Monday, November 12, 2018

තාරා (නවකතාව )....19 කොටස



පළවෙනි කොටස මෙතනින් 

දහ අටවන කොටස මෙතනින් 


බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුමට පෙර නැවතුමේදී ඔහු බසයෙන් බැස ගියේ තවත් වරක් මා දෙස බලා සිනාසී අත වැනීමෙන් පසුය. ඔහු උකුල මත තබා ගිය ආගන්තුක පත්‍රය මා අතට ගත්තේ ඉන්පසුය. එහි ඔහුගේ නම සඳහන් වූයේ පූර්ණ බණ්ඩාර හතරසිංහ ලෙසය. නීති උපාධිදාරියෙකු වූ ඔහු පෞද්ගලික බැංකුවක නීති උපදේශකයෙකු බව කාඩ්පතෙති සඳහන් විය. ජංගම හා කාර්‍යාලීය දුරකතන අංක වලට අමතරව විද්‍යුත් තැපැල් ලිපිනයද මුද්‍රිත ඒ කාඩ්පත මා මුදල් පසුම්බියේ තැන්පත් කරද්දී බසය ප්‍රධාන බස් නැවතුමට ළඟා වී තිබුණි. මා බසයෙන් බසිද්දීම බණ්ඩාරවෙල බසයක් පිටත් විය. පැයක ගමන් කාලයක් හිටගෙන යාමට තිබූ අපහසුවට වඩා සෙනඟ අතරේ තෙරපීමට තිබූ අකමැත්ත නිසා මම දුවගෙන ගොස් එහි එල්ලීමේ අදහස අත්හැර ගත්තෙමි. 


දහය හමාරවත් වනවිට අනුලා ටීචර්ගේ නිවසට යා හැකි බව සිතමින් පැමිණියත් මා රැගත් ත්‍රිරෝද රථය ආච්චි අම්මාත් මමත් ජීවත් වූ කුඩා නිවසේ නටඹුන් පසුකර පසු කලෙක මගේද නිවස බවට පත්වූ අනුලා ටීචර්ගේ නිවසට ළඟාවන විට එකොළහද පසු වී තිබුණි. බෝනික්කෙකු නළවමින් දොරකඩ වාඩි වී සිටි කුඩා දැරියක් "අම්මා" කියා කෑ ගසාගෙන ගෙට දුව ගියේ මා ත්‍රිරෝද රථ රියදුරුට මුදල් ගෙවද්දීය. අනුලා ටීචර්ගේ  නෑයෙකු නිවසට පැමිණ ඇති බව මා දැනගත්තේ එවිටය. ඇගේ නෑයන් හා මා අතර ඒ කාලයේ තිබුණේ නයාට අඳුකොළ බදු සම්බන්දතාවයකි. මේ වනවිට තත්වය තවත් දරුණුව තිබෙන්නට බැරි කමක් නැත. ආපිට හැරී යා නොහැකි නිසා ගේ දෙසට පා එසවුවද මා සිටියේ ඇගේ නෑයෙකු පැමිණ සිටින මොහොතක එහි ළඟාවීමට සිදුවීම ගැන තැවෙමිනි.


"මං හිතුවෙ මීට කලින් එයි කියලා" කියාගෙන මිදුලට දුව ආ අනුලා ටීචර් ඇගේ දෙපා නමදින්නට ඉඩක් නොතබාම මා වැළඳගත්තේ එතෙක් හිත පහුරුගාමින් සිටි සිතුවිලි ඈතකට පළවාහරිමිනි. ඊට පෙර ඈ එලෙස මා බදා වැළඳගත්තේ මගේ උපාධි ප්‍රදානෝත්සවය අවසානයේදීය. 


"ඔයාව ආපහු ඇස් දෙකෙන් දකිනකල් මං හරි බයෙන් හිටියෙ සෙව්වන්දි" කියමින් මා සමගම සාලයෙන් අසුන්ගත් ඈ මගේ සුවදුක් අහන්නට පටන් ගත්තේ ඒ දකින්නේ සිහිනයක් නොවන බව තහවුරු කරගන්නට මෙන් මොහොතක් මා දෙස විමසිල්ලෙන් බලාසිටීමෙන් අනතුරුවය. සාර්ථක ප්‍රතිඵල සමඟ මා මගේ ආචාර්ය උපාධියේ සියළු පර්යේෂණ කටයුතු ඒ වනවිට අවසන් කර ඇති බව අසා බෙහෙවින් සතුටට පත් ඈ ජපානයේ ජීවිතය ගැන හාරා අවුස්සන්නටද අමතක නොකළාය. මහාචාර්යවරු දෙදෙනා ගැනත්, විද්‍යාගාරයේ හා විශ්ව විද්‍යාලයේ මිතුරු මිතුරියන් ගැනත් රාධිකා අක්කා ඇතුළු ඒ පවුල හා මා අතර සබදතාවත් ඇයට විස්තර කළ  මා සෙනිත් ගැන වචනයක්වත් නොකියන්නට පරිස්සම් වූයේ හිතාමතාය. 


