Friday, May 20, 2016

සකුරා සුවඳ 9 (වෙලාවට වැඩ කිරීම)


"කාලය රන් හා සමානය" යන කියමන අප කොතෙකුත් අසා  ඇත්තෙමු. අතීතයේදී කාලය රන් වලට සමාන වුවත් මට හිතෙන හැටියට වර්තමානයේ කාලය කාලයට මිස වෙන කිසිවකට සමාන කළ නොහැක. නමුත්  කාලයට  නිසි වටිනාකමක් දෙන ලාංකිකයෙකු සොයා ගැනීම උගහටය. වෙලාවට වැඩ කිරීම ජපන් ජාතිකයන්ගේ සිරිත බව ජපානය ලෝක සිතියමේ කොතනක පිහිටනවාදැයි නොදන්නා කාලයේ සිට දැන සිටි ජපන් ජාතිකයන් සහ තවත් බොහෝ ජාතීන් තුල ඇති අප බොහෝ දෙනෙකු තුල නැති හොද සිරිතකි.

මා මෙතෙක් ජපානය තුලදී සහභාගී වු සියළුම වැඩ සටහන් හරියටම නිවරදි තත්පරයටම ආරම්භ වු බව  පැවසීම අතිශෝක්තියක් නොවේ. ඒ වැඩසටහන් අතරට, වයස මාස අටක නවයක සිට අවුරුදු හය දක්වා වූ පරාසයක සිටි කුඩා දරුවන්ගේ ක්‍රීඩා උත්සවයක්, Pre School Graduation ceremony, පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවයක්, ප්‍රාථමික් පාසැල් ක්‍රීඩා උත්සවයක් සහ International conference වැනි අවස්ථාද ඇතුලත්ය.ලංකාවේ මගේ විශ්ව විද්‍යාලයේ නම් නියමිත වෙලාවට ආරම්භ වී නියමිත වේලාවට අවසන් වන එකම උත්සවය උපාධි ප්‍රධානෝත්සවය පමණි. නමුත් එයටද ප්‍රමාද වී පැමිණ ශාලාවට ඇතුළු වීමට අවසර ඉල්ලා වැළපෙන සිසුන්ද නැතුවා නොවේ. තත්වය එසේ වුවත් වෙලාවට වැඩ කරන උපකුලපතිවරයෙකු ටික කාලයකට ඉහතදී අපට සිටි බවද කිව යුතුමය. වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද බහුතරයක් දෙනා තුල නැතිවිට ඒ අතර සිටින වෙලාවට වැඩ කරන පුද්ගලයා බොහෝවිට අපහසුවට පත්වීම ලංකාවේදී මා අත්දැක ඇති සත්‍යකි.
හොද සැලැස්මක් සහ කැපවීමක් ඇත්නම් ඕනෑම වැඩක් වෙලාවට ආරම්භ කරන්නට නොහැකියාවක් අපටද නැත. අප තවමත් විවාහ උත්සව ආදියේදී නැකතට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නේ එහෙයිනි. ජපානය තුලදී සහභාගී වු සියළුම වැඩ සටහන් නියමිත වේලාවට පටන් ගැනීම ගැන මට කිසිවිටක පුදුමයක් ඇති නොවුයේ එහෙයිනි. නමුත් ආරාධනා පත්‍රයේ සදහන් වෙලාවට මේ උත්සහ නිම කරන්නට හැකිවීම පුදුම සහගතය. කුඩා දරුවන් සහභාගි කරවන ක්‍රීඩා උත්සව වැනි අවස්ථා වල කාලය කළමණාකරණයට ඔවුන් දක්වන සැලකිල්ල සිතාගැනීමටත් අපහසුය. නමුත් කණගාටුවට කරුණ ජපානය තුලදී ශ්‍රී ලාංකිකයන් මෙතෙක් සංවිධානය කල කිසිදු උත්සවයක් වෙලාවට පටන් නොගැනීමය.

ජපානය තුලදී වෙලාවට වැඩ කිරීම අත්‍යවශය කරුණක් වන අතර ඒ නිසාම ජපානයේදී තත්පරයකට පවා ඉහල වටිනාකමක් ඇත.. වෙලාවට වැඩ නොකිරීමෙන් ඇති වන පාඩු බොහොමය. අප මෙහි පැමිණි මුල් කාලයේ දිනක් මගේ සැමියා පුතා රැගෙන ඒම සදහා  දිවා සුරකුම් මධ්‍යාස්ථානයට ගොස් ඇත්තේ නියමිත වේලාවට විනාඩි තුනකට පසුය. ඒ වෙනුවෙන් ඔහුට යෙන් හාරසීයක මුදලක් ගෙවන්නට සිදු වුණි. "ආ....විනාඩි තුනනෙ...ඒක හන්දා සල්ලි එපා" කියා මුදල් නොගෙන සිටීමේ පුරුද්දක් නැත. නීතිය නීතියමය. අපේ ආපන ශාලාව විවෘතව තබන්නේ උදේ 10.30 සිට සවස 2.00 වන තෙක්ය. ඇතැම් කාලවල මෙය 11.00 සිට 1.30 ලෙස වෙනස් වේ. හරියටම දෙකට ආපනශාලාවේ කෑම ලබාගන්නා කොටස වසන නිසා  කෙතරම් බඩගින්නක් තිබුනද එහි ළඟා වූයේ 2.01 ට නම් කෑම ලබාගන්නට වන්නේ නැත.

