Sunday, May 3, 2020

විල්තෙර අද්දර - 14 : දහතුන්වන මතක සක්මන




අවුරුදු නිවාඩුවට මුලින්ම ගෙදර ආවේ මියුරු අක්කලාය. පාපන්දු තරඟයකට සහභාගී වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන බව පැවසූ ගීත් අයියා ගෙදර එන දිනයක් අප දැන සිටියේ නැත. මාස පහක් වයසැති කළලයක් කුස දරාගෙන උන් මියුරු අක්කා තුළින් අපූරු උපශාන්ත බවක් ඒ වනවිටත් දිස් වන්නට පටන්ගෙන තිබිණ. නැන්දාට මෙන් වරින් වර කොළඹ ගොස් ඇගේ සුවදුක් බලා ඒමේ ඉස්පාසුවක් නොතිබි මාමා ගේ මුහුණ මියුරු අක්කාගේ පැමිණීමත් සමඟ පෝරණුවෙන් දැන් බෑ බනිස් ගෙඩියක් මෙන් පිම්බී තිබිණ. දින කිහිපයක නිවාඩුවක් ලබා පැමිණි ඇයව නිවසේ නතර කර එදිනම සේවය සඳහා පිටව ගිය රොෂාන් අයියා දොළොස්වෙනිදා දහවල යළි පැමිණෙන තුරුත් ගීත් අයියාට ගෙදර එන්නට බැරි විය. නිතරම ක්‍රියා විරහිතව හෝ ආවරණ කලාපයෙන් බැහැරව තිබූ ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීම එපා වීමෙන් ඇති වූ නොරිස්සුම ඒ වනවිටත් කේන්තියකට පෙරලෙන්නට පටන්ගෙන තිබිණ.

ගේ දොර වැඩ සහ ඉවුම් පිහුම් වෙනුවෙන් වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්නට සිදු වූ ඒ දිනවලම අලුත් අවුරුදු කේක් ඇණවුම් කිහිපයක් ලැබීම නිසා නැන්දා අතිශය කාර්යබහුල විය. ඒ ඇයට උදව් අත්‍යවශ්‍ය මොහොතක් වුවත් මගේ අවධානය පාඩම් වැඩ වලින් මුදවන්නට අකමැති වූ ඇගේ සහායට මියුරු අක්කා ඉදිරිපත් විය. ඉස්සරහා මිදුලේ ජෑම් ගහ යට බංකුවට වී පොතක් අත තබාගෙන ගීත් අයියා එනතුරු මඟ බැලූ මට මා ළඟින් කෙනෙකු සිටගත් බව දැනෙද්දී පොතට නෙත ගෙන එන්නට වෙලාව මදිවිය.

"මොකෝ....පාරෙ යන මිනිස්සු ගණන් කරනවද" කට කොනකට නැඟි සරදම් සිනහව එලෙසම තබාගෙන රොෂාන් අයියා බංකුවේ පැත්තකින් වාඩිවිය.

"ඔයා මොකද මේ එළියෙ. ඇයි කට්ටිය කේක් හදලා ඉවරද?" මියුරු අක්කාත් සමඟම කේක් කාමරයට ගිය රොෂාන් අයියා ඒ අම්මාගේත් දූගේත් කතා වලට සවන් දී හෙම්බත්ව ඇති බව මුහුණින්ම හඳුනාගත හැකි වුවත් මට ඔහුගේ සරදමින් මිදෙන්නට වෙනත් ක්‍රමයක් නොවීය.

"බඩගිනියි පොඩ්ඩි. තේ එකක් බිව්වනම් හොඳයි හිතුණා"

"යමු මං හදලා දෙන්නම්. අර දෙන්නටත් මහන්සි ඇති. ඔය එකේ ඉදලනෙ වැඩ"

"එහනං ඔයා තේ හදනකල් මං පාර බලන්නද?" ඇසූ රොෂාන් අයියා දිව ඇද කරමින් ගේ පිටුපසට දුව ගියේය. සිනාසෙමින්ම බිම වැටුණ ජෑම් කොළයක් අහුලා කියවමින් සිටි තැන මඟ නොහැරෙන්නට පොත වසා බංකුවෙන් තබා මා කුස්සියට යනවිට රොෂාන් අයියා සිටියේ රතු ලූණු සුද්ද කරමිනි.

