Sunday, July 31, 2016

උරුමය - දහ හත්වන (අවසන්) කොටස





දිවා ආහරයෙන් පසු ජනක පොඩි අයියා සමග පිටත්ව යන්නට පෙර ඔහු සමගම මගේ කාමරයට ආවත් මගේ සුවදුක් ඇසූ පොඩි අයියා ජනකට පෙර එළියට ගියේ ජනකටත් මටත් කතා කරන්නට ඉඩ දිය යුතු බවක් සිතාගෙන මෙනි. තමන්ගේ මිතුරෙකුටවත් මා සමග කතා බහ කරන්නට ඉඩ නොදුන් පොඩි අයියා ජනක කාමරය තුල සිටියදී ඉන් පිටවීමත් අම්මා ජනකට මා සමග කතා කරන්නට ඔහු මගේ කාමරයට කැදවාගෙන ඒමත් අප්පච්චිගේ මා දුටු වෙනසටත් වඩා අදහාගත නොහැකි වෙනසකි. ඒත් මම බව නොදැනුන අයුරින් ඉන්නට හැකිතාක් උත්සහ කළෙමි.

"ඔයා ඉස්සෙල්ලා මං ඇහුව එකට උත්තර දුන්නෑනෙ" පොඩි අයියා ගිය පසු ජනක ඇද ළඟ වූ පුටුවෙන් වාඩි වූයේ පෙර පැණය සිහිපත් කරමිනි.

මනූජාත් පවනිත්  පංචලී සමරිසි තැනැත්තියක් බව සිතා ඇයත් මාත් අල්ලා කතාවක් ගොතන්නට ඇති බව අනුමාන කරමින් ඔවුන් සමග කෝපයෙන් පසුවන ජනක මට සරසවිය එපාම වීමට බලපෑ ආසන්නතම හේතුවට කෙලස ප්රතිචාර දක්වන්නේදැයි  සිතාගත නොහැක. එනිසා ජනකට කැමැත්තක් හිතාගන්නට ඉඩහැර සිටීම මට පහසුය.

"ඔයා හිතන දේ හරි කියලා හිතාගෙන ඔයා දැන් යන්න ජනක. මට නිදාගන්න ඕනි" පුදුමයෙන් මෙන් මා දෙස බැලූ ඔහු කෝපයෙන් පිටව යනු බලන්නට සිතා සිටියද ඔහු ගියේ "දැන් වෙච්ච දේවල් හිතන්නැතුව ඔයා ඉස්සර භාග්යා වෙන්න බලන්න" කියා වරක් මගේ හිසද පිරිමැදගෙනය.

අප්පච්චී නිවසට පැමිණ තිබුණේ මා නිදාසිටියදීය. හාන්සි පුටුවේ දිගා වී දෑස් පියාගෙන උන් අප්පච්චීට මා ඔහු ළඟට බවක් නොදැනුනි. ඉස්සර ඔහු මෙලෙස නිදා සිටියදී මා සාලය හරහා යන්නටත් බයය. ඒත් හීනෙකින් මෙන් සියල්ල අද සහමුලින්ම වෙනස්ව ඇත. මම  ඔහුගේ මුහුණේ ඇති තේජස සිතින් මැන බලමින් සිටියදී අවදි වූ අප්පච්චී අවතාරයක් දුටු කලක මෙන් මා දෙස තත්පර පහ හයක් බලාසිට පුටුවෙන් නැගිට්ටේ "මගෙ පුතාට කම්මැලිද" අසාගෙනය.

"මට දෝණි නැතුව පාළුයි" මා කිසිදාක දැක නැති තරමේ සුන්දර සිනහවකින් මා දෙස බැලූ අප්පච්චී "අපි හවසට මාළිගාවට යං" කියා උරහිස මත අත තබා මා ළංකරගත්තේය.

"මට ඊට කලින් වත්ත පහළට යන්න ඕනි. අම්මා යන්න දෙන්නෑ"

"එහෙනං යං මාත් එක්කම. මට කොහොමත් ඔයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා"

පුංචි කාලයේත්  මා වඩාත් ප්රිය කළේ වත්ත පහළට වී කාලය ගත කරන්නටය. ළමා කාලයේ මතකයන් බොහොමයක් බද්ධව තිබෙන්නේද ලොකු වෙරළු ගහකට පහළින් හත් අට දෙනෙකුට නිදාගන්නට පවා ඉඩ ඇති පැතලි කළු ගල් තලාව අසලය. ගල් තලාවට පහළින් තිබුණ සරුවට වැවුන රඹුටන් සහ මැංගුස් ගස් හත අටත් පේර  සහ ජෑම් පේර ගස් කිහිපයත් පුංචි කාලයේ මා එතනට ඇලුම් කරන්නට ප්රධාන හේතුවක් විය.

කරාබු ගස් අතරින් වැටී ඇති  අඩි පාරෙ මට ඉදිරියෙන් ගිය අප්පච්චී ගල උඩින් වාඩි වී හොඳින් වටපිට බැලුවේය. ඉස්සර ඔහු එතනට එන්නේ අම්මාට අපේ රණ්ඩු සමථයකට පත් කරන්නට නොහැකි වූ විටය. කාලයේ  නිතරම මා සමග රණ්ඩු වූයේ පොඩි අයියාය. එහෙත් හැමදාමත් රණ්ඩුව කෙලවර වන්නේ ලොකු අයියාත් පොඩි අයියාත් අතර ඇතිවන ගුටි බැට හුවමාරුවකිනි.

"අප්පච්චිටත් අපේ රණ්ඩු මතක් වුණාද" අසාගෙන මා ඔහු ළඟින් වාඩි වන විට අප්පච්චිගේ මුහුණේ තිබුණේ ටිකකට පෙර දෝණි ගැන සදහන් කරද්දී  තිබුණ හිනාවමය. එහෙත් ක්ෂණිකවම හිනාව අතුරුදහන් විය.

"මට ඔයාගෙ පුංචි කාලෙ ගැන දුකයි පුතේ"

"අපි දැන් ගැන හිතලා සතුටු වෙමු අප්පච්චි" නළල රැලි කර මා දෙස බැලූ අප්පච්චී "ඔයා අම්මා වගේමයි පුතේ" කියා මගේ හිස පිරිමැද්දේ ආඩම්බරයෙනි.

"අම්මා හරියට මට තාමත් කියවලා ඉවර කරගන්න බැරි වෙච්ච පොතක් වගේ.  මං දන්නවා මට මැරෙණකල්ම පොත සම්පූර්ණෙන් කියවගන්න බෑ. වුණාට ඔයා කරපු හිතුවක්කාර වැඩේ නිසා මට යාන්තං පොත පෙරලලා බලන්ඩ පුළුවන් වුණා"

"අප්පච්චි තාම තරහද මාත් එක්ක"

"නෑ පුතේ. අම්මා කියනවා වගේ ඔයා වෙලාවෙ කරේ ඔයාට අයියා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ. වෙලාවෙදි ඔයත් මං වගේම නපුරු වුණානං අයියටත් වඩා අසරණ වෙන්නෙ අර පුංචි එකී"

"මං කාලෙ ගැන ආයෙ මතක් කරන්නවත් කැමති නෑ අප්පච්චි" ඉන්පසු බොහෝ වේලාවක් යනතුරු අප්පච්චී සිටියේ ඈතක් බලාගෙන කල්පනා කරමිනි. ඔහුට ඔහුගේ දරදඬු ප්රතිපත්ති ගැනත් ඒවායින් අත් වූ ඉරණම් ගැනත් පසුතැවිල්ලක් දැනෙනවා වන්නට පුළුවන.

"සහෝදරයො අතරෙ තියෙන බැඳීම මොකක්ද කියලා මං තාමවත් හරියට දන්නෑ පුතේ. මොකද මට කවදාවත් එහෙම කවුරුත් ඉදලා නෑනෙ. මං දැන් ගැන ඉගෙන ගන්නෙ ඔයාලා දිහා බලලා. අම්මා තමයි මට එහෙම හිතන්න පුරුදු කරේ "

"මට ගෙදර ඇවිත් යන්න උවමනාව තිබ්බා අප්පච්චි. ඒත් මට බය හිතුනා ආවොත් අප්පච්චි මට ආයෙ යන්න දෙන්නැති වෙයි කියලා" අප්පච්චී මා දෙස බැලුවේ මද වේලාවක් හඬ නගා සිනාසීමෙන් පසුය. එකත් එකටම ඔහු බලා සිටින්නට ඇත්තේද එය එසේ කරන්නටය.

" අපි දැන් ඒවා අමතක කරමු  පුතේ. මං දවසට සිය දහස්වාරයක් මැරි මැරී ඉපදෙනවා මං ගත්තු සමහර තීරණ ගැන"

"දැන් ඒවා ගැන හිතලා දුක් වෙන්ඩ එපා අප්පච්චි. ලොකු අයියගෙ හිතේ වුණත් අප්පච්චි ගැන දැන් තරහක් නෑ"

"ඒත් මගෙ හිත තාමත් එයාට සමාව දෙන්න ලෑස්ති නෑ පුතේ" මා අසන්නට බලාපොරොත්තු නොවූවක් නිසා මට කිසිවක් කතාකර ගත නොහැකි විය. මා සිතමින් සිටියේ ඔහු අතීතය සහමුලින් වල දමා ඇති බවය.

