Saturday, May 28, 2016

සකුරා සුවඳ 10 (පෙනෙන-නොපෙනෙන-සැමට එක ලෙස)


සකුරා සුවඳ 1 (පිවිසුම )
ජපානයේදී නිරන්තරයෙන්ම විවිධාකාරයේ Differently abled (විවිධ හැකියාවන් සහිත ) පුද්ගලයන් දැකිය හැක. මෙසේ නිරන්තරයෙන් මෙවැනි පුද්ගලයින් ඇහැ ගැටීමට ඇති ප්රධානම සාධකය ඔවුනට ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට ඇති හැකියාවයි. අපේ රට ඇතුළු අප වැනිම වූ බොහොමයක් අනෙක් රටවලද මෙවැනි පුද්ගලයෙකුට තනිව ගමනක් බිමනක් යා නොහැක. ඔවුන්ට නිවසින් එළියට යන්නට නම් වෙනත් කෙනෙකුගේ උදව් අත්යවශ්යය.මේ හේතුව නිසාම ඔවුන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නට වන්නේ නිවස තුලමය. එනිසා අපට අපේ රට තුලදී මඟ තොටකදී එවන් පුද්ගලයින් මුණ ගැසෙන්නේ ඉතා අඩුවෙනි.
කාලයක් තිස්සේ එකම වෙලාවක එකම මාර්ගයක ගමන් කරන විට එකම පුද්ගලයින් මුණ ගැසීමේ ඉඩකඩ වැඩිය. එනිසා මට දිනපතාම හමුවන බොහෝ දෙනෙකු ඇත. අතර සුවිශේෂි පුද්ගලයින් පස් හය දෙනෙකු ඇත. ඉන් එක් අයෙකු දෙපා බිම තබා ඇවිද යා නොහැකි මැදිවියේ මිනිසෙකි. ඔහු බසින්නේ මා දුම්රියට නගින ස්ථානයෙනි. ඊළඟ දුම්රිය පොළෙන් බැස්ස පසු මට හමුවන පුද්ගලයින් අතර කාල වර්ණ බලු තඩියෙකු සමග එන තරුණ කාන්තාවක්, රෝද පුටුවකින් එන අවුරුදු විස්සක විසි එකක පෙනුමැති කුඩා තරුණියක් සහ සුදු සැරයටියකින් එන තරුණයෙක්ද ඇත. ඇතැම් දිනවල සුදු සැරයටියෙන් යන එන  කිහිප දෙනෙකුම මුණ ගැහෙන අවස්ථාද ඇත. නමුත් විශේෂත්වය අර බල්ලෙකු සමග යන කාන්තාව හැර සියල්ලන්ම තනිව තම ගමන යාමත් ඔවුන්ද අන් සියල්ලන්ම මෙන් පොදු ප්රවාහන සේවා යොදා ගැනීමත්ය.

සෑම දුම්රිය මැදිරියකම "Priority seat" නමින් වෙන්කල ආසන හයක් ඇත. ඒවා Differently abled people, මහළු, ගැබිනි සහ කුඩා දරුවන් සමග එන මඟීන්ටය. බස් රථ වලද ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම පාහේ වෙන්ව තිබෙන්නෙ විශේෂිත පුද්ගලයින්ටය. කොහොමත් බස්වල මේ ඉදිරි කොටසේ වැඩි ආසන ගනනක් නොමැති අතර වැඩි ඉඩකඩක් සපයා ඇත්තේ ළදරු කරත්ත, රෝද පුටු ආදියටය.
Priority seats-train


