Sunday, June 26, 2016

හරි පුදුම ඉස්කෝලෙ-3


සමස්ථ ජපානයමත්, ජපන් වැසියනුත් බොහෝ පිළිවෙලය. මගේ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වමින් කෙන්කියුෂා කියා තිබුණෙ මේ ක්‍රමවත් බව ඔවුන් ඉගෙනගන්නෙ දිවා සුරකුම් වල සිටම බවය. එය ඇත්තකි. මේ රටේ ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික පරමාර්ථය හෙට රට බාරගන්නා දරු පරපුර ඊට පුහුණු කිරීමය. ඒ සදහා සිය රටෙහි විශාලතම වත්කමක් වන සිරිත් විරිත් ටික ඊළඟ පරපුරට දෙන්නේත්, ඔවුන් නිදහසේ යමක් සිතිය හැකි පරපුරක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම දමන්නේත් මේ පෙර පාසැල්, දිවා සුරකුම් සහ ප්‍රාථමික පාසැල් තුලිනි. මා මේ ලිපි තුලින් කියන්නට උත්සහ කරන්නේ ඔවුන් එය සිදු කරන ආකාරයය.
දරුවන් එක වසරට ඇතුල් වනවිට ඔවුන් පංති වලට බෙදා වෙන්කර තිබේ. අපේ පුතා ඉගෙනගත් පාසලේ එක් වසරකට පංති හයක් තිබුණි. ඒවා හදුන්වන්නේ "කුමි/ගුමි" නමිනි. මේ කුමි වලට බෙදීමේදී එකම දිවා සුරකුමක හෝ පෙර පාසලක කාලාන්තරයක් තිස්සෙ එකට සිටි දරුවන් වෙනත් වෙනත් පංති වලට වැටෙන ලෙස  බෙදන්නට උත්සහ කරන බව විදුහල්පතිවරයා පාසැල් වාරය ඇරඹීමට පෙර පැවැත්වූ උත්සවයකදී සදහන් කළ බවක් යන්තමට මෙන් මතකය. නාම ලේඛනයට අකාරාදි පිළිවෙලට  නම් ඇතුළත් කරන අතර ඒ අනුව සෑම දරුවෙකුටම අංකයක් හිමි වේ. අතේ පත්තුවෙන වාසගමක් ඇති අපේ පුත්තරයාට ඒ අනුව හිමි වූයේ අංක එකය. ඔහු සිටියේ එක වසරේ, හයවෙනි කුමියෙ, පළමුවන ශිෂ්‍යයා ලෙසය. එනිසා එක වසරදී ඔහුට හිමි අංකය වුයේ 1-6-1 ය (එක වසර-හයවෙනි කුමිය-ශිෂ්‍ය අංක එක). ඔහුගේ පොත්පත්, සපත්තු, කුඩ ආදී එකී මෙකී නොකී සියල්ලගේම අපි ඒ අංකය සදහන් කළ යුතුය.
ජපානයේ  ප්රාථමික පාසලේ දරුවන්ගේ නිළ ඇදුම් කට්ටලයට ඇතුළත් වන්නේ පොත් බෑගය සහ තොප්පිය පමණි.  ඇදුම් සහ පාවහන් කැමත්ත පරිදිය. නමුත් කැමති පාවහන් පැළදිය හැක්කෙ පාසලට එනවිට සහ ඉන් පිටව යනවිට පමණි. පාසැල් කාලය තුලදී පාසලට දැමීමට පාසලින් නිර්දේශිත කැන්වස් පාවහන් මිළට ගත යුතුය. පංති කාමරයෙන් පිටත ඇති විශාල කොරිඩෝවක මේ පාවහන් තැබීමට වෙනම රාක්ක ඇත. සාමාන්යයෙන් පංතියක උපරිම ළමයි ගනන 32-33 .   අනුව මේ රාක්කයෙහි පාවහන් තැබීමට ඇති කුඩා කුටීර  වලට එකේ සිට 33 අංක ලබා දී ඇත.  දරුවන් සිය පංති කාමරයට ඇතුළු වීමට පෙර තමා පැළදගෙන පාවහන් ගලවා තමාගේ අංකයට අදාල කුටීරයේ තබා, එහි ඇති පාසැල් පාවහන් පැළද ගත යුතුය.
1-4 පංතියේ සපත්තු රාක්කය.
 පාසලට ඇතුළුවන තැනම කුඩ තැබීමට ස්ථානයක්  ඇත. එය එකේ සිට හය වසර දක්වා ශ්‍රේණි හයකට වෙන්කර ඇති අතර, එක් එක් ශ්‍රේණිය  නැවත කුමි හයකටත් වෙන්කර ඇත. ඒ සෑම කුමියකටම අදාල කුඩ රදවනයේ  එකේ සිට අංක ඇත. තම තමන්ගේ අංකය දරුවන් දන්නා නිසා ඔවුන් වැසිදාක පාසලට ඇතුල් වනවිට කුඩ රදවනයී තමාට හිමි තැන කුඩය තබා යන්නට වග බලා ගනී. මේ කුඩා දරුවන් පිළිවෙලට වැඩ කරන්නට ඉගෙන ගන්නේ එහෙමය. මේ කුඩ රදවනය සහ පාවහන් රදවනය සරල උදාහරණ දෙකක් පමණි.

මෙහි පාසැල් පෙර පාසැල් දිවා සුරකුම් ආදී සෑම තැනකම දරුවන් වයස අනුව පහසුවෙන් හදුනාගැනීම සදහා ඔවුන් පළදින තොප්පියට වර්ණ සංකේත ලබාදේ. අනුව එක වසර දරුවන්ට ලැබෙන්නේ කැපී පෙනෙන කහ තොප්පියකි. පාසලට පැමිණීමේදී එය පැළද සිටීම  අනිවාර්යය. දෙකේ සිට හය වසර දක්වා වු දරුවන් පළදින්නෙ තද නිල් තොප්පියකි. පාසැල් බාරදීමට පෙර දරුවන් යන්නේ දිවා සුරකුමට හෝ පෙර පාසලටය. ඒවාට තනිව යාමට ඒමට අවසර නැති නිසා දරුවන් යායුත්තේ වැඩිහිටියෙකු සමගය. මේ දරුවන් තනිව යාම් ඒම් ඇරඹෙන්නේ පාසලට බාරදුන් පසුය. ඒ නිසා එය එක්තරා ආකාරයක කඩඉම් කාලයකි. මේ කැපී පෙනෙන කහ තොප්පියෙන් නිරූපණය කරන්නේ ඒ කඩඉම පසුකරන වයසේ දරුවන්ය. මුළු ජපානය පුරාම එක වසර දරුවන් පළදින්නේ රජයෙන් ලබාදෙන මේ කහ තොප්පියය.