ජපානයේ දුම්රියක් ප්‍රමාද වන්නේ ඉතාම කලාතුරකිනි. ඉන් කිසිදාක දුම්රිය ප්‍රමාද නොවන බවක් අදහස් වන්නේ නැත. එවන් අවස්ථාද අප අත්දැක ඇත්තෙමු. ඒ අනතුරක් වැනි අනපේක්ෂිත සිදුවීම නිසාය. දුම්රිය වැඩ කරන්නේ විදුලි බලයෙනි. ඇතැම් අවස්ථා වල ඒවායේ ඇතිවන දෝෂ නිසාත්, අනතුරු නිසාත් මෙසේ දුම්රිය ප්‍රමාද වන අතර දුම්රිය මාර්ග විශාල ගනනක් ඇති නිසා එක් දුම්රියක ප්‍රමාදයක් එතරම් ලොකු බලපෑමක් කරන්නේ නැත. නමුත් ඒ ප්‍රදේශයේ ඇත්තේ එක් දුම්රිය මාර්ගයක් පමණක් වුවහොත් විශාල අපහසුතාවයකට ලක්වීමට සිදු වේ. මෙසේ දුම්රිය ප්‍රමාද වන විට ඒ ගැන එවෙලෙහි ධාවනයේ යෙදෙන දුම් රිය වල ඇති Train Channel හි දර්ශණය වන නිසා මඟීන්ට කල්තබා විකල්ප සොයාගැනීමේ අවස්ථාවද ඇත.


ජපනුන් බොහෝවිට සියදිවි හානිකර ගැනීමේ පහසුම සහ ලාභාදායීම ක්‍රමය ලෙස තෝරාගන්නේ දුම්රියට පැනීම බව අසන්නට ලැබේ.. සෑම තත්පරයකම දුම්රිය විශාල ගනනක් ධාවනයේ යෙදීමත්, දුම්රිය නැවතුමක් ආසන්නෙයේදී වුවත් සැලකිය යුතු වේගයකින් ධාවනය වීමත් නිසා මෙය සිය දිවි නසා ගැනීමට පහසුවක් ලෙස ඔවුන් සලකනවා විය හැක. මීට ප්‍රතිකර්මයක් ලෙස දුම්රිය වේදීකා වල දුම්රිය නැවැත් වූ පසු ස්වයංක්‍රීයව ඇරෙන දොරවල් සවි කිරීමක් ආරම්භ කර තිබුනද එය තවමත් සියළු ස්ථාන ආවරණය කර නැත.
දුම්රිය වේදීකාවේ ඇති ආරක්ෂිත දොරවල් මෙහි බලාගත හැක
ආරක්ෂිත දොරටුවක් නැති වේදිකාවක්
සෑම බස් නැවතුමකම කාලසටහනක් ඇත. නියමිත වේලාවට බසයක් නොපැමිණෙන අවස්ථා දුර්ලභය . බසයේ දොර වැසීම හරියට තත්පරයටම සිදු  වේ. හති දමමින් දුව  එනු දැක දැකත් දොර වැසීම සහ වැසුන දොර යලි නොඇරීම නිසා ඊළඟ බසය එනතුර විනාඩි දහය පහොලවක් සිටගෙන සිටින්නට සිදු වු අවස්ථා වල,  මූණ සෝදනවා දුටු විට ඇද පැළැදගෙන එනතුරුම බස් නවත්වාගෙන සිටින අපේ රියදුරු මහතුන්ගේ සේවය කෙතරම් අගේදැයි සිතුන අවස්ථාද නැතුවා නොවේ. කිසියම් නැවතුමක නගින්නට හෝ බහින්නට මඟීන් නොසිටියද නියමිත වෙලාව එනතුරු අදාල නැවතුමේ  බසය නතර කර තිබීමද  සාමාන්‍යයෙන් සිදුවන්නකි.

රටක් ලෙස ජපානයත් ජාතියක් ලෙස ජපන් ජාතිකයනුත් හැම අතින්ම දියුණුය. ඒ දියුණුව පිටුපස ඇති එක් වැදගත්ම රහසක් ලෙස මා දකින්නේ ඔවුන් තුල ඇති මේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්දය. මා පෙර සටහනක සදහන් කළ අයුරුම, තරාතිරමේ භේදයක් නොමැතිව සියළු දෙනාම පාහේ යැපෙන්නේ පොදු ප්‍රවාහන සේවා මතය. ඒව වෙලාවට ධාවනය නොවුනහොත් ඒ විශ්වසය රදා පවතින්නේ නැති නිසා දුම්රිය සහ බස් රථ වෙලාවට ධාවනය වීම අනිවාර්‍ය අංගයකි.


