Tuesday, May 24, 2016

රටවල් හතරක ටැක්සි හතරක්


අපේ රටද ඇතුළුව විවිධ රට රට වලදී මුහුණ දෙන්නට සිදුවූ සුන්දර මෙන්ම අසුන්දර අත්දැකීම්ද මහ ගොඩක් මගේ මතකයේ ඇත. මේ එවැනි මතකයේ රැදුන අවස්ථාවන් හතරක් ගැන ආවර්ජනයකි.
1. තායිලන්තයේ බැංකොක්- 2009 ජූනි මුල් සතියේ දිනයක්

පිරිසිදුකම අතින් ජපානයට බොහෝ ඈතින් සිටියත් තායිලන්තයේදී සොඳුරු මිනිසුන් දහස් නකගේ මනුස්සකමේ සුවඳ විදගන්නට මට වාසනාව තිබුනි. ආසියානු තාක්ෂණ ආයතනයේ (AIT) හැදෑරූ දෙවසරක පශ්චාත් උපාධියට පිංසිදු වන්නටය.අප ආයතනය තිබුනේ බැංකොක් සිට කිලෝමීටර 30 තරම් දුරින් "පහොල්යෝතින්" නම් අධිවේගී මාර්ගයට සමීපවය.
Paholyothin road -අන්තර්ජාලයෙන්
බැංකොක් වල මාර්ග තදබදය අඩුකිරීමට BTS (Bangkok mass Transit System ) නම් Sky train system එකක් ඇත. අප ආයත නයේ ඉගෙන ගන්නා, උගන්වන සහ අනෙකුත් රාජකාරි කරන සියළු දෙනාම මෙන් අපද නතරව සිටියේ ආයතනය තුල ඇති නිවසකය. එහි සිට බැංකොක් වෙත යාමට බස් තිබුනද ඊට වඩා ජනප්‍රිය වෑන් රථ සේවාවාක් තිබුනි. ඒවා ආරම්භ වන්නේ අපේ ආයතනය ඉදිරිපස සිට අක්කර සිය ගනනක වපසරියක පැතිර ඇති " තමසාට් " නම් තායිලන්ත විශ්ව විද්‍යාලයක අවසන් කෙලවරිනි. BTS ආරම්භ වන තැනට පහසුවෙන් යාමට මේ වෑන් රථ යොදවා තිබුණි. මඟීන් 15 දෙනෙකුට ගමන් කළ හැකි ඒ වෑන් අපේ ආයතනය අසලට එනවිට බොහෝවිට ආසනයක් දෙකක් හිස්ව තිබෙන නිසා අපද බැංකොක් යාමට අවශ්‍ය විටක ගමන් පහසුව සලසා ගත්තේ එලෙසය. එහි ගාස්තුව බාට් තිහකි. බස් ගාස්තුවද ඒ ආසන්නම ගනනක් නිසා මේ වෑන් රථයේ ගමන හැම අතින්ම පහසුය. මඟීන් පිරුණ පසු එය යලි නතර කරන්නේ BTS අරඹන තැනිනි. ඒ නිසා මේ ගමනට ගතවන්නේ මගේ මතකයේ හැටියට විනාඩි 20-30 වැනි කාලයකි. ආපසු එන ගමන සදහාද බැංකොක් හි ඇති "Victory monument" අසලදී මේ වෑන් රථයකට ගොඩවීමට පුළුවන. බැංකොක් ගිය හැමදාකම අපි ගමන් පහසුව සලසා ගත්තේ එහෙමය.
Sky train -අන්තර්ජාලයෙන්
මේ කියන කාල වකවානුව වන විට අපේ පුතාගේ වයස අවුරුදු එක හමාරකි. මාත් මගේ සැමියාත් අධ්යාපන කටයුතු වල නියැලෙද්දී මවක මෙන් ඔහුව ආදරයෙන් රැක බලාගත්තේ "කුන් නුච්" නම් තායි ජාතික මැදිවිය ඉක්මවූ කාන්තාවකි. කුන් යන්න ජපානයේ "සං" මෙන් තායිලන්තයේ පුද්ගල ආමන්ත්රණයේදී යෙදෙන විශේෂණයකි. නමුත් අප ඇතුළු එහි සිටි, සියයකට ආසන්න වූ ලාංකිකයින් සියල්ලෝම මෙලෙස දරුවන් බලාගන්නා කාන්තාවන් හැදින්වුයේ "කූන්" ලෙසිනි. අදටද ඕනෑම කෙනෙකු අපේ පුතා බලාගත් කාන්තාව ගැන කතා කරන්නේ "ඔයාලගේ කූන්" යනුවෙනි.
මේ කියන දවසේ මාත් මගේ සැමියාත්, දේශණ නොතිබුණ පස්වරුවේ කුමක් හෝ අවශ්යතාවයකට බැංකොක් ගියේ පුතා කූන්  ළඟ සිටියදීය. ගිය වැඩේ අවසන් කර, පුරුදු පරිදි අපි වෑන් රථයක නැඟී "පැතුම්තානී" නම් අප සිටි දෙසට එමින් සිටියෙමු. තායිලන්තයේ  මාර්ග පද්ධතිය බොහෝ දියුණුය. නමුත් එය ඉතා සංකීර්ණය. මේ නිසා බහින තැන් කල්තියා රියදුරුට දැනුම් දිය යුතුය. “U turn” මහ ගොඩක් ඇති නිසා ඔහුට අදාල ස්ථාන වලට පහසුවෙන් ළඟා විය හැක්කේ එතකොටය. අප බැසිය යුත්තේ අවසන් නැවතුමේදී හෝ ඊට මීටර් දෙතුන් සීයක් මෙහායින් නිසා අප ගැන එතරම් සැලකිය යුතු නැතත් වෙන වෙන තැන්වල බහින උදවිය බව කලින් දැනුම් දීම කරයි.
වෙනදාට තමසාට් කැම්පස් යන අය බොහොමයක් සිටියද එදා ගමනේදී  සියළු මඟීන් අතර මඟදී බැසගිය නිසා අවසානයට ඉතුරු වූයේ අප දෙදෙනා පමණි. නිසා රියදුරු පිටුපස හැරී අපෙන් බහින තැන ඇසීය. මගේ සැමියා අපි AIT අසලින් බහින බව කියන විට ඔහු  අධිවේගී මාර්ගයේ මැද කොටසට, එනම් තැන තැන නවත්වන්නේ නැතිව වේගයෙන් යන කොටසට වාහනය ඇතුල් කරගෙන තිබුණි. අප AIT අසලින් බහින බව ඇසූ ඔහු කෝපයෙන් බැණ වදින්නට පටන් ගත්තේය. ඔහු කේන්තියෙන් සිටින බව මිස කියවන කිසි දෙයක් නොතේරෙන නිසා මම සිටියේ සිනාසෙමිනි. ඊට වඩාත් හේතු වූයේ රියදුරු කියන සෑම දේකටම මගේ සැමියා සිංහලෙන් මොන මොනවා හෝ කියන්නට පටන් ගැනීමය. නමුත් වැඩි වේලා නොයවාම මගේ සිනහව රියදුරුගේ කේන්තිය වැඩිකල බව අපට දැනෙන්නට වුයේ ඔහුගේ කියවිල්ලේ වේගය තරමක් වැඩි වූ බැවිනි.
 අපේ ආයතනය තිබුනේ මේ පහොල්යෝතින් පාරේ  සිට මීටර් තිහ හතලිහක් හැරී ගමන් කළ විටය. පැත්තට යන්නට නම් වාහනය ගමන් කළ යුත්තේ අවසන් මංතීරුවෙන් වුවත් අපිට බැණ බැණ එන මේ රියදුරා වාහනය දෙසට ගත හැකි අවසන් තැනින් හෝ රිය දෙසට හැරවූයේ නැත. බහින තැන ළං වුවද රිය තවමත් තිබුනේ මැද කොටසේය. ඊට එහායින් මේ අධිවේගී කොටස සහ සාමාන් මාර්ගය වෙන්වන, තණකොළ වැවූ පටු තීරයක්ද ඉන් එහායින් තවත් මං තීරු දෙකක්ද තිබිනි. අපට උවමනා තැනින් රියෙන් බැසගත නොහැකි බව වනවිට හොදින්ම වැටහී තිබුන බැවින් මා සිතුවේ ඔහු ඊළඟ යූ ටර්න් එකෙන් හරවා අපව පාරේ අනෙක් පසින් බස්සවා වැඩි දුරක් පයින් ඒමට සැලසෙන රැග් එකක් දෙන්නට සූදානම් බවය. එය අධිවේගී මාර්ගයක් වු නිසා පාර මාරු වීමට තිබුනේ ගුවන් පාලම් පමණි. ඒවා දෙකක් අතර සෑහෙන දුරක්ද තිබුනි. නමුත් මගේ බලාපොරොත්තු තඹේකට මායිම් නොකල ඔහු අපේ ආයතනයට හැරෙන තැන අර තණකොළ තීරුව අසලින් රිය නවත්වා අපට ඉක්මනින් බසින ලෙස අණ දුන්නේය. තායි භාෂාව හැසිරවීම වනවිට කොහෙත්ම කළ හැක්කක් නොවූ නිසාත්, බහිනවා හැර වෙනත් විකල්පයක් නැති නිසා අප වහා රියෙන් බැස ගත්තෙමු.
රියදුරු අපිට බහින්නට සැලැස්වුයේ මේ තණකොල සහිත කොටසටය -අන්තර්ජාලයෙන්
අහසෙ තරු පොළොවෙන් පෙනෙන්නට පටන් ගත්තේ වෑන් රථය ඉගිල ගිය පසුය. අප සිටි තැනට එහායින් තිබුනේ සාමාන් මංතීරු දෙකක් වුවත් ඒවායේද නොනවත්වාම වේගයෙන් ගමන් කරන රථ පෙළක් තිබුන නිසා පාර මාරුවීම හීනයක් මෙන් විය. විනාඩි දහය පහලොවක්  භයංකාර සිහිනයට මැදිව සිටි අපට පොලීසියටත් අසු නොවී, අනතුරක්ද නොවී කෙසේ හෝ පාර පැනගන්නට අවස්ථාව ලැබුනි. ඊට පෙරද අපට යම් යම් කට්ට කෛරාටික ටැක්සි කරුවන් දෙතුන් දෙනෙකු මුණ ගැසී තිබුනත්, මේ රියදුරා කෝපාවිෂ්ඨව අපව මහ මඟ දමා ගියත්, තායිලන්තය හෝ තායි ජාතිකයින් කෙරෙහි අප්‍රසාදයක් තවමත් මගේ හිත් කොණකවත් නැත.