ප්‍රාථමික පාසැලේ දරුවන්ගේ පාසැල් බෑගය සමෙන් කරන ලද සෞඛ්යාරක්ෂිත  ශක්තිමත් බෑගයකි. එය අරුමෝසම  කිසිවක් නැති තනිපාට තනි සාක්කුවක් පමණක් ඇති ඉතා සරල බෑගයක් වුවත් මිළ අධිකය (වට්ටම් සහිතව විකුණන අවස්ථා වල හැර සාමාන් කාල වලදී මේ බෑගයක අවම මිල රුපියල් පනස් දහසක් පමණ ) .පිරිමි ළමුන් සදහා කළු සහ තද නිල් පැහැයත් ගැහැණු ළමුන්ට   පාට දෙකද ඇතුළුව රතු රෝස දුඹුරු ලා නිල්, ලා කොල ලා දම් යන පවතින ඕනෑම පාටක  බෑගයක් භාවිතා කල හැක. එක වසර දරුවන්ගේ පාසැල් බෑගය සදහා  ලුම්නස් කහපැහැ ආවරණයක්ද රජයෙන්ම ලබාදෙයි. මා මුලින් සදහන් කළ පරිදි මේ දරුවන්ගේ නිළ ඇදුම් කට්ටලයට අයත් වන්නේ මේ බෑගය සහ තොප්පිය පමණි. ඒ දෙකෙන් එක වසර දරුවන් සෙස්සන්ගෙන් වෙන්කර පහසුවෙන් හදුනාගැනීමට ඔවුන් යොදාගන්නේ මේ වර්ණ සංකේතය.
සටහන දීර්ග වීම වැලැක්වීමට මේ බෑගය සමග ඇති අනෙක් බෑග් දෙක ගැන විස්තර පසුවට
මීට අමතරව හදිසි කරදරයකදී භාවිතා කරන්නට සෑම පාසැල් දරුවෙකුගේම බෑගයට සවි කරන ගැජට් එකක්ද ඇත. එහි ටෝච් එකක් සහ පහළට එල්ලෙන නූලක් ඇත. මේ ගැජට් එක ලබාදී ඇත්තේ කවුරුන් හෝ තමාට කරදරයක් කරන්නට පැමිණියහොත් එය දැනුම්දීමටය. මේ පහළට එල්ලෙන නූල ඇද්ද විට නොනවත්වාම ශබ්දයක් නිකුත්වේ. නමුත් මේ ශබ්දය අපිට කිසිදා මඟ තොටකදී ඇසී නැත. මෙම උපකරණය භාවිතා කරන ආකාරයත් එය භාවිතා කළ යුතු අවස්ථා ගැනත් දැනුවත් කිරීම වරින්වර පොලීසිය මගින් සිදු කරයි. ඊට අමතරව මේ උපකරණය නිසි පරිදි වැඩ කරනවාද නැද්ද යන්නත් පාසල තුලදී වරින් වර පරීක්ෂා කෙරේ. සියල්ල එසේ තිබියදීත් පාසල අවට උදේ සිට රාත්රී වනතුරුම පොලිස් රථයක් කරකැවීමද සිදු කරයි.

 
Security gadget




දෙකේ පංතියේ සිට පළදින නිල් තොප්පියත්, ආරක්ෂිත ගැජට්ටුව පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස බෑගයට සවිකර ඇති අයුරුත්, ගකුදො එකට ඇතුළුවීමේදී භාවිතා කරන කාඩ් එකත් (කොළපාට ) මේ පිංතූරයෙන් බලාගත හැක.