"ඔය මොකද කරන්නෙ. ඔයාද අද රෑට උයන්නෙ"

"නැන්දම්මා ඉඩ දෙනවනම් ඕකත් මහ කජ්ජක්ද නංගි. පහුගිය කාලෙ අපේ ගෙදර වැඩිපුරම ඉව්වෙ මං තමයි"

"මං ඒත් බැලුවා නැන්දා හැම සතියෙම ගීත් අයියා අතේ මොනාහරි හදලා යවද්දිත් කොහොමද මියුරු අක්කා මෙච්චර කෙට්ටු වුණේ කියලා"

"මොකද්ද උඹ කිව්වෙ" කියමින් ළඟට ආ රොෂාන් අයියා කනෙන් අල්ලන්නට ගොස් "අරූ ආවොත් මට ඇපත් නෑ" කියා ආපසු හැරුණේ මා ලැජ්ජාවෙන් රතු කරවමිනි.

"ඔන්න ඔය ලැජ්ජාව පැත්තකින් තියලා හොඳ සුදු නංගි වගේ අර එදා හදපු විදිහට රොටියක් හදන්නකො. මං පොල් ගාලා ලූණුයි කැරටුයි සුද්ද කරලත් තියෙන්නෙ මේ" කියමින් ඔහු එතෙක් පිඟානකින් වසා තිබූ පොල් ටික හා සුද්ද කර වතුර බේසමට දමා තිබූ රතු ලූණු සහ කැරට් අලය පෙන්නමින් පැවසීය. විවාහ වනවිට තේ එකක්වත් හදාගන්නට බැරුව සිටි රොෂාන් අයියා මොහොතකට මගේ දෑස් බොඳ කරවීය.

"තව මොනාද ඕනි" පුදුමයෙන් ඒ දෙස බලා සිටි මගෙන් අසමින්ම ඔහු ශීතකරණය විවෘත කළේය.

"එදානම් මං අමු මිරිසුයි කරපිංචායි දැම්මා"

"එහෙනං අදත් දාමු. අක්කා මට දවස් ගාණක් කිව්වා පොඩ්ඩි හැදුව විදිහෙ රොටියක් හදලා දෙන්න කියලා. කොහෙද ඉතින් දැනන් ඉන්න එපැයි. දැනුත් ඔය බඩගිනි වෙලා ඉන්නෙ. මං බේකරියෙන් මොනාහරි ගේන්නං කියලා එළියට එද්දි දැක්කා එක්කෙනෙක් හොඳට පොත අතේ තියාගෙන පාඩම් කරනවා. පස්සෙ මට හිතුණා එයාට පොඩ්ඩක් ඩිස්ටර්බ් කරලා රොටියක් හදාගත්තට පව් නෑ කියලා" රොෂාන් අයියා කෙරෙහි එතෙක් කිසි දිනක නොදැනුණ ගෞරවයකින් හිත පිරී ගිය ඒ මොහොතේ ඔහුගේ හඬේ වූ සරදම ගැන හිතමින් මූණ සඟවන්නට මට අමතක විය.

"හරි හරි.....සර් එද්දි පොත අතේ තිබ්බෙ නැත්තන් අවුරුද්දට තෑගි හම්බෙන්නෑ කියලා බයක් තියෙනවනම් මට ඕක අනලා දීලා ඔයා ගිහින් ඔයාගෙ වැඩේ කරගන්නකො. මං රියල් සර්ප්‍රයිස් ටී පාර්ටි එකක් රෙඩි කරලම කතා කරන්නම්"