මේ රටේ පාරේ ගමන් කිරීමේදීද වැඩිම වටිනාකමක් ලැබෙන්නේ පයින් යන මඟීන්ටය. ඊළඟට පාපැදිය. වාහන වල ගමන් කරන අයට හිමිවන්නේ අවසන් ස්ථානයයි. ප්රධාන පාරට සමාන්තරව පදිකයින් සදහා වෙනම මං තීරු ඇති අතර තෝක්යෝ අවට ප්රදේශ වල මේ සදහාද පුළුල් මංතීරු ඇත. බොහෝවිට ඒවාද පාපැදි හා පදිකයින් සදහා වෙනම කොටස් දෙකකට බෙදා තිබුනත් තෝක්යෝවෙන් බැහැර ප්රදේශ වල ඇත්තේ එතරම් විශාල නොවන එක් මං තීරුවකි. මේ නිසා රෝද පුටුවකින් යන එන අයට මෙන්ම සුදු සැරයටියේ ආධාරයෙන් යන එන අයට පාරේ යන රථ වාහන වලින් අනතුරක් සිදුවීමට ඉඩකඩක් නැත. Differently abled පුද්ගලයෙකු පොදු ප්රවාහන සේවා භාවිතා කරන විට, බසයක නම් රියදුරු මහතාගෙනුත්, දුම්රියකදී දුම්රිය ස්ථානයේ සේවය කරන අයෙකුගේ සහයත් මේ පුද්ගලයින්ට ලැබේ. රෝද පුටුවක් දුම්රියට හෝ බසයකට ඇතුළු කිරීම සදහ ඔවුන් අකුලා තබාගත හැකි කුඩා ආධාරකයක් භාවිතා කරයි. සෑම බසයකම රියදුරු අසුනට පිටුපසින් මෙය ඇති අතර දෙපයින් සිට ගැනීම අපහසු  අයෙකු රියට නැඟීමට හෝ රියෙන් බැසීමට ඇත්නම් රියදුරු  මුලින් පුද්ගලයා රියට නංවා ගැනීම හෝ බැස්සවීම කරයි. කාර්ය අවසන් වන තුරු අනෙක් මඟීන් නංවා ගැනීමද සිදු නොකරයි.
බසයකට නැඟිමට තබන ආධාරකය -අන්තර්ජාලයෙන්
දුම්රියකට නැඟීමේදී අදාල දුම්රිය ස්ථානයේ සේවකයෙක් මේ පහසුකම සපයා පුද්ගලයා පැමිණෙන දුම්රිය අංකය හා මැදිරි අංකය පුද්ගලයා බැසීමට බලාපොරොත්තු වන දුම්රිය ස්ථානයට ලබාදේ. එවිට දුම්රිය නවත්වන වේදිකාවේ අදාල මැදිරිය අසලට සේවකයා පැමිණ පුද්ගලයාට අවශ් සේවාව සලසයි.
සෑම උදෑසනකම මට මුණගැසෙන මැදිවියේ පුද්ගලයා පැමිණෙන දුම්රිය මැදිරිය වෙත මා සදහන් කළ ආධාරකය රැගෙන යන නිළධාරියා
සෙසු මඟීන් මෙන්ම තමන්ගෙ පාඩුවේ තමන්ගෙ රාජකාරිය වෙත යාමට විදුලි සෝපානය දෙසට යන සෑම උදෑසනකම මට මුණගැසෙන ධෛර්යවන්ත මිනිසා




දුම්රියෙන් බැසගත් පසු බොහොමයක් දුම්රිය ස්ථාන වල විදුලි සෝපාන ඇති නිසා වෙන කෙනෙකුගේ උදව්වක් නොමැතිව ඉන් එහාට ගමන යා හැකි වුවත්  විදුලි සෝපාන නොමැති කුඩා දුම්රිය ස්ථාන වලදී වේදිකාවෙන් පිටවීමට හෝ වේදිකාවට නැඟීමට දුම්රිය සේවකයෙකුගේ සහය යලිත් අවශ් වේ.එවන් අවස්ථා වල පියගැට පෙළේ අත්වැටට සවිකල ගැජට්ටුවක් භාවිතයෙන් රෝද පුටුවක් ඉහළට හෝ පහළට ගෙන යන අවස්ථා දැක ඇතත් එවන්නක් ජායාරූපගත කරන්නට සිත් නොදෙන නිසා පැහැදිලි කිරීමට අන්තර්ජාලයෙන් ගත් රූපයක් අමුණා ඇත.



