Friday, May 1, 2020

විල්තෙර අද්දර - 12 : එකොළොස්වෙනි මතක සක්මන




නැන්දාත් මමත් මියුරු අක්කාත් ගෙදර තනිවූයේ බොහෝ කාලයකට පසුය. ඉදිකට්ට පසුපස ඇමිණී එන නූලක් මෙන් නිවසට පැමිණි සෑම දිනකම පාහේ රොෂාන් අයියා ද මියුරු අක්කා පිටුපසින් ඉන්නට වග බලාගත් නිසා ගෙවුණ දෙවසර තුළ එවන් අවස්ථා ලැබුණේ සීමිතවය. ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත්තේ මියුරු අක්කාය. නැන්දාගේ රැවුම් ගෙරවුම් මැද්දෙන්ම සිය නැන්දණියගේ සහ නෑණන්ඩියන්ගේ උද්දච්ච හැසිරීම් හාස්‍යට ලක් කරමින් සිනාසුණ ඇය "අම්ම රැව්වට මං පොඩ්ඩිත් එක්ක මේවා කිව්වට අඩු ගාණෙ ෂාන් එක්කවත් මුකුත් කියන්නෑ. දැනෙන්නෑ වගේ ඉන්නවා මිසක්. වෙන ගෑණියෙක්නම් මෙලහකට කෙහෙවළු පටලන් කසාදෙත් කඩාගෙන" කියමින් නිහඬ වූවාය.

සිය දියණියගේ රුචි අරුචිකම් හා ගලපමින් නැන්දා දානයක් සකසන්නාක් මෙන් පේ වී සකස් කළ දිවා ආහාරය ඇගේ අතින්ම කවා ගත් මියුරු අක්කා ඉන්පසු ඇගේ උකුළ මත හිස තබා නිදාගන්නට හදද්දීම දුරකථනය නාද විය.

"කවුද බලන්නකො පොඩ්ඩි. අයියනම් ඔයා ආන්සර් කරලා මං නිදි කියන්න"

"අයියා නෙවෙයි මාමා"

"එහෙනං ඔය පොඩි දුව නැතුව සාංකාවට වෙන්නැති. ආන්සර් කරලා බලන්නකො..........ගත්තු ගමන් අහාවි පොඩි දුව කෝ කියලා" සිනාසෙමින් ඇමතුමට සම්බන්ධ වුවත් කලබලයෙන් කතා කළ මාමා ට ඉක්මනින්ම නැන්දාට කතා කරන්නට උවමනා විය.

"කවද්ද?, අදද? දැන් මොකද කරන්නේ වැනි නැන්දාගේ මුවින් පිටවන වදන් අසල කලබල වූ මියුරු අක්කා හිස කෙලින් කර සෝෆාවට හේත්තු විය.

"සුමේධා ආන්ටිගෙ අම්මා නැති වෙලාලු. තාත්තා කියනවා අපිට මේ දැන්මම තියෙන බස් එකක එන්නලු" ඇමතුමට සමුදී දුරකථනය මියුරු අක්කා අතට දුන් නැන්දා ඇගේ සමීපතම හිතවතියගේ මවගේ මරණය ගැනත්, මාමාගේ ඉල්ලීමත් අපට දැනුම් දුන්නේ එලෙසය.

"අනේ අම්මෙ. ආව එකේ තව දවසක් ඉදලම යන්නකො " සන්ධ්‍යාවේදී ගීත් අයියා එන බව පවසා තිබීමත් පසුදාට යෙදෙන ඔහුගේ උපන්දිනයත් නිසා මටත් උවමනාව තිබුණේ ගමන දවසකින් කල් දමන්නටය. එහෙත් මාමාගේ තීරණයක් අභියෝගයට ලක් කරන්නට ඇති නොහැකියාවට වඩා අකමැත්ත ප්‍රබල වී නිහඬව හිඳින්නට හිතට අවවාද කළේය.

