වැඩිහිටි නිවාසයකට දානයක් දීමේ යෝජනාව මගෙනි. සුදුසු තැනක් සොයා බලා සියල්ල සූදානම් කිරීමේ වගකීම අරවින්ද බාරගත් පසු "අයියෝ මට ඒක අමතක උනානෙ" "ලබන සතියෙ ෂුවර් එකට බලන්නම්" වැනි සුපුරුදු කතන්දර සමග ඒ වෙනුවෙන් මාස හය හතක් බලා ඉන්නට මා සූදානමින් සිටියත් ඔහු දෙමසක් ගතවන්නට පෙර සියල්ල සූදානම් කලේය. මව්වරුන් අට දෙනෙක් සහ පියවරුන් දහතුන් දෙනෙකු සිටි ඒ වැඩිහිටි නිවාසය පිහිටා තිබුනේ අපේ ගෙදරට තරමක් කිට්ටුවෙන් වුවත් මා එවන් ස්ථානයට පැමිණි මුල්ම අවස්ථාව එය විය.
"දැන්
දොළදුක හරිද" දානයේ වැඩ කටයුතු අවසන්ව මා සමගම නිවාසයෙන් එලියට එන අතරේ අරවින්ද ඇසුවේ සිනාසෙමිනි
"කාටද
දොළදුකක් තිබුනෙ"
"ඇයි
එහෙම එකක් තිබුනෙ නැද්ද?... අනේ මට වැඩිහිටි නිවාසෙකට
දානයක් දෙන්න ආසයි අරවින්ද… කිව්වම මං හිතුවෙ දොළදුකක් හැදිලා කියලනෙ"
"ඒකද
මේ කියන පරක්කුවට වැඩේ කරේ"
"නැතුව...ඔව්වා කල් දාන්ඩ පුළුවන් වැඩ නෙවෙයිනෙ"
"එහෙම
හිතලා හරි ඉක්මනට වැඩේ කරපු එකනම් හොදයි...මං හිතුවෙ ලබන අවුරුද්ද වෙනකල් බලා ඉන්ඩ වෙයි කියලා"
"එතකොට
ළමයා එහෙමයි මං ගැන හිතා ඉන්නෙ...නෙ" ඔහු මදක් නතරව තරවටු බැල්මක් හෙලීය.
"හිතා
ඉන්නෙ එහෙමයි නෙවෙයි ඔයා මෙච්චර කල් වැඩ කරලා තියෙන්නෙ එහෙමයි"
"අපරාදෙ....ඔයා මාව ඔය තරම් හොදට තේරුම් අරන් ඉන්නවා
කියලා දන්නවනම් තව
අවුරුද්දක් දෙකක් ගෙදර ඉන්න අරින්න තිබුනා…. වෙඩිං එකත් කල් දදා"
"ගෙදර
එන හැමදාකම වගේ මටත් ඒකම හිතෙනවා අරවින්ද"
මා රණ්ඩුවකට අර අදින තුරු බලා සිටි නිසා හෝ මා කියූ දේ හරිහැටි නොතේරුන නිසා දෙබැම හකුලා මා දෙස තත්පර තිහ හතලිහක් බලා හිද ඒ
අසල වු කෙටි බැම්ම මත වාඩි වූ ඔහු මගේ කණ මිරිකීය.
"මොකක්ද
ඒ කිව්ව කතාව කියලා ආයෙ සැරයක් කියනවා බලන්ඩ"
"මං
එහෙම කියන්නෙ අක්කා නිසා....එයා ගෙදර ඉද්දි මං බැන්ද එක වැරදියි කියලා වෙලාවකට මට හිතෙනවා"
ඒ
මා එවැන්නක් සදහන් කල මුල්ම අවස්ථාව වූ නිසාදෝ අරවින්දගේ මුහුණට පිවිසියේ බැරෑරුම් පෙනුමකි. විනාඩියක් දෙකක් එලෙසම මා දෙස බලා උන් ඔහු උන් තැනින් බිමට පැන නිවාසය තුලට ගියේ "විනාඩියක් දෙන්න....මං අම්මලා මොකද කරන්නෙ බලලා එන්නම්" කියාගෙනය.
"අපි
යමු අර ගහ යටට....අම්මලාට අද ගෙදර යන්ඩ අදහසක් නෑ වගේ" කියමින් එලියට ආ ඔහු මාවත් ඇදගෙන
ගොස් විශාල කොහොඹ ගසක් යට ලී කරු
දෙකක පිට
පළුවක් රදවා සාදා තිබූ බංකුවකින් අසුන් ගත්තේය. මීට පෙර අක්කා ගැන අරවින්ද සමග කතා කරන්නට මට සිතුන වාර බොහෝය. එහෙත් රැකියාව නිසා හෙම්බත්ව ගෙට ගොඩවන ඔහුගේ සිතට පවුලේ ප්රශ්ණ ගොඩ ගසන්නට නොසිතුනි. ඊටත් වඩා අම්මා හැරෙන්නට තමාගේම කියන්නට වෙන කිසිවෙකුත් නැති අරවින්දට අප අතර ඇති සහෝදර බැදීම් තේරුම්ගත හැකිදැයි යන්න පවා විටෙක මට ප්රශ්ණයක් විය.අක්කා
හෝ පොඩි අයියා සමග දීර්ග දුරකතන සංවාදයක යෙදෙන සෑම විටකම ඔහු අසන්නේ "මොනවද ඔය හැටි කතා කරන්න තියෙන්නෙ" කියාය. එයද තරමක නොරිස්සුමකිනි. එනිසාම ඔහු නිවසේ සිටින වේලාවල් වල දීර්ග දුරකතන සංවාද වල නොයෙදෙන්නට හැකිතාක් උත්සහ කලෙමි..
"මුතූ…."
