Thursday, June 4, 2020

විල්තෙර අද්දර - 42 : හතළිස්එක්වෙනි මතක සක්මන



කොපුලකට දැනුණ උණුසුමත් සමඟ මම දෑස් විවර කරන්නට උත්සහ කළෙමි. එහෙත් දැඩි නිදිමත හා විඩාබර ගතියත් සමඟ එය එතරම් පහසු නොවීය.

"සුදු නෝනා. දැන් ඇති නිදාගත්තා. අපි ඉක්මනට යන්නත් ඕනි. නැඟිටින්නකො.....ඉතුරුටික යන ගමන් නිදාගමු" එතෙක් වේලා විවර කරගත නොහැකිව සිටි දෑස් පියන්පත් එසවෙන්නටත් අහිමිව තිබූ පියවි සිහිකල්පනාවට යළි හිමිකම් කියන්නටත් ඒ හඬ ප්‍රමාණවත් විය. බිත්තිය පැත්තට හැරී නිදාසිටි ඉරියව්ව වෙනස් කරමින් අනෙක් පැත්තට හැරෙන්න උවමනා වුවත් බඳ වටා වූ දැඩි ග්‍රහණය හමුවේ සෙලවීමටවත් අවකාශයක් නොවිය.

"ඔළුව රිදෙන්නෑ නේද?" එතෙක් දැඩිව මා වැළඳගෙන සිටි අත හිස මතින් නවාතැන් සොයද්දී ආපිට හැරෙන්නට මට හැකිවිය. දෑස් පතුලෙහි ගිලීගෙන කිහිප වරක් හිස පිරිමැඳි ගීත් අයියා පහත් වී නළලට දෙතොල් තද කර කලබලයකින් මෙන් මා අතහැර "ඉක්මනට වොෂ් එකක් දාගෙන යන්න ලෑස්ති වෙන්නකො. මං තේ එකක් අරන් එන්නම්" කියමින් ඇඳෙන් බහින්නට සූදානම් විය.

"ගීත් අයියෙ" පෙරදින රාත්‍රියේ අනපේක්ෂිත මොහොතක සවන් වැකි සංවාදයත්, අනාගතය ගැන එතෙක් නොදැනුණ අවිනිශ්චිත බවකින් පිරි රාත්‍රිය තද නින්දකින් පහන් කරන්නට හැකිවීමත්, උදෑසන මා අවදිවන මොහොතේ ඔහු මා අසලින්ම රැඳීමත් අතරින් වැඩියෙන්ම හිතට වද දුන්නේ කිනම් ප්‍රශ්නයදැයි නොදනිමි. එහෙත් ඒ කිසිවකින් හිත චංචල වූ බවක් නොපෙන්වා සංසුන්ව හිඳින්නට ඔහුට හැකි වූ අයුරු දැනගන්නට හිත කලබල කළේය.

"අක්කා අම්මව පෙන්නන්න ඩොක්ටර් කෙනෙක් කතා කරලා. තාත්තා අම්මව මෙඩි හවුස් එකට එක්ක ගියා. ඔයා ඉක්මන්ට ලෑස්ති වෙන්නකො. මං තේ එකක් හදන් එන්නම්" මගේ දෑස් තුළ නළියන ප්‍රශ්න වැල කියවාගත් ඔහු වෙනත් අයුරකින් උත්තර දී මා සන්සුන් කර එතනින් පළා යන්නට තැත් කළේය.

"ගීත් අයි...යෙ" යළිත් ඔහු මා අසලට ගෙන්වා ගන්නට ඒ බිඳීගිය හඬ ප්‍රමාණවත් විය.

"ඊයෙ රෑ මං ඔයාට ඇති තරම් අඬන්න දුන්නනෙ පොඩී. මං අම්මට කිව්වා මට හදිස්සි වැඩක් වැටිලා නිසා අපි ඉක්මනින් යනවා කියලා. ආයෙ අඬලා ඇස් ඉදිමුණොත් ඒ දෙන්නා කලබල වෙයි. ඒ නිසා ඉක්මනින් ලෑස්ති වෙන්නකො. ඔයා එතනට ආවෙ කොයි වෙලේද ඇහුණෙ මොනාද නැත්තෙ මොනාද කියලා මං තාමත් දන්නෑ. ඒ නිසා වුණේ මොකද්ද ඉස්සරහට කරන්නෙ මොනාද කියලා අපි අක්කලා දිහාට ගිහින් කතා කරමුකො. එතකල් ඊයෙ රෑ කිව්වා වගේම මං දැනුත් කියන්නෙ අපිට අඬන්න තරම් දෙයක් වුණේ නෑ. කාලෙත් එක්ක ඔක්කොම ප්‍රශ්න හොඳ විදිහට විසඳාගන්න පුළුවන්. මාව විශ්වාස කරලා හොඳ බබා වගේ ඉක්මනට ලෑස්ති වෙන්නකො" හිස් මුදුනෙන් තැබූ අත එහෙ මෙහෙ කර සිනාසුණ ඔහු වෙනදා තරම්ම සැහැල්ලුවකින් කොපුලක් මිරිකා යන්නට ගියේය.

තව දුරටත් ඔහුව වෙහෙසවා ප්‍රශ්න අසමින් ඔහුගේ සැලසුම් ව්‍යර්ථ කිරීමේ උවමනාවක් නොවූයෙන් මම හැකි ඉක්මනින් ගමනට සූදානම් වුණෙමි. එහෙත් විගසින් තේ එකක් රැගෙන එන බව කියමින් පහළට ගිය ඔහුට අත්බෑගයත් රැගෙන මා පහළට යනතුරුම උඩට එන්නට බැරි විය. ඔහුට කීකරු වීමටත් වඩා නැන්දාගේත් මාමාගේත් මුහුණු නොබලා පිටව යෑමේ අරමුණ මා යුහුසුළු කරවා තිබිණ.

