"හරි පුදුම ඉස්කෝලෙ" බොහෝ දෙනෙකු රසවිද ඇතුවාට සැක නැති දඟකාර ජපන් දැරියක් හා ඇගේ සුන්දර පාසැල් ජීවිතය ගැන ලියවුන අපූරු පොත් පිංචකි. ඒ පොත කියවන මොහොතේ සිතේ ඇදි චිත්ත රූප සියල්ල පියවි ඇසින් දකින්නට ලැබීමත් අපේ දරුවාට එවන් සුන්දර පාසලක කෙටි කාලයක් හෝ ඉගෙන ගන්නට ලැබීමත් සැබවින්ව අප ලද භාග්‍යකි.
පුද්ගලිකව අප සියළු දෙනාගේම ලෝකවල දරුවන් සිටින්නෙ අංක එකටය. පොදුවේ රටක් ලෙස සැලකූ විට අප මාතෘ භූමියේ දරුවන්ට හිමිවන්නේ එකට බොහෝ ඈතින් ඇති ස්ථානයකි. එනමුත් ජපානයේ අංක එක දරුවන්ය. හොදම දේ දෙන්නේ දරුවන්ටය. සර්ව සම්පූර්ණ නිදහස් අධ්‍යාපනය ඊට හොදම උදාහරණයකි.
අපද නිදහස් අධයාපනයේ ඵල ලැබූවන්ය. නමුත් අද අප රටේ පවතින අධ්‍යාපනය නිදහස් වන්නේ නාමිකව පමණි. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ සම්පූර්ණ බර තිබෙන්නේ දෙමව්පියන්ගේ හිස මතය. දරුවෙකු පිලිසිද ගන්නටත් පෙර සිටම ජනප්‍රිය පාසැලක් අවට නිවසක් බද්ධට හෝ ගන්නට දෙමව්පියන් පෙලඹෙන්නේ එහෙයිනි.ලංකාවේ එක වසරට දරුවෙකු ඇතුළත් කිරීම කෙතරම් බරපතල කටයුත්තක්දැයි මා හරියටම තේරුම් ගත්තේ අපගේ එකම පුතණුවන් අප ජිවත් වු මාතර ප්‍රදේශයේ කිසිදු රජයේ පාසලකට ඔහුගේ පාසැල් යන වයස සම්පූර්ණ වී තුන්වන වාරය එලඹෙන තුරුත් ඇතුලත් කරවිය නොහැකි වු පසුය.ඒ ප්‍රදේශයේ ජනප්‍රියම පිරිමි පාසල වන රාහුල විදුහලෙන් හැර වෙනත් කිසිදු විදුහලකින් සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවීමක් හෝ නොලැබුණි.
ජපානයේ වෙසෙන සෑම ජපන් ජාතික දරුවෙකුම අනිවාර්යෙන් වසර නවයක පාසැල් අධ්‍යාපනයක් ලැබිය යුතුය. එය මව්පියන්ගේ නොව රජයේ වගකීමකි. රජයේ ප්‍රමුඛතම ආයෝජනයකි. ඉන්පසු තවදුරටත් ඉගෙන ගැනීම හෝ නොගැනීම දෙමව්පියන්ට තීරණය කල හැක (මන්ද ඉන්පසු අධ්‍යාපනය සදහා කිසියම් මුදලක් ගෙවීමට දෙමව්පියනට සිදුවේ.). මේ වසර නවයෙන් හයක් Elementary school සහ තුනක් Junior high school හි ඉගෙන ගත යුතුය. එහි අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේය. මේ නොමිලේ අධ්‍යාපනය අපගේ නොමිලේ අධ්‍යාපනය ලබාදීම හා සැසදෙන්නෙ දෙමව්පියන් පාසැල් ගාස්තු නොගෙවීමෙන් පමණි.මෙහි එක වසරට ඇතුළත් කරගන්නේ අදාල වර්ෂයේ අප්‍රේල් පලමුවැනිදා වන විට වයස අවුරුදු හය සම්පූර්ණ වු දරුවන්ය. (ජාත්‍යන්තර කටයුතු වලදී සාමාන්‍ය කැලැන්ඩරයට අනුව වැඩ කටයුතු කලත් ජපානයේ සෑම කටයුත්තක්ම ආරම්භ වන්නේ සකුරා මලින් මුළු රටම නැහැවෙන අප්‍රේල් මාසයේ
පළමුවනදාය. මුදල් වර්ෂයද අප්‍රේල් එකේ සිට මාර්තු තිස් එක දක්වාය) අපේ නම් නිසි වයස සපුරන ළමුන්ගේ දෙමව්පියන් නානාප්‍රකාර ලියකියවිලි සමග මේ සදහා අයදුම් කල යුතු ය. ජපානයේ මූලික අධ්‍යාපනය දෙමව්පියන්ගේ නොව රජයේ වගකීමක් නිසා නිසි වයස සපුරන දරුවන් සිටින නිවෙස් වලට දරුවන් පාසලට ඇතුලත් කිරීමේ අයදුම්පත් සහ ඒ ඒ නිවාස ආසන්නයේ ඇති පාසැල් වල ලේඛනයක් තැපෑලෙන් ලැබෙන්නට සලස්වයි. රටපුරා ඇති සියළු පාසැල් වල පහසුකම් සහ අධ්‍යාපනය එක හා සමාන නිසා කිසිවෙකුට තරඟ කිරීමේ සිතක් පහල වන්නේ නැත. එසේම පාසලට වාහන වලින් පැමිණිය නොහැක නිසා ඕනෑම කෙනෙකු අයදුම් කල යුතු වන්නේ නිවසේ සිට පයින් ඇවිදින දුරක ඇති පාසලකටය. දෙමව්පියන්ට ඇත්තේ අයදුම්පත පුරවා ඒ සමග එවන ලියුම් කවරයේ බහා ලියුම් පෙට්ටියකට දැමීම පමණි.ලංකාවේ එකවසරට බාර නොගත් අපේ පුතණුවන් තෝක්යොවෙ අපේ නිවස ඉදිරිපිටම ඇති ප්‍රාථමික පාසලේ එක වසරට ඇතුළුවන්නට වරම් ලැබුවේ ඒ ක්‍රමවේදයට පිංසිදුවන්නටය.