2. මාතර- 2012 ඔක්තෝබර් දෙවන සතියේ දිනක

මගේ සැමියා ඔහුගේ පශ්වාත් උපාධිය සදහා ජපානයට ආවේ 2012 ඔක්තෝබර් පළමු සතියේය. පාසැල් කාලයේ අප දෙදෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේය. උසස් පෙළ විභාගයේදී එක සමාන ලකුණු ප්‍රමාණයක් ගත් අපට එකම විශ්ව විද්‍යාලයක එකම පීඨයකට ඇතුල් වීමේ වරමද ලැබුණි. ඉන්පසුවද එකම විෂය පථයක රැදුන නිසාත්, දෙදෙනාටම එක සමාන පංති සාමාර්ථයන් ලබාගත හැකි වූ නිසාත් අප සේවය කළේත්, ආසියානු තාක්ෂණ ආයතයෙනි පශ්චාත් උපාධිය හැදෑරූවේත් එකටමය. ආදරණීය මිතුරෙකු, පෙම්වතෙකු සහ සැමියෙකු ලෙසින් ඔහු දීර්ග කාළයක් තිස්සේ මා සමගම සිටීම නිසා මේ 2012 ඔක්තෝබරයේ ඔහු තනිව විදෙස්ගත වනවිට මට අභියෝග රැසකටම මුහුණ දෙන්නට විය. තනිව වැඩ කටයුතු කිරීමේ අපහසුතාවය හැබෑවටම මා මුලින්ම අත් වින්දේ ඔහු විදෙස්ගත වූ පසුය.
ඒ වනවිට අපේ පුතාගේ වයස අවුරුදු පහට ආසන්නය.කොයි වෙලාවේත් ප්‍රශ්ණ පත්තරයක් දිගහැරගෙන සිටින ඔහු ඒ කාලයේ බොහෝ කටකාර,දඟකාර සහ හිතුවක්කාර කොළු පැටියෙකුව සිටියේය. දැනටද එහි ඒ හැටි  වෙනසක් නැත. මේ කියන දවසේ මා සවස හතර හමාර පහ අතර වේලාවක නිවසට පැමිණ තේ එකක් බොමින් සිටියදී ඔහුට පසුදාට පෙරපාසලට රැගෙන යායුතු යමක් මතක් විය. ඒ දිනවල දවල් කාලයේ ඔහුව බලා කියා ගැනීමටත්, රාත්‍රියේ අපේ තනි නොතනියටත්, පොළොන්නරුව පැත්තේ  කාන්තාවක් අපේ නිවසේ නතරව සිටියාය. මා දහවලට පුතාව පෙර පාසලින් රැගෙන එන වෙලාවට, මගේ දිවා කෑම පාර්සලයද අතැතිව ගේට්ටුව අසල ඉන්නට ඇය පුරුදුව සිටි නිසා මා කරන්නේ පුතාව එතනින් බස්සවා කෑම එක රැගෙන යලි වැඩට යාමය. මේ නිසා පෙර පාසලේ සිට එන අතරතුර පසුදාට උවමනා දෙයක් කියන්නට පුත්තරයාට අමතක වුවහොත් යලි ඒ බව දැනගන්නට වන්නේ සවසය. ඒ වනවිට තනිව සියල්ල කරගැනීමේ අභියෝගය බාරගෙන සතියකට වඩා ගත වී නොතිබුන නිසා මෙවැනි සුළු අතපසුවීම රාශියක් දිනපතාම සිදුවිය.
පුතාට උවමනා දේ ගෙනෙන්නට මා දැන් ටවුමටම යායුතුය. හිත හිතා ඉන්නට කාලයක් නැති නිසා මා එහෙමම පාරට ගියේ බසයකින් ටවුමට ගොස් උවමනා දේ රැගෙන එන්නටය. අපේ නිවසේ සිට මාතර ටවුමට තිබුනේ කිලෝමීටර එක හමාරක් වැනි දුරකි. එනිසා විනාඩි දහයක් යන්නට මත්තෙන් නගරයේ ප්‍රධාන බස් නැවතුමෙන් බැසගත් මා දැන් මාතර බෝධියට ටිකක් එහායින් ඇති ගුණසේන පොත් සාප්පුවට යායුතුය. එය විනාඩි 5-10 කින් පයින් යාහැකි දුරක් වුවත් රෑ බෝවන්නට පෙර නිවසට යායුතු නිසා මා බස් නැවතුම ඉදිරියේ එක පෙලට නවතා ඇති ත්‍රී රෝද රථයක සහය පැතුවෙමි. අවුරුදු විස්සක් විසි දෙකක් තරම් වයසක වූ තරුණ රියදුරා විනාඩි පහක් යාමට පෙර අදාල ස්ථානයට ගොස්  රිය නතර කළේය. නගරයේ සිට කිලෝමීටරයක් වැනි දුරක පිහිටි ගුණසේන එක අසලදී මා ඔහුගෙන් "ගාන කීයද" ඇසුවෙමි.
"දෙසීයක් දෙන්ඩ" ඔහු විදේශිකයෙකුගෙන් මුදල් ඉල්ලන්නාක් මෙන් කීවේය. නගරයේ සිට කිලෝමීටර් හතරක් දුරින් ඇති කැම්පස් එක ළඟට යාමට ඒ කාලයේ අය කළේ රුපියල් සීයක් හෝ එකසිය විස්සකි.
"මේ ඩිංගට දෙසීයක් ගන්නවද?. කැම්පස් එක ළඟට යන්ඩ ගන්නෙත් සීයයි"
"ඒකට කරන්න දෙයක් නෑ. මගේ ගාන දෙසීයයි. අනෙක මිස් කොහොමත් ගාන අහලා නෙවෙයිනෙ ආවෙ" රුපියක් සීයකට එකසිය පනහකට මාතර බස් නැවතුම් පොලේ ඇති ත්‍රීරෝද රියක රියදුරෙකු හා වාද කිරීම මෝඩකමක් ලෙස සිතා මා වෙනත් කිසිවක් නොකියා ඔහුට සීයේ කොල දෙකක් දිගු කළෙමි.
කට්ට කෛරාටික ත්‍රීරෝද රථ රියදුරන් මෙන්ම යහපත් රියදුරන්ද බොහෝ ගනනක් අපේ රට තුලදී ඊට පෙර මෙන්ම පසුවත් හමුව තිබු නිසා මෙය මට සිදු වු මහා අකරතැබ්බයක් නොවීය.එහෙත් මේ සුළු සිදුවීම මගේ මතකයේ තවමත් තිබෙන්නේ වැඩිපුර රුපියල් එකසිය පණහක් ගෙවන්නට වූ නිසා නොව, ඊට සතියකට පෙර මගේ සැමියාට විදෙස්ගත වන්නට වීමත්, වෘත්තීය සමිති අරගලයක් හේතුවෙන් ඒ වනවිට  තුන් මසක්ම වැටුප් නොලැබී තිබීමත්, ඉදිරියට කෙතරම් කාලයක් එලෙසම ගතකළ යුතුදැයි නොදැන සිටිමත්, යන කාරණා හේතුවෙන්  ඒ දිනවල මගේ පසුම්බියේ තිබූ රුපියලකට පවා ලොකු වටිනාකමක් තිබූ නිසාය.