මේ වෙලාවට වැඩ කිරීමට අයත් වන්නේ විනාඩි තත්පර වලට පමණක් නොවේ. දිනයන්ද ඊට ඇතුළත්ය. "අහවල් දවසේ අහවල් වෙලාවට ඔබට මෙය ලැබෙනු ඇත" කියා සදහන් වන සියල්ලම ඒ කියන දවසටම ලැබේ. මා දැන් නැවතී සිටින්නේ තෝක්යෝ ආශ්‍රිත විශ්ව විද්‍යාල හා වෙනත් පර්යේෂණායතන වල ඉගෙන ගන්නා දෙස් විදෙස් සිසුන් සදහා පමණක් ඇති නිවාස සංකීර්ණයකය. එයට අයදුම්පත් භාරදීමට නියමිත දවසක් තිබූ අතර එහි අදාල ප්‍රතිඵලය අපට දැනුම් දෙන දිනයක්ද සදහන් විය. එහි සදහන්ව තිබූ දිනයේ උදේ නවය වනවිට මට අදාල ඊමේල ලැබුණි. ඒ එක් උදාහරණයක් පමණි.

වෙලාවට වැඩ කිරීම මෙන්ම පවතින නීති රීති වෙනස් කිරීමට උත්සහ නොකිරීම සහ අනෙකෙකුගේ රාජකාරියට අනවශ්‍ය අතපෙවීම් නොකිරීමද මෙහි මා දුටු තවත් විශේෂ ලක්ෂණයකි. Rule is a rule යන්න ඔවුන් නිතරම කියන දෙයකි. පවතින නීති වෙනස් කරන්නට ඔවුන් උත්සහ නොකරයි.

අප සිටින ප්‍රදේශයේ (ඇතැම්විට මෙය මුළු ජපානයටම පොදු වීමටද ඉඩ ඇත ) දිවා සුරකුමකට සිසුන් ඇතුලත්  කරගන්නේ මාසයේ පළමුවනදාය (එදින නිවාඩු දිනයක් නම් ඉන්පසුව එළඹෙන මුල්ම වැඩ කරන දිනයේදීය). මේ සදහා  අයදුම්පත් භාර ගන්නේ සෑම මසකම නවවනදා තෙක්ය. ඉන්පසුව එළඹෙන සතියේ ඒවා සලකා බලා තේරීම ගැන 23 වන දාට දැනුම් දෙන බව අදාල අයදුම්පතේ සදහන් වේ. අයදුම්පතේ සදහන් අයුරින්ම එය ක්‍රියාත්මකද වේ.  ඉන්පසු දෙමව්පියන්ට අදාල දිවා සුරකුමට ගොස් රැගෙන ආ යුත් දෑ ආදිය පිළිබද අවබෝධයක් ලබාගැනීමට පුළුවන. දරුවා දිවා සුරකුමට ඇතුල් කරගන්නේ ඊළඟ මාසයේ පළමු වනදාය. අප මෙහි පැමිණියේ ඔක්තෝබර් මාසයේ තුන්වන දාකය. ඒ වනවිට වයස අවුරුදු හය සම්පූර්ණ වී නොසිටි නිසා අපේ පුතණුවන්ට (ලංකාවේ එක වසර අවසන් වාරයේ සිටියත් ) ජපානයේ පාසලක එක වසරට ඇතුළු වීමට තවත් මාස කිහිපයක් බලා සිටිය යුතු විය. (පාසලට ඇතුල් කරග්න්නේ අප්‍රේල් පළමුවනදාට වයස අවුරුදු හයක් පිරුණු දරුවන්ය ).  ඔක්තෝබර් තුන්වනදා වනවිට ඒ මාසයට දරුවන් ඇතුල් කරගන්නා දවස අවසන්ව තිබූ නිසා අපට ඔහු දිවා සුරකුමකට යවන්නට මාසයක් බලා සිටින්නට සිදුවන නිසා මා ඒ ගැන මගේ මහාචාර්යවරයාට දැනුම් දෙන්නට සිතුවෙමි. මගේ කතාව  සාවධානව අසා සිටි ඔහුගේ පිළිතුර වුයේ "ජපානයේ හැටි එහෙමයි.හැමදේකටම පිළිගත් ක්‍රමයක් තියෙනවා. ඒවා තියෙන්නෙ මිනිස්සුන්ගෙ පහසුවටම. නමුත් ඒවගෙන් ඉදහිට මේ වගේ අපහසුතා ඇති වෙනවා. ඒත් ඒ ගැන කරන්න දෙයක් නෑ.ඔබට මුහුණ දෙන්නට වෙන අපහසුතා ගැන මං කණගාටු වෙනවා" යන්නය.
මොවුන්ගේ මේ වෙනස් නොවන සහ කිසිවෙකු වෙනස් කරන්නට උත්සහ නොකරන නීති රීති නිසා ඇතිවන පහසුව සේම අපහසුතාද බොහෝය.
මා දැන් නැවතී සිටින ස්ථානයේ, මේ සැප්තැම්බර් මාසයෙන් ශිෂ්‍යභාවය අවසන් වන අයට අයට තම තමන්ගේ කාමර භාර දියයුතු දිනය වන්නේ සැප්තැම්බර් 25 දාය. එය සෑම වසරකම එසේය. පහුගිය වසරේ එහි සිටි අපේ ලාංකිකයෙකුගේ උපාධි ප්රදානෝත්සවය යෙදී තිබුනේද 25 දාය. ලංකාවට යන ගුවන් යානය පිටත් වන්නේ පස්වරු 1.30 ටය. ඇයට උපාධි ප්රදානෝත්සවය අවසන් කර ගුවන් තොටුපොළට යාමට තරම් වෙලාවක් නැත. නමුත් නීතිවල කිසිදු නමයශීලිත්වයක් නැති නිසා ඇයට 25 දා කාමරය භාර දීම අනිවාර් විය. එනිසා ඇයට එක් දිනක් සදහා නවතින්නට වෙනත් තැනක් සොයාගන්නට සිදුවිය.
පහුගිය වසරේදී අපේ විශ්ව විද්යාලයේ අපවිත් ජලය මුදාහරින ඇළ මාර්ගයට විශ්ව විද්යාලයෙන් n-Hexane නම් රසායනිකය එකතු වන බව අදාල බලධාරීන් විසින් දැනුම් දී තිබුණි. අනෙකුත් කැලි කසල සේම රසායනික ද්රව්යද බැහැර කරන ක්රමවත් වැඩ පිළිවෙලක් තිබුනද අපේ විශ්ව විද්යාලය වැනි විදෙස් සිසුන් ඉගෙන ගන්නා තැන්වල ඒවායේ ක්රියාකාරිත්වය දුර්වල වන අවස්ථා ඇත. ඇතැම් රටවලින් එන සිසුන් පවතින් නීති රීති වලට අනුකූලව ක්රියා නොකරන අවස්ථා ඇත. කෙසේ හෝ මේ සිදුවීම වූ පසු සියළු සිසුන් එක් තැනකට කැදවා පිළිබද දැනුවත් කොට යලිත් එය එසේ සිදුවුවහොත් අපේ විශ්ව විද්යාලයට රසායනිකය භාවිතා කිරීම තහනම් වන බවද දැනුම් දුන්නේය. පැවසූ පරිද්දෙන්ම ඊට ටික කාලයකට පසුව යලිත් වරද සිදුව තිබීම නිසා අපට රසායනිකය භාවිතා කිරීමේ තහනමක් පැනවුනි. එය භාවිතා කළ සියළු දෙනාම ඊට ආදේශක සොයාගත්තා මිස කිසිවෙකු ගැන උද්ඝෝෂණ පවත්වන්නට සූදානම් වුයේ නැත. වරදක් කලොත් දඬුවම් විදිය යුතුමය. එයට අදාල ආයතනයේ ස්වභාවය, ඉන් කෙරෙන කාර්යභාරය හෝ එහි සිටින මිනිසුන්ගේ තරාතිරම් අදාල නොවේ.