මා පෙර ලිපියේ සදහන් කළ පරිදිම දරුවන්ට පාසැල් තෝරාගත යුත්තේ පයින් ඇවිදින දුරකය.  ආරක්ෂාව ගැන හොද තහවුරුවක් ඇති නිසා මේ දරුවන් එක වසරට බාරදුන් දාට පසුදින සිටම පාසලට පැමිණෙන්නේ තනිවය. බොහෝවිට එකම නිවාස සංකීර්ණයකින් එන දරුවන් එකට එකතු වී එනවා දකින්නට පුළුවන. මුල් දින දෙක තුනක් දෙමව්පියන් සමග පාසලට එන දරුවන්ද නැතුවා නොවේ. ප්‍රාථමික පාසල පැවැත්වෙන්නේ උදේ 8.15 සිට සවස 2.40 හෝ 3.30 දක්වාය. බදාදාට පාසැල නිමවන්නේ 1.30 ටය (3.30 ට පාසල නිමා වන්නෙ දෙකේ සිට ඉහළට). එක වසරට බාරදෙන දරුවන් මේ වෙලාවට පුරුදු කරන්නේ ක්‍රම ක්‍රමයෙනි. මුල් සතියෙ දවස් කිහිපයක් පාසල නිමාවූයේ 10.30 ටය. පසුව එය 12 දක්වා දිගු වී සති තුනක් පමණ වන විට සාමාන්‍ය කාල සටහනට පුරුදු කරගනී. දිවා ආහාරය පාසලින් ලබාදේ (ඒ ගැන විස්තර පසුවට ).
දරුවන් පාසලට පැමිණි පසු ඒ දරුවන් ගැන වගකීම ඇත්තේ පාසලටය. එනිසා මේ දරුවන් තනිව පාසලට පැමිණියත්, ආපසු ආරක්ෂිතව නිවෙස් වලට යැවීමේ රාජකාරිය කරන්නේ ගුරුවරුය. හැමදේම පිළිවෙලට කරන මොවුන් ළඟ ඒ සදහා අපූරු ක්‍රමවේදයක් ඇත. දෙමව්පියන් පාසල නිමවීමෙන් පසු ඒ ඒ දරුවා යායුතු තැන ලිපිනයත් (බොහොමයක් දරුවන් යන්නේ ගකුදො නම් පාසලින් පසු දරුවන් රදවාගන්නා ආයතනයකටය) , පාසලේ සිට එතැනට යන මාර්ගය දක්වන සිතියමකුත් මුල් දිනයේ පාසලට ලබාදිය යුතුය. ඒ අනුව පාසල නිමවීමෙන් පසු දරුවන් යන දිශාව අනුව අර කහ පැහැ තොප්පියට එක් එක් පාට රිබන් පටියක් සවි කරයි .  පාසල නිම වු පසු රිබන් පාට අනුව දරුවන් පෙල ගස්වා කන්ඩායමක් ලෙස යාමට  සලස්වයි. මුල් මාස තුන හතරදී ගුරුවරුන් දෙදෙනෙකු මේ දරුවන් යා යුතු තැනට ඇරලවයි.
මවුපිය දෙදෙනාම රැකියා කරන නිවසේ වෙනත් වැඩිහිටියෙකුද නොමැති දරුවන්ට පාසලින් පසු රැදී සිටිමට රජයෙන් පවත්වාගෙන යන "ගකුදො" (Kids & Teens club) නමින්  හදුන්වන වෙනම ස්ථානයක් පාසලට යාබදව ඇත.   පාසල නිමවන වේලාවට මවුපියන් නිවසේ නැති දරුවන් රාත්රී හත වනතුරු මෙහි රදවා ගනී. එහි දරුවන්ට කැමති පරිදි සෙල්ලම් කිරීමට විශාල ගෘහස්ථ ක්රීඩාගාරයක් සහ උපකරණත් නැටුම් සංගීත වැනි දෑ ප්රිය කරන අයට පහසුකමුත්, අත්කම් සහ නිර්මාණ සදහා පහසුකමුත් සපයා ඇත. එමෙන්ම දරුවන් සමග සෙල්ලම් කිරීමට සහ ඔවුන් බලා කියා ගැනීම සදහා තරුණ තරුණියන් බොහෝ පිරිසක්ද මෙහි සේවය කරයි. මෙයට ඇතුළුවීම සදහා හදුනාගැනීමේ පත්රයක් ඇති අතර ඇතුළුවීමේදී එය අදාල යන්ත්රයට යොමුකල සැනින් මවුපියන්ට දරුවා ගකුදො එකට ඇතුළු වු බවට විද්යුත් තැපැල් පණිවිඩයක් යයි. පිටවීමෙදීද එලෙසමය. මුල් මාස කිහිපයේදී මේ ගකුදො එකට යන දරුවන් කැටුව යාමට ගකුදො එකෙන් කිහිප දෙනෙකු පාසලට පැමිණෙන නිසා ගුරුවරුන්ට දරුවන්ගේ ආරක්ෂාව ගැන ගැටළුවක් නැත.
පාසලින් පසු ගකුදො සහායිකාවක් සමග ගකුදො එකට යන දරුවන්
ජපානයේ දරුවෙකුට අපේ රටේ මැති ඇමතිවරුන්ටත් වඩා වැඩි ආරක්ෂාවක් ලබාදේ. දරුවන් වැඩිහිටියෙකු නොමැතිව තනිව යාමට ඒමට පටන් ගන්නේ පාසලට භාරදුන් පසුය. ඔවුන් ස්වාධීනව ලෝකයට පා තැබීම අරඹන්නේ එතැන් සිටය. එහිදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා මෙවන් උපක්රම යොදා ගත්තද මෙහි අපරාද සිදුවන්නේ කලාතුරකිනි. මිනිස්සුන්ගේ හොද කමත් පවතින දැඩි නීතී රීති කාටත් පොදු  වීමත් මීට හේතුය.

 
කහ තොප්පිය සහ බෑගය නිසා ඈතින් පාර මාරුවන හැටි මට දුර සිට පෙනුන ආකාරය






කිසිම වාහන තදබදයක් නොමැති පාසල අවට තත්වය (උදෑසන පාසැල් පටන් ගන්නා වේලාවට ආසන්නව )

ජපන් හිරගන හෝඩිය. කියවීම -ඉහළ සිට පහළට දකුණේ සිට වමට (මනෝජ් මල්ලිට සහ ඔහුට පැණ නැගි ගැටළුවට පිළිතුරක් ලෙස)


43 comments:

  1. අපූරුයි. අදත් ආසාවෙන් කියෙව්වා. ජපානය මොන තරම් ළමුන් ගැන හිතනවාද.
    ඔමෙදෙතෝ ගොසයිමස් !
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමින්ද මේ රටවල ළමයි තමයි VIP.
      රටේ අනාගතේ කියන්නෙ දරුවො නිසා මේ විශේෂ සැලකීම බොහොම වටිනවා.

      Delete
  2. කුඩා ලමුන් නිල ඇඳුම් නැතුව නිදහසේ පාසැල් යාමනම් හරිම සැහැල්ලුයි මම හිතන්නෙ.
    අත් දිගට ඒව කොටට් ඒව, ටීෂර්ට් ඕනෙම එකක්, හරිම නිදහස්.
    ඔය සද්දෙ එන ගැජට් එක අපේ අය යන කාලෙ තිබුනෙ නෑ. පාසල් ලමුන් පැහැර ගැනීම් කීපයක් සිද්ද උනා ඒ කාලෙ.
    ඊට පස්සෙ තමයි ඕක රට පුරා ක්‍රියාත්මක උනේ.
    "කිසිම වාහන තදබදයක් නොමැති පාසල අවට තත්වය "
    ලංකාවෙ ලමයව කර් එකකින් ඩ්‍රොප් කරන එකත් පැෂන් එකක්නෙ.
    "ප්‍රාථමික පාසැලේ දරුවන්ගේ පාසැල් බෑගය සමෙන් කරන ලද සෞඛ්‍යාරක්ෂිත ශක්තිමත් බෑගයකි"
    ඇයි නම අමතක උනාද ? රන්දොසෙරො (ランドセル) අප්පා ගනන් නෙ.
    අප්‍රේල් මුල් සති දෙක තුනේ විතරයි ඔය අලංකාර කහ තොප්පි දර්ශනේ දකින්න ලැබෙන්නේ.
    ඉන් පස්සෙ උන් එක එකා ඕක අයින් කරනවා. ටික ට්ක සිනියොරිටි එක ඔලුවට ගහනව මම හිතන්නෙ
    -ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. 1.ඔව් කුඩා ළමුන් නිළ ඇඳුම් නොමැතිව කැමති දෙයක් ඇඳගෙන පාසල් යාම හොදයි මේ වගේ රටවලට. අපේ වගේ ඇඳුමෙන් පැළඳුමෙන් මිනිස්සු මනින රටවල මට හිතෙන්නෙ නිළ ඇඳුම් තියෙන එක හොදයි. නැත්නම් ඇති හැකි දෙමව්පියන්ගෙ දරුවො අරුමෝසම් ඇඳන් එන්න පටන් ගත්තම නැතිබැරි දෙමව්පියන්ගෙ දරුවො ඒකෙන් අසරණ වෙන්න පුළුවන්. මෙහෙ ඉතින් අනෙකා ඇඳන් යන ඇඳුම දිහා තියා ඇඳුම් නැතුවම ගියත් කවුරුත් විශේෂයෙන් නොබලන නිසා ඕවයෙ කිසිම ප්‍රශ්ණයක් නෑ.

