Monday, April 20, 2020

විල්තෙර අද්දර 1 - පූර්විකාව






රාත්‍රී නවයට තවත් අඩ හෝරාවක්වත් ඉතිරිව නැතත් බටහිර අහස මත සිත්තම් මවන හිරු බැසයන සූදානමක් නැති හැඩය. හීනියට රළ නඟන පොකුණු දිය මත පෙම්සුව විඳින කුරුළු ජෝඩුව වෙතින් දෑස් මුදා නොගෙනම අත රැඳි කඩදාසි මිටිය රවුම් මේසය මත තැබූ ඇය අසල වූ පුටුවකට බර වූයේ සැහැල්ලුවෙනි. දහවල චණ්ඩ හිරු රැසින් හේබා ගිය තුරු වැල් සිප සැනසිලි බස් දොඬන ගිම්හාන  සුළඟේ දැවටී ආ කපුචිනෝ සුවඳ රහසක් කෙඳිරුව ද, ඇය හැරී බලන්නට ඉක්මන් නොවූවාය.

 "මං පරක්කු වුණාද" 

ඒ හඬ ඇසෙන තුරුම හිස එසවීම පමා කළ  ඇය  සිහින් මන්දස්මිතයක් රැඳි දෙතොල් සොලවන්නට මත්තෙන් කෝපි කෝප්ප දෙක ඈ ඉදිරියෙන් තැබූ ඔහු බලහත්කාරයෙන්ම යාබද අසුන අත්පත් කර ගත්තේය.
 
"ලියලා ඉවර කරාද" බැස යන සූදානමක් නැති හිරු රැස් හා හරි හරියට කාන්තිය විහිදුවන දෙනෙතේ ඔහුට උවමනා පිළිතුර ලියවී තිබියදීත්, ඔහු ඇගේ හඬ අසන්නට උත්සුක විය.

හ්ම්

"මොකද මේ බස්සි වගේ හ්ම්...හ්ම්....ගාන්නෙ" අසමින් මේසය මත වූ කඩදාසි මිටිය අතට ගත් ඔහු එහි වූ ඇමිණුම් කටුව ගලවා ඇගේ කෙස් අතරෙහි රඳවමින් නැඟිට්ටේ සිනාසෙමිනි.
 
කැරොලයින් විජේවර්ධන අනුස්මරණ රන් පදක්කම: 2018 වර්ෂයේදී පවත්වන ලද වෛද්‍යවේදී හා ශල්‍යවේදී උපාධි අවසන් පරීක්ෂණයේදී වෛද්‍ය විද්‍යා විෂයෙන් විශිෂ්ඨතම සාමාර්ථය ලැබූ ශිෂ්‍යයාට වෛද්‍ය රොහාන් විජේවර්ධන මහතා විසින් පිරිනමන කැරොලයින් විජේවර්ධන අනුස්මරණ රන් පදක්කම.....” අත රැඳි මුද්‍රිත කඩදාසියෙන් ජේදයක් හඬ නඟා කියවාගෙන ගිය ඔහු නැවතත් ඇය අසලින් අසුන් ගත්තේ "ඔයා මේක Convocation එකෙන්ද ඉවර කරන්න හදන්නෙ" අසමිනි.

"ඇයි එතන නෙවෙයිද මේ කතාව නවත්තන්න තියෙන හොඳම තැන? මං මගේ ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස එදා" දිව අග නළියන පිළිතුර පිට පනින්නට පෙර කෝපි කෝප්පය අතට ගත් ඔහු යන්තමින් අඳුරෙහි ගිලෙන ඈත මිටියාවතට සිනාසෙනු ඇගේ දෑසට මඟහැරුණි.

" ඔයා කියන්නෙ එතනින් නවත්තන්න එපා කියලද?" කෝපි උගුරකින් දෙතොල් තෙමාගත් ඇය හඬ අවදි කරන විටත් ඔහු සිටියේ මිටියාවත සමඟ කළ ගණුදෙනුව අහවර නොකරය. 

"ඊට කලින් මට කියන්න ඔයා මේ හැමදෙයක්ම අනුත්තර ට කියන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියලා"

"මං අනුත්තරගෙන් ආපස්සට මොකුත් බලාපොරොත්තු වෙන්නෑ. ඒත් ඇත්ත දැනගන්න එයාට අයිතියක් තියෙනවා කියලා මං තාමත් විශ්වාස කරනවා

"ඔයාගෙ කැමැත්ත ඒකනම් මං ඔයාට උදව් කරන්නම්. හැබැයි ඔයා මේකෙ ලියලා තියෙන්නෙ මොනාද කියලා කියවන්නැතුව මට එකපාරට ඔයා අහපු දේට උත්තර දෙන්න අමාරුයි" කියමින් ඔහු අතැති කඩදාසි ගොන්න පෙරලා බලමින් නැඟිට පොකුණ අද්දරට ඇවිද ගියේය. එකිනෙකාගේ තටු පිරිමඳිමින් තවමත් පෙම්සුව විඳින කුරුළු ජෝඩුව දෙසට තවත් වරක් නෙත් යොමුකළ ඇය අසුනින් නැඟිට්ටේ පිටව යන්නටය. පොකුණ වටා ඇවිදිමින් ඇගේ අකුරු අස්සේ අතරමංව සිටි ඔහු ළඟ ළඟම දැනෙන මෘදු විලවුන් සුවඳ හිත පුරා විඳිමින් දෑස් ඔසවන විටත් ඇය සිටියේ ඔහුගේ අත බැඳි ඔරලෝසුව සමඟ අතීත මතක සක්මනකය.