3. දකුණු කොරියාවේ ජේජු දූපත -2015 මැයි 28

සොබා දහමේ අපූරුම නිර්මාණයක් වන, දකුණු කොරියාවට අයත් විශාලතම දූපත වන "ජේජු" දූපතට මා ගියේ පහුගිය වසරේ මැයි 25 දාය. මහාචාර්යවරු දෙදෙනා සහ තවත් මිත්‍රයෙකු සමග අප එහි ගියේ conference එකකට සහභාගි වීම සදහාය. එහි ගිය දිනයේ පටන්, අපේ විද්‍යාගාරයේ හෝ යාබද විද්‍යාගාරවල ඉගෙනගෙන, දැන් ජේජු දූපතේ රැකියා කරන කොරියානුවන්ගේ ආගන්තුක සත්කාරයන් හේතුවෙන් දිවා රාත්‍රී කෑම බීම පමණක් නොව ප්‍රවාහන පහසුකම්ද ලැබුනේ නොමිලේය. කෑමට බීමට ලැබුන දේ සහ මඟ දෙපස දුටු දේවල් හැරෙන්නට ඔවුන් අපව රැගෙන යන එන පාරවල් ගැන මහ ලොකු මතකයක් තිබුනේ නැත. මේ කියන දවසේ අපිට රාත්‍රී සාදයක් සදහා ඇරයුම් ලැබී තිබුනේ "Alltech" නම් සත්ව ආහාර නිෂ්පාදනයේ ලොව පුරා ශාඛා ජාලයක් ඇති ඇමරිකානු සමාගමකිනි. ඒ සමාගමේ කොරියානු නියෝජිතයා සාදය සංවිධානය කර තිබූ අතර, ජපානයද ඇතුළුව තවත් රටවල් දහය දොළහක නියෝජිතයින් එහි රැස්ව සිටියහ. ඒ සමාගමේ නියෝජිතයන්ද එහි පැමිණ තිබුණේ අප සහභාගී වූ කොන්ෆරන්ස් එකට සමගාමීව එහිම පැවැත්වූ වෙළඳ ප්‍රදර්ශණයක ප්‍රදර්ශණ කුටියක් පවත්වාගෙන යාමටය.
අපේ විද්‍යාගාරයෙන් පශ්චාත් උපාධිය ලබගෙන පිටව යන බොහෝ දෙනෙකු මේ සමාගමේ විවිධ රට රටවල ඇති ඔවුන්ගේ ශාඛා වල සේවය කරන නිසා අපේ මහාචාර්යවරයාට ඒ සමාගම තුල ලොකු පිළිගැනීමක්ද තිබුනි. සාදය ඇරඹී කා බී විනෝද වන අතරම අපේ ක්ෂේත්‍රයට ඉදිරියේ මුහුණ දෙන්නට වන අභියෝගත්, ඒවාට ඒ ඒ රටවල ඇති සැලැස්මවල් ආදියත් කතා කරමින් රාත්‍රී 11.30 පමණ වන තුරුම අපි රැදී සිටියේ ඔවුන් සමගය. එහි සිටි බොහෝ දෙනෙකු පැමිණ සිටියේ ජපානය හා කොරියාවට වඩා පැය හත අටක් හෝ ඊටත් වැඩි පැය ගනනක් පිටුපසින් සිටින රට වලින් නිසා ඒ කිසිවෙකුට සාදය නිමා කිරීමේ උවමනාවක් හෝ  නිදිමතක් නොවීය. එහෙත් අප යායුතු බව මහාචාර්යවරයා පැවසූ පසු කොරියානු නියෝජිතයා අප වෙනුවෙන් කුලී රථ දෙකක් ගෙන්වන ලෙස  අවන්හල් හිමිකරුට පැවසීය. ඉන්පසුව ඔවුන්ගෙන් සමුගත් අප මිදුලේ නවතා තිබූ කුලී රථයකට නැගී එන්නට ආවෙ ජපන් ජාතික තවත් මහාචාර්ය වරයෙකු ඔහුගේ බංග්ලාදේශ ගෝලයා සමග අනෙක් රියට නගිද්දීය.




අප යායුතු තැන රියදුරුට දැනුම් දුන්නේ කවුරුන්ද යන්න මට මතක නැත. බොහෝවිට මේ රිය ගෙන්වන්නට ඇත්තේ ඒ තැන් දැනුම් දීමෙන් පසුවය. කොරියානුවන් වමින් රිය පැදවීමත්, පාරවල් මතක තබාගැනීමේ උවමනාවක් නොතිබි නිසාත් රිය ධාවනය වන්නේ කොයි දිශාවටද යන්න පිළිබදව මුලින් මට ඒ හැටි අවබෝධයක් නොවීය. තිබුණ තරමක් බීම ජාති වල රස බලා සිටි අනෙක් තිදෙනාටද එය එසේම වන්නට ඇත. අප ගමන් කරමින් සිටින්නේ යායුතු දිශාවට විරුද්ධ දිශාවට බව අපට අවබෝධ වුයේ Conference එක පැවැත්වූ "Jeju International Convention Center (ICC-JEJU)" එක පහුවන විටය. එවෙලෙහිම රිය නතර කරවාගත් අපි යායුතු දිශාව රියදුරුට දැනුම් දෙද්දී ඔහු මොකද්දෝ හයියෙන් කිව්වද අපට එය නොතේරුනි. බොහෝවිට එය නොසරුප් වදනක් විය යුතු බව  අනුමාන කළ හැකි වූයේ ඔහු එතැන් සිට අපි නතරව සිටි හෝටලය අසලට එනතුරුම (විනාඩි පහලොවකට වැඩි කාලයක්) නොනවත්වාම අපිට නොතේරෙන කොරියානු භාෂාවෙන් මොන මොනවාදෝ කියවමින් මට අර පරණ තායි ජාතික රියදුරා මතක් කරවමින් පැමිණි නිසාය.


පාර වැරදුන බව තේරුම් ගියේ මේ දිනපතා ආව ගිය මේ ගොඩනැඟිල්ල පසුවන විටය
කොරියාවත් ජපානයත් අතර බොහෝ සමානකම් තිබෙන බව දැන සිටි මා ඒ ජාතීන් දෙක අතර ඇති වෙනස්කම් බොහොමයක් හදුනා ගත්තේ මගේ කොරියානු මිත්‍රයන්ගේ ක්‍රියා කලාපයන් ජපනුන් සමග සසදමිනි. අහස උසට නැගි කොන්ක්‍රීට් ගොඩනැගිලි පිරි තෝක්යෝවේ සිට, සිහිල් සුළං හමන, ගහකොළ, දිය ඇළි වලින් හැඩ වැඩ වූ ජේජූ දූපතේදී මට මේ රටවල් දෙක අතර ඇති තවත් සමානකම් මෙන්ම වෙනස්කම්ද බොහොමයක් හදුනාගත හැකි විය. කුලී රථ රියදුරාද ඊට සහය වූවා මිස කොරියාව සහ කොරියානුවන් ගැන මහිතේ වූ විශේෂිත නොවූ හැඟීම ඉන් අඩු-වැඩි වුයේ නැත.