"ලොකු අයියා පුංචි කාලෙ මට කවදාවත් ආසාවට එයාව මං ළඟ තියාගන්න බැරි වුණා. මට ඔයාලා තුන්දෙනා ළඟින් ඉන්න පුළුවන්කම තිබිලවත් මං ඔයාලව ළං කරගත්තෙ නැත්තෙත් ඒකයි. ලොකු අයියට නොලැබුණ පුංචි කාලෙ ඔයාටලට දෙන්නත් ඕන්නෑ කියලයි මට හිතුනෙ. ඒත් දැන් මට ගැන දුකයි. ලොකු අයියා ඉපදුන වෙලාවෙ ඉදලම හිටියෙ ඔයාගෙ අම්මා එක්ක නුගවෙල. ඒ දවස්වල අයියා අම්මගෙන් වෙන් කරන්නත් බැරි අම්මා අයියගෙන් වෙන් කරන්නත් බැරි තත්වයක් තිබ්බෙ. නුගවෙල අත්තම්මලා අම්මට හොඳ යෝජනා දෙක තුනක්ම ගෙනාවත් අම්මා ඒ එකකටවත් කැමති වුණේ නෑ අයියා නිසා. අත්තම්මලා අම්මට මාව බඳින්න කිව්වත් අම්මා ඒකට කැමති වුණෙත් නෑ. මගේ හිතෙත් මුලින් ඒකට කැමැත්තක් තිබ්බෙ නෑ. ලොකු අයියා මං ළඟට එන්නැති එක වගේම අම්මා ලොකු අයියා නිසා නොබැඳ ඉන්න එකත් මගෙ හිතට බරක් වෙලයි තිබ්බෙ. සමහර දවස් වලට මං අදනං ඇඬුවත් තියාගන්නවමයි කියලා හිතාගෙන යනවා ලොකු අයියව අරන් එන්න. එයා මං එක්ක කැමැත්තෙන් එනවා. ඒත් පැයක් දෙකක් යනකොට එයාට ආපහු අම්මා ඕනි වෙනවා. මට එයා අඬද්දි මං ළඟ තියාගන්න හිතෙන්නෑ. ඉතින් ආයෙත් එක්ක යනවා. මං අයියව නුගවෙල තියලා ගෙදර එන්නෙ පිස්සෙක් වගේ. අත්තම්මට ඕක බලන් ඉන්න බැරිම තැන අත්තම්මා මට වෙන කෙනෙක් හොයනවා කියලා බොරු කියලා තමයි අන්තිමට අම්මව කැමති කරගත්තෙ"

අතීතය ගැන තබා එදිනෙදා සිදුවෙන දෙයක් ගැනවත් අප සමග කතා නොකළ අප්පච්චී මා කිසිදා අක්මුල් සොයන්නට නොගිය අතීත කතාවක් කෙටියෙන් කියා මා දෙස බැලුවේ මා ඊට සවන් දෙන්නේ කෙසේදැයි දැනගන්නට මෙනි.

"අම්මා ලොකු අයියා ඉපදුන වෙලාවෙ ඉදලම කරේ ලොකු කැපකිරීමක්. එයා එයාගෙ තරුණ ජීවිතේ තමන්ගෙ අක්කා වෙනුවෙන්, අක්කගෙ දරුවා වෙනුවෙන් කැපකරා. ලස්සනට මනමාළියෙක් වෙලා තමන් කැමති කෙනෙක් එක්ක යන්න පුළුවන්කම හැම අතින්ම තියෙද්දිත් එයා කිසිම උත්සවයක් නොගෙන රෙජිස්ට්රාර් ළඟ අත්සන් කරලා ලොකු අයියව වඩාගෙන මාත් එක්ක මේ ගෙදරට ආවෙ ලොකු අයියා වෙනුවෙන්" අප්පච්චීට මා සමග තවත් බොහෝ දේ කියන්නට ඇති බව දැනුනත් යන්තමින් කටහඬ බිදී යද්දී ඔහු ඈතක් බලාගත්තේය. අප්පච්චී අපට බොහෝ ඈතින් ජීවත් වන්නට උත්සහ කළත් අම්මා සහ අප්පච්චී අතර වූ බැඳීමේ ශක්තිමත් බව මා වටහාගෙන තිබුණේ කුඩා දැරියක කාලයේ පටන්ය.

"පුංචි කාලෙ නොතේරුණාට ලොකු වෙනකොට අම්මා එයා වෙනුවෙන් කරේ කොච්චර ලොකු කැපකිරීමක්ද කියලා අයියා තේරුම් ගනියි කියලා මං හිතා හිටියා"

"අයියට ඒක තේරෙණවා අප්පච්චි. අයියා නිතරම මං එක්ක කතා කරෙත් අම්මා ගැන. එයා අම්මව බලන්න එන්න ආසාවෙන් හිටියෙ"

"එයාට හැමදේම තේරුම් යන්න ඇත්තෙ වෙන්න තිබ්බ සේරම වෙලා ඉවර වුණාටත් පස්සෙනෙ. වුණාට එයා ගෙදරින් යද්දි අම්මට කියපු දේවල් අම්මා දවස්වලම අමතක කරත් මට තාම ඒක අමතක කරන්න බෑ පුතේ"

"ඇයි අයියා මොනාද කිව්වෙ" මගේ හඬේ ගැබ්ව තිබූ සියුම් නොමනාපය හඳුනාගත් අප්පච්චී යළි කතා කළේ මහිස පිරිමැද මා සන්සුන් වූ බව වටහාගත් පසුවය.

"හිච්චි අයියවත් පොඩි අයියවත් නොදන්න මේ කතාව මං ඔයාට විතරක් කියන්නෙ ඔයත් අයියා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු නිසයි, ඔයාට දෙන්නට වඩා හොඳට ලොකු අයියව තේරුම් ගන්න පුළුවන් කියලා මට හිතෙන නිසයි. හැබැයි මේක අහලා ඔයා අයියත් එක්ක තරහා වෙන්න එපා. මට ඕනි ඔයාලා අතරෙ තියෙන සහෝදරකම බිදින්න නෙවෙයි"

"මට අනිත් දෙන්නත් එක්ක තරහ වුණත් දැන්නම් කීයටවත් ලොකු අයියත් එක්ක තරහා වෙන්ඩ බෑ අප්පච්චි"

"අයියා ගෙදරින් යනකොට ඔයා පොඩි නිසා ඔයාට සමහර දේවල් දැනෙන්න නැතුව ඇති. මට එයාගෙ කසාදෙට කැමති වෙන්න කොහෙත්ම පුළුවන් කමක් තිබ්බෙ නෑ. මටත් වඩා අම්මා ඒකට අකමැති වුණා. අපි අකමැති වෙන බව දැන දැනම කෙල්ලත් එක්ක යාළු වෙලා අන්තිමට අයියා අම්මට කිව්වෙ අම්මා මේ තියෙන දේවල් ඔයාලා තුන්දෙනාට දෙන්න ඕනි කමට අයියව ගෙදරින් අයින් කරන්න මට අනුබල දෙනවා කියලා"

ලොකු අයියා කෙරෙහි මහමෙරක් තරමට ඉදිව තිබූ සෙනෙහස එක් ක්ෂණයකින් කඩා වැටී බිමට සමතලා වන්නට පෙර මට ඔහු මා සමග කියූ යම් යම් දේ නිසා ඔහුගේ සපත්තුවට බැස දෙස බලන්නට හැකි විය. මුළු ගෙදරම එපා වී සිටි ඔහුට දිනවල අම්මා ඔහු කුඩා කාලයේ ඔහු වෙනුවෙන් කළ කැපකිරීම් කිසිවක් සිහිවන්නට නැත.

"මං කවදාවත් අම්මව අඬවලා නෑ. ඒත් ලොකු අයියා අම්මව කොච්චර ඇඬෙව්වද. අයියා විතරක් නෙවෙයි ඔයා වුණත් අම්මට දුන්නෙ උහුලන්න පුළුවන් ගින්දරක් නෙවෙයි"

"එදා ගාල්ලට ගියෙ මේ ඉන්න මං නෙවෙයි අප්පච්චි. මං ගොඩක් දේවල් ගැන කලකිරිලා හිටියෙ. ඒකයි මං අයියවයි දෝණිවයි බලාගෙන එහෙට වෙලා ඉන්නවා කියලා හිතුවෙ. මං තාමත් හිතන්නෙ එහෙමයි. මගේ අම්මා අයියා වෙනුවෙන් කරපු කැපවීමම මට අයියගෙ දුව වෙනුවෙනුත් කරන්න පුළුවන් අප්පච්චි"

"ඔව්. ඔයා ඒක කරන්න ඕනි. හැබැයි අයියා ළඟ ඉදගෙන නෙවෙයි. අයියටත් වඩා හොඳට ඔයාව බලාගන්න පුළුවන් කෙනෙක් ළඟ ඉදගෙන. කවදහරි දෝණිට තනියක් නොදැනෙන්න එයාටත් නංගිලා මල්ලිලා ඉන්න ඕනි. අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙන්. ලොකු අයියා වුණත් අන්තිමේදි තනි නූනෙ එයාට නංගියෙක් හිටිය නිසානෙ"

"මට ගැන හිතන්න තව කල් ඕනි අප්පච්චි"

"ඒකට කමක් නෑ පුතේ. ඒත් ඔයා මතක තියාගන්න ඕනි කෙනෙක් ඔයා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා අවුරුදු ගානක් තිස්සෙ බලන් ඉන්න බව"

"කවුද" ජනක විය යුතු බවට අනුමානයක් තිබුණත් මට එය සැකහැර දැනගන්නට වුවමනා විය. එහෙත් අප්පච්චී ඈතක් බලාගෙන සිටියා මිස මගේ ප්රශ්ණයට උත්තරයක් දෙන්නට උත්සහ නොකළේය. අම්මා අප සිටි දෙසට ඇවිද එමින්ම අප්පච්චීට අඩ ගැසුවේ එවෙලේය.

"මං අම්මා කතා කරන්නෙ ඇයි බලලා එන්නං" කියාගෙන  අප්පච්චී  අම්මා පසුපසින් නිවස දෙසට ගියේ මට මගේ නිදහස් රාජ්ජයේ තනිවන්නට ඉඩ සලසමිනි.

කකුල් දෙක දණහිසින් මදක් නමාගෙන ගල උඩට වැටි තිබුණ දිරච්ච අතු කෑල්ලක් ටිකෙන් ටික කඩ කඩා ගලෙන් පහළට වීසි කරමින් මා සිටියේ අතීතයේ මට වැරදුන තැන් හඳුනාගන්නට අසීරු උත්සහයක නිරත වෙමිනි. ජනක මා සමග කතා කරන්නට පැමිණියද ඔහු සමීර හෝ අරුණෝද්‍යා ගැන වචනයක්වත් නොකියන්නට පරිස්සම් වූයේ හිතාමතාමය. ඒ දෙදෙනා ගැනම වඩාත් හොඳින් දන්නා පුද්ගලයා ලෙස මට ඒ ගැන අසා දැනගන්නට තිබෙන්නේද ඔහුගෙන්ම පමණි. පිටුපසින් ඇසුන අඩි හඬට මා හිස හැරෙව්වේ අප්පච්චී ආපහු පැමිණි බව සිතාගෙන වුවත් මගේ ඇස් උඩ ගියේ මා අසල සිටගෙන සිටි සමීරව දුටු පසුය.

"බයවෙන්න එපා. මං පැය බාගයක් ඔයත් එක්ක කතා කරන්න බලධාරින්ගෙන් පර්මිෂන් අරගෙනයි ආවෙ" කියමින් සමීර මා අසලින්ම වාඩි වන විට මම ඔහුට නොදැනෙන්නට අත කොනිත්තා ගත්තෙමි. ඔහු ළඟ රැදෙන්නට ඔහු සමග කතා කරන්නට පෙරුම් පුරමින් බලා සිටි අතීතයක් තිබුණද වර්තමානයට කිසිවක් වලංගු නැති බව මට මතක් වූයේ ඊටත් පසුය.

