Sunday, May 24, 2020

විල්තෙර අද්දර - 35 : තිස් හතරවෙනි මතක සක්මන


 
 
අඩියට දෙකට මා ළඟට විත් කන හරහා පහරක් දෙනු වෙනුවට ගීත් අයියා ඇවිද ආවේ කවදාකවත් නොවූ තරම් හෙමිහිටය. නැන්දා නිවසේ නොමැති බවත්, දොර අගුලු දැමූ බවත් සිහියට එද්දීම දෙපා පොළවට ඇලී ගියේය. වෙනදාට ඒ සුවඳ ළං ළංව දැනෙද්දී නොඉවසිලිමත් වන හැඟුම් කොතනක සැඟවුණාදැයි නොදනිමි. නළලලත් උඩු තොලත් ආක්‍රමණය කළ දාබිඳු යන එන මං සොයාගත නොහැකිව එහෙන් මෙහෙන් වැක් කෙරෙන්නට විය. පහළට හැරවී තිබුණ නෙත් අගට දිගැටි පා ඇඟිලි දර්ශනය වෙද්දීම ඒ මත හිස හොවා සමාව ඉල්ලන්නට සිත්විය. එහෙත් ඔහු තවත් පියවරක් ඉදිරියට තබද්දී දෑතින් දෙකන වැසී ගියේ අනිච්ජානුගවය. කන හරහා පහරක් අපේක්ෂා කළ ද ඉඟත් පිටත් අතරින් නැවතුන දෑතට මැදිවූ මා වේගයෙන් ස්පන්ධනය වෙමින් තිබූ ඒ ලය මතට සිරව ගිය හැටි දැන් මතකයේ නැත.

හිස පුරා දැවටෙන උණුසුම් සුසුම් දකිමින් සිටින්නේ සිහිනයක් නොවන වග තහවුරු කළේය. මා හිස ඔසවන්නට තැත් කළේ ඒ හදවත ගැහෙන්නේ අසාමාන්‍ය වේගයකින් වග සවණට ගෝචර වූ පළමු තත්පරයේදීය.

"ගී......"

"ෂ්....මොකුත් වුණේ නෑ සුදු නෝනා.......මොකුත් වුණේ නෑ. ආයෙ එහෙම වෙන්නෙත් නෑ....වෙන්න දෙන්නෙත් නෑ" හදවත ස්පන්ධනය වන අසාමාන්‍ය රටාවම ඒ එකකට එකක් නොදෙවෙනි අපැහැදිලි වචන වල ද විය. එහෙත් හුස්ම ගන්නටවත් ඉඩක් නැති තරමට තදින් කිටි කිටියේ මා වැළඳගෙන උන් ගීත් අයියාගෙන් සෙලවෙන්නට තබා වචනයක් කියන්නටවත් ඉඩක් නොලැබිණ.

