Saturday, April 30, 2016

සකුරා පැරදවූ නිල් මානෙල්


අප්රේල් විසි නවය (ඊයේ ) ජපානයේ නිවාඩු දිනයකි.ජපානයේ වෙසෙන රැකියාවක් කරන ශ්රී ලාංකියකයෙකුගෙන් එදින රාත්රී භෝජන සංග්රහයක් සදහා ඔහුගේ නිවසට පැමිණෙන ලෙස ජපානයේ ශ්රී ලංකා ශිෂ් ප්රජාව නියෝජනය කරන අපට ආරාධනාවක් ලැබී තිබුනි. මුලින් මා ඊට එතරම් කැමැත්තක් නොදැක්වූයේ ඔය විවිධ ස්ථල වල රැකියා කරන මෙරටේ වෙසෙන ඇතැම් ශ්රී ලාංකිකයින් කෙරෙහි වූ අපැහැදිලි චිත්රය නිසාය. නමුත් කලකින් නුදුටු හිත මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදී මේ දිනවල පවතින උග් මානසික ආතතිය මදක් සමනය කරගැනීමට ඇති අවස්ථාව අහිමි කරගන්නට නොසිතූ මා තවත් මිතුරියක් සමග ගමනට සහභාගී වුණෙමි.
පෙර කතිකා කරගත් තැනකට එක් රැස් වී අප අදාල නිවස වෙත ළඟා වූයේ රාත්රී හතට විනාඩි කිහිපයකට පෙරය. සීනුව නාදකල පසු කළුපාට දිග කලිසමකට ඉදිරිපස කොටසේ කළු සහ ක්‍රීම් පැහැ ත්‍රිකෝණ මෝස්තරයක් තිබූ තද කොළ පැහැ අත්දිග කමීසයක් හැඳ සිටි පොකුටු හිසක් තිබූ මැදිවියේ මිනිසෙකු සිනහමුසු මුහුණින් පැමිණ අපට දොරටුව විවර කළේය. එය තරමක් විශාල දොරක් වූ නිසත් අපේ පිරිස තිහ හතලිහක් වූ නිසාත් අප සියළු දෙනාම ඇතුළු වන තුරු තරමක කාලයක් ඔහුට දොර අල්ලාගෙන ඉන්නට සිදුවිය. ඔහුට පෙර නිවසේ සාලයට ඇතුළු වූ අපට ලංකාවේ නිවසකට ඇතුළු බව දනවන්නට බිත්තියේ එල්ලා තිබූ  චිත්‍ර වලට හැකිවිය. අප එහි යනවිට අපට ආරාධනා කළ නිවසියා සමග එකම ආයතනයක සේවය කරන තවත් ශ්රී ලාංකිකයින් කිහිප දෙනෙක්ද එහි පැමිණි සිටියහ.

ඉඩකඩ ඇති අයුරින් සෑම දෙනාම අසුන්ගෙන සතුටු සාමීචියේ යෙදෙන්නට පටන්ගෙන සුළු මොහොතකින් තොල කට තෙමා ගැනීමට කැමති දෙයක් තෝරාගන්නට අපට ඇරයුම් ලැබිනි. විශාල කෑම මේසයක් මත ඇපල් යුෂ, දොඩම් යුෂ, මිදි යුෂ හා වීදුරු තබා තිබූ අතර මේසය අසල වූ කුඩා ස්ටූලයක තවත් නා නා ප්රකාර හැඩයෙන් සහ පැහැයෙන් යුත් වීදුරු බෝතල් හා කෑන් විශාල ගනනක්ද තිබුනි. පුරුෂ පාර්ශවය වෙත ඇදෙමින් සිටියදී මා අර පෙර සදහන් කල පොකුටු හිසක් තිබූ මැදිවියේ මිනිසා අපට අප කැමති මොනවාදැයි අසමින් බීම වත්කර දීමට යුහුසුළු විය. ජපානයේ ඕනෑම සාදයක් අරඹන්නේ සියල්ලන්ම බීමට යමක් අතට ගත්පසු එක් අයෙකු තම වීදුරුව ඔසවා "කම්පායි" (cheers)  කී පසු අනෙක් අයද එක හඩින් "කම්පායි" කියා සිය සතුට සහ මිත්රශීලිත්වය වීදුරු එකිනෙක ගැටී නංවන සිහින් නාදයක මුසුකල පසුය.