"මට ඔයත් එක්ක කතා කරන්න ඕනි" ඔහුට ඔහුගේ විවාහයට පෙර මා ඉදිරියේ පාපොච්චාරණයක් කරන්නට උවමනා බව වටහාගත හැකි වුවත් මට ඊට සවන් දීමට තරම් හොද  මානසිකත්වයක් තිබුණේ නැත.

"මං ඔයත් එක්ක තරහා නෑ. ඒක නිසා මට වෙච්ච දේවල් මොනවත්ම දැනගන්න උවමනාවක් නෑ" කියා අත තිබූ කෝටුව ගලෙන් පහළට වීසිකල මා එතනින් නැගිටින්නට සූදානම් වුවත් සමීර මගේ අත තදකොට අල්ලා ගත්තේ හිමීට ඇස් වලට එබෙමිනි. ඔහු අසලදී සිරකර තබාගන්නට උවමනා වූ සියළු හැඟුම් බැමි කඩාගෙන පිටතට ගන්නට තරම් ශක්තියක් බැල්මේත් ස්පර්ශයේත් ඉතිරි වී ඇති බව මා නොදැන සිටියද ඔහු දැන සිටින්නට ඇත.

කම්මුල් වලට දෑත් තබා මහපටඟිල්ලෙන් කඳුළු පිස දැමූ ඔහු ඉන්පසු තදින් මා වැළඳගත්තේ  "කොල්ලෙක් එක්ක යාළු වුණොත් අම්මා ආයෙ කැම්පස් එවන්නැති වෙයි කිව්වම ඔයා ඉගෙනගෙන ඉවර වෙනකල් අමාරුවෙන් ඉවසන් හිටිය මං ගැන එහෙම හිතුවෙ කොහොමද කියන්න" කියමිනි. අම්මා, අප්පච්චී අයියලා සහ ජනකගේ හැසිරීමේ තිබූ පැටළිලි සහගත බවම සමීරගේ වදන් වල සහ හැසිරීමේද එලෙසම තිබුණ නිසා දිය යුතු පිළිතුරක් ගැන මට වැටහීමක් නොතිබුණි..

"මං ඔයාට කොච්චර ආදරේද කියලා මංවත් දැනන් හිටියෙ නෑ ඔයා මට නැතිවෙනකල්ම" කියමින් තදින් මහිස සිපගත් සමීර ඒ මතට කම්මුලක් තද කරගත්තේය.

අවුරුදු ගනනාවක් තිස්සෙ අහන්නට බලාපොරොත්තු වූ වදන් විදින්නට වුවමනා වූ උණුසුම අඩු නැතුව ලැබුණද මා සිටියේ කිසිවක සතුට සිත්සේ විඳගත හැකි තත්වයක නොවේ.

"අරුණෝද්යාව දැක්කට පස්සෙවත් අයියගෙ අකවුන්ටන් මං නෙවෙයි ජනක වෙන්න ඕනි කියලා ඔයාට හිතුන්නැත්තෙ ඇයි කියන්න" කියමින් නළලට අත තබා මුහුණ ඉස්සු ඔහු මගේ දෑස් දෙස බලා සිටිද්දී මට සිදු වූ සියල්ල වැටහෙමින් තිබුණි.

"ඉස්සර ජනකගෙ පර්ස් එකේ තිබ්බෙ උගෙ නංගිගෙ ෆොටෝ එකක්. ඔයා කැම්පස් එකෙන් ගිහින් හොයාගන්න බැරි වුණාට පස්සෙ ඔයාගෙ ෆොටෝ එකකුත් පර්ස් එකේ දාගෙන ඉදලා. ඔයාව හොයන්න හරියට මහන්සි වෙච්ච නිසා අරුණෝද්යා හැම වෙලේම රණ්ඩු කර කර ඉදලා තියෙන්නෙ. උගේ හිතේ ඔයා ගැන අදහසක් නෑ කියලා කොච්චර කිව්වත් අහන්නැති නිසා තමයි එන්ගේජ් වෙලා තියෙන්නෙත්. ඔයාගෙ ලොකු අයියත් කොහොමහරි දැකලා තියෙනවා උගෙ පර්ස් එකේ ඔයාගෙ ෆොටෝ එකක් තියෙනවා.  ජනක දවසක් අයියගෙ ළඟ ඔයාගෙ ෆොටෝ එකක් තිබිලා ඒක දිහා බලා හිටිය විදිහටයි ඔය පර්ස් එකේ ෆොටෝ කේස් එකයි නිසයි අයියා හිතා ඉදලා තියෙන්නෙ ඔයා අයියත් එක්ක කිව්වෙ ජනක ගැන කියලා. අයියා හිතා ඉදලා තියෙන්න ඔයාට බව නොකියම ගෙදර එක්ක ඇවිත් ආපහු එක්ක නොයා ඉන්න. අකවුන්ට් සෙක්ෂන් එක වෙනම තියෙන නිසා ඒකෙ අයත් එක්ක ඔයාට මූව් වෙන්න වෙන්නැති නිසයි අයියා එදා ඔයාව අන්තිම දවස කියලා හිතාගෙන වැඩට එක්ක ඇවිත් තියෙන්නෙ

"එතකොට  එදා මොකද්ද වුණේ"

"අපේ ලොකු නංගි බැන්දෙ ගාල්ලටනෙ. මල්ලි අසනීප වෙලා පහුගිය සතියෙ මමත් හිටියෙ ගාල්ලෙ. වැඩිපුරම හොස්පිටල් එකේ. මල්ලි ගාව ඉන්න වෙන කෙනෙක් හිටියෙ නෑ. ජනකයා මට කෝල්ස් කීපයක්ම අරන් තිබ්බට මට කතා කරන්න වුණේ නෑ මං හිටියෙ ප්රශ්ණ ගොඩක් මැද. ඒත් එදා කතා කරද්දි මං හිටියෙ ඔයාලගෙ ඔෆිස් එක කිට්ටුවක. ඌ මාව හම්බෙන්න එතනට ඇවිත් තමයි ඔයා ගැන විස්තර කිව්වෙ. ඇත්තමයි මට තාමත් මතක නෑ මං ඔයාලගෙ ඔෆිස් එකට ආවෙ කොහොමද කියලා. මං දන්නෑ මං ඇතුලට ආවෙ දොරට තට්ටු කරලවද්ද කියලා. මං එනකොට ඔයා හිටියෙ අයියට තුරුළු වෙලා බය වෙලා වගේ. එතකොටයි මං දැක්කෙ අරුණෝද්යා කාමරේ ඉන්නවා. එයා කොහොමත් ඔයා එක්ක තරහින් හිටියෙ කියලා මං දන්නවනෙ. මං හිතුවෙ ඔයා බයවෙලා හිටියෙ එයා බැනලා  කියලා. එදා මළ ගෙදරදි අර ජීවිතේටවත් දැකලා නැති අපේ කොල්ලො ටික මැද්දට පැනලා ඉවක් බවක් නැතුව කියවපු හැටියට එයා ඔෆිස් එකක වුණත් කට පියාගෙන ඉදියි කියලා මට හිතුන්නෑ "

"මට තාමත් හිතාගන්න බෑ. හරියට හීනයක් වගේ"

"මගේ ආදරේ කවදාවත් හීනයක් වෙන්නෑ කෙල්ලෙ" කියා කෙඳිරූ දෙතොලේ උණුසුම නළල හිරිවට්ටවාගෙන ලේ නහර වලට කාන්දු වී ඇඟ පුරා පැතිරෙමින් තිබියදී  මම පුළුල් පපුතුරේ උණුසුමට ගුලි වී සිටියෙමි.

"අපෙ අම්මට ඔයාව බලන්න හදිස්සියි. අප්පච්චිගෙන් අද අහගෙන යන්න ඕනි එක්ක එන්න දවසක්"

"ඔයා අපෙ අප්පච්චිත් එක්ක කතා කරාද"

"එදා හොස්පිටල් එකේදිමයි මං අම්මයි අප්පච්චියි එක්ක කතා කරේ. මතකද මං දවසක් කිව්වා මට අම්මගෙන් අහන්න දෙයක් තියෙනවා කියලා. ඉතින් මට අම්මව මුණ ගැහුණ පළවෙනි වතාවෙම මං මට අහන්න ඕනි දේ ඇහුවා "

"මොකක්ද?"

"වෙන මොකක්වත් නෙවෙයි, අම්මා මෙච්චර පරිස්සමට හැදුව දෝණිගෙ පරිස්සම මට බාරදෙන්න පුළුවන්ද කියලා"

"ඉතින් පුළුවන් කිව්වද"

" වෙනකොට අයියා ඔක්කොම විස්තර කියලා තිබුණ නිසාද දන්නෑ ඉල්ලපු ගමන්ම මට දෙන්නගෙම කැමැත්ත ලැබුණා"

"එහෙනං ඇයි ඔයා මං හොස්පිටල් එකේ ඉන්නකොට බලන්න ආවෙ නැත්තෙ"

"ඔයාට වුණේ වැරදීමක් කියලා අපි දැනන් හිටියට ඔයා ඒක තේරුම් ගන්න තත්වෙක හිටියෙ නැති නිසා ජනකගෙ අයියා මට ඔයාව ඔයාට නින්ද ගිහින් ඉන්න වෙලාවක බලන්න දුන්නෙත් අකමැත්තෙන්. මට ඒකටනං තරහා ගිහිල්ලත් හිටියෙ. අඩුගානෙ මට ඔයාගෙ ඔළුව චුට්ටක් අතගාන්නවත් දුන්නෑ"

"ජනකගෙ අයියත් මට හරියට ලොකු අයියා වගේ. ඇයි කියන්න තේරෙන්නෑ මට දැනෙන්නෙ මගෙම අයියා කෙනෙක් වගේ"

"වගේ නෙවෙයි.   දෙන්නත් ඔයාගෙ අයියලා දෙන්නෙක් තමයි. ජනකගෙ අම්මා ඔයාලගෙ අම්මගෙ ලොකු අම්මගෙ දුව"

"එහෙනං ඇයි එදා මං අහනකොට අම්මලා දෙන්නා යාළුවො කිව්වෙ" 

" ඕගොල්ලන්ගෙ පවුල්වල සිරිතක්ලු. එහෙම ගෙදරින් ගිය කෙනෙක් ගැන ආයෙ කතා කරනවත් නෑදෑකං තියාගන්නවත් සිරිතක් ඔයාලගෙ පවුලෙ නැතිලු. ඒක නිසා ජනකගෙ අම්මට ඔයාලගෙ අම්මා කියලා තියෙනවා නෑදෑකම කාටවත්ම දැනගන්න දෙන්න එපා කියලා. අයියයි ජනකයි දැනන් ඉදලා තියෙනවා. ඒත්  මුගේ මෝඩකම කියන්නෙ අරුණෝද්යා අච්චර රණ්ඩු වෙද්දිවත් ගැන කියලා නෑනෙ. ඔයාලගෙ ලොකු අයියයි මායිත් ඔය නෑදෑකම ගැන දැනගත්තෙ එදා හොස්පිටල් එකේදි"

"මට එහෙම එකක් කවදාවත් හිතිලා තිබ්බෙ නෑ. මං බයෙන් හිටියෙ අර ඔයා එයාලගෙ මළ ගෙදර යනකොට කිව්ව එක ගැන හිතලා"

"බොරු කියන්නෙ මොකටද මටත් ඔය බය එහෙම්ම තිබ්බා. ඒත් මට විශ්වාසයක් තිබ්බා ඔයාව මට ලැබෙනවමයි කියලා"

" කියන්නෙ මට දැන් අයියලා පස් දෙනයි"

"හ්ම්....අයියලා විතරක් මදි නිසා මං ඔයාට දෙන්නං නංගිලා තුන්දෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි" කියමින් ඔහු මහිස එසෙව්වේ සිනාසීගෙනය.

