Monday, August 15, 2016

හරි පුදුම ඉස්කෝලෙ-5


අද මා කියන්නට යන්නේ පාසැල් දිවා ආහාරය ගැනය. පෙර සටහනකදී සදහන් කළ පරිදිම එක වසරේ සිටම දරුවන් සවස 2.40  හෝ 3.30 වන තුරු පාසලේ රැදිය යුතුය (මීට අමතරව සෙනසුරාදාවල් දෙකක් උදේ වරුවේද පාසැල පැවැත්වේ). එනිසා පාසලින් දිවා ආහාරය සපයයි. මේ සදහා මසකට එක් දරුවෙකුගෙන් යෙන් 2700 ක් වැනි මුදලක් ලබා ගනී. මේ මුදල් දෙමව්පියන් විසින් තොරතුරු ලබාදුන් ගිණුමකින් මාස්පතා විදුහලේ ගිණුමකට බැර වේ. මෙය ජපානයේ බඩු මිලේ හැටියට ඉතා සුළු මුදලකි. නමුත් මේ ලබාදෙන ආහාර වේල රසයෙන් මෙන්ම ගුණයෙන්ද ඉහළය. නැවුම් එළකිරි මේ කෑම වේලට අනිවාර්යයෙන්ම අඩංගුය. ඊට අමතරව සුප් සහ බත්,නූඩ්ල්ස්, පාන් බනිස් වැනි කාබෝහයිඩ්රේට ප්රභවයකුත්, සත්ව ප්රෝටීන සදහා මස් හෝ මාළු වර්ගයකුත් ඇසට ප්රිය උපදවන සුළු පැහැයන්ගෙ හොද සංකලනයක් ලෙස එළවළු සහ පළතුරුත් මේ කෑම වේලට අයත් වේ.



අපිනම් කෑම කන්නේ බඩගින්නටය. නිසා අපි හැටි ඔය කෑම වේලෙ අඩංගු දේවල් වල ගුණ අගුණ ගැන හිතන්නේ නැත. ලුණු මිරිස් රහ හොදට තිබුණොත් ඉහටත් උඩින්ය. බඩගිනි නැති වෙලාවල් වලට කන්නේ එක්කෝ පුරුද්දට නැතිනම් නොකා සිටිය විට ලෙඩ රෝග ඇතිවේයැයි බියෙනි. ජපනුන් කෑම කන්නෙ ශක්තිය ලබාගන්නටය. නිසා කඩවල් වල විකුණන්නට ඇති කෑම බීම වල මිලට අමතරව ඉන් ලැබෙන ශක්ති ප්රමාණයද පැහැදිලිව පෙනෙන ලෙස තිබිය යුතුය. අපේ ආපනශාලාවෙන් කෑම ලබාගත් විට ලැබෙන බිලෙහිද මිළ මෙන්ම ඉන් ලැබෙන කැලරි ප්රමාණයද සටහන් වේ. මෙය මේ පාසැල් කෑම වේලටද වලංගුය. එනිසා සෑම මාසයකම අවසානයේ ඊළඟ මාසයේ එක් එක් දිනවලදී ලබාදෙන කෑම මොනවාද යන්නත්, ලැබෙන ශක්ති ප්රමාණයත් සදහන් පත්රිකාවක් නිවෙස් වලට එවයි.

කෑම පිළියෙල කිරීම සඳහා පාසලේ ඉතා ක්රමවත්ව සැකසූ පිරිසිදු මුළුතැන්ගෙයක් පවතී. එහි සිටින අත්වැසුම්, හිස් වැසුම් ඒප්රන් පැළඳගත් කෝකියන් කරන්නේ ආහාර පිසීමේ කාර්යත් එක් එක් පංතිය සඳහා කෑම ට්රොලියක් සූදානම් කිරීමත් පමණි. ඒවා පංතියට රැගෙන ගොස් බෙදා දීම සිදුකරන්නේ පංතියේ සිසුන්මය.
සඳහා පංතියේ සිටින සිසුන් කණ්ඩායම් හතරකට බෙදා තිබේ. සිසුන්ගේ අංක අනුව 1-8 දක්වා පළමු කණ්ඩායමත් 9-16 දෙවන කණ්ඩායමත් ලෙස කණ්ඩායම් බෙදීම බොහෝ පහසුය. මේ සෑම දරුවෙක් සඳහාම කෑම බෙදන අවස්ථාවේදී ඇඳ සිටීමට සුදු පාට කබායක්, හිස් වැස්මක් සහ දෙක දමාගැනීමට රෙද්දෙන්ම මැසූ පාසැල් බෑගයේ පැත්තකින් එල්ලාගෙන යා හැකි කුඩා බෑගයක් පාසලින් ලැබේ. තමාගේ කෑම බෙදීමේ සතිය අවසන් වන සිකුරාදාට දරුවන් එය නිවසට රැගෙන ගොස් සෝදා මැද සඳුදාට පාසලට රැගෙන යායුතු වේ. අපේ පුතාට එක වසරේදී ලැබී තිබුණ මේ ඇඳුම් කට්ටලයේ සහ බෑගයේ 1-6-1 ලෙස අංකයක් එය මුලින්ම නිවසට ගෙනා දවසේත් තිබුණි. මේ ඇඳුම් කට්ටලය දරුවෙකුට නිත් වශයෙන් හිමි නොවන වසරින් වසර පංතියට එන එම අංකය හිමි සිසුවාට ලැබෙන්නකි. එක් සතියක් මුළුතැන්ගෙට ගොස් කෑම ට්රොලිය ගෙන ඒමේ සිට හිස් භාජනද සමග එය නැවත රැගෙන ගොස් බාරදීම දක්වා වගකීම මේ එක් කණ්ඩායමකට පැවරේ. කුඩා දරුවන් මේ කෑම බෙදීම දිවා සුරකුම් වල සිටම පුරුදු පුහුණු වන නිසා එක වසරට ඇතුළත් වන යන්තම් වයස අවුරුදු හය සම්පූර්ණ වූ දරුවන්ට මෙය අපහසු කාරණයක් නොවේ. බිම හලන්නේත් නැතුව, පිඟාන පුරා විසුරුවන්නේත් නැතුව පිළිවෙලකට පංතියේ සිටින සියළු දෙනාට  එක හා සමාන ප්‍රමාණ වලින් කෑම බෙදා දීම මේ දරුවන් අපූරුවට සිදු කරයි. 
අපට පුරුදු බත් පිඟාන වටේට තියෙන තරමක් මාළු පිනි වර්ග බෙදා ගැනීමය. නිසා එක් අයෙකුට කෑම කෑමට උවමනා වන්නේ එක් භාජනයක් පමණක් වුවත් ජපානය, කොරියාව චීනය වැනි රටවල එය ඊට හාත් පසින්ම වෙනස්ය. විවිධ හැඩයන්ගෙන් සහ ප්රමාණයන්ගෙන් යුතු හුරුබුහුටි බඳුන් කීපයක්ම එක් කෑම වේලක් පිළිගැන්වීමට අවශ්යය. බත් සදහා සුප් බඳුනකට සමාන තරමක ගැඹුරු බඳුනක්, සුප් බඳුනක්, එලවළු සලාද සදහා පැතලි බඳුනක් ආදී ලෙස එක් එක් ආහාරය සඳහා මොවුන් වෙන වෙනම බඳුන් භාවිතා කරයි.



