Thursday, April 30, 2020

විල්තෙර අද්දර - 11 : දහවෙනි මතක සක්මන




"දැන් මේ ගෙදර වැඩයි අම්මගෙ කේක් ඕඩර්ස්සුයි ඔක්කොම බදාගෙන ඉන්නෙ එග්සෑම් එක හොඳට කරා කියලා ෂුවර් නේද පොඩ්ඩිට" පසුදා උදෑසන නැන්දාගේ කේක් ඕඩර් එකකට කලමනා සූදානම් කරමින් සිටියදී රොෂාන් අයියාත් සමඟම එහි ආ මියුරු අක්කා විමසීය. නැන්දා ළඟ නොසිටියේ හොඳ වෙලාවටය. නැතිනම් පොත අතට ගන්නට සිද්ධ වන්නේ එවෙලෙමය.

"මං නම් හොඳට කරා. රිසල්ට් කොහොම වේවිද මන්දා"

"කොහොම වේවිද මන්දා කියන්නෙ ඇයි තමුන් නෙවෙයිද උත්තර ලිව්වෙ. ඔන්න මං දැන්මම කිව්වා, රිසල්ට් ගැන පොඩි හරි සැකයක් තියෙනවනම් ඔය කේක් හැදිලි අම්මට කරගන්න ඇරලා ආයෙ පාරක් විභාගෙ කරන්න ලෑස්ති වෙනවා" ගීත් අයියාගේ ගෝරනාඩුව ඇසෙන තුරුම ඔහු ඒ අසලක සිටි බවවත් මා දැන සිටියේ නැත. එසේනම් මගේ පිළිතුර නියත වශයෙන්ම භෞතික විද්‍යාවට සහ රසායන විද්‍යාවට A සාමාර්ථයන් ලැබෙන බවය.

"හොරෙන් පොත් අස්සෙ දාගෙන නවල්ස් කියවා කියවා ඉදලා ගිහින් තමුසෙ විභාගෙට මොනවා ලිව්වද කියලා මං දන්නෑ. හැබැයි කැම්පස් යන්න රිසල්ට්ස් තිබ්බෙ නැත්තං මං ඉස්සෙල්ලම ගිනිතියන්නෙ ඔය අවන් එක" කියූ ඔහු පිටුපස දොරෙන් එළියට බැස්සේ මට රවාගෙනය. ඔහුට වඩා හොඳින් රවා බලන්නට මා දන්නා බව ක්‍රියාවෙන් පෙන්වන්නට උවමනා වුවත් රොෂාන් අයියාගේ මුව කොනක නළියන සිනහව අභියස මට එය අමතක විය.

"හම්බකරලා මහන්සි ඇති" ඔහු යනතුරු නිහඬව සිටි මියුරු අක්කාගේ කතාවට සිනා නොවී සිටීම අපහසු වුවත් ,ප්‍රතිඵල නරක් වුවහොත් ඔහුගේ දෝෂාරෝපණ වලින් ගැලවෙන්නට නැන්දාට නොහැකි වන බව තේරුම් ගන්නට එවදන් ප්‍රමාණවත් විය.

"මිනිහට තව අවුරුද්දක් ක්ලාස් කරන්න ආසා හිතිලද කොහෙද" රොෂාන් අයියා මියුරු අක්කාගේ කනට කර රහසක ස්වරයෙන් පැවසුවත් මා සිටියේ එය නෑසෙන තරම් දුරකින් නොවේ.

"නිකා ඉන්න අනේ මේ පොඩි උන්ට පද හදන්නැතුව" කියමින් මියුරු අක්කා අයියාව තල්ලු කරගෙනම මිදුලට ගියේ නැන්දා කේක් කාමරයට එනු දැක දැකය.

වෙනදාට තොර තෝංචියක් නැතුව මොනවා හෝ කියවමින් නැන්දාට සහාය වන මගේ නිහඬ හැසිරීමට හේතුව අනුමාන කිරීම නැන්දාට අපහසු නොවන්නට ඇත. එහෙත් ඒ ගැන කිසිවක් විමසීමට උනන්දු නොවූ ඇය එදිනද සුපුරුදු පරිදි අපේ ජීවින යාත්‍රා එකිනෙක අතිපිහිත වීමට බලපෑ අතීත කතන්දර සිහිපත් කරන්නට අමතක නොකළාය. අප සියල්ලන්ගේම ජීවිත කතාවල මා නොදැන සිටි බොහෝ තැන් ඇය මට කියන්නට පටන් ගත්තේ මා විභාගය අවසන් කළ පසුය. තාත්තා ගැන මතකයක් හෝ නොදැනෙණ තරමට ආදරය දුන් මාමා තාත්තාගේ හොඳම මිතුරෙකු බව සිතා සිටියා විනා ඔවුන් අතර වූ මිත්‍රත්වයේ ගැඹුර ගැන මට එතෙක් අවබෝධයක් නොතිබිණ.

නැන්දාත් මාමාත් අතර පෙම් සබඳතාවක් ඇතිවී තිබෙන්නේ නැන්දා ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදීය. නැන්දා හැදී වැඩුණ කන්‍යාරාමයේ නීති රීති වලට අනුව ඇයට එහි රැඳී සිටීමට අවසර තිබී ඇත්තේ වයස අවුරුදු 18 සපිරෙන දිනය තෙක් පමණි. කන්‍යාරාමයට ධන පරිත්‍යාග වලින් උදව් පදව් කළ ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නැන්දාව කොළඹට කැඳවාගෙන ඇවිත් තිබුණේ රැකියාවක් ලබාදීමේ පොරොන්දුව පිටය. සිය අනාගත රැකියාව ගැන කප්පරක් සුබ සිහින දකිමින් ඔවුන් සමඟ කොළඹ ආ නැන්දාට අවසානයේ හිමිව තිබුණේ ඒ නිවසේ මෙහෙකාර තනතුරය. කේක් සහ වෙනත් කෑම වර්ග බොහෝමයක් සෑදීමට ඇය උගත්තේ ඒ නිවසේ ගත කළ දෙවසර තුළදී බවත්, මාමා ව මුණ ගැසුණේ ඈ එහි රැකියාව කළ නිසා බවත් නැන්දා මා සමඟ පැවසුවේ සෑම කළු වළාකුලකම සැඟවුණ රීදී රේඛාවක් ඇතිබව පෙන්වන්නටය.

නැන්දාව විවාහ කරගත් පසු තවදුරටත් සිය නිවස සමඟ ගණුදෙනු පවත්වාගත නොහැකි බව තේරුම් ගත් මාමා නැන්දාත් කැටුව මාතරට පැමිණ තිබුණේ ගෙදරට හොර රහසින්ය. ධනවත් ව්‍යාපාරිකයෙකු වූ නැන්දා සේවය කළ නිවසේ හිමිකරු නැන්දා නිවසේ නොමැති බව දැනගත් පසු ඊළඟට ගන්නා ක්‍රියා මාර්ගය ගැන තිබූ අවිශ්වාසයත් එතරම් දුරක් එන්නට හේතු සපයා තිබිණ.

රෙදි බෑග් එකට අමතරව සුළු මුදලක් පමණක් අත තබාගෙන ගල්කිස්සෙන් මාතරට ආ තරුණ යුවලට නවාතැන් පහසුකම් සපයා දී තිබුණේත්, මාමා ට මුලින්ම රැකියාවක් ලබා දී තිබුණේත් අපේ තාත්තාය. මාතර කොටුවේගොඩ සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන ගිය තාත්තා මාමා ට එහි රැකියාවක් ලබා දී තිබුණේ කිසිඳු දැන හැඳුනුම්කමකින් තොරවය. එයින් නොනැවතී අඩක් නිමකර තිබූ අපේ නිවසේ උඩුමහලේ ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා දීමට තරම් කාරුණික වූ බව කියද්දීත් නැන්දාගේ දෑසින් කඳුළු කඩා හැලෙමින් තිබිණ.

"මාමා තාත්තා ගැන ඔයාට මතක් නොකරට සතියට දෙතුන් පාර මාත් එක්ක තාත්තා ඒ කාලෙ කියපු කරපු දේවල් මතක් කරනවා. අද මාමා ඔය තත්වෙ ඉන්නෙ තාත්තා කිසි කුහකකම්ක් නැතුව උදව් කරපු නිසා"

මා කුඩා දැරියකව සිටි අවධියේදී දේශපාලන පළිගැනීමක් මත රාත්‍රියේ නිවසට කඩා වැදුන පිරිසක් විසින් තාත්තාව ඝාතනය කළ බව හැරෙන්නට මා එතෙක් තාත්තා ගැන වැඩි යමක් දැන සිටියේ නැත.

තාත්තා අත යහමින් මිල මුදල් ගැවසුණ ඒ කාලයේ අම්මා බොහෝ උද්දච්ච ගැහැණියක් වූ බවත් ඒ හේතුව නිසාම දෙපාර්ශවයේම නෑදෑයින් අපෙන් ඈත් වූ බවත් මා වටහාගත්තේ නැන්දා වරින් වර සිහිකරන සිදුවීම් වලිනි. අනාථ දැරියක ලෙස හැදී වැඩී නිවසක මෙහෙකාර සේවයේ යෙදී ඉන්පසු හොර රහසින් විවාහ දිවියට ඇතුළත් වූ නැන්දා ට එකල අම්මා කළ කෙනෙහිලිකම් ගැන නොකියා සිටින්නට නැන්දා කොතෙක් ප්‍රවේශම් වුවත් ඇගේ කතා බහ තුළින්ම මට සියල්ල තේරුම්ගත හැකි විය.

මගේ උපතත් සමඟ අම්මා රෝගාතුර වූ බවත්, නැන්දගේ උණුසුම මට හිමි වූයේ ඉපදී සතියක් තරම් කෙටි කාලයකදී බවත් මා පෙර සිටම දැන සිටියත් ඊට හේතුව හරියටම දැනගත හැකි වූයේ එදිනය. එවකට අවුරුදු දෙක හමාරක නසරානි කොලු ගැටයෙකු වූ ගීත් අයියා මුලින් මුලින් සිය අයිතීන් උදුරා ගැනීම වෙනුවෙන් අඬමින් අඩි හප්පමින් අරගල කර පසුව ඒ සියල්ල අත්හැර පිටි කිරි බීමට පුරුදු වූ අයුරු නැන්දා පැවසුවේ සිනාසෙමින්ය. දරු ප්‍රසූතියෙන් පසු ඇතැම් කාන්තාවන් පෙන්වන විශාදයේ රෝග ලක්ෂණ මුල සිටම පෙන්නූ අම්මා ළඟ මා තබා යාමට මැලි වූ තාත්තා දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අම්මා නිවසට කැඳවාගෙන ආ පසුත් මගේ අයිතිය නැන්දාට පැවරූ බව ඇය මා සමඟ කියා සිටියේ ආඩම්බරයෙනි.

"මං මේ කියන එක අහලා ඔයා අම්මත් එක්ක තරහා වෙන්න එපා. අම්මා ඔයාට ආදරෙයි"

"මොකද්ද?"

"ඒ ලෙඩේ හැටියට අම්මට වෙලාවකට කාවවත් රුස්සන්නැතුව යනවා. කේන්ති යනවා. ඒ කාලෙ එයාට වැඩිපුරම පේන්න බැරි ඔයාව. ඒකයි තාත්තා ඔයාව ගෙදර තියාගන්න අකමැති වුණේ. අම්මට ඔයාව එයාගෙ දරුවෙක් බවත් අමතක වෙන වෙලාවල් තිබිලා තියෙනවා පුතේ"

"ඒ කියන්නෙ"

"ඒවා ඔයා දැනගන්න ඕන්නෑ. ඒක ඒ ලෙඩේ හැටි පුතේ. එයාට කේන්ති යන වෙලාවට ඔයා චූටි බබෙක් කියලා ගාණක් වෙන්නෑ. කොහොමත් ඒ වෙද්දි ඔයා මට හුරුවෙලත්නෙ හිටියෙ. ඉතින් මාමයි මායි ඔයාව සතුටින් බාරගත්තා. තාත්තා නැති වෙන කාලෙ වෙද්දි අම්මට ගොඩක් දුරට සනීපයි. ඒත් අම්මා ගමට යන්න ලෑස්ති වෙද්දි මට ඔයාව අම්මත් එක්ක යවන්න බය හිතුණා" මගේ දෑසෙහි කඳුළු තවරමින් දීර්ඝ කතාවක් කෙටියෙන් පැවසූ නැන්දා ඉන්පසු ගීත් අයියාගේත් මගේත් ළමා කාලයේ රසබර මතක අතරට මා කැඳවාගෙන ගියාය.

"කන්න මොකුත් හැදුවෙ නැද්ද අම්මෙ. බඩගිනියි" කියාගෙන ගීත් අයියා නැන්දා සොයාගෙන එනවිට දහයටවත් නැත.

" ඉන්න චුට්ටක්. නංගි ඔය කේක් එක හදන්නෙ ඔයාලට තමයි"

"ඕකට තව කොච්චර වෙලාවක් යයිද මැඩම්" කේක් මිශ්‍රණය තැටියේ තුනී කරමින් සිටි මගේ උරහිසට උඩින් එබුණු ඔහු සරදම් හඬින් විමසීය. ෆ්‍රී හීට් වෙන්නට තැබූ අවන් එකේ සීනුව වැදුණේ ඒත් සමඟය. පිළිතුරු දීමට පමා නොවී කේක් තැටිය අවන් එකට දැමූ මා ආපිට හැරෙද්දී වමත ඉඟවටා යවමින් එක්වරම තදින් මා අල්ලාගත් ඔහු සුරතෙහි ගුලිකරගෙන සිටි කේක් පිටි ටික මූණ පුරා අතුල්ලා කුස්සියට දුව ගියේය. නැන්දා සිනාසෙමින් බලා සිටියදී ඔහු පසුපසින් පන්නාගෙන ගිය මා නතර වූයේ මියුරු අක්කාත් සමඟ කුස්සියට එමින් සිටි රොෂාන් අයියාගේ දෑත් අතරය.

"සොකරි නටනවද දෙන්නත් එක්ක ආහ්..." තරවටු හඬින් පැවසූ ඔහු ඉන්පසු අනුකම්පාවෙන් මෙන් මූණ පුරා ගෑවුණ පිටි ටික අත්ලින් පිස දැමීය. මා නතර වූ බව දැනගත් ගීත් අයියා පිටුපස හැරී බැලුවේ ඒත් සමඟය. මා දවා හළුකරවනසුළු බැල්මක් ඒ දෙනෙතේ විය. තරහා ගන්නට තරම් වරදක් නොකළ මට ඒ ගැන හිත හිතා වදවෙන්නට උවමනාවක් නොවීය. එහෙත්, එක් අතකින් මා තුරුළු කරගත් රොෂාන් අයියා මගේ මුහුණ පිස දැමූ ඒ මොහොතේ ඔහුට සිය කේන්තිය පාලනය කරගත නොහැකිව වෙව්ලූ අයුරු ඔහු මට පැවසුවේ ඊට බොහෝ කාලයකට පසුය.
************************

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූයේ ගීත් අයියාගේ විසි එක්වෙනි උපන් දිනයට තෙදිනකට පෙරය. දාසයවෙනි උපන්දිනයට ඔහු පුදුම කළ අයුරු සිහි කරමින් නැන්දාටත් හොරෙන් මම ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් වෙමින් සිටියෙමි. උපන්දිනය වෙනුවෙන් ඔහුට දිය හැකිව තිබූ වටිනාම තිළිණය මා අතින් අත් නොහැරෙන්නට අද මේ ලියන මගේ කතාව මීට බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබිණ. භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවට B සාමාර්ථ දෙකක් සමඟ ජීව විද්‍යා විෂයට C සාමාර්ථයක් සමඟ මා විභාගය සමත්ව තිබුණේ වෙද නළාවට පෙම් බැඳි මගේ සිහිනයට දරුණු පහරක් එල්ල කරමිනි. නැන්දාත් මාමාත් හිස අත ගා "අපි ආයෙ පාරක් බලමු පුතේ" කියමින් හිතට ශක්තියක් වූවා මිස වදනකින් හෝ හිත රිදවන තරම් නපුරු නොවීය.

"ඔයාට බැරි නෑ පොඩ්ඩි. චුට්ටක් ඔයිට වඩා මහන්සි වෙන්න. කේක් හදන ඒවයි පොත් කියවන ඒවයි ටිකක් පැත්තකට දාලා ඉතුරු මාස හතේ හොඳට පාඩම් කරොත් ඔය B දෙක A දෙකක් කරගන්න බැරි වෙන්නෑ" හිත හදමින් මා දිරිමත් කළ මියුරු අක්කා අවසානයේදී මගේ පින්සේන්ඩු වීම් සිනහවෙන් දරාගෙන ගීත් අයියාට ප්‍රතිඵල දැන්වීමේ වගකීමත් බාර ගත්තාය.

එදා රෑ මැදියමේ ගෙදර ආ ගීත් අයියා තේ එකක් බීමටවත් කැමැත්තක් නැති බව පෙන්වමින් "මහන්සියි අම්මා" කියමින් නැන්දාට සමු දී උඩුමහළට ගියේ නැන්දාත් සමඟ සිටි මා නුදුටු පරිදිය.

"දැන් ඔය පුප්පගෙන ගියාට උදේ වෙද්දි යකා බැහැලා තියෙයි. ඕක ගැන හිත හිතා ඉන්නැතුව ඔයත් ගිහින් නිදාගන්න" කියමින් සිනාසී මගේ හිස පිරිමැඳි නැන්දා "දැන් කතා කරන්න යන්න එපා පුතේ" කියා අනතුරු ඇඟවීමක් කළේ මා තරප්පු පෙළ මුදුනටම ආ පසුය. ගීත් අයියාගේ කාමරයේ වැසුණ දොරට තට්ටු කරන්නට පොරකන සිතුවිලි සිරකරගෙන මගේ කාමරයේ දොර වසා දැමීම අසීරු වුවත් එදා ඒ හැර අන් විකල්පයක් නොතිබිණ.

ඉල්ලන්නට පෙර උවමනා එපාකම් සියල්ල පිරිමැහූ නැන්දාත් මාමාත් නිසා එතෙක් අනාගතය ගැන නොදැනුණ බියක් එදා රෑ මගේ හිත අස්සේ හොල්මන් කරන්නට විය. කොට්ටය කඳුළින් පෙඟී යනතුරු හඬමින් හූල්ලමින් පහන් කළ රැයෙහි කිනම් හෝරාවක හෝ මට නින්ද යන්නට ඇත. නැන්දා උරහිසට තට්ටු කරමින් මා අවදි කරද්දී දැනුණ කලබලයට ඉක්මනින් ඇඳ මත වාඩි වූ මට නැන්දාගේ මුව පුරා පැතිර ඇති සිනහවේ අරුත දැනගන්නට තවත් මොහොතක් ගත විය. මියුරු අක්කලාගේ කැදැල්ලේ කිරි සිනහා ඉතිරෙන දවසක් ළඟ ළඟම එන ආරංචියේ සතුට මා සමඟ බෙදාගනිමින් නැන්දා මා වැළඳගත්තේ දෑසෙහි වූ සතුටු කඳුළ පිටි අත්ලින් පිස දමා අවසානයේදීය.

දෙවසරක් මුලුල්ලේ බලාසිටි සුභාරංචිය කන වැකුණ දිනයේම ඇයට සිය දියණිය ළඟට යාමට උවමනා විය. එවන් ක්ෂණික තීරණක් මත වෙනස්කළ හැකි දෛනික කාලසටහනක් නොතිබුණ මාමා ඊට එකඟ කරගත නොහැකි වුවත් නැන්දා බලාපොරොත්තු අත්හැර දමන්නට මනාප නොවීය.

"අපි ඉරිදට ගියාම මදිද ඔය ගමන" මාමා සිය අපහසුතා සඟවා ගනිමින් ප්‍රශ්න කළේය.

"ඔයාට ඕන්නං ඉරිදා යන්න. හැබැයි මටනම් අද රෑ වෙද්දි මගේ කෙල්ල ගාව ඉන්නෝනි" නැන්දා එලෙස හිතුවක්කාර තීරණ වලට එළඹෙන්නේ කලාතුරකිනි. බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි මාමා අවසානයේදී ගීත් අයියාගේ උදව් පැතීමට තීරණය කළේය. මා සමඟ වූ අමනාපය මුල් කරගෙන ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වනු ඇතැයි විශ්වාස කළ හිතට පරාජය හිමි කරමින් ඔහු එදිනම අපව කැටුව යාමට එකඟ විය.

කඩිමුඩියේ පිළියල කරගත් කෑම බීම ඇසිරූ කූඩ දෙක සමඟ රෙදි බෑග් ඩිකියට දමන්නට උදව් කළ නැන්දා "ඔයා ඉස්සරහින් නඟින්න පුතේ" කියමින් දොර ඇර මට නඟින්නට සලස්වා පසුපස අසුනට ගොඩවිය. වැරදීමකින්වත් මා දෙස බලන්නට මහන්සි නොවූ ගීත් අයියා රියදුරු අසුනින් වාඩි වී දඩාස් ගා දොර වසා ගත්තේය.

"කලබලයක් නෑ අපි හිමින් යං පුතේ" ඊළඟට ඔහුගේ කේන්තියේ බර දරන්නට වන්නේ ඇක්සලේටරයට බව දැනගත් නැන්දා කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කළාය.

මාතර සිට මාලඹේ පිහිටි මියුරු අක්කලාගේ නිවසට එන තෙක්ම ගොළුවෙකු මෙන් රිය පදවාගෙන ආ ඔහු විටින් විට නැන්දා අසන යමකට පිළිතුරු දුන්නේත් අකමැත්තෙන් මෙනි. ගියරය මත රැඳුණ අත කොනිත්තමින් රිදෙන තරම් තදින් මවිල්ගස් වලින් අදිමින් රණ්ඩුවක පැටලෙන්නට මා ගත් උත්සහයන් සියල්ල රැවුමකින් පරදමින් ඔහු සිය කෝපයේ දිග පළල දැනෙන්නට හැරියේය. රථ වාහන තදබදය සමඟ මගේ සීරිම් කෙනිත්තීම් ඉවසමින් ප්‍රවේශමට රිය පැදවූ ඔහු මියුරු අක්කලාගේ නිවසට ළඟා වූයේ රාත්‍රී හතට පමණය. මියුරු අක්කාගේත් නැන්දාගේත් පෙරැත්තය නොතකමින් රෑ කෑමටවත් නතර නොවී තේ කෝප්පයකින් පමණක් විඩා නිවාගෙන පිටව යන්නට ඔහු සූදානම් වූයේත් හිතේ කේන්තිය පෙන්වන්නටය.

"උඹට යන්නමත් ඕන්නං, කාර් එක බෝඩිමට ගෙනියන්නත් බැරිනම් මං උඹව රෑ වෙලා ගිහින් දාලා එන්නම්. පිං සිද්ධවෙයි අදට මගෙ ගෑණිගෙ හිත රිදවන්නැතුව මොනාහරි කන්ඩ හදලා ගන්නකල් වොෂ් එකක් දාගෙන පොඩි නැප් එකක් දාපන්" ගීත් අයියාගේ හිතුවක්කාරකම් අභියස හිත රිදවාගත් නැන්දාත් මියුරු අක්කාත් කුස්සියට යනතුරු බලාසිටි රොෂාන් අයියා අවසානයේදී ඒ හිතුවක්කාරයා පරාජය කළේය.

"මේ පාරනම් ලේසි වෙන්නෑ පොඩ්ඩි. ඔය යක්ෂයා එලවන්ඩ නම් A තුනක්ම ගන්න වෙනවා" ගීත් අයියා රෑ කෑමට නතර කරගත් බව නැන්දාට දැනුම් දෙන්නට කුස්සිය ගිය මට මියුරු අක්කාගේ වදන් බර වැඩිවිය.

"මං ඊයෙ රෑ බයේ හිටියෙ. මල්ලි කෑ ගහන්න ගත්තානම් අන්තිමට ඒක කෙළවර වෙන්නෙත් තාත්තයි මල්ලියි තරහා වෙලා"

"මමනම් මල්ලිට වැරැද්දක් කියන්නෑ අම්මා. ඒ කොල්ලා සතිය ගාණෙ එයාගෙ වැඩත් පාඩු කරන් ගෙදර ඇවිත් පොඩ්ඩිට ඉගැන්නුවෙ ඔහොම රිසල්ට් එකක් ගන්න නෙවෙයි. මල්ලි කියන්නත් වගේ තාත්තගෙ හුරතලේ නිසා තමයි පොඩ්ඩිව හදගන්න බැරි. ගෙදර ඇවිත් ඉන්න වෙලාවට මාත් දැකලා තියෙනවනෙ, තාත්තා ගෙදර ඉන්නවනම් මල්ලි යන්තම් කනෙක් ඇල්ලුවත් මේකි කෑ ගහන්නෙ හරියට බෙල්ල මිරිකුව ගාණට. එතකොට බේරාගන්න මාමා එනවා කියලා දන්නවනෙ. දැන් ඉතින් ඔය මාමටයි දුවටට්යි දෙන්නටම විඳින්න වෙලා තියෙන්නෙ ඒවයෙ ආනිශංස තමයි" හිතන්නට බොහෝ දේ ඉතුරු කළ මියුරු අක්කාගේ කතාව නැන්දා විසින් ඌණ පුර්ණය කරන තුරු බලා සිටියද හිස අතගා මහිත සනසවනු මිස ඒ ගින්නට පිදුරු දමන්නට ඇය ඉදිරිපත් නොවීය.