ප්‍රාථමික පාසැල් අධ්‍යාපනය සියයට සියයක්ම නොමිලේය. පෙළ පොත්, සටහන් පොත්, පාට පෙට්ටි, ගම් කතුරු ආදී එකී මෙකී නොකී ප්‍රාථමික පංතියක දරුවෙකුට අවශ්‍ය වන සියළුම අඩුම කුඩුම ලබාදෙන්නේ රජයෙනි.ඒ සියල්ල මෙහි ඇති ඉස්තරම්ම නිෂ්පාදන වීමද විශේෂත්වයකි.මේ දරුවන්ගේ පාසැල් කාලය ඉතාමත් සුන්දරය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් ඉගෙන ගන්නා ඔවුන් ඉගෙනීම තුලින් වෙහෙසට පත් වන්නේ නැත. තාමත් වෙනසක් නොමැතිව කොබයාෂි සංකල්පයෙන් ක්‍රියාත්මක වන "හරි පුදුම ඉස්කෝලෙ" ට ඇතුල් වීමේ උත්සවයේ සිට දවස් ගෙවෙන ආකාරය ඉඩ කඩ ඇති විදිහට ලියන්නට සිතුවේ එනිසාය.
මේ සටහන දරුවන් පාසලට ඇතුලත් කරගන්නා උත්සවය පිලිබදවය.
මවුපියන් සමග පාසැල් භූමියට ඇතුලත් වන දරුවාගේ පැමිණීම සටහන් කරගත් පසු ඒ ඒ දරුවා සදහා කලින් වෙන්කල වැඩිහිටි සිසුන් දෙදෙනෙකු දරුවා බාරගන්නා අතර දෙමව්පියන්ට පාසැල් ක්‍රීඩා පිටියේ පනවා ඇති අසුන් වෙත යාමට අවස්ථාව ලැබේ. දරුවන් ඇතුලත් කරගන්නා උත්සවය පවත්වන්නේ ක්‍රිඩා පිටියෙදීය. මා කලින් සදහන් කල පරිදිම සකුරා මල් පිපෙන මේ කාලයේ එලිමහන ඉතා සුන්දරය.පාසලට සිසුන් ඇතුලත් කරගන්නා උත්සවය ඉතා චාම් එහෙත් කුඩා දරුවන්ට එය තම ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් බව මතකයේ රදවන්නට තරම් ගාම්භීර උත්සවයකි.
මේ උත්සවයේ ආසන පැනවීම අපේ රටේ තත්වයෙන් වෙනස්ය. ඉදිරිපෙල අසුන් නවක සිසුන්ටය. ඊට තරමක් පිටුපසින් ඔවුන්ගේ භාරකාරයන් වු වැඩිහිටි සිසුන් සදහාත් ඊටත් පිටුපසින් දෙමව්පියන් සදහාත් ආසන පනවයි. සිසුන්ගේ අසුන් වලට වම් පැත්තේ දික් අතට ගුරුවරුන්ටත් දකුණු පැත්තේ ආරාධිත අමුත්තන්ටත් ආසන වෙන් කරයි.සාමාන්යෙන් අපේ රටේ ඕනෑම උත්සවයක වැඩි අවධානය සහ සැලකිල්ලක් යොමු කරන්නේ ආරාධිත අමුත්තන්ට හෝ ආයතන ප්රධානියාටය. ලංකාවේ මට වඩාත් සමීප උත්සවය උපාධි ප්රදානෝත්සවය. එහිද මුලින්ම අසුන් ගන්නේ දෙමව්පියන්ය. ඉන්පසුව උපාධිලාභීන්ගේ පෙරහැර ශාලාවට ඇතුළුවන අතර පිලිවලින් ආචාර්යවරුන්ගේ සහ කුලපති පෙරහැර පැමිනෙන්නේ ඉන් අනතුරුවය. උපාධිප්රදෝනෝත්සවයක් යනු කුලපතිතුමා ඇතුළු ආචාර්යවරුන්ට සිය රාජකාරි දිවියේ වාර්ෂිකව යෙදෙන එක් අවස්ථාවක් මිස ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් නොවේ. එය සුවිශේෂී දිනයක් වන්නේ උපාධිලාභීන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට වුවත් අපේ රටේ සම්ප්‍රදායන් එහෙමය.
මෙහි දැක්වෙන්නේ Pre-School graduation ceremony එකක උත්සව ශාලාවට අවසානයේ ඇතුල් වන දරුවන් සඳහා ආසන තබා ඇති ආකාරය.ඒ ඒ පුටුවලට පිටුපසින් අසුන්ගෙන සිටින්නේ, අදාල පුටුවේ අසුන්ගන්නා දරුවාගේ මව හෝ පියාය. |
නමුත් ජපානයේ
(අනෙකුත් බොහෝ රටවල තත්වයද ජපානයට සමාන ඇතැයි සිතමි )මිනිසුන්ගේ ආකල්ප සහ සම්ප්‍රදායන්
වෙනස්ය. මේ උත්සවයේ මුලින් දෙමව්පියනුත් ඉන්පසු විදුහල්පතිවරයා විසින් කැදවාගෙන එනු ලබන ආරාධිත අමුත්තනුත් අසුන්ගත් පසු ගුරුවරුන් අසුන්ගන්නා අතර ඉන් අනතුරුම වැඩිහිටි සිසුන් තමන්ගේ ආසන වෙත පැමිනේ. සිය පන්තිභාර ගුරුවරයා සමග නවක සිසුන් උත්සව භූමියට පැමිණෙන්නේ අවසානයටය. ඒ අවස්ථාවේ සියළු දෙනාගේම අවධානය යොමුවන්නේ ඔවුන්ටය. ඉතා ගාම්භීර ගමනින් මෙලෙස සියළු දෙනාගේම අවධානය දිනාගනිමින් ඔල්වරසන් හඩ මධ්‍යයේ උත්සව භූමියට පැමිණෙන දරුවන්ගේ සිඟිති සිත් සතන් තුල ඒ දිනය සිය ජීවිත වල අමරණීය මොහොතක් ලෙස සනිටුහන් වනවා නොඅනුමානය.උත්සවය ඇරඹෙන්නේ
දෙක වසර දරුවන් මෙලෝඩිකා වාදනයකිනි. එය අළුතින් දෙවන වසරට සමත් වු පොඩ්ඩන්ට ඔවුනුත් වගකිවයුතු පිරිසක් බව පෙන්වන්නට ලබාදුන් අවස්ථාවක් වැනිය.