මේ ජායාරූපයෙන් මා පෙර සටහනකදී සදහන් කළ ලේන්සුව එලාගෙන ඒ මත කෑම බන්දේසිය තබාගෙන සිසුන් ආහාර ගන්නා හැටිත්, ආහාර බෙදීමේදි ඇඳ ගන්නා ඇඳුම් කට්ටලය සුදු පැහැ බෑගයක දමා පංතියේ කෙලවරක එල්ලා ඇති ආකාරයත්, සමූහයක්/කණ්ඩායමක් ලෙස කෑම කෑමට අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෑදෙන ලෙස ඩෙස්ක් එකට එකතු කර ඇති ආකාරයත් බලාගත හැක



මා ජපානයට පැමිණි මුල් කාලයේ මට තිබුණ අටෝරාශියක් ප්රශ්ණ අතරින් ඉහළින්ම තිබුණේ මොවුන් සියළු දෙනාම එකම දේ එකම ආකාරයට කරන්නේ කෙසේද යන්නය. චාරිත් වාරිත් වලට ඔවුන් දක්වන සංවේදී බව එක සමානය. ආචාරශීලි බව සමානය. කිසිම වෙහෙසකර බවක් නොපෙන්වා අතින් කටින් බෑග් තුන හතර එල්ලාගෙන යන හැටි එක සමානය. ඔක්කෝටම වඩා ඔවුන් කෑම බෙදන ආකාරය හා පිළිවෙල එක සමානය. එහි ස්ත්රී පුරුෂ භේදයක් හෝ වයස් බේදයක් නැත. මට මෙය වඩාත් හොඳින් දැනෙන්නට ඇත්තේ අපි නිතර යන එන ශ්රී ලාංකික හිමිවරුන් වැඩ වසන පන්සලේදී උපාසක උපාසිකාවන් දානය බෙදා අහවර වූ පසු හාමුදුරුවරු දානය වැළදීම පටන් ගැනීමට පහසු තැනක් සොයමින් පාත්තරය පුරා ඇස් යවමින් විනාඩි ගණනාවාක් ගත කරන අයුරු කිහිප වරක්ම දක්නට ලැබුණ නිසාද විය හැක. කෙසේ හෝ මගේ මේ දැවෙන ප්රශ්ණ සියල්ලටම විසදුම් ලැබුණේ අපේ පුතා පාසැල් යාම ඇරඹීමත් සමගය.  ඊට අමතරව වසර 3000 ගණනක් මිශ් නොවූ ජාතියක් ලෙස පැවතීම නිසා ඔවුන්ගේ ඇති ජානවල සමානතාවයත් මීට බලපාන බව මගේ පසුගිය ලිපියට ප්රතිචාර දක්වමින් කෙන්කියුෂා පවසා තිබුණ කරුණද මගේ ප්රශ්ණ වලට හොඳ පිළිතුරක් විය.

මේ දරුවන් ප්රාථමික අධ්යාපනයේ සිටම එදිනෙදා ජීවිතයේදී වැදගත් වන නිපුණත්වයන්, චාරිත් වාරිත් ඉගෙන ගන්නේත් ඒවා ප්රගුණ කරන්නේත් මේ ලෙසය. කෑම කා අවසානයේ ඉඳුල් බඳුන් සමග ට්රොලිය නැවත භාර දෙන තුරු අට දෙනාගෙන් යුත් කණ්ඩායම නොදැනුවත්වම කර ගසන්නේ භාර දූර වගකීමකටය. මා දන්නා තරමින් එක් එක් කෑම වර්ගය එක අයෙකුට ලබාදිය යුතු ප්රමාණය දැක්වෙන ආදර්ශකයක් කෑම බෙදන අයට බලන්නට ලැබේ. එය එසේ වුවත් තිස් දෙදෙනෙකුට බෙදිය යුතු කෑම එක් අයෙකුට වත් මදි නොවන ලෙස බෙදීම ලේසු පාසු කාර්ය්ක් නොවන බව වැඩිහිටි අපද අත්විද ඇත.
ජපනුන් සතුව සිරිත් විරිත් රාශියක් තිබෙන අතර ආහාර අනුභවයේදීද දැකිය හැකි සිරිත් විරිත් ගණනාවක්ම පවතී. අපි ඔෂීන් තුල දුටු පරිදිම ආහාර අනුභවය සදහා සාමාන්යයෙන් භාවිතා වන්නේ chopstick ය. කෑමට පෙර කෑම වේල මේසයට එනතුරුම එයට දායක වු පාංශු ක්ෂුද් ජීවියාගේ සිට කෑම පිලියල කල තැනැත්තා දක්වාම වු සියල්ලන්ටම ස්තූති කිරීම ජපන් ජාතිකයන් තුල මා දුටු සුවිශේෂි ගුණාංගයකි. කෑමට පෙර "ඉතදකිමස්" (Itadakimasu  ) කියා ස්තූතිය පිරිනමයි. කුඩා දරුවන් නම් අත් දෙක එකතු කොට වැද "ඉතදකිමස්" කියුවද වැඩිහිටියන් එසේ වදිනවා මා දැක නැත. කා බී අවසානයේදී යලිත් වරක් කෑම පිලියල කල පුද්ගලයාට ස්තූති කිර්රමද ජපන් ජාතිකයන්ගේ සිරිතය. සදහා  කෑම කා අවසානයේ "ගොචිසොසමා ඩෙස්ටා" (gochisōsama-deshita) යැයි  කියයි.දළ වශයෙන් එහි තේරුම "මා ඉතා රසවත් කෑම වේලක් භුක්ති වින්දෙමි" යන්නයි.  එය  රසවත්ව කෑම පිළියල කල පුද්ගලයාට කරන ස්තූතියකි. මේ සිරිත් විරිත් අතරින් මගේ සිත් ගත් හොඳම සිරිත කිසිවක් ඉතිරි නොකර සියල්ලම අනුභව කිරීමය. කෑම ඉතිරි කිරීම එය පිලියල කල තැනැත්තාට කරන අගෞරවයක් සේ සලකා අවසන් බත් ඇටය දක්වාම අනුභව කිර්රමත් ආහාර වේලෙහි ප්රධාන අංගයක් වන සුප් කෝප්පය අවසන් බිංදුව තෙක්ම පානය කිරීමත් ඔවුන් අනිවාර්යෙන්ම සිදු කරයි. මෙය කුඩා කල සිටම දරුවන්ට පුරුදු පුහුණු කරන හොද සිරිතකි. ජපන් සහල් ඇලෙන සුළුය. බත් කෑමට භාවිතා කරන්නේ තරමක් ගැඹුරු සුප් බදුනකට සමාන බදුනකි.  එනිසා අවසන් ඇටය තෙක් කටට දමා ගැනීම සදහා භාජනය කට මුලට ළං කර ගැනීම  සිදු කරයි.


මේ කිසිවක් ඉතිරි නොකර සියල්ල අනුභව කිරීමේ චාරිත්‍රය දරුවන්ටද පොදුය. මෙනිසා මොවුන් කෙනෙකුට කෑමට ගත නොහැකි තරම් ප්‍රමාණයක් කෑම බෙදන්නේ නැත. කෙනෙකුට තවත් කෑම අවශ්‍ය නම් සමහර වර්ග නැවත බෙදාගැනීමේ හැකියාවක් පවතී. කිරි පැකට් ලැබෙන්නේ පංතියේ සිටින ළමුන් ගණනට සමාන ගණනකි. නමුත් ළමයෙකු නොපැමිණිය දාට ඒ කිරි  පැකට් එක ඉතුරු වේ. කැමති අයට එය ලබා ගැනීමේ තරඟයට ඉදිරිපත් විය හැක. අපි පොඩි කාලෙ "ගලද- මලද" කියා සෙල්ලමක් කළ ආකාරයට ජපානයේ දෙදෙනෙක් අතරින් කෙනෙක් තෝරා ගන්නේ "ජන්කෙන්" නම් සෙල්ලමකි. එය වෙනත් රටවල වෙනත් නමකින් කරන "කතුර- කඩදාසිය- ගල" සෙල්ලමයි. මෙය කුඩා දරුවන්ගේ සිට කෙස් පැහුණ මහාචාර්යවරු දක්වාම දෙදෙනෙකුගෙන් අයෙක් තෝරා ගැනීමට යොදාගන්නා ක්‍රමවේදයකි. ජන්කෙන් කර අවසානයට ජයගන්නා කෙනාට කිරි පැකට්ටුව හිමි වේ. මට හැඟෙන පරිදි මේවායින්ද දරුවන්ගේ මනස බාහිර සමාජය හා ගැටීමට සුදුසු පරිදි සකසයි.
"සකුරා සුවඳ" යටතේ පොදු ස්ථානයන් භාවිතයේදී ජපනුන් පිළිපදින සිරිත් විරිත් ගැන ලියද්දී ඔවුන් කිසියම් ස්ථානයක් තමා ඇතුළු වන විට තිබුණ ආකාරයටම ඉන් පිටතට යන විටත් තබා යන බව මා විසින් සටහන කරන ලදී. පාසැල් පංති කාමරයද එවැනි ස්ථානයකි. කෑම කෑමට අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සැදෙන පරිදි ඩෙස්ක් පුටු එකට එකතු කරගන්නා දරුවන් කෑම කා අවසානයේ පංතිය පිරිසිදු කර නැවතත් ඩෙස්ක් පුටු සාමාන් පංති කාමරයක ස්වරූපයට පත් කිරීම සෑම දිනකම සිදු කරයි.

