෙන් බවත් අප දැනගත්තේ එලෙසය. වගීෂ ඔහුගේ ගම යාපනය බව පවසද්දීම ගීත් අයියා ඔහු ගැන කියා ඇතිබව සිහිපත් විය. සිංහල ජාතික මවකට හා ද්‍රවිඩ ජාතික පියෙකුට දාව උපත ලද ඔහු ගණිතයට දක්වන සුවිශේෂී හැකියාව ගැන ගීත් අයියා සඳහන් කර තිබුණේ වරක් දෙවරක් නොවේ.

"මං පුතා ඇහැරලා ද බලලා එන්නම්" කියාගෙන මියුරු අක්කා උඩට යද්දීම නැන්දා කුස්සියට ගියේ ඇය පසුපසින් යන්නට ගිය මට "ඔයා ඔය අක්කලත් එක්ක ටිකක් කතා කර කර ඉන්නකො. ඔයාව බලන්නමනෙ ඇවිල්ලත් තියෙන්නෙ" කියමිනි. විසිපැණ තරඟයක් වන් වූ සුවදුක් හුවමාරු වටය ආරම්භ කළේත් පාරමීය. එහෙත්, ගිලිහ ගිය සරසවි සිහිනය ගැනත්, මා මුහුණ දුන් රිය අනතුර ගැනත් කිසිවක් නොඅසන්නට පරිස්සම් වූ ඔවුන් ගැන එවෙලෙහි නොදැනුණ මොකද්දෝ ගෞරවයක් පසු කලෙක හිත කොනක තැන්පත් වූ බව මා මෙතනදීම ලියා තැබිය යුතුය.

ගීත් අයියා ගෙදර ආවේ ඔවුන් තේ බොමින් සිටියදීය. ඔහු එනවිට දොර ළඟ සිටි මියුරු අක්කාට "අයියා එන එන කට්ටියත් එක්ක කයිය ගගහා ඉන්නවා මට කම්මැලියි මං ආවා" කියාගෙන ගෙට ඇතුළු වූ ඔහු තේ බොමින් සිටි පිරිස දැක එහෙමම නතර විය.

"මං මේ වැරදිලා වෙන ගෙදරකට ඇවිත් නෙවෙයිනෙ"

"ඒ කියන්නෙ උඹට ඉදලා හිටලා එහෙම වැරදීමුත් වෙනවා" වගීෂ අයියාගේ පිටට පහරක් එල්ල කර ඒ අතම කර වටා යවමින් ගීත් අයියා ඔහු ළඟින් වාඩි වූයේ "මටත් තේ එකක් ගේන්නකො පොඩී" කියා ඔහුගේ පැමිණීමත් සමඟ පාරමීගේ හැසිරීම නෙත් කොනකට අහු කරගන්නට මාන බලමින් සිටි මට ඒ අවස්ථාව අහිමි කරමිනි.

"මූට බෝඩිමේ කෑම නරක් වුණේ ඇයි කියලා තේරෙනවනෙ" ඔවුන්ගේ උස් සිනා හඬ අඩුවක් නැතුවම කුස්සියටත් ඇසිණ. නැන්දා ලවාම සාදවා ගත් තේ එක රැගෙන සාලයට යනවිට මියුරු අක්කා පෙනෙන්නට නොසිටියාය. තේ එකත් සමඟම මගේ අත අල්ලාගත් ගීත් අයියා බලහත්කාරයෙන්ම මා එතනින් වාඩි කරවා ගත්තේය.

"ඇත්තටම උඹලා මේ කොහෙ යන ගමන්ද?"

"වෙන කොහෙවත් යන ගමන් තේ එකක් බීලා යන්න ආවා නෙවෙයි. අපි ඇත්තටම ආවෙ උත්තරාව බලලා යන්න"

"අම්මලා තාම මෙහෙ ඉන්නවා කියලා මං කිව්වෙ නෑනෙ"

"ඒ වුණාට මං කොහොමහරි හොයාගත්තනෙ. නැද්ද උත්තරා" කියමින් මාවත් කතාවට ඈදාගත් පාරමී, ගීත් අයියා මා වෙත හෙලූ තරවටු බැල්ම වැලමිටෙන් ඇන ඇගේ යෙහෙළිටත් පෙන්නමින් සිනාසුණාය.

"මොකද්ද වුණේ කියලා මට මෙහෙමම කියනවද නැත්තන් අපි පොඩ්ඩක් උඩට ගිහින් එමු ද?" හඬත් කෝපයත් දෙකම පාලනය කර ගනිමින් ඔහු මගේ කන ළඟට පහත් විය.