මොහොතකට හෝ ජපන් පාසලකට ගිය වගේ දැනුනා. අර කිව්ව කහ තොප්පිය ගැන ඊලග පෝස්ටුවෙන් කියවන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteජයවේවා!!
ජපන් පාසලක මම ඔයාලව හිමීට එක්ක යන්නම්කො.
Deleteමෙහෙ දරුවො වයස අනුව වෙන්කරගන්න පාවිච්චි කරන දෙයක් තමයි තොප්පියෙ පාට. ඒ අතරින් මේ කහ තොප්පිය සුවිශේෂයි. ඒක මම ඉක්මනට ලියන්නම්
හරි පුදුම ඉස්කෝලෙ..දිගටම විස්තර දාන්න..ඒවගෙන් ගුරුවරුන් වෙච්ච අපිට කරන්න පුළුවන් දේවල් ගැන අයිඩියා ගන්ඩ පුළුවන්
ReplyDeleteආ.... ගුරුවරයෙක්/වරියක් මේක කියවන බව අහන්න ලැබීමත් සතුටක්. ඔව් අපි බලමු රට ඉබේ වෙනස් වෙනකක් බලා නොඉද අපිට පොඩියට හරි වෙනස්කරගන්න, ඉගෙනගන්න පුළුවන් දේවල් මොනාද කියලා
Deleteමුසුකො සන් ඔකාසන් තො සොක්කුරි
ReplyDelete- ජපන් ඇනෝ
ඉමි වා වකරනයි
Deleteසබිෂි දෙස් යො
Musuko wa okaasan sokkuri desu ne (Your son looks just like you) කියල නේද තියෙන්නෙ.
DeleteK
ස්තූතියි! අලුත් ඇනෝ මිත්‍රයා.
Deleteඅන්න එහෙම තේරෙන භාෂාවකින් කියන්න එපැයි. නොතේරුණත් ඒ කියපු එකට නම් ස්තුතිවන්ත වෙන්න ඕනි ජපන් ඇනෝටත්. ගෙවිච්ච අවුරුදු අටටම කවුරුවත් ඔය වගේ සුන්දර ප්‍රකාශයක් කරලා නෑ. දකින දකින කෙනා කියන්නෙ අප්පච්චි වගේමයි කියලා.
ටික දවසකින් සකුරා සුවඳ දැනුනේ නැත්තේ ඇයි කියලා කල්පනා කළා අක්කේ.... දැන් දැනුනා....
ReplyDeleteඇත්තටම හරිම අපූරුයි... පුතා හරිම වාසනාවන්තයි මේ වගේ අද්දැකීමක් ලබන්න... අර කහ පාට තොප්පියේ කතාව කියවන්න බලන් ඉන්නවා...
නිර්මාණි..... මම ටික දවසකට සකුරා සුවද කොන්ක්‍රීට් තෝක් යොවෙ තියලා කොළපාට ලස්සන කදු වලින් වටවෙච්ච, ඇළ දොළ, දියඇළි පිරුණ නිම්නයක වනගත වුණානෙ. ඉතින් සකුරා සුවද අමතක වුණා.
Deleteනෑ අමතක වුණා නෙවෙයි මට ලියන්න වෙලාවක් තිබුණෙ නෑ නගෝ.
මම ඔයාට කබුකි ඇතුළු මෙහෙ සම්ප්‍රදායික නාට්‍ය කලාවන් ගැන තොරතුරු දැනගන්න ලින්ක් එකක් දැම්මා ඔයා ඒ ගැන අහලා තිබුණ තැනක. බැලුවද?. මම සිකුරාදා කබුකි බැලුවා
තොප්පියෙ විස්තරේ ඉක්මණට දාන්නම් ( මහ ලොකු දෙයක් නෙවෙයි හොදේ)
බැලුවෙ නෑ... ඔයා කියපු එක හොඳයි.. ස්තුතී අක්කේ.. මං දැන්ම ගන්නවා ඒක... ආයෙත් ස්තුතී....
Deletehttp://www.ntj.jac.go.jp/english/access/facilities_01.html
Deleteඒක හොයන්න අමාරු නම් මෙන්න මෙතනින් බලන්න
බොරු බොරු, පහු ගිය දවස්ටිකේ සඳා බිසි , අප්පච්චි පිලිගන්න ගියානෙ.
Delete-ජපන් ඇනෝ
ෂ්...ෂ්....කෑගහන්ඩ එපා ඉතින්. ඕක දැනගත්තෙ ඔයත් එතනට ආවද?
Deleteපිළිගැනීමේ උත්සවයෙන් පස්සෙ සන්තෝසෙට තමයි වනගත වුණේ.
ඔන්න මම පිළිගන්න ගිය හන්දා කියන්නෙ, මෙහෙට අපේ රටේ නිව්ස් එන්නෙ නැද්ද කොහෙද?. "අපේ ජනපති පිළිගනිමු" කියලා තොරණක් තිබ්බා දැක්කා.
