ඒ මීට ආසන්න වශයෙන් අවුරුදු පහ හමාරකට පෙර දිනයකි. තායිලන්තයේ, ආසියානු තාක්ෂණ ආයතනයේ හැදෑරු පශ්චාත් උපාධිය අවසන්ව අප ලංකාවට ආවේ 2010 දෙසැම්බර් 18 වන දාය. උපාධි ප්රදානෝත්සවය තිබුණේ ඊට පෙර දිනය. ගේ දොර අස්පස් කිරීම්, ගමන් මලු ලක ලෑස්ති කිරීම් සහ හිත මිතුරන්ගේ නිවෙස් වලින් ලැබී තිබූ ආරාධනා ආදියත් නිසා ඒ සතිය ඉතා කාර්ය බහුල සතියක් විය.
තායිලන්තයේ බඩු මිල ඉතා අඩුය. කෑම බීම මෙන්ම විදුලි උපකරණද ඇතුළුව අනෙකුක් ගේ දොර උපාංග සියල්ලේම තත්වය එක සමානය. මේ හේතුව නිසාම අනවශ්‍ය බඩු කන්දරාවක් අවුරුදු දෙක අවසන් වන විට එකතු වී තිබුණි. ජපානයේ විදුලි උපාංග පමණක් නොව, කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා වීසි කිරීමටත් මුදල් ගෙවිය යුතු වුවත් තායිලන්තයේ එය එසේ නොවීය. කැළි කසළ විශාල අර්බුදයක්ව පවතින තායිලන්තයේ මේ සදහා තිබුණේ ඊට වෙනස් ක්රමවේදයකි.එය හැදින්වූයේ Cash for
Trash යනුවෙනි. කඩදාසි, කාඩ්බෝඩ්,වීදුරු, ප්ලාස්ටික්
ආදී විවිධ වර්ග වලට වෙන්කරන ලද කසළ මිළදී ගැනීමට සතියකට හෝ දෙකකට වරක් වාහනයක් පැමිණේ.
අප ආයතනය තුල ඉගෙනගන්නා කිසිවෙකුත් මේ සදහා උනන්දුවක් නොදැක්වුවද කුඩා දරුවන් බලාගැනීමට
සිටි කූන්ලා මේ වැඩසටහනට උනන්දුවක් සහ කැමැත්තක් දැක්වීය. ඔවුන් නිතරම තැන තැන වැටී
ඇති බෝතල්, කඩදාසි පමණක් නොව කසළ බදුන්වල ඇති මිළ කළ හැකි ද්‍රව්‍යද එකතු කර තබන්නට
ප්‍රවේශම් වූහ.
මේ නිසාම අපේ ගේ අස්පස් කිරීමේ වැඩ කටයුතු වලට අපේ කූන් විශාල සහයෝගයක්
දුන්නාය. රැගෙන යායුතු පොත්පත් ආදිය වෙන් කරමින් අපි අනවශ්‍ය සියල්ල පැත්තකට වීසි කළ
හැටිත්, කූන් ඒවා තෝරා බේරා වර්ග කර වෙන වෙනම බෑග් වලට දමා ඔවුන් මේ කසල එකතු කර තබන
තැනට ගෙන ගිය හැටිත් මට අද වගේ මතකය. මේ වීසි කළ බඩු අතර අනවශ්‍ය පොත්පත් හා ලියකියවිලිත්,
කිසිදා භාවිතා නොකළ කොන්ෆරන්ස් එකකදී ලැබුන බෑගයකුත් , රෙදි පිළි හා අනෙකුත් ගෙදර දොර
උපකරණද තිබුණි. බඩු වීසි කිරීමේ
මහා සංග්‍රාමය පටන් ගැනීමට පෙරම මා මගේ අත්බෑගයට මුදල් පසුම්බියත්, ගුවන් ටිකට් පත්
තුන සමග ගමන් බලපත්‍ර තුනත් දමාගන්නට තරම් පරිස්සම් වූයේ බැරිවෙලාවත් ඔය එකක් හෝ කසළ
ගොඩට එකතු වුවහොත් යන සිතුවිල්ලෙනි. දින කිහිපයක් පුරාම මේ ශ්‍රමදානය ක්‍රියාත්මක වූ
නිසා මා දිනපතාම මේ අත්බෑගය විවෘත කොට ගමන් බලපත්‍ර ඇති බව සැකහැර දැනගන්නටද අමතක නොකළ
බවද කිව යුතුය.
