Wednesday, July 29, 2015

උදව්ව (කෙටි කතාව )



නිවාස සංකීර්ණය පිටුපස වු උද්යාන බංකුවක අසුන්ගෙන පුරුද්දට මෙන් රැගෙන පොත පෙරලුවද සිත තිබුනේ ගෙදරය. දඹදිව වන්දනා චාරිකාවකට සහභාගී වු තාත්තා ගෙදර එනතුරු අම්මා සිටින්නේ විස්සෝපයෙනි. හෙදියක වු අක්කාගේ සිඟිති දියණිය බලා කියා ගැනීමේ වගකීම පිටස්තරයෙකුට පවරන්නට තිබූ අකමැත්ත නිසාම ගමනට සහභාගී  නොවු අම්මාට දැන් දැන් ගැන පසුතැවිල්ලක් දැනෙනවා විය යුතුය.

"තාත්තා වෙලාවට බෙහෙත් ටික බොනවද දන්නෑ....කෑම බීම කොහොමද දන්නෑ" කියමින් වරින්වර ඇගේ සිතට වද දෙන සිතුවිලි මට දැනුම්  දෙන්නේ අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙනි. අක්කාට හෝ අයියාට කිසිවක්  කියා පලක් නැති බවද ඈ මා සමග කියා සිටියාය. සැතපුම් දහස් ගනනක් දුරින් ජීවත්වන මම ඇගේ හිත හදන්නට දහසකුත් එකක් දේ කිව්වද තාත්තා යලි නිවසට එනතුරුම සිත් වේදනාව දුරු වේයැයි සිතන්නට බැරිය.

"කරදර කරාට සමාවෙන්න...මම ඔයාව හම්බ වෙන්න ගෙදරටත් ගිහින් නැතිපාර මෙතන ඇති කියලා හිතලා ආවෙ" සිතින් නිවසට ගොස් සිටි මා යලි උද්යාන බිමට ආවේ රාබිගේ හඩිනි. තුර්කි ජාතික රාබි මගේ අසල්වැසියාය.  සිව් හැවිරිදි දියණිය නස්ලියා සමග ඇය මෙහි පැමිණි තිබුනේ පශ්චාත් උපාධියක් හැදෑරීමටය. යුරෝපයත් ආසියාවත් මායිම් කරගනිමින් පිහිටි රටක උපත ලද නිසාදෝ රාබිටත් ඇගේ දියණියටත් තිබුනේ අමුතුම ලස්සනකි. මග තොටකදී හමු වු විට සිනහවකින් පමණක් සංග්රහ කරන්නට පුරුදුව සිටි රාබි මා සමග වඩාත් හිතවත් වුයේ නස්ලියා නිසාය. මිහිපිට සුරඟනක් බදු වූ සිඟිති නස්ලියාට මා දැක්වූ සෙනෙහස තරමටම මට සමීප වූවාය. වරක්  නස්ලියා ඔවුන්ගේ සුවදුක් බලා යාමට පැමිණි පියාට  මා හදුන්වා දී තිබුනේ ඇගේ හොදම යාළුවා ලෙසය.

"ගෙදර ඉන්න කම්මැලි නිසා මෙතනට ආවා"

"කම්මැලි නම් අපේ ගෙදරට එන්න එපැයි" කියමින් රාබි මා අසලින් අසුන්ගත්තේ ඇඟිලි තුඩු වලින් ඉස්සී උද්‍යානයේ අනෙක් කෙළවර දෙස මද වේලාවක් බලාසිටීමෙන් පසුය.

"කෝ නස්ලියා?...සෙල්ලම් කරනවද?"

"නෑ අන්න අර පැත්තෙ පොඩි එවුන් ටිකක් එක්ක බත් කූරො අල්ලනවා"

"ඔයා මාව හෙව්වෙ ඇයි?...උවමනාවකටද"

"අසල්වැසියෝ උනාම හොයන්න ඕනි උවමනාවකට විතරයි කියලද ඔයා හිතන්නෙ"

"එහෙම හිතුවා නෙවෙයි....ඒත් ඔයා හේතුවක් නැතුව මෙච්චර කාලෙකට මගේ කාමරේට ඇවිත් නැති නිසයි ඇහුවෙ"

"ඔයා හරි ආෂා....මං ඔයාව හෙව්වෙ උවමනාවකට තමයි"

"මොකක්ද"

"ඔයා පහුගිය ටිකේම පේන්න හිටියෙ නෑ. නස්ලියත් හැමදාම අහනවා ඔයා පේන්න නැත්තෙ ඇයි කියලා"

"පහුගිය ටිකේ වැඩ වැඩි උනා රාබි. මං ගෙදර ආවෙ ගොඩක් රෑ වෙලා" ගෙවුන සති තුන හතරේම ප්‍රමාද වී කාමරයට   පැමිණියේ හිතා මතාම ඇයව මග හැරීමට වුවත් ඒ බව ඇගවිය යුතු නැත. අවම වශයෙන් තවත් වසර දෙකක්වත් අපි අසල්වැසියන් ලෙස සුහදතාවය ආරක්ෂා කර ගත යුතුය.