“දෙපැත්තෙන් ආව වාහන දෙකම එකපාර හෝන් ගහද්දි පොඩ්ඩි කන් දෙක වහගෙන බිම වැටුණා කියන්නෙත් මාමා කියලා කෑ ගහගෙනනෙ. පොඩ්ඩි හිතන්නැත්තෙ තාත්තට මොකක් හරි වුණා කියලා. සිහිය එන එන පාරට කන්දෙක අත් දෙකෙන් වහගන්නවා විතරයි ආයෙ සිහිනැති වෙනවා. ළඟ ඉන්න පුළුවන් හැම වෙලේම මල්ලි ළඟට වෙලා මොන මොනවදෝ කුටු කුටු ගාලා තමයි ඔය කෙල්ලව ඔය ගාණට ගොඩ දැම්මෙ. හිටිය හැටියට මාත් හිතුවෙ නෑ ඔච්චර ඉක්මනට සනීප වෙයි කියලා. දැන් පොඩ්ඩි වෙන මොකකට හරි කන් දෙක වහගත්තත් මල්ලි බය වෙනවා. වෙලාවක ඔය කෙල්ලගෙ හුස්ම හිරවෙන්නෙ ඌ බයවෙලා බදාගන්න විදිහට” මට හදිස්සියේම රොෂාන් අයියා පෙරදිනක මියුරු අක්කා හා පැවසූ යමක් ඇසෙන්නට විය. එතෙක් සොලවාගත නොහැකිව තිබූ දෑත ඇසිල්ලකින් ඒ බඳ වටා වෙලුණේත්, සිනහවකට මුව විවර වූයේත් හදවතට දරාගත නොහැකි වූ ස්නේහය දෑස් බොඳ කරමින් පිටතට පැන්නේත් ඒත් සමඟය. ගීත් අයියාගේ හද ගැහෙන රිද්මය මඳින් මඳ වෙනස් වී යථා තත්වයට පත් වූයේ ඊටත් ටික වේලාවකට පසුය. කිහිප වරක් හිස පිරිමැඳ ඒ මත දෙතොල් තවරමින් ඔහු සන්සුන් වන්නට උත්සාහ කරන විටත් හැඳ සිටි ටී ෂර්ටයේ පැත්තක්ම කඳුළින් තෙමී ගොස් අවසන්ය.

"සුදු නෝනා" දෑතින් කම්මුල් තද කරමින් මහිස ඔසවා මහපටඟිලි වලින් කඳුළු පිස දැමූ ඔහු දෑස් පතුළේ කිමිදෙමින් ගත කළ තත්පර ගණනාවකට පසු නළල සිප ඒ ඇසිල්ලෙන්ම යළිත් මා තදින් වැළඳ ගත්තේය. පෙර දිනකදී සඳහන් කළ අර සුවිශේෂී කුටීරයක ගබඩා කොට වරින් වර සිහිකර රස විඳින උණුසුම් සිප වැළඳ ගැනීම් ගොන්නෙහි මා මේ කියන දිනයේ මතකයන් බොහොමයක් ඇත. එයිනුත් මේ ගෙවෙන හුදෙකලා දිවිය තුළ නිරන්තරයෙන්ම මගේ මතකය ඉල්ලන මොහොත උදා වූයේ එහෙමය.

"ගීත් අයියෙ මං............."

"ෂ්......කිව්වනෙ දැන් ඒක ඉවරයි. හැබැයි මීට පස්සෙ එහෙම වෙන්න බෑ. මමයි වැරැද්ද කරේ. පහුගිය කාලෙ කොහොමහරි එක දවසක් ඔයාව ගෙදර එක්ක ඇවිත් තිබ්බනම් මෙහෙම වෙන්නෑ.......මං හිතුවෙ අම්මා ටික දවසක් එහෙ ඉදීවි කියලා"

"නැන්දා ඊයෙ එනවා කියලා ඔයාට කිව්වෙ නැද්ද?.....එහෙනං කලබලේට අමතක වෙන්නැති"

"නැන්දට අමතක වුණා කියමුකො.....එතකොට දෝණියැන්දට"

"මං වැරදියි කියලා මං පිළිගන්නවා. ඒක නිසා ඔයා දෙන ඕනි දඬුවමක් අඬන්නැතුව බාරගන්න මං කැමතියි.....NTS එකෙන් අයින් වෙන්න වුණත්"