කෙසේ හෝ සියල්ල අහවරව, උපාධි සහතිකයද රැගෙන අපි බැංකොක් සුවර්ණභූමි ජාත්යන්තර ගුවන් තොටුපලින් මව් රට බලා එන්නට පිටත් වූයේ තරමක වේදනාවකිනි. ඒ අපේ ජීවිත කතාවේ එක් සොඳුරු පරිච්ජේදයක් ගතකල තායිලන්තයත්, කූන් ඇතුළු එහිදි
හමුවූ හිත මිතුරනුත් හැර යාමට සිදුවීම නිසා ඇති වූ වේදනාවකි. කටුනායක ගුවන් තොටුපලේදී අපි මුලින්ම මිළදී ගත්තේ නිවසට උවමනා විදුලි උපකරණ
කිහිපයකි. එලොව පොල් යාන්තමට මෙන් මෙලොවදීම පෙනෙන්නට පටන් ගත්තේ ඒවාට මුදල් ගෙවීමට පසුම්බිය අතට ගත් පසුය.
අප ලංකාවෙන් පිටව යනවිට පුතාගේ වයස හරියටම අවුරුද්දකි. තායිලන්තය ඉතා අඩු වියදමකින් ජීවත් විය හැකි රටක් වුවත් ලෙඩක් දුකක් හැදුන විට විශාල මුදලක් උවමනා බව දැන සිටි නිසා, අප එහි ගියේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඩොලර් වලට මාරු කරගෙනය.
එහෙත් අප දෙදෙනාම සම්පූර්ණ ශිෂ්යත්ව වලට හිමිකම් කී නිසා එහි ගිය පසු මේ රැගෙන ගිය මුදල් එතරම් උවමනා නොවීය. කූන්ගේ ගාස්තුව ලෙස එක් ශිෂ්යත්ව මුදලක් සම්පූර්ණයෙන්ම ලබාදීමට සිදු වුවත් ඉතා අඩු ජීවන වියදමක් තිබූ තායිලන්තයේ ජීවත් වීමට අපේ එක් ශිෂ්යත්ව මුදලක් ප්රමාණවත් වූ නිසා අර රැගෙන ගිය මුදලින් අපට වියදම් වූයේ ඩොලර් පන්සීයකට මදක් වැඩි මුදලක් පමණි. එයද උවමනා වුයේ වරක් ලංකාවට ඒමට ටිකට් පත් මිළදී ගැනීමටය.
මේ ඉතිරි ඩොලර් නෝට්ටු ටික ගියදා පටන්ම සුවසේ ජීවත් වූයේ ලංකාවෙන් රැගෙන ගිය ඒ කාලයේ මා භාවිතා කළ කළු පැහැ කුඩා පසුම්බියකය. ඒ කුඩා පසුම්බියත් මගේ අත් බෑගය තුල තිබිය යුතු වුවත් එවෙලෙහි මට එය සොයාගත නොහැකි විය. බොහෝවිට එය අතපසුවීමකින් වෙනත් බෑගයක් තුලට දමන්නට ඇතිබව සිතමින් අපි මාතරට එනවිට පාන්දර පහට ආසන්නය. නිවසට ආ සැනින් රැගෙන ආ ගමන් මලු සියල්ල ඇද බැලුවද ඒ කිසි තැනක අර පසුම්බිය සොයාගත නොහැකි විය. මේ මුදල් පසුම්බිය අපි තබා තිබුණේ වීසි කර දමා ආ කොන්ෆරන්ස් බෑග් එක තුලය. බෑගය වීසි කරද්දී පසුම්බිය ගන්නට අපට අමතක වූ බව මතක් වූයේද එවෙලෙහිය.