4. ජපානයේ, ඔදයිබා-2015 ඔක්තෝබර් 26

මාසයක කෙටි නිවාඩුවක් ලංකාවේ ගතකර, එතෙක් දිනක් මා සමග ජපානයේ සිටි සැමියා සහ පුතණුවන් ලංකාවේ සිටියදී මා යලි ජපානයට පා තැබුවේ පහුගිය ඔක්තෝබර් 26 උදේ අටට ආසන්න වෙලාවකය. නරීටා ගුවන් තොටුපලේ සිට මගේ අළුත් නවාතැන පිහිටි "ඔදයිබා" නම් තෝක්යෝ බොක්ක මැද වසර දෙතුන් සීයකට උඩදී ඉදිකල කෘතිම දූපතට පැමිණීමට මා භාවිතා කලේ බස් රථයක්ය. එය මගේ නවාතැන පෙනෙන මානයේ, මීටර් හත් අටසීයක දුරින් පිහිටි හෝටලයක් දක්වා ගමන් කරන නිසා, සූට් කේස් දෙකක්ද රැගෙන  දුම්රියක ගමන් කරනවාට වඩා බසයකින් පැමිණීම මට පහසු විය. Grand Pacific Le-Daiba හෝටලය ඉදිරියෙන් මා බසයෙන් බසින විට වෙලාව උදෑසන 10 ට ආසන්නය.
මා පැමිණි ගුවන් යානය කටුනායකින් පිටත් වූයේ පෙරදින සවස 7.20 ට පමණය. ගත පෙලූ විඩාවත්, සිත පෙලූ වේදනාව, පාළුව තනිකම ආදී අටෝරාශියක් හැඟීමුත් විසින් අඩපණව සිටි මා ඒ අසල තිබූ ටැක්සි රථ ගාල දෙස බලා අත එසවූයේ, ගුවනින් ගෙන ආ හැකි උපරිම බර වූ කිලෝ තිස් හතට වැඩි මිස අඩු නැති මගේ සූට්කේස් දෙක ඇදගෙන  පයින් ගමන් කිරීම එවෙලෙහි බොහෝ දුෂ්කර කාර්යක් ලෙස මට දැනුන නිසාය.
අවුරුදු හැටක් හෝ ඒ ආසන්න වයසක යැයි අනුමාන කළ හැකි වයසක සිටි, ටයි කෝට් පැළදි ප්‍රියමනාප පෙනුමකින් යුත් ටැක්සි රියදුරා මට පිටුපස දොර විවර කරදී රියෙන් බැස මගේ සූට් කේස් දෙක ඩිකියට පටවා ගත්තේය. ඉන්පසු රියට නැගුන ඔහු මගෙන් යායුතු ලිපිනය ඇසීය. මගේ නවාතැනත් මේ හෝටලයත් අතර වෙනත් කිසිදු ගොඩනැගිල්ලක් නැත. ඒ දෙක අතර තිබෙන්නේ උද්‍යානයක් සහ විශාල රථ ගාලකි. එනිසා යායුතු තැන අත දිගුකර පෙන්විය හැකි වුවත් ජපානයේ රියදුරන්ට GPS navigation නොමැතිව තමාගේ නිවසටමවත් යා හැකිදැයි නොදන්නා නිසා මා ඔහුට මගේ ලිපිනය බලා ගැනීමට, ජපන් අකුරින් එය මුද්‍රණය කර තිබූ Residence card පත දිගු කළෙමි. එහි මා පෙර නතරව සිටි තැන ලිපිනයත්, නව ලිපිනයත් යන දෙකම තිබුන නිසා මා ඔහුට ඇඟිල්ල තබා අදාල ලිපිනය පෙන්වූ පසු ඔහු එය  Navigation system එකට ඇතුල් කර ගමන පටන් ගත්තේය.
රියදුරුට ලබාදුන් ලිපින දෙකක් සහිත කාඩ්පතේ කොටසක්



මා සිතා සිටියේ හෝටලයේ සිට මගේ නවාතැනට කෙලින්ම යාහැකි බව වුවත් රිය හැරවූයේ මා බලාපොරොත්තු වූ දිශාවට විරුද්ද දෙසකටය.  අපි සිතන දිශාවටම මේ පාරවල්වල වාහන ධාවනය කළ නොහැකි බව දන්නා නිසා මා ඉවසිල්ලේ බලා සිටියෙමි.  වාහනය තව ටිකක් ඉදිරියට ගොස් දකුණට හැරවූ විට මගේ නවාතැන දෙසට යාහැකි වුවත් එය හැරවූයේ වමටය. මම වහාම ඔහුට මා යායුතු පෙදෙසෙ නම කියා සිටියෙමි. ඔහු හරි හරි කියා රිය ඉදිරියට ගනිද්දී මම පරිගණක තිරය දෙස බලා සිටියේ මොහු යන්නට හදන්නේ කුමන පාරකින්දැයි සිතාගත නොහැකිවය. මට සිතුනේ ඔහු මා රවටා වටයකින් අදාල තැනට රැගෙන ගොස් වැඩි මුදලක් ගන්නට උත්සහ කරන බවය. මුල් කිලෝමීටර දෙකට අයකරන ගාස්තුව යෙන් 730 කි. මා රියට නැඟුන තැන සිට යායුතු තැනට කිලෝමීටරයක දුරක්වත් නොතිබුනද දැන් මුල් කිලෝමීටර දෙක අවසන්ව මීටරයේ සටහන් ගනනද වෙනස් වෙමින් තිබේ. මා ඔහුට යලිත් වරක් මා යායුත්තේ "කොතෝ"  දෙසට බව පැවසීමි. එවෙලෙහිද ඔහු හරි හරි  කියා ගමනේ යෙදුනේය.
මට තරු පෙනෙන්නට පටන් ගත්තේ ඔහු "දේදුණු පාළම" ලෙසින් හදුන්වන, අප සිටින කෘතිම දූපතත්,  ප්‍රධාන දූපතත් යා කරමින් තෝක්යෝ බොක්ක හරහා ඉදිකර ඇති දීර්ග පාළමට රිය ඇතුල් කරන විටය. මා පෙර නතරව සිටි අපේ විශ්ව විද්‍යාලය දෙසට යායුත්තේ මේ පාළම පසු කරමිනි. එනිසා ඔහු මේ මා රැගෙන යන්නේ ඒ ලිපිනයට බව දැන් පැහැදිලිය. එනිසා මා ඔහුට යලිත් කතා කර මා යායුත්තේ ඒ දෙසට නොව, අනෙක් පසට බව යලිත් අර ලිපිනය සහිත කාඩ්පත පෙන්වා පැවසීමි. කාඩ්පත දෙස බැලූ ඔහුට වරද අවබෝධ වුවත් පාළම පසුකරන තුරු රිය හරවා ගත හැකි තැනක් නොවීය. ඔහු ඔහුට වරදක් සිදු වූ බවත්, ඊට සමා වන ලෙසත් කිහිප සැරයක්ම පවසා පාළම අවසන් වූ පසු අතුරු පාරකට කර රිය නවතා මගේ කාඩ්පතේ වූ අනෙක් ලිපිනය ඇතුල් කරගත්තේය. දිර්ග පාළමක් වූ දේදුනු පාළම පසුකර ඔහු රිය නතර කරන විට, ගාස්තුව ලෙස   යෙන් දෙදහසකට ආසන්න මුදලක් මීටරයේ සටහන්ව තිබුණි. 


මේ රථගාලට පිටුපසින් පෙනෙන උස් ගොඩනැඟිල්ල Grand Pacific Le-Daiba.ඈතින් ආරුක්කුවක් මෙන් පෙනෙන්නේ දේදුණු පාළමයි (ජායාරූපය මගේ නවාතැනේ සිට )
සිදු වූ වරදට ඔහුත් මාත් දෙදෙනාම සම සමව වග කිවයුතු නිසා මට හිතුනේ ඔහු දැන් මීටරය නතර කර මේ වනවිට එහි සටහන් මිළ පමණක් මගෙන් අයකල යුතු බවය. මගේ සිතුවිල්ල එසේ වුවත් ඔහු පුරුදු පරිදි රිය ධාවනයේ යෙදෙද්දී එහි මිළ ක්‍රමයෙන් ඉහළ ගොස් මා බැසිය යුතු ස්ථානයට එනවිට එය හාරදාසකට ආසන්න වූ බව මට මතකය. කිසිවක් සිදු නොවූ පරිදි මට බහින්නට ඔහු ස්වයංක්‍රීයව දොර විවර කළද මා බහින්නට ඉක්මන් නොවීමි. ජපානයේ සාමාන්‍යයෙන් මුදල් අතට දීම හෝ ගැනීම නොකරයි. වෙළද සැලක වුවත්, බැංකුවක් හෝ වෙනත් ආයතනයක වුවත් මුදල් තැබීමට කුඩා Tay එකක් භාවිතා කරයි. ඉතිරි මුදල් ලබා දෙන්නේද ඒ Tray එක හරහාය.
Cash tray
ටැක්සි වලදීද එහි වෙනසක් නැති නිසා ඔහු දොර ඇරියද මා නොබැස බලා සිටියේ ඔහු රිසිට්පත සමග Tray එක මට ඉදිරිපත් නොකළ නිසාය. එහෙත් ඔහු මා රිය තුල සිටියදීම ඉන් බැසවිත් මගේ සූට්කේස් දෙක ගෙන බිම තැබූ නිසා මා රියෙන් බැස්සේ ඔහු දෙසට යෙන් පන්දහසේ නෝට්ටුවක් දිගු කරමිනි. අත සමගම හිසද දෙපසට සොලවමින් මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළ ඔහු නැවත වරක් සිදු වූ වරදටත්, ඒ නිසා වැය වූ කාලයටත් මගෙන් සමාව ඇයදීය. ජපානයේදී බොහෝවිට කෙනෙකු යමක් කතා කිරීමට හෝ විස්තර කිරීමට හෝ වෙනත් කටයුත්තකට කතා කිරීමේදී පවා ඊට ගතවන කාලය ගැන ගැටළුවක් ඇත්ද යන්න විමසයි. මේ රියදුරුද මගෙන් කිහිප වරක්ම කාලය ගැටළුවක්ද යන්න විමසීය. විනාඩි පහක ගමනට අඩ හෝරාවකට වඩා ගත වි තිබුණත් මා ඔහුට එය ගැටළුවක් නොවන බව පැවසූ පසු ඔහු මට සුබ දවසක් ප්‍රාර්ථනා කර නික්ම ගියේ ජපනුන් කෙරේ මගේ හිත තුල වූ පැහැදීම තව තවත් වැඩි කරවමිනි.

