Saturday, May 30, 2020

විල්තෙර අද්දර - 40 : තිස් නවවෙනි මතක සක්මන



ගීත් අයියාගේ ආදරණීය රැකවරණයත්, වගීෂ අයියාගේ හා පාරමීගේ මිත්‍රත්වයත් මැදින් ගෙවී ගිය කාලයේදී තරම් අත්දැකීම් සම්භාරයක් මගේ ජීවිතයට එකතු වූ යුගයක් ඊට පෙර නොතිබිණ. අපේ අනාගතයේ හැඩතල ගැන අප නිශ්චිතව දැන නොසිටියත් සියල්ල සැලසුම් කරන දෛවයට කිසිවක් මඟ හැරෙන්නේ නැත. බාලවියේ සිටම අතිනත අල්ලාගෙන ජීවිතයේ සොඳුරු මංමාවත් ඔස්සේ එක්ව ඇවිද ගිය අප මතුයම් දිනක හමුවන දෙමංසලකදී වෙන්ව යන බව දැන සිටි දෛවය අනාගතයට ඇති තරම් සොඳුරු මතකයන් එකතු කරගන්නට අපට ඉඩ ලබා දුන්නා විය හැක. මියුරු අක්කාගේ දරු දෙදෙනා තුරුළු කරගෙන, ඔවුන්ට කවා පොවා නහවමින් ගත කළ කාලය, එක්ව විඳින්නට ඉඩ නොලැබෙන අනාගතයක අප ජීවත් කරවන්නට තරම් කාරුණික වන්නට ඇත්තේත් එහෙයිනි.
පාරමී සමඟ සිටි කාලයේදී නිවාඩුවක් ලැබෙන සති අන්තයක කොළඹින් පිට කොහේ හෝ ඇවිදින්නට යන්නට අපට නොහැකි වූවානම් ඒ ගෙදර ගිය සතියකදී පමණි. මහරගම සිට ගාල්ල තෙක් අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ නිසා නිවසට යාම් ඊම් පවා පෙර තරමට සැලසුම් කිරීමේ උවමනාවක් නොතිබුණ එදවස දිවා වැඩ මුරය අවසන් වන රාත්‍රී හතෙන් පසුව වුව නිවසට යාම එතරම් ගැටළුවක් නොවුණි.
"මට බෑ අනුන්ගෙ ලදරම් පදින්න" කියමින් වරක් අපහාස කළ ද, පාරමීගේ මෝටර් රථයෙන් දුර ගමනක් යන සෑම විටකම රිය පැදවූයේ ගීත් අයියා හෝ වගීෂ අයියාය. පිටුපස අසුනේ වාඩි වී හිතේ හැටියට කියවමින් යන පාරමීටත් මටත් ඔවුන්ගෙන් එල්ලවන ඇනුම්පද වල කෙළවරක් නොවූ විට රණ්ඩුවක පැටලීම පවා විනෝදජනකය. රට පුරා සවාරි යමින් තුරුණු වියේ චමත්කාරය උපරිමයෙන් විඳි ඒ කාලයේ ගිය ගමන් බිමන් අතරින් මගේ මතකයේ තදින්ම නවාතැන්ගෙන ඇත්තේ රාත්‍රී බස් රථයකින් යාපනයේ පිහිටි වගීෂ අයියලාගේ නිවසට ගිය ගමනය. විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු යුද්ධය අවසන් වන තෙක් වගීෂ අයියා නිවසට නොගිය බව ගීත් අයියා මා සමඟ පැවසුවේ ද ඒ ගමනේදීය.
"අපි කැම්පස් ඇවිත් අවුරුද්දකට විතර පස්සෙ වගීෂගෙ අම්මා එකම එක පාරක් ආවා ඌ බලන්න. ඒ ආවා කියන්නෙත් අම්මා ආපහු එනකල් මල්ලිවයි තාත්තවයි අරුන්ගෙ අත් අඩංගුවේ තියාගෙන ඉද්දි. වගීෂ කැම්පස් ඇවිත් බේරුණාට උන් අන්තිමට කොහොමහරි මල්ලිව හමුදාවට බඳවගෙන තිබ්බා. මල්ලි නැති වුණා කියලා වගීෂ දැනගත්තෙත් ගොඩාක් කාලයක් ගියාට පස්සෙ" කියමින් ගීත් අයියා මට යුද්ධයේ අපි නුදුටු පැතිත්, මායිම් ගම්මානවල සිට සරසවි අධ්‍යාපනය සඳහා දකුණට පැමිණි සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට විඳින්නට වූ දුක් ගැහැට ගැනත් විස්තර කළේ ඒ ගමන අතරතුරය.