"පොඩ්ඩිත් යමුද මාත් එක්ක ගණන් කාරයගෙ බෝඩිම බලාගෙන එන්නත් එක්ක. යසට මෙහෙ නිදාගෙන උදේට යන්න පුළුවන්කම තියාගෙන මේ රෑ යන්න දඟලන්නෙ එනකන් බලන් ඉන්න කවුරුහරි බෝඩිමේ ඉන්නවද දන්නෑනෙ" කෑමෙන් පසු නිවසින් පිටව යන්නට සූදානම් වූ ගීත් අයියාව ඇරලවීමට සූදානම් වූ රොෂාන් අයියා ඇසක් ඉඟි කරමින් විහිළුවක ස්වරයෙන් පැවසුවත් මට ගීත් අයියා දෙස නොබලා සිටින්නට බැරිවිය. ආවොත් බලාගන්නම් වැනි ගීත් අයියාගේ දෙනෙතෙහි වූ තරවටු බැල්ම රොෂාන් අයියා සමඟ ගොස් ඒ බැල්මට අභියෝග කරන්නට හිතට බල කළේය.

"යං. මං ටක් ගාලා ඇඳුම මාරු කරන් එන්නම්"

"නෑ නෑ. මට උදේට ගියාම ඇති" කියා මට පෙර කාමරයට ගොස් දොර වසාගත් ගීත් අයියා පසුදා උදෑසන රොෂාන් අයියාත් සමඟම පිටව ගියේ එදින සන්ධ්‍යාවේ යළි එන බවට මියුරු අක්කාට පොරොන්දු වීමෙන් අනතුරුවය.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු

Wednesday, April 29, 2020

විල්තෙර අද්දර - 10 : නවවෙනි මතක සක්මන




ත්‍රිරෝද රථයක නළා හඬින් මා අවදි වනවිට පාන්දර තුනට ආසන්නය. පුරුද්දට කොට්ටය ළඟ තබාගෙන සිටි එලාම් ඔරලෝසුවේ ලයිට් එක පත්තු කර වෙලාව තහවුරු කරගෙන අනෙක්පස හැරී නිදාගන්නට ගත් උත්සහය වැරදුණි. නළලට ඇදී ගිය සුරත මොහොතකට මුළු ගතම හිරිවැට්ටවූ ඒ උණුසුම් හැඟීම අද්දර මා අතරමං කර තිබිණ. පෙරදින මතකයන් දිගේ හිත ආපස්සට ඇදී යද්දී නිදි දෙව්දූ ඇඳෙන් බැස යනු නොදැනිණ. ගීත් අයියාගේ ඇගේ හැප්පී එහෙත් ඔහුගේ බැල්මෙන් වසන් වී කාමරයට පැමිණ වසාගත් දොර විවෘත කර තිබුණේ නැන්දාය. මූණ අතගාමින් තනියම සිනාසෙමින් කොට්ටයක් බදාගෙන ඇඳේ පෙරලෙමින් සිටි මට නින්ද ගොස් තිබුණේ කොට්ටය එලෙසම තිබියදීය.

"හොඳ නින්දක් දැම්මා නේද?" ඇගේ ආමන්ත්‍රණයේ පිහිටින් අවදි වූ මා ළඟින් වාඩි වූ නැන්දා කොට්ටය අල්ලා පැත්තකට වීසි කළාය

.
"කොහොමද පුතේ පේපර් එක. දවාලෙ මට අහන්නත් අමතක වුණා. මං බය වෙලා හිටියෙ ඔයා පරක්කු වෙනකොට"

"අමාරුම නෑ. ඒත් චුට්ටක් විතර බයකුත් තියෙනවා"

"හොඳ චුට්ට. මට මාමා කිව්වනෙ විස්තරේ"

"මාමා ආවද?"

"ඔව්. මං මේ ඔයාට කන්න කතා කරන්න ආවෙ. අද ස්පෙෂල් ඩිනර් එකක් තියෙන්නෙ"
කියමින් ඇය සිනාසුණාය. ඒ සිනහවේ වූ අමුත්ත ඇය අසනීපය නොසලකා වෙහෙස වීම ගැන උපන් කේන්තියට යටපත් වන්නට ඇත.

"ලෙඩ තියාගෙන මොකටද එක එක විකාර කරන්න ගියෙ. ෂික් මටත් අදම කියලා නින්ද ගියානෙ. ඔයාටත් තිබ්බා පණ්ඩිත වැඩ කරන්න කලින් මට චුට්ටක් කතා කරන්න"

"කොහෙ කතා කරන්නද? ඔළුවෙ කැක්කුම වැඩි වුණොත් බොන්න කියලා දීපු පෙත්තටද මන්දා මටත් හොඳටම නින්ද ගියානෙ. කුස්සියේ පිඟන් කෝප්ප පෙරලන සද්දයක් ඇහිලා ගිහින් බලනකොට මෙන්න එක්කෙනෙක් ගේ වනසගෙන උයනවා"

"කවුද?....මාම ද?"

"තාම හරියට තේ එකක්වත් හදාගන්න බැරුව මාමා කොහෙ උයන්නද?. මාමා නෙවෙයි අයියා. මොනා හිතිලද දන්නෑ මං යනකොට බත් එකක් ගහලා, බිත්තර ඔම්ලට් හදලා, පපඩමුත් බැදලා තියලා තක්කාලි සම්බෝලයක් අනනවා. පැන්ට්‍රිය පුරාම වතුරයි, ලූණු පොතුයි, අමු මිරිස් නැටියි සේරම. දැන් ඔය මාමා ආවට පස්සෙ දවල් එළවලුත් රත් කරලා මේසෙටත් ඇරලා මං එද්දි එයාම කුස්සිය අස් කරනවා. ඒප්‍රන් එකකුත් ඇඳගෙන විසිල් ගගහා උයන හැටි දකිද්දි ඇස් දෙකට කඳුළුත් ආවා. ඒත් මං එයාටම ඔක්කොම කරන්න ඇරලා පාඩුවේ උඩට ආවෙ දවස තිස්සෙ අපි කරන වැඩ එයාලටත් චුට්ටක් හරි දැනෙන්න දෙන්නෝනි නිසා. හැමදාම අපිම ඔක්කොම කරලා දීලත් හරියන්නෑනෙ"

නොදැනීම දෙකොපුල් තෙමාගෙන ගලාගිය කඳුළු පොකුර නොවන්නට නැන්දා තව බොහෝ දේ කියන්නට ඉඩ තිබිණ. විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් එකසිය හැට ගණනක දුරක් ගෙවාගෙන ගෙදර ආ ගීත් අයියා ඇයත් මමත් නිදා සිටියදී කුස්සියේ රාජකාරි බාර ගැනීම සාධාරණීකරණය කරන්නට එදා ඈ කොතෙක් උත්සහ කළ ද අදටත් ඒ සිදුවීම ඇත්තේ මගේ හිත දවන මතකයන් අතරය.

"අනේ සොරි නැන්දා. මං නිදාගන්න නෙවෙයි ආවෙ. කම්මැලිකමට ඇඳේ පෙරලි පෙරලි ඉද්දි දන්නෙම නැතුව නින්ද ගිහින්"

"ඕකට ඉතින් අඬන්න ඕනියැ. අයියත් සමහරවිට කුස්සියට යන්නැත්තෙ කම්මැලිකමට" එසැණින් යළිත් කඳුළු අලුත් වූයේ "යකෙක් කන්න බඩගිනියි" කියාගෙන ආ ඔහු ආයාචනාත්මකව කළ ඉල්ලීම මඟ හැරීමත්, උදාවන්නට තිබූ සොඳුරු මොහොතක් අහිමි කරගැනීම ගැන උපන් වේදනාවත් අතරින් පළමුවැන්නටය. එකත් එකටම ඔහු උයන්නට ඇත්තේ බඩගින්න දරාගත නොහැකිවය. කුස්සියට වී අප සමඟ කතා කරමින් සිටින අවස්ථාවකදී ලූණු ගෙඩියක් සුද්ද කරදීමට තරම්වත් හිතක් පහළ නොවන ඔහු උයන්නට පෙළඹීමට ඒ හැර වෙනත් අනුමාන කළ හැකි හේතුවක් මට මතක් වූයේ නැත.

"බයවෙන්න එපා වේලක් ඉව්වා කියලා ඔය අලි දණ්ඩගෙ අතපය ගෙවෙන්න නැතුව ඇති. ගිහින් මූණ චුට්ටක් සෝදගෙන එන්නකො බත් කන්න. මාමා බලාගෙන ඇති" ඇය ගීත් අයියා ගැන කිසිවකට විස්සෝප වන විට මා ඇයට සරදම් කරන්නට තෝරාගන්නා වදනින්ම මට සරදම් කළ නැන්දා කම්මුල මිරිකා සිනාසෙමින් නැඟිට්ටේය.

"මට කන්න බෑ. දවල්ට කනකොට තුනත් පහුවෙලානෙ. නැන්දලා කාලා නිදාගන්න” ගීත් අයියාට මුහුණ දීමට ඇති අපහසුවත්, මූණ සේදීමට තිබූ අකමැත්තත් අතරින් බලවත් වූයේ දෙවැන්න බවට සැක නැත. එදා පමණක් නොව, අද මේ සිදුවීම ලියන මොහොතේ පවා මට ඒ සියුම් චුම්භනයේ රැඳි උණුසුම එලෙසින්ම විඳිය හැකි තරමට ඒ පළමු හාදුව මා උමතු කළේය.

"එහෙනං කිරි එකක් හදලා අයියා අතේ එවන්නද?"

"අපෝ එපා. මට නිදිමතයි. මං නිදියනවා" කියමින් අනෙක් පස හැරී කොට්ටය බදාගනිද්දී ඇය විදුලි පහන නිවා දමා දොර වසාගෙන පිටව ගියේ "අදනම් දෙන්නා ලොකු වලියක් දාගෙන වගේ" කියමිනි. නැන්දාට මූණ නොපෙනුණේ වාසනාවටය. නැතිනම් සියල්ල හෙළිවන්නේ එදිනමය.

හිත හිරිවැට්ටවූ සොඳුරු නිමේෂය තුළ යළි යළිත් ජීවත් වෙමින්, හදවතේ අස්සක් මුල්ලක් නෑරම අත්පත් කරගත් නැවුම් හැඟීම් වලින් මන්මත්ව උන් මා ඉන්පසු පියවි සිහියට එළඹුණේ ජනේලය අද්දර වූ ජෑම් ගහේ සිට බෙරිහන් දෙන පැණි කුරුල්ලන්ගේ හඬිනි.
තවත් මොහොතක් හෝ පමා නොවී නළල නොතෙමෙන සේ පරිස්සමින් ඇඟපත දොවාගෙන මා පහළට බසින විටත් නැන්දලාගේ කාමරය තුළ ආලෝකයක් පෙනෙන්නට නොතිබිණ. නැන්දා අවදි වීමට පෙර ගීත් අයියා කැමති ලෙස කිරි මාළු හොද්දක් සමඟ කට්ට සම්බෝලයක් සාදා තබන්නට ඊට වඩා හොඳ අවස්ථාවක් උදා නොවන වග හිත මට කොඳුරත්ම දෑත් කඩිසර විය.

"ඇයි පුතේ මේ උදෙන්ම නැඟිටලා" නැන්දා කුස්සියට එබෙන විට මා සිටියේ මාළු කිරිහොද්ද හැඳි ගාමිනි.

"එලාර්ම් එක ඕෆ් කරන්න අමතක වෙලා වෙනදා වෙලාවටම ඇහැරුණා" සිනාසෙමින් ළඟට ආ ඇය හැන්ද මා අත තිබියදීම හොද්ද කලතා බලා මගේ හිස පිරිමැඳ ගොස් පුටුවකින් වාඩි විය.

"අයියටත් එක්කම තේ හදන්නද නැන්දෙ"

"තේ හදන්න ඉන්න එපැයි. ඔය උදේ පාන්දරම නැඟිටගෙන ගියෙ දහයට පේපර් එකක් තියෙනවා කියලා. මේ ළමයා ඊයෙ රෑ හරි කිව්වනම් මං නැඟිටලා මොනාහරි හදලා දෙනවනෙ. යන්න ලෑස්ති වෙලා මට කතා කරේ ත්‍රී විල් එකකටත් එන්න කියලා. ත්‍රී විල් එක ඇවිල්ලා හෝන් ගහද්දි මං තේ එකවත් හදලා නෑ. මාමටත් හොඳටම තරහා ගිහින් ඉන්නෙ. මාමට ගිහින් දාන්න පුළුවන්කම තියෙද්දිත් මාමට නොකියා ත්‍රී විල් එකකට එන්න කිව්වට. වෙලාවකට මේ ළමයා හැසිරෙන්නෙ අපිව පිට මිනිස්සු ගාණට දාලා. ලෑස්ති වෙලා පහළට ඇවිත් තමයි මට කතා කරෙත්. මං හිතා හිටියෙ එයා දවසක් දෙකක් ඉන්න බලාගෙන ආවා කියලනෙ"

නැන්දා තවත් මොන මොනවදෝ කියමින් සිටියත් ඒ කිසිවක් සවණත නොරැඳුණි. නොකියාම පැමිණ නොකියාම පිටව යාම ඔහුට ආගන්තුක නොවුණත් එදා මා එය දරා සිටියේ අපහසුවෙනි.

දුරකථනයෙන් හෝ ඒ හඬ අසන්නට බලා සිටි කාලය පැයෙන් පැය දිගු වී දවස් වලින් සතියකට මාරු වෙන්නට ඔන්න මෙන්න තිබියදී මා බලාසිටි මොහොත උදාවිය. එහෙත් රිසිවරය දිගේ විත් වම් කනින් ඇතුළු වී හදවත පිරිමැඳි හඬ අවාසනාවන්ත ලෙස මගේ හඬ මට අහිමි කළේය.

"පොඩී" ඔහු දෙවෙනි වරටද රහසින් මෙන් කෙඳිරීය.

"තරහා වෙලාද" එවරද මට හඬ අවදි කරගත නොහැකි විය.

"කවුද පුතේ අයියද?" අසාගෙන ළඟට ආ නැන්දාට රිසිවරය දිගුකර කාමරයට යනවා විනා හදවත ඉල්ලන කිසිවක් ලබාදෙන්නට තරම් සන්සුන් මනසක් එදා මට නොතිබිණ. වරකට පඩිය බැගින් නගිමින් අම්මාගේත් පුතාගේත් කතාවට සවන් යොමු කළ ද මගේ උත්සහය ඵල රහිත විය. පුතාගේ විභාගය ගැන අම්මාටත්, අම්මගේ සුව දුක් පුතාටත් දැන ගැනීමට අවැසි වූවා විනා මා ගැන සඳහනක්වත් කරන්නට නැන්දාටත් අමතක විය.

විභාගය අවසන්ව මියුරු අක්කලාත් සමඟම ඔහු නිවසට පැමිණියේ ඊටත් සතියකට පසුය. විභාගය එදින අවසන් වන බව ඔහු නැන්දාට දැනුම් දී තිබුණත් එදිනම නිවසට පැමිණෙන බවක් අප දැන සිටියේ නැත. ගේට්ටුව තල්ලු වන හඬ ඇසෙන විට නැන්දාත් මමත් සිටියේ අලුත් වට්ටෝරුවකට අනුව අත්හදා බැලූ කුකීස් වර්ගයක් පැකට් වල අසුරමිනි.

"වාව්......නියම වෙලාවට අපි ඇවිත් තියෙන්නෙ" කියමින් මුලින්ම කේක් කාමරයට ඇතුළු වූයේ මියුරු අක්කාය. ඇයත් සමඟම ආ රොෂාන් අයියාට පසුපසින් පැමිණ දොරකඩ නතර වූ ගීත් අයියාගේ දෑස් ක්ෂණයකින් මා නොසන්සුන් කළේය. ගත පුරා වූ රුධිරය එක්වර මුහුණේ මාංශ පේශීන් වෙත පොම්ප කර එවන්නට සූදානමින් හදවත යළිත් අර නුහුරු ස්පන්ධනයට අනුගත විය.

"ඇයි පුතේ මේ එකපාරටම කියන්නෙවත් නැතුව”

"ඒක අහගන්න අම්මගෙ මහ ලොකු පුතන්ඩියගෙන්. එයා තමයි කිව්වෙ කියන්නැතුව ගිහින් පුදුම කරමු කියලා"

"ඒ වුණාට කලින් කියලා තිබ්බනම් අපි මොනාහරි හදලා තියෙනවනෙ"

"ආයෙ අමුතුවෙන් මොකුත් හදන්න ඕනිද අම්මා. මේ තියෙන්නෙ තාම හරියට කේක් එකක්වත් හදාගන්න බැරි මගෙ නෝනගෙ නම ගහපු කුකීස්" කියමින් කුකී ට්‍රේ එක ළඟට ආ රොෂාන් අයියා ඉන් දෙක තුනක් ගෙන කුස්සියට ගියේ "කහට එකක් වක් කරන්නකො අම්මා" කියාගෙනය. නැන්දා කුස්සියට යනතුරු බලාසිටි මියුරු අක්කා මා ළඟට ආවේ "හොඳ සුදු නංගි වගේ එකක් කටට දාන්නකො. අල්ලන්න බෑ කෙලින්ම හොස්පිටල් ඉදන් ආවෙ" කියාගෙනය. සිනාසී ඇගේ ඉල්ලීමට අවනත වන මා දෙස බලා තක්කඩි හිනාවක් පෑ ගීත් අයියා "එහෙනං හොඳ සුදු නෝනා වගේ මගේ කටටත් එකක් දාන්නකො. අල්ලන්න බෑ කෙලින්ම එග්සෑම් හෝල් එකේ ඉදන් ආවෙ" කියමින් මා ළඟට එද්දී මියුරු අක්කා පිටව ගියේ ගීත් අයියාගේ පිටට පහරක් ගසා මහ හඬින් සිනාසෙමිනි.
පෙර දිනක ඕනෑවට වඩා හැඟුම්බර වීමේ වරදින් අහිමි වූ සොඳුරු මොහොත ගැන මතකය මා කලබල කළේය. කුකී එකක් සමඟ ඉහළට එසවුණ සුරත මැණික් කටුව අසලින් අල්ලාගත් ඔහු ඉන් අඩක් කටට ගෙන ඉතිරිය උදුරා මගේ මුවට ළං කළේය. එදා අතැඟිලි පවා ගල්කර තැබූ හැඟීමම මුව විවර කිරීම පමා කළේය.

"ඔයින් ටිකක් මේ තසිමට දාලා අරන් එන්නකො පුතේ" කියමින් තසිමක් පිස දමමින් නැන්දා කාමරයට ආවේ එවෙලෙහිය. එතෙක් ආදරයෙන් මුව ළඟ රැඳි බිස්කට් කෑල්ල ජනේලයෙන් එළියට වීසි වූයේත් හදවත මතින් බර අඩි තබා ගීත් අයියා පිටව ගියේත් එක්වරය.

"පුතේ අයියව අඬගහන් එන්නකො තේ බොන්න" කෝප්ප සෝදමින් සිටි මා ගැස්සී ආපිට හැරුණේ නැන්දාගේ හඬටය. තෙත කොන්ඩය අතින් පිස දමමින් ආ රොෂාන් අයියා කට කොනකට නැඟි සිනහව සඟවාගෙන කුස්සියේ මේසයේ පුටුවක් පස්සට කර මියුරු අක්කාට වාඩි වෙන්නට සැලැස්සුවේය.
විම් ගා අතුල්ලමින් සිටි කෝප්ප ටික එලෙසම සින්ක් එකේ තිබියදී සෝදාගත් අත්දෙක පිස දැමීමට හෝ මොහොතක් පමා නොවී නැන්දාගේ අණට කීකරු වුවත් රොෂාන් අයියාගේ මුව මත දඟකළ සිනහව මගේ වේගය අඩාල කළේය.

"කියන්නෙ කොයි වෙලේද බලන් හිටියා වගේනෙ දුවන්නෙ" රොෂාන් අයියාගේ වදන් අභියස මා පත්වූ අපහසුවෙන් මුදවන්නට මෙන් උරහිසින් ඇන ඔහුව නිහඬ කළ මියුරු අක්කා "එහෙනං ෂුවර් එකට එනකල් බලන් ඉන්න ඇත්තෙ වලියක් අල්ලන්න. ඇඟ පතින් ලොකු වුණාට මුන් දෙන්නා රණ්ඩු වෙන්න ගත්තම මොන්ටිසෝරි ළමයින්ට එහා" කියමින් සිනාසී "ගහ මරාගන්න තියෙන දෙයක් හෙටට තියාගෙන ඉක්මනට එක්ක එන්න හොඳේ" කීවාය.

ඊට පෙර එක්දිනක් හෝ තරප්පු පෙළ එතරම් උස් බවක් නොදැනුණි. හිතේ වූ කලබලය දරාගත් දෙපා ගීත් අයියාගේ කාමරයේ දොර අසලින් නවතින විටත් හදවත අසාමාන්‍ය වේගයකින් ස්පන්ධනය වෙමින් තිබිණ. තට්ටුවක් දාන්නට එසවුණ අත එලෙසම තිබියදී ඇරුණ දොරින් ඇතුළට ඇදී ගිය මා ඒ උණුසුම් ලය මතට තෙරපී නැවතිණි. ඔහු සමඟ ඒ කාමරයේ තනිවූ අවස්ථා ගෙවී ගිය දහතුන් වසර තුළ ඕනෑ තරම් තිබුණත් එදා ඒ මොහොතේ මා අත්විඳි හැඟීම ආගන්තුක විය.

"නැන්දා තේ බොන්න එන්න කිව්වා. ඉක්මනට යමු"

"අද විතරක් ඇයි මේ හදිස්සියක්" අසමින් ඔහු දොර වසා දමන්නට සූදානම් විය.

"අනේ මං බයයි ගීත් අයියා" හැඬුම්බර මගේ හඬ අසල කෝප වූ ඔහු "එහෙනං මීට පස්සෙ මේ පැත්තට නෑවිත් ඉන්නවා" කියමින් මා අත්හැර දඩං ගා බිත්තියේ වැදෙන තරම් වේගෙන් දොරට පයින් ගසා පහළට බැස්සේය.
වෙනත් දවසක මෙන් කාමරයට වී දොරගුළු ලා ගන්නට තිබුණානම් මා නතර වන්නේ ඇඳ ළඟය. එහෙත් සති ගණනාවකට පසු ගෙදර ආ මියුරු අක්කලා මඟහැර සිටින්නට තරම් හිත දුර්වල නොවීය. මා කුස්සියට යනවිට ගීත් අයියා පෙනෙන්නට නොසිටියේය. තේ බී අවසන්ව කෝප්පය පසෙකින් තැබූ මියුරු අක්කා මගේ අතින් ඇද ඈ ළඟින් වාඩි කරවා ගත්තේ "කොහොමද ඔච්චර ඉක්මනට අර රතිඤ්ඤෙ පත්තු කරේ. මං කෝකටත් තාත්තට කියන්නද දොර හයි කරන්න බාස් කෙනෙකුත් එක්ක එන්න කියලා" කියා සිනාසෙමිනි. වෙනදාට එවන් විහිළුවක් අසල විසිරෙණ සිනහව එදා තිබුණේ දෙතොලින් බොහෝ ඈතය. ඒ වෙනුවට මට මා ගැනම දැනෙනා අනුකම්පාවකින් වේදනා විඳි හදවත "මොකද පොඩ්ඩි මේ" කියමින් මියුරු අක්කා දෑසට එබී බලද්දී කඳුළකට නිදහස් වන්නට පාර පෙන්නුවේය.

"පොඩ්ඩී..........ඇයි මේ කවදාවත් නැතුව" කඳුළට අත නොතබාම ඒ වෙනුවෙන් සිය උරහිසේ මා සතපාගත් මියුරු අක්කාගේ හඬට දින ගණනාවක් මුලුල්ලේ හදවතට වද දුන් සියළු දුක්ඛ දෝමනස්සයන් නිදහස් විය.

"මේ පෝරිසාදයා ගෙදර එන්නැතුව ඉන්න එක හොඳයි හිතෙන්නෙ ඔය වෙලාවට. පහුගිය ටිකේම උගන්නවා කියලා එකක් ඉස්සෙරහට දාගෙන මේ කෙල්ලව කන්න හැදුවා. දැන් මේ ගෙට ගොඩ වුණා විතරයි" නැන්දා ගීත් අයියාට බැණ බැණ යන හඬ ඇසුණත් වෙනදාක මෙන් ඇයව නවතන්නට මට නොහැකි විය.

"මේ මොකද මේ" බොහෝ කාලයටකට පසුව ලද මියුරු අක්කාගේ සිනිඳු අතැඟිලි වල සුවය නෙත් පියවමින් තිබූ මොහොතක ඇසුන හඬ යළිත් මා නොසන්සුන් කළේය.

"ඇයි මේ. අඬනවද" මියුරු අක්කාගේ උරමත සැනසිල්ලේ සැතපෙමින් තිබූ හිස කෙලින් කරන්නට හදමින් ඔහු විමසුවේය.