"දන්නවනෙ තාත්තගෙ හැටි. කියන දේ ඇහුවෙ නැත්තන් ආයෙ තනියම එවන එකකුත් නෑ. ඉස්සරහටත් සැරින් සැරේ ඇවිත් යන්න වෙන නිසා අපි දැන්ම ලෑස්ති වෙලා යන්නම් පුතේ"

"එහෙනං පොඩ්ඩිව තියලා යන්න. මල්ලි බෑ කිව්වොත් මං ෂාන් ට කියන්නම් ගිහින් දාන්න කියලා" මුලින් කිසිසේත්ම ඒ යෝජනාවට එකඟ කරගත නොහැකි වූ නැන්දා මියුරු අක්කා ඇයට ඇති අපහසුතා එකින් එක ගෙනහැර දක්වද්දී "එහෙනං තාත්තගෙන් අහන්න" කියමින් ඇගේ අකමැත්තක් නැති බව දැනුම් දුන්නාය. මාමාට ඇමතුමක් දී මේ දිනවල තමා උයන කිසිවක් කෑමට පිරියක් නොමැති නිසා දින කිහිපයකට මා එහි නවතා ගැනීමට අවසර ඉල්ලූ මියුරු අක්කා කන් කෙඳිරි ගෑම් මාලාවකට පසුව අවසානයේදී ඇගේ ඉල්ලීම ජය ගත්තාය. මගේ පරිස්සම ගැන සියයට සියයක් වග කියන බවට මියුරු අක්කාගෙන් ලැබුණ පොරොන්දුව පිළිගෙන නැන්දා පිටව ගියේ අවවාද හා උපදෙස් කන්දකින් මාව වටකර තබමිනි.

පසුදිනට යෙදී තිබුණ ගීත් අයියාගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක් සෑදීමේ උවමනාව මුල සිටම හිතේ තිබුණත් නැන්දා පිටව ගියපසු ඒ අදහස අත්හරින්නට මට සිදුවිය. රොෂාන් අයියාගේ සරදම් වලට ලක්වීමට ඇති අකමැත්තටත් වඩා අවන් එකක් හැරෙන්නට වෙනත් කලමනා කිසිවක් සොයාගත නොහැකි මියුරු අක්කාගේ කුඩා මුළුතැන්ගෙය තුළ මට උවමනා නිදහස නොමැති වීම ඊට මූලිකම හේතුව විය.

ගීත් අයියා නිවසට පැමිණියේ මියුරු අක්කාත් මමත් උයමින් සිටියදීය. "අම්මා කෝ" අසාගෙන කුස්සිය දෙසට එන්නට හැරුණ ඔහුව නවතාගත් රොෂාන් අයියා නැන්දා පිටව ගිය බවත් ඊට හේතුවත් පැවසීය.

"ඉතින් ඇයි මට කතා කරේ නැත්තෙ"

"ගොළුවෙක් එක්ක යනවට වඩා කන පැලෙන්ඩ සිංදුවක් දාපු බස් එකක යන එක සැපයි කියලා පොඩ්ඩි තමයි කියන්න එපා කිව්වෙ" මියුරු අක්කාත් මමත් සිනහව සිරකරගෙන සිටියේ අපහසුවෙනි.

"අක්කා කෝ" කේන්තියෙන් කිසිවක් පවසනු ඇතැයි බලා සිටියද රොෂාන් අයියාගේ වදන් මායිම් නොකළ ඔහු කුස්සියට එබෙමින් ඇසුවේය.

"උඹට දත් මිටිත් එක්ක කන්ඩ තේ හදනවා" කියමින් ඔහු පසුපසින් ආ රොෂාන් අයියා දොර ළඟ නතරව උන් ගීත් අයියාගේ දෙවුරට දෑත් තබමින් පැවසීය. අඳුරුව තිබූ දෑස් මා ළඟින් නතර වූ සැණින් දීප්තිමත් වුවත් ඔහුට ඒ බව සඟවන්නට අවැසි විය.