දකුණේ සිංහල ගැහැණියක් වූ වගීෂ අයියාගේ අම්මාට සිය පුතණුවන්ගේ මිතුරන් නිවසට පැමිණීම මහත් ආඩම්බරයක් විය. අප සියළු දෙනාම සතුටින් පිළිගත් ඇය පාරමීට සැලකුවේ රැජිණකට මෙනි. සැහැල්ලු පටි සෙරෙප්පු දෙකක් පැලඳ, ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිය දුප්පත් නිවසට පය තැබූ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියට ඉහළින්ම සත්කාර කරන්නට ඇය ගත් වෙහෙස දෑසට කඳුළු නංවන්නක් විය. ගීත් අයියා පැවසූ පරිදි වගීෂ අයියාගේ අම්මා කොළඹ ආ වතාවේ ඇය නැවතී තිබෙන්නේ පාරමීගේ බෝඩිම් කාමරයේය. අනුන්ගේ හිත් දිනා ගැනීමේ කලාව ප්‍රගුණ කළ පාරමීට ඇගේ හදවතේ ලැගුම්ගන්නට ඇය එහි නැවතී සිටි දින කිහිපය ප්‍රමාණවත් වන්නට ඇත. ඒ ලබැඳියාව ඉන් නොනැවතී දුරකථනය හරහා ද වර්ධනය වී ඇති බව වගීෂ අයියා අවබෝධ කරගත්තේ එදිනම බවට කිසිදු සැකයක් නැත.
එදා වගීෂ අයියාගේ අම්මා එලෙස කොළඹට පැමිණි ගමනින් පසු, වගීෂ අයියා විශ්වවිද්‍යාලයෙන් පිටව රැකියාවට බැඳෙන තුරුම පාරමී විසින් ඔහුගේ බැංකු ගිණුමට මාසිකව කිසියම් මුදලක් බැර කළ බවත්, එය අදටත් වගීෂ අයියාට රහසක් බවත් ඔහුගේ මව මා සමඟ පැවසුවේ පාරමී අප අසල නොසිටි වෙලාවකය.
"ඒ දුව කැමති වුණේම නෑ අපේ පුතා ඒ ගැන දැන ගන්නවට. එක එක මාසෙට සල්ලි දැම්මෙ එක එක ගණන්. එකපාර ලොකු ගාණක් දැම්මොත් පුතාට වුණත් සැක හිතෙයි කියලා සමහර මාස වලට මාසෙට දෙතුන් පාර පොඩි පොඩි ගණන් දැම්ම වෙලාවලුත් තිබ්බා. ඒ දාලා ඉවර වෙච්ච හැටියෙ මට කෝල් කරලා කියනවා. ඒ වෙලාවට මං පිං දෙනකොට කියනවා වගීෂ රාජලිංගම් කියන්නෙ අම්මගෙ පුතා විතරක් නෙවෙයි, කවදාහරි මේ රටේ නම ලෝකෙට අරන් යන සම්පතක් කියලා. අනේ මට ඒ වචන ටිකම ඇතිනෙ දුවේ. පුතාට ඔය කැම්පස් එකේ රස්සාව හම්බෙච්චි දවසේ ඉදන් මට කතා කරන හැම වෙලේම කියන්නෙ වගීෂට එහෙම මේ ගැන වචනයක් හරි දැනගන්න තිව්වොත් ආයෙ කතා කරන්නෑ කියලා. ඔයා ඒ දෙන්නගෙම යාළුවෙක් නිසා මං මේ විස්තරේ කියලා තිව්වෙ කවදාහරි උවමනාවක් වුණොත් කියලා. ඔයත් එක්ක මේවා කිව්වා කියලා නම් වැරදිලාවත් දැනගන්න දෙන්නෙපා" කියමින් නිහඬ පොරොන්දුවකට මා එකඟ කරගත් වගීෂ අයියාගේ අම්මා එතෙක් පාරමී ගැන තිබූ පැහැදීම ගෞරවයකට පෙරලීය.