ඔයාට පිළිගන්න යන්න බැරි වුණානම් දුක් වෙන්නවත්, මේ මම වගේ ගිය අයට ඉරිසියාකරන්නෙවත් නැතුව හෙටම යන්න මුණ ගැහෙන්න. මම හිතන්නෙ තාම ඉන්නවා. මම ඊයෙ දැක්කා ට්‍රයිකො ඉවෙන්ට් එකක ෆොටෝ වගේක ඉන්නවා ( පරණ එකක්ද දන්නෑ).
හරිම සුන්දරයි ඒ විස්තරය කියවගෙන යද්දී දැනෙන හැඟීම...ඔයාගේ පුතු පැටියා ඇත්තටම වාසනාවන්තයි නිර්මාණි කියල තියනවා වගේ...මේ දරුවන්ගේ හිත් වල තරඟකාරිත්වය නැති නිසා වැඩිහිටියන් විසින් පැළ කරන ඉරිසියාව, ක්‍රෝධය වගේ හැඟීම් ඔවුන්ගේ හිත් වල අඩු ඇතියි කියල හිතනවා...
ReplyDeleteමේ මම අහපු කථාවක්...මගේ ඉන්දියන් ජාතික යෙහෙළියකගේ අවුරුදු 6ක දියණිය, ඔරලෝසුවේ වේලාව කියවන්න හුරු වෙනවා මේ දවස් වල...ඇය දක්ෂ දැරියක්...එයා ලඟදි දවසක කටු සහිත ඔරලෝසුවේ වෙලාව කියවන ගමන් කිව්වලු, "But mommy this is not the good watch" කියල..දැන් මේක මගෙ යෙහෙළියට ගැටළුවක්...ඒ පාර එයා අහලා ඇයි ඔයා එහෙම කියන්නේ කියල..එතකොට පොඩි එකී කියනවලු, එයාගේ යාළුවා කිව්වා කියල ඉලෙක්ට්‍රොනිකව ඉලක්කම් පෙන්නන ඔරලෝසුව තමයි හොඳ එක කියල...බැලුවම අනික් පොඩි එකී දන්නේ ඒකෙන් වේලාව කියවන්න විතරලු...පුංචි උනත් අනිත් කෙනාගේ මොළය හසුරුවන විදියට කටයුතු කරන්න තියන සියුම් ඉරිසියාව තමයි එතනින් පේන්නේ...මෙහෙ ඒ තරඟකාරීත්වය තියනවා, ගොඩක් පවුල් විවිධ රටවලින් සංක්‍රමණය වුනු අය නිසා...ඔවුන්ට ආවේණික විවිධ ගතිගුණ අරගෙන තමයි පොඩි එව්වෝ පාසැල් යන්නේ...
පොකුරු,
Delete//වැඩිහිටියන් විසින් පැළ කරන ඉරිසියාව, ක්‍රෝධය වගේ හැඟීම් ඔවුන්ගේ හිත් වල අඩු ඇතියි කියල හිතනවා...//
අඩුයි නෙවෙයි නැත්තටම නැද්ද කොහෙද?. පොඩි එව්වන්ගෙ තියා අපි එක්ක ඉගෙනගන්න ලොකු අයගෙ හිත් වලත් එහෙම ඒවා නෑ මට දැනෙන හැටියට.
ඔහෙ විතරක් නෙවෙයි, යුරෝපා රටවල, ඕස්ට්‍රේලියාව වගේ රටවලටත් අපේ වගේ රටවලින් ගිහින් පදින්චි වුණ අය තම තමන්ගෙ රටවල තිබ්බ හොද කෙසේවෙතත් ඔය වගේ පුරුදු අරන් ගිහින් තියෙන බව අහන්න ලැබෙනවා. මගේ පරණ පෝස්ට් එකකත් ඕස්ට්‍රේලියාවෙ ඉන්න කෙනෙක් ඔයා කියන දේම ලියලා තිබ්බා.
ඔයා ඔය ඔරලෝසු කතාව කිව්වම මට කතාවක් මතක් වුණා ඒක දිග වැඩියි මෙතන ටයිප් කරන්න. මම පස්සෙ ඒක අමුණන්නම්
මේ පොස්ට් එකේ අන්තිම පින්තුර තුන දැක්කාම මමත් මගේ ස්කෝලේ පුංචි පන්තිවල හිටපු අතීතය මතක් වුනා.
ReplyDeleteස්කෝලෙට භාරගන්න පොඩි උන් අඩන්නේ නැතිද අක්කේ අම්මා තාත්තා නැතුව බැහැ කියලා.
ඔයා විහිළු කරනවද?. ඔය පොඩි එව්වන්ගෙන් අති බහුතරයක් මාස හයේ හතේ ඉදලා ඩේ කෙයා වල එකට හැදුන වැඩුන අය. ඔය ෆොටෝ එකේ ග්‍රවුන්ඩ් එක වටේට පේන උස් ගොඩනැගිලි ඔක්කොම වගේ මහල් නිවාස. ඒවයෙ ළමයි තමයි එක ඉස්කෝලෙ ඉන්නෙ. ඒ නිසා ළමයින්ට ඉස්කෝලෙ නුහුරු ගතියක් දැනෙන්නෙත් නැතුව ඇති. ඔය ළමයින්ගෙන් 90% ටවත් ඔය ඉස්කෝලෙට තමන්ගෙ ගෙදර පේනවා, දන්නා දා ඉදලා ඉස්කෝලෙත් දැකලා තියෙනවා. ඉතින් මොකට අඬනවද?. මම කවුරුත්ම අඬනවා දැක්කෙ නෑ. ඉස්කෝලෙ තියා මඟ තොටදි අතදරුවෙක් අඬනවා දකින්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්
Deleteඅපේ පුතා තායිලන්තෙදි අපේ Institute එකේම තිබුණ මොන්ටිසෝරියකට ගියා මාස 6ක්. ඒකෙ කරන්නෙ උදේ වරුවෙ වැලි අනනවා.බෝල ගහනවා. හවස නිදියනවා. දවාලට ඔය එක එක අත්කම්, පේන්ටිං වගේ ඒවා. ඔහොම ඉදලා අපි ලංකාවට ආවට පස්සෙ මොන්ටිසෝරියකට දැම්මා (ගෙදර බලාගන්න කෙනෙක් නැති නිසා ). ඉතිං ඕක පටන් ගත්තු දවසෙ ළමයි සේමර අඬනවා. ඔය අස්සෙ අපේ පුත්තරයත් අඬනවා. අපි හවස ඒ ගැන අහනකොට කියනවා අනිත් හැමෝම අඬද්දි එයා විතරක් එහෙම නොකර ඉන්න එක හරි නෑ හිතුනලු. ඒ නිසාලු ඇඬුවෙ.
