Tuesday, November 2, 2021

thathsara 10-15 episode


තුන් නද තත්සර
දහවෙනි තත්සර මුසුව අසේලගෙන්
*****************************************
අප්පච්චීගේ දැඩි පෙරැත්ත කිරීමට අවනතව නිවසට පැමිණියත්, සමාධි යළිත් මා සමඟ රෝහලට යාමට සූදානම් විය. අම්මාත් අත්තම්මාත් ඇගේ තීරණ හමුවේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී ඒ වෙනුවෙන් වචන නාස්ති කිරීම ඵල රහිත බව මම දැන සිටියෙමි. ඒ හිතුවක්කාර කිරිල්ලිය යන්තමින් හෝ අවනත වන්නේ අප්පච්චීට පමණක් වග දැනගන්නට ඔවුන් ඇසුරේ ගෙවූ කාලය ප්‍රමාණවත් විය.
"කොහෙන්ද ඔය මුරණ්ඩුකම් පුරුදු වුණේ" රෝහල වෙත යන අතර මඟදී මම ඇයව ප්‍රශ්න කළේ නිකමටය. සිත යටින් මම ඇගේ හිතුවක්කාර ඇවතුම් පැවතුම් වලට පෙම් කළෙමි.
"කවුද කියන්නෙ මං මුරණ්ඩුයි කියලා. අපෙ අප්පච්චි කොයි වෙලාවෙත් නංගිලාට කියන්නෙ ලොකු අක්කා වගේ කීකරුකමට හැදෙන්න කියලා" කියමින් ඇය සිනාසුණාය.
"මුරණ්ඩු නෑ. හැබැයි බක පණ්ඩිතයි"
"මොකද්ද මං කරපු පණ්ඩිත වැඩේ. අප්පච්චි අරහෙම හොස්පිටල් එකට වෙලා ඉද්දි, අපේ උදව්වට අච්චර දුර ඉදන් ආව ඔයාව හොස්පිටල් එකේ තියලා ඔයා කියන්නෙ මට ගෙදරට වෙලා නිදාගන්න කියලද?"
ඇගේ අප්පච්චී සමඟ රෝහලේ නතර වීමට මා තීරණය කළේ හේතු කීපයක් උඩය. අප්පච්චී ඇතැම් විට මගේ තීරණය ප්‍රතික්ෂේප නොකරන්නට ඇත්තේත් ඒ හේතූන් උඩමය. මගේ උදව් ප්‍රතික්ෂේප කරමින් අත්තම්මාත් රැගෙන බසයකින් ගමන් පහසුව සලසා ගන්නට තැත් කළ සමාධි ඕනෑවට වඩා ඔවුන්ගේ පවුල හා ඇඟෑලුම්කම් පෑමට මට ඉඩ නොදෙන බව නොදැනුණා නොවේ. එහෙත්, අප්පච්චීත් සමඟ ඇය රෝහල් කාමරයක් තුළ සිටියදී නිවසට වී සුවසේ දෙනෙත් පියාගැනීමේ හැකියාවක් මට නොතිබිණ.
"අපෝ නෑ නෑ..................ගිහින් අප්පච්චි ළඟටම වෙලා ඉන්න එකයි ඇත්තෙ" සිනාසෙමින් රිය කවුළුවෙන් ඉවත බලාගත් ඇය ඊට පිළිතුරු දුන්නේ රෝහල් රථ ගාලට පැමිණියාටත් පසුය.
"අපෙ අම්මට පුංචි දෙයක්වත් දරාගන්න බෑ අසේල. අප්පච්චි පොඩ්ඩක් අසනීප වෙච්ච ගමන් එයා ඕනිවටත් වඩා කලබල වෙනවා. අනිත් හැමවෙලාවටම අම්මට උපදෙස් දිදී හිටියත් අපෙ අත්තම්මගෙත් වීක් පොයින්ට් එක අප්පච්චි. හවස දැක්කනෙ අඬපු හැටි. ඔයා අප්පච්චි ළඟ ඉන්නම් කියලා අම්මව ගෙදර ගිහින් දැම්මට එයා ඔය ඉන්නෙ හිතකින් නෙවෙයි. මං ඒකයි ආවෙ. ඔයා මාව දාලා  අර එදා හිටිය හොටෙල් එකට ගිහින් හොඳට නිදාගන්න. මං එන්න කලින් කෝල් එකක් දීලා බැලුවා. වේකන්ට් රූම්ස් තියෙනවා"  
"උදව්වට ආපු මනුස්සයාට සලකන හැටිනම් හරි අපූරුයි. ටීචර් කෙනෙක් නේද? කොහෙන්ද ඕවා ඉගෙන ගත්තෙ. ගෙදරින්නම් වෙන්න බෑ" අමනාපයක් මවා පෙන්වමින් සිටිය ද, හිත කොනකවවත් එවන් හැඟීමක් ගෑවී නොතිබි වග මට විශ්වාසය.
"මං සමාධි. සමාධි අප්සරා. මිස්ටර් මදනායකට පහසු නමක් කියන්න සර්නේම් එක නැතුව" කියමින් අප මුණ ගැසුණ මුල්ම අවස්ථාවේ මිස් මන්තිලක ලෙස මා කළ අමන්ත්‍රණය සෘජුවම ප්‍රතික්ෂේප කළ ඇයට මා ආශක්ත වූයේ කිනම් මොහොතක සිටදැයි නිශ්චයක් නැතත් දැන්නම් ඒ සිතුවිල්ල හිතින් ඉවත් කිරීම සිහිනයක් පමණි.
"එදා අපෙ අප්පච්චියි ඔයාලගෙ අම්මලයි හැමෝම ඉද්දිත් අපේ ගෙදර නතර වෙච්ච නැති මනුස්සයා අද ඉන්න කැමතියි කියලද මට විශ්වාස කරන්න කියන්නෙ. එහෙම කැමතිනම් මේ වෙලාවෙ ඒකත් මට සතුටක්. එහෙනං ඔයා මාව දාලා ගෙදර යන්න. මං අම්මට කිව්වෙ ඔයාව අර ඔයාගෙ යාළුවාගෙ ගෙදර යවන්නම් කියලා. ඔයා ඔයාගෙ වැඩ පාඩු කරගෙන අපි එක්ක ආව එකම ලොකු උදව්වක් අසේල. ඔයාට කරදර කරන්න බැරි නිසයි මං ඔයා එන්න කලින් ඉක්මනින් ආවෙත්. ඒකෙන් වුණේ ඔයාට බස් එක පස්සෙන් රේස් එන්න වෙච්ච එක. ඔයාට ඩ්‍රයිව් කරල මහන්සිත් ඇති. ඒ තියෙද්දි කොහොමද අප්පච්චි එක්ක ඉන්නෙ. හොඳට කයියක් ගහන් ඉන්න පුළුවන් නිසාද කොහෙද අප්පච්චි ඔයාගෙ යෝජනාවට කැමති වුණාට ඔය අලි දඬු අතපය හරස් කරන් නිදාගන්න පුළුවන්ද අර ඇබිත්තන් ඇඳේ. ඒක නිසා ඔයා අප්පච්චිත් එක්ක චුට්ටක් කතා කරලා යන්න. ගිහින් නිදාගන්න. මට අප්පච්චි ළඟ ඉන්න පුළුවන්. කලින් වතාවල් වලත් අප්පච්චි අසනීප වුණාම මමයි ළඟ හිටියෙ"
තවදුරටත් තර්ක කිරීම අර්ථ විරහිත තැන් වලදී භාවිතා කළ හැකි එකම ආයුධය නිහඬ වීමය. මා කිසිවක් පවසන තුරු බලා සිටි සමාධි පිටුපස අසුනේ වූ බෑගයත් රැගෙන රියෙන් බැස්සාය. ඇයත් මමත් රෝහල් කාමරයට ඇතුළු වන විට අප්පච්චිගේ රුධිර පීඩනය මැනීමට හෙදියක් පැමිණ සිටියත් සමාධි පිට ආ බව දකිද්දී ඔහුට ඒ බව අමතක වන්නට ඇත.
"ලොකු පුතා මොකටද මේ රෑ ආයෙ ආවෙ" හෙද නිළධාරිණිය පිටව යනතුරු පමණක් ඉවසා සිටි සමාධි ඇගේ හිතුවක්කාර තීරණය පෙරටත් වඩා හොඳින් සාධාරණීකරණය කළාය. අප්පච්චීත් දුවත් අතරෙහි වාග් යුද්ධයක් ඇවිලීම ඇරඹුණේ එලෙසය. පියෙකු සහ දියණියක අතරෙහි ඇතිවන සුන්දර අරගලය මට අපේ තාත්තාව සිහි නොකළ බව කීම මුසාවකි. සමාධිගේ අප්පච්චී ඉදිරියේ මට ඔහුව මතක් නොවන මොහොතක් නැති තරම්ය. අප්පච්චීටත් දූටත් නිදහස දී කාමරයෙන් පිටවන්නට ගිය මගේ ගමන නැවැත්වූයේ අප්පච්චීගේ මැදිහත් වීමෙනි.
"ඉතින් කොහොමද පුතා. අම්මයි අක්කයි සනීපෙන් ඉන්නවද" කියමින් ඇරඹු සංවාදය උඩවලවෙන් පටන්ගෙන දකුණු කොරියාව තෙක් දිග් ගැහෙන විට සමාධි නොසන්සුන් වන්නට පටන් ගත්තාය. ඇය බලා සිටියේ ඉක්මනින්ම මා එතනින් පිටත් කර යවන්නටය.
"අප්පච්චි දැන් ටිකක් නිදාගත්තොත් හොඳ නැද්ද. යාළුවාගෙ ගෙදර අය නිදාගන්න කලින් අසේල යන්නත් එපැයි" කියමින් ඇය කීප වරක් ඇවිටිලි කළ ද, අප්පච්චී ඇගේ අණට නතුකර ගැනීම පහසු නොවීය. දීර්ඝ කාලයක් තිස්සේ විශාල පිරිසක් ඇසුරු කරමින් රැකියාව කළ ඔහු විශ්‍රාම සුවයෙන් නිවසේ රැඳී සිටින්නේ අලසකමිනි. පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස සිය අණසක පතුරුවමින් සිටි ඔහු හෘද රෝගියෙකු වූ පසු නිවාස අඩස්සියේ පසුවන්නේ කාන්තාවන් පස් දෙනෙකුගේ අණසකට යටත්ව බව ඔහු හිනැහෙමින් පැවසුවේ අප මුල්වරට මුණ ගැසුණ දවසේය. ඔහුගේ ශාරීරික සුවතාව මිස මානසික සුවය ගැන කල්පනා කිරීමට ඔවුන් කාටවත්ම කල්පනාවක් නැත. සමාධිට පවා ඒ ගැන වැටහීමක් නොතිබීම ගැන ඔහු සිටියේ කනස්සල්ලෙනි. මවත්, බිරිඳත්, දියණියත් තිදෙනාත් අතරෙහි මකා ගත නොහැකි පාළුවකින් පීඩා විඳිමින් සිටි ඔහුට මා හා බෙදා ගන්නට බොහෝ දෑ තිබිණ.
පුටුවක් උඩම නිදි කිරමින් සිටි සමාධිව අවදි කර මා එතනින් පිටව එන්නට සූදානම් වන විට මැදියම් රැයත් පසුවී තිබිණ.
"ඔයාට පාර හොයාගන්න පුළුවන් නේද" මා පසුපසින් කාමරයෙන් පිටතට ඇවිද ආ ඇය රෝහල් කොරිඩෝවේ ඉහළින් සවිකළ ඔරලෝසුවක් වෙත නෙත් රඳවමින් විමසුවාය.
"ඇයි බැරිනම් එන්නද අහන්නෙ" යටි තොල විකාගෙන සිනහව ගිලගත් ඇය "ගිහින් මට කෝල් එකක් දෙන්න අසේල. මං බලන් ඉන්නවා" කියාගෙන ආපිට හැරුණාය. ඇගේ මුවින් පිට වූ අවසන් වචන තුන හැරෙන්නට අන් කිසිවක් මගේ දෙසවනේ නොරැඳුණි.