28 comments:

  1. //නමුත් කණගාටුවට කරුණ ජපානය තුලදී ශ්‍රී ලාංකිකයන් මෙතෙක් සංවිධානය කල කිසිදු උත්සවයක් වෙලාවට පටන් නොගැනීමය. //

    මෙහෙත් එහෙම තමා..සඳ වියමන්.. පටන් ගන්නෙත් නැ, අවසාන කරන්නෙත් නැ. මට තේරෙන්නෙ නැත්තේ එක සැරයක් සංවිධානය කරල කලාට පස්සෙ ඇති උනු අඩුපාඩු ඇයි පෙනි පෙනිම ඊලඟ කටයුත්තෙදිත් හදා නොගන්නේ..මං ඒ අඩුපාඩු පස්වෙනි , දසවෙනි , විසිවෙනි වරට වගේ නම් කරන ඕනම තැනක දකිනවා.. වාර ගන්නේ නෙමේ බැලුවම වෙනස තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. බලනකොට වෙනස තියෙන්නෙ වාර ගානෙ නෙවෙයි ජාන වල නේද?. කැළේ මාරු වුණාට කොටියගෙ පුල්ලි වෙනස් වෙන්නෑ කියනවනෙ. පුල්ලි නැතත් සිංහයොත් එහෙම තමයි.

      අපි කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් පටන් ගන්නවා කියලා. පැය තුන හමාරක වෙනසක් තියෙනවනෙ.

      මටත් මෙහෙ ජපන් අයගෙ උත්සව වල හිතාගන්නම බැරි වෙලාවට පටන් ගන්න එකට වඩා වෙලාවට ඉවර කරන එක.මං අර කලින් පෝස්ට් එකක ලිව්වා වගේම මෙයායා උත්සවයක් ඉවර උනාම ඒ තැන තිබ්බ විදිහටම හදලත්නෙ යන්නෙ.

      Delete
  2. ඔයා කියුව වගේ අක්කේ ජපනුන්ගේ දියුනුව පිටුපස තියන වැදගත් ම දේ කාලය කියල තමයි මාත් හිතන්නේ.. අනිවාර්යෙන් ඒ ක්‍රමය අපහසුතාවටත් හේතු වෙනවා නේද??
    ආරෙ ගති නෑරේ කියන්නෙ ඕකනේ.. ලොකෙ කොහේ හිටියත් ලාංකික ගති වෙනස් කර ගන්න බැරි අයත් ඉන්නවානෙ අක්කෙ..