හිස වනා ඔහුට එකඟ වූ මා පිටි ටික අනා දී එතනින් පිටව එන්නට සිතුවේ වැරදීමකින් හෝ ගීත් අයියා ඒ මොහොතේ පැමිණියහොත් මූණ දීමට සිදුවන අසුන්දර අත්දැකීමට ඇති අකමැත්තෙනි. වතුර කේතලයක් ලිප තබා, එළියට ගොස් ඉඟුරු අලයක් ගලවාගෙන ආ රොෂාන් අයියා එය පිරිසිදු කර කුඩා අත් වංගෙඩියට දමා කොටන්නට ගත්තේ නුහුරු අතෙනි. පොල් තෙල් ගා අත්ලේ තබාගත් පිටි ගුලි රවුම් කර කර ඔහුට සිනාසෙමින් සිටි මට ගීත් අයියාගේ අඩි හඬ නොදැනුණේ කෙලෙසදැයි අදටත් පුදුමය.
"මධුරංගී" එතෙක් අත රැඳි පිටි ගුලිය, එක්වරම උස්ව නැඟි හඬට මුලින්ම ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් විය. කට කොණකට නැඟි සිනහව අපහසුවෙන් දරාගත් රොෂාන් අයියා කුඩා වංගෙඩිය අස්සේ මොනවදෝ හොයන්නට විය. කුස්සියත් කේක් කාමරයත් අතර වූ දොර කල්තබා වසා තිබුණේ හොඳ වේලාවටය.

"අම්මා කෝ" ප්‍රශ්නය කාට යොමු වුවත් ඒ හඬේ වූ කෝපයෙහි අඩුවක් නොවීය.

"දොර ඇරලා බලපන්. දැන් වරුවක් තිස්සෙ දෙන්නත් එක්ක පරණ පිඟන් කෝප්ප ටිකක් සෝදනවා" ගීත් අයියාගේ හඬෙහි රැඳි කෝපය මායිම් නොකළ රොෂාන් අයියා සුපුරුදු ස්වරයෙන් පැවසුවේ නෙතඟින් කේක් කාමරය දක්වමිනි.

"තමුසෙ විභාගෙට ලියන්න ඉන්නෙ රොටී හදන හැටිද" අසමින් ළඟට ආ ගීත් අයියා කන මිරිකන්නට පෙර ඔහුගේ අත යටින් රිංගා පැන දුවන්නට මට හැකි විය. බංකුව මත වූ පොතත් ගෙන මා උඩුමහළට යනවිටත් ඔහු සිටියේ රොෂාන් අයියාත් සමඟ මොනවදෝ කියමින් හඬ නඟා සිනාසෙමින්ය. දුකත් ඉරිසියාවත් කඳුළු ගෙනෙන්නේ එවන් අවස්ථා වලය. කාමරයට ගොස් දොර වසා ගන්නට හිතේ වූ සැලැස්ම වෙනස් කරන්නට මුල් වූයේ ඒ සිනහවය. ඔහු මට පාඩම් කියාදෙන සඳැල්ලේ වූ මේසයට හිස තබාගෙන බොහෝ වේලාවක් ගෙවී යද්දීත් මගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙනෙන්නට නොතිබිණ.

"නෑ නෑ ඔයාලා බොන්නකො. මං වොෂ් එකක් දාගෙනම එන්නම්" කල්පයක් සේ දැනුණ මිනිත්තු විස්සකට තිහකට පසු ඒ හඬ තරප්පු පෙළ පාමුලින් ඇසිණ. මේසය උඩට වීසිකර තිබූ පොත දිගහැර ඒ වෙතම නෙත් රඳවාගෙන සිටි මට ඔහුගේ අඩි හඬ ළං ළංව ඇසෙද්දී බියක් නොදැනුණා නොවේ. එහෙත් ඉකිගසා හඬමින් හෝ උවමනා දේ ලබා නොගෙන පසුබසින සැලැස්මක් හිත කොනකවත් නොතිබිණ.

