Friday, July 29, 2016

උරුමය - දාහතරවෙනි කොටස


පළවෙනි කොටස මෙතනින්


පංචලී සතුටින් හිනාවීගෙන කාමරයෙන් පිටවන විටත් මගේ දෙනෙතේ ඇදී තිබුණේ සමීර දහරා දෙස සිනාසෙමින් බලා සිටින දසුනය. කම්මුල් දිගේ කඳුළු වැල් බේරෙමින් තිබුණත් මට ගැන වගක් නොතිබුණි. එක්වරම කාමරයට ඇතුළු වූ පවනි මා දැක පුදුමයෙන් මෙන් ආපිට හැරී පිටුපසින් සිටි මනූජා දෙස බැලුවාය. එහෙත් දෙදෙනාගෙන් එක් අයෙක් හෝ මා හඬන්නේ ඇයිදැයි අසන්නට ඉදිරිපත් නොවූවා සේම කාමරයට ආවේත් එය නුදුටු ලෙසය. සිව්වසරක්ම දුක සැප බෙදාගෙන උන් යෙහෙළියන් දෙදෙනාගේ වෙනස්වීම එකවර මට දරාගත නොහැකි වුවත් මා ඔවුන් පසුපස එල්ලී කතාවට යාමද මඟහැරියෙමි.

පුද්ගලික ප්රශ්ණ කොතරම් තිබුණද පුහුණු කාලයේ සේවයට වාර්තා නොකිරීම නුසුදුසු නිසා පසුදා සේවා ස්ථානයට ගිය මට අහම්බෙන් මෙන් ලොකු අයියා මුණ ගැසුනේ එහිදීය. සිත තුල පැසවමින් තිබුණ වේදනාව අහඹු හමුවීමත් සමගම අතුරුදහන් විය. දෙදිනක්ම හරියට කෑමක් බීමක් නොගෙන සිටි මා ඔහු සමග දිවා ආහාරය ගත්තේ කිරිල්ලියක් මෙන් සතුටින් ඉපිලෙමිනි. වසර ගනනාවකින් තම පියා මුණ ගැසුන දැරියක මෙන් ඔහුගේ අතේ එල්ලී තොර තෝංචියක් නැතුව කියවමින් සිටි මා නේවාසිකාරයට ආවේ උදෑසන ඉන් පිටවූවාට වඩා හාත්පසින්ම වෙනස් තැනැත්තියක් ලෙසය. මනූජා සහ පවනි එනවිට ලොකු අයියා සමග දුරකතන සංවාදයක සිටි මා ඇමතුම අවසන් කර ඔවුන් අසලට ආවේ ලොකු අයියා මට හමුවූ සතුට බෙදාගන්නටය. ප්රීතියෙන් ඔපවත්ව තිබූ මගේ මුහුණ දෙස පුදුමයෙන් මෙන් බැලූ ඔවුන් දෙදෙනා ඉන්පසු මුහුණින් මුහුණ බලාගත්තේ මගේ දෑස් මගහරිමිනි.

"මට ඔයාලට ලොකු බඩුවක් කියන්න තියෙනවා"

"උඹේ ලොකු බඩුයි පොඩි බඩුයි ඔක්කොම අපි දන්නවා" කියා මා දෙස ඔරවා බැලූ මනූජා "මේ ඉන්න අන්තිම සති දෙක තුනේ කතා කරලා අපි හිත් රිදවගන්නවට වඩා මං කැමතියි කතා නොකරම වෙන්වෙලා යන්න" කියා එතනින් නැඟිට එළියට ගියේ මා ඔවුන් සමග බෙදාගන්නට හැදූ සතුට එතනම මිහිදන් කරවමිනි.