දරුවෙක් අඬන්නේ නුහුරු නිසයි බොහෝ විට.. අනාගතය ට හුරු කීරිම දෙමාපිය වගකීම උනත් මේ සිඝ්රග්රාමී ගමනේ එවැනි හුරු වීම් කෙරෙන්නේ නැ, වයස සම්පුර්ණ වූ විටයි ගොඩක් දෙනා පෙර පාසල්, පාසල් යවන්නේ.. එතන විතරක් නෙමේ අවුරුදු 18 දි වැඩිහිටි වෙන්නෙත් පෙර සුදානමක් නැතිව.. හැමදේම අනිත් අය කරලා දෙන යැපුම් ආකල්ප දරණ නිසා බහුතරයක්.. දරුවන් ජීවිතයට සුදානම් කෙරෙන්නේ නැ.. පාසල් අධ්‍යාපනය කියන්නේ ජීවිතය ඉගෙන ගැනිම නෙමේ.. ඒ නිසා වැඩිහිටි වු පසු මුල සිට ජිවිතය ඉගෙනීමට සිදුව ඇතැයි මට සිතේ....
Deleteහීන දකින්නී.....ඔව් මාත් හිතන්නෙ දරුවො අඬන්නෙ නුහුරු බවක් දැනුනම. අපේ ගොඩක් වෙලාවට දරුවො යන පෙර පාසැල් පවා ගෙදරින් ටිකක් ඈත තියෙන, නුහුරු නුපුරුදු පරිසරයක්නෙ.
Delete//පාසල් අධ්‍යාපනය කියන්නේ ජීවිතය ඉගෙන ගැනිම නෙමේ.. ඒ නිසා වැඩිහිටි වු පසු මුල සිට ජිවිතය ඉගෙනීමට සිදුව ඇතැයි මට සිතේ....// මටත් එහෙමම සිතේ.
මේ ගැන මං ඊළඟ පෝස්ට් වලදි කතා කරනවා
මම ගිය ඉස්කෝලෙ මගේ නෑයින් අසල්වැසියන් යාලුවො නැති බොහෝම දුර තිබුන එකක්. ඒක හරිම කටුක ප්රාථිමක ලමා දිවියක්.. ඒ ඉස්කෝලෙ හිටපු ටීචර්ලා හොදයි..ඒත් මහා නරුම ගති එයාලගේ තිබුනා.. ලමයින්ගේ පැන්සල් නැතිවුනා හැමදාම වගේ.. එතකොට ටීචර් පැන්සල් හොරා හොයන්න අපිට ඇස්වහගන්න කියලා බොරුවට මතුරනවා..මොකක් හරි කෝප්පයක් අරං..ඉන් පස්සේ අර කෝප්පෙ තියෙන වතුර ඉහිනවා..එතකොට පැන්සල් හොරා යකෙක් වෙනවා හෝ මොකක් හරි එකක් තිබුනා..
ReplyDeleteමම ඕකට ගොඩාරියක් බයයි..මම කිසිම දවසක පැන්සල් හොරෙක් නෙමෙයි..ඒත් මම ගෙදර ගිහින් අඩලා අඩලා කොහොම හරි පැන්සලක් ගෙනත් ටීචර් කියන තැනින් තියනවා.. මම හොරෙක් නෙවෙයි වෙලත් මට මහ පුදුම බයක් තිබුනා ඒ වැඩෙන්.. සමහර විට ටීචර් හිතන්න ඇති මම තමයි හොරා කියලා.. ඒත් මම කවදාවත් හොරකං කලේ නෑ..ඒත් අර ගෝත්‍රික වැඩේ නිසා දරුනු බයකට ලක්වෙලා නම් හිටියා..
පොඩි දරුවෙක් විදිහට ඔයාට ඒ කාලෙ දැනුන දේ මට හිතාගන්න පුළුවන් අමිල. ඒ වගේ දුර දිග, නොහිතන, ඔය වගේ ක්‍රම වලින් දරුවන් මට්ටු කරන්න හැදුව ගුරුවරු ගැන ඉස්සර නිතර අහන්න ලැබෙනවා. දැන් බොහොමයක් ගුරුවරුන්ට ඔයිට වඩා යමක් හිතන්න පුළුවන් කියලයි, දරුවො වුණත් අපි පුන්චි කාලෙට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලයි මට හිතෙන්නෙ. ඔයා වගේම බය වෙච්ච තව අයත් ඉන්න ඇති.
Deleteඉස්සර අපේ හොස්ටල් මේට්රනුත් මොනවා හරි නැති වුණාම කියනවා ගිනිකූරු සෙල්ලම කරන්න කලින් ගත්තු කෙනාට ඉදිරිපත් වෙන්න කියලා. ගිනිකූරු සෙල්ලම කියන්නෙ හැමෝම අතට ගිනිකූරක් දීලා මන්තරයක් මතුරණවලු. එතකොට හොරකම කරපු කෙනාගෙ ගිනිකූරෙ දිග වැඩි වෙනවලු. ( එතකොට මන්තර බලෙන් හොරා අල්ලන හැටි හිතාගත්තැහැකිනෙ).