"ම්"
"තනියෙන්
කල්පනා කරන්නද මෙතනට ආවෙ"
"නෑ….මට
තේරෙන්නෑ මං අපේ ගෙදර ප්රශ්ණ ඔයාගෙ ඔළුවට දාන එක හරිද කියලා"
"ඔයා
ඔය නොකියා කියන්නෙ මං ඔයාලගෙ ගෙදර ගැන බලන්නෑ කියලනෙ"
"ඔයාට
එහෙම දේකට වෙලාව නෑ කියලා මං දන්නවා"
"ළමයා
මං ගැන හිතා ඉන්නෙ අන්තිම නරක විදිහට" තරවටුවක් මිස නොරිස්සුමක් ඒ හඩේ නොතිබුනද මහිත තිගැස්සින.
"මං
එහෙම කියන්නෙ තරහකින් නෙවෙයි අරවින්ද. ඉස්සර ඔයාට මට කතා කරන්න අමතක උනාම එක්කො මං කතා කරපු වෙලාවට හදිස්සි වැඩක් කියලා ෆෝන් එක තිව්වම එහෙම මට ඔයා එක්ක තරහයි. එහෙම දවස්වලට මං ඔයත් එක්ක කතා නොකර ඉදලත් තියෙනවා. ඒත් දැන් මට තේරෙනවා ඔයාට කොච්චර ලොකු වගකීමක් තියෙනවද කියලා. ඒක නිසා ඒ ඉස්සර වගේ ඔයාගෙ වැඩත් එක්ක මට තරහා යන්නෑ. මං දැන් ඔයාව විතරක් නෙවෙයි ඔයාගෙ
රස්සාවෙ හැටිත් තේරුම් අරන් ඉන්නෙ"
අරවින්ද
කට
කොනකට නැගුන සිනහව උඩුතොල
හපා වලකා ගන්නට උත්සහ දැරීය.
"හිනාවෙන්නෙ
මං බොරු කියනවා කියලා හිතලද"
"නෑ...ආපහු සැරයක් කියන්න බැරිවෙයිද මට රෙකෝඩ් කරල තියාගන්න…. පස්සෙ උවමනා වෙච්ච වෙලාවක ගන්න
"
"ඔයාට
හැමදේම විහිළු"
"විහිළුවට
නෙවෙයි…. මට ආසයි ඒ ටික අපේ අම්මට අහන්න දෙන්න"
"ඇයි"
"ඔයා
දන්නවද මං ඉස්සෙල්ලම ඔයා ගැන අපේ අම්මට කිව්වම අම්මා කිව්ව දේ"
"මොකක්ද"
"ඔය පොඩි කෙල්ලෙකුට උඹ වගේ වැඩ
රාජකාරි වැඩි මනුස්සයෙක් ගැලපෙන්නෑ....ඔන්න ඔහෙ උඹ ඕක අමතක කරලා ටිකක් දැනුම් තේරුම් තියෙන කවුරුහරි බලපන්..කිව්වා"
"අපෙ
අම්මයි තාත්තයි විතරක් නෙවෙයි පොඩි අයියත් ඕකම කිව්වා"
"උදේශ්
මටත් ඕක කිව්වා…….වැඩිපුරම
ඔයා ගෙදර පොඩි එක්කෙනා නිසා. ඌ මට කිව්වෙ උඹ ලොකු නංගි එක්ක යාළු උනානම් මට ඒ ගැන දෙපාරක්
හිතන්න ඕන්නෑ. ඒත් පොඩි එකීව උඹට දෙන්න මට බයයි. අන්තිමට මට නංගිත් නැති වෙලා යාළුකමත්
නැති කරගන්නයි වෙන්නෙ කියලා"
හිත
කොණක ලැගුම්ගෙන සිටි පසුතැවිල්ල යලිත් හිස එසෙව්වේ එවෙලෙහිය. දෙවසරකින් මට වැඩිමහල් වූ අක්කා පොඩි
අයියාට බාල වන්නේ වසර එක හමාරකිනි. පවුලේ වැඩිමලා වූ ලොකු අයියාත් මාත් අතර වයස් පරතරය අවුරුදු අටකට ආසන්නය. හිතුවක්කාර විවාහයක් සමගින් ඔහු පවුලෙන් ඉවත් වන විට මා සිටියේ දෙවන වරට උසස් පෙළ විභාගයට මූහුණ
දෙන්නට සූදානමිනි. කුඩා කල සිටම දඩබ්බරයෙකු වූ ලොකු අයියාට හාත්පසින්ම වෙනස් චරිතයක් වූ පොඩි අයියා ඒ වනවිට විශ්ව විද්යාල ශිෂයෙකි. අක්කා ගුරු අභ්යාස විද්යාලයට ඇතුල් වූයේද ඒ සිදුවීමෙන් මාස කිහිපයකට පසුය. "ඌ මැරුණා කියලා අපි හිත හදාගෙන ඉවරයි" කියා ලොකු අයියා ගැන අහන කාටත් කිසිදු වේදනාවක් නැති අයුරින් තාත්තා දැනුම් දුන්නද අම්මාට මෙන්ම අක්කාටත් මටත් ලොකු අයියා හිතින් අමතක කරවන්නට නොහැකි විය. අම්මාට ඉදහිටක දුරකතන
ඇමතුමක් දෙන ඔහු අප සමග කතා නොකලද සහෝදර බැදීමේ වෙනසක් නොවීය.