"තේ බිව්වොත් බත් කන එකක් නෑ කියලා මං තේ හැදුවෙ නෑ. අම්මා උයලා ගිහින් තියෙන්නෙ. නොකා ගියොත් ඒකත් හරි නෑනෙ. ඒ නිසා බත් කටක් කාලාම යමු" මා කුස්සියට යන විට උණු බත් පිඟානක් බෙදාගෙන කුස්සියේ මේසයට වාඩි වී සිටි ඔහු අතින් ඇද මා එතනින් වාඩි කරවා ගනිමින් පැවසීය.

"මට කන්න බෑ"

"මංනෙ කවන්නෙ. එතකොට පුළුවන්" කියමින් ඇනූ බත් කටක් මුවට ළං කළ ඔහු මා කට අරින තුරු තරවටු බැල්මකින් බලා සිටියේය.

"මං තාත්තට කතා කරා. තාම ඩොක්ටර් ඇවිත් නැතිලු. අපි යන ගමන් එතනට ගිහින් අම්මටයි තාත්තටයි කියලම යමු. නැත්තන් සැක හිතෙන්න පුළුවන්නෙ" ඉස්සරහා දොර වසා යතුර අතට ගනිමින් ඔහු පවසන තුරුත් මා සිටියේ රොබෝවෙකු මෙන් ඔහුගේ විධානයන්ට වෙනදාටත් වඩා කීකරුවය.

"ඔයා ඔහොම ඉන්නෙ කොහොමද ගීත් අයියෙ.....මට මේ මොනාවත් තේරෙන්නෑ....ඔක්කෝටම වඩා මට ඊයෙ අච්චර යසට නින්ද ගියෙ කොහොමද කියලවත්"

"ඒකට කොල්ලා ගාව තියෙනවා හොඳ මන්තරයක්….අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි" කියමින් ඔහු උස් හඬින් සිනාසෙමින් සිටියදීම ඔහුගේ ඇමතුමට අනුව අප රැගෙන යාමට ආ ත්‍රිරෝද රථය ගේට්ටුව ළඟින් නතර කළේය.

නිවසේ සිට ටවුමට යාමට ගතවන මිනිත්තු හත අට තුළ නිහඬව සිටි ඔහු ත්‍රිරෝද රථය බෝධිය පසුකරද්දී හිමිහිට මගේ අත අල්ලා ගත්තේය. අප එනතුරු බලා සිටින මෙන් ත්‍රිරෝද රථ රියදුරුට පැවසූ ඔහු මාත් සමඟම රියෙන් බැස නැන්දලා සිටි පැත්තට ඇවිද ගියේ "අම්මා මොකුත් ඇහුවොත් ඊයෙ රෑ ඔළුවෙ කැක්කුම හැදුණා කියන්න" කියමිනි. එහෙත් සෙනඟ ගොඩේ වාඩි වී තම අංකය එනතුරු බලා සිටි නැන්දාට මගේ මුහුණෙන් වෙනස්කම් අඳුරාගන්නට තරම් සුදුසු පරිසරයක් එතැන නොතිබිණ. පෙර පුරුදු සෙනෙහසින්ම අපට සමුදුන් ඇය හැකි ඉක්මනින් නැවත එන ලෙස ඉල්ලා සිටින්නටත් අමතක නොකළාය.

"පුතා අර මං උදේ කියපු එක ගැන තව ටිකක් හිතලා බලන්නකො" අපත් සමඟින් ත්‍රිරෝද රථය අසලට ආ මාමා ඇතුළට හිස දමා පැවසීය.

"තව කොච්චර හිතුවත් මට කියන්න තියෙන්න ඕකම තමයි තාත්තා. තාත්තට බැරිනම් මට මැඩම්ගෙ නම්බර් එක දෙන්නකො මං කතා කරන්නම්" කියා මට අග මුල නොතේරෙණ පිළිතුරකින් මාමාගේ මුහුණ අඳුරු කළ ගීත් අයියා රියදුරුගේ උරහිසට තට්ටුවක් දමා "යමු" කීවේය.

එතැන් සිට යළි ගොළුවෙකුගේ භූමිකාවට පණ දුන් ඔහු මාතර කොළඹ සුඛෝපභෝගි නගරාන්තර බස් රථයකින් වාඩි වූයේ "අපි මේකෙ ගාල්ලට විතරයි යන්නෙ. එතකල් ප්‍රශ්න අහන්න තහනම්" කියමින් මගේ නෙත රැඳි ප්‍රශ්න පත්තරය මඟාරින්නට ක්‍රමයකුත් හොයාගෙනය.

"මට බෑ"

"එහෙනං ඕනි දෙයක් අහන්න. හැබැයි අක්කලාගෙ ගෙදරට යනකල් අඬන්න ඔට්ටු නෑ"

"මට මේ මොනවත්ම තේරෙන්නෑ ගීත් අයියෙ. ඔක්කෝටම වඩා ඇයි ඔයා මට බොරු කිව්වෙ කියලවත්"

"කියන්න බැරි දෙයක් නොකියා හිටියොත් මිස මං දැනුවත්වනම් ඔයාට කිසිම බොරුවක් කියලත් නෑ කියන්න අදහසකුත් නෑ"

"එහෙනං මොනවද අර නැන්දයි මාමයි කතා කරනවා ඇහුණෙ"