    ඔයාට බූමිකම්පාවකට මූණ දෙන්න උනා කියුව නේද?? ඒ කියල තිබුන විදිහට ඔයා ගොඩක් බය වෙලා.. ඒක සාදාරණයි.. ඒක කියවනකොට මටත් බය හිතුනා..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි නේද අහල තිබුණෙ ගබෙයි ද මොකද්ද්ද කියලහ ජපානෙ නාට්‍ය ක්‍රමයක් ගැන.
      මම හිතන්නෙ වැරදීමක්, ඒ අහල තිබුනෙ "කබුකි" (歌舞伎) ගැන වෙන්න ඕනෙ.
      කබුකි ගැන ඕන තරන් අන්තර්ජාලෙ තියෙනවා හොයල බලන්න.
      - ජපන් ඇනෝ

      Delete
    2. ඔව් නිර්මාණි....වෙලාවට වැඩ කරනවා කියනෙ දේ අපි පිටින් දකිනවට වඩා ගොඩක් වැදගත්කම් තියෙනවා. එයාලා හැමෝම පිළිවෙලට දින පොතක් එහෙම තියාගෙන වැඩ කරන අය නිසා මේ පිළිවෙල වගේම වෙලාවට වැඩ කිරීම අත්‍යවශ්‍යයි.

      ඉස්කෝල වල අවුරුද්දෙ මුල පටන් ගන්නකොටම ඒ අවුරුද්දෙ ඒ ඒ කාලවල පැවැත්වෙන්න නියමිත දේවල් කාල සටහනකට දාලා තියෙන්නෙ.ඒක හරි පහසුවක් දෙමව්පියන්ට.
      තත්පර පහ හයක් කොච්චර වටිනවද කියලා තේරෙන වෙලාවල් මෙහෙදි ඕනි තරම් තියෙනවා.

      ඒ භූමිකම්පාව එච්චර කම්පා වෙන්න තරම් දෙයක් නෙවෙයි. මෙහෙ ඕක නිතර වෙන දෙයක්. ඒත් ෆෝන් එකට ඇලට් එන්නෙ ටිකක් ලොකු එකකදි විතරයි. එදත් එහෙම ඇලට් එකක් ආව එකයි ඒ වෙලේ මං හිටියෙ මුහුද අයිනෙ ගොඩක් උඩ තට්ටුවකයි නිසා ඒක ලොකුවට දැනුනා. මං ඇත්තටම බය උනා. කොටින්ම හෙල්ලිලා ඉවරයි කියලා දැනුන ගමන් දොර ඇරලා බැලුවා වටේ පිටේ මිනිස්සු මොකද කරන්නෙ, මුහුද කොහොමද ඒවා මේවත්. ඊට පස්සෙයි ඉන්ටර්නෙට් බැලුවෙ. එතකොට තිබ්බා 5.6 ක එකක් කොහෙටවත් සුනාමි නෑ කියලා.

      Delete
    3. ඇනෝ සං, ඔව් නිර්මාණි තමයි ඒ ප්‍රශ්ණෙ අහලා තිබ්බෙ. පස්සෙ එයාම කියලා තිබ්බා "ඔව් ඒ කබුකි තමයි . මට වැරදීමක් උනේ" කියලා.
      මාත් දැනට කබුකි ගැන දන්නෙ අන්තර්ජාලෙ තියෙන ඒවා විතරයි.

      Delete
    4. ජපානය දැන් ස්වභාවික විපත් වලට සූදානම් වෙලා තියන විදිහ දැන්වත් අපේ රටවල් ආදර්ශයට ගන්නවානම් මේ තරම් වෙන හානිය අඩු කර ගන්න පුලුවන්..

      ආ ඒ කබුකි ප්‍රශ්නෙ හරි.. මං ඒක පොතක බැලුවේ අක්කේ.. ඒකෙ ඒ වගේ වැරදි කීපයක් පස්සේ මට හම්බුනා.. ස්තුති..

      Delete
    5. ස්තුතී ජපන් ඇනෝ...

      Delete
    6. For Nirmani,

      http://www.ntj.jac.go.jp/english/access/facilities_01.html

      Delete
  3. ඔය ඔක්කොම හොඳයි. ඒත් ඔෆීස් එකේ වැඩ ඉවර කරල ගෙදර යන්න නම් මුන්ට කිසිම හදිස්සියක් නෑ.
    OT ගෙව්වත් නැතත් 7,8 වෙනකල්වත් වැඩ කරනවා.
    කොච්චර කල් මෙහේ හිටියත් මට ඒකට නම් තවමත් හැඩ ගැහෙන්න බැරි උනා (ලංකාවෙ ලේ තවම දුවන්න)
    - ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. හි හි...මේගොල්ලන්ට කොහොමත් කලබලයක් කියලා එකක් ඇත්තෙම නෑනෙ. මට අන්න ඒක ඩිංගක් උගන්න්න හිතෙනවා ඔය කොහෙට හරි කන්න ගිහින් පැයක් හමාරක් ලිස්ට් එකේ ඉන්නකොට. අපේ පුතා කියන්නෙ "ගෙදර ගියානං උයලා කන්නත් තිබුනා" කියලා.

