Tuesday, July 12, 2016

උරුමය - තුන්වෙනි කොටස

පළවෙනි කොටස




"ඔයා මීනු බලන්ඩ ආවට මීනු අපිත් එක්ක තරහා වෙලා චූටි මැණික " කියමින් ලොකු අයියා මා වැළඳගත්තේ පෞද්ගලික ආරෝග්යශාලාවක මෘත ශරීරාගාරය ඉදිරිපිටදීය. මා එහි ගොස් තිබුණේ මිනෝලි අක්කා සේම ලෙව්කේ බණ්ඩාර පරම්පරාවේ ඊළඟ උරුමක්කාරයා වූ සිඟිති පුතුද මෙලොව හැර ගොස් ටික වේලාවකට පසුය.


"පුතා මං වගේමයි නේද  චුටි මැණික" සාලයේ තැන්පත් කර තිබූ මිනෝලි අක්කාගේත් සිඟිති පුතුගේත් දේහය දෙස බලා දියණියද තුරුළු කරගෙන ලොකු අයියා ඇසුවේ අත්ලින් කඳුළු පිස දමමිනි.


"ඔව්. ගෙදර තියෙන ඔයාගෙ චූටි කාලෙ ෆොටෝ එකත් මේ වගේ"


"හැඩරුව විතරක් නෙවෙයි. මගෙ කොල්ලත් ඉපදුනෙ මං වගේම අම්මවත් මරාගෙනනෙ" කියමින් ඔහු මිනෝලි අක්කාගේ දේහය බදාගෙන ඉකිගසා අඬන්නට පටන් ගත්තේ අසල සිටි සියල්ලන්ගේම නෙත් තෙත් කරවමිනි. එතරම් සිත කැළැඹවූ දසුනක් මටනම් ජීවිත කාලය පුරාවටම නොතිබුණි. වරෙක ඇසිපිය නොහෙලා මිනෝලි අක්කාගේ දේහය දෙස බලා සිටින ඔහු තවත් විටක ඇගේ හිස පිරිමදිමින් මොන මොනවාදෝ මුමුණන්නේ ඇය ජීවත්ව සිටින බව සිතාගෙන මෙනි. කාත් කවුරුවත් නොමැති අසරණයෙකු මෙන් සිටි ඔහුගේ සිහිය විකල් වේයැයි බියක් දැනුන මොහොතක මා නිවසට ඇමතුමක් ගත්තේ අම්මාට ගැන දැනුම් දෙන්නය. අවාසනාවකට මෙන් දුරකතනයට පිළිතුරු දෙන්නට අප්පච්චී සිත් පිත් නැති අයෙකු මෙන් කියා සිටියේ ඔහු කළ පව් ඔහුටම ගෙවාගන්නට ඉඩහැර මා  ඉක්මනින් සරසවියට යායුතු බවය. ආසාවෙන් ලබාගන්නට පෙරුම් පිරූ උපාධිය සේම තවත් බොහෝ දේ කැපකර හෝ ලොකු අයියාත් ඔහුගේ සිඟිති දියණියත් තනි නොකරන ක්ෂණික තීරණය මා ගත්තේ එවෙලෙහිය.


"දැන් ඔයා කැම්පස් එකට යන්න චූටි මැණික. ෆයිනල් එග්සෑම් ලබන සතියෙ කිව්වනෙ" හත් දවසේ දානයට පසුදින දහවල් ලොකු අයියා එසේ කීවේ මා අත නිදාගෙන උන් දියණියව ඇද මතින් තබමිනි.


"ඔයාවයි දෝණිවයි දාලා මං කොහේවත් යන්නෑ"


"එග්සෑම් ඉවර වෙලා ඔයාට පුළුවන්නම් ඔයා මෙහෙ එන්න. ඔයාගෙ ඩිග්රියත් මැනේජ්මන්ට් නිසා මට ඔයාව ලේසියෙන්ම අපේ කම්පැණියට ගන්න පුළුවන්"


"මං ආයෙ කැම්පස් යන්නෑ"


"පිස්සු වැඩ කරන්ඩ ලෑස්ති වෙන්ඩ එපා"


"මං ගියාම ඔයා කොහොමද මේ පුංචි එකීවත් බලාගෙන වැඩට යන්නෙ. අනෙක දෝණිට තාම හිතාගන්ඩ බෑ අම්මට මොකද වුණේ කියලා"


"දෝණිට තියා මටවත් තාම හිතාගන්ඩ බෑ චූටි මැණික. ගියපාර මීනුට දුව ලැබෙනකොට ඔහොම අමාරුවක් වුණේ නෑනෙ. ඒකයි මං මේ පාරත් මෙහෙම හිටියෙ. නැතිනං කොළඹ හරි අරන් යනවනෙ"


"එකපාරට ප්රෙෂර් වැඩි වුණා කියලනෙ ඩොක්ටර් කිව්වෙ"


"මං ඊයෙ මීනුගෙ ඩයරිය බැලුවා. එයා අන්තිම දවස්වල හරියට හිත හිතා වද වෙලා තියෙනවා පුතා ලැබෙන්න ගිහින් එයාට මොකක් හරි වුණොත් අපි තුන්දෙනාට කවුරුත් නෑනෙ කියලා.පුතා ලැබෙන්න අමාරු වෙනකොට ඒක එයාගෙ හිතට තදට දැනෙන්න ඇති. ඒකයි එකපාර ප්රෙෂර් වැඩි වෙන්න ඇත්තෙ"


"මාව හම්බුනා කියලා ඔයා අක්කට කිව්වෙ නැද්ද"


"කිව්වා. ඒත් එදා ඔයා අපිව බලන්න එනවා කියලා කිව්වෙ නෑ. මට ඕනි වුණේ ඔයාව පෙන්නලා මීනුව පුදුම කරවන්න. ඒත් එයා ඊට කලින් මට තාමත් හිතාගන්නවත් බැරි විදිහට මාව පුදුම කරවලා යන්ඩ ගියා" කියමින් ඔහු දෝතින් මුහුණ වසා ගත්තේය.


