Sunday, April 24, 2016

සකුරා සුවඳ 1 (පිවිසුම)

සකුරා

සඳුන් සෙවණෙහි චන්දන සොයුරාගේ ඇරයුමෙන් ටික කාලයකට ඉහතදී වත් පොතේ "දුරු රට තොරතුරු" පිටුවේ "සකුරා සුවඳ" නමින් ජපානයේ සිරිත් විරිත්, කෑම බීම ආදිය ගැන ලියන්නට පටන් ගත්තත් හේතු දෙකක් නිසා එය අතරමග නැවතුනි. ඉන් එකක් පුද්ගලික කාරණාවක් වූ අතර අනෙක ඒ පිටුව පවත්වාගෙන යාමේදී ඇති වූ තාක්ෂණික හේතුවකි. හේතු මොනවා වුවත් ඒ පිටුවේ සටහන් කල කිසිවක් ආපහු මටමවත් හොයාගත නොහැකි වූ නිසාත්, ජපානයේදී මා ඇසු දුටු සියල්ලේම ප්‍රයෝජනයට ගත හැකි යමක් ඇති නිසාත් ඒ "සකුරා සුවඳ" මගේ බ්ලොග් එක හරහා බෙදාහැරිය යුතු බවට හදිසියේ පහළ වූ අදහසකට අද සිට ඉඩ දෙන්නට සිතුවෙමි.
පහුගිය දිනෙක "කුරුටු ගෑ ගී පවුරේ" හයිකු ගැන ඇතිවූ සංවාදයේදී මතු වූ විවිධ අදහස් මගේ මේ තීරණය පහසු කල බව මුලින් කිව යුතුය. බොහෝවිට අප අන්තර්ජාල හෝ වෙනත් මුලාශ්‍ර වලින් ගන්නා තොරතුරු සර්ව සම්පූර්ණයෙන්ම පවතින තත්වයන් හා සමපාත වන්නේ නැත.. මා ඒ සංවාදය තුලින් එය වඩා හොදින තහවුරු කර ගත්තෙමි. මා මේ සටහන් තුලින් ලියන්නට සිතා සිටින්නේ මා මෙහි අත්දකින දේ සහ මගේ ජපන් ජාතික මිතුරු මිතුරියන්ගෙන් හෝ මහැඳුරන්ගේ අසා දැනගත් දේ මිස පොත පතින් හෝ වෙනත් මූලාශ්‍ර මගින් ලබාගත් තොරතුරු නොවේ. එනිසා මා ලියන දෑ "විකිපීඩියා" හෝ වෙනත් එවන් මූලාශ්‍ර සමග සමපාත නොවන්නට පුළුවන.
මේ මා ජපානයේ ගත කරන තුන්වෙනි වසරයි. එය හැටි දීර්ග කාලයක් නොවුනත් මා ලැබූ අත්දැකීම්, ජපනා ගැන මා තේරුම් ගත් යම් යම් දේ තවත් කෙනෙකුට ප්රයෝජනවත් විය හැකි නිසා ඉඩකඩ ඇති විදිහට මා මගේ අත්දැකීම් තුලින් ජපානය ඔබට සමීප කරවන්නට උත්සහ කරමි.
"ඔෂීන්" "ටොට්ටෝ චන්" සහ "නොරිකෝ සන්" ඔබ අප කාගේත් හද තුල සනිටුහන් වු ජපන් චරිතය. තාක්ෂණික වශයෙන් කෙතරම් විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබුනද ජපන් ජාතික මවුවරුන් තුලින් මට අදටත් ඔෂීන්ව දැකිය හැක. මගේ කුඩා පුතුගේ යහළු යෙහෙළියන් තුලින් මා තවමත් දකින්නේ දඟකාර ටොට්ටෝ චන්ය.
හෙළයන් ලෙසින් අපිට අතීත මුතුන් මිත්තන්ගේ උරුමව තිබූ බොහොමයක් සිරිත් විරිත් චාරිත් වාරිත් නවීන ජීවන වටපිටාවත් සමග අපෙන් ගිලිහී ගියත් ජපන් ජාතිකයන් අපූරුවට ඔවුන්ගේ චාරිත් වාරිත් නොවෙනස්ව පවත්වා ගන්නට දක්ෂය.  "ඔෂීන්" "ටොට්ටෝ චන්" සහ "නොරිකෝ සන්" දශක ගනනාවකට පසුවත් එලෙසින්ම මුණ ගැසෙන රහස ඇත්තේ එතනය. එනිසාම ජපන් ජාතිකයන්ගේ අපූරු සිරිත් විරිත් ගැනත්, හයිකු ගැන කතා බහේදී මුල් තැනක් ගත් සෘතු ගැන සහ ඒ ඒ සෘතුවේදී ජපනුන්ගේ ජීවන විලාශයත්, රසයට වඩා ගුණයට, පැහැයට සහ පෙනුමට මුල් තැන දෙන ජපන් කෑම බීම ගැනත් මුලින් ලියන්නට අදහස් කරමි.


