Tuesday, August 4, 2020

තුන් නද තත්සර - තෙවැනි තත්සර මුසුව සමාධිගෙන්







තෙවැනි තත්සර මුසුව සමාධිගෙන්
********************************


යතුරු පැදියක අවශ්‍යතාවය දැනුණේ උඩවලවට පය තැබූ මුල්ම දවසේ සිටය. හැමවිටම මා ගැන ඉහළින්ම විශ්වාස කළ අප්පච්චීගෙන් ඊට අනුමැතිය ලැබුණ ද, අම්මාත් අත්තම්මාත් සිටියේ මගේ තීරණයට විරුද්ධවය. ඈතකින් හෝ බෝඩිම් කාමරයක් සොයාගෙන තනිව ජීවත් වීමේ සිහිනය කුඩු පට්ටම් කර බලහත්කාරයෙන්ම උඩවලවට ආ අත්තම්මා මා වටා බැඳ ඇති වැට කඩොළු උඩින් පැන යාම ලෙහෙසි නැත. ඒ වෙනුවෙන් පිඹුරු පත් සැකසිය යුත්තේ සීරුවටය. ඇගේ හිත රිදවා මගේ අරමුණ මුදුන් පත් කර ගැනීමෙන් ලැබෙන තෘප්තියක් නැත.

වසර දෙක තුනකට වරක් ලැබෙන ස්ථාන මාරුවීම් සමඟ විවිධ පළාත් වල සේවයට යන අප්පච්චී නොමැති නිවසේ එදවස අපට සිටි ලොකුම ආරක්ෂකයා අත්තම්මාය. අප්පච්චිගේ හෙවනැල්ලෙන් මිඳී ජීවත් වීමට තරම් චිත්ත ධෛර්යක් නොතිබි අම්මාට ජීවන ගමන පහසු කරමින් ඇය පිටුපසින් සිටියේ අත්තම්මාය. නංගිලා දෙදෙනාත් මමත් බලා කියා ගනිමින් අම්මාට හිත නිදහස්ව තබාගෙන රැකියාව කරන්නට ඉඩ හසර හදා දුන්නේ ඇයය. වයසින් වැඩී, තුරුණු වියට එළැඹ, වගකීම් දැරිය හැකි රැකියාවක් ලබා ගත් පසුව හෝ අත්තම්මා ඇගේ භූමිකාව හැර යන්නට අකමැති වීම විටෙක වදයක් නොවුණා නොවේ. ඒත් අත්තම්මා ඇසුරෙහි දිවි ගෙවීම සුන්දරය. ඇයට අප තවමත් නොදරුවන්ය. අප විසින් ඇයව ආරක්ෂා කළ යුතු වයසේදීත්, ඇය අපේ ආරක්ෂාව ගැන වද වෙන්නේ එහෙයිනි.

පොත් කීපයක් ගැනීමට උවමනා බව පවසා වේලාසනින්ම දිවා ආහාරය සකස් කොට තබා මා ඇඹිලිපිටියට ආවේ යතුරුපැදි වල මිළ ගණන් විමසා බැලීමේ යටි අදහසක් හිතේ තබාගෙනය. එහෙත් යතුරු පැදි ගැන දැනුවත්භාවයකින් තොරව යතුරු පැදියක් තේරීම අපහසු බව තේරුම් ගන්නට එතරම් කාලයක් ගත නොවුණි. අලෙවි සහායකයා විසින් පැවසූ වදන් අතරින් මට නිවරදිව ග්‍රහණය කරගත හැකි වූයේ ලීටරයකට ධාවනය කළ හැකි කිලෝමීටර් ගණන පමණි. ඊළඟ වතාවේ ගෙදර ගිය පසු අප්පච්චී සමඟ ඒ ගැන කතා කරන්නට සිතමින් මා බසයකට නැග්ගේ හිත තුළ වූ බලාපොරොත්තු අලුත් කරගෙනය.

නිවසට මඳක් එහායින් වූ නැවතුමේදී මා බසයෙන් බැස ගන්නා විට පස්වරු එක පසු වී තිබිණ. උදෑසන වැසි වැටුණ බවක සලකුණක්වත් ඉතිරි නොකරන්නට වග බලාගත් ගිනි කූටක අව්ව දෙපා කඩිසර කළ ද, නළලින් දා බිඳු වැගිරෙන්නට විය. දෙපයින් මුදා ගත් පාවහන් විවෘත ආලින්දයේ කෙළවරක වූ සපත්තු රඳවනයෙන් තබන්නට පෙර ආගන්තුක විලවුන් සුවඳක් නාස් පුඩු ආක්‍රමණය කළේය. උදෑසන දුටු ආගන්තුකයාගේ රුව දෑස් කොනකට අසු වූයේ ඉන්පසුය. මා හිස හරවන විටත් ඔහු සිටියේ සිනහවකින් දෙතොල සරසාගෙනය.

"මේ මිස් මන්තිලක වෙන්නෝනි" ඔහුගේ ගැඹුරු හඬ එතෙක් කිසිවෙකු නොකළ ආමන්ත්‍රණයකින්ම අවදි වද්දී පුදුමයක් නොදැනුණා නොවේ.