"පුංචම්මෙ තේ හරි” අපේ කතාවට බාධා කරමින් සාලයට ආ ආගන්තුක තරුණිය පිටුපසින් මොහොතකට පෙර ගෙතුලට ගිය කුඩා දැරියද වූවාය.

"සෙව්වන්දිට මතකද අපේ වත්සල” අනුලා ටීචර් ඇසුවේ කුඩා දැරිය දෙසට දෑත් දිගු කර සිනාසෙමිනි. 

පියදාස මාමාගේ එකම සහෝදරයා වූ  ගුණතිලක මාමාගේ පුතුන් දෙදෙනා  වූ කෝසල අයියාත් වත්සල අයියාත් මගේ මතකයේ විශේෂයෙන්ම රැදී සිටියේ ඒ පවුලේ ඥාතී දරුවන්ගෙන් ආච්චි අම්මාට කටපුරා "සීලාච්චි" යැයි ආමන්ත්‍රණය කළේ ඔවුන් පමණක් වූ නිසාම නොවේ. අනුලා ටීචර්ගේ පාර්ශවයේ නෑදෑ දරුවන් මෙන් මට උසුළු විසුළු කරන්නට ඉදිරිපත් නොවන ඒ දෙදෙනාගෙන් මහිතේ වැඩි ඇල්මක් තිබුණේ කෝසල අයියාටය. මා කුඩා දැරියක කාලයේදී "සීලච්චිගෙ බටු ඇටේ" නමින් මා හැඳින්වූ කෝසල අයියා  ඒ ඇමතුම වෙනස් කරගන්නට පසු කලෙකවත් උත්සහ නොකළේය. පියදාස මාමා මියයන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වූ ඔහු සිය බාප්පාගේ වියෝවෙන් හුදෙකලා වූ පුංචම්මා බැලීමට මාස දෙක තුන තුනකට වරක්වක් එන්නට අමතක නොකළේය. ඉදහිටක ඔහු සමඟ එන වත්සල අයියා මා සමග කතා බහ කළේ නොකර බැරි අවස්ථාවකදී පමණක් වුවත් ඔහු ආච්චම්මාට තමාගේම මිත්තණියකට මෙන් ආදරය කළ නිසා මම ඔහු මට අප්‍රිය මිනිසුන්ගේ කුලකයට ඇතුල් කර නොතිබුණි.


"ඔයාට වත්සලව මතක නැද්ද? ගුණෙ අයියත් නැති වුණාට පස්සෙ මහත්තයගෙ නෑයො මාව අමතකම කරලා දැම්මට වත්සල ඉදලා හිටලා හරි ලොකු පුතත් එක්ක ඇවිත් මාව බලලා ගියා"

"මට වත්සලයියව හොඳට මතකයි. මං ඒ ලෙවල් පටන් ගද්දිම තමයි එයා කැම්පස් සිලෙක්ට් වුණේ. ඒක අහලා ටීචර් කිව්වා මං ඊළඟට බලන් ඉන්නෙ සෙව්වන්දි කැම්පස් සිලෙක්ට් වෙනකල් කියලා" ඇගේ මුව  මත කලාතුරකින් පමණක් දැකිය හැකි සොඳුරු සිනහවක් විය.

"මේ වත්සලගෙ වයිෆ් නර්මදා. මේ එයාලගෙ දූ සිඟිත්ත දිසල්යා" කියමින් ඈ ඇගේ උකුලේ වුන් සිඟිත්තියත් ඇගේ අම්මාත් මට හඳුන්වා දුන්නාය. ලෙංගතු සිනාවකින් මා පිළිගත් නර්මදා "යමු තේ බොන්ඩ" කියමින් කෑම කාමරය  දෙසට ඇවිද ගියාය.