ජපානයේ ආමන්ත්‍රණ ඊළග සකුරා සුවඳින්

31 comments:

  1. හොඳ අදහසක්! මෙහි පළ කළ විට වඩා හොඳින් සංරක්ෂණය වී පවතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉකොන්. මාත් හිතුවෙ එහෙමයි.මුලින්ම ඇවිත් ඒ අදහස තහවුරු කරාට ස්තූතියි!

      Delete
  2. මාත් ගොඩක් කැමති රටක්.. ඔයා කියුවා වගේ අපේ රටේ මිනිස්සුන්ට කට ඇරලා ආයුභෝවන් කියන්න බැරි උනාට හායි, හෙලෝ, වගේ දේ නම් කියවෙනවා. හැබැයි ජපනුන් එයාලාගේ දේ භාවිත කරනවා නේද? “කොනෙචිව, සයොනරා,
    වගේ... අනික ඒ අය ගොඩක් විනීත අය...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි. ලක්ෂ දහය පහොලවකට එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඇරෙන්න සමස්ථයක් විදිහට ජපන් ජාතිකයන් බොහොම විනීත, ආචාරශීලි නිවුන ඇවතුම් පැවතුම් ඇති අය.මම ඉදිරියේදී මේ දේවල් ගැන විස්තර ඇතුව ලියන්නම්.

      Delete
  3. ඔයා කියුවා වගේ අ් අපේ රටේ මිනිස්සුන්ට අපේ විදිහට ආයුභොන් කියන්න බැරි උනාට ජපනාට නම් එහෙම නෑ නේද?? ඒ අය “කොනෙචිව, සයොනර" කියලා තමන්ගෙ විදිහට පිළිගන්නවා. සුභපතනවා... තාක්සණික අතින් දියුණු උනත් ඒ අය හරිම විනීත මිනිස්සු..
    මාත් ගොඩක් කැමති රටක්... ඒ ජපන් මිනිසුන් තුළ තියන මේ වගේ ගති ගුණ නිසා...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි එයාලා කිසිම පැකිලීමක් නැතුව තමාට මුණ ගැහෙන දන්න නොදන්න ඕනි කෙනෙකුට උදේක නම් "ඔහායො ගොසයිමාස්" හරි දහය එකොලහෙන් පස්සෙ මුණ ගැහෙන කෙනෙකුට "කොනිච්චිවා" කියලයි, හවස් කාලෙදි "කොන්බන්වා" කියලයි (කොන්බන්වා ටිකක් අඩුවෙන් පාවිච්චි වෙන්නෙ ) ලෝබ නැතුව කියනවා.
      පැවතුන සම්ප්‍රදායන් එහෙමම පවත්වගෙන යන්න ජපනුන් දක්වන කැමැත්තයි ලෝකෙත් එක්ක ඉස්සරහට යද්දි අපේ මිනිස්සු පැවතුන බොහොමයක් හෙළ සිරිත් වලට කරන ගැරහීමයි මමත් ජපනුන් සහ අපි අතරෙ දකින ලොකු වෙනසක්.

