Tuesday, May 5, 2020

විල්තෙර අද්දර - 16 : පහළොස්වෙනි මතක සක්මන




මියුරු අක්කාගේ දරු ප්‍රසූතියත්, මගේ විභාගයත් එකම කාල රේඛාවක අතිපිහිත වීමේ පීඩනයෙන් වැඩිපුරම බැට කෑවේ නැන්දාය. කුළුඳුල් දරු උපත සඳහා සූදානම් වන සිය එකම දියණියට තම රැකවරණය අවැසිම මොහොතේ එය මඟ හැරීමේ හැකියාවක් නැන්දාට නොතිබිණ. මාමාත් සමඟ මට නිවසේ තනිව රැඳී සිටීමට මෙන්ම අවශ්‍යම නම් යාළුවෙකුගේ බෝඩිමේ නතර වීමේ හැකියාව ඇති බවත් මා පුන පුනා කියා සිටියදී ඊට එකඟ කරගත හැකි වූයේ නැන්දා පමණි. කෙසේ හෝ තම දියණිය අසල රැඳෙන්නට මාන බලමින් සිටි නැන්දා මගේ විකල්පයන් අතරින් එකක් තෝරන්නට වෙහෙසෙමින් සිටියදී මියුරු අක්කා දරු ප්‍රසූතිය තෙක් ඇගේ පැමිණීම අනවශ්‍ය බව දන්වා සිටියාය. ගීත් අයියාත් ඒ දිනවල ඔවුන්ගේ නිවසේ නතර සිටි නිසා නැන්දා කලබල නොවිය යුතු බව රොෂාන් අයියාත් විටින් විට දුරකථනයෙන් ඇයව අමතමින් කියා සිටියේය. මියුරු අක්කා ගැබ්ගත් මුල් කාලයේ සිටම සඳුදා උදෑසනට ගීත් අයියා අත බත් පාර්සලයක් සමඟ මාළු ඇඹුල් තියල් වැනි කල්තබා ගත හැකි කෑම බීම සකසා යවන්නට පුරුදුව සිටි නැන්දාට අවසන් සති කිහිපයේදීත් සතියකට වරක් කොළඹ ගොස් ඇගේ සුවදුක් බලා ඒමෙන් සැනසෙන්නට සිදුවිය.

විභාග කාලසටහන ලැබුණ දින ඒ දෙස බලා වැඩිපුරම සතුටට පත්වූයේ නැන්දාය. කාල සටහනට අනුව මියුරු අක්කාට මව් පදවිය ලැබෙන්නට නියමිත දිනට දෙදිනකට පෙර මගේ විභාගය අවසන්ය.

"නොකිව්වට ඔයාගෙ විභාගෙ අස්සෙ අක්කට බබා හම්බවෙයි කියලා මං ඇත්තටම බයේ හිටියෙ. අයියා කැමති නෑනෙ අක්කව මෙහෙ හොස්පිටල් එකකට ඇඩ්මිට් කරන්නත්. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ මාමට කියනවා ඔයාව විභාගෙට එක්ක යද්දිම මාවත් එක්ක ගිහින් බස් එකකට දාන්න කියලා. එතකොට දවල් වෙද්දි එහෙට ගිහින්නෙ. අක්කට බබා හම්බුණාට පස්සෙ මාමා එයිනෙ. ඒත් එක්ක ඔයත් එන්න"

"ඒවා නම් හඳේ නෝනා. ඕන්නං මට එග්සෑම් ඉවර වෙන වෙලාවට ඉස්කෝලෙ ගාවට ඇවිත් ඉන්න අපි දෙන්නම එකට යමු. නැතිනම් ඉතින් මාත් ගෙදර ඒමක් නෑ එහෙම්ම බස් එකක නැග්ගම හවස් වෙද්දි කොටුවට යාගන්න පුළුවන්නෙ. මතක් කරලා ඔයාගෙ පුතා හරි බෑණා හරි එවන්න මාව එක්ක යන්න”

"අර පෝරිසාදයත් එක්කම හැදිලා මෙයාගෙත් ගන්න දෙයක් නෑ දැන්. ඉන්නවකො මං ඔය කතාවනම් අදම මාමට කියනවා" කියමින් ඇය පහළට ගියේ මට ටොක්කක් ඇන සිනාසෙමිනි.