"මං කොච්චර වාසනාවන්තද කියලා හිතෙන්නෙ දැන් තමයි"

"දෙමව්පියන්ට තමන්ගෙ දරුවො ගැන දැනෙන ඉව වෙන කාටවත් නෑ. ඔයා වාසනාවන්තයි කියලා ඔයාට හිතෙන්නෙ දැන් වුණාට අප්පච්චිලාට ඒක ඔයා ඉපදුන ගමන්ම දැනෙන්න ඇති. ඒකනෙ අප්පච්චි දූ කුමාරිට භාග්යා කියලා නම තියන්න ඇත්තෙත්"

නිමි!

සඳමාලි සකුන්තලා හේරත්

2016.07.31


 

මා මේ කතාව ලියන්නට ගත්තේ අවුරුදු තුනක් හෙම්බත්ව ගෙවූ ඒකාකාරි ජීවිතයේ ලැබුණ මද විරාමයේදී හිතට සතුටක් ලබාදෙන්නටය. නමුත් මා බලාපොරොත්තු වූවාට වඩා කාලයක් මට මේ වෙනුවෙන් යොදවන්නට සිදු වු අතරම බලාපොරොත්තු වූවාට වඩා විශාල පිරිසක් මේ කතාව රස විදින්නටද එක් වී තිබුණි.

 

මේ මා ලියා අවසන් කළ පළමු නවකතාවයි. මෙය ලිවීම ආරම්භ කළේ විවේකීව වුවත් අවසන් කරන්නට වූයේ කලබලයෙනි. එයින් කතා රසයට බාධා ඇති වුවත් මට මීට වඩා දවසක්වත් මේ වෙනුවෙන් වැය කරන්නට පුළුවන් කමක් නැත. එනිසා පසුව උවමනා තැන් සංස්කරණය කරන තුරු මා මෙතනින් නැවතිය යුතුය.

ලෝකයේ හතර දිග් භාගයේ සිට මේ කතාව කියවන්නට එක්වූ ඔබ සියළු දෙනාටත්, මේ කතාව කියවමින් ලියන්නට මා දිරිමත් කරමින්, අඩුපාඩු පෙන්වා දෙමින් ප්රතිචාර දක්වමින්, කෙටි පණිවිඩ එවමින් මා සමග රැදුන සියළු දෙනාටත් බොහොමත්ම ස්තූතියි!.

ඔබේ වෙලාවෙන් විනාඩි කිහිපයක් වෙන්කල හැකිනම් ඔබේ අදහස් මේ බ්ලොග් එකේ හෝ ෆේස් බුක් එකේ සටහන් කර තබන්න. එසේ නොහැකි නම් sandawiyaman@gmail.com ලිපිනයෙන් මා අමතන්නටද පුළුවන

37 comments:

  1. //අරුණෝද්‍යාව දැක්කට පස්සෙවත් අයියගෙ අකවුන්ටන් මං නෙවෙයි ජනක වෙන්න ඕනි කියලා ඔයාට හිතුන්නැත්තෙ ඇයි කියන්න//

    ඒක නං මටත් තේරුණේ නෑ.. ඉතිං මේ කෙල්ලට තේරෙවියැ. අකවුන්ටන් ජනක බව අවසාන කොටස වෙනකං හංගලා තියපු එක නම් නියමයි.ඔයා අපිව ඉතා හොඳින් නොමග යැව්වා..!!

    ඒ වගේම කතාවේ නමත් කතාවට හොඳටම ගැළපෙනවා.සමහර තැන්වල පැටලිලි සහගත බවක් සහ අතාත්වික බවක් දැනුණත් ගොඩක් ආශාවෙන් කියවන් යන්න පුළුවන් බවක් හැමදාමත් මේ කතාවේ තිබුණා.හරිම රීඩබල් ගතියක්.. බ්ලොග්රෝලේ මේක අප්ඩේට් වෙනකම් බලන් උන්නේ මේ අන්තිම දවස් ටිකේ.

    අනික මේක අක්කාගෙ පළමු කෙටි නවකතාව කිව්වනෙ.ඒ නිසා ගොඩක්ම මේක සාර්ථකයි.මෙච්චර දවසක් ඉතින් මං ඊළඟ කොටස ඉල්ලලා රණ්ඩු ඇල්ලුවා විතරනේ.අද තමා දිග කමෙන්ට් එකක් දැම්මේ ඔන්න..!

    දෙවෙනි නවකතාව මීටත් වඩා ගොඩක් හොඳින් ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ඒ වගෙම ඒක ඉතාම ඉක්මණට අපිට කියවන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..

    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ දීර්ග කමෙන්ටුවටත් මෙච්චර දවසක් කරපු සොදුරු ගර්ජනාවටත් බොහොම ස්තූතියි!

      අකවුන්ටන් ජනක බව ඇත්තටම මං හංගලා තිව්වෙ නෑ. මම දැනුවත්ව දෙන්නෙක්ම එහෙම හිතා හිටියා. මම ජනක ගැන මහා විස්තරයක් මුලදි නොකරට එයා භාග්‍යාට විශේෂත්වයක් දක්වපු බව දැනෙන්න ඇරියා.

      ඒත් ගොඩක් වෙලාවට අපිට කියවන්නෙ ලැබෙන කතාවල හැටියට අති බහුතරය හිතන්නෙ ඒ සමීර කියලා.

      ඒ සමීර කියලා හිතපු අය එක්ක මට ගනුදෙනුවක් නෑනෙ. මට රවට්ටන්න ඕනි වෙන්නෙ ඒ ජනක කියලා හිතපු අය විතරයි. ඒක මං සාර්ථකව කළ බව 16 කියවපු අය එදා පිස්සු හැදිලා හිටිය හැටියෙන් තේරුණා. හැමෝම හරිම හිස් බවකින් ඒ ගැන කතා කළේ. ඒකයි මං අන්තිම කොටසත් විගහින් දුන්නෙ.

      ඔයා නම ගැනත් කිව්වනෙ. මං කතාවකදි වැඩියෙන්ම වද වෙන තැන් තමයි නමයි අවසානයයි. මේ කතාවෙදි නං නම තීරණය කරන්න අපහසු වුණේ නෑ. මං කැමති තනි වචනෙකට. අර මං " මුලාව" කියලා කතාවක් ලියලා තියෙන්නෙ, අන්න ඒ නම හදාගන්න මාසයක් විතර ගියා

      මේ කතාවට ලැබුණ ප්‍රතිචාරත් එක්ක දෙවෙනි එකක් ලියන්න මටත් ආසාවක් ඇති වුණා. ඒත් ආයෙ මෙහෙම විවේකීව ලියන්න තියා හිතන්නවත් කාලයක් නොලැබෙන නිසා ඒකට කොච්චර කාලයක් යයිද කියන්න බෑ. ඒත් ලිව්ව දවසක ඒක මම අනිවාර්‍යෙන්ම ඔයාලත් එක්ක බෙදාගන්නවා

      Delete
    2. වැසි දැරිය, අහන්න ඕනිම එක අමතක වුණානෙ, ඔයාට ඉඩ තියෙන වෙලාවක ඒ ඔයාට අතාත්විකයි වගේ දැනුන තැන් මොනවද කියන්න.

      පැටලිලි ගතියට නං මං හරිම මනාපයි

      Delete
    3. //"මුලාව" කියලා කතාවක් ලියලා තියෙන්නෙ//

      මෙතුමියගේ කතා කියවන අපිත් මුලා වෙනවා නිතරම.මොකද අවසානය අපිට ලේසියෙන් අනුමාන කරන්න බැරි නිසා.

      Delete
    4. ඔයානං මගෙන් ගුටියක් කන්න ඉතාම ආසන්නයි මල්ලි

      Delete
    5. මනෝජ් මල්ලි,
      ඔයා මුලදිම කිව්වනෙ ඔයාට මේ කතාව බෝරිං, ඒ අන්තිමට වෙන්නෙ මේකයි කියලා හිතෙන නිසා වෙන්නැති කියලා.

      දැන් මං ලියලා ඉවර නිසා කියන්නකො බලන්න මොකක්ද ඔයා ඒ හිතා හිටියෙ කියලා

      Delete
    6. අක්කේ,
      බොහෝ ප්‍රේම කතාවන් අවසානයේදී සිදුවන්නේ මොන බාධක මැද හෝ ප්‍රේමවන්තයෝ එකිනෙකා එකතුවීම නිසා මම අනුමාන කෙරුවේ "භාග්‍යා"ට තමන්ගේ ප්‍රේමවන්තයා හමුවේවි කියලායි.එත් ඒ ප්‍රේමවන්තයා සමීර ද ජනකද කියන එක ගැන මට වැටහීමක් තිබ්බේ නැහැ.

      Delete
    7. මනෝජ් මල්ලි,
      ඔයා නිකන් අපේ පුතා පොඩි කාලෙ කතන්දර කිව්වා වගේනෙ. ඔක්කොම කතා ඉවර වෙන්නෙ අන්තිමට සතුටින් ජීවත් වෙලානෙ. ඒක හන්දා එයා මුල චුට්ටක් කියලා........අන්තිමට සතූ.....ඌඌඌඌ.....ටින් ජීවත් වුණාලු කියලා කතාව ඉවර කරනවා.