කම්පායි කිරීමෙන් පසු අප යලිත් කතාබස් වල නැගී විවිධ දිශාවන්ට යමින් සිටියදී තම තමන්ට තම තමන්ව හදුන්වා දීමේ අවස්ථාවත් සමූහ ජායාරූපයකට පෙනී සිටීමට අවස්ථාවත් උදා වූ නිසා කතාබස් යලි අතරමග නැවතුනි. කෑමට ආරාධනා ලැබුනේ ජායාරූප ගැනීමෙන් අනතුරුවය. ජපානයේ රෙස්ටොරන්ට් එකක් කරන ශ්රී ලාංකිකයෙකුට අපට කෑම සැපයීමේ අවස්ථාව උදා වී තිබූ අතර ඔහු හැකි ලෙස අපිට අපේ රස මතක් කරවන්නට උත්සහයක් ගෙන තිබුනි. රතු බත්, ඉදි ආප්ප, කොත්තු, බිත්තර ආප්ප, කරවල බැදුමක්, පොල් සම්බෝලයක් සහ කට්ට සම්බෝලයක් තුලින් අපිට අපේ කෑමක රසය මතක් කරවන්නට ඔහුට හැකිවිය.. අප සියළු දෙනාම කෑම ගත්තද අර කොළ පැහැ කමීසයක් හැදි මැදිවියේ මිනිසා අඩුපාඩු බැලීමේ නිරත වූවා මිස කෑමට වාඩි වූයේ නැත. වාඩි වෙන්නට ඉඩකඩත් තිබියදී, කෑම මේසයේ අඩුපාඩු බැලීමට කේටරින් සර්විස් එකේ සේවකයින්ද සිටියදී ඔහු කෑම නොගෙන සිටීම අපෙ හිතට කණස්සල්ලක් එක් කර තිබුනි. අප ඔහුගෙන් ගැන විමසා සිටියේද එනිසාය. "කට්ටියම කෑවට පස්සෙ මම  කනවා. එතකොට හිත සතුටින් පිරිලා" කියා අපට පිළිතුරු දුන් ඔහු රාත්රී දහයත් පසු වී අප නිවසින් එළියට එනතුරුත් කෑමට වාඩි වූයේ නැත.

ඔහු සමග ජායාරූපයක් ගන්නට එහි ගිය කිසිවෙක් අමතක නොකල අතර සිනාමුසු මුහුණින් සියළු ජායාරූපවලට පෙනී සිටීමද ඔහුට කරදරයක් වූ බව පෙනෙන්නට නොතිබුනි. අපට රසවත් ආහාර වේලක් භුක්ති විදීමට මෙන්ම එකිනෙකා දැන හදුනාගෙන කතා කරන්නට  ඉඩ සැලසීම ගැන ස්තූති කර අප නිවසින් එළියට එනවිට යලිත් දොර අසල සිටගෙන අප එකිනෙකාට වෙන වෙනම ස්තූති කරමින් අඩුපාඩුවක් වූවානම් ගැන කණගාටුව පල කරන්නටත් අමතක නොකල පොකුටු හිසක් හිමි කොළ පැහැ කමීසයක් හැද සිටි සුන්දර මිනිසා නමින් " ධම්මික ගංගානාත් දිසානායක” ය. මහාචාර්ය ගංගානාත් ජපානයේ වත්මන් ශ්රී ලංකා තානාපතිවරයාය.
කලකින් මුණ ගැසුන දෙපයින් පොළවේ සිටගත් මේ අපූරු මිනිසා ගැන ලියා තබන්නට සිතුවේ එක යායට පිපෙන සකුරා සුවඳට වඩා තදින් තනිව පිපුණ නිල් මානෙල් මලේ සුවඳ හදවතට දැනුන නිසාය.

පසු සටහන : ඔහු තානාපතිවරයා ලෙස හෝ ඊට පෙර හෙඹවූ තනතුරු වලදී රාජකාරි කළ ආකාරය ගැන  කිසිදු  තොරතුරක්  නොදන්නා අතර මේ ලියා තැබුවේ ඊයේ සාදයේදී මා දුටු අපූරු මිනිසා ගැන පමණි

14 comments:

  1. ජපානයේ තානපති විදියට "ධම්මික ගංගනාත් දිසානායක"පත් කිරීමේ හොඳක් තියෙන්නේ ජපන් සමාජය ගැන ඔහු තුල තියෙන දැනුවත් බව කියා මට හිතෙනවා.ඔහු පුවත්පත් වලට ලියන ලිපි වල මා කියවා තියෙනවා ජපානය සමගින් ඔහුගේ තියෙන සම්බන්ධකම් ගැන ලියවුනු ලිපි එහෙම.මේකත් දේශපාලන පත්වීමක් වුනත් මේ විදියට ඒ රට ගැන දන්නා,ඒ රටේ ඉන්න අපේ මිනිස්සු ගැන වෙහෙසෙන,හිතන කෙනෙක් තානාපතිව සිටීම හොඳයි.