"ඒක ගැන එච්චර හිතන්න එපා. අපි දෙන්නා හොරෙන් අහන් හිටියට ඒක මේ පොඩි කෝ ඉන්සිඩන්ට් එකක්. වුණේ මොකද්ද කියලා හරියටම නොදැන අපි ඒ ගැන කතා කරන එකේ කිසි තේරුමක් නෑ. අඬන බබා නළවාගන්න වුණාගෙන් මටත් තාම අග මුල හොයාගන්න බැරි වුණා. ඒ මොනවා වුණත් අපිට අපි නැති වෙන්නෑ කියලා මට විශ්වාසයි පොඩී. පොඩි පොඩි ප්‍රශ්න එයි. ඔයාට අඬන්නැතුව කලබල කරන්නැතුව වෙනදා වගේම ඔයාගෙ ගීත් අයියව විශ්වාස කරගෙන මේ උරහිසේ ඔළුව තියාගෙන නිදහසේ නිදාගන්න පුළුවන්නම් මට ඒ හැම ප්‍රශ්නයක්ම විසඳා ගන්න පුළුවන්" මාතර සිට ගාල්ලට ඇති කිලෝමීටර් හතළිහ පමණක් නොව, ජීවිත කාලයටම ප්‍රශ්න නොඅසා ඒ උරමත හිස හොවා සුවෙන් සැතපෙන්නට තවත් වචන නාස්ති කිරීමට අවැසි නොවීය. ඔහු මන්තර ලෙසින් හඳුන්වන්නේ එවන් වූ හිත සුවපත් කළ හැකි වදන් විය හැක. පෙරදින රාත්‍රියේ හඬමින්ම ඔහුට තුරුළු වී සිටි මට නින්ද යන්නට ඇත්තේත් එලෙසය.

"දිගටම නිදාගෙන යන්නද කල්පනාව" ගාල්ලෙන් මහරගම බසයකට නැඟ අසුන්ගත් සැණින් ඒ උර මත හිස තබන්නට හදද්දී ඔහු විමසීය. වෙනදාට නිදාගන්න යි කියමින් උරහිසට තට්ටු කරන්නේත් ඔහුමය.

"අඬන්නත් තහනම්. ප්‍රශ්න අහන්නත් තහනම්. ඉතින් මං නිදාගන්නැතුව වෙන මොනා කරන්නද?" ඔහුට ඔහුගේ සිනහව පාලනය කරගත නොහැකි වීමෙන් ඉදිරිපස අසුනේ වූ වයස්ගත කාන්තාවක් අසුන් දෙක අතර වූ ඉඩෙන් හිස දමා අප දෙස රවා බැලීය. අපහසුවෙන් සිනහව සඟවාගත් ඔහු "අක්කලාගෙ ගෙදරට යනකල් හංගන් ඉන්න බැරි රහසක් තියෙනවා. කියන්නම්. හැබැයි අඬන්න මූණ එල්ලා ගන්න කල්පනා කරන්න ඔට්ටු නෑ. ඕන්නං චුට්ටක් රණ්ඩු වෙන්න" කියමින් මගේ අතක් දෝතට මැදිකර ගත්තේය.

අපේ පාසලේ හිටපු විදුහල්පතිනියගේ බාල දියණිය ගැන මංගල යෝජනාවක් ලැබී ඇති වගත්, උදේ පාන්දර මාමා ඔහුගෙන් ඒ ගැන විමසූ බවත් මා දැන ගත්තේ ඉන්පසුය. මට වඩා වසරකින් වැඩිමහල් වූ ඇය ඒ වනවිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටි වග මම දැන සිටියෙමි. වෛද්‍යවරියක් වූ ඇගේ වැඩිමහල් සොයුරියගේ පුතණුවන් හා මහිම් එකම දිනකදී රාහුලයට ඇතුළත් කර ඇති අතර මාමාට අපේ විදුහල්පතිනිය මුණ ගැසී ඇත්තේ එදිනය. සුවදුක් විමසීමෙන් නතර වූ කතා බහ නෑදෑකමක් තෙක් වර්ධනය කර ගැනීමේ උවමනාව මුලින්ම පැන නැඟුණේ කා තුළින්දැයි නොදැනම මම සිතින් මාමා සමඟ අමනාප වුණෙමි. කවුළුවෙන් එපිට අධිවේගී මාර්ගයේ පසුවන සැතපුම් කණු දෙස බලා උන් මගේ ගෙල වටා ගීත් අයියාගේ සුරත එතෙන විටත් නෙත් තුළ කඳුළු පොදි ගැහෙමින් තිබිණ.

"මං කලින්ම කිව්වනෙ පොඩී. ඒකෙ අඬන්න දෙයක් නෑ. දෙන්න ඕනි උත්තරේ මං තාත්තට දීලා ආවෙ. තාත්තා ඒක මැඩම්ට නොකිව්වොත් මං නම්බර් එක හොයන් කතා කරලා ඒක එතනින් ඉවර කරලා දාන්නම්.....මට හිතෙන හැටියට ඔය ප්‍රපෝසල් එකෙන් තමයි මේ කතාවත් ඇදිලා එන්න ඇත්තෙ. අක්කා මට ෆෝන් එකෙන් මොකුත් කිව්වෙ නෑ....ආවම කතා කරමු කිව්වා විතරයි. මං ඊයෙ ගෙදර එන බවක් අයියට කිව්වෙත් නෑ. උදේ අක්කට කතා කරපු වෙලේ කිව්වෙත් නැති නිසා එයා ගිහින් තියෙන්න අපි එහෙ කියලා හිතාගෙන. කොහොමත් ඉතින් මේක නිදහසේ කතා කරගන්න එහෙ යන්නම වෙනවා"

දවසේ මුල්ම වතාවට මට කිසියම් සහනයක් දැනුණේ එවෙලෙහිය. යන්තමින් සිනහවක් ඇඳෙන මගේ මුව මත දෑස රඳවාගෙන සිටි ගීත් අයියාගේ දෙනෙතෙහි වූයේ මනමාල හිනාවකි.