"අම්මා ගියානම් මෙයා මොකද මෙහෙ"

"ඇයි එයා මෙහෙ නවතින්න උඹෙන් අවසර ගන්නෝනිද?"

"ඇත්තටම අම්මා කෝ" එවරද රොෂාන් අයියාගේ සරදම් කනකට නොගත් ගීත් අයියා මියුරු අක්කාගෙන් විමසුවේ නැන්දා මා එහි තනිකොට පිටව නොයන බව ඔහුට ඉරහඳ තරමට විශ්වාස නිසා වන්නට ඇත. මියුරු අක්කාගේ පිළිතුර ද වෙනසක් නොවූ තැන මාමාට දුර්කථන ඇමතුමක් දී නැන්දා ගිය වග තහවුරු කරගත් ඔහු ගෙතුළට ගියේ "මට එහෙම බෑ ඔය එක එක්කෙනාව ගිහින් දාන්න" කියාගෙනය.

"මටත් ලයිසන් එකක් තියෙනවා මස්සිනා" ඔහු පසුපසින් ගිය රොෂාන් අයියා උස් හඬින් පවසනවාත් කාමරයක දොරක් හයියෙන් වැසී යනවාත් අප අසා සිටියේ සිනාසෙමිනි.

සෙනසුරාදාවක් වූ පසුදින මා අවදි වී මුළුතැන්ගෙට යනවිටත් මියුරු අක්කලාගේ කාමරයේ විදුලි පහන් දල්වා තිබිණ. ගීත් අයියාගේ උපන් දිනය ඇගේ මතකයේ නොතිබෙන්නට හැටියක් නැතත් ඒ වෙනුවෙන් කිසිවක් කිරීමට සූදානමක් නැති බව මම පෙර දින සිටම දැන සිටියෙමි. තේ සෑදීමට කලබල නොවී මුලින්ම කිරිබත පිළියල කිරීමට මා තීරණය කළේ මියුරු අක්කා එළවළුවක් බතක් උයා ගැනීමට වැඩි යමක් කරන්නේ කලාතුරකින් බව දන්නා නිසාය.

"ඔයා කිරිබතුත් හැදුවද?" මිටිකිරි දමා කිරිබත කලවම් කරමින් සිටියදී අපහසුවෙන් කුස්සියට ආ මියුරු අක්කා රයිස් කුකර් එකට එබී බලමින් ඇසුවාය.

"හ්ම්.....තව චුට්ටයි. මේක හදලා ලුණු මිරිසක් තැලුවහම ඇතිද? නැන්දා හදාගෙන ආව ඇඹුල් තියලුයි චොකලට් කේකුයි තියෙනවා. අයියා ඊයෙ හවස ගෙනාව කෙසෙල් ඇවරියත් දැන් ගාණට ඉදිලා"

"ඔයා පව් පොඩ්ඩී. මට පොල් ගාන සද්දෙත් ඇහුණා. ඒත් එකපාර නැඟිටින්න අමාරුයි පොඩ්ඩි. නැතිනම් මං පොල් ටික ගාලා දෙන්න හරි එනවා" කියමින් හිස අතගෑ මියුරු අක්කා විදුලි කේතලයට වතුර පුරවා පේනුවට සම්බන්ධ කර "ඔයා ඕක හිමින් කරන්න පොඩ්ඩි. අද අපි දෙන්නම වැඩට යන්නෑ. සෙනසුරාදා නිසා මල්ලිත් ඉඳියිනෙ" කියමින් ෆ්‍රිජ් එකේ තිබුණ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට්ටුවක් ගෙන ඒ අසලම තිබුණ හාන්සි පුටුවෙන් වාඩි වූයේ හිත පුරා නැවුම් බලාපොරොත්තු ගොන්නක් පීදෙන්නට ඉඩ හරිමිනි.