      ඔය අපේ සෙන්සෙලාට එහෙමත් ගෙවල් වල යන්න කිසි කුලප්පුවක් නෑ. අනේ මන්දා ඒ මිනිස්සුන්ගෙ ගෙදර උදවියත් ඒ ජානම තියෙන අය නිසා හොදයි. අපේ සෙන්සෙ වෙන රටකට එහෙම ගිහින් එනකොට ඒ එන්නෙ දවල් කාලෙක නම් ආයෙ ලැබ් එකටත් ඇවිත් තියෙන වැඩත් කරලා තමයි ගෙදර යන්නෙ. දවසක් එහෙම ආවා හයට විතරත්. වෙලාවකට පිස්සුද කියලත් හිතෙනවා.

      Delete
    2. ඇත්තටම ඔවුන් එහෙම යන්නේ නැත්තේ, එහෙම වේලාසන ගෙදර යන මිනිස්සුන්ගේ බිරින්දෑවරුත් දරුවොත් ඒ අයව ගණන්ගන්නේ නැති වගේම ඔවුන්ට සලකන්නේ නිකම්මු ලෙසට නිසා මම දන්නේ. පශ්චාත් යුධ සමයේ ජපානයේ සීඝ්‍ර දියුණුව වෙනුවෙන් දවසට පැය 20 විතර වැඩ කරපු කාලේ තමයි ඔය සිදුවීම දරුණු ම වෙලා තිබෙන්නේ. දැන් ඒ තරම් වැඩ කරන්නේ නැති වුනත් පැය 11-12ක් වත් වැඩ නොකරන අයව පවුලෙන් ඒ තරම් ගණන් ගන්නේ නැති බව තමයි මට බොහෝ දෙනා කිවේ. මම ශිෂ්‍යයෙක්ව සිටි කාලේ බොහෝ සතියේ දින වල පැය 15ක් පමණත් සති අන්තයේ දින වල පැය කිහිපයකුත් වැඩ කිරීම මට මේ රැකියාව ලබාගැනීමේ තරඟයේ දී ලොකු වාසියක් වුණා.

      වැදගත්ම දේ (මා සමග වැඩ කරන අයගේ නම්) රැකියාව විනෝදාංශය බවට පත්කරගෙන තිබීම. අවුරුදු 34ක් පමණ වෙද්දී මගේ මහාචාර්යතුමාට (Assc. Prof) පේටන්ට් 20 ක් පමණත් පත්‍රිකා 50ක් පමණත් තිබීමේ රහස එයයි. ඔහු හැමතිස්සෙම කියන්නේ let's enjoy our research කියලා. මම ජපානයෙන් ඉගෙන ගතිපු වටිනාම සංකල්පය එය බවයි මම හිතන්නේ.

      අනෙක් ක්ෂේස්ත්‍ර වලටත් වැඩිය පර්යේෂණ වලදී නම් වැදගත්ම දෙයත් අපේ ප්‍රයේෂණය අපේ විනෝදාංශය බවට පත් කරගැනීමයි.

      Delete
    3. ඔය කලින් ගෙදර ගියාම ඒ අයව ගනන් ගන්නෙ නෑ කියන කතාව මාත් අහලා තියෙනවා.
      ඔයා කියන අනෙක් කාරණෙත් ඇත්ත. එයාලා රැකියාව විනෝදාංශයක් හෝ විනෝදාංශය රැකියාව කරගෙන ඉන්නෙ. මැසිවිලි කිය්වන්නෙ, හරි අමාරුයි අරවා මේවා මොකුත් නෑ.

      ගිය අවුරුද්දෙ දවසක් සෙන්සෙයි මමයි මොන්ට්පේලියර් වල ඉදන් flight එකක් delay වෙලා මාර කට්ටක් කාලා කොහොමහරි මෙහෙට ආවා පැය 24 කින් වගේ. ඒ ආවෙ උදේ 9 ට විතර. මම ඒ වෙනකොට හිටියෙ University apartment එකක. සෙන්සෙත් මං එක්ක ආවා ලැබ් එකේ වැඩක් තියෙනවා ඒක කරලම ගෙදර යන්න ඕනි කියලා. මම ගෙදර ගිහින් හොදට නාලා කාලා, පැය දෙක තුනක් නිදාගෙන එහෙම නැගිටලා හවස තුන හමාරට විතර ලැබ් එකට ගියා. ඒ යනකොටත් සෙන්සෙ ඉන්නවා. මට ලැජ්ජාවෙ පණ ගියා.
      තමන්ගෙ රස්සාව විනෝදාංශය හෝ තමන් කැමතිම දෙයක් උනාම වෙහෙසක් දැනෙන්නෙ නැති බව මාත් අත්දැකීමෙන් දන්නවා.මට මේ කොහරි ඉදලා ගිහින් වැඩට ගියාම තමයි මං ජීවත් වෙනවා කියලා දැනෙන්නෙත්.

      රිසර්ච් වලදිත් අපිට උනත් වෙහෙසක් නොදැනෙන්නෙ අපි ඒවා කැමැත්තෙන් කරන නිසා වෙන්නැති.