ඉන්පසු දින කිහිපයක්ම මා සමග කතා නොකළ ඔවුන් සිකුරාදා උදෑසනක මට කතා කළේ එදින දෙදනාම නිවසට යන බව කියන්නටය. ඊට පෙර අප නිවෙස්වලට ගියේ එක් අයෙකු කාමරය තුල තනි නොවන ලෙස කතිකා කරගෙන වුවත්  දෙසතියක් තුල සියල්ල වෙනස් වී තිබුණි. සමීර මට අහිමි බව දැන එය දරාගෙන උන් මට ඔවුන්ගේ වෙනස්වීම තවත් එක් සුළු කාරණයක් පමණක් විය. පුහුණු කාලයේ අවසන් දිනය වූ එදින මට කරන්නට තිබුණේ මා වෙත ලබාදී තිබූ සියල්ල නැවත බාරදීමත් සමුගැනීමත් පමණි. දිවා ආහාර විවේකය වනවිට සියළුම කටයුතු නිමාකර සිටි මා ළඟට ලොකු අයියා පැමිණියේ පස්වරු දෙකට ආසන්න වෙලාවකය.

"ඔයාට මාත් එක්කම යන්න පුළුවන්"

"අයියා ඉන්නවද වැඩ ඇරෙනකල්"

"වැඩ ඇරෙනකල් ඉන්න බෑ මට යන්න හදිස්සියි. ඔයාට දැන් කරන්න වැඩකුත් නෑ කියලා නාලක කිව්වා. ඒක නිසා යමු. මං ඔයාව කැම්පස් එකෙන් දාගෙන යන්නං"

"මේ දැන් මට යන්න දෙයිද"

"දෙනවද නැද්ද බලන්න ඔයා අහන්නකො. දුන්නැත්තං ඉතින් මේකෙ වැඩ කරන අන්තිම දවස කියලා හිතා ගත්තට කමක් නෑ"

"අප්පච්චි කෙනෙක් වුණාට පස්සෙ චණ්ඩියෙකුත් වෙලානෙ"

"නෑ චූටි මැණික දිනේෂයයි නාලකයි දෙන්නම මගෙ රූමො"

"දිනේෂ් කියන්නෙ කවුද"

"මං වැඩ කරන කම්පැණිය දිනේෂ්ගෙ"

ඉන් එහාට යමක් කියන්නට පෙර අප සිටි තැනට මගේ ආයතන ප්රධානියා "උඹ නංගිව එක්ක යනවද" අසමින් ලොකු අයියාගේ උරහිසට තට්ටු කරමින් මා දෙස බලා "භාග්යාගෙ වැඩ ඉවර නිසා ගියාට කමක් නෑ" කීවේය.

ආයතනයේ උන් සියල්ලන්ටම සමුදී මා ලොකු අයියා සමග නේවාසිකාගාරයට එන්නට රියට නැඟුනේ සැහැල්ලු සිතිනි.

"ඔයා මෙතනින් බැහැලා යන්න චූටි මැණික. මට අද ඔයාව තේ එකක් බොන්නවත් එක්ක යන්න විදිහක් නෑ. හදිස්සි වැඩකට ආව ගමන් චුට්ටකට ඔයාව බලලා යන්න හිතිලයි ඔෆිස් එකට ආවෙත්"

"ඇයි යන්න හදිස්සි"

"මීනුට කොයි වෙලාවෙ අමාරු වෙයිද දන්නෑ. ඊයෙ රෑත් කොන්ද රිදෙනවා කිය කියා හිටියෙ"

"ඉතින් එහෙම තියාගෙන ඔයා කොළඹ ආවෙ අක්කා ළඟ  තනියට කවුරුත් ඉන්නවද"

"අපි තුන්දෙනාට ඉන්නෙ අපි තුන්දෙනාම විතරයි චූටි මැණික. මං රට ඉදන් ආව දවස්වල ගෙදර උදව්වට කෙනෙක් හෙව්වට හොයාගන්න බැරි වුණා. වැඩිපුරම වුණේ මීනු ඒකට අකමැති නිසා මං උනන්දු නොවිච්ච එක. ඒත් එහෙම කවුරුහරි හිටියනං හොඳයි කියලා මටත් ආපහු මතක් වුණේ අද උදේ එන්න ලෑස්ති වුණාම"

"ඉතින්. අක්කට අමාරු වුණොත්"

"මං ඩ්රයිවර් කෙනෙක් එක්ක වාහනේකුත් තියලා එහා ගෙදර ආන්ටිටත් පොඩ්ඩක් බලන්න කියලයි ආවෙ"