Cash
for Trash වාහනය කසල එකතු කරගෙන යාමට පැමිණියේ අප එහෙන් පිටත් වූ දා උදෑසනය. එනිසා යලි ඒ මුදල් ලබාගත හැකි බවට ඒ හැටි විශ්වාසයක් නොතිබුණත් කූන්ට දුරකතන ඇමතුමක් දී ඒ බව කියා සිටීම සුදුසු නිසා මා ඇයට දුරකතන ඇමතුමක් ගත්තේ තවත් වතාවක් අහු මුළු පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. අප කරදරයකින් තොරව ආ බව අසන්නට බලා සිටි කූන් ට මගේ ඇමතුම සතුටක් විය. මුලින් ඇයට කතා කරන්නට ඉඩ හැර මා සිදුව ඇති දේ ඇයට දැනුම් දුන්නේ අපහසුවෙනි.. මට හොදින් තායි කතා කරන්නට බැරි අතර කූන්ට ඉංග්රීසි කතා කරන්නටත් බැරිය. එහි සිටියදී අතින් පයින් වැඩ දමා උවමනා දේ කියාගත හැකි වුවත් දුරකතනයෙන් ඒ සෙල්ලම්ද බැරිය. අනෙක් අතට ඇයට, අපි ඇය මේ මුදල් හොරකම් කළ බවක් සිතුනොත් එය ලොකු වරදකි. ඇය ඉතා විශ්වාසවන්ත කාන්තාවකි.
කෙසේ හෝ මට ඇයට කළු පැහැ කොන්ෆරන්ස් බෑගය තුල මුදල් පසුම්බියක් අමතක වූ බව කියාගත හැකි විය. ඒ ඇසූ ඇය කියා සිටියේ ඒ බෑගය අලුත් නිසා ඇය එය නිවසට රැගෙන ආ බවත් මොහොතක් රැදෙන්නට හැකිනම් ඇයට ඒ පසුම්බිය එහි ඇත්දැයි එවෙලෙහිම බැලිය හැකි බවත්ය. මා ඊට එකඟ වී ටික වේලාවක් සිටියදී යලිත් ඇගේ හඬ ඇසෙන්නට විය. මුදල් සමගම පසුම්බිය ඒ බෑගය තුල තිබෙන බවත්, පසුම්බියේ මුදල් වලට අමතරව මගේ සැමියාගේ ජායාරූපයක්ද තිබෙන බවත් කියා සිටි ඇය ඒ ගැන බොහෝ විස්සෝප වූවාය. ඇය එය සොරකම් කළ බවක් අපි නොහිතන බවත්, එය අපට සිදු වූ අමතක වීමක් බවත් ඇයට තේරුම් කරවන්නට මට සෑහෙන වෙහෙසක් ගන්නට විය.පසුව අපේ තායි ජාතික මිත්රයෙකු ඇගේ නිවසට ගොස් එය රැගෙන, අපේ ලාංකික මිත්රයෙකුට බාර දී දින කිහිපයකට පසුව එක් ලක්ෂ දහනව දහස් ගනනක මුදලක් අපේ ගිණුමට බැර වී තිබුණි.
මගේ පසුගිය ලිපියට ප්රතිචාර දක්වමින් විචාරක
කියා තිබුණේ "හ්ම්....බලනකොට කොයි රටෙත් පැණිරස, ඇඹුල් රස, තිත්ත රස ඔක්කොම
තියෙනවා" කියාය.
මට කියන්නට තියෙන්නේද එයමය. තොම් යම් සුප් එකේ රස තරමටම
මට තවමත් තායි ජාතිකයින්ගේ ගුණ සුවඳ මතක තියෙන්නේ එනිසාය.
අපේ කූන් |
ඒ වගේ අවංක අය ඉන්නවා.. මනුස්සයා කියන සතා හරිම අමුතුයි නෙව..
ReplyDeleteජයවේවා..!!