පංතිය පිරිසිදු කිරීම සඳහා සෑම දරුවෙකුගේම ඩෙස්ක් එකේ එල්ලූ තුවා වැනි ගණකම් රෙද්දකින් සැකසූ පිස්නා දෙකක්  ඇත. සෑම පාසැල් වාරයක් අවසානයේම ඒවා ගෙදර ගෙන එන අතර අලුත් වාරයට අලුත් දෙකක් යැවිය යුතුය. මේ දෙකෙන් එකක් මේස පුටු පිහදැමීමටත් අනෙක බිම පිහ දැමීමටත් යොදා ගනී. එනිසා  මේ දෙක ළමයාගේ අංකය සහ "උඩ" සහ "යට" කියා ලොකු අකුරින් ලේබල් කර තිබේ.


මේ කිරිකොක් සුදු පිස්නා බිම පිස දැමීමෙන් දුර්වර්ණ වූ පසු ඒවා හොඳින් සෝදා මිරිකා ඩෙස්ක් එකේ ඇති කොක්කේ එල්ලීමද දරුවන් විසින්ම කළ යුතුය.
මා පෙර සඳහන් කළ අතින් කටින් එල්ලාගෙන යාම පුරුදු පුහුණු වන්නේ මේ ආකාරයටය. පාසැල් බෑගයේ එහා පැත්තෙන් සුදු පාටට එල්ලෙන්නේ කෑම බෙදීමේදී ඇඳගන්නා ඇඳුම් කට්ටලයයි


අවසන් ජායාරූපය හැර අන් සියල්ල අන්තර්ජාලයෙනි













42 comments:

  1. හැමදේම එකතු කරලා කිසිම දෙයක් අඩු නැතුව ලස්සනට මේ විස්තර ලියනවට ඔයාට පින් අක්කේ. කවදාහරි දවසක අපිට මේවා ලංකාවේ කරන්න පුළුවන වෙන්න කියල පර්තනාවක් විශ්වාසයක් හිතේ තියෙනව. හැමදේම පාසලෙන් පටන් ගන්න පුලුවන් එනම් අපිට කවදාහරි හැදෙන්න පුළුවන් වෙවී කියල හිතෙනවා. බලමුකෝ නේද..මේ විස්තර හුගක් වැදගත් වෙවී කියල හිතෙන්නේ ඒකයි .

    ReplyDelete
    Replies
    1. පිං නං මොනා කරන්නද නිරෝ....හි...පුළුවන්නං යන්න කලින් වතාවක් මුණ ගැහෙන්න බලමු අඩු ගානෙ ෆෙයාවෙල් එකේදිවත්.

      සමාජයක්/රටක් වෙනස් කිරීම ආරම්භ කළ යුත්තේ දරුවන්ගෙන් කියලා මාත් විශ්වාස කරනවා. ඒකට පහසුම තැන පාසල. අපි බලමු පුංචි හරි වෙනසක් කරන්න පුළුවන්නං ඒක ලොකු දෙයක්නෙ.

      අපේ ළමයි ගොඩක් වෙලාවට කෑම බෙදන්න තියා උයන්න ඉගෙන ගන්නෙත් කසාදත් බැන්දට පස්සෙනෙ. කිරිබතක් හදාගෙන එන්න කිව්වම "අනේ....කොහොමද කිරිබත් හදන්නෙ...අනේ මං දන්නෑනෙ" කියලා අඬපු පශ්චාත් උපාධි හදාරණ අය අපි දෙන්නටම මුණ ගැහිලා ඇතිනෙ. අපි සමාජයට ගැලපෙන විදිහට, එදිනෙදා ජීවිතේට ඕනි දේවල් පවා ඉගෙන ගන්න හදන්නෙ අධ්‍යාපනයෙන් පස්සෙ. මෙයාලා දරුවෙක් ඉපදුන දවසෙ ඉදන් පුරුදු කරන්නෙ කාටවත් කරදරයක් නොකර ස්වාධීන පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්නෙ, සමාජෙත් එක්ක ගැටෙන්නෙ කොහොමද කියලා. ඕකනෙ ලොකුම වෙනස

      Delete
  2. ළමයෙක්ව පොඩි කාලේ ඉඳලා මේ විදිහට හැඩ ගස්වන එක ඒ ළමයගෙ අනාගතට ගොඩක් ප්‍රයෝජනවත්...

    බොහොම ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගන්නවට...

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි ළමයෙකුගෙ අනාගතේ කියන්නෙ රටේම අනාගතේනෙ. ඒ නිසා හොඳම දේ දරුවන්ව මේ විදිහට පිළිවෙලට හැඩ ගස්සන එක

      Delete
  3. කියුවත් වගේ බලනෙකොට බෑග් කීයක්නම් අරන් යනවද... ඒත් ඒ හැම දේම පිළිවෙලයි...

    හැමෝම ලඟ එකම විදිහක සිරිත් විරිත් වගේම ගති පැවතුම් පැවතීමට ඔයා පැහැදිලි කරපු හේතු ගොඩාක් බලපානවා තමයි... ඒ වගේම පුංචි කාලෙ ඉදලා ලබන අද්දැකීමක් ජීවිත කාලෙටම බලපානවානේද.....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නිර්මාණි. ෆුට් බෝල් ප්‍රැක්ටිස් තියෙන දවසට බෝලෙයි, වතුර බෝතලෙයි සපත්තු මේස් එහෙම දාපු තව බෑග් එකක් අරන් යන්න තියෙනවා (ඇඳුම නං උදේට යද්දි ඒකම ඇඳන් යනවා ). එතකොට ඒ බෑග් එක එල්ලා ගන්නවා ඉස්සරහා පැත්තට. මට ඒ ෆොටෝ එකක් හොයාගන්න බැරි වුණා

      පුංචි කාලෙ ලබන අත්දැකීම් (හොඳ හෝ නරක ) අනිවාර්යෙන්ම අනාගතේට බලපානවා

      Delete
  4. මේ විස්තර අපේ රටටත් හුගක් වැදගත්...
    ලස්සනට මේ දේවල් විස්තර කරනවට බොහොම ස්තූති...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ගිම්මි. මේ විස්තර තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියන සිතුවිල්ලෙන් තමයි මං ලියන්නෙ. අඩුම ගානෙ මේක කියවන කෙනෙක් තමන්ගෙ දරුවෙකුට ගෙදරින් හෝ මේ දේවල් පුරුදු කරන්න උත්සහ කරොත් ඒකත් ලොකු දෙයක්නෙ

      Delete
  5. mata nam tikak machines wage.