      2.වාහන තදබදය නැති එකත් මම දැක්ක ලොකුම විශේෂත්වයක්.
      3.රන්දොසෙරො විතරක් නෙවෙයි මට දැන් ගොඩක් ඒවා අමතකයි. රෙන්රකුබුකුරො, කියුෂොකුබුකුරො වගේ මොන මොනාද දැන් ලාවට වගේ මතක් වෙනවා.
      රන්දොසෙරො ගනන් වුණත් වටිනවා අවුරුදු හයම මෙහෙ ඉස්කෝලෙ යනවනම්. අපි ඉතින් අවුරුදු දෙකකටනෙ අච්චර ගානක් වියදම් කරේ. ඒ බෑග් එක මොකුත් වෙලා නෑ හොදට තියෙනවා. දැන් අපේ මෑන් ලංකාවෙ ඉස්කෝලෙ යන්න පටන් අරන් මාස අටයි. මේ මාස අටට බෑග් තුනක් අරන්. එක එක්කෙනා ගේන ඒවා දැක්කම ඉල්ලනවලු.

      4.ඔයාලගෙ පැත්තෙ ඉන්නෙ මහ නෝටි ළමයි ජාතියක්නෙ. මෙහෙනම් ඔය කහ තොප්පිය මුළු අවුරුද්දම දැම්මා. ඒක දාගෙන ඒම අනිවාර්යයි. අපේ පුතා දවසක් ඕක ගකුදො එකේ දාලා ඇවිත් ඒක නැතුව ඉස්කෝලෙ යන්න බෑ කියලා හස්බන්ඩ් එක්ක ගිහින් ටීචට කියලා ඇවිත් තිබ්බා. ගකුදො අරින්නෙ නවයට විතරනෙ.
      අපේ පුතාලට නිවාඩු මාසවල ගකුදො යනකොටත් කහ තොප්පිය දාගෙන එන්න කියලා තිබ්බා.

      සීනියොරිටි එක ඔළුවට ගහන හැටි හොදටම දැක්කෙ නිල් තොප්පිය ලැබුණම. ඒක අපි ගන්න ඕනිනෙ. ඕක මුලින්ම දාගෙන යන්න ලැබුණෙ නිවාඩු කාලෙ මෙලෝඩිකා ප්‍රැක්ටිස් යනකොට (අර එකේ පංතියට එන අය පිළිගන්න පුරුදුවෙන්න ). අප්පා එදා "බයි බායි කීරොයි බොෂි" කිය කියා කෑ ගහපු තරමක්. නිල් තොප්පිය දාගෙන ලොක්කා වගේ ගියෙ.

      Delete
  3. අපෙ අම්මත් අතේ පත්තු...:)

    ReplyDelete
    Replies
    1. රවී...ඒකත් එහෙමද? මට ඔය ගැන රස කතාවක් තියෙනවා පස්සෙ දවසක ලියන්න ඕනි. ඒක මහ පතරංග නමක්.

      මෙහෙ Alien registration කාඩ් එකේ ඔය අප්ච්චිගෙයි පුතාගෙයි නම් තිබ්බෙ....."Udukubure gedara atapattumudiyansel" කියලා.එතනින් එහා මොකවත් නෑ. මෙහෙදි කොහොමත් නම් විකෘති වෙනවා. හැබැයි ඔච්චර විකෘති වෙලා නැතුව ඇති කාගෙවත්

      Delete
    2. කුඩා කාලයක් හෝ එවැනි විදිමත් පුහුණුවක් ලැබීමට අවස්ථාව ලැබුණු ඔබේ පුතා හරිම වාසනාවන්තයෙක් කියලයි මට නම් හිතෙන්නේ.

      ජපානයේ තිබෙන අතිශය ක්‍රමවත් පිළිවෙල, අචාරශීලී බව, අවංක කම වැනි ගුණාංග නිසා තමයි හරි හැටි භාෂාව ලියන්න කියවන්න හෝ සමහර විට හරිහැටි කතා කරන්නත් බැරි විදේශිකයින්ට මෙතරම් පහසුවෙන් ජපානයේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අපි අත්සන් කරපු සමහර සේවා ගිවිසුම් හරියමට මොනවද කියලා අපිවත් දන්නේ නෑ. අපි ජපනුන්ගේ ඒ හොඳ ගුණාංග ගැන කතා කරන, අගය කරන ගමන් ඒ අගය කරන හැම කෙනෙක්ම (අඩුම ගණනේ ඒ අත්දැකීම අරගෙන නැවත රටට යන අයවත්) චුට්ට චුට්ට හරි ඒ හොඳ ගුණාංග තමන් සතු කරගන්නත් උත්සාහ කිරීම තමයි ප්‍රයෝජනවත් වෙන්නේ.

      Alien Registration Card කියන එක දැන් ඇත්තේ නෑ නේද ? 2012 දී ඒ ක්‍රමය වෙනස් කළා නේද ? "You are an alien" කියල කියන්නේ කෙනෙකුට කල හැකි අපහාසයක් ලෙස එක ජපන් මහාචාර්යවරයෙක් හැදින්වුවා මට මතකයි. මගේ විශ්වාසය නම් ජපානය පුරාම දැන් තිබෙන්නේ Resident Card ක්‍රමය බවයි.


      (අපේ බ්ලොග් පිටුව බලන්න අපේ ක්ෂේස්ත්රයටත් සම්බන්ධ ඔබේ මිතුරෙකුට ඔබ රෙකමදාරු කල බව ඔහු වෙනත් බ්ලොග් පිටුවක ලියා තිබුනා. අපව කියවීමට රෙකමදාරු කිරීමට බොහොම ස්තුතියි.)