"ඒක මිසක්...මං හිතුවා එදා සිද්ධියෙන් පස්සෙ ඔයා මාත් එක්ක තරහ වෙලා කියලා"

සත්‍ය වශයෙන්ම සිදු වුයේ එයයි. හිතාමතාම මා ඇයව මග හැරියේ ඈ ගැන හිත උපන් කලකිරීමත් අප්‍රසන්නතාවයක් නිසාය. ඈ කියන සිද්ධිය සිදු වූයේ ඉරිදා දිනයකය. විනෝද චාරිකාවකට සහභාගී වී මා නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රියේය. ගමන් මහන්සියත් නිදි මතත් නිසා ඉක්මනින් ඇග පත දොවාගෙන ඇදට යාමට සිතමින් ආ මට දොර අඟුල කරකවමින් සිටි රුව දකිත්දී උතුර දකුණ මාරු විය.කඳුළු පෙරාගෙන මහත් ආයාසයකින් දොර විවර කරගන්නට තතනමින් සිටි නස්ලියා මා දුටුවනම කකුළේ එල්ලී ඉකිගසා හඩන්නට පටන් ගත්දී නිදිමත අතුරුදහන් විය..

"නස්ලියා...ඇයි මේ....කෝ ඔයාගෙ අම්මා" 

ඇඩීමෙන් හෙම්බත්ව සිටි දැරිය  අසල පහත්ව ඇගේ මුව දෝතින්ම ඔසවත්දී මගේ ගෙල බදාගත්තේ  භායානක සිහිනයක් දැක අවදි වූ කලෙක මෙනි.

" අම්මා කෝ"  මා යලිත් සිතට වද දෙන ප්‍රශ්ණය ඇසුවද   පිළිතුරක් නොලැබුන පසුව ඇයව ඔසවාගෙනම ගොස් ඔවුන්ගේ නිවසේ විදුලි සීනුව නාද කලද රාබිගෙන් කිසිදු ප්රතිචාරයක් නොලැබුනි. මහ රෑ අනුන්ගේ නිවසකට අවසර නොමැතිව ඇතුළු වීම බරපතල වරදක් බව දැන දැනම මා ඔවුන්ගේ නිවසට   ඇතුළු වුයේ  ඉන්පසුවය. නස්ලියා බොහෝ වේලාවක සිට නින්දේ පසු වු බවට සාක්ෂි හැරෙන්නට රාබි නිදා සිටි බවට ලකුණක්වත් නොවුයෙන් එතෙක් සිත තුල වු බිය දෙගුණ තෙගුණ විය.

"අපි අම්මට කෝල් කරමු" නස්ලියා අස්වසමින් රාබිගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්දී  එය නස්ලියාගේ කොට්ටය අසලින් නාද වුයේ තවත් වරක් මට උතුර දකුණ මාරු කරවමිනි .

" අම්මා කොහෙද ගියෙ" යලිත් වරක් පෙර පැණයම ඇසුවද තවත් තදින් මගේ ගෙල බදාගත්තා මිස පිළිතුරක් දිය හැකි තත්වයක නොසිටියාය. සිද්ධිය ආරක්ෂක අංශ වෙත දැනුම් දිය යුතු බව හොදාකාරව දැන සිටියද මට ඊට හිත හදාගත නොහැකි විය. පෙර දිනක නස්ලියාගේ පියා පැමිණි අවස්ථාවේ ඔහු මට ඔහුගේ ආගන්තුක කාඩ් පතක් ලබාදුන් බව සිහි වුයේ එවිටය.  වාසනාවට මෙන් මා  එය  තබාගෙන සිටියේ මුදල් පසුම්බියේය. ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් මා සිද්ධිය කෙටියෙන් පවසා මුලින්ම  නස්ලියාට ඔහු හා කතා කරන්නට ඉඩ දී පසෙකට වුණෙමි. පිටි අත්ලින් කඳුළු පිසිමින් නාසය ඉහලට අදිමින් නැවති නැවතී පියාගේ ප්රශ්ණ වලට පිලිතුරු දුන් දුරකතනය මා අත තබා යලි උකුලෙන් වාඩි වුවාය.