42 comments:

  1. පෝස්ටුව අවසානයේ ඔබේ වගේම මගේ හිතත් ජපන් ජාතිකයින් පිළිබඳව බොහෝ පැහැදුනා. ලෝකේ කොතැනක උන්නත් මිනිසුන්ට ආවේණික පොදු ලක්‍ෂණ මිනිසුන් තුල අඩු වැඩි වශයෙන් තිබෙනවා...නමුත් එක් එක් ජාතීන්ට ආවේණික වූ ගති ලක්‍ෂණ වශයෙන් හඳුනා ගැනීමේ හැකියාවක් ඇති ජාතින් අතර ජපන් ජාතිකයින් ප්‍රධානයි කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි
      ඇත්තටම මං මෙතන ලිව්වෙ එක ටැක්සි කතාවයි. තව මීට වෙනස් නමුත් ජපනුන්ගෙ අපූරු ඇවතුම් පැවතුම් ගැන දැනෙන ටැක්සි කතා කීපයක් තියෙනවා. ඒ ඔක්කොම ලිව්වොත් පෝස්ට් එක බෝරිං වෙන නිසා මේක විතරක් තෝරාගත්තෙ ලංකාවෙ සිද්ධිය ඇරෙන්න අනෙක් තුනමත් පාරවල් වැරදීම නිසා.

      //නමුත් එක් එක් ජාතීන්ට ආවේණික වූ ගති ලක්‍ෂණ වශයෙන් හඳුනා ගැනීමේ හැකියාවක් ඇති ජාතින් අතර ජපන් ජාතිකයින් ප්‍රධානයි කියලයි මට නම් හිතෙන්නේ//
      මටත් එහෙමමයි හිතෙන්නෙ

      Delete
  2. ටැක්සි හතර ගැන විස්තර ඉතා ආකර්ශනීයයි. මාතර ටැක්සිය එක්කම ලියල තිබෙන වර්ජනය ගැන නම් මගේ තවම තිබෙන්නේ බොහොම නොමනාපයක්. එය FUTA එක විසින් මම දන්නා ඉතිහාසයේ දී සිදුකල අප්‍රසන්නම සිදුවීමක් ලෙසයි මම පුද්ගලිකව එය දකින්නේ. (මම කිසිවෙකුට පුද්ගලිකව එය එල්ල නොකරමි) එය නැවත සිදුවිය නොයුතු දෙයක් ලෙසයි මම හිතන්නේ.

    ජපානය සහ තායිලන්තය ගැන එකට ලියල තිබෙන නිසා මෙටිකත් මට මතක් වුනා. 2016 මැයි 18 ජපානයේ පැවැත්වුන ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරඟයේදී ජපන් තාක්ෂණික කමිටුව තායිලන්තයට කල අසාධාරණය ගැන නම් මගේ කිසිම මනාපයක් නෑ. ඊට තනිකරම වගකිවයුත්තේ තාක්ෂණික කමිටුව බවයි මගේ සිතිවිල්ල. ලෝකේ ජපන් තාක්ෂනය ගැන විශ්වාසය වගේම ඔවුන්ගේ ක්ෂණිකව ක්‍රියාකාරී වීම හා අවංක බව ගැන විශ්වාසය බොහොම තදින් බිඳවැටුණු බවයි මම හිතන්නේ. එය ඉතා කණගාටුදායකයි. එතැනදිත් ඔබ කලින් ලියල තිබුන වගේ, ඔවුන් හැම තිස්සෙම කියන Rule is a rule වගේ විහිලු සහගත කතාවක් තමයි ඔවුන් කියා තිබෙන්නේ.

    Rule is a rule යනු ඔවුන් ඇඟ බේරා ගැනීමට කියන කතාවක් බවයි මම හිතන්නේ. අපේ රටේ වගේම මොලය සහ බලය අවශ්‍ය පමණට පාවිච්චිකරමින් සාමාන්‍ය අවස්ථාවකදී එයින් රිංගා යා හැකි අයත් නැතුව නොවෙයි.

    ReplyDelete
    Replies
    1. //ටැක්සි හතර ගැන විස්තර ඉතා ආකර්ශනීයයි// අන්න ඒ වචන ටිකට බොහොම ස්තූතියි! කෙන්නියුෂා. මම මේ වගේ මගේ අත්දැකීමකට ලියලා තියෙන්නෙ Prof. ගංගානාත් ගැන ලියපු එක විතරයිනෙ. අනෙක්වා කෙටි කතා සහ මේ රටේ විස්තර. ඒ නිසා මේක ලිව්වට මට පෝස්ට් කරන්නත් බෑ හිතිලා හිටියෙ කියවන්න බෝරිං වෙයි කියලා.

      FUTA කතාව ගැන අපි දෙන්නා මෙතන කතා නොකර ඉමු. පරිපූර්ණ වෘත්තියකයො කොහොවත් නැති තරම්නෙ. එතන කතා ගොඩයි, ප්‍රශ්ණ ගොඩයි. නමුත් ඉදිරියේදී කිසිවිටක එවැන්නක් ආයෙ නොවෙන බව මම විශ්වාස කරනවා.
      ඔයා ලියලා තියෙන ඔය ඔලිම්පික් කතාව ගැන මං මෙලෝ සංසාරයක් දන්නෑ.

      Rule is a rule.....ඇඟ බේරාගන්න කියන කතාවක්ද කියලා මට හරියට තේරෙන්නෙ නෑ. ඒත් ඒවා එහෙම පවතින්නෙ කවුරුත් ඒවා වෙනස් කරන්න උත්සහ නොකරන නිසා කියලා මං අත්දැකීමෙන් දන්නවා. මොකද මං තුන් වතාවක් දිනලා තියෙනවා.

      අනෙක එයාලා Full systematic. සමහර දේවල් දිහා ප්‍රායෝගිකව බලන්නෑ. අපේ University International house එකෙනුත් අයින් වෙන්න තියෙන්නෙ සැප්තැම්බර්/මාර්තු 25 හැම අවුරුද්දෙම. ඒත් සමහර අවුරුදු වල Graduation 25 න් පස්සෙ. ඒ ගැන සෙන්සෙලා හරිනම් කතා කරන්න එපැයි. එක්කො ඒ අවුරුද්දෙ Graduate වෙන අයට විතරක් ඒ දවස වෙනකල්වත් කල් දෙන්න එපැයි.

      මං අර කලින් පෝස්ට් එකේ කියපු ප්‍රංශ ගමනෙදි, ආපහු එනකොට මගේ බෝඩිං පාස් එකේ බා කෝඩ් එක රීඩ් කරේ නෑ හරියට පැරීසියේදි. එයාලා ඒක මොකද්ද කරලා මට එන්න දුන්නා. මෙහෙ ආවාට පස්සෙ සෙන්සෙ මට කියනවා යුනිවර්සිටි ඔෆිස් එකෙන් කියනවලු මං බෝඩිං වෙලා නෑ කියලා. ඉතිං මං කිව්වා, බෝඩිං වෙලා හරි නැතුව හරි මං දැන් ඇවිත්නෙ. බෝඩ්ං පාස් එක ඕනි අපි ගමන ගියා කියලා කන්ෆර්ම් කරන්නනෙ. ඔන්න යද්දි එහෙම එකක් උනානම් මං නොගිහින් කියන්නවත් පුළුවන්

      Delete
    2. ඒ කතාව ගැන ඔබේ සීමාවට මම ගරු කරනවා. ඔබේ බ්ලොගයේ එය මතු කිරීම ගැන සමාවෙන්න.