"මට ඇහුණ දේවල් වලින් මං ඇනලයිස් කරගත්තු හැටියට නම් වෙන්න ඇත්තෙ ඔය ප්‍රපෝසල් එක ආවම අක්කා අම්මට කියන්නැති ඔයා ගැන. එච්චරකල් එහෙම එකක් නොහිතුවට අක්කා කිව්වට පස්සෙ අම්මටත් ආසා හිතිලා පොඩි දුවව හැමදාටම ළඟ තියාගන්න. දැන් අම්මා තාත්තා එක්ක රණ්ඩු කරනවා. මට පේන හැටියට තාත්තගෙ තුන් හිතකවත් නෑ අපි අතරෙ මෙහෙම සම්බන්ධයක් ඇතිවෙයි කියලා විශ්වාසයක්. ඔයාටත් ඇහුණද මන්දා තාත්තා කියනවා තාත්තට තාම අපි දෙන්නා මොක්කට හරි රණ්ඩු වෙනකොට මතක් වෙනවා කියන්නෙ ඉස්සර පොඩිම කාලෙ අම්මා නිදාගන්න එනකල් තාත්තගෙ පපුව උඩ නිදාගන්න රණ්ඩු කරපු හැටිලු. එහෙම පුංචි කාලෙ ඉදන් එකට එක ඇඳේ ගුලිවෙලා නිදාගත්තු අපි දෙන්නව කසාද බන්දන්න බෑ කියන අදහස තමයි මට දැනෙන හැටියට තාත්තට තියෙන්නෙ. ටිකක් කල් යද්දි ඕක වෙනස් කරගන්න පුළුවන් වෙයි. ඔය මට හිතිච්ච ඒවනෙ. අක්කා දන්නවා ඇතිනෙ හරියටම වුණේ මොකද්ද කියලා…….ඒකයි මං ඊයෙ ඔයාට බය නැතුව නිදාගන්න කිව්වෙ"

"ඇත්තටම මට ඊයෙ නින්ද ගියෙ කොහොමද?....ඔයා නිදි පෙත්තක්වත් දුන්නද?"

"මං ළඟ ඉද්දි නිදිපෙති මොකටද. හොඳට තුරුළු කරගෙන ඔළුව අතගාන ගමන් කන ළඟට නැවිලා රහස් දෙකයි කිව්වෙ.....බබා දොයි" කියමින් සිනාසුණ ඔහු එලෙස නිදාගැනීමෙන් අත් වූ පාඩුව ගැන සඳහන් කළේ පසුවය.

"ඔයාට නින්ද ගියාට පස්සෙ දාලා යන්න බෑ හිතුණා. ඇහැරලා මොන පිස්සුවක් නටයිද දන්නෑනෙ. පස්සෙ මං ගිහින් මගේ රූම් එකේ බැල්කනියට යන දොර ඇරලා දාලා ඉස්සරහා එළියෙන් ලොක් කරලා ඔයාගෙ රූම් එකේ දොරත් ලොක් කරලා හොඳට ඔයාවත් තුරුළු කරන් නිදාගත්තා. ඒකයි ඔයාට එච්චර හොඳට නින්ද ගියේ" ඒ සොඳුරු රාත්‍රිය ගැන මතකයේ නොමැති වීම ගැන වේදනවත් බැරිවීමකින් හෝ නැන්දා උඩට ආවානම් අපට අත්වන ඉරණමත් සිහිපත්ව මා බියෙන් ඇලලී යන්නට ඇත.

"මොකද මේ බය වෙලා"

"හදිස්සියේ නැන්දවත් ආවනම්"

"එහෙනං බැල්කනියෙන් පැනලා ගිහින් නින්දෙන් නැඟිට්ටෙ දැන් වගේ දොර අරිනවා. ඔයාට මතකද අර දවසක් ඔයා ෆිල්ම් එකක් බලලා අම්මා ගහපු දවස. එදා ඔයා දොර ලොක් කරන් නිදාගත්ත්ට පස්සෙත් මං ඒ විදිහට බැල්කනියෙන් පැනලා ඇවිත් කොහොමහරි ඔයාගෙ කාමරේට රිංගා ගත්තා. ඒකයි මං ඔයාට හැමදාම කියන්නෙ නිදාගන්න කලින් බැල්කිනිය පැත්තට තියෙන ජනෙල් හොඳට බලන්න කියලා. එදත් මං ආවෙ බාගෙට වැහිලා තිබ්බ ජනේලයක් ඇරගෙන" අතීතය වෙත පියාඹා ගිය සිත එදා හැන්දෑවේ විදුලි පහන දල්වා මගේ දෑස් අතින් ආවරණය කරමින් "දැන් හැමදේම හරි " කියමින් මා අවදි කරවූ යෞවනයා ගැන මතකය අළුත් කළේය. මුව මත විසිරෙණ සිනහව තෘප්තිමත් දෑසින් විඳගත් ඔහු මගේ හිස උර මතින් සතපවා ගත්තේ "ඔයා දන්නැතුවට ඒ දවස්වලත් මං ඔයාට ආදරේ කරා සුදු නෝනා" කියමිනි.


ඊළඟ මතක සක්මනින් හමුවෙමු.

Tuesday, June 2, 2020

විල්තෙර අද්දර - 41 : හතළිස්වෙනි මතක සක්මන



"අද අපි එනවා කියලා ඔයා නැන්දට කිව්වද" මට ඒ ගැන සිහිවූයේ නූපේ හන්දියේදී බසයෙන් බැස ත්‍රිරෝද රථයකින් නිවසට යන අතර වාරයේදීය. කොහොමත් ගීත් අයියා ළඟ සිටියදී වෙනත් දේවල් ගැන සිතන්නට මට මතක් වූයේ එහෙමත් වෙලාවකය.