ගීත් අයියා සමඟ ඒ ගැන නොකියා සිටින්නට සිතා සිටියද, මගේ හිතේ කැරකෙන හොර අල්ලන මන්තරය දැන සිටි ඔහු ඒ විස්තරය මගෙන් අසා දැනගෙන මටත් වඩා පුදුමයට පත් වූ අයුරු තාම මතකය. ගීත් අයියාගේ හිතේ පාරමී වෙනුවෙන් වෙන්ව තිබූ ඉඩකඩ ඒ ආරංචියෙන් පසු පුළුල් වූවාදැයි නොදනිමි. එහෙත් ඔහු පෙරටත් වඩා සමීපව ඇයව ඇසුරු කරන්නට පෙළඹුණේ ඒ සිදුවීමෙන් පසුව බව මට විශ්වාසය.
පාරමී වෛරස් උණකට ගොදුරු වූයේ අප යාපනයේ සිට පැමිණ දින කිහිපයකට පසුය. පිට පිට යෙදුණ රෑ වැඩ මුර තුනකට පසුව ලැබුණ නිවාඩු දිනයේ කළ යුතු වැඩ ගැන කල්පනා කරමින් මා නිවසට එනවිටත් පාරමී සිටියේ හිස සිට දෙපතුලටම පොරවාගෙනය.
ඇය අසනීපයෙන් බව මා ගීත් අයියාට දැනුම් දුන්නේ අපාට්මන්ට් එකට යාබද ගොඩනැඟිල්ලේ පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යන අතරමඟදීය. ඒ වනවිට මහරගම බස් නැවතුමෙන් පිටත්ව යන බසයක සිටි ඔහු ආපිට හැරී එතැයි අනුමානයක් හෝ නොතිබුණද පාරමීත් මමත් නිවසට පැමිණ අඩ හෝරාවක් ගෙවෙන්නට මත්තෙන් වගීෂ අයියාත් කැටුව එහි එන්නට ඔහු කටයුතු සලසාගෙන තිබිණ.
ටෝස්ට් කළ පාන් පෙති දෙකක් සමඟ සාදා දුන් කිරි එක බොන්නට අදි මදි කරමින් කෑම මේසයට වාඩි වී සිටි පාරමීගේ වත ගීත් අයියලා දකිද්දී සොම්නස් සිනහවකින් හැඩ විය.
"මොකද වුණේ පාරමී" කියාගෙන ඇගේ ළඟටම ගිය ගීත් අයියා විමසුවේ හිස මත අත තබා බොහෝ ළෙංගතුවය. කාලයකට පසු හිස එසවූ කෝපයත් ඉරිසියාවත් මුළු ගෙදරම ඇති බඩු මුට්ටු පොළවේ ගසන තරමට ප්‍රබල විය. එහෙත් පිටතින් ඒ බව නොපෙන්වා සිටින්නට මම හැකි උපරිමයෙන් උත්සාහ කළෙමි. ඔවුන් දෙස නොබලාම පිළියෙල කළ තේ කෝප්ප දෙක තැබූ බන්දේසිය මේසය උඩින් තියද්දී ඉන් එකක් අතට ගත් ගීත් අයියා පුටුවෙන් නැඟිට්ටේය.
"මගෙ ළඟ බලලා ඉවර වෙච්ච ටියුට්ස් වගයක් තියෙනවා. ඔයාට පුළුවන්ද ඒ ටික අපේ ඩිමෝ කෙනෙකුට දෙන්න" අසමින් පාරමී වගීෂ අයියාත් කැටුව ඉස්සරහට ගියේ ඒත් සමඟය. තේ හැදූ කෝප්පයත් පෙරණයත් සෝදමින් සිටියදී ළඟට ආ ගීත් අයියා මුලින්ම කළේ ටැප් එක වසා දැමීමයි. ඉහ මුදුනටම නැඟ සිටි යකාට දත නියවන්නට ඒ හැසිරීම ඕනෑවටත් වැඩි විය.
"එහෙනං තේ බීලා ඉවර වෙලා මේ ටිකත් එක්කම කෝප්පෙ හෝදලා තියලා යන්න" කියාගෙන ආපිට හැරුණ මා අඩියක් ඉස්සරහට තියන්නට පෙරම ඒ දෑත් වළල්ල අතරේ සිරවිය.
"මට යන්න දෙන්න" හිතේ ඇති කෝපය බඳ වටා වූ දෑත් ඉවත් කරන්නට යොදවමින් ඔහුට පමණක් ඇසෙන සේ නොරිස්සුම පිට කරන්නට මට හැකිවිය.