පියගැට පෙළෙහි ඇති ගැජට්ටුව
පියගැට පෙළෙහි ඇති ගැජට්ටුව භාවිතා කරන ආකාරය-අන්තර්ජාලයෙන්







මා මෙතෙක් සදහන් කළේ දෑස් හොදින් පෙනෙන ඇවිදීමට බැරි පුද්ගලයින් සදහා ඇති පහසුකම්ය. ඇවිද යා හැකි වුවත් දෑස් සම්පූර්ණයෙන්ම හෝ අඩ වශයෙන් නොපෙනන බොහෝ දෙනෙකුද මේ සමාජය තුල ජීවත්වේ. ඔවුන්ටද ඔවුන්ගේ දෛනික රාජකාරි සදහා කිසිවෙකුගේ උදව උපකාරයක් නොමැතිව යා හැකි තත්වයක් මෙහි තිබේ.

මේ සදහා පදික මං තීරු, පදික මාරු, බස් නැවතුම, දුම් රිය ස්ථාන, පියගැට පෙළවල්, විදුලි සෝපාන ආදී එකී මෙකී නොකී සෑම ස්ථානයකම තම සැරයටියේ හෝ පාදයේ ආධාරයෙන් හදුනාගත හැකි මාර්ග සලකුණු වර්ගයක් මුළු ජපානය පුරාම ඇත. ඊට සරිලන සිංහල වචනයක් මා දන්නේ නැත. ඉංග්රීසියෙන් ඒවා හදුන්වන්නේ Tactile Ground Surface Indicators (TGSI)/ Tactile paving  යනුවෙනි. මෙය මුල්වරට ජපන් ජාතිකයෙකු වන සෙයිඉචි මියාකේ නම් පුද්ගලයා විසින් හදුන්වා දී  ඇත්තේ 1965 දීය. දෙවන ලෝක යුද්දයේ අතුරු ඵල සෘජුවම රටේ ආර්ථිකයට බලපාන, එසේත් නොමැතිනම් ලෝක යුද්දය අවසන් වූ පසු ඉපදුන දරුවන් රටේ ශ්රම බලකායට එකතු වූ කාලය නිසා මෙවැනි ක්රමවේදයක අවශ්යතාවය ලෝකයේ අන් සෑම රටකටම වඩා ජපානයට දැනෙන්නට ඇත.  මෙය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජපානයේ "ඔකයමා" යන ප්රදේශයටය. 1967 දීය. නිසා මේ ස්පර්ශයෙන් ගමන් දිශාව හදුනාගත හැකිවන  TGSI හදුන්වා දීම වැදගත් වන්නට ඇත. සෙන්ටි මීටර් 30-40 වැනි පළලකින් යුක්ත කහ පැහැති තීරු ජපානයේ සෑම තැනකම දැකිය හැක. ජපානයේ පාර මාරු වීමට ඇත්තේ කහ ඉරි නොව සුදු ඉරිය. එනිසා මේ කහ ඉරි අපේ කහ ඉරට හාත්පසින්ම වෙනස්ය.
                     පාර මාරු වීමට ඇති සුදු ඉරත්, මා සදහන් කළ කහ ඉරිත් මෙහි බලාගත හැක