"අල්ලන්න එපා මාව. ඔයා මහ දුෂ්ඨයි" අත ගසා දමා නිහඬව සිටින්නට උවමනා වුවත් වැලි සෙල්ලම් බත් උයන කාලයේ සිටම ඔහු හා අමනාප වූ අවස්ථා වල පිටවන වචන පෙළ මුවින් නිදහස් වීම පාලනය කරගන්නට මට නොහැකි විය. උස් හඬින් පිටවූ රොෂාන් අයියාගේ සිනහවට හවුල් වූ මියුරු අක්කා "තමුසෙලා දෙන්නගෙ ප්‍රශ්න තමුසෙලාම විසඳාගන්න එකයි ඇත්තෙ. නැත්තන් අන්තිමට ඒ දෙන්නා යාළුවෙලා මමයි නරක මනුස්සයා වෙන්නෙ" කියමින් මගේ හිස පුටු ඇන්දට හේත්තු කර රොෂාන් අයියාගේ අතක එල්ලී නැඟිට ගියාය. ඔවුන් නොපෙනී යනතුරුම බලා සිටි ගීත් අයියා නිකටින් අල්ලා හිස ඔසවා "ඇඬුවෙ එදා දුන්නු එකක් දුන්නැතුවටද" අසමින් මනමාල හිනාවක් දා හිස පහත් කළේය. මා අත මිටිකර උරහිසට එල්ල කළ පහර වලක්වාගත් ඔහු නහය මිරිකා දිව ඇද කරමින් පැන ගියේය. දෙසතියකට පෙර දිනක එතනදීම ඔහු විසින් සොරාගත් සැහැල්ලුව යළිත් මා සොයා ආවේ ඉන්පසුය.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු

Tuesday, April 28, 2020

විල්තෙර අද්දර - 9 : අටවෙනි මතක සක්මන



පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html

වාචික පොරොන්දුවක් ලබා දී නොතිබුණ ද, මගේ උසස් පෙළ විභාගය ඇරඹෙන තුරු නොවරදීම සිකුරාදා රාත්‍රියේ නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන සිටි ගීත් අයියා අතින් එය කඩ වූයේ එහෙමත් සතියකය. පාපන්දු තරඟයක් හෝ නොයා බැරි මරණයක් මඟුලක් නොවන්නට සෑම සති අන්තයකම ඔහු සිටියේ නිවසේය. මා පංති වලට ඇරලවීම සුපුරුදු පරිදි මාමාට ම කරන්නට ඉඩ දුන් ඔහු බොහෝ දිනවල පංතිය ඇරෙන වේලාවට පැමිණ සිටීමද ක්‍රමයෙන් පුරුද්දක් බවට පත් කර ගත්තේය. සිත යටින් මා ඒ ගැන සතුටු වන තරමටම ඔහුගේ පැමිණීම මාමා ට ද, සතුටක් ගෙනා බව අපට රහසක් නොවීය. සිය අකීකරු පුත්‍රයා සමඟ වචන දෙක තුනක් හුවමාරු කරගන්නටවත් ඉස්පාසුවක් නොමැති බව පෙන්වන ඔහු සිත යට බලෙන් සඟවාගෙන සිටින සතුට ප්‍රදර්ශණය කරන්නේ සඳුදා පාන්දරින්ම ගීත් අයියා නිවසින් පිටව ගිය පසුය. බ්‍රහස්පතින්දා සවසට ගීත් අයියා කැමති කෑම බීම ගෙන ඒමෙනුත්, සිකුරාදා රාත්‍රියේදී ඔහු නිවසට ගොඩවන මොහොත එලඹෙන තුරු ඔරලෝසුවට දෑස් යවමින් නොඉවසිල්ලෙන් පසුවීමෙනුත් ඔහු ඒ වග මොනවට ඔප්පු කළේය.

මිතුරන් සමඟ නිතර විනෝද චාරිකා යාමට පුරුදුව සිටි මියුරු අක්කලාට ගෙදර ඒමට විවේකයක් ලැබුණේ සති හය හතකට වරක්ය. දරාගත නොහැකි පාළුවක් ඉතිරි කරමින් පැමිණි දා ට පසුදාම හෝ එදිනම ඔවුන් නැවතත් සිය නිවස කරා යාම යෑමේ වරද පැටවිය යුත්තේ නැන්දාටය.

"හැමදාම ඔහොම ඇවිද ඇවිද ඉන්නද කල්පනාව, දරුවෙක් මල්ලෙක් ගැන හිතන්නැද්ද" වැනි නැන්දා විටින් විට නඟන දහසකුත් එකක් ප්‍රශ්න වලින් හෙම්බත් වන මියුරු අක්කා බොහෝවිට නිවසින් පිටවන්නේ හිත් නොහොඳිනි.

"අපේ අම්මටත් ඕන්නැති මඟුලක් නෑ. කවදාහරි මගෙන් ඔහොම ඇහුවදාට තමයි අම්මට කරපු මෝඩකම තේරෙන්නෙ"

නැන්දා ඕනෑවට වඩා මියුරු අක්කාගේ පවුල් ජීවිතයට අත පෙවීම ගැන අමනාපයෙන් පසුවූ ගීත් අයියා ඔය කතාව කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

"ඔයාලට තේරුන්නැතුවට එහෙම තමයි අම්මලා. ඒගොල්ලො ආසා තමන්ගෙ දරුවො කසාද බැඳලා දරුවො හදාගෙන සතුටින් ජීවත් වෙනවා බලන්න"

"කසාද බැන්දට පස්සෙ සතුටින් ඉන්න පුළුවන්නෙ දරුවො හැදුවොත් විතරද?"

" මං කොහොමද දන්නෙ"

"එහෙනං දන්නැති දේවල් කියවන්නැතුව ඔය ගණන් ටික හදනවා" කියා බොරුවට කන මිරිකන්නට සැරසුණ ඔහු එතනින් නැඟිට පහළට ගියේය. ඒ අවසරයෙන් පෙරදා රාත්‍රියේ ඔහු නිවසට ඒමට පෙර කියවා අවසන් කරන්නට බැරි වූ චන්දි කොඩිකාරගේ සුදුමල් පියවිලි නවකතාවේ අවසානය දැන ගැනීමට හිත කලබල කළේය. ෆයිල් එකක් අස්සේ සඟවාගත් පොත වමතින් අල්ලා බාගෙට දිගහැර කියවමින් දකුණතින් උත්තර පත්තරය මත පෑන තබාගෙන සිටි මට පොත තුළ සිත සිරවූ බව දැනෙණ විට ප්‍රමාද වැඩිය. බැල්කනියේ බීරළු වැටට ඉහළින් පියාඹා ගිය පොතට ඉන්පසුව අත්වූ ඉරණම මට පසු කලෙකවත් සොයාගත නොහැකි විය.
දෑතින්ම කන් දෙක වසාගෙන ගෙතුළට පැනගන්නවා හැර වෙනත් විකල්පයක් තිබුණානම් ඒ පොත ගිය පාරෙන්ම පහළට යාම පමණි. මා දොර ළඟට යනතුරුම බාධා නොකළ ගීත් අයියාගේ මුවින් පිටවූ එකම එක වචනයක් ළඟ දෙපා නැවතිණ.

"මධුරංගී…………………………."

වහලයේ සිවිලිම පවා දෙදරවන හඬකින් කෑ ගැසූ ඔහු මා අසලටම විත් නවතිද්දී දෙපා වෙව්ලමින් දෙකන්සෙන් දහඩිය වැගිරෙන්නට විය. ඒ වහළ යට ගත කර තිබූ දොළොස් වසරකට මඳක් වැඩි කාලය තුළම මගේ නමින් ඔහු මා අමතනු ඒ ඇසුවාමය. උත්තරා ජයරත්න ලෙසින් පාසල තුළ ප්‍රසිද්ධ වූ නමට මධුරංගි කෑල්ලක් ඇතිබව පවා දැන සිටියේ අතලොස්සකි. අත්ලින් කන් දෙක වසාගෙන උන් මගේ දෑසට ඒ නුහුරු ආමන්ත්‍රණය විසින් පිරවූ කඳුළු හිතු මනාපෙට බැස යන්නට විය.

"ගුටිකන්න ඔච්චර බයනම් මොකටද වැරදි වැඩ කරන්නෙ"

නිහඬවම බිම බලා සිටිනවා විනා ඒ දෑස් මත නළියන කෝපය මැන බලන්නට තරම් ශත්තියක් එදා මට නොතිබිණ. විනාඩි දෙක තුනක්ම ඒ නිහැඬියාව මැදින් ගෙවී යන්නට ඇත. ගේ දෙවනත් කරමින් ගෝරනාඩු කරන්නට හේතුවක් තිබියදීත් පුදුමයකට මෙන් ඔහු සිටියේ නිහඬවය. කාමරයට ගොස් ඇඳේ පෙරලී කඳුළට නිදහස දෙන්නට සිතමින් මා එන්නට හැරුණේ කන් දෙක වසාසිටි දෑත් පහතට දමමිනි.

"ගියාට කමක් නෑ. හැබැයි බාත් රූම් එකට" ඒ දුෂ්කර කාලය පුරාවටම හිස නොඉස්සූ මම ඔහු දෙස කෙලින් බැලුවේ එවිටය.

"මොකද රවන්නෙ. ගිහින් මූණ හෝදගෙන ඇවිත් මේ ගණන් ටික හදලා ඉවර කරනවා. සිකුරාදා හැන්දෑවට ලෙක්චර්ස් ඉවර වෙච්චි ගමන් මං මේ මෙහෙ දුවගෙන එන්නෙ එහෙ වැඩ නැතුවට නෙවෙයි. තමුසෙවත් කොහොම හරි එකපාරින් මෙඩිසිං යවාගන්න ඕනි නිසා"

කෝපයෙන් ගිගිරූ ඔහු මට පෙර දොරෙන් ඇතුළට යන්නට සූදානම් විය. එක්වරම අවධි වූ මොකද්දෝ සිතුවිල්ලක් හඬමින්ම ඒ සුරතේ වෙලෙන්නට හිතට බල කළේ එවිටය. ඔහු මා දෙස කෝපයෙන් රවා බැලුවාට සැකයක් නැතත් කඳුළු උල්පත් හා සටන් කර පැරදුණ දෙනෙත් බිමට නැඹුරු කරගෙන සිටි මට ඒ බැල්ම මඟ හැරුණි.මොහොතකට පෙර කන හරහා යනතුරු බලාසිටි සුරතින්ම මා පපුවට තුරුළු කරගත් ඔහු "නිස්කාරණේ මාව කේන්ති කරවලා අඬන්න තියාගන්නෙ ඇයි පොඩී" කියමින් වමතින් හිස පිරිමැඳීය. එතෙක් සංයමයකින් පාලනය කර හදවතේ සිරකරගෙන සිටි වේදනාව සිහින් ඉකිබිඳුමක්ව පිටවිය.

"මං ගැහුවෙ තියා හරියකට බැණ්නෙවත් නැතුව මොකටද මේ අඬන්නෙ…..ම්හ්...." කියමින් නළලට අත තබා හිස මඳක් එසවූ ඔහු අමනාපය සඟවාගත් සිනාවකින් මගේ දෑස් දෙස බලාසිට කඳුළු පිස දැමීය.

"ඇයි ඔයා එහෙම කතා කරේ " මුක්කන් හඬින් පිටවූ වදන් අසල ඔහුගේ සිනහව විසිරිණ.

" කොහොමද?"

"මධුරංගි කියලා" එවර හක හක ගා උස් හඬින් සිනාසෙන්නට ගත් ඔහු "උඹටත් ඉතින් අඬන්න තියෙනවා නම් තමන්ගෙ නමේ කෑල්ලක් හරි කමක් නෑ අල්ලාගන්නවා" කියමින් නහය මිරිකා "දැන් එහෙනං හොඳ සුදු නෝනා වගේ ගිහින් ඔය හොටු ටික හූරලා මූණ පොඩ්ඩක් මනුස්ස පාටක් කරන් එන්නකො අර ගණන් ටික හදලා ඉවරයක් කරන්න. ඊට පස්සෙ බැරියැ ඔය තියෙන ප්‍රශ්නයක් විසඳා ගන්න" කියමින් මා නිදහස් කළේය.

එහෙත් ඉන් සති කිහිපයක් ඉක්ම යනතුරුම ඔහු මට ඒ ගැන වචනයක්වත් කතා කරන්නට ඉඩක් නුදුන්නේය. ඒ වෙනුවට මගේ පෙන්සිල් කේස් එකේ තිබූ මහජන පුස්තකාල කාඩ්පත් සිය භාරයට ගත් ඔහු ඉන්පසුව නිවසට පැමිණි සෑම දිනකම පොත් මේසය පමණක් නොව කොට්ට මෙට්ටද අවුස්සා බලන්නට අමතක නොකළේය.

"ඔයත් කැම්පස් ගියාට පස්සෙ තමයි අපිට පාළුව උහුලාගන්න බැරි වෙන්නෙ" සති අන්තය ගීත් අයියාගේ කෑ කෝ ගැසීම් හා අප දෙදෙනාගේ අඩ දබර වලින් දෝංකාර දෙන නිවස අසාමාන්‍ය නිහැඬියාවකින් පිරී යාම ඇරඹෙන සඳුදා රාත්‍රියකදී නැන්දා අනාවැකි පළ කළාය.

"එතකොට මාත් ගීත් අයියා වගේ හැම වීක් එන්ඩ් එකටම ගෙදර එන්නම්"

"එයි මේන් කියලා. අයියත් ඔය එන්නෙ ඔයාගෙ එග්සෑම් එක නිසා. හැමදාම යද්දි මට මඟින් මඟට කියලා යන්නෙ ඔයා පාඩම් කරනවද බලන්න කියලා. ඕකි රෑ තිස්සෙ ඇහැරගෙන නවල්ස් කියවනවද දන්නෑ. අම්මා පොඩ්ඩක් ඇහැ දාගෙන ඉන්න කියලා අද උදෙත් කියලා ගියෙ" ඒ සිද්ධිය ඔහු එතෙක් හිතින් අමතක නොකළ බව හරියටම වටහා ගත්තේත්, කියවන පොතක් බ්‍රහස්පතින්දාට පෙර කියවා අවසන් කරන්නට මා වග බලා ගත්තේත් ඉන් පසුය.

උසස් පෙළ විභාගය ආරම්භ වනවිට විශ්වවිද්‍යාලයේ පළමු අධ්‍යන වර්ෂයේ දෙවන සමාසික පරීක්ෂණය වෙනුවෙන් ලද අධ්‍යන නිවාඩුව මත නිවසට පැමිණ සිටි ගීත් අයියා සිය පාඩම් වැඩ කටයුතු කළේ මාත් සමඟය. එක එක කෑම ජාති සකසමින් අපට තේ කෝපි සපයමින් අප නින්දට යන මොහොත වනතුරුම අවදියෙන් සිටින්නට වග බලාගත් නැන්දා අවසානයේදී අසනීප වූයේත් නිදි වැරීම නිසාමය.

"මං අම්මට කියනවනෙ බොරුවට ඇහැරන් දුක් විඳින්නෙපා කියලා"

වෛද්‍යවරයෙකු ළඟට නැන්දාව කැඳවාගෙන ගිය ගීත් අයියා ගෙට ගොඩ වූයේම කෑ ගසාගෙනය.

උදේ කෑමට මාමා කොහෙන්දෝ ඉඳිආප්ප රැගෙන විත් තිබුණත් දවල් කෑම පිටින් ගෙන ඒමට මා විරුද්ධ වූයේ නැන්දා ඊට අකමැති නිසාය. හැකි හැම විටම අපට රස මසවුළු සැකසීම සිය දිවියේ පළමු රාජකාරිය කරගත් ඇය අසනීපයෙන් පසුවූ විටෙක යුතුකම් පසෙකලා පොත බදාගෙන සිටීමට මට නොහැකි විය. නැන්දාටත්, මටත්, මියුරු අක්කාටත් මාරුවෙන් මාරුවට බණිමින් සිටියා මිස පොල් බෑයක් ගා දීමට තරම්වත් ගීත් අයියා කාරුණික නොවීම මගේ ලේ කෝප කරවීය.

"ඔය කෑ ගගහා ලේ පුච්චාගන්න වෙලේ නරකද පොල් කෑල්ලක් එහෙම ගාලා දුන්නනම්" කියමින් මම පොල් ගාන්නට පටන් ගන්නා විටත් ඔහු සිටියේ මියුරු අක්කාට බැණ බැණය. නැන්දා අසනීප බව පවසා තිබියදීත් ඇය නිවසට නොපැමිණීම ගැන ඔහු පසුවූයේ නැන්දාට හා මාමාටත් වඩා තරහින් පුපුරමිනි.

"මං මොකටද පොල් ගාන්නෙ. තමුසෙටනෙ කඩෙන් කන්න බෑ කිව්වෙ. ඇත්තමයි තමුසෙනම් හරියන්නෙ අපෙ අම්මටම තමයි"
කියමින් මා ළඟට ආ ඔහු පොල් කෑල්ල උදුරාගෙන උරහිසින් ඇන මා පසෙකට තල්ලු කළේය.

කාල සටහනේ අවසානයට තිබුණ රසායන විද්‍යා ප්‍රශ්න පත්තරයට සතියක් තබා ගීත් අයියාගේ විභාගය ඇරඹිණි. දෙදිනක්ම නිවසේ රැඳී සිටි මියුරු අක්කලා සමඟ ඔහු නිවසින් පිටව ගියේ "කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකට A නැතුවනම් මාත් එක්ක කතා කරන්නවත් හිතන්නෙපා පොඩී" කියා වෙනදා මට පමණක් ඇහෙන්නට මැතිරූ මන්තරය තර්ජනයකට පෙරලා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමිනි. මා මූණ ඇඹුල් කරගන්නවා දුටු මියුරු අක්කා මගේ කම්මුලක් මිරිකා මෝටර් රථයේ පසුපස අසුනට ගොඩ වූයේ "කුම්බලා කටු කෑවානම් දුක් විඳපන් බළලෝ කියන්නෙ ඕකට තමයි නංගි" කියා සිනාසී නැන්දාත් මාමාත් ඇගේ සිනාවට හවුල් කරගෙනය.

විභාගය සඳහා සතියක කාලයක් ඉතිරිව තිබීමත්, විෂය නිර්දේෂය ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්තර දෙතුන් වාරයක් සාකාච්ජා කොට පිටව යන්නට ගීත් අයියා වග බලාගත් නිසාත් ඒ දින කීපය සැහැල්ලුවෙන් ගෙවාගන්නට මට හැකිවිය. තද බල හිසරදයකින් පීඩා විඳි නැන්දා ගේ දොර වැඩ කටයුතු සඳහා මගේ උදව් ප්‍රතික්ෂේප කළද රෑ කෑම පිළියෙල කිරීම බලහත්කාරයෙන්ම බාරගන්නට මට හැකිවිය.
දිවා ආහාරය ගැන කවදත් එතරම් සැලකිල්ලත් නොදැක්වූ අප දෙදෙනා දවසම වෙහෙසවී ගෙට ගොඩවන මාමා වෙනුවෙන් ඉස්තරම් කෑම වේලක් සැකසීමට පුරුදුව සිටියේ කලක පටන්ය. ඉවුම් පිහුම් ගැන එතරම් උනන්දුවක් නොදක්වන මියුරු අක්කාට බණිමින් මා උයන තුරු ළඟට වී සිටින නැන්දා සෙනෙහසින් හිස පිරිමඳින්නේ "ඔයාට පිං පුතේ" කියමිනි.

" ඒ පිං ටිකත් ඔයාගෙ කැටේටම දාගෙන ඉක්මනට සනීප වෙන්නකො. මට ආසයි මියුරු අක්කලාගෙ ගෙදර යන්න"

"අයියගෙත් එග්සෑම් ඉවර වුණාම අපි ඉස්සෙල්ලම ඔයාලගෙ ගෙදර ගිහින් එමු. අම්මා දැනටමත් මාත් එක්ක තරහා වෙලා ඇත්තෙ කෙල්ලව අයිති කරගත්තා කියලා" මල්ලී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේ මගේ විභාගයට පසුය. ඊට පෙර ගමේ යාමට නම් ඒ සඳහා මාමා කැමති කරවා ගත යුතුය. මල්ලීටත් ගීත් අයියාට මෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි වුවහොත් පිරිමි පාසලක නේවාසිකාගාරයක නවතා ඉගැන්විමේ අරමුණක් මාමාගේ සිත තුළ තිබිණ. එහෙත් අම්මා ඊට කැමති කරවා ගැනීම ගැන එදවස මට තිබුණේ සැකයකි.

අවසානයේදී උසස් පෙළ විභාගය නිමාවූයේ එතෙක් හිස මත වූ පීඩනයෙන් මා මුදා ගනිමිනි. වෙනදා මෙන් විභාගය අවසන් වූ සැණින් නිවසට යාමේ උවමනාවක් එදා අප කාටවත් නොතිබිණ. යළි මුණ ගැසෙන දිනයක් ගැන බලාපොරොත්තුවක්වත් නොමැතිව අපි එදා සුජාතා මෑණියට සමුදී එතනින් පිටව ආවේ පස්වරු දෙකට පමණය.

"ඇයි පරක්කු වුණේ. මං තව ටිකක් බලලා මාමට ගිහින් බලන්න කියන්න හිටියෙ"

කවදාවත් නැතුව ගේට්ටුව අද්දරටම පැමිණ සිටි නැන්දා ගෙතුළට යන ගමන් පැවසීය.

"ආයෙ හම්බෙන්නැති නිසා යාළුවොත් එක්ක කතා කර කර හිටියා. සොරි මට කියලා යන්ඩ අමතක වුණාට"

"මට හිතුණා. බලන් ඉඳලා බැරිම තැන බෙහෙත් බොන්න ඕනි නිසා මං කෑවා. ඔයා වොෂ් එකක් දාගෙන එන්නකො මං බත් බෙදන්නම්"

"නැන්දට අමාරු නම් ගිහින් නිදාගන්න. මං හිමීට නාගෙන ඇවිත් බත් බෙදාගන්නම්"

"එහෙනං මං චුට්ටක් හාන්සි වෙන්නං පුතේ. අව්වෙ හිටන් හිටිය නිසාද කොහෙද ඔළුව ඩිංගක් රිදෙනවා" කියමින් ඇය කාමරයට ගිය පසු මා උඩුමහළට ගියේ එතෙක් කිසි දිනක අත් නොවිඳි අමුතුම සැහැල්ලුවකිනි.

අඩ හෝරාවකට වැඩි කාලයක් කටට එන එන ගීත මුමුණමින් වතුර මල යට ගෙවා දැමූ මා අත් රහිත සැහැල්ලු ගවුමකින් සැරසී තෙත කොණ්ඩය විසිරෙන්නට නොදී රැක බලා ගැනීම චූටි කොණ්ඩ කටුවකට බාරදෙමින් පහළට එනවිට නැන්දා පෙනෙන්නට නොසිටියාය. කාමරයට එබී බලා ගැඹුරු නින්දක පසුවූ ඇයට හඬ නොඇසෙන සේ කුස්සියට ගොස් බත් බෙදාගත්තේ නෑමෙන් පසු දරුණු තත්වයට හැරෙමින් තිබූ කුසගින්න දරාගත නොහැකිවය. නැන්දාත් මමත් පමණක් කෑමට රැඳෙන සෑම වේලක්ම එක්ව කෑම ගැනීමේ පුරුද්දක් දෙදෙනාටම තිබුණත් නැන්දාගේ රෝගී තත්වය ගෙවුණ දෙසතිය තුළ බොහෝ පුරුදු වෙනස් කරවා තිබිණ.

නැන්දා මට යෙහෙළියක තරමට සමීප වූයේ මියුරු අක්කා නිවසින් ඈත් වන්නට පටන් ගත් කාලයේ සිටමය. පිටස්තර දරුවෙකුට තම දියණියට තරම්ම හෝ ඊටත් වැඩියෙන් ආදරය කළ හැකි ගැහැණුන් මෙලොව සිටිය හැක්කේ අතලොස්සකි. මාපිය සෙනෙහසින් තොරව උස් මහත් වූ නැන්දා එවන් ගැහැණියක බවට පත් කිරීමට ඇය ඇදහූ ආගමද උදව් වන්නට ඇත.

"කොහොමද අද පේපර් එක" එක්වරම දොර දෙසින් ඇසුණ ගීත් අයියාගේ හඬට අතට ගත් බත් කට අත්හැරිණ.

"මොකද නිකන් යකෙක් දැක්කා වගේ බය වුණේ. පේපර් එක අමාරුද?. අර මං කියපු ඒවා ඇවිත් තිබ්බද?" අසමින් යාබද පුටුව ඇදගත් ඔහු එතනින් වාඩි වූයේ කලබලයෙනි.

"ඔයා අද එනවා කිව්වෙ නෑනෙ"

"ඔයාට කිව්වෙ නැතුවට අම්මට කිව්වනෙ"

"නැන්දා මට කිව්වෙවත් නෑනෙ"

"අම්මා හිතන්න ඇත්තෙ මං රෑ එනවා කියලා"

"ඔයා කාලද?"

"යකෙක් කන්න බඩගිනි වෙලා ආවෙ. අම්මා කෝ නිදිද?"

"ඔව් නැන්දට ආයෙ ඔළුව රිදෙනවා කිව්වා. ඉන්න මං ඔයාට බත් බෙදලා දෙන්නම්" කියමින් නැගිටින්නට ගිය මගේ අත අල්ලාගත් ඔහු යළි මා එතනම වාඩි කළේය.

"එහෙනං වොෂ් එකක් දාගෙන එනවද?"