      Delete
  4. බොහොම සතුටුයි සඳා. මං හරිම ආස රටක්. කවදහරි යන්න ලැබුනොත් බොහොම ආසාවෙන් යනව. ඊට කලින් මේ විස්තරෙත් අනිවා කියවනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්. ඔව් ජපානය කියන්නෙ සුන්දර මිනිස්සුන්ගෙන් පිරුණ බොහොම සුන්දර රටක්. අසුන්දර දේකට තියෙන්නෙ නිතර නිතර මිහිකත කම්පාවීම නිසා ඇතිවෙන උවදුරු තමයි.

      Delete
  5. මුලින් ම කියන්න ඕනේ හිතට දැනෙන්නේ මහා සතුටක් කියලා........ හයිකුව ගැන ආසාවක් ඇතිවෙලා දේවල් හොයලා බැලුවා.... පුංචිකාලේ ලැබුණ අවස්ථාවකට අනුව ජපන්භාෂාව ඉගෙන ගන්නට ලැබුණත් ඒක ලොකු ගමනක් ගියේ නැහැ... ඒත් ඒ වෙලාවෙවත් නොදැනුණ දෙයක් කවි ගැන ඇතිවුණ ආසාවක් නිසා හොයලා බලන්න හිතුනේ මෑතක.. ඒ අනුව තමා හයිකු ගැන ලිවීමට හේතුව... නමුත් මට හොයා ගන්නට හැකි වුණේ හයිකු පරිවර්ථන සහ අනෙකුත් මූලාශ්‍ර හරහා තියෙන දේවල් විතරයි...... ඇත්තට ම එතැනදී ඔබ ජපන් භාෂාව හා ඇති සම්බන්ධයත් එක්ක ලොකු විස්තර ටිකක් ඒකට එකතු කරලා අපේ දැක්ම හරි මගකට ගත්තා....

    මේ ලිපි පෙළ ලොකු ගමනක් යාවි කියලා අපි විශ්වාස කරනවා. ජපනුන් කියන්නේ ඇත්තට ම අධ්‍යයනය කරන්න වටින ජාතියක්... ජපානය කියන්නෙත් එහෙමම රටක් තමා.... ඔබ ලබන එදිනෙදා අත්දැකීම් අපිට ලොකු පාඩම් ටිකක් කියලා දේවි....... ඒ නිසා මේ ආරම්භයට සුභ පතනවා...

    ඒ වගේ ම ඔබට හැකිනං සටහන් අවසානයේ පොඩි හයිකුවක් හරි කෙටි කවියක් හරි කුරුටු ගානවානං අපි තවත් කැමතියි.... ඒකත් ජපානයට ම ආවේණික දෙයක් නොවැ නේද සද...............

    ReplyDelete
    Replies
    1. තවත් දෙයක් කියන්න ඕනේ......... විකිපීඩියාවේ තියෙන දේවල් මත කියවන දෙයින් කවදාවත් මිනිස්සුන්ගේ හැබෑ තත්වය හොයා ගන්නට බැහැ. ඔබ කියන විදිහට මිනිස්සු දැකලා, ගණුදෙනු කරලා, කතා බහ කරලා තමා හදුනාගන්නට හැකි..... ඒ වගේ ම හැකිනං මේ ජපන් ජාතිකයින්ගේ ඉතිහාසයේ ලක්ෂණ ගැනත් ටිකක් විස්තර හොයලා බලන්න. ඔෂීන් වගේ කතාවලින් අපි දැකපු ග්‍රාමීය ජපන් පසුබිම ගැන අපිට අදහසක් තියෙනවා. ඒ වගේ ම දෙවැනි ලෝකය යුද්ධය තුළත් කියැවෙන විස්තර ගොඩක් තියෙනවා...... අපි බලමු හොද විස්තර ටිකක් මේ බ්ලොගය තුළ එකතු කරන්නට.......