මේ වගේ අවංක අය බොහෝ දෙනෙක් මට මුණ ගැහිලා තියෙනවා ගස් ලබ්බ.
Deleteකූන් හොඳ නිසා හොඳයි. නැත්නම් 119000 හොයන්නවත් නැති වෙයි.
ReplyDeleteඔව් කසුන්. අපේ කූන් කොහොමත් හොදයි කියලා අපි දැනන් හිටියා. ඔය සල්ලි අවුරුදු දෙකක් තිස්සෙම ගේ ඇතුලෙ ඔය කියන බෑග් එකේමයි තිබුණෙ. අපි මොනවත් ඉබි යතුරු දාලා වහලා තිබුණෙත් නෑ, ඇත්තටම එහෙම උවමනාවක් නොතිබුණ නිසා. මම මේ කතාව ලිව්වෙ වෙනත් දේකට පූර්විකාවක් විදිහට.
Deleteඅපි හිතුවෙ Cash for trash වලට අපේ කෑෂ් ගිහින් කියලා. කූන්ට ඕනිනම් එයා බෑග් එක ගෙනා බව නොකියා ඉන්න තිබුණා. අපි එයාට ඒ කතාව කිව්වෙ එයා ළඟ බෑග් එක ඇති කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි, එයා ඔය කුණු ගෙනියන තැන ගැන දන්නවා ඇති කියලා.
කොහොමද කූන් නිසා අන්තිමට දැනුන චූන් එක.
ReplyDeleteඔය සිද්ධිය දන්න අපේ යාළුවන්ට ඕක ඒ කාලෙ බොහොම රස කතාවක් වෙලා තිබ්බෙ. දැනටත් මෙහෙ ඉන්න සමහර යාළුවො කියනවා "අනේ ඔයාලා ගෙවල් එහෙම අස් කරනවනම් අපිට පොඩ්ඩක් කියන්න. අපි කැමතියි උදව් කරන්න" කියලා.
Deleteහරි සංවේදී කතාවක්. හිත හොඳ අවංක කාන්තාවක් ...
ReplyDeleteඔව්. අපේ කූන් විතරක් නෙවෙයි, එහෙ හිටිය බොහොමයක් දෙනා ඒ වගේ හිත හොද මිනිස්සු
Deleteමාත් හිටියා තායිලන්තේ කාලයක්.. 2004 වගේ.. තායි මිනිස්සු හරිම ලෙන්ගතුයි.. ඔය කියුවා වගේ මටත් වියදමක් උනේම නැති තරම්.. සතිය පුරාම යාලුවෝ කතා වෙලා වීක් එන්ඩ් එකේදී එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉදිරිපත් වෙලා අපිව රට වටේම අරන් යනවා.. විශේෂයෙන්ම ඔවුන්ගේ ගෙවල් වල, පන්සල් වල, විශේෂ උත්සව තියෙන තැන්වල හා වෙනත් ඔවුන් හිතන විදියට අපි කැමති වෙයි කියල හිතෙන තැන්වල.. ගෙවල් වලට ගියාම ඒ දෙමවුපියෝ සහෝදර සහෝදරියෝ පවා හරිම ලෙන්ගතුයි. අදටත් බොහෝ දෙනෙක් මගේ හිතවතුන්.. සතාහිප් නාවික කඳවුර ඇතුලේ හිටපු නිසා trash අත්දැකීම නම් ලබන්න බැරි උනා..
ReplyDeleteජපාන කතා සීරිස් එක එක දිගට කියවන්න බැරි උනා.. :( වෙලාවක් හොයාගෙන මුල ඉඳන් ආයේ කියවන්න ඕනි..
ඔයා තායි හිටියා කියලා මං දන්නවා. අර "නියඟයට පසු" විස්තරේ ඒක ලියලා තිබ්බා මතකයි (කොහොමද මගෙ මෙමරිය.......ඔය ඕනි නැති එව්වා ඉබේටම ඒකෙ තැන්පත් වෙනවා. ඕනි එව්වා බලෙන්වත් මතක තියාගන්න බැරුවට ).