ජීව විද්‍යා විෂයෙන් ආරම්භ වූ විභාගය අවසන් වීමට නියමිතව තිබුණේ රසායන විද්‍යා රචනා ප්‍රශ්න පත්තරයෙනි. මුලින්ම තිබූ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්තරයට හොඳින් පිළිතුරු සැපයිය හැකි වුවත් ව්‍යුහගත හා රචනා ප්‍රශ්න වලට බලාපොරොත්තු වූ තරම් සාර්ථකව පිළිතුරු සපයන්නට නොහැකි වීමේ බර හිතින් ඉවත් කිරීම පහසු නොවීය. මගේ කණු කුණුව අසා සිටිය නොහැකි වූ තරම් දරුණු වූ විට නැන්දා ඒ ගැන ගීත් අයියාට දැනුම් දෙන්නට ඇත්තේ ඔහුගේ තරවටුවකට මිස අන් කිසිවකට මා නිහඬ නොවන බව දැනගෙනය.

"දැන් මොකටද ඔය ඉවර වෙච්ච පේපර් එකක් බදාගෙන හුචු හුචු ගාන්නෙ. ඔන්නෝක අමතක කරලා ඉතිරි දෙක හොඳට කරගන්න බලන්න " දුරකථන ඇමතුමට සම්බන්ධ වූ සැණින් ඔහු තරවටුවකින්ම හඬ අවදි කළේය.

"හුචු හුචු ගාන්න මං කෝච්චියක් කියලා හිතුවද?”

"ඒක ඉතින් මං නොදන්නවයැ" කියමින් ඔහු සිනසුණේය.

"මං මේ ගිනි පත්තුවෙලා ඉද්දි එයා හොඳට හිනා වෙනවා. Essay පේපර් එක අමාරුයි ගීත් අයියෙ.......එක ප්‍රශ්නයක් එහෙම්පිටින්ම වරද්දගෙන. මොනා පාඩම් කරන්න ගියත් දැන් මට ඒකමයි මතක් වෙන්නෙ"

"ඒක තමයි මෝඩියේ මං සිංහලෙන් කිව්වෙ ඕක අමතක කරන්න කියලා"

"ඔයා කිව්වට මට බැරිනම් මං මැරෙන්නද කියන්නෙ"

"මොකද ඔච්චර සැර" දුරකථනයට ඔරවා ඵලක් නැතත් ඒ මොහොතේ කළ හැකිව තිබුණේ එපමණකි.

"පොඩී" නිහඬව ගෙවී ගිය සුළු මොහොතකට පසු ඔහු සන්සුන්ව හඬ අවදි කළේය.

"මට අද එන්න විදිහක් තිබ්බනම් නෑවිත් ඉන්නෑ කියලා දන්නවනෙ. හෙට හවස ලෙක්චර්ස් වලට ඉන්නැතුව මං කලින් එන්නම්. ඔයා අදට ඔය හංගපු නවල් එකක්වත් හොයාගෙන කියවා ගන්නකො. නැතිනම් ෆිල්ම් එකක් බලන්න. ඒ දෙකම බැරිනම් හොඳට නිදාගන්න. එතකොට ඉබේටම ඕක අමතක වෙලා යයි. මං අම්මටත් කියන්නම්" කියමින් ඔහු ඇමතුම විසන්දි කළේය. එහෙත් ඒ විසදුම් තුනෙන් එකකින්වත් නොලැබෙන තරම් සහනයක් තම වදන් අතරෙහි ගැබ්ව ඇති වග ඔහු නොදැන සිටින්නට හැකියාවක් නැත.

බාල වියේදී ළෙංගතු මිතුරෙකුගේ මිත්‍රත්වයේ දෑතත්, ළමා වියේදී වැඩිමහල් සොයුරෙකුගේ සොයා බැලීම් වලින් අඩුපාඩු නොවූ රැකවරණයත් නිරන්තරයෙන් ලබාදුන් ඔහු ඒ සියල්ල අභිබවා ගිය පෙම්වතෙකුගේ ආදරය මට තිළිණ කළ යොවුන් වියේදී ඔහුගේ එකම එක වදනකට කළ නොහැක්කත් නොතිබුණ තරම්ය.එහෙත් මට ආදරය කළ තරමටම තම අනාගත සිහින වලටද ආදරය කළ ගීත් අයියා මා වෙනුවෙන් හෝ ඔහුගේ අධ්‍යාපනික කටයුතු වලට බාධා වන අයුරින් කිසිවක් වෙනස් කරන්නට උත්සහ නොකළේය. දේශන මඟහැර කල්තියා නිවසට එනබව කියමින් මා සැනසූ ඔහු ඒ සිකුරාදාත් ගෙදර ආවේ සුපුරුදු වේලාවටමය. ඔහු එනවිට අපි තිදෙනාම සිටියේ සාලයට වී දරු ප්‍රසූතියෙන් පසු මියුරු අක්කා නිවසට කැඳවාගෙන එන හැටි සාකච්ජා කරමිනි.