"මං දන්නෙ කොහොමද? කිව්ව කෙනාගෙන්ම අහගන්න එකනෙ ඇත්තෙ"

"මුන් දෙන්නා කුටු කුටු ගාන්නෙ අපිට මොකකින් හරි දමලා අරින්න නෙවෙයි වෙන්නැතිනෙ"
කෝපය හිස එසවීමත් සමඟ උන් තැනත් අමතක වෙමින් සිටි ගීත් අයියා හිස කෙලින් කර ගත්තේ වගීෂ අයියාගේ හඬටය. විසිරෙන්නට ආසන්න හිනාව හිරකරගෙන සිටි නුවන්දිත් පාරමීත් ගීත් අයියාගේ බැල්මට බියෙන් මෙන් බිම බලාගත්තේ එකවරය.නැඟිට යාමේ උවමනාව හිතට දැඩි බලපෑම් එල්ල කරමින් සිටියත් ගීත් අයියාගේ ප්‍රතිචාරය ඔහුගේ මිතුරන් ඉදිරියේ දරාගන්නට හැකිදැයි නොදැන අවධානමක් ගැනීමට සිත එකඟ නොවීය.

"උඹට කේන්ති ගියාට මංනම් මචං ආවෙ මේ නංගිව බලන්න නෙවෙයි. මේ කෙල්ලො දෙන්නගෙ තනියට" වගීෂ අයියා සිනාවකින්ම තවදුරටත් ඒ වාතාවරණය ලිහිල් කළේය.

"දෙන්නෙකුට තනි කොහෙද යකෝ"

"තනියට කිව්වෙ මේ කෙල්ලො දෙන්නා උඹ ඉන්න තැනකට තනියම එවන එක පොඩ්ඩක් හොඳ මදි නිසා" කියමින් ඔහු එතනින් නැඟිට වෙනත් පුටුවකට මාරු විය. සිනාසෙමින්ම තේ එකෙන් අඩක් හිස් කළ ගීත් අයියා කෝප්පය මා අත තැබුවේය. වගීෂ අයියාට එක්වරම ඇති වූ කැස්ස අනික් දෙදෙනාගේ මුව සිනහවෙන් පුරවද්දී මම එතනින් නැඟිට ආවෙමි. ඔවුන් ගීත් අයියාට මොනවදෝ කියනවා ඇසුණත් මට ඒ කිසිවක් පැහැදිලිව තේරුම් ගත නොහැක් විය.

දිවා ආහාරය සූදානම් කරන තුරු ඔවුන්ව නතර කරගැනීමට නැන්දා ගත් උත්සහය ව්‍යර්ථ කරමින් ඔවුන් පිටව ගියේ වෙනත් දවසක පැමිණෙන පොරොන්දුව පිටය. පාරමීගේ ලගන්නා සුළු කතා විලාශයත් ඇගේ සැහැල්ලු හැසිරීමත් නැන්දාගේ හිත බෙහෙවින්ම ආකර්ශනය කර තිබීම මගේ තුවාලය උඩට ලුණු හැලුවාක් මෙන් විය. රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ බාල දියණිය වූ පාරමීගේ ගුණ වර්ණනාවෙන් එදා දිවා ආහාරය හැඩ විය. පිඟානට බෙදාගත් බත් ටික අතගාමින් සිටි මගේ කකුල කිහිප වාරයක්ම ගීත් අයියාගේ පයට පෑගුණි. ඔහුව මඟ හරිමින් නැන්දා පසුපසම දැවටෙමින් සිටින්නට වග බලාගත් මට එළොව පොල් පෙනෙන්නට පටන් ගත්තේ නැන්දා රොෂාන් අයියාත් සමඟ ටවුමට යාමට සූදානම් වීමත් සමඟය. එවෙලෙහි ගීත් අයියා සිටියේ ඔහුගේ කාමරයේය. නැන්දා සමඟ නිවසින් පිටව යාම තරම් ආරක්ෂිත පියවරක් නොතිබිණ. එහෙත් නක්ෂස්ත්‍රකරුවෙකුට අනුව දරුණු අපල කාලයක් ගෙවමින් සිටි මා නිස්කාරණ ගමන් බිමන් කැටුව යාමට ඇගේ මනාපය ගැනීම ගලෙන් පට්ටයක් ගැනීමටත් වඩා දුෂ්කර විය.

දොරඟුලු වසා කාමරයට වී සිටීමට වඩා ආරක්ෂාවක් නාන කාමරය තුළ විය. නැන්දා නිවසින් පිටව යන්නටත් ප්‍රථම එතුළට රිංගා ගත් මට සබන් කුඩු යොදා පෙඟෙන්නට දමා තිබූ රෙදි බාල්දිය පෙනුනේ මා ගලවාගන්නට ආ දේවදූතයෙකු ලෙසය. ප්‍රවේශමෙන් කුණු අතුල්ලා රෙදි ටික සෝදා වෙනදාට වඩා වෙලාවක් වතුර මල යට ගතකර මා නාන කාමරයෙන් පිටතට එනවිට ගීත් අයියාගේ කාමරයේ දොර වසා තිබිණ. කරවටා දමාගත් තුවායේ එක් කොනක් ඔසවා කොණ්ඩය පිස දමමින් අනිත් අතින් රෙදි බකට් එක එල්ලාගෙන සැහැල්ලුවෙන් පහළට බහින්නට මට හැකි වූයේ එනිසාය.