විශ්ව
විද්යාලයෙන් පිටවී කෙටි කලකින්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිළධාරියෙකු ලෙස රජයේ සේවයට එක් වු පොඩි අයියා පසුව පැවැත්වූ
පරිපාලන විභාගයකින් ඉහලින්ම සමත්වී සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස
වැඩ බාරගන්නා විට අක්කා ගුරුවරියක ලෙස දුෂ්කර සේවයේ යෙදී සිටියාය. දරුවන් සිව් දෙනෙකුගේ සිනහවෙන් පිරී තිබූ නිවසේ මගේ හඩ පමණක් ඇසෙන්නට තිබුන ඒ කාලයේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සිටියේ සිතින් ඔත්පලවය. අක්කාටත් පොඩි අයියාටත් ගැලපෙන තැනකින් කටයුත්තක් කරදීම ඒ දිනවල ඔවුන්ට තිබූ ලොකුම සිහිනය විය. "නංගිලා දෙන්නා බන්දලා දෙනකල් මට ඒ ගැන හිතන්ඩ බෑ" කියා පොඩි අයියානම් ඒ
සිහිනයට පයින් ගැසුවේ ඒ කාලයේමය.
"මං
හිතුවෙ ඔයා අක්කව කොහොම හරි දානෙට එක්ක එයි කියලා"
"එයා සාධාරණ
හේතුවක් ඇතුව බෑ කියපු නිසා මට බල කරන්ඩ බෑ හිතුනා"
"හේතුව
මට කියන්ඩ බැරි එකක්ද"
"හෙට
ක්වාටර්ස් එකට ගියාම කියන්නම්....මං කොහොමත් ඒක ඔයත් එක්ක කියන්න හිටියෙ"
"ඒකත්
එහෙමද?....මාත් අක්කා ගැන ඔයත් එක්ක කතා කරන්න හිත හිතාම හිටියෙ…..ඊයෙ රෑ තාත්තත් මාත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා. අයියයි අක්කයි දෙන්නම නොබැද ඉන්න එක එයාලගෙ හිතට ලොකු වදයක්. මං දන්නෑ ඇයි කියලා උදේශ්ටවත් ඒ ගැන තේරෙන්නැත්තෙ....දෙමව්පියෝ හැමදාම ඔහොම ඉන්නෑනෙ....එයාලත් කැමතියි මේ පුළුවන් කාලෙ දරුවො පිලිවෙලක් වෙනවා බලන්ඩ. මං දන්නවනෙ ඒ කාලෙ අපෙ අම්මා ඕක ගැන හිත හිතා දුක් වෙච්ච හැටි"
"මට
පොඩි අයියට මොකුත් කියන්ඩ හිතෙන්නෑ… එයා පව්....එයා කැමති නෑ අක්කා ඔහොම ගෙදර ඉද්දි බදින්ඩ"
"මට
හිතෙනවා ඔයාලා දන්නැතුවට අක්කට ඉස්සර එෆෙයාර් එකක් තියෙන්ඩ ඇති කියලා"
"ඇයි"
"නැත්තන් ඔය හැටි පිරිමි ඇලජික් වෙන්ඩ විදිහක් නෑනෙ....දැන් කීයක් ප්රපෝසල් ගෙනාවද. තාත්තා කියනවා එයා හරියට බලලවත් නෙවෙයිලු අකමැති වෙන්නෙ. ඔයාලා දන්නැතුවට එයාගෙ හිතට වැදුන මොකක් හරි ඇති. සමහරවිට නොගැලපෙන කෙනෙක් වෙන්නැති. ලොකු අයියගෙ ප්රශ්ණෙන් ඔයාලා හැමෝම විදවපු හැටි දන්න නිසා එයා ඒක අමතක කරලා තනියම ඉන්න හදනවා කියලයි මටනම් හිතෙන්නෙ"
"එයාට
එෆෙයාර් එකක් තිබුන බව ඇත්ත. හැබැයි ඒක නතර වෙලා තියෙන්නෙ ඔයා හිතපු විදිහෙ හේතුවකට නෙවෙයි"
"ඔයා
මට කවදාවත් එහෙම කතාවක් කියලා නෑනෙ"
"ඒක කියන්ඩ තරම් ලොකු ආදර කතාවක් නෙවෙයි අනේ.... සතියයිද කොහෙද.....එක දවසක් මූණ රතු කරගෙන ඇවිත් මට කිව්වා එයා කැමති උනා කියලා....ඒකල්ලා සතියක් යන්න කලින් අඩ අඩා කිව්වා එයා මට ගැලපෙන කෙනෙක් නෙවෙයි....බොරු කාරයෙක්....මාව රැවැට්ටුවා. මං ඒ සම්බන්දෙ නතර කරා
කියලා"
"ඔය
කොයි කාලෙද....ළගදිද"
" නෑ...