"ඇත්තටම මං කිරිබත් කන්න ආසාවෙන් හිටියෙ. දැන්නම් සුවඳටම බඩගිනි ඇවිස්සෙනවා"

"එහෙනං ඔයා ඕකත් අරන් සාලෙට යන්නකො. මං තුන්දෙනාටම තේ හදලා ගෙනත් දෙන්නම්. හැබැයි කෑම මේසෙ ලෑස්ති කරලා කතා කරනකල් එන්න බෑ මේ පැත්තෙ" දෑස් සිහින් කරගෙන මොහොතක් මා දෙස බලාසිටි මියුරු අක්කා හුන් තැනින් නැඟිට කම්මුලෙන් ඇද සිනාසී සාලයට ගියේ "උඹ ඉතින් අද මොන ගැටයක් දාලා හරි අර කොල්ලා යාළුකරගන්නවා කියලා මං දන්නවා" කියමිනි.

තේ කෝප්ප තුන මියුරු අක්කාට බාර දී මා මුලින්ම කළේ කෑම කාමරය දෙසට එන දොර වසා දැමීමයි. ගීත් අයියා වැරදීමකින්වත් නොපැමිණෙන බව විශ්වාස වුවත් ඒ විශ්වාසයම රොෂාන් අයියා කෙරෙහි තැබීම උගහටය.

කිරිබතෙන් කොටසක් ගෙන තුනී කර කෑලි කපා කේක්, කෙසෙල් සහ රත්කළ මාළු ඇඹුල් තියලෙන් කොටසක් සමඟ කෑම මේසයෙන් තබා ආ මට වැඩිම වේලාවක් ගත වූයේ රාත්‍රියේ බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් පසු හිතට ආ අදහස ක්‍රියාවට නැඟීමට උවමනා තනි පාට පැතලි පිඟානක් සොයා ගැනීමටය. විනාඩි ගණනාවක උත්සහය අපතේ ගිය පසු ඒ සඳහා මියුරු අක්කාගේ උදව් පැතීමට මට සිදුවිය.

"මොකද්ද කරන්න හදන්නෙ" මගේ උවමනාවට සරිලන නිල් කටරොළු මලක පැහැයට බොහෝ සමීප පැරණි පිඟානක් සෝදා පිස දමමින් ඇය සඟවාගත නොහැකි කුතුහලය පිට කළාය.

"පොඩ්ඩක් වාඩි වෙලා බලන් ඉන්නකො"

නිවෙන්නට තැබූ කිරිබත් වලින් පිඟානයේ මැද 21 ඉලක්කම නිර්මාණය කරන තුරුම මගේ අණ පිළිපදිමින් නිහඬව සිටි මියුරු අක්කා "වාව්" කියමින් නැඟිට මා වැළඳ ගත්තේ සෑබෑවටම හදවත තුළින්ම නැඟි සතුට නොසඟවා පළ කරමිනි.

"චුට්ටක් ඉන්නකො දඟලන්නැතුව මේක තව ඩෙකරේට් කරලා ඉවර නෑ"

"ආයෙ මොනවද කරන්න හදන්නෙ" කුඩා පොලිතීන් බෑගයකට, කෑලි නොසිටින සේ උම්බලකඩ හා තක්කාලි මිශ්‍ර කර වංගෙඩියේ තැලූ ලුණු මිරිස පුරවමින් මම නැවතත් ඇයව නිහඬ කරන්නට බැලුවේ ඇගේ කෙලිලොල් හඬ රොෂාන් අයියා එහි කැඳවීමට තරම් ප්‍රබල බව අත්දැකීමෙන් දන්නා නිසාය.