"බෑ……. බඩගිනියි"'

"ඉතින් ඒක තමයි බත් බෙදන්න හැදුවෙ"

" ඕකෙන් කැව්වනම් අමුතුවෙන් බෙදන්න දෙයක් නෑනෙ " කියමින් ඔහු කට ඇරියේය. පුදුමයත් බියත් තවත් පැහැදිලි කළ නොහකි නොසන්සුන් හැඟීමකුත් විසින් පාෂාණීභූත කරවූ සිරුරේ ඇඟිල්ලක්වත් සොලවා ගත නොහැකි විය.

"කවන්නකො පොඩී" කොණ්ඩ කටුවෙන් නිදහස්ව මුහුණ මත දඟකළ කෙස් කැරැල්ලක් කන පිටුපස සඟවමින් ඔහු ආයාචනාත්මක හඬකින් මිමිණීය. හිමිහිට අනාගත් බත් පිඩක් ඒ මුවට ළං කරන්නට ගත වූ කාලය විනාඩි දෙක තුනකට වැඩි මිස අඩු නැත. වැරදීමකින්වත් අපේ සිව්නෙත් මුණ ගැසෙන්නට ඉඩක් නොතබමින් මුවට කළ බත් පිඩත් සමඟ ඔහු ඇඟිල්ලක්ද දත් වලින් අල්ලා ගත්තේය.

"ඌයි....රිදුණා" බොරුවට මූණ බෙරි කරගනිමින් කෑ ගසා හිස ඔසවද්දී ජයග්‍රාහී සිනහවක් සමඟ එතෙක් කිසිදිනක හඳුනා නොගත් මොකද්දෝ රහසක් ඒ දෑස්වල ලියවී තිබිණ. ඉක්මනින් ඒ බැල්මෙන් මුදාගත් දෙනෙත් බලහත්කාරයෙන් වෙනතක රැඳවුවද ඒ වනවිටත් අලුත් රිද්මයකට ස්පන්ධනය වීම අරඹා තිබූ හදවත නුහුරු හැඟුමන් සමඟ නොසන්සුන් විය. ලේ පුරා රත්වෙමින් තිබූ කොපුලකට සෙමින් අත තැබූ ඔහු මට හිතන්නටවත් තත්පරයක් නොදී එක්වරම නළල මත දෙතොල් තවරා ඒ වේගයෙන්ම පිටව ගියේය.

නුහුරු නුපුරුදු හැඟුම් ගොන්නක අතරමං වී වරින් වර නළලත් කොපුලත් පිරිමඳිමින් අනපේක්ෂිත මොහොතක විකසිත වූ සොඳුරු මල් යායක් මැඳින් පියවර ඔසවමින් සිටි මට වටපිටාව ගැන මතකයක් නොවීය.

"මොකද පුතේ ඔය කරන්නෙ" කන ළඟින්ම ඇසුණ මාමාගේ හඬට හිස ඔසවන විට ඔහුගේ දෙනෙත නතරව තිබුණේ මා අනමින් සිටි බත් පිඟාන මතය. ගීත් අයියා පැමිණෙන විටත් පිඟානේ අයිනෙන් ගොඩ ගසාගෙන සිටි කළුපොල් මාළුවේ කොස් ඇට පොතු සියල්ල බත් සමඟ මිශ්‍ර වී ඇතිබව මා දුටුවේ එවිටය.

"මං පේපර් එකේ තිබ්බ ගාණක් කල්පනා කර කර හිටියෙ" ඉතිරිව තිබූ බත් ටික කසල බඳුනට දමා පිඟාන සෝදමින් මම නිදහසට කරුණක් ගැට ගැසුවෙමි.

"මට හිතුණා. මං ඇවිල්ලත් දැන් විනාඩි පහකටත් වැඩියි. මගෙ පුතා මාව දැක්කෙවත් නෑ" කියමින් ළඟට විත් හිස අතගෑ මාමා "ඇයි පුතේ අද පේපර් එක ගොඩක් අමාරුද" ඇසුවේ කරුණාවෙනි.

"ටිකක්"

"ඒක ගැන හිතන්න එපා. දැන් ඒක ඉවරනෙ"

"මං මාමට තේ එකක් හදන්නද"

"එපා පුතේ. මං මේ හදිස්සියකට චෙක් පොතක් ගෙනියන්න ආවෙ" කියූ ඔහු එතනම සිටියදී පපුවට අතක් තබාගෙන උඩුමහළට දුව ගිය මා දිය නා අලුත් ඇඳුමකින් සැරසී ගීයක් සිවුරුහන් කරමින් පහළට බසිමින් සිටි ගීත් අයියාගේ ඇගේ නොවැදී බේරුණේ අනූ නවයෙනි.


ඊළඟ මතක සක්මනින් හමුවෙමු

Monday, April 27, 2020

විල්තෙර අද්දර 8 - හත්වෙනි මතක සක්මන



පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html



ගීත් අයියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවායින් පසු ඔහු නිවසත් සමඟ තිබූ සියළු ගණුදෙනු අහවර කරන බවට මාමාගේ හිත තුළ වූ සැකය පුස්සක් කරමින් ඔහු සිකුරාදා මැදියම් රැයේ නිවසට පැමිණියේය. දුරකථන ඇමතුමකින් පැමිණෙන බව දැනුම් දිය හැකිව තිබියදීත් ඔහු හිතා මතාම එය අමතක කර තිබිණ.

"මොනවා කරන්න හිතා ඉන්නවද මන්දා"

නැන්දාත් මමත් විනාඩි දහයෙන් කෑම පිළියල කළ හැකිබව පවසද්දීත් එය ප්‍රතික්ෂේප කළ ඔහු කිරි එකක් පමණක් බී උඩු මහළට යද්දී නැන්දා කම්මුලේ අතක් ගසාගෙන මිමිණීය.
"බස් එක මඟ නවත්තපු තැනකින් මොනවා හරි කන්නැති" දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන හීනයක්වත් නොතිබුණ එදවස කොළඹ සිට මාතරට පැමිණීමට ගතවන කාලය පැය පහකට වැඩි මිස අඩු නැත. තේ බීම සඳහා අම්බලන්ගොඩ හරියේදී බසය කළද, ඔහු එතනින් තේ එකක්වත් බීමට අකමැති බව දැන දැනම මම නැන්දගේ හිත හදන්නට උත්සහ කළෙමි.

"ඊළඟ දවසෙ නම් එයා කිව්වත් නැතත් කෑම තියන්න ඕනි" නැන්දා විස්සෝප වන තරම දැන සිටියානම් ඇගේ අතින් බත් කටක් නොකා නිදාගන්නට ඔහු හීනෙන්වත් නොසිතනු ඇත. එහෙත් නැන්දාත් මාමාත් සිය දරුවන් විෂයෙහි විඳි වේදනා එදා සිටම බරක් වූයේ ඔවුන්ගේ දරු දෙදෙනාට නොව මටය.

ගීත් අයියාට මූණ දීමට ඇති අකමැත්ත නොපෙන්වමින් ව්‍යාපාරික අවශ්‍යතාවයක් මවා පෙන්වා මාමා උදේ පාන්දරින්ම නිවසින් පිටව ගියේ "අයියට කියන්න ඔයාව ක්ලාස් එකට දාන්න කියලා" කියමිනි. මාමාගේ උපදෙස ගැන කිසිවක් නොදත් ඔහුව මඟහැර තනිවම පංති ගොස් පසුව ඔහු දබරයකට කොටුකර ගැනීම මගේ අභිප්‍රාය විය. මගේ යටිසිතේ වූ බලාපොරොත්තු ගැන කිසිවක් නොදත් නැන්දා මාමාගේ උදේ කෑම මා අත යැවීමට සැලසුම් කිරීම වේලපහ නිවසින් පිටවීමට කදිම අවස්ථාවක් සලසා තිබිණ. ඒත් පංති යාමට සූදානමින් මා පහළට බසින විටත් ඈ කෑම පිසීම අවසන් කර නොතිබීම නිසා මගේ සැලැස්ම ව්‍යර්ථ විය.

"විනාඩි පහක් ඉන්න පුතේ තාම පරිප්පු එක තැම්බිලා නෑ" කියමින් පොල් සම්බෝලයට දෙහි මිරිකමින් සිටි ඇය කුස්සියේ බිත්තියේ වූ ඔරලෝසුවේ නෙත රැඳවූයේ මා දොරෙන් ඇතුළ වෙද්දීමය.

"ඒක හැදෙනකල් මං ඔය තියෙන දෙයක් එක්ක කන්නම්" ඊට එකඟ වූ ඇය පෙරදින සැකසූ මාළු ඇඹුල් තියල සහ පොල් සම්බෝල සමඟ බෙදාදුන් උණු බත් පිඟානින් කුස පුරවාගෙන අත සෝදාගන්නට පෙර ඇගේ පරිප්පු ව්‍යාංජනය ලිපෙන් බා ගත හැකිවිය. ගීත් අයියා කුස්සියට එබුණේ නැන්දා පෙට්ටියට කෑම බෙදමින් සිටියදීය.

"කොහෙද යන්නෙ"

"ක්ලාස්"

"මෙච්චර උදෙන්"

"ඔව්. අද ක්ලාස් එක හත හමාරට පටන් ගන්නවා කිව්වෙ" නැන්දා දෙස හොරැහින් බලමින් පැවසූ මුසාවට, එකිනෙක තදින් තෙරපවා ගත් දෙතොල් අතරෙහි සැඟවුණ සිනහවකින් අනුමැතිය හිමි විය.

"එහෙනං දැන් පරක්කුයිනෙ. තාත්තා එක්කද යන්නෙ"

"තාත්තා අද පාන්දරම ගියා පුතා" මා ඔළුව සොලවා ඔහුව තවදුරටත් මුලා කිරීමට පෙර නැන්දා සත්‍ය හෙළි කරන්නට ඉදිරිපත් විය.

"එහෙනං ඔහොම ඉන්නවා මං ගිහින් දාලා එන්නම්" කියූ ඔහු ගෙතුළට ගියේ "යතුර මේසෙ උඩද අම්මා" අසාගෙනය.

"අයියා තේ එකක්වත් බිව්වෙ නෑ" කෑම පෙට්ටිය මා අත තබමින් නැන්දා පැවසුවේ මා ඔහුට බොරුවක් කීම අනුමත නොකරන විලාසයෙනි.

"කිරි එකක් හදලා බෝතලේකට දාලා සූප්පුවක් එක්ක දෙන්නකො. මං යනගමන් පොවන්නම්" බොරුවට රවා බලමින් ඇය මා සමඟ එළියට එනවිටත් ගීත් අයියා මෝටර් රථය පණ ගන්වාගෙන බලා සිටියේය.

"උදේට තේ එකක් බිව්වෙ නෑ කියලා අර අලි දණ්ඩා කලන්තෙ දාන්නෑ. බය නැතුව ඉන්න" කියමින් ගුටියක් ලැබෙන්නට පෙර දුවගොස් මෝටර් රථයට නැග පිටුපස හැරී බලද්දීත් නැන්දා සිටියේ සිනාසෙමිනි.

"ඇයි ඔය කෑම එකක්. අද හවස් වෙනකල් ක්ලාස්ද? අපරාදෙ මං දන්නවනම් ඊයෙ රෑ එන්නැතුව උදේ එනවනෙ"වාහනය ගේට්ටුවෙන් පිටතට ගත් ඔහු මා උකුල මත තබාගෙන සිටි මාමාගේ කෑම එක දෙස බලමින් විමසීය. විශ්වවිද්‍යාලට ඇතුළත් වූ පසු ඔහු මට ඉගැන්වීම නවතනු ඇතැයි සිතමින් හඬා වැටුණ සිත සැනසෙන්නට එවදන් ප්‍රමාණවත් විය.

"නෑ නෑ ක්ලාස් දහයට ඉවරයි. ආයෙ හෙට හවස"

"එතකොට ඔය කෑම එක කාටද?"

"යාළුවෙකුට"

"බෝඩිමක ඉන්න ළමයෙක්ද?"

"ළමයෙක් නෙවෙයි. පොඩි බිස්නස් එකක් කරන කෙනෙක්. එයා ගෙදරින් කාලා ආවෙ නැති දවසට මං කෑම එකක් ගිහින් දෙනවා. එයාටත් මට වගේ තමයි. නැන්දගෙ කෑම එක නැතුව වෙන මොනා කෑවත් බඩ පිරෙන්නැතිලු" මගේ සිනහව ඔහුගේ කේන්තිය අවුස්සන්නට ඇත. "මට ඇත්ත කියනවා" කියමින් අත දිගුකර කන මිරිකූ ඔහු අතුරු පාරෙන් මාතර දෙසට රිය හරවා ගත්තේ මුහුණ අඳුරු කරගෙනය.

"ෂොප් එක ගාවින් චුට්ටක් නවත්තන්න" කතා නොකරම රිය ධාවනය කරමින් සිටි ඔහු මා දෙස හැරී බැලුවේ සැකයෙනි.

"මට උදේ ක්ලාස් පීස් ඉල්ලා ගන්න බැරි වුණා"

"මං ළඟ සල්ලි තියෙනවා"

"අපෝ…..ඔයාගෙන් සල්ලි අරන් මට බෑ මාමගෙන් බැණුම් අහන්න"

"තමුසෙගෙත් තියෙන ලොකු කමනෙ. හරි හරි ගිහින් ඉල්ලන් එනවකො" කියමින් තිරිංග තද කළ ඔහු බේක් හවුස් එක පෙනෙන මානයෙන් රිය නතර කළේය.

මා නැවත එනවිට සුක්කානමට හිස ගසාගෙන සිටි ඔහු මා අත වූ කඩදාසි බෑගය දෙස බලා "ඔය මොනාද? " ඇසුවේ අමනාපය මඳක් හෝ අඩු නොවූ හඬකිනි.

"ඔයාට තරහා ගියාම හප හපා ඉන්න ඇඟිලි ඉස්කෝතු ගෙනාවා. හැබැයි මේක දෙන්නෙ මට ක්ලාස් පීස් දුන්නොත් විතරයි"

"ඇයි දැන් මහලොකුවට ගියෙ මාමගෙන් ඉල්ලාගන්නනෙ. දැන් මොකටද මගෙන් ඉල්ලන්නෙ. ඇයි තාත්තා හිටියෙ නැද්ද?"

"මාමා ඔය යස අගේට හිටියෙ. නැතත් ඉතින් මාමා නැති වෙලාවට කැෂියර් එකෙන් සල්ලි ඉල්ලාගන්න මට පූර්ණ බලතල දීලා තියෙන්නෙ"

"එහෙනං මොන මඟුලකටද මෙතනින් නවත්තන්න කිව්වෙ"

"නවත්තන්න කිව්වෙ මාමගෙ උදේ කෑම එක දෙන්න. දැන් ඒක දුන්න නිසා පුප්පන්නැතුව යං" සංයමයෙන් වචන එකතු කරන මා දෙස කට ඇද කරගෙන බලාසිටි ඔහු රිය පාරට ගත්තේ "මොකටද මට බොරු කිව්වෙ" අසමිනි.

"ඔයා නැට්ට පාගාගත්තට මං බොරුවක් කිව්වෙ නෑනෙ. ඔයා වුණත් දැනගන්න එපැයි මේ ලෝකෙ නැන්දගෙ කෑම නැතුව බඩ පිරෙන්නැත්තෙ මාමටයි මටයි විතරයි කියලා"

"එතකොට අක්කයි මායි ඔටුවොද?"

"ඔටුවොද වටුවොද කියන්න නම් මං දන්නෑ මහත්තයො. හැබැයි ඔය දෙන්නටම අම්මගෙ කෑම විතරක් නෙවෙයි මූණවත් දකින්නැතුව මාස ගාණක් වුණත් ඉන්න පුළුවන් කියලා නම් මං දන්නවා" මගේ වදන් සැර වැඩිබව දැනෙද්දී ඔහු හිත රිදවාගෙන අවසන්ය. අඳුරු කරගත් මුහුණින් පාරට රවාගෙන රිය පදවමින් සිටි ඔහු පංතිය අසලට එනතුරුම සිටියේ නිහඬවය.

"ගීත් අයියෙ සොරි. මං එච්චර හිතලා කිව්ව එකක් නෙවෙයි" පංතිය අසලින් රියෙන් බැස ගැනීමට ප්‍රථම ගියරය මත වූ වමත සුරතින් ග්‍රහණය කරගනිමින් මම හෙමිහිට මිමිණුවෙමි. බලහත්කාරයෙන් මුවඟට නගාගත් සිනාවක් සමඟ අත මුදාගත් ඔහු අසුනින් මඳක් එසවී පිටුපස සාක්කුවේ වූ පසුම්බිය ගෙන මගේ උකුළට වීසි කළේය.

"කීයක් ගන්නද" තරහා පෙන්නා යාළුකර ගැනීමට තරම් කාලයක් ඉතුරුව නැති නිසා මම වෙනත් ක්‍රමයක් අත්හදා බැලුවෙමි.

"ලයිසන් එක ඉතුරු කරලා ඕකෙ තියෙන හැමදේම ගත්තත් කමක් නෑ" සෑම මසකම මුල් සතියේ පංති සියල්ලගේම ගාස්තුවත්, ඊට අමතරව තවත් මුදලකුත් මා අත තැබීම මාමා පුරුද්දක් කරගෙන තිබුණේය. එනිසා මුදල් අවශ්‍යතාවක් නැතත් මට ඔහුගේ පසුම්බිය විවෘත කර බැලීමේ සියුම් ආසාවක් ඇතිවිය. විවෘත කළ පසුම්බියේ දෙපස වූ ජායාරූප දෙක එවන් මනදොලක් ඇතිවීමේ ආනිසංශ නෙත් අගට ගෙනවිත් නිදහස් කළේය.

"මොකද මේ ඇස්වල කඳුළු පුරවන්. ඕකෙ තියෙන්න මං කුලීවැඩ කරලා හම්බු කරපුවා නෙවෙයි. අඬන්නැතුව ඕනි ගාණක් ගන්න. ඕවත් ඔයාගෙ මාමගෙ සල්ලි තමයි" යටිතොල හපාගෙන කඳුළු පිරි නෙතින් නැන්දාගේත් මාමාගේත් කුඩා ජායාරූප දෙක දෙස බලාගෙන උන් මගේ හිස බලහත්කාරයෙන්ම එසවූ ඔහු ඒත් සමඟම පසුම්බිය උදුරා ගත්තේය.

"සොරි"

"මොකටද. මගෙන් සල්ලු ඉල්ලුවටද?"

"නොපෙන්නුවට ඔයා නැන්දටයි මාමටයි කොච්චර ආදරේද කියලා මට අදයි තේරුණේ"

"ඒකටද මේ අඬන්නෙ"

"තරහා නෑ නේද මං කිව්ව ඒවට" උස් හඬින් සිනාසෙමින් හිස මත සුරත තබා සෙලවූ ඔහු "පිස්සුද බං. ඔන්න ඔය හොටු ටික පිහදගෙන පලයං" කියමින් ටිෂූ කඩදාසියක් ඇද මා දෙසට දිගු කළේය. යන්තමින් සිනාසී කඳුළු පිසගත් මා රියෙන් බසින තුරු බලාසිටි ඔහු ෂටරය පහත් කර "මං දහයට ඇවිත් ඉන්නම්" කියමින් යන්නට ගියේ මල් යායක අසිරිය මැදින් මට පංතිය තුළට ඇවිද යන්නට ඉඩ සලසමිනි.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු

Sunday, April 26, 2020

විල්තෙර අද්දර 7 - හයවෙනි මතක සක්මන



පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html



ඉතා දිගු වූත්, වේදනාකාරීත් වූත් රාත්‍රිය නිමා වන්නට ආසන්න වග කියමින් දෙමලිච්චන් කෑ ගසන්නට පටන් ගත් පළමු තත්පරයේම මම ඇඳ උඩින් වාඩි වුණෙමි. පෙර දින උදෑසන ලියුම්කරු පැමිණි මොහොතේ සිට ගෙවී ගිය සෑම විනාඩියක් විසින්ම හිස්කළ නිවසේ සතුටු ළිඳ යළි පුරවන ක්‍රමයක් මට සිතාගත නොහැකි විය. ගීත් අයියාට බණිමින්, හඬමින් වැළපෙමින් පහන් කළ රාත්‍රිය නැන්දා තවමත් සයනයට කොටුකර තබා තිබෙන්නට හැකිබව මට කල්පනා වනවිට හිරු එබෙන්නට ඔන්න මෙන්නය. ඉක්මනින් මූණ කට සෝදා නිදන ඇඳුම මාරු කර මා පහළට බැස්සේ උදෑසන කෑම පිළියල කර තබන්නට සිතාගෙනය. තරප්පු පෙළ දිගේ වේගයෙන් පහළට ආ මගේ දෙපා ඉබේටම නතර වූයේත්, හෝරා ගණනකට පසු සිනහවකට මුව විවර වූයේත් මාමා සුපුරුදු ලෙසම පත්තරය කියවමින් සෝෆාවේ වාඩි වී සිටින බව දුටු පසුය. ඉහළට එසවුණ පත්තරයෙන් වැසුණ දෑසටත්, චංචල සිතුවිලි වලට අනුගාමී වූ දෙසවණටත් මගේ පැමිණීම ගැන මොළයට සංඥා නිකුත් කළ යුතු බව සිහිවන්නට ඇත්තේ අවසන් තත්පරයේදීය. එක්වරම පත්තරය පසෙකට කර පහතට නැමී සරමින් දෑස් පිසදා ගත් ඔහු කලබලයෙන් දෙතොල් සරසාගත් සිනහව මට අතීත සිදුවීමක් සිහිපත් කළේය. එදාද ඔහු සිටියේ මෙලෙසම දෑසින් පිට පනින වේදනාව පත්තරයෙන් මුවා කරන්නට බැරිවිට පහත් වී සරමෙන් දෑස් පිස දමමිනි. "ඇයි මාමා අඬන්නෙ නැන්දා බැණ්නද” අසමින් එවකට දස හැවිරිදි වියේ පසුවූ මා ඔහුගේ උකුළට පනිද්දීත් ඔහු මෙලෙසින්ම කඳුළු සඟවා සිනාසෙන්නට උත්සහ කළා මට මතකය. මතකය නිවරදි නම් ඒ මා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ආසන්නයේ වූ දිනයකි.

"පොඩි දූ කලින්ම නැඟිට්ටද?" දෑසෙහි වූ තෙතමනය සඟවන්නට වෙහෙසෙමින් මාමා සිනාවක් මවා පෙන්වන්නට උත්සහ කළේය. බොඳ වූ දෙනෙත් පහතට හරවා ඔහු ළඟින් වාඩිවෙද්දීම දෙකට නැමූ පත්තරය ස්ටූලය මතට විසි කළ මාමා හිස මත සුරත තැබුවේ "ඉංජිනියර් කෙනෙක් නූනට අයියා කවදාහරි ඊට වඩා හොඳ තැනකට යයි පුතේ" කියමිනි. තමාගේ හිත දවන වේදනාව මගේ කඳුළු අභියස සඟවාගත් ඔහු හිමිහිට හිස පිරිමඳිමින් එදා මට කියාදුන්නේ පිය සෙනෙහසට අලගු තබන්නට කිසිවක් මිහිමත නැති වගය.

"පොඩි දුවත් නැඟිට්ටද?" මාමාගේ තේ එක රැගෙන ආ නැන්දා එය ඔහු අතට දී මුළුතැන්ගෙට ගියේ දෑසින් මට අඬ ගසමිනි.

"අයියා නැඟිටලා ද" කුස්සියේ මැද තබා ඇති කුඩා හතරැස් මේසයෙන් පුටුවක් පස්සට කර වාඩි වෙද්දීම නැන්දා ප්‍රශ්න කළාය.

"දැක්කෙ නෑ"

"මං තේ එකක් හදලා දෙන්නම්. ඔයා අරන් යනවද?"

"ඇයි නැන්දා තරහා වෙලාද?" තේ හැදීම පසෙක තැබූ නැන්දා මා පිටුපසින් සිටගෙන හිසට ටොක්කක් ඇන්නේ "අම්මා කෙනෙකුට එහෙමත් දරුවො එක්ක තරහා වෙන්න පුළුවන්ද" අසමිනි.

"එහෙනං ඇයි මට තේ ගෙනියන්න කියන්නෙ. ඊයෙ රෑ යකා නැගලා හිටිය හැටියට ඕකෙන් දමලා ඇරියොත් මගේ මේ සුදු මූණනෙ පිච්චෙන්නෙ" කියමින් මම දෙකම්මුල් පිරිමැද්දේ හිත තුළ සක්මන් කරනා දුක්ඛ දෝමනස්සයන් සිනහවක සඟවමිනි.

"ඒකනං කීයටවත් වෙන්නෑ" කියා මගේ සිනහවට එකතු වූ ඇය ඉන්පසු යාබද පුටුව ඇද මා අසලින් වාඩි වූයේ බරපතල රහසක් හෙළි කරන්නට මෙනි.

"චූටි කාලෙ අපිත් එක්ක රණ්ඩු වුණාමත් අයියා කතා කරන්නෙ ඔයා එක්ක විතරයි. ඔයා තමයි එයා තරහා වෙලා කෑම කන්නැතුව උපවාස කරනකොට හොරෙන් හොරෙන් එක එක ඒවා කාමරේට ගිහින් දෙන්නෙ. එකපාරක් මං ඕඩර් එකකට හැදුව කප් කේක් වගේකුත් උස්සන් ගිහින් තිබ්බා උපවාස කාරයා බඩගින්නෙ මැරෙයි කියලා බයවෙලා" කියමින් සිනාසුණ ඇය මේසය මත වූ මගේ සුරත දෝතටම මැදි කරගත්තාය.