      Delete
    2. බොහොම ස්තූතියි කුරුටු!.
      මම මේ සටහනේ මුලින්ම ලිව්වා වගේම මේ ලිපි පෙල මෙච්චර ඉක්මනට ගේන්න උත්තේජනයක් වුනේ ඒ හයිකු සංවාදය. ඇත්තටම මේ මම කලින් ලියපු සටහන් ටික පරිගණකයේ සුරැකිව තිබුන නිසා මේ ටික මගේ බ්ලොග් එකේ දාන්න ඕනි කියලා මට කාලෙක ඉදලම හිතිලා තිබුනෙ. ඒත් මේ ටිකේ වෙනත් දේවල් වලට කාලෙ යොදවන්න බැරි නිසා මම හිතා හිටියෙ තව මාස පහ හයකින් විතර මේ වැඩේට අත ගහන්න. ඒත් ඔබ ඒක ඉක්මන් කළා. (ඒකට ස්තූති කරනවද බනිනවද කියලා හිතන්න තාම කල් වැඩියිනෙ....ඒ නිසා ඒක පස්සට )
      ඇත්තම කිව්වොත් මට මේ දවස්වල බ්ලොග් ලියන්න තියා කියවන්නත් කාලය වැය කරන්න අමාරුයි. ඒ නිසා දැනට මම අර මුලින් කියපු Facebook group එකට ලියපු සටහන් ටික පොඩ්ඩක් වැඩි දියුණු කරලා ඉදිරි සති කීපයේ Publish වෙන්න Schedule කරලා තියෙන්නෙ. විවේකයක් ලැබුනම බලමු මෙතනින් ටිකක් එහාට යන්න.
      අර කවියක්/හයිකුවක් ලියන්න කරපු ආරාධනාවට නම් "හක හක" ගාලා හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. සකුරා ගැනයි, හරි පුදුම ඉස්කෝලෙ ගැනයි කලින් ලියපු කවි ඇති. ඒවා ගැන ලියනකොට ඒවා දාන්නම්. යෝජනාවට ස්තූතියි!. කවි ලියන්න ආසයි. ඒත් බැරුවට මක් කරන්නද?

      Delete
    3. එහෙම තමා සද..........

      අපි කාටවත් ප්‍රමාණවත් වෙලාවක් නැහැ තමා. විශේෂයෙන් වෙනත් රටකට ගිහිල්ලා ඉන්න වෙලාවේ ඔබට ඇති කාලය බොහොම අඩු ඇති කියලා පැහැදිලියි. ඒත් හැකි විදිහට ලියන්න. පෝස්ටුවක් දාන්න මේකෙම එල්ලිලා ඉන්න ඕන නැහැ. හැකි වෙලාවට ඇවිත් බලලා යන්න. වැදගත් වෙන්නෙ අර කියපු අත්දැකීම් ටික දැනුම එකතුවක් විදිහට බ්ලොගයට එකතු වීමයි...... ඔය කිව්වාට තියෙන පොඩි වෙලාවේ ඒ පෝස්ටු ටිකක් චූටි හයිකුවක් කුරුටු ගාමු.... හරි මෙහෙම කරමු..... ඔබත් එක්ක එකට ඉන්න ජපන් යාලුවොක්ගෙන් සහයක් අරන් හයිකුවක් කුරුටු ගාමු...... ඒක අපිට තවත් හොද සහයක් වේවි.. ඒ අතරේ ඔබටත් බැරියැයි තමන්ගේ ම හයිකුවක් කුරුටු ගාන්න..... මොකද කියන්නේ.....

