Monday, April 25, 2016

සකුරා සුවඳ 2 (ජපානයේ ආමන්ත්‍රණ)


සකුරා සුවඳ 1 (පිවිසුම)

ජපානයේ ආමාන්ත්‍රණ විදි ගැන අපි බොහෝ දෙනෙකුට දැනුමක් ඇත. දරුවන් හෝ වැඩිහිටියන් අතර ආමන්ත්‍රණයේදී පුද්ගල නාම පමණක්  යෙදෙන්නේ නැත. ඒ වෙනුවට ඕනෑම පුද්ගලයෙකුගේ නම අගට විශේෂණ පදයක් යෙදීම සාමන්‍ය සිරිතය. කුඩා දරුවන් සදහා භාවිතා වන්නේ “චන්” යන පදයයි. "හරි පුදුම ඉස්කෝලෙ" ටොට්ටෝ නම් දඟකාර දැරිය “ටොට්ටෝ චන්” ලෙසින් අපි අතරට ආවේ එනිසාය. "චන්" යන්න කුඩා දරුවන් ගැහැණු පිරිමි භේදයකින් තොරව හැදින්වීමට යොදා ගත්තද පාසැල් යාම අරඹන පිරිමි දරුවන්ගෙන් "චන්" ඉවත් වී ඒ වෙනුවට "කුන්" යන ආමන්ත්‍රණය යෙදේ. යොවුන් විය එලඹෙන තුරුම පාහේ ගැහණු දරුවන් සදහා "චන්" යන්න භාවිතා කෙරේ.
වැඩිහිටි ගැහැණු පිරිමි දෙපාර්ශවයම සදහා යෙදෙන්නේ "සන්" යන්නය. නොරිකෝ සන් සහ දෙවුන්දරා  සන් අපිට හමු වුයේ එලෙසය (ජපන් භාෂාවේ අපේ භාෂාවල ඇති සමහර "ශබ්ද" නැති නිසා බොහෝවිට ජපානයේදී අපේ නම් වෙනස්වේ. දේවේන්ද්‍ර ජපානයේදී දෙව්දරා වුයේ එහෙමය. දෙව්දරා විතරක් නෙවෙයි මේ ලියන මගේ නමද ජපානයට ආපසු  අළුත් "මාරි" වර්ගයක් සහ "මත්පැන්" වර්ගයක් මෙන් විය. එය ලියන්නේ සහ කියවන්නේ "සඳමාරි සකුන්තරා" ලෙසය).
 වැඩිහිටි ළමුන් සදහා  "කුන්"/"චන්"  හෝ "සන්" ආමාන්ත්‍රණය අමතන්නා සහ ඔහු අතර ඇති වයස් පරතරය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස "ඔමොතො කුන්" නමින් මහාචාර්යවරයෙකු ආමන්ත්‍රණය කරන අවුරුදු විසි පහක්  විසි හයක් වයසැති පශ්චාත් උපාධි අපේක්ෂක තරුණෙයෙකුට ඔහුගේ සම වයසේ මිතුරන්  අමතන්නේ "ඔමොතො සන්" ලෙසිනි.  අපේ පර්යේෂණාගාරයේ සිටින සියළුම ජපන් ජාතික තරුණයන් ආමාන්ත්‍රණයට මහාචාර්යවරු පමණක් නොව අප පවා භාවිතා කරන්නෙ "කුන්" ය. තරුණියන් සියල්ල "චන්" ය. ඒ විතරක් නොවේ, දැන් සිය ජීවිතයේ පස්වන දශකය ගෙවමින් සිටින අපේ සහය මහාචාර්යවරයාට ප්‍රධාන මහාචාර්යවරයා කතා කරන්නේද "හගා කුන්" නමිනි. නමුත් ඔහු බාහිර ලෝකයේදී "හගා සන්" මිස කුන් නොවේ.