    ReplyDelete
    Replies
    1. වගේ මොකක්ද?. ජපන්නු කියන්නෙ මිනිස් මැෂින් වර්ගයක් තමයි. මට ආව දවස්වල අර ට්‍රේන් එක නතර කරාම ඒකට නගින්න පෝළිමේ ඉන්න මිනිස්සු එකපාරට දොර දෙපැත්තට වෙන එක පෙනුනෙ රොබෝ හැසිරීමක් වගේ

      Delete
  6. සඳ වියමන්, මම කැම ගොඩක් තෝරලා කන කෙනෙක්. මට ආව ගැටලුව මේ කැම කන්න අකමැති නම් මොකක්ද වෙන්නේ.. අකමැති උනත් කන්න වෙනවද...

    මේ ලිපිය කියෙව්වාම මට ටිකක් බය හිතුනා.. විවිධ දේ කරන්න නිදහස ඇහිරිලා රොබෝ වගේ ගතියක් දැනුන නිසා..

    ReplyDelete
    Replies
    1. හීන දකින්නි, ඔය කෑම බීම තෝරණ ඒවා මං හිතන්නෙ අපිට එන්නෙ ජාන වලින්ම. මාත් තෝරනවා එළවළු නෙවෙයි මාංශ වර්ග සහ සමහර රසයන්.

      ඒත් මං දන්න තරමින් ජපනුන්ගෙ තියෙන අර මං කිව්ව ජානමය සමානකම් නිසා හෝ පුරුදු පුහුණු වූ විදිහ අනුව ඔවුන් එහෙම තේරීම් නොකරන තරම්. ඔවුන් අකමැති පැණිරහට. ඒක පොඩි දරුවො පවා එහෙමයි. හැබැයි දරුවො අකමැති වෙන එළවළු මස් මාංශ තියෙන්න පුළුවන්. අපේ පුතත් ඔය සුප් එකකට දාලා දෙන බිම්මල් වර්ගයකට අකමැත්තක් දැක්කුවා. එතකොට එයා ඒක කන්නෑ අයින් කරන්වා. ඒකට තහනමක් හෝ බලකිරීමක් කෙරෙන්නෑ. ඒ වගේම දරුවන්ට ඇලජික් වෙන කෑම බීම තියෙනවනං සහ ආගමික ප්‍රශ්ණ මත නොකන දේවල් තියෙනවනං ඒ ගැන මුලින්ම ඉස්කෝලෙන් අහනවා ඒ වෙලාවට දැනුම් දෙන්න පුළුවන්. මේ ලොකු අපිව ට්‍රිප් එකක් එක්ක යනකොට පවා ඒ වගේ food restrictions ගැන එයාලා සංවේදී වෙනවා.

      නමුත් දරුවෙක් මොනා හෝ නොකා ඉන්නෙ "ඊයා මට ඒවා එපා. මං කන්නෑ" කියලනං ඒක ඒ දරුවට වදයක් නොවෙන විදිහට කෑමට පොළඹවන ක්‍රම ගුරුවරු ළඟ තියෙනවා. පංතිභාර ගුරුවරයා කෑම කන්නෙත් මේ දරුවො එක්ක මේ කෑමම එකට ඉදගෙන. උදාහරණයක් විදිහට දරුවෙක් මාළු කන්න අකමැති නං එයාට කෑමට බල නොකර මාළු කෑම නිසා ලැබෙන දේවල් ගැන නිතර ඒ දරුවා එක්ක කතා කිරීමෙන් දරුවව ඒකට පොළඹවන්න පුළුවන්. ඒ වගේම එයාලා චැලේන්ජ් කාඩ් එකකුත් භාවිතා කරනවා දරුවන් ඉතිරි නොකර සියල්ල කෑමට හුරු කිරීමට.

      මගේ ක්ෂේත්‍රය ආහාර නිෂ්පාදනයට සම්බන්ද නිසා මං මේ කෑම වීසි කිරීම ගැන ගොඩක් වද වෙනවා. ලෝකෙ නිෂ්පාදනය වෙන ආහාර ප්‍රමාණයෙන් 1/3 ක් (කිලෝ බිලියන 1.3 ක් ) කෑමට නොගෙනම ඉවත් වෙනවා. ඒකෙන් 40% ක් දියුණු දියුණු රටවල පාරිභෝගික මට්ටමේදී වෙන ඉවත දැමීම් (මං මේ ගැන මගේ විදෙස් සංචාර අත්දැකීම් එක්ක දීර්ග පෝස්ටුවක් ලියන්න හිතා ඉන්නවා )

      ඒ නිසා මමනං හිතන්නෙ පුංචි කාලෙ ඉදලම බත් ඇටයක්වත් නාස්ති නොකර කෑමට පුරුදු කිරීම ඉතාම හොඳ දෙයක් විදිහට.

      ඔයාගෙ රොබෝ කතාවට පිළිතුරක් පහළ "කෙන්කියුෂගෙ " කමෙන්ට් එකේ තියෙනවා. මේ රටට ඕනි රටට ගැලපෙන මානව සම්පත දියුණු කිරීම. ඒකට තමා පුංචි කාලෙ ඉදලම දරුවන් ක්‍රමවත්ව සූදානම් කරන්නෙ. නමුත් මේ දරුවො හොඳ නිදහසකින් එයාලගෙ පාසැල් කාලය වගේම ළමා කාලයත් විදින බව මං අත්දැකීමෙන් දන්නවා. ඒ කොහොම නමුත් විවිධ දේ කරන්න තියෙන නිදහස ඔයා හිතන විදිහට ඇහිරුණ බවක් මටනං දැනෙන්නෙ නෑ. මේ රට ඕනි කෙනෙකුට ඕනි විදිහෙ ඇඳුමක් ඇඳගෙන ඕනි දෙයක් කාලා ඕනි තැනක ඕනි වෙලාවක නිදහසේ ඉන්න පුළුවන් තැනක්. මං හිතන්නෙ ක්‍රමවත් බවයි නිදහසයි කියන්නෙ එකක් නෙවෙයි දෙකක්

      ඔයා වගේ හිතන, ඔයා විදිහට දැනෙන අයත් මේ රටේ ඉන්න පුළුවන්. එතකොට ඒ අයට තරුණ වයසට ආවම මේ ක්‍රමය තමන්ට ගැලපෙන්නෙ නෑ හිතුනොත් පුළුවන් වෙන රටකට සංක්‍රමණය වෙන්න. එහෙම බැරි උදවිය වෙන්න ඕනි සියදිවි නසාගන්නෙ. මෙහෙ අවුරුදු 20-40 වගේ වයස් කාණ්ඩයේ මරණ වැඩිපුරම වෙන්නෙ සියදිවි නසාගැනීමෙන්. එතකොට ඒ රටේ ක්‍රමයට ඔරොත්තු නොදෙන ජාන ඊළඟ පරම්පරාවට දායක නොවීම පරිසරයෙන් ඉවත් වෙනවා.

      Delete
    2. ස්තුතියි සඳවියමන් ඔයාගේ දීර්ඝ උත්තරේට, මම කැමති නැ අකමැති කෑම කන්න කියලා බල කරන එකට. අකමැති කියලා දැනෙන දෙයක් ලේසියෙන් මට කන්න හුරු වෙන්න බැරි නිසා.

      රටේ අනාගතය ගැන කොයි තරන් දුර දිග හිතනවද කියන එක ඔයාගේ පිළිතුරෙන් පැහැදිලියි....ඔයා කිව්ව සියදිවි නසා ගැනීම වැනි තත්වයන් ගැන තමයි මට බය හිතුනේ. එහෙම වෙනවා කියලා මම දැනගෙන හිටියේ නම් නැ

      Delete
    3. හීන දකින්නී,
      මේගොල්ලො අනිත් පුද්ගලයාගේ රුචි අරුචිකම් වලට බොහොම සංවේදී ජාතියක්. හැබැයි මේ අපි වගේ ලොකු අය "මං අරවා කන්නෑ මේවා කන්නෑ" කියන එක විහිළුවක් වගේ දැනෙනවානං ඇති කියලා මට හිතෙනවා එයාලා එහෙම තේරීම් නොකරන නිසා.