"කොහෙද" සඟවාගත් සිනහවකින් විමසූ ඔහු බලහත්කාරයෙන්ම කම්මුලක් සිප ග්‍රහණය ලිහිල් කළේය. අනපේක්ෂිත මොහොතක ලද ප්‍රහර්ශය හමුවේ සැර බාල වන කෝපය මඳක් හෝ රැකගෙන ඔහුට දඬුවමක් දෙන්නට මට උවමනා විය.
"නිදාගන්නෝනි. මට මහන්සියි. නිදිමතයි"
"එහෙනං ගිහින් නිදාගන්න" කියමින් පරාජය පිළිගෙන ඔහු පිටව යනු ඇතැයි සිතුවද, පෙරටත් වඩා තදින් මා ඒ දෑත් අතරෙහි සිරවූයේ එවිටය. මොහොතකට පෙර හිත පුරා ලැගුම්ගත් ඊර්ෂ්‍යාවත් කෝපයත් කොහේදෝ ඈතකට පළා ගොස් බොහෝ දිනකින් එතරම් සමීපව විඳින්නට නොහැකි වූ උණුසුම අසල දෑස් පියවුණි. බිඳී විසිරී යන උණුසුම් සුසුම් වැල් පොදියකට නවාතැන් දුන් හිස ඔසවද්දී දෑස් මත වූ පරාජිත බැල්ම මගෙන් සඟවන්නට මෙන් ඔහු ඉවත බැලුවේය.
"ඔයාව NTS එකට බාරදීලා ආව දවසෙ මිගාර ඇඬුවෙ විතරයි නැත්තෙ. දවස් ගාණක් යනකල් හරි අප්සට් එකේ හිටියෙ" දින කිහිපයකට පෙර පාරමී විසින් සිහිකළ සිදුවීමක් සමඟම හෙද විදුහලට ඇතුළත් වීමට පෙර දින උදෑසන ඔහුගේ මුහුණේ වූ දුක්බර පෙනුම මට සිහිවිය.
"ගීත් අයියෙ"
"ම්......"
"මං නිදිමතයි කිව්වෙ බොරුවට. ඊයෙ රෑ එච්චර වැඩක් තිබ්බෙ නෑ"
"ඔයාගෙ ඇත්තයි බොරුයි මං අඳුරනවා පොඩී" කියමින් ළඟ තිබුණ ස්ටූල් එකකින් වාඩි වී කකුලක් උඩින් මා හිඳුවා ගත් ගීත් අයියා "මට ඕන්නං පුළුවන් මෙහෙම මෙතනම නිදිකරවන්න" යි කන් පෙත්තේ දෙතොල් ගෑවෙන තරමට ළංව මුමුණා හෙමි හෙමින් මා ඒ උණුසුමින් මුසපත් කළේය. පාරමී සහ වගීෂ අයියා නිවසේ සිටින බවත්, අප පෙමින් වෙලී සිටි මුළුතැන්ගේ එතරම් සංවෘත තැනක් නොවන වගත් සිහිවන විට අවශේෂ ලෝකය ගැන හැඟීමක් නොමැතිව මිනිත්තු ගණනාවක් ගෙවී තිබෙන්නට ඇත.
"ඔයා ඉල්ලුව අවුරුදු තුන ඉවර වෙලා දැන් මාස තුනකුත් පැන්නා සුදු නෝනා" ප්‍රේමයෙන් මත් වූ දෙතොල් නළලත තබා කෙඳිරූ ගීත් අයියා යළිත් මා ඒ උණුසුමට නතු කරගත්තේය.
"ඊළඟ වතාවෙ ගෙදර ගියාම මං තාත්තට කියනවා ඔයාගෙ පොඩි දූ නැතුව මට හුස්ම ගන්න බෑ කියලා. සැප්තැම්බර් දිහාට ලස්සන මනමාලියෙක් වෙන්න නම් දැන්ම තියා ඔය හිතේ තියෙන ඉරිසියාව එහෙම අයින් කරගන්නෝනි" යි කියමින් කන් පෙත්තක් මෘදුව සිපගෙන අවුල් වූ හිසකෙස් අතින් සැකසූ ඔහු මා ඇත්හැර එතනින් නැඟිට ගියේ "යමං බං පරක්කු වුණා" කියාගෙනය.