      ඔන්න දවසක් අර ගමරාලට යකෙක් කන්න බඩගිනියි කියන කතාව එයා අපිට කියලා දෙනවා.

      මුල චුට්ටක් කිව්වා, යකා ඇද යටට රිංගන හරියට. ඊට පස්සෙ "අන්තිමට යකයි ගම හාමිනෙයි සතූඌඌඌඌඋටින් ජීවත් වුණාලු" කිව්වා.

      Delete
  2. දිගටම කතාව ලීවට බොහොම ස්තුතියි.
    මා ආශාවෙන් කියෙව්ව. ඔබගේ පළවෙනිම කතාව හැටියට සෑහෙන්න හොඳයි. යම් යම් අවස්ථාවල නොගැලපීම් තිබුනා. ඒවා බොහෝ විට ඔබ හදිස්සියෙන් කලබලයෙන් ලියපු නිසා වෙන්න ඕනේ.
    ඒකට කමක් නෑ.
    cheers.... !!!

    ReplyDelete
    Replies
    1. Buru Babe, ඔයත් හිතුවෙ මේකත් මගදි නවතින කතාවක් කියලද?

      ඔයාට නොගැලපුන බව දැනුන තැන් පුළුවන්නං කියන්න. මටත් අහුවෙච්ච තැන් තිබ්බා. ඒත් මං මේක ලියමින් එදා වේල ක්‍රමේට පබ්ලිස් කරපු නිසා සමහර තැන් ආයෙ ගිහින් නිවරදි කරන්න බැරි වුණා

      ස්තූතියි! කතාව රස විදින්න එකතු වුණාට

      Delete
  3. හරිම ලස්සනයි අක්කෙ.ගොඩක් ආශාවෙන් කියෙව්වෙ.වෙලාව නැති නිසා නොලියා ඉන්න එපා අක්කෙ.තව ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හංසි. වෙලාවක් ලැබුණොත් අනිවාර්‍යෙන් ලියනවා

      Delete
  4. කොටස් වශයෙන් පලවන කතාවක් අවසන් වන තුරුම ලියා පලකිරීම ගැන මුලින්ම ස්තූතිවන්ත වෙනවා.
    ගොඩක් වෙලාවට මඟින් නවත්තලා තව පොර ටෝක් පවා දෙන සිද්ධි නිසා කොටස් වශයෙන් පලවෙන කථා මාලා වලට බහින්න අකමැත්තක් ඇතිවෙලා තිබුනෙ.
    නමුත් පාඨකයාට ගරුත්වයක් ලබාදෙමින් නිසි ආකාරයෙන් කථා මාලාව හැසිරවීම සම්බන්ධයෙන් නම් ඔබට අපගේ ආචාරය හිමියි.

    ජනක අකවුන්ටන් කියල හිතුනෙම නෑ නෙව.
    කලන්තෙ දාපු තැන පොඩිත්තක් විතර සුමට උනා නම් ඇරෙන්න වෙන පෙන්නන්න තරම් ලොකු අඩු පාඩු ගස්ලබ්බා දැක්කෙ නෑ.
    මුල ඉඳන්ම ආසාවන් කුතුහලයෙන් කියවගෙන ආවා.
    මේ රසවත් ලියවිල්ල ඔබගේ පලවෙනි කෙටි නව කතාව නම්,දෙවනි එක එනකන් ඇඟිලි ගනිමින් ඉන්නා බවත් පැවසිය යුතුමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ගස් ගස්,
      ඔයා නිකං ස්තූති කතාවක් පවත්තනවා වගේනෙ කමෙන්ට් කරලා තියෙන්නෙ.

      මුල ඉදලම මේ කතාව කියවමින් මට ලියන්න ශක්තියක් වෙමින් රැදී හිටියට මගේ ස්තූතියත් පිළිගන්න

      කලන්තෙ දාපු තැන විතරක් නෙවෙයි තවත් එහෙම තැන් මේ අන්තිම කොටස් දෙකේ තියෙන බව දැනෙනවා. මං ඒ ටික 18 මගෙ ෆයිනල් ඩිෆෙන්ස් එකෙන් පස්සෙ බලලා නිදහසේ හදන්නම්.

      ඇත්තටම මේක පළවෙනියට ලිව්ව එක නෙවෙයි. නමුත් මට වුවමනා විදිහට ලියා අවසන් කරපු පළවෙනි එක. මේකත් කලින් බාගෙට ලියලා තිබ්බ එකක්.

      දෙවෙනි එක එනකල් බොහෝ දෙනෙක් ඇගිලි ගනිමින් ඉන්න බව කිව්වා. ඒත් ඒකට යන කාලෙ ගැන මටවත් අදහසක් නෑ. මොකද මේ කතාවත් මං අකුරු කරේ අවුරුදු දෙකක්ම හිතින් රස විද විද ඉදලා.

      ඒත් ඔයාලා මගේ තව කතාවක් කියවන්න ආසාවෙන් ඉන්න බව දන්න නිසා හිත ටිකක් මීට වඩා කඩිසර වෙයිනෙ

      Delete
  5. අන්තිම කොටස ගොඩක් සංකීර්ණයි වගේ දැනුණා කියලා කමෙන්ට් කරන්න හිතන කොටම තමයි අන්තිම ටිකත් කියෙව්වේ. ඔයාට ස්තූතියි සේරම ලිව්වට. අයෙත් ගස්සන කථාවක් අරන් ඉක්මනට එන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. රන්දුලා,
      ඇයි මේ හැමෝම සේරම ලිව්වට ස්තූතියි කියන්නෙ. මං මේක මගින් නවත්තයි කියලද හිතුනෙ

      මට කතාව ගස්සන්න බැරිනං මං ලියන්නෑ. ඒ නිසා බයවෙන්න එපා ලිව්වොත් ගස්සනවමයි

      Delete
  6. මම මේක මුල ඉඳලා බැලුවෙ නෑ. හැබැයි කොහොම හරි මුල ඉඳලා බලන්න ඕන කියලා මේක බැලුවාම හිතුනා.

    ReplyDelete
    Replies
    1. සාලි,
      මුල නොබලා අහ බලපු කෙනෙක්නං ඔය මුණ ගැහුනමයි

      Delete
  7. සඳු, ඇත්තටම හිතුවෙ නැති දෙයක් තමයි වුනේ. අකවුන්ටන් සමීර තමයි කියලා අනුමාන කරන්න මුළ ඉඳන්ම අපිව පොළඹවලා ඔයා ලස්සනට කතාව ඔයාට ඕන තැනට ගෙනාවා. අති විශිෂ්ඨයි. ඔයාගෙ කෙටි කතා වලදි අත්විඳපු ඒ අපූර්වත්වය මේ නව කතාවෙනුත් අපිට ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි සඳු.

    අර මැදදි මට දැනුණ දේ ගැන කියනවනම් මෙහෙමයි. සමහර තැන් වලදි සිදුවීම් කතාවේ ගලා යාමට අවශ්‍ය නොවෙන තරමට වැඩිපුර විස්තර වුනා කියලා දැනුණා. වරින් වර අලුත් චරිත හමුවෙන එක සමහර වෙලාවට කතාව ධාරණය කරගන්න අපහසුවක් වගේත් දැනුණා. ඒකයි අර කතාවේ ආරම්භයේදී දැකපු ගලායාම නොදැනී ගියාම කියවන අපිට අඩුවක් වගේ දැනුණේත්, ආපහු ඒ රිද්මය කතාවට ලැබුණාම සතුටු හිතුණේත්. ඒත් ඉතිං ඒ ඔයාට ලියන්න ඕන වෙච්ච විදිහ කියලා ඔයාම කිව්වනේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ සඳු. අනිත් එක සමහරවිට ඒක මට එහෙම දැනුණේ මේක කොටස් වශයෙන් කියවපු නිසා වෙන්නත් ඇති. ආපහු මුළ ඉඳන් එක දිගට කියවලා බලන්න ඕනේ, එතකොට සමහරවිට එහෙම අඩුවක් දැනෙන එකකුත් නෑ.

    සඳු, ඇත්තටම ලස්සන කතාවක්. ඔයාගේ පළවෙනි නව කතාව හැටියට ගත්තාම ඉතාමත් හොඳට ලියැවුණු කතාවක්. කෙටි කතා රචනයේදිනම් ඔයා තරම් ලස්සනට කතාවේ රිද්මය හසුරවපු කෙනෙක් මට තවම හමුවෙලා නෑ මේ බ්ලොග් අවකාශයෙදි. ඒ ගුණයත් රැඳුණ තවත් ලස්සන කතාවක් ඔයාගෙන් ඉක්මණටම ආයෙත් අපිට කියවන්න ලැබෙයි කියලා අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. සුබ පැතුම් සොයුරිය! :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී,
      ස්තූතියි ඔයාගෙ දීර්ග කමෙන්ටුවට. මට ඔයාට ඊටත් වඩා දිගම දිග උත්තරයක් ලියන්න ඕනි. ෆෝන් එකෙන් අමාරු නිසා හෙට. මං දැන් රූම් එකේ. නෝ කම්පියුටර්

      Delete
    2. සිත්තමී,
      දැන් කතාව ඉවර නිසා මට ඔයාට උත්තර දෙන්න පහසුයි.
      මේ කතාව කොහෙත්ම කොටස් වශයෙන් කියවන්න පහසු කතාවක් නෙවෙයි කියන එක මගේ මෝඩ මොළේට වැටහුනේ කොටස් තුන හතරක් ගියාට පස්සෙ. ඉතින් මොනා කරන්නද බැඳගත්තනං බෙරේ ගහන්නම ඕනි නිසා ගැහුවා.

      කතාව මුල කියවනකොට අකවුන්ටන් සමීර කියලා හිතෙන විදිහට තමා ලිව්වෙ. ඊට පස්සෙ කියවන අය බලාපොරොත්තු වුණා සාම්ප්රදායික සරසවි ප්රේමයක්. ඒක නොලියා මං මේ මළ ගෙදරක් ගැන ඕන්නැති තරං විස්තර ලියනකොට කට්ටිය කලබල වුණා. ඒත් මං ගියෙ මගෙ ටාගට් එකට. ඒකයි මං ඔයාට කිව්වෙ මං දිගටම යන්නෙ මගෙ ට්රැක් එකේ කියලා. ඒ ට්රක් එකේ මං හරියට ගිය බව ලැබුණ ප්රතිචාර වලින් දැනුනා. මේ අවසානය අනුමාන කරපු කවුරුත් තාම මුණ ගැහුනෙ නෑ.