"වෙච්ච දේ වෙලා ඉවරනෙ ලොකු අයියා. දැන් ගැන හිත හිතා අඩලා වැඩක් නෑ. ඔයා දැන් හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න ඕනි මේ නොදරුවා ගැන හිතලවත්"


"මේ ඉන්නෙ මං ගෙදරින් එනකොට හිටිය පුංචි කෙල්ලමද කියලා හිතෙනවා" කියමින් ඔහු මා තුරුළු කරගත්තේ බරැති සුසුමකින් හිත තුල වූ පීඩනයෙන් මදක් මුදාහරිමිනි. ලොකු අයියා උපන් මොහොතේම ඔහුගේ මව මියගිය පසු ලොකු අයියා ගැන  බලන්නට මගේ අම්මා සහ සුදු පුංචම්මා පමණක් නොව අත්තම්මලා දෙදෙනෙක්ද සිටියහ. එහෙත් අද ලොකු අයියාගේ දියණිය මෙන්ම ඔහු ගැන බලන්නටද සිටින්නේ මා පමණි. එනිසාම මම මගේ තීරණය කිසි ලෙසකින් වෙනස් නොකර ගන්නට දැඩිව අධිෂ්ඪානය කර ගත්තෙමි.


"මගේ ප්රශ්ණ මං පුළුවන් විදිහකට ටික ටික විසදාගන්නම්. හෙට ඉදලා ඔයා කැම්පස් යන්න ඕනි. විභාගෙ ඉවර වුණාම අප්පච්චිලා කැමති නම් විතරක් ටික කාලයක් මෙහෙ ඇවිත් ඉන්න"


"මං කොහෙවත් යන්නෑ"


"හිතුවක්කාර වෙන්ඩ එපා චූටි මැණික"


"බොරුවට මාව යවන්න දඟලන්න එපා ලොකු අයියෙ. ඔයාලගෙ වගේම මගේ ඇඟෙත් තියෙන්නෙ ලෙව්කේ බණ්ඩාර පරම්පරාවෙ ලේ. ඒක නිසා මමත් ඔයාලා වගේම කිව්ව දෙයක් වෙනස් කරන්නෙ නෑ කිව්වොත් නෑමයි" එදා මෙදා තුර වසරකටත් වැඩි කාලයක් මා කැපකලේ ලොකු අයියා සහ ඔහුගේ දියණිය විනුලි වෙනුවෙනි.


ගිය වසරේ ලියන්නට නොහැකි වූ අවසන් සමාසික පරීක්ෂණයට මා මුහුණ දුන්නේ මීට සති තුනකට ඉහතදීය. ලොකු අයියා හිටි හැටියේම මා ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස පත් කරගත්තේ ඊටත් සතියකට පසුය.


"මට හිතුනා අද ඉදලා ඔයාවත් ඔෆිස් එක්ක යන්ඩ" විභාගය අවසන් වූවාට සතියේ සඳුදා උදෑසන දියණිය පෙර පාසලට ඇරලවා එනතුරු කාලය ගෙවාගන්නේ කෙලෙසදැයි සිතමින් ගෙට ගොඩ වූ මට ලොකු අයියගේ වදන් සතුටක් මෙන්ම පුදුමක්ද ගෙන දුන්නේ ඔහු බවක් කලින් සදහන් නොකළ නිසාය.


"ඔෆිස් ගිහින් මං මොනා කරන්නද"


"මං ඔයාව මගේ ප්රයිවට් සෙකට්රි විදිහට ඇපොයින්ට් කරා"


"බොරු කියන්ඩ එපා"


"බොරු නෙවෙයි. මං දන්නවනෙ ඔයාට එග්සෑම් ඉවර උනාම ඉන්න වෙන්නෙ කම්මැලිකමේ කියලා. අනෙක දෝණිට ඔයා නැතුව ඉන්න පුරුදු කරන්නත් ඕනි"


"පව්"


"පව් කියන්න වෙන්නෙ එහෙම නොකළොත්. දැනටමත් කෙල්ල මං එක්ක මොන්ටිසෝරියට යන්නවත් කැමති නෑ. නිදාගන්ඩ ගියාමත් කරදරේ නැන්දම්මා ඕනි කියලා"


"ඉතින් ඇයි මං ළඟ ඉන්ඩ දෙන්නැත්තෙ"


"මෝඩ ප්රශ්ණ අහ අහා ඉන්නැතුව ගිහින් යසාට කියලා එන්ඩ. මට පරක්කු වෙන්ඩ බෑ.  මේ හිටියෙ ඔයා එනකල්"


"ඉතින් ඇයි මට උදේවත් කිව්වෙ නැත්තෙ"


"හැම එකටම හේතුවක් තියෙනවා. ඒවා මං පස්සෙ කියනකල් දැන් ගිහින් යසාට කියලා එන්ඩ. නැත්තං මනුස්සයා බය වෙයි"


අවසරයෙන් ගෙතුලට ගිය මා යසවතීට මගේ හදිසි රැකියාව ගැන දැනුම් දී එනවිටත් ලොකු අයියා සිටියේ රිය පණගන්වාගෙනය. මා රියට නැගුනේ හිතේ දෙගිඩියාවෙනි. රැකියාවක් කරන්නට සිහින දකින්නට පටන් ගත්තේ ඊට කෙදිනකවත් අවසර ලැබේයැයි සිතන්නට වත් නොහැකි යුගයක සිට වුවත් මේ හදිසි රැකියාව එවෙලෙහි සිතට එක් කර තිබුනේ කැළඹිල්ලකි.