මැඩම් මොක ක් හරි වෙච්ච ගමන් ඕක කරනවා කිව්වට කවදාවත් ඒක කරපු මතකයක් නෑ. ගොඩක් වෙලාවට ඔය නැති වෙන ඒවා සිහිය නැතුව කොහෙහරි අමතක කරපුවා මිසක් ඇත්තටම කවුරුත් අරන් නෙවෙයි කියලා මැඩම් අත්දැකීමෙන් දන්න නිසා හරි ළමයෙක් එහෙම හොරෙක් කියලා කියන එක නුසුදුසුයි කියලා හිතෙන නිසා හරි වෙන්නැති බොරුවටවත් ඔය සෙල්ලම නොකළෙ.
මේ සටහන් හරිම වටිනවා. බහුතරයක් ලාංකිකයින් ළමයින්ව ස්කෝලෙට දාන්නම ලංකාවට යනවා මේ වගේ සම්පත් අහක දාලා. ළමයින් සදාකාලික මානසික වදයකට ලක් කරලා. ඔබ වගේ ඇකඩමික් පුද්ගලයෙක්වත් මෙහෙම අනිත් අයව දැණුවත් කරාම ඒක හරි අඩුවෙයි නේ.
ReplyDeleteඔයාගෙ ප්‍රතිචාරයට ස්තූතියි! Buru Babe
Deleteඒත් මම මේවා ලියන අරමුණ ඔයා කියන දේට වඩා වෙනස්. මං මගේ අරමුණ නොලියා මෙහෙම කියන්නම්කො. මේ හරි පුදුම ඉස්කෝලෙ ගිය සහ තවත් අවුරුද්දක් මාත් එක්ක ඉදලා ඒ ඉස්කෝලෙටම යන්න අවස්ථාව තිබ්බ අපේ පුතත් මේ වෙනකොට ඉගෙන ගන්නෙ ලංකාවෙ, සිංහලෙන් උගන්වන රජයේ කණිෂ්ඨ විද්‍යාලයක.
අපි එකිනෙකා එකම දේ දකින විදිහ, විදින විදිහ වෙනස් නිසා විවිධ පුද්ගලයො එකම දේ ගැන ගන්න තීරණ එකිනෙකට වෙනස්නෙ. දෙමව්පියො විදිහට දරුවන්ගෙ අධ්‍යාපනය ගැන අපි ගන්න තීරණත් ඒ වගේ නේද?
ඔයාගෙ ප්‍රතිචාරය තියෙන්නෙ මගේ පෝස්ට් එකකට නිසා මම ඒ ගැන මගේ අවංක අදහස ඉදිරිපත් කරන්න එකෙන් හිත් රිදවීමක් ඇති නොවෙයි කියලත් ඔයා යමක් හොදින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලත් මං හිතනවා.
මගේ මේ ලිවීමේ අරමුණ, හැකිනම් තමන්ගෙ දරුවන් මේ වගේ අධ්‍යාපනයක් තියෙන රටකට අරන් ගිහින් උගන්වන්න කියන එක නෙවෙයි. අපේ දරුවන්ටත් මේවයින් ඇබිත්තක් හෝ ලබාදෙන්න උත්සහ කරමු කියන එකයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ හොද නෑ කියලා පුළු පුළුවන් අය වෙනත් රටවලට ගිහින් ඒ පහසුකම් ලබාදෙන්න උත්සහ කරනවට වඩා, අපි හැමෝම එකතු වෙලා අපේ රටට මේ හොද දේවල් පුරුදු කරමු කියන එකයි මගේ අදහස. ඒක පහසු නෑ. ඒත් මේක කියවන එක අම්මෙක් තාත්තෙක් හෝ ගුරුවරයෙක් යමක් ගත්තොත් ඒක මට සතුටක්.
අනෙක මට හිතෙන හැටියට අපේ රටේ අධ්‍යාපන ක්රමයටත් වඩා දරුවන්ව මානසික ආතතියකට ලක් කරවන්නෙ දෙමව්පියන්මයි. ඒවා බොහෝදුරට දෙමව්පියන් විදිහට අපිටම පාලයන කරන්න පුළුවන්. බැරි තැනුත් තියෙනවා.
//ඔබ වගේ ඇකඩමික් පුද්ගලයෙක්වත් මෙහෙම අනිත් අයව දැණුවත් කරාම// අනේ මම ඇකඩමික් කෙනෙක් වෙන්නෙ මගේ ආයතනය තුලදි විතරයි. බ්ලොග් ලිවීමෙදි මමත් තව බ්ලොග් ලියන්නියක් විතරක්ම මිස කිසිසේත්ම ඇකඩමින් කෙනෙක් නෙවෙයි.
ස්තූතියි! මං ගැන තිව්ව විශ්වාසෙට
ලංකාවේ තණ කොළ තාමත් හොඳට කොල පාටයි නේද බන්. අපිට ඕන ඒවා ගානට කපලා මට්ටටමි කිරීම පමණයි.
Deleteමං අහල තියෙයි ලංකාවෙ හයිවේ හැදුවෙ ජපානෙට අවුරුදු අනූවකට පස්සේ කියලා. ඒ කියන්නෙ අපි ජපානෙට වඩා තවමත් අවුරුදු අනූවක් පිටිපස්සෙන්නෙ ඇත්තෙ නේද. අපේ මිනිස්සුන්ට දියුනු වෙන්න, දියුනු කරන්න කිසිම ඕනකමක් නෑ. ඒක වෙන්නැති මේ.
ReplyDeleteකසුන් මං හිතන්නෙ ඒක වැරදි කතාවක්. මෙහෙ මේ අද තියෙන යටිතල පහසුකම් මේ තරමට දියුණු වෙන්න පටන්ගෙන තියෙන්නෙ දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ.
