Sunday, June 26, 2016

හරි පුදුම ඉස්කෝලෙ-3


සමස්ථ ජපානයමත්, ජපන් වැසියනුත් බොහෝ පිළිවෙලය. මගේ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වමින් කෙන්කියුෂා කියා තිබුණෙ මේ ක්‍රමවත් බව ඔවුන් ඉගෙනගන්නෙ දිවා සුරකුම් වල සිටම බවය. එය ඇත්තකි. මේ රටේ ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික පරමාර්ථය හෙට රට බාරගන්නා දරු පරපුර ඊට පුහුණු කිරීමය. ඒ සදහා සිය රටෙහි විශාලතම වත්කමක් වන සිරිත් විරිත් ටික ඊළඟ පරපුරට දෙන්නේත්, ඔවුන් නිදහසේ යමක් සිතිය හැකි පරපුරක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම දමන්නේත් මේ පෙර පාසැල්, දිවා සුරකුම් සහ ප්‍රාථමික පාසැල් තුලිනි. මා මේ ලිපි තුලින් කියන්නට උත්සහ කරන්නේ ඔවුන් එය සිදු කරන ආකාරයය.
දරුවන් එක වසරට ඇතුල් වනවිට ඔවුන් පංති වලට බෙදා වෙන්කර තිබේ. අපේ පුතා ඉගෙනගත් පාසලේ එක් වසරකට පංති හයක් තිබුණි. ඒවා හදුන්වන්නේ "කුමි/ගුමි" නමිනි. මේ කුමි වලට බෙදීමේදී එකම දිවා සුරකුමක හෝ පෙර පාසලක කාලාන්තරයක් තිස්සෙ එකට සිටි දරුවන් වෙනත් වෙනත් පංති වලට වැටෙන ලෙස  බෙදන්නට උත්සහ කරන බව විදුහල්පතිවරයා පාසැල් වාරය ඇරඹීමට පෙර පැවැත්වූ උත්සවයකදී සදහන් කළ බවක් යන්තමට මෙන් මතකය. නාම ලේඛනයට අකාරාදි පිළිවෙලට  නම් ඇතුළත් කරන අතර ඒ අනුව සෑම දරුවෙකුටම අංකයක් හිමි වේ. අතේ පත්තුවෙන වාසගමක් ඇති අපේ පුත්තරයාට ඒ අනුව හිමි වූයේ අංක එකය. ඔහු සිටියේ එක වසරේ, හයවෙනි කුමියෙ, පළමුවන ශිෂ්‍යයා ලෙසය. එනිසා එක වසරදී ඔහුට හිමි අංකය වුයේ 1-6-1 ය (එක වසර-හයවෙනි කුමිය-ශිෂ්‍ය අංක එක). ඔහුගේ පොත්පත්, සපත්තු, කුඩ ආදී එකී මෙකී නොකී සියල්ලගේම අපි ඒ අංකය සදහන් කළ යුතුය.
ජපානයේ  ප්රාථමික පාසලේ දරුවන්ගේ නිළ ඇදුම් කට්ටලයට ඇතුළත් වන්නේ පොත් බෑගය සහ තොප්පිය පමණි.  ඇදුම් සහ පාවහන් කැමත්ත පරිදිය. නමුත් කැමති පාවහන් පැළදිය හැක්කෙ පාසලට එනවිට සහ ඉන් පිටව යනවිට පමණි. පාසැල් කාලය තුලදී පාසලට දැමීමට පාසලින් නිර්දේශිත කැන්වස් පාවහන් මිළට ගත යුතුය. පංති කාමරයෙන් පිටත ඇති විශාල කොරිඩෝවක මේ පාවහන් තැබීමට වෙනම රාක්ක ඇත. සාමාන්යයෙන් පංතියක උපරිම ළමයි ගනන 32-33 .   අනුව මේ රාක්කයෙහි පාවහන් තැබීමට ඇති කුඩා කුටීර  වලට එකේ සිට 33 අංක ලබා දී ඇත.  දරුවන් සිය පංති කාමරයට ඇතුළු වීමට පෙර තමා පැළදගෙන පාවහන් ගලවා තමාගේ අංකයට අදාල කුටීරයේ තබා, එහි ඇති පාසැල් පාවහන් පැළද ගත යුතුය.
1-4 පංතියේ සපත්තු රාක්කය.
 පාසලට ඇතුළුවන තැනම කුඩ තැබීමට ස්ථානයක්  ඇත. එය එකේ සිට හය වසර දක්වා ශ්‍රේණි හයකට වෙන්කර ඇති අතර, එක් එක් ශ්‍රේණිය  නැවත කුමි හයකටත් වෙන්කර ඇත. ඒ සෑම කුමියකටම අදාල කුඩ රදවනයේ  එකේ සිට අංක ඇත. තම තමන්ගේ අංකය දරුවන් දන්නා නිසා ඔවුන් වැසිදාක පාසලට ඇතුල් වනවිට කුඩ රදවනයී තමාට හිමි තැන කුඩය තබා යන්නට වග බලා ගනී. මේ කුඩා දරුවන් පිළිවෙලට වැඩ කරන්නට ඉගෙන ගන්නේ එහෙමය. මේ කුඩ රදවනය සහ පාවහන් රදවනය සරල උදාහරණ දෙකක් පමණි.