      Delete
    3. කෙන්කියුෂා...ඔව් ඒ පුහුණුවත්, අවුරුදු හයවෙනකොට භාෂා හතරකින් ජීවත් වෙන්න ලැබීමත් එක්ක එයා ලොකු පන්නරයක් ලබපු බවක් අපිට දැනටත් තේරෙනවා.කවදා හෝ අනාගතයේ දවසක එයාට ඒවා අදට වඩා දැනෙයි කියලා හිතෙනවා. දැන් මගේ බ්ලොග් එකේ ජනප්‍රියම පෝස්ට් එක වෙලා තියෙන අර ටැක්සි කතාව ලියන්න හේතු වුණෙත් එයා එක ත්‍රිරෝද හිමියෙක් ගැන සියුම් විශ්ලේෂණයකින් එලඹිලා තිබුණ නිගමනයක් නිසා.

      //ජපානයේ තිබෙන අතිශය ක්‍රමවත් පිළිවෙල, අචාරශීලී බව, අවංක කම වැනි ගුණාංග// මේ අවංක කම සහ කෙනෙක් අනෙකා කෙරෙහි තබන විශ්වාසය ගැනත් මම මේ ඉස්කෝල කතාවෙදි යමක් ලියන්න හිතා ඉන්නවා. මං කලිනුත් කිව්වෙ, මේ මිනිස්සුන්ගෙ දකින සමහර පුරුදු කොහොමද හැමෝ ළඟම එක වගේ තියෙන්නෙ කියන එක මං ඉගෙනගත්තෙ පුතාගෙ ඉස්කෝලෙ ගමනින්.
      එයා මෙහෙ හිටිය අන්තිම කාලෙ වෙනකොට ජපන් වලින් හිතන්න පටන්ගෙන තිබ්බෙ. සිංහල කතා කරන්න කියවන්න හොදට පුළුවන්. ඒත් අර ජපන් වලින් හිතලා සිංහලේට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනි වෙන එක තව අවුරුද්දක් මෙහෙ හිටියොත් තවත් වැඩි වෙන නිසයි එයාව තව අවුරුද්දක් මේ අපූරු ඉස්කෝලෙ නොතියා අරන් ගියෙ.

      //(අඩුම ගණනේ ඒ අත්දැකීම අරගෙන නැවත රටට යන අයවත්) චුට්ට චුට්ට හරි ඒ හොඳ ගුණාංග තමන් සතු කරගන්නත් උත්සාහ කිරීම තමයි ප්‍රයෝජනවත් වෙන්නේ//
      මාත් හිතන්නෙත් ප්‍රාර්ථනා කරන්නෙත් එහෙමයි. ඒත් මං දකිනවා අපේ සමහට උදවිය ඒවා ගෙනියනවා තියා මෙහෙදිම වත් පාවිච්චි කරන්නෙ නෑ කියලා. ඒ වෙලාවට ඇත්තටම දුක හිතෙනවා. මෙහෙ ඉදලවත් එහෙම හැදෙන්න බැරිනම් ආයෙ ගියාට පස්සෙ කවර කතාද?.

      සති දෙකකට උඩදි දවසක මං යාළුවෙක් එක්ක කබුකි බලන්න ගියා. අන්තිම ස්ටේෂන් එකට එනකොට දහයට විතර ඇති. මාත් ඒ වෙලාවෙ බඩගිනි වෙලා හිටියෙ.මගේ යාළුවා ට්‍රේන් එකට නැගලා බඩගිනි කියලා බෑග් එකේ තිබ්බ කේක් කෑල්ලක් අරන් කන්න පටන් ගත්තා. එතන ඉදලා අපි ඉන්න තැනට විනාඩි 10-12 ක දුරක් තිබ්බෙත්. මං කිව්වා මෙහෙ ට්‍රේන් වල ඔහොම කන්නෙ නෑ කියලා. "ආ...මොකද නැත්තෙ මං ඕනි තරම් දැකලා තියෙනවා" කියලා මට උත්තර ලැබුණා. මේ ඉන්නෙ පොඩි අය නෙවෙයිනෙ.

      Zairyu....alien registration නෙවෙයි තමයි. මට වැරදීමක් වෙලා තිබ්බත් නිවරදි කරන්න බෑ නෙ කමෙන්ට් එකක නිසා.

      //අපේ බ්ලොග් පිටුව බලන්න අපේ ක්ෂේස්ත්රයටත් සම්බන්ධ ඔබේ මිතුරෙකුට ඔබ රෙකමදාරු කල බව....//අප්පේ අහන්නත් සන්තෝසයි එහෙම එක්කෙනෙක් හරි ඉන්නවා කියලා. මගේ දැනීමේ තරමට නම් මං රෙකමදාරු කරපු මගේ බ්ලොග් එකවත් කට්ටිය කියවලා නෑ. මං ඒක මේ ඊයෙ පෙරේදා අර ටැක්සි කතාව FB share කරලා හරියටම තහවුරු කරගත්තා. හොයා බලන්න ඕනි කවුද ඔය කියන මිත්‍රයා කියලා.

      Delete
    4. යකෝ බොග බලන්නත් ඕන, මුණු පොත බලන්නත් ඕනත මේක හරි කෙළියක්නේ

      Delete
    5. ඔය යාළුවා කිව්වාට මම හිතන්නේ යෙහෙළියක් කියලා. සුවර් එකටම ලංකාවේ එකෙක් නේද?

      Delete
    6. මාත් මුලින් හිතුවෙ යෙහෙළියක් කියලා තමයි. කෙන්කියුෂාගෙ ක්ෂේත්‍රයට සම්බන්දයි කියපු නිසයි එහෙම හිතුනෙ. නැත්නම් එකටම මතක් වෙන කෙනෙක් ඉන්නවා. දැන් තහවුරු වුණා ඒක. කොහෙද දැන් ඔය මං ගැන සදහන් කළේ?.