ඔයා ඉස්සෙල්ලම
අපේ ගෙදර එන්නත් කලින්"
"ඒ
කියන්නෙ අවුරුදු තුනකටත් කලින්නෙ"
"ඔව්...ඔයා එදා එනකොටත් අක්කා හිටියෙ හිතේ අමාරුවෙන්. එතකොට එයාගෙ දුෂ්කර කාලෙ ඉවර වෙන්න කිට්ටු වෙලා තිබුනෙ. ගේ කිට්ටුවට මාරුවක් හදලා දෙන්න කියලා පොඩි අයියටත් කිය කියා හිටියෙ. පස්සෙ
එක්ස්ටර්නල් ඩිග්‍රි එක කරන්න ඕනි කියලනෙ නුවරට මාරුවක් හදවාගත්තෙ….එයා ඒකත් කරලා තියෙන්නෙ
නිදහසේ තනියම ඉන්න ලේසි වෙන්න කියලා මට දැන් හිතෙනවා "
"ඔයා
හිතනවද එහෙම සතියක් හමාරක් තිබුන එෆෙයාර් එකක් නිසා එයා හැමදාටම ඔහොම තනියම ඉන්ඩ හිතයි කියලා. මටනම් හිතෙන්නෙ ඊට පස්සෙත් මොකක් හරි එකක් තියෙන්න ඇති"
"ඇත්තම
කිව්වොත් ඊයෙ වෙනකල්ම මමත් හිතන් හිටියෙ අක්කා ඒ සිද්දිය අමතක කරලා ඉන්නෙ කියලා. ඒකයි මං ඒක පොඩි අයියා එක්ක තියා ඔයා එක්කවත් මෙච්චර කල් නොකියා හිටියෙ....ඒ උනාට ඒ සිද්දිය එයාට ලොකුවට බලපාලා කියලා මටත් තේරුනේ ඊයෙ. එයා කියන්නෙ එයා ඒ තරම් විශ්වාස කරපු කෙනෙක් එයාගෙ විශ්වාසෙ කැඩුවනම් වෙන කිසිම කෙනෙක් ගැන විශ්වාස කරන්න බෑ කියලා. අක්කා මං වගේ කෑ ගහලා දඟලලා ඉන්න කෙනෙක් නෙවෙයිනෙ අරවින්ද. එයාට අපිට වගේ තරහ යන්නෙත් නෑ. ඒත් මොනා හරි දෙයක් එපා උනොත් එපාම තමයි"
"මං
ඊයෙ තාත්තා එක්ක මං දන්න අක්කට ගැලපෙන කෙනෙක් ගැන
කිව්වා. මිනිහගෙ පැත්තෙන් පොඩි පොඩි ප්රශ්ණ ටිකක් තියෙනවා. ප්රශ්ණ කිව්වට ඒවා ඇත්තටම නම් ප්රශ්ණ නෙවෙයි. ඒත් තාත්තලා හිතන විදිහ ටිකක් අමුතු නිසා මං කෝකටත් ඉස්සෙල්ලා තාත්තගෙන් අහලා බැලුවා. තාත්තගෙ නම් අකමැත්තක් නෑ. උදේශ්ගෙනුත් අහලා බලලා අපි හිමීට ඒකවත් කරලා දෙන්න බලමු"
"අනේ
පුළුවන්නම් ලොකුම ලොකු දෙයක් අරවින්ද....ඒක මගෙ හිතටත් සහනයක්. ඔක්කෝටම වඩා අම්මට. අම්මා හිත කරදරෙන් ඉන්නෙ ඒ දෙන්නා ගැන වගේම එයාලා දෙන්නම ගෙදර ඉද්දි මං බැදපු එකට මිනිස්සු එක එක කතා කියනවා කියලත් "
"මිනිස්සු
මොනාද කියන්නෙ"
"දන්නැද්ද
ගම්වල මිනිස්සුන්ගෙ හැටි...අම්මා මාත් එක්ක නොකිව්වට මිනිස්සු හොද හොද දේවල් කියනවා ඇති" අරවින්දගේ මුහුණ ක්ෂණයකින් වෙනස් විය. හැමදාමත් මෙන් ඒ මුහුණේ ඇති හැඟීම් කියවන්නට එවෙලෙහිද මා අපොහොසත් විය.
"ඔයාට
හිතෙනවද මං මහ ආත්මාර්ථකාමියෙක් කියලා"
"පිස්සුද
ඔයාට"
"ඒ
උනාට මට එහෙම හිතෙනවා මුතූ...සමහරවිට නොකිව්වට ඔයාලගෙ අම්මලගෙ හිතේ උනත් එහෙම දෙයක් ඇති.....ඇත්තටම මට ඒ දවස්වල ඔයාලගෙ ගෙදර ඔය තියෙන ප්රශ්ණ ඒ හැටි තේරුනේ නෑ....මට ඕනි උනේ අපේ අම්මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරන්න….ඉක්මනින් ඔයාව මගෙ ළගට ගන්න
විතරයි.”
"ඒක
මං දන්නවා අරවින්ද. මංවත් අපේ ගෙදර වෙන කෙනෙක්වත් ඔයා ගැන එහෙම හිතන්නෑ"
“ මං
තාත්තා කෙනෙක් ගැන අහලවත් නෑ මුතූ....අම්මා දහදුක් විදලා මාව උස් මහත් කරලා උගන්නලා අන්තිමට අම්මවත් හිතුවෙ නැති හොද රස්සාවකුත් මට ලැබුනට පස්සෙ මගෙ අතින් අම්මට කෙරෙන්න ඕනි යුතුකම් ගොඩාක් මග ඇරුනා. ඉස්සර මගෙ හිතේ තිබුනෙ අම්මා වෙනුවෙන් හොදට ඉගෙන ගන්න ඕනි කියන එක විතරයි. අම්මා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ හොදට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන එක විතරක් නෙවේ කියලා මට තේරුනේ මේ රස්සාව ලැබුනටත් පස්සෙ. ඒ දවස්වල අම්මගෙ කටේ තිබුන එකම දේ "උබ දැන් පිලිවෙලක් වෙන්න ඕනි" කියන එක විතරයි. අම්මා පුළුවන් හැටියට යෝජනා දෙක තුනකුත් ගෙනාවා. ඒ උනාට මට ඒක ගැන හිතන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. මට බය හිතුනා බැන්දට පස්සෙ බදින කෙනා අම්මට සැලකුවෙ නැත්තන්....එහෙමත් නැත්තන් අම්මත් එක්ක ඉන්න බෑ කිව්වොත් මොකද කරන්නෙ කියලා. අපේ අම්මා සමහරවිට ඔයාට කියලත් ඇති…. අම්මා ඕනි තරම් දුක් විදලා තියෙනවා…. කොටින්ම කිව්වොත් අම්මගේ මුළු ජීවිතේම දුකක්. අම්මට හිනාවෙලා සතුටු වෙන්න පුළුවන් උන එකම දේ මං හොදට ඉගෙන ගත්තු එක විතරයි. ඒත් ඒක නිසාම අම්මට මගෙන් වෙන්න ඕනි යුතුකම් මග ඇරුනා"