"මේ වෙලාවෙ අයියා ගෙදරින් ගියොත් ඒක මහ ලොකු විනාශයක් වෙයි කියලා මගෙ හිත මට කියනවා පුතේ. ඒ නිසා මං ඔයාගෙන් ඉල්ලන්නෙ මේකයි. ඔයා අයියා ළඟින් ඉන්න. මොනවත් උපදෙස් දෙන්න යන්නෙපා එයා කියන දේවල් විතරක් අහන් ඉන්න. මං මාමා ගැන බලන්නම්. හැබැයි ඔයාටම තමයි ඒ දෙන්නගෙම හිතේ තියෙන කේන්තිය නැති කරවලා ආපහු එයාලව හිටපු තැනට ගේන්න පුළුවන් වෙන්නෙත්"

බරපතල වගකීමක් මගේ හිස මත පැටවූ නැන්දා කම්මුලට තට්ටුවක් දමා නැගිට ගොස් ගෑස් ලිප දල්වා නිවෙමින් තිබූ වතුර කේතලය රත් වෙන්නට තැබුවාය.

"මතක තියාගන්න මේ වෙලාවෙ එයාට ඕනි හොඳට ඇහුම්කන් දෙන කෙනෙක්" ගීත් අයියාගෙත් මගෙත් මග් දෙක තැබූ කුඩා බන්දේසිය මා අත තබමින් ඇය නැවතත් උපදෙස් සිහිපත් කළාය.

ගීත් අයියාගේ කාමරයේ විදුලි පහන් දල්වා නැතත් ඔහු අවදියෙන් බවට මට දැඩි විශ්වාසයක් තිබිණ. බොහෝ නිවෙස්වල දවල් වනතුරු නිදාගන්නේ පිරිමි ළමුන් වුවත් මියුරු අක්කා සහ ගීත් අයියාගේ චර්යා ඊට පටහැනි විය. මගේ විශ්වාසය තහවුරු කරමින් එක් වරක් දොරට තට්ටු කරද්දීම "එන්න අම්මා" කියන හඬ ඔහු නැන්දා පැමිණෙන තුරු බලාසිටි බවට සාක්ෂි සැපයීය. තවත් දෙවරක් දොරට තට්ටු කළ පසු ඔහු මා වෙනුවෙන් දොර විවෘත කළේ "කෝ අම්මා" කියා අසාගෙනය.

"චූටි බබා බලන් හිටියෙ අම්මා කිරි එකක් හදන් ඇවිත් පොවනකල්ද?"

"ඒකනෙ. දැන් ඉතින් අම්මගෙ වැඩ බාරගත්තනම් ඉතිරි ටිකත් කරන්න වෙයි" බන්දේසිය මගේ අතින් ගත් ඔහු එය මේසයෙන් තබා "මං ටක් ගාල මූණ සෝදන් එන්නම්" කියමින් කාමරයෙන් පිට වූයේ හිස් මුදුනට කර ගසාගෙන සිටි කොන්ඩ කටුව ගලවා ඇඳ මතට වීසිකර සිනාසෙමිනි.

මාමාගේ හිස මත ගිනි ජාලාවක් අවුලුවා ඔහු එතරම් සැහැල්ලුවෙන් සිනාසෙන්නේ කෙසේදැයි හිතන්නට තරම් දැනුමක් එදා මට නොතිබිණ. කොට්ටය අසල තිබූ ජංගම දුරකථනය මගේ අවධානය පැහැර ගත්තේ කොන්ඩ කටුව අහුලාගෙන ඇඳ රෙද්ද සකස් කරන්නට සැරසෙද්දීය. අද මෙන් ජංගම දුරකථන භාවිතය ප්‍රචලිත නොවුණ එදවස වෙළඳපොළේ තිබූ හොඳම වර්ගයේ NOKIA දුරකථනයක් මියුරු අක්කා ඔහුට තෑගි කර තිබුණේ විභාග ප්‍රතිඵලයට තිළිණයක් ලෙසය.

"Chemistry, physics දෙකට A ගත්තොත් ඔයිට වඩා හොඳ එකක් මං ඔයාට අරන් දෙන්නම්" තමා සන්තකයේ නැති සෙල්ලම් බඩුවක් අතපත ගාමින් විනෝද වන නොදරුවෙකු මෙන් ඔහුගේ ජංගම දුරකථනයේ බොත්තම් ඔබමින් සිටි මා ඉදිරියෙන් සිටගත් ඔහු පවසන තුරුම මට ඔහු ළඟට ආ බවවත් නොතේරුණි.

"ඔයාට කොහෙන්ද සල්ලි"

"මං හිතාගෙන ඉන්නෙ කැම්පස් ගියාට පස්සෙ ඒ ලෙවල් කරන පොඩි කෙල්ලො තුන් හතර දෙනෙකුට ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරන්න. ඔයාට උගන්නලා දැන් එක්ස්පීරියන්ස් එකත් තියෙනවනෙ"
කියමින් මනමාල හිනාවක් දාගෙන මා ළඟට කිට්ටු වූ ඔහු මූණ පිස දමමින් සිටි තුවාය මගේ උර මතට දමා තේ කෝප්ප දෙක අත් දෙකට ගෙන කාමරයෙන් එළියට ගියේය. උඩට එන්නට පෙර නැන්දා කනට පිරවූ කිසිවක් මට මතක තිබුණේ නැත. තුවාය ඇඳ උඩටම අත්හැර මා කාමරයෙන් පිටතට එත්ම මගේ ඊළඟ පියවර දැන සිටියාක් මෙන් ගීත් අයියා අතින් ඇද මා සදැල්ලට රැගෙන ගියේය. ඔහු මට පාඩම් කියාදෙන කුඩා මේසය මත නිවෙමින් තිබූ තේ කෝප්ප දෙක අතට ගත් ඔහු එකක් මා වෙත දිගු කරමින් බීරළු වැටට හේත්තු විය.

"දැන් ඔය මූණ කුන්ඩහට්ටියක් කරගෙන ඉන්නෙ මොකටද කියනවද?" කියමින් කනෙක් ඇද මා ළඟට ගත් ඔහු ඊට හාත්පසින්ම වෙනස් හඬකින් "තැන්ක් යූ පොඩී" කිව්වේ තවත් ටික වේලාවකට පසුය. තේ කෝප්පයට මුව තබාගෙනම හිස එසවූ මගේ දෑසෙහි රැඳි විශ්මය නිවරදිව කියවා ගන්නට තරම් වැටහීමක් එදවස ද ඔහු සතු විය.

"මුළු ගෙදරම මාත් එක්ක තරහා වෙලා ඉද්දි මෙහෙම මං ළඟට ආවට"

"ඇයි මං මීට කලින් එහම කරලා නැද්ද?"

"ඒ හැම දවසකටම වඩා අද ගොඩක් වෙනස් පොඩී" කියා හිස් කෝප්පය මා අත තැබූ ඔහු හිස මතට සුරත බර කරමින් සිනාසුණේය. නැන්දා නිවරදිව ඔහුගේ මානසිකත්වය වටහා ගැනීම ගැන පුදුමයෙන්ම මා එන්නට හැරෙද්දී ගීත් අයියා කන අසලට පහත් වූයේ "බය වෙන්නෙපා වෙන කෙල්ලන්ට ක්ලාස් කළත් මං උන්ට ටොකු අනින්න කනෙන් අදින්න යන්නෑ" කියමිනි. ඒ අසාමාන්‍ය සමීප වීමෙන් ලද ප්‍රහර්ශය සිත තුළ සඟවාගෙන එතනින් දුව ආ මගේ ගමන එළියට එමින් සිටි රොෂාන් අයියාගේ ඇගේ හැප්පී නතර නොවූණේ නූලෙනි.

"මොකද අර කෙල්ල මූණ පිනි ජම්බුවක් කරන් දිව්වෙ. උඹ කිස් එකක්වත් දෙන්න හැදුවද?" ඔහු ගීත් අයියාට සරදම් කරන හඬ අසමින් මා පහළට බහින විට සාලයේ කිසිවෙකු පෙනෙන්නට නොසිටියේ වාසනාවටය.

ළමා විය ඉක්මවා යොවුන් විය වැළඳ ගත් පසු ළං වෙමින් ඈත් වෙමින් ගෙවී ගිය යුගයට සදාකාලික විරාමයක් තබමින් ගීත් අයියාත් මාත් අතර වූ අදටත් හරියටම නිර්වචනය කළ නොහැකි අපූර්ව බන්ධනය යළි ශක්තිමත්වීම ඇරඹුණේ ඒ සොඳුරු උදෑසනින් පසුය.

ඊළඟ මතක සක්මනින් අනිද්දට හමුවෙමු

Saturday, April 25, 2020

විල්තෙර අද්දර 6 - පස්වෙනි මතක සක්මන



පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html



පහේ ශිෂ්‍යත්වයේදී හා සාමාන්‍ය පෙළ විභාගයේදී දැක්වූ දක්ෂතා වලට සාධාරණය ඉටු කරමින් A සාමාර්ථ තුනක් සමඟින් ගීත් අයියා උසස් පෙළ සමත් වූයේ මුළු පවුලම සතුටු ගංගාවක ගිල්වමිනි. ඒ වනවිට කළුබෝවිල රෝහලට සිය පළමු පත්වීම ලබා සිටි මියුරු අක්කා රොෂාන් අයියාත් සමඟ නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රියේය. මියුරු අක්කාගේ හිතුවක්කාර විවාහයෙන් පසු ඉවුම් පිහුම් කෙරෙහි වෙනදා තරම් සැලකිල්ලක් නොදැක්වූ නැන්දා පසුදා උදෑසන කෑම මේසය මඟුල් මේසයක් මෙන් ජයටම සැකසුවේ මගේ උදව්වත් ඇතිවය. මුලින්ම කිරිබත් කෑල්ලක් ගීත් අයියාගේ මුවට ළං කළ නැන්දා උතුරා යන සෙනෙහසින් ඔහුව සිපගනිද්දී රොෂාන් අයියාගේ දෑස් බිමට බර වුණි. නැන්දා මට කෙතරම් ආදරය කරුණාව දැක්වුවත්, ඇය මා ඉදිරියේ ඇගේ දරුවන් සිප වැළඳගන්නා සෑම මොහොතකම දැනෙණ වේදනාව නිහඬවම විඳ ගනිමින් සිටි මගේ දෑසට ඔහුගේ දෑසෙහි වූ තෙතමනය මඟ නොහැරිණ. අම්මා ගැන මතකය ඔහුව රිදවන බව සඟවමින් කෑම මේසයේ රැඳී සිටි රොෂාන් අයියා ඉන්පසු කාමරයෙන් පිටතට ආවේ දහවලය. අම්මාත් තාත්තාත් සමඟ සතුට බෙදාගනිමින් සිටි මියුරු අක්කාට ජීවිතය බෙදාගන්නා සහකරුගේ වෙනස වටහා ගන්නට තරම් ඉවක් නොතිබීම මට මෙන්ම ඔහුටද පුදුමයක් වූවාට සැක නැත.

"ෂාන් ට හිටි ගමන් ගෙදර යන පිස්සුවක් හැදිලා" රෑ කෑම පිළියල කරමින් සිටි නැන්දා අසලට ආ ඇය ඒ ගැන කිව්වේත් නෝක්කාඩුවක් ලෙසිනි.

"ගෙදර යන එක කොහොමද පිස්සුවක් වෙන්නෙ. ඔයා ගෙදර ඇවිත් අපිත් එක්ක මෙහෙම සතුටු වෙනවා දකිනකොට ඒ ළමයටත් එයාගෙ අම්මා අප්පා මතක් වෙනවා ඇති. අනිත් මනුස්සයාගෙ පැත්තෙන් ප්‍රශ්නයක් තේරුම් ගන්න බැරුව ඕගොල්ලො ඉස්සරහට කොහොම ජීවත් වෙයිද මන්දා" අවවාද අනුශාසනා තැටියක් වාදනය වීමට ආසන්න වග තේරුම් ගත් මියුරු අක්කා වහා එතනින් පිටව ගියාය. එහෙත් නැන්දා ඇයට දොස් පැවරීම නතර කළේ ඉන් බොහෝ වේලාවකට පසුය.

රොෂාන් අයියාගේ බලවත් පෙරැත්තයත්, නැන්දාගේ නොනවතින වාග් ප්‍රහාරත් හමුවේ පරාජය වූ ඇය ඊට පසු සතියේ කඩුගන්නාවේ පිහිටි ඔහුගේ මහ ගෙදරට යාමට එකඟ වී තිබිණ. ඒ ගැන වඩාත් සතුටට පත්ව සිටියේ නැන්දාය. එළඹෙන සිංහල අලුත් අවුරුද්දට අප සියළු දෙනාම නොවරදීම එහි එන බව ඇය රොෂාන් අයියාට දැනුම් දෙන්නට තරම් ඉක්මන් වූයේ එනිසාය. එහෙත් මියුරු අක්කා එහි ගොස් පැමිණි වහා මා සමඟ කියා සිටියේ යළි කිසි දිනක ඒ නිවසේ පස් පාගන්නට ඇයට අදහසක් නැති බවය.

ඉන්පසුව උදා වූ කාලය අතිශය සාමාකාමී විය.ඉදිරියේදී ඇති වීමට නියමිත දරුණු සුළු කුණාටුව ගැන නිවරදිව දැන සිටින කාලගුණ විද්‍යාඥයෙකු මෙන් සියල්ල දැන සිටි ගීත් අයියා ඒ කාලයේ නිවසින් පිටව ගියේ හදාරමින් සිටි පරිගණක පාඨමාලාවේ දේශන සහ ප්‍රායෝගික සැසි සඳහා පමණි. මගේ අධ්‍යාපන කටයුතු ගැන සෙවීමේ අඩුවක් නොකළ ඔහු වසරක් ඉක්ම යන්නට පෙර විෂය නිර්දේශයෙන් අඩකට වඩා ආවරණය කරන්නටද වග බලා ගත්තේය.

සියල්ල කණපිට ගැහෙන්නට පටන් ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ භෞතීය විද්‍යා අංශය සඳහා ගීත් අයියා තෝරාගත් බවට කැඳවීමේ ලිපිය ලද පසුය. A සාමාර්ථ තුනක් සමඟ විභාගය සමත් වූ ඔහු ඉංජිනේරුවෙකු වනතුරු බලාසිටි අප කිසිවෙකුට එය පහසුවෙන් දරාගත හැකි නොවීය..

"ඔයාගෙ රෑන්ක් එකත් එක්ක බැලුවම ඔයාව ඉංජිනියරින් සිලෙක්ට් නොවෙන්න හේතුවක් නෑනෙ මල්ලි. අපි යූජීසී එකට ඇපිල් එකක් දාලා බලමුද?" උද්ගතව ඇති ප්‍රශ්නය හමුවේ ඕනෑවටත් වඩා කැලඹුණ මියුරු අක්කා සමඟ රෑ බෝ වී ගෙදර ආ රොෂාන් අයියා ගීත් අයියාගේ හිත හදන්නට මෙන් උර මත අත තබා පැවසීය. එවැන්නක් කළ හැකි බව නොදැන සිටි මට රොෂාන් අයියාගේ වදන් මහමෙරක් තරම් විය.

"වැඩක් නෑ අයියා" කියමින් ගීත් අයියා නැඟිට්ටේ එතනින් පිටව යන්නටය.

"ඔයා මට නම්බර් එක විතරක් දෙන්නකො. මං ඒ වැඩේ බලන්නම්"

"එහෙම බැලුවා කියලා වැඩක් වෙන්නෑ අයියා. මං ඉල්ලුවෙ ෆිසිකල් සයන්ස් විතරයි. ෆර්ස්ට් චොයිස් කලම්බො නිසා ඒක එන්නැත්තෙ"
ඔහු කියූ දේ වටහාගත නොහැකිව මොහොතක් නිහඬව ගෙවී ගියේය. මාමාගේ කනේ පහර වලක්වන්නට මෙන් නැන්දා ගීත් අයියා අසලට කිට්ටු විය.

"A තුනක් අරන් ෆිසිකල් සයන්ස් යන්න තමුසෙගෙ මොළේ හොඳ නැද්ද ආ" මුලින්ම සටනට අවතීර්ණ වූයේ මියුරු අක්කාය. ගීත් අයියා කිසියම් මානසික ව්‍යාධියකින් පෙළෙන්නේදැයි දැනගන්නට මෙන් රොෂාන් අයියා බලා සිටියේ ඔහුගේ දෑස් දෙසය. මඳක් ඉහළට එසවුණ අත ගුලිකර ගත් මාමාගේ දෙනෙතේ වූ රත් පැහැය මහා විනාශයක පෙර නිමිති පළ කළේය.

"තාත්තා අමාරුවෙන් අත ගුලිකරගෙන ඉන්න ඕන්නෑ. ගහන්න හිතෙනවා නම් ගහන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා මං මේ කියන ටිකත් අහන් ඉන්න" කියූ ගීත් අයියා මාමා ඉදිරියටම ගොස් නැවතුණි. දෑස් අත්ලට මුවා කරගෙන තත්පර ගණනාවක්ම ගෙවී යද්දීත් ඒ අමිහිරි හඬ නෑසුණ නිසා දෑස් හැර බලන්නට මට හැකි විය.

"තාත්තෙ.........මං තාත්තා මගෙන් ඉල්ලපු හැමදේම දුන්නා. හොඳට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න ලොකු ඉස්කෝලෙකට යන්න කිව්වම මං හිතුවෙ ප්‍රයිමරියෙන් ලොකු රාහුලේට එන්න. තාත්තට යාළුවොත් එක්ක කිය කියා ආඩම්බර වෙන්න පුළුවන් තරමට මං ලකුණු ගත්තම තාත්තා මොකද කරේ. මෙච්චර ගේ මුල හොඳ ඉස්කෝලයක් තියෙද්දි මාව ගිහින් හොස්ටල් එකට දැම්මා. ඒ රාහුලේ හොඳ නැති නිසා නෙවෙයි. තාත්තට යාළුවොත් එක්ක පුතා රෝයල් කියලා පම්පෝරි ගහන්න. මං යන්න බෑ කියලා අඬද්දි ගහලා බැණලා මාව ගිහින් දැම්මා. අන්තිමට ටික ටික ලොකු වෙද්දි මං ඒකට හිත හදාගත්තා. ඕ ලෙවල් ලියන්න කලින් ඉදලම තාත්තා කිව්වෙ ඩී අටක් ගන්නෝනි කියලා. මං ඒකත් ගත්තා. නිකන් නෙවෙයි බඩගින්නෙ නිදිමරාගෙන පාඩම් කරලා. ඒත් තාත්තා මොකද්ද මට කරේ. මං ෆුට් බෝල් ටීම් එකේ කැප්ටන් කරන්න එපා කියලා ඉල්ලලා තාත්තා කෝච් ට ලියුමක් යැව්වා. තාත්තා දැනන් හිටියා කැප්ටන් වෙන්න හැම සුදුසුකමම තියෙද්දි මට ඒක නොලැබුණාම මං ෆුට් බෝල් අතාරිනවා කියලා. ඒකයි තාත්තා එහෙම කරේ. එහෙම කරලා තාත්තා බලපොරොත්තු වුණේ මං A තුනක් එක්ක විභාගෙ පාස් වෙන එකනෙ. මං ඒකත් කරා. ෆිසිකල් සයන්ස් යන්න A තුනක් ඕන්නෑ කියලා දැන දැනත් මං මහන්සි වේලා ඒ රිසල්ට් එක ගත්තෙ තාත්තව සතුටු කරන්න. දැන් මං අත්දෙක එකතු කරලා වැඳලා තාත්තගෙන් ඉල්ලන්නෙ දැන්වත් මට මගේ පාඩුවේ මට ඕනි පාරක යන්න ඉඩ දෙන්න කියලා. තාත්තට ඕනි මාව ඉංජිනියර් කෙනෙක් කරන්න වුණාට ඒකට හිර වෙනවට වඩා මං ආසා ෆිසික්ස් වලින් ඉහළට යන්න. තාත්තට මාව තේරුම් ගන්න පුළුවන්නම් විතරක් මට බණින්නැතුව ආශිර්වාද කරන්න. එහෙම බැරිනම් තාත්තා කැමති තීරණයක් ගත්තට මං තරහා නෑ. මට පුළුවන් තනියම සල්ලි හොයාගෙන මට ඕනි තැනට යන්න. මෙච්චර කල් මං වෙනුවෙන් කරපු කියපු හැමදේටම තාත්තට පිං" කියා මාමා සිතන්නටත් පෙර දෙපා අසලින් පහත් වූ ඔහු ඒ වේගයෙන්ම උඩු මහළට දිව ගියේ අපි තක්බීර් වී බලා සිටියදීය.

චණ්ඩ සුළි කුණාටුවකට පසු ඇතිවන නිසලතාව අපි අත් විඳිමින් සිටියෙමු. සුසුමකින් හෝ අනෙකාගේ සිතුවිලි දාමය බිඳ දමන්නට අකමැත්තෙන් මෙන් කවුරුත් සිටියේ වදන් අමතකවය. ඇහිපිය නොහෙලා උඩු මහළ වෙතම දෑස් රඳවාගෙන සිටි මාමාගේ නෙතු අතර සිරව සිටි වේදනාව හැඳ සිටි කමීසයේ කොලරය සිප ගත්තේය. හිස බිමට නැඹුරු කරගත් ඔහු එතනින් පිටව යද්දීම පිටි අත්ලින් කඳුළු පිසගත් නැන්දා ඒ පසුපසින් ගියාය. දරුණු කම්පනයකට පසු සිහි එළවාගත නොහැකි රෝගියෙකු මෙන් කොහේදෝ ඈතක නෙත් රඳවාගෙන සිටි මියුරු අක්කාව එක් අතකින් සිය උරහිසට වාරු කරගත් රොෂාන් අයියා අනෙක් අත මගේ හිස මත තැබීය.

"මට ඔයාලා කාටවත් අඬන්න එපා කියන්න පුළුවන්කමක් නෑ. ඒත් කලබල වෙලා නැති ප්‍රශ්න ඇති කරගන්නැතුව චුට්ටක් ඉවසීමෙන් වැඩ කරන්න බලමු සුදූ" කියද්දීම මියුරු අක්කා ඉකිබිඳ හඬමින් අයියාව වැළඳ ගත්තේය. මා එතනින් නැඟිට අලස ලෙස උඩුමහළට පැමිණියේ හිතින් ගීත් අයියාට බැණ බැණය. එක්වරම කාමරයෙන් පිටතට ආ ගීත් අයියා මා ඉදිරියෙන් සිට ගත්තේය.

"තාත්තා බණිනවද මට" මම බිම බලාගෙනම හිස දෙපසට සොලවා ඔහුට උවමනා පිළිතුර ලබා දුනිමි.

"මොකෝ මේ. තරහා වෙලාද? දුක හිතිලද" අසමින් නිකට එසවූ ඔහු දෑස් මුල පිස දමද්දී ඒ දෙතොල් අග රැඳි සිනහව මට මඟ නොහැරුණි.

"හැමෝම අඬවලා එයා තනියම හිනා වෙනවා" නෝක්කාඩුවකට එහා ගිය කෝපයක් මගේ වචන අතරේ ගැබ්ව ඇතිවග හඳුනාගත් ඔහු උරහිසින් අල්ලා කාමරයට යන්නට ගිය මා නතර කර ගත්තේය.

"එයාලා අද චුට්ටක් ඇඬුවට කමක් නෑ පොඩී. ඔයාටම මතක ඇතිනෙ පොඩි කාලෙ මං හොස්ටල් යන්න බෑ කියලා කොච්චර අඬනවද කියලා. එහෙමයි කියලා මං මෙච්චරකල් එයාලගෙ හිත් රිදෙව්වද?.... නෑනෙ. මං ගැන ඇති තරම් ආඩම්බර වෙන්න දේවල්, හිනාවෙන්න සතුටු වෙන්න දේවල් මං කරලා තියෙනවනෙ. ඉතින් අද චුට්ටක් ඇඬෙව්වා කියලා මට පව් පිරෙන එකක් නෑ"

"ඔයා මහ දුෂ්ඨයි. ආත්මාර්ථකාමියි" පුංචි කාලයේ රණ්ඩු සරුවල් වූ විට ඔහු මගේ කටින් අහන්නට අකමැතිම වචනයෙන් මම ඔහු රිදවන්නට උත්සහ කළෙමි. එහෙත් පුදුමයකට මෙන් ඔහුට කෝපවීමට අමතකව තිබිණ.

"වෙන්නැති. අනිත් මිනිස්සුන්ට ආදරේ කරන්න කලින් තමන් තමන්ට ආදරේ වෙන්නෝනි. මගේ තියරිය ඒකයි. අම්මට තාත්තට වගේම මටත් හීන තියෙනවා. මං ආසා පාරක යන්න දැන්වත් මට නිදහසක් නැතිනම් මොකද්ද මේ ජීවිතේ තේරුම. මෙච්චර කල් කළා වගේ මෙතනින් එහාටත් එයාලට ඕනි දේවල්ම කළොත් මටම මාව එපා වෙයි පොඩී.ඇයි කවුරුත් මාව තේරුම් ගන්නැත්තෙ”

"මං දන්නෑ. මට ඔයා කියන ඔය අපබ්‍රංශ තේරෙන්නෑ. මට තේරෙන එකම දේ අක්කයි ඔයයි දෙන්නම කරන්නෙ අම්මගෙයි තාත්තගෙයි හිත මුලින් සන්තෝසෙන් පුරවලා පස්සෙ කට්ටකින් ඇනලා බැලුමක හුළං අරිනවා වගේ ඔයාලම ඒක උදුරා ගන්නෙක"

"තේරෙන්නෑ නෙවෙයි. ඔයාලා කවුරුත් ඒක තේරුම් ගන්න උත්සහ කරන්නෑ" කියූ ඔහු මා එතන සිටියදීම කාමරයට ගොස් දඩං ගා දොර වසා ගත්තේය.

