Friday, May 29, 2020

විල්තෙර අද්දර - 39 : තිස් අටවෙනි මතක සක්මන



මාතරට ස්ථාන මාරුවක් ඉල්ලා තිබූ මියුරු අක්කා ප්‍රසූත නිවාඩුව අවසන් වනවිට නියත වශයෙන්ම මාරුව ලැබෙන බව තහවුරු කරගෙන මහගෙදර පදිංචියට ගියේ ජනවාරි පළමු සතියේදීය. කොළඹින් බැහැර ප්‍රදේශයක ජීවත් වීමට කැමැත්තක් නොදැක්වූ රොෂාන් අයියා මුලදී මියුරු අක්කාගේ තීරණයට විරුද්ධව සටන් කළේය. හිත නිදහසේ රැකියාව කරන්නට නම් නිවසින් පිටතට අඩිය තබන්නට පෙර දරුවන් සුරක්ෂිත වගට තහවුරුවක් තිබිය යුතු බව කියමින් මියුරු අක්කා ගෙනෙන තර්කය අභිබවා යන හැටියක් නොදත් රොෂාන් අයියාට අවසානයේදී ඇගේ තීරණය හිස නමන්නට සිදු විය. දරුවන් බලා කියා ගැනීමට විශ්වාසවන්ත කෙනෙකු සොයා ගැනීමේ ප්‍රශ්නයෙන් දිගින් දිගටම බැට කෑ මියුරු අක්කාටත් නැන්දා ළඟ දරුවන් තබා යාමට එහා ගිය විකල්පයක් නොපෙනෙන්නට ඇත.
රජයේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් කරගත නොහැකි වූ පුතු මහිම්ව ජාත්‍යන්තර පාසලකට බාර දීමත් සමඟ එතෙක් මුළු පවුලටම හිසට වදයක්ව තිබූ තවත් ප්‍රශ්නයක් නිරාකරණය විය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ගාල්ල පින්නදූව තෙක් වූ කොටස විවෘත කළේත් ඒ ආසන්න කාලයකදීය. සතියකට දෙතුන් වරක් නිවසට ගොස් දරු පවුල බලා කියාගෙන ඒමේ පහසුව එලෙසින් උදා වීමත් සමඟ රොෂාන් අයියාටත් ඒ තීරණයට එකඟව හිත හදා ගැනීම පහසු වූ බවට සැකයක් නැත.
"ඔයා කොහොමද මේ ලක්ෂරි අපාට්මන්ට් එකකට ආවෙ" කියමින් ඔබ එදා පුදුමයෙන් ප්‍රශ්න කළ නවාතැන මගේ ජීවිත කතාවට එකතු වුයේ, දරු දෙදෙනාගේ සුරතල් සිනහා මැදින් අප සිව්දෙනා දුක සැප බෙදාගෙන බොහෝ සතුටින් විනෝදයෙන් ගත කළ කෙටි කාල පරිච්ජේදය එලෙසින් නිමා වීමත් සමඟය.
මහරගම, හයිලෙවල් පාර සමීපයේ පාරමී පදිංචිව සිටි සුඛෝපභෝගී මහල් නිවාසයේ නවාතැන් ගැනීමේ අපේක්ෂාවක් මුලින් හිත කොනක හෝ නොතිබුණ ද ගීත් අයියාගේ හිතට සරිලන නවාතැනක් සොයා හෙම්බත්ව සිටි එදවස ඇගේ ඇරයුම පිළිගැනීමට වැඩි දෙයක් කරන්නට අප දෙදෙනාටම නොහැකි විය.
"පාරමී මට මුල ඉදලම කිව්වා ඔයාව එහෙ නවත්තන්න කියලා. හොස්පිටල් එකටත් පොඩි දුරනෙ. එතන සේෆ්ටි එක ගැන බය වෙන්න දෙයක් නෑ කියලා දන්නවා වුණත් ඔයා අකමැති වෙයි කියලා බයටයි මං ඇහුවෙ නැත්තෙ" ගීත් අයියා එතෙක් හිතේ හංගාගෙන සිටි රහස හෙළි කළේ පාරමීගේ අපාට්මන්ට් එකේ නැවතීමට මා එකඟ වූ මොහොතේය.