      මං මගේ මහාචාර්යවරයත් එක්ක වෙනත් රටවල් තුනක සංචාරය කරලා තියෙනවා. ඒ නිසා මගේ කෑම තේරීම් ගැන සෙන්සෙට ලොකු වැටහීමක් තියෙනවා. ඒ නිසා එහෙම වෙන රටකට ගියාම මට ගැලපෙන කෑම හොයන්න සෙන්සෙ හරියට වද වෙනවා මිස මේ තියෙන දෙයක් කාලා ඉන්නවා කියලා කියන්නෑ. ඒක නිසාම මං හිතනවා මං ගැන මගේ ගුරුවරයා ඒ හැටි වද වෙනවනං පුංචි දරුවොන්ගෙ රුචි අරුචිකම් ගැන ඒ ගුරුවරු ඊට වඩා සංවේදී ඇති කියලා. හැබැයි අපි තරම් නං තෝරන්නෑ කියලා ෂුවර්.

      ඔය මං කිව්ව වයස් කාණ්ඩෙ අය අතර සියදිවි නසාගැනීම් වැඩි වෙන්නෙ ආතතිය නිසා. බොහෝවිට දික්කසාදයත් ඒවට හේතු වෙනවා කියලා මං අහලා තියෙනවා. ඒ ආතතිය ඇති වෙන්නෙ මේ ක්‍රමයට නොගැලපුණාමනෙ

      Delete
    4. ඔව්, සඳවියමන් අපි වගේ ලොකු අය එක එක දේවල් කන්න බැ කියන එක විහිලුවක් වගේ තමයි පෙන්නේ..

      අනිවාර්යයෙන් එයාලා සංවේදි ඇති දරුවන්ගේ කෑම අවශ්‍යතා එක්ක. පවතින ක්‍රමයට හැඩ ගැහෙන එක තමයි පැවැත්මේ රහස.

      Delete
    5. මගේ වෙනත් ආසියාතික රටක යාළුවෙක් ඉන්නවා එයා කිසිම එළවළුවක් කන්නෙ නෑ. එයාගෙ හස්බන්ඩ් ඒ ගැන සෑහෙන්න වොරි වෙනවා

      Delete
    6. මෙහේ නම් ඇත්තටම වැඩිහිටියන්ගේ පවා ආහාර රුචි අරුචි කම් වලට ගරු කරනවා..මම මස් මාළු නොකන කෙනෙක්, ඒ වගේම මට සමහර මස් වර්ග ඇලජික්...ඒ වගේ අය බොහොමයක් ඉන්නවා...ඒ නිසා සාද වල අනිවාර්යෙන් වෙජි ආහාර අඩංගු වෙනවා...ඇමෙරිකාව විවිධ ජාතින් බොහොමයක් ඉන්න රටක් නිසා ඒ ක්‍රමය අනිවාර්යෙන් තිබිය යුතුයි...ඒ වගේම කුඩා දරුවන්ගේ ආහාර සිමා තියනවා නම්, ඔයා කිව්වා වගේම පාසැල් ඒ ගැන දැනුවත් කරන්න ඕනේ...

      Delete
    7. පොකුරු, මෙහෙත් අපේ කෑම රුචි අරුචිකම් වලට ගරු නොකිරීමක් නෑ. මං හිතන්නෙ ලෝකෙ බොහෝ රටවල තත්වෙ එහෙමයි. ගරු කරනවා විතරක් නෙවෙයි ඒවට සෑහෙන්න සංවේදී වෙනවත්.

      මම මේ ළගදි වෙනත් ප්‍රදේශයක සංචාරයකට ගියා. යන්න කලින් අපි නොකන කෑම බීම ගැන එයාලා තොරතුරු ගත්තා. අපිට කෑම ලෑස්ති කරලා තිබ්බ අවන්හල් වල මම නොකන කෑම තිබ්බ අවස්ථාවල මා වෙනුවෙන් වෙනම කෑම ලෑස්ති කරලා මේසෙ ඒ තැන මගේ නම ගහලා තිබ්බා. මගෙ විතරක් නෙවෙයි බංග්ලාදේශ, ඉන්දියා වගෙ අපේ සමීප රට වල වෙනත් අයගෙ නමත් ඒ විදිහට තිබ්බා.

      මෙහෙත් ඉන්දියාවෙන් අපේ රටෙන් වගේ ආව වෙජිටේරියන් අය ඕනි තරම් ඉන්නවා. එයාලට කෑම ගැටළු එන්න විදිහක් නෑ මෙහෙ මාළු වගේම එළවලු අනිවාර්යෙන්ම කෑම වේලකට තියෙන නිසා.

      ඒ වුණාට මං මේ රටේ ආශ්‍රය කරපු කිසිම කෙනෙක් කෑම තෝරනවා තාම දැකලා නෑ. ඒකයි මං කියන්නෙ ඔවුන් තුල පුදුමාකාර සමානකමක් පේනවා කියලා.

      මේගොල්ලො කෑම බීම, ඒවගෙන් ලැබෙන පෝෂණය, කෑම නාස්ති කිරීම වගේ දේවල් ගැන හිතන තරමට හිතන වෙන ජාතියක් සමහරවිට නැතුව ඇති. මෙහෙ හැමෝම වගේ තමන්ගෙ ඇඟ ගැන සැලකිලිමත් වෙනවා. වයසක අය පවා ඇඟ හැඩට තියන් ඉන්නවා. අපිට ජපන් ඉගැන්නුව සෙන්සෙලා දෙන්නෙක් හිටියා හැමදාම ලස්සන ගවුම් ඇඳගෙන එන.ආව දවස්වල පීඑච්ඩී එකට වඩා හීනයක් වෙලා තිබ්බෙ එයින් ගවුමක් අඳින එක.

      Delete
  7. අර යෙන් දෙදහස් ගානක් කියන්නෙ ජපන් කෑම වේල් දෙකක් විතර නේද? ගිය මාසෙ මගෙ යාලුවෙක් ටොයාමා ඇවිත් ගිහින් කිව්වෙ.

    මෙහෙත් මේ ක්‍රමය ඇතිකරානම් අපි නැතත් අනාගතේ ලමඉට හරි මීට වඩා හොඳ කලක් යයි නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන් කෑම වේල් 20-22 ක් දෙන්න 2700 ක් ගන්නවා කියන්නෙ බොහොම සුළු මුදලක්. සමහරවිට හැමදේම නිකන් දුන්නම, විශේෂයෙන්ම කෑම, අගයත් නැති නිසා එහෙම කරනවද දන්නෑ. මෙහෙ පොඩි වතුර බෝතලයක් යෙන් සීයක් විතර වෙනවා. එහෙව් එකේ දවසකට යෙන් 150 ටත් අඩුවෙන් කෑම වේලක් දෙන එක බොහොම වටිනවා.

      දැන් ඉතින් කොහොමත අපේ කල දවස ඉවර නිසා අපි කල්පනා කරන්න ඕනි අනාගතය බාරගන්න දරුවන්ගෙ දවස යහපත් කරන හැටි තමයි. ඇත්තටම සමාජ පරිවර්තනයක් ආරම්භ කරන්න ඕනි දරුවන්ගෙන්. එතකොට අද නැතත් හෙට හොඳට තියෙයි.

      Delete
  8. රටට සහ ක්‍රමයට අවශ්‍ය මිනිසුන් නිර්මාණය කරගැනීමේදී සාර්ථක අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ජපානයේ කියලයි මම නම් හිතන්නේ. වැඩිමනක් ස්වභාවික සම්පත් නැති ඔවුන්ට තිබෙන්නේ දියුණු කරන ලද මානව සම්පත තමයි. මම විශ්වාස කරන්නේ, විෂයන් ඉගැන්වීමට වැඩිය රටට අවශ්‍ය මිනිසා නිර්මාණය කරගැනීමට මුල්තැන දෙමින් ආකල්පමය ප්‍රශ්න ආමන්ත්‍රණය කරන පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් තවමත් අපේ රට ගොඩ ගත හැකි මට්ටමේ පවතින බවයි.