ඉහත ජායාරූපය හොදින් නිරීක්ෂණය කළහොත් කහ ඉර තුල, දික් අතට  කුඩා තීරු ආකාරයේ ඉලිප්පීමක් හා කුඩා ගැටිති ආකාරයේ ඉලිප්පීමක් ලෙස දෙයාකාරයක් දැකගත හැක. මේ දික් අතට ඇති තීරු හැමවිටම පෙන්වන්නේ යායුතු දිශාවයි. තීරුවල අර්ථය "ඔහොම කෙලින් ඉස්සරහට යන්න" යන්නය. අර රවුම් ගැටිති ඇත්තේ එතනින් එහාට විශේෂත්වයක් ඇති විටය. උදාහරණයක් ලෙස ඉහත ජායාරූපයේ ඇති කහ තීරුව ගත් විට, එහි මුලින් ඇති රවුම් ගැටිති මෙතැන පදික මාරුවක් හෝ වෙනත් විශේෂත්වයක් ඇතිබව හඟවයි. ඉන්පසු ඇති දික් තීරුව ඉදිරියට යාමට පාර පෙන්වා යලිත් පාරට සමාන්තරව ඇති රවුම් ගැටිති වලින් එතනින් එහාට යාමට පෙර සැලකිලිමත් විය යුතු බවට අනතුරු හඟවයි.

මේ ජායාරූපයේ ඇත්තේද ස්ථානයමයි. මේ කුඩා කහ ගැටිති තීරුවේ කෙළවර පාර මාරුවීමට උවමනා විට එබිය යුතු  බොත්තම බලාගත හැක. මේ බොත්තම එබූ විට පාර මාරුවීමට කොළ එළි දැල්වෙද්දී කුරුළු නාදයක් වැනි ශබ්දයක් නිකුත් වේ. එයින් ඇස් නොපෙනන පුද්ගලයාට දැන් තමාට පාර මාරු විය හැකි බව දැනගත හැක.


මේ එස්කැලේටර් වලට පෙර ඇති කහ ඉරෙහි ගැටිතිද නිශ්චිත පියවට ගනනට පසු එස්කැලේටරය ඇති බව හඟවයි. හැම විටම මේ කහ ඉර හා එස්කැලේටරය පටන් ගන්නා තැනට ඇති දුර සමානය. මේවා ආධාරයෙන් ගමන් කරන පුද්ගලයින් අපට වඩා ගැන දැනුවත් නිසා ඔවුන්ට කරදරයකින් තොරව ගමන් බිමන් යා හැක.මේ කහ ගැටිති තීරුව හා පඩිපෙළෙක් අතර ඇත්තේ එය හා එස්කැලේටරය අතර තිබෙන දුරට වඩා වෙනස් දුර ප්‍රමාණයකි. ඉන් එතැන ඇත්තේ පඩිපෙළක්ද එස්කැලේටරයක්ද යන්න හදුනාගත හැකි බව මගේ අනුමානයකි.ඒ බව ඉහත ජායාරූප දෙක පහත ජායාරූපය හා සසදා තේරුම් ගත හැක.දික් අතට ඇති තීරු හා රවුම් ගැටිති වලින් ලබාදෙන සංඥාද ඒ පහත ජායාරූපයෙන් තවදුරටත් තේරුම්ගත හැක.


මීට ඉහළින් ඇති ජායාරූපයේ පාර මාරුවන සුදු ඉර මැද ඇති කහ ඉරද බලාගත හැක.

මේවා පාසැල්, විශ්ව විද්‍යාල, රෝහල් ආදී ස්ථාන වලද මෙලෙසම දැකිය හැක. පහළින් ඇත්තේ අපේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලය හා කෞතුකාගාරය අසලදී ගත් ජායාරූපයකි.


පහළින් ඇත්තේ දුම්රිය ස්ථානයක ඇතුළත ජායාරූපයකි. එහි සිව් දිශාවටම විහිදෙන කහ ඉරි බලාගත හැක. ඒ, ඒ දිශාවල ටිකට් කවුළු හෝ පිටවීම් ඇතිබව පෙන්වීමටය.

දුම්රිය වේදිකාවේ ඇත්තේ කහ ගැටිති සහිත ඉරකි. එය හා දුම්රිය මාර්ගය අතර දුර නිශ්චිත නිසාත් දුම්රියේ දොර අසලද කහ ඉරක් ඇති නිසාත් සුදු සැරයටියෙන් යනෙන පුද්ගලයින්ට ඒවා හදුනාගෙන අනතුරකට ලක් නොවී දුම්රියට නැඟීමත් බැසීමත් කළ හැක.