"මං සමාධි. සමාධි අප්සරා. මිස්ටර් මදනායකට පහසු නමක් කියන්න සර්නේම් එක නැතුව" දෙතොල් මත වූ සැහැල්ලු සිනහව සඟවන්නට තැත් නොකළ ඔහු අත්තම්මා විසින් ඒ මොහොතේ රැගෙන විත් පිළිගැන්නූ බීම වීදුරුව අතට ගත්තේ ඇයට ස්තූති කරමිනි. ලේන්සුවෙන් දාඩිය පිස දමමින් සිටි මා දෙස බැලූ අත්තම්මා "මං හිතුවෙ ලොකු පුතා එන්න තව පරක්කු වෙයි කියලා" කියමින්ම ගෙතුළට ගියාය. පිරිමි දරුවන් නොමැති පවුලක වැඩිමලිය වූ මට ඉදහිටක හෝ ලොකු දූ කියන්නේ අම්මා පමණි. අප්පච්චීටත් අත්තම්මාටත් ඒ නම නුහුරුය.

"අත්තම්මා මොනාහරි බීලා යන්න ඉන්න කියලා බල කළා. තාම කෑවෙත් නෑ කියලා අම්මා ගියා. මං නැවතුණා" පෙර දැනුම් දුන් වේලාවට පිට්ටනියට ඒමට අපහසු වූ කුඩා පන්තියක දරුවෙකු අහන්නට පෙර නිදහසට කාරණා ගොනු කරන අයුරින් ඔහු ඔහුගේ පැමිණීමත්, රැඳී සිටීමත් පිටුපස වූ තතු හෙළි කළේය.

"ඒක කොච්චර හොඳද" කියවෙන්නට ගියත් ඉක්මනින් වදන් ගිලගන්නට මට හැකිවිය. මා වෙනුවෙන් බීම වීදුරුවක් රැගෙන අත්තම්මා යළිත් එළියට ආවේ එවෙලෙහිය.

"මහන්සිද පුතේ " අසමින් බීම වීදුරුව මා අත තැබූ අත්තම්මා ළඟ තිබුණ ප්ලාස්ටික් පුටුවකින් වාඩි වී මට ඔහුව හඳුන්වා දුන්නාය. අත්තම්මාගේ හඳුන්වා දීමට අනුව ඒ සුනේත්‍රා මැඩම්ගේ බාල පුතණුවන්ය. දකුණු කොරියාවේ රැකියාව කරන ඔහු සති කිහිපයකින් ආපිට යන්නට බලාපොරොත්තුවෙන් පැමිණ ඇති බව පවා අත්තම්මා දැන සිටියාය.

"මිස් සමාධි ට ලියුමක් තිබුණා" අත්තම්මා කතාව අවසන් කරන තුරු සිහින් සිනහවකට දෙතොලේ ලැගුම් ගන්නට ඉඩ දී බලා සිටි ඔහු යාබද ප්ලාස්ටික් පුටුව මත වූ මෙරුන් පැහැ කවරයක බහා ලූ ලිපියක් මා වෙත දිගු කළේය. කවරයේ වර්ණයත්, අත් අකුරුත් හිත නොසන්සුන් කළ ද, මම ඒ බව සඟවාගෙන සිටින්නට උත්සහ කළෙමි.

"අත්තම්මගෙ බීම එක හරි රහයි" කියමින් හිස් වීදුරුව අත්තම්මා අත තිබූ බන්දේසියෙන් තැබූ ඔහු හුන් තැනින් නැඟිට්ටේය.

"එහෙනං යන්න කලින් එන්නකො බත් කටකුත් කාලම යන්න" ඔහුගේ වර්ණනාව මහ ඉහළින් පිළිගත් අත්තම්මා පුටුවෙන් නැඟිට්ටේ තවත් ආරාධනාවක් සමඟය. උඩරට ගැමි ගැහැණියක් වූ අත්තම්මගේ ආගන්තුක සත්කාරය එහෙමය. ගෙට ගොඩවෙන කාට වුවත් තේ උගුරක් හෝ නොබී යන්නට ඉඩ ලැබෙන්නේ කලාතුරකිනි.

ඔහුටම අනන්‍ය සිහින් සිනහවකින් අත්තම්මගේ ඇරයුම පිළිගත් ඔහු "මං එහෙනං ගිහින් එන්නම් අත්තම්මෙ. බොහොම ස්තූතියි! සංග්‍රහයට" කියා අත්තම්මාගෙන් සමුගෙන මා අසලට එනවිටත් ඒ සිනහව එලෙසම තිබිණ. අත රැඳි මංගල ඇරයුම්පත විසින් හදවතෙහි ඇති කළ නොසන්සුන්කම සඟවමින් අපහසුවෙන් දෙතොල් මෑත් කර මම ඔහුට සමුදෙන්නට සූදානම් වුණෙමි.

"මිස් සමාධි හවසටත් ජොගින් යනවද"

"මිස්ටර් මදනායක කොහොමද දන්නෙ මං ජොගින් යනවා කියලා. මැඩම් කිව්වද"

"නෑ මං උදේ දැක්කා ජොගින් ගිහින් ත්‍රීවිලර් එකකින් ගෙදර එනවා" කියමින් ඇඟට පතට නොදැනී සරදම් කළ ඔහු "මං අසේල. ඔයා වගේම මාත් කැමතියි සර්නේම් එක නැතුව මගෙ නමින් කතා කරනවට" කියාගෙන සිනාසෙමින්ම යන්නට ගියේය.