"නෑ.....මෙහෙම ගිහින් දෙමු හොඳ සර්ප්‍රයිස් එකක්. අක්කත් අද අද උදේ ඩියුටි. කට්ටියම ගෙදර ඇති" ඒ වනවිට හය පසුවී විනාඩි විස්සකට වඩා ගෙවී නොතිබුණ ද වැහි අඳුර නිසා දැනුණේ ඊට වඩා රෑ බෝ වී ඇති බවය. මොකද්දෝ හේතුවකට නුහුරු රිද්මයකින් හදවත ස්පන්ධනය වීම ඇරඹුණේ අකුරැස්ස පාරෙන් ඉසදීන් ටවුම පැත්තට ත්‍රිරෝද රිය හරවද්දීමය. මගේ සිතුවිලි ගැන ඉව වැටී හෝ අනුමානයට හිස හරවා දෑසට එබී බැලූ ගීත් අයියා සීතල වෙමින් තිබූ අතැඟිලි සිය අත්ලින් වසා උණුසුම් කළේය. නිවසේ තාප්පයට ටිකක් මෙහායින් රිය නතර කරන ලෙස රියදුරුට උපදෙස් දුන් ගීත් අයියා "නැත්තන් ගේට්ටුව අරින සද්දෙට කොල්ලා එළියට පැන්නොත් සර්ප්‍රයිස් කැලේ" කියමින් මා දෙස බැලුවේය. එහෙත් ඒ වනවිට ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇර දමා ඇති බව අප දුටුවේ පසුවය.

"තාත්තා අද කලින් ඇවිල්ලද කොහෙද?....බයික් එකයි කාර් එකයි දෙකම තියෙනවා" කියමින් මුලින්ම ත්‍රිරෝද රථයෙන් බිමට බැසගත් ගීත් අයියා රියදුරු හා ගණුදෙනු පියවමින් සිටියදී මම ඉස්සර වුණෙමි. ඉක්මන් අඩි තබා පසුපසින් ආ ඔහු පෝටිකෝව යටදී මගේ හෑන්ඩ් බෑගයෙන් අල්ලා මා නතර කොට අඩියක් ඉස්සරහට පැන්නේය. උරහිසින් ඇන ඔහුව පැත්තකට තල්ලු කර දොරේ හැඬලයට තැබූ අත උඩින් සුරත තැබූ ඔහු හඬ නොනැඟෙන ලෙස එය පහතට කැරකුවේ කන ළඟටම නැවී "මොකෝ හදිස්සි" අසමිනි. දොර පියනත් ඔහුත් අතරට මැදිව සිටියදී ලද සියුම් ස්පර්ශය විසින් ජනිත කළ කෝල බව මගේ මුව පුරා පැතිරෙන්නට ඇත.

"හයියෙන් අකුණක් ගහලා පළාතටම කරන්ට් එක යනවනම් හොඳයි හිතෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට" කියා මුමුණමින් ඔහු දොර යන්තමින් විවර කළේ සියුම් හඬක්වත් නොනැඟෙන ලෙසය.

"මගෙ යකා අවුස්සා ගන්ඩ එපා කුමාරි" කියමින් මාමා උස් හඬින් කෑ ගසනු ඇසුණේ ඒත් සමඟය. දොර එහෙමම වසා අඩියක් පිටුපසට තැබූ ගීත් අයියා මොකද්දෝ කියන්නට කට හදද්දීම නැන්දාගේ හැඬුම්බර කටහඬ ගෙතුළින් ඇසිණ. මාපිය සෙනෙහස වෙනුවට කන්‍යාරාමයේ නීති නීති වලින් පදම් කරගත් ළමාවියකට හිමිකම් කියන නැන්දාගේ දෑස් කඳුළින් තෙත් වන්නේත් කටහඬ බීඳී යන්නේත් එහෙමත් වෙලාවකය. ඔවුන් දෙදෙනා අතර විටින් විට අඩ දබර ඇති වූ කාලයේදීත් ඒවා සමථයකට පත් වන්නට මා ඔවුන්ට පෙනෙන ඉසව්වක රැඳී සිටීම පමණක් ප්‍රමාණවත්ය. හිතන්නටත් පෙර විදුලි සීනුව උඩ ඇඟිල්ලක් නතර වන්නට ඇත්තේ ඒ පුරුද්දටය.

"ඔය කරේ බක පණ්ඩිත වැඩක්" කියමින් කන මිරිකූ ගීත් අයියා දොර අගුල කරකවාගෙන ගෙට ඇතුළු වූයේ මට රවාගෙනය. කාමරයෙන් එළියට එමින් සිටි මාමා ඉද්ද ගැසුවාක් මෙන් එතනම නතර විය. නැන්දා සමඟ කේන්තියෙන් කිසිවකට දබර කරමින් සිටි මොහොතක නොදන්වා නිවසට පැමිණි අප දැකීමෙන් ඔහු කලබල වීම ගැන එවෙලෙහි මට පුදුමයක් නොදැනුණි.

"තාත්තා අද කලින්ම ආවද?" මාමාගේ අපහසුව වටහාගත් ගීත් අයියා අපට ඔවුන්ගේ හඬ නෑසුණ බව අඟවමින් ඇසුවේය.

"නෑ පුතා. අක්කා හදිස්සියේම ගෙදර යන්නෝනි කිව්ව නිසා මං මේ ඒගොල්ලන්ව ගාල්ලෙන් බස් එකට දාලා එන ගමන් අම්මා තනියෙන් නිසා පොඩ්ඩක් බලලා යන්න ආවා"

"අක්කා මොකටද ගෙදර ගියෙ. අයියා මට එයාලා එන කතාවක් කිව්වෙවත් නෑනෙ"
"කියන්න අයියා දන්නෙත් නෑ මයෙ හිතේ. අපිටත් කිව්වෙ මේ දවල් වැඩ ඇරලා ඇවිල්ලනෙ" කියමින් නැන්දා කාමරයෙන් එළියට ආවේ එවෙලෙහිය. කිසියම් ගැටුමක් ඇතිවී ඇති බවට ඇගේ මලානික දෙනෙත් සාක්ෂි දැරුව ද ගීත් අයියාත් මමත් දෙදෙනාම සිටියේ ඒ වගක් නොදැනුණ පරිදිය.