 
"වත්සල මේ ජනවාරි ඉදන් වැඩ කරන්නෙ බණ්ඩාරවෙල හොස්පිටල් එකේ" 

කෑම මේසයට අසුන් ගන්නා අතරතුර අනුලා ටීච පැවසූයේ නර්මදාත් මාත් දෙස මාරුවෙන් මාරුවට බලමිනි. එතෙක් හිත කොණක සැඟව සිටි නොරිස්සුම වත්සලයියා එහි නතරව සිටි බව ඇසීමත් සමඟ පලා ගියේ සැනසුම් සුසුමකින් හිත පුරවාගන්නට ඉඩ ලබාදෙමිනි. යුතුකමේ යෝධ සෙවණැල්ලෙන් වැසී යමින් තිබූ පශ්චාත් ආචාර්ය උපාධි සිහිනයෙ දොරටුව යළි මා වෙත විවර කර දෙන්නට වත්සල අයියාට බැරි කමක් නැත. වෛද්‍යවරයෙකු වූ ඔහු සිය බිරිඳ හා සිඟිති දියණිය සමග  තවත් දෙවසරක්වත් එහි රැදී සිටින්නේ නම් මා මගේ සිහින පසුපස හඹා යාම නවතන්නට උවමනා නැත.

"වත්සලට නම් මුල ඉදලම ඕනි වුණේ මාවත් ඇදගෙන ක්වාටර්ස් එකට යන්න. මොකටද මේ මහ ගෙයක් නිකන් වහලා දාලා ක්වාටර්ස් එකකට කොටු වෙන්නෙ කියලා මං බලෙන්ම තමා මෙහෙ නවත්තා ගත්තෙ"

වත්සල අයියා එහි නතරව සිටින බව මට දැනුම් නොදීම වරදක් යැයි ඇයට සිතෙන්නට ඇත. මා සතුව අයිතිය ඇති නිවසක මගේ අවසරයකින් තොරව කෙනෙකු නතර කරගත් බව කියන්නාක් මෙන් ඇය ඒ විස්තරය දිගින් දිගටම කියා සිටියේ එනිසාය. තරහා වන්නට හේතුවක් නැතත් ඊයේ හෝ මා සමග ඔවුන් මෙහි සිටින බව කියන්නට ඇයට යුතුකමක් තිබුණි. එසේනම් මා මෙතරම් අපහසුතාවයකට පත්වන්නේ නැත. ජපානයේ සිට පැමිණෙද්දී රැගෙන ආ ටොෆි චොකලට් පාර්සලයක් තිබුණද කුඩා දරුවෙකුට දිය හැකි තෑගි කිසිවක් මා රැගෙන විත් තිබුණේ නැත. මට එය මදි පුංචිකමක් මෙන් දැනෙන්නට පටන් ගත්තේ නිවසට ඇතුළු වන්නටත් පෙරය.

"වත්සලයියා වැඩට ගිහිල්ලද?" වැලිතලප කෑල්ලක් අතට ගනිමින් මා නර්මදාගෙන් ඇසුවේ නිහඬව සිටීම මට මෙන්ම ඇයටද වදයක් විය හැකි නිසාය.

"නෑ….. පොඩි වැඩකට එළියට ගිහින්"

"මං යන්ඩ කලින් එයිද. මට මතක නෑ අන්තිමට වත්සලයියා දැක්ක කාලයක්වත්" 

"ඔයා මෙහෙ එනවා කිව්වම එයත් කිව්වෙ ඔය කතාවමයි" කුඩා දැරියක් මෙන් අහිංසක  සිනාවක්  පාමින් හඬ අවදි කළාය. පැහැපත් සමකට හිමිකම් නොකිව්වද හිනාවෙන විට වම් කම්මුල යන්තමින් වල ගැසෙන ඈ තුල අපූරු සුන්දරත්වයත් විය. වත්සලයියා වශී වන්නට ඇත්තේ ඇගේ සිනාවටය. මම සිතින් වත්සලයියාගේ රුව සමඟ ඇගේ රුව සසඳා බැලුවෙමි. වසර හත අටකට එපිට අවසන් වරට මුණ ගැසුන වත්සලයියාගේ කඩවසම් රුව මගේ මතකයේ එතෙක් රැදී තිබුණ බවවත් මම ඒ වනතුරු දැන නොසිටියෙමි. 

"දොළහමාර වෙනකොට එනවා කියලා මට කියලා ගියෙ එයා එනකල් ඔයාට කන්න දෙන්න එපා කියලා"

"එහෙනම් මොකක් හරි පරණ තරහක් තියෙනවද කොහෙද?"  

නර්මදා සමග අනුලා ටීචර්ද මගේ හිනාවට එක්විය. එක්වරම මට පූර්ණව සිහිවුයේ උදෑසන ඔහු මා හිනැස්සූ නිසාද නැතිනම් යටිහිත තාමත් ඔහු ගැන වද වන නිසාදැයි එවෙලෙහිත් මට සිතාගත නොහැකි විය. 