"හරිම ගුණ යහපත් දරුවෙක්" ඔහු ගෙතුළට යනතුරු බලා සිටි අත්තම්මා ඒ වනවිට ලියාගෙන සිටි චරිත සහතිකයට අත්සන තැබුවාය. ඊට එරෙහිව කිසිවක් කියා අත්තම්මාව අවුස්සා ගන්නට තරම් ඉස්පාසුවක් මට නොතිබිණ. ඉංග්‍රීසියෙන් ලිපිනය ලියා තිබූ අත් අකුරු අතරෙහි මොහොතකට දෙනෙත් නැවතිණ. පෙරදින රැයෙහි වට වැස්ස අමතක කරවමින් මුදුන් වූ හිරු යළිත් දාහය රැගෙන විත් තිබිණ. ගම් වලින් නොඇලවුණ ලියුම් කවරයේ කෙළවරක් ඇඟිල්ලෙන් ඉහළට එසවිණ. කොහේදෝ සිට හමා ආ සුළඟක් උඩු තොල මත රැඳි දා බිඳු රැගෙන ගියේය.

"මඟුල් කාඩ් එකක්ද පුතේ" ඇසූ අත්තම්මා පිළිතුරක් බලා නොසිටම කුස්සියට ගියාය.

තුනී කඩදාසි කවරයේ සිරව සිටි ඇරයුම්පතේ රන් පැහැයෙන් මුද්‍රිත අකුරු අතරේ කලබලයෙන් ඇවිද ගිය නෙත් එක් තැනක නැවතිණ. පෙරටත් වඩා සිසිල් සුළඟක් ආලින්දය හරහා හමා ගියේය.

"බඩගිනි නැද්ද පුතේ. දැන් දෙකටත් ළඟයි" අත්තම්මාට පෙර ඇගේ කුළුණුබර හඬ ගෙතුළින් මතුවිය.

"බඩගිනියි අත්තම්මෙ. වෙනදටත් වඩා බඩගිනියි. මං නාලා එනකල් අත්තම්මා බත් බෙදන්නකො" කියාගෙන මිදුලේ වනා තිබූ තුවායත් රැගෙන මා නාන කාමරයට යන විටත් හිත මහා සැහැල්ලුවකින් පිරී තිබිණ.

සිව්වෙනි තත්සර මුසුවට එකතු වෙමු

Monday, August 3, 2020

තුන් නද තත්සර - දෙවන තත්සර මුසුව අසේලගෙන්






දෙවන තත්සර මුසුව අසේලගෙන්
*******************************

"ඇති අම්මා. දැන්නම් හොඳටම බඩ පිරිලා" අතට ගත් බත් හැන්ද අකමැත්තෙන් මෙන් දීසියෙන් තැබූ අම්මා මා ඉදිරියෙන් අසුන් ගත්තාය. අන් සෑම දේකටම වඩා වැඩි අවධානයක් අපේ කෑම බීම කෙරෙහි යොමු කරන්නට පුරුදුව සිටි අම්මා ඉන් හිත රිදවා ගත්තාට සැක නැත. එහෙත්, තෙවසරක් මුලුල්ලේ පුරුදු පුහුණු වූ ආහාර රටාව එකවර ඉක්මවා යාම අසීරුය.

"කොච්චර කාලෙකින්ද පුතේ. මටනම් ඇත්තටම තාමත් හීනයක් වගේ" බදින ලද වැව් මාළු කෑල්ලක් මගේ කැමැත්ත විමසීමකින් තොරවම පිඟානට දැමූ අම්මා හිමීට දෑස් අග පිස ගත්තාය. ගෙවී ගිය කාලය තුළ ඇය ඉහිලූ දුක් කඳ ඒ අවසන් වදන් තුන තුළ මොනවට ගැබ්ව තිබිණ. සියළු දුක් කරදර නිහඬවම උහුලනා ඇයට සතුටු වීමට මහ ලොකු කාරණා අවැසි නැත. බෙදූ බත් පත රුචියෙන් අවසන් කිරීම පවා ඇගේ සිත අස්වසන බව දන්නා නිසාම මම අපහසුවක් නොපෙන්වා කෑම පිඟාන හිස් කළෙමි.

"පුතා අද හෙටම ආපහු යන්නෑ නේද?"