මෙහි පාසැල් පෙර පාසැල් දිවා සුරකුම් ආදී සෑම තැනකම දරුවන් වයස අනුව පහසුවෙන් හදුනාගැනීම සදහා ඔවුන් පළදින තොප්පියට වර්ණ සංකේත ලබාදේ. අනුව එක වසර දරුවන්ට ලැබෙන්නේ කැපී පෙනෙන කහ තොප්පියකි. පාසලට පැමිණීමේදී එය පැළද සිටීම  අනිවාර්යය. දෙකේ සිට හය වසර දක්වා වු දරුවන් පළදින්නෙ තද නිල් තොප්පියකි. පාසැල් බාරදීමට පෙර දරුවන් යන්නේ දිවා සුරකුමට හෝ පෙර පාසලටය. ඒවාට තනිව යාමට ඒමට අවසර නැති නිසා දරුවන් යායුත්තේ වැඩිහිටියෙකු සමගය. මේ දරුවන් තනිව යාම් ඒම් ඇරඹෙන්නේ පාසලට බාරදුන් පසුය. ඒ නිසා එය එක්තරා ආකාරයක කඩඉම් කාලයකි. මේ කැපී පෙනෙන කහ තොප්පියෙන් නිරූපණය කරන්නේ ඒ කඩඉම පසුකරන වයසේ දරුවන්ය. මුළු ජපානය පුරාම එක වසර දරුවන් පළදින්නේ රජයෙන් ලබාදෙන මේ කහ තොප්පියය.

ප්‍රාථමික පාසැලේ දරුවන්ගේ පාසැල් බෑගය සමෙන් කරන ලද සෞඛ්යාරක්ෂිත  ශක්තිමත් බෑගයකි. එය අරුමෝසම  කිසිවක් නැති තනිපාට තනි සාක්කුවක් පමණක් ඇති ඉතා සරල බෑගයක් වුවත් මිළ අධිකය (වට්ටම් සහිතව විකුණන අවස්ථා වල හැර සාමාන් කාල වලදී මේ බෑගයක අවම මිල රුපියල් පනස් දහසක් පමණ ) .පිරිමි ළමුන් සදහා කළු සහ තද නිල් පැහැයත් ගැහැණු ළමුන්ට   පාට දෙකද ඇතුළුව රතු රෝස දුඹුරු ලා නිල්, ලා කොල ලා දම් යන පවතින ඕනෑම පාටක  බෑගයක් භාවිතා කල හැක. එක වසර දරුවන්ගේ පාසැල් බෑගය සදහා  ලුම්නස් කහපැහැ ආවරණයක්ද රජයෙන්ම ලබාදෙයි. මා මුලින් සදහන් කළ පරිදි මේ දරුවන්ගේ නිළ ඇදුම් කට්ටලයට අයත් වන්නේ මේ බෑගය සහ තොප්පිය පමණි. ඒ දෙකෙන් එක වසර දරුවන් සෙස්සන්ගෙන් වෙන්කර පහසුවෙන් හදුනාගැනීමට ඔවුන් යොදාගන්නේ මේ වර්ණ සංකේතය.
සටහන දීර්ග වීම වැලැක්වීමට මේ බෑගය සමග ඇති අනෙක් බෑග් දෙක ගැන විස්තර පසුවට
මීට අමතරව හදිසි කරදරයකදී භාවිතා කරන්නට සෑම පාසැල් දරුවෙකුගේම බෑගයට සවි කරන ගැජට් එකක්ද ඇත. එහි ටෝච් එකක් සහ පහළට එල්ලෙන නූලක් ඇත. මේ ගැජට් එක ලබාදී ඇත්තේ කවුරුන් හෝ තමාට කරදරයක් කරන්නට පැමිණියහොත් එය දැනුම්දීමටය. මේ පහළට එල්ලෙන නූල ඇද්ද විට නොනවත්වාම ශබ්දයක් නිකුත්වේ. නමුත් මේ ශබ්දය අපිට කිසිදා මඟ තොටකදී ඇසී නැත. මෙම උපකරණය භාවිතා කරන ආකාරයත් එය භාවිතා කළ යුතු අවස්ථා ගැනත් දැනුවත් කිරීම වරින්වර පොලීසිය මගින් සිදු කරයි. ඊට අමතරව මේ උපකරණය නිසි පරිදි වැඩ කරනවාද නැද්ද යන්නත් පාසල තුලදී වරින් වර පරීක්ෂා කෙරේ. සියල්ල එසේ තිබියදීත් පාසල අවට උදේ සිට රාත්රී වනතුරුම පොලිස් රථයක් කරකැවීමද සිදු කරයි.