මට ඔහු පසුපසින් යන්නට උවමනා වුවත් ලැජ්ජාව නිසා වගීෂ අයියා ගෙයින් පිටවන තුරු කෑම කාමරයෙන් නැවතී සිටින්නට සිදු විය. පිටුපස හැරී බලා දුරකථන ඇමතුමක් දෙන ලෙස ඉඟි කළ ගීත් අයියා දොර වසාගෙන පිටව ගියේය.
"ලෙඩා බලන්න ආව මනුස්සයා නර්ස්ට බෙහෙතක් දීල ද කොහෙද" කියූ පාරමී සිනාසෙමින් හිස් කෝප්ප දෙකත් අරගෙන නැඟිට්ටාය. ගීත් අයියාට තේ එක බොන්නට බැරි වූ බවත් තේ හැදූ කෝප්පය සින්ක් එක තුළ බවත් මට මතක් වූයේ එවිටය.
"වතුර අල්ලන්නැතුව ඔය දෙක ඔහොම තියලා යන්න මං හෝදන්නම්"
"අපෙ අම්මවත් මට ඔච්චර ආදරේ නෑ" කම්මුලක් මිරිකා සිනාසෙමින්ම පැවසූ ඇය "ඔයත් කාලා නිදාගන්න උත්තරා. දවාලට අපි කඩෙන් මොනාහරි ගෙන්නා ගමු" කියාගෙන කාමරයට ගියාය.
අත් බෑගය තුළ වූ ජංගම දුරකථනය නාදවනු ඇසුණේ ඒත් සමඟය. ගීත් අයියාට ඇමතුමක් දෙන්නට කී බව මතක් වූයේත් දුරකථන මුහුණතෙහි වූ නම දකිද්දීය.
"ඇයි"
"නිකන්"
"ඔයාගෙ තේ එක...."
"උදේම හිතුවෙවත් නැති වෙලාවක නිසාද දන්නෑ......වෙනදටත් වඩා රහයි. හවසටත් ආවොත් එකක් ලැබෙයිද දන්නෑ"
"හරි නරකයි"
"දැන්නම් මටත් එහෙම හිතෙනවා. ඒ නිසා ලබන සතිය දිහාට ගෙදර ගිහින් එන්න නිවාඩුවක් හදාගන්න පුළුවන්ද බලන්නකො. රෑ ගිහින් උදේ ආවත් ඇති.මං මේ ඒක කියන්න කතා කරේ. එහෙනං දෙන්නත් එක්ක නිදාගන්න. දවල්ට වගීෂ කෑම ගෙනත් දෙයි" කියූ ඔහු ඇමතුම විසන්ධි කළේ තෙවසරකට ඉහතදී ලබාදුන් පොරොන්දුව අවසන් කරමිනි.
හිත තුළ සියුම් තිගැස්මක් නොතිබුණා නොවේ. එහෙත් තවදුරටත් කල් ඉල්ලමින් ඔහුව වෙහෙසීමට හෝ ඒ බලාපොරොත්තු කන්දට පයින් ගැසීමේ උවමනාවක් නොදැනුණි. පාරමී සහ වගීෂ අයියා ඒ වනවිටත් ශිෂ්‍යත්ව කිහිපයකටම අයදුම් කර ඇති බව මම දැන සිටියෙමි. නිවසේ සිටියදී පරිගණකය ඉදිරියේ වැඩිපුර කාලය ගත කරන පාරමී හැකි ඉක්මනින් පශ්චාත් උපාධිය ආරම්භ කරන්නට බලා සිටියාය. ගීත් අයියා ඒ සියල්ල පස්සට දමමින් සිටියේ මට රැකියාවෙන් නිවාඩු ලබාගත හැකි කාලය එනතුරුය. ගීත් අයියාගේ අදහසට එතරම් කැමැත්තක් නොදැක්වූ රොෂාන් අයියා හැමවිටම කිව්වේ මා රැකියාවෙන් ඉවත් කරගෙන විදෙස්ගත වී පසුව ලංකාවට පැමිණි කාලයක පුද්ගලික රෝහලක සේවයට එකතු වීම සුදුසු බවය. විටෙක පාරමී සහ වගීෂ අයියාත් එවන් යෝජනා වටින් ගොඩින් ඉදිරිපත් කළ අවස්ථා තිබුණත් ගීත් අයියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය.
විදෙස් රටක කාත් කවුරුවත් නොමැති පරිසරයක ඔහු සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙද්දී තට්ට තනියම නිවසක් තුළට වී ගෙවන දිවියක් ගැන හිතන්නට මම බිය වුණෙමි. මගේ සිතුවිලි හොඳාකාරවම හඳුනන ගීත් අයියා ඇතැම් විට ඒ ගැන දැන සිටින්නට ඇත.
"අපි හැමෝම එක තැනකට ගියොත් එහෙම ප්‍රශ්නයක් එන්නෑනෙ උත්තරා. ඒකට තමයි අපි මේ ට්‍රයි කරන්නෙත්. වගීෂගෙ අම්මත් මේ දවස්වල එයාට මනමාලියො හොයනවා. මං කිව්වා රසට උයන්න පුළුවන් කෙනෙක් හොයලා දෙන්න කිය්ලා. එතකොට මට සිංහල කෑමයි දෙමළ කෑමයි කකා දිව්‍ය ලෝකෙ ගියා වගේ ඉන්න පුළුවන් වෙයි" මගේ හිතේ ඇති බය සංකා දුරු කරන්නට පාරමී එදවස කළ කී දෑ තාම මතකය. මා ෆේස්බුක් ගැන දැන නොසිටි එදවස ඇය ඇගේ විදෙස්ගත මිතුරන්ගේ ජායාරූප පෙන්වමින් විප්‍රවාසී දිවියකට මා පොළඹවන්නට ගත් වෙහෙස අපමණය.
ගීත් අයියා ගෙදර ගිහින් එන්නට නිවාඩුවක් ගන්නා මෙන් ඉල්ලා සතියක්ම ගෙවී යද්දීත් මා සිටියේ එය අතපසු කරමින්ය.
"හෙට කීයට ද ඩියුටි" සෙනසුරාදාවක් වූ එදින උදේ වැඩ මුරය අවසන්ව මහරගමට එන අතරතුර ඔහු විමසීය.
"දවල්"
"එහෙනං මෙහෙම්ම ගෙදර ගිහින් හෙට උදේම එමුද?" බැල්මකින් හෝ අකමැත්ත ප්‍රකාශ කළේ නම් ඔහු මට බලපෑම් නොකරන වග විශ්වාසය. පාරමී නිවසට ගියේ එදින උදෑසනය. ඇය එන්නට පොරොන්දු වී සිටියේ පසුදා හැන්දෑවේය. අපාට්මන්ට් එකේ තනිව සිටිනවාට වඩා ගෙදර යාමත් නැන්දා, මාමා සහ දරු දෙදෙනා අතර කාලය ගෙවීමත් ප්‍රියජනක විය. හිස සලා එකඟතාවය පළ කරන්නට මුල් වූයේ ඒ හේතු ටිකය. දුරකථන ඇමතුම් තුනකින් පසුව පසුදා වැඩ මුරය වෙනත් කෙනෙකුට පවරන්නට ගත් ප්‍රයත්නය සඵල වීම එවලෙහි මට දැනුණේ වාසනාවක් ලෙසය.
"අද තමයි අපි දෙන්නා මේ විදිහට ගෙදර යන අන්තිම දවස" කා බී අවසානයේදී මහරගම සිට ගාල්ල බලා යන සුඛෝපභෝගී බස් රථයකින් අසුන් ගනිමින් ගීත් අයියා පැවසුවේ මනමාල හිනාවක් කට කොනක සඟවාගෙනය.
"ඇයි මීට පස්සෙ යන්නෙ වෙන විදිහකට ද?"
"යන්නෙ මේ විදිහට වුණාට මීට පස්සෙ මං එක්ක යන්නෙ අපෙ තාත්තගෙ පොඩි දුව නෙවෙයි මගෙ මනමාලිනෙ" සිනාසෙමින් කර වටා අත යැවූ ගීත් අයියා "දැන් හොඳට නිදාගන්න සුදු නෝනා. සමහර විට රෑ එළි වෙනකල් ඇහැරගෙන වෙඩිං එක ප්ලෑන් කරන්නත් වෙයිද දන්නෑනෙ" කියමින් මගේ හිස සිය උරහිසේ සතපවා ගත්තේ ඒ අප යමින් සිටින්නේ ඉරණම් ගමනක් බව නොදැනය.
ඊළඟ මතක සක්මනින් හමුවෙමු

No comments:

Post a Comment