"චූටි මැණිකෙත් ගියාම මට තමයි පාළු" මා පසුපසින් පාරට යසවතී ලොකු අයියාට නෝක්කාඩු කියන්නට ගත්තේ කවුළුවට එබෙමිනි.


"එහෙම කියලා අපිට හැමදාම චූටි මැණිකෙ ගෙදර තියාගන්ඩ බෑනෙ යසා. අනෙක තව ටිකකින් දෝණි ආවම වෙනදා චූටි මැණිකෙ කරන වැඩ ටිකත් කරන්ඩ වෙන්නෙ යසාටමනෙ. එතකොට ඔය පාළුව හරියයි" කියමින් විවරව තිබූ කවුළුවද වසමින් ඔහු රිය පාරට දැමුවේ මා දෙස නෙත් කොණින් බලමිනි. ජීවිතයම අහම්බයක්දැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. මේ රැකියාවද එවැන්නකි. ජීවිතයේ බොහෝ දේවල් මට ලැබුණේත් ලැබුණ ඇතැම් දේ එලෙසම ගිලිහ ගියේත් පූර්ව සැලසුමකින් තොරවය.


"මොනාද ලොකු අයියා කරන්න තියෙන්නෙ" සිත තුල පෙරලි කරමින් තිබූ ප්රශ්ණ පත්තරයේ ඉහළින්ම තිබූ පැණය මා අසාගත්තේ රියෙන් බහින අතරවාරයේය.


" හැටි දෙයක් නෑ. මං කලින් සෙකට්රි කෙනෙක් තියාගත්තෙ නැත්තෙත් ඒකයි"


"එහෙනම් ඇයි දැන්"


"පාළුයි චූටි මැණික. තනියම වැඩ කරනකොට හිත එහෙ මෙහෙ දුවනවා වැඩියි. මෙතන හැමෝටම මං බොස්. ඉතින් එකෙක්වත් මට කිට්ටු වෙන්නෑ. අනෙක එහෙම කිට්ටු කරගෙනත් මුං එක්ක වැඩ කරන එක ලේසි නෑ. ටිකක් ෆිට් එකේ කතා කරන්න හරි එකෙක් ඉන්නෙ එකවුන්ට් සෙක්ෂන් එකේ විතරයි. කරුමෙට ඒක තියෙන්නෙත් වෙනම බිලිඩිං එකකනෙ"


ඔහුගේ සිතැඟි තේරුම් ගන්නට ටික ප්රමාණවත් වූයන් මා නිහඩවම ඔහු පසුපසින් වැටුනෙමි. තරමක් විශාල දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන මේ ව්යාපාරයේ හිමිකරු දැන් සිටින්නේ විදෙස්ගතවය. ලොකු අයියාගේ හොදම මිතුරෙකු වූ ඔහුට මෙය සිය පියාගෙන් උරුම වී තිබුණේ පාඩු ලබන අවදියකය. පසුව එය ලාභ ලබන ආයතනයක් කරගැනීමට අමතරව පුළුල් කරගැනීමටද හැකිව තිබුණේ ලොකු අයියාගේ ව්යාපාර පරිපාලන දැනුමට පිං සිදු වන්නටය.


"ඔයා මගෙ නංගි කියලා එකපාරටම මං මේ මිනිස්සුන්ට කියන්ඩ යන්නෑ"


ඔහු කාර්යාලයට ඇතුළු වූයේ තරමක් ළංව එසේ කියමිනි. මා ඊට එකඟ වූයේ හේතු විමසීමකින් තොරවය. කාර්යාලය තුල විවිධ රාජකාරි වල නියැලෙමින් සිටි සියල්ලෝම පාහේ ඔහුගේ ආගමනයත් සමග එක්වරම නිශ්සබ්ද වූයේ ඔහු හා ඔවුන් තර ඇති පරතරය  වටහා දෙන්නට මෙනි.


"මේ තමයි අද ඉදලා අපේ ස්ටාෆ් එකට අළුතින් එන මිස් භාග්යා බණ්ඩාර" ඔහු මා සියල්ලන්ට පොදුවේ හදුන්වා දුන්නෙ නම මෙන්ම වාසගමද කෙටි කරමිනි. මම ඔවුන් සියළු දෙනා දෙසම බලා සුහද සිනාවක් පෑවද ඊට ප්රතිචාර ලැබුනේ අතලොස්සකිනි.


"මේ මිස්ට මේසයක් දාන්ඩ ඕනි කොතනටද සර්" ලාබාල පෙනුමක් තිබූ සේවකයෙකු ඇසුවේ අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.