      Delete
    3. ඒක සමාව භාජනේකට දාන්න තරම් දෙයක් නෙවෙයි කෙන්කියුෂා. මම ඒ ගැන සදහන් කළ නිසානෙ ඔබ ඒ ගැන ඔබේ අදහස කිව්වෙත්. ඒ නිසා ඒක ගැටළුවක් නෙවෙයි.

      Delete
  3. හරිම ලස්සනට ජපන් ජාතිකයන්ගේ විශේෂත්වය ලියල තියනවා. මටත් මේ හැගීම දැනුන අවස්ථා වචනයෙන් කියන්න බැරිතරම්. දවසක් මම සම්මන්ත්‍රණයකට ඔස්ට්‍රලියාවට ගිහින් සින්ගප්පොරුව හරහා එද්දී රටවල් තුනක ගුවන් තොටුපල තුනක වෙනස් කම් මේ ලෙසින්ම අත්වින්දා. එදා නම් මට නරිටා ගුවන් තුටුපලේදී කදුළු සැලුනේ තම ගෙදරට ආපසු දැනෙන හැගීම ගුවන්තුටුපලේදීම දනවන්නට ජපන් ජාතිකයන් සමත්වීම නිසාත් ජපානයෙන් යන්න වෙන දවසක් ඇති බව මතක් වීම නිසාත්.. ජපානයත් එහි වැසියනුත් පරිසර සුන්දරත්වයත් අපේ ජීවිතයටම බැඳිලා වගේ දැන්. ඇත්තටම ජපන් ජාතිකයන් සුවිශේසයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නිරෝ. ඔයාගෙ ඔය අත්දැකීමත් ලියන්නකො. මේ රටේ දිගටම ඉන්නවා නම් ඒ වෙනස්කම් ලොකුවට දැනෙන එකකුත් නෑ. ආපහු යන්න ඕනි නිසාම තමයි ඒවා දැනෙනෙ

      මේ ලොකු අපිට විතරක් නෙවෙයි පුංචි උන්ටත් දැනෙනවා වෙනස. මං එන්න කලින් අපි තුන්දෙනාම ගියානෙ ඉසුරුපායට සෙනූට ඉස්කෝලයක් ඉල්ලන්න. බස් එකේ ගියෙ. ඔන්න කොන්දොස්තර කෑ ගහනවා "ඉසුරුපාය බහින අය ඉස්සරහට යන්න" කියලා. අපි ඉතිං පුතාවත් අල්ලගෙන ඉස්සරහට යනවා. දන්නවනෙ අපේ මෑන්ගෙ කට. "බලන්ඩකො අප්ප්පච්චි...ජපානෙනම් කියන්නෙ බස් එක නතර කරනකල් පරිස්සමින් ඉදගෙන ඉන්න කියලනෙ......මෙහෙ කියන්නෙ ඉස්සරහට එන්ඩ කියලනෙ" කිව්වා.
      ඕක බස් එකේ කාටවත් ගානක් නෑ....ජපානෙ ටික කිව්වෙ ජැපනීස් වලින්. ඒ නිසා. ඒ උනාට දවසක් ගන්දර-මාතර බස් එකක නැගලා "මේ අංකල් හෝන් ගහනවා විතරනෙ...යන්නෙ නෑනෙ" කිව්වා. එදානම් ගුටි නොකා ආවෙ යන්තමට.
      දැන් ඒ ප්‍රශ්ණ ඉවරයි.

      Delete
  4. ඒ අතිං අපේ ටැක්සි හරිම ග්‍රේට්.. මාතර ගුණසේන එකක් තියේද?? සරසවි එකක් නං ළගදි ඕපන් කළාය කියල දන්නවා.

    සඳේගේ වියමන් ඇත්තටම කියවන්න ආසයි. ඒ තරම් ලස්සනට තියෙනවා.. ජය

    ReplyDelete
    Replies
    1. ඔහේ මාතරට යන්නැතුව වැලිගමටම වෙලා ඉන්නවැයි... හැක්.

      Delete
    2. මෙන්න දේශා ඔයාගෙ වයිෆ් ද කොහෙද ඇවිත් කෑ ගහනවා. පොඩ්ඩක් බලන්ඩෝ

      Delete
    3. //ඒ අතිං අපේ ටැක්සි හරිම ග්‍රේට්//අන්න ඒකනෙ දේශා කියන්නෙ. ඔන්න අපි ටැක්සියට නැගලා "කමලාවතීගෙ ගෙදරට" කිව්වත් ගිහින් බස්සන්න දන්නවා. ඕනිනම් තව ඒ පැත්තෙ ඉන්න ඔක්කොම කමලාවතීලගෙ විස්තර ටිකත් කියලා මොන කමලාවතීගෙ ගෙදරටද යන්ඩ ඕනි කියලත් අහන්න දන්නවා.

      මං විහිළුවට නෙවෙයි කියන්නෙ, එහෙම කියන ඕනි තැනකට යන්න පුළුවන් අපේ රියදුරු මහතුන්ගේ විශිෂ්ඨ සේවය මතක් වෙන වෙලාවල් ඕනි තරම් එනවා. මෙයාලට GPS නැතුව ගෙදරටවත් යාගන්ඩ බැරිද කොහෙද.

      //මාතර ගුණසේන එකක් තියේද?? // මෙන්න මේකට නං මට අර FB එකේ "අපි මාතර" කියලා බෝඩ් ගහන් ඉන්න පොඩි එව්වො ටිකක් එවන්න හිතෙනවා දේශගෙ ඔළුව අතගාලා යන්න. මොන තරම් අපහාසාත්මක ප්‍රශ්ණයක්ද ඒ ඇහුවෙ. අවුරුදු දොළහකට විතර කලිනුත් ගුණසේන එක මාතර තිබ්බා මට මතකයි.
      අලුත් සරසවියක් දැම්මද කියලා මං දන්නෑ. හැබැයි දැන් අවුරුදු 15 කටත් වඩා කාලයක් මාතර "සරසවි" බුක් ෂොප් එකක් තිබ්බා පරණ ගාළු පාරෙ.

      //සඳේගේ වියමන් ඇත්තටම කියවන්න ආසයි. ඒ තරම් ලස්සනට තියෙනවා// අපෙ අම්මා ඉස්සර කොච්චරවත් කියනවා මුරුංගා ගස්වල නඟින්න එපා අතු හයිය නෑ කියලා. ඒ උනාට අපිට ඕනි උනාම අපි නැංඟා.
      ස්තූතියි! දේශො

      Delete
  5. ඉමා ඉසොගෂීයො, හැන්දෑවෙ එන්නම් කියවන්න
    - ජපන් ඇනෝ

    ReplyDelete
  6. ඔය කාඩ්ඩෙකේ අලුත් ඇඩ්‍රස් එක තියෙන්නෙ පස්ස පැත්තෙනෙ. ඒක හරියට පෙන්නුවෙ නැති එකේ වැරැද්ද සඳාගේ පව් ටැක්සි කාරය.
    ඒක නෙවි වෙන රටවල දයිකෝ ටැක්සි (තමන්ගෙ කා එකේ ගිහින් බිව්වොත් ගෙදර එන ටැක්සිය, ඩ්‍රැයිවර්ල දෙන්නෙක් ඉන්නවා) තියෙනවද.
    - ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඒ කාඩ් එක අපිට ලැබුනො නරීටා වලින් එනකොට. ඒ නිසා ඒකෙ Address එක තිබ්බෙ පිටිපස්සෙ. වෝඩ් ඔෆිස් එකෙන්නෙ ඒක ගහන්නෙ. ඔයා එහෙම කියපු නිසාම ඔන්න මං ඒකෙ ෆොටෝ එකක් දැම්මා බලාගන්න.

      ඇත්තටම මං ඒ වෙලාවෙ ඒ ඔල්මොරොන්දන් වැඩේ නොකර ඉන්ෂුරන්ස් කාඩ් එක දුන්නා නම් හරි. ඒකෙ තියෙන්නෙ අලුත් Address විතරයි. ඒ වෙලාවෙ ඕවා හිතෙනවද?. අර ගාන වැඩි වෙවී යනකොට තමා මට ඔය ඔක්කොමයි...අපරාදෙ පයින් ගියානම් කියලයි හිතුනෙ.

      මේ ටැක්සි කතාවෙදි විතරක් නෙවෙයි අනෙක් හැම තැනදිම වැරැද්ද අපි අතේ තමයි. තායිලන්තෙදිත් මට හිතෙන හැටියට ඒ වෑන් එකට නගින්න කලින් එක්කෝ කියන්න ඇති තමසාට් පැත්තට යන්නෙ නෑ කියලා. නැත්නම් බෝඩ් එකක් හරි තියෙන්න ඇති. උනේ මොකක්ද කියලා හරියට දන්නෙ ඩ්‍රයිවර් මහත්තයාම තමයි.