Deleteඅපේ අයට දැන්නම් දියුණු වෙන්න උවමනාව නම් තියෙනවා වගේ. ඒත් මේ වෙනකොට ආර්ථිකය හිරවෙලා තියෙන හැටියට ඒක පහසු නෑ. භෞතික පැත්ත කෙසේ වෙතත් අධ්‍යාත්මික පැත්තෙන් හරි අපි දියුණු වෙනවනම් කොච්චර හොදද. ඒත් දවසින් දවස තිබ්බ හොද ගති සිරිතුත් නැති වේගෙනනෙ යන්නෙ.
ඒක නම් මගෙත් සිහිනයක්.. යහපත් සිතුවිලි තියෙන, කලට වේලාවට වැඩ කරන අවංක මිනිස්සු ඉන්න, හොඳ සාහිත්‍ය කලා නිර්මාණ බිහිවන, මනුස්සකමට ගරු කරන, ආදරවන්ත සමාජයක්...
Delete‘‘අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ...‘‘
මා සමග වැඩ කරන සිසුන් කියා ඇති ආකාරයට ජපන් ජාතිකයන්ගේ සිවිශේෂී හැසිරීමට හේතුව ඔවුන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටම ලබාදී ඇති මනා පුහුණුවයි. සුළු දේටත් සමාවෙන්න, ස්තුතියි කියන්න එහෙම ඉගෙන ගන්නේ ඔවුන් කතාකරන්න පටන් ගන්න කාලෙදිම බවයි මම අහල තිබෙන්නේ.
ReplyDeleteකෙන්කියුෂා....ඒක ඇත්ත.
Deleteමට මෙහෙ ආව කාලෙ තිබ්බ ප්‍රශ්ණ ගොඩෙන්, එකක් හැමෝම එකම විදිහට කෑම බෙදන එක, පිළිගන්වන එක. ඒක වයස, පුද්ගලයා, ගෑණු පිරිමි අනුව වෙනස් වෙන්නෑනෙ (අපේ අය කෑම බෙදන විදිහ බලන්න හොදම තැන පන්සල ). අනෙක අතේ කරේ බෑග් තුන හතරක් කිසි අමාරුවක් නැතුව එල්ලගෙන යන එක.
ඔවා ඔක්කොටම උත්තර ලැබුණා පුතා ඉස්කෝලෙ යන්න පටන් ගත්තම
සඳ වියමන්, ඔබ කියා ඇති පරිදිම ලංකාවේ දරුවන් මානසික ආතතියකට පත් වන්නේ දෙමාපිය ආකල්ප මත මමත් හිතන්නේ, එය මෙවැනි දියුණු වෙනස් ආකල්ප දරණ රටකට ආවත් වෙනස් නොවෙන තරන් තදින් හිත් වලට කා වැදිලා.. එය හරිම දුක් සහිතයි..
ReplyDeleteහීන දකින්නී.....ගොඩක් වෙලාවට ලංකාවෙ දෙමව්පියො (සමහරවිට අනෙක් රටවලත් එහෙම වෙන්නැති ) තමන්ට හැබෑ කරගන්න බැරි වුණ හීන දරුවො තුලින් හැබෑ කරගන්න උත්සහ කරනවා. අපි හැමෝම මනුස්සයෝ නිසා ඒක වැරදියි කියන්න බෑ. මගේ අම්මා අප්පච්චි පවා එහෙම එයාලට යන්න බැරි වෙච්ච තැනට අපිට යවන්න කැපවීම් කලා. මං අද මෙතන ඉන්නෙත් එයාලා එහෙම හීනයක් දැක්ක නිසා.
Deleteඒත් දැන් බොහෝ දුරට වෙන්නෙ, දෙමව්පියො මේ හීන පස්සෙ යන්නෙ දරුවන්ගෙ මානසිකත්වය ගැන නොහිතා පුංචි දරුවන්ට පවා කිසිම නිදහසක් නොදී. ඒකට හේතුව හොදට විභාග පාස් නොවී ඉස්සරහට මොකවත් කරගන්න බෑ කියලා අපේ තියෙන ආකල්පය. ඒකෙන් වෙන්නෙ, නිදහසේ යමක් හිතන්න පුළුවන්, යහපත් මනසක් තියෙන වැඩිහිටියෙක් බිහිවීම වෙනුවට, විභාග වලට ට්‍රේන් වෙච්ච පිරිසක් බිහිවෙන එක.නමුත් හැම දරුවෙක්ම එහෙමයි කියන්න බෑ.
මේ තත්වය වෙනස් වෙන්න නම් වෙනස් විය යුත්තෙ අපේ ආකල්ප කියලයි මම හිතන්නෙ. මේ වෙනත් රටවල් වල වගේ අපිටත් පුළුවන්නම් හැම වෘත්තියකටම නිසි ගෞරවය දෙන්න හැමොටම දොස්තරලා ඉංජිනේරුවො වෙන්නම දඟලන්න හිතෙන්නෑ. ත්‍රිවිල් කාරයා, කිරි කාරයා, ගාමන්ට් කෑල්ල, මාළු කාරයා වගේ භාවිතයන් වෙනස් වෙලා, මේ හැමෝගෙම වෘත්තියට වටිනාකමක් දෙන්න පුළුවන්නම් ඉබේටම ගොඩක් දේ වෙනස් වෙනවා.
මේ හැම වෘත්තියක්ම එක වගේ වටින බව අපිට අපේ දරුවන්ට හෝ කියලා දෙන්න සහ ක්‍රියාවෙන් ඒ බව තහවුරු කරවන්න පුළුවන්නම් කොයිතරම් වෙනසක් වෙයිද?
ඔබ නිවැරදියි සඳවියමන්, මම මෙහෙත් දකිනවා ලංකාවේ දෙමාපියන් විතරක් නෙමේ එහෙම අධ්‍යාපනය පස්සේ පන්නනේ.. වෙනස් වෙන්න ඕන හැම කෙනාගෙම ආකල්ප මිසක් ඉන්න රට නෙමේ..මම දකින හීන අතරෙත් ඒ වගේ සමානාත්මතාවය දැකිය හැකි ආකල්පමය වෙනස ඉහළින්ම තියන හීනයක්..