                                                               උමං දුම්රිය වේදිකාවක
මේ පහළින් ඇති පිංතූරයෙන් විදුලි සෝපානය දෙසට ඇති Tactile line බලාගත හැක
විදුලි සෝපානය අසලත්, එහි ඇතුලතත් ඇස් නොපෙනෙන පුද්ගලයින්ට Brail ක්‍රමයට කියවාගත හැකි ලෙස යතුරු පුවරු සකසා ඇත.

මේ ඉරි මෙසේ කහපාටින් ඇත්තේ පරිසරයේ අනෙකුත් වර්ණයන්ගෙ කැපී පෙනීමටය. මේ කැපී පෙනීම සම්පූර්ණයෙන්ම ඇස් නොපෙනෙන අයෙකුට ප්රයෝජනවත් නොවුනත් යන්තමින් පෙනෙන අයට  සැරයටියේ උපකාරයකින් තොරව පාර හොයා ගැනීමටත් පහසුවක්ය. මේ ඉරි මෙසේ කහපාටින් දැකිය හැක්කේ පොදු ස්ථාන වල හා පාර දෙපසය. නමුත් සමහර ගොඩනැගිලි ඇතුළතින් වැටී ඇති පාරවල් වලදී ඒවා බිමෙහි පාටටම හෝ පාටම තරමක් තීව් වූ ලෙස දැකිය හැක.



මෙසේ 1967 දී මුල්වරට ජපානයේදී ක්රියාත්මක කළ TGIS 1990 දශකයේදී ඇමරිකාව, එංගලන්තය, ප්රංශය, කැනඩාව, ඕස්ට්රේලියාව වැනි රටවලටත්, පසුව සිංගප්පූරුව, තායිතන්තය, චීනය, දකුණු කොරියාව, ඉන්දියාව වැනි රටවලටත් ව්යාප්ත වූ බව අන්තර්ජාලයේ සදහන්ය.


සෑම දුම්රිය ස්ථානයකම ඇතුළතත්, බොහෝවිට පිටතත් ඒ අවට ඇති විශේෂිත ස්ථාන, සෙසු දුම්රිය ස්ථාන ආදිය දක්වන සිතියමක් ඇත. මා නම් බොහෝවිට ගූගල් දෙවියාගේ පිහිට ගැනීමට පෙර මේ සිතියමේ පිහිට පතන්නේ අපට යාමට ඇති ස්ථානයට යාමට නම්, පිටවිය යුතු ගේට්ටුවද මේ සිතියම් වල සදහන් නිසාය. ඇස් පෙනෙන අපද එවන් සිතියම් භාවිතා කරන්නේ නම් ඇස් නොපෙනෙන අයට අපටත් වඩා එය අත්‍යවශ්‍යය. පහතින් ඇත්තේ මා දිනපතා යන එන දුම්රිය ස්ථානයේ දෑස් නොපෙනන අය වෙනුවෙන් ඇති මා සිතියමක් යැයි උපකල්පනය කරගෙන සිටින පුවරුවකි.බොහෝදුරට මෙය දුම්රිය ස්ථානයෙහි සැලැස්ම පෙන්වන්නක් වීමට ඉඩ ඇතැයි අනුමාන ක්ළ හැක්කේ  එහි එස්කැලේටර්, එලිවේටර්, වැසිකිලි ආදිය ඇති ස්ථාන පෙන්වන ඇති නිසාය.