    ReplyDelete
    Replies
    1. කෙනිකියුෂා, සම්පූර්ණයෙන්ම එකඟයි ඔයාගෙ අදහසට. ඒ වගේම දකුණු කොරියාවත් මීට සමානයි

      ඔව්. මාත් විශ්වාස කරන්නෙ පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංශ්කරණයකින් අපිට තාමත් ගොඩ එන්න පුළුවන්කම තියෙනවා. ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ ඒකට සුදුසු දේශපාලනමය පසුබිමක් සකස් නොවෙන එක

      Delete
  9. ඇත්තටම "ඉතදකිමස් " කියන්නේ කරන්නේ කෑම වේලට දායක වුණ අයට වඩා ස්තුති කිරීමට වඩා, ඒ කෑම වේල වෙනුවෙන් වෙනුවෙන් ජීවය පරිත්‍යාග කරපු ශාඛ ඇතුළු සියලු ජීවීන්ට ගෞරව කිරීමට බවයි මම අසා තිබෙන්නේ.

    ගස් වල ගෙඩි මල් කොළ මුල් ඔක්කොම පවා හැදෙන්නේ ගස් වලට ජීවය පවත්වාගෙන යන්න මිසක් අපිට කන්න නොවෙයි කියා සෙන් බෞද්ධ ඉගැන්වීමක් මම අසා තිබෙනවා. නමුත්, ලුණු ඇරෙන්න අනිත් අපි කන හැමදේම ජීවියෝ නිසා පණ රැකගන්නට තවත් ජීවිත නසන්නට අපට සිද්ද වෙනවා. අපේ පණ රැකගැනීමට වෙනත් ජීවයක් නැසීමට සිදුවීම ගැන කණගාටුවත්, අපි වෙනුවෙන් ජීවය කැපකිරීම කල ජීවීන්ට ගවුරවයත් ප්‍රකාශ කරනවා ඉතදකිමස් කියල.

    වෙනත් ජීවයන් නසමින් රැක ගන්න අපේ ජීවිතය ලෝකය වඩා හොඳ තැනක් කරන්නට කැප කලයුතු බව හැම තිස්සෙම මතක් කරගන්න එක බොහොම හොඳ චාරිත්‍රයක් බවයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා, ඔයා කියන කතාව හරි. මං ඕක අහලා තිබ්බෙ ඔහොමයි. මං ඔයා කියපු ටික එතනට එකතු කරන්නම්. මොකද පෝස්ට් එක කියවපු කෙනෙකුට ඔයාගෙ කමෙන්ට් එක කියෙව්වෙ නැත්නම ඒ වැටහීම එන්නෑනෙ. බොහොම ස්තූතියි ඒ වටිනා නිවරදි කිරීමට.
      මට කොහොමත් මේගොල්ලන්ගෙ "Rule is a rule" ඇර ඉතිරි බොහොමයක් චාරිත්‍ර වාරිත්‍ර ගැන බොහොම ලොකු පැහැදීමක් තියෙන්නෙ.


      ඔය "ඉතදකිමස්" කියන එකේ තව තේරුම් තියෙනවා නේද?. ඕක කනකොට විතරක් නෙවෙයි මොනාහරි දෙනකොටත් කියන වෙලාවල් තියෙනවා නේද?. අපේ සෙන්සෙ මගේ තීසිස් එක අතට ගත්තෙත් "ඉතදකිමස්" කියලා. හි...මං බය වුණා ඒක කාලා දායි කියලා

      Delete
    2. https://www.tofugu.com/japanese/itadakimasu-meaning/

      -ජපන් ඇනෝ

      Delete
    3. ස්තූතියි! මිත්‍රයා මේ ලින්ක් එකට. ඒත් ඒ දැරිවි කියලා දෙන්නෙත් මේ කන වෙලාවට කියන "ඉතදකිමස්" විතරනෙ. තීසිස් එකක් වගේ දුන්නම "ඉතදකිමස්" කියනකොට "ඉතදා" කන්ජිය වෙනස්ද දන්නෑනෙ?. මොනා වුණත් ඒ දැරිවි හොඳයි දිගටම ඔය නොදන්න වචන වල නිවරදි තේරුම හොඳට අහගන්න.

      ඇයි ඉතින් අර අච්චර ලස්සන ගූගල් ප්‍රොෆයිල් එකක් තියාගෙන තාමත් මේ ඇනෝ කමෙන්ට් දාන්නෙ. මළගිය ඇත්තෝ ගෙදර එන නිසා මේ දවස්වල බිසී වෙන්න ඇතිනෙ?

      Delete
    4. සමුරායි වරුන් ගැන ලියපු පොස්ට් එකේ මුල මම කියා තිබෙන මහාචාර්යවරයා/මාධ්‍යවේදියා ඔය "Rule is a rule" කියන කතාව මම වෙනුවෙන්ම කීප වතාවක් අභියෝගයට ලක් කරලා තිබෙනවා.

      මේ ළඟදී මීටින් එකක ඔහු කියපු කතාවක් තමයි...

      To change this, you all must be dead here. Do you all want me to wait until your death to pass this ?

      අවසානයේ ඒ කතාවත් ඉවර වුනේ එය අනුමත කර ගැනීමෙන්. මට මතකයි එක චීන සිසුවියක් මට කිව්වා "ඔහු" සීඅයිඒ නියෝජිතයෙක් බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත්. :D

      Delete
    5. කෙන්කියුෂා, වැඩක් නෑ අප්පා ඔයා ගැන කතා කරලා. ඔයාගෙ සෙන්සෙ කියන කතාව හරි

      මට දෙයක් දැනගන්න තියෙනවා. මේ කමෙන්ට් වලදි මේ විදිහට ලින්ක් දාන්නෙ කොහොමද?

      Delete
    6. Enter the following HTML code into the comment box: Home Change "www.google.com" to whatever website you want to link to. Change "Home" to whatever text you want to display as the link.


      නියුටෝන ප්‍රෝටෝන හැදෙන හැටි සරලව සිංහලෙන් කියවන්න කැමති නම් මෙන්න මේ ලියමනත් ඉඩතියෙන වෙලාවක බලන්න.

      ඒ සෙන්සේ යුනිවර්සිටි එකක කලින් වැඩ කරපු කෙනෙක්වත් PhD කරපු කෙනෙක්වත් ඇකඩමික් රිසර්චර් කෙනෙක්වත් නොවෙන නිසා වෙන්න ඕනේ ඔහු ඒ තරම් වෙනස්. ඔහු ගැන විස්තර පස්සේ දවසක කියන්න ඕනේ

      Delete
    7. සමාවෙන්න. කොමෙන්ට් එක බ්ලොග් එකේ පබ්ලිෂ් වෙච්ච හැටි දැක්කමයි මට වෙච්චි දේ තේරුනේ. ඒ කෝඩ් එක තියෙනවා මේ වෙබ් එකේ. ඒකෙ Step 3 බලන්නකෝ.

      Delete
    8. ස්තූතියි කෙන්කියුෂා. වැරැද්ද අහුවෙන්න මට ඒකට උත්සහ කරන්න වෙලාවක් වුණේ නෑ.

