Saturday, August 1, 2020

තුන් නද තත්සර - පළමු තත්සර මුසුව සමාධිගෙන්



හැන්දෑවේ සිටම එක ලෙස හඬා වැටුණ අහසට හති වැටී කඳුළු වැගිරීම නවතා දැමුවේ පාන්දරය. රැයක් දවාලක් නොමැතිව ගිනි උහුලන කාෂ්ඨක පොළොව ඒ කඳුළු ආදරයෙන් වැළඳ ගත්තාට සැක නැත. සොබා දහමේ හැටි එහෙමය. සැහැල්ලුවෙන් පාව යන්නට මාන බලනා වළාකුළු වලට දරාගත නොහැකිව අත් හරින ජල කඳ, මහ පොළව වැළඳ ගන්නේ සෙනෙහසිනි.

මදුරු දැල පැත්තකින් ඔසවා සීරුවට ඇඳෙන් බැස මා මුළුතැන්ගෙට යන විටත් අත්තම්මා සිටියේ සුවැති නින්දකය. උපන් දා සිටම සීතල සෞම්‍ය පරිසරයකට හැඩ ගැහුණ ඇයට මේ උණුසුම් දේශගුණය ආගන්තුකය. වැස්සත් සමඟ පළා ගිය දාහය ඇගේ වියපත් නෙතට සුවබර නින්දක් තිළිණ කරන්නට ඇත. ඉහින් කනින් දාඩිය පෙරාගෙන අවදිවන අන් දිනකට වඩා මේ හිමිදිරිය ප්‍රබෝධමත්ය. මුව කට දොවා, වතුර වීදුරු දෙකක් බී, කොළ කැඳ සෑදීම සඳහා සියල්ල සූදානම් කොට තබා මා කුස්සියේ දොරෙන් එළියට බහින විට ළහිරු කැන් කෙසෙල් පඳුරු අස්සෙන් එබෙන්නට පටන් ගත්තා පමණි.
ඉදහිට මා පසුකර ගිය පාපැදියක් යතුරු පැදියක් හැරෙන්නට පාර සම්පූර්ණයෙන්ම පාළුවට ගොසිනි. කොහොමත් සතියේ දිනක උදෑසන ඇති කලබලය සති අන්ත සෙනසුරාදාවට මහ පාරට වුවත් උහුලන්නට සිදු වන්නේ නැත. නිවසත් පාසලත් අතර වූ සැතපුම් කාලක් තරම් කෙටි දුර වේගවත් පියවර වලින් තරණය කොට මා පිට්ටනියට ඇතුළු වන තුරුත් මුහුණට මුණ ගැසුණේ පොලිස් නිළ නිවාස වෙත කිරි ගෙනයන මහළු මිනිසා පමණි. පාන්දරම අවදි වී පාසැල් පිට්ටනිය වටේ වට කිහිපයක් ඇවිදීමෙන් දවස ආරම්භ කිරීම ප්‍රබෝධජනකය. සිරුරේ ලිහිල් බවටත් වඩා ඉන් ලැබෙන මානසික සුවය අසීමිතය. අප්පච්චී සමඟ නිළ නිවාස වල කල් ගෙවූ ළමා කාලයේ පටන් ගත් පුරුද්ද කාලයත් සමඟ වැළලී ගිය ද, දැන්නම් එය රෑ නින්දට ගොස් උදෑසන අවදි වීම තරමටම සාමාන්‍ය දෛනිකාංගයක් වී අවසන්ය.
පිණි ඉහිරුණු තණ තිල්ල තරමක් ලිස්සන සුළුය. උවමනා වට ගණන ඇවිද යාම අන් දිනයකට වඩා දෙපයට අසීරුය. තවමත් කලබලයක් නොපෙන්වන පාර දිගේ ටික දුරක් ඇවිද ගොස් යළි නිවසට යාමේ සිතුවිල්ල ජනිත වූයේ ඒ අපහසුවට පිළියමක් ලෙසය.
උඩවලව ජලාශයට ඉහළින් එබී හිනහෙමින් සිටි හිරු එක්වරම අතුරුදහන් වන විට මා සිටියේ නිවසින් සැතපුම් දෙකකට වඩා ඈතට ගොස් ජලාශය සමීපයේය. ඒ මොහොතේ ගොඩට ආ කුඩා ධීවර බෝට්ටුවක් අසලට රොක් වූ ගැණුම් කරුවන්ගේ හඬ ඝෝෂාකාරීය. වැස්සට පෙර තම කාරිය ඉෂ්ඨ කරගන්නට කාටත් තිබෙන්නට ඇත්තේ එකාකාර කලබලයක්ය. කුඹුක් ගහක් අද්දර නවතා තිබූ පා පැදි යතුරු පැදි අතරේ වූ හුරු පුරුදු ත්‍රිරෝද රථය සිතට සහනයක් එක් කළේය. වැහි දියෙන් නැහැවෙමින් නිවස දක්වා දුවගෙන යාම විනෝදජනක වුවත් නිවාඩු දවසේ උදේ පාන්දරම අත්තම්මාගේ ලේ කෝප කිරීම නුවණට හුරු නැත. එය ගුරුවරියකට තරම් නොවන බව කියමින් ඇය මට දොස් පැවරීම නියතය. මුදලක් අත නැතුව බසයක හෝ වෙනත් ත්‍රීරෝද රථයක සහය පැතීමත් කළ නොහැකි නිසා නන්දසේනගේ ත්‍රිරෝද රථය වෙත ඇවිද යාමට එහා ගිය විකල්පයක් නොතිබුණි.
