![]() |
පින්තූරය ගත්තෙ මෙතනින් සකුරා සුවඳ 1 (පිවිසුම ) සකුරා සුවඳ 2 (ජපානයේ ආමන්ත්රණ )
හිස සහ කද නමා
ආචාර කිරීම ජපන්
ජාතිකයන්ගේ සිරිතය. හිස
නමන ප්‍රමාණය
සහ හිස නමා
සිටින කාලය, අවස්ථාව සහ පුද්ගලයා අනුව
තරමක් වෙනස් වුවත්
ඒ ගැන හරි
විග්‍රහයක් කරන්නට
මගේ දැනුම මදිය.
ගරුත්වය හා හිස
නමන ප්‍රමාණයත් කාලයත්
අතර සම්බන්දයක් තිබෙනවා විය
හැක. ක්‍රීඩා
පුහුණුවීම් අවසානයේ ගුරුවරයාට ආචාර
කිරීම සදහා පාසැල්
දරුවන් වැඩි කාලයක්
හිස නමාගෙන සිටිනු මම බොහෝවිට දැක
ඇත්තෙමි. ඒත් මට ඒ ගැන ඉන් ඔබ්බට කතා කරන්නට නොහැකිය.මෙසේ හිස නැමීම සභාවකදී හෝ වෙනත් තැනකදී කෙනෙක් හදුන්වාදීමේදී, සුබ පැතීමේදී, ස්තූති කිරීමේදී, සමාව ගැනීමේදී ආදි විවිධ අවස්ථාවන් වලදී දැක බලාගත හැක.
(මේ පින්තූරයෙන් දැක්වෙන්නේ පාපන්දු පුහුණුවීම අවසානයේ තම පුහුණුකරුට ආචාර කරන දෙකේ පංතියේ දරුවන්ය.මේ අවස්ථාව පුහුණුකරුට ආචාර කිරීමකට වඩා ඔහුගෙන් ආශිර්වාද ලබාගැනීමක් වැනිය. මන්ද ඔහු මේ අවස්ථාවේ මොන මොනවාදෝ හෑල්ලක් කියවාගෙන යනු මම අසා තිබුනද තේරුම්ගත හැකි වුයේ හොදින් සෙල්ලම් කිරීමට නම් හොද ආහාර වේලක් ගත යුතු බව පමණි.)
දෙදෙනෙකු මුලින් මුණ ගැසුන විටදී අතට අත දීමක් ජපානයේ සිදු නොකරයි. ඒ වෙනුවට හිස නමා "හජිමෙමස්තෙ” කියා (ඔබව මුල් වරටයි මුණ ගැසුනෙ ) “දෝසො යුරොසුකො ඔනෙගායිසිමාස්" (nice to meet you and please be nice to me) කියමින් ඒ හමුවීම සතුටක් බව ප්‍රකාශ කරයි.
හමුවීමේදී අතට අතදීම නොකරනවා සේම සමුගැන්මේදී සිප වැළද ගැනීමක්ද නැත. කොහොමත් ජපානයේ බටහිර රටවල මෙන් මඟතොටදී සිප වැළද ගැනීම් පෙම් යුවලක් අතරවත් ඉතාමත්ම කලාතුරකින් මිස සාමාන්‍යයෙන් දකින්නට නැත (මා කියන්නෙ ජපානයේ වෙසෙන ජපන් ජාතිකයන් අතර මඟ තොටදී සිප වැළද ගැනීම් නැති බව). නමුත් හමුවීම් වෙන්වීම් වලදී අතට අත දීමට හෝ සිප වැළද ගැනීම් වලට හුරු වූ විදෙස් මිතුරෙකු හමුවූ විට එය ප්‍රතික්ෂේප කිරීමක්ද නොකරයි. ජපනුන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ සිරිත් විරිත් ආරක්ෂා කරගන්නා තරමටම අන් අයගේ ඇදහිලි විශ්වාස සහ සිරිත් විරිත් වලටද එලෙසම ගරු කිරීමද කැපී පෙනෙන ලක්ෂණයකි.