      Delete
  4. මේවගේ දේවල් කියවීමෙන් මගේ තිබෙන දුර්වලතාවයක් තරමක් හෝ නිවැරදි කර ගැනීමට සිතුනා. මට හදන්න පුලුවන් මාව විතරක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ වචන ටික අහන්න ලැබීම සතුටක් ඉයන්. එකම එක්කෙනෙක් හෝ එහෙම තමන් ළඟ තියෙන දුර්වලතාවයක් කියලා තමන්ටම දැනෙන දෙයක් හදාගන්න හිතුවා කියන්නෙ මේ ලිවීමෙන් මට ලබන්න පුළුවන් ඉහලම සතුට ඒක

      Delete
  5. ඔය timing ගැන කියනකොට මට එක් සිද්දියක් මතක් උනා.
    මේක උනේ 2008 විතර වගේ මතක හැටියට. ඒ කාලෙ ජපානෙ අගමැති හිටියෙ තරෝ අසො.
    එයා දවසක් ආව කුමමොටො නගරෙට. ඔය ළඟදි භූමි කම්පාව උනේ. ඒ කාලෙ මම එහෙ වැඩ කලේ.
    ඉතින් එයාගෙ ඒ මොකක් හරි ඒ ඩියුටි එක ඉවර වෙලා කුමමොටො ඉඳල හවසට ටෝකියෝ යන අන්තිම
    ෆ්ලයිට් එක අල්ලන්න සිටි එකේ ඉඳල එයාපෝට් එකට කා එකේ ගියා.
    ඒ යනකොට ට්‍රැෆික් පොලිසියෙන් ඇල්ලුවා හයි ස්පීඩ්.
    එතන දඩ කොල ලියන වැඩේ නිසා අන්තිම ෆ්ලයිට් එක මිස් උනා.
    මෙතන කතා ගොඩක් තියෙනවා.
    1. අගමැති එන නිසා ෆ්ලයිට් එක ඩිලේ කරන්න කියල එයාපෝට් එකට කෝල් කරේ නෑ කවුරුත්.
    2. පොලිස් කාරයා අගමැතිව දැකලා සැලියුට් ගහලා යන්න ඇරියෙ නෑ.
    3.සේරමටත් වඩා පොලිස් කාරය පහුවදා උදෙත් වැඩට ගියා.
    සිදු උන එකම දේ ඉන් පස්සෙ එයාපෝට් පාරෙ ට්‍රැෆික් දැම්මෙ නෑ (ලු)
    -ජපන් ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඒක මරු කතාව. අන්තිම වාක්‍ය දෙක තමයි තමයි හොදම.පොලිස් කාරයා පහුවදා වැඩට ගිය එක හරි. අනෙකත් ඇත්තටම එහෙමද? නැත්තන් සුරි රන්කන් "ලු" කතාවක්ද?. අපි ඉතිං ඒ අතින් ඉහළයිනෙ....ඊට පස්සෙ මෙහෙම වුණාලු කියලා උපකල්පන ගොඩනගන්න.

      මං ඇත්තටම ගොඩක් හොදින් නිරීක්ෂණය කරපු දෙයක් තමයි තමන්ගෙ බලතල පාවිච්චි කරලා තමන්ට වඩා තනතුරින් පහළ කෙනෙකුගෙ රාජකාරියට කිසිම අත පෙවීමක් නොකරන එක. ඒ මිනිස්සු එහෙම එකක් හිතන්නෙවත් නෑනෙ. නීතිය නම් නීතිය

      Delete
    2. 'ලූ' කියල දැම්මෙ වෙන කෙනෙක් දෙයක් නිසා.
      අනිත් ඒව ඒ දවස්වල TV එකේ පත්තර වලත් තිබුනා.
      -ජපන් ඇනෝ

      Delete
  6. /නමුත් කණගාටුවට කරුණ ජපානය තුලදී ශ්‍රී ලාංකිකයන් මෙතෙක් සංවිධානය කල කිසිදු උත්සවයක් වෙලාවට පටන් නොගැනීමය. // අපේ අය කොහෝ ගියත් අපේ නරක පුරුදු තමයි වැඩිපුර අරගෙන එන්නේ. මම ඉන්න ප්‍රදේශයේ ඉන්න ලංකාවේ අයගේ තියෙන බෙදීම් දිහා බැලුවහම හිතෙනවා මෙයාලා තමන් ඉන්න රටේ හොඳ ගති ටික හැර ඔක්කොම නරක වැඩ තමයි පුරුදු වෙන්නේ කියලා .. පාසැල් භේද, රැකියා තනතුරු මට්ටම් අතර භේද .. මෙකි නොකී ඔක්කොම මෙහෙ පවත්යනවා වැඩි දෙනෙක් ..

    ReplyDelete
    Replies
    1. අපේ අය කොහෙ ගියත් තමන්ගෙ දේවල් අරන්නෙ යන්නෙ. ඔය මිරිස්, තුනපහ, සිද්ධාලේප, අසමෝදගම්, මාළු ඇඹුල්තියල අරවා මේවා ටිකත් එක්ක පුංචි කාලෙ ඉදලා ගොඩ ගහගත්තු ඔය කවිඳු උඩ කියලා තියෙන එව්වා ටිකත් පැක් කරගන්නවා. යන තැනකදි උවමනා උනාම ගන්න. මෙහෙත් ඔය වගේ දේවල් තියෙනවා.