"මේ රෑ මෙහෙම කරදර කරාට සමාවෙන්න ඕනි.....දුව පහුගිය දවස් තුන හතරෙම ලෙඩ වෙලා ගෙදර හිටියෙ. එයා දිවා සුරකුමට යවන්නෙ නැතුව රාබිට පහුගිය දවස් ටිකේ පර්යේෂණ වැඩ මුකුත් කරගන්න ලැබුනෙ නෑ කිය කියා හිටියෙ. හෙට උදේම මොකක්ද වාර්තාවක් මහාචාර්යවරයට දෙන්න තියෙනවා කියලා දුවට නින්ද ගියාම පුළුවන් උනොත්  පර්යේෂණාගාරෙට ගිහින් එනවා කියලා දවල් මාත් එක්ක කිව්වා. මං හිතන්නෙ එයා එහෙම යන්න ඇති. දුරකතනය දුවගෙ කොට්ටෙ යට තියලා යන්න ඇත්තෙ එයාට ඇහැරුනොත් මට හරි කතා කරයි කියලා හිතලා වෙන්නැති"

ඔහු සිය බිරිදගේ නිරවද්යතාවය තහවුරු කිරීමට බොහෝ දේ පැවසීය. හය හතර නොතේරෙන දැරියක තනිව නිවසේ නිදාසිටියදී නිවසින් බැහැර යා හැකි මවක් ගැන  මටනම් සිතන්නටවත් බැරිය. ඔහු සමග කතා කර  නස්ලියා සමගම එලියට පැමිණ පාර බලමින් සිටියදී පැමිණි රාබි දියණිය බලාගැනීම ගැන ස්තූති කර එවන් අවස්ථාවක කරදර කිරීමට සිදුවීම ගැන සමාව අයැද  කාමරයට ගොස් දොර වසාගත්තේ මගෙන් ඇයට වරදක් සිදුවු පරිදිය.

"රෑ තිස්සෙ ඔය විදිහට කොහෙ යනවද කවුද දන්නෙ.....මීට පස්සෙ ඔයා එහෙම  කතාවට යනවා නෙවෙයි" සිද්ධිය ඇසූ සැනින් නස්ලියා ගැන කම්පා වූ අම්මා මට තරවටු කලේ එහෙමය.

"ඔය මිනිස්සු කොහේ කොහෙම ජීවත් උනාද කියලා කවුද දන්නෙ චූටි...මනුස්සකමට උදව්වක් කරාට කමක් නෑ. ඒත් පරිස්සමින්. අන්තිමට මොන මොන ලෙඩ ඔයාගෙ ඇගට වැටෙයිද කියලා කවුද දන්නෙ" අම්මා සිද්ධිය සැල කිරීමෙන් පසු අයියාද මට කතා කලේ දීර්ග අනුසාසනාවක් දීමටය. අම්මගේ කතාවෙන් රාබි කෙරෙහි ඇතිව තිබූ නොපහත් බව වඩාත් තීව් වූයෙන් ගෙවුන සති තුන හතරේම මා ඇයව   මග හැරෙන ලෙස එන යන වේලාවල් වෙනස් කරගත්තෙමි.

"මලික්ට ඔයාට ස්තූති කරන්න ඕනි කිව්වා" රාබි යලිත් වරක් කටහඩ අවදි කරන තුරුම මා සිටියේ නිහඩවය. මලික් රාබිගේ සැමියාය. ඇයට වඩා දස වසරක් හෝ ඊටත් වැඩි ගනනක් වයසින් වැඩි යැයි සිතිය හැකි මලික් අඩි හයකටත් වඩා උසය රාබී කිසිලෙසකින් හෝ ශරීර ප්‍රමාණයෙන් කුඩායයි සැළකිය නොහැකි වුවද ඈ හා සසඳන කල්හි මලික් යෝධයකු මෙනැයි මට සිතුනේ ඔහු ඇසූ යම් පැණයකට පිළිතුරු දීමට ඇයට හිස එසවීමට සිදුවූ විටදීය. සුහදශීලී ප්රසන්න පුද්ගලයෙකු වූ මලික් දැඩි හිතක් ඇති පුද්ගලයෙකු බව මා සමග කියා සිටියේ රාබිය. 

"මලික්ගෙ හිත හරි හයියයි. එයා හිතපු දෙයක්වත් කියපු දෙයක්වත් කවදාවත් වෙනස් කරන්නෑ" රාබි ඇගේ සැමියා ගැනත් ඔවුන්ගේ ජීවිත ගැනත් මා සමග මුල්වරට කතා කලේ මලික් පැමිණ යලි මව් රටට ගියදාය.