උදෑසනට, දහවලට සහ සන්ධ්‍යාවට මුණ ගැසෙන පුද්ගලයින්ට "සුබ උදෑසනක්"
"සුබ දහවලක්" ලෙස සුබ පැතීමද සාමාන්‍ය දෙයකි. අපිනම් "ගුඩ් මෝනිං" කියන්නේ බොහෝවිට දන්න හදුනන අයට පමණක් වුවත් මෙහි එවන වෙනසක් නැත. ගේට්ටුවෙන් ඇතුළුවන විට ආරක්ෂක නිළධාරීන් සුබ පතන අතර පෙරලා ඔවුන්ටද සුබ පැතීම එම ආයතනයේ පහළම නිළධාරියාගේ සිට ඉහළම නිළධාරියා දක්වාම එක ලෙස සිදු කරයි.
ඊළගට වැදගත්ම දේ ස්තූති කිරීම සහ සමාව ගැනීමය. මේවායේදීද කිසිදු තරාතිරම් බේදයක් නැත. බසයකින් බසින විට රියදුරු මහතා මගීන්ට එම බස් රියේ ගමන් කිරීම ගැන "අරිගතෝ ගොසයිමස්ටා" කියා ස්තූති කරන අතර මඟීන්ද ඔවුන්ව ප්‍රවේශමෙන් රැගෙන ඒම පිළිබද බහින අතරම ඔහුටද ස්තූති කරයි.මේ පුරුද්ද මා බොහෝවිට දැක ඇත්තේ වයස්ගත පුද්ගලයින් තුල හා කුඩා දරුවන් තුලය.සෑම විනාඩියකට එකාකාර පෝළිමක් ඇති කඩ සාප්පුවල අයකැමියන්ද සෑම පාරිභෝගිකයෙකුටම කිසිදු වෙහෙසකට බවක් නොපෙන්වා එක ලෙසම ස්තූති කිරීම විටකදී පුදුම සහගතය.
කිසියම් උදව්වක් කල විට ස්තූති කරන ආකාරයටම වැරැද්දක් සිදු වූ විට සමාව ඉල්ලීමද සිදු කරයි.මේ කියන වැරදි ඇතැම්විට අපට නම් වැරදි ලෙස පෙනෙන්නේවත් නැත. සෑම දුම්රිය මැදිරියකම සහ බස් රථවල ඉදිරිපස කොටසේ වයස්ගත, ආබාධිත, ගැබිණි හෝ කුඩා දරුවන් සමග එන දෙමාපියන්ට වෙනම සැලකිය යුතු ආසන ප්‍රමාණයක් ඇත. නමුත් ඒ ආසනයක ඉඩ නොමැතිව වෙනත් තැනක වූ අයෙකු නැගිට ඉඩ ලබාදුන් විට ඔවුන් අනේකවාරයක් ස්තූති කරන අතරම "ගොමෙන්නසායි" කියා කිහිපවාරයක්ම තමා නිසා ඒ අනෙක් මඟියාට සිදු වූ කරදරය ගැන සිය කණගාටුව පළ කරයි.
මොවුන්ගේ මේ චාරිත්‍ර වාරිත්‍ර නිසා අප අපහසුතාවයට පත්වූ අවස්ථාද එමටය. වරක් අපේ පුතාගේ අතක ඇඟිල්ලක් යාළුවන් සමග සෙල්ලම් කිරීමට යාමේදී දොරකට අසුවී තුවාල වී තිබුනි. සවස මා ඔහු එක්ක එන්නට ගියපසු අර පොඩි දරුවන් පස් හයදෙනාම එක පෙළට මා ඉදිරියෙන් සිට සිදුවූ වරදට සමාව ඉල්ලීය. ජපන් ජාතික මවකට නම් එය සාමාන්‍ය සිදුවීමක් වුවත් මා එවෙලෙහි මහත් අපහසුවකට පත්විය. එක පැත්තකින් ඔවුන් කියන සියල්ල මට තේරුම් ගන්නද බැරිය. අනෙක් අතට එය බොහොම සුළු සිදුවීමකි.