      Delete
    4. යෝජනාවට ස්තූතියි කුරුටු!
      සිංහලෙන් හයිකුවක් ලියන අදහසක් දැනට නම් මට නෑ. ඒත් මම අර කිව්ව අනෙක් ‍යෝජනාව ක්‍රියාවට නගන්න පුළුවන්ද බලන්නම්. හැම ජපනෙක්ම හයිකු ලියනවා ඇති කියලා මං හිතන්නෑ. අපේ කට්ටිය අතරෙ එහෙම ලියන කෙනෙක් ඉන්නවද කියලා මං හොයලා බලන්නම්කො.

      Delete
    5. ජාඩියට මූඩිය සෙට් වෙලා වගේ... අපිටත් බැලිහෑකි ජපානෙ ලංකාවට ගෙනාවයින් පස්සේ.. හැක්.. හැක්...

      Delete
    6. ජපානෙ ලංකාවට ගේන්න ලොකු වැඩි නිසා ඒ වැඩේ අමාරුයිනෙ ධනංජය. ඒ නිසා මං බැලුවෙ ලංකාවෙන් ටික දෙනෙක් මෙහෙට ගේන්න.

      Delete
  6. අන්න හොඳයි මැඩම්..කෙටිකතා ලියන එක ටිකක් භාරදූර වැඩක් හින්ද එතෙක් හිරු උදාවෙන රටේ විස්තර ලියමු. බොහොම සන්තෝසයි. බොහොමත්ම සන්තෝසයි....:)

    ReplyDelete
    Replies
    1. ඔව් රවී මේ වෙලාවෙ කෙටිකතා ලිවීම බොහොම භාරදූර කටයුත්තක්. මේ සටහන් ටික මම අවුරුද්දකට විතර කලින් ලියපුවා. පොඩ්ඩක් සංශෝධනය කරලා ෆොටෝ කෑලි ටිකක් එක්ක අමුණලා තියන එක විතරනෙ මට කරන්න තියෙන්නෙ. ඔය කලින් ලියපු ටික ඉවර වෙනකොට බැරියැ ඔය මොන මොනාහරි ලියන්න. අඩුගානෙ සකේ ගැනවත්.

      Delete
  7. ජපානෙ විස්තර ගැන දැන ගන්න ආයෙමත් එන්නම්කෝ මේ පැත්තෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ!. ඔව් ඉඩ තියෙන වෙලාවක ඇවිත් බැලුවම ජපානය ගැන පුංචි දෙයක් හරි දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම කෙනෙකුට තමන්ගෙ ජීවිතේට තමන්ගෙ දරුවන්ගෙ ජීවිත වලට සමීප කරවන්න වටින දේවල් ජපන් ජාතිකයන් තුල තියෙනවා කියලත් මට විශ්වාසෙන් කියන්න පුළුවන්

      Delete
  8. ඊලඟ කොටස කියවන්න නොඉවසිල්ලෙන් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතූ!. තව දවසක් දෙකක් ඇතුළත ඊළග කොටස දාන්න පුළුවන්

      Delete
  9. මැදයි කෙටි කතාවක් හොයන් අවා.එත් "සකුරා සුවඳ 1"කියලා තිබ්බාම මට හිතුනා මේ කොටස් වශයෙන් පල වෙන නවකතාවක්වත්ද කියලාත්.
    මේ දේවල් අත්දැකීමෙන් ලියන එක හොඳයි අක්කේ අපිටත් දැනගන්න.

    ජපාන කොරියා යුද්ධය ගැන මම අහලා තියෙන සමහර දේවල් නිසා ජපානය ගැන තියෙන්නේ හොඳම හැගීමක් නෙමේ මට නම්.ඒත් ඒ අපි අහපු.කියවපු දේවල්නේ.සමහරවිට යථාර්තය ඊට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.ජපානය ගැන සඳමාලි අක්කාගේ විස්තරය අපි ආසවෙන් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පව් අප්පා.,,. දුකේ බෑ.
      ඔයාගෙ බලාපොරොත්තු කඩකරන්න වීම ගැන ඇත්තටම කණගාටුයි මල්ලි. මේ දවස්වල කතාවක් ලියන්න තරම් හිතේ ඉස්පාසුවක් නෑ.
      මේ ටික මම කලින් ලියපු ටිකක් නිසා දාන්නෙ.