      හැබැයි මේ මළ ගෙදර විස්තරෙත් එක්ක හිතින් අවුරුදු ගානක් ආපස්සට ගිය ලොකු පිරිසක් හිටිය නිසා එයාලගෙන් මට ලොකු සහයක් ලැබුණා කලබල නොවී මට ඕනි පාරෙ යන්න.

      කොහොම වුණත් ඔයාලට දැන් තේරෙණවනෙ මේ මළගෙදර විස්තරේ කතාවෙ අවසානයට කොයි තරම් ලොකු බලපෑමක් කරාද කියලා. මට ඔයාලව මට ඕනි ඕනි හැටියට නොමග යවාගන්න උදව් කළේ මේ මළ ගෙදර.

      මට ඕනිනම් වාක්ය කීපයකින් විතරක් ලියන්න තිබ්බා ජනකගේ ගෙදර අය භාග්යාට විශෙෂත්වයක් දැක්කුවා කියලයි අරුණෝද්යා ආකර්ශණීය, තැනක් නොතැනක් නොබලා කතා කරන කටකාර තරුණියක් කියලයි. ඒත් එහෙම වාක්ය වලින් ලිව්වනං අන්තිම හරියෙ එයා ඔෆිස් එකට එනකොට සමීර එන්ගේජ් වුණේ එයත් එක්ක කියන වැරදි අදහස කියවන්නගෙ හිතේ අදින්න අමාරුයි. ඒකයි මං වචන ගොඩාක් නාස්ති කරලා අරුණෝද්යාගෙ චරිතෙට, ඕනි කොල්ලෙක් දැලේ දාගන්න පුළුවන් ආකර්ශණීය කෙනෙක් විදිහට පණ දුන්නෙ. ඒක සාර්ථකයි කියලා හිතුනා අර අපේ ඉවාන් පවුලූෂට අරුණෝද්යා ගැන හිතක් පහළ වෙච්ච නිසා.

      අර අරුණෝද්යා මේ ජෝඩුව පොරොන්දුවක් ගන්න තැනට එන හැටි, වාඩි වෙන තැන ජනකගෙ අයියා දහ දොළොස් වතාවක් භාග්යාගෙ ඔළුව අතගාපු එක එහෙම කියවද්දි ඔයාලට හිතෙන්න ඇති මොන බහුභූත ලියනවද කියලා. ඒ වුණාට ඒවා තමා මං අන්තිම හරියෙදි ඔයාලව නොමගෙනුත් නොමග යවන්න පාවිච්චි කළේ.

      මං ඒකයි කිව්වෙ අවසානෙ වෙනකල් ඉදලා ඒ ගැන කතා කරන්න කියලා.
      එතකොට චරිත ගොඩේ ප්රශ්ණෙ. මේ දෙන්නයි තව දෙතුන් දෙනෙකුයි එක්ක කැම්පස් කතාවක් ලිව්වනං ඒකෙ සජීවි බව අඩුයි. ඒකයි එහෙම කළේ. ඒක කියවීමට බාධාවක් වුණානං සමාවෙන්න.

      ඊට පස්සෙ අර අතීතයෙන් වර්තමානෙට එනකොට ඉඟි දෙන්න කියපු එක. මට හිතෙන්නෙ එහෙම කරාම කියවන කෙනා කම්මැලි වෙනවා කියලා. අර වාහන නැති කෙලින් පාරක ඩ්රයිව් කරනවා වගේ.අර එක තැනක තියෙන්නෙ මෙයාලා බෙහෙත් ගන්න ගිය වෙලේ සමීර මනූජගෙ කොණ්ඩෙන් අදින වෙලාවෙම නැන්දම්මා කියලා දෝණි දුවගෙන එන කෑල්ලක්. ආන්න එහෙම වුණාම මේ මොකද්ද මේ වුණේ කියලා කියවන්නට තත්පරෙකට හරි හිතන්න වෙනවා දැන් කතාවෙ කොහෙද ඉන්නෙ කියලා. එතකොට එයා ආපහු කතාවට එනවා කියලයි මං හිතන්නෙ.

      ඔය ඉතින් මං හිතන හැටිනෙ. ඒ නිසා මං හිතා ඉන්නෙ එහෙම හොදයි කියලා. ඒත් කියවන අයගෙ පැත්තෙන් ඒක අපහසුවක් වෙනවා ඇති. ඒත් මගේ තියෙන නරක ගතිය කියන්නෙ මට කෙරෙන්න ඕනිත් ඒකමයි.

      මගේ උත්තරෙත් පෝස්ට් එකක් වගේ දිගයි. ඒත් ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනිනෙ.
      ඉතින් බොහොම ස්තූතියි සිත්තමී මුල ඉදලම මාව දිරිමත් කරමින් කතාවත් එක්ක හිටියටත්, ඔයාට අඩුපාඩු හැටියට දැනුන දේවල් පෙන්නලා දෙන්න ඉදිරිපත් වීමටත්. ඒ වගේමයි ඔයාගෙ අගය කිරීමත් මට ලොකු ශක්තියක්. ස්තූතියි! ඒ හැමදේකටම

      Delete
  8. දහරා එක්ක විවාහ ගිවිසගෙන ඉන්න බව පන්චලී භාග්‍යාට කිව්වා බවක් පෙර සඳහන් කළා නේද? ඒකට සිදු වුනේ කුමක් ද?

    ReplyDelete
    Replies
    1. සාලිය,
      පංචලී කියන්නෙ එයා සමීරව දැක්කෙ " හොදම යාළුවෙක් මැරි කරන්න ඉන්න බෝයි" හැටියට කියලනෙ. එතනදි එන්ගේජ් වුණ කතාවක් එයා කියන්නෑ. ඒ වගේම පංචලී කියනවා දහරා එයාට වැඩි විස්තර කියන්න අකමැති වුණ බවත් ෆොටෝ එකක් පෙන්නන්න කිව්වම මුලින් නොපෙන්නුව බවත්.
      එතනින් එහා දෙයක් මං නොකිව්වෙ කියවන කෙනාට හිතාගන්න ඉඩ අරින්න මොකක් වෙන්න ඇද්ද කියලා.

      මං ගොඩ නගපු සමීරගෙ චරිතය තුල තියෙන ලක්ෂණ, එයා කොහොමද තමන්ගෙ අක්කා, නංගිලා ගැන සහ මනූජා පවනි වගේ අයට සැලකුවෙ කියලත්. ඒකත් එක්ක දහරගෙ පසුබිමයි, ඒ පවුල් අතරෙ තිබ්බ යාළුකමයි ඔක්කෝම බලලා හිතන්නකො එතන මොකක් වෙන්න ඇද්ද කියලා

      Delete
  9. දහරා ට මොකද වුනේ.... පංචාලි කිව්වා වගේ සමීරත් එක්ක එන්ගේජ් වෙලා ඉන්නවා කිව්ව එකට මොකද වුනේ.... දහරාගේ අසනීපේ නිසා ස්මීර එහෙම හිතාගන්නවත් ඉඩ ඇරියද? දහරාට තිබුනෙ සුවකල නොහැකි අසනීපයක්ද?. දැන් දහරා කොහෙද??

    ReplyDelete
    Replies
    1. කුමු,

      පහළ සාලිය කියලා විතරක් ලියවුණාට ඒ උත්තරේ ඔයාටත් අදාලයි.

      ඇත්තටම මං මේ කතාවෙදි පංචලී තරමටවත් දහරව හයිලයිට් කරේ නෑ. ඒ නිසා එයාට වෙච්ච දෙයක් කතාවට අදාල නෑ. ඒක භාග්‍යාට ඉරිසියාවක් ඇතිකරන්න සමත් වෙච්ච එයාට කලකිරීමකට හේතු වුණ මැරුණ චරිතයක් විදිහට හසුරුවන්නයි මට ඕනි වුණේ. හැබැයි කතාව තුල එයා ජීවත් වෙලා කියලා හිතෙනවා ඔයාලගෙ කමෙන්ට් දැක්කාම

      Delete
  10. අක්කගේ පලවෙනි නවකතාව උනාට හුගක් සාර්ථක කතාවක් කියල මට හිතෙනවා. අලුත් ආරකින්, කියවනන් ඇද බැඳ තබාගනිමින් හැම කොටසක්ම හරිම ලස්සනට ගලාගෙන යවල තියෙනවා. දව්ස්ගනක් කුතුහලෙන් එලඟ කොටස එනකන් බලන් හිටපු හින්දද මන්ද මට අද හරිම පාලු ගතියක් දැනුන. ඉතින් අපහු පරණ කොටස් කියවන්න හිතුනත් වැඩ නිසා අමාරුවෙන් එක මග අරගත්තා. මන් හිතන්නේ මන් ළඟ ඕක පොතක් විදියට තිබුන නම් මෙලහකටත් 10 සැරයක් වත් කියවල. එතරම් රසවත්. එලඟ කතාවත් අරන් ඉක්මනට එනකන් බලන් ඉන්නව. එඩ්වඩ් මලල්වරච්චි.කරුනාසෙන ජයලත්, චන්දී කොඩිකාර සුජීව ප්‍රසන්න ආරච්චි ලියපු කතා වලට වඩා වෙනස් ආරක් ඔයාට තියෙන්නේ, මන් කලින් ලිව්ව නම් එක්ක ඔයාගේ නම හයිල්යිට් වෙයි කියල හිතෙනවා ඔයාගේ ශෛලියත් එක්ක. හුගක් වෙලාවට මම නොවෙල් එකක් කියවද්දී උඩින් පල්ලෙන් කියවගෙන යනවා, එත් ඔය ලියන මේ ශෛලියත් එක්ක එහෙම කරලා බෑ . ඒ කයි මන් කිව්වේ ඔයා කියවන්නන් ඇද බැද තබාගන්නවා කියල. අපේ කැම් පස් කාලෙට යවල, ජීවිතේ සුන්දර කලේ මතක් කරලා දීල ලියපු මේ ලස්සන කතාවට ඔයාට ගොඩක් පින්.

    සුභ පැතුම් අක්කේ. ඊළඟ කතාව එනකන් මග බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නිරෝ හැමදාම වගේ ලියන්න මාව උනන්දු කරවනවට.

      ඔයා නිතරම "අක්කෙ අර නවල් එක ලියන්නැද්ද" කියලා අහපු එකත් මේක ලියන්න පටන් ගන්න හේතුවක් වුණා.