මාමා මුලින් ඒ ගැන එතරම් කැමැත්තක් නොදැක්කුව ද, පවුලේ සෙසු සාමාජිකයින් සිව් දෙනාගේම අදහස වූයේ එය වඩාත් ආරක්ෂාකාරි නිදහස් නවතැනක් බවය. වැඩි මනාපයට හිස නමා මාමා නිහඬවීමේ ප්‍රතිඵලයක් ලෙස මියුරු අක්කලා ගමට යාමට දෙදිනකට පෙර මට පාරමීගේ සුඛෝපභෝගී නිවහනේ කාමරයකට හිමිකම් කියන්නට හැකිවිය. එහි සිට අඩ හෝරාවකටක් අඩු කාලයකින් රෝහලට ළඟාවිය හැකිවීම මට මහත් පහසුවක් විය. සති අන්තයේ දිනකට උදෑසන වැඩ මුරය යෙදී ඇත්නම් පාරමී නොවරදීම ඇගේ මෝටර් රථයෙන් මා රෝහලට ඇරලවන්නට වග බලා ගත්තාය. එවන් දිනකට ගමනට ගත වන්නේ විනාඩි දහය පහළොවක් තරම් කෙටි කාලයකි. දහවල් වැඩ මුරය අවසන්ව මා කැඳවාගෙන යාමට ගීත් අයියාට පැමිණීම අපහසු වූ සෑම දිනකදීමත් ඇය රාත්‍රී හත වනවිට රෝහල අසලට පැමිණ සිටින්නට තරම් ළෙංගතු සිත් ඇත්තියක වූවාය.
ගුරු පත්වීමක් ලබා නුවන්දි ගමට යාමත් සමඟ හුදෙකලාව ජීවත් වූ පාරමීට මගේ ආගමනය මහත් ප්‍රීතියක් විය. ඇගේ බාරයේ තබා ඇති වටිනාම වස්තුවක් ප්‍රවේශම් කරන තරමට ඇය මගේ ගමන් බිමන් සහ ආරක්ෂාව ගැනත් සොයා බැලුවේ එය ඇගේ වගකීමක් ලෙස සලකාගෙනය. තනිව ජීවත් වීමේ කලාවත්, එහි සුන්දරත්වයත් මා මුලින්ම ඉගෙන ගත්තේ ඇයගෙනි. ඉවුම් පිහුම් සහ ගේ දොර වැඩ කළමණාකරණය කර ගැනීමත් අර පිරිමැස්මෙන් කටයුතු කිරීමත් මගෙන් ඉගෙන ගත් බව ඇය නිරන්තරයෙන් කියන්නට පුරුදුව සිටියාය. මහරගම ආර්පිකෝ සුපර් සෙන්ටර් හි බඩු පුරවාගත් ට්‍රොලියක් තල්ලු කරගෙන සිනාසෙමින් සැහැල්ලුවෙන් ඒ මේ අත ඇවිද ගිය එදවස් තිළිණ කළ අත්දැකීම් අද මේ ගෙවන හුදෙකලා දිවියට ඔරොත්තු දෙන මධුරංගී කෙනෙකු නිර්මාණය කිරීම ගැන මා ඇයට සිතින් ස්තූති කරනා වාර අනන්තය.
පාරමී සමඟ ගමන් බිමන් යාමට ඉල්ලන අවසරය ප්‍රතික්ෂේප වීමකින් තොරව ඉල්ලන පමාවෙන් ලබා දෙන තරමට ගීත් අයියා ඇය කෙරෙහි තැබූ විශ්වාසය ප්‍රබල විය. එහෙත් විටින් විට ඔහුගේ විමසිලිමත් දෑස් අප පසුපස ලුහුබැඳි වග ඔප්පු වූ අවස්ථා දෙක තුනක්ම ඇත. සතියකට දෙකකට වරක් විවේකී සන්ධ්‍යාවක ආර්පිකෝ එකට ගොස් නිවසට උවමනා සියල්ල හෙමින් එකතු කරගෙන පැමිණීමට අපි පුරුදු වූයේ මා එහි නැවතුන පළමු සතියේදීමය. මිළ අධික චොකලට් වර්ග, Nuts සහ පළතුරු යුෂ ආදියෙන් ට්‍රොලිය පුරවාගන්නා පාරමී අයකැමි අසලට ළං වෙද්දී වැලමිටෙන් ඇණ මා පසෙකට කිරීමට පුරුදුව සිටියාය. එහෙත් දිගින් දිගටම ඇයවත් ශේෂය නොදන්නා ඇගේ බැංකු ගිණුමෙන් යැපීමට ඇති අකමැත්ත මේ කියන දවසේදී මුලින්ම අයකැමි අසලින් සිටගන්නට හිත දිරිමත් කළේය.