ජපානයේදී ආබාධිත පුද්ගලයින් හෝ දරුවන් නිවසට කොටු වී සිටිය යුතු පිරිසක් නොවේ. එවන් දරුවන්ටද අනෙකුත් දරුවන්ට මෙන්ම ඔවුන්ට ගැලපෙන ආකාරයේ ක්‍රමවේදයකට ඉගෙන ගැනීමේ පහසුකම ඇත. අපේ පුතා මෙහි සිටි කාලයේ පාසලින් පසු සවස් කාලය ගතකලේ පාසල අසලම ඇති පාසැල් වයසේ දරුවන් සදහා වන දිවා සුරකුමක් වැනි ස්ථානයකය. පාසැල් මෙන්ම රජයෙන් නඩත්තු කරන මේ ආයතන හදුන්වන්නේ "ගකුදෝ" නමිනි (ඒ ගැන වැඩි විස්තර හරි පුදුම ඉස්කෝලෙ සමග ). ආබාධිත දරුවන් සදහා වන විශේෂ අධ්‍යාපනය ලබාදෙන පාසලක්ද ඒ කිට්ටුවක තිබුනි. මේ නිසා එහි ඉගෙන ගන්නා සමහර දරුවන්ද නිවසේ කිසිවෙකුත් නැති සවස් කාලය ගත කළේ මා පෙර සදහන් කළ ගකුදෝ එකේය. එහිදී ඒ දරුවන්ට අමුතු කොට්ඪාශයකට මෙන් සැලකීමක් කරන බවක් දක්නට නොලැබුනි. ඔවුන්ද ඒ සමාජයේ කොටසක් නිසා ඔවුන්ද අනෙකුත් ළමුන් සමග එකට සෙල්ලම් කරමින් සිටිනු මට බොහෝවිට දක්නට ලැබුනි. අපේ පුතා වුවත් නිවසට ආ පසු ඒ දරුවන් ගැන විශේෂ සදහනක් නොකළ බව මට මතකය.

මට දිනපතා උදෑසන එකම වේලාවට මුණගැසෙන සියළු දෙනාම යන්නේ ඔවුන්ගේ රැකියාවටය. උපතින්ම හෝ පසුකලක සිදු වූ අනතුරු නිසා ආබාධිත වු කිසිවෙකුට ඒ හේතුව නිසා සමාජයෙන් වෙන්ව ජීවත් වීමට අවශ්‍ය නැත. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මෙන් මෙහි ඇති ප්‍රාදේශීය පරිපාලන කාර්‍යාල හදුන්වන්නේ "සිටි ඔෆිස්/ වෝඩ් ඔෆිස්" යනුවෙනි. මා ආ ගිය වෝඩ් ඔෆිස් තුනක් ඇත. ඒ තුනෙහිම ආබාධිත පුද්ගලයින් සේවය කළ බව මට මතකය. එක් ඔෆිස් එකක හොදින් ඉංග්‍රීසි බස හැසිරවිය හැකි එකම පුද්ගලයා වුයේද එවන් නිළධාරියෙක් නිසා මට ඔහුව හොදටම මතකය. ආබාධිත පුද්ගලයින් විසින්ම පවත්වාගෙන යන මා දන්නා වෙළදසැලක්ද ඇත. ජපානයේ මෙලෙස ආබාධිත පුද්ගලයින් සදහා රැකියා තහවුරු කරන්නේ කෝටා ක්‍රමයක් මඟිනි.
මඟ තොට තනිව ඇවිද යා හැකිනම්,යන එන සෑම තැනකම තමාට භාවිතා කළ හැකි ආකාරයේ වැසිකිලි-කැසිකිලි ඇත්නම්, ඉගෙන ගන්නට, මුදල් ඉපයීමේ නිරත වන්නට, කඩේකට ගොස් උවමනා දෙයක් මිළට ගන්නට හැකිනම්, ඔවුන්ටම අනෙක් අය මෙන්ම,තමන්ද  මේ සමාජයේ, කොටස් කාරයින් බව දැනෙනවා ඇත.

කැමති අයෙකුට මේ ලිපිය කියවා ජපානයේ ආබාධිත පුද්ගලයින්ගෙ රැකියා නියුක්තිය ගැන අවබෝධයක් ලබාගත හැක.
වැසි දිනක- දුම්රිය ස්ථානයක