එකොළොස්වෙනි තත්සර මුසුවට එකතු වෙමු සඳුදට

තුන් නද තත්සර
එකොළොස්වෙනි තත්සර මුසුව සමාධිගෙන්
**************************************************
අප්පච්චිගේ තත්වය බරපතල නොවූවත් ඔහුට පය බිම තබා ඇවිදීමට නොහැකිවීමේ වේදනාව හිතට වද දුන්නේය. අම්මාත් නංගිලා දෙදෙනාත් නොමැති දවල් කාලයේ ඔහුව නිවසේ තනිකර යාම අනතුරුදායක නිසා ටික දවසකට අත්තම්මාව ගෙදර නතර කරගන්නට මා කළ යෝජනාවට අම්මාව එකඟ කරගැනීම පහසු නොවීය. සුනේත්‍රා මැඩම්ටත් නාලි අක්කාටත් වෙන වෙනම දුරකථන ඇමතුම් දුන් අම්මා අවසානයේදී මගේ ආරක්ෂාව ගැන බිය නොවිය යුතු බව වටහා ගත්ත ද, අප්පච්චී සිටියේ ඒ තීරණය ගැන එතරම් පැහැදීමකින් නොවේ.
"මොනවද ඔය හැටි කල්පනා කරන්නෙ" නිවසින් පිටවී ටික දුරක් එනතුරුම රිය තුළ රජ කළ නිහැඬියාව අසේලගේ හඬින් බිඳ වැටුණි.
"ඊයෙ එද්දි පුප්පා පුප්පා ආව මනුස්සයාට මොකද වුණේ කියලා"
"පුප්පන්න නෙවෙයි වටින්නෙ කරන බක පණ්ඩිත වැඩ වලට. ටීචර් කෙනෙක් නිසා හිතා ඉන්නෙ මහ ලොකු චණ්ඩියෙක් කියලද. රෑ වෙලා අර වයසක මනුස්සයත් ඇදගෙන බස් කීයක යන්න ද?" ඒ දෝෂාරෝපණය සොඳුරුය. හිනාවකින් ඉවසා සිටින්නට හැකි තරම් සොඳුරුය.
"ඔයා තව ගොඩක් දවස් ඉන්නවද"
"ඇයි හිටියොත් වාතයක් වෙයි වගේ ද?" අසමින් සිනාසුණ ඔහු ඉන්පසු තවත් සති තුනකින් ආපිට යාමට බලාපොරොත්තු වන බවත්, ඊළඟ වසරේ මාර්තු මාසයේදී ස්ථිරවම ලංකාවට පැමිණෙන බවත් පැවසුවේය. සුනේත්‍රා මැඩම් පවසා තිබුණේ ඔහු තවත් දෙවසරක් එරටේ රැඳී සිටිය යුතු බවය.
"මැඩම් දන්නවද?"
"මොකද්ද. මං ලබන අවුරුද්දෙ නවතින්න බලාගෙනම එනවා කියලද"
"ඔව්"
"දන්නවා. හැබැයි අම්මා දැන් මං කියන ඒවා විශ්වාස කරන්නෑ. ඇත්තටම මං පිටරටක රස්සාවකට යන්න කවදාවත් හිතන් හිටියෙ නෑ. තාත්තා රිටයර් වෙලා ගෙදර ඉද්දි තමයි ලර්නර්ස් එක පටන් ගත්තෙ. පස්සෙ මං ඒ ලෙවල් කරලා ගෙදර ඉද්දි තාත්තට වෙන ජොබ් එකක් හම්බුණාම තාත්තා මට ලර්නර්ස් එක බාර දීලා කොළඹ ගියා. මං ඒක ඇත්තටම ආසාවෙන් කරන් ගියා. ඒත් අන්තිමට මට ගෙදර ඉන්න බැරි තත්වයක් උදා වීගෙන එනකොට සේරම දමා ගහලා රට යන එක ඇර මට වෙන විකල්පයක් පෙනුන්නෑ. එදා මං ගත්තෙ වැරදි තීරණයක් කියලා අදටත් මට හිතෙන්නෑ. තියෙන එකම දුක තාත්තගෙ අන්තිම මොහොතෙ ළඟ ඉන්න බැරි වෙච්ච එක විතරයි" කියමින් බරැති හුස්මක් පිට කළ ඔහු එතැන් සිට බොහෝ දුරක් එනතුරුම සිටියේ නිහඬවය.
විටෙක රිද්මයකට සුක්කානමට තට්ටු කරමිනුත්, තව විටෙක සුක්කානමින් මුදාගන්නා වමතින් නළල පිරිමඳිමිනුත් අතීත මතක අතරෙහි වෙලි වෙලී රිය ධාවනය කරමින් සිටි ඔහු පාරේ අයිනට කර වාහනය නවතා, ආසන පටිය මුදා හරිමින් එක්වරම සුක්කානම මත හිස තබා ගන්නා විට අප සිටියේ ඇල්ල  පාරේ පල්ලම් බැස අවසානයේ වැල්ලවායට කිට්ටුවය. වංගු අධික මාර්ග වල රිය ධාවනය කිරීම නුහුරු කෙනෙකුට තරමක් දුෂ්කරය. කඳුකර මාවත් හුරු පුරුදු අයෙකුගේ වුව හිස භ්‍රමණය කරවන තරමට පහළින් පෙනෙන බෑවුමත්, මොහොතින් මොහොත දෙපසට කැරකෙන වංගුත් ඇල්ල පාරටම ආවේණිකය.
"අසේල....ඇයි" මගේ හඬ නෑසුණාක් මෙන් ඔහු සිටියේ නිසොල්මන්වය. කළ යුත්තේ කුමක්දැයි සිතන්නට තත්පර තිහ හතළිහක් ගත විය. උර මත අත තබා සොලවන්නට ඊටත් වඩා කල් ගත වුවත් මගේ උත්සහය ඵල රහිත විය. ගැඹුරින් හුස්ම පිටවන හඬට වැඩි යමක් ඔහු වෙතින් ශ්‍රවණය කරන්නට නොලැබෙන විට හිත නොසන්සුන් වුවත් විනාඩි කිහිපයක් ඉවසා සිටීමේ නොහැකියාවක් නොතිබිණ. යළිත් වරක් නොදැනීම උර මතට ඇදී ගිය සුරත ඉවතට ගන්නට පෙර ඔහු හිස එසෙව්වේය.
"මොකද වුණේ අසේල. ඔයාට සනීප නැද්ද" දෑස් තදකර පියාගෙන අසුනට හේත්තු වී සිටි ඔහු එක්වරම අපේ අසුන් දෙක අතරින් පිටුපසට හිස පොවා වතුර බෝතලයක් අතට ගෙන රියෙන් බැස පිටුපසට ගියේය. ඔහු පසුපසින් යන්නට හිත මෙහෙයෙව්වේ කවර බලවේගයක්දැයි නොදැනුණි. එහෙත්, ඔහු කිසියම් අපහසුතාවයකින් පෙළෙන බවත්, ඒ මොහොතේ මා ඔහුට උදව් කළ යුතු බවත් හැරෙන්නට අන් කිසිඳු හැඟීමක් මා තුළ නොතිබි වග විශ්වාසය.
"මොකද මේ…….චණ්ඩියා බය වෙලා ද" අත්ලට ගත් වතුර පොදකින් මුහුණ සෝදාගත් ඔහු ඇඟිලි තුඩු වල රැඳි වතුර බිඳු මා දෙසට ඉසිමින් සිනාසුණේ කිසිඳු අපහසුවකින් තොරවය.
"ඔයාට මොකද වුණේ අසේල"
"නිදිමතක් ආවා. ඉතින් මං චුට්ටක් නිදාගත්තා" කියමින් වතුර උගුරු දෙක තුනක් බී බෝතලය මා අතට දුන් ඔහු "යන්න ගිහින් කාර් එකට නඟින්න" කීවේය.
"ඔයාට නිදිමත නම් මං ගන්නද"
"ලයිෆ් ඉන්ෂූරන්ස් එකක්නම් නෑකියා තාලයකට ඇද පැද කියමින් ටික වේලාවක් කල්පනා කරමින් සිටි ඔහුකමක් නෑ අපෙ අම්මට තව පුතෙක් ඉන්නවනෙ" කියමින් ඇවිද ගොස් මට මෝටර් රථයේ දොර ඇර දුන්නේය. ඉන්පසු මා රියදුරු අසුන සකස් කරගන්නා තුරු බලා සිටි ඔහු වටෙන් ගොස් ඉදිරිපස මඟී අසුනින් වාඩි වූයේ "මං මේ ෂීට් එකේ ගිහිල්ලා තියෙන්නෙ දෙපාරයි නැත්තන් තුන්පාරයි " කියා සිනාසෙමිනි.
"නිදිමත නම් ඔයා නිදාගන්න. මං තණමල්විලට ගිහින් ඇහැරවන්නම්"
"ඇයි එතනින් එහාට යන්න බය ද?"
"අපෝ නෑ. ඔයාට ප්‍රශ්නයක් නැත්තන් මං ගෙදර මිදුලෙන් වාහනේ නවත්තනකල් ඔයාට කතා නොකර යන්නම්. ඔයා නිදාගන්න"
"නිදාගන්නෙ කොහෙද. දැන් තියා ගෙදර ගිහිල්ලවත් නින්ද යාවිද දන්නෑ හිතේ බයට " කියමින් මහ හඬින් හිනැහුණ ඔහු "දැන් ආයෙ නින්ද යන්නෑ. කමක් නෑ ඔයා චුට්ටක් අරන් යංකො වෙනසකටත් එක්ක" කියමින් ආසනය පිටුපසට කර ගත්තේය. එතෙක් දිනක් අවශ්‍යම තොරතුරකට පමණක් සීමා වූ අපේ කතා බහ නිදහසේ ගලා යාම ඇරඹුණේ එතැන් සිටය. 
"මං ඉන්න අයිලන්ඩ් එකත් හරියට ඔයාලගෙ පැත්ත වගේ. වෙනසකට තියෙන්නෙ තේ වෙනුවට බලන බලන තැන තියෙන්නෙ දොඩම්. එහෙ කොහොමත් ප්‍රසිද්ධ දොඩම් වලට"
"එහෙනං ලස්සන ඇති"
" ඇත්තටම ලස්සනයි. ඒක වොල්කැනික් අයිලන්ඩ් එකක්. දකුණු කොරියාවෙ තියෙන ලොකුම අයිලන්ඩ් එක. හැබැයි කොළඹින් බාගයක් විතර ඇති ඔක්කොම ඒරියා එක. චූටි චූටි දොළ පාරවල් හැම තැනම. ලෝකෙ ස්වභාවික පුදුම හතෙන් එකක්. ඔයා හිතන්නකො මේ බදුල්ල බණ්ඩාරවෙල නුවර එළිය වට කරගෙන මුහුද තියෙනවා කියලා. අන්න ඒ වගේ ලස්සනක් තමයි තියෙන්නෙ.  රාවණා ඇල්ල ඉස්සරහින් මුහුද තිබ්බනම් කොහොමද? එක දිය ඇල්ලක් තියෙනවා ඒකෙ වතුර කෙලින්ම වැටෙන්නෙ මුහුදට. තව එකක් තියෙනවා ඒකෙ ඉදන් මුහුදට මීටර් පන්සීයක් විතර තියෙන්නෙ. ඒත් වතුර මික්ස් වෙන්නෑ. දිය ඇල්ලෙන් එන වතුර ටික මුහුදට ගලන් යන හැටි හරිම ලස්සනයි. හිත නිවෙනවා එතනට ගියාම "
මට ඒ මනස්කාන්ත දර්ශනය හිතේ මවා ගැනීම අපහසු නොවීය. ඉමක් නොපෙනෙන මහ සයුරත්, සිහිල් දිය පිරි කුඩා දිය දහරාවන්ගෙන් සුසැඳි කඳුකරයේ චමත්කාරයත් එකම රාමුවකට කොටු වූ කුඩා දූපතක මා සිතින් අතරමං කරවන්නට ඔහුට හැකි විය.
"ඩ්‍රයිවර් නෝනට ඉරිඟු කරලක් අරන් දෙන්නද" වැල්ලවායත් තණමල්විලත් අතර පාර අයිනේ බඩ ඉරිඟු තම්බා විකුණන තැනක් පෙනි පෙනී ඔහු සරදම් ස්වරයකින් විමසුවේය.
"එකක්නම් මදි"
"එහෙනං අයින් කරලා නවත්තන්නකො මේ හරියෙ ඉරිඟු වත්තක් ගන්න තියෙනවද බලන්න" මා රිය නතර කළේ සිනාසෙමිනි. ගුරු විදුහලේ උන් මිතුරන් අබියස දැනුණ සැහැල්ලුව මම යළිත් අත් විඳිමින් සිටියෙමි. ක්‍රීඩා පිටිය වටා දුවමින් කෑ කෝ ගසා සැහැල්ලුවෙන් ජීවත් වූ සමාධි යළි උපත ලබමින් සිටියාය.
මිතුරන්ගෙන් පමණක් නොව, අම්මා අප්පච්චිගෙන් පවා ඈත් වී හුදෙකලාව ගෙවූ මාස කීපය තුළ හදවතින්ම සිනාසෙන්නට ඉඩක් නොලැබුණ , ඉන් ලද ජීවන පන්නරය මහ මෙරක් තරම්ය. ගෙවී ගිය වසරක කාලය ඊට පෙර ගෙවා අවසන් කළ විසි හය වසරටම වඩා වැඩියෙන් ජීවිතය දෙස සුබවාදීව බලන්නට උගන්වා ඇත.
"චුට්ටකට ඔය කල්පනා කෝච්චියෙන් බැහැලා මේ ටිකත් අරන් ගිහින් අර එහා සීට් එකෙන් වාඩි වෙන්නකො" දුම් දමන බඩ ඉරිඟු කරල් කීපයක් සහිත පොලිතීන් බෑගයක් ඇස් ඉදිරියෙන් එහා මෙහා කළ අසේල අතීතය වෙත ඇවිද යන්නට පෙර ඔහුට හිමි අසුන ඉල්ලා සිටියේය.