තවත් වරක් අපේ පුතා ඔහුගේ මිතුරෙකු පසුපස හඹායාම නිසා ඒ මිතුරාගේ හිස බිත්තියක වැදී ඉදිමී තිබුනි. ඒ වෙනුවෙන් සමාව ගැනීම සදහා පසුදා උදෑසන පාසලට යාමටත් ඒ දරුවාගේ පියාට ඊමේල් පණිවිඩයක් යවා සමාව ඉල්ලීමටත් මගේ සැමියාට සිදු වූ අතර ඒ සිදුවීමෙන් ටික දිනකට පසු පැවැත්වූ දෙමාපිය රැස්වීමක්දී මට ඔහුගේ මවගෙන් සමාව ඉල්ලා සිටීමටද සිදු විය. එවෙලෙහි ඈ "ඒ...ඒ...ඒ" කියා එය ඒ හැටි ගනන් ගත යුතු දෙයක් නොවන බව හැඟවීය. ඔවුන්ද අප මෙන්ම මේ කුඩා දරුවන් එකට සෙල්ලම් කිරීමේදී සිදුවන අනතුරු මහා ලොකුවට ගනන් නොගන්නා මුත් එසේ සමාව ඉල්ලීම පවතින චාරිත්රයකි.
මා මෙහි යහතින් සිටින බව දන්වා සෑම මාස හයකට වරක්ම මගේ මහාචාර්යවරයා විසින් ලංකාවේ මගේ ආයතන ප්‍රධානියාට ලියුමක් යැවිය යුතුය (ආයතන රෙගුලාසියක් ). අදාල කාල වකවානුව ආ විට මා කරන්නේ ඒ ගැන සෙන්සේට දැනුම් දීමය. එවිට ඔහු කරන්නේ මගේ ප්‍රගති සමාලෝචනයක් ලියා එය මුද්‍රණය කර සිය අත්සන යොදා මට ගෙනත් දීමය. මා කරන්නේ එය තැපෑලට දැමීම පමණි. සාමාන්‍යයෙන් මගේ සිහි කැදවීමෙන් පැයක් හමාරක් ඇතුලත මට ඔය ලිපිය තැපෑලට දැමිය හැකි වුවත් එක් වරක් ඔහුට එය අමතක විය. ඔහුට එය යලි මතක් වුයේ අපේ කාමරය හරහා කොහෙටදෝ යන අතරදී මා දැකීමෙනි. එවෙලෙහි ඔහු සිය අතපසුවීම ගැන කණගාටුව පළකලේ මා පුදුමයට පත් කරමිනි. අපි වදින විට අත්දෙක එකතු කරන ලෙසට අත් දෙක එකතු කල ඔහු කිහිප වරක් "ගොමෙන් නෙ....ගොමෙන් නෙ" කීවේය. "ගොමෙන්නසායි" යන්නෙහි අර්ථය සමාවෙන්න යන්නයි. ජපනුන්ද අප මෙන්ම කියන දේ තහවුරු කරගන්නට උවමනා විට "නෙ" යන්න යොදාගනී. මගේ සෙන්සේ මේ "ගොමෙන් නෙ" කීමෙන් අදහස් කලේ "සමාවෙන්න පුළුවන්නෙ/ සමාව දෙනවනෙ වැන්නකි.