      Delete
  7. 1993 දි AIT එකේ ඉඳල බැන්කොක් සිටි එකට බාට් 12 යි AC බස් එකේ, බාට් 6යි AC නැති බස් එකේ. බාට් එකක් රු. 2ක් ඒ කාලෙ.
    AIT එක ඉස්සරහ හරියෙ හයිවේ එක තවම හදනවා. රංසිට් වලට විතරයි හයිවේ තිබුණේ.
    AIT ඉස්සරහින් අංක 29 බස් එකේ නැග්ගහම බැන්කොක් රේල්වේ ස්ටේෂන් එක ළඟට පැය දෙකක් විතර යනවා.
    ඒ කාලෙ බැන්කොක් වල තිබුණෙ ලෝකයෙම වර්ස්ට් ට්‍රැෆික් කියලයි කිව්වෙ.
    ඊට පස්සෙයි ඔය මොනො රේල් ලයින් එක හැදුවෙ.
    - ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිත්‍රයා...ඔයා AIT හිටියා කියලා අහන්න ලැබීම ලොකු සතුටක්.

      අංක 29 කහ පාට බස් එක ඒ කාලෙත් බැංකොක් ගියා. අපි ඒකෙ ගිහින්ම නෑ වෑන් වැඩේ ලේසි නිසා. ඒ බස් එකේ ඒ කාලෙ ෆියුචර් පාක් ළඟට බාට් 18 ක් වගේ ගත්තා කියලා තමයි මතක. අපි යනකොට බාට් එකක් රුපියල් 3.50 වගේ.
      දැන් කියා බැංකොක් ට්‍රැෆික් ඒ හැටි වෙනස් නැතුව ඇති.

      Delete
    2. අපේ කාලේ ස්ටුඩන්ට් යුනියන් එකෙන් සෙනසුරාදා ඉරිදා උදේට බස් සේවාවක් තිබුණි. අංක 39 සහ 29 මට මතකයි.

      Delete
    3. ඔන්න තවත් AITian කෙනෙක් මුණ ගැහුනා.
      29 ( yellow) දැනුත් බැන්කොක් යනවා AIT ඉස්සරහින්. 38 (orange) ත් බැන්කොක් යනවා හැබැයි ඒ තලත්තායි පැත්තටත් ගිහින්. ඔය බස් දෙකම toll way පාවිච්චි නොකරන නිසා සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා අර වෑන් ලේසියි. ඔය බස් වෑන් ඔක්කොම දිනපතා තිබ්බා. ඔක්කොම පටන් ගත්තෙ තමසාට් වල එහා කෙලවරින්. වෑන් අපේ AC බස් වගේ, සෙනග පිරුණ හැටියෙ යනවා. ඒ නිසා ඒ ගමන පහසුයි.

      Delete
  8. පටන් ගත්තෙ මගක් කියවද්දී කම්මැලි වේවිද කියන සිතුවිල්ලෙන් උනත් කිසිම අපහසුවක් නැතිව දිගටම කියෙව්වා වගේම රස වින්දා.හොඳට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ වෙනදට මම ලියපුවා කියවනකොට එහෙම වෙලා තියෙනවා.
      ස්තූතියි! හැලපෙ

      Delete
  9. හ්ම්............බලනකොට කොයි රටෙත් පැණිරස, ඇඹුල් රස, තිත්ත රස, ඔක්කොම තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ........සමහරවිට දැනෙන්නෙ එකක් දෙකක් උනාට හැම රටකම ඔය හැම රහක්ම තියෙනවා.කොහෙත් ඉන්නෙ මිනිස්සුනෙ

      Delete
  10. කොහොමද රටවල් 4 ක වෙනස.. ජපනුන් කෙරේ තිබුණු පැහැඳීම අක්කට වගේම පෝස්ටුව කියව්වම මටත් ඇති උනා...

    ReplyDelete
    Replies
    1. කොහොමද වෙනස?

      මගේ අත්දැකීමට විරුද්ධ අත්දැකීම් තියෙන අයත් ඉන්න පුළුවන්. මම තව ටැක්සි කතා කීපයක් තිබ්බත් ඔක්කොම ලිව්වෙ නැත්තෙ බෝරිං වෙන නිසා. ඒවත් ලිව්වනම් තව හොදට වෙනස බලන්න තිබ්බා

      Delete
    2. ඒ ටිකත් ලියන්නයි තියෙන්නෙ.

      Delete
    3. මට මේ ලියලා තියෙන ටිකත් දිග වැඩියි වගේ. ඒ උනාට මේක මං අපේක්ෂා කරපු ප්‍රමාණය වගේ තුන් හතර ගුණයක් කියවලා මේ වෙනකොටත්

      Delete
  11. හැම රටකම නරක වගේම හොද මිනිස්සුත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත්, හැම රටකම අඩු-වැඩි වශයෙන් ඔය දෙගොල්ලොමයි, තව ඔය දෙක අතරෙ අයයිත් ඉන්නවා. මොන රට ගත්තත් ඒවයෙ ඉන්නෙ " මිනිස්සු" කියන සුවිශේෂි ජීවීන් කොටසනෙ.

      සමහරවිට අපිට මුණගැහෙන්නෙ ඒ රටේ ඉන්නෙ හොදම අය හෝ නරකම අය විතරක් වෙන්න පුළුවන්.

      Delete
  12. අපිට තියෙන්නේ "උඩරට,පහතරට,රජරට" වගේ රටවල් වල අත්දැකීම් තමයි හිටං.

    මේ පසුගිය පහළොස්වැනි ඉරිදා මම වෙන්න භාර්යාව එක්ක රත්මලානේ යහළුවෙකුගේ නිවසේ සිට රත්මලානේ නිම් ඇඳුම් ප්‍රදර්ශණාගරයකට ත්‍රීරෝද රථයකින් පැමිණියා.ඇත්තටම එහෙම ත්‍රීරෝද රථයක එන්න තරම් දුරක් නොතිබුනත් අපි එදා ත්‍රීරෝද රථයකට ගොඩ වුනේ පැවති අධික වර්ෂාව නිසායි.අපේ ගමනන්තයට තිබු මුළු දුර මීටර් 500 හෝ 600.සාමාන්‍ය විදියට මේ ත්‍රීරෝද රථයක අවම ගාස්තුව වෙන්නේ රුපියල් 50.මුල් කිලෝමිටරයෙන් පස්සේ තමයි එය වෙනස් වෙන්නේ.නමුත් එදා මේ ත්‍රීරෝද රථ රියදුරා අර මාතරදී අක්කා ගිය ත්‍රීරෝද රථ රියදුරා මෙන් මගෙන් අසාධාරණ විදියට රුපියල් සීයක් ඉල්ලා සිටියා.ඔහුට රුපියල් සීයක් දීම ගැටළුවක් නොවුනත් ඔහුගේ ගාස්තුව අසාධාරණ බව මා පවසා සිටියා.මම බොහෝම කාරුණිකව ඔහුට කිව්වා "මේ මුදල සාධාරණ දැයි තමන්ගෙන්ම විමසා බලන ලෙස.ඔහුගේ උත්තරය වුනේත් "ඔයා එහෙනම් ගාණ කතා කරලා නගින්න තිබ්බා"යන්නයි.ඔහුට ප්‍රති උත්තරයක් මට දෙන්න බැරි වුනේ ඒ වෙලේ තිබ්බ අධික වැස්ස නිසාත් අනෙක් පසින් මගේ වෙන්න භාර්යාව ඇවටිලි කරමින් ගැටුමක් ඇති කර නොගන්නයි පැවසීමත් හේතුවෙන්.

    මම හිතන්නේ ඔහුගේ ගාස්තුව ඒ විදියට දෙගුණ වුනේ පැවති වර්ෂාව නිසාත්,අපි යුවළක් වශයෙන් ත්‍රීරෝද රථයට ගොඩ වූ නිසාත් වෙන්න ඇති.නමුත් ඕනෑ තරම් සාදාරණ ලෙස ගාස්තු අය කරන ත්‍රීරෝද රථ රියදුරන්ද සිටින බව කිව යුතුමයි.

    ReplyDelete
    Replies
    1. තාම ඔය වෙන්න කෑල්ල හැලුනෙ නැද්ද මල්ලි?. මම හිතා හිටියෙ මැයි මාසෙ කඩෙන්වත් කේක් කෑල්ලක් ගෙනත් කන්න පුළුවන් වෙයි කියලා.