දොළොස්වෙනි තත්සර මුසුවට එකතු වෙමු බදාද ට

තුන් නද තත්සර
දොළොස්වෙනි තත්සර මුසුව අසේලගෙන්
************************************************
ඇය සිටියේ බඩ ඉරිඟු මල්ලේ උණුසුම උකුලට නොදැනෙන තරම් ගැඹුරු කල්පනාවකය. අත දිගු කර උකුල මත වූ බෑගය ඉවත් නොකරන්නට ඈ තවත් හෝරාවකටවත් පියවි සිහියට නො එන්නට ඉඩ තිබිණ. ගැඹුරින් කල්පනා කළ යුතු තරමේ ප්‍රශ්න කිසිවක් ඔවුන්ගේ ජීවිත තුළ තිබේදැයි කියන්නට තවමත් කල් වැඩිය. මහත් වූ අභිමානයකින් තම වැඩිමහල් දියණිය ගැන උදම් ඇනූ අප්පච්චී නොකියූ කතාවල් තිබෙන්නට බැරි නැත. පියෙකු තම දරුවෙකුගේ ජීවිතයේ අස්සක් මුල්ලක් නෑරම ආගන්තුකයෙකු හා බෙදා ගනීයැයි විශ්වාස කරන්නට නොහැක. ඔහුට මා කෙරෙහි කිසියම් පැහැදීමක් සහ විශ්වාසයක් ඇත්නම් ඒ අම්මා විසින් ගෙවුණ මාස පහ තුළ උපයාගත් මානුෂීය වත්කමක අතුරු ඵලයකි. එක්කෝ ඇය තවමත් කල්පනා කරන්නේ දින කිහිපයක් නිවසේ රැඳෙන්නට අවකාශ නොලැබීම ගැන විය හැක. හෙට දිනයේ අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු පාසැල් සංවර්ධන සමිතියේ රැස්වීමක් නොතිබෙන්නට ඇය අද මා සමඟ නිවසට නොඑන්නට වැඩි ඉඩක් තිබිණ.
ප්‍රශ්න අසමින් ඇයව වෙහෙසවන්නට තිබූ ලෝබකම මගේ මුව අගුළු ලා තිබිණ. ඇයට ඇගේ සිතුවිලි ලෝකය තුළ හුදෙකලා වන්නට ඉඩ හරිමින් කාන්සියෙන් රිය පැදවූ කාලය විනාඩි විස්සකට වැඩි මිස අඩු නැත. උණුසුම පහව ගිය බඩ ඉරිඟු කරලක සුවඳින් මගේ ඉවසීම බිඳ වැටෙන විට අප සිටියේ තණමල්විලත් උඩවලවත් අතර වූ ජනශූන්‍ය පෙදෙසක් පසු කරමිනි.
"සමාධි" ඇය සිටියේ මගේ හඬ ඇසෙන සීමාවෙන් බොහෝ ඈතකය. දෙතුන් වරක් කතා කළ පසු හිස හරවා මා දෙස බැලූ ඇය නිදා සිටි වග අඟවන්නට මෙන් ඇඟිලි වලින් දෑස් අග පිස දැමුවාය. ඇගේ සියුම් ඉරියව්වකින් පවා සතුටක් ජනිත කරවන තරමට සිත මගේ පාලනයෙන් මිඳෙන්නේ මන්දැයි මට තවම වැටහෙන්නේ නැත.
"මොනවද ඉස්කෝලෙ නෝනා ඔය හැටි කල්පනා කරන්නෙ" තුනී මදහසකට දෙතොලින් ලැගුම් ගන්නට ඉඩ දුන් ඇය කල්පනාවෙන් බර වූ දෙනෙත් තද කර පියාගත්තාය. පාර අයිනේ තිබූ තේක්ක ගස් පෙළක් අද්දරින් මෝටර් රථය නතර කර මා ඉන් පිටතට බසින තුරුත් ඇය සිටියේ ඒ ඉරියව්වෙන්මය.
"කම්මැලිකම යන්නත් එක්ක බැහැලා එන්න ඔය ඉරිඟු කරලකුත් අරගෙන" මගේ ඉල්ලීමට එකඟව රියෙන් බැස ආ ඇය මෝටර් රථයේ බඳට හේත්තු වී ඉරිඟු කරලක් මා වෙත දිගු කළාය. ඇය අසලින්ම රැඳෙන්නට බල කරන හිතට තරවටු කර බෝක්කු කණුවක් උඩ වාඩි වෙද්දී ඇය ඉරිඟු කරල දත් අතරට තද කරගෙන සිනහව සඟවා ගත්තාය.
"මොකෝ හොරෙන් හිනාවෙන්නෙ"
"හිටගෙන ඇවිත් මහන්සි ද?" ඇය සිනාසුණ කාරණය හෙළි වීමත් සමඟ ඇගේ සිනාවට එක්වන්නට මටත් හැකිවිය.
" ගොළුවෙක් එක්ක ගමනක් යන එක ලේසියි කියලද හිතා ඉන්නෙ"
"සොරි අසේල. මට ගෙදර මතක් වුණාම ඔක්කොම අමතක වෙනවාසිනාසෙමින් සිටි ඇය පශ්චත්තාපී හඬින් පැවසුවේ ඉන්පසුය. ඒ සෝබර හඬ ඇයට ගැලපෙන්නේ නැත. නොගැලපෙන විහිළුවකින් ඇති වෙමින් පැවතුන සුන්දර කතා බහට තිත වැටෙන්නට දී බලා සිටින්නට මට නොහැකි විය.
"ෂෝක් ටීචර්ස් ලා. හොඳ වෙලාවට කලින් ඉස්කෝලෙ ගිහින් ඉවර වුණේ" සිනාසෙමින්ම මා ළඟට ඇවිද ආ ඇය යාබද බෝක්කු කණුව උඩ වාඩි වී දෙපා හොඳින් ආවරණය වන ලෙස ගවුම සකසා ගත්තාය. ගැහැණියක සතු එවන් හුරුබුහුටිකම් පවා පිරිමියෙකුගේ සිත තුළ තෘෂ්ණාවන් ගොඩ ගසන බව ඇය නොදැන සිටියා විය හැක. මුහුදු වෙරළක වැලි මාළිගයක් තනන නොදරුවෙකු මෙන් හදවත ඒ සුළු මොහොතේ ප්‍රීතිය පවා තදින් වැළඳ ගනිද්දී ඊට තරවටු කරන්නට මට නොසිතුණි. මා ලොබ බඳිමින් සිටින්නේ නොලැබෙන වස්තුවකට වීමේ ඉඩක් නැතුවා නොවේ. එහෙත් විලංගු දා සිතුවිලි බැඳ තබන ක්‍රමයක් සොයාගන්නට උනන්දුවක් හිත අහලකවත් නොතිබිණ.
කිචි බිචි ගාමින් කරඹ ගහක අතු අතරට වී තුටින් ඵල වළඳන පැණි කුරුළු ජෝඩුවක් දෙස බලාගෙන සිටි සමාධි ඉන් දෑස් මුදාගනිද්දී මට ඉවත බලන්නට කාලයක් නොතිබිණ.
"යසයි ගෝලයෙක් එහෙම මෙතනින් ගියොත් හෙට ඉස්කෝලෙ පුරාම කියවයි අන්න සමාධි ටීචර් කොල්ලෙක් එක්ක බෝක්කුවක් උඩ කතා කර කර හිටියා කියලා"
"මං හරිනම් කවුරුත් මං ගැන කියන දේවල් ගැන මං වද වෙන්නෑ අසේල. මෙහෙට ආවම කාලෙ මං ජොගින් යද්දිත් මිනිස්සු කට උඩ ඇරගෙන බලන් හිටියා. මිනිස්සු කියන දේවල් ගැන හිත හිතා හිටියොත් අපිට අපි කැමති දේවල් කරන්න තව ආත්මයක් ණයට ගන්න වෙනවා"