බොහෝ දෙනෙකු සමුගැනීමේදි යෙදෙන ජපන් වචනය ලෙස දැන සිටින්නේ "සයෝනරා" ය. නමුත් මේ "සයෝනරා" ට අමතරව යෙදෙන වෙනත් සමුගැනීම් වචනද ඇත. සාමාන්‍යයෙන් සයෝනරාට වැඩියෙන් එදිනෙදා රාජකාරි නිමවා යනවිට භාවිතා කරන්නෙ "ඔත්සුකරේ සමාදෙස්" යන්නය (ජපන් භාෂාවේ "සු" යන්නක් නැත.තියෙන්නේ "ත්සු" ශබ්දයක්ය. සුනාමි යන්න "Tsunami" ලෙස ඉංග්‍රීසියෙන් ලියන්නේ එය ජපන් වචනයක් නිසාය ) (මගේ වරද නිවරදි කල ඇනෝට ස්තූතිය ). එහි නිවරදි සිංහල තේරුමක් දීමට අපහසු එහි අදහස භාවිතා කරන අවස්ථාව අනුව වෙනස්වන නිසාය (කොහොමත් ජපන් භාෂාවේ සමහර දේවල් වෙනත් භාෂාවකට හැරවීමට වඩා එහි දළ අදහස අරගෙන ජීවත්වීම පහසුය ). මා වැඩ කරමින් සිටිද්දී මට කලින් පර්යේෂණාගාරයෙන් පිටවන සියළු දෙනාම "ඔස්කරේ" කියාගෙන යයි. එක් පැත්තකින් එහි අදහස "ඔබ බොහොම මහන්සියෙන් වැඩ කරන පාටයි" වැන්නකි.තවත් ආකරයකින් "අද දවස අවසන්. ඔබට ස්තූතියි දවස හොදින් නිමාකරගන්න සහය උනාට" වැන්නකි. අප ගේට්ටුවෙන් පිටවන විට අර උදෑසන "ඔහායෝ" කියු ආරක්ෂක නිළධාරින්ද "ඔත්සුකරේ සමාදෙස්ටා" කියයි.එහි අදහස "අදට වැඩ ඉවරයිනෙ" වැන්නකි.මෙලෙසම අප කිසියම් පර්යේෂණ කටයුත්තක් හෝ Presentation
එකක් වැනි දෙයක් අවසන් කල විට අප අසලට එන සියළු දෙනාම "ඔත්සුකරේ සමාදෙස්ටා" කියා සුබ පතයි. ඉන් ප්‍රකාශ කෙරෙන්නේ “Thank u for ur hard work” වැන්නකි.
"සයෝනරා" හා "ඔත්සුකරේසමා"ට අමතරව සමුගැනීමේදී යෙදෙන අනෙක් වචනය "කි ඕ ත්සුකෙත්තෙ ඉත්තෙරෙෂ්ෂායි (itterassai)" යන්නය. මෙය සුලභව යෙදෙන්නක් නොවන අතර කෙනෙක් දුර ගමනක් යනවිට "පරිස්සමින් ගිහින් එන්න" වැනි අදහසකින් එය භාවිතා වේ. කෙනෙකු මට සයෝනරා හෝ ඔත්සුකරේ කියූ විට මමද එලෙසම ඔවුන්ට සුබ පැතුවද "කි ඕ ත්සුකෙත්තෙ ඉත්තෙරෙෂ්ෂායි" යන්න පිටව යන පුද්ගලයා පවසන්නේ නැත. ඇතැම්විට ගුරුවරුන් දරුවන් පාසල නිමවා යනවිටත් මෙය පවසන අවස්ථා ඇත. චාරිත්‍ර වාරිත්‍ර සහ කෑම බීම මදකට කල් තබා ඊළග සටහනින් සකුරා ගැනත් සකුරා පිපෙන කාලයට ජපනුන්ගේ හැසිරීම ගැනත් විස්තර ගෙන එන්නම් |
මං ජපන් ඉගෙණ ගත්ත සෙන්සෙත් කියුවේ ඔබ කියුව කතාවමයි. ජපනුන්ගේ නිතර සිදුකරන ආචාර විදි ගැන...
ReplyDeleteඒ ආචාර විදි නිසාම එයාලා හරිම විනීතයි.. අපහසුවට පත් වෙන අවස්ථාත් නැතුවා නොවේ නේද???