වත්සල අයියාත් මාත් අතර විශේෂ හිතවත්කමක් ගොඩනැගෙන පසුබිමක් ඒ කාලයේ නොතිබුණද කාලෙකින් ලංකාවට පැමිණි මා මුණ ගැසීමට ඔහු කැමැත්තෙන් බලා සිටින බව අහන්නට ලැබීම සතුටකි. ඇතැම්විට බොහෝ කාලයක සිට මා දන්නා මුත් කිසිවෙකුට දන්නා බව නොපෙන්වන රහසක් මෑතකදී ඔහු දැනගත්තාද විය හැක. මගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබුණේ කිත්සිරි ජයසේකර වුවද ඔහු මගේ ජීව විද්‍යාත්මක පියා නොවන බවට ගමේ බොහොමයක් දෙනා තුල සැකයක් පවතින බව මගේ කණට වැටුනේ පියදාස මාමා මියයන්නටත් පෙරය. පියෙකු මෙන් මා ගැන සොයා බැලූ සැබෑවටමට මට ආදරය කරුණාව පෑ එකම පිරිමියා පියදාස මාමා වු නිසා හෝ වෙනත් මට නොතේරෙන හේතුවක් නිසා මම ඔහුට අසීමිතව ආදරය කළෙමි. ඔහු මියගිය පසු හදවතේ ඉතිරි වූ රික්තකය පිරවිය හැකි කිසිවෙකු මිහිමත නැතැයි සිතමින් සිටි  යුගයක් තිබුණද ඒ සිතුවිල්ල පුස්සක් කරවන්නට සෙනිත්ට හැකිවිය. අපේ ගමට නිතර ආගිය අනුලා ටීචර්ගේ සල්ලිකාර නෑදෑයින් ඉවතලන රෙදි කඩමාල්ලක් මෙන් මා පිළිකුල් කරන වග කුඩා දැරියක කාලයේ සිටම මම දැන සිටියෙමි. ඒ ප්‍රතික්ෂේප කිරීම පිටුපස ඇති රහස මට අනාවරණය වූයේ අට වසර අවසන් වාර පරීක්ෂණයේදී දෙවෙනියාට වඩා ලකුණු හතලිස් ගනනක අන්තරයක් තබා මා පංතියේ පළමුවැනියා වූ දිනය.  මට ජීවය දුන් අම්මා කෙරෙහි අදටත් හිත තුල නොනැසී පවතින වෛරයේ විෂබීජය මහිතේ රෝපණය වූයේ එදා සිටය.  මා එදා දැනගත් රහස වත්සල අයියා දැනගන්නට ඇත්තේ  අපේ ගමේ පදිංචියට පැමිණි පසුය.


"බබා නැන්දිත් එක්ක සෙල්ලම් කරනවද අත්තම්මයි අම්මයි උයනකල්"   

මේසය උඩ වාඩි වී තල කැරැල්ලක් පොඩි කරමින් සිටි දැරිය මා සමග මුල්වරට සිනාසුනේ නර්මදාගේ යෝජනාවට එකඟ වෙමිනි. කුඩා දරුවන් හුරතල් කිරීමේ පුරුද්දක් නැතත් වත්සලයියාගේ දිගටි දෑසත් නර්මදාගේ සිහින් නාසය හා තොල් සඟලත් උරුම කරගත් හුරුබුහුටි දැරියට ඉදිරි හෝරාවක දෙකක කාලය මහිත සතුටින් පුරවන්නට හැකි බව මම විශ්වාස කළෙමි. 


"නැන්දි ඊළඟ පාර එනකොට බබාට ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙන්නම්" කියා ඇය ඔසවාගත් මා සාලයට ආවේ චොකලට් පාර්සලය ඇයට දී ඒ සිඟිති දෙතොලින් මතුවන හසරැලි දැකීමටය.

"පුදුමයි අඩන්නැතුව ගියා" නර්මදාගේ හඬ ඇසුනද ඊට අනුලා ටීචර් දුන් පිළිතුර මට නෑසුනි.