"මොකද දැන් අපේ අඬන බබා කියන්නෙ. තාම අඬනවද අම්මා" නැන්දා පසුපසින් ගොස් ඇය දොර අරින තුරු ඇගේ ළඟටම වී සිටි මා ළඟට ආ ගීත් අයියා හිස මත අත තබා සොලවමින් හඬ නගා සිනාසුණේය. හැන්දෑවේ සිටම ඔහු එන පෙර මඟ බලාසිටීම නිසා අමනාප වූ දෑස් ඒ සිනහව අද්දර එතෙක් හිත දරාගෙන උන් වේදනාව පිට කළේය.

"මොකද පොඩී මේ" හිස මත රැඳි සුරත පහළට ඇදී විත් කොපුල මත නවතින්නට පෙර අත ගසා දැමූ මා අඩියක් ඉදිරියට තබන්නට මත්තෙන් ඔහුගේ ග්‍රහණයට සිරවිය.

"එක ප්‍රශ්නයක් වැරදුණා කියලා විභාගෙ ෆේල් වෙන්නෑ. ඇරත් විභාගෙම ෆේල් වුණත් කවුරුත් ගෙදරින් එළවනවා කිව්වෙ එහෙම නෑනෙ.....නේද තාත්තා" ඔහුගේ ග්‍රහණෙයෙන් මිදෙන්නට දඟලන මට බුරුලක් නොපෙන්වමින් ඔහු මාමා ද කතාවට එකතු කරගන්නට උත්සාහ කළේය.

"ආව හැටියෙ ඔය කෙල්ලව අඬවන්නැතුව හිටපන්" කියූ මාමා කාමරයට ගියේය.

"තේ එකක් හදන්නකො අම්මා" කියමින් නැන්දාත් එතනින් යවාගත් ඔහු එක්වරම හිස මතට දෙතොල් තද කළේය. හිස් මුදුනින් පටන්ගෙන දෙපතුලේ සුළඟිල්ල තෙක් වූ සියළු රෝග නිවාරණය වී සිනහවකට දෙතොල් විවර විය.

"ම්.....දැන් ඔක්කොම හරි....ඊයෙ ඉදන් නහයෙන් ඇඬුවෙ ඕකට කියලා මං දන්නවා. තාත්තා ආපහු එළියට එන්න කලින් හොඳ ළමයා වගේ ගිහින් පොතක් බලාගන්නකො. මං අම්මත් එක්ක පොඩි චැට් එකක් දාලා ඔයාටත් තේ එකක් අරන්ම එන්නම්" කියා කොණ්ඩය අවුල් කළ ඔහු මා එතනම සිටියදී මුළුතැන්ගෙට ගියේය.

එදා මගේ හිත කියවීමට ඔහුට තිබූ හැකියාවෙන් හරි අඩක් සමඟ මගේ කඳුළු අද්දර ප්‍රගුණ කළ ඉවසීම එලෙසින්ම රැකගන්නට ඔහුටත් මටත් හැකියාව තිබුණි නම් අද මගේ කතාව මීට බොහෝ සෙයින් වෙනස් වන බව කිව යුතු නොවේ.

තෙවසරක් මුළුල්ලේ ගීත් අයියා විසින් කළ කැපවීමට සාධාරණයක් ඉටු කළ හැකි තරම් සාර්ථකව භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්තරයට පිළිතුරු සපයන්නට හැකිවීම මගේ හිත සැහැල්ලු කළේය. මියුරු අක්කාව හදිස්සියේම රෝහල්ගත කළ පුවත කන වැකෙන විට ගීත් අයියාත් සිටියේ නිවසේය. පසුදිනට යෙදී තිබුණ භෞතික විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය සඳහා මා සූදානම් කරවමින් සිටි ඔහු එවෙලෙහිම නැන්දා සමඟ නිවසින් පිටව ගියේ මාමා ට දුරකථන ඇමතුමක් දී ඉදිරි සැලසුම් සියල්ල වෙනස් කිරීමෙන් පසුය. මියුරු අක්කාට පුතෙකු ලැබුණ පුවතත් දෙදෙනාම සුවෙන් සනීපෙන් සිටින බවත් රොෂාන් අයියා අපට දැනුම් දෙන විට ගීත් අයියා නැන්දාත් සමඟ පිටව ගොස් හෝරාවකට වැඩිය. කේන්තිය හැර, දුක සතුට වැනි හැඟීම් එළිපිට නොපෙන්වන මාමා ගේ එදා හැසිරීම අලුත් සෙල්ලම් බඩුවක් ලැබුණ නොදරුවෙකුට දෙවෙනි නොවීය.