"අපෝ එහෙම දඬුවමක් දුන්නොත් හැමදාම ඒක මගෙ හිතට වද දීලා අන්තිමට මටයි දඬුවම ලැබෙන්නෙ. ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන් දඬුවමක් දෙන්නෝනි" කට කොනක නළියන සිනහවේ අරුත වටහාගත නොහැකිව පැනයකට විවර වූ මුව ඒ දෙතොල් අතරෙහි සැඟවිණ. මොහොතකට පෙර බිමට ඇලුණ බව විශ්වාස කළ දෙපා එතනින් ඉහළට එසවෙනු මතකය. එතෙක් දිනක් සරසවියේ ප්‍රේම පාරාදීසයකදී පමණක් නොඉවසිලිමත් වන ගීත් අයියාගේ අකීකරු දෙතොලින් වැසුන මුව නිදහස් වනවිට මා සිටියේ කුස්සියේ පුටුවකින් වාඩි වූ ගීත් අයියාගේ උකුල මත ඔහුගේ දෑත් අතරට මැදිවය. අප හැදී වැඩී උස් මහත් වූ නිවස තුළ මුල්වරට ප්‍රේමයෙන් මත්ව ගත කළ නිමේෂය දෙදෙනාටම එක ලෙස සුවිශේෂි වූ බවට සැක නැත.

ප්‍රේමයෙන් තෘප්තිමත් වූ දෙනෙතින් ඒ හා සමානව ප්‍රේමාතුර වූ මගේ දෑස් අල්ලාගෙන රහසින් දොඩමළු වූ නිමේෂයකට පසු නළල මත දෙතොල් තවරා "ටක් ගාලා ගිහින් ලෑස්ති වෙලා එන්න. මට හෙට උදේ පේපර් එක" කියමින් ඔහු මා නිදහස් කළේය. උකුලෙන් නොබැසම ඒ නළල මත යන්තමින් දෙතොල් තවරා පැන දුවන්නට මට උවමනා විය. එහෙත් අතින් ඇද පසුව පිට ළඟින් අත යවා මගේ හිස ඔහු දෙසට පහත් කරගත් ගීත් අයියා මොහොතකින් මා නිදහස් කළේ "හෙට පේපර් එකටනම් A එකක් ෂුවර්" කියා සිනාසෙමිනි. ඒ සිනහවට හවුල් වෙමින්ම ඔහුගෙන් මිදී උඩට ගොස් ගමනට සූදානම්ව පහළට බහිද්දීත් දෙතොල සැරසූ සිනහවේත් හද පුරා පිපුණු මල් යායේත් වෙනසක් නොවීය.

"ඔච්චර ඉක්මනට ආවද" මා යනවිට පැතලි පිඟානකට බත් බෙදමින් සිටි ගීත් අයියා සිනාසෙමින් විමසීය. ඒ වනවිටත් ඔහු එක් බත් පිඟානක් බෙදා මේසයෙන් තබා ඇති වග මා දුටුවේ පසුවය.

"ඇයි දෙකකට බෙදුවෙ. ඉන්න මං කවන්නම්"

"ඕක වහලා තියන්නකො. අපි දෙන්නම මේකෙන් කමු" කියාගෙන අත සෝදාගෙන ආ ඔහු පුටුවක් පස්සට ඇද වාඩි වූයේ ටිකකට පෙර ඔහු හිඳ සිටි පුටුවේ මට වාඩි වෙන්නට සලස්සවමිනි. කෑමෙන් පසු "මං ටක් ගාලා ඇඳුමක් මාරු කරන් එන්නම්" කියාගෙන මා සාලයේ තනිකොට ඔහු උඩට දිව්වේය.

දොරේ බෙල් එක වැදුණේ ගීත් අයියා උඩට ගොස් ටික වේලාවකට පසුය. නැන්දා පැමිණෙන්නට ඇතැයි සිතමින් විවෘත කළ දොර ඉදිරියේ සිටි රොෂාන් අයියා ගෙට ආවේ "දැන් හරිද හිතුවක්කාරිට" අසමිනි. ඔහුගේ අවවාදය නොසලකා හැරීම ගැන ළතැවිල්ලෙන් පෙර දින විඳි වේදනාව යළිත් නෙත් අගට විත් නැවතිණ.

"වඳින්නම් ටැප් එකනං ඇරගන්න එපා. අර යකා ආවොත් මගෙ බෙල්ල මිරිකන්නත් බැරි නෑ" කියමින් හිසට තට්ටුවක් දා මගේ අතින් ඇදගෙන ගිය ඔහු පඩිපෙළ හොඳින් දර්ශනය වන තැනකින් වාඩි විය.