"ඔයා
ඕක දැන් දෙපාරක්ම කිව්ව"
"ඒක
මගෙ හිතට නිතර වද
දෙනවා මුතූ....මං ඔයාට ඒ කතාව කවදාවත් කියලා නෑ "
"මොකක්ද"
"ඔයාට
මතකද පොඩි අයියා අර බැංකොක් ට්රේනින් එකට ගියෙ කොච්චර කාලෙකට කියලා"
" මාස
දෙකකටද කොහෙද?.... ඔයත් එයාලා
එක්කනෙ ගියා කිව්වෙ"
"ගියෙ එයාලා එක්ක උනාට මං සති දෙකෙන් ආපහු ආවා"
"ඇයි"
"මට
අම්මව තනියම දාලා යන්න හිත දුන්නෑ.....මාත් එක්ක යන්න අම්මා කැමති උනෙත් නෑ.....මම ඒකට නොයා ඉන්නවට අම්මා කැමති උනෙත් නෑ. එතකොට මට ක්වාටර්ස් එක තිබුනෙත් නෑ ඒක රෙපෙයාර් කරන්න අරන් තිබුනෙ ඒ කාලෙ. අපි හිටීයෙ ගෙදර. ඉස්සර ගමේ අය අපිට සලකපු විදිහ නිසා අම්මා ඔය කාලෙ වෙනකොට ගමේ අයත් එක්කත් ඒ හැටි හිතවත්කමක් තිබ්බෙ නෑ...දන්නවනෙ අම්මලගෙ හැටි....අම්මා හිටියෙ අම්මා ඒජීඒ ගානට. ඒ නිසා මට අම්මව ගෙදර තනියම තියලා යන්න හිත දුන්නෑ. වැඩිපුරම අම්මට පපුවෙ අමාරුවයි හතියයි තියෙන නිසා.හදිස්සියක් උනොත් කාට කියන්නද"
"ඉතින්"
"මට
ඔය ප්රශ්ණෙ කියන්න පුළුවන් යාළුවෝ හිටියෙ එකම එක්කෙනයි. අපි දෙන්නා එකම වයසෙ නිසා යාළුවෝ
වගේ හිටියට අපේ දුර නෑදෑකමකුත් තිබුනා....ඔයාට ඇහිලා ඇතිනෙ වෙලාවකට අම්මා මට බනිනවා
උබේ වැඩේ කරගත්තට පස්සෙ අර කොල්ලා උන්නද මළාද කියලා හොයන්නෑ කියලා "
"ඔයා
ඔය කියන්නෙ කුමාර අයියා ගැනද"
"ඔව්...අම්මා ඔයාට ඌ
ගැන කියලා තියෙනවද"
" ඔයාගෙ වැඩවල කිසි පිලිවෙලක් නෑ කියලා බනින වෙලාවක කිව්වා ඉස්සරත් කුමාර තමයි පස්සෙන් ඉදන් හැමදේම පිළිවෙලට කරවන්නෙ.....ඒත් දැන් පුතාට ඒවා ඔක්කොම අමතකයි කියලා"
"අමතකයි
නෙවෙයි කෙල්ලෙ...මං ඌත් එක්ක තරහා උනා...එතනදි ඌ වැරදි නෑ කියලා මට තේරුනේ අවුරුද්දක් හමාරක් ගියාටත් පස්සෙ...එතකොට ඌ හිටිය දිහා නෑ..."
" තරහා
උනේ මොකටද "
"මං
රට ගිහින් එනකල් අම්මව බලාගන්න ඌ කැමැත්තෙන්ම ඉදිරිපත් උනා. අම්මත් කැමති උනා ඒකට. මටත් නොදන්න කවුරුහරි හොයලා අම්මා ලග නතර කරලා යනවට වඩා ඒක හොදයි හිතුන නිසා මමත් කැමති උනා.කොහොමහරි යන්න කිට්ටු වෙනකොට වැඩ ගොඩ ගැහුන නිසා මට අම්මව එක්ක යන්න වෙලාවක් තිබුනෙ නෑ...මං මගේ වාහනෙත් දීලා අම්මව කුමාරත් එක්ක පිටත් කරලා ඔෆිස් වෙහිකල් එකකින් එයාෆෝර්ට් ගියෙ"
"ඉතින්"
"
ඌ අම්මව එක්ක
ඇවිත් නතර කරලා තියෙන්නෙ මෙහෙ "
"මොකක්"
ඉන්
එහා කතා කිරීමට අපහසු වූ අරවින්ද මා දෙස තත්පර පහ හයක් බලා සිට එසැනින් ඉවත බලා ගත්තද ඔහුගේ දෑසෙහි වූ තෙතමනය මගෙන් වසන් කල නොහැකි විය. මම හිමිහිට ඒ දෙසට හැරී උර මත සුරත තැබුවද කතා කරන්නට වචන සොයා ගැනීම දුෂ්කර විය. විනාඩි දෙක තුනක් එලෙසම සිටි අරවින්ද සිය උරහිස මත වු මගේ අත දෝතින්ම තද කරගෙන යලි මා දෙසට හැරෙන විටද ඒ දෑස්වල වූයේ පසුතැවිල්ලකි. කිසිවිටක අහන්නට අපේක්ෂා නොකල යමක් අහන්නට ලැබුන විටක ඇතිවන කැළඹීම මගේ හිත තුලද ඕනෑවටත් වඩා විය. "අද කාලෙ කවුරුවත් හරියට විශ්වාස කරන්ඩ බෑ පොඩ්ඩි...පිටින් හරි හොදයි වගේ පෙන්නන මිනිස්සුන්ගෙ ඇතුලෙ කළු ගලකටත් වඩා තද හිතක් තියෙන්න පුළුවන් "
අක්කා ඇගේ බිඳුන ප්රේමය ගැනත් ඊට හේතු පාදක වූ සිදුවීම ගැනත් ඊයේ රාත්රියේ කියා අවසන් කලේ එහෙමය. මට යලිත් වරක් ඇය සිහිවිය. ඇයව මුලා කල දින තුන හතරකට සීමා වූ ඇගේ කුළුදුල් ප්රේමයේ හිමිකාරයා සිහිවිය. මට ඔහුව වරක් දෙවරක් මුණ ගැසී තිබුනේ ඔවුන් පෙම්වතුන් වන්නට පෙරය.