මේ කොටස් කම්මැලිද ? ඒත් ඉතින් මේ නෝනා මේ කියන විදිහට එයාගෙ සපත්තුවට බහින්නැතුවත් බෑනෙ
// සියල්ල හැරපියා විත් ජනශූන්‍ය නගරයක මා මගේ තුරුණුවිය ගෙවා දැමීම ගැන ඔබ වද වෙන තරමටම ළමාවියේ මතක අතරට මා ඔබව කැඳවාගෙන යනවාට ඔබ දක්වන ප්‍රතිරෝධයද මම හොඳාකාරවම දනිමි. ඒත් මගේ සපත්තුවට බැස පියවර දෙක තුනක් හෝ ආපස්සට ඇවිද නොගොස් ඔබට මා අද විඳින මානසික සුවය අනුමාන කරන්නටවත් නොහැක//

ඊළඟ මතක සක්මනින් හමුවෙමු

Friday, April 24, 2020

විල්තෙර අද්දර 5 - සිව්වෙනි මතක සක්මන



පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html



පසුදා උදෑසන මා අවදි වන විටත් ගීත් අයියා නිවසින් පිටව ගොස් තිබිණ. මේසය මත ඇල්වෙමින් තිබූ තේ කෝප්පය කවුරුන් විසින් කාමරයට ගෙන ආවාදැයි කාලයක් යනතුරුම මා දැන සිටියේ නැත. දවස මුලුල්ලේම මා මඟ හරිමින් සිටි නැන්දා පසුදා පහන් වනවිට බොහෝ සෙයින් යථා තත්වයට පත්ව සිටියාය. ගීත් අයියා නිකරුණේ මාමාගෙන් ගුටිකෑම ඇය මෙන්ම මමත් දරාගෙන සිටියේ අපහසුවෙන් වුවත් ඒ ගැන කියන්නට මුව විවර කරන්නට මට නොහැකි විය.

අවුරුදු නිවාඩුව තෙක්ම යළි නිවසට නොපැමිණි ගීත් අයියා වෙනදා මෙන් මා සමඟ විහිළු තහළු නොකිරීම ගැන මියුරු අක්කා විටින් විට විමසිලිමත් වුවද නැන්දාත් මාමාත් සිටියේ එවන් වෙනසක් නොදැනුණ පරිද්දෙනි. අප සමඟ ගමේ යාමට එකඟ නොවූ ගීත් අයියා එදින නිවසින් පිටව ගියේ පාපන්දු තරඟයකට සහභාගී වීමට උවමනා බව පවසමිනි. ඒ වනවිට පාසැල් යාම අරඹා තිබූ චූටි නංගී සහ චණ්ඩි මල්ලියා ඔහු එනතුරු මඟ බලාසිටි බව අම්මා පැවසූ මොහොත වනතුරුම මා සිටියේ ඔහු අප සමඟ ගමට නොපැමිණීම ගැන හිත යටින් සතුටු වෙමිනි.

"දැන් මොකද්ද තේරෙන්නෑ කියපු පාඩම" අවුරුදු නිවාඩුව අවසන්ව නැවත විශ්වවිද්‍යාලයට යාමට දෙදිනක් තබා මියුරු අක්කා ඇසූ ප්‍රශ්නය මට මුලින් නොවැටහිණ.

"මොන පාඩමද?"

"එහෙනං මල්ලි කිව්වෙ ඔයාට මොකද්ද ගණන් පාඩමක් තේරෙන්නෑ කිව්වා කියලා" මට ඒ ගැන සිහිපත් වූයේද එවෙලෙහිය. ගීත් අයියාත් මාත් අතර ඇති සීතල යුද්ධය මියුරු අක්කාගේ මැදිහත් වීමේන් සටන් විරාමයකට ගෙන එන්නට ඊට වඩා කදිම අවස්ථාවක් උදා නොවන බව වැටහුණු වහා බොරු අමනාපයක් මවා පෙන්වන්නට මට හැකිවිය.

"එයාට කිව්ව එක මොකටද ඔයාට කියලා ගියෙ. කියලා දෙන්ඩ බැරිනම් කෙලින්ම බෑ කිව්වනම් ඉවරනෙ"

"ඒ කොල්ලා ක්ලාස් එකකුත් කට් කරගෙන පාන්දර පහෙ බස් එකේ එල්ලිලා ගෙදර එද්දි ඔයා රෝන්දෙ ගහන්න ගියාම වැරැද්ද එයාගෙද ඔයාගෙද?" එතෙක් මියුරු අක්කා ඒ සිදුවීම ගැන කිසිවක් නොදන්නා බව සිතා සිටි මට කට උත්තර නැති වූයේ ඉන්පසුය.

"හරි හරි දැන් ඒක අමතක කරන්නකො. අම්මත් කිව්වා අම්මා මල්ලි කියලා ඉවර වෙනකල් අහන් ඉන්නැතුව කලබල වුණාගෙන් කාලෙකින් ගෙදර ආව මල්ලිට බත් කටක්වත් කන්න දෙන්න බැරි වුණා කියලා. තාත්තටත් පිස්සුනෙ, වුණේ මොකද්ද කියලා හරියට අහන් ඉන්නැතුව මල්ලිට ගහලා"

"වැරැද්ද කරේ මං. ෆිල්ම් එක බැලුවටත් වඩා ගීත් අයියා අහද්දි නොකියා හිටිය එක"

"දැන් ඒක අමතක කරලා දාන්න. ඔය බුම්මන් හිටියට එයත් ඕක මතක තියාගෙන නෑ. එදා යද්දි මාව දස අතේ පොරොන්දු කරගත්තා වැඩිපුර දවසක් ගෙදර නැවතිලා හරි ඔයාට පාඩම තේරෙනකල් කියලා දීලා යන්න කියලා"

ගීත් අයියා කෙරෙහි වූ අමනාපය මුලිනුපුටා දමන්නට ඇගේ වදන් ප්‍රමාණවත් වුවත් ගීත් අයියා ඉන්පසු මා සමඟ කතා කළේත් අවශ්‍යම අවස්ථා වලදී පමණි.

මියුරු අක්කා ඇගේ පෙම්වතා වූ රොෂාන් අයියාව මුල්වරට නිවසට කැඳවාගෙන ආවේ මා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසේ රැඳී සිටි අවධියේදීය. ඒ වනවිට සීමාවාසික වෛද්‍යවරියක් ලෙස රාගම රෝහලේ සේවය කළ මියුරු අක්කාගේ ජ්‍යෙෂ්ඨයෙකු වූ රොෂාන් අයියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයෙකු විය. දොස්තර බෑණා පිළිගන්නට මහ ඉහළින්ම සූදානම් වූ නැන්දාට ඊළඟට තිබුණේ බෑණාගේ නිවසියන් මුණ ගැසීමේ හදිස්සියය්.

"අපෙ පොඩි අක්කා මේ දවස්වල ප්‍රෙග්නන්ට්. ඩිලිවරි එකෙන් මාස දෙක තුනක් යනකල් අම්මලාට මෙහෙ එන්න බැරිවෙයි අම්මා" කියමින් රොෂාන් අයියා නිදහසට කරුණු ඉදිරිපත් කළද, උඩරට වංශවත් පවුලක අවසන් පුරුක වූ රොෂාන් අයියා තවමත් තමා ගැන මව්පියන්ට දන්වා නොමැති බව මියුරු අක්කා මා සමඟ පැවසුවේ දෑස් කඳුළින් පුරවාගෙනය.

"ඉතින් ඔයා රණ්ඩු වෙන්නැද්ද"

"රණ්ඩු වෙලා ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්නම් මං දවස ගාණෙම රණ්ඩු වෙනවා. මෙතන තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. මට ෂාන් ව අවිශ්වාස නෑ. ඒත් මැරි කරනකල් ඒ ගැන ලොකු විශ්වාසෙකුත් නෑ. ඔයා අම්මට එහෙම මේ ගැන මොකුත් කියන්න එපා"

"ගීත් අයියට" ගීත් අයියාට ඒ ගැන කීමට වඩා මට උවමනා වූයේ බරපතල යමක් කතා කරන්නට ඇති මුවාවෙන් හෝ ඔහු හා සුහද පිළිසඳරකට ඉඩ හදා ගන්නටය.

"ඇයි කේලම් ටික එයාගෙ කනේ තියන්නැතුව නින්ද යන්නැති ලෙඩේ තාම තියෙනවද?" අසමින් මියුරු අක්කා සිනාසුණේ බාලවිය සිහිපත් කරවමිනි.

"මල්ලිට කොහොමත් කියන්න එපා. ඊට පස්සෙ එයා ෂාන් එක්ක පැටලුනොත් ඒක ඊට වඩා ලෙඩක්. මං මේවා කොහොමහරි ෂාන් එක්කම කතා කරලා විසඳා ගන්නකල් ඔයා කාටවත් මේ ගැන අඟවන්නවත් එපා. මං අද ඔය ගෙදර එක්ක ආවෙත් අම්මා හැමදාම අහන ඒවට උත්තර දීලම එපා වෙලා. අද එයාගෙ කටින්ම අහගත්තනෙ. මේවා තවත් කල් ඇද ඇද ඉන්න බැරි බව ෂාන් වුණත් තේරුම් ගන්න ඇතිනෙ "

මියුරු අක්කාට පොරොන්දු වූ පරිදි මා රහස් රකිමින් සිටියද වයසින් හා අත්දැකීම් වලින් පරිණත නැන්දාත් මාමාත් එතරම් කාලයක් රවටන්නට නොහැකි විය.

" සිංහල අවුරුද්දට කලින් එයාට එයාගෙ ගෙදර අය එක්ක එන්න බැරිනම් වහාම ඔය සම්බන්දෙ නතර කරන්න ඕනි" මාමා සිය තීරණය දැනුම් දුන්නේ මියුරු අක්කාගේ උපාධි ප්‍රදානෝත්සවයට පසුදින උදෑසන ඇය නැවත සේවය සඳහා පිටව යාමට සූදානම් වන විටය. සිංහල අවුරුද්දට දෙමසකට කිට්ටු කාලයක් ඉතිරිව තිබුණත් මියුරු අක්කා නිවසින් පිටව ගියේ ඒ ගැන වැඩි විශ්වාසයක් නැතුවය.

"ෂාන් ගෙ අප්පච්චි මට කැමතියි" ඉන් සති දෙක තුනකට පසු දිනක දුරකථනයෙන් මා ඇමතූ මියුරු අක්කා ඒ පුවත දැනුම් දුන්නේ උඩ පැන පැන නැටිය හැකි තරම් සතුටකිනි.

අක්කලා දෙදෙනෙකුට පසුව පවුලේ බඩපිස්සා ලෙස ඉපිද තිබූ රොෂාන් අයියාගේ විවාහය ඔහුගේ පොඩි මාමාගේ එකම දියණිය සමඟ සිදුවිය යුතු බව දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ එකඟතාවයෙන් ඔවුන් කුඩා කලදීම තීරණය වී තිබූ බව ඔහු මියුරු අක්කාට පවසා තිබිණි. ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට එළඹෙන තුරු ඔහු සිය ප්‍රේම පුරාවෘත මාපියන් ඉදිරියට ගෙන නොයන්නට තීරණය කර තිබුණේ එවන් පසුබිමකය. එහෙත් මාමා සිය අවසන් තීන්දුව දැනුම් දුන් පසු තවදුරටත් ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් නිහඬව සිටීම සිය පෙම්වතිය අහිමි කරවිය හැකි බව වටහා ගත් ඔහු මුලින්ම ඒ ගැන දැනුම් දී තිබුණේ පියාටය. විසල් දේපළකට හිමිකම් කියන ඥාති දියණියට වඩා සිය පුතණුවන් විසින්ම තෝරාගත් දැන උගත් දොස්තරවරිය සිය ලේලිය කරගන්නට ඔහු එක හෙලාම කැමතිවීම පිටුපස දීර්ඝ කතන්දරයක් තිබෙන බව මියුරු අක්කා මා සමඟ කියා සිටියාය.

"හේතුව මොකක් වුණත් කමක් නෑ එක්කෙනෙක් හරි කැමති වෙච්ච එක ලොකු දෙයක්නෙ"

"ෂාන් කියන්නෙත් ඒකමයි. අප්පච්චි විතරක් නෙවෙයි එයාගෙ ලොකු අක්කත් කැමතියි. අක්කා මට දැන් කෝල් කරත්. පොඩි අක්කා පස්සෙ කාලෙක හරි කැමති වුණත් අම්මව නම් කවදාවක් කැමති කරගන්න බෑ කියලයි ෂාන් කියන්නෙ. එයාගෙ අම්මට ඕනි කියන්නෙ පවුලෙ දේපළ පිට යන්න නොදී තියාගන්නලු "

"එතකොට කොහොමද අම්මලව ගෙදර එක්ක එන්නෙ"

"ෂාන් ඒකට මොකක් හරි කරයිනෙ"

මියුරු අක්කා පැවසූ පරිදිම රොෂාන් අයියා ඒ සඳහා අපූරු වැඩ පිළිවෙළක් සකසා තිබිණි. එංගලන්තයේ පදිංචියට ගිය පොඩි අක්කාගේ කුඩා දියණිය බලා කියා ගැනීම වෙනුවෙන් අම්මා ඔවුන් සමඟ විදේශ ගත වූ බව පැවසූ රොෂාන් අයියා මාර්තු මාසයේ ඉරිදාවක් ඔහුගේ අප්පච්චීත් ලොකු අක්කා සහ ඇගේ සැමියාත් නිවසට කැඳවාගෙන එන්නට තෝරාගෙන තිබිණ. මාස ගණනාවකට පසු නැන්දා සැහැල්ලුවෙන් හුස්මක් ගන්නට පටන් ගත්තේ ඉන්පසුය. ඒත් ඒ සැහැල්ලු සුසුම විඳිය හැකි වූයේ රොෂාන් අයියාගේ පියා ඇත්ත ඇති සැටියෙන් නැන්දාටත් මාමාටත් පැහැදිලි කරන්නට තීරණය කරන තුරු පමණි.

මවගේ ආශිර්වාදය නොමැති තැනකට සිය එකම දියණිය ආවාහ කර දීමට හිත හදාගත නොහැකි වූ නැන්දා ඉන්පසු කාලය ගත කළේ විස්සෝපයෙනි. මාපිය සෙනෙහස ගැන අංශුමාත්‍රික හෝ හැඟීමක් නොමැතිව කන්‍යාරමයක හැදී වැඩී පසුව තවත් බොහෝ දුක් කම් කටොළු රැසකට මුහුණ දී සිටි නැන්දා ට අනුව මවගේ කැමැත්තට පිටින් සිදුවන ඒ විවාහය බරපතල වරදකි.

"මටත් පුතෙක් ඉද්දි මං කොහොමද දැන දැනම තවත් අම්මා කෙනෙකුට ගින්දරක් දෙන හැටි බලන් ඉන්නෙ" කියමින් විස්සෝප වූ නැන්දා රොෂාන් අයියාගේ අප්පච්චිගේ පැහැදිලි කිරීම් හමුවේ හෝ සිය තීරණය වෙනස් කරන්නට අකමැති විය. එහෙත් විවාහයකට මෙහා තැනකින් සිය පෙම් සබඳතාව කෙළවර කරන්නට අකමැති වූ මියුරු අක්කා අවසානයේ නැන්දාගේ අකමැත්ත නොසලකමින් විවාහ දිවියට ඇතුළු වූයේ ගීත් අයියා උසස් පෙළ විභාගය අවසන් කර සති කිහිපයකට පසුය.

නිතරම හැඬු කඳුළින් පසුවූ නැන්දා සනසවනු වස් ගීත් අයියා නිවසේ රැඳී සිටීම ගැන වැඩිපුරම සතුටු වන්නට ඇත්තේ මමය. මියුරු අක්කා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ දා සිටම වෛද්‍යවරියක් වීමේ නොබිඳුණ සිහිනයක ජීවත් වූ මා ඒ වනවිට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්නට පටන් ගත්තා පමණි. ගීත් අයියාගෙන් අසා දැනගන්නට තරම් අපැහැදිලි තැන් ඒ වනවිට ආවරණය කර තිබූ විෂය නිර්දේෂය තුළ නොතිබිණ. එහෙත් ඔහුව නිවසේ රඳවා ගැනීම නැන්දාගේ බිඳුණ සිත සුවපත් කරවන ඔසුවක් බව දැන සිටි මාමා දිනපතාම මෙන් "නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ නංගිගෙ පාඩම් වැඩ ගැන බලන්න පුතා" කියන්නට අමතක නොකළේය. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව ඔහු මට මුල සිට උගන්නන්නට පටන් ගත්තේ ඊට ප්‍රතිචාරයක් ලෙසය.

හිත එකතැනක තබාගෙන ඔහුගෙන් විෂය නිර්දේෂය ආවරණය කරගැනීමට තරම් සංවර නොවුණ යොවුන් සිත විටෙක මා සිහින ලෝකයක අතරමං කළේය. නැන්දගේ කුකී කටර් ආධාරයෙන් හැඩ වැඩ දමා කෝම්පිට්ටු සෑදූ කාලයේ මා අසල වුන් හීන්දෑරි කොලු පැටියා පිරිපුන් තරුණයෙකු බවට පත්කළ කාලය ඒ හා සමානවම මගේ සිතුවිලි වෙනස් කර තිබුණද ඔහුගෙන් එවන් වෙනසක් දකින්නට මට නොහැකි විය. අමතර පංති වලදී මුණ ගැහෙන බාලක පාසලේ මිතුරන් අසලදී නොදැනෙණ අපූර්ව හැඟීමක් ගීත් අයියා අසලදී උපදින බව දැන සිටියද ඔහුගෙන් ඉගෙනීම එතරම් අපහසු වෙතැයි මා මුලින් දැන සිටියේ නැත.

"සිහියෙන් නෙවෙයිද අහගෙන ඉන්නෙ" අසිහියෙන් ලබාදෙන පිළිතුරු නිවරදි නොවන විට කෝප ගන්නා ඔහු ඊළඟට කෑ ගසන්නේ මුළු ගෙදරටම ඇහෙන්නටය. කනෙන් ඇදීම්, ටොකු ඇනීම් වලින් අඩුවක් නොවුණ ඔහුගේ ඉගැන්වීම ගෝරනාඩුවකින් කෙළවර නොවූයේ එහෙමත් දවසකය.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු.

Thursday, April 23, 2020

විල්තෙර අද්දර 4 - තුන්වෙනි මතක සක්මන



පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html



විශිෂ්ඨ සම්මාන අටක් සමඟින් සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ ගීත් අයියා ගණිත අංශයෙන් උසස් පෙළ කරන්නට පටන් ගත් පසු නිවසත් සමඟ තිබූ ගණුදෙනුව තවදුරටත් අඩු විය. මසකට වරක් නොවරදීම ගෙදර ඒම පුරුද්දක් කරගෙන සිටි මියුරු අක්කා විභාග වැඩ කටයුතුත් සමඟ කාර්යබහුල බව කියන්නට පටන් ගත්තේද ඒ කාලයේදීමය. ඒ දෙදෙනාගේම හැසිරීම් වලින් රිදවා ගන්නා හිත මාමාගේ වැරැද්දක් පිටින් යවමින් නැන්දා සිය වේදනාව පිට කරද්දී, ළමාවියේ සොඳුරු මතක අතරේ සැරි සරමින් උඩු මහළේ රජයන පාළුව මඟාරින්නට මම උත්සහ කළෙමි. පවුලේ වැය පක්ෂය සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ ඒ කාලයේ මාමා ගේ දවසින් වැඩිම කාලයක් වෙන්ව තිබුණේ ව්‍යාපාරික කටයුතු වලටය. ජනප්‍රිය වෙමින් තිබු චූං පාන් සංස්කෘතිය සිය ව්‍යාපාරය බිලිගන්නවාට අකමැති වූ මාමා කල්බදු ක්‍රමයට මිලට ගත් ලොරි රථයක් ඒ සඳහා යෙදවීමෙන් ඔහු පෙරටත් වඩා අවිවේකී විය. රාත්‍රී ආහාරය සඳහා ගෙට ගොඩවන ඔහු ඉන්පසු පොත් පත් පෙරලාගෙන ගණන් හිලව් ලියන්නට පටන් ගන්නේ ගීත් අයියාට බැණ බැණය. මා කෙතරම් පෙරැත්ත කළත් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි මගේ උදව් ප්‍රතික්ෂේප කරනා ඔහු විටෙක නැන්දාගේ සහය ලබා ගත්තද එවන් වූ බොහෝ දිනවල ඒ උදව්ව අවසන් වන්නේ උස්ව නැඟෙන වචන හුවමාරුවකිනි.

සතුටින් සිනහවෙන් පිරී ඉතිරුණු කැදැල්ලෙහි සෙනෙහස තව දුරටත් එලෙසින්ම විඳින්නට ඇති උවමනාව ගීත් අයියාව ගෙදර ගෙන්වා ගැනීමේ සැලැස්මක් ඇඳ පෙන්නුවේය. සතියකට දෙතුන් වරක් නැන්දාට දුරකථන ඇමතුමක් දී අප සියළු දෙනාගේ සුවදුක් විමසීම වාසනාවකට මෙන් ඔහුට අමතකව නොතිබිණ. දුරකථනය අසලම රැඳෙමින් ගත කළ දෙදිනකට පසු ඔහුගේ හඬ රැහැන් දිගේ ඇදී ආ මොහොතෙහි රිසිවරය එසවීමේ භාග්‍ය මා උදා කරගත්තේ එලෙසය. එකොළහ වසරේ පළමු වාර විභාගය ඇරඹීමට දෙසතියක් තිබියදී කිසිවක්ම නොතේරෙණ ගණන් පාඩමක් ගැන මා ගොතාගත් බොරුව ඔහුට ඒත්තු ගැන්වීම තරමක් අපහසු වුවත් පරාජය පිළිගෙන නිහඬ වන්නට මට නොහැකි විය.

"අවුරුදු නිවාඩුවට ආවම මං කියා දෙන්නම්. මේ වතාවට ඒ පාඩම අතෑරලා ප්‍රශ්න තෝරාගන්න ඔයාට පුළුවන්නෙ" කියමින් මා අමාරුවෙන් මවා පෙන්නු ප්‍රශ්නයට සරල විසඳුමක් දුන් ඔහු නැන්දාට කතා නොකරම ඇමතුම විසන්ධි කළේය. ඔහුට මෙන් ඇඳ පුටු මේස වලට කකුලේ හයිය පෙන්නමින් කෝපය පිට කරන්නට හැකියාවක් තිබුණි නම් මා ඒ ගැන දෙවරක් නොසිතන්නට තිබුණ ඉඩකඩ වැඩිය.

සෙනසුරාදාවක් වූ පසුදා උදෑසන මාමා මා ගණිත පංතිය අසලින් බස්සවන විටත් ගීත් අයියා කෙරෙහි වූ අමනාපයේ සුන්බුන් ඉතිරිව තිබිණ. පෞද්ගලික හේතුවක් නිසා එදින පංති නොපැවෙත්වෙන බවට ගේට්ටුවේ අලවා තිබූ දැන්වීම මාමා පිටව යන්නට පෙර ඇස නොගැටෙන්නට තරම් එදා හිත තුළ වූ නොසන්සුන්තාව ප්‍රබල විය. ආපසු හැරී නිවෙස් වලට යාමට වැඩි විකල්පයක් නොවූයෙන් රෝහල ඉදිරිපිට මැදගොඩ පෙදෙසෙහි වූ ගුරුවරියගේ නිවසේ සිට බෝධිය අසල බස් නැවතුම වෙත යෙහෙළියන් තිදෙනාත් සමඟ මා ඇවිද ආවේ අලසවය.

"අද ක්ලාසුත් නැති එකේ කට්ටියම එකතු වෙලා ෆිල්ම් එක බලමුද" උයන්වත්ත ක්‍රීඩාංගණයට එපිටින් වූ නිව් සිනමා ශාලාවේ සරෝජා චිත්‍රපටය විකාශනය වෙමින් තිබෙන බවට වූ දැන්වීම හොඳින් දර්ශනය වූ බෝධිය ඉදිරියේදී යෝජනාව ආවේ තනූජාගෙනි. නිවසේ එකම දියණිය වීම හේතුවෙන් මව්පියන්ගේ දහසක් නීතී රීති මැද හැදී වැඩුණ ඇය නිදහසක් ලද සැණින් ඉන් උපරිම ඵල නෙලාගන්නට කවදත් දක්ෂය. කමිල් පෙදෙසේ බෝඩිමක නතරව උන් ඉෂාරාත් තිලිණිත් ඒ යෝජනාවට එක පයින් කැමති වෙද්දී තනිව බසයක නැඟ නිවසට යාමේ උවමනාවක් මටද නොදැනිණ. ඊටත් වඩා ගීත් අයියාගේ නොසලකා හැරීම හමුවේ බිඳුණ සිත සුවපත් කරගැනීමේ ක්‍රමයක අවශ්‍යතාව මා ඊට එකඟ කරවන්නට ඇත.