"මං මලික් එක්ක යාළු උනේ නවයෙ පන්තියේදී. එතකොට එයා විශ්ව විද්යාල ශිෂ්යයෙක්. පුන්චි කාලෙ ඉදලම මං ඉගෙන ගන්න ආසයි. මලික් එක්ක යාළු උනාට පස්සෙ ඒක වැඩි උනා. එයා විශ්ව විද්යාලෙ විස්තර කියනකොට මමත් විශ්ව විද්යාලෙ යනවමයි කියලා හිතා ගත්තා. අන්තිමට මං මගේ හිතේ තිබුන ඔක්කොම බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මලික්ගෙ මනමාලි උනේ විශ්ව විද්යාලෙන් පිටවෙන්නත් කලින්. ඉක්මනට විවාහ වෙන්න ඕනි කියලා මලික් කියනකොට අපේ තාත්තා එයාවයි මාවයි දෙන්නවම පොරොන්දු කරවාගත්තා ඉගෙනීම නතර කරන්නෙ නෑ කියලා.මලික් තාත්තට විතරක් නෙවෙයි මටත් පොරොන්දු උනා දිගටම ඉගෙන ගන්න ඉඩ දෙනවා කියලා"

"ඉතින් දැන් එයා ඉගෙන ගන්න එපා කියනවද"

"නෑ...එයා කවදාවත් එහෙම කියලා නෑ. ඒත් මං මෙහෙ එනවට එයා විරුද්ධ උනා. එයා කියන්නෙ ඉගෙන ගන්න දෙයක් එහෙ ඉදලා ඉගෙන ගන්න කියලා. ඒත් මට මේ ශිෂ්යත්වෙ ලැබුනම ඒක අතාරින්න හිතුන්නෑ ආෂා...රට රටවල ඇවිදලා ඉගෙන ගන්න මට පුදුම ආශාවක් තිබුනෙ....ඒක නිසාම මං මෙහෙ එන්න තීරණය කලාට මලික් ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඒකට ලොකුම හේතුව දුව. ඔයා දැක්කනෙ මලික් එයාට කොච්චර ආදරේද කියලා. එයාට මං නැතුව හිටියත් දුව නැතුව ඉන්න බැරි නිසා තමයි අපි මෙහෙ එනවට අකමැති උනේ"

 "ඉතින් මලික්ටත් පුළුවන්නෙ මෙහෙ ඇවිත් ඔයාලත් එක්ක නතර වෙන්න"

"ඒක තමයි මමත් මුල ඉදලම කිව්වෙ. ඒත් එයා ඒකට කැමති නෑ. එකක් එයාගෙ රස්සාව. අනෙක එයා කැමති නෑ යාළුවෝ නෑදෑයො කවුරුත් නැතුව අපි මේ ඉන්නවා වගේ හුදෙකලා වෙලා ඉන්න. මම මේ ගමන එන්න ඕනිම කියලා කියනකොටම එයා කිව්වා එයාට අපිත් එක්ක ඉන්න එන්න්න බෑ කියලා"

"ඔයාට දැන් හිතෙනවද මෙහෙ ආවෙ අපරාදෙ කියලා"

"එහෙම හිතුන වෙලාවලුත් තිබුනා....ඒත් මං මෙහෙ ඇවිත් ගොඩක් දේවල් අළුතින් ඉගෙන ගත්තා ආෂා. කොටින්ම තනියෙන් ජීවිතේට මුහුණ දෙන එක පවා. ඒත් මට දුව ගැන දුකයි. අපි දෙන්නම අපේ තීරණ වෙනස් කරගන්න අකමැති උන එකෙන් දැන් දුක් විදින්න වෙලා තියෙන්නෙ දුවට.එයාට මෙහෙ තනියි. දවල් කාලෙට යාළුවෝ එක්ක සෙල්ලම් කර කර ඉන්න නිසා තනියක් දැනෙන්නෙ නැතුව ඇති. ඒත් හවසට ගෙදර ආවම එයා ඉන්නෙ දුකෙන්. පාළුවෙන්. වෙලාවකට පුංචි දේටත් රණ්ඩු කරනවා"

"ඒකනම් ඇත්ත"

"ළග පාතක ඔයා වගේ කෙනෙක්වත් හිටියෙ හොද වෙලාවට. දුව ඔයාට ගොඩක් ආදරෙයි....මලික් ගොඩක් සතුටු උනා ඔයා වගේ කෙනෙක් අදුනාගන්න ලැබුනට. එයා කියන්නෙ දුවට කැමති කෙනෙකුට වඩා දුව කැමති කෙනෙක් ළග ඉන්න එක එයාගෙ හිතටත් හොදයි කියලා"

"මලික් ආයෙ එනවා කිව්වද"

"තව මාස හයකින් විතර ඇවිත් යන්න එනවා කිව්වා. මං හිතුවෙ මෙහෙ ආවට පස්සෙ දුව තනියම ඉන්න විදිහ දැක්කම හරි එයා එයාගෙ අදහස් වෙනස් කරගනියි කියලා. ඒත් නෑ....එයා ඉතින් දෙයක් කිව්වොත් කිව්වම තමයි"

"ආෂා දැන් ඉස්සර වගේ මගෙත් එක්ක කතා කරන්නෑ" රාබි නෝක්කාඩු කරන තුරුම මට ඇය ළග සිටි බව මතක නොතිබුනි.