ඔව් නිර්මාණි මේ ආචාරශීලිබව කතා බහ කිරීමට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි. කන හැටි බොන හැටි, පොදු තැනක් පාවිච්චි කරන හැටි වගේ හැම තැනකදිම මේ දේවල් දකින්න පුළුවන්.
Deleteවෙලාවකට අපි අපහසුවට පත්වෙන්නෙ අපිට ඒ සමහර දේවල් නුහුරු නිසා වගේම අපිත් පොඩි කාලෙ ඉදලම හුරුපුරුදු වුණ අපේ සමහර සිතුම් පැතුම් එක්ක ඒවා හාත්පසින්ම වෙනස් වුණාම.
අපේ President කැන්ටිමේ මගේ පිටිපස්සෙ පෝලිමේ ඉන්න එක ඉස්සර මට අපහසුවක්. නමුත් දැන් ඒක සාමාන්‍යයි.
මේව හරි ආසාවෙන් කියවන්නෙ. ජපානයට කවදහරි එන්නම හිතං ඉන්නෙ.
ReplyDeleteකවුරුහරි මේ දේවල් කැමැත්තෙන් කියවන බව දැනගන්න ලැබීම සතුටක් කසුන්. ඔයාගෙ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවා!
Deleteඔස්කරේ නෙමෙයි ඔත්සුකරෙ (othsukare). ඉතෙරසායි නෙමෙයි ඉත්තෙරෂ්ෂායි (itterasshai).
ReplyDeleteK
බොහොම ස්තූතියි ඇනෝ ඒ වැරැද්ද පෙන්නලා දුන්නට.
Deleteජපන් භාෂාවෙ " සු" අකුරක් නෑත්නෙ. Tsunami සුනාමි කියනවා වගේ මට ඕක ඇහෙන්නෙයි මම කියන්නෙයි " ඔස්කරෙ". ඒත් ලියනකොට එහෙම ලිව්ව එක වරදියි කියලා මටත් තේරෙනවා. හොදම දේ රෝමාජි වලින් ලියන එක.ඒත් කියවන්න ලේසියි හිතෙනවා අපේ භාෂාවෙන් ලිව්වම. මීට පස්සෙ ඒ ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්නම්.
Itterasshai ත් එහෙමම තමයි. Tsu යෙදීම කියවද්දි තමයි වැඩිපුර වැරදෙන්නෙ.
ආයෙත් වතාවක් ස්තූති කරන්නම්. දිගටම මේ වගේ දකින අඩුපාඩු පෙන්වලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා
ආගන්තුක කෙනෙකුට ඒ ආචාර විධි අපහසුවක් වෙන්න පුළුවන්.නමුත් ඒක ඔවුන්ගේ සංස්කෘතිය.තවමත් ඒ සංස්කෘතික කාරණා රැකිලා තිබෙන එක නම් සතුටක්
ReplyDeleteඔව් වැසි දැරිය වඩාත් අගය කළ යුතු දේ මේ දේවල් තවමත් රැකිලා තියෙන එකටත් වඩා හරි අපූරුවට ඒ විදිහටම මේවා ඊළග පරම්පරාවට ලබාදෙන එක සහ ලබාදෙන විදිහ.
Deleteමම අර උඩ නිර්මාණිට කිව්වා වගේම ඔයාටත් කියන්න තියෙන්නෙ අපි ඇතැම් වෙලාවට මේවයෙන් අපහසුවට පත්වෙන්නෙ අපේ ඔළුවෙ ඒ දේවල් ගැන තියෙන හැගීම ඊට වෙනස් වුණාම. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු නොවන තරමේ සැලකිල්ලක් ලැබුනාම සහ අපිට වැරැද්දක් කියලා නොහිතෙන දේවලට සමාව ඉල්ලීමේදී
අගය කිරිම හා රැක ගැනීම
ReplyDeleteබහුතරයකට අහිමි ඒත් ජපන්නු රකින ගුණාංගයක්
ඉතුරු කොටස් කීපයත් ඉක්මණට ලියයි කියල හිතනව
අගය කිරීමට සහ සිරිත් විරිත් පරපුරෙන් පරපුරට රැක ගැනීම වගේම තව ගොඩක් හොද ලක්ෂණ තියෙනවා.