"එන්න මං නැන්දිට මගේ ටෙඩී බෙයාර්ලව පෙන්නන්න" 

චොකලට් ගැන හැඟීමක් නැතිවම මා දුන් චොකලට් මල්ල පුටුවක් මතින් තැබූ ඇය දිව ගියේ දස වසරකට පෙර අනුලා ටීචර් මා වෙනුවෙන් වෙන්කර දුන් කාමරයටය. මා විශ්ව විද්‍යාල  ප්‍රවේශය ලබන තුරුම ආච්චි අම්මාත් මාත් ජීවත් වූයේ අනුලා ටීචගේ නිවසට පහළින් පිහිටි අපේ නිවසේය. පියදාස මාමාගේ මරණයෙන් පසු ආච්චි අම්මාටත් මටත් ඇගේ නිවසේ නතර වන ලෙස අනුලා ටීචගෙන් ඇරයුමක් ලැබී තිබුණද ආච්චි අම්මා ඊට එකඟ නොවූයේ කුමක් නිසාදැයි මට අදටත් සිතාගත නොහැක. ඇතැම්විට ඈ මගේ නිදහස අගය කරන්නට ඇත. එහෙත් මා විශ්ව විද්‍යාලයට ඇතුල් වන කාලය වනවිට වියපත්ව සිටි ආච්චි අම්මා ගරා වැටෙමින් තිබූ ඒ නිවසේ තනිව රැදෙනවාට  අනුලා ටීච මෙන්ම මමද විරුද්ධ වූ නිසා ඇය ඉන්පසු මියෙන තුරුම ජීවත් වූයේ අනුලා ටීචගේ නිවසේය. ඇගේ වියොවින් පසු මටද මගේ නිවස බවට පත් වූ ඒ නිවසේ මා මගේයැයි සිතා සිටි කාමරය දැන් වත්සලයියලාගේ නිදන කාමරය බවට පත්ව ඇති බව සිතමින් ගියද මගේ කාමරය මා ලංකාවෙන් පිටව ගියදා තිබූ ලෙසටම තිබුණි. එහි වූ එකම වෙනස ඇඳ පිරෙන්නට  සෙල්ලම් වලස් පැටවුන් හා බෝනික්කන් පුරවා තිබීම පමණි. 


"මං මේ කාමරේ සෙව්වන්දිට ලෑස්ති කරා. සීලම්මා මාත් එක්ක අපේ කාමරේ ඉමු" 

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සතියකට පෙර ආච්චි අම්මාත් මමත් ඇගේ නිවසේ පදිංචියට පැමිණි දා අනුලා ටීචර් මට මේ කාමරයේ දොර හැර දුන්නේ එසේ කියමිනි. විසි වසරක්ම ආච්චි අම්මා සමඟ එක ඇද බෙදාගත් මට එදා මුලින්ම දැනුනේ කොයි වගේ හැඟීමක්දැයි විස්තර කරන්නට මා අදටත් අපොහොසත් නමුත් දුකත් සතුටත් සමග එතෙක් මා අත් නොවිදි අමුතුම සැහැල්ලුවක්ද එක එක මාත්‍රාවෙන් ඒ හැඟීම තුල දියව තිබූ බව මට තාමත් මතකය. මටම වෙන්වූ නිදියහනක් ගැන මා සිහින ඇහින්දේ නිදහසේ හිනාවෙන්නට අඩන්නට සුසුම්ලන්නට තැනක් නොමැතිව ලතවූ නව යෞවනියක කාලයේ පටන්ය. අනපේක්ෂිත ලෙස අනුලා ටීචර් මා වෙනුවෙන් වෙනම කාමරයක් වෙන් කිරීම මට සතුටක් ගෙන දුන්නේ එනිසාය. එහෙත් ඇගේ ඇස් මානයේදීම මා මගේ ජීවිතයේ අලුත් පරිච්ජේදය එලෙස අරඹනු දැකීම ආච්චි අම්මාට උහුලාගත නොහැකි වේදනාවක් විය.


"කෙල්ලට තනියම ඉදලා පුරුදුත් නෑ" එදා රෑ නින්දට යාමට පෙර ආච්චි අම්මා එහා කාමරයේ සිට මැසිවිලි නගනවා මා අසාගෙනය. 

"පුරුදු නැත්තන් දැන් හරි පුරුදු වෙන්නැතෑ. කැම්පස් යන්න තව සතියක්ම තියෙනවනෙ. සීලම්මා මදෑ දැන් ඔය කෙල්ල පස්සෙ හිටියා. දැන් එයාට තනියම ජීවත් වෙන්ඩ ඉඩාරින්නෝන"  