"එහෙම දෙයක් නෑ රාබි...අපි යමු නස්ලියා සෙල්ලම් කරන පැත්තට. මං සති ගානකින් දැක්කෙත් නෑ මගේ පුංචි සුරංගනාවිය"

"ඒ පැත්තට යන්න කලින් මට ඔයාට කියන්න දේකුයි ඔයාගෙන් අහන්න දේකුයි තියෙනවා"

"එහෙනම් ඉස්සෙල්ලා අහන්න තියෙන දේ අහලා ඉන්නකො" පෙරදිනක රාබි කෙරෙහි උපන් නොපහත් හැඟීම් ක්‍රමයෙන් මා වෙතින් පලා යමින් තිබුනද පෙර පුරුදු ලෙස ඇයට සමීප වන්නට බැරි කමකින් පීඩා විදිමින් සිටි මම යන්තමින් සිනා සී ඇය දෙස බැලුවෙමි.

"ඔයා මං අහන දේට ඇත්තම උත්තරේ දෙනවද?"

"මං බොරුවක් කියයි කියලා ඔයාට සැකනම් ඒ ප්‍රශ්ණෙ අහන්න එපා රාබි. මොකද මං හරි උත්තරේ දුන්නත් වැරදි උත්තරේ දුන්නත් ඔයා හිතන්නෙ ඒක බොරු කියලා"

"අපෝ ඔයත් හරියට මලික් වගේමයි. වචනයක් වැරදුනොත් ඉවරයි"

"ඉතින් ඇත්තනෙ"

"ඇත්ත ඇත්ත....එහෙනම් කියන්නකො ඇත්තටම එදා රෑ ඔයාට මං ගැන මොකද හිතුනෙ කියලා"

"මට ඔයා ගැන කලකිරුනා. නස්ලියා ගැන දුක හිතුනා"

"මලික් ගැන"

"මං මොකටද එයා ගැන හිතන්නෙ"

"අපෝ ඔයා වැරදිලාවත් එයා ගැන හිතන්න නම් එපා"

"එහෙනම් ඇහුවෙ"

"ඇහුවෙ හිතුව දේ නෙවේ එදා ඔයාට හිතුන දේ"

"එයා ඔයාව බේරන්න බොරු දාහක් විතර කියනකොට මුලින් මට එයා ගැනත් දුක හිතුනා. පස්සෙ එයා කොයි තරම් හොද සැමියෙක්ද කියලා හිතුනා "

රාබි  මහ හඩින් සිනාසෙමින් නැගිට්ටාය. යලිත් වරක් ඇඟිලි තුඩු වලින් ඉස්සී ඈත බැලූ ඈ දණහිසින් නවාගත් එක් කකුලක් බංකුව මත තබා අසුන්ගත්තේ මා දෙසට හැරීගෙනය.

"එදා දවසම ඔයා ගෙදර හිටියෙ නෑ කියලා දන්න නිසා ඒ වෙලාවෙ ඔයා එයි කියලා මං කීයටවත් හිතුවෙ නෑ"

"අර පුන්චි කෙල්ල ගෙදර තනියම නිදාගෙන ඉද්දි ඔයා ගෙයින් එලියට යයි කියලත් මං කීයටවත් හිතුවෙ නෑ" එවරද ඈ මහ හඩින් සිනාසුනාය.

"ඔයා දැන් ඔහොම හිනා උනාට ඒ වෙලාවෙ මං පිච්චුන තරම දන්නෙ මං විතරයි. ඉස්සෙල්ලම මං හිතුවෙ ඔයාට මොකක් හරි අසනීපයක්වත් හැදිලා නස්ලියා බයවෙලා කියලා"

"ඊට පස්සෙ"

"ඔයා ගේ ඇතුලෙ නෑ කියලා දැනගත්තට පස්සෙ මට හිතාගන්න බැරි උනා මොකක් කරනවද කියලවත්. ඒකයි මං මලික්ට කතා කලේ"

"ඔයා මලික්ට කතා කරපු බව මං දන්නෑ....මං ගෙට ඇවිත් දුවව නිදි කරවනකොට මලික් කතා කලා. මගේ කටහඩ ඇහුන ගමන් එයාට යකා වැහුනා. ඔය උපාධිය බල්ලට දාලා හෙටම ගෙදර එන්න ලෑස්ති වෙනවා කියලා මට කෑ ගැහුවා. එයා මට වචනයක්වත් කතා කරන්න දුන්නෑ. පහුවදත් එහෙමයි. එයා ඊළග සතියෙ අපිව එක්ක යන්න එනවා  කියලා ලෑස්ති වෙලා ඉන්න කිව්වා.  ඊට පහුවදා මට ඔයාව මුණ ගැහුනා මතකද? ඒ වෙලාවෙ මං හිටියෙ  ඔයාව මරන්න තරම් කේන්තියකින්. ඒකයි ඔයත් එක්ක කතා නොකලෙත්. කතා කරානම් මට මොනවා කියවෙයිද මන්දා"

අකුණක විදුලි සැර වැදුනාක් මෙන් මගේ හිස හිරි වැටී ගියේ එවෙලෙහිය. හිතා මතා නොවුවත් ඈ ඉතා ආශාවෙන් ලබාගන්නට පෙරුම් පිරූ උපාධිය අහිමි කිරීමට මමද දායක වී ඇත. රාබිගෙන් සමාවක් ලැබුනද ජීවිත කාලය පුරාම මට මගේ හිතෙන් එයට නම් සමාවක් නොලැබෙනු ඇත.