"එහෙනං අයියා ඉක්මනට යන්න. පැය කීයක් විතර යනවද"

"මට පැයෙන් එක හමාරෙන් යන්න පුළුවන්"

"හදිස්සි වුණාට හයියෙන් යන්න එපා අයියෙ"

"මං ගැන බය වෙන්න එපා චූටි මැණික. මගෙ මීනුටයි දෝණිටයි ඉන්නෙ මං විතරයි කියලා දන්න නිසා මං මගේ පරිස්සම ගැන ඕනිවටත් වඩා හිතනවා" කියමින් ලොකු අයියා මහිස පිරිමැදි පසු මා රිය තුලම පහත් වී ඔහුට වැද රියෙන් බැස්සේ ඔහුගෙ ගමන තවත් ප්රමාද කරවිම නුසුදුසු බව වටහාගෙනය.

"මගෙ කොල්ලා ඉපදුනාම මං එන්නං චූටි මැණික එක්ක යන්න. මීනුත් ආසාවෙන් ඉන්නෙ ඔයාව බලන්න" රියෙන් බැස ලොකු අයියා අසලට එනවිට වීදුරුව පහත් කළ ඔහු එහෙම කිව්වෙ ආඩම්බර හිනාවකින් මුව පුරෝගෙනය.

"පුතෙක් කියලා දන්නවද"

"මීනු කියන්නෙ මං වගේම පුතෙක් කියලා. මීනුට හිතෙන දේවල් මට ස්කෑන් එකකටත් වඩා ෂුවර්"

"ඇයි"

"මීනු කියපු හැමදෙයක්ම අද වෙනකල්ම හරි ගිහින් තියෙනවා. කාලෙ මං ඔයාලා ගැන හිත හිතා වද වෙනකොට මීනු නිතරම කියපු දෙයක් තමයි මල්ලිලා දෙන්නා නැතත් නංගි පස්සෙ කාලෙක හරි ඔයා ගැන බලයි කියන එක. ඉතින් මට අහම්බෙන් හරි ඔයාව හම්බුනානෙ" කියා කවුළුව මත වූ මගේ අත අල්ලාගත් ලොකු අයියා මගේ මුහුණ දෙස තරමක් ඕනෑකමින් මෙන් බලා "මං ගිහින් ඔයාට කෝල් එකක් දෙන්නම් චූටි මැණික. පරිස්සමට ගිහින් හොදට පාඩම් කරන්න" කියා කොපුලකට තට්ටුවක් දමා කවුළුව  වසා රිය ඉදිරියට ගත්තේය.

"මේල් බැලුවද චූටි මැණික" පිටුපසින් ඇසුන ලොකු අයියාගේ හඬට තිගැස්සුන තරමට මා අත වූ පෑනද බිමට වැටුනි. එය අහුලා ගැනීමට පහත් වූ මට ලොකු අයියාත් මාත් සිටින්නේ මහ පාරේ නොව කාර්යාලය තුල බවත් මා සිටියේ විද්යුත් තැපැල් පණිවිඩ බලමින් බවත් ක්ෂණයකින් මතක් විය.

"මේල් බැලුවද?" පෙර පැණයම නැවතත් අසමින් ලොකු අයියා මා අසලට ආවේ එය මට මුලින් නෑසුන බවට අනුමානයෙන් මෙනි. වනවිටත් අතීතයෙන් වර්තමානයට පැමිණි සිටි මට පිළිතුරු දීමට ප්රමාදයක් නොවීය.

"බැලුවා. ඒත් මොකුත් විශේෂ දෙයක් තිබුන්නෑ"

"එහෙනං දැන් මගෙ වැඩේ කරන්න පුළුවන්නෙ"

"මොන වැඩේද?"