"ආවෙනම් ටික දවසක් ඉන්න බලාගෙන තමයි. හැබැයි ඔය අස්සෙ අම්මා මඟුල් ජෝඩු කරන්න ගත්තොත්නම් මං යන්නෙත් ආව විදිහටම තමයි " සතියකට වරක් අම්මාත් මාත් අතර සිදුවන දුරකථන සංවාදයන් බොහෝවිට කෙළවර වන්නේ ඒ මාතෘකාවෙනි. ඇය ඒ ගැන කතා කරන්නට පටන් ගත්තේ අයියාගේ විවාහයෙන් දෙමසක් ඉක්ම යන්නටත් පෙර සිටය. අනපේක්ෂිත මොහොතක තාත්තා අපව හැරගිය පසු ටික කාලයක් නිහඬව සිටි ඇය නැවතත් සුපුරුදු මාතෘකාව සොයාගෙන තිබුණේ මෑතකදීය. පෙර දින රාත්‍රියේ නිවසට එන තුරුම ඒ බව අම්මාගෙන් වසන් කරන්නට ඒ හැර වෙනත් හේතුවක් නොතිබිණ. නැතිනම් අද නැතත් හෙට අනිද්දා දිනකම නන්නාඳුනන තරුණියකගේ නිවසක මා වෙනුවෙන් දිවා ආහාරය පිළියල වීමට ඉඩ තිබිණ. අම්මාගේ වැඩ එතරම් සූක්ෂමය. ඇය කොහොමත් කෙටි නිවාඩුවකින් උපරිම ප්‍රයෝජන ගන්නා කලාව දැන සිටියාය.

"ඒවත් ඉතින් කෙරෙන්න එපැයි පුතේ. ඔයාට දැන් විසි නවයක්. මාත් ආසයිනෙ මැරෙන්න කලින් දරු මුණුබුරෙක්ගෙ මූණ බලන්න" එවෙලෙහි අම්මාට ඇගේ සුපුරුදු තැටිය වාදනය කරන්නට මඟ විවර වූයේ මා අතිනි. වෙනදා මෙන් එයින් පැන යන කලබලයක් මා තුළ නොතිබීමට හේතුව එයම නොවුණත් මම අම්මාට ඇති තරම් කතා කරන්නට ඉඩ හැර නිහඬව සිටින්නට තීරණය කළෙමි.

ඉදුණු ගස්ලබු ගෙඩියක් කෑලි කපා පිඟානක තබාගෙන ආ නාලි අක්කා එය මේසය උඩින් තැබුවේ අම්මා දෙස හොරැහින් බලා සිනාසෙමිනි. ඥාතිත්වය අනුව අප ඇයව අක්කා ලෙසින් ආමන්ත්‍රණය කළ ද, නාලි අක්කාත් මාත් අතර වූ වයස් පරතරය අවුරුදු විස්සකට වැඩිය. වංචනික විවාහයකින් බැට කා ජීවිතය එපා වී සිටි ඇයව අපේ නිවසට කැඳවාගෙන ආවේ මා පාසලට බාරදුන් අලුතමය. එතැන් සිට නිවසේ වැඩ කටයුතු පමණක් නොව, අයියාගේත් මගේත් ඇඳුම් පැලඳුම් සේදීම පවා සිදු වූයේ ඈ අතිනි. අම්මාත් තාත්තාත් වරින් වර ඇයට විවාහ යෝජනා ගෙනා බව මට මතකය. එහෙත්, පළමු විවාහයේ අමිහිරි මතකයන් වළ දමා අලුත් කුටුම්භයක් තනන්නට බිය වූ ඇය දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ ජීවත් වන්නේ අපේ අම්මාගේ සෙවණ යටය.

"ලොකු නැන්දා දැනටම චූටි මල්ලිට හොඳ ගෑණු ළමයෙක් හොයාගෙනයි ඉන්නෙ" අම්මාත් මාත් දෙස මාරුවෙන් මාරුවට බලමින් වචන එකතු කළ නාලි අක්කා මා කිසිවක් කියන්නට පෙර සිනාසෙමින්ම කුස්සියට රිංගා ගත්තාය. මට එක්වරම උදෑසන දුටු තරුණිය සිහිපත් විය.

නාලි අක්කා විසින් පිළිගැන්වූ එළකිරි කෝප්පය තොල ගාමින් විවෘත ආලින්දයේ වූ වේවැල් පුටුවක හාන්සි වී කලකින් නුදුටු වටපිටාව වැහි දියෙන් නැහැවෙන අපූරුව විඳිමින් සිටි මගේ දැහැන බිඳුණේ ඇර තිබූ ගේට්ටුවෙන් ඇතුළට ආ ත්‍රිරෝද රථයක හඬිනි. තාත්තා විසින් අයියා වෙනුවෙන් ඉදිකළ අලුත් නිවස අසලින් නතර කළ ත්‍රිරෝද රියෙන් බැස සිනාසෙමින් ගෙට දුව ගිය තරුණිය මට හරි හැටි දකින්නට ලැබුණේ ඉන් මිනිත්තු දහය පහළොවකට පසුය. අලු පැහැති ක්‍රීඩා කලිසමකින් සහ සුදු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී ගෙතුළට ගිය ඇය ඒ මොහොතේ දණහිසට මඳක් දිගු මල් වැටුණ ගවුමක් හැඳ ආලින්දයේ වූ රවුම් කුළුණකට බරදී සුදු පැහැති මග් එකක් අත තබාගෙන වැස්ස දෙස බලා සිටි අයුරු සිත්තමක් මෙන් මනසේ ඇඳී තිබීමම පුදුම සහගතය.