      ඔයාගෙ ලිපිය දැක්කා. හෙටින් පස්සෙම කියවන්න හිතුවා නිදහසේ හදිස්සියේ කියෙව්වට මොකුත් ඔළුවෙ රැදෙන්නැති නිසා. දැන් ගමනක් යන්න කලින් ඔයාගෙ ගෘහ අභ්‍යන්තර වාතය ගැන ලිපිය මතක් වෙන නිසා අමතක නොකර ගොමි වීසි කරනවා

      Delete
  10. හිතට ආපු ගැටළුවට උත්තරේ කොමෙන්ට් වලින් ලැබුනා. මහා යන්ත්‍රයේ කොටසක් වෙන්න අකමැතියි නම් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නෙ.ඒකත් අර්ථ දැක්වෙන්නෙ දුර්වල ජාන ඉදිරියට නොයාමක් විදිහට.කොච්චර බාහිර 'සෝබන' (මේ වචනේ ගොඩක් තනුක විය යුතුයි.) තිබුනත් මනුස්ස ජීවිතේ විනාස කරගන්න පෙලඹෙන පීඩනයක් එක්ක තියන සමාජයක් දියුණු ද කියන ප්‍රස්නෙ මතුවෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බ,
      ඕක බොහොම ස්වභාවික සංසිද්ධියක්. හැබැයි ඒකෙ වේගෙයි දිශාවයි කෘතිම දේවල් මගින් පාලනය වෙන්න පුළුවන්.

      දැන් බලන්නකො ඔය කලපු කිට්ටුව තියෙන කඩොලාන. අපි ඉතින් කොච්චර දෙල් කොස් කෙහෙල් ඉන්දන්න ගියත් වැඩක් වෙන්නෑ ඒ පරිසරයට ඔරොත්තු දෙන ශාක වලට විතරයි ඒ පරිසරයෙ ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ. ඕක මේ ජපානය කියන දූපත් රාජ්‍යටත් වෙනත් ඕනෑම තැනකටත් වලංගුයි.

      පවතින පරිසරයට අනුගත නොවන දේවල් පරිසරයෙන් ඉවත් වෙනවා. අන්තර්ජාලෙ පවතින තොරතුරු වලට අනුව නං ජපානෙ මිනිස්සුගෙන් ලක්ෂයකට 18.5 ක් සියදිවි නසාගැනීම මගින් ජීවිතෙන් සමුගන්නවා. ලෝකෙ සාමාන්‍ය අගය 11 ක් විතර (ලංකාවෙ මේ ගණන 28.8 ). ජපානයේ මේ අයගෙන් බහුතරය තරුණ- මැදිවිය අතර කාණ්ඩය. ඒ කියන්නෙ මම දකින විදිහට ළමා වියෙන් මැදිවියට ඇවිත් අනාගත අභියෝග බාරගන්න වයස. ඕනිම පරිසරයක අධි සංවේදී මිනිස්සු ඉන්නවා. ඒක ජපානෙටත් පොදුයි. අභියෝගය මොකක් වුණත් මේ අභියෝග වලට සාර්ථකව මූණ දෙන්න බැරි පිරිස තමයි නොයෙක් හේතු මත සියදිවි නසාගන්නෙ.

      අර උඩ කෙන්කියුෂාගේ පළවෙනි කමෙන්ට් එක බලන්න. දූපත් හයදාස් අටසිය ගානකින් හැදිලා තියෙන, ස්වභාවික සම්පත් හිඟ, කොයි වෙලේ මිහිකත කම්පා වෙලා මහා ලොකු විනාශයක් වෙයිද කියලා දන්නැති, අහල පහළින් යන හැම කුණාටුවක්ම වගේ ඩිංගකට හරි ගොඩ වැදිලා යන රටක් වෙච්ච ජපානය රටක් විදිහට ඉදිරියට යන්නෙ එයාලගෙ මේ අපූරු සිරිත් විරිත් සහ ජාන කිට්ටුවත් එක්ක මානව සම්පත දියුණු කරගෙන. ඒකට මේ සිරිත් විරිත් වගේම පිළිවෙල ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා එයාල ඒවා ප්‍රාථමික අධ්‍යාපනය තුලින් වෙනත් විෂයන් ඉගැන්වීමත් එක්කම ලබා දෙනවා. මෑතක් වෙනකල්ම ප්‍රාථමික අධ්‍යාපනයෙන් ලෝකෙ ඉහළින්ම හිටියෙ ජපානය. මෑතකදි දකුණු කොරියාව ඒ තැන ලබාගත්තා.

      දරුවො පුංචි කාලෙදි මේ දේවල් බොහොම විනෝදෙන් අත්විදිනවා. අපි ඒක දකිනවා. ඉස්කෝලෙ යන්න බෑ කියලා අඬන බොරු ලෙඩ ගන්න දරුවො නැතුව ඇති කියලා හිතෙනවා. මොකද එයාලා බොහොම විනෝදෙන් තමන්ගෙ ළමා කාලෙ ගෙවන බව පේන නිසා.

      ඒත් අර මං කිව්ව අධි සංවේදි සුළුතරයට කාලයත් එක්ක මේ දේවල් සහ වෙනත් සමාජ ගැටළුත් එක්ක ඉස්සරහට යන්න බැරි වෙනවා අධික මානසික පීඩනය නිසා. මේ රටේ රස්සාවක් කරනකොට ඒක අපේ වචනෙන් කියනවනං මැරීගෙන කරන්න ඕනි. මේ මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නෙ මමත්වයෙන් නෙවෙයි රටක් විදිහට නිසා ගොඩක් මිනිස්සු එහෙම වැඩ කරමින් සතුටින් විනෝදෙන් ගත කරනවා. වැඩ කරලා හරි මහන්සියි කියපු කවුරුත් මටනං තාම මුණ ගැහිලා නෑ. උදේ හත හමාරට අටට ලැබ් එකට එන අපේ සෙන්සෙ දවසම වැඩ කරලා රෑ අටට විතර යන්නෙ අර උදේ ආපු ප්‍රසන්න විදිහෙන්මයි.

      නමුත් ඒක පීඩනයක් වෙන කොටසකුත් ඉන්නවනෙ. ඒ අය ඒකට විකල්ප හොයනවා. ඔය අපේ රටවලත් වෙන්නෙ ඒකනෙ. "ලංකාවෙ ඉදලා හරියන්නෑ. කිසි දියුණුවක් නෑ. ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න නෑ" ආදී එක එක පීඩන තියෙන මිනිස්සු ඉන්නවනෙ. එයාලා බොහෝවිට තමන්ට ගැලපෙන වෙන රටකට ගිහින් පදිංචි වෙනවා. එහෙම යන්නත් බැරි ඒත් පවතින ආර්ථික/සමාජීය පීඩනය දරාගන්න බැරි සමහරු සියදිවි හානිකරගන්නවා (ඒකනෙ අපි ලෝකෙ සියදිවි නසගැනීම අතින් තුන්වෙනි තැන ඉන්නෙ. ජපානෙ 17 ). මේක ලෝකෙ හැම රටකටම පොදු දෙයක්.

      කොහොම වුණත් මං මේ ලියන්නෙ මං දැකපු ඉස්කෝලෙ විදිහ සහ මං දකින දේවල් මගේ දැනුමට සාපේක්ෂවනෙ. මං මේ රට ගැන දන්න තරම අනුව ඔවුන් මේ වගේ සමාජ ප්‍රශ්ණ වලට ක්‍රමයෙන් විසදුම් හොයනවා ඇති කියලා හිතනවා.

      දියුණුව කියන්නෙ දර්ශක ගණනාවක් භාවිතයෙන් මනින දෙයක්නෙ. සියදිවි නසාගැනීම් අතින් ඉහළින්ම ඉන්න රටවල් 25 තුළ ජපානය ඇතුළු තවත් දියුණුයි කියන රටවල් ගණනාවක්ම තියෙනවා.