"ඔයාට
මං කියන දේ විශ්වාස කරන්න පුළුවන්ද"
"බැරි
උනත් කියන්නෙ ඔයා නිසා මට විශ්වාස කරන්න වෙනවනෙ"
"ඔයා
ඔය කතා කරන්නෙ තරහින්........ මං එහෙ ගිහින් හැමදාම අම්මට කතා කරා. අම්මා හොදින් ඉන්නවා කියලා මට කටහඩින් අදුරාගන්න පුළුවන්. ඒත් සතියක් විතර යනකොට අම්මා ඉන්නෙ කුමාර ඉන්න තැන නෙවෙයි කියලා මට තේරුනා...
මං ඇහුවට අම්මවත් කුමාරවත් ඇත්ත කිව්වෙ නෑ...මට හිත හදාගෙන වැඩ කරන්නත් බෑ..ඊට පස්සෙ මං සති දෙක යනකොට ඔක්කොම දමා ගහලා එන්න ආවා. ඒ එනකොට අම්මා මෙහෙනෙ...මට අරූව මරන්න කේන්තියි. මං මොනා කිව්වද කියලා මංවත් දන්නෑ....දැන් මට ලැජ්ජයි එදා මං හැසිරුන විදිහ ගැන හිතුවම. ඌ ඒ වෙලාවෙ කලේ ඌට කරන්න පුළුවන් උපරිමය කියලා මට තේරුනේ පස්සෙ.ඌ හිටියෙ තනියම...අම්මව නන්නාදුනන තැනක තට්ට තනියම දාලා යනවට වඩා මෙතන ආරක්ෂාවයි කියලා හිතලයි ඌ අම්මව මෙහෙ නතර කරලා තියෙන්නෙ. අනෙක ඌ ඒක මට නොකිවට අම්මත් එක්ක කතා කරගෙන තියෙන්නෙත් මං යන්න කලින්. අම්මටයි ඌටයි දෙන්නටම ඕනි උනේ මාව ඒ ගමන කොහොම හරි යවන්න. ඌ ඒ දවස් ටිකේම හැමදාම උදේ හවස ඇවිත් අම්මව බලලා ගිහින් තිබුනා විතරක් නෙවෙයි එක දවසක් ඩොක්ටර් ළගටත් එක්ක ගිහින් තිබුනා"
"දැන්
අපි ඒක අමතක කරමු අරවින්ද. ඔයා අම්මට කොච්චර ආදරේද කියලා මං දන්නවා. අම්මා උනත් ඒ වෙලාවෙ එහෙම තීරණයක් ගන්න ඇත්තෙ ඔයාට තියෙන ආදරේටනෙ. ආයෙ ඒ ගැන හිතලා දුක් වෙන්න එපා. දැන් ඔයා කොහේ ගියත් අම්මව බලාගන්න මං ඉන්නවනෙ. අම්මටයි මටයි එහෙ ඉන්න බැරිනම් අපේ ගෙදර හරි ඇවිත් ඉන්න පුළුවන්නෙ දැන්"
මම
මදහසක් නගාගන්නට උත්සහ කරමින් පැවසීමි. ඔහු දකුණතින් මගේ අත මිරිකාගෙන වමතින් හිස පිරිමැදීය.
"ඒ
සිද්දිය මතක් වෙලා හිත රිදෙන හැම වෙලාවකම මං හිත හදාගන්නෙ ඔයාගෙ ඔය හිනාව මතක් කරගෙන" මොහොතකට පෙර දුකත් පසුතැවිල්ලත් විසින් සොරාගෙන තිබු ඔහුගේ පියවි සිනහව යලිත් දෙතොලඟ වූයෙන් මට සැහැල්ලුවක් දැනුනි.
"ඇයි"
"මට
ඔයාව ලැබුනෙ අම්මා මෙහෙ හිටිය නිසා. ඔයා ඇහුවනෙ ඇයි මේ දානෙට අපිට ළග තැනක් තෝරාගන්නැතුව මෙහෙ තෝරාගත්තෙ කියලා....මං කිව්වෙ ඔයාලගෙ ගෙදරට ළග නිසා අම්මටයි තාත්තටයිත් එන්න ලේසි වෙන්න කියලනෙ....ඇත්තටම නම් මෙතනම තෝරාගන්ඩ මුල්
වෙච්ච පලවෙනි හේතුව අපිව මුණ ගැස්සුවෙ මේ නිවාසෙ කියලා මට හිතෙන නිසා"
"ඒ
කොහොමද"
"අම්මා
මෙහෙ හිටියෙ නැත්තන් මං කීයටවත් ට්රේනින් එක මැදදි එන්නෙ නෑනෙ. එහෙම උනානම් පොඩි අයියයි මමයි එකපාර එනවා මිසක් අයියට මං අතේ ඔයාලට පාර්සලයක් එවන්න ඕනි වෙන්නෙ නෑනෙ. අනෙක මං මෙහෙ ඇවිත් මොණරාගල යනවා කිව්වට පස්සෙ තමයි උදේශ්
ඇහුවෙ
මචං උඹට ගෙනියන්න බඩු ගොඩක් නැත්තන් අපේ ගෙදරටත් පුංචි පාර්සලයක් ගිහින් දෙන්ඩ පුළුවන්ද කියලා....මං ඉතින් කාට කියලා තෑගි බෝග ගේන්නද. අම්මට උනත් බැංකොක් වලින් ගේන්න එහෙමට දේවල් නෑනෙ. ඒ නිසා මං කිව්වා පොඩි නෙවෙයි ලොකු පාර්සලයක් උනත් දීපං කියලා. අයියා මට පාර්සලේ දෙනකොට මං කිව්වා ආවම උඹට මේවට ගෙවන්ඩ වෙයි කියලා. හැබැයි අයියා ඒ වෙලාවෙ හීනෙන්වත් හිතන්න නැතුව ඇති මං පාර්සලේ දීලා චූටි නංගිගෙ හිතත් හොරකන් කරගෙන යයි කියලා"
පාර්සලයක්
උස්සාගෙන අරවින්ද අපේ ගෙදරට එන විට මා සිටියේ මිදුල අතු ගාමිනි. පොඩි අයියා මිතුරෙකු අත පාර්සලයක් එවූ බව දැනුම් දුන්නද හිමිදිරි උදයක එය ලැබේයැයි බලාපොරොත්තුවක් නොවූ නිසා ඔහු පොඩි අයියාගේ නම කියා නිවස නිවරදි බව තහවුරු කරගෙන පාර්සලය මා අත තබද්දී මා සිටියේ පුදුමයෙනි. වෙනත්
ගමනක්ද යන්නට ඇති නිසා ගෙට එන්නට කාලයක් නොමැති බව පවසූ ඔහු නික්ම ගියේ විසිපස් වසරක්ම දොරගුළු ලා සිටි හදවතේ කවුළු පියන්පත් විවර කරමින් බව එවෙලෙහි මටද නොතේරුනි.