      දැන් සති දෙක තුනකට උඩදි මෙහෙ වෙල්කම් පාටියක් තිබුනා. පටන් ගන්නෙ 7 ට. 6.45 ට ඉන්ටකොම් එකෙන් රිමයින්ඩර් එකකුත් ආවා. මං ඒ වෙලාවෙ මගේ කිට්ටුව කාමරේක ඉන්න ලංකාවෙ කෙනෙකුට කතා කරා යමුද අහන්න. "ඇයි දැන්ම යන්නෙ...7 ටනෙ පටන් ගන්නවා කිව්වෙ.....7.10 ට විතර යමු" අන්න එහෙමයි මට උත්තර ලැබුනෙ. ඔව්වා ගැන ඉතිං මොකට කතා කරනවද?. මේ වගේ රටක ඉදලවත් වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න බැරිනම් ආයෙ කෝවක දාලා ගත්තත් බෑ.

      Delete
  7. සඳ වියමන්ගේ මේ වියමන් ඉතා වටිනවා.. ජය වේවා..

    ඒ වගේම ජපන් ආනෝගේ අදහස් දැක්වීම් ඉතා වටිනවා. එළ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දේශො. ජපන් ඇනෝගෙ වගේම කෙන්කියූෂා එකතු කරන අදහසුත් මේ පෝස්ට් වලට වටිනාකමක් එකතු කරනවා.

      ඇනෝ මිත්‍රයා බොහොම කාර්‍යබහුල කෙනෙක් වගේ. නැත්නම් ඔහුගෙ විසි වසරක අත්දැකීම් අපිට සෑහෙන්න දේවල් ටිකක් කියා දේවි

      Delete
  8. අක්කලාගේ ආදරණිය තානාපතිතුමා පැණි වළලු වලට ලිව්වා ලිපියක මම දැක්කා ඔය ජපන් ජාතිකයින් වෙලාවට වැඩ කරන හැටි ගැන ලියලා තියෙනවා.

    තානාපතිතුමා කොහෙද යන්න දුම්රිය පොළට ගියාම 9.05 ට නම් කෝච්චිය තියෙන්නේ (මට හරියට ලිපියේ තිබ්බ වේලාව මතක නැහැ) 9.04ට තානාපතිතුමා බැලුවාලු කෝච්චිය එනවාද කියලා.එත් කෝච්චිය පේන්න නැහැලු.ඒ පේන්න තිබ්බ නැති කෝච්චිය මෙන්න ඊගාව විනාඩියේදී දුම්රිය වේදිකාවට ඇවිල්ලාලු.කෝච්චියට ගොඩ වුනාම ඊගාව තප්පරේ දොරවල් වැහිලා කෝච්චිය යනවාලු නියම කාලසටහනටම තප්පරේටම.

    අක්කේ අපේ අයත් වේලාවම වැඩ කරනවා.හැබයි නැකතක් තියෙන්න ඕනේ.

    මේ වේලාව ගැන ලියවෙච්චි ලස්සන කෙටි කතාවක්.

    ReplyDelete
    Replies
    1. අනේ ඔයානම් හරිම නරකයි මල්ලි. මං වැඩ ඔක්කොම පැත්තක තියලා කෙටි කතාවක් කියවන්න ගියා

      Delete
  9. Mathakada api ara BBQ ekata welawata awilla paya 11/2 akigase park ekke hitiya?
    (Tharanga-Saitama)

    ReplyDelete
    Replies
    1. තරංග, ඒ වගේ කටු කොහොම අමතක කරන්නද? ඕක විතරක් නෙවෙයි අපේ අය කරන කොයි වැඩෙත් පටන් ගන්නෙ ලංකාවෙ වෙලාවටනෙ.
      කොහොමද ඔයාගෙ වැඩ. ඉවරද?

      Delete
  10. මේක මුනු පොතේ තියෙනවා කිහිප දවසක්ම දැක්කා. ඒත් කියවන්න හිතාගෙන හිටියට අතපසු උනා. හරිම අපුරෑවට ලියලා තියෙනවා.සතුටුයි උඹ ගැන ඒ කාලෙ වගේම තාමත් අත් ඇර ගන්නෙ නැතුව දිගටම ලියනවට. සුභ පැතුම්. දිගටම ලියපන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ධර්මසිරි.

      ඒ කාලෙ ලිවිල්ල ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙ පටන් ගත්තු දිවිල්ලත් එක්කම නැති වුණා. අවුරුදු විස්සකින් විතර ආයෙ ලියන්න පටන් ගත්තෙ මෑත කාලෙ. මේ බ්ලොග් වලින්ම හඳුනාගත්තු කිහිප දෙනෙක් සහ දිලාන්, චතූ වගේ අපේ සෙට් එකේ අය තමයි ආපහු ලියන්න උනන්දු කෙරෙව්වෙ

      Delete