Deleteමහේෂ් හිතන ඒවා හරි ඉක්මනට හරි යනවා නේද?. ඔයා සමහරවිට මගේ මුල් පෝස්ට් එක කියවන්න නැතුව ඇති. මම ඒකෙ ලිව්වා මේ මම අවුරුද්දකට විතර කලින් ලියපු ටිකක් බ්ලොග් එකේ දාන්නෙ කියලා. ඒ කියන්නෙ ඊළග කොටස් දැනටම ලියලා තියෙන්නෙ.ඔයාලට කියවන්න කාලෙ දීලා පෝස්ට් වෙන්න Schedule කරලා තියෙන්නෙ
හරිම අගෙයි සදා...............
ReplyDeleteඅගේ ඇති විස්තර ටිකක්. ආචාර සමාචාර අතින් ජපනුන්ලෝකේ ඉහළින් ම ඉන්න ජාතිය. ඔබ කියන විදිහට ඔවුන් සමාව ගැනීම සහ අනෙකා තමන් වෙනුවෙන් කළ දේට ස්තූති කිරීම කියන දේ උපරිමයෙන් ම කරනවා. මේක උතුම් මනුෂ්‍ය ලක්ෂණයක්. මේ ජාතියෙන් අපිට උගත හැකි පාඩම් අතර මේවා ප්‍රධානයි. ජපනුන්ගේ දියුණුවේ රහස පිටිපස්සේ මේ කියන ගුණාංගයන් බොහෝ ලොකු කාර්යයක් කරලා තියෙනවා කියලයි අපි නං හිතන්නේ. ඒ නිසා ගැන ඔබෙන් ලැබෙන ගුරුහරුකම් ඉතාම වැදගත් කියලා හිතනවා...... පෝස්ටුව අගෙයි..... ජයවේවා...
අලුත් පෝස්ටු පෙළට සින්ඩියේ ලින්කුවක් දුන්නා......
Deletehttp://kurutugegeepawra1.blogspot.com/
ඔන්න ඒ ලින්ක් එක දිගේ මමත් මෙතනට ආවා. මගේ බ්ලොග් රෝලටත් මේ අඩවිය දාගත්තා.
Deleteජපන් සංස්කෘතිය ගැන වගේම ආර්ථිකය, අධ්‍යාපනය, පොදු ප්‍රශ්න ආදිය ගැනත් ලියන්න.
ස්තූතියි කුරුටු!.
Deleteමම මුලිනුත් කිව්වා වගේ හිතේ තිබුන අදහස ඉක්මනින් ක්‍රියාවට නගන්න උදව් කරා වගේම මේ ලිවීමට ඔබෙන් ලැබෙන දිරිමත් කිරීමත් මම අගේ කරනවා.
ජපනුන්ගෙ දියුණුව පිටිපස්සෙ තියෙන පුංචි පුංචි රහස් ගොඩක් මම හොයාගෙනයි තියෙන්නෙ. ඉඩ ලැබෙන විදිහට ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්න මම උත්සහ කරනවා. බලමු අපිත් ඒවගෙ උදව්වෙන් අඩියක් හරි මේ ඉන්න තැනින් ඉස්සරහට එන්න.
ස්තූතියි! විචාරක.
Deleteඔව් මමත් බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙ සංස්කෘතිය, අධ්‍යාපනය, කාලගුණය,ස්වභාවික විපත්, පරිසරයට දක්වන සැලකිල්ල වගේ ගොඩක් දේ ගැන ලියන්න. අධ්‍යාපනය ගැන ලියන්න ගොඩක් දේ මගෙ ළඟ තියෙනවා.ඒත් ආර්ථිකය ගැන ලියන්න තරම් ප්‍රමාණවත් දැනුමක් නෑ. නමුත් තනි තනි පුද්ගලයින් ඒ විෂයෙහි හැසිරෙන හැටි ලියන්න මම හිතා ඉන්නවා.