කුස්සියේ දොරෙන් එළියට ගොස් රෙදි ටික වේලෙන්නට දමා හඬ නොනැගෙන ලෙස කාමරයට ගොස් දොර වසා ගන්නට හිතමින් සාලය හරහා යමින් සිටි මගේ ලේ ගමනාගමනය එක්වරම අඩාල වී දෙපා මොහොතකට නතර වූයේ කෑම මේසය උඩ තබාගත් පත්තරයකට මූණ ඔබාගෙන සිටි ගීත් අයියා දුටු පසුය. මගේ පැමිණීම මායිම් නොකට ලුහුඬු දැන්වීම් තීරයේ මොනවදෝ සොයමින් සිටි ඔහුව පසුකර එතනින් යන්නට හිතුවාට වඩා ධෛර්යක් මා තුළ ශේෂව තිබිණ.

පත්තු වීමට නියමින් ගින් කන්ද නිවන හැටියක් එය අවුලුවන විට කිසිදාක මතක් වන්නේ නැත. රෙදි ටික වනා ගෙට යන්නට පෙර නැන්දලා පැමිණේවායි ප්‍රාර්ථන කරනවා හැර ප්‍රශ්නයෙන් පැන යා හැකි අන් මගක් නොමැති විය. ඔහු ඕනෑවටත් වඩා නිහඬව සිටින්නේ කෝපය පාලනය කරගත නොහැකි විට බව මම හොදාකාරවම දැන සිටියෙමි.

"කාගෙද ඔය ෂර්ට් එක" සෝදන ලද රෙදි අතර වූ රොෂාන් අයියාගේ කමීසයක් වනමින් සිටියදී මා පිටුපසින් සිටගත් ඔහු කතා කළේ මැඩගත් කෝපයෙන් වුවත් නිහඬව සිටින්නට මට නොහැකි විය.

"මේ ගෙදර ෂර්ට් අඳින අය මහ ගොඩක් නෑනෙ. ඔයාගෙ නෙවෙයිනම් කාගෙද කියලා දන්නවනෙ"

"දන්න නිසා තමයි අහන්නෙ. උගෙ රෙදි ඔයා හෝදන්න ඇයි ඌ අබ්බගාත ද?"

"පිස්සෙක් වගේ බොරුවට කෑ ගහන්න එපා ගීත් අයියෙ. බාත් රූම් එකේ තිබ්බ නිසා මං හේදුවා මිසක් කවුරුත් මට ඒවා හෝදන්න කිව්වෙ නෑ. අනික අයියගෙ විතරක් නෙවෙයි මෙතන මියුරු අක්කගෙයි නැන්දගෙයි රෙදිත් තියෙනවා මේ " කියමින් බකට් එකේ වූ මියුරු අක්කාගේ හැට්ටයක් අතින් අල්ලා උස්සද්දී ඔහු එය අතින් ගසා බිම දැම්මේය.

"මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ"

"වෙලා තියෙන්නෙද?........වරෙන් පෙන්නන්න වෙලා තියෙන එක" කියමින් මගේ අතින් ඇදගෙනම ගෙට ඇතුළු වූ ඔහු කුස්සියේ දොර වසා දැමීය. වෙනදාට එවන් විටකදී හිත කලබල කරන නුහුරු හැඟීමට එදා මා සොයා එන්නට අමතක වන්නට ඇත.

"මීට පස්සෙ අම්මගෙ ඇරෙන්න වෙන එකෙක්ගෙ හරි රෙද්දක් හෝදලා තිබ්බොත් මං බලාගන්නම්"

"ගීත් අයියෙ....අපි එක ගෙදරක එක බත කන මිනිස්සු. හැමදේම එකට කරගන්නවා නම් ඇයි ඒකට විතරක් වාරාවක්. අක්කා හරි නැන්දා හරි බාත් රූම් එකට යද්දි මගේ ඇඳුමක් හෝදන්න දාලා තිබ්බොත් එයාලා ඒක හෝදනවා. තෝරා තෝරා තමන්ගෙ ඇඳුම් විතරක් හෝදන්නෑ කවදාවත්"

"මට බණ කියන්න ලෑස්තිවෙන්නැතුව මං කියන දේ කරන්න පුරුදු වෙනවා" මැඩගත නොහැකි කෝපය විසින් ඔහුව පාලනය කරන එවන් මොහොතක කිසිවක් තේරුම් කරදිය නොහැකි නිසා මම ඒ මොහොතට පමණක් නිහඬ වන්නට තීරණය කළෙමි.