"ඔයා ගිහින් නිදාගන්න. මං මේක කියවලා හෙට උදේට ගෙනත් දෙන්නම්" දෑසින් පමණක් එකඟතාව පළකළ ඇය වදනකුදු නොදොඩාම  ආපිට හැරුණාය. කෙටි පියවර තබමින් හෝටල් පරිශ්‍රය වෙත ඇවිද යන ඇය දෙස නෙත් නොපියවා බලා උන් ඔහුට අත වූ කඩදාසි ගොන්නෙන් කිහිපයක් දෑත් අතරින් රූරා ගොස් පොකුණු දිය මත පතිත  වූ බව වැටහුණේත්, ඈ හිස හරවා ආපිට බැලුවේත් ඒ සිව්නෙත් එකම රේඛාවකදී මුණ ගැසුනේත් එකවරය.
ගිම්හාන කාළයට දිවා රෑ නොබලා ගී ගයන සතුන්ගේ හඬ මොහොතකට නැවතුණි. යළිත් උදෑසනින්ම පැමිණෙන පොරොන්දුව මත හිරු අවරගිරෙන් සැඟව ගියේය. තත්පර කටුව සුපුරුදු වේගයෙන් වට ගණනාවක්ම පසුකළ වග දෙදෙනාටම නොදැනුණි. එකිනෙක ගැට ගැහුණු සිව්නෙත් තිබුණේ ලොවට රහසින් දොඩමළුවය. හදිස්සියේම සිහිපත් වූ යමක් ඇගේ දෙතොලතර මන්දස්මිතයක් තැවරුවේ දෙදෙනාටම අතීතයේ සොඳුරු මං මාවත් ඔස්සේ ඇවිද යාමට ප්‍රමාණවත් කාලයක් ලබාදීමෙන් අනතුරුවය.

"ඔයාගෙ ෆැමිලි එක කවද්ද මෙහෙ එක්ක එන්නෙ" සිනහව අතරින්ම විමසූ ඇය ඉදිරියට තැබූ පියවර පසුපසට ගනිමින් ඔහුට ළං විය.

"මොකටද?. එදාටත් රස කේක් එකක් හදලා තියන්නද?" දඟකාර සිනාවක් අඳුරු අහස් කුස දෙසට පා කරමින් ඔහු මිමිණුවේය.

"මට ආසයි ඔයාගෙ ෆෝන් ස්ක්‍රීන් එකේ ඉන්න සුරංගනාවිව චුට්ටක් තුරුළු කරගන්න"
"අනුන්ගෙ ළමයි තුරුළු කරගන්න හීන දකින වෙලේ නරකද දැන්වත් පිළිවෙලක් වෙන්න බැලුවොත් " කියමින් ඔහු හඬ නඟා සිනාසුණේය. ඒ  නෙත රැඳි නෝක්කාඩුව ගණන් නොගෙනම තවත් මඳ වේලාවක් ඒ සිනහවෙන්ම ඇගේ කේන්තිය ඇවිස්සූ  ඔහු "මං කැමතියි ඔයා ඒ අවසානෙ වෙනස් විදිහකට ලියනවනම්. කොහොමත් ඔයාගෙ හිතේ තිබ්බ අවසානෙ දැන් වතුරෙනෙ " කියමින් පොකුණෙහි පාවෙන කඩදාසි කිහිපය නෙතඟින් පෙන්වා ඇගේ හිස මත රැඳවූ ඇමිණුම් කටුව ගලවා අතට ගත්තේය.

"ඔය කොළයක් දෙකක් වතුරට වැටුණට මොකද මං හැමදෙයක්ම සේව් කරගෙන ඉන්නෙ" කියා සිනහවකින්ම ඔහුට පිළිතුරු දුන් ඇය එතනින් නික්ම ආවේ හිරු සැඟව යනතුරු ඉවසිල්ලේ බලාසිටි සඳරැස් පොකුණු දිය මත පාවෙමින් තිබූ සුදු කඩදාසියේ නැවුම් සිත්තමක් අඳින්නට ඒ වනවිටත් පටන්ගෙන ඇති බව නොදැනය.

මතු සම්බන්ධයි!

No comments:

Post a Comment