පංතිය ඇරී දහවල නිවසට යාමට උවමනා බස් ගාස්තුවට අමතරව කඩචෝරු කෑම සඳහා ප්‍රමාණවත් මුදලක් මා අත තබා යාමේ සිරිත එදිනද මාමාට අමතකව නොතිබුණේ අවාසනාවටය. බස් ගාස්තුව පමණක් ළඟ තබාගෙන සිව් දෙනාම සන්තකයේ වූ මුදල් එකතු කරගත් විට ටිකට් පත් මිළදී ගැනීමේ ගැටළුවක් උද්ගත නොවූයෙන් දහය හමාර වනවිට අප සිටියේ සිනමා ශාලාවේ ඉදිරිපෙළ අසුන් හතරකය. දොළහයි හතළිහට පමණ සිනමා ශාලාවෙන් පිටතට එනවිට විත්‍රපටය නැරඹීමටත් වඩා සතුටක් මම හිත යටින් විඳිමින් සිටියෙමි. වෙනදාට පන්ති ඇරී එන වෙලාවටම මෙන් මා ගේට්ටුවෙන් ඇතුළු වෙද්දීම පිටුපසින් ආ ත්‍රිරෝද රථයක් මා පසුකර ගොස් පෝටිකෝව යට නතර කළේය. මිදුලේ නතරව බලා සිටි මා නුදුටු පරිදි ඉන් බැසගත් ගීත් අයියා ගෙට ගොඩවූයේ කේන්තියෙනි. හදිස්සියේම ඔහු නිවසට පැමිණීමටත් වඩා එන අතරමඟදී ආවේශ වූ යක්ෂයා ගැන කල්පනා කරමින් මා දොරකඩින් ඇතුළු වද්දීම ඔහු උළුවස්ස දෙපසින් දෑත් තබා මගේ ගමන අවහිර කළේය.

"මොකද මේ" නුරුස්නා හඬින් එසේ කියමින් ඔහුගේ අත යටින් රිංගා ගෙට යන්නට මට උවමනා වූයේ ඒ වනවිටත් හිතට වද දෙමින් තිබූ වරදකාරී හැඟීමට බියෙනි.

"කොහෙද ගියෙ කියනවා"

"ක්ලාස්"

"මට ඇත්ත කියනවා" කියා උරුක් කරගත් දබරැඟිල්ල මා දෙසට යොමුකළ ඔහු දත්මිටි කමින් මා දෙස බලා සිටි ඒ මොහොතේ ඇත්ත කියන්නට දිව නමාගන්නට නොහැකි වීම ගැන පසුතැවිල්ල අදටද මගේ හිතට වද දෙන අවස්ථා නැතුවා නොවේ.

"ඇත්ත තමයි"

"මං මේ බොහොම හොඳින් අහන්නෙ. තමුසෙ මට ඇත්ත කියනවද නැද්ද" අසමින් රිදෙන තරම් තදින් උරහිසින් ඇල්ලූ ඔහු මා බිත්තියට තද කළේය. නැන්දාට ඒ හඬ ඇසෙන්නට ඇත්තේ එවිටය.

"මොකද පුතේ මේ" කියාගෙන සාලයට කර පෙවූ නැන්දා අප අසලට එනවිට ගීත් අයියාගේ ග්‍රහණය ලිහිල් විය. ඒ අවසරයෙන් ගෙතුළට පැන ගන්නට ගිය මගේ කනක් ඊළඟට ඔහුගේ අතැඟිලි වලට නවාතැන් සැපයීය.'

"මොකද පුතා ඔය කෙල්ලගෙ කන ගලවන්න හදන්නෙ. ආයෙත් පොඩි කාලෙ වගේ දෙන්නත් එක්ක රණ්ඩු අල්ලන්න තියාගත්තද"

නැන්දාගේ වදන් නෑහුන ගාණට මගේ කන අසලටම පහත් වූ ඔහු "කන පලාගන්නැතුව ඇත්ත කියනවා" කියමින් මා නිදහස් කළේය.

"ඇත්ත තමයි කිව්වෙ" කන අතගාමින්ම නැන්දාට තුරුළු වූ පසු තව දුරටත් ඔහුට බිය වීමේ අවශ්‍යතාවයක් නොවූයෙන් මගේ හඬෙහි පෙර තිබූ චංචල බව නොතිබෙන්නට ඇත. මවගේ බැල්ම ඉදිරියේ අපහසුවෙන් සන්සුන් කරගත් යක්ෂයා යළි අවදි වන්නට ඇත්තේ එහෙයිනි.

"අම්මවත් අහන්නකො දූ පොඩ්ඩගෙන් කොහෙද මෙච්චර වෙලා ගියෙ කියලා"

මාරුවෙන් මාරුවට ගීත් අයියාත් මාත් දෙස වට කීපයක් දෑස් ගෙන ගිය නැන්දා "ඇයි පුතේ මං ඔයාට කිව්වෙ නංගි තාත්තත් එක්ක ක්ලාස් ගියා කියලා. ඔයා තේ එකක් බොන්නවත් ඉන්නැතුව ආව ගමන් ටවුමට ගියාම මං හිතුවෙ ඔයා නංගි එක්ක එන්න ගියා කියලා" එලොව පොල් එක දෙක පෙනෙන්නට පටන් ගනිද්දීම ගීත් අයියා දෙසට හැරවුණ දෑසෙහි වූ ආයාචනය ඔහුට මඟ හැරෙන්නට හැටියක් නැත. ඒත් දිගින් දිගටම බොරු කීමෙන් අවුස්සා ගත් යක්ෂයා ඉහ මුදුනේ සිට දත නියවමින් සිටි ඒ මොහොතේ ඉස්සරම ඉස්සර මෙන් බොරු කියා මා බේරා ගැනීමේ කලාව ඔහුට අමතක වන්නට ඇත.

"තාත්තා පංතියට දාලා ආවට අද පංති තිබිලා නෑ"

"එතකොට මෙච්චර වෙලා" හිස මත වූ සුරත පහතට නොගෙනම නැන්දා මුහුණට එබෙන විටත් කළ හපන්කමේ ආදීනව මම විඳිමින් සිටියෙමි.

"ෆිල්ම් එකක් බලලා" ගීත් අයියාගේ මුවින් “ෆි”යන්න කියවෙද්දීම පියවුණ දෑසට නැන්දාගේ දෙනෙතෙහි වූ කෝපයත් වේදනාවත් මඟ හැරුණි. එහෙත් ඒ වනවිටත් කඳුළින් තෙත් වෙමින් තිබූ කම්මුලෙහි රැඳි සුරත එහි තීව්‍රරතාවය මොනවට පසක් කළේය. "අම්මා" කියමින් ගීත් අයියා අප අසලට එද්දීම උඩු මහළට දුව ආ මා දොර වසද්දී "ගහේ කටු උල් කරන්න ඕන්නෑ කියනවනෙ" කියමින් නැන්දා මට බැණ වදින හඬ ඇසුණේ යන්තමටය.

කන්‍යාරාමයක දැඩි විනය නීති රීති මැද්දේ ක්‍රමානුකූලව හැඩ ගැස්සවූ දිවියකට හිමිකම් කියූ නැන්දාගේ කාරුණික හදවත යට නිදා සිටින සර්පයා අවදි වන්නේ එහෙමත් වෙලාවකය. සිය දියණියට තරමටම අක්කාටත් මටත් ආදරය සෙනෙහස තිලිණ කළ ඇ‍ය අක්කා සිය යොවුන් විය නොගැලපෙන ප්‍රේමයක පටලා ගැනීම වෙනුවෙන් දුක් ඉසිලූ හැටි දස හැවිරිදි දැරියක්ව සිටි අවධියේදී පවා මට මඟ නොහැරුණි. මාත් සමඟ නොදන්වා නිවසට යාම වෙනුවෙන් ඔවුන් අක්කාට දුන් දඬුවම සැර වැඩි බවත්, වැඩිහිටියන් ලෙස යොවුන් දියණියකගේ කෝණයෙන් ඒ දෙස බලන්නට බැරිවීම ඇගේ දිවිය විනාශ මුඛයට තල්ලු කරන්නට හේතු වූ බවත් පවසමින් විස්සෝප වූ ඇය මා කළ ක්‍රියාව අනුමත නොකිරීම සාධාරණය. ගීත් අයියාගේ නසරානි වැඩ වලට උල්පන්දම් දීම වෙනුවෙන් කුඩා කල ඉදහිට ඇගේ ටොකු සංග්‍රහයෙන් දෙක තුනක් විඳ ඇතත් ඇය ඊට පෙර එකම අවස්ථාවක හෝ මට අත ඔසවා නොතිබිණ. මුල් වරට ඇගෙන් ලද අතුල් පහරටත් වඩා ඒ අවස්ථාවේ ගත් මෝඩ තීරණය ගැන පසුතැවිල්ල විසින් ජනිත කළ වේදනාව ප්‍රබල විය.

ඊටත් වඩා මට දරාගත නොහැකි වූයේ තමා සියල්ල දන්නා බව මගෙන් වසන් කළ ගීත් අයියා නැන්දාට කේලාම් කීමය. නොනවත්වාම පල්ලම් බසින කඳුළු කැට කොට්ටයට බාර කරමින් ගෙවී ගිය විනාඩි හත අටකට පසු වරකට පඩි දෙක බැගින් නඟිමින් ගීත් අයියා උඩු මහළට දුව එන හඬ ඇසිණ. අපේ කාමරයේ දොර අසල නතර වූ පා හඬ මගේ කෝපය අවුස්සන්නක් විය. දෙවරක් දොරට තට්ටු කර "පොඩී පොඩී" කියමින් හඬ නැඟූ ඔහු වේගයෙන් දොර අගුල කරකැවීය. තවත් වරක් "පොඩී පොඩී" කියමින් දොරට තඩි බෑ ඔහු ආ වේගෙයෙන්ම පහත මාලයට බැස යද්දී අත්විඳි කුරිරු සතුට සිනමා ශාලාවෙන් පිටතට එන මොහොතේ විඳි සතුට නිල්වලා ගඟෙහි පාවෙන පොල් කෙන්දක් වග තහවුරු කළේය.

දිවා ආහාරය වෙනුවෙන් නිවසට පැමිණීමේ පුරුද්දක් නැති මාමා යළි එන්නේ රාත්‍රියටය. ඒ වනවිටත් නැන්දාගේ කෝපය පහව නොගියහොත් උද්ගත වන තත්වයට මුහුණ දෙන හැටියක් කල්පනා කරමින් සිටි මට නින්ද යන්නට ඇත. කම්මුල මත එහෙ මෙහෙ වන උණුසුම දෑස් හරින්නට බල කළද හැඬීමෙන් සහ අවේලාවේ නිදාගැනීමෙන් තඩිස්සි වූ දෑසට කාමරය තුළ වූ විදුලි ආලෝකය දරාගැනීම අපහසු විය. අත්ලින් මගේ දෑස් ආවරණ කළ ගීත් අයියා "දැන් ඔක්කොම හරි. නැඟිටලා ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකො කෑම කන්න. දැන් තාත්තත් එනවා ඇති" කියද්දීම දහවල පෙනී නොපෙනී ගිය තරු එක දෙක සිවිලිමෙන් මතු වෙන්නට විය. එක්වරම අනෙක්පස හැරී කොට්ටය බදාගත් මගේ හිස මතට ඇදී ආ ගීත් අයියාගේ සුරත පසෙකට තල්ලු කළ මම ඇඳ අයිනට වුණෙමි. ඔහු කාමරයට පැමිණියේ කෙසේදැයි සිතන්නට මට සිහිපත් වූයේ මගේ හැසිරීම අභියස වචන නාස්ති කරගන්නට අකමැති වූ ඔහු නිහඬවම දොර අගුල විවෘත කර කාමරයෙන් පිටතට ගිය පසුය.

දහවල සිදුවීමත්, තවත් සුළු මොහොතකින් මාමා නිවසට පැමිණි පසු උද්ගත වීමට නියමිත තත්වයත් අලුතින් කඳුළු උපද්දවමින් සිටියදී නැන්දාගේ සුරතේ උණුසුම මා සොයා විත් තිබිණ.

"නැඟිටලා වොෂ් දාං අපි යමු පහළට. උදේ කෑවට පස්සෙ තේ එකක්වත් බීලා නැතුව ඔහොම ඉදලා දැන් කලන්තයක්වත් හැදෙනවා" කියමින් ඈ මගේ හිස පිරිමැද්දේ දහවල සිදුවූ කිසිවක් මතකයේ නැති අයුරිනි. හඬමින්ම ඇගේ උකුල මත හිස සතපවන්නට ඒ වදන් වල වූ සුපුරුදු සෙනෙහස ප්‍රමාණවත් විය.

"නැන්දට ඒ වෙලාවෙ චුට්ටක් තරහා ගියාට නැන්දා ඔයත් එක්ක තරහා වෙන්න්නෑනෙ පුතේ. කෝ නැඟිටින්නකො ඉතින් දැන්. දන්නවනෙ මාමා ආවොත් වෙන වැඩේ" කියමින් ඈ මගේ හිස උකුලෙන් මෑත් කරන්නට උත්සහ කළද බඳ වටා දෑතම යවමින් තව තවත් ඇගේ උණුසුම සොයාගිය මට අවසානයේදී හිස ඔසවන්නට සිදු වූයේ දොර ළඟින් උස්ව නැගි මාමාගේ හඬටය.

"මොකද මෙතන වෙන්නෙ කියනවද"

නැන්දාගේ උකුලෙන් මෑත් කරගත් හිස කෙලින් කර ඇඳ වියලට හේත්තු වෙද්දී දොරකඩට වී අප දෙස බලාසිටි ගීත් අයියා අපිට නෑසෙන තරම් සිහින් හඬකින් මාමාට කරුණු පැහැදිලි කරමින් සිටියේය.

"මං මාමව ශේප් කරගන්නකල් දුවලා ගිහින් ඇඟ හෝදන් එන්නකො" කියා කඳුළු වලටම ඇලී කම්මුලෙහි දැවටුණ කෙහෙ රැල්ලක් පසුපසට කර නැන්දා ඇඳෙන් නැගිටිද්දීම මාමාගේ සුරත "චටාස්" ගා ගීත් අයියාගේ කම්මුල මත නැවතිණි. දෝතින්ම දෑස් වසාගත් මට නැන්දාත් මාමාත් වේගයෙන් පඩිපෙළ බැස යන හඬත් "දඩෝං" ගා ගීත් අයියාගේ කාමරයේ දොර වැසුණ හඬත් ඇසෙන තුරුම දෙපා සොලවාගත නොහැකි විය. පහත මාලයෙන් ඇසෙන නැන්දාගේ ඉකිබිඳුම් හඬ දෙපා සොලවන්නට ශක්තියක් වුවද මාමාට මුහුණ දීමේ අපහසුව මා කාමරයටම කොටු කළේය. වරක් නොව දෙතුන් වරක් සිතා බලා හෝ ප්‍රතික්ෂේප කරන්නට තිබූ තනූජාගේ යෝජනාවට වැඩිදුර නොහිතා එකඟ වීමටත් වඩා ගීත් අයියාට ඇත්ත නොකීමේ වේදනාව නැවතත් කඳුළු උල්පත් පාදන්නට පටන්ගෙන තිබිණ. සති ගණනාවකට පසු ගීත් අයියා රැගෙන ආ සතුට දවසම වෙහෙසව ගෙට ගොඩ වූ මාමාත් සමඟ බෙදාගත හැකිව තිබූ සොඳුරු රාත්‍රිය කඳුළින් දියකර හරින්නට සිදුවීම අදටත් මගේ හිත රිදවන මතකයන් අතර මුලටම එන්නේ තවමත් ඒ පසුතැවිල්ල මා හැරයන්නට අකමැති නිසා වන්නට ඇත.

මතු සම්බන්ධයි!

Wednesday, April 22, 2020

විල්තෙර අද්දර 3 - දෙවෙනි මතක සක්මන




පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html



කුරුළු පිහාට්ටකටත් වඩා සුසිනිඳු චූටි මල්ලියාගේ සිඟිති දෙපා කම්මුල් වල අතුල්ලාගෙන එදා මාමා සමඟ නිවසින් පිටව ආවත් සති ගණනාවක්ම ඉක්ම යනතුරු ඒ චණ්ඩි මූණ හිතින් අමතක කිරීමට මට නොහැකි විය. ඒත් ඒ බව නැන්දාට පවසා ගමට යන අවස්ථාව උදා කරගන්නට තරම් එඩිතර හිතක් එදා මට නොතිබීම ගැන පසුතැවිල්ල හිත කොනිති ගැසුවේ පසු කාලයකය. අක්කා උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමේ වරම් අහිමි කරගනිමින් හොර රහසින්ම විවාහ දිවියකට ඇතුළු වූ බව දැනගන්නට මියුරු අක්කාගේ විභාග ප්‍රතිඵල එන තුරුම මට නොහැකි වූයේ එනිසාය. ඕනෑවටත් වඩා හිතුවක්කාර වෙමින් අක්කා ඇගේ ඉරණම වෙනස් කරගැනීම ගැන විටෙක විස්සෝප වූ නැන්දා තව විටෙක ඒ ගැන කියමින් අම්මාට දෙස් දෙවොල් තැබුවද අද මට සිතෙන්නේ අප කාගේත් ඉරණම මේ මේ ලෙසින් විසඳෙන්නට පෙර කළ කුසල් අකුසලයන් දායක වන්නට ඇති බවය.

මියුරු අක්කා රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වනවිට මා සිටියේ හතේ පංතියේය. ඒ වනවිට නවවන ශ්‍රේණියේ ඉගෙනගත් ගීත් අයියා කොළඹ රාජකීය විද්‍යාලයේ නේවාසික සිසුවෙකු වී සිටීම ගැන නැන්දාත් මාමාත් පමණක් නොව ගීත් අයියා හා මියුරු අක්කාත් දැරූ අදහස් එකිනෙකට පටහැනි විය. ගීත් අයියාට අනුව නම් හූවක දුරින් පිහිටි මාතර රාහුලය පසුකර ඒ දුර යන්නට ඔහුට සිදුවූයේ දිස්ත්‍රික් ප්‍රථමයා ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත්වීමේ වරදට දඬුවමක් ලෙසය. ව්‍යාපාරික කටයුතු වලින් යම් ස්ථාවරත්වයකට පැමිණ සිටි පාලිත මාමා ට මධුවිතෙන් සප්පායම් වූ විටෙක නගරයේ ලොකු ලොකු කඩ සාප්පු හිමියන් සමඟ දරුවන්ගේ පුරාජේරු දොඩවන්නට ඇති උවමනාව ගීත් අයියා නිවසින් දුරස් කළ බව මියුරු අක්කා මන්තරයක් මෙන් කියවමින් සිටියේ ගීත් අයියාගේ පාසල මාරුකළ අළුතය.

ඒ කාලයේ සති තුන හතරකට සැරයක් සිකුරාදා රාත්‍රියේ නිවසට කැදවාගෙන එන ඔහු අඩි හප්පා කෑ කෝ ගසමින් යළිත් නේවාසිකාගාරයට යා නොහැකි බව කියමින් හර්තාල් කරන්නට පටන් ගන්නේ ඉරිදා උදෑසනටය. නැන්දාගේ කඳුළු මැදින්ම මාමා ලවා කන අතගාවා ගත් පසුව නිහඬවම සිය සූට්කේසය එක් අතකින් ගෙන තරප්පු පෙළ බසින ගීත් අයියා මාමාට පෙර නිවසින් එළියට බසින්නේ අපිට සමුදීමක් නැතුවය. එවිට ගීත් අයියා පසුපස දිව යන නැන්දා ඔහුව වැළඳගෙන හිස සිප සැනසිලි බස් තෙපලද්දී මියුරු අක්කාත් මමත් ඒ දෙපසින් සිටගන්නේ පෙර කතිකා කරගත් නාට්‍යක් රඟ දක්වන්නට මෙනි. අම්මගෙ සෙනෙහස ළඟින් හිත දවන කෝපයත් වේදනාවත් රඳවන්නට ඇති තරම් කල් ලබාදෙන මාමා ගීත් අයියාගේ සූට් කේසය වමතින් ගෙන දකුණතින් ඔහුව ඔසවාගෙන නැන්දගේ කොපුලක් සිපගන්නට ඉඩ හැර ඉන්පසුව ඔහුව බිමින් තබා ගරාජය දෙසට ඇවිද යන්නේ "තාත්තා රෑ වෙන්න කලින් ආපහු එන්නත් ඕනි" කියාගෙනය.

මියුරු අක්කා මාමාට බැණ වැදීම අරඹන්නේ ඔහුගේ මෝටර් රථය ගේට්ටුව අද්දරින් නොපෙනී යද්දීමය. සැතපුම් දස දහස් ගණනක් ඈතින් ඇති ග්‍රහ තාරකා වලට අපේ ජීවිත පාලනය කිරීමේ බලය ඇති බව ඕනෑවටත් වඩා විශ්වාස කරනා නැන්දාට අනුව ගීත් අයියා නිවසින් ඈත් කර තබන්නට ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ නක්ෂස්ත්‍රකරුවෙකුගෙනි. ඔහුගේ හත්මුතු පරම්පරාවටම දොස් කියන්නට පසුබට නොවූ මියුරු අක්කා "අපරාදෙ මල්ලි ශිෂ්‍යත්වෙ පාස් වුණේ" කියන්නේ මට පමණක් ඇසෙන්නටය.

"අපිට මල්ලිව ආපහු රාහුලේට දාන්න බැරිද තාත්තෙ" හඬා වැලපී මාමාගෙන් ගුටි කා නේවාසිකාගාරයට යන මලණුවන් ගැන සොවින් පසුවූ එදවස මාසෙකට වරක්වත් මියුරු අක්කා අසන්නට පුරුදුව සිටි පැනයට මාමාගෙන් පිළිතුරු ලැබී ඇත්තේ එකම එක් වරකි.

"ගෙදර ඉදලා ඉස්කෝලෙ යන්ඩ ගියාම කොල්ලො නරක් වෙනවා. දැන් ඔය හොස්ටල් හිටිය මාස තුන හතරට බලන්නකො මල්ලි වෙනස් වෙලා තියෙන තරමක්. අම්මගෙ තුරුල්ලෙ ඉදන් ඉස්කෝලෙ ගිහින් අන්තිමට යට ඇඳුමක්වත් හෝදාගන්න පුරුද්දක් නැතුව ගියොත් කවදාහරි දවසක මගෙ කොල්ලටත් වෙන්නෙ මට වගේ උදේ ඉදන් රෑ වෙනකල් ගෑණිගෙන් බැණුම් අහන්න. මොන තාත්තද පුතේ කැමති තමන්ගෙ දරුවොත් තමන් විඳපු දුක් විදිනවා බලන්න" හිනාව හිරකරගෙන අන්තිම ටික කියූ මාමා කෑම මේසයේ පුටුව පස්සට කර නැඟිට ගියේ නැන්දාගේ නෙතඟ රැඳි කෝපය ගණන් නොගෙනය.

"අපොයි ඔව්. හැදිලා තියෙන පිළිවෙලට කොහු පාර නොකා බැණුම් අහලා ඉන්න එක ගැන හරිනම් සතුටු වෙන්නෝනි. ඔය පේන්නැද්ද මේසෙන් නැඟිටලා යද්දි පුටුව ඇතුළට දාන්ඩ තාමවත් පුරුද්දක් නෑ, සපත්තු දෙක ගැලව්වම ඒ දෙක දෙතැනක, මේස් හොයන්න බල්ලො දාන්ඩ ඕනි" කියමින් නැන්දා වැරදි ලැයිස්තුව පෙළ ගස්සවද්දී මියුරු අක්කාත් මමත් හිටියේ හිනාව හිරකරගෙනය.

කෙසේ හෝ අවසානයේදී මියුරු අක්කා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසු නැන්දාත් මාමාත් සමඟ නිවසේ තනිවන්නට සිදුවූයේ මටය. සිය විනෝදාංශය මුදල් ඉපයීම වෙනුවෙන් යෙදවූ නැන්දා දවසින් වැඩි කාලයක් ගත කළේ මුළුතැන්ගෙට යාබදව වෙනම ඉදිකර තිබූ ඇගේ කේක් කාමරය තුළය. අප එය කේක් කාමරය ලෙසින් හඳුන්වන්නට පුරුදුව සිටියත් කේක් වලටත් වඩා නැන්දා අතින් පිළියල වූයේ කුකීස් හා මෆින් වර්ගය. රාහුල සුජාතා විදුහල් සීමාව ආසන්නයේ මාමා විසින් පවත්වාගෙන ගිය “මියුරු බේක් හවුස්” හි වෙනම කොටසක් නැන්දාගේ කේක් හා කුකීස් වෙනුවෙන් වෙන්ව තිබුණි. විනිවිද පෙනෙන පොලිතීන් බෑග් වල අසුරා රසය අනුව වෙන්කළ හැකි වන ලෙස පාට පාට බේබි රිබන් වලින් බෝ එකක් සිටින සේ කට ගැට ගැසූ “මියුරු කුකීස්” වෙත වූ ආකර්ෂණය කිසිදා අඩු නොවීය. මියුරු බේක් හවුස් දවසින් දවස මාතර පුරවරය පුරා ප්‍රචලිත වූයේ නැන්දා අලුත් අලුත් වට්ටෝරු අත්හදා බලමින් හඳුන්වා දෙන කුකීස් හා මෆින් වර්ග නිසාය. එහෙත් ඇහැට ගෝචර වන සත්‍යට වඩා නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය තැබූ නැන්දාත් මාමාත් එක ලෙස විශ්වාස කළේ නව වසරේ මුල්ම දිනයේත්, සෑම සිංහල අළුත් අවුරුදු නැකතකදීත් මාමා හා මුලින්ම ගණුදෙනු කරන මගේ වාසනාව සිය ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරන බවය. අප වයසින් කුඩා දරුවන් කාලයේදී ගීත් අයියාටත් වඩා මියුරු අක්කා මාමා මට විශේෂ සැලකිල්ලක් දක්වන බව කියමින් ඉදහිටක රණ්ඩු සරුවල් කළේ එවන් සුවිශේෂි අවස්ථා වලය.