"අපි ඒ ගැන නිවී සැනසිල්ලෙ කතා කරමුකො පුතා. ඔයා තව ටික දවසක් ඉන්නවනෙ" මා කල්පනාවක වග තේරුම් ගත් අම්මා හඬ අවදි කරන තුරුත් මා සිටියේ උදෑසන දුටු දසුන එතරම් තදින් හිතේ තැන්පත් වීමට සාධාරණ හේතුවක් සොයමිනි. ගැහැණු රුවක් එතරම් පැහැදිලිව හදවතේ සිත්තම් වූ වෙනත් අවස්ථාවක් ගැන මතකයක් හිතේ අහු මුළු අතරවත් නොතිබිණ. පාසලට අලුතින් පත්ව ආ ගුරුවරියකට නිවස කුලියට දුන් වග අම්මා පැවසුවේ මාස කීපයකට පෙරය. ගුරුවරියක් කියූ සැණින් මගේ සිතුවිලි අතර ලැගුම් ගත්තේ මැදිවියේ කාන්තාවක්ය. එහෙත් මේ කියූ ගුරුවරියට එතරම් තරුණ දියණියක් සිටිය හැකි වගට අනුමානයක් හෝ නොතිබීම තුළින් ඉපදුණ පුදුමය ඒ සිදුවීම මනසේ නිදන් කරන්නට ඇත.

"පුතා දැන් කාලා කොහෙහරි යන්න හිතාගෙන ද ඉන්නෙ"

"නෑ....ඇයි අම්මට කොහෙ හරි යන්න ඕන්නං කියන්න. මං එක්ක යන්නම්" දීර්ඝ ගුවන් ගමනක වෙහෙස සුව නින්දක් ප්‍රාර්ථනා කරමින් සිටිය ද, අම්මාගේ ඉල්ලීමක් බැහැර කර ලබන නින්දක් සුව නින්දක් වන්නේ නැත. නින්දට පෙර මූලිකත්වය දිය යුත්තේ ඇගේ ගමනටය.

"එහෙම කොහෙවත්නම් යන්න ඕන්නෑ. ඒත් පුතාට මහන්සි නැත්තන් අපි කාලා ඉවර වෙලා චුට්ටක් එහා පැත්තෙ ගෙදරට ගොඩ වෙලා එමු. ඔයා මාසයක් හමාරක් ඉන්නවා නම් දැන අඳුරාගන්න එකත් හොඳයිනෙ" උදෑසන සිටම හිතට වද දුන් කුකුස සන්සිඳුවා ගන්නට මාර්ගය අම්මා විසින්ම විවෘත කළාය. කාල කලමනාකරණය පිළිබඳව අම්මා කිසියම් පශ්චාත් උපාධියක් හදාරා ඇත්දැයි සැක හිතෙන්නේ එවන් අවස්ථා වලය. හෙටට හෝ පස්සට කල් දමන වැඩ ඇගේ කාල සටහනට ඇතුළත් වන්නේ එහෙමත් වෙලාවකය.

"කවුද අම්මා එහෙ ඉන්නෙ. ඉස්කෝලෙ යන ළමයි ඉන්නවනම් අර බෑග් වල ඇති ඔය ලස්සන ලස්සන පෑන් පැන්සල් එහෙම. නාලි අක්කට කියන්නකො ටොෆි චොකලට් ටිකක් එක්ක ඒවයින් ටිකකුත් ලෑස්ති කරලා දෙන්න කියලා" අම්මා පුටුව පස්සට කර නැඟිට්ටේ හිනාවක් දෙතොලෙහි හිර කරගෙනය.

"ඇයි අම්මා හිනා වෙන්නෙ"

"එහෙම ලොකු පවුලක් නෙවෙයි පුතා ඉන්නෙ. පොඩි ටීචර් කෙනෙක්. මං හිතන්නෙ ඔයාටත් බාලයි. ටීචයි එයාගෙ අත්තම්මයි තමයි මෙහෙ ඉන්නෙ. මේ බදුල්ල පැත්තෙ කට්ටියක්" අම්මා නැඟිට ගිය පසු අත සෝදාගෙන ගස්ලබු කෑල්ලක් සමඟ අත් පිස්නාවකුත් රැගෙන මා විවෘත ආලින්දයට යන විටත් එවදන් දෙසවන් අද්දරින් නැවතී තිබිණ.

තරුණ ගුරුවරියක් හා ඇගේ වයස්ගත මිත්තණියව යාබද නිවසේ පදිංචි කර ගැනීමෙන් අම්මා කුමක් බලාපොරොත්තු වන්නේදැයි සිතාගත නොහැක. මිල මුදල් වෙනුවෙන් සිය නිදහස හෝ පෞද්ගලිකත්වය කැප කරන්නට ඇය කිසිසේත්ම මනාප වන්නේ නැත. මැදිවියේ ගුරුවරියක් ඇගේ සැමියා හා දරුවන් සමඟ එහි නැවතී සිටින බව සිතාගෙන සැහැල්ලු වූ හිතට මේ අලුත් ආරංචිය එක් කළේ නොරිස්සුමකි. එහෙත් එක්වරම මනසේ ඇඳී මැකීගිය උදෑසන හිත තිගැස්සූ දසුන ඒ නොරිස්සුමත් ගෙන නොදන්නා ඉසව්වකට පළා ගියේ සිහින් මන්දස්මිතයකට දෙතොලෙහි ඉඩක් වෙන් කරවාගෙනය.