      ඔයා අර උඩ කියපු අය නිතර පොත් ලියන අයනෙ. මට ඉතින් එකක් ලියන්න අවුරුදු දෙක තුනක් යන නිසා අනිවාර්යෙන්ම හයිලයිට් වෙනවා වේගෙ නිසාම

      මම මේකෙ මැද අර අප්පච්චි දුවට කියන්න හැදුව කතාව ලියලා නෑනෙ ඇයි අප්පච්චි දුවගෙන් දුරස් වෙලා හිටියෙ වගේ දේවල් ටික (ඔයාලට 16 කියවලා පිස්සු හැදුන නිසා මං ඉක්මන් කලා පව් කියලා ). ඇත්තටම නං ඒකට හේතුව මේ කතාව ඇතුලෙ තියෙනවා. ඕගොල්ලො සීඅයිඩී නොවන නිසා මං ඉතින් ඔව්වා ඔයාලට හොයාගන්න තියන්නැතුව කියන්නයි හිටියෙ. ඒත් වෙලාව මදි වුණානෙ. ඩිෆෙන්ස් එකෙන් පස්සෙ ඒ ටිකත් ලියලාම ඔයාට පීඩීඑෆ් එකක් එවන්නං දහ දොළොස් බැරිනං සිය පාරක්වත් කියවාගන්න

      Delete
  11. සඳ වියමන්,
    කවදාවත් කමෙන්ට් නොකලට මේකෙ මම ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක්. හැමදාම උදේට වැඩ පටන් ගත්තෙ අලුත් කොටස කියවලා ඉවර වෙලා. ඇත්තටම කතාව ඉවර උනාට පස්සෙ පොඩි පාලුවක් දැනෙනවා, මොකද ඔයා අපිව ඒ තරමට කතාව ඇතුලෙ ජීවත් කෙරෙව්වා.


    කතාව ඉවරවෙලා ඒ ගැන හිතනකොට මට හිතුන දෙයක් මේක. ජනක කියන්නෙ අයියගෙ අකවුන්ටන්නෙ. එතකොට එයා දැනගත්තම භාග්යා තමයි අයියගෙ සෙකට්‍රි කියලා (එයා භග්යාව එච්චර හෙව්වා නම්) ඇයි එයා භාග්යාට කතා නොකර සමීරව හොය හොයා හිටියෙ. (ජනක භාග්යාගෙන් හැංගෙන්න නේද අර අසයිමන්ට් එක එක රැයකින් තනියම කලේ)

    සමහරවිට මේකට උත්තරේ ඔයාගෙ කතාව ඇතුලෙම ඇති, හැබයි ඔයා ඒ කොටස් අයින් කරලා නිසා හොයා ගන්න නැහැ.

    ඔයාට පුලුවන්ද ඇයි ජනක එහෙම කලේ කියලා මට කියලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. //කවදාවත් කමෙන්ට් නොකලට මේකෙ මම ගොඩාක් ආසාවෙන් කියවපු කතාවක්// ආසාවෙන් කෙසේ වෙතත් මේක දිගටම කියවපු, නමුත් වැරදීමකින්වත් ඒ බව දැනෙන්න නොදුන් අය හය හත්සීයකට වඩා ඉන්නවා. සතුටුයි එහෙම අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ දැනගන්න ලැබෙනවට.ඒ ගැන ඔබට ස්තූතියි! වරා මලී

      කතාව ඉවර වුණාට පස්සෙ පාළු දැනිච්ච අයත් මහ ගොඩක් හිටියා. "හෙට ඉදන් අපි ෆේස් බුක් එන්නෙ මොනා බලන්නද" කියලා කියවපු හැමෝම වගේ විස්සෝප වුණා. මටත් පාළුයි. ඒත් මං ඒ කතාවෙන් එළියට ඇවිත් මගේ වැඩ කරගන්න ඕනි නිසා මං ඒක බ්ලොග් එකෙන් තාවකාලිකව ඉවත් කරා. මේ අන්තිම ටික ඉතුරු කරලා තිව්වෙ දිගටම මේක කියවපු බව මං දන්න බ්ලොග් කරුවො දෙතුන් දෙනෙක් කියෙව්වද නැද්ද කියලා තාම මට අදහසක් නැති නිසා.

      ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තරේ ගෙඩිය පිටින්නං කතාව ඇතුලෙ නෑ. කතාවක් ලියනකොට මං උත්සහ කරනවා කියවන කෙනාට කියවලා ඉවර වුණාට පස්සෙ "අරක මෙහෙම වුණේ මේ නිසාද....අර නිසාද" අරවා මේවා මොනා හරි හිතන්න ඉතිරි වුණානම් හොඳයි කියලා. ඕක නිසා වතාවක් කෙනෙක් කිව්වා මං ගෙදරට කෑමට එන්න කියලා උයන දේවල් ළඟට දීලා උයාගෙන කන්න කියලා කියනවා වගේ වැඩක්ලු කරන්නෙ. හැබැයි මං හිතන්නෙ මං උයන්න නෙවෙයි ඉතිරි කරන්නෙ, සලාදයක් තමන් කැමති රහකට හදාගන්න කියලා.

      මේ කතාවෙ භාග්‍යා ඔෆිස් හිටියෙ දවස් තුනයි. පළවෙනි දවසෙ තමයි අයියා අකවුන්ටන් ගැන කිව්වෙ. ඉන් ටිකකට පස්සෙ එයා ගෙදර යනවා. දෙවෙනි දවසෙ තමා අකවුන්ටන් මඟ හරින්නෙ. ඒ වෙනකොට අයියා දන්නෑ නංගි කලින් දවසෙ කිව්වෙ කා ගැනද කියලා. ඒකයි විහිළු කරන්නෙ. ඊළඟට දවල් වෙනකොට එයා ඒක දැනගන්නවා. ඊට පස්සෙ නංගිත් එක්කම ගෙදර යනවා. කලින් දවසෙ වගේ එයා එන්නෙත් නෑ ඊට පස්සෙ සතියෙත් නංගිව තනි නොකර ඉන්න බලනවා. ඇයි ඒ. අයියා හිතන්නෙ නංගි කිව්වෙ එයා ගැන කියලා සහ අකවුන්ටන්ගෙ හිතෙත් නංගි ඉන්නවා කියලා හිතලා.අයියා ඒකට බය වෙනවා.

      මුලදි ජනක කවුද කියලා නොදන්නවා වුණාට කතාව කියවලා ඉවර වුණාම ඒ භාග්‍යාගෙ සහෝදරයෙක් කියලා දැනගන්නවනෙ.

      එයා මෙයාව හොයන්නෙ ඒ සහෝදර කමට. ඉතින් ඉන්නවා කියලා දැක්කම සතුටු වෙනවා. ඒක අර පමුදිගෙ කතාවෙදි කියවෙනවනෙ. ඒත් එයා හරියටම දන්නෑ මෙයා කැම්පස් එකෙන් අතුරුදහන් වුණේ ඇයි කියලා. සැකයක් විතරනෙ තියෙන්නෙ. ඒ නිසා එයා හොද සහෝදරයෙක් විදිහට හිතන්න ඇති එකපාර එයා ඇවිත් මෙයාව එක්සයිට් කරනවට වඩා සමීරට ඒ ගැන කියලා කරන දෙයක් කරන්න. ඉතින් සමීරව මඟ ඇරෙනවා. සමීරට වුණත් එයා ෆෝන් එකෙන් නෙවෙයිනෙ ඒ ගැන කියන්නෙ. ළඟ ට ගිහින් මුණ ගැහිලා.

      මං ජනක වුණානං කරන්නෙ ඔහොමයි. ඒකයි මං ඒ විදිහග කතාව හැසිරෙව්වෙ. මොකද භාග්‍යා ආවට පස්සෙ ආයෙ එන්නෑ කියන්න ඇර කාටවත් කෝල් එකක්වත් නොදුන්න නිසා වටින් පිටින් ගාඩ් නොදා එයාව මුණ ගැහීම ආයෙ වතාවක් එයාව නැති වෙන්න වුණත් හේතුවක් වෙන්න පුළුවන්නෙ. ජනක කියන්නෙ නංගි කෙනෙක් අහිමි වීමේ වේදනාව දෙපාරක්ම විදපු කෙනෙක්නෙ. ජනකගෙ අයියා සමීරට එයා නිදා ඉන්න වෙලාවක් පෙන්නන්ත් අකමැති වුණා කියන එකෙන් මං කියන්න උත්සහ කළේ එයාලට මේනංගි කොච්චර වටිනවද කියලා. ඒක ඔයාටල තේරුණාද නැද්ද නං දන්නෑ.

      කොහොම වුණත් මේ මගේ හිතේ තිබ්බ සම්පූර්ණ කතාව නෙවෙයි. මට මේකට වැය කළ හැකි කාලය තුල කතාවේ අවසන් රසයට බාධාවක් නොවෙන විදිහට මං සමහර කොටස් ඉවත් කළා. දිගටම මේ කතාව කියවපු අයට කියවන්න ඕනි වුණ කතාව ලැබුණට මට කියන්න ඕනි වුණ කතාව මට සම්පූර්ණ කරගන්න බැරි වුණා. තව සති දෙක තුනකින් ආයෙත් විවේකයක් ලැබෙනවා. එතකොට මං මේක සම්පූර්ණ කරන්න හිතනවා.

      Delete
  12. මුලින්ම බොහොම ස්තුතියි සඳා තීසිස් එක ලියන ගමන් කථාව දිගටම ලියල අපූරු අවසානයකට ගෙනැත් තිබ්බට...මම නම් බොහොම රස වින්දා...සමහර තැන් වල පොඩි පොඩි පැටලවිලි තිබුනට, එයින් රසයට ලොකු බාධාවක් උනේ නැහැ..හෙමින් සැරේ ආයිමත් එඩිට් කරලා පොතක් විදියට පබ්ලිෂ් කළා නම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! පොකුරු ඉවසීමෙන් කතාව රස වින්දාට.

      මේක ලියද්දි ලියද්දි පබ්ලිස් කරපු නිසා සමහර අඩුපාඩු මමම දැක්කත් හදන්න බැරි වුණා. ඒත් එහෙම නොකර කතාවම ලියලා ඉවර වෙලා පබ්ලිස් කරන්න හිටියනං මේ කතාව කවදාවත් ලියලා ඉවර කෙරෙන්නෑ. දැන් ලියලා ඉවර නිසා අඩුපාඩු හදාගන්න ලේසියි මුල මැද අග හොදින් ගලපලා.

      තව සති කීපයකින් ඒ අඩුපාඩු ටිකත් හදලා, තව මම මේකෙ නොලිව්ව ටිකක් තියෙනවා, ඒ ටිකත් දාලාම පොතකට යන්නයි හිතා ඉන්නෙ . ස්තූතියි ඔයාට ඔයා කීප සැරයක්ම ඕක කිව්වා. ඒ වැඩේ ඉවර වුණාම මම ඔයාට සම්පූර්ණ කතාවෙ පීඩීඑෆ් එකක් එවන්නංකො. මං නොහිටියත් ඔයා බ්ලොග් එක්ක දිගටම ඉදියිනෙ

      Delete
  13. එහෙමයි එහෙනම් උනේ.. හැමදේම අවබෝධයෙන් පැහැදිලි කර ගන්න හැමෝටම ඉඩ ලැබුනා...