    මෙන්න මම අර ඉස්සෙල්ලත් කිව්වා එක එහෙනම් අමතක නොකර කියන්න අක්කේ තානාපතිතුමාට.

    "එයා අර ඉරිදා ලංකාදීප පත්තරේට ලියන "පැණි වළලු"තීරු ලිපිය අපි කියවනවා කියලත්"

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. තමා දූත මෙහෙවරේ යෙදෙන රට, ඒ රටේ භාෂාව, මිනිස්සුන්ගෙ ස්වභාවය සිරිත් විරිත් වගේ දේවල් හොදින් හදුනන කෙනෙකු එහෙම තනතුරකට පත්වෙන්නෙ කලාතුරකින්. ඔහුගෙ ආගමනය ගැන මෙහෙ ඉන්න හැමෝගෙම හිතේ තියෙන්නෙ ලොකු සතුටක්.

      ඒ හැමදේටම වඩා වටින්නෙ ඔහු දෙපයින් පොළවේ සිටගත් අපේකම හොදින් හදුනන සරල මනුස්සයෙකු වීමයි. තමන්ගෙ නිවසට එන හැම අමුත්තෙකුටම එකකාර සැලකුමක් ගෞරවයක් දෙන්න පුළුවන් මනසක් තියෙන පුද්ගලයො ඉහළ තනතුරු වල ඉන්නවා දකින්නට ලැබීමට භාග්‍යක්. මේ මට මුණ ගැහුන එකම තානාපති හෝ මුල්ම තානාපති නොවන නිසා වෙනස ලොකුවට දැනෙනවා.
      ඔයාගෙ පණිවිඩේ අවස්ථාවක් ආවොත් අනිවාර්යෙන්ම ලබා දෙනවා.

      Delete
  2. ඔබේ ලිපියේ තියන යුනිකෝඩ් අකුරු සහ, කමෙන්ට් වල තියන අකුරු අතර, යම් වෙනසක් තියනවා. ලිපියේ යුනිකෝඩ් අකුරු, යම්කිසි විකෘති බවක් සහිතව පෙන්වනවා. උදාහරණයක් වශයෙන්, ශ්‍රී යන්න පෙන්වන්නේ, ශ්රී යනුවෙන්. ප්‍රකාර යන්න පෙන්වන්නේ, ප්රකාර යනුවෙන්. නමුත් කමෙන්ට් වලදී ඒ ප්‍රශ්නය නැහැ. මේ ගැන සොයාබලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එහෙම ගැටළුවක් තියෙන බව පෙන්නලා දුන්නට. මේ කමෙන්ට් එක දැකලා මම මේක මගේ පරිගණකයෙන් බැලුවා. ඒකෙ අකුරු වල ගැටළුවක් පේන්නෙ නෑ. පස්සෙ ෆෝන් එකෙන් බැලුවා. එත්ස්කොට ඔබ කියන විදිහට තමයි ඒ වචන පෙනුනෙ.
      ඒක හදන්න පුළුවන් දෝෂයක්ද නැත්නම් යුනිකෝඩ් අපි කියවන ඩිවයිස් එක අනුව වෙනස් වෙනවද කියලා තේරෙන්නෙ නෑ.
      ඒත් මම බලන්නම් ඒකට කරන්න දෙයක් තියෙනවද කියලා.
      ස්තූතියි ඔබට

      Delete
  3. දම්මික ගංගනාත් සර්ගේ පැණි වලලු පැණි වලළු තරම්ම රසයි කියන් අක්කේ..

    කැම්පස් ගිය පළවෙනි දවසේ අපිව පිළි අරන් ඒ වැඩසටහන කෙනෙක් මෙහෙව්වා... අපි හැමෝම හිතුවේ ඒ සීනියර් කෙනෙක් කියලා.. පස්සෙ දන්නේ ඒ ගංගනාත් සර් කියලා.. හැමෝ එක්කම සුහඳව කතාබහ කළා..