"මදෑ අපි එයාලව සර්ප්‍රයිස් කරන්න ආවා" කියමින් කරේ එල්ලාගෙන සිටි කුඩා බෑගය ස්ටූල් එක උඩින් තැබූ ගීත් අයියා සෝෆාවෙන් අසුන් ගත්තේය.

"පුතා ආව එකනම් හොඳයි. මං කොහොමත් ඔයාලට ගෙදර ඇවිත් යන්න එන්න කියන්නයි හිටියෙ" කියාගෙන මා ළඟට ඇවිද ආ මාමා මගේ හිස පිරිමැඳ "දැන් ඔයාලා ඉන්න හන්දා මං ආපහු කඩේ පැත්තට ගිහින් වේලාසනින් එන්නම්කො" කියා යන්නට ගියේය. දෙබැම රැළි කරගෙන කිසිවක් කල්පනා කරමින් සිටි ගීත් අයියා "ඔය දෙන්නා පිඟන් කෝප්ප ටිකක් හෝදාගන්නකල් මං වොෂ් එකක් දාන් එන්නම්" කියාගෙන උඩට දිව්වේය. මොහොතකට පෙර මලානිකව තිබූ නැන්දාගේ දෑස් යළි කාන්තියෙන් බබලවන්නට ඒ කතාවත් හැසිරීමත් ප්‍රමාණවත් විය.

හෙද විදුහලේ සිටියදී දෙසතියකට වරක් ගෙදර ඒමට තිබූ හැකියාව රැකියාවට යාමත් සමඟ නොහැකියාවකට පෙරළිණ. ගීත් අයියාගේත් මගේත් නිවාඩු එකිනෙක අතිපිහිත වන අවස්ථා විරල වීමටත් වඩා සති අන්තයක උදා වෙන එවැනි දවස් වලදී විනෝද ගමන් යාමට පුරුදු වීමෙන් ගෙදර එන අවස්ථා අඩුවිය. මියුරු අක්කා ගෙදරට ඒමත් සමඟ නැන්දාත් මාමාත් ගැන සිතමින් ළතැවෙන පුරුද්දත් ක්‍රමයෙන් මා තුළින් ගිලිහ ගොස් තිබිණ. වසර කිහිපයකට විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටි ගීත් අයියා ඇතැම්විට හිතා මතාම මට නැන්දාත් මාමාත් නොදැක දීර්ඝ කාලයක් සිටීමට හුරු කරවීම සඳහා විනෝද චාරිකා සැලසුම් කළා වන්නට ද පුළුවන.

"ඔයාලා මේ ගෙදර ආවෙ මාසෙකින්. චූටි පුතාව රාහුලේට දැම්මට පස්සෙ ආවෙම නෑ නේද?"

ස්ථාන මාරුවක් ලබා මාතරට පැමිණි මියුරු අක්කාට වෛද්‍ය වෘත්තිකයින්ගේ දරුවන් ජාතික පාසැල් වලට ඇතුළත් කිරීමට රජයෙන් ලබාදුන් විශේෂිත වරප්‍රසාදයකින් පුතු මහිම්ව රාහුල විද්‍යාලයට ඇතුල් කිරීමේ වරම හිමිවූ බව දැනගන්නට ලැබුණේ අප වගීෂ අයියලාගේ නිවසට ගිය සතියේදීය. ගෙදර නෑවිත් එහෙ මෙහෙ සවාරි යාම ගැන මගේ හිතටත් වද දෙමින් තිබූ පසුතැවිල්ල කඳුළින් කෙළවර කරන්නට නැන්දා නොසිතන්නට ඇත. එහෙත් නැන්දාත් මාමාත් ගැන ඕනෑවටත් වඩා හිතින් ළතැවූ එදවස දෑස් තෙමන්නට මහා බරපතල කාරණා උවමනා නොවීය.

"මං වැරැද්දක් කිව්වා නෙවෙයිනෙ පුතේ. පොඩි එවුන් දෙන්නා නිසා දවල් දවසට ලොකුවට පාළුවක් දැනුන්නැතුවට හැමදාම රෑට කුස්සිය අස් කරන්න ගියාම මට ඔයාව මතක් වෙනවා" කියමින් හිස පිරිමැඳි ඇගේ දෑසෙහි ද ඒ මොහොතේ කඳුළක් දිලිසෙමින් තිබිණ.

"ඔයත් ගිහින් ඇඟ පත හෝදගෙන එන්න පුතේ. ඔයාලගෙ කාමරත් පොඩ්ඩක් දූවිලි පිහලා අතුගාගන්න වේවි. මට මේ පොඩී එකීට කවන්න පොවන්න එහෙ මෙහෙ දුව ඇවිදලාම කොන්දෙ අමාරුවක් හැදිලා නිසා උඩට යන්න අමාරුයි. අක්කා හිටියට ඔයා වගේ පිළිවෙලකට වැඩක් කරන්නෑ. දන්නවනෙ එයාගෙ හැටි. මාමා කියන්නෙ ළමයි බලාගන්න කෙනෙක් නැති නිසා නෙවෙයි ගෙදර වැඩ ටික කරගන්න බැරුව මෙහෙ ඇවිත් කියලා" කියමින් සිනාසුණ නැන්දා මගේ මුහුණ ආදරයෙන් අත ගෑවාය. ඉවුම් පිහුම් සහ ගේ දොර වැඩ කටයුතු වලට මැලිකමක් දැක්වූ මියුරු අක්කා මාරුවක් ඉල්ලීමේදී ඒ වාසිය ගැනත් සලකා බැලූ බවට කිසිඳු සැකයක් නැත. යහපත් ගති පැවතුම් වලට උරුමකම් කියන මාපිය යුවලකට දාව බිහිවී ඔවුන් තුරුලේම හැදී වැඩී උස් මහත් වුවත්, මියුරු අක්කා තුළ මෙන්ම ගීත් අයියා තුළත් වූ අතිශය ආත්මාර්ථකාමී සිතුවිලි ගැන නැන්දාත් මාමාත් දැන සිටි බව සැකයකින් තොරව ඔප්පු වූයේ එදිනය.