"මේ ඩිංගට ඒකත් අමතක වුණාද. ඇයි මං අර ඊයෙ කිව්වෙ ඔයාට අකවුන්ටන්ට් එක්ක පොඩි වැඩක් කරන්න තියෙනවා කියලා"

"ඉතින් මනුස්සයා තාම ආවෙ නෑනෙ"

"එනකල්ද බලන් ඉන්නෙ”

"ලොකු අයියට නං පිස්සු"

"මට නෙවෙයි අන්න අර යකාටනං ඔයාව ඊයෙ ෆොටෝ එකෙන් දැක්ක ඩිංගට පිස්සු හැදිලද කොහෙද. මොකට එන්ගේජ් වෙලා හිටියද කියලා හිතෙනවා ඇති"

"මොන යකාටද"

"වෙන කාටද අපේ අකවුන්ටන්ට් මහත්තයට මිසක්" කියා දොර දෙස බැලූ ලොකු අයියා  මේසය මත අඩමානයට මෙන් වාඩි වූයේ මගේ මුහුණේ ඇති හැඟීම් පිරික්සන්නට මෙන් මා දෙසම බලාගෙනය.

"ඔයාට කරන්න වැඩක් නෑ චූටි මැණික. අර යකා ඊයෙ රෑ නිදිමරාගෙන වැඩේ ඉවර කරලා පමුදි අතේ මට එවලත් තිබුණා. පමුදිව පිටත් කරලත් තමයි මට කෝල් එක දුන්නෙ පාස්වර්ඩ් එක කියන්න" රෑ දවල් නොතකමින් වැඩ කරන අපූරු ගණකාධිකාරවරයා ගැන තවත් විස්තර දැනගැනීමට අවැසි වුවත් ලොකු අයියාගෙන් ගැන ඇසීමට මට ශක්තියක් නොතිබුණි.

"මං ඇහුවා රෑ තිස්සෙ නිදි මරාගෙන ඔෆිස් එකේ වැඩ කරන්න පිස්සුද කියලා. කියනවා ඔයා ළඟ තියාගෙන වැඩේ කරන්න ගිහින් ඕක වැරදිලා රස්සාව  ගහලා ගියොත් ඒක ඊටත් වඩා පිස්සුවක්නෙ කියලා. බලන් ගියාම කතාවත් ඇත්තනෙ. ඊයෙ ෆොටෝ එක දිහා බලන් හිටිය විදිහට අද ඔයාව ඔය ලස්සන සාරියත් එක්ක හැබැහින් දැක්කනං මිනිහට එකයි එකයි එකට එකතු කරගන්ඩත් අමතක වෙනවා"

"ඔයාටත් පිස්සු ඔයත් එක්ක වැඩ කරන අයටත් පිස්සු"

"ඇත්ත. පිස්සෙක් එක්ක වැඩ කරන්ඩ පුළුවන් තවත් පිස්සෙකුට විතරනෙ" කියා සිනාසුන ඔහු මේසය මත හොදින් අසුන් ගත්තේ බැරෑරුම් මුහුණක් මවාගනිමිනි.

"මිනිස්සු කරන සමහර කැපකිරීම් බලාගෙන ඉන්න අයට පිස්සුවක් වගේ පෙනුනට ඇත්තටම නං පිස්සු තියෙන්නෙ එහෙම හිතන උන්ට. වැඩි දෙයක් ඕනි නෑ ඔයාම හිතලා බලන්න ඔයා මගෙ ළඟ නතර වෙන්න හදනකොට චූටි මැණිකට පිස්සුද කියලා අප්පච්චිලා ඇහුවෙ නැද්ද.  ඒත් ඔයා වෙලාවෙ කැපකිරීම නොකළනං මේ වෙනකොට මටයි මගෙ කෙල්ලටයි මොනා වෙලා තියෙයිද "

"ඔයා කියන එක ඇත්ත ලොකු අයියා"

"ඔයා මං වෙනුවෙන් කරපු කැපවීමටත් වඩා ලොකු කැපවීමක් එදා පුංචම්මා කරලා තියෙනවා. පුංචම්මා අප්පච්චිව බඳින්න කැමති වෙලා තියෙන්නෙ මං වෙනුවෙන්"

"ඔයා වෙනුවෙන්"