Deleteමගේ අම්මා ඉගෙන ගෙන ඉහළ තැනකට ඒම ගැන දිවා රැ හීන දැක්කට මගේ තාත්තා ගොඩක් අපිට කියා දුන්නේ පෙන්නුවේ ජීවිතය...අද මම කෙලින් ඉන්නේ ඔහුගේ මඟ පෙන්වීම ගොඩක් තදින් අපේ ජීවිත වලට බලපැ නිසයි.. ඉගෙනීමෙන් ලද දැනුම ඊට මහඟු උපකාරයක් වු නිසා අම්මත් අද මම ඉන්න තැනට එන්න ලොකු අත්වැලක් වුනා..
කරන රැකියාවෙන් මිනිසාව මනින එක නැවතුදාට සඳවියමන් මේ වගේ ආකල්ප වෙනසක් වෙවී මං හිතන්නේ...හැබැයි ඒක ලේසි දෙයක් වත් ඉක්මනින් වෙන දෙයක්වත් නම් නෙමේ මට දැනෙන විදිහට..
ඔව් ඒක ඉක්මනින් වෙන්නෙ නැති දෙයක් කියලා මේ බ්ලොග් අවකාශෙ සැරිසරද්දිම මට හිතිලා තියෙනවා.
Deleteගොඩක් වෙලාවට අම්මලාගෙ හිතේ දරුවෙකුගෙ අනාගතේ ගැන තියෙන හැඟීම, බය තාත්තෙකුගෙ හිතේ තියෙන හැඟීමට වඩා වෙනස්. ඒ නිසයි බොහෝවිට මේ දරුවො පිටුපස පැන්වීම වැඩිපුර අම්මලාගෙ මැදිහත්වීමෙන්ම සිද්ද වෙන්නෙ.
උඩ ඉඳන් 4, 5 ෆොටෝ වල ඉන්නේ ගිනිපෙට්ටි වලට නම්දාන්න බැරි ජූනියර් නේද?
ReplyDelete4,5 නෙවෙයි, 5,6,7 ෆොටෝ වල ඉන්නවා. පහේ පැත්තක් විතරයි පේන්නෙ. හයේ දම්පාට සායක් ඇඳපු ටීච පස්සෙන් යන්නෙයි, පංතියේ ඉස්සරහා පේලියේ මුලින්ම ඉන්නෙයි ඒ ගිනිපෙට්ටි වලට නම දාන්න බැරි ජූනියර් තමයි
Deleteමට අත්දැකපු විදිහට ඡපන් ඡාතිකයින්ගේ සවයං විනයට හේතුව ඔවුන්ගේ මෙම අධ්‍යාපන රටාවයි. එමගින් ස්වාධින පුද්ගලයකු ලෙස ඡීවත් වීමට අමතරව කිසිම කෙනෙකුට කරදරයක් නොකර කටයුතු කිරීමට ද කුඩා කල සිටම හුරැ කර ඇත.
ReplyDeleteඡපානයේ පෙර පාසල් අධ්‍යාපනයේ සිටම තමන්ගේ වැඩ තනිවම සිදුකරගැනීමට හුරැකිරීම සිදුවේ.
අනික ලංකාවෙ වගේ පෙර පාසල් වල පොඩි එකාට වදයක් වෙන කම් උගන්වන ක්‍රමයක් නැනේ. දවස පුරාම විවිද ක්රියාකාරකම්නේ උගන්වන්නේ. හරිම අසාවෙන් දරැවො යනවා.
ඔව්. ඔවුන් මේ ස්වයං විනය ඇතුළු හැමදේම ලබාගන්නෙ පෙර පාසලේ සිටම ඉගෙනගන්නා දෙයින්. ඒවයෙන් පොඩි ළමයින්ට විතරක් නෙවෙයි මේ අපිටත් ඉගෙනගන්න දේවල් තියෙනවා
Deleteපාසල් දරුවන් වෙනුවෙන් දිවා ආහාර සකසන තැනක් බලන්න, දරුවන් පන්ති කාමරය තුළ කෑම ගන්න විදිය දකින්න අවස්ථාවක් ලැබුණා ජපානෙදි. සඳ වියමන්ගෙ මේ ලිපිය දකිද්දි මට ඒ අත්දැකීම මතක් වුණා.. කෝ ඉතින් ලියන්න හිතුවට තාම කිසි දෙයක් ලිව්වෙ නැහැනෙ. ඒ ආහාර සැකසීමෙදි පුදුමාකාර විදියට සෞඛ්යාරක්ෂිත බව ගැන හිතනවා. රස ගුණ ගැන හිතනවා... පන්ති කාමරය ඇතුළෙ විනයත් උපරිමයි..
ReplyDeleteහරිම දුක හිතෙනවා අපේ රට ගැන.. අපේ රටේ දරුවන්ට තියෙන සැලකීමත්, අධ්‍යාපන ක්රමයේ අවුලුත් දවසින් දවස පිරිහෙන බව තමයි දකින්න තියෙන්නෙ...
ජපානය කියන්නෙ පුදුමාකාර රටක්... අපිට ඒ රටෙන් ඉගෙනගන්න තියෙන ලොකුම පාඩම තමයි දරුවන්ට, දරුවන්ගෙ අධ්‍යාපනය සම්බන්ධව එයාල සැලකිලිමත් වන විදිය...
ඔව් තරූ ජපානය කියන්නෙ පුදුමාකාර රටක්. මේ අවුරුදු තුනේදි අහපු දැකපු විදපු දැනුන දේවල් අකුරු කරනවනං තව කාලයක්ම ඒවා ලියන්න පුළුවන්.
Deleteඔය කෑම විස්තරේ ඉස්සරහට ලියනවා කියලා මාත් අර රවී වගේ පොරොන්දුවක් දුන්නා තාම ඉෂ්ඨ කරගන්න බැරි වුණා මේ චූටි මැණිකක් කඩා පාත් උනාගෙන්