"ගීත් අයියා ආවා කියලා ඔයා කොහොමද දන්නෙ"

"දන්නෙ.....දන්නෙ ඌයි මායි දෙන්නම ආවෙ එකට නිසා. අපි දෙන්නම එද්දි අම්මලා වුණත් සැකයක් හිතයි කියලා මං මල්ලිව එවලා ටවුම පැත්තෙ පොඩි රවුමක් ගහලා ආවෙ"

"ඕගොල්ලො කීයටද එහෙන් ආවෙ"

"උඹට දැන්ද ඒවා මතක් වෙන්නෙ" කියා ටොක්කක් අනින්නට මෙන් අත ඉස්සූ ඔහු ඒ අදහස අත්හැර හිමිහිට හිස මත අත තැබීය.

"පොඩී පොඩී කිව්වට ඔයා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ පොඩ්ඩි. විශේෂයෙන්ම ගෑණු ළමයෙක් වුණාම ඔයිට වඩා ඉවසීමක් සිහි කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනි. විශේෂයෙන්ම මූ වගේ මූලග්ගිනිකාරයෙක් එක්ක ජීවිතේ බෙදාගන්න ඕනිනම් ඔයාට සෑහෙන්න දේවල් කැප කරන්න වෙනවා. ඒක බැරිනම් දැන්මම පුළුවන් විදිහකට ඔය සම්බන්දෙ නතර කරන එක හොඳයි මූව නිකන් අමු අමුවෙ පිස්සෙක් නොකර" ගේ දෙවනත් කරමින් කෑ ගසා හඬන්නට තරම් ආවේගයක් හිතේ තෙරපිණ. එහෙත් එය කඳුළු සැලීමෙන් පමණක් නවතාගන්නට මට හැකිවිය.

"මල්ලි ඔයාට මෙච්චර ආදරේ ඇයි කියන්න මට තේරෙන්නෑ පොඩ්ඩි. ඒත් ඌ ඔයාට ආදරේ කරන්නෙ පිස්සෙක් වගේ කියන්න මං තරම් හොඳට වෙන කවුරුවත් දන්නෑ. මාත් අක්කට ආදරෙයි. තාත්තා අම්මටත් ගොඩක් ආදරෙයි කියන්න අපි දෙන්නම දන්නවා. ඒත් මං අක්කට ආදරේ කරන විදිහටවත් තාත්තා අම්මාට ආදරේ කරන විදිහටවත් නෙවෙයි ඌ ඔයාට ආදරේ කරන්නෙ. ඒක නිසා සසදන්න යන්න එපා අපි එක්ක තියා ඔයාගෙ යාළුවන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්කවත්. එක එක්කෙනාගෙ පර්සනලිටි එක වෙනස්. ආදරේ කරන හැටි වෙනස්. ඔයා ගෙදරින් ආවට පස්සෙ අපි ඒක මල්ලිට කියන්න ගියෙ නෑ. ඌ ගෙදර ආවෙ රෑ එකොළහට විතර. ඔයා ගෙදර ආවා කියලා දැනගත්තම ඌ එන්න ලෑස්ති වුණේ ඒ වෙලාවෙම. යද්දි කිව්වෙ නෑ කියලා අපිටත් කෑ ගැහුවා. වෙලාවට ඌ ඊයෙ ෆෝන් එක ගෙදර දාලා ගිහින් තිබ්බෙ. අපි දෙන්නා ඒක පිටින් දාලා බේරුණා, වගීෂට හරි කියන්න තිබ්බෙ නැද්ද කියලා එත් කෑ ගැහුවා. මාත් ටිකක් සද්දෙ දාලා තමයි රෑ එන්න දෙන්නැතුව නවත්තගෙන පාන්දර එක්ක ආවෙ. ඌට පෙරේදත් හරියකට නින්දක් නෑ. ඊයෙත් නෑ. අක්කයි මමයි දෙන්නම කිව්වා ඔයා මට්ටු වෙන්නත් එක්ක ගිය එකේ තනියම ආවාවෙ කියලා. දවස් තුනක් නිසා අද බස්වල එන එකත් ලේසි නෑනෙ. ඒත් ඌ කැමති වුණේම නෑ. ඌ කියන්නෙ ඔයා පරිස්සමින් ආවා කියලා ඇස් දෙකට පේනකල් ඌට කොහොමත් හිත එක තැනක තියාගෙන වැඩක් කරගන්න බැරිලු. ඉතින් ඒ නිසා එහෙ ඉදලත් වැඩක් නැති නිසයි අපි එන්න දුන්නෙ. හෙට විභාගෙත් තියන් මට ඌ බස් එකේ එවන්න බෑ හිතුණ නිසයි මාත් ආවෙ" කියමින් ඔහු මා පහතට හරවාගෙන සිටි හිස කෙළින් කරද්දී ගීත් අයියා පහළට ආවෙ "කාගෙන් අහලද මගෙ කෙල්ල ඇඬෙව්වෙ" අසාගෙනය.