අනුලා ටීචර්ගේ වචනයකට පිටින් යන්නට අකමැති ඇගේ මැසිවිල්ල ඉන් නතර වුවත් ආච්චි අම්මාගේ සුසුමක් නොවැදෙන මානයක ජීවත් වීමේ දුෂ්කරත්වය අත්විදිමින් සිටි මට හිත හයිය කරගන්නට එවදන් ප්‍රමාණවත් නොවීය. අවසන් වෙමින් යන කටුක ගිම්හානයේ කෙලවර වසන්තයේ දොරටු ඇති බව සිතමින් තනි ඇදේ එහා මෙහා පෙරලෙමින් මැදියම් රැයක් වනතුරු අවදියෙන් සිටි මා ආච්චි අම්මාගේ තුරුලට ගියේ පාන්දරය. කොයි මොහොතක හෝ මා එනබව දැනසිටි පරිදි මා තුරුලු කරගත් ආච්චි අම්මා ගොරවමින් නිදන්නට වූයේ ඉන්පසුය. ඒ කිසිවක් නොදුටුවා සේ සුවබර නින්දක පසුවන බව පෙන්නූ අනුලා ටීචර්ගේ දීර්ඝ දේශණාවට මට සවන් දීමට සිදු වූයේ පසුදා සන්ධ්‍යාවේය.


"ඔයා දැන් පොඩි ළමයෙක් නෙවෙයි. ඔයාට තේරෙන්නෝන ආච්චි අම්මා ඔයා මත්තෙ නැහුනා ඇති කියලා. ඒ මනුස්සයාට ඔයා ළඟ නැතුව ඇහැ පියවෙන්නෑ කියලා දන්න නිසා තමයි මං ඔයා යන්න සතියක් තියා මෙහෙට ගෙන්නා ගත්තෙ. ඔහොම රෑ තිස්සෙ අඩාගෙන දුවගෙන ආවම ඒකෙන් වැඩක් තියෙනවද?. නිදි වගේ හිටියට මං හොද සෝදිසියෙන් හිටිය නිසා දන්නවා උන්දෑ රෑ තිස්සක් හූල්ලපු හැටි. ඒ ඔයා එහා කාමරේ ඉන්දැද්දි. එහෙව් මනුස්සයාට කොච්චර් හිතේ අමාරුවක් හැදෙයිද ඔයා හොස්ටල් නතර වුණාම. පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්ඩ සෙව්වන්දි. මේවා මං ඔයාට කියන්ඩ ඕනි දේවල් නෙවෙයි"


අතීත මතකයන් විසින් කැදවූ කඳුළු පේලියක් කම්මුල් සිපගනිමින් සිටිද්දී ඇද මත උන් දිසල්යා ඇදෙන් බැස මගේ අත යටින් රිංගා මුළුතැන්ගේ දෙසට දිව ගියාය. පිටි අත්ලින් කඳුළු පිසගත් මා මුළුතැන්ගෙට එබෙන විටත් දිසල්යා සිටියේ නර්මදාගේ කණට රහසක් කොඳුරමිනි.


"නැන්දි අඬන්නෙ එයාගෙ ටෙඩියෙක් ඕනිවෙලාද දන්නෑලු" දිසල්යා වෙත පහත් වී සිටි නර්මදා සිනාසී හිස ඔසවද්දී අනුලා ටීචර් මා වෙත තරවටු බැල්මක් හෙලුවාය.


"කාමරේ දකිද්දි මට ආච්චම්මව මතක් වුණා"

"සීලම්මගෙ මතක මේ ගේ පුරාම තියෙනවා. ඔයා වගේ අඬනවනම් මට දවස තිස්සෙම අඬන්න පුළුවන් මහත්තයා ගැන, සීලම්මා ගැන විතරක් නෙවෙයි ඔයා ගැනත් මතක් කර කර. අහන්න මේ නර්මදාගෙන් මං කවදහරි එහෙම අඬලා තියෙනවද කියලා" ඈ හිත තුල ඇති දෑ පිටතට නොපෙන්වන ගැහැණියක් බව හොදින්ම දන්නා මට ඊට සාක්ෂි අවශ්‍ය නොවීය. ඈ ඇගේ ඇතැම් ගතිගුණ මටද ආරෝපණය  කර නොතිබෙන්නට මා යන ගමන මෙතරම් පහසු නොවන්නට ඉඩ තිබුණි.


"මං නර්මදාට උදව් වෙන්නම්. ටීචර් බබත් එක්ක ඉස්සරහට යන්ඩ" මම ක්ෂණිකව මාතෘකාව වෙනස් කළේ  ඇගේ දීර්ඝ අනුශාසනාවකට සවන් දීමට වෙතැයි බියෙනි. 