      Delete
  10. ජපානය හා ජපන් ජාතිකයන් ගැන ගස්ලබ්බට ඇත්තේ මිශ්‍ර අදහසක්.. බලමු මේ ලිපි පෙලින් හරි අදහසකට යන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරි අදහස කෙසේ වෙතත් මිශ්‍ර අදහසට තව ටිකක් මිශ්‍ර කරගන්න පුළුවන් වෙයි.
      හැම මනුස්සයෙක් ළගම හොද නරක දෙකම තියෙනවනෙ ගස් ලබ්බ. ජපනටත් ඒක පොදුයි. ඒත් අපිට අපේ ජීවිත වල පුන්චි පුන්චි වෙනස්කමක් හරි කරගන්න වටින තරමෙ බොහොම හොද සිරිත් ජපනුන් තුළ තියෙනවා.
      අපි බලමු ඔය මිශ්‍ර අදහස ඔය තියෙන විදිහට තියෙන්න ඇරලා අපිට ගන්න පුළුවන් දේවල් මොනාද කියලා

      Delete
  11. ජපානෙ මගෙත් හිත ගිය රටක්.. (වැඩියක්ම තාකෂණය පැත්තෙන්... ) "ඔෂින්" කතාව නම් කවදාවත් එපා වෙන්න්නෙ නෑ...
    හොඳ ලිපි පෙලක්.. දිගටම ලියමු.. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධනංජය. ඉස්සර නම් මගෙත් හිත ගිය රටක්. දැන් හිත නැවතුන රටක්.
      තාක්ෂණය ගැන ලියන්න තරම් ලොකු දැනුමක් මට නෑ. නමුත් ඒ තාක්ෂණික දේවල් වල භාවිතය (රොබෝ මහත්තුරු සහ රොබෝ නෝනලාගේ වැඩ කිඩත් එක්ක ) ලියන්න මම හිතන් ඉන්නවා. හැබැයි තාම ඒවා නම් ලියලා නම් නෑ. ඒක නිසා මේ පොරොන්දු නම් අර නිදහස් සිතුවිලි වල රවීගෙ පොරොන්දු වලට එහා යන්න ඉඩ තියෙනවා.

      Delete
    2. ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ....එතනත් කොණකට මේ කාටවත් කරදරයක් නැතුව බෝ පැලේ වගෙ ඉන්න මාව ගාවල...ෂිහ්...:(

      Delete
    3. ඵල ඇති රුකටයි ගල් ගහන්නෙ කියලා කතාවක් රවී අහලා ඇතිනෙ?

      Delete
  12. මමත් ආදරය කරන රටක් ජපානය.. මගේ සිහින දේශයක්.. ඒ සිහින දේශයේ මාස තුනක් ගත කරන්නට ලැබීම භාග්‍යයක්.. මගේ ඒ කෙටි කාලයේ අත්දැකීම් ලියන්න දරපු උත්සාහය මේ...

    http://tharurasi.blogspot.com/search/label/%E0%B6%AD%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A

    කාලය කෙටි වුණාට ඒ අත්දැකීම් සම්භාරය මහ විශාලයි... සතුටුයි ජපන් තොරතුරු මෙවැනි බ්ලොග් අඩවියකින් කියවන්න ලැබීම...

    ReplyDelete
    Replies
    1. ඔව් තරු රසී...මාස තුනක් නෙවෙයි සති තුනක් මේ වගේ රටක ගත කරන්න ලැබුනත් ඒක භාග්‍යක් වගේම ජීවිතේට ගොඩක් දේ එකතු කරනවා.
      ඔයාගෙ ජපන් මතක මම කලින් කියවලා තියෙනවා වගේ මතකයි. දෙහි ගෙඩියෙන් ලොවක් දිනූ උමජිමුරා ලිව්වෙ ඔයා නේද?

      Delete