"මං මේ මිස්ව ගත්තෙ මගේ සෙකට්රි පෝස්ට් එකට. ඒක නිසා සමන් මේ මිස්ට කම්පියුටර් ටේබල් එකක් දාලා දෙන්ඩ මගේ රූම් එකටම"


සාරියක් ඇඳ උන් මැදිවියේ කාන්තාවක් අසල වූ තවත් කාන්තාවකගේ මුවට කිසිවක් මුමුණනු දුටුවද මා ගැන සිතන්නට නොගියෙමි. ලොකු අයියාද එය දුටුබව මා අනුමාන කළේ කට කොණකට නැගි සිනහව සගවාගන්නට තැත් දරමින් ඔහු සිය කාමරයට ඇතුළු වූ වේගයටය. සමන් නමින් ඔහු ඇමතූ සේවකයාද ඔහු පසුපසින් කාමරයට ගියේය.


"මිස් භාග්යාගෙ ගෙවල් කොහෙද"


"නුවර"


"එහෙනං බොස්ව කලින් දන්නවා ඇති" පෙරකී කාන්තාව එසේ කීවේද සරදමකට මෙනි. මා නැගණිය බව නොකියා ලොකු අයියා කළේ බරපතල වරදක් බව මට සිතෙන්නට ගත්තේ ඇගේ මුව මත වූ උපහාසය දරාගත නොහැකි වූ නිසාය.


"අන්න අලුත් මිස්ට සර් කතා කරනවා" කියාගෙන ලොකු අයියාගේ කාමරයෙන් එලියට ආවෙ සමන්ය. අවසරයෙන් මා කාමරයට ඇතුළු වූයේ කලබලයෙනි.


"මේක ආයතනයක් මිස්. ඔහොම ගෙදර වගේ තමන්ට කැමති විදිහට දොරවල් ඇරගෙන එන්න මෙහෙ බෑ. ඒකට ක්රමයක් තියෙනවා. මුලින් දොරට තට්ටු කරලා ඉන්න ඕනි"


සිය රාජකාරි පුටුවේ වාඩිවී දෙබැම රැළිකරගෙන උන් ලොකු අයියා කිසිදු දැන හැදුනුම් කමක් නැති අයුරින් කළ ප්රකාශය තුල මට තේරුම් ගත යුතු බොහෝ දේ තිබුණි. රාජකාරි බාර ගැනීමටත් පෙරම ඔහු ඉදිරියේ වරදකරුවෙකු වන්නට සිදුවීම ගැන මට දැනුනේ පසුතැවිල්ලකි. කවදත් පිළිවෙලට වැඩ කරන ලොකු අයියා වැනි ආයතන ප්රධානියෙකු යටතේ සේවය කරන්නට පැමිණීමෙන් මම කරගත්තේ මෝඩ කමක් බව සිතුනද බව හැකිතාක් නොපෙන්වා ඉන්නට උත්සහ කළෙමි.


"සොරි මට අමතක උනා"


"රාජකාරියේදි අමතකවීම පුද්ගලික දැන හැදුනුම්කම් තියෙන්න බෑ මිස්. අනෙක් අය වගේම ඔයත් මෙතන සේවිකාවක්" ඔහුගේ හඬ පිටතට ඇසෙන්නට තරම් වේගවත් විය. මට මා ගැනම ලැජ්ජාවක් සමග බොහෝ කාලයකට පසු ලොකු අයියා සමග කේන්තියක්ද දැනුනත් එය පිට කිරීමේ ක්රමයක් නොවීය.


"අන්න අර මේසෙන් වාඩි වෙලා මේක සයින් කරලා දෙන්න" කියමින් ඔහු මා දෙසට පත්වීමේ ලිපිය දිගු කළේය. මා ඔහු අසලට ගියේ බිම බලාගෙනය.


"ඔක්කෝටම කලින් අර දොර වහලා එන්න චූටි මැණික "  අර තරම් වේගයෙන් කෑ ගැසුවේ ඔහුමදැයි සිතාගත නොහැකි තරමට හඬ මෘදු විය. දොර වැසූ මා ඔහු අසලට යනවිට ලොකු අයියා සිටියේ සිනාසෙමිනි.


"බය උනා නේද හොදටම"


"ඔව්. මට අදම රස්සාව එපා උනා"


"ඔයා දොර වහලා ආවෙ නෑනෙ කොහොමත්. එළියෙ සමහරු කට ඇරගෙන බලන් ඉන්නෙ ඇතුළෙ වෙන්නෙ මොනාද කියලා. සමහරවිට ඔය සමහරු අපි දෙන්නව එළියෙදි එකට දැකලත් ඇති.මට ඒකයි චුට්ටක් කෑ ගහන්ඩ හිතුනෙ"


"මං ඔයාගෙ නංගි කියලා කියන්ඩ බැරිනම් පුංචම්මගෙ දුවෙක් කියලා හරි කියන්ඩ ලොකු අයියා"


" මං මොකටද එහෙම කියන්නෙ. ඔයා මගේ නංගි කියලා අපේ ඩිරෙක්ටර් බෝඩ් එක දන්නවා. ඔයයි මමයිත් දන්නවා. දැනට ඇති චූටි මැණික. අවශ් උනොත් වෙලාවට මං කියන්න ඕනි අයට ඒක කියන්නම්. ඔයා කලබල වෙන්නැතුව වැඩ ටිකක් ඉගෙන ගන්නකො. ගත්තෙ සෙකට්රි පෝස්ට් එකට වුණාට මං ඔයාට මෙතන හැම වැඩක්ම උගන්නනවා. එතකොට රිසල්ට් අවුට් උනාම මට ඔයාව හොද පෝස්ට් එකකට දාන්න පුළුවන්. මෙතන නෙවෙයි වෙන තැනක


"කෝ ඉතින් දෙන්න දැන් ලෙටර් එක"


"මේක පොඩි ට්රේනින් එකක විතරයි චූටි මැණික. ඒත් මෙතනින් පටන් ගන්න ඔයාගෙ අලුත් ජීවිතේ කිසිම දුකක් කරදරයක් නැති සතුටින් පිරුණු එකක් වෙන්ඩ කියලා මං ප්රාර්ථනා කරනවා" පත්වීමේ ලිපිය මා අත තැබූ ඔහු හිස පිරිමැදීය. නෙත් අග වූ කඳුළු දෑස් තුලම තුනී කරගෙන මා ඔහු දෙස බැලුවේ සිනාසීගෙනය.