"පාඩම් කරන ළමයින්ට අපි සලකන්න එපැයි" දුම් දමන රොටියක් තැබූ සුදු පාට පෝසිලේන් දීසියක් සමඟ තේ කෝප්පය මේසය මත තැබූ ඔහු දීසිය දකුණතින් මා දෙසට තල්ලු කරමින් වමතින් හිස පිරිමැද්දේය. නිහඬවම ඊළඟ පිටුව පෙරලාගත් මට ඇසිල්ලකින් අකුරු නොපෙනී ගියේය.

"නිවෙන්න කලින් මේක කාලා තේ එක බීලම පාඩම් කරන්න" කියමින් තවත් වරක් හිස පිරිමැඳි ඔහු තේ එකත් රොටී දීසියට කිට්ටු කළේය. ඒ කිසිවක් නුදුටු පරිදි පොතට නෙත් යොමාගෙන සිටි මගේ රංගනය තිර පිටපතට ටක්කෙටම ගැලපුණි. හිස සෙලවීමකින් හෝ මගෙන් ප්‍රතිචාරයක් නොලැබෙණ විට ඔහු මා බලාපොරොත්තු වූ පරිදිම නොසන්සුන් විය.

"පොඩී.....ඇයි මේ තරහා වෙලාද?"

ඊට ප්‍රතිචාර ලෙස ඊළඟ පිටුව පෙරලන්නට එසවුණ සුරත ඒ ශක්තිමත් අත්ලෙහි උණුසුමින් වැසී ගියේය. ළඟ ළඟ ඇහිපිය සැලීමෙන් නෙතු අගට ආ කඳුළක් තුනී කරගන්නට හැකිවිය. හිමිහිට මගේ අත අත්හැර රොටී කෑල්ලක් කඩාගත් ඔහු එක් අතක් හිස මත තිබියදීම එය මුවට ළං කළේය.
(සුට්ටි පුතේ උඹ මෙතනින් එහාට බළලා මට අහුවෙන්න එපා)

"මේකත් කෑවෙ නැත්තන් මං යනවා යන්න ආයෙ අවුරුද්දටවත් එන්නෑ" මගේ නිහඬ වත බිඳ දැමීමට ගත හැකි භයානකම ආයුධය ඔහු සූදානම් කරගනිද්දී ඉබේටම මුව විවර විය. හිස පිරිමඳිමින් සිටි අතින්ම මගේ හිස සිය කුස මතට හේත්තු කරගත් ඔහු තවත් රොටී කෑල්ලක් කඩා මුවට ළං කළේය. මොහොතකට පෙර ඇස් වටා වූ තුනී කඳුළු පටලය දෙතොලතර වූ සිනහවට ඉඩ දී සැඟවිණ. රොටියෙන් අඩක්ම අවසන් වූ පසු තේ කෝප්පය අතට ගත් ඔහු "ආ...දැන් මේක බොන්නකො" කියමින් එතෙක් අතට සහ කුසට මැදිව තිබූ හිස නිදහස් කළේය.

"පොවන්න"

"ඈහ්...." කියමින් මඳක් පස්සට වූ ඔහු "මේකි යකෝ" කියමින් සිනාසුණේය.

"තව මොකුත් එපාද දන්නෑ" රවාගෙන බිමට හරවාගත් හිස අත තබා එසවූ ඔහු දෑසට එබී බලමින් ඇසුවේය.

"ඕනි"

"මොනාද?"

"මෙතෙන්ට එකක්" කියමින් නළල මැදින් වෙදඟිල්ල තබන්නට තිබූ දිරිය ඉන්පසු මා හැර ගියේය. ඔහුව තල්ලු කරගෙනම කාමරයට දුවන්නට ගිය මා ඒ දෑත් වළල්ල අතරේ සිරවී නැවතිණ. වමත ඉඟ වටා තිබියදීම එසවුණ සුරතින් වරලසින් මිදී නළලත දඟකළ කෙහෙ රැළි පසුපසට විය. ඒ වනවිටත් පියවී තිබුණ දෑස් කඳුළින් පුරවමින් ඒ ආදරයේ උණුසුම නළල විනිවිද ලේ නහර වලට කාන්දු විය.