කල්තියා නිවසට එන බවට පොරොන්දු වූ මාමා එදා වෙනදාටත් වඩා ප්‍රමාද විය. ගීත් අයියාගේත් මගේත් රැකියා ගැනත්, මියුරු අක්කාත් රොෂාන් අයියාත් දෙපසක රැකියාව කිරීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අතුරු ආපදා ගැනත් කතා බහ කරමින් අප කෑම කා අවසන් වනවිට රාත්‍රි නවයත් පසු වී තිබිණ. ගීත් අයියා හා මාමා ඉදිරියේදී කියාගන්නට බැරි වූ මියුරු අක්කාගේ කම්මැලිකම් නිසා සිදුවන අතපසුවීම් ගැන කියමින් නැන්දා මා පිඟන් කෝප්ප සෝදා අසුරණ දෙස බලා සිටියාය. මා යොවුන් වියට එළෙඹෙද්දී නිවසේ රැඳුණේ ඇයත් මමත් පමණක් නිසා නැන්දා පසුපසම දැවටෙමින් සිටි මට ගේ දොර වැඩ අමුතුවෙන් ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නොවීය. ඒත් මියුරු අක්කාගේ තත්වය ඊට සහමුලින්ම වෙනස් විය. විවාහ වී වෙනම නිවසක පදිංචියට යනතුරුම ඇය ඇගේ වැඩ නැන්දා හෝ මා ලවා කරවා ගන්නට පුරුදුව සිටියාය.

කුස්සිය අස්පස් කර අතුගා දමා මා උඩට යනවිට ගීත් අයියාත් මාමාත් සිටියේ බරපතල සාකච්ජාවකට මැදිවය. මහරගමදී බස් රථයේ අසුන් ගනිමින් ගීත් අයියා මිමිණූ වදන් යළි සිහිපත් වීමත් සමඟ සිතුවිලි නොසන්සුන් විය. ගෙවුණ විසිපස් වසර තුළ මාමාගේ පොඩි දූ භූමිකාවට පණ පෙවූ මට හෙට උදෑසන ඒ තරප්පු පෙළ බසින්නට සිදුවන්නේ ඔහුගේ එකම පුතුගේ අනාගත සහකාරිය ලෙස බව සිතෙත්දී, අකුණු ගසමින් මහ වැසි ඇද හැලෙමින් තිබූ ඒ රාත්‍රියේත් මගේ නළලින් දාබිඳු වැගිරෙන්නට විය.

මාමාත් නැන්දාත් අපේ සබඳතාවය කෙරෙහි දක්වන ප්‍රතිචාරය ගැන දෙගිඩියාවක් නොතිබුණත් කෝටිපති වරමක් හිමිවන ලොතරැයියක අංක සියල්ල ගැලපුණ පසුව ඉංග්‍රීසි අක්ෂරය වැටෙන තුරු බලා සිටිනා දුප්පත් ගැහැණියකගේ හදවතක් මෙන් මගේ හදවත ද වේගයෙන් ස්පන්ධනය වෙමින් තිබුණේය. නාන කාමරය තුළට ගොස් දොර වසා ගත්තද වෙනදා අත්විඳි සැහැල්ලුව කොතනකවත් නොතිබිණ. ගීත් අයියා එනතුරු කාමරයට වී සිටිය යුතු බවට මොළයෙන් නිකුත් වන අණ පිළිපදින්නට හදවත අකමැති විය. ඒ දෙක අතර වූ ද්වන්ධ සටන අවසානයේදී ජයගත් හදවතට අවැසි ලෙස අපේ කාමර දෙක අතර වූ සෝෆාවේ වකුටු වී නිදාගන්නට මට සිදු වූයේත් ඒ ආතතියේ ප්‍රතිඵලයක් ලෙසය.

පුංචි කාලයේ සිට ඒ වහළ යටදී සැමරූ මගේ ජීවිතයේ විශේෂිත අවස්ථා සිහිපත් කරමින් සිටියදී ගීත් අයියාගේ අඩි හඬ ඇසෙන්නට විය. එහෙත් මා බලාපොරොත්තු වූ තරම් දීර්ඝ කාලයක් ඔහුට උවමනා වී නොතිබිණ. වෙනත් කල්පනාවකින් බිම බලාගෙනම උඩට ආ ගීත් අයියා උඩම පඩියේ නැවතී විනාඩි දෙක තුනක් තරමේ කාලයක් දෑස් සිහින් කරගෙන මා දෙස බලා සිටියේය. අවසානයේදී සිනහව තෙරපෙන දොතොල් තද කර පියාගෙන ඔහු මා අසලට ආවේ "මොනාද කල්පනා කරන්නෙ" අසාගෙනය.

"අද රෑට නිදාගන්නෙ මේ කාමර දෙකෙන් කෝකෙද කියලා" මම කකුල් දෙක පහතට දමා හරි බරි ගැහෙද්දී ඔහු මා ළඟින් වාඩි වූයේ "මං මොනාහරි කිව්වම තමයි හරි නරකයි කියන්නෙ" කියමින් නාසය සොලවා සිනාසෙමිනි.