"ඒකට කමක් නෑ. ඕක කාලා ඉවරනම් නඟින්නකො වාහනේට. අපි යන ගමන් කතා කරමු" ඇගේ සැහැල්ලු හැසිරීමට යටි හිත ලොබ බඳිමින් සිටියදීම ඉරිඟු හනස්ස කෑලේට වීසි කරමින් මම එතනින් නැඟිට්ටෙමි. ගම්බද පාසලකට අලුතින් පත්ව ආ තරුණ ගුරුවරියක් මුහුණ දෙන අභියෝග ගැන හරිහමන් දැනුමක් තවමත් ඇයට ලැබී නැත. දුෂ්කර ග්‍රාමයක ජීවිතය සුන්දර වන්නේ ඊට අනුගත වීමේ කලාව හඳුනා ගතහොත් පමණි. සමාධි තවමත් ජීවත් වන්නේ ඇය හැදුණ වැඩුණ සමාජයේ මනෝභාවයන් සමඟිනි. අකමැත්තෙන් මෙන් මගේ යෝජනාවට එකඟ වූ ඇය මෝටර් රථයට ගොඩ වී ආසන පටිය පැලඳ ගත්තේත් ඕනෑවට එපාවට මෙනි.
"බැරි වෙලාවත් අලියෙක් එහෙම ආවොත් ටීචර් නම් දුවලා හරි බේරෙයි. අසරණ මට තමයි යන එනමං නැති වෙන්නෙ" හිත රැඳි නොමනාපය පහව යන තුරුම සිනාසුණ ඇය පිටුපස අසුනේ වූ අත් බෑගයෙන් ජංගම දුරකථනය පිටතට ගත්තාය.
"මල් එහෙම කඩන්න තියෙනවා නම් කියන්න. ඉස්සරහින් නවත්තන්නම්"
"ඒවා මං ගිහින් කඩා ගන්නම්. ඔයා ඒ ගැන කරදර වෙන්න ඕන්නෑ" කියමින් ඇමතුමක් හා සම්බන්ධ වූ ඇය ලබාදුන් උපදෙස් මාලාවත්, වරින් වර ශ්‍රවණය වූ ගීතවත් කටහඬත් මට ඇය කතා කරමින් සිටි පුද්ගලයා නිවරදිව අනුමාන කරන්නට ඉඟි බිඟි සැපයීය.
සමාධි පණ පොවමින් සිටි විචිත්‍රවත් චරිතය ගැන සියයට සියයක් නොදැන සිටියද මට ඒ ගැන අවබෝධයක් තිබිණ. අප්පච්චී ඉදිරියේ ඇය තවමත් සුරතල් දියණියකි. අම්මා අබියස ඇගේ භූමිකාව ඊට ඉඳුරාම වෙනස්ය.
"අපේ ලොකු නංගිට පොතක් පතක් අතට ගත්තම මෙලෝ දෙයක් කල්පනා වෙන්නෑ. හැමදේම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නෝනි" ඇමතුම විසන්ධි කර දුරකථනයත් සමඟම අත් බෑගය පිටුපස අසුනට වීසි කළ ඇය මා සමඟ සංවාදයකට මාතෘකාවක් හොයාගත්තේ මුල් වරටය. හිතේ සතුට ඇක්සලේටරය මත වූ දකුණ කකුලෙන් නිදහස් වූයේ මටත් නොදැනීමය.
"ඉඟිල්ලෙන්නමයි හදන්නෙ"
"නිදහස් කුරුල්ලෙක් වුණාම වාසිය ඒක තමයි"
"ඔයා නිදහස් කුරුල්ලෙක් වුණාට පාරෙ යන එන මිනිස්සු හැමෝම එහෙම නිදහස් නෑ. ඒ මිනිස්සුන්ට දරු පවුල් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ජීවත් වෙන්න හේතු තියෙනවා"
"අම්මෝ ඇති ඇති............මීට පස්සෙ හතළිහෙන් එහා යන්නෑ" හිතා මතාම වේගය අඩු කරද්දී ඇය මීටරයට එබී බලමින් සිනාසුණාය. අද දවස තුළ ඇය සිනාසුණ වාර ගණන වැඩිය. එදා දෙපයින් මුදාගත් පාවහන් යුවලත් අතැතිව මා දෙසට හිස හැරවූ සමාධි අප්සරා මන්තිලකත්, ඒ මොහොතේ මා හා හිනැහෙමින් සිටි සමාධිත් අතර ඇති වෙනස නිර්මාණය කළ සිදුවීම් මාලාවට මම හිත යටින් ස්තූති කළෙමි.
"අසේල" මම හිස හරවා ඇය දෙස බැලීමි. ඇගේ මුව මත පැතිරෙන තුනී මඳහස ඊයෙ හවස අත්තම්මාත් ඇයත් රියට නංවාගත් පසු ඇය එලෙසම ආමන්ත්‍රණය කළ මොහොතේ මගේ හැසිරීම සිහිපත් කරමින් සිනහවක් කැඳෙව්වේය.
"මට ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා"
"ඒ මොකක්ද?"
"මං මෙහෙම අහන්නෙ ඔයා මට ඇත්තම කියයි කියන විශ්වාසෙන්"
"මං ඒ විශ්වාසෙ බිඳින්නෑ සමාධි. ඔයාට අහන්න තියෙන ඕනිම දෙයක් අහන්න. දැනට නම් ඔයාට බොරුවක් කියන්න තරම් හේතුවක් මට නෑ" කියා ඇගේ හිත රැඳි විශ්වාසය තහවුරු කරන බැල්මකින් මම නැවතත් ඇය දෙස හැරී බැලුවෙමි. නොබියව මගේ දෙනෙත් හා පැටලුණ ඇය විශ්වාසය තහවුරු කරගන්නා තුරු මෙන් හඬ අවදි කරන්නට තරමක කාලයක් ගත්තාය.
"ඔයා ඊයෙ රෑ අර හොටෙල් එකට ගියෙ නෑ නේද" ඇගේ සංවාදයට සවන් දෙන රිසියෙන් හිතා මතාම බ්‍රේක් පැඩලය උඩට ගත් පාදයෙන් හිතේ කලබලය නිදහස් විය. අනපේක්ෂිත මොහොතක මහ මඟ රිය නතර වීමෙන් අනතුරක් නොවුණේ වාසනාවටය. ඉඳහිට ඉදිරියෙන් එන තුරු පැදියක්, ත්‍රිරෝද රථයක් හැරෙන්නට අපට වාහන හමුවූයේ අතරින් පතරය.
"අපරාදෙ කියන්න බෑ ඩ්‍රයිවින් නම් ෂෝක්...........ලර්නර්ස් එකේ උගන්නන්නෙත් ඔහොමද" පාරෙන් අයින් කර වාහනය නතර කරගන්නා අතර තුර ඇය සීරුවට චෝදනාව ගොනු කළාය. සමාව අයැදිය යුතු වුවත් ඒ තරවටු බැල්මේත් සුන්දරත්වය විඳිමින් සිටි හිතට පිළිතුරු බැඳීමේ කලබලයක් නොතිබිණ.
"ඒකෙ ඔච්චර කලබල වෙන්න හේතුවක් තියෙනවා කියලා දන්නවා නම් මං ඒ ප්‍රශ්නෙ අහන්නෑ. වැරදි දෙයක් ඇහුවනම් සමාවෙන්න අසේල. අපි යමු. හවස් වෙද්දි අලි ඉන්නවා නේද ඉස්සරහා"
"නෑ නෑ කිව්වට මොකද චණ්ඩියා අලින්ට නම් බය ද කොහෙද" සිනාසෙමින් අත් ඔරලෝසුව වෙත දෑස් රැඳවූ ඇය කිසිවක් නොපැවසුව ද, රිය පාරට ගනිද්දී සිහින් සිනහවකින් දෙතොල් සරසා ගත්තාය.
අප නිවසට ළඟාවන තෙක් විවෘත ආලින්දයට වී බලා සිටි අම්මා සමාධි සමඟ ඔවුන්ගේ නිවසට ඇතුළු වූවාය. අත්තම්මා ආපිට පැමිණෙන තෙක් රැය පහන් කිරීම උදෙසා හෝ ඇය අපේ නිවසට කැඳවාගෙන ඒමට අම්මා උත්සහ කරනවා සිකුරුය. ඒත්, ගෙවුණ සති තුන තුළ දැන හඳුනාගත් සමාධි අඳුරට හෝ රාත්‍රියට බියක් නොදක්වන බවට ද සැක නැත. අම්මාත් ඇයත් අතරේ ඇති හොඳ හිත පළුඳු වන්නේ එතැනදීය.