ගේට්ටුව අද්දරින් සිය පාපැදිය නතර කරගත් ලියුම්කරු සීනුව නාද කළේ නොදන්නා මිහිරකින් හදවත සුසර වන්නට පටන් ගද්දීමය. පාසැල් කාලයේ පටන් දන්නා හඳුනන ලියුම්කරු වෙනුවට එදා පැමිණ සිටියේ තරුණයෙකි. ආරාධනා පත්‍රයක් වැනි මෙරුන් පැහැ කවරයක බහාලූ ලිපියක් මා අත තැබූ ඔහු ඊළඟට උඩින්ම තිබූ ලිපියේ ලිපිනය බලමින් යන්නට ගියේය.

සමාධි අප්සරා මන්තිලක……. ලිපිනයේ ඉහළින්ම ලියා තිබූ නම අසල දෙනෙත් නතර වන විට ලියුම්කරු පෙනෙන්නට නොසිටියේය. නැවත නැවතත් ලියුම් කවරය දෙස බලමින් ඒ නම මුමුණ මුමුණා මා ගේ දෙසට ඇවිද එනවිට කඩදාසි බෑගයක් අතින් එල්ලාගෙන අම්මා ගෙයින් එළියට ආවේ "කාටද පුතා" කියමිනි. යළිත් වරක් ඒ නම මට පමණක් ඇසෙන්නට මුමුණමින් මම ඇයට ලිපිනය පෙනෙන්නට සැලැස්සුවෙමි.

"සමාධි මිස්ට නේද" ඇසූ අම්මා "එහෙනං ඕකත් දීලම එමු" කියමින් ඉස්සර වූවාය.

තෙවැනි තත්සර මුසුවට එකතු වෙමු අඟහරුවාදා ට

Saturday, August 1, 2020

තුන් නද තත්සර - පළමු තත්සර මුසුව සමාධිගෙන්



හැන්දෑවේ සිටම එක ලෙස හඬා වැටුණ අහසට හති වැටී කඳුළු වැගිරීම නවතා දැමුවේ පාන්දරය. රැයක් දවාලක් නොමැතිව ගිනි උහුලන කාෂ්ඨක පොළොව ඒ කඳුළු ආදරයෙන් වැළඳ ගත්තාට සැක නැත. සොබා දහමේ හැටි එහෙමය. සැහැල්ලුවෙන් පාව යන්නට මාන බලනා වළාකුළු වලට දරාගත නොහැකිව අත් හරින ජල කඳ, මහ පොළව වැළඳ ගන්නේ සෙනෙහසිනි.