"උත්තරා ප්ලීස්.....අදට විතරක් මට පේ කරන්න දෙන්න. ඊළඟ දවසෙ ෂුවර් එකටම මං අන්න අර පැත්තට වෙලා ඉන්නවා"
"එදාට මං ඒ පැත්තට වෙලා ඉන්නකල් අද ඔයා ඉන්නකො" කියමින් මා උරහිසින් ඇණ ඇයව පැත්තකට තල්ලු කරන්නට හැදුවා පමණි
"මෙතන විකාරයක් වෙන්නැතුව දෙන්නත් එක්කම පැත්තකට වෙලා ඉන්නවද මං බඩු ටික අරන් එද්දි" අනපේක්ෂිත මොහොතක කන ළඟින්ම ඇසුණ ගෙරවීම මා එතනින් ඉවත් කරන්නට තරම් ප්‍රබල වුව ද, පාරමී මා ළඟට ආවේ ඔහු හා ටික වේලාවක් වාද කිරීමෙන් පසුය. අපව නාඳුනන ලෙස ට්‍රොලියත් තල්ලු කරගෙන ගීත් අයියා රථගාල වෙත යද්දී එතෙක් නෝන්ඩි හිනාවකින් මුව පුරෝගෙන දොර ළඟට වී සිටි වගීෂ අයියා ඔහු පසුපසින් ගියේ "අදනම් ඩබලම අහගන්නවා කන් පිරෙන්න" කියමිනි
"එයා කන් පුරවනකල් අපි බලන් ඉදී කියලා තමයි බය" පාරමී මගේ අතින් ඇදගෙන ඔවුන් පසුපසින් රථ ගාලට ආවේ වගීෂ අයියාටත් ගීත් අයියාටත් දෙදෙනාටම බැණ බැණය.
"සල්ලි දීලා ගෙනාවනම් වාහනේටත් දාන එකයි ඇත්තෙ" දුර තියාම දුරස්ථ පාලකයෙන් ඩිකිය ඇරෙන්නට සැලස්සූ පාරමී ගීත් අයියා අසලට ළං වෙමින් පැවසීය. කන පිරෙන්නට බැණුම් ඇසීමෙන් නොනැවතී ඉන්පසු පාරමී සමඟ ගමන් බිමන් වලට පනවන තහනම බාර ගැනීමට සූදානමින් සිටි මට ඔහු දෙස කෙලින් බලන්නට බැරි විය.
"ඒකට එකෙක් හොයා ගනින්. එතකල් මගේ පොඩි එකිත් එක්ක රස්තියාදු ගහන එක නවත්තපන්. බඩුවක් මුට්ටුවක් ගන්නෝන්නං ඒක අරන් යන්නැතුව පැයක් තිස්සෙ මේක අස්සට වෙලා මොන මඟුලක් කරාද?" ඉහ වහා ගිය කෝපයක් නොතිබුණද ඒ වදන් තුළ ගැබ්වූ නොරිස්සුම මට මඟ නොහැරිණ.
"අපි එහෙම තමයි. කන බොන දේවල් ගන්නකොට මිල බල.....ලා.......දින ගැණ...ලා ගන්නෝනි කියලා ඔයාගෙ සුදු නෝනා තමයි මටත් කියා දුන්නෙ" තාලයකට ඇද පැද කියවන පාරමීට රවාගෙන සිටි ගීත් අයියාට ඇගේ කතාව අවසානයේදී සිනා නැඟිණ. ඔහුත් මමත් අමනාපයෙන් පසුවූ දවසක ගණන් හදමින් සිටි කොළයේ පැත්තක ඔහු අතින් කුරුටු ගෑවුණ ඒ ආමන්ත්‍රණය පාරමී ඔහුගේ කේන්තිය පාලනයට යොදාගන්නා බව දැන සිටි මට එය ප්‍රත්‍යක්ෂ කරගත හැකිවූයේ එදිනය.
"බැරිද චූට්ටි වෙලාවකට අපි දෙන්නගෙ ඩ්‍රයිවර් වෙන්න" කියමින් පාරමී මෝටර් රථයේ යතුර ඔහුගේ දෑස් ඉදිරියෙන් එහෙ මෙහෙ කළේ ඉන්පසුය.
" අපෝ බෑ.....අනුන්ගෙ ලදරමක් පදිනවට වඩා මං කැමතියි ඒ චූට්ටි වෙලාවත් මගේ ගෑණු ළමයා ළඟින් වාඩි වෙලා යන්න" කියමින් මා ළඟට විත් කර වටා අත යැවූ ගීත් අයියා පිටුපස දොර ඇර මට නඟින්නට සැලැස්වීය.