      වලිගෙ පාගා ගත්තට මං කාටවත් චෝදනාවක් කළා නෙවෙයි. මම කිව්වෙ මං ෆේස් බුක් ෂෙයාර් කරනකල් කවුරුත් බ්ලොග් එක බලලා තිබ්බෙ නෑ කියලා. කමෙන්ට් වලින් ඒ බව තහවුරු වුණා

      Delete
  4. Kuchibiru ni uta o/have a song on your lips (2015) ඔය සපත්තු රැක් එක මං මේ ෆිල්ම් එකේ දැක්කා, බලල නැති අය හොයාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තූතියි! හසිත්. මමනම් ඔය ෆිල්ම් වලට ඒ හැටි මනාපයක් නෑ. ඒත් මේක බලන කාටහරි වැදගත් වෙයිනෙ

      Delete
  5. ඒ පිළිවෙල නම් හරිම අපූරුයි... ඉතින් ආයෙ ළමයින්ට පස්සෙ කාලේ අමුතුවෙන් පිළිවෙල උගන්නන්න දෙයක් නෑනේ...

    බෑග් එකේ ගාන කියුවම පුදුමයි...

    ReplyDelete
    Replies
    1. ඒක හරි නිර්මාණි. අපේ වුණත් පුංචි කාලෙ ඉදලා පිළිවෙලට වැඩ කරන්න ඉගෙනගන්න අය හරිම පිළිවෙලයි.

      ඔය මම ගාන කිව්වෙ අපි වගේ දුප්පත් ඈයින් ගන්න අඩුම මිළ. යෙන් 80 000 ටත් තියෙනවා මං දැකලා තියෙනවා. ඒ කියන්නෙ රුපියල් ලක්ෂෙටත් වැඩි. ඒත් ඒ බෑග් එක හයියයි නිසා මං හිතන්නෙ ළමයි අවුරුදු 6 ම ඕක පාවිච්චි කරනවා.

      Delete
  6. මේ ටිකේ වැඩ වැඩි උනු නිසා මිස් වෙලා.. මුල ඉඳන් කියෝගෙන එන්නම්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් විවේක පාඩුවේ කියවන් එන්නකො සජ්ජා.

      Delete
    2. සඳා.. මම කොතැනක නමුත් අහල තිබ්බ ජපානයේ පොඩි ළමයින්ට මුල කාලෙ අකුරු උගන්නන්නෙ නැතුව සෑහෙන කාලයක් සිරිත් විරිත් හැසිරෙන විදිය වගේ දේවල් ගැන උගන්නනවා කියල. ඒ ගැන පොඩ්ඩක් කියනවද..

      Delete
    3. සජ්ජා...ඔයා කියන ඔය කතාව හරි. හැබැයි ඒ පොඩි ළමයි කියන්නෙ ඉස්කෝලෙ බාරදෙන්න කලින්. ඉස්කෝලෙදි අකුරු උගන්වනවා අපිට දුවන්න. හිරගන, කතකන හෝඩි දෙකේ අකුරු ඔක්කොමයි (114 ක්ද කොහෙද ), රූපාක්ෂර නොහොත් කන්ජි 80 කුයි එක වසරට උගන්වනවා. දෙකේදි කන්ජි 160යි.මං ඒ ඉගෙන ගන්න විෂයන් ගැන සවිස්තරව ඉදිරියේදි ලියනවා.

      Delete
  7. මිසිස් අතේ පත්තු...,

    //නාම ලේඛනයට අකාරාදි පිළිවෙලට නම් ඇතුළත් කරන අතර ඒ අනුව සෑම දරුවෙකුටම අංකයක් හිමි වේ.//
    ඒ කියන්නේ නාම ලේඛනයට නම් ඇතුලත් කරන්නේ ඉංගිසි හෝඩියේ අකාරාදි පිළිවෙලට අනුවද?

    අපේ නම් ස්කොල පටන් ගන්න සහා අවසන් වෙන වෙලාවල් වලට පාරේ තියෙන්නේ අධික රථවාහන තදබදයක්නේ.අපිටත් වාහන එවන රටේ එහෙම පොඩිම තදබදයක් හෝ නැතිවීමත් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. මිස්ට ෆර්නෑන්...ඩෝ...,
      ඔයාව නම් අමතර පංතියකට යවන්න වෙනවා. බලන්න අර සකුරා පාඩම කියලා දෙන කාලෙ කොහොම හිටිය ළමයෙක්ද මේ

      Delete
    2. මනෝජ් මල්ලි,
      මේ රටේ ඉංග්‍රීසි නැතුව ඉංග්‍රීසි ටීච කෙනෙක් ඇර වෙන ඕනිම තරාතිරමක රස්සාවක් කිසිම ගැටළුවක් නැතුව කරන්න පුළුවන්. ජීවත් වෙන්නත් එහෙමයි. රට තුලදි ඕනිම රාජකාරියක් තමන්ගෙ භාෂාවෙන් කරගන්න පුළුවන්.
      එහෙව් රටේ මොන ඉංග්‍රීසි අකාරාදිද?. මෙයාලගෙ හෝඩිය පටන් ගන්නෙ මූලික ශබ්ද පහෙන්. "අ", "ඉ", "උ", "එ", "ඕ". ඔන්න මම ඔයාව අමතර පංති යවන්න බැරි නිසා මේ පෝස්ට් එකට හිරගන හෝඩියෙ ෆොටෝ එකක් දැම්මා. දැන් බලලම තහවුරු කරගන්නකො ඔය අතේ පත්තු සිංහල, ඉංග්‍රීසි වගේම ජපන් අකාරාදියට තිව්වත් මුලට එන හැටි.

      අපේ ඉස්කෝල වෙලාවට තියෙන තදබදේ ගැන කතා කරලා වැඩක් නෑ. මෙහෙ ඉස්කෝල අවට තියා වෙන තැනකවත් සාමාන්‍ය දවසට ඔහොම වාහන තදබදයක් නෑ. ඒත් සිකුරාදා හවසර තෝක්‍ යොවෙන් පිටටයි ඉරිදා හවසට තෝක්‍ යො පැත්තටයි සැලකිය යුතු වාහන තදබදයක් තියෙනවා. හැබැයි ඒක වෙන රටවලට සාපේක්ෂව අඩු තදබදයක්. හොදම දේ කොච්චර පෝලිමක් තිබ්බත් වාහන දෙකක් අතර තිබිය යුතු අවම පරතරේ හැමෝම ඒ විදිහටම පවත්වාගනිමින් පෝලිමෙ සිටීම

      Delete
    3. මිස් අතේ පත්තු...,

      ඉතින් ටීචර් මම නොමග ගියේ "අතේ පත්තු" ඉංග්‍රීසියෙන් ලියනකොට "A"අකුරෙන් ලියවෙන නිසානේ.ජපන් හෝඩිය පටන් ගන්නේ මූලික ශබ්ද පහෙන් කියලා ටීචර් කියලා තියෙන එක මම කලින් දැනන් හිටියේ නැහැ.ඉතින් ටීචර් මම හිතුවා ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙල වෙන්ට ඇති කියලා මෙතන යොදා ගන්නේ.එත් ටීචර් කලින් කියලා තියෙනවානේ ජපානයේ හැමදේම ජපන් භාෂාවෙන් කියලා.ඒ නිසායි මම ටීචර්ගෙන් ඒ ප්‍රශ්නය ඇහුවේ.