මදුරු දැල පැත්තකින් ඔසවා සීරුවට ඇඳෙන් බැස මා මුළුතැන්ගෙට යන විටත් අත්තම්මා සිටියේ සුවැති නින්දකය. උපන් දා සිටම සීතල සෞම්‍ය පරිසරයකට හැඩ ගැහුණ ඇයට මේ උණුසුම් දේශගුණය ආගන්තුකය. වැස්සත් සමඟ පළා ගිය දාහය ඇගේ වියපත් නෙතට සුවබර නින්දක් තිළිණ කරන්නට ඇත. ඉහින් කනින් දාඩිය පෙරාගෙන අවදිවන අන් දිනකට වඩා මේ හිමිදිරිය ප්‍රබෝධමත්ය. මුව කට දොවා, වතුර වීදුරු දෙකක් බී, කොළ කැඳ සෑදීම සඳහා සියල්ල සූදානම් කොට තබා මා කුස්සියේ දොරෙන් එළියට බහින විට ළහිරු කැන් කෙසෙල් පඳුරු අස්සෙන් එබෙන්නට පටන් ගත්තා පමණි.
ඉදහිට මා පසුකර ගිය පාපැදියක් යතුරු පැදියක් හැරෙන්නට පාර සම්පූර්ණයෙන්ම පාළුවට ගොසිනි. කොහොමත් සතියේ දිනක උදෑසන ඇති කලබලය සති අන්ත සෙනසුරාදාවට මහ පාරට වුවත් උහුලන්නට සිදු වන්නේ නැත. නිවසත් පාසලත් අතර වූ සැතපුම් කාලක් තරම් කෙටි දුර වේගවත් පියවර වලින් තරණය කොට මා පිට්ටනියට ඇතුළු වන තුරුත් මුහුණට මුණ ගැසුණේ පොලිස් නිළ නිවාස වෙත කිරි ගෙනයන මහළු මිනිසා පමණි. පාන්දරම අවදි වී පාසැල් පිට්ටනිය වටේ වට කිහිපයක් ඇවිදීමෙන් දවස ආරම්භ කිරීම ප්‍රබෝධජනකය. සිරුරේ ලිහිල් බවටත් වඩා ඉන් ලැබෙන මානසික සුවය අසීමිතය. අප්පච්චී සමඟ නිළ නිවාස වල කල් ගෙවූ ළමා කාලයේ පටන් ගත් පුරුද්ද කාලයත් සමඟ වැළලී ගිය ද, දැන්නම් එය රෑ නින්දට ගොස් උදෑසන අවදි වීම තරමටම සාමාන්‍ය දෛනිකාංගයක් වී අවසන්ය.
පිණි ඉහිරුණු තණ තිල්ල තරමක් ලිස්සන සුළුය. උවමනා වට ගණන ඇවිද යාම අන් දිනයකට වඩා දෙපයට අසීරුය. තවමත් කලබලයක් නොපෙන්වන පාර දිගේ ටික දුරක් ඇවිද ගොස් යළි නිවසට යාමේ සිතුවිල්ල ජනිත වූයේ ඒ අපහසුවට පිළියමක් ලෙසය.
උඩවලව ජලාශයට ඉහළින් එබී හිනහෙමින් සිටි හිරු එක්වරම අතුරුදහන් වන විට මා සිටියේ නිවසින් සැතපුම් දෙකකට වඩා ඈතට ගොස් ජලාශය සමීපයේය. ඒ මොහොතේ ගොඩට ආ කුඩා ධීවර බෝට්ටුවක් අසලට රොක් වූ ගැණුම් කරුවන්ගේ හඬ ඝෝෂාකාරීය. වැස්සට පෙර තම කාරිය ඉෂ්ඨ කරගන්නට කාටත් තිබෙන්නට ඇත්තේ එකාකාර කලබලයක්ය. කුඹුක් ගහක් අද්දර නවතා තිබූ පා පැදි යතුරු පැදි අතරේ වූ හුරු පුරුදු ත්‍රිරෝද රථය සිතට සහනයක් එක් කළේය. වැහි දියෙන් නැහැවෙමින් නිවස දක්වා දුවගෙන යාම විනෝදජනක වුවත් නිවාඩු දවසේ උදේ පාන්දරම අත්තම්මාගේ ලේ කෝප කිරීම නුවණට හුරු නැත. එය ගුරුවරියකට තරම් නොවන බව කියමින් ඇය මට දොස් පැවරීම නියතය. මුදලක් අත නැතුව බසයක හෝ වෙනත් ත්‍රීරෝද රථයක සහය පැතීමත් කළ නොහැකි නිසා නන්දසේනගේ ත්‍රිරෝද රථය වෙත ඇවිද යාමට එහා ගිය විකල්පයක් නොතිබුණි.
"ටීචර් මාළු ගන්නද?....මට කිව්වනම් මං ගෙනත් දෙනවනෙ. මාත් මේ ආවෙ ඉස්කෝලෙ නෝනාලා දිහාට මාළු ගෙනියන්න තමයි" පාරට පහළින් වූ කුඹුක් ගහ අසලට යත්ම එක් අතකින් කළු පැහැ පොලිතීන් බෑගයක් එල්ලාගෙන ආ නන්දසේන ත්‍රිරෝද රථය වෙත ඇවිද එමින්ම විමසීය.
"නෑ මං මේ නන්දසේනගෙ ත්‍රීවිල් එක තියෙනවා දැකලා ආවෙ. ආයෙත් හයියෙන් වහින්න වගේ හදන්නෙ"
"ඔව් අද උදේ ඉදන්ම දෙන්න වගේ හදන්නෙ" කියමින් මාළු බෑගය පිටුපස අසුන ළඟ බිමින් තැබූ නන්දසේන "නගින්න ටීචර්. මං එහෙට තමයි යන්නෙ" කියමින් රියට ගොඩ විය. අත්තම්මා සමඟ ගමනක් බිමනක් යාමට උවමනා සෑම විටකම නන්දසේනගේ ත්‍රිරෝද රථයේ සහය පතන්නට පුරුදුව සිටි මට ඔහුගේ ළෙංගතුකම ආගන්තුක නොවීය.
උඩවලව හන්දියේ ත්‍රිරෝද රථ ගාලෙහි සිටින විශ්වාසවන්තම රියදුරා නන්දසේන වග පැවසීමෙන් නොනැවතී ඔහු අපට හඳුන්වා දුන්නේත් සුනේත්‍රා මැඩම්ය. උඩවලව මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනියක්ව සිට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ඇය අත්තම්මාත් මමත් වාසය කරන නිවසේ හිමිකාරියය. ඔවුන්ගේ නිවසට යාබදව ඉදිකළ නිදන කාමර දෙකකින් සමන්විත අංගසම්පූර්ණ නිවස කුලියට දීමේ පදනමකින් සෑදූ එකක් නොවන බව පුන පුනා කියමින් වුවත් ඇය අපේ පදිංචිය සඳහා එය ලබා දෙන්නට අකමැති නොවූවාය.
"මහත්තයා මේ ගේ පොඩ්ඩ හැදෙව්වෙ ලොකු පුතා බඳින්නත් කලින්. අයියගෙයි මල්ලිගෙයි දරුවොත් කවදාහරි එකට හැදෙන්න ඕනි කියලා" කියමින් පහත් වී හැඳ සිටි දිගු බතික් ගවුමේ වාටියෙන් නෙතට නැඟි කඳුළ පිස දමාගත් ඈ දරුවන් ගැන විස්තර අප සමඟ කියන්නට ඒ මොහොතේ කලබල නොවූවාය.
පාසල කිට්ටුවෙන් නවාතැනක් සොයාගැනීමේ දුෂ්කරතාවයට මුහුණ දී සිටි මා ඉන් මුදවා සුනේත්‍රා මැඩම් වෙත යොමු කරන ලද්දේ විදුහල්පතිවරයා විසිනි. එදිනෙදා වේල සරි කරගන්නට කුමක් හෝ රැකියාවක නිරත මිනිසුන් සුලභ අවට වට පිටාවේ අත්තම්මාටත් මටත් නවාතැන් ගත හැකි තැනක් සොයා ගැනීම දුෂ්කර වග ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටියේය.
"ටීචර් අතේ කුඩයක් නෑ නේද" වැටෙමින් තිබූ පොද වැස්ස නිවසට ආසන්න වන විට මහ වැස්සක් වීමේ ලකුණු පෙන්වමින් තිබිණ. නන්දසේන පිටුපස හැරී බැලුවේ මා අත කුඩයක් නොමැති වග තහවුරු කරගන්නට විය යුතුය.
"මේ ඩිංග මට දුවගෙන යන්න පුළුවන්. නන්දසේන මාව ගේට්ටුව ළඟින් දාලා යන්න"
"නෑ මං මේ මාළු කූරයියො ටික කපා දීලම යන්නෝනි. මං පුළුවන් තරම් ගේ පැත්තට අල්ලලා නතර කරන්නම්. ටීචර් ටක් ගාලා බැහැලා දුවන්න" කියමින් ගේට්ටුවෙන් ඇතුළට දැමූ ත්‍රිරෝද රථය විවෘත ආලින්දයේ කෙළවරට කර නතර කරන්නට ඔහු ප්‍රවේශම් විය. ගම්බද මිනිසෙකුගේ හදවතේ ගුරු වෘත්තිය කෙරෙහි තවමත් විසල් ගෞරවයක් ඉතිරිව තිබීමේ සැනසුම හද පුරා විඳිමින් නන්දසේනට ස්තූති කර මා රියෙන් බැස්සේ සිනාසෙමිනි.
"නන්දසේන මොකද කියන්නෙ" ත්‍රිරෝද රථයේ හඬට ඉස්සරහා දොර ළඟට ආ අත්තම්මාට මගේ සිනහව ප්‍රහේළිකාවක් විය.
"මෙහෙ මිනිස්සු මාළු කූරියාටත් නෑකම් කියනවා. නන්දසේන කියන්නෙ මාළු කූරයියො කියලා" ප්‍රාදේශීය බස් වහරට ගැරහීම නොකළ යුත්තක් බව කියන්නට මෙන් නිහඬ වූ අත්තම්මා මා ඇඟ පත දොවාගෙන එනවිට කොළ කැඳ කෝප්පය අතට දුන්නේ "කොහෙදිද නන්දසේන හම්බුණේ" අසමිනි.