Deleteඒ මිනිස්සු ඇත්තටම මාර හොදයි වගේම අපිට හරි සමීප ගතියකුත් දැනෙනවනෙ. කෑම බීම උනත් එහෙමයි (මං කියන්නෙ ගෙම්බො කැරපොත්තෙ නෙවෙයි...ලුණු මිරිස් රහ )
මම මේ කූන්ගෙ කතාව මේ විගහින් ලිව්වෙම එදා මගේ ටැක්සි කතාව කියවලා කවුරුහරි තායි මිනිස්සු ගැන වැරදි අවබෝධයක් ගනියි කියන බයටම.
Cash for Trash කිව්වම Trash වලට Cash දාන්න ඕනි. එහෙමයි ඒ අත්දැකීම හරියටම ගන්න ඕනිනම් කරන්න තියෙන්නෙ
ReplyDeleteඔයින් ගියා මදැ
ReplyDeleteඒකනෙ........ඔයින් ගියා හොදටම ඇති
Deleteගෙවල් අස් කරනවා කියනකොටම හිතුනා මෙහෙම එකක් වෙයි කියලා.. කූන් හරිම හොඳයි තමා.. හරිම අවංකයි..
ReplyDeleteහොදම වැඩෙ ඔහොම එකක් වුණොත් කියලා බයට මං මගේ හෑන්ඩ් බෑග් එක දවස් ගානක් පරිස්සමට තියාගත්තු එකනෙ. ඕක ඉතින් හෑන්ඩ් බෑග් එක කිව්වට නැති දෙයක් නැති එකක්නෙ. අපි අර බඩු ගන්න වෙලාවෙ සල්ලි ඕනි වෙලා බලනකල්ම, ඒ පර්ස් එක මතක තිබිලා නෑ.
Deleteකූන් අපිට
ReplyDeleteඅපි කූන් ට
හයියෝ කීයක් වත් දුන්නේ නැතැයි කුන්ට ....
ඒ මනුස්සකම තාමත් මිළ කරගන්න බැරි උනා ලලිත්.
Deleteකූන්ගෙ මනුස්සකමට අපිට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග, ඒ කාලෙ කූන්ගෙ සපත්තු දාගෙන අමාරුවෙන් ඇඑවිදින්න දඟලපු, දැන් කූන්ගෙ සපත්තු වලට වඩා ලොකු සපත්තු දාන, එයා බොහොම ආදරෙන් බලාගත්තු පොඩි එකාව එක්ක ගිහින් පෙන්නන එක. පුතත් ඒ ගැන ආසාවෙන් ඉන්නවා.
කවදාවත් පාවිච්චි නොකරපු බෑග් එකක මුදල් දාල තිබ්බ එක ඒ මුදල් අමතක වෙලා තිබ්බ එක නැවත ලැබුණු එක විශ්වාස කරන්නත් අමාරුයි.ඒත් එකක් තියෙනවා ආපහු ලැබෙන්න නියමිතව තියෙනවා නම් මොන ක්‍රමයකින් හෝ නැවත ලැබෙනවා ඒකාන්තයි.මටත් ඔය වගේ අත්දැකීම් කීපයක් තියෙනවා.
ReplyDeleteවෙන කෙනෙක් විශ්වාස කරනවා තබා අපි දෙන්නටම වත් හිතාගන්න බැරි උනා ඒක කොහොමද අමතක වුණේ කියලා.