දහතුන්වන තත්සර මුසුවට එකතු වෙමු සිකුරාදා ට

දහතුන්වන තත්සර මුසුව සමාධිගෙන්
*********************************************
සිකුරාද දහවල් පාසැල් අවසන්ව තවත් ටික වේලාවක් විදුහල්පති කාර්යාලයේ රැඳී සිටින්නට මට සිදුවිය. තුන් සියයකට අඩු සිසු පිරිසක් සහිත පාසලක කණ්ඩායම් ක්‍රීඩා සඳහා සිසුන් තෝරා ගැනීම අසීරුය. ගුරු මණ්ඩලයේ ස්ථිර සාමාජිකාවක් නොවූ මට වරින් වර උද්ගත වන ගැටළු විදුහල්පතිවරයා හමුවේ තැබීමටත් ඒවා නිරාකරණය කර ගැනීමටත් ඉඩ ලැබෙන්නේ පාසැල් අවසන් වූ පසුය.
විදුහල්පතිවරයා හා සාකච්ජාව අවසන් කොට  ගේට්ටුවෙන් පිටතට එද්දීම ඇඹිලිපිටිය දෙසට බසයක් ඉගිල්ලිණ. විනාඩියක් ඉස්සර වන්නට නොහැකි වීම ගැන තැවෙමින් පාසලට එහායින් වූ කොට්ටම්බා ගස දෙසට ඇවිද යද්දීම අසේලගේ මෝටර් රථය මට ඉදිරියෙන් නැවතිණ. අන් කවරදාකවත් නොදැනුණ තරමේ කෘතවේදී හැඟීමක් ඔහු කෙරෙහි ඇති කරන්නට ඇත්තේ කුසගින්න විසිනි.
"නඟින්න මැඩම්. ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්" ෂටර් එක පහත් කර, පැලඳ සිටි අව් කණ්නාඩිය නළලට ගනිමින් ඔහු සිනාසුණේය.
"ඔයා කොහෙද මේ පැත්තෙ" දොර වසා, ආසන පටිය පැලඳ ගන්නා තුරු බලා සිටි ඔහු මගේ ප්‍රශ්නය නෑසුන ගාණට රිය ඉදිරියට ගත්තේ "ඔයාට ගෙදර යන්න හදිස්සි නෑ නේද?" අසමිනි.
"ඔයා ගෙදර යන්නැත්තන් මාව හන්දියෙන් බස්සලා යන්න. මං නන්දසේන එක්ක යන්නම්"
"එහෙම මගෙ වාහනේට මංම කතා කරලා නග්ගා ගත්තු කෙනෙක් මඟින් බස්සලා වෙන වාහන වල යවන්නෑ මං" සැහැල්ලුවෙන් මුත් ඔහු පැවසුවේ තිර හඬකිනි. ඊට අභියෝග කිරීමේ උවමනාවක් නැතත් මා සිටියේ කුසගින්නෙනි.
"මට බඩගිනියි"  නළලේ රැඳි දා බිඳු අතින් පිස දමමින් මා මගේ අපහසුතාවය නොපැකිලිව පැවසුවේ මඟින් බැස්සවීමට අකමැතිනම් ඔහු මා නිවසට ඇරලවනු ඇතැයි විශ්වාසයෙනි. උඩවලව හන්දියේ සිට නිවසට යන්නට ඔහුට විනාඩි පහක්වත් ගත වන්නේ නැත.
මගේ අරමුණ ඉෂ්ඨ කරනු වෙනුවට,  හිස හරවා මා දෙස බැලූ ඔහු ඉන්පසු වායු සමන යන්ත්‍රයේ උණුසුම අංශක දෙකකින් අඩු කළේය. කෘතවේදී සිනහවක් මුව මත පැතිරෙන්නට ඇත. නෙත් කොනින් මා දෙස බැලූ ඔහු "මට ඔයාලගෙ අප්පච්චි කතා කළා" කීවේය.
" ඒ මොකටද"
"පොඩි කොන්ත්‍රාත් එකක් බාර දෙන්න"
"මොකද්ද?. අත්තම්මා එනකල් මං ගැන චුට්ටක් බලන්න කිව්වද?" මහ හඬින් හිනැහුණ ඔහු එක්වරක් මා දෙස හැරී බලමින් උඩවලව හන්දිය පසු කළේය. මගේ කුසගින්නත්, හේතු විමසීමත් මායිම් නොකිරීමටත් වඩා ඒ හිනාව හිත නොරිස්සුවේය.
"අප්පච්චි කිව්වා ඔයාට ස්කූටියක් ගන්නෝනි කියලා පුළුවන්නම් පොඩ්ඩක් ඒ ගැන බලන්න කියලා. ඔයා අද තිබොල්කැටියෙ එන බව දන්න නිසයි මං ඉස්කෝලෙ ගාවට ඇවිත් හිටියෙ " හිතේ වූ නොරිස්සුම වාෂ්ප කරමින් හිනා මල් වට්ටියක් පුබුදුවන්නට ඒ ආරංචිය ප්‍රමාණවත් බව ඔහු දැන සිටින්නට ඇත. මා සිතා සිටියේ අප්පච්චී සුව වන තෙක් ඒ හීනය පස්සට දමන්නටය. එහෙත් ඔහුට මගේ ඉල්ලීම කල් දැමීමට සිත් නොදෙන්නට ඇත. ඒ අප්පච්චිගේ හැටිය. ඔහු හැමවිටම මුල්තැන දුන්නේ අපේ උවමනාවන්ටය.
"කටෙන් එකයි හිනාව"
"එහෙම තමයි. මේ පොඩි පොඩි දුරවල් වලට බස් එනකල් බලන් ඉන්නයි බස් වලින් මාරු වෙන්නයි ගියාම එපා වෙනවා. විනාඩි දහයෙ පහළවේ ගමනට පැයක් විතර රස්තියාදු වෙන්න වෙනවා. අව්වයි දාඩියයි නැත්තන් පයින් හරි යන්න පුළුවන්"
අප අතර ලියලා වැඩෙමින් තිබූ මිත්‍රත්වය මට මා යළි සොයා ගැනීම පහසු කළේය. සමීපව ඇසුරු කළ හැකි හිත මිතුරන් කිසිවෙක් ගෙවුණ මාස හය තුළ මට හමුවූයේ නැත.  අත්තම්මාත් මාත් අතර වූ සුපුරුදු බැඳීමේ උඩවලවට පැමිණීමත් සමඟ වෙනස් වන්නට තරම් හිස්තැන් නොතිබිණ. සුනේත්‍රා මැඩම් හා මා අතර කිට්ටු ඇසුරක් තිබුණ ද එය විදුහල්පතිණියක් හා තරුණ ගුරුවරියක් අතර ඇති බැඳීමට එහා ගිය එකක් නොවීය. උඩවලව අහස යට මට එතෙක් හමු වූ ළෙංගතුම සිත් ඇත්තිය නාලි අක්කා වුවත් ඒ බැඳීමේ හිස්තැන් බොහොමයක් තිබිණ. අසේල විසින් පුරවමින් සිටියේ ඒ හිස්තැන්ය.
"පුරුදු වෙන්න ගිහින් කොන්ද කඩාගත්තෙ නැත්තන් ලබන සතියෙ ඉදන් ඒ ප්‍රශ්නෙ ඉවර කරගන්න පුළුවන්. අපි අද බයික් එකක් බලමු. ඔයා සැටිස් නම් හෙට වුණත් ගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා මගෙ කමිෂන් එක ගෙවලා ඉන්නෝනි"
"හරිනම් ඒක ඉල්ලා ගන්න ඕනි කන්ට්‍රෑක් එක බාර දුන්නු කෙනාගෙන්"
"එයාගෙනුත් ඉල්ලා ගන්නෝනි. හැබැයි ඒකට ටිකක් කල් යන නිසා ටීචර් ට බැරිද මට ෆෘට් ජූස් එකක් අරන් දෙන්න. ටීචර්ස් ලා ලෝබයි කියලා දන්න නිසා මං වැඩිය ගණං දේවල් ඉල්ලන්නෑ " කියමින් ඔහු ඇතුල් පාරකට රිය හරවා ටික දුරක් ඉදිරියට ගොස් විශාල වත්තක් මැද තිබූ කුඩා අවන්හලක් අසලින් නතර කළේය.
"බැහැලා එනවද නැත්තන් බොන්න මොනාහරි ගෙනත් දෙන්නද?" රියෙන් බහින්නට සූදානමක් නැති මා දෙස බලාගෙන ආසන පටිය නිදහස් කළ ඔහු දොර බාගෙට අරිමින් විමසුවේය.
"එන්නං. නැත්තන් කියයි බිල ගෙවන්න වෙනවට ලෝබ කමේ නැවතුණා කියලා"
"එව්වා නම් හඳේ නංගි. මං මෙතන්ට ඇවිල්ලා සල්ලි ඉල්ලන් යනවා විතරක් නෙවෙයි පොඩි ටිප් එකකුත් ගන්නවා" මා රියෙන් බසින තුරු බලාසිටි ඔහු අගුල තදකර පැෂන් වැලකින් සෙවණ කළ ආරුක්කු හැඩයේ පිවිසුමෙන් මට ඇතුල් වීමට ඉඩ හැර ඒ පිටුපසින් ආවේ කියව කියවාය.
ගෙවුණ කාලය තුළ මා වරින් වර ඇඹිලිපිටියට පැමිණි අවස්ථා බොහොමයක් තිබුණද ඒ එකම අවස්ථාවකවත් අවන්හලකට ගොඩවී නොතිබිණ. ඉණ තෙක් උසට කටු මැටි බිත්ති බැඳ ඉතිරිය උණ පටි වලින් හැඩ කර ඉලුක් සෙවිලි වහළක් සහිත අවන්හල තුළ වූ සිසිලස ඒ  ඇඹිලිපිටිය වග අමතක කළේය.
"සමාධි.....ඔයාට බඩගිනි නම් බත් කන්නත් පුළුවන්" ලස්සනට කැටයම් ඔබ්බවා ඔප මට්ටම් කළ මැටි වළං පේළියකින් සමන්විත බුෆේ එකක් ළඟට ඇවිද ගොස් වළං තුළට එබී බැලූ අසේල උස් හඬින් පැවසුවේය. මම හිස දෙපසට සොලවා අකමැත්ත ප්‍රකාශ කරද්දී ඔහු ළඟට ආවේ "එහෙනං මොනාද ඕනි" අසාගෙනය. විදේශීය යුවලක් හැරෙන්නට අවන්හල තුළ සිටියේ අප දෙදෙනා පමණි. කටු මැටි ගා උස් වේදිකාවක් ලෙස ඉදිකර විනිවිද පෙනෙන ගණකම් පොලිතීන් එකකින් ආවරණය කළ ජූස් බාර් එක තුළ සිටි සේවිකාව අසේල දෙස බලමින් සිනාසුණේ ඒත් සමඟය. ඇය අපව දකින්නට ඇත්තේ පෙම් යුවලක් ලෙසය.
"මට වුඩ් ඇපල්  එකක් හොඳයි. ඔයාට මොනවද. ෆෘට් ජූස් එකක්නෙ අරන් දෙන්න කිව්වෙ"
"බුෆේ එකේ තම්බපු මඥ්ඥොක්කා තියෙනවා ලුණු මිරිසුත් එක්ක. මොකද කියන්නෙ කමු ද?. බය වෙන්නෙපා මං බිල ගෙවන්නම්" ඔහු මට පමණක් ඇසෙන තරමට හෙමින් පැවසුවේය. හිස දෙපසට සොලවා මා අකමැත්ත ප්‍රකාශ කළ පසු දිවුල් යුෂ වීදුරුවක් සමඟ ප්ලේන්ටියක් ඇණවුම් කළ ඔහු මට වාඩි වන ලෙස පවසා අපේ ඇණවුම ලැබෙන තුරු එතැනම රැඳී සිටියේය.
දිවුල් කිරි පිරවූ වීදුරුව එක් අතකිනුත්, කිරි පැහැ පීරිසි කෝප්පයක් අනෙක් අතිනුත් රැගෙන ආ ඔහු ඒ දෙකම මා ඉදිරියෙන් තබා වාඩි වූයේ  "බොන්න" කියමිනි. මා දිවුල් වීදුරුවට අත තබද්දී ඔහු පීරිසිය ඇඟිලි දෙකකින් අල්ලා තේ එක ළඟට ගත්තේය.
"ෆෘට් ජූස් බොන්න ආපු මනුස්සයා මොකටද ප්ලේන්ටියක් ගත්තෙ. බය වෙන්නෙපා. මගෙ පර්ස් එකේ ජූස් දෙකකට ගෙවන්න සල්ලි තියෙනවා"
"හදන කෙනා දැක්කම ප්ලේන්ටියක් බිව්වනම් හොඳයි හිතුණා" කියමින් ඔහු ටී බෑග් එක ඉවත් කරද්දී මේසය මත වූ සීනි පිරවූ පෝසිලෙන් බඳුන මම ඔහු වෙතට ළං කළෙමි.
"සීනි  ඕන්නෑ" කියා කෝප්පය අතට ගත් ඔහු තේ උගුරෙන් උගුර රස විඳින හැටි මා බලා සිටියේ පුදුමෙනි.
"ඇස් දෙක නළලෙ තියන් බලන් හිටියට මේකෙන්නම් උගුරක්වත් දෙයි කියලා හිතන්න එපා. සීනි නැතුව තේ එකක් කොච්චර රසද කියලා දැනගන්න ඕන්නං ගෙදර ගිහින් එකක් හදාගෙන බොන්න"
"ඇයි දැන්මම ඩයබටික් ද?"
"උදේ හවස ජොගින් ගියෙ නැතුවට අපිත් හොඳ හෙල්දි කොල්ලො නංගි හරිද" කියමින් ඔහු දිව ඇද කර සැහැල්ලුවෙන් සිනාසුණේය.
"ඇත්තටම ඔහොම බොන්න පුළුවන්ද"
"කොරියාවට ගියම කාලෙ මටත් ඔය ප්‍රශ්නෙ ඔය විදිහටම තිබ්බා සමාධි. පස්සෙ මමම ටික ටික තේරුම් ගත්තා පොඩි කාලෙ ඉදන් අපි අඳුරන් ඉදලා තියෙන්නෙ ලුණු මිරිස් රහයි පැණිරහයි විතරයි කියලා. තේ එකක හරිම රස දැනෙන්න නම් සීනි නැතුව බොන්නෝනි. මාලු කෑල්ලක හරිම රස බලන්න නම් ලුණු ගොරකා නැතුව අමුවෙන් කාලා බලන්නෝනි. එළවළුවක් වුණත් එහෙමයි. එක එක එළවලු එක එක රහයි කියලා දැනගන්න නම් අමුවෙන් කාලා බලන්න ඕනි. ඇත්තටම මට දැන් ගෙදර උයන කෑම වලත් ලුණු දැනෙනවා වැඩියි. මං වෙනුවෙන් මහන්සි වෙලා හදන කෑමකට මොකුත් කියන්න දුක නිසා කට පියන් කෑවට කාලා ඉවර වුණාම හරි අපහසුයි. දැනුත් මට අර කෙල්ලගෙ සිරික්කිය දැක්කම ජූස් එක එපා හිතුණා. ෂුවර් එකට තොල කට ඇලෙන ගාණට සීනි දාලා ඇති. ඒකනෙ ටීචර් ඔය කට ඇරගන්න බැරුව බලන් ඉන්නෙ. "
සුරංගනා කතාවකට සවන් දෙන නොදරුවෙකුගේ තත්වයට පත්ව සිටි මා ඉන් මිඳුණේ ජංගම දුරකථනයේ හඬිනි. තිරය මත දිස්වූ අකුරු කිහිපය ග්‍රහණය කරගත් ඔහු "කියන්න කමිෂන් එකේ ඇඩ්වාන්ස් එකක් ගෙවන්න ආවා කියලා" කියා සිනාසෙමින්ම අයකැමි අසලට ගියේය.