"වඩුවගෙ ගෙදර පුටුව නෑ වගේ මියුරු බේක් හවුස් අයිතිකාරිගෙ ගෙදර නොස්ල් එකක්වත් නැති හැටි" කියමින් ලුණු මිරිස් ටික බෑගයේ කෙළවරකට තල්ලු කර සිහින් සිදුරක් සිටින සේ කොන කපා දමා 2කේ ඉලක්කමේ මැද සිට 1කේ ඉලක්කමේ මැද දක්වා සිටින සේ පිඟානයේ පහළින් HAPPY B’DAY අකුරු ටික අතේ හුරුවෙන් පයිප් කරනා මා දෙස පුදුමයෙන් බලා සිටි මියුරු අක්කා අවසානයේදී අතින් මුව වසාගෙන හඬ පිටවීම පාලනය කරගත්තාය.

"මේකනම් මාර ක්‍රියේටිව් පොඩ්ඩි. ඔයා කොහෙන්ද මේවා ඉගෙන ගත්තෙ. මට ඔය වයසෙදි ඔහොම එකක් තියා හරියට කිරිබතක්වත් හදාගන්න බෑ "

"වෙන කොහෙන්ද නැන්දගෙන් මිස"

"අම්මද කිව්වෙ මෙහෙම කරන්න කියලා"

"නෑ අනේ. නැන්දා ඉතින් කේක් වලට එක එක වැඩ දාන හැටි කියලා දෙන නිසා මටත් දැන් හුරුයි හිතලා එක එක දේවල් කරන්න. කේක් එකකුත් හදන්න බැරි වෙච්ච එකේ මොනාද කරන්නෙ කියලා හිත හිතා ඉද්දි මෙහෙම කරානම් හොඳයි හිතුණා. ඉතින් මං පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා "

"කේක් එකකට වඩා මල්ලි මේකට සතුටු වෙයි. ඔන්න බලන්නකො මං බොරුද කියන්නෙ කියලා"

"සතුටු වෙනවද කියලා හරියටම දැනගන්න නම් මේක මං හැදුවා කියලා නොකියා ඉන්නෝනි. මොකද කියන්නෙ අපි මස්සිනාලා දෙන්නවම අන්දමුද?"

"ෂාන් ව ඇන්දුවත් අපේ එකාවනම් මට ෂුවර් නෑ. කමක් නෑ අපි ට්‍රයි එක්ක දීලා බලමුකො" කී ඇය මගේ යෝජනාවට එකඟ විය.

ගීත් අයියාගේ කිරිබත් පිඟාන පමණක් සඟවා තබා පිඟන් තුනක් සමඟ මා කෑම මේසය සූදානම් කර කුස්සිය අස්කරන තුරු ගේ අතුගෑ මියුරු අක්කා කාමරයට ගියේ "ටක් ගාලා වොෂ් එකක් දාගෙන එන්න. මට කිරිබත් බඩගිනියි" කියාගෙනය. රොෂාන් අයියාත් සමඟ සාලයේ කතාබහක නිරතව සිටි ගීත් අයියා මා එතනින් එද්දී හිස හරවා බැලුවේය. ඔහුගේ උපන් දිනය මතකයේවත් නැති අයුරින් කාමරයට පැනගත් මා ඇඟ පත දොවාගෙන පහළට එනවිටත් මියුරු අක්කා ඔවුන්ට එක්ව සිටියාය.

"යං" කියාගෙන ඉස්සර වූ මියුරු අක්කා හයදෙනෙකුට අසුන්ගත හැකි මේසයේ වම්පැත්තේ පුටු දෙකෙන් දකුණු පැත්තෙන් වූ පුටුව පස්සට ඇද රොෂාන් අයියාට වාඩි වෙන්නට ඉඩ හැර නෙතඟින් මට ඉදිරි අසුන පෙන්නුවාය. හිටගෙනම කෑම මේසය පුරා නෙත් යැවූ ගීත් අයියා අවසානයට රොෂාන් අයියාත් මාත් වාඩි වී සිටි අසුන් දෙකට මැද්දෙන් මේසයේ වම් කෙළවරේ වූ පුටුව පස්සට ඇද්දේය. සෝදා, තෙත මාත්තු කර එක උඩ අසුරා තිබූ පිඟන් තුනෙන් දෙකක් රොෂාන් අයියාත් මාත් ඉදිරියෙන් තැබූ මියුරු අක්කා අවසන් පිඟාන අතට ගෙන ගීත් අයියා දෙසට දිගු කර පසුව සිනාසෙමින්ම එය ඇය ළඟින් තබා ගත්තාය.