Deleteඇත්තටම ඒ අන්තිම දවස් කීපයත් මේ බඩු අස් කරන රාජකාරියත් මේ ලියලා තියෙනවට වඩා සෑහෙන දරුණු තත්වෙක තිබ්බෙ. ගොඩක් බඩු එක එක්කෙනා ඉල්ලලා තිබ්බෙ. ඒ ඒ අයට ඒවා වෙන් කරන්නයි, ගෙනියන ඒවා වෙනමයි විසි කරන ඒවයි මහ ගොඩක් වැඩ. අනෙක අස් කිරීමත් එක දිගට එක තැනක පිළිවෙලට කරන්න ලැබුනෙත් නෑ. අපි එහෙ ගෙනියලා තිබ්බ සහතික, පාස්පෝට්, මෙඩිකල් රිපෝට් වගේ ඔක්කොමත් තිබ්බෙ ඔය බෑග් එකේ. ඒ කාලෙ ක් කොන්ෆරන්ස් වලදි දෙන්නෙ ලැප්ටොප් බෑග් වගේ බෑග් එකක්. බොහෝ විට වෙන්න ඇති කියලා අපි දෙන්නා ඒ කාලෙ හිතුවෙ ඕකෙ ඔය ලියකියවිලි ටික අරන් ඉවරවෙනකොටම මොකකට හරි එලියට යන්න වෙන්න ඇති.ආයෙ පැය ගානකින් වැඩෙ පටන් ගන්නකොට "ආ මේකෙ මොකුත් නෑනෙ" කියලා විසී කරන්න ඇති.
Graduation එකේදි මට ලැබුණා graduation prize award එකක්. ඒක සාමාන්‍යයෙන් දෙන්නෙ ඩොලර් වලින්, චෙක් එකක් විදිහට. අපි දෙන්නා Graduation ඉවර වුණ ගමන් බැංකොක් ගියා පොලිස් වාර්තාවක් ගන්න ඇඟිලි සලකුණු දෙන්න (ඒ කාලෙ රතු කමීස උද්ඝෝෂණ එහෙම තිබ්බ නිසා තායි ඉදන් සමහර රටවලට යනකොට පොලිස් වාර්තා ඉල්ලන නිසා අපි එහෙම එකක් ගත්තා ). අපිට අර ලියුම් කවරෙ දිගෑරලා බලන්නවත් මතක් වෙලා නෑ. ලංකාවට ඇවිත් බලනකොට ඒක තිබ්බෙ, සියාම් කොමර්ෂල් බැංකුවෙ බාට් වලින් ලියවුන චෙක් එකක් විදිහට. ලංකාවෙන් ඒක එකවුන්ට් එකට දානකොට සෑහෙන පාඩුත් උනා.
ඔය වගේ අලකලංචි මහ ගොඩක් උනා ඒ කාලෙ. අපිත් ඒ කාලෙ බොහොම අපරිණතයි. සමහර වැඩ මැනේජ් කරගන්නකොට ඔය වගේ දාහක් අඩුපාඩු වෙලා තියෙනවා. දැන් මතක් උනාම අපිටම හිතාගන්න බෑ ඇයි එහෙම වුණේ කොහොමද එහෙම වුණේ කියලා.
ඒ සල්ලි අපි අසාධාරණ ක්‍රමයකින් උපයපු ඒවා නොවෙන නිසා වෙන්නැති ආපහු නොහිතපු විදිහට ලැබුණා. ඒ කාලෙ ඕක පත්තරේ දැම්මා වගේ ප්‍රසිද්ධ වෙලා කවුරුහරි "ඔයාලා නේද අර පර්ස් එකක් වීසි කරලා ආවා කියන්නෙ" කියලා එක එක්කෙනා අහනකොට විළි ලැජ්ජාවෙ පණ ගියා.
කුන් වගේ අයත් ඉන්න නිසා තමයි මේ ලෝකයේ ලස්සන මේ තරම්.කුන්ගේ අවන්කමට වඩා මට ආදරේ හිතුනේ අක්කා කුන්ට දුරකතනයෙන් කතා කරපු විදියට.ඒහෙම අපි කියනදේ නිසා තවත් කෙනෙක්ගේ හිත රිදෙවි කියලා හිතලා කතා කරන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනා දෙයක්ද.
ReplyDeleteඅපේ කූන් හරිම හොද, පුතාට විතරක් නෙවෙයි වෙලාවකට අපිටත් අම්මා කෙනෙක් වගේ හිටිය විශ්වාසවන්ත කෙනෙක් මල්ලි.