"හෙට ඔයාගෙ පේපර් එක ඉවර වුණාම අපි දෙන්නත් එහෙමම ගිහින් බබා බලලා අනිද්දා උදේම ආවොත් මගෙ පුතාට ගොඩක් පාඩු වෙනවද?” සාලයේ ඒ මේ අත ඇවිදිමින් බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි මාමා අවසානයේදී මා ළඟින් නතර වූයේ කරණම් දෙක තුනක් ගසා උඩ පනින තරම් සතුටක් මගේ දෝතින් තබමිනි. තවත් දින හයකින් අවසන් වීමට නියමිතව තිබූ විභාගය නිසා අලුත උපන් සිඟිති පුතු දකින්නට සතියක් ඉවසිය යුතු බව සිතමින් ලත වූ සිතට එවදන් මහත් අස්වැසිල්ලක් විය.

"අපෝ නෑ"

මාමාගේ යෝජනාවට එක හෙලා කැමැත්ත ප්‍රකාශ කර කාමරයට පැමිණ ඇඳුම් බෑගය සූදානම් කර පොත අතට ගන්නා තුරුත් මා සිටියේ සිහින ලෝකයකය. කිරි කැටි අත් පා සොලවමින් කෑ ගසන ළදරුවෙකුගේ සිහින් හඬින් පිරී තිබි මගේ සුන්දර සිහින ලෝකය "පොඩි දුව....මෙන්න අයියා කතා කරනවා" කියමින් අඬ ගැසූ මාමාගේ හඬින් බිඳී ගියේය.

"නෑ....නෑ.....විභාගෙ ඉවර වෙනකල් ඔයා එන්න නටන්න ඕන්නෑ…. ඇයි ඔයා ඇවිත් බබාට කිරි දෙන්නද?" මා රිසිවරය ඔසවා කන තබා ගත්තේ එවදන් අසන්නට දෙසවන් සූදානම් කරගෙනය.

"ආහ්.....චූටි නැන්දී......කෝමද?" මා අහන්නට බලා සිටි තරවටු හඬ වෙනුවට එහා ඉමෙන් ඇසුණේ දඟකාර සිනාවකි.

"ගීත් අයියේ"

"මොකද කෙඳිරි ගාන්නෙ. මේ පොඩි එකත් ඔයිට වඩා හොඳයි"

"බබා කවුරු වගේද?"

"ඒකද ළමයට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ?....බලාගෙන හෙට පේපර් එකෙත් අහලා තියෙයි බබාගේ ඇස් දෙක කාගෙ වගේද?....කට කොහොමද තාත්තගෙ වගේම වක්කඩක්ද? කියලා"

"හරි නරකයි ඔයා"

"දැන දැන අමාරුවේ වැටුණට මට කරන්න දෙයක් නෑ සුදු නෝනා. හෙට තාත්තත් එක්ක එනකොට කෙමිස්ට්‍රි නෝට්ස් ටිකයි පේපර්ස් ටිකයි ඔක්කොම අරන් එන්න. තාත්තා ඕන්නං ගියාවෙ. ඔයාට මෙහෙ ඉදන් පාඩම් කරගන්න පුළුවන්නෙ.මාත් ඉන්නවනෙ. ගෙදර තනියම ඉන්නවට වඩා ඒක හොඳයි කියලා අම්මත් කියන්නෙ. ආයෙ පේපර් එකක් තියෙන්නෙ සඳුදටනෙ. මං ඉරිදට ඔයාව ගෙනත් දාන්නම්"

මුව ගොළු වී වචන සිඳී ගියේය. අඬන්නද, සිනාසෙන්නද අඬමින් සිනාසෙන්නදැයි සිතාගත නොහැකිව තත්පර කීපයක් ගෙවී ගියේය.

"පොඩී......මොකද කෙල්ලෙ සද්දයක්වත් නැත්තෙ"

"ඔයා........ඔයා.....ඔය...ඇ...." කැඩි කැඩී ඇසෙණ වචන ඒ මුව මත සිත්තම් කරන සිනහව මට මැවී පෙනුණි. ඒත් දිව පැටලී වචන පිටවීම පමා කළේය.

"උගුර කට වේලිලා වගේනම් හොඳට කෝපි එකක් හදාගෙන ගිහින් පාඩම් කරලා හෙට පේපර් එකත් අද වගේම හොඳට කරගන්න. බබා ගැන හිත හිතා ඉන්න එපා හෙට හවස් වෙද්දි බලාගන්න පුළුවන්නෙ. මූණනම් එහෙම පිටින්ම අයියගෙ. දැනට නම් කොණ්ඩෙ අක්කගෙ වගේ. පාටනම් චූටි නැන්දි හොරට නිදියලා අහුවුණාම වගේ......"

"හරි නරකයි"

"ආහ්....දැන් ඔය කටට පණ ඇවිත් තියෙන්නෙ. එහෙනං ගිහින් පාඩම් කරන්න නෝනා. මං උදේට කතා කරන්නම්" කියූ ඔහු ඇමතුම විසන්ධි කළේය.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු

No comments:

Post a Comment