"අපොයි මෙහෙමත් ඇඹලයෙක්" කියමින් රියදුරු අසුනට ආ පාරමී වගීෂ අයියා ඉදිරිපස මඟී අසුනට එනතුරු බලාසිට වාහනය රථ ගාලෙන් පිටතට ගත්තේ සිය මිතුරන් දෙදෙනාට අප සමඟ රාත්‍රී කෑමට එකතු වන ලෙස ආරාධනා කරමිනි. වගීෂ අයියා පිටුපස හැරී බලද්දීම ගීත් අයියා එය ප්‍රතික්ෂේප කළේය. පාරමී දිගින් දිගටම කළ බැගෑපත්වීම හමුවේත් සිය තීරණයේ වෙනසක් නොකළද ඔහුට අවසානයේදී මගේ දෙනෙතෙහි රැඳි ආයාචනය මඟ හරින්නට නොහැකි විය.
"හැමදාටම මේ ඉන්න විදිහටම හිටියත් මූ වගේ මූලග්ගිනිකාරයෙක් නම් හොයාගන්න මගේ තුන් හිතකවත් අදහසක් නෑ. ඒත් කෝකටත් පස්සෙ වෙලාවක මටත් ඔය අලි මන්තර දෙක තුනක් කියලා දීලා තියන්න" විදුලි සෝපානයට ඇතුළු වෙමින් පාරමී කනට කර පැවසූ වදන් දෙක තුනක් හෝ ගීත් අයියාට ඇසෙන්නට ඇත. කට කොනක නළියන සිනහව මැඩගෙන සිටි ඔහු ගේ දොරකඩදී මගේ කනෙන් අල්ලා ගත්තේ "මීට පස්සෙ එහෙම දෙන්නත් එක්ක එහෙ මෙහෙ රස්තියාදු වෙන්න ගත්තොත් කඩනවා කකුල් දෙක" කියමිනි. දොර අරිමින්ම පිටිපස හැරී බැලූ පාරමී ගෙතුළට දිව ගියේ "හදලා අමාරු ඇති" කියා දිව ඇද කර සිනාසෙමිනි.
පාරමී විසින් ඔවුන් දෙදෙනාට සංග්‍රහ කර රැගෙන ආ බඩු ටික අස් කරද්දී මම රෑ කෑම පිළියෙල කිරීමට යුහුසුළු වුණෙමි.
"පාරමී.....අන්න අරූ මොකද්ද ෆිල්ම් එකක් ගැන අහනවා" වගීෂ අයියාගේ පණිවිඩයකුත් රැගෙන මුළුතැන්ගෙට එබුණ ගීත් අයියා පාරමී එතනින් ඉවතට ගිය පමාවට ඉඟ දෙපසින් දෑත් යවමින් කොපුලක් තදින් සිපගත්තේ "මුළු ගෙදරම පාළුයි සුදු නෝනා" කියමිනි. මියුරු අක්කලාගේ නිවසේ මා හා ගෙවූ මතකයන් ඔහුව රිදවන වග දැන සිටිය ද එය හදවතට තදින්ම දැනුණේ ඒ මොහොතේය.
"ඉතින් ඔයා වගීෂ අයියත් එක්ක බෝඩිමේ නවතින්නකො"
"තනියෙන් ඉන්නකොට අයියා පිස්සු කෙලිනවා. ඌ දැනටත් යාළුවෝ එක්ක එහෙ මෙහෙ යනවා වැඩියි. අපෙ අක්කත් වෙලාවකට මහ මරි මෝඩ වැඩ තමයි කරන්නෙ" එතන තිබූ ස්ටූලයක වාඩි වූ ඔහු මුලින්ම මියුරු අක්කා ගත් තීරණයට දොස් කියා ඒත් සමඟම "එක පැත්තකින් අක්කා ගෙදරට ගිය එකත් හොඳයි. නැත්තන් මට පිටරටකට ගියත් කනක් ඇහිලා ඉන්න නැතිවෙයි. අනේ ගීත් අයියේ......අපි ගෙදර ගිහින් එමුකෝ....නැන්දයි මාමයි ගෙදර තනියෙන් ඉන්නේ කියලා අඬා වැටෙන්න ගත්තම" කියද්දී මම රවා බැලුවෙමි.
