Tuesday, August 4, 2020

තුන් නද තත්සර - තෙවැනි තත්සර මුසුව සමාධිගෙන්







තෙවැනි තත්සර මුසුව සමාධිගෙන්
********************************


යතුරු පැදියක අවශ්‍යතාවය දැනුණේ උඩවලවට පය තැබූ මුල්ම දවසේ සිටය. හැමවිටම මා ගැන ඉහළින්ම විශ්වාස කළ අප්පච්චීගෙන් ඊට අනුමැතිය ලැබුණ ද, අම්මාත් අත්තම්මාත් සිටියේ මගේ තීරණයට විරුද්ධවය. ඈතකින් හෝ බෝඩිම් කාමරයක් සොයාගෙන තනිව ජීවත් වීමේ සිහිනය කුඩු පට්ටම් කර බලහත්කාරයෙන්ම උඩවලවට ආ අත්තම්මා මා වටා බැඳ ඇති වැට කඩොළු උඩින් පැන යාම ලෙහෙසි නැත. ඒ වෙනුවෙන් පිඹුරු පත් සැකසිය යුත්තේ සීරුවටය. ඇගේ හිත රිදවා මගේ අරමුණ මුදුන් පත් කර ගැනීමෙන් ලැබෙන තෘප්තියක් නැත.

වසර දෙක තුනකට වරක් ලැබෙන ස්ථාන මාරුවීම් සමඟ විවිධ පළාත් වල සේවයට යන අප්පච්චී නොමැති නිවසේ එදවස අපට සිටි ලොකුම ආරක්ෂකයා අත්තම්මාය. අප්පච්චිගේ හෙවනැල්ලෙන් මිඳී ජීවත් වීමට තරම් චිත්ත ධෛර්යක් නොතිබි අම්මාට ජීවන ගමන පහසු කරමින් ඇය පිටුපසින් සිටියේ අත්තම්මාය. නංගිලා දෙදෙනාත් මමත් බලා කියා ගනිමින් අම්මාට හිත නිදහස්ව තබාගෙන රැකියාව කරන්නට ඉඩ හසර හදා දුන්නේ ඇයය. වයසින් වැඩී, තුරුණු වියට එළැඹ, වගකීම් දැරිය හැකි රැකියාවක් ලබා ගත් පසුව හෝ අත්තම්මා ඇගේ භූමිකාව හැර යන්නට අකමැති වීම විටෙක වදයක් නොවුණා නොවේ. ඒත් අත්තම්මා ඇසුරෙහි දිවි ගෙවීම සුන්දරය. ඇයට අප තවමත් නොදරුවන්ය. අප විසින් ඇයව ආරක්ෂා කළ යුතු වයසේදීත්, ඇය අපේ ආරක්ෂාව ගැන වද වෙන්නේ එහෙයිනි.

පොත් කීපයක් ගැනීමට උවමනා බව පවසා වේලාසනින්ම දිවා ආහාරය සකස් කොට තබා මා ඇඹිලිපිටියට ආවේ යතුරුපැදි වල මිළ ගණන් විමසා බැලීමේ යටි අදහසක් හිතේ තබාගෙනය. එහෙත් යතුරු පැදි ගැන දැනුවත්භාවයකින් තොරව යතුරු පැදියක් තේරීම අපහසු බව තේරුම් ගන්නට එතරම් කාලයක් ගත නොවුණි. අලෙවි සහායකයා විසින් පැවසූ වදන් අතරින් මට නිවරදිව ග්‍රහණය කරගත හැකි වූයේ ලීටරයකට ධාවනය කළ හැකි කිලෝමීටර් ගණන පමණි. ඊළඟ වතාවේ ගෙදර ගිය පසු අප්පච්චී සමඟ ඒ ගැන කතා කරන්නට සිතමින් මා බසයකට නැග්ගේ හිත තුළ වූ බලාපොරොත්තු අලුත් කරගෙනය.