      හිරගන හෝඩියටත් ස්තුතියි ටීචර්.මට ආසයි එක ඉගෙන ගන්න.ඔන්න හැබැයි ටියුෂන් පීස් දෙන්න සල්ලි නැහැ.

      ありがとう 先生

      Delete
    4. වැරැද්ද මගේ තමයි මල්ලි. මම එතන වෙනස් කරන තුරු ඔයාට බලාගන්න සහ ඔය ප්‍රශ්ණයම ඇතිවෙන අනෙක් අය වෙනුවෙන් තමයි ගූගලයගෙන් ඉල්ලගෙන හෝඩියක් දැම්මෙ.

      බය වෙන්න එපා මම නොමිලෙ ගන්න ඒවා සල්ලි වලට විකුණන්නෙ නෑ.

      ගෝලයා දැන් හිරගන විතරක් නෙවෙයි කන්ජිත් දන්නවනෙ?. සන්තෝසයි සන්තෝසයි

      Delete
    5. //ගෝලයා දැන් හිරගන විතරක් නෙවෙයි කන්ජිත් දන්නවනෙ//

      අනේ මම මේක මේ ගුගල් ට්‍රන්ස්ලේට් එකෙන් ටයිප් කෙරුවේ අක්කේ....:)

      හිරගන,කන්ජි හෝඩි දෙකක් තියෙනවාද එතකොට ජපානයේ.

      Delete
    6. ඔයා හිතුවද මම ඇත්තටම ඒක ඔයා ටයිප් කරා කියලා හිතුවා කියලා. ඔයා නෙවෙයි මේ අපිත් ඔය දෙවියගෙ පිහිටෙන් තමා ජීවත්වෙන්නෙ.

      ජපානෙ අකුරු වර්ග තුනක් පාවිච්චි කරනවා, හිරගන, කතකන සහ කන්ජි.

      හිරගන හෝඩියේ මම ඔය දාපු චාට් එකේ අකුරු ටිකයි ඊට අමතර තව අකුරු කිහිපයකුයි තියෙනවා. ඒ එක අකුරක් කියන්නෙ එක ශබ්දයක්. " ක, කි, කු, කෙ, කො" අපිට බොහොම සමානයි. වෙනස තියෙන්නෙ අපි මූලික අකුරට පිල්ලන් යොදාගත්තට මෙහෙ එහෙම නෑ වෙන වෙනම අකුරු තියෙන්නෙ.

      මූලිකවම මේ හිරගන පාවිච්චි කරන්නෙ ජපන් වචන සහ ක්‍රියාපද ලියන්න. පුංචි දරුවො කියවන්න පටන්ගන්නෙ මේ හිරගන වලින්. මේ හිරගන හෝඩියෙ ශබ්ද ටිකටම සමාන තවත් අකුරු වර්ගයක් තියෙනවා කතකන කියලා. ඒවා පාවිච්චි කරන්නෙ ජපන් වචන නොවන විදේශික වචන, නම් සහ ව ඉංග්‍රීසි වලින් තත්සම වූ වචන ලියන්න. උදාහරණයක් "පාන්" " කේක්- කේක් තත්සම වෙලා තියෙන්නෙ " කේකි" කියලා. මොකද මෙයාලගෙ " ක්" නෑ.

      කන්ජි කියන්නෙ චීනෙන් ආව රූපාක්ෂර. ඕනි ලියවිල්ලක වැඩිපුරම තියෙන්නෙ මේවා. කන්ජි කී දාහක් තියෙනවද කියන්න මං දන්නෑ. හැබැයි එකේ ඉදන් හයට යනකොට කන්ජි 1016 ක් උගන්වනවා. ඒවට කියන්නෙ educational kanji. ඒ තරම් ඉගෙන ගත්තෙ නැතත් තුන් හාරසීයකිනුත් යන්තම් ඉහ ගහන්න පුළුවන්.මගේ දැනීමේ හැටියට කන්ජි හෝඩියක් කියලා එකක් නෑ. මේ අකුරු ලියන්නෙ ඉරි කෑලි 1-24 දක්වා ප්‍රමාණයකින්. ඒ නිසා සංකීර්ණත්වය සහ සාමාන්‍ය කියවීමකදි අකුරක භාවිත වැදගත්කමයි සලකලා මේ අකුරු උගන්වන බවක් තමයි මට තේරුණේ.

      ඉතින් මේ භාෂාවෙන් මොනාහරි ලියනකොට ඔය වර්ග තුනම මිශ්‍රව තියෙනවා. I am from Sri Lanka කියලා තමයි පහළින් ලියලා තියෙන්නෙ. මම ඔයාට තේරුම් ගන්න පහසුවෙන්න අකුරු වර්ග තුන දුරස් කළා. ( හැබැයි ඇත්තටම එහෙම ලියන්නෑ).
      මෙතන 1. හිරගන 2. කතකන 3. කන්ජි.

      3. 1. 2. 1. 3. 1
      私 は スリランカ から 来 ました.
      මීට අමතරව සමහර වචන ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න වෙනවා. උදාහරණයක් තමයි විද්‍යාත්මක නම්. ඒවට කියන්නෙ රෝමාජි කියලා


      අදට ඇතිනෙ ක්ලාස් එක. සල්ලි එපා හොදේ

      Delete
    7. අයියෝ මේ ඉලක්කම් දුරස් කරාට ඒ විදිහට තියෙන්නෙ නෑනෙ.
      උඩ වාක්‍යෙ
      පලවෙනි අකුර කන්ජි
      දෙක හිරගන
      3-7 කතකන
      8-9 ආපහු හිරගන
      10 කන්ජි සහ ඉතිරි තුන හිරගන

      Delete
    8. මනෝජ්, ටීච නෙවෙයි "සෙන්සේ".

      Delete
    9. බොහෝම ස්තුතියි අක්කේ පාඩමට.
      බලාගෙන ගියාම ජපන් වලින් ලියන එක ලේසි වැඩක් නෙමේයිනේ.