Deleteඔය සල්ලි අවුරුදු දෙකම ගෙදරමයි තිබ්බෙ.වැඩි කාලයක් ඔය බෑග් එකේ. අපි කවදාවත් මොනවත් අඟුළු දාලා වහලා තිබ්බෙත් නෑ. ඇත්තටම ඒ එහෙම තියන්න උවමනාවක් නැති නිසා. ඉතිං එහෙව් මනුස්සයෙකුට අපි එහෙම එයා හොරකම් කරා කියලා හිතන බවක් හිතුනොත් වැඩක් තියෙනවද. අපි නොහිතුවට වැඩක් නෑනෙ එයාට අපි එහෙම හිතන බවක් හිතුනොත්. අර අවුරුදු දෙකක් තිස්සෙ ගොඩනැගුන බැදීම් ඔය ඩොලර් දාහකට හමාරකට නැති වුණානම් ඒක කොච්චර අපරාදයක්ද?
මට දැනෙන හැටියට අපේ පුතා තාමත් එයාගෙ අත්තම්මලා දෙන්නට වඩා කූන්ට ආදරෙයි. එයාට ඒ කාලෙ හිටිය යාළුවෝ අපේ යාළුවෝ කවුරුත් දැන් ෆොටෝ එකකින් අදුරාගන්න බෑ. ඒත් හස්බන්ඩ් මේ පෝස්ට් එකේ ෆොටෝ එක පෙන්නලා මේ කවුද කියලා දන්නවද ඇහුවම "නැනා" කිව්වලු. එයා කූන්ට ඒ කාලෙ කතා කරේ එහෙම.ඉස්සර කූන් හවස ගෙදර යනකොට අඬනවා.
විදේශ ශිෂ්‍යත්වයකින් ලැබෙන්නේ ඇකඩමික් සුදුසුකම විතරක් නෙවෙයි මේ වගේ අපුරු මිනිසුන් ඇසුරු කරන්නත් ලැබෙනවා. ඒ අත්දැකීම තව පිරිසක් එක්ක බෙදාගන්න සිතූ එක අගේ ඇති වැඩක්
ReplyDeleteවිදේශ ශිෂ්‍යත්ව වලින් අපි ලබපු වටිනා දේවල් අතර, මේ වගේ අපූරු මිනිස්සු වගේම ඔවුන්ගෙන් ඉගෙන ගත්තු දේවල් සහ එකතු වුණ අත්දැකීම් ඉහළින්ම තියෙනවා.
Deleteඅර උඩ කමෙන්ට් එකෙත් කියලා ඇත්තේ මේකම නේද?. ඒක රජ්ජුරුවන්ගෙ ඇඳුම වගේ කියලා හිතලා මං මොකුත් නොකියා තියෙන්න ඇරියා.
ඔබේ ලියවිල්ල නිසා මට මතක් උනා තාත්තා අපෙන් සමු ගත්තට පස්සේ office van එක්ක මන් වැඩට ගියේ.. එහි ගාස්තුව උනු රු 1000 වෙනුවට මම දිලා තිබ්බේ මුලු පඩිපතම තිබුනු ලියුම් කවරේ. වැන් රථයේ රියදුරුට තිබ්බ ඒක මට නොකියා මුලු මුදලම තියා ගන්න. ඒත් ඔහු එහෙම කලෙ නැ.. ආපහු වැන් එක හරවගෙන ඇවිත් මට ඒක දුන්නා.
ReplyDeleteබැංකොක් හිටිය අවුරුදු දෙකටම අපි ගාව එකතු උනේ පොත් විතරයි.. ආපහු එද්දි වෙන දෙයක් ගේන්න ඉඩක් නැ.. සැරින් සැරේ දෙන්නාගෙම ගෙවල් වලින් ගෙනත් තිබුන පොත් වල බර කිලො 40 කටත් වැඩි..
එහෙම අවංක මිනිස්සු වගේම කට්ට කෛරාටික මිනිස්සු අපිට ලෝකෙ කොහෙ ගියත් මුණ ගැහෙනවා හීන දකින්නී.