      බොහොම හොද ටැක්සි රියදුරෝ අපේ රටේ ඕනි තරම් ඉන්නවා. ඉස්සර අපේ ගෙදර උදව්වට හිටිය ගෑණු කෙනා පොළොන්නරු යන්න යන්නෙ පාන්දර තුනට විතර. පුතා නිදි නිසයි මම බය නිසයි ඒ වගේ වෙලාවට මට එයාව ගිහින් දාන්න බැරි නිසා මම දන්න ත්‍රී විල් මල්ලි කෙනෙකුට තමයි එයාව බස් එකට දාන්න කියන්නෙ. එයා ඒ පාන්දර ගමනටත් ගන්නෙ වෙන වෙලාවට ගන්න ගානමයි.

      ඔයාගෙන්නම් වැස්ස නිසා වැඩියෙන් ගත්තා කියන්න පුළුවන්. අර අසරණ මගෙන්. මට ඒ ගැන වාද කරන්න බය හිතුනා. ජපානෙ රියදුරා යෙන් හාරදාහ ගත්තනම් කොහොමද ?..., අර පේන දුරකට එච්චර ගෙවන්න උනානම්

      Delete
    2. ඒ වෙන්න කෑල්ල හැලෙන්න තව සති දෙකක් තියෙනවා.ඔන්න ඉන් පස්සේ අක්කාට පුළුවන් කඩෙන් කේක් ගෙනත් කන්න හිටං....:)

      Delete
    3. ශ්‍රී සුබ මංගලම්!. මල්ලි සහ නංගි.

      ඔය කියන දවස වෙනකොට මං මෙහෙ නෑ. ඒක හොදයි. ජපනුන්ට තෙල්, මිරිස්, ලුණු විතරක් නෙවෙයි සීනිත් ඇලජික් නිසා මෙහෙ කේක් පැණිරස නෑ. (මගේ හස්බන්ඩ් කියන්නෙ මේවා නිකන් උඩපුස්සැල්ලාවෙ පාන් වගේ කියලා).

      මං යන දිහාවෙන් හොද කේක් කෑල්ලක් කාලා, තව ඔය වෙඩිං කේක් වලට දාන ජාතිත් වෙන වෙනම කාලා වයින් ටිකක් බොන්නම්. එතකොට මනෝජ් මල්ලිගෙ වෙඩිං කේක් කෑල්ලක් කෑවා වගේ තියෙයිනෙ (එක දේශපාලකයෙක් මැරුණා කියලා ආරංචියට මනුස්සයෙක් කියලා තියෙනවා සන්තෝසෙට කැවුම් හදනකල් ඉන්න බෑ, හාලුයි සීනියි කාල පොල්තෙල් ටිකක් බොන්න ඕනි කියලා).

      ඔයාගෙ මේ හිටං කෑල්ල අනුකරණයක්ද? නැත්නම් පුරුද්දක්ද?

      Delete
    4. බොහොමත්ම ස්තූතියි අක්කේ.

      තෙල්, මිරිස්, ලුණු නැතුව කොහොමද අප්පා කෑම කන්නේ.චීන්නුනම් හොඳට ඔය තෙල්, මිරිස්, ලුණු දාපු කෑම කනවානේ.මොකද ලංකාවේ තියෙන චයිනිස් කඩවල කෑමට ඔය ජාති යහමින් දාලා තියෙනවානේ.ඒ කියන දවස්වලට අක්කා ඉන්නේ ලංකාවේ නෙමේ වෙන්න ඇතිනේ.කමක් නැහැ කොතැන හිටියත් ඔන්න සඳමාලි අක්කාට හිතේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ.උඩපුස්සැල්ලාවෙ පාන් වෙනුවට හොඳ රස කේක් කෑල්ලක් කන්නකෝ එහෙනම්.

      වයින් ටිකක් බිව්වත් ඔන්න කේක් වලට දානවායි කියලා බ්‍රෑන්ඩි එහෙම බොන්න එපා හොඳේ.අක්කාගේ හස්බන්ඩ්ගෙන් එහෙම වුනොත් අපිටත් බැනුම් අහන්න වෙයි.

      මේ හිටං කෑල්ල අනුකරණයක් අක්කේ.ඔයා දන්නවා ඇතිනේ මේකේ මුලාරම්භය.ඇත්තටම මම එක එහෙම කියන එක සුදුසු නැහැ.මොකද අනියමාර්ථයෙන් මම එතන මතු කරන්නේ සියුම් උපහාසයක්.මම හිතනවා එක නොකියා ඉන්න එක හොඳයි කියලා.

      Delete
    5. ලුණු, මිරිස්, තෙල් නැතුව කන්නෙ කොහොමද කියලා ඔයා ඔය අහන ප්‍රශ්ණෙ අවුරුදු ගානකට උඩදි මටත් තිබ්බා.එහෙම හිතෙන එක හරි. ඒත් එහෙම කන්න පුරුදු වුණ කෙනෙකුට හිතෙන්නෙ, අර හැටි ලුණු, මිරිස් තෙල් කන්නෙ කොහොමද කියලා. ලස්සන-කැත, හොඳ-නරක වගේම රසත් සාපේක්ෂයිනෙ මල්ලි.

      චීන්නුයි කොරියානුවොයි ඇති පදම් මිරිස් කනවා. මට කොරියාවෙදි තරු පෙනුනා සැර කෑම එකක් කන්න ඕනි කියලා. අපිත් දැන් ඔය කියන ජාති නැතුව කන්න පුරුදු වෙලා නිසා මට දැන්නම් ඒක කොහෙත්ම දැනෙන්නෙ නෑ.
      සීනි, කිරිපිටි නැතිව තේ එකක් කොච්චර රහද, ගොරකා ගම්මිරිස් නැතුව මාළු මොන රහද කියලා මාත් අදුරා ගත්තෙ මෙහෙ ආවට පස්සෙ. මාළු නම් මම දැනුත් හිතුනම අපේ රහට හදලා කනවා. ඒත් ආයෙත් සීනි වලින් කහට කෝප්පෙක රහ නැතිකරගන්න නම් අදහසක් නෑ.ජපානෙන් ඉගෙන ගත්තු එක හොද පුරුද්දක් තමයි ඒ.

      හිටං කතාව මං ඇහුවෙ ඉස්සර අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුත් හිටියා හැම වාක්‍යකම අගට ඒක දාන. අපි කියන්නෙ හිටං කියලා. ඔයා ඕක පටන්ගත්තෙ පහුගිය ජනවාරියෙන්ද, නැත්නම් ඊට කලින් ඉදන් තිබ්බද කියලා මතක නැති නිසයි ඇහුවෙ
      ඔයා අර විස්කි බ්‍රැන්ඩි ගැන වද වෙන්න එපා. අයියගෙ අකමැත්තක් නෑ මං ඒවා බිව්වත්, ඒත් වැඩේ තියෙන්නෙ මට වයින් ටිකක්වත් බීගන්න බැරි එකයි. අපේ සෙන්සෙ හරියට වද වෙනවා ඒ ගැන.

      Delete
    6. තිලිණීJune 27, 2016 at 11:57 AM

      හම්බවෙච්ච දෙන්කෝ අතපත්තු අයියා, ජපානේ ඉන්නකොට කෑවේ උඩපුස්සැල්ලාවේ පාන් විතරමද කියලා අහන්න ඕනේ

      Delete
    7. තිලිණීJune 27, 2016 at 11:58 AM

      කතාවනම් හැමදාම වගේ සුපිරි අක්කේ

      Delete
    8. රස වින්දාට ස්තූතියි! නංගි

      ජපානෙ ඉන්නකොට සල්ලි දීලා අරන් කෑවෙ උඩපුස්සැල්ලාවෙ පාන් වගේ කේක් විතරයි කියලා ඒක නිවරදි වෙන්න ඕනි. Test Rabbits විදිහට නම් ඔය රස රස කේක් ජාති පුඩිං ජාති කෑවා.

      Delete
  13. Lasantha SenavirathnaJune 24, 2016 at 3:24 AM

    Podi Akke, oyage katawa matakadi mama kiyawapu hodama sansandanatmaka tiru lipiyai....digatama liyanna....i like and love your writing pattern. oya japanaya gana liyana dewal dakala dan nam matath ohe enna hitila tiyenne...

    ReplyDelete
  14. ඉස්කෝතුයි චුට්ටො.

    ඔයාලා වගේ අය මෙහෙට එකපාරක් හරි එන්නම ඕනි. හැබැයි ඉන්න නෙවෙයි ඉගෙනගෙන ආපහු යන්න

    ReplyDelete
  15. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete