Thursday, June 4, 2020

විල්තෙර අද්දර - 42 : හතළිස්එක්වෙනි මතක සක්මන



කොපුලකට දැනුණ උණුසුමත් සමඟ මම දෑස් විවර කරන්නට උත්සහ කළෙමි. එහෙත් දැඩි නිදිමත හා විඩාබර ගතියත් සමඟ එය එතරම් පහසු නොවීය.

"සුදු නෝනා. දැන් ඇති නිදාගත්තා. අපි ඉක්මනට යන්නත් ඕනි. නැඟිටින්නකො.....ඉතුරුටික යන ගමන් නිදාගමු" එතෙක් වේලා විවර කරගත නොහැකිව සිටි දෑස් පියන්පත් එසවෙන්නටත් අහිමිව තිබූ පියවි සිහිකල්පනාවට යළි හිමිකම් කියන්නටත් ඒ හඬ ප්‍රමාණවත් විය. බිත්තිය පැත්තට හැරී නිදාසිටි ඉරියව්ව වෙනස් කරමින් අනෙක් පැත්තට හැරෙන්න උවමනා වුවත් බඳ වටා වූ දැඩි ග්‍රහණය හමුවේ සෙලවීමටවත් අවකාශයක් නොවිය.

"ඔළුව රිදෙන්නෑ නේද?" එතෙක් දැඩිව මා වැළඳගෙන සිටි අත හිස මතින් නවාතැන් සොයද්දී ආපිට හැරෙන්නට මට හැකිවිය. දෑස් පතුලෙහි ගිලීගෙන කිහිප වරක් හිස පිරිමැඳි ගීත් අයියා පහත් වී නළලට දෙතොල් තද කර කලබලයකින් මෙන් මා අතහැර "ඉක්මනට වොෂ් එකක් දාගෙන යන්න ලෑස්ති වෙන්නකො. මං තේ එකක් අරන් එන්නම්" කියමින් ඇඳෙන් බහින්නට සූදානම් විය.

"ගීත් අයියෙ" පෙරදින රාත්‍රියේ අනපේක්ෂිත මොහොතක සවන් වැකි සංවාදයත්, අනාගතය ගැන එතෙක් නොදැනුණ අවිනිශ්චිත බවකින් පිරි රාත්‍රිය තද නින්දකින් පහන් කරන්නට හැකිවීමත්, උදෑසන මා අවදිවන මොහොතේ ඔහු මා අසලින්ම රැඳීමත් අතරින් වැඩියෙන්ම හිතට වද දුන්නේ කිනම් ප්‍රශ්නයදැයි නොදනිමි. එහෙත් ඒ කිසිවකින් හිත චංචල වූ බවක් නොපෙන්වා සංසුන්ව හිඳින්නට ඔහුට හැකි වූ අයුරු දැනගන්නට හිත කලබල කළේය.

"අක්කා අම්මව පෙන්නන්න ඩොක්ටර් කෙනෙක් කතා කරලා. තාත්තා අම්මව මෙඩි හවුස් එකට එක්ක ගියා. ඔයා ඉක්මන්ට ලෑස්ති වෙන්නකො. මං තේ එකක් හදන් එන්නම්" මගේ දෑස් තුළ නළියන ප්‍රශ්න වැල කියවාගත් ඔහු වෙනත් අයුරකින් උත්තර දී මා සන්සුන් කර එතනින් පළා යන්නට තැත් කළේය.

"ගීත් අයි...යෙ" යළිත් ඔහු මා අසලට ගෙන්වා ගන්නට ඒ බිඳීගිය හඬ ප්‍රමාණවත් විය.

"ඊයෙ රෑ මං ඔයාට ඇති තරම් අඬන්න දුන්නනෙ පොඩී. මං අම්මට කිව්වා මට හදිස්සි වැඩක් වැටිලා නිසා අපි ඉක්මනින් යනවා කියලා. ආයෙ අඬලා ඇස් ඉදිමුණොත් ඒ දෙන්නා කලබල වෙයි. ඒ නිසා ඉක්මනින් ලෑස්ති වෙන්නකො. ඔයා එතනට ආවෙ කොයි වෙලේද ඇහුණෙ මොනාද නැත්තෙ මොනාද කියලා මං තාමත් දන්නෑ. ඒ නිසා වුණේ මොකද්ද ඉස්සරහට කරන්නෙ මොනාද කියලා අපි අක්කලා දිහාට ගිහින් කතා කරමුකො. එතකල් ඊයෙ රෑ කිව්වා වගේම මං දැනුත් කියන්නෙ අපිට අඬන්න තරම් දෙයක් වුණේ නෑ. කාලෙත් එක්ක ඔක්කොම ප්‍රශ්න හොඳ විදිහට විසඳාගන්න පුළුවන්. මාව විශ්වාස කරලා හොඳ බබා වගේ ඉක්මනට ලෑස්ති වෙන්නකො" හිස් මුදුනෙන් තැබූ අත එහෙ මෙහෙ කර සිනාසුණ ඔහු වෙනදා තරම්ම සැහැල්ලුවකින් කොපුලක් මිරිකා යන්නට ගියේය.

තව දුරටත් ඔහුව වෙහෙසවා ප්‍රශ්න අසමින් ඔහුගේ සැලසුම් ව්‍යර්ථ කිරීමේ උවමනාවක් නොවූයෙන් මම හැකි ඉක්මනින් ගමනට සූදානම් වුණෙමි. එහෙත් විගසින් තේ එකක් රැගෙන එන බව කියමින් පහළට ගිය ඔහුට අත්බෑගයත් රැගෙන මා පහළට යනතුරුම උඩට එන්නට බැරි විය. ඔහුට කීකරු වීමටත් වඩා නැන්දාගේත් මාමාගේත් මුහුණු නොබලා පිටව යෑමේ අරමුණ මා යුහුසුළු කරවා තිබිණ.

"තේ බිව්වොත් බත් කන එකක් නෑ කියලා මං තේ හැදුවෙ නෑ. අම්මා උයලා ගිහින් තියෙන්නෙ. නොකා ගියොත් ඒකත් හරි නෑනෙ. ඒ නිසා බත් කටක් කාලාම යමු" මා කුස්සියට යන විට උණු බත් පිඟානක් බෙදාගෙන කුස්සියේ මේසයට වාඩි වී සිටි ඔහු අතින් ඇද මා එතනින් වාඩි කරවා ගනිමින් පැවසීය.

"මට කන්න බෑ"

"මංනෙ කවන්නෙ. එතකොට පුළුවන්" කියමින් ඇනූ බත් කටක් මුවට ළං කළ ඔහු මා කට අරින තුරු තරවටු බැල්මකින් බලා සිටියේය.

"මං තාත්තට කතා කරා. තාම ඩොක්ටර් ඇවිත් නැතිලු. අපි යන ගමන් එතනට ගිහින් අම්මටයි තාත්තටයි කියලම යමු. නැත්තන් සැක හිතෙන්න පුළුවන්නෙ" ඉස්සරහා දොර වසා යතුර අතට ගනිමින් ඔහු පවසන තුරුත් මා සිටියේ රොබෝවෙකු මෙන් ඔහුගේ විධානයන්ට වෙනදාටත් වඩා කීකරුවය.

"ඔයා ඔහොම ඉන්නෙ කොහොමද ගීත් අයියෙ.....මට මේ මොනාවත් තේරෙන්නෑ....ඔක්කෝටම වඩා මට ඊයෙ අච්චර යසට නින්ද ගියෙ කොහොමද කියලවත්"

"ඒකට කොල්ලා ගාව තියෙනවා හොඳ මන්තරයක්….අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි" කියමින් ඔහු උස් හඬින් සිනාසෙමින් සිටියදීම ඔහුගේ ඇමතුමට අනුව අප රැගෙන යාමට ආ ත්‍රිරෝද රථය ගේට්ටුව ළඟින් නතර කළේය.

නිවසේ සිට ටවුමට යාමට ගතවන මිනිත්තු හත අට තුළ නිහඬව සිටි ඔහු ත්‍රිරෝද රථය බෝධිය පසුකරද්දී හිමිහිට මගේ අත අල්ලා ගත්තේය. අප එනතුරු බලා සිටින මෙන් ත්‍රිරෝද රථ රියදුරුට පැවසූ ඔහු මාත් සමඟම රියෙන් බැස නැන්දලා සිටි පැත්තට ඇවිද ගියේ "අම්මා මොකුත් ඇහුවොත් ඊයෙ රෑ ඔළුවෙ කැක්කුම හැදුණා කියන්න" කියමිනි. එහෙත් සෙනඟ ගොඩේ වාඩි වී තම අංකය එනතුරු බලා සිටි නැන්දාට මගේ මුහුණෙන් වෙනස්කම් අඳුරාගන්නට තරම් සුදුසු පරිසරයක් එතැන නොතිබිණ. පෙර පුරුදු සෙනෙහසින්ම අපට සමුදුන් ඇය හැකි ඉක්මනින් නැවත එන ලෙස ඉල්ලා සිටින්නටත් අමතක නොකළාය.

"පුතා අර මං උදේ කියපු එක ගැන තව ටිකක් හිතලා බලන්නකො" අපත් සමඟින් ත්‍රිරෝද රථය අසලට ආ මාමා ඇතුළට හිස දමා පැවසීය.

"තව කොච්චර හිතුවත් මට කියන්න තියෙන්න ඕකම තමයි තාත්තා. තාත්තට බැරිනම් මට මැඩම්ගෙ නම්බර් එක දෙන්නකො මං කතා කරන්නම්" කියා මට අග මුල නොතේරෙණ පිළිතුරකින් මාමාගේ මුහුණ අඳුරු කළ ගීත් අයියා රියදුරුගේ උරහිසට තට්ටුවක් දමා "යමු" කීවේය.

එතැන් සිට යළි ගොළුවෙකුගේ භූමිකාවට පණ දුන් ඔහු මාතර කොළඹ සුඛෝපභෝගි නගරාන්තර බස් රථයකින් වාඩි වූයේ "අපි මේකෙ ගාල්ලට විතරයි යන්නෙ. එතකල් ප්‍රශ්න අහන්න තහනම්" කියමින් මගේ නෙත රැඳි ප්‍රශ්න පත්තරය මඟාරින්නට ක්‍රමයකුත් හොයාගෙනය.

"මට බෑ"

"එහෙනං ඕනි දෙයක් අහන්න. හැබැයි අක්කලාගෙ ගෙදරට යනකල් අඬන්න ඔට්ටු නෑ"

"මට මේ මොනවත්ම තේරෙන්නෑ ගීත් අයියෙ. ඔක්කෝටම වඩා ඇයි ඔයා මට බොරු කිව්වෙ කියලවත්"

"කියන්න බැරි දෙයක් නොකියා හිටියොත් මිස මං දැනුවත්වනම් ඔයාට කිසිම බොරුවක් කියලත් නෑ කියන්න අදහසකුත් නෑ"

"එහෙනං මොනවද අර නැන්දයි මාමයි කතා කරනවා ඇහුණෙ"

"ඒක ගැන එච්චර හිතන්න එපා. අපි දෙන්නා හොරෙන් අහන් හිටියට ඒක මේ පොඩි කෝ ඉන්සිඩන්ට් එකක්. වුණේ මොකද්ද කියලා හරියටම නොදැන අපි ඒ ගැන කතා කරන එකේ කිසි තේරුමක් නෑ. අඬන බබා නළවාගන්න වුණාගෙන් මටත් තාම අග මුල හොයාගන්න බැරි වුණා. ඒ මොනවා වුණත් අපිට අපි නැති වෙන්නෑ කියලා මට විශ්වාසයි පොඩී. පොඩි පොඩි ප්‍රශ්න එයි. ඔයාට අඬන්නැතුව කලබල කරන්නැතුව වෙනදා වගේම ඔයාගෙ ගීත් අයියව විශ්වාස කරගෙන මේ උරහිසේ ඔළුව තියාගෙන නිදහසේ නිදාගන්න පුළුවන්නම් මට ඒ හැම ප්‍රශ්නයක්ම විසඳා ගන්න පුළුවන්" මාතර සිට ගාල්ලට ඇති කිලෝමීටර් හතළිහ පමණක් නොව, ජීවිත කාලයටම ප්‍රශ්න නොඅසා ඒ උරමත හිස හොවා සුවෙන් සැතපෙන්නට තවත් වචන නාස්ති කිරීමට අවැසි නොවීය. ඔහු මන්තර ලෙසින් හඳුන්වන්නේ එවන් වූ හිත සුවපත් කළ හැකි වදන් විය හැක. පෙරදින රාත්‍රියේ හඬමින්ම ඔහුට තුරුළු වී සිටි මට නින්ද යන්නට ඇත්තේත් එලෙසය.

"දිගටම නිදාගෙන යන්නද කල්පනාව" ගාල්ලෙන් මහරගම බසයකට නැඟ අසුන්ගත් සැණින් ඒ උර මත හිස තබන්නට හදද්දී ඔහු විමසීය. වෙනදාට නිදාගන්න යි කියමින් උරහිසට තට්ටු කරන්නේත් ඔහුමය.

"අඬන්නත් තහනම්. ප්‍රශ්න අහන්නත් තහනම්. ඉතින් මං නිදාගන්නැතුව වෙන මොනා කරන්නද?" ඔහුට ඔහුගේ සිනහව පාලනය කරගත නොහැකි වීමෙන් ඉදිරිපස අසුනේ වූ වයස්ගත කාන්තාවක් අසුන් දෙක අතර වූ ඉඩෙන් හිස දමා අප දෙස රවා බැලීය. අපහසුවෙන් සිනහව සඟවාගත් ඔහු "අක්කලාගෙ ගෙදරට යනකල් හංගන් ඉන්න බැරි රහසක් තියෙනවා. කියන්නම්. හැබැයි අඬන්න මූණ එල්ලා ගන්න කල්පනා කරන්න ඔට්ටු නෑ. ඕන්නං චුට්ටක් රණ්ඩු වෙන්න" කියමින් මගේ අතක් දෝතට මැදිකර ගත්තේය.

අපේ පාසලේ හිටපු විදුහල්පතිනියගේ බාල දියණිය ගැන මංගල යෝජනාවක් ලැබී ඇති වගත්, උදේ පාන්දර මාමා ඔහුගෙන් ඒ ගැන විමසූ බවත් මා දැන ගත්තේ ඉන්පසුය. මට වඩා වසරකින් වැඩිමහල් වූ ඇය ඒ වනවිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටි වග මම දැන සිටියෙමි. වෛද්‍යවරියක් වූ ඇගේ වැඩිමහල් සොයුරියගේ පුතණුවන් හා මහිම් එකම දිනකදී රාහුලයට ඇතුළත් කර ඇති අතර මාමාට අපේ විදුහල්පතිනිය මුණ ගැසී ඇත්තේ එදිනය. සුවදුක් විමසීමෙන් නතර වූ කතා බහ නෑදෑකමක් තෙක් වර්ධනය කර ගැනීමේ උවමනාව මුලින්ම පැන නැඟුණේ කා තුළින්දැයි නොදැනම මම සිතින් මාමා සමඟ අමනාප වුණෙමි. කවුළුවෙන් එපිට අධිවේගී මාර්ගයේ පසුවන සැතපුම් කණු දෙස බලා උන් මගේ ගෙල වටා ගීත් අයියාගේ සුරත එතෙන විටත් නෙත් තුළ කඳුළු පොදි ගැහෙමින් තිබිණ.

"මං කලින්ම කිව්වනෙ පොඩී. ඒකෙ අඬන්න දෙයක් නෑ. දෙන්න ඕනි උත්තරේ මං තාත්තට දීලා ආවෙ. තාත්තා ඒක මැඩම්ට නොකිව්වොත් මං නම්බර් එක හොයන් කතා කරලා ඒක එතනින් ඉවර කරලා දාන්නම්.....මට හිතෙන හැටියට ඔය ප්‍රපෝසල් එකෙන් තමයි මේ කතාවත් ඇදිලා එන්න ඇත්තෙ. අක්කා මට ෆෝන් එකෙන් මොකුත් කිව්වෙ නෑ....ආවම කතා කරමු කිව්වා විතරයි. මං ඊයෙ ගෙදර එන බවක් අයියට කිව්වෙත් නෑ. උදේ අක්කට කතා කරපු වෙලේ කිව්වෙත් නැති නිසා එයා ගිහින් තියෙන්න අපි එහෙ කියලා හිතාගෙන. කොහොමත් ඉතින් මේක නිදහසේ කතා කරගන්න එහෙ යන්නම වෙනවා"

දවසේ මුල්ම වතාවට මට කිසියම් සහනයක් දැනුණේ එවෙලෙහිය. යන්තමින් සිනහවක් ඇඳෙන මගේ මුව මත දෑස රඳවාගෙන සිටි ගීත් අයියාගේ දෙනෙතෙහි වූයේ මනමාල හිනාවකි.

"මට ඇහුණ දේවල් වලින් මං ඇනලයිස් කරගත්තු හැටියට නම් වෙන්න ඇත්තෙ ඔය ප්‍රපෝසල් එක ආවම අක්කා අම්මට කියන්නැති ඔයා ගැන. එච්චරකල් එහෙම එකක් නොහිතුවට අක්කා කිව්වට පස්සෙ අම්මටත් ආසා හිතිලා පොඩි දුවව හැමදාටම ළඟ තියාගන්න. දැන් අම්මා තාත්තා එක්ක රණ්ඩු කරනවා. මට පේන හැටියට තාත්තගෙ තුන් හිතකවත් නෑ අපි අතරෙ මෙහෙම සම්බන්ධයක් ඇතිවෙයි කියලා විශ්වාසයක්. ඔයාටත් ඇහුණද මන්දා තාත්තා කියනවා තාත්තට තාම අපි දෙන්නා මොක්කට හරි රණ්ඩු වෙනකොට මතක් වෙනවා කියන්නෙ ඉස්සර පොඩිම කාලෙ අම්මා නිදාගන්න එනකල් තාත්තගෙ පපුව උඩ නිදාගන්න රණ්ඩු කරපු හැටිලු. එහෙම පුංචි කාලෙ ඉදන් එකට එක ඇඳේ ගුලිවෙලා නිදාගත්තු අපි දෙන්නව කසාද බන්දන්න බෑ කියන අදහස තමයි මට දැනෙන හැටියට තාත්තට තියෙන්නෙ. ටිකක් කල් යද්දි ඕක වෙනස් කරගන්න පුළුවන් වෙයි. ඔය මට හිතිච්ච ඒවනෙ. අක්කා දන්නවා ඇතිනෙ හරියටම වුණේ මොකද්ද කියලා…….ඒකයි මං ඊයෙ ඔයාට බය නැතුව නිදාගන්න කිව්වෙ"

"ඇත්තටම මට ඊයෙ නින්ද ගියෙ කොහොමද?....ඔයා නිදි පෙත්තක්වත් දුන්නද?"

"මං ළඟ ඉද්දි නිදිපෙති මොකටද. හොඳට තුරුළු කරගෙන ඔළුව අතගාන ගමන් කන ළඟට නැවිලා රහස් දෙකයි කිව්වෙ.....බබා දොයි" කියමින් සිනාසුණ ඔහු එලෙස නිදාගැනීමෙන් අත් වූ පාඩුව ගැන සඳහන් කළේ පසුවය.

"ඔයාට නින්ද ගියාට පස්සෙ දාලා යන්න බෑ හිතුණා. ඇහැරලා මොන පිස්සුවක් නටයිද දන්නෑනෙ. පස්සෙ මං ගිහින් මගේ රූම් එකේ බැල්කනියට යන දොර ඇරලා දාලා ඉස්සරහා එළියෙන් ලොක් කරලා ඔයාගෙ රූම් එකේ දොරත් ලොක් කරලා හොඳට ඔයාවත් තුරුළු කරන් නිදාගත්තා. ඒකයි ඔයාට එච්චර හොඳට නින්ද ගියේ" ඒ සොඳුරු රාත්‍රිය ගැන මතකයේ නොමැති වීම ගැන වේදනවත් බැරිවීමකින් හෝ නැන්දා උඩට ආවානම් අපට අත්වන ඉරණමත් සිහිපත්ව මා බියෙන් ඇලලී යන්නට ඇත.

"මොකද මේ බය වෙලා"

"හදිස්සියේ නැන්දවත් ආවනම්"

"එහෙනං බැල්කනියෙන් පැනලා ගිහින් නින්දෙන් නැඟිට්ටෙ දැන් වගේ දොර අරිනවා. ඔයාට මතකද අර දවසක් ඔයා ෆිල්ම් එකක් බලලා අම්මා ගහපු දවස. එදා ඔයා දොර ලොක් කරන් නිදාගත්ත්ට පස්සෙත් මං ඒ විදිහට බැල්කනියෙන් පැනලා ඇවිත් කොහොමහරි ඔයාගෙ කාමරේට රිංගා ගත්තා. ඒකයි මං ඔයාට හැමදාම කියන්නෙ නිදාගන්න කලින් බැල්කිනිය පැත්තට තියෙන ජනෙල් හොඳට බලන්න කියලා. එදත් මං ආවෙ බාගෙට වැහිලා තිබ්බ ජනේලයක් ඇරගෙන" අතීතය වෙත පියාඹා ගිය සිත එදා හැන්දෑවේ විදුලි පහන දල්වා මගේ දෑස් අතින් ආවරණය කරමින් "දැන් හැමදේම හරි " කියමින් මා අවදි කරවූ යෞවනයා ගැන මතකය අළුත් කළේය. මුව මත විසිරෙණ සිනහව තෘප්තිමත් දෑසින් විඳගත් ඔහු මගේ හිස උර මතින් සතපවා ගත්තේ "ඔයා දන්නැතුවට ඒ දවස්වලත් මං ඔයාට ආදරේ කරා සුදු නෝනා" කියමිනි.


ඊළඟ මතක සක්මනින් හමුවෙමු.

No comments:

Post a Comment