Deleteමටත් ඔයාට වගේම අකරතැබ්බයක් වෙන්න ගිහින් නූලෙන් බේරුණා. ඒකත් වුණානම් මේ පසුම්බියේ දෙවෙනි කොටස වෙනවා ඒක.
මගේ හස්බන්ඩ්ගෙ නංගිගෙ වෙඩිං එක දවසෙ අපි තුන්දෙනත් ගියා එයාලා එක්ක නුවර එළියෙ. මං තමයි නංගිගෙ මාල කරාබු ගැලෙව්වෙ. ඒ මාල සෙට් එක මුල් ඇඳුම් අන්දන්න ආව කෙනා අතේ අදාල තැනට යවන්න ඕනි කිව්ව නිසා මං ඒ ඔක්කොම බෑග් එකකට දැම්මා. හොද වෙලාවට ඒ ටික ඒ මනුස්සයා අතට දෙන්න කලින් නංගිට මගෙන් ඇහුවා එයාගෙ කරමාලෙ තිව්වෙ කොහෙද කියලා. හෙහ්....හිතාගන්න පුළුවන්නෙ මං ඒක කොහෙද තිව්වෙ කියලා.
:) :)
Deleteසඳවියමන් , කොහෙත් අවදානම් ඇති බව කොහෙත් හොරු ඇති බව අපි බැංකොක් වල නැවතිලා හිටි තැන සිටි අනිත් ලංකාවෙන් ආපු මල්ලිට උනු දෙයින් අපි තේරුන් ගත්තා.. අපි හිටියේ සෙර්විcඑඩ් අපර්ට්මෙන්ට් එකක.. ඒ මල්ලි අපිට කලින් රැකියාවෙන් අයින් වෙලා ආපහු ලංකාවට යන දවසේ ඔහු එතෙක් ගෙනියන්න එකතු කල හැමදේම නැති උනා.. ඔහුගේ රත්තරන් බඩු , කැමරා, ලැප්ටොප් පවා තිබුනේ නැහැ කාමරේ. ඒ කාමර වලට අමතර යතුරු සේවක මණ්ඩලය සතුයි, වෙන කෙනෙකුට ඇතුලට එන්න විදිහක් නැ, වෙනදටත් අපි හැමෝම බයක් නැතුව එළියට යනවා, සේවක මණ්ඩලයේ කවුරුන් හෝ පැමිණ කාමර අස් කරන එක නිතර උනා අපි නැති විට. මෙහෙම දෙයක් වෙලා තිබුනේ නැ.. ඔහුට ආපහු කිසිම දෙයක් එකතු කරන්න වෙලාවක් තිබ්බේ නැහැ.. කොහොම උනත් පාලක මණ්ඩලය මැදිහත් වෙලා නැතිඋනු ගොඩක් දේ ආපහු හොයලා දුන්නත් කොහොමද , කව්ද ගත්තේ කියන එක හෙළි කලේ නැහැ
ReplyDeleteතායිලන්තෙදි අපි AIT ඇතුලෙ හිටිය නිසා එහෙම ගැටළු තිබ්බෙ නෑ. හැබැයි හිටපු ගමන් බයිසිකල් නැති වෙනවා. ගෙවල් ඇතුලෙ නම් කිසිම දෙයක් කිසිම දාක නැති වුණේ නෑ.
Deleteඒත් ඉතිං කොහෙ හිටියත් අවධානමට වඩා සූදානම වටිනවා.
සඳාගෙ ලියවිල්ල නම් හරිම අපූරුයි. එකහුස්මට කීපයක්ම කියෙව්ව. තාය්ලන්තෙ දවස් 3ක් විතරයි ඉඳල තියෙන්නෙ. මිනිස්සු ගැන අවබෝධයක් ගන්න ඒ කාලෙ මදි. දැනුත් පදිංචිය මාතරද?
ReplyDeleteස්තූතියි! එදිරි. එක හුස්මට කතා කීපයක්ම කියෙව්ව බව දැනුනම සතුටුයි.
Deleteඔව් අපි පදිංචිය මාතර