"ඔයාගෙ මුළු ජීවිතේම ඔහොම හිනාවෙලා ඉන්ඩ ලැබෙන්න ඕනි චූටි මැණික"


අහම්බෙන් මෙන් ලද රැකියාවට මම බොහෝ සේ ඇලුම් කළෙමි. ලොකු අයියාගේ වැඩ මා නිසා පහසු වූ බව ඔහු දෙතුන් වරක්ම පැවසුවේය. දක්ෂ කළමණාකාර අධ්යක්ෂවරයෙකු වූ ඔහු යටතේ සේවය කිරීමෙන් මටද බොහෝ දේ ඉගෙන ගන්නට ලැබුණි.රාජකාරියේදී සහෝදරකම් අමතක කරමින් වැඩ කළද ඔහු මා ළඟම සිටීම මට මහත් සතුටක් විය.


"කෑවද චූටි මැණික" අසාගෙන ලොකු අයියා නැවත එනතුරුම මා සිටියේ අතීතයේය.


"කෑවා. අයියා කාලද ඉන්නෙ"


"කාලා හොද ප්ලේන්ටියකුත් බීලයි ආවෙ"


"ඔයා ගෙදර ගියාද"


"නෑ. කෑවෙනං එලියෙන්. හැබැයි ප්ලේන්ටියක් බිව්වෙ අපේ අකවුන්ටන්ගෙ රූම් එකෙන්. මිනිහට රසට තේ හදන්න පුළුවන්"


"එහෙනම් ෂුවර් එකට වයිෆ් නර්ස් කෙනෙක් වෙන්නැති" කොක් හඬලා සිනාසෙමින්ම සිය අසුන වෙත ගිය ඔහු ලිපිගොනුවක් පෙරලා ගත්තේය. තවත් මොහොතකින් පරිගණකය දෙසට හැරුණ ඔහුගේ අතැඟිලි යතුරු පුවරුව මත වේගයෙන් එහා මෙහා යන හැටි මා බලාසිටියේ සිනහමුසු මුහුණිනි. ඔහු වැනි ප්රධානියෙකු යටතේ වැඩ කිරීමට ලැබීමත් මා ලද භාග්යකි. තනතුර පුද්ගලික ලේකම් වුවත් ඔහු හැමවිටම උත්සහ කළේ මට අලුතින් යමක් ඉගැන්වීමටය.


"ඔයාට හෙට ලොකු වැඩක් තියෙනවා" අඩහෝරාවකටත් වැඩි කාලයක් සිය කාර්ය කෙරෙහිම අවධානය යොමු කරගෙන සිටි ඔහු නැගිට්ටේ එසේ කියාගෙනය.


"මොකක්ද"


"ඒක බොහොම සීක්රට් වැඩක්. අපේ අකවුන්ටන්ට් මහත්තයා දන්නවා කරන්ඩ ඕනි මොකක්ද කියලා. මිනිහා හෙට උදේට මෙහෙට එයි. ඔයාට තියෙන්නෙ එයා කියන වැඩ ටික කරලා දෙන එක විතරයි"


"අකවුන්ටන්"


"ඔව් ඇයි බයද මිනිහත් එක්ක වැඩ කරන්ඩ "


" මං අහලා තියෙනවා එයාට හරියට කේන්ති යනවා කියලා"


"කේන්ති යන්නෙ හරියට වැඩ නොකළොත්නෙ. නැතත් දැන් මිනිහට ඉස්සර වගේ කේන්ති යන්නෑ. ආව දවස්වල නම් යකා වගේ. පොඩ්ඩ මිස් වෙච්ච ගමන් කෑ ගහනවා. ඔයා දන්නවද අකවුන්ට් සෙක්ෂන් එකේ ඉන්න පමුදිව "


"දැනගන්න ඔයා මාව තාම අකවුන්ට් සෙක්ෂන් එකට එක්ක ගියෙ නෑනෙ"


"මං වෙලාවක එක්ක යන්නංකො. ඒකෙ ඉන්නවා පමුදි කියලා පොඩි ගර්ල් කෙනෙක්. එයා එකපාරක් රස්සාවෙන් අස් වෙන්නත් හැදුවා මිනිහා එක්ක වැඩ කරන්ඩ බෑ කියලා"


"ඔයා මාව තවත් බය කරවනවා"


"අපෝ නෑ. දැන් මිනිහට එහෙම කේන්ති යන්නෑ. නැතත් ඔයාට කීයටවත් එහෙම කෑ ගහන්නෑ කියලා මට විශ්වාසයි"


"ඇයි "


" මේකෙ අනිත් උන් දන්නැති උනාට මිනිහා දන්නවා ඔයා මගෙ නංගි කියලා"


"ඔයා කිව්වද"


"කියන්න උනා. මං කොහොමත් වෙලාවක ඌට මෙහෙට එන්න කියලා ඔයාව නංගි කියල අදුන්වලා දෙන්න හිටියෙ. ඒත් අද අහම්බෙන් ඒක කියවුනා"


"ඇයි"


"දවල් මිනිහා මෙහෙ ආව වෙලේ මගෙ කම්පුයුටර් එකේ තියෙන ඔයාගෙයි දෝණිගෙයි පිංතූරෙ දැකලා වශී වෙලා වගේ ගොඩක් වෙලා ඒක දිහා බලන් ඉන්නවා දැක්ක නිසා මං කිව්වා ඔය මගේ නංගි කියලා. මට  බය හිතුනා ඌ ඔයා මීනු කියලා හිතයි කියලා"


"ඇයි එයා අක්කා ගැන දන්නැද්ද?"


"නැති උනා කියලා දන්නවා. ඒත් මීනුව දැකලා නෑ. එයා මෙහෙට ආවෙ මීනු නැති වෙලා මාස දෙක තුනකට පස්සෙනෙ"


"ඔයාට තිබ්බෙ එයාට හිතාගන්න එකක් හිතාගන්න ඇරලා ඉන්නනෙ. ඔයා හිතනවද දැන් එයා ඕක කාටවත් නොකියා ඉදියි කියලා"


"මට ඔයා මගේ නංගි කියලා කාගෙන්වත් හංගන්න ඕනි කමක් නෑනෙ.


අනෙක වෙලාවෙ මට මං ඔයාව මෙහෙ කාටවත් නංගි කියලා අදුන්වලා දුන්නෑ කියලා මතක් වුණෙත් නැද්ද කොහෙද. මොකද මං කාලයක් ඉදලම හිතන් හිටියා මිනිහට ගර්ල් කෙනෙක් නැත්තං ඔයාව කතා කරන්න. ඒත් මෙතන එම්ඩී හැටියට කෙනෙකුගෙන් වගේ දෙයක් ගැන අහන්න කලින් මට ගොඩක් දේවල් හිතන්න තිබ්බා. ඒක නිසා මං ඒකට කාලයක් ගත්තා. ඒත් මට අද හොඳටම තේරුණා මිනිහා ඔයාට කැමතියි කියලා. ඒක නිසා මං ඌට කිව්වා වයිෆ් නැති වුණාට පස්සෙ නංගි තමයි මාවයි දුවවයි බලාගත්තෙ කියලා. වැඩි හොඳට දැන් මගෙ සෙකට්රි පෝස්ට් එකේ ඉන්නෙ ඔයා කියලත් කිව්වා. එතකොට ඉතින් මිනිහට එහෙම කැමැත්තක් ඇති වුණානං බොරුවට මාව හම්බෙන්න එනවා වගේ හරි එන්න පුළුවන්නෙ ඔයාව හැබැහින් දැකගන්ඩ "


"ඔයාට නම් විකාර ලොකු අයියා. දන්නවනම් මං වැඩටවත් එන්නෑ"


"මං මගේ හිතේ තියෙන දේ ඔයාට කිව්වට එයාට කියන්ඩ ගියෙ නෑ. බය වෙන්ඩ එපාමං ආයෙ ගැන හීනෙකින්වත් හිතන්නෑ. මොකද මං මේ දැන් පැත්තෙ ගිය වෙලාවෙ දැනගත්ත මිනිහා එන්ගේජ් වෙලා ඉන්න බව"


"මං කිව්වනෙ. මට ඔය කවුරුත් ඕනි නෑ"


"හරි හරි ඒක අපි පස්සෙ කතා කරමුකො. හෙට ඔන්න මනුස්සය මෙතනට ආවම ගස්සන්නෙ පුප්පන්නෙ නැතුව මගේ වැඩේ කරලා දෙන්න ඕනි" කියමින් හිසට තට්ටුවක් දැමූ ලොකු අයියා නැවතත් සිය අසුන වෙත ගොස් ලිපි ගොනුවක් පෙරලා ගත්තේ තවත් අයෙකුට ඇතුළු විය නොහැකි ලෙස මගේ හද තුල කෙනෙකු ලැඟුම්ගත් බව නොදැනය. සරසවියේම ඉපිද එහිම මිහිදන් කළ මගේ කුළුදුල් ප්රේමයේ ආදරණීය මතක සටහන් සමග මැරෙණ තුරු ජීවත් වෙනවා මිස තවත් කෙනෙකුගේ පතිනියක් වන්නට මට හිත හදාගන්නට බැරිය.







42 comments:

  1. Replies
    1. හරි ඔන්න ගියා එහෙනං

      Delete
  2. ඒ පාර තව එකෙක් ඇදගෙන ආවා.. චැහ්ඃ.. නවකතාවක් කොටස් වශයෙන් කියවන එක මෙච්චරම අමාරුයි කියල හිතුවෙ නෑ... නියමෙට යනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //ඒ පාර තව එකෙක් ඇදගෙන ආවා// ඔය කතාව තව කීපාරක් කියන්න වෙයිද මන්දා

      නවකතාවක් කොටස් වශයෙන් කියවන එක අමාරුයි කියලා මං නං දැනන් හිටියා. ඒත් නවකතාවක් කොටස වශයෙන් ලියන එක මෙච්චර අමාරුයි කියලා හිතුන්නෑ. දැන් ඉතිං බැදගත්තු බෙරේ ගහන්න එපැයි

      Delete
  3. මම මෙතනින් පටන් ගත්තෙ... දැන් ඉතින් මුල හොයාගෙන යන්න එපැයි... අයියෝ චූටි මැණිකෙ.. ජපන් කතා ලියල ඉවරයිද?