"ඒක අහගනින් මේ ගොන් කරත්තෙන්ම" කියාගෙන රොෂාන් අයියා හුන් තැනින් නැඟිට්ටේය.

"එහෙනං මං ඒකත් අහගෙන බබා නළවාගන්නකල් දොස්තර මහත්තයා ගිහින් කාලා එන්නකො. අම්මා වගේ මේසෙට ඇරිලි නෑ. ඔන්න අපි බත් එකක් බෙදලා මේසෙ උඩ වහලා ඇති. පුළුවන් තරමක් කාලා ඉතුරු ටික ඩස්ට්බින් එකට දාලා පිඟානෙ හොඳට හෝදලා එන්න මතක ඇතුව"

"එතකොට උඹලා එහෙමයි මස්සිනාට සලකන්නෙ" කියා ගීත් අයියාගේ පිටට පහරක් ගැසූ රොෂාන් අයියා කොරිඩෝවෙන් නොපෙනී යනතුරුම බලාසිටි ගීත් අයියා මා ළඟින් වාඩි වූයේ "ඌටත් එපා රෙද්දක් නෑ" කියමිනි. කඳුළු අතරින් නැඟුන සිනහව සිනහවකින්ම විඳගත් ඔහු මගේ හිස පපුවට තුරුළු කරගත්තේය.

"ඔයාට ඕනි තරම් මාත් එක්ක රණ්ඩු කරන්න, බණින්න. ඒත් මීට පස්සෙ මේ වගේ හිතුවක්කාරකම් කරන්න ඔට්ටු නෑ. ඒ වගේමයි දුකක් තියෙනවානම් මං ළඟ ඉදන් ඇති තරම් අඬන්න. හැබැයි මං වෙනුවෙන්වත් වෙන පිරිමියෙක් ඉස්සරහා අඬන්න එපා සුදු නෝනා. මං ආසා නෑ වෙන කවුරුත් ඔයාගෙ කඳුළු පිහිනවා බලන්න" කියූ ඔහු ඒ වදන් හදවතෙහි නිදන් කරවන්නට මෙන් ප්‍රවේශමෙන් නළල සිප ගත්තේය.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු.

3 comments:

  1. Harima aasawen kiyawana kathawak me. Ikmanin anith kotas dannako.

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් දන්නෙ බලන් ඉන්න අය ඉන්න බවක්....

      මට මතක් වෙන්නෑ මේකට දාන්න. ඉවසන්න අමාරු නම් මගේ සඳ වියමන් ෆේස්බුක් පේජ් එකට එකතු වෙලා කතාව කියවගන්න. දැන් 48 යන්නෙ

      Delete