ඉඳලත් සමගම පාර්සලය අල්ලාගෙන ඔහු යන දෙස බලාගෙන විනාඩි දහයකට වඩා මා එතනම සිටගෙන සිටි බව අම්මා පොඩි අයියාට දැනුම් දී තිබුනේ පසු දිනකය.
"මං
මෙතන ඉද්දි කොහෙද ගියෙ"
"මිදුල
අතුගාන්න "
"මිදුල
නම් අතුගෑවට කමක් නෑ.... ආයෙ එහෙම මොකෙක්වත් පාර්සල් උස්සන් ආවට ගන්නෑ" අරවින්ද මහ හඩින් සිනාසුනි. ඔහුගේ සිනහට හවුල් වෙමින් සිටි මා
සිනහව නවතා ගත්තේ අම්මලා දෙදෙනා සමග තාත්තා
අප සිටි දෙසට ඇවිද එනු දුටු පසුය.
වැඩිහිටි
නිවාසයේ උන් මවුවරුන්ගෙන් සහ පියවරුන්ගෙන් සමුගෙන අප එතනින් නික්ම ආවේ පස්වරු තුනට
පමණය. නිවසට පැමිණ
හෝරාවක් ගතවන්නටත් පෙර
අරවින්ද තවත් ගමනක් යාමට සැරසුනේ මහිතේ නොරිස්සුමක් ඇති කරවමිනි.
"මූණ
එල්ලා ගන්ඩ දෙයක් නෑනෙ....මං ටවුමට යන්නෙ. යනවනම් ඔයත් යං....මං කතා කරේ නැත්තෙ මහන්සි ඇති කියලා"
"මහන්සි
බලලා බෑනෙ"
"ඔය
බයේ මං තනියෙන් ගිහින් කෙල්ලෙක්වත් හම්බෙයි කියලා" අක්කා සිනාසෙමින් බලා සිටියදී අරවින්ද සමග නිවසින් පිට වුවද මග දුරක් එද්දීම මට පසුතැවිල්ලක් දැනුනි. මොකක්දෝ කල්පනාවක උන් අරවින්දට මා රිය තුල සිටින බව අමතකව තිබුනේ හොද වෙලාවටය. අක්කාට මා සමග කියන්නට බොහෝ දේ තිබෙන්නට ඇත. විවාහයෙන් පසු
අපට මුණ ගැහෙන්නට ලැබුනේ
ඉදහිටකය. එසේ
නොවන්නට ඇගේ හිත දවන ප්රශ්ණ මා සමග බෙදාගන්නට ඉඩ තිබුනි.
"පාක්
කරන්න තැනක් හොයාගන්නකොට එලිවෙයි වගේ" දෙතුන් තැනකම රිය ගාල් කිරීමට අපහසු වූ පසු අරවින්ද මා දෙස බැලීය.
"අර
අතන ඉඩ තියෙනවා " මා පෙන්නූ තැන වාහනය නැවතීමට ඉඩ තිබුනද එතන වාහනයක් නතර කල පසු පිටුපස ඇති වාහනය පිටතට ගැනීම අපහසුය.
"තව
තැන් හොය හොයා ඉන්ඩ බෑ...මට මහන්සියි. මං මෙතනින් නවත්තලා ටක් ගාලා අර බුක් ෂොප් එකට දුවලා එන්නම්. ඔයා ඔහොමම ඉන්න. අර වාහනේ ගන්න ඕනි උනොත් ඔයාට පුළුවන්නෙ පොඩ්ඩක් ඉස්සරහට අරන් පස්සෙ රිවර්ස් කරලා මෙතන්ට දාගන්න"
"පුළුවන්..
හැබැයි අහල පහල තියෙන වාහන වල වැදුනම ගෙවන්ඩ නම් මට බෑ"
අරවින්ද
සිනාසෙමින්ම යතුර මගේ උකුලට වීසි කර බැස යන දෙස මමද බලා සිටියේ සිනහවෙන්ය. ඔහුට මේ හදිස්සියෙන් පොතක් ගන්නට උවමනා වන්නට ඇත්තේ මට ගෙදර අය සමග නිදහසේ කතා කරන්නට ඉඩ දෙන්නට විය යුතුය. ගෙදර ආවිට අම්මාටත් අක්කාටත් මා සමග බෙදාගන්නට බොහෝ විස්තර තිබෙන බව වැඩිහිටි නිවාසයේදී මා කියූ ඇතැම්
දේ නිසා ඔහු
වටහා ගන්නට ඇත.