"ආයුබෝවන්,ආයුබෝවන් ජපන් ලඳේ සයොනාරා" කියලා ජෝතිපාලගේ සින්දුවක් තියෙනවා.සඳමාලි අක්කා අහලා තියෙනවාද මන්දා?
ReplyDeleteමේ විදියට තමන්ගේ සංස්කෘතිය රැක ගන්න ගමන් අනෙක් සංස්කෘතීන් අගයන එක බොහෝම වැදගත් ලක්ෂණයක්.
ඔව් මල්ලි. අනෙක් අයගෙ අදහස් වලට ගරු කිරීම මමත් ඔවුන් තුල දකින බොහොම වැදගත් ලක්ෂණයක්.
Deleteමරු. මම කැමති ජාතියෙ. අනිත් දෙකත් කියවන්නං.
ReplyDeleteස්තූතියි රාජ්!...ඒ වගේම සතුටුයි කවුරුහරි කැමති ජාතියක් ගැන ලියන්න ලැබීමත්
Deleteniyamai. ස්තුතියි අපිව ජපානෙ ගෙනියනවට. මේක දැක්කම එහෙ ගිහින් පදිංචි වෙන්න හිතෙනවා.
ReplyDeleteඔයාලටත් ස්තූතියි මාත් එක්ක සවාරියේ යන්න එනවට.
Deleteසිරා බන්. ඇත්තටම ලස්සනයි. අර පොඩි උන් සමාව ඉල්ලපු වෙලාවේ උඹ ඇස් දෙක පොල්ගෙඩි කරන් ඉන්නතැයි කියලා මට මැවිලා පේනවා.තව ලියපන්. ඕවා විතරක් නෙමේ පාරේ කුණු නොදැමිම, තසන්ේග ආයතනයට කැපවිමේන වැඩ කිරීම වගේ දේවලුත් ලියපන්. තව හොඳ මාතෘකාවක් තියෙනවා. මෙ/් අතිජාත මිත්‍රයා ගැනත් වෙනමම පෝසටුවක් දාපන්.සුභ ගමන්
ReplyDelete//සිරා බන්. ඇත්තටම ලස්සනයි// හි හි...මෙහෙම කියන්න මං මගේ ෆොටෝ එකක් මේකට දැම්මෙ නෑනෙ. ඔන්න අපේ පොඩි මෑන් නම් ඉන්නවා අර උඩ ෆොටෝ එකේ. කෝච්ගෙ ඉස්සරහම වගේ ලා නිල් ජැකට් එකක් ඇදලා ඉන්නෙ.
Delete//අර පොඩි උන් සමාව ඉල්ලපු වෙලාවේ උඹ ඇස් දෙක පොල්ගෙඩි කරන් ඉන්නතැයි කියලා මට මැවිලා පේනවා// මගෙ ඇස් දෙක තව ලොකු කරානම් පොඩි එවුන් බය වෙලා දුවනවා කියලා හිතුනැති එකනෙ පුදුමෙ
ඔයා ඔය කියන විස්තර ඔක්කොම දැනටම ලියලා තියෙන්නෙ. අර ටෙලිනාට්‍ය වල වගේ කමිං කෑලි ටිකක් දාන්නද?