"මොකද රවන්නෙ. හොඳයි මං කියන්නෙ බොරුද"
"රැව්වෙ බොරු කියනවට නෙවෙයි. තියෙන ආත්මාර්ථකාමී කමට. තමන්ගෙ වැඩේ කෙරෙනවනම් අනිත් මනුස්සයට හෙන ගැහිලා ගියත් කමක් නෑ. අනුන් ගැන අච්චර හිතන නැන්දටයි මාමටයි මේ වගේ පුතෙක් කොහොම හම්බුණා ද මන්දා"
"මොකද්ද කිව්වෙ" කියමින් ළඟ ආ ඔහු කන මිරිකා එතනින් පිටව ගියේ "ඇරියස් ගොඩක් තියෙනවා. අල්ලා ගන්නම්කො මං පස්සෙ වෙලාවක" කියමිනි.
"උත්තරාටත් TOEFL කෙරෙව්වොත් හොඳයි හිතෙන්නැද්ද මිගාර. මෙහෙ ඉන්න නිසා කරනවනම් මට පුළුවන්නෙ උදව් කරන්නත්"
කෑමෙන් පසු පාරමී විසින් පෙර දින සැකසූ පුඩිමක් රස විඳිමින් සිටි මා ඇය දෙස රවා බැලුවාට සැක නැත. ගීත් අයියා TOEFL, GRE කරන්නට ගත්තේ මියුරු අක්කලාගේ නිවසේ නතර වීමට පැමිණි අලුතය. ඔහු මට කිහිප වරක්ම TOEFL කරන්නට යෝජනා කළ ද විභාගයක් වෙනුවෙන් වෙහෙසීමේ සිතක් මට නොතිබිණ. විසිත්ත කාමරයේ තිබූ එල් හැඩති සුවපහසු සෝෆාවේ අපට මඳක් එහායින් වාඩි වී සිටි පාරමී මා ළඟටම විත් දෝතම අල්ලා ගත් අයුරු මට මේ දැනුදු මතකය. අමාරුවෙන් යට ගසාගත් කරදරයක් උඩට ඇදීම ගැන කේන්තියෙන් පාරමී දෙස බලා සිටි මට සන්සුන් වන ලෙසට ඉඟි කළ ඇය ඉන්පසු වගීෂ අයියාට ලැබීමට නියමිත ශිෂ්‍යත්වයක් ගැන කතා කරන්නට පටන් ගත්තාය.
TOEFL ප්‍රශ්නය එතනින් විසඳුන වග සිතා සිටියද ගීත් අයියලා නිවසින් පිටව ගිය සැණින් පාරමී මා ළඟින් වාඩි වූයේ දීර්ඝ දේශනයකට හොඳින් සූදානම්වය.
"මිගාර දැනටමත් ඔයා වෙනුවෙන් එයාගෙ ටාගට්ස් ගොඩක් පස්සට දාලා ඉවරයි උත්තරා. ඔයාට ඔයාගෙ ගීත් අයියා වටිනවා වගේම මිගාර නිවුන්හැල්ල කියන්නෙ මේ රටට ලෝකෙටත් ගොඩක් වටින කෙනෙක්. ඔයා එයාට ඉස්සරහට යන්න උදව් කරන්න. මං කියන්නෙ කවදාහරි දවසක ආපස්සට හැරිලා බලද්දි දුක හිතෙන තැන් ඉතුරු කරගන්න එපා කියලා. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ එයා කැමති නෑ ඔයාට මොනවටවත් බල කරන්න. මං මේවා කියන්නෙ ඉරිසියාවට කියලා ඔයාට හිතෙනවද දන්නෑ. ඒත් ඔහොම එකතැන හිටියොත් කවදාහරි දවසක එයා මොනවත්ම නොකිව්වත් ඔයාටම දුක හිතෙයි උත්තරා"
වසරින් වසර කල් දමමින් සිටි ඔහුගේ පශ්චාත් උපාධි සිහිනයට මගේ පැත්තෙන් දිය යුතු දායකත්වය ගැන හිතා බලන්නට පවා මට සිත්වූයේ එදා පාරමීගේ දේශනයට පසුය. පාරමී සහ ගීත් අයියා අතර වූ මිත්‍රත්වයේ වපසරිය නිමානය කරන්නට අපොහොසත් වුවත්, ඊර්ෂ්‍යාවකින් තොරව ඇය දෙස බලන්නට මා පුරුදු පුහුණු වූයේත් එතැන් සිටය. අද මට හිතෙන හැටියට මගේ ජීවිතයේ දිශානතිය වෙනස්වීමේ අත්තිවාරම දැමුනේ එදිනය.
ඊළඟ මතක සක්මනින් හමුවෙමු

1 comment:

  1. සෑහෙන කොටස් තියෙනවා... මේකෙ මුල ඉදලා කියවන්න ඕන...

    ReplyDelete