තුන් නද තත්සර
දාහතරවෙනි තත්සර මුසුව අසේලගෙන්
*********************************************

යතුරු පැදිය මිලදී ගත් මොහොතේ සමාධිගේ නීල දෑස තුළ නළියමින් තිබුණේ හා හා පුරා කියා බෝනික්කෙකු තිළිණ ලද දැරියකගේ මුවෙහි මැවෙනා ප්‍රීතිමත් සිනහවය. ඇය සිටියේ උද්දාමයේ උපරිමයටම ගොස්ය.
මා බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනින් ඇය යතුරු පැදි ධාවනයට හුරු විය. මුලින්ම ඇය පුරුදු වූයේ ගෙදර මිදුලේය. ප්‍රධාන පාරත් නිවසත් අතර වූ දුරෙහි සමබරතාවය රැක ගනිමින් රවුම් කීපයක් යෑමට ඇය ඒ හැටි වෙහෙසක් නොගත්තාය. සමාධි යතුරු පැදියක් මිලට ගැනීමත්, මා ඇගේ සහයෝගයට ඉදිරිපත්වීමත් අතරින් අම්මා වැඩියෙන්ම අකමැති වූයේ පළමු කාරණයටය. එහෙත්, සෘජුව ඒ ගැන කිසිවක් කීමට මැලි වූ ඇය මට බැණ වැදුණේ යතුරු පැදියක් ගන්නට මා ඇයව දිරිමත් කළ බව සිතාගෙනය. අත්තම්මා ගමට ගොස් සිටියේ වාසනාවට බව පැවසූ සමාධි අපේ අම්මාගේ අකමැත්ත ගැන ඒ හැටි තැකීමක් නොකළ ද අම්මාත් සමාධිත් අතර වූ බැඳීමේ පළුද්දක් දකින්නට යටි සිත අකමැති විය. ඒ දෙදෙනාටම හොරෙන් වර්ණ ගන්වමින් සිටි සිතුවමේ සුන්දරත්වය ඒ බැඳීමේ දිග පළල මත වෙනස් වේයැයි බියක් හිත කොනක සැඟව තිබෙන්නට ඇත.
සඳුදා උදෑසන ජංගම දුරකථනය නාදවන විට මා සිටියේ කුස්සියට යමින්ය. නැවතත් කාමරයට ගොස් ඇමතුමට සම්බන්ධ වීමට පෙර එය එදෙසින් විසන්ධි වී ක්ෂණයකින් සමාධිගේ කෙටි පණිවිඩයක් තිරය මත දිස්විය. දුරකථනනයත් රැගෙන ආලින්දයට යමින් සිටි මා පසුපසින් ආ නාලි අක්කා කිරි වීදුරුව අත තබා "අන්න සමාධි නංගි අද බයික් එකෙන්ම ඉස්කෝලෙ යන්න ලෑස්තියි" කියමින් කුස්සියට ගියාය.
"ගුඩ් මෝනිං මැඩම්. මොකෝ ප්‍රශ්නෙ" මිදුලේ නවතා තිබූ යතුරු පැදිය අසල සිටි ඇය සිනහවකින් මුව පුරෝගෙනම හැරී බැලුවාය. කිරි වීදුරුවට මුව නොතබාම කුස පිරී ගියේය.
"ගුඩ් මෝනිං. බබා තාම සුදු කිරි ද බොන්නෙ" නාලි අක්කා අතට දුන් කිරි වීදුරුව දෙස බලමින් ඇය ඔච්චමට සිනාසුණාය.
"දෙන්නද උගුරක්" කීයටවත් ඇය ඉන් බිඳක් තොල නොගාන බව දැන දැනම මම කිරි වීදුරුව ඇගේ මුහුණට කිට්ටු කළෙමි.
"අපෝ මට එපා. කහට දාලත් නෑ. ෂුවර් එකට සීනිත් නැතුව ඇති"කියමින් ඇය අඩියක් පිටුපසට වුයේ අකමැති කෑමක් බීමක් ප්‍රතික්ෂේප කරන කුඩා දැරියක් මෙන් කට ඇද කරගෙනය.
"වැඩිය සද්ද දැම්මොත් පොවනවා අල්ලලා" නොනවත්වාම සිනාසුණා මිස ඇය මට අභියෝග කරන්නට හෝ සරදමෙහි රැඳෙන්නට උත්සහ නොකළාය.
"ඇයි මට එන්න කිව්වෙ"
"මං ඉස්කෝලෙ යන්න හදන්නෙ. ඔයාට කියලා යන්නෝනි නිසයි කතා කරේ. ඔයා නිදාගෙනද හිටියෙ " ඇගෙන්ම හොරකම් කළ පාට තවරා හෙමිහිට වර්ණ ගන්වමින් සිටි සිත්තමේ දේදුණු පැහැයක් ඉහිරුණේය. හිත පුරා එහි සුන්දරත්වය විඳිමින් සිටි මට නොදැනීම පිටතට වීසි වුණ තීන්ත බිංදුවක් දෙතොල් මත රටා ඇඳි බව නොදැනුණි.
"අමුතු විදිහකට හිනා වෙන්නෙ ඇයි කියලා මං දන්නවා. හරි හරි වෙනදට ඉස්කෝලෙ ගියෙ ඔයාට කියලා නෙවෙයි තමයි. හෙට ඉදන් යන්නෙත් එහෙමම තමයි. හැබැයි අද ඉස්සෙල්ලම බයික් එකේ යන දවස නිසා ගුරාට නොකියා යන්න බෑ හිතුණා. ඒකයි කතා කරේ. ඔයා දන්නැතුවට ඔයා මට කරේ ලොකු උදව්වක්. ඔයා හිටියෙ නැත්තන් මට මෙහෙ උදව්වක් ගන්න කවුරුත්ම නෑ අසේල. මං හිතා හිටියෙ අප්පච්චි සනීප වුණාම එයා එක්ක ගිහින් එහෙන් බයික් එකක් බලලා මෙහෙ ඇවිත් අරන් කොහොමහරි අත්තම්මව ෂේප් කරන් තනියෙන් පුරුදු වෙනවා කියලා. එච්චර ඈතක තිබ්බ හීනෙ හිතුවෙවත් නැති වෙලාවක ළඟටම ගෙනත් දුන්නු ඔයාට නොකියා යන්න මට බෑ හිතුණා" හේතු ගණනාවක් කියාගෙන යමින් සිටි ඇය මගේ මුව මත වූ සිනහව අභියස නිහඬ වූවාය.
"කොහෙද මෙච්චර දවසක් ඔය කටර් එක හංගන් හිටියෙ"
සිනාසෙමින් හිස් වැස්ම පැලඳගත් ඇය "මැඩම් එළියට එන්න කලින් යන්නෝනි. එහෙනං මං ගිහින් එන්නද අසේල" අසමින් අවසර යතුරු පැදිය පණ ගන්වා අවසර ලැබෙන තෙක් මා දෙස බලා සිටියාය.
" ඔයාට ඊයෙම වුණත් තනියෙන් බයික් එකේ යන්න පුළුවන් කියලා මං දන්නවා. ඒත් පරිස්සමින් සමාධි. මතක ඇතුව බයික් එකට නගිද්දිම සාරිපොට හුළඟට යන්නැති වෙන්න තියාගන්න. ඉස්කෝලෙ ඇතුළට යන්න කලින් දවසම හොඳට හෙවණ තියෙන තැනක් බලලා බයික් එක නතර කරලා යන්න. නැතිනම් දවාලට එද්දි සීට් එක රත්වෙලා තියෙයි" දෑස් නොපියවා මා දෙස බලා සිටි ඇය "ඇත්තටම ඔයා හොඳ යාළුවෙක් අසේල. හරියට අප්පච්චි වගේ" කියා හිස දෙපසට සොලවා මගේ අවසන් උපදේශයත් පිළිගෙන හෙමින් ඉදිරියට ගියාය. ඇයට යන්නට ඉඩ දී ගේට්ටුව අසලට යද්දී බොහෝ දුරක් ඈතට ගොස් සිටියාය.  ඇය නොපෙනී ගොස් තවත් විනාඩියක් දෙකක් එතනම සිට ගෙට එන්නට හදද්දීම "මං පරිස්සමට ආවා" කියා කෙටි පණිවිඩයක් දුරකථන තිරය මත හිනැහිණ.
පෙරහුරු පරීක්ෂණයෙන් සමත් වුණ රියදුරු බලපත්‍ර අපේක්ෂකයෙකු මෙන් උද්දාමයෙන් ගෙතුළට යන්නට ගිය මගේ දෙපා සාලයෙන් නතර වූයේ කුස්සිය දෙසින් ආ අම්මාගේ හඬට ප්‍රතිචාරයක් ලෙසය. ඇය සිටියේ සමාධි යතුරු පැදියෙන් පාසලට යාම ගැන අමනාපයෙන්ය. නාලි අක්කා සමඟ සමාධිට දොස් පවරමින් සිටි අම්මා මා දුටුවනම කතාව නතර කළාය.
"ඇයි නතර කරේ. බණින්න ගත්තු එකේ තරහා ඉවර වෙනකල් බැණලා හරි ඕක දැන් හිතින් අමතක කරලා දාන්න අම්මා. සමාධි ඉන්නෙ මෙහෙ බව ඇත්ත. ඒත් අපිට අනුන්ගෙ ජීවිත වෙනුවෙන් තීරණ ගන්න බෑනෙ අම්මා. සමාධිගෙ අප්පච්චිමයි මට කතා කරලා කිව්වෙ එයාට බයික් එකක් ගන්නෝනි කියලා"
"අප්පච්චියි දූයි දෙන්නම බක පණ්ඩිතයිනෙ. දැන් ඔය අද ඉස්කෝලෙට ගියා වගේම බදාදට ඕකෙම තිබොල්කැටියටත් යයි. අර පැල්මඩුල්ල පාරෙ කෙල්ලෙක් බයික් එකේ යනවා කියලා මතක් වුණාමත් මගෙ ඇඟ හිරිවැටෙනවා" අම්මා පිට කළ ගින්දරෙහි උණුසුම හදවතට නොදැනුණා නොවේ.  එහෙත්, කිහිප වරක්ම ගමනාගමන දුෂ්කරතාවය ගැන කියමින් සිටි සමාධිගේ හීනයට තටු ලබා දීමට මිස, ලැබුණ තටු කඩා බිඳ දැමීමේ කැමැත්තක් හිත කොනකවත් නොතිබිණ.
"එහෙ යන්න එන්න කරදරයි කියලා තමයි ඔය බයික් එක ගත්තෙත්. එපා වෙනවා ඇතිනෙ අම්මා. මෙතනින් බස් එකක ගිහින් උඩවලව හන්දියෙන් බැහැලා  ආයෙ බස් එකක යන්න එපැයි. උදේට යන්න ගියාම එපා වෙනවා ඇති"
"ඔයත් ඉතින් මෝඩයා වගේ ඒකට උල්පන්දම් දෙන්න ඇති. කෙල්ලෙකුට තියා කොල්ලෙකුටවත් අද කාලෙ පරිස්සමින් බයිසිකලේක යන්න පුළුවන්ද. මේ පාරෙ වෙලාවකට සෆාරි ජීප් එහෙම යන්නෙ ඉඟිලිලා වගේ. මතක් වෙද්දිත් මගේ ඇඟේ ලේ වතුර වෙනවා. ඕනිවට වඩා හිතුවක්කාර වෙලා එක්කෙනෙක් කරගත්තු හරිය මතකනෙ" අම්මා සමඟ වාද කිරීමට ඇති අකමැත්තට වඩා අතීත මතකයන්ගේ අමිහිරි ගන්ධයෙන් උදෑසනම හිත පුරවාගත් සොම්නස අහිමි කරගැනීමට ඇති අකමැත්ත මා නිහඬ කළේය.