" එදා රෑ මං කොහෙද හිටියෙ කියලා ඔයා දන්නවද" කතා කල හැකි මානසිකත්වයක් නොතිබුනෙන් මම හිස දෙපසට සැලීමි.

"මලික් ඇවිත් ගියාට පස්සෙ දුව නිතර නිතර ලෙඩ උනා. ඇඟේ උෂ්ණත්වෙ දශමෙකින් වැඩි උනත් දිවා සුරකුමේ තියාගන්නෑ. මට කතා කරලා කියනවා. ඒ වෙලාවට මං මොන වැඩේ කර කර හිටියත් දාලා දුවගෙන යන්න එපැයි. සමහර වෙලාවට මං දවසක් දෙකක් තිස්සෙ කර කර හිටිය රසායන පරීක්ෂණ ආපහු මුල ඉදන් කරන්න වෙනවා. ඒකත් ලේසි වැඩක් නෙවෙයි ආෂා. අපේ පර්යේෂණාගාරෙ කෙනෙකුට හිතුන හිතුන වෙලාවට වැඩ කරන්න බෑ. හැම දේකටම කැලැන්ඩරයක් තියෙනවා.සමහර වෙලාවට අපි ඒකෙ දින වෙන් කරගන්නෙ මාසෙකට විතර කලින්. ඉතින් එතකොට ආපහු මුල ඉදන් කරන්න වෙන දේවල් වලට වෙලාවක් වෙන් කරගන්න ගොඩක් කල් යනවා. මට ඒ වැඩේ එපාම වෙලා තිබුන නිසා මම මලික්ට ඒ විස්තර සේරමත් කියලා කිව්වා අපිත් එක්ක ඉන්න එන්න කියලා. අඩුම ගානෙ මාස හය හතකටවත්. ඒත් එයා එයාගෙ තීරණේ වෙනස් කරන්න කැමති උනේ නෑ. දුව ලෙඩ උනාම මට කොහොමවත් වැඩක් කරගන්න බෑ. දවල් වරුවෙත් එයා එක්ක ඉන්න එපැයි. ඒක නිසා මං මලික්ට කිව්වා එයාට එන්නත් බැරිනම් මට මගේ වැඩ කරගන්න වෙන්නෙ දුවට නින්ද ගියාම එයාව තනියම තියලා ගිහින් කියලා. එයා ඒකට කීයටවත් කැමති වෙන්නෑ කියලා දන්න නිසයි මං එහෙම කිව්වෙ. ඔයා දන්නවද එයා ඒකට දීපු විසදුම"

"මොකක්ද?"

"දුවව ඔයා ළග තියලා යන්නළු"

"ඉතින් ඇයි ඔයා එහෙම නොකලෙ. එහෙම කලානම් මලික්ට තරහ යන එකකුත් නෑ. නස්ලියා උනත් අකමැති වෙන එකක් නෑ මං ළග ඉන්න. අනෙක ඔයා ඔය තරම් කරදරෙන් වැඩ කරගන්නෙ කියලා මට නිකමටවත් හිතිලා තිබුනෙත් නෑ. ඔයා චුට්ටක් හරි මට ඒ ගැන කියලා තිබුනනම් මං නස්ලියා ගැන ඔයිට වඩා බලනවා. දවල් කාලෙක උනත් මට එයාව බලාගන්න පුළුවන් දවස් තිබුනා"

"මං කොහොමද ආෂා ඔයාට එහෙම කරදර කරන්නෙ. මගේ මහත්තයවත් මට උදව් කරන්න බෑ කියනකොට මට පුළුවන්ද වෙන කෙනෙකුගෙන් උදව් ඉල්ලන්න"

"එහෙම හිතන්න එපා. මිනිස්සු එපැයි මිනිස්සුන්ට උදව් කරන්න"