"නෑ... නෑ.... උයන වැඩේ අපි දෙන්නට කරගන්ඩ පුළුවන්. ඔයාට ඕනි නම් පොඩ්ඩක් වත්ත වටේ ඇවිදලා එන්නකො. ජෑම් පේර ගස්වල ගෙඩිත් ඇති"  ඒ ගැන වාද කිරීමට තිබූ අකමැත්තට වඩා ආච්චි අම්මා ඇගේ දවසින් වැඩිම කාලයක් ගතකළ ඒ මුළුතැන්ගේ සිටීම දුෂ්කර නිසා මම නිහඬවම මිදුලට බැස්සෙමි.


ඒ නිවස පිහිටා තිබුණේ කුඩා කඳු ගැටයක වූ තේ වත්තක් මැදය. ආච්චි අම්මාත් මමත් ජීවත් වූ නිවස පිහිටියේ ඒ කඳු ගැටය පාමුලය. බයිසිකලයක් හෝ වෙනත් ඕනෑම වාහනයක් අනුලා ටීචර්ගේ නිවසට පැමිණිය යුත්තේ අපේ ගෙදර අසලින් පටන් ගන්නා කොන්ක්‍රීට් පාර දිගේ කන්ද වටේට මීටර් දෙසීයකට වැඩි දුරක් ගමන් කිරීමෙන් අනතුරුවය. එහෙත් ඒ නිවසට යාහැකි කෙටිම මාර්ගය වූයේ  අපේ ගේ පිටුපසින් පටන් ගන්නා ගල් පඩිපෙලයි.  


ගේ වටේ රවුමක් ඇවිද ගිය මා අවසානයේ නතර වූයේ ජෑම් පේර ගස් දෙකකින් සෙවණ ලබන ගල් පඩිපෙළ ළඟය. පැහුණ පේර ගෙඩි හය හතක්  කඩාගත් මා පඩි තුන හතරක් පහළට බැස වාඩි වූයේ අපේ නිවසේ නටඹුන් හොඳින්ම දැකගත හැකි තැනකය. කුඩා කාමරයකින් මැද සාලයකින් හා පටු ඉස්තෝප්පුවකින්  සමන්විත අපේ නිවසේ මුළුතැන්ගේ තිබුණේ වෙනමය. කටුමැටි ගසා ඉලුක් සෙවිලි කළ ඒ මුළුතැන්ගෙට වඩා සිංහල උළු සෙවිලි කළ නිවසේ සෙසු කොටස ඒ කාලයේ මට පෙනුනේ මහා මන්දිරයක් ලෙසය. ආච්චි අම්මාගේ චීත්ත හැට්ට පිළිවෙලකට නවා තැන්පත් කර තිබූ සන්ලයිට් පෙට්ටියත් මගේ රෙදි පෙරෙදි  දැමූ ලොක් ගැලවී ගිය පරණ සූට් කේසයත් තිබුණේ කාමරයේ ඇද අසල වූ වැල් කැඩුන පුටුවක් මතය. ඇණ ගසා බිත්තියට සවිකර තිබූ බෝල කූඩුවත් රෙදි රදවනයත් හැරෙන්නට තවත් යමක් ඒ කාමරය තුල වූවානම් ඒ ඇද යට සැඟව සිටි ට්‍රන්ක පෙට්ටි දෙක පමණි. ඉබි යතුරු දමා සඟවා තැබීම නිසාම දූවිලි බැදී තිබූ ඒ ට්‍රන්ක පෙට්ටි දෙකේ වටිනා යමක් ඇති බවට ඒ කාලයේ මා තුල ලොකු විශ්වාසයක් විය. උප්පැන්න සහතිකයේ පියාගේ නම ලෙස අම්මාගේ විවාහක සැමියාගේ නම සටහන් වුවද මගේ පියා ඔහු නොවන වග දැනගත් කාලයේ මට ඒ ට්‍රන්ක පෙට්ටි දෙක විවෘත කර බැලීමේ නොමැඩිය හැකි කුතුහලයක් තිබුණි. වරක් දෙකක් උත්සහ කළද පසුව මට ඒ අදහස අත්හැර ගන්නට වූයේ හැමවිටම මා ලුහුබැඳි ආච්චි අම්මාගේ දෑස් වලින් වසන්ව එය කළ හැකි ක්‍රමයක් සොයාගත නොහැකි වූ තැනය. 