 
Security gadget




දෙකේ පංතියේ සිට පළදින නිල් තොප්පියත්, ආරක්ෂිත ගැජට්ටුව පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස බෑගයට සවිකර ඇති අයුරුත්, ගකුදො එකට ඇතුළුවීමේදී භාවිතා කරන කාඩ් එකත් (කොළපාට ) මේ පිංතූරයෙන් බලාගත හැක.

මා පෙර ලිපියේ සදහන් කළ පරිදිම දරුවන්ට පාසැල් තෝරාගත යුත්තේ පයින් ඇවිදින දුරකය.  ආරක්ෂාව ගැන හොද තහවුරුවක් ඇති නිසා මේ දරුවන් එක වසරට බාරදුන් දාට පසුදින සිටම පාසලට පැමිණෙන්නේ තනිවය. බොහෝවිට එකම නිවාස සංකීර්ණයකින් එන දරුවන් එකට එකතු වී එනවා දකින්නට පුළුවන. මුල් දින දෙක තුනක් දෙමව්පියන් සමග පාසලට එන දරුවන්ද නැතුවා නොවේ. ප්‍රාථමික පාසල පැවැත්වෙන්නේ උදේ 8.15 සිට සවස 2.40 හෝ 3.30 දක්වාය. බදාදාට පාසැල නිමවන්නේ 1.30 ටය (3.30 ට පාසල නිමා වන්නෙ දෙකේ සිට ඉහළට). එක වසරට බාරදෙන දරුවන් මේ වෙලාවට පුරුදු කරන්නේ ක්‍රම ක්‍රමයෙනි. මුල් සතියෙ දවස් කිහිපයක් පාසල නිමාවූයේ 10.30 ටය. පසුව එය 12 දක්වා දිගු වී සති තුනක් පමණ වන විට සාමාන්‍ය කාල සටහනට පුරුදු කරගනී. දිවා ආහාරය පාසලින් ලබාදේ (ඒ ගැන විස්තර පසුවට ).
දරුවන් පාසලට පැමිණි පසු ඒ දරුවන් ගැන වගකීම ඇත්තේ පාසලටය. එනිසා මේ දරුවන් තනිව පාසලට පැමිණියත්, ආපසු ආරක්ෂිතව නිවෙස් වලට යැවීමේ රාජකාරිය කරන්නේ ගුරුවරුය. හැමදේම පිළිවෙලට කරන මොවුන් ළඟ ඒ සදහා අපූරු ක්‍රමවේදයක් ඇත. දෙමව්පියන් පාසල නිමවීමෙන් පසු ඒ ඒ දරුවා යායුතු තැන ලිපිනයත් (බොහොමයක් දරුවන් යන්නේ ගකුදො නම් පාසලින් පසු දරුවන් රදවාගන්නා ආයතනයකටය) , පාසලේ සිට එතැනට යන මාර්ගය දක්වන සිතියමකුත් මුල් දිනයේ පාසලට ලබාදිය යුතුය. ඒ අනුව පාසල නිමවීමෙන් පසු දරුවන් යන දිශාව අනුව අර කහ පැහැ තොප්පියට එක් එක් පාට රිබන් පටියක් සවි කරයි .  පාසල නිම වු පසු රිබන් පාට අනුව දරුවන් පෙල ගස්වා කන්ඩායමක් ලෙස යාමට  සලස්වයි. මුල් මාස තුන හතරදී ගුරුවරුන් දෙදෙනෙකු මේ දරුවන් යා යුතු තැනට ඇරලවයි.