"ඔයා හොද කෙනෙක් බව මං දන්නවා. ඒත් මට එහෙම උදව්වක් ඉල්ලන්න හිතුනෙ නෑ....ඒ නිසා මං කරේ දුව නිදාගෙන ඉදලා ඇහැරෙන්න වගේ හදනකොට ෆෝන් එක එයා ළගින් තියලා එලියට ගිය එක. මට ඕනි උනේ මලික්ව බය කරවන්න. එයාට අපි විදින දුක තේරුම් කරවන්න. දුවට මං කලින්ම කියා දීලා තිබුනා තාත්තට කතා කරන විදිහ. එදා රෑත් එයා නිදාගන්න කලින් මං කිව්වා එයා රෑ ඇහැරෙනකොට මං ළග හිටියෙ නැත්නම් තාත්තට කතා කරලා කියන්න කියලා. ඔයා දන්නවද පොඩි ළමයි හරි ආසයි ඔය වගේ කේලම් කියන්න. මං කීයටවත් හිතුවෙ නෑ දුව ඔයාව හොයාගෙන එයි කියලා. එයා රෑට තනියම එලියට යන්න බයයි. එයා අඩ අඩා ඔයාගෙ දොරේ අගුල කරකවනකොට මං හිටියෙ පඩිපෙල ලග"

රාබි කෙරෙහි ඇති වී යටපත් වෙමින් තිබූ නොරිස්සුම යලි හිස එසෙව්වේ එවෙලිහිය. මහ රෑක තම සිඟිති දියණිය අඩා වැලපෙමින් සිටියදී සැමියා රිදවීමේ හෝ ඔහුගෙන් පළිගැනීමේ චේතනාවකින් එය නුදුටුවක් මෙන් සිටිය හැකි මවකට කල නොහැක්කේ කුමක්ද?. මොහොතකට පෙර ඈ පැවසූ පරිදිම ඇයට මා ඝාතනය කර දැමීම වුවත් ඒ හැටි දෙයක් නොවනු ඇත.

"ඔයාට මං කියන දේ විශ්වාස කරන්න බැරුව ඇති"

"නෑ මට තාමත් විශ්වාස කරන්න බැරි අම්මා කෙනෙකුට එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. එදා නස්ලියා අරහෙම අඩ අඩා මගේ දොර ළග ඉන්නකොට ඔයාට දුකක් කියලා එකක් දැනුනෙ නැද්ද?"

මොහොතක් පුදුමයෙන් මෙන් බලාසිටි ඇය ඉන්පසු කකුළ පහතට දමා පහසු ඉරියව්වකින් වාඩි වුයේ ඈතක් බලාගෙනය.

"අපේ ආගමේ හැටියට කෙනෙක් මැරිලා පරලොව ගියාම  දෙවියො අමාරු ප්‍රශ්ණයක් අහනවලු. මට හිතෙන හැටියට ඔයා ඇහුවෙ ඊටත් වඩා අමාරු ප්‍රශ්ණයක්?"

ඇගේ දෑස් අග දිලිසෙන කඳුළු මා දුටුවේ එවෙලෙහිය. ඒවා පිස ගැනීමට උනන්දුවක් නොදක්වා හිස් බැල්මකින් කොහේදෝ ඈතක හිත රදවාගෙන සිටි ඇය එක්වරම ඇසුන නස්ලියාගේ හඩින් කලබල වී පිටි අත්ලින් කඳුළු පිසගත්තාය. නස්ලියා පසුපසින් දුව එන මලික් දකිත්දී යලිත් වරක් රාබි කෙරෙහි උපන් අනුකම්පාවෙන් මහිත පිරී යන්නට විය. බොහෝවිට ඇය මා සොයා එන්නට ඇත්තේ හෙට හෝ අනිද්දා ඔවුන් මගෙන් සදහටම සමුගෙන යන බව පවසන්නටය.

"මලික් ආවා කියලා ඔයා මට කිව්වෙ නැත්තෙ ඇ‍යි"

"ඒක කියන්න කලින් එයා ආව හේතුව කියලා ඉන්න ඕනි කියලා හිතුනා"

"මට සමාවෙන්න රාබි...හිතලා කෙරුවෙ නැති උනත් මගෙ අතින් ඔයාට උනේ ආපහු හදන්න බැරි විදිහෙ වරදක්. මැරෙනකල්ම ඒක මගෙ හිතට වද දෙයි"

ඇඩුමකට අර අදින හඬ පාලනය කරගනිමින් මම ඇගේ දෑත් මත සුරත තැබීමි. තද කොට මගේ අත අල්ලා ගත් ඈ හෙමිහිට හිස හරවා මා දෙස බලා යන්තමින් සිනාසුනාය.