"ටීචර් මාළු ගන්නද?....මට කිව්වනම් මං ගෙනත් දෙනවනෙ. මාත් මේ ආවෙ ඉස්කෝලෙ නෝනාලා දිහාට මාළු ගෙනියන්න තමයි" පාරට පහළින් වූ කුඹුක් ගහ අසලට යත්ම එක් අතකින් කළු පැහැ පොලිතීන් බෑගයක් එල්ලාගෙන ආ නන්දසේන ත්‍රිරෝද රථය වෙත ඇවිද එමින්ම විමසීය.
"නෑ මං මේ නන්දසේනගෙ ත්‍රීවිල් එක තියෙනවා දැකලා ආවෙ. ආයෙත් හයියෙන් වහින්න වගේ හදන්නෙ"
"ඔව් අද උදේ ඉදන්ම දෙන්න වගේ හදන්නෙ" කියමින් මාළු බෑගය පිටුපස අසුන ළඟ බිමින් තැබූ නන්දසේන "නගින්න ටීචර්. මං එහෙට තමයි යන්නෙ" කියමින් රියට ගොඩ විය. අත්තම්මා සමඟ ගමනක් බිමනක් යාමට උවමනා සෑම විටකම නන්දසේනගේ ත්‍රිරෝද රථයේ සහය පතන්නට පුරුදුව සිටි මට ඔහුගේ ළෙංගතුකම ආගන්තුක නොවීය.
උඩවලව හන්දියේ ත්‍රිරෝද රථ ගාලෙහි සිටින විශ්වාසවන්තම රියදුරා නන්දසේන වග පැවසීමෙන් නොනැවතී ඔහු අපට හඳුන්වා දුන්නේත් සුනේත්‍රා මැඩම්ය. උඩවලව මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියක්ව සිට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ඇය අත්තම්මාත් මමත් වාසය කරන නිවසේ හිමිකාරියය. ඔවුන්ගේ නිවසට යාබදව ඉදිකළ නිදන කාමර දෙකකින් සමන්විත අංගසම්පූර්ණ නිවස කුලියට දීමේ පදනමකින් සෑදූ එකක් නොවන බව පුන පුනා කියමින් වුවත් ඇය අපේ පදිංචිය සඳහා එය ලබා දෙන්නට අකමැති නොවූවාය.
"මහත්තයා මේ ගේ පොඩ්ඩ හැදෙව්වෙ ලොකු පුතා බඳින්නත් කලින්. අයියගෙයි මල්ලිගෙයි දරුවොත් කවදාහරි එකට හැදෙන්න ඕනි කියලා" කියමින් පහත් වී හැඳ සිටි දිගු බතික් ගවුමේ වාටියෙන් නෙතට නැඟි කඳුළ පිස දමාගත් ඈ දරුවන් ගැන විස්තර අප සමඟ කියන්නට ඒ මොහොතේ කලබල නොවූවාය.
පාසල කිට්ටුවෙන් නවාතැනක් සොයාගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී සිටි මා ඉන් මුදවා සුනේත්‍රා මැඩම් වෙත යොමු කරන ලද්දේ විදුහල්පතිවරයා විසිනි. එදිනෙදා වේල සරි කරගන්නට කුමක් හෝ රැකියාවක නිරත මිනිසුන් සුලභ අවට වට පිටාවේ අත්තම්මාටත් මටත් නවාතැන් ගත හැකි තැනක් සොයා ගැනීම දුෂ්කර වග ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියේය.
"ටීචර් අතේ කුඩයක් නෑ නේද" වැටෙමින් තිබූ පොද වැස්ස නිවසට ආසන්න වන විට මහ වැස්සක් වීමේ ලකුණු පෙන්වමින් තිබිණ. නන්දසේන පිටුපස හැරී බැලුවේ මා අත කුඩයක් නොමැති වග තහවුරු කරගන්නට විය යුතුය.
"මේ ඩිංග මට දුවගෙන යන්න පුළුවන්. නන්දසේන මාව ගේට්ටුව ළඟින් දාලා යන්න"
"නෑ මං මේ මාළු කූරයියො ටික කපා දීලම යන්නෝනි. මං පුළුවන් තරම් ගේ පැත්තට අල්ලලා නතර කරන්නම්. ටීචර් ටක් ගාලා බැහැලා දුවන්න" කියමින් ගේට්ටුවෙන් ඇතුළට දැමූ ත්‍රිරෝද රථය විවෘත ආලින්දයේ කෙළවරට කර නතර කරන්නට ඔහු ප්‍රවේශම් විය. ගම්බද මිනිසෙකුගේ හදවතේ ගුරු වෘත්තිය කෙරෙහි තවමත් විසල් ගෞරවයක් ඉතිරිව තිබීමේ සැනසුම හද පුරා විඳිමින් නන්දසේනට ස්තූති කර මා රියෙන් බැස්සේ සිනාසෙමිනි.
"නන්දසේන මොකද කියන්නෙ" ත්‍රිරෝද රථයේ හඬට ඉස්සරහා දොර ළඟට ආ අත්තම්මාට මගේ සිනහව ප්‍රහේළිකාවක් විය.
"මෙහෙ මිනිස්සු මාළු කූරියාටත් නෑකම් කියනවා. නන්දසේන කියන්නෙ මාළු කූරයියො කියලා" ප්‍රාදේශීය බස් වහරට ගැරහීම නොකළ යුත්තක් බව කියන්නට මෙන් නිහඬ වූ අත්තම්මා මා ඇඟ පත දොවාගෙන එනවිට කොළ කැඳ කෝප්පය අතට දුන්නේ "කොහෙදිද නන්දසේන හම්බුණේ" අසමිනි.

"නන්දසේන මාළු ගේන්න ගිහිල්ලා. පයින් ආවොත් වැස්සට අහුවෙන නිසා මාත් ඒකෙම නැගලා ආවා"

"අදනම් ඉස්කෝලෙ හාමිනේට නින්ද යයි. ඕං එක පුතෙක් රට ඉදන් ඇවිල්ලා. නාලනී ළමයා ඇවිල්ලා අපිටත් කිරිබත් පිඟානක් දීලා ගියා" අත්තම්මා අලුත් ආරංචියක් කන තබා කුස්සියට ගියාය.

මට අම්මාව සිහිවිය. ගුරු විදුහලේ සිට මා නිවසට පැමිණෙන සති අන්තයන් තෙක් ඇය මඟ බැලූ අයුරු සිහිවිය. නිවසත් ගුරු විදුහලත් අතර තිබුණේ කිලෝමීටර් විසි පහක් තිහක් තරම් කෙටි දුරක් වුවත්, විශේෂ කෑමක් බීමක් සකසා මා එනතුරු බලා සිටින්නට ඇය පුරුදුව සිටියාය. කොයි අම්මගේත් හැටි එහෙමය. වසර ගණනක් දුරු රටක ජීවත් වූ පුත්‍රයෙකු නිවසට පැමිණීම සුනේත්‍රා මැඩම්ගේ ඉහේ මල් වට්ටියක් පූද්දවන්නට ඇත.
"මං ගිහින් එන්නම් ටීචර්" ආලින්දයේ වූ කුළුණකට හේත්තු වී කොළ කැඳ කෝප්පය තොල ගාමින් වැස්ස දෙස බලාගෙන සිටි මා හිස එසවූයේ නන්දසේනගේ හඬටය. ඒ ආගන්තුක දෑස මට මුල්වරට හමුවූයේ එවිටය. තම නිවසේ ආලින්දයට වී අපේ ගේ පැත්ත බලා සිටි ඔහු වැරදීමකින් හෝ දෙනෙත් ඉවතට ඇද ගන්නට උත්සහ නොකළේය. අපහසුවක් නොදැනුණා නොවේ. එහෙත් සොළොස් වියැති යෞවනියක් මෙන් ආගන්තුක පිරිමියෙකු ඇස ගැටුණ වහා ගෙතුළට පැන ගන්නා ලද බොළඳ සිතක් මට නොතිබිණ.

දෙවන තත්සර මුසුවට එකතු වෙමු සඳුදට

No comments:

Post a Comment