"පොඩී" කෙඳිරුමක් සේ ඇසුණ ඒ හඬ අසල දෑස් වසා සිටින්නට නොහැකි විය. දුකත් පසුතැවිල්ලත් අතරින් පැන නැඟි වේදනාවක් ඒ දෑස් බොඳ කරමින් දිලිසෙමින් තිබිණ.

"මෙච්චර අවුරුදු ගාණක් ඉවසුව මට මාස හතරක් ඉවසන්න බැරි වුණේ ඇයි පොඩී. මං එයාගෙ චූටි කෙල්ලට කරලා තියෙන අපරාදෙ තාත්තා දන්නවනම් මාව ගෙදරවත් තියාගන්න එකක් නෑ"

"ගීත් අයි........"

"ෂ්.....අයියා එනවා. ඔය කඳුළු පිහගෙන තේ එක බොන්න. ඇහුවොත් මං බැණ්නා කියන්න" කියූ ඔහු ඉක්මනින් කාමරයට පැන දොර වසා ගත්තේය. සිදු වූයේ කුමක්දැයි සිතන්නට පෙර සිවුරුහම් බාමින් උඩට ආ රොෂාන් අයියා "ආහ්.....නංගී....දැන්නම් බරටම පාඩම් කරනවා වගේ" කියමින් බීරළු වැට උඩ වාඩිවිය.

"එන්න එපා මට එක එක ඒවා කියන්න. ඔයාගෙ වැඩ නිසා මංනෙ අන්තිමට බැණුම් ඇහුවෙ"

"බැණ්නද?.....මං ඒත් බැලුවා වොෂ් එකක් දාං එන්නං කියලා උඩට ආපු මිනිහා මොකද පරක්කු කියලා"

"හිතුවද අපිත් ඔය දොස්තරලා වගේ බාගෙට නාන උදවිය කියලා" කියමින් තෙත බේරෙන කොණ්ඩය පිස දමමින් ආ ගීත් අයියා දෙස බලන්නට එසවුණ දෑසට ඒ දෑස් මත වූ රහස මඟ නොහැරුණි. ඒ ගතවූ විනාඩි දෙක තුන ගීත් අයියාට නාන්නට තබා මූණ සෝදන්නටත් මදිය. එහෙත් ඔහු සිටියේ බොහෝ වේලාවක් තිස්සේ නාන කාමරයේ සිට පිටතට පැමිණි බව අඟවමිනි. පිට පනින්නට දඟලන සිනහව සඟවාගත නොහැකි තැන ඉතිරිව තිබූ රොටී කෑල්ල අතට ගෙන හිමිහිට හපමින් තේ එක බොන බවක් අඟවන්නට මට සිදුවුණි.

"හොඳ සුදු නෝනා වගේ ගිහින් මේක වැලට දාලා එන්නකො" මගේ සිනහව පිපිරෙන්නට ආසන්න වග තේරුම් ගත් ගීත් අයියා තුවාය කර මතට දමා මා අත තිබූ රොටී කෑල්ල උදුරාගෙන කටේ දමා ගත්තේය.

"මට ඇත්තටම වෙලාවකට ඉරිසියත් හිතෙනවා උඹලා ගැන. මටත් අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒත් උඹලා දෙන්නයි අක්කයි ළඟ තියෙන බැඳීම් අපි දැකලවත් නෑ. උඹ පොඩි එකීට සද්දෙ දැම්මට ඒකි රොටී හදන්න ආවෙ අක්කා කන්න ආසයි කියපු නිසා”
ගීත් අයියාගේත් මගේත් රඟපෑම් අද්දර විකට නළුවෙකු බවට පත්වූ රොෂාන් අයියා සියළු චෝදනා තමා පිට පටවාගනිමින් මා නිදහස් කරනු ගීත් අයියාගේ කාමරයේ බැල්කනියට යමින් සිටි මට යන්තමින් ඇසිණ.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු.

No comments:

Post a Comment