"හරි...දැන් මට කියනවා පාරි කොහොමද ඔයා මෙහෙ ඉන්න බව දන්නෙ කියලා"

"ඒක ගිහින් එයාගෙන්ම අහගන්න" කියමින් එතනින් පැන එන්නට සූදානම් වුවත් ඔහු මගේ උරහිසින් අල්ලා නතර කරගත්තේ "මොකද ඔච්චර සැර" කියාගෙනය.

ඊළඟට ඒ අත නතර වෙන තැන ගැන ඇති අනුමානය දෑතින් දෙකන් වසාගන්නට බල කළේය. මහපටඟිල්ලත් දබරැඟිල්ලක් නිකටට තබා පහත් කරගෙන සිටි හිස ඔහු අතින් එසවෙද්දී කිසිදාක නොවූ ලෙස දෑස් තදකර පියා සිටි නිසා ඒ දෑසෙහි වූ කෝපය සිඳී වේදනාවක් ඉස්මතු වූ අයුරු නොපෙනිණ. කන් දෙක වසා සිටි දෑත් දෙපසට කළ ඔහු මගේ හිස තදින් පපුවට තුරුළු කරගත්තේ මා අසනීපයෙන් පසුවූ දිනයක රොෂාන් අයියාගේ සරදම් මායිම් නොකොට මා තුරුළු කරගෙන සිටි අයුරු සිහිපත් කරවමිනි.

බොහෝ වේලාවක් ඒ ඉරියව්වෙන්ම සිටි ඔහු "පාරි මගේ හොඳ යාළුවෙක් විතරයි පොඩී. මං ඔයා ගැන හැමදේම එයාට කියලා තියෙනවා. ඔයාව බලන්න ආසයි කිය කියා හිටියට මං එන්න දුන්නැත්තෙ ඔයා එයාව කොහොම බාර ගනියිද දන්නැති නිසා. මං ඔයාට ගෙනත් දෙන නවල්ස් ඔක්කොම එයා තෝරලා දෙන ඒවා" ඔහුගේ උණුසුමින් හිස මුදාගන්නට ඒ ටික ප්‍රමාණවත් විය. මගේ නෙත රැඳි දුකත් ඉරිසියාවත් සිනහවකින්ම කියවා ගත් ඔහු "එයාට නෙවෙයි වෙන කිසිම කෙනෙක් ගැන ඉරිසියා හිතන්න ඔයාට කිසිම හේතුවක් නෑ. මේ ආත්මෙ නෙවෙයි තව ආත්ම ගාණක් ගියත් ඔයා ඉන්න තැනට ළං වෙන්න කිසිම ගෑණියෙකුට බෑ පොඩී" කියා යන්නට ගොස් අතරමඟ නැවතුණි.

"මතකයිනෙ මං කිව්ව එක. මීට පස්සෙ අසනීපයක් නැති කිසි කෙනෙකුගෙ රෙදි හෝදන්නත් බෑ කෙල්ලෙක් මට කෝල් එකක් දුන්නු පළියට ගස්සන්න පුප්පන්නත් බෑ"

"මට ඕන්නං මං කරනවා"

"මොකද්ද කිව්වෙ" කියමින් ළඟට ආ ඔහු කම්මුල් වලට දෑත් තද කරමින් හිස ඔසවා දෑස් තුළ කරනම් ගසා හඬ අවදි කළේය.

"සුදු නෝනා...... ඔයා කැමති වුණත් අකමැති වුණත් මගේ දේවල් මං පරිස්සම් කරනවා "

"එතකොට මට මගේ දේවල් පරිස්සම් කරගන්න බැරිද"

"මොකෝ බැරි. අපෝ පුළුවන්" කියමින් මනමාල හිනාවකින් දෙතොල් සරසාගත් ඔහු "ඔයා දාන ඕනි කොන්දේසියකට යටයි. හැබැයි මට කිස් එකක් ඕන්" කියමින් හිස මඳක් පහත් කළේය.

"එහෙනං මීට පස්සෙ පාරමී ට පාරි පාරි කියන්නැතුව හරියට පාරමී කියන්න" කියමින් පහත් කරගෙන සිටි හිසට ටොක්කක් ඇන මා එතනින් පැන ආවේ "ඉරිසියාකාරී" කියමින් ඔහු සිනාසෙන හඬ මැද්දෙන්ම ලද සැහැල්ලුව හිත පුරා විඳිමිනි.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු.

No comments:

Post a Comment