 “සන්” යන ආමන්ත්‍රණය ජපානයේ පුද්ගල ආමන්ත්‍රණයේදී සුලභවම භාවිතා වන ගෞරව නාමයයි. තනි තනි පුද්ගලයන් සදහා අදාල පුද්ගලයාගේ නමට පසුව යෙදෙන "සන්" යන්න විශාල පිරිසකට එකවර ආමන්ත්‍රණයේදීද යොදා ගැනේ. එහිදී "මිනසන්" යන පදය භාවිතා වේ. එහි අදහස "ඔබ සැම" යන්නය. සාමාන්‍යයෙන් රැස්වීමක් වැනි අවස්ථාවන් ආරම්භ කරන්නෙ "මිනසන් ඔහායෝ ගොසයිමාස් (සුබ උදෑසනක් ඔබ සියළු දෙනාට )" හෝ "මිනසන් කොනිච්චිවා (සුබ දහවලක් ඔබ සියළු දෙනාට )" කියමිනි.නමුත් “සන්” යන විශේෂණය සැමවිටම යෙදෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදීය. විශේෂිත අවස්ථා වල විශේෂ පුද්ගලයන් හැදින්වීමේදී මෙය "මිනසමා" ලෙස වෙනස් වේ.

"චිචී" සහ "හහා" යනු පිලිවෙලින් තම මව සහ පියා සදහා භාවිතා වන වචනය. ඒ තමන්ගේ මව සහ පියාය. අපේ භාෂාවේ හැටියට අපි "අපේ තාත්තා" "කමල්ගේ තාත්තා" ලෙස එකම වචනය භාවිතා කලද ජපානයේ එය එසේ නොවේ. තමාගේ නමට සහ තම පවුලේ අයට "චන්" "කුන්" "සන්" යන පද භාවිතා නොකරන ඔවුන් පවුලෙන් පිටත සියල්ලන් සදහාම ගෞරව නාම යොදා ගනී. වෙන අයෙකුගේ මව හදුන්වන්නේ "ඔකා-සන්" ලෙසය. පියා "ඔතෝ-සන්" ය. මගේ පුතාගේ මිතුරන් මා හදුන්වන්නේ "සෙනු කුන් නෝ ඔකාසන්" යනුවෙනි. මෙහි "නෝ" යන්න "සෙනුගේ" යන්න අර්ථවත් කරයි.

මෙලෙසින්ම තමාගේ පවුලේ නොවන අයියා අක්කා නංගී මල්ලී ආච්චි සීයා නැන්දා මාමා යන සියල්ල සදහාම "සන්" යන ගෞරව නාමය යෙදීම ජපන් ජාතිකයන්ගේ සිරිතය. තවත් උදාහරණයකින් පැහැදිලි කලොත්, "ඔජි" යනු මාමා/බාප්පා/ලොකු තාත්තා වැනි තම මව්පියන්ගේ සහෝදරයන් සදහා යෙදෙන ජපන් වචනයයි. නමුත් තම පවුලේ නොවන මාමා කෙනෙක් නිකන්ම "ඔජි" වන්නේ නැත. එවිට එය "ඔජි සන්" ලෙස වෙනස් වේ.

කිසියම් ජාතියක් ගැන සදහන් කිරීමේදී "ජින්" යන විශේෂණය යොදා ගනී. නිහොන් යනු ජපන් භාෂාවෙන් ජපානය හදුන්වන නමයි. එනිසා ජපන් භාෂාවෙන් ජපනුන් යනු "නිහොන් ජින්" ය. අපි "සුරි රන්කා ජින්" ය (ශ්‍රී ලංකාව කියා ජපන් භාෂාවෙන් ලියූ විට කියවන්නේ සුරි රන්කා කියාය. ජපන් භාෂාවේ "ල" "ව" වැනි ශබ්ද නැත ).
ගුරුවරු සහ වෛද්‍යවරු හැදින්වීමට "සෙන්සෙ" යන නාමය භාවිතා කරයි. මේ සෙන්සෙ යන්න පෙර පාසල් ගුරුවරයෙකුගේ සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු දක්වා ඕනෑම ස්ථලයක කිසියම් දෙයක් ඉගැන්වීමේ නිරත වන අය සදහා පොදුය.
ජපානයේ ආචාර සමාචාර ඊළග සකුරා සුවඳින්

a Japanese Family tree ගත්තෙ මෙතනින්