නිවසට මඳක් එහායින් වූ නැවතුමේදී මා බසයෙන් බැස ගන්නා විට පස්වරු එක පසු වී තිබිණ. උදෑසන වැසි වැටුණ බවක සලකුණක්වත් ඉතිරි නොකරන්නට වග බලාගත් ගිනි කූටක අව්ව දෙපා කඩිසර කළ ද, නළලින් දා බිඳු වැගිරෙන්නට විය. දෙපයින් මුදා ගත් පාවහන් විවෘත ආලින්දයේ කෙළවරක වූ සපත්තු රඳවනයෙන් තබන්නට පෙර ආගන්තුක විලවුන් සුවඳක් නාස් පුඩු ආක්‍රමණය කළේය. උදෑසන දුටු ආගන්තුකයාගේ රුව දෑස් කොනකට අසු වූයේ ඉන්පසුය. මා හිස හරවන විටත් ඔහු සිටියේ සිනහවකින් දෙතොල සරසාගෙනය.

"මේ මිස් මන්තිලක වෙන්නෝනි" ඔහුගේ ගැඹුරු හඬ එතෙක් කිසිවෙකු නොකළ ආමන්ත්‍රණයකින්ම අවදි වද්දී පුදුමයක් නොදැනුණා නොවේ.

"මං සමාධි. සමාධි අප්සරා. මිස්ටර් මදනායකට පහසු නමක් කියන්න සර්නේම් එක නැතුව" දෙතොල් මත වූ සැහැල්ලු සිනහව සඟවන්නට තැත් නොකළ ඔහු අත්තම්මා විසින් ඒ මොහොතේ රැගෙන විත් පිළිගැන්නූ බීම වීදුරුව අතට ගත්තේ ඇයට ස්තූති කරමිනි. ලේන්සුවෙන් දාඩිය පිස දමමින් සිටි මා දෙස බැලූ අත්තම්මා "මං හිතුවෙ ලොකු පුතා එන්න තව පරක්කු වෙයි කියලා" කියමින්ම ගෙතුළට ගියාය. පිරිමි දරුවන් නොමැති පවුලක වැඩිමලිය වූ මට ඉදහිටක හෝ ලොකු දූ කියන්නේ අම්මා පමණි. අප්පච්චීටත් අත්තම්මාටත් ඒ නම නුහුරුය.

"අත්තම්මා මොනාහරි බීලා යන්න ඉන්න කියලා බල කළා. තාම කෑවෙත් නෑ කියලා අම්මා ගියා. මං නැවතුණා" පෙර දැනුම් දුන් වේලාවට පිට්ටනියට ඒමට අපහසු වූ කුඩා පන්තියක දරුවෙකු අහන්නට පෙර නිදහසට කාරණා ගොනු කරන අයුරින් ඔහු ඔහුගේ පැමිණීමත්, රැඳී සිටීමත් පිටුපස වූ තතු හෙළි කළේය.

"ඒක කොච්චර හොඳද" කියවෙන්නට ගියත් ඉක්මනින් වදන් ගිලගන්නට මට හැකිවිය. මා වෙනුවෙන් බීම වීදුරුවක් රැගෙන අත්තම්මා යළිත් එළියට ආවේ එවෙලෙහිය.

"මහන්සිද පුතේ " අසමින් බීම වීදුරුව මා අත තැබූ අත්තම්මා ළඟ තිබුණ ප්ලාස්ටික් පුටුවකින් වාඩි වී මට ඔහුව හඳුන්වා දුන්නාය. අත්තම්මාගේ හඳුන්වා දීමට අනුව ඒ සුනේත්‍රා මැඩම්ගේ බාල පුතණුවන්ය. දකුණු කොරියාවේ රැකියාව කරන ඔහු සති කිහිපයකින් ආපිට යන්නට බලාපොරොත්තුවෙන් පැමිණ ඇති බව පවා අත්තම්මා දැන සිටියාය.

"මිස් සමාධි ට ලියුමක් තිබුණා" අත්තම්මා කතාව අවසන් කරන තුරු සිහින් සිනහවකට දෙතොලේ ලැගුම් ගන්නට ඉඩ දී බලා සිටි ඔහු යාබද ප්ලාස්ටික් පුටුව මත වූ මෙරුන් පැහැ කවරයක බහා ලූ ලිපියක් මා වෙත දිගු කළේය. කවරයේ වර්ණයත්, අත් අකුරුත් හිත නොසන්සුන් කළ ද, මම ඒ බව සඟවාගෙන සිටින්නට උත්සහ කළෙමි.

"අත්තම්මගෙ බීම එක හරි රහයි" කියමින් හිස් වීදුරුව අත්තම්මා අත තිබූ බන්දේසියෙන් තැබූ ඔහු හුන් තැනින් නැඟිට්ටේය.