"නන්දසේන මාළු ගේන්න ගිහිල්ලා. පයින් ආවොත් වැස්සට අහුවෙන නිසා මාත් ඒකෙම නැගලා ආවා"

"අදනම් ඉස්කෝලෙ හාමිනේට නින්ද යයි. ඕං එක පුතෙක් රට ඉදන් ඇවිල්ලා. නාලනී ළමයා ඇවිල්ලා අපිටත් කිරිබත් පිඟානක් දීලා ගියා" අත්තම්මා අලුත් ආරංචියක් කන තබා කුස්සියට ගියාය.

මට අම්මාව සිහිවිය. ගුරු විදුහලේ සිට මා නිවසට පැමිණෙන සති අන්තයන් තෙක් ඇය මඟ බැලූ අයුරු සිහිවිය. නිවසත් ගුරු විදුහලත් අතර තිබුණේ කිලෝමීටර් විසි පහක් තිහක් තරම් කෙටි දුරක් වුවත්, විශේෂ කෑමක් බීමක් සකසා මා එනතුරු බලා සිටින්නට ඇය පුරුදුව සිටියාය. කොයි අම්මගේත් හැටි එහෙමය. වසර ගණනක් දුරු රටක ජීවත් වූ පුත්‍රයෙකු නිවසට පැමිණීම සුනේත්‍රා මැඩම්ගේ ඉහේ මල් වට්ටියක් පූද්දවන්නට ඇත.
"මං ගිහින් එන්නම් ටීචර්" ආලින්දයේ වූ කුළුණකට හේත්තු වී කොළ කැඳ කෝප්පය තොල ගාමින් වැස්ස දෙස බලාගෙන සිටි මා හිස එසවූයේ නන්දසේනගේ හඬටය. ඒ ආගන්තුක දෑස මට මුල්වරට හමුවූයේ එවිටය. තම නිවසේ ආලින්දයට වී අපේ ගේ පැත්ත බලා සිටි ඔහු වැරදීමකින් හෝ දෙනෙත් ඉවතට ඇද ගන්නට උත්සහ නොකළේය. අපහසුවක් නොදැනුණා නොවේ. එහෙත් සොළොස් වියැති යෞවනියක් මෙන් ආගන්තුක පිරිමියෙකු ඇස ගැටුණ වහා ගෙතුළට පැන ගන්නා ලද බොළඳ සිතක් මට නොතිබිණ.

දෙවන තත්සර මුසුවට එකතු වෙමු සඳුදට