    ReplyDelete
    Replies
    1. ජපන් කතා ලියලා ඉවර නෑ තරූ. අඩුගානෙ හරි පුදුම ඉස්කෝලෙ තව කොටස් තුන හතරක්වත් ලියන්න ඕනි. මං මේක පටන් ගත්තෙ නං දෙකම මාරුවෙන් මාරුවට ලියනවා කියලා හිතාගෙන. පේන හැටියට එහෙම බැරි වෙයි වගේ

      Delete
  4. සඳුගෙ ලස්සන කතාවක් කාලෙකට පස්සෙ. මේ දෙබස් වලට මම හරි කැමතියි. මේක දිග කතාවක් වගේ නේද? ඉතිරියත් කියවන්න මග බලාගෙන ඉන්නවා. :)

    ReplyDelete
    Replies
    1. ඔව් සිත්තමී මේ අවුරුද්දටම මේ බ්ලොග් එකේ කතාවක් දාලා තිබ්බෙ නෑ. පහුගිය ටිකේ මනෝ ගහන්න වෙලාවක් තිබ්බෙ නෑ.කතාව තව කොටස් කීපයක්ම තියෙයි

      Delete
  5. ඊලඟ කොටසෙන් ඒ අලුත් කෙනාව එක්කන් එනවා නේ...

    ලස්සනයි කතාව... ඊ ලඟ කොටස ඉක්මනින් දාන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, ඔයාලට දැන් මේ අයියගෙයි නංගිගෙයි විස්තරේ ඇතිනෙ නේද?. මං ඒ හන්දා ඊළඟ කොටසින් අලුත් කෙනාව හඳුන්වලා දෙන්නයි ඉන්නෙ.

      පුළුවන් ඉක්මණට ඊළඟ කොටස දෙන්නං

      Delete
  6. So touching....ilanga kotasa enakan iwasanda tamai amaru :)

    ReplyDelete
    Replies
    1. දුලා,
      මං මේ ඕගොල්ලන්ට ඉවසීම පුරුදු කරන්න තමයි කොටස් කොටස් දාන්නෙ

      Delete
  7. හ්ම්,බලාගෙන යමුකෝ මොකෝ වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. මනෝජ් මල්ලි,
      එහෙනං බලන් යමුකො මොකද වෙන්නෙ කියලා

      Delete
  8. ඈ බන් , නර්සලට රසට තේ හදන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ජයසිංහ, ඔන්න පහළින් උත්තරේ තියෙනවා. ඒක හරියන්නැත්තං අද ගෙදර ගිහින් තේ එකක් බීලම බලන්න.කුමුදුගෙ තේ ගැන කියන්න මං දන්නෑ. හැබැයි කෑම නං රහයි

      ඇත්තටම නර්ස්ලගෙ හස්බන්ඩ්ලට රසට තේ හදන්න පුළුවන්ද?

      Delete
    2. තොපි දෙන්නටම කියන්නේ. තේ වවන්න නම් පුළුවන්. තේ හදන්න පුළුවන්ද දන්නේ නැහැ

      Delete
    3. තේ හදන්ඩ කිව්වම ඔය කොයිකත් අයිතියි

      Delete
  9. උඹට වැරදිලා... නර්ස්ලගේ හස්බන්ඩලු පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඇත්තට. හපෝයි මං ඉවරයි. තෝ හදන්නේ උදේට හවසට අතටම වඩින එකත් නැති කරන්න.තෝප වගේ ඉරිසියා කාර යාවවෙ‍ා්

      Delete
    2. ඉරිසියා නොකර කොහොමද මේ දවස්වල තේ එකක් තියා වතුර එකක්වත් අතට ලැබෙන්නැතිකොට

      Delete
    3. බොට මම කිව්වයි කියලා හිතා ගනින්

      Delete
  10. කතාවත් හොදයි. ඒ වගේම අර ජපන් ලිපියත් ආයිත් ලිව්වොත් හොදයි නේද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්දට නං කතාව ඇති වෙලා වගේ

      ජපන් කතා ටිකත් ලියන්න ඕනි. ලියපු ඒවා කීපයකුත් තියෙනවා ඒව තව ටිකක් එඩිට් කරලා ඉක්මණට දෙන්නං

      Delete
  11. අද තමයි ඔන්න කොටස් 3ම කියෙව්වෙ. හරිම ලස්සන කතාවක්.. ඉක්මනටම අනිත් කොටසත් ලියන්න... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සිතූ පුළුවන් ඉක්මණින් අනික් කොටස දෙනවා විතරක් නෙවෙයි කතාවම ඉවර කරනවා

      Delete
  12. අතිශයින් කාර්ය බහුල කාලයකත් සාමාන්‍ය විදියටම කිසිදු පීඩනයක් නොගෙන මෙසේ දීර්ග නිර්මාණාත්මක ලියවිලි ලිවීමට ඔබට ඇති හැකියාව අතිශයින් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කෙන්කියූෂා. ඔයාගෙ අගය කිරීම මම සතුටින් බාර ගන්නවා.