"එහෙනං යන්න කලින් එන්නකො බත් කටකුත් කාලම යන්න" ඔහුගේ වර්ණනාව මහ ඉහළින් පිළිගත් අත්තම්මා පුටුවෙන් නැඟිට්ටේ තවත් ආරාධනාවක් සමඟය. උඩරට ගැමි ගැහැණියක් වූ අත්තම්මගේ ආගන්තුක සත්කාරය එහෙමය. ගෙට ගොඩවෙන කාට වුවත් තේ උගුරක් හෝ නොබී යන්නට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි.

ඔහුටම අනන්‍ය සිහින් සිනහවකින් අත්තම්මගේ ඇරයුම පිළිගත් ඔහු "මං එහෙනං ගිහින් එන්නම් අත්තම්මෙ. බොහොම ස්තූතියි! සංග්‍රහයට" කියා අත්තම්මාගෙන් සමුගෙන මා අසලට එනවිටත් ඒ සිනහව එලෙසම තිබිණ. අත රැඳි මංගල ඇරයුම්පත විසින් හදවතෙහි ඇති කළ නොසන්සුන්කම සඟවමින් අපහසුවෙන් දෙතොල් මෑත් කර මම ඔහුට සමුදෙන්නට සූදානම් වුණෙමි.

"මිස් සමාධි හවසටත් ජොගින් යනවද"

"මිස්ටර් මදනායක කොහොමද දන්නෙ මං ජොගින් යනවා කියලා. මැඩම් කිව්වද"

"නෑ මං උදේ දැක්කා ජොගින් ගිහින් ත්‍රීවිලර් එකකින් ගෙදර එනවා" කියමින් ඇඟට පතට නොදැනී සරදම් කළ ඔහු "මං අසේල. ඔයා වගේම මාත් කැමතියි සර්නේම් එක නැතුව මගෙ නමින් කතා කරනවට" කියාගෙන සිනාසෙමින්ම යන්නට ගියේය.

"හරිම ගුණ යහපත් දරුවෙක්" ඔහු ගෙතුළට යනතුරු බලා සිටි අත්තම්මා ඒ වනවිට ලියාගෙන සිටි චරිත සහතිකයට අත්සන තැබුවාය. ඊට එරෙහිව කිසිවක් කියා අත්තම්මාව අවුස්සා ගන්නට තරම් ඉස්පාසුවක් මට නොතිබිණ. ඉංග්‍රීසියෙන් ලිපිනය ලියා තිබූ අත් අකුරු අතරෙහි මොහොතකට දෙනෙත් නැවතිණ. පෙරදින රැයෙහි වට වැස්ස අමතක කරවමින් මුදුන් වූ හිරු යළිත් දාහය රැගෙන විත් තිබිණ. ගම් වලින් නොඇලවුණ ලියුම් කවරයේ කෙළවරක් ඇඟිල්ලෙන් ඉහළට එසවිණ. කොහේදෝ සිට හමා ආ සුළඟක් උඩු තොල මත රැඳි දා බිඳු රැගෙන ගියේය.

"මඟුල් කාඩ් එකක්ද පුතේ" ඇසූ අත්තම්මා පිළිතුරක් බලා නොසිටම කුස්සියට ගියාය.

තුනී කඩදාසි කවරයේ සිරව සිටි ඇරයුම්පතේ රන් පැහැයෙන් මුද්‍රිත අකුරු අතරේ කලබලයෙන් ඇවිද ගිය නෙත් එක් තැනක නැවතිණ. පෙරටත් වඩා සිසිල් සුළඟක් ආලින්දය හරහා හමා ගියේය.

"බඩගිනි නැද්ද පුතේ. දැන් දෙකටත් ළඟයි" අත්තම්මාට පෙර ඇගේ කුළුණුබර හඬ ගෙතුළින් මතුවිය.

"බඩගිනියි අත්තම්මෙ. වෙනදටත් වඩා බඩගිනියි. මං නාලා එනකල් අත්තම්මා බත් බෙදන්නකො" කියාගෙන මිදුලේ වනා තිබූ තුවායත් රැගෙන මා නාන කාමරයට යන විටත් හිත මහා සැහැල්ලුවකින් පිරී තිබිණ.

සිව්වෙනි තත්සර මුසුවට එකතු වෙමු

No comments:

Post a Comment