"ඔව්. අම්මගෙ තුන්මාසෙ දානෙන් පස්සෙ අත්තම්මලා පුංචම්මට අප්පච්චිව බඳින්න කියලා තියෙනවා. ඒත් පුංචම්මා කැමති වෙලා නෑ. පස්සෙ ලේවැල්ලෙ අත්තම්මලා අප්පච්චිට කවුරුහරි කතා කරන්න යනවා කියලා දැනගෙන පුංචම්මා කැමති වෙලා තියෙන්නෙ අප්පච්චි පිට කෙනෙක් බැන්දොත් මට වෙනස්කම් කරයි කියලා බයට"

"අයියා කොහොමද ඔච්චර විස්තර දන්නෙ"

"මං ඊයෙ රෑ සුදු අම්මට කතා කරා අපි ළඟදි එනවා කියලා කියන්න. වෙලාවෙ සුදු අම්මා මට මං නොදන්න ගොඩක් දේවල් කිව්වා. ඇත්තටම මට ඊයෙ රෑ හරියකට නින්ද ගියෙත් නෑ චූටි මැණික"

"තව මොනාද කිව්වෙ"

"ඒවා පස්සෙ. මේක ඔෆිස් එකක්" කියා දොර දෙස බැලූ ඔහු "මට හිතෙන හැටියට අපේ අකවුන්ටන්ට්  කරන්න ඇත්තෙත් වගේ මොකක් හරි කැපවීමක්. මිනිහට හිතුනද දන්නෑනෙ ඔයාව දැක්කම හිත හෙල්ලිලා අර එන්ගේජ් වෙලා ඉන්න කෙල්ලට අසාධාරණයක් වෙයි කියලවත්"

"එහෙම හිතන්න පුළුවන් කෙනෙක්නං එයා ගොඩක් හොඳ කෙනෙක් ලොකු අයියා"

" ඔව් චූටි මැණික. මං ඇත්තටම ඌව මෙතෙන්ට ගන්නකොට මොකුත් විස්තර හෙව්වෙ නෑ. නෑ කියන්නෙ දවස්වල මට එහෙමට සිහියක් තිබ්බෙත් නෑ. නැතත් මිනිහා නේත්රාගෙ පවුලෙ කවුරුහරි. පවුලෙ අය හරි එකතුයි. නිසා මං වැටිලා ඉන්න වෙලේ එහෙම කවුරුහරි මෙතන ඉන්න එක හොද නිසාමයි මං ගත්තෙ"

"නේත්රා කියන්නෙ කවුද"

"ඉස්සර නං අපි කිව්වෙ දිනේෂ්ගෙ ඇස් දෙක කියලා"

"දිනේෂ් අයියගෙ වයිෆ්ද"

"ඔව්. දිනේෂ් එවන එව්වො නං මං වැඩිය කිට්ටු කරගන්නෑ. ඒත් නේත්රා රෙකමන්ඩ් කරපු කෙනෙක් ගැන දෙපාරක් හිතන්න ඕනි නැති නිසා මං මිනිහව ළං කරගත්තා. ඇත්තටම නං චූටි මැණික මීනු නැති වුණාට පස්සෙ ගෙදරදි ඔයා මං ගැන හෙව්වා බැලුවා වගේම මෙහෙදි මං ගැන බැලුවෙ මිනිහා. මං ගැන විතරක් නෙවෙයි මේ කම්පැණි එක ගැනත්. මිනිහා මෙහෙට ආවෙ මීනු නැති වෙලා මාස දෙක තුනකට වගේ පස්සෙ. මීනු නැතිවෙලා අවුරුද්දක් යනකොට මං එදා හිටිය විදිහටම ඉන්නෙ ඔයා නිසා. මේ කම්පැණිය එදා වගේම අදත් හොද ප්රොෆිට් එකක් ගන්නෙ මං ඔය කියන අකවුන්ටන්ට් නිසා. එහෙම බැලුවම දෙන්නට දෙන්නා අඳුරන්නෙ නැති වුණාට ඔය දෙන්නා මට මගේ අත් දෙක වගේ. මං ඒකනෙ මගෙ අත් දෙක එකට එකතු කරන්ඩ බැලුවෙ. කොහෙද මිනිහා මට ඉස්සර වෙලානෙ"