සාලයෙන් ඉස්තෝපුවට ඇතුල් වන පලු දෙකේ දොර අසල මා මූණින් පෙරලුන කාලයේදී ස්ටුඩියෝවකදී ගත් රාමු කරන කළු සුදු ජායාරූපයක් තිබුණද  අම්මා තාත්තගේ තබා සීයාගේ ජායාරූපයක්වත් අපේ නිවසේ නොතිබීමද ඒ කාලයේ මගේ හිතට වද දුන් ප්‍රශ්ණ අතර විය. බිත්ති මත එල්ලා නොතිබුණද ඒ සියළු දෙනාගේම ජායාරූප ට්‍රන්ක පෙට්ටි තුල ඇති බවට දැඩි විශ්වාසයක් තිබුණ ඒ කාලයේ ආච්චි අම්මාට හොරෙන් ඒවා විවෘත කර බැලීමේ අවස්ථාවක් උදා නොවීම ඇතැම්විට මගේ යහපතට හේතු වන්නට ඇතැයි සිතෙන්නේ දැන්ය. 

ආච්චි අම්මා මියගිය පසු මා අනුලා ටීචර්ගේ නිවසට පැමිණි සෑම දිනකම සන්ධ්‍යාව ගත කළේ මේ පඩිපෙල මතය. තේ ගස් අතරින් කඩිමුඩියේ පඩිපෙළ නඟින ආච්චි අම්මාගේ රූපය මවාගන්නා මා ඈ සමඟ අතීතයේ අඳුරු අහුමුලු අතර ඇවිදින්නේ එතැන සිටය. මල් පහන් තබා බුදුන් වැද අහවරව මා සොයාගෙන පඩිපෙළ අසලට එන අනුලා ටීචර් මගේ අතීත සක්මන නිම කරවන්නේ "අපි තේ එකක් බොමුද සෙව්වන්දි" කියමිනි. තේ කෝප්පයකට හිත සැහැල්ලු කරවිය හැකි බවට අනුලා ටීචර්ගේ විශ්වාසයක් විය. ඈ මගෙන් තේ බොමුද අසන්නේ තේ එකක අවශ්‍යතාවයට වඩා මා අතීත මතක අතරින් මිදවීමටය. හිත රිදෙන යමක් කතා කිරීමට පෙර කෝපි කෝප්පයක් බීමට සෙනිත් තුල කැමැත්තක් තිබුණේද ඒ හේතුව නිසාම විය හැක. පහුගිය දින කිහිපයේම මා දවස පටන් ගත්තේ උදේ පාන්දරම ඔහුට ඇමතුමක් දීමෙන් වුවත් එදා එය මඟ හැරුනි. ජංගම දුරකතනය අතට ගත් මා ඔහුට ඇමතුමක් ගත්තේ  පිළිතුරක් ගැන බලාපොරොත්තුවක්වත් නැතුවය.

"මං හිතුවෙ ගෙදර ගියාට පස්සෙ මාව අමතකම වුණා කියලා" ඇමතුමට සම්බන්ද වූ සැනින් ඔහු නෝක්කාඩු කියන්නට පටන් ගත්තේය.
"මාත් හිතුවෙ පුළුවන් වෙයි කියලා....ඒත් බැරි වුණානෙ"
"ආ ඇත්තද?" කියා හඬ නඟා සිනාසුන ඔහු මගෙන් විස්තර අසන්නට පටන් ගත්තේ ඉන්පසුය. අනුන්ගේ වියදමින් තමාගේම රටට යාමට හැකිවීම වාසනාවක් බව පුන පුනා කියා සිටි ඔහු සහය මහාචාර්යවරයාගෙන් නිවසට යාමට අවසර ලැබීම ඇදහිය නොහැකි පුදුමයක් බව පවසන්නටද අමතක නොකළේය. වත්සලයියාගේ සිඟිති දියණිය වෙනුවෙන් තෑග්ගක් රැගෙන ඒමට නොහැකි වීම ගැන මා කිහිපවිටක්ම සඳහන් කළ පසු ඔහු මගෙන් නිවසේ ලිපිනය ලබා ගත්තේ ඇයට සෙල්ලම් බඩුවක් සීඝ්‍රගාමී තැපැල් සේවාවෙන් ඒ මොහොතේම එවීමටය.  ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට ඉඩක් නොතැබූ ඔහු   ඇමතුම විසන්දි කළේ "ඔයා නැතුව පාළුයි තාරා කියමිනි.  


"මටත් පාළුයි" ඇමතුම විසන්දි වූ බව දැන දැනම දුරකථනයට කෙඳිරූ මා එය පඩිය මත තබා හිස ඔසවන්නට සිතුවේ මට ඉහළින් තිබූ පඩිය මත කෙනෙකු වාඩි වූ බවට දැනුන ඉවටය.




 මතු සම්බන්දයි