    ReplyDelete
    Replies
    1. දැන් පණිවිඩ දෙකයි. ආයෙ වෙසක් එකට තමා මුණගැහෙන්න ඉඩක් තියෙන්නෙ. ඒකට ගියොත් පණිවිඩ දෙකම දෙන්නම්.
      ඇත්තටම ඔහු බොහොම නිහතමානි කෙනෙක්. කැම්පස් එකේදි මුණගැහුනනා නම් මට එහෙම ලොකුවට වෙනසක් දැනෙන එකක් නෑ එතන හැමෝම වගේ මහ පොළොවෙ ජීවත්වෙන නිසා.
      නමුත් මෙහෙ ඇම්බැසියෙ උදවියගෙ ස්වරූපය බොහොම වෙනස්. ඉස්සර වගේම දැනුත් අනිත් අයගෙ වෙනසක් නෑ. ඒ නිසාමද කොහෙද මේ වෙනස මට විතරක් නෙවෙයි එතනට ගිය හැමෝටම දැනුනා.
      දැන් කාලෙ අපේ ගමේ දානෙ ගෙදරකට ගියත් ගෙදර මිනිස්සු ඒ තරම් ඕනැකමකින් තමන්ගෙ අමුත්තො හොදට කෑවද බිව්වද කියලා හොයලා බලන්නැති වෙයි.

      ස්තූතියි! නිර්මාණි ඔයාගෙ අත්දැකීමත් එකතු කරාට. ඔයා තාම කැම්පස්ද?

      Delete
  4. පැණි වළලු පොත කියවලා වහ වැටුනෙක් මි.ඔහුගේ සදා තරුණ අදහස් සහිත තුරුණු හිත නිසා මෙසේ හැසිරෙතැයි සිතමි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අනුමානය බොහෝ දුරට හරි ඇති ගස් ලබ්බ.
      ඒත් ගොඩක් වෙලාවට අපි අකුරු අතරින් හඳුනාගන්න මිනිස්සු සැබෑ ජීවිතයෙදි ඊට හාත්පසින්ම වෙනස්නෙ. මහාචාර්ය ගංඟනාත් ඔහුගෙ අකුරු අතරින් පෙනෙන අපූරු ලේඛකයාටත් වඩා සොඳුරු මිනිසෙක් කියලයි මට හිතෙන්නෙ.

      ඔහුත් ශිෂ්‍යයෙක් විදිහට මේ රටේම හිටපු නිසා හරි ජිවිතේ සෑහෙන කාලයක් වැඩිහිටි ශිෂ්‍ය පරපුරක් එක්ක ගණුදෙනු කරලා තිබුන නිසා හරි ඔය ඔක්කෝමත් ඇතුළුව ඔහු සතු අත්දැකීම් සම්භාරය සහ ඔහු තුල ඇති නිහතමානිත්වයත් නිසා ඔහු නිහඩවම අපිට බොහෝ දේවල් කියා දුන්නා. ඔහු නිවරදිව හදුනාගෙන තිබුනා නිළ දූත මෙහෙවරේ යෙදෙන්නෙ ඔවුන් උනත් මේ රටේ සිටින ශිෂ්‍යයින් ඊට වඩා ලොකු නොනිළ දූත මෙහෙවරක යෙදෙන බව.

      Delete
  5. සතුටුයි ඔහු සිටිනා තැන ගැන . මට මතකයි ඔහුගේ බ්ලොග් එකක් තිබ්බා වගේ . ඒත් දැන් හෙව්වට හම්බුනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔහුට ඒ තැන ලැබීම ගැන සතුටක් මෙහෙ ඉන්න හැමෝගෙම වගේ හිතේ තියෙනවා.

      ඔහුට ඒ තනතුර නෙවෙයි ඒ තනතුරට ඔහුව බොහොම හොදින් ගැලපෙන නිසා ඉදලා හිටලා හරි අපේ රටේ තීන්දු තීරණ ගන්න උදවිය ගත්තු තීරණයක් ගැන සතුටු වෙන්න පුළුවන්
      ඔහුගෙ බ්ලොග් එක හොයාගත්තොත් කියන්න. මම ඒ බවක් දැනන් හිටියෙ නෑ.
      මට එහෙන් ආවටත් පස්සෙ තමයි මතක් උනේ බිතිතියේ තිබුන චිත්‍රත් ඔහුම ඇදපුවා වෙන්නැති කියලා

      Delete
  6. "පැණි වළලු"තීරු ලිපියෙන් තමයි මමත් ඔහු හඳුන ගත්තේ...

    ජපානයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයටද මොහු විශාල දායකත්වයක් ලබා දුන් බව මගේ මිතුරියක් විසින් ෆේස් බුක් ගිනුමේ කල සටහනකින් සහ පින්තූර රැසකින් දැක ගන්න ලැබුනා... හමුවී නැති වුනත් ඔහු සොඳුරු මිනිසෙක් බව පේනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි ඔහු මේ පහුගිය 24 වෙනිදා තිබුන අවුරුදු උත්සවයෙදිත් මහ පොළවෙ ඉදන් ලොකු සහයෝගයක් දීලා තියෙනවා.

      කොහොමත් මෙහෙ අවුරුදු උත්සවය කරන්නෙ තානාපති කාර්‍යාලයෙන්. ඒ කියන්නෙ වියදම් ( ඒ කියන්නෙත් ආපහු අපේ සල්ලිනෙ ).මෙහෙ ශ්‍රී ලාංකිකයින්ගෙ එක එක සංගම් තියෙනවා, Professional association, Automobile association, Ladies association, Student association වගේ. කොහෙත් වෙනවා වගේ මෙහෙදිත් ශිෂ්‍ය සංගමය තමයි අනෙකුත් වෘත්තිකයන්ගෙ සහ තානාපති කාර්‍යාලෙ සහය ඇතුව මහ පොළවෙ ඔය කටයුත්ත සංවිධානය කරන්නෙ සහ දරදිය අදින්නෙ. අනෙක් සංගම් වලිනුත් සහයක් ලැබෙනවා.

      නමුත් වෙනදට පෙරහැරේ යන්න විතරක් එන තානාපති වෙනුවට මේ පාර කොට ඇදීමේ සිට පෙරහැර මෙහෙයවීම දක්වා සියළු වැඩ වලට අපේ මේ මහ පොළවෙ පය ගහලා ඉන්න අලුත් තානාපතිතුමා දායක වෙලා තියෙනවා. ඒක ඇත්තටම ලොකු සතුටක්. ඔහු අනෙක් අයටත් නිහඩවම බොහෝ දේ උගන්වමින් ඉන්නවා.

      Delete
  7. සඳමාලි අක්කට අපේ සර් හම්බෙලා නේද? ඔහු අපි පලමු වසරේ ඉන්නකොට කිව්වා ඔහුගේ ජීවිතයේ එක සිහිනයක් ජපන් තානාපති වෙන එක කියලා. තෙවන වසරෙදි අපේ අනාගත බලාපොරොත්තු ඇහුවා. අපි මැරිල ආයෙ කොහේ ඉපදෙන්න ද කැමති ඇහුවා. අපි එක එක උත්තර දීලා අන්තිමට මං ඇහුවා සර් කැමති කොහේ ඉපදෙන්න ද කියලා. උත්තරය වූනේ මං කැමතියි වෙන ෂීරපතයක උපදින්න කියලා. එතුමා තම සිසුන්ටත් බොහොම සුහදශීලී විදිහට සැලකුවා. මමත් බොහොම කැමති ගුරු ආචාර්ය වරයෙක්.

    ආයේ සර් හම්බුනොත් කියන්න ජපුරේ මාස්කොම් කරපු සර්ගෙ දෘශ්‍යාබාධිත ගෝලයා මතක් කලා කියලා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මහාචාර්යවරයෙකුගෙන් ඉගෙන ගන්න ලැබුණ ඔයාලා හරි වාසනාවන්තයි කසුන්. අපිටත් හිටියා මේ වගේ අපූරු ගුරුවරයෙක්.

      ඒ වගේම සතුටුයි මේ හැබෑවෙලා තියෙන්නෙ ඔහුගෙ හීනයක් කියලා දැනගන්න ලැබීම. මං හිතනවා ජපානෙයි ලංකාවයි අතර ලොකු සබඳතාවක් ඇති කරන්න අපේ තානාපතිතුමාට හැකිවෙයි කියලා.

      මට එදා ඔහුව මුණ ගැහුනෙ පළවෙනි වතාවට. ඉස්සරහදි ආයෙ එහෙම අවස්ථාවක් ලැබෙයිද දන්නෑ.

      Delete