හැන්දෑවේ මා ගෙදර එනවිට අම්මා පෙනෙන්නට නොසිටියාය. කුස්සිය පැත්තෙන් ආ සද්ද බද්ද වල හැටියට නාලි අක්කා සිටිය යුත්තේ එහිය.
"ඔයා කලින් එනවා කියලා දන්නවනම් නැන්දට ඔයත් එක්කම යන්න තිබ්බා" පොළොස් ඇඹුලකට තුනපහ ඒදමින් සිටි නාලි අක්කා මා දුටුවනම පැවසුවාය.
"අම්මා කොහෙද මේ හවස් වෙලා ගියෙ"
"නැන්දා නන්දසේනව ගෙන්නගෙන පන්සලට ගියා. ඔයාට හතට විතර එන්න කිව්වා එක්ක යන්න"
"එච්චර වෙලා මොනා කරනවද පන්සලේ"
"අද බෝධි පූජාවක් තියෙනවලු"
"හාමුදුරුවන්ටත් වෙන වැඩ නෑනෙ" නාලි අක්කාගේ එරවිල්ල දෙස නොබලාම කුස්සියේ දොරෙන් එළියට තැබූ පය නතර වූයේ එළවලු පාත්ති අසලිනි.  සමාධිව දැක ගන්නා ක්‍රමයක් ගැන හිත හිතා එළවළු පාත්ති අතරින් ඇවිද යද්දී උදෑසන ඇය අසල ගත කළ මිනිත්තු කිහිපයේ මතක දෙතොල් මත මනමාල සිනහවක් තබා පැන ගියේය. කෝන් ගහ දෙසට ඇවිද යන අතරතුර ළපටි පිපිඤ්ඤා ගෙඩියක් කඩා එතනම තිබූ ජල කරාමය ඇර වැලි ටික සෝදද්දීත් දෙනෙත් නතරව තිබුණේ සමාධිලාගේ නිවස අසලය. එහෙත් ඇය කොතනවකවත් පෙනෙන්නට නොසිටියාය.
"කාගෙන් අහලද පිපිඤ්ඤා කැඩුවෙ" එක්වරම කෝන් ගහ දෙසින් ආ හඬ මුව පුරා සතුට ඉහිරුවේය. නැවුම් පිපිඤ්ඤා කෑල්ලක රස බලමින් මා ඇය සිටි දෙසට ඇවිද යනවිටත් ඇය සිටියේ ඉණට අත් දෙක තබා තරවටුවකට සැරසීගෙනය.
"අපේ වත්තෙ තියෙන ඒවා කඩන්න කාගෙන්වත් අවසර ගන්න ඕනියැ" අත රැඳි වතුර බිඳු ඇගේ මුව පුරා ඉසිමින් මම බංකුවෙන් වාඩි වුණෙමි.
"වත්ත ඔයාලගෙ වුණාට එළවළු කොටුව නාලි අක්කගෙයි මගෙයිනෙ" වැරදිකරුවෙකු දෙස බලන්නාක් මෙන් මා දෙස බලා සිටි ඇය යාබඳව හිද ගත්තේ එතෙක් නොදැන සිටි රහසක් හෙළි කරමිනි.
"කවුද දෙයියනේ දන්නෙ. කොටුව අයිති සැරම සැර ඉස්කෝලෙ හාමිනේ කෙනෙකුට කියලා දන්නවනම් මං ඔය එළවලු කොටුව මැදින් එන්නෙත් නෑ. කමක් නෑ. මං අර කමිෂන් එකයි බයික් එක පුරුදු කරපු එකේ ගාස්තුවටයි පිපිඤ්ඤා ගැටයක් දුන්නා කියලා හිතාගන්නම්කො. කොහොමත් ඉතින් කුණු ලෝබ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ" මගේ සරදම ගණනකට නොගත් ඇය සිටියේ ඈතක දෙනෙත් රඳවාගෙනය.
"සමාධි.......මොකෝ මේ. පිපිඤ්ඤා කෑල්ලක් ඕන්නං අහක බලාගෙන කෙල ගිලින්නෙපා. ආ කන්න" කියමින්  පිපිඤ්ඤා කෑල්ලත් සමඟ මුවට ළං කළ අත තල්ලු කර දැමූ ඇය නැවතත් ඉවත බලා ගත්තාය.
"සමාධි......... මොකද මේ. මං විහිළුවක්නෙ කරේ. ඇත්තටම මං දැනන් හිටියෙ නෑ එළවලු හැදුවෙ ඔයා කියලා"
"ඔයාලට ඕක නිකන්ම නිකන් එළවලු කොටුවක් වුණාට මට ඒක එහෙම නෙවෙයි අසේල. මං ඔයාට කිව්වනෙ මං මෙහෙට ආවෙ ඉල්ලලා කියලා. ඒ ආවෙ නිකන් නෙවෙයි. හිතේ ලොකු තුවාලෙකුත් තියාගෙන. අපි එද්දිත් නාලි අක්කා ඔතන එක එක ජාති එක ගොඩේ හිටවලා තිබ්බෙ. පස්සෙ මං එයත් එක්ක එකතු වෙලා තමයි ඔතන වෙනස් කරේ. ඉස්කෝලෙ ඇරිලා ආවම මං මුළු හවස් වරුවම හිටියෙ මේ පැත්තෙ. අව්ව අඩු වෙනකල් මෙතනට වෙලා පොතක් කියවනවා. හවසට පැළ එක්ක. මං හිටවපු පැළේක අලුතින් කොළයක් දල්ලක් එන එක, මලක් පිපෙන එක,  කරලක් ගෙඩියක් හැදෙන එක මගෙ හිතට කොච්චර ලොකු සතුටක් ගෙනාවද කියලා කවුරුත් දන්නෑ අසේල. නාලි අක්කයි ඔයාලගෙ අම්මයි හිතුවෙ මං ගෙදර ඉන්න කම්මැලි කමට වත්තෙ හිටියා කියලා. ඒ වුණාට ඇත්තම කතාව නම් මං අපහු හිනාවෙන්න පුරුදු වුණේ මේ ගස් කොලන් එක්ක. ඒකයි මං ඒවට මෙච්චර ආදරේ
ඇය එතරම්ම දරුණු චිත්ත පීඩාවකින් වේදනා විඳි වගට සාක්ෂියක් ගෙවී ගිය තෙසතිය තුළ හමු නොවුණි. හඬමින් කඳුළු වගුරුවමින් නොසිටිය ද ඇගේ හඬ වෙනදා තරම් තීව්‍ර නැත. මා සිටියේ හැඟීම් අසීරුවෙන් හිර කරගෙනය. ඒ හිස ළයට තුරුලු කරගෙන පිරිමඳින්නට පොරකන සිතුවිලි නවතා සුරත හිස මත තබන්නට හදද්දීම ඇය එතනින් නැඟිට්ටාය.
"මෙතනින් වාඩි වෙන්න" අතින් ඇද ඇයව එතනින් වාඩි කර ගනිද්දීත් හිත තිබුණේ නොසන්සුන්වය. මෙතෙක් දිනක් අසන යමකට පිළිතුරු දීමට එහා ගිය සබැඳියාවකට දිරි දීමෙන් වැළකී සිටි ඇය මට වඩාත් සමීප වූයේ අත්තම්මා නොමැතිව බදුල්ලේ සිට ආපිට එමින් සිටියදීය. එතැන් සිට ගෙවුණ දින හතර පහ තුළ හදවතින් අපි අපට සමීප වූ බව කියන්නට තවත් සාක්ෂි උවමනා නොවීය.
"ඔන්න අදනම් මං තේ දෙකක්ම ගෙනාවා" කියාගෙන තේ බන්දේසියක් රැගෙන ආ නාලි අක්කා බන්දේසිය මා අතට දී එසැණින් හැරී ගියාය. ඇගේ කලබලයට හේතුව අනුමාන කරන්නට තරම් ඉවක් සමාධිට  නොතිබෙන්නට හැටියක් නැත. එහෙත් ඈ ඒ ගැන තැකීමක් නොකළාය.
"සමාධි" එහා වත්තේ අඹ පැළ දෙස බලාගෙන තේ එක තොලගාමින් සිටි ඇය කෝප්පය බන්දේසියෙන් තබමින් මා දෙස හැරී බැලුවාය.
"උදේ යන්න ලෑස්ති වෙලා මොකද්ද මට කිව්වෙ කියලා මතකයි ද" දෑස් සිහින් කරගෙන ටික වේලාවක් කල්පනා කරමින් සිටි ඇය හිස දෙපසට සොලවමින් කිසිවක් මතකයේ නැති බව ඇඟෙව්වාය.
"මං හොඳ යාළුවෙක් කිව්වෙ"
"හොඳ නෙවෙයි අසේල. හොඳම හොඳ යාළුවෙක්. ඔයා ළඟ තියෙන සමහර කොලිටීස් අපේ අප්පච්චි ළඟ ඇරෙන්න වෙන කිසිම යාළුවෙක් ළඟ තිබ්බෙ නෑ. අප්පච්චිත් හැම වෙලේම මාව විශ්වාස කරා. මං මොනවා හරි කරන්න යනකොට මට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාස කරලා මට ඒක කරන්න ඇරලා උපදෙස් දීලා පැත්තකට වෙලා බලන් හිටියා මිස මොනවටවත් එපා එපා කිව්වෙ නෑ. ඔයත් ඒ වගේ"
"ඉතින් ඒ යාළුවාට බැරි වෙයිද ඔය හිතේ තියෙනවා කිව්ව තුවාලෙ සනීප කරන්න උදව් වෙන්න......ම්" හිස මත සුරත තබා මා ඇගෙන් ඒ ගැන විමසන මොහොතේත් ඇගේ දෙතොල් මත අන් කවරදාටත් වඩා සුන්දර සිනහවක් නවාතැන්ගෙන තිබිණ.
"එහෙම තුවාලයක් දැන් නෑ අසේල. පුංචි කැළලක් තිබ්බා, ඒකත් නැති වෙලා යන්නම තුවාලෙ සනීප වුණේ කවදද කියලා ඔයා දන්නවද? අර ඔයා ඉස්සෙල්ලම දවසෙ අපේ ගෙදර ඇවිත් බීම එකක් එහෙම බීලා ගියෙ. ආන්න ඒ වෙලාවෙ"
හිත අස්සේ පොදි ගැහී සිටි හීන පොකුරටම තටු ආවේ එකවරය. දුටු මුල්ම නිමේෂයේ සිට නුහුරු ආනන්දනීය හැඟුම් ගොන්නකින් හදවත පිරවූ සමාධි මේ කියන්නට සැරසෙන්නේ මගේ ආගමනය ඇගේ හිත සුවපත් කළ බව මම විශ්වාස කළෙමි. ඒත්, මොකද්දෝ වාසනාවකට ඇයට ඇගේ කතාව අසම්පූර්ණ වග දැනී තිබිණ.
"ඔයාට මතකද මට ලියුමක් තියෙනවා කියලා ඔයා ගෙනත් දුන්නු මෙරුන් පාට කාඩ් එක. ඒ විදුරගෙ හෝම් කමිං එකේ ඉන්විටේෂන් එක. ලබන බදාදා තියෙන්නෙ. බණ්ඩාරවෙල"ඇගේ වදන් තුළ කිසිඳු වේදනාවක් හෝ පසුතැවිල්ලක් ගෑවී නොතිබුණ ද මා ඊට සවන් දුන්නේ අපහසුවෙනි. ඇගේ වයසේ තරුණියකට එතරම් උපේක්ෂාවෙන් ප්‍රේමය සම්බන්ධ ප්‍රශ්නයක් බාර ගැනීමට හැකි බව මම එතෙක් විශ්වාස නොකළෙමි.
"ඔයා යනවද?"
"ඉන්වයිට් කරාම නොයා ඉන්න එක හරි නෑනෙ අසේල. අනෙක මගේ හිතේ දැන් ඒ ගැන දුකක් තරහක් නෑ. ගිහින් විෂ් කරලා ආවම මගෙ හිතත් නිදහස්
"ඔයා ඔහොම හිතන්නෙ කොහොමද කියන්න මට තේරෙන්නෑ. ඒත් මං ඒකට ආසයි"
"මට දැන් ඕනි දෙයක් දරාගන්න පුළුවන් අසේල. ඒ වුණාට ආයෙ එහෙම මගේ කොටුවට අත තියලා තිබ්බොත් මං බලාගන්නම්" කියූ ඇය මා සිතන්නටත් ප්‍රථම සිනාසෙමින්ම එතනින් පැන ගියාය.
අඳුර වැටුණ බව කියමින් නාලි අක්කා කෑ ගසන තුරුම කෝන්ගහ යටට වී හීන බලමින් සිටි මා නිවසට ආවේ වෙනදාටත් වඩා සැහැල්ලුවෙනි. සමාධිට පෙම්වතෙකු නොමැති බව දැන ගත්තාටත් වඩා අතීත මතකයන් ඇයට වද නොදෙන බව දැන ගන්නට ලැබීමේ ප්‍රීතිය හිත පුරා කරණම් ගසන්නට පටන්ගෙන තිබිණ.