මවුපිය දෙදෙනාම රැකියා කරන නිවසේ වෙනත් වැඩිහිටියෙකුද නොමැති දරුවන්ට පාසලින් පසු රැදී සිටිමට රජයෙන් පවත්වාගෙන යන "ගකුදො" (Kids & Teens club) නමින්  හදුන්වන වෙනම ස්ථානයක් පාසලට යාබදව ඇත.   පාසල නිමවන වේලාවට මවුපියන් නිවසේ නැති දරුවන් රාත්රී හත වනතුරු මෙහි රදවා ගනී. එහි දරුවන්ට කැමති පරිදි සෙල්ලම් කිරීමට විශාල ගෘහස්ථ ක්රීඩාගාරයක් සහ උපකරණත් නැටුම් සංගීත වැනි දෑ ප්රිය කරන අයට පහසුකමුත්, අත්කම් සහ නිර්මාණ සදහා පහසුකමුත් සපයා ඇත. එමෙන්ම දරුවන් සමග සෙල්ලම් කිරීමට සහ ඔවුන් බලා කියා ගැනීම සදහා තරුණ තරුණියන් බොහෝ පිරිසක්ද මෙහි සේවය කරයි. මෙයට ඇතුළුවීම සදහා හදුනාගැනීමේ පත්රයක් ඇති අතර ඇතුළුවීමේදී එය අදාල යන්ත්රයට යොමුකල සැනින් මවුපියන්ට දරුවා ගකුදො එකට ඇතුළු වු බවට විද්යුත් තැපැල් පණිවිඩයක් යයි. පිටවීමෙදීද එලෙසමය. මුල් මාස කිහිපයේදී මේ ගකුදො එකට යන දරුවන් කැටුව යාමට ගකුදො එකෙන් කිහිප දෙනෙකු පාසලට පැමිණෙන නිසා ගුරුවරුන්ට දරුවන්ගේ ආරක්ෂාව ගැන ගැටළුවක් නැත.
පාසලින් පසු ගකුදො සහායිකාවක් සමග ගකුදො එකට යන දරුවන්
ජපානයේ දරුවෙකුට අපේ රටේ මැති ඇමතිවරුන්ටත් වඩා වැඩි ආරක්ෂාවක් ලබාදේ. දරුවන් වැඩිහිටියෙකු නොමැතිව තනිව යාමට ඒමට පටන් ගන්නේ පාසලට භාරදුන් පසුය. ඔවුන් ස්වාධීනව ලෝකයට පා තැබීම අරඹන්නේ එතැන් සිටය. එහිදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා මෙවන් උපක්රම යොදා ගත්තද මෙහි අපරාද සිදුවන්නේ කලාතුරකිනි. මිනිස්සුන්ගේ හොද කමත් පවතින දැඩි නීතී රීති කාටත් පොදු  වීමත් මීට හේතුය.

 
කහ තොප්පිය සහ බෑගය නිසා ඈතින් පාර මාරුවන හැටි මට දුර සිට පෙනුන ආකාරය






කිසිම වාහන තදබදයක් නොමැති පාසල අවට තත්වය (උදෑසන පාසැල් පටන් ගන්නා වේලාවට ආසන්නව )

ජපන් හිරගන හෝඩිය. කියවීම -ඉහළ සිට පහළට දකුණේ සිට වමට (මනෝජ් මල්ලිට සහ ඔහුට පැණ නැගි ගැටළුවට පිළිතුරක් ලෙස)