    එදාම කියෙව්වට කොමෙන්ට් කරන්න ලැබුනේ අදයි අක්කේ...

    අඩුපාඩු හදාගෙන ඔයාගේ පොතක් ගහන වැඩේට සුභපතනවා අක්කේ...

    තවත් කතාවක් ලියන්න වෙලාව තියන විදිහට පටන්ගන්න...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,
      කතන්දර වල එහෙමනෙ. හැමෝටම හැමදේම අන්තිමට පැහැදිලි කරගන්න ලැබෙනවා.

      ඔයාගෙ සුබ පැතුමට ස්තූතියි! ඒත් බොහොම කල් වැඩියි නංගි සුබ පැතුවා. තාම මං මෙහෙ.

      Delete
  14. තිලිණි ඉලංකෝන්August 3, 2016 at 6:28 PM

    අක්කේ, කතාව හොඳයි, ලියන රටාව කියවලා තියෙන අනික් නවකතා වලට වඩා වෙනස්, හැබැයි අවසානේ නම් වෙනසක් නැහැ කියලයි හිතුනේ. ඒ කියන්නේ සියල්ලෝම සතුටින් විසිර ගියහ තමයි. (එහෙම නැත්නම් ඔයාටත් විසුමක් නැතිවේවිනේ?)
    කතාවේ 13වන කොටසේ ඉඳන් එකදිගට කියෙව්වේ. ඒ නිසාද කොහෙද අන්තිම කොටස් දෙකේ සිද්දි දාමයේ වේගේ වැඩි කියල හිතුනා, flow එක වැඩි වගේ, කතාවේ මුල තිබ්බ gentle ගතිය නෑ.

    නොගැලපීම් ගැනත් අහලා තිබ්බෙනේ,
    accountant සමීරත් නෙමෙයි ජනකත් නෙමෙයි අර university එකේදී භාග්‍යාට try කරපු තව කෙනෙක් හිටියේ, මට නම මතක නැහැ, එයා කියලයි හිතුවේ.
    මොකද, ඔයා කතාවේ හදුන්වලා තියෙන හැටියට ජනක නිහඩ මනුස්සයෙක්. එහෙම අය ප්‍රායෝගිකව ගත්තම කුකුල් කෙන්තිකාරයෝ නෙමෙයි.
    ඒ නිසා ජනකව එතනින් අයින්කරගන්න මට ලේසි උනා.
    accountant ජනක කියුවම මට තේරුම් ගන්න බැරි උනේ meditation කරලා කේන්තිය පාලනය කරගන්න තත්වෙට පත්වෙන්න තරම් එයාට මොකක්ද උනේ කියලයි.
    accountant කෙන්තිකාරයෙක් කියුවේ එයා සමීරමයි කියලා එත්තුගන්වන්නද?
    සමිරනම් රට කියලමයි හිතන් හිටියේ
    එයා අතර මැදදී භාග්‍යාට පේන්න ආවහමවත් මට හිතුනේ නැහැ ඒ මනුස්සයා engage වෙලා ඇති කියලා
    මොකද ඔය කියනතරම්ම සමීර භාග්‍යාට ආදරේ කලානම් එහෙම වෙන්න සම්භාවිතාවක් නැහැ
    අනික accountant සමීරනම් boss ගාව තිබ්බ photo එක දැක්ක වෙලාවේම භාග්‍යාව හොයාගෙන යනවා
    අනික කියන්නම ඕනේ දහරා ගැන කියුවේ වටේ ගෙනියන්න කියල කලින්ම දැනුනා

    කතාවේ හැටියට ජනක භාග්‍යාව හොයනවා කියලා තිබ්බාට සමීර එහෙම කලා (භාග්‍යාව හොයනවා) කියලා අඩුගානේ දෙන්නා අන්තිමට හම්බුනාමවත් කියන්නේ නැහැනේ
    එක තරමක් අස්වාභාවිකයි
    ආදරේ කරන කොල්ලෙක් තමන් ආදරේ කරන කෙල්ල හිටි ගමන් අතුරුදහන් උනාම හොයා බලන්නේ නැතිව ඉන්නෙත් නැහැ දෙන්නා ආයේ හම්බුනාම මං ඔයාව කොච්චරනම් හෙවුවද කියලා නොකියා ඉන්නෙත් නැහැ නේද?

    අනික, භාග්‍යා දැඩි තීරණ ගන්න හිත හයිය කෙනෙක්
    ඉතින් කොහොමද එයා ඩෝන් ගලා කලන්තේ දාලා වැටෙන්නේ?
    ගේ පහල ගල් තලාවේදී උනත් එයාට හයිය තියෙනවා සමීර ගාවින් නැගිටලා යන්න
    ඒකනම් තාත්විකයි
    නදිනි ප්‍රේමදාසත් කියනවානේ "මොන තරම් ආදරෙ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ" කියලා
    ගියානම් අඬයි දොඩයි සතියයි දෙකයි ගොඩ එනවා let it go කියලා, එකමනේ භාග්‍යා කලෙත්
    ආ... අරුනොද්‍යාව අමතකම උනානේ,
    එයා එකපාර office එකෙන් මතුඋනේ කොහොමද බැලුවා
    ජනක එක්ක දැවටී දැවටී ඉන්න, හිත ගැස්සෙන ලස්සනක් තියෙන කෙනෙක් සහ සමීර භාග්‍යාට try කියලා දන්න කෙනෙක් භාග්‍යා නැති අඩුව පුරවන්න එයිද අක්කේ?
    අන්තිම පරිච්චේද දෙක චුට්ටක් දිගට අදින්න, එතකොට තවත් රසවත් වේවි.

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    භාග්‍යා ගැන, ඒ කියන්නේ කවුද කින්ද මන්ද කියලා දන්න ජනක ඇයි භාග්‍යාගේ ගෙදරින් භාග්‍යාව හොයන එක පටන්ගන්නේ නැත්තේ?
    කතාවේ තියෙනවනේ අම්මලා දෙන්නා සහෝදරියෝ කියලා ජනකයි අයියයි දැනන් හිටියා කියලා
    ඉතින් එකටත් සාධාරණයක් කරන්න වෙයි නේද?

    කතාව සමීරගේ පැත්තෙන් කියවෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා
    සමීර ගුප්ත මනුස්සයෙක් විදියට මිසක් ආදරණීය කෙනෙක් හැටියට දැනෙන්නේ නැහැනේ (මට)
    සිද්දි සමුදායක් මතක් කරනවා හැර භාග්‍යාත් තමන්ගේ හිතින් හිතන මතන දේවල් ලියවිලා තියෙනවා අඩුයි වගේ දැනෙන්නේ
    භාග්‍යා අරුනොද්‍යා ගැන තියා දහරා ගැනවත් හිතින් හිතලා තීරනගන්න බවක් පෙන්නේ නැහැ
    ඒ කියන්නේ භාග්‍යා එකපාර අතුරුදහන් වෙන එක හරියට justify වෙන්නේ නැහැ කියලයි හිතෙන්නේ

    ලියුවා දිග වැඩිද මන්දා
    මොනවා ලියුවත් අන්තිමට හිතෙනවා මේ ඔක්කොම හිතෙන දේවල් මට සහ මගේ වටේ ඉන්න මං දන්න අයට සාපේක්ෂයි නේද කියලත්
    කොහොම උනත් defense මැද්දේ ලියපු එකනම් වටිනවා
    තව එකක් ලියමු එන්න කලින්

    ReplyDelete
    Replies
    1. තිලිණි නංගි ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම් එකෙන් දැනුයි හොයාගත්තෙ. මං ඩිෆෙන්ස් එක ඉවර වෙනකල් මේ කතාව අමතක කරලා දැම්මා. ඒත් ටිකක් හැදුවා බ්ලොග් එකෙන් කියවන්න බැරි වුණ කෙනෙකුට කියවන්න යවන්න. ඔයා අන්තිම කොටස් තුන ආයෙ කියවන්නකො ඒකෙ ඔයාගෙ සමහර ප්‍රශ්ණ වලට උත්තර ඇති. ඔයා මතු කරපු කාරණා එක්ක මං තව ටිකක් සංශෝධනය කරන්නම්. ඔයාට දිග උත්තරයක් 18 න් පස්සෙ ලියන්නං

      Delete
  15. ඔන්න අන්තිමට කියෙව්වෙ මම. අවසානය මොකක්ද කියල මම මුලදීම අනුමාන කළා.ඔයා එක එක චරිත ගෙනැත් අපිව කැරකෙව්වට මම හිතපු දේ හරිගියා. සුපුරුදු සම්ප්‍රදායික අවසානයම නේද? ආයෙම කතාවක් ලියද්දි ටිකක් වෙනස් අවසානයක් ගැන හිතන්න. හැබැයි කියවන අය නම් කැමති වෙන එකක් නෑ. වෙනසකට වගේ එහෙම හිතුවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම බොහොම ස්තූතියි! කියන්න ඕනි මේ කතාව කියවමින් දිගටම මාත් එක්ක රැඳිලා හිටියට.

      ඊළඟට යෝජනාවටත් ස්තූතියි! කියන්න ඕනි. අනිවාර්‍යෙන්ම මං හිතන්නෙත්, ආයෙ කතාවක් ලිව්වොත් කරන්නෙත් ඒකම තමයි.

      මං මුලදිමත් කිව්වා වගේ මේක අවුරුදු දෙකකට විතර උඩදි ලියන්න අරන් අතෑරලා දාපු කතාවක්. මං මේ දවස්වල ඇත්තටම මේක ලියන්න ගත්තේ පොඩි මූඩ් චේන්ජ් එකකට. ඒක මට බලාපොරොත්තු වුණාටත් වඩා හොදින් කරන්න ලැබුණා ෆේස් බුක් එක හරහා මේක කියවපු පිරිස නිසා.

      ඉතින් ආපහු ඇකඩමින් මූඩ් එකට යන්න ඕනි නිසා කතාව මේකෙන් අයින් කරලත් දැම්මා. මේ අන්තිම කොටස් දෙක තිව්වෙ හැලපයාට සහ ඉවාන්ට.

      චරිත ගොඩක් ගෙනල්ලා වටේ යැව්වෙ නං මට කියන්න ඕනි කතන්දරේ කියන්න මිස අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා අනුමාන කිරීම වලක්වන්න නං නෙවෙයි.

      Delete