      //ජපන් හිරගන හෝඩිය. කියවීම -ඉහළ සිට පහළට දකුණේ සිට වමට//

      දැන් අපි හිතමු පොතක නැතිනම් වෙනත් ලියවිල්ලක ජපන් භාෂාවෙන් තියෙන සටහනක් කියවන්නේ කොහොමද?සෙන්සේ උඩ පින්තුරේ දාලා තියෙන විදියට උඩ සිට පහළටද ?නැතිනම් අර අරාබියේ විදියට අග සිට මුලටද?

      @කසුන්,

      ඇත්තනේ ජපානේ කොහෙද ටීචර්ලා ඉන්නේ සෙන්සේලානේ,මට වැරදුනා.

      Delete
    10. //බලාගෙන ගියාම ජපන් වලින් ලියන එක ලේසි වැඩක් නෙමේයිනේ// ලිවීම, කියවීම විතරක් නෙවෙයි තේරුම් ගැනීමත් අපහසුයි ඒ භාෂාව හොදින් නොදන්නා කෙනෙකුට (ඒකයි අපිට වෙලා තියෙන්නෙ, ජපන් බෑ නෙවෙයි ඒ භාෂාව අමාරුයි ). ලෝකෙ අමාරුම භාෂාවක් විදිහටනෙ ඒක සැලකෙන්නෙත්.

      ඔය කන්ජි වල උච්චාරණෙත් ඒක යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. එකම කන්ජිය, යෙදෙන තැන අනුව කියවන්නෙ දෙවිදිහටක. ඒ විතරක් නෙවෙයි එකම කන්ජියෙ තේරුමත් යෙදෙන තැන අනුව වෙනස් වෙනවා.

      //ජපන් හිරගන හෝඩිය. කියවීම -ඉහළ සිට පහළට දකුණේ සිට වමට//
      මම ඒ පින්තූරෙට යටින් මේක ලියලා, එතනදි නම් අදහස් කරේ මේ තියෙන්නෙ ජපන් හෝඩිය. ඒක කියවන්නෙ උඩ සිට පහළට, වමේ සිට දකුණට කියන එක.

      ඔයාගෙ ප්‍රශ්ණෙට උත්තරේ නම් ජපන් ලියවිලි දෙවිදිහකට තියෙනවා. Tategaki & Yokogaki. Tategaki කියන්නෙ සාමාන්‍යයෙන් ඉස්සර ඉදන් ජපන්නු ලියන කියවන ක්‍රමය. ඒ කියන්නෙ අර හෝඩිය වගේම ඉහළ සිට පහළට, දකුණේ සිට වමට. ඒවා ලියන්නෙ තීරු විදිහටනෙ. එතකොට පොතක් එහෙම පෙරලන්නෙ අපිට පේන විදිහට නම් අන්තිම පිටුවෙ ඉදන් මුලට (ඒ උනාට ඒ එයාලගෙ මුල් පිටුව. මං කියන්නෙ අපිට ඒක පේන විදිහ ). පොත් පත් වගේම ඔය පාරවල් වල දකින සමහර දැන්වීම් පවා තියෙන්නෙ මේ ක්‍රමයට.

      ඒත් සාමාන්‍යයෙන් අපි ලියන කියන ක්‍රමේටත් ලියවිලි තියෙනවා. ඒවා ඉතින් අදුරාගන්න පුළුවන්නෙ, තියෙන්නෙ තීරු නෙවෙයි පේළිනෙ. ඔය අපිට ලැබෙන ලියුම් එහෙම හැම එකක්ම ලියලා තියෙන්නෙ ඒ ක්‍රමේට. ඉස්කෝල පොත් (ගණිතය හැර )තියෙන්නෙ සාමාන්‍ය ජපන් ක්‍රමේට. ඒ කියන්නෙ උඩ සිට පහළට, දකුණේ සිට වමට.

      මෙහෙ ගුරුවරුන්ට විතරක් නෙවෙයි වෛද්‍යවරුන්ට කියන්නෙත් සෙන්සෙ කියලා. තව එහෙම කියන වෘත්තීන් තියෙනවද දන්නෑ.

      Delete
  8. වෙනද වගේම ආසාවෙන් කියවපු සටහනක් සඳා...කියන්න ඇත්තේ එකම දෙයයි...ඔබේ පුතාට මේ අත්දැකීම් අනාගතයේ බොහොම වැදගත් වේවි...

    ReplyDelete
    Replies
    1. සටහන ආසාවෙන් කියෙව්වට ස්තූතියි! පොකුරු වැහි

      Delete
  9. හරි ආශාවෙන් කියෙව්වේ . පසුගිය දිනවල ටිකක් වැඩ වැඩි වුන නිසා බ්ලොග් කියවුනේ අඩුවෙන්... ජයවේවා !!!

    ReplyDelete
  10. පහු ගිය දවස් වල ජැප්නා හිටි නිසා ජපන් කතන්දර බලන්න බැරි උනා.. තව දෙක තුනක්ම ඉතිරි වෙලා ඇති.. ඒකත් බලලම එන්නං.

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ ජපන් කතන්දර ලිව්වෙ බොහොම මන්දගාමීව නිසා එහෙමට දෙයක් මඟ හැරෙන්න නැතුව ඇති. මේකෙ මුල් කොටස විතරයි දේශාට මඟ ඇරෙන්න ඇත්තෙ

      Delete
  11. හොඳ වෙලවට ඔය මේක මුණු පොතෙත් දැම්මේ. තව චුට්ටෙන් මට මගාරෙනවා මේ පොස්ට් එක. හැම දම වගේ එක හුස්මට කියවගෙන ගියා. හරිම ලස්සනයි. ඔයාගේ පොස්ට් එක කියවද්දී මතක් උනේ බබා ලැබෙන්න ඉන්නකාලේ ඉඳන් සහ පුංචි කාලේ දිවසුරකිම් ගැනවත් මගේ අත්දැකීම් ලියන්න ඕන කියල. ඒවත් අර ඔය කිව්වා වගේ ජපන් අ ය ලමයින්ට දෙන වටිනාකම කියාපා න වැදගත් දේවල් කියල හිතුන.

    ReplyDelete
  12. Very Interesting, Sadamali, I am working for a Japanese company, these posts give some insight to their way of life and thinking.

    ReplyDelete