      ඒත් ඇත්තටම මේ දවස්වල මගේ පැත්තෙන් වැඩ බොහෝ දුරට ඉවරයි. මං ගොඩක්ම බිසී වුණේ අප්‍රේල් ඉදන් ජූනි වෙනකල්. ඒත් ඒ ටිකේ තමයි මේ බ්ලොග් එකේ වැඩිම පෝස්ට් ගානක් දැම්මෙත්. මට දැනෙන්නෙ එහෙම කරනකොට පීඩනය අඩුවෙන බවක්. කොහොමත් මට වැඩිපුරම වෙන වැඩවලට හිත යන්නෙ වැඩ ගොඩක් තියෙනකොට.

      ඒත් මං ස්වයං වාරණයක් පනවගෙන හිටියා වැඩ ටික ඉවර වෙනකල් මේ අවුරුද්දට කතා ලියන්නෙ නෑ කියලා. මොකද මං පහුගිය ටිකේ වැඩ කළේ ක්ෂුද්‍ර පරිමාණ එක්ක සහ බොහොමයක් පිළිකාකාරක රසායනිකත් එක්ක නිසා තත්පරයක් හිත එහෙ මෙහෙ ගියොත් ලොකු වැරැද්දක් වෙන්න ඉඩ තියෙන නිසා

      දැන් මං ඉන්නෙ මෙන්න මේ ටික වෙනකල් කල් බලමින්,

      සක් සං සක් සං
      හයි සෙන්සෙ
      රීඩිං නවල්ස්
      නෝ සෙන්සෙ
      රයිටිං බ්ලොග්ස්
      නෝ සෙන්සෙ
      රිවයිස් යුවර් තීසිස්
      ඊහ් ඉහී

      සෙන්සෙ තීසිස් එක කපලා කොටලා මැල්ලුන් හදලා දෙනකල් මං හිතුවා ෆ්‍රී එකේ ඉන්න ඕනි කියලා

      Delete
    2. වතුර නටන තෙක් කකුළුවා දියකෙළියේ

      Delete
  13. ඔයා ලියනවා අපි කියවනවා.අලුත් චරිත ගේනවා.හොඳයි ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. මේ ලියන ලියන එක කියවමින් බලාගෙන ඉන්නවට බොහොම ස්තූතියි! හැලපෙ. මං බයේ ඉන්නෙ ඔයාටල කොයි වෙලේ එපා වෙයිද කියලා

      Delete
  14. හරිම ලස්සනට ගලාගෙන යනවා කතාව සඳා...ඔයා ලස්සනට කතාව ගලපනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! පොකුරු. ඔයාලගෙ වචන මට ඉතිරි ටික ලියන්න ශක්තියක්.

      Delete
  15. මොනවද බන් මේ හොටු පිහින කථා

    ReplyDelete
    Replies
    1. මොකටද බං ඔය හොටු පිහින කතා කියවන්නෙ

      "THIS BLOG IS OUT OF BOUND FOR Mr. UDARA JAYASINGHE UNTIL FURTHER NOTICE" කියලා මැසේජ් එකක් ගූගලයා පෙන්නුවෙ නැද්ද බ්ලොග් එකට එනකොට. එහෙනං ඉන්නකො මං හොටු පිහින කතා වලට කැමති නැති ලේ පෙරෙන කතා වලට විතරක් කැමති මහත්තයව තාවකාලිකව බ්ලොක් කරන්න

      Delete
    2. ලැබ් එක් ඉස්සරහින් විභාග කාලේට ගහන එක මතක් උනාද?

      Delete
    3. වැස්සට වගේ කැම්පස් ආවට මොකද ඔක්කොම මතකයිනෙ

      THIS PREMISES IS OUT OF BOUND FOR ALL UNAUTHORISED PERSONS UNTIL FURTHER NOTICE

      Head,
      Dept of..........

      Delete
  16. වැස්සට නම් ආවේ නැහැ.B හතරකින් ගන්න පුළුවන් අවමයට වඩා ලකුනු 04ක් අඩුවෙන් අරන් තමයි ආවේ. කොහේද ඒ කේ ඉන්න උන් මම ගැන හිතුවේ වැඩ බැරිදාස කෙනෙක් විදිහටනේ‍. අතේ පත්තුවෙන එකා වගේ උන් නොහිටියානම මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා

    ReplyDelete
    Replies
    1. මේ යාළුවා, වැස්සට වගේ ආව කියන එකෙන් මං අදහස් කළේ විභාග ප්‍රතිඵලයක් නෙවෙයි, කැම්පස් එකට ආවෙ ගියෙ ඉදහිට කියන එක. මොකක්ද අප්පා සාමාන්‍ය දැනීම අන්තිමයිනෙ දැන්

      කැම්පස් ගිහින් ඩිග්‍රිය නැතුව යන්න වුණොත් මැරෙණවද?. මං ඒක දැනන් හිටියෙ නෑ. එතකොට ඔය අපේ බාබුවා එහෙම යස අගේට ඉන්නෙ

      Delete
    2. උඹලත් අනින්නේ හොඳ වෙච්ච තුවලේ උඩටමයි. දන්නවානේ මම ආවොත් තොපි දෙන්න ඉන්න තැනට හැර වෙන කොහේවත් යන්නේ නැති බව.ආවොත් රෝද දෙකේ මිස බස් එකේ නම් එන්නැති බවත්

      Delete
    3. මේ මොකක්ද කියලා තියෙන්නෙ කියලා මට තේරුණේ නෑ

      Delete
  17. අතේ පත්තුගේන අහපන් ඌට තේරේවි

    ReplyDelete