"ආයෙ එහෙම ඔය කතාව මට ඇහෙන්න කියන්න එපා. මට ඔයාගෙ අකවුන්ටන්ට් ඕනිත් නෑ වෙන කවුරුත් ඕනිත් නෑ. මං හැමදාම ඔයයි දෝණියි එක්ක ඉන්නවා"

ආඩම්බර හිනාවකින් මදෙස බලා හිස් මුදුනට අත තබා සෙලවූ ඔහු ඉන්පසු කාමරයෙන් පිටවූයේ යන තැනක්වත් සදහන් නොකරමිනි. පැය දෙකකටත් වැඩි කාලයක් ඔහු පැමිණෙන තෙක් බලා සිටි මා දුරකතන ඇමතුමක් ගත්තේ පෙර පාසල නිමවීමට ආසන්න වන විටය.

"ඇයි චූටි මැණික"

"අයියා දෝණි ගන්න යනවද"

"මං මේ ඔයාට කියන්න හැදුවෙ"

"අයියා වැඩකද ඉන්නෙ"

"විශේෂ වැඩක් නෙවෙයි. ඒත් දෝණි කිව්වා ඔයාව එවන්න කියලා"

"යතුර කොහෙද මේසෙ උඩද"

"ඔයාට මං ආයෙ කී එක දෙන්නෑ. ලෑස්ති වෙලා පහළට එන්න. මං මහීපාලට කිව්වා ඔයාව එක්ක යන්න කියලා" කියූ ඔහු වෙනත් කිසිවක් කියන්නට පෙර ඇමතුම විසන්දි කළේය.

මා සූදානම්ව පහළට යනවිටත් මහීපාල නම් මැදිවිය ඉක්මවූ රියදුරා සිටියේ ලොකු අයියාට ආයතනයෙන් ලබාදී ඇති මෝටර් රථයේ පිටුපස දොර ඇරගෙනය. මා අසුන්ගත් පසු කතා බහකින් තොරව රිය පැදවූ ඔහු පෙර පාසල අසල රිය නතර කර මා දෙස බලා "එළියෙ හොදටම රශ්නෙයි මිස් මොන්ටිසෝරිය ඇරෙනකල් ඉදලා බහින්න" කීවේය. ඔහුගේ අවවාදය නොතකමින් රියෙන් බැසගත් මා යළි දියණියද කැටුව රියට නැගුනේ ඉහින් කනින් දාඩිය පෙරාගෙනය. මා දෙස බලා වායුසමණ යන්ත්රයේ වේගය මදක් වැඩිකළ ඔහු රිය ඉදිරියට ගත්තේ වරක් පිටුපස බලා දියණිය සමග සිනාසීමෙන් පසුය.

"නැන්දම්මා අදත් කලින් එනවද" දියණියගේ පැණයට රියදුරු යළි පිටුපස බැලුවේ පුදුමයෙන් මෙනි. නැන්දා නැන්දි වැනි හුරතල් වදන් මිස වයස අවුරුදු පහක ළදැරියකගෙන් ඔහු එවැනි ආමන්ත්රණයක් ඇසුවාම විය හැක. නැතහොත් ඔහු මගේ වයස අනුමාන කරන්නට උත්සහ දරණ්නට ඇත.

"හැමදාම කලින් එන්න බෑනෙ පැටියො. ඊයෙ ආවෙ නැන්දම්මට ඔළුවෙ කැක්කුමක් හැදිලනෙ"

"අදට විතරක් එන්නකො"

"මං එහෙම හැමදාම කලින් එන්න ඕනි කිව්වොත් මගේ බොස්ට තරහා යයිනෙ"

"බොස් කියන්නෙ කාටද" ඇගේ පැණයට නැවතත් පිටුපස බැලූ රියදුරු සිනාසී ඉදිරිපස බලාගත්තේය.

"බොස් කියන්නෙ මං වැඩ කරන තැන ලොකු මහත්තයට. එයා හරි සැරයි"

"එයාට තරහා ගියාම ගහනවද"

"ගහන්නෙ නං නෑ. ඒත් මාව රස්සාවෙන් අස් කරලා දායි"

"එතකොට මොකද වෙන්නෙ"

"එතකොට මට හැමදාම ගෙදර ඉන්න වෙයි. ජොබ් එකක් නෑනෙ"

"ඉතින් ෂෝක්නෙ. එතකොට මට හැමවෙලේම නැන්දම්මා ඉන්නවනෙ" සතුටින් ඉපිලුන ඇය මගේ ගෙල බදාගත්තේ නෙතට කඳුළක්ද එක් කරමිනි.