      මං හිතන විදිහට අපි දෙයක් දිහා බැලිය යුත්තෙ අපිට සාපෙක්ෂව නෙවෙයි ඒ තැනට සාපේක්ෂව. මං කලින් වතාවෙ කිව්වෙ ජපානෙ එක වසර දරුවෙක් (අවු 6-7 අතර ) අකුරු 300 කට කිට්ටුව ඉගෙන ගන්නවා කියලා. ඒ ඒගොල්ලන්ගෙ භාෂාවෙ අකුරු දහස් ගණනක් තියෙන නිසා. ඉංග්‍රීසි භාෂාව තියෙන්නෙ අකුරු 26 යි. ඒ වගේ රටක පොඩි උන් ඉගෙනගන්න ඕනි එච්චරයි.

      ඒක නිසා ජපානෙ මේ ක්‍රමය අපිට කොහොම පෙනුනත් ඔවුන් ලෝකෙත් එක්ක සාර්ථකව ඉස්සරහට යන්න උපයෝගි කරගන්නෙ මේ ක්‍රමය තමයි.

      ගස් ලබ්බ, ඔය කොයි රටෙත් බාහිර සෝබන වලට යටින් දැවෙන ප්‍රශ්ණ බර ගානක් තියෙනවා

      Delete
    2. රැකියාවේ පීඩනයෙන් මිදෙන්නට රට හැර යාමත් සිය දිවි නසා ගැනීමත් දෙකට අමතරව තව ක්‍රමයක් මම දැක තිබෙනවා.ඒ ඈත ගොවිබිම් පළාත් වලට ගොස් ජීවත් වීමෙන්.

      මේ විදියට ඈත පළාත් වලට එන්නේ ගොඩක් වෙලාවට ආච්චි සීය හෝ එවැනි පළාතක ඉන්නවා නම්. මට එහෙම අය හමුවී තිබෙනවා. හිතාචි සමාගමේ සිස්ටම් ඉන්ජියර් කෙනෙක් ලෙස හිටපු කෙනෙක්, ඈත ගමක සකේ හදන කර්මාන්තයක සේවකයෙකු ලෙස යෙදී සිටියදී මාසයකට පමණ පෙර මට හමුවුනා. පීඩනය වැඩිපුරම තිබෙන්නේ ටෝකියෝ. ඕසක පැත්තට එනකොට කඩ වල වාඩි වෙලා කෝපි බොන ගමන් පත්තර බලන මිනිස්සු එහෙම දකින්න පුළුවන්. ඊටත් ඈත ගම් වලට යනකොට, අපේ රටේ ගම් වගේම මිනිස්සු එකතු වෙලා දාන් අදින (ඊගෝ) තැනුත් මම දැකල තිබෙනවා. ඒ ගම් වල කාලය ගත වෙන්නේ බොහොම හෙමින් කියලයි ටෝකියෝ ඉදල ආපු අය කියන්නේ.

      Delete
    3. කෙන්කියුෂා, ඔව් එහෙම ක්‍රමත් තියෙනවා තමයි. ඔය එක එකට ආකර්ශණය වීම වුණත් එකිනෙකාට වෙනස් ඇතිනෙ. තමන්ට හොඳයි හිතෙන ක්‍රමේ තෝරාගන්නවා ඇති.

      තෝක්යෝවෙ ඉඳලා එහෙම ගහ කොළ පිරුණු, ජනාකීර්ණ බව අඩු, ඈතින් ඈතින් පොඩි පොඩි ගොඩනැගිලි ගෙවල් දොරවල් තියෙන පැත්තකට ගියාම ඔය කාලෙ හිමින් යන සිද්ධිය හැබෑවටම දැනෙනවා. මං ඒක දෙපාරක් අත් විදලා තියෙනවා සතියක් "ජේජු දූපතේ " සහ සතියක් "Sun Valley" වල. මෙහෙදි සාමාන්‍යයෙන් වැඩ තියෙනකොට අඟහරුවාදට පස්සෙ කෙලින්ම සිකුරාදා එනවා වගේ තමයි දැනෙන්නෙ. එහෙම තැනකට ගියාම බ්‍රහස්පතින්දට පස්සෙ සිකුරාදා එන්නෙත් බොහොම හිමීට.

      මාත් එක්ක ඇමරිකා ගියා කොරියන් පිරිමි ළමයෙක්. ඌ දවස් දෙකකට විතර පස්සෙ මන්තරේ මතුරණවා වගේ "තෝක්යො කයිරිතයි" කිය කියා හිටියෙ. තෝක්යෝ හරිම සජීවියි. කියන්න නොතේරෙණ අමුතු ජවයක් තියෙනවා මෙහෙ ඉන්නකොට. ඒක මෙච්චර කල් මටනං වෙන කොහෙදිවත් දැනිලා නෑ.

      Delete
  11. චොප් ස්ටික් සඳහා මට එතරම් අත හුරු නැත​. නමුත් මගේ පුතා චොප් ස්ටික් වලින් අනුභව කිරීමේ සමර්ථයෙකි. ඔහු මටද උගන්වයි. ටොරොන්ටෝ වල ජපන් අවන්හලක් තිබේ. ඔහු එයට යාමට කැමතිය​. මෙම අවන්හලට ගිය විට සකේ සමග සුෂී ස්වල්පයක් අනුභව කරන මා පසුව නිවසට විත් ශීතකරණයේ තිබෙන යමක් රත් කරගෙන කමි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ළමයි වැඩිහිටියන්ට වඩා ඉක්මණින් දේවල් ඉගෙන ගන්නවා. අපේ පුතත් මට කලින් හොඳින් චොප්ස්ටික් භාවිතයට හුරු වුණා. ඇත්තටම ඒකට හුරු වුණාම ඒක හරි පහසුයි. මෙහෙ කෑම කන්න ඒක තමයි පහසුම.

      ඔය අමු මාළු කාලා පස්සෙ වෙන මොනාහරි කන ලංකාවෙ අය මෙහෙත් ඉන්නවා.

      මමනම් බොහොමයක් ජපන් කෑම වලට කැමතියි. සෂිමි, සුෂි ඒ දෙක අතරින් අති විශේෂයි (මං ඒ දෙක ගැන පෝස්ට් එකක් ලියලා තියෙනවා මේ ඉස්කෝල කතාව ඉවර වුණාම පෝස්ට් කරන්නම් ). ඉස්සරත් අපි සතියට දවසක්වත් සෂිමි කනවා. දැන් යන්න කිට්ටු නිසා සතියට දෙතුන් වතාවක්ම කනවා ආයෙ මේ අවස්ථාව නොලැබෙන නිසා. ලංකාවට ගියාම කොහොමත් කන්න වෙන්නෙ ලංකාවෙ කෑම නිසා මං මේ පිට ඉන්න කාලෙ පුළුවන් තරම් බලන්නෙ මෙහෙ විදිහට කන්න

      Delete
  12. ගොඩක් වටින තොරතුරු...

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමනං සතුටක් ලලිත්

      Delete
  13. අහම්බෙන් ආවේ .ඔබේ රස පිරි ලිපි දිගටම කියෙව්වා. මම විශ්‍රාමික ගුරුවරියක්.34 වසරක් සේවය කළා . අපේ ඉගැන්වීම් ක්‍රම ගැන ආපසු සිතිය යුතු කාලය දැනටමත් පහු වෙලා . ඒත් ඔබ කිව්වා වගේ සමහර ගුරුවරු මේ ක්‍රමය තුල වුවත් දැනෙන යමක් කරනවා.
    දිගටම ඔබව කියවන්නම්. තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඉන්දුමතී ගුරුතුමියට. ඒ වගේම සතුටුයි විශ්‍රාමික ගුරුවරියක් මේ සටහන් කියවන බව දැනගන්න ලැබීමත්

      ඔව් අපේ ක්‍රමයේ වෙනස්කම් සිදුකළ යුතුයි. එහි අඩුපාඩු අවසාන වෙන්නෙ දැවැන්ත සමාජ පිරිහීමකින්

      මේ ක්‍රමය තුලත් කළ හැකි උපරිමය කරන ගුරුවරු හිඟ නෑ. මට එහෙම අය මුණ ගැහිලා තියෙනවා

      Delete