"විහිළු නෙවෙයි....මාමා මොනාද කිව්වෙ කියන්නකො. මටනම් දැන් මූණවත් බලන්න ලැජ්ජයි"

"කාගෙවත් මූණ බලන්න ලැජ්ජා වෙන දේවල් මොනවත් අපි කරලා නෑනෙ. බය නැතුව ඉන්නකො. අද තාත්තගෙ මූඩ් එක මට එච්චර ඇල්ලුවෙ නෑ. ඒ නිසා මං මොකුත් අහන්න ගියෙ නෑ. අපිට හෙට හවස් වෙලා ගියත් ඇතිනෙ. මං උදේට තාත්තා එක්ක කතා කරන්නම්. ඔයා දැන් බය නැතුව ගිහින් නිදාගන්නකො" කියමින් කර වටා අත යවා මා තුරුළු කරගෙන හිස් මුදුන සිපගත් ඔහු නැඟිට්ටේය.

"දවසක් අර කිව්ව විදිහට මෙතන මෙහෙමම නිදිකරවන්න බැරිද දන්නෑ"

"පුළුවන්. හැබැයි දැන්ම නෙවෙයි තව මාස තුන හතරකින්" කියූ ඔහු කාමරයේ දොර ළඟට ගොස් මා එතනින් නැඟිට යනතුරුම සිනාසෙමින් බලා සිටියේය.

හිස් මුදුනෙහි රැඳි උණුසුමත්, ඒ දොතොලතර රැඳි සිනහවත් සුන්දර රාත්‍රියක් තිළිණ කර තිබුණේ බොහෝ කාලයකට පසුය. එහෙත් ඒ සුවබර නින්දට ආයුෂ තිබුණේ කොහේදෝ ඈතක පිපුරූ අකුණක හඬ සවණත පතිත වන තුරු පමණි. කොට්ටය අසල වූ ජංගම දුරකථනයෙහි වෙලාව සටහන්ව තිබුණේ එකොළහයි විස්ස ලෙසය. කාමරයේ විදුලි පහන දල්වා දොර ඇර නාන කාමරයට යන්නට ගිය මට පඩිපෙළ මැද්දේ කෙනෙකු වාඩි වී සිටින බව පෙනුනේ අඳුරු ජායාවක් තරමටය. එක්වරම ගිරිය යටින් පිටවෙන්නට ගිය හඬ ඒ ගීත් අයියාව වගට මොළයෙන් නිකුත් වූ සංඥාව හමුවේ නැවතිණ.

හඬ නොනැඟෙන අයුරින් හෙරක සේ හෙමිහිට අඩි තබා පහළට බසිමින් සිටි මට මුලින්ම ඇසුණේ නැන්දාගේ හඬය. ඇය මාමාට කිසිවක් ඒත්තු ගන්වන්නට උත්සාහ කරමින් සිටියාය. ඔවුන්ගේ නිදන කාමරයේ දොර තිබෙන්නේ පඩිපෙළේ ගීත් අයියා හිඳ සිටි කොටසට යටිනි. කෙතරම් සෙනඟක් මැද්දේ සිටියත් ගීත් අයියාට මා ඔහු පිටුපසින් සිටියදී ඒ වග සංවේදනය නොවන්නේ එහෙමත් වෙලාවකය. ඒ ඔහු ගැඹුරු කල්පනාවක සිටිනවානම් පමණි. නැන්දාත් මාමාත් අතර ඇතිවන සංවාදයට හොරෙන් කන් දීගෙන සිටි ඔහුට මා ඊට පඩි දෙකක් ඉහළින් වාඩිවූ බව නොදැනුණි. සාමාන්‍යයෙන් ඔහු විසින් කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කරගත් ගති සිරිත් වලට ඒ මොහොතේ කරමින් සිටි ක්‍රියාව කිසිසේත්ම අනුකූලතාවයක් නොදැක්වීය. එතෙක් කල් රැකගත් යහ පුරුදු අමතක කොට ඔහු සවන්දෙන සංවාදය ගැන කුහුල බලවත් නොවන්නට මා ඊට කන්දීම වෙනුවට ඔහුගේ හිසට තට්ටුවක් දමන්නට ඉඩ තිබිණ.

"ඔයාට කවදාහරි පොඩි දුව අපේ දරුවෙක් නෙවෙයි කියලා දැනිලා තියෙනව ද?......ලොකු දුව කියපු කරපු දේවල් එක්ක පරිස්සමින් ළඟ තියන් හැදුවට මේත් අනුන්ගෙ දරුවෙක්නෙ කවදාහරි එයත් ඔය ටිකම තමයි කරන්නෙ කියලා ඒ කාලෙ තරහා ගිය වෙලාවට මං මොනා කියලා කෑ ගැහුවත් ඔයා පොඩි දුවටයි අපේ සුදූටයි දෙන්නටම සැලකුවෙ එකම විදිහට කියලා මං දන්නවා කුමාරි. කුසින් වැදුවෙ නැති වුණාට කැත කුණු අතගාලා ඔයාගෙම කිරි දීලා උස් මහත් කරලා ඇහේ තියන් පරිස්සම් කරපු දරුවා ගැන ඔයා කොහොමද ඔහොම හිතන්නෙ කියලා මට හිතාගන්න බැරි ඒ නිසා" ගීත් අයියාට ඒ සංවාදයට කන්දීම එතරම් වැදගත් වූයේ මන්දැයි මට වැටහුණේ මාමා ගේ හඬටය. ඉන් එහා ඒ දෙදෙනා අතර හුවමාරු වූ වදන් කිසිවක් නිශ්චිතව පෙළ ගස්සවා ගැනීමේ හැකියාවක් අද තබා එදාවත් මා ළඟ නොතිබිණ. ඒත් ගීත් අයියාට මා ගැන සංවේදනය වූ ඇසිල්ලේම අතින් මුව වසාගෙන උඩට දුව එද්දී ඔහු ඒ පසුපසින් ආ බවත්, කාමරයේ දොර වසා අගුල තද කර "ඔයාට අඬන්න තරම් දෙයක් වුණේ නෑ සුදු නෝනා" කියමින් තදින් මා තුරුළු කරගත් බවත් මට යන්තමින් මතකය.

ඊළඟ මතක සක්මනින් හමුවෙමු