තුන් නද තත්සර
පහළොස්වෙනි තත්සර මුසුව සමාධිගෙන්
*********************************************
අම්මා කාමරයට කර පෙව්වේ සිව්වෙනි වතාවටත් කණ්නාඩිය ඉදිරියට වී සාරියේ අඩුපාඩු සකස් කරගත්තාටත් පසුය. අතින් මුව වසාගෙන විනාඩියක් තරම් කාලයක් දොර ළඟට වී සිටි ඇය කණ්නාඩි මේසය තෙක් ඇවිද ආවේ බිම බලාගෙනය. මනාලියක වී විදුරගේ අතේ එල්ලී කුළගෙට පිය මනින තුරු බලා සිටි දියණිය ඔහුගේම විවාහ මංගලෝත්සවය වෙනුවෙන් සූදානම් වෙනු බලන්නට තරම් දිරියක් ඇගේ අවිහිංසක දෑසට නොමැති වග මා නොදැන සිටියා නොවේ.
එහෙත් අප සියල්ලෝම සත්‍යට මුහුණ දිය යුතුය. විදුර ඒකනායක යනු තවදුරටත් අපේ ජීවිත කතාවේ අන්තර්ගත විය යුතු නාමයක් නොවන වග අම්මා විශේෂයෙන්ම තේරුම් ගත යුතුය.
"ඔයාට ඔය ගමන යන්නම ඕනිද පුතේ" සාරි පොටත් හැට්ටයත් අල්ලා පිටතට නොපෙනන සේ සීරුවට කටුවක් රැඳවූ අම්මා විසි තිස් වතාවකට වඩා අසා හෙම්බත් වූ ප්‍රශ්නයම අලුත් කළාය.
"මට නොයා ඉන්න හේතුවක් නෑනෙ අම්මා. විදුර කියන්නෙ මගෙ අතීතෙ විතරයි. අප්පච්චියි මමයි එයාව අමතක කරා වගේ ඇයි අම්මටත් බැරි දැන් ඕක හිතින් අමතක කරන්න. විදුර කියන්නෙ දැන් මගේ කවුරුත් නෙවෙයි. ඉතින් මට මේ ගමන යන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. යන්න බැරි වුණොත් තමයි ඒක මගෙ හිතට වද දෙන්නෙ"
"වෙලාවකට මට නීතා ආන්ටිත් එක්ක පුදුම කේන්තියක් එන්නෙ. මේ මිනිස්සු මෙච්චර නපුරුකම් කරන්නෙ කොහොමද පුතේ"
"අනුන්ගෙ වැරදි වලට කේන්ති අරගෙන අපි මොකටද නිකන් අපේ ලේ පුච්චා ගන්නෙ. මං මෙහෙ ගියෙ විදුරව අමතක කරන්න බැරුවවත්, වෙච්ච දේවල් වලට මූණ දෙන්න ශක්තියක් නැතුවවත් නෙවෙයි අම්මා. ඔයා තිස්සෙම ඕක ගැන කිය කියා හූල්ලනවා බලන්න බැරි නිසා. එහෙම කරලා මං මෙච්චර හොඳට ඉද්දිත් අම්මා තාම විදුර ගැන හිත හිතා දුක් වෙනවා කියන්නෙ මං කරපු කිසිම දේක තේරුමක් නෑනෙ අම්මා. දැන් අවුරුද්දක්ම ගියානෙ. අදින් පස්සෙවත් විදුරව හිතින් අමතක කරන්න අම්මා"
"ඔයා කවදාහරි දවසක වෙන කෙනෙක් ගැන හිතනකල්ම මට ඒක හිතින් අමතක කරන්න බැරි වෙයි පුතේ" කියමින් අම්මා හිමිහිට දෑස් අග පිසදා ගත්තාය. ඉන් එහා කතා කිරීමට නොරිසි වූ නිසාම මම ඇගේ දෙපා නැමද පහළට බැස්සේ කෑ ගසා අප්පච්චීට  අඬ ගසමිනි.
අප්පච්චීගේ තත්වය ඒ වනවිට සුව අතට හැරී තිබීමත්, විභාග කටයුතු ආරම්භ වීමත් සමඟ ලොකු නංගී නිවසේ රැඳෙන වේලාවන් වැඩි වීමත් නිසා එදා හවසම අත්තම්මාත් කැටුව උඩවලවට යාමට මම සිතා සිටියෙමි.
නැකැත් දිනයක් වූ එදින රූපාලාවන්‍යාගාරයේ හිතුවාට වඩා වෙලාවක් රැඳෙන්නට වීමෙන් බිඳුණුවැව මලින්දී උත්සව ශාලාව අසලින් මෝටර් රථය නතර කරගන්නා විට උදෑසන එකොළහත් පසු වී තිබිණ. රථ ගාලේ ඉඩකඩ නොතිබීම හේතුවෙන් ආරක්ෂක නිළධාරියාගේ විධානයට අනුව පිවිසුම් මාර්ගය අයිනෙන් මෝටර් රථය නවතන්නට මට සිදු විය.

2 comments:

  1. ඔයාගේ බ්ලොග් එක මේ සින්ඩියට එකතු කරන්න https://sithuvili.net/

    ReplyDelete