"එතකොට මං කන්නෙ මේකෙන් වෙන්ඩෑ" කියමින් කොටු කපා අසුරා තිබූ කිරිබත් පිඟානට අත තැබූ ගීත් අයියා "විකාර නොකර ඕක මට දීලා පිඟනක් ගේනවකො අක්කෙ. බඩගිනියි" කීවේ යකා එළි බහින්නට සූදානම් වග අප දෙදෙනාටම අඟවමිනි.

"ඉන්නවා පොඩ්ඩක් කුලප්පු නොවී" කියා එතනින් නැඟිට ගිය මියුරු අක්කා මගේ කිරිබත් සැරසිල්ල දෝතින්ම ගෙනවිත් ගීත් අයියා ඉදිරියෙන් තැබුවේ "ඔන්න අක්කගෙ සර්ප්‍රයිස් එක. ඔයා දන්නවනෙ මට අම්මට වගේ කේක් වැඩ බෑ කියලා" කියමින් කොණ්ඩය අවුල් වන සේ ඔහුගේ හිස පිරිමඳිමිනි. ඉඟ වටා අත යවා ඇගේ කුස මත මොහොතක් හිස හොවාගෙන සිටි ගීත් අයියා එක්වරම මා දෙස බැලුවේය. ඉක්මනින් බිම බලාගත් මට මා ඉදිරියේ වූ පිඟානේ දාරයේ වූ මල් මෝස්තරය තරමටවත් ඔහුගේ දෑස් මත ඇඳි සිත්තම ග්‍රහණය කරගත නොහැකි විය.

"ෂහ්.....මං හිතුවට වඩා මගේ කෙල්ල දක්ෂයිනෙ. මං හිතන් හිටියෙ අම්මගෙන් ඇවිත් තියෙන්නෙ මූණයි කොණ්ඩෙයි විතරයි කියලනෙ" රොෂාන් අයියාගේ ඇගයීම ඉදිරියේ මියුරු අක්කා සිනාව සිරකරගෙන සිටින අයුරු බලන්නට හිස එසවීමෙන් සියල්ල හෙළි වීමේ සම්භාවිතාව වැඩි නිසා මම හිස නොඋස්සාම ඉන්නට ප්‍රවේශම් වුණෙමි.

"දැන් ඉතින් බාරයක් ඔප්පු කරන්න වගේ ඕක දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව නොකර කන්න මල්ලි "

විනාඩියක් හෝ ඊටත් වැඩියෙන් නිසොල්මනේ ගෙවී ගියේය.පුටුවක් පස්සට වන හඬ ඇසෙද්දී හිස ඔසවන්නට උවමනා වුවත් හිතට තරවටු කර තවදුරටත් පිඟානේ රටා අතර දෑස් දුවවමින් සිටි මගේ හද ගැස්ම ගීත් අයියාගේ දෙපා මා අසලින් නතර වනවිට වේගවත් විය.

"පොඩී" බොහෝ දිනකට පසු හිස මත නතර වූ සුරතේ උණුසුමටම දෑස් බොඳවිය. ඊළඟ තත්පරයේ මගේ ප්‍රතිචාරය මහ හඬින් හඬා වැටීම බව දන්නා ඔහු ඒ අතින්ම මා වැළඳගෙන නිදහස් අතින් ගත් කිරිබත් පිඟාන මා ඉදිරියෙන් තිබූ හිස් පිඟාන මතින් තැබුවේ "මහන්සිවෙලා හැදුව කිරිබතට ලුණු වැඩි කරන්නැතුව මේක ඔයාගෙ අතින්ම කවන්නකො පොඩී" කියමිනි.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු

No comments:

Post a Comment