නිසි තැන නිසි උපකරණය තබමින් කාලයත් අවකාශයත් එකසේ කලමනාකරණය කරගත් නැන්දා ඇගේ කේක් කාමරය අපට තහනම් කලාපයක් කර තිබුණේ ඉන් වසර ගණනාවකට පෙරය. ඒ ඇගේ හොඳම කුකී කටර් කිහිපයක් සමඟ තවත් සුකුරුත්තම් උපකරණ බොහොමයක් අපේ සෙල්ලම් ගෙදරින් සොයාගන්නට ලැබීමත් සමඟය. මියුරු අක්කා විශ්වවිද්‍යාලයට යාමෙන් හිස්වූ උඩුමහළ අරක්ගත් පාළුව මට යළිත් කේක් කාමරයේ දොර විවර කර දුන්නේය. මංගල හා උපන්දින කේක් වෙනුවෙන් නැන්දාට ලැබෙන ඇණවුම් විටින් විට ඇය කාර්යබහුල කරවූ එදවස ඇගේ පසුපස දැවටෙමින් මා ඉගෙනගත් කේක් කලාව මතුයම් දවසක මගේ ඉරණම තීරණය කරන වග අප කිසිවෙකුත් දැන සිටියේ නැත.

"පොඩි දුවට දැන් තනියම කේක් එකක් හදලා අයිසින් කරගන්න පුළුවන්" ගීත් අයියාගේ දාසයවෙනි උපන්දිනය වෙනුවෙන් නැන්දාගේ උදව්වකින් තොරව මා විසින් පරිගණකයක හැඩයට සකසා අයිසින් කළ කේක් එක වෙනුවෙන් ඒ සම්මානය ලැබෙන විට මා දහසෙ පංතියට සමත් වූවා පමණි. සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් වූ දිනටම යෙදුණ උපන්දිනය අප සමඟ සැමරීමට එදා ගීත් අයියා මියුරු අක්කාත් කැටුව ගෙදර එන විට රාත්‍රී නවයත් පසුවී තිබිණ.

"යකෙක් කන්ඩ බඩගිනියි" කියාගෙන ගෙට ගොඩවූ ඔහු ලවා කේක් කැප්පවීම හිත් රිදවීම් වැලක ආරම්භය බව දැන සිටි නැන්දා ඉක්මනින් කෑම මේසය පිළියල කළේ "අපි කාලා ඉවර වෙලාම අයියව සර්ප්‍රයිස් කරමු" කියා මගෙ සිත සනසවන්නට උත්සහ කරමිනි. පුංචිම කාලයේ උපන්දින කේක් ගෙඩිය මේ මේ ලෙසින් තිබිය යුතුයැයි දස පනත් පැනවූ ගීත් අයියාම වයසින් වැඩෙත්ම ඒවා ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වෙමින් සිටි ඒ කාලයේ ඔහුව කෝප කරවීමේ උවමනාවක් මටද නොතිබිණ.

"දවස් ගාණකට පස්සෙ බඩ පිරුණා කියලා දැනුනෙත් අද" බඩ අතගාමින් ඔහු කෑම මේසයෙන් නැඟිටිද්දීම නැන්දා මට නෙතඟින් ඉඟි කළාය. පිඟාන කුස්සියේ සින්ක් එකට අත්හැර අත පමණක් සෝදාගෙන කේක් එක ඔසවාගෙන මා සාලයට යනවිටත් එතන අඩුවකට සිටියේ නැන්දා පමණි.

"වාව්" කෝපය හැරෙන්නට වෙනත් කිසිඳු හැඟීමක් පිටතට නොපෙන්වන ගීත් අයියාගේ දෙනෙතෙහි වූ කාන්තිය මුවින් පිට පැන්නේ ඊට වඩා දස දහස් ගණනක තීව්‍රරතාවයකින් මගේ වත එළිය කරමිනි. අත් පිස්නාවක් සහ වතුර වීදුරු හතරක් තැබූ බන්දේසියක් ඔසවාගෙන ආ නැන්දා එය ස්ටූලය පසෙකින් තබා කේක් ගෙඩිය අසලම වූ මේස පිහිය ගීත් අයියා අතට දුන්නාය. ඉටි පන්දම් දැල්වීම ඔහු කෝප කරවිය හැකි නිසා මා ඒ කිසිවක් සූදානම් කර තිබුණේ නැත.

"කොහොමද පුතා කේක් එක" කේක් කා සුබ පැතුම් හුවමාරු වී අවසන් වු පසු නැන්දා මා ළඟින් වාඩි වූයේ ඉදිරිපස අසුනේ වූ ගීත් අයියා දෙස බලාගෙනය.

"එක්සලන්ට්" එහා පැත්තේ සිටි මියුරු අක්කා ලෝබ නැතුවම ඇගේ අදහස් තනි වචනයකට කැටි කළද නැන්දා සිටියේ ඒ වනවිට උවමනා දේකදී හැර වැඩි කතා බහකට යොමු නොවන ගීත් අයියාගේ මුව සෙලවෙන තුරු නොඉවසිල්ලෙනි. හීන් උසැති සිරුරකට හිමිකම් කී ගීත් අයියාගේ ගණකමැති ඇහි බැම මඳක් සෙලවුණද දෙතොල් මෑත් වන බවක් පෙනෙන්නට නොතිබිණ. කාලෙත් සමඟ නේවාසික දිවියට අනුගත වෙමින් නිවසින් ඈත් වන්නට මාන බලමින් සිටි ගීත් අයියාගේ ඒ බකුසු වෙසට ප්‍රිය නොකළ මාමා පුටුවෙන් නැගිටිද්දීම ගීත් අයියාත් හුන් තැනින් නැඟිට විත් නැන්දාත් මාත් හිඳ සිටි පුටුවේ ඇන්ද මතින් වාඩි වූයේ නැන්දාගේ කරවටා අත යවා ඇයව වැළඳ ගනිමිනි.

ගෙතුළට පා ඔසවමින් සිටි මාමා එතනම නතර විය. මියුරු අක්කා හනිකට ගීත් අයියා සිටි පුටුවට මාරු වූයේ රාජකීය විද්‍යාලයට බාරදෙන විට සිටි අම්මාගේ උණුසුම අද්දර නොදරුවෙකු වූ මලණුවන් නැවත එලෙසින් දැකගන්නා අටියෙන් විය යුතුය.

"හැබැයි මං මේ කියන එක අහලා අම්මා දුක හිතන්න බෑ" සිනහවකින් පිළිතුරු තහවුරු කරන නැන්දා දෙස මොහොතක් බලා සිටි ගීත් අයියා "ඒ කේක් එක වෙනදා රහ නෙවෙයි" කියද්දී සීතල වෙන්නට පටන් ගත් අත්ල මොහොතකින් නැන්දාගේ උණුසුම් අත්ලට ගුලි විය. නැඟිට යාමට හැකියාවක් නොමැති බව දන්නා හදවත සුපුරුදු රිද්මය අභිබවමින් ස්පන්ධනය වන්නට පටන් ගත්තේ ඒත් සමඟය. සියළු රහස් දන්නේ ඇයත් මමත් පමණක්ම බව කියන්නට මෙන් නැන්දාගේ ඇතැඟිලි වල ග්‍රහණය මා නොසන්සුන් වන වේගයට අනුරූපීව දැඩි විය.

"ඒක වෙනදා රහ නොවුණට මං ඒ රහට ආසයි අම්මා. ආයෙ මට කේක් හදනකොට එහෙම හදලා ඕනි" ඉහළට ගත් හුස්ම එහෙමම සිරවිය. ඇහිපිය පවා සොලවාගත නොහැකි තරමට හිර වු රුධිර සැපයුම යථා තත්වයට පත් වූයේ මහ හඬින් පිටවූ නැන්දාගේ සිනාවටය.

"අම්මා හිතන්නෙ මං අම්මව රවට්ටනවා කියලද. ඕන්නං ඔලුවෙ අත ගහලා දිවුරලා කියන්නම් මං අම්මට දුක හිතෙයි කියලා නෙවෙයි එහෙම කිව්වෙ. ඇත්තටම මං ඒ රසට ආසා නිසා. රහ විතරක් නෙවෙයි ඒක වෙනදා අම්මා හදන කේක් එක තරම් සොෆ්ට් නෑ. ඒත් එහෙම රහයි අම්මා. ඇත්තම්යි. අනික ඒක ඩෙකරේට් කරපු විදිහත් අක්කා කියන්නා වගේ එක්සලන්ට්. තැන්ක් යූ අම්මා" කියූ ඔහු නැන්දාගේ කොපුලක් සිප ගත්තේ පෙර සිටි දඟකාර පුතණුවන් යළි ඉපදුනු බව පෙන්වන්නට මෙනි.

"ඔයාලටත් එහෙම වෙනසක් දැනුණද. මටනම් නෑ" නැන්දා මුසාවක් ඇද බාමින් මාමාත් මියුරු අක්කාත් දෙස බලද්දී මාමාට සත්‍ය වැටහෙන්නට ඇත.

"කටට ගද්දිම මටනම් තේරුණා ඒක හැදුවෙ ඔයා නෙවෙයි කියලා. හැබැයි අපේ කොල්ලට කවදාහරි අම්මගෙ කේක් වලට වඩා නංගිගෙ කේක් රහ වෙයි කියලා මං හිතුවෙ නෑ" කියූ මාමා හිනැහෙමින් ගෙතුළට යද්දී පුටු ඇන්දට වැරෙන් පහරක් ගැසූ ගීත් අයියා එළියට ගියේ කන් දෙක රතු කරගෙනය.

මතු සම්බන්ධයි!

Tuesday, April 21, 2020

විල්තෙර අද්දර 2 - පළමු මතක සක්මන




පූර්විකාව මෙතනින්: https://sandamalisakunthala.blogspot.com/2020/04/blog-post.html


යොවුන් වියේදී අසීමිතව පෙම් බැඳි වෙද නළාව අමතක කොට මේ හරිත නිම්නයේ හුදෙකලා වීම පිටුපස ඇති කතාව ආරම්භ කළ යුත්තේ කොතනින්දැයි සිතන්නට මා දැනටමත් බොහෝ දවසක් ගත කොට හමාරය. පිළිවෙලකට අකුරු අමුණා මේ කතාව ලියන්නට ඇති උවමනාවට වඩා සියල්ල ඔබට පවසා හිත නිදහස් කරගන්නට ඇති ආශාව බලවත් නොවන්නට මා අතින් මේ කතාව මෙලෙසින් නොලියවෙන්නට ඉඩ තිබිණ. සියල්ල හැරපියා විත් ජනශූන්‍ය නගරයක මා මගේ තුරුණුවිය ගෙවා දැමීම ගැන ඔබ වද වෙන තරමටම ළමාවියේ මතක අතරට මා ඔබව කැඳවාගෙන යනවාට ඔබ දක්වන ප්‍රතිරෝධයද මම හොඳාකාරවම දනිමි. ඒත් මගේ සපත්තුවට බැස පියවර දෙක තුනක් හෝ ආපස්සට ඇවිද නොගොස් ඔබට මා අද විඳින මානසික සුවය අනුමාන කරන්නටවත් නොහැක.

බැංකු ණය පියවීම සඳහා ගේ දොර විකුණා තිස්සමහාරාමයට යන්නට අම්මා තීරණය කරන විට මා එකේ පංතියට බාර දී දෙමසකට වැඩි කලක් ගෙවී නොතිබෙන්නට ඇත. එවකට දහයෙ පංතියේ ඉගෙනුම ලබමින් සිටි අක්කා මාතර සුජාතා බාලිකාවෙන් තිස්සමහාරාම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීම අද මෙන් ගැටළුවක් නොවූවත් කුමාරි නැන්දා ඊට තදින්ම විරුද්ධ විය. එක හෙලා ඇගේ තීරණය පිළිගත් පාලිත මාමා අප දෙදෙනාවම ඔවුන්ගේ නිවසේ තබා යන ලෙස අම්මාට බල කළේය. ඒ වන විට තාත්තාගේ වියෝවෙන් වසර තුනක්ම ගෙවී ගොස් තිබුණත්, එහි අඩුව අපට දැනෙන්නට නුදුන් නැන්දාගේත් මාමාගේත් හිත් බිඳීමට අකමැති වූ අම්මා අවසානයේ ඔවුන්ගේ තීරණයට හිස නමා ඇගේ ගම් පියසට ගියේ තනිවමය.

පයින්ම පාසැලට ඇවිද යන අක්කාත් මියුරු අක්කාත් පසු කරමින් පාලිත මාමාගේ යතුරු පැදියෙන් ඔවුනට අත වනා ඉඟිල යාම එදවස මටත් ගීත් අයියාටත් මහත් විනෝදයක් විය. පාසැල් ඇරී මුලින්ම නිවසට යාමේ අවස්ථාව උදා වන්නේ මටය. රතු පාට කොටු වැටුණ ඒප්‍රනයක් පැලඳ කේක් ගෙඩියක අයිසින් තවරමින් සිටින නැන්දා බොහෝවිට මා පිළිගන්නේ අයිසින් ඇබිත්තක් දෙතොලෙහි තවරමිනි.
"කවදාහරි මගෙ පොඩි එකීගෙ දත් ටික සවුත්තු කරන්නෙ ඔයා තමයි" මාමාගේ චෝදනා සිනහවෙන් ඉවසන නැන්දා ඔහු නිවසින් පිටව ගිය වහාම යහමින් අයිසින් තැවරූ කේක් කෑල්ලක් මා අත තබන්නට අමතක නොකළ අතීතය ජීවමාන සිත්තමක් මෙන් මනසෙහි දිගහැරෙන අවස්ථා අදටත් විරල නැත.

"ඒ වගේ යාළුවෝ ලබන්න තාත්තා පිං කරලා තිබුණට තාත්තා ළඟ ඉන්න අපිට පිං නැති වුණානෙ"

තාත්තා නැති අඩුව පිරිමසන නැන්දාගේත් මාමාගේත් කරුණාව ගැන තොරතෝංචියක් නැතිව කියවන සෑම විටකම එසේ කියන්නට පුරුදුව සිටි අම්මා එක්වරම තාත්තා ගැන මතකය අත්හැර දැමුවාය. එවකට හත් හැවිරිදි දැරියක් වූ මට නොතේරුණ බොහෝ දේ දාසය හැවිරිදි බාලිකාවක් වූ අක්කාට අවබෝධ වීමට වැඩි කලක් ගත නොවුණි. වෙනදාට පාසැල් නිවාඩුව ලද සැණින් ගමට යන්නට කල් යල් බලන අක්කාට හිටි හැටියේම පාඩම් වැඩ ගොඩ ගැසුණි. නොවරදවාම අප සමඟ ගමට යන මියුරු අක්කාට ඇලෙන් දිය නා වැව් මාළු සහ මුරුංගා හොද්දක් සමඟ ගිල දමන අමෘතය නීරස වී තිබිණ. අක්කලාගේ සිතුම් පැතුම් හදිස්සියේ වෙනස්වීම ගැන සංවේදී වුවත් ඊට හේතුවක් හිතාගන්නට අපහසු වූ ගීත් අයියාත් මමත් වාර අවසාන නිවාඩුව තෙක් ඇඟිලි ගනිමින් සිටින්නට අමතක නොකළෙමු.

මාතර ඉසදින් නගරයේ සිව් දෙසින්ම තාප්පයකින් කොටුකළ දෙමහල් නිවසක සිරව සිටි අප වෙල් යායක් මැද්දේ පිහිටි අපේ අම්මගේ මහ ගෙදරට එක සේ ඇලුම් කළෙමු. කිරි අත්තාගේ වියෝවෙන් පසු පාළුවට ගොස් තිබූ නිවසට නැවුම් පෙනුමක් ලැබෙන සේ අලුත්වැඩියා කොට එහි පදිංචි වූ අම්මාගේ දෑතේ මහන්සිය ගේ වට කර ඵල දරමින් තිබිණ. දවසින් භාගයකටත් වඩා අඹ ගස් උඩ හෝ දිවුල් ගස් කජුගස් යට ගෙවන අපි ඊළඟ අර්ධයට තෝරාගන්නේ ගේ පිටුපසින් ගලා බසින කුඩා ඇල පාරය. අම්මා ස්කාෆ් එකක් ලෙස පාවිච්චි කළ පරණ සාරි කෑල්ලක් දෙපැත්තෙන් අල්ලා වතුර යට ගිල්වා මාළු අල්ලන්නට අපි එක සේ ප්‍රිය කළෙමු. මගේ උදව්වත් ඇතිව කෙසේ හෝ කොරළි පැටියෙකු අල්ලා ගන්නා ගීත් අයියා සීරුවට ඌව අත්ලට ගෙන පනිට්ටුවට දාගන්නට තරම් ඉවසිලිමත් වන්නේ කලාතුරකින් දිනකය.

"අපි අක්කලාගෙ විභාගෙ ඉවර වෙනකල් ගමේ නොගිහින් ඉමු. එයාලට පාඩම් කරන්නත් තියෙනවනෙ" පාසැල් නිවාඩුව අම්මාගේ තුරුළේ ගෙවන්නට සිහින දකිමින් සිටි මගේ හිස පිරිමඳිමින් නැන්දා මා සැනසුව ද, ඒ වනවිටත් යුද්ධය ප්‍රකාශ කරන්නට පටන්ගෙන සිටි ගීත් අයියාව මෙල්ල කරන්නට ඇගේ කරුණාව ප්‍රමාණවත් නොවීය.

"අක්කලාට ගණන් වගයක් තේරෙන්නෑ කියලා තාත්තා නිවාඩු මාසෙට පංතියකුත් හොයලා" ටියුෂන් සංස්කෘතිය අද මෙන් ප්‍රචලිතව නොතිබුණ ඒ කාලයේ පංතියක් වෙනුවෙන් සිය සිහින පාවා දීමට මැලි වූ ගීත් අයියා සටන අත් හරින සූදානමක් නොවීය. අවසානයේදී ගීත් අයියා නිහඬ වූයේ අක්කලාට හොරෙන් අපව කෝච්චියෙන් කොළඹ එක්ක ගොස් සත්ව උද්‍යානය නැරඹීමේ අවස්ථාව උදා කර දෙන බවට මාමා ලබාදුන් පොරොන්දුවටය.

නිවාඩුව අවසන්ව පාසැල් පටන් ගැනීමට දෙදිනක් තබා අම්මා ඇගේ දෑතේ මහන්සියෙන් ගේ වටා වගාකළ එළවළු පළතුරු සමඟ හාල් පොල් කද බැඳගෙන ඇවිත් තිබුණේ තවත් කෙනෙකු සමඟය. අම්මා සමඟ වචනයක්වත් කතා කරන්නට අකමැති වූ අක්කා ඇය පිටව ගිය පසු හෝ කාමරයෙන් පිටතට නොආ බව මට තාමත් මතකය. කලකින් නොලද අම්මගේ උණුසුම අසල මට ඒ ආගන්තුකයා ගැන විශේෂ හැඟීමක් නොවුණද අම්මා අලුත් දිවියක් අරඹා ඇති බවත්, අපි ඊට එරෙහි වී ඇගේ සිත රිදවීම වෙනුවට ඇයට ආශිර්වාද කළ යුතු බවත් එදා රාත්‍රියේදී නැන්දා මගේ හිස පිරිමඳිමින් කියා දුන් මතක අදටත් හිත පුරා ඇත.

සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් කළ දිනට පසුදා ම ගමේ යායුතු බව අක්කා කියා සිටියදී නැන්දා ඊට විරුද්ධ විය. එහෙත් නැන්දාගේ සුවච කීකරු ලොකු දුව ඒ වනවිට හිතුවක්කාර මුරණ්ඩු කෙල්ලක් බවට පරිවර්තනය වී තිබිණ.

"නැන්දා කියන්නෙ අම්මට ඕනි හැටියකට නටාගන්න ඉඩ දීලා අපි මෙහෙට වෙලා ඉන්නෝනි කියලද?. ඒවා කොහෙද මාත් එක්ක" චණ්ඩියෙකු මෙන් කෑ ගැසූ අක්කා ඒ සතියේ නැන්දාගේ හෝ මාමාගේ අනුදැනුම නැතුව මාවත් කැටුව ගෙදර යන තරමටම මුරණ්ඩු වී සිටියාය. යොවුන් වියේ එළිපත්තේ උන් අක්කා එදා ගත් හිතුවක්කාර තීරණයේ ආනිසංශ අපට විඳින්නට සිදු වූයේ ඉන් වසර ගණනාවකට පසුය. නිදහසේ ආපසු හැරී බලන විට දැන් මට සිතෙන්නේ සියල්ල වෙනස් වූයේ එතැන් සිට බවය.

එදා රෑ බෝ වී අප සොයාගෙන ගමට ආ මාමා අම්මාටත් අක්කාටත් එක ලෙස දොස් තබා පිටව ගියේ ඊළඟ වාරයේ සිට අක්කාව ඔවුන්ගේ නිවසේ තබාගත නොහැකි බවද පවසමිනි. දෛවය අක්කාට නපුරුකම් කරන්නට පටන් ගත්තේ එතැන් සිටය. යන්තමින් උසස් පෙළ කරන තරමටවත් විභාගය සමත්වීමට නොහැකි වූ අක්කාව තිස්සමහාරාම මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයට ඇතුළත් කරගෙන තිබුණේත් බාප්පාගේ නැදෑ පුත්‍රයෙකු වන නැටුම් ගුරුවරයෙකුගේ උදව්වෙනි. අම්මාගේ අලුත් දිවිය තුළ අපට වෙන්ව තිබූ සීමිත ඉඩකඩ ඒ වනවිටත් චූටි නංගී විසින් ආක්‍රමණය කර තිබූ නිසා අක්කා උසස් පෙළ පටන් ගන්නා කාලය වෙද්දී මට ගමේ යාම එපා වී තිබිණ. නිවාඩු කාලය ගමේ ගත කිරීමට පෙර තිබූ කැමැත්ත එලෙස මා වෙතින් ගිලිහ යාමේ වාසිය සමඟ තවත් මොකක් හෝ හේතුවකට නැන්දා මා ගමේ නොයවන්නට වග බලා ගත්තාය. අම්මා සහ අක්කා සමඟ වූ සබැඳියාව ලිහිල් වීමේ අඩිතාලම වැටුණේ එලෙසය.

මා පහේ ශිෂ්‍යත්වයට මුහුණ දුන් දා වනවිට අම්මාත් අක්කාත් නොදැක ගෙවී ගිය කාලය අනුමාන වසයෙන් වසර දෙකකට කිට්ටු විය යුතුය. හෘදයාබාදයක් වැළඳී බාප්පා මෙලොව හැරගොස් තිබුණේ එදිනය. බාප්පාගේ මළගමට සහභාගී වීම සඳහා මාමා පසුදා උදෑසනින්ම මා කැටුව ගියේ ඒ වනවිට උසස් පෙළ විභාගය අවසන් කර සිටි මියුරු අක්කා ඒ ගමනට සහභාගී වීමට කළ පෙරැත්තයන් තඹේකට මායිම් නොකරමිනි. වැලහින්නක් මෙන් වැලපෙමින් සිටි අම්මා දුටුවනම මා බදා වැළඳ ගත්තාය. දෙවසරකින් නුදුටු ඇගේ රූමත් සිරුර වැහැරී අම්මා වසර ගණනාවකින් වයසට ගිය බවක් ඒ වනවිට දස හැවිරිදි වියේ පසුවූ මගේ ලපටි දෑසටත් හසුවිය. බොහෝ කලකින් නිවසට නොපැමිණි මා පිළිගන්නට අක්කා කොතනක සිට හෝ දුව එනු ඇතැයි සිතුණද සුදෝ සුදු ඇඳුමින් සැරසී රැස්ව සිටි පිරිස අතරින් අක්කා සොයාගන්නට මට නොහැකි විය. චූටි නංගී අසලින් දෙපා දිගහැර චණ්ඩියෙකු මෙන් නිදා සිටි මල්ලියාව මා මුලින්ම දුටුවේ එලෙස අක්කා සොයා ගේ පුරා ඇවිද යාමේ ප්‍රතිඵලයක් ලෙසය. අම්මා තවත් දරු උපතකට සූදානම් වෙමින් සිටි බව මා නොදැන සිටියද නැන්දා සියල්ල දැන සිටින්නට ඇත. අම්මාගේ දෙවෙනි විවාහයත්, චූටි නංගිගේ උපතත්, එතෙක් කල් ළඟින් හිඳි අක්කාගේ ඈත්වීමත් සමඟ මා විඳි මානසික ව්‍යසනය තව දුරටත් වර්ධනය වීමට ඇය ඉඩ නොතබන්නට ඇත්තේ එහෙයින් බව පසු කලක ඒ සිදුවීම මනසින් විග්‍රහ කරද්දී මම උපකල්පනය කළෙමි.

මතු සම්බන්ධයි!