"නෑ ආෂා....ඔයා මට කලේ දෙවියන්ටවත්  කර දෙන්න බැරි උන උදව්වක්. ඇත්තටම නම් ඔයා ඒ උදව්ව කලේ මට නෙවෙයි … නස්ලියාට. අර පේනවද නස්ලියා තාත්තගේ කරේ එල්ලිලා ඉන්න සන්තෝසෙ. මට හිතෙන්නෙ එයාට ඒ සතුට ලැබුනෙ ඔයා නිසා"

ආචාර්ය උපාධිය ගැන කප්පරක් සිහින දකිමින් සිටි රාබි නස්ලියාගේ සිනහව වෙනුවෙන් ඒ සියල්ල කැපකරන්නට හිත හදාගැනීම අදහාගත නොහැකි පුදුමයක් විය. එක්කෝ ඇය ඇගේ සිත රවටා ගන්නවා විය යුතුය. නැතිනම් මට මගේ සිත රවටා ගැනීමට උදව් කරනවා විය යුතුය. දෙකෙන් කුමක් සිදු වුවත් නස්ලියාගේ සිනහවට  මා අතින් වු බරපතල අපරාදය හිතින් මකා දමන්නට බැරිය.

නස්ලියා පසුපසින් කෙටි පියවර තබා අප වෙත ඇවිද එන මලික් දකිත්දී එතෙක් ඔහු කෙරෙහි වු ප්‍රසන්න හැඟීම් අභිබවා කෝපය දළුලන්නට විය. සිය බිරිද සහ දරුවා වෙනුවෙන් කැපකිරීමක් කරන්නට බැරි මිනිසෙකුගේ මුහුණ බැලීමත් මට අප්‍රසන්න විය.

" ආෂා.... මට ඔයාගෙන් ලොකු ඉල්ලීමක් කරන්න ඕනි"

"මොකක්ද"

"එදා රෑ මං බොරුවක් කලේ කියලා දන්නෙ ඔයයි මමයි විතරයි. හැමදාටම ඒක අපි දෙන්නා අතරෙ විතරක් තියාගමු"

"ඒත් රාබි.....ඒක රඟපෑමක් විතරයි කියලා කිව්වොත් මලික් සමහරවිට එයාගෙ තීරණේ වෙනස් කරයි"

"ඔව් ඒක බොරුවක් කියලා දැනගත්තොත් එයා එයාගෙ තීරණේ විතරක් නෙවෙයි මගේ ඉරණමත් වෙනස් කරයි. ඒක නිසා කීයටවත් ඒක දැනගන්න ඉඩ තියන්න එපා"

තවදුරටත්  කතාකරන්නට ඉඩ නොතබමින් දුවගෙන ආ නස්ලියා මගේ උකුලට පැන ගත්තාය. ඈ පිටුපසින් ආ මලික් රාබි ඉදිරියෙන් සිටගත්තේ මා දෙසට හැරීගෙනය. ඔහු කෙරෙහි වූ කෝපය හිත තුල බුබුළු දමමින් තිබියදී මට ඔහු දෙස බැලීම දුෂ්කර විය.

"ඉතින් කොහොමද ආෂා....ඔන්න අපි ඔයාව හොයාගෙනම ආවා"

" ඇයි?...  හෙට යනවා කියලා යන්නද?"

පිටස්තරයෙකුගේ පවුල් ප්‍රශ්ණයකට මැදිහත්වීම නොකල යුතු වුවත් හිතෙහි වු කෝපය හඩෙහි තැවරීම මට පාලනය කරගත නොහැකි විය. රාබී තදින් මගේ අත මිරිකීය. අවසන් මොහොතේ අප අතර හිත් නොහොදක් ඇතිවීම වලක්වන්නට ඇයට උවමනා වන්නට ඇත. මගේ අත මිරිකාගෙනම ඈ ඇගේ සැමියා දෙසද බලන්නට ඇත්තේ එහෙයිනි.

"හෙට නෙවෙයි...අද...තව ටිකකින්" මට බැලුනේ උකුල මත උන් නස්ලියා දෙසය. හමුවීම ගැනවත් හදිසියේ වෙන්වීම ගැනවත් වගක් නොවු ඇය මගේ ඇදුමේ වු බොත්තමක් සමග මොකක්දෝ සෙල්ලමකය.

"තව ටිකකින්" නස්ලියාව තදින් තුරුළු කරගෙන එවර මා මලික් දෙස බැලුවද ඔහු සිටියේ ඉවත බලාගෙනය.

"ඔව් ආෂා...අපි ආවෙ අද ඉදලා දිගටම මලික් අපිත් එක්ක ඉන්නවා කියලා කියන්නයි තව ටිකකින් අපිත් එක්ක රෑ කෑමට එළියට යමුද කියලා අහන්නයි"

මා කල උදව්වේ තරම කියන්නට මෙන් රාබිගේ මුහුණේ ඇදී තිබුනේ දඹදිව ගමන නිමාකර තාත්තා කරදයක් නැතුව ගෙදර ආ බව පවසන විටක අම්මාගේ මුහුණේ ඇදෙනු ඇතැයි මා සිතා සිටි සිනහවය.

 

නිමි!.....

 

සඳමාලී සකුන්තලා හේරත්

2015.07.29