"මගෙ දූ ආසද නැන්දම්මා හැමදාම ගෙදර ඉන්නවට" දෙතුන් වතාවක්ම හිස ඉහළ පහළ කළ ඇය  මට තුරුළු විය.

"මං අද අප්පච්චි එක්ක කතා කරලා බලන්නම්කො. අප්පච්චි කැමති වුණොත් මං ආයෙ කවදාවත් වැඩට යන්නෑ" ඇයව තුරුළු කරගෙනම මා කවුළුවෙන් එපිට බලාගත්තේ කඳුළු සඟවන්නට වුවත් කණ්නාඩියෙන් පිටුපස බලමින් සිටි රියදුරුගේ ඇසට මා හසුවිය.  සියා ආයතන ප්රධානියාත් ඔහුගේ දියණියත් පුද්ගලික ලේකම් වරියත් අතර ඇති සම්බන්ධය කුමක්දැයි වටහාගන්නට මෙන් ඉන්පසු නිවස අසලට එනතෙක්ම ඔහු සිටියේ දිගු කල්පනාවකය.


12 comments:

  1. හොඳ අක්කා.. අලුත් කොටසක් දාලා.. දැන් නම් අකුණු නැතුව වැසි දෙන්න පුළුවන්..!

    ReplyDelete
    Replies
    1. මං ඔයා අකුණුත් එක්ක වැහි එවයි කියලා බයටමයි ඉක්මණින් කොටස් දෙන්නෙ

      Delete
  2. සඳු ආපහු ට්‍රැක් එකට ඇවිල්ලා. කතාන්දරේ මුල තිබුණ ලස්සන ගලා යාම ආපහු තියෙනවා. සතුටුයි ඒ ගැන. පහුගිය කොටස් වලදි දැනුණ දේවල් ගැන මම ඔයාට කතාව අන්තිමේදි කියන්නම්කෝ.

    මං පොඩීම පොඩි යෝජනාවක් කරන්නද? මෙන්න මේ ටික බලන්න.

    // ... "මං ගිහින් ඔයාට කෝල් එකක් දෙන්නම් චූටි මැණික. පරිස්සමට ගිහින් හොදට පාඩම් කරන්න" කියා කොපුලකට තට්ටුවක් දමා කවුළුව වසා රිය ඉදිරියට ගත්තේය.

    "මේල් බැලුවද චූටි මැණික" පිටුපසින් ඇසුන ලොකු අයියාගේ හඬට තිගැස්සුන තරමට මා අත වූ පෑනද බිමට වැටුනි. එය අහුලා ගැනීමට පහත් වූ මට ලොකු අයියාත් මාත් සිටින්නේ මහ පාරේ නොව කාර්‍යාලය තුල බවත් මා සිටියේ විද්‍යුත් තැපැල් පණිවිඩ බලමින් බවත් ක්ෂණයකින් මතක් විය. //

    මේ ඡේද දෙක කාල දෙකක සිදුවීම් දෙකක්නේ. එහෙම වෙනස්වීමක් බලාපොරොත්තු නොවී එකදිගටම කියවගෙන යනකොට එතනදි පොඩි පැටලිලිකාරී ගතියක් දැනුණා. කළින් කොටස් වලදිත් එහෙම තැන් කීපයක් මට අහු වුනා. ඒ වගේ තැන් වලදි බ්‍රේක් එකක් ගැන අඟවන්න ඔයාට මොනවා හරි කරන්න පුළුවන්නම් හොඳයි කියලා මට හිතුණා. හිතලා බලන්නකෝ, හොඳේ සඳු? මේ මට හිතුණ දෙයක් විතරයි හොඳද. :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,
      ඔයාගෙ කමෙන්ට් එක දැක්කම මටත් සතුටුයි. මොකද දන්නවද, මට මේ කතාව තුල පවත්වාගන්න ඕනි රිද්මය මට පවත්වගෙන යන්න පුළුවන් වෙච්ච බව ඔයාගෙ කමෙන්ට් එකෙන් ඔප්පු වෙනවා. ඔයා කතා කියවන කෙනෙක් විතරක් නෙවෙයිනෙ, සෑහෙන කතා ගානක් ලියපු පරිවර්තනය කරපු කෙනෙක්නෙ.