1.නිවසකට/පාසලකට/ අවන්හලකට ඇතුළුවීම - චාරිත්‍ර
2. ආහාර ගැනීමේදී අනුගමන කරන චාරිත්‍ර
3. පොදු ස්ථාන භාවිතය සහ පරිසරය - ජන්ද ව්‍යාපාරය ද ඇතුලත්ව
4. අමු මාළු ආහාරයට ගැනීම- සශිමි, සුශී
5.හරි පුදුම ඉස්කෝලෙ (මේක සීරිස් එකක්)
6. උණුදිය උල්පත් සහ Public hot water bath in Japan
ඔය ඇතිනෙ
හි හි...ඔයාගෙ අතිජාත මිත්‍රයා මෙහෙ ඉදලා ගිහින් නළාවට අත නොතබා රිය ධාවනය කිරීමේ කලාව ප්‍රගුණ කරනවා මේ දවස්වල
මම කිව්වේ පොස්ට එක ගැන මිසක් උඹ ගැන නෙමේ :-D බෝව ලස්සනට පේන්න ඔින මට නෙමේනේ මගේ මිත්‍රයාට.ඌට ඒක පෙනිලා ගොඩක් කල්.බොලා දෙන්නගේම වතට වඩා හිත ලස්සන විත්තිය මම දන්නවා- වළක වැටිච්ච මාව ගොඩ ඇදපු එකෙන්.බටර් ගානවා නෙමේ. සෂුමි නම් මාත් කාල තියෙනවා. කොහේදිද කියලා උඹ දන්නවානේ.උණුදිය උල්පත් සහ Public hot water bath in Japan ලියපන්.උඹ නම් යන්න නැතිව ඇතිනේ. මොකද උන් අපි ගියහම් අවධානය වැඩිනේ.වැඩේ සිරා.
Deleteහි හි....ඒක නේන්නම්..පෝස්ට් එකක් ලස්සනයි කියලා කවුරුත් කියනවා මං අහලා නෑ.මම ඒත් සෑහෙන්න බය උනා වැරදිලා මගේ ෆොටෝ එකක්වත් වැටුනද කියලා.
Deleteඑහෙම මෙහෙ අය අනෙක් අය ගැන අපි වගේ හොයන්න කරදර නොවෙන නිසා Public hot water bath වලදි (ඔන්සෙන් )එහෙම දෙයක් නෑ. මම කීප සැරයක්ම ගිහින් තියෙනවා සහ කවුරුත් නැති වෙලාවට ගිහින් එකතු කරගත්තු ෆොටෝස් ගොඩකුත් තියෙනවා. හීන් සැරේ ඒවා දැක බලාගන්න සලස්වන්නම්. මම මේ පහුගිය වින්ටර් එකේ "ඔන්සෙන්" ගියා අප්‍රිකානු කාන්තාවො තුන්දෙනෙක් එක්ක. අපි දිහා තියා ඒ අය දිහාවත් කවුරුත් විශේෂයෙන් බලන්නෑ.
අදයි මේ පැත්තට ගොඩ වුනේ. පෝස්ටු 3 ම එක හුස්මෙට කියෙව්වා...
ReplyDeleteජපන් මහත්තුරු ඉන්න ඔපීසියක වැඩ කරන නිසා මේ දේවල් ටිකක් හුරු පුරුදුයි.. ඒත් ජපන් රටේ ඉඳලාම ඔබ මේ ලියන තොරතුරු කියවන්න හුඟක් ආසාවෙන ඉන්නවා...
බොහොම ස්තූතියි තුශානි!. ජපන් මහත්තුරු එක්ක වැඩ කරනවා නම් දවසට හත් අට සැරේ පිස්සු හැදිලා ආයෙ හැදෙනවා ඇති.
Deleteබොහොම කැමැත්තෙන් කියවන ලිපි පෙලක්.සාමාන්යෙන් රටක් ගැන භාශාවක් ගැන විස්තර කරන කොට කම්මැලි ගතියක් එනවා.මේ පෝස්ට් වල හොඳම දේ ඒ කම්මැලිකම නැති එක.
ReplyDeleteජයවේවා..!!
ඔය කිව්වට....ගස් ලබ්බ ඈනුම් හත අටක් ඇරලා නිදි ගැට කඩ කඩ කමෙන්ට් එක ටයිප් කරා කියලා හොදට තේරෙනවා. බලන්න ආපහු අකුරු කීයක් වැරදිද කියලා.
Deleteස්තූතියි! ගස් ලබ්බ