      ඔයා මේ ආපහු ට්‍රැක් එකට ඇවිත් කියලා කිව්වම මට හිනත් ගියා. මං දිගටම යන්නෙ මට උවමනා ට්‍රැක් එකේ තමයි. ඒත් ඔයා ඇතුළු කීප දෙනෙක්ම කතාවෙ මුල පොඩ්ඩක් දිගෑරෙනකොට මෙන්න මේකයි කතාව කියලා එකක් හිතේ ඇදගෙන මං ඒ කතාව ලියනකල් බලන් ඉදලා තියෙනවා. මං ලියන්නෙ ඔයාලා බලාපොරොත්තු වෙච්ච විදිහ නෙවෙයි වුණාම ඔයාලට දැනෙන්නෙ මං ට්‍රැක් එකෙන් පැනලා කියලා.

      ඔයාගෙ යෝජනාවටත් ස්තූතියි සිත්තමී. ඒත් මේක තමයි මං කැමති ක්‍රමය. වෙනස්වීමක් බලාපොරොත්තු නොවෙන තැනකදි වෙනස්වීමක් ඇති කරන්න මට පුළුවන් වුණානං මට සතුටුයි. මොකද මට වුවමනා ඒකයි.

      Delete
    2. ෂා! එහෙනම් ගොඩක් හොඳයි. ඔයාට ලියන්න ඕන වෙච්ච විදිහටම ඔයා කතාව ලියාගෙන යනවා. ඔයාගෙ ලස්සන කෙටි කතා වලදිත් ඔය කියපු දේවල් ඇත්තටම අපි අත්වින්දා තමයි. එහෙනං ලොකු සර්ප්‍රයිස් එකක් බලාපොරොත්තුවෙන් ඔන්න සද්ද නැතුව අන්තිම වෙනකල් කියවගෙන යන්නංකෝ. :)

      Delete
    3. ඔව් සිත්තමී. ටිකක් ඉවසලා ඉන්නකො. මේ කතාව ඉවර වුණාට පස්සෙ අපි කතා කරමු මට නොදැනුන ඔයාලට දැනුන අඩුපාඩු මොනාද කියලා.

      ලොකූ සර්ප්‍රයිස් එකක් තියෙයිද නං දන්නෑ. ඒත් මට ඉස්සෙල්ලා කතාව නිදහසේ ලියන්න ඕනි

      Delete
  3. අද කොටස කියවාගෙන යනකොට සිත්තමී අක්කට හිතුන දේමයි මටත් හිතුනේ... මුල් කොටස් වගේ ආයෙත් ගලා යනවා...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, එහෙම දැනෙන්න ඇත්තෙ ඔයාගෙයි සිත්තමී අක්කගෙයි රස වින්දනය සමාන නිසා වෙන්නැති.

      මං මේ ලියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයිනෙ. කාල කීපයක එකිනෙකට වෙනස් පරිසර වල එකිනෙකට වෙනස් බැඳීම් තියෙන කතාවක්. ඒ මුළු කතාව පුරාම තියෙන්නෙ ඒකාකාරි රසයක් නං මං හිතන්නෙ මං අසාර්ථකයි. නමුත් ඔයාලම කියනවනං කතාවේ රිද්මය වරින් වර වෙනස් වුණා කියලා මට සතුටු වෙන්න පුළුවන් මට වුවමනා විදිහට කතාව ලියවෙනවා කියලා.

      මේකෙ තව ගොඩක් කොටස් නෑ. නමුත් ඉදිරියේදිත් ඔයාලට ඔය වගේම නීරස හෝ මං ට්‍රැක් එක පැන්න්නා වගේ දැනෙන කොටස් අහුවෙයි.

      Delete