ගෙවුන
වසර තුනටම අක්කා ඇගේ හිත රිදවන මතකය මා සමග බෙදාගන්නට උත්සහ නොකිරීම ගැන මට දැනෙන්නේ දුකකි.ඇය දුෂ්කර සේවයට සමුදී නුවර ප්රදේශයට මාරුවක් සාදා ගත්තේ
අරවින්දත් මාත් පෙමින් බැදුන මුල් කාලයේය. ඒ
වනවිට බාහිර
උපාධිය සදහා සූදානම් වෙමින් සිටි ඇයට සති අන්තයේ යෙදුන පංති
නිසා නිවසට පැමිනිය හැකි වූයේ කලාතුරකිනි. අම්මා සමග තනිව ජීවත් වූ අරවින්දට ඉක්මනින් විවාහ වීමට අවැසි බව පවසන විට අම්මා ඊට විරුද්ධ වූයේ වැඩිමහල් සහෝදරියක් සිටියදී බාලයෙකු විවාහ වන සිරිතක් නැති බව පවසමිනි.අක්කා ඊට ප්රතිචාර වශයෙන් කියා සිටියේ තමාට උපාධිය සම්පූර්ණ කරන තුරු විවාහ වීමට අපේක්ෂාවක් නැති බවත් ඊට ගතවන කාලය ගැන ඇයටද අදහසක් නැති නිසා ඒවෙනුවෙන් මගේ ජීවිතය කැප නොකල
යුතු බවත්ය.
"මේ
දිමුතු නංගි නේද"කල්පනාවක උන් මා සිහිනෙන් අවදි වූ කලෙක මෙන් කලබලයෙන් හිස හැරෙව්වේ ඒ හඩටය. අරවින්දගේ කර වටා අත දාගෙන රිය අසල සිටගෙන සිනහමුසු මුහුණින් මා දෙස
බලා සිටියේ ශාන්ත අයියාය.
නමටම ගැලපෙන අයුරේ ශාන්ත පුද්ගලයෙකු යැයි මා සිතා සිටි ශාන්ත අයියා අදටත් අක්කාගේ හිතට වද දෙන ඇගේ පළමු පෙම්වතාය.
"ශාන්තයියා......" මගේ හඩේ වූ පුදුමය හදුනාගත්
අරවින්ද දෑස් කුඩා කර මා දෙස බැලුවද මා ඔහු නුදුටුවාක් මෙන් ශාන්ත අයියා දෙස බලා සිටියේ තවමත් පහව නොගිය තිගැස්මෙනි.
"මං
හිතුවෙ නංගිට මාව අදුරාගන්න බැරි වෙයි කියලා"
"ඔයා
මූව දන්නවා කියලා මං දන්නෑනෙ" කියමින්
මට රියෙන් බහින්නට දොර විවර කල අරවින්ද එතෙක් ඔහු අත රැදි පොලිතීන් බෑගය
පිටුපස අසුනට විසි කලේය.
"ශාන්තයියා ඔයාගෙ යාළුවෙක් කියලා මං දන්නෙත් නෑනෙ"
"
ශාන්තයියා....මං දන්න ශාන්තයියෙක් නෑ...මූ තමයි මං දවාලෙ ඔයාට කියපු අර මගෙත් එක්ක තරහා වෙලා
හිටිය මගේ අතිජාත මිත්‍රයා කුමාර…මං රට හිටිය දවස්වල මගේ සහෝදරයෙක් වගේ අම්මව බලා කියා
ගත්තා විතරක් නෙවෙයි….........................................”
"ඔයාට
අරවින්ද අයියා ගැන තියෙන විශ්වාසෙම මට ශාන්ත ගැනත් තිබුනා පොඩ්ඩී...එහෙම නැත්තන් මං එයාට කැමති වෙන්නෑනෙ.... එයා එයාවම රවට්ටා ගන්න ගමන් මාවත් රැවැට්ටුවා…. මං හරිම
අහිංසකයි හොදයි කියලා හිතා හිටියට එයා අපිට හිතන්නවත් බැරි තරම් නපුරු මනුස්සයෙක්...අම්මයි තාත්තයි දෙන්නම නෑ කියපු මිනිහගෙ අම්මා ඉන්නෙ වැඩිහිටි නිවාසෙක....ඔය ඔයාලා හෙට දානෙ දෙන්න යන නිවාසෙ... මගෙ යාළුවෙක් දවසක් දැකලා තිබුනා මං ගිහින් එන්නම් අම්මෙ කියාගෙන එයා ඒ නිවාසෙන් එනවා...පස්සෙ දවසක එයා මටත් පෙන්නුවා ශාන්ත ඒ නිවසෙට ගිහින් එනවා…..ශාන්ත අදටත් දන්නෑ ඇයි මං
එයාගෙන් ඈත් උනේ කියලා. ඒත් තමන්ගෙ වාසියට ජීවත් වෙලා ඉන්න අම්මා නෑ කියන්ඩ පුළුවන්
මනුස්සයෙක්ව විශ්වාස කරන්නෙ කොහොමද පොඩ්ඩි"
අරවින්දගේ
හඩ පරයමින් අක්කගේ හඩ ඇසෙන්නට වූයෙන් ඔහු ඉන්පසු කියූ කිසිවක් මට පැහැදිලිව නොඇසුනි.
නිමි.
සඳමාලි
සකුන්තලා හේරත්
2015.08.18
+++
ReplyDelete++++ පසන්
Deleteනියමා.....යි!
ReplyDeleteස්තූතියි රාජ්
Deleteටොප් කතාව ඈ.තව ටිකක් සුද්ද බුද්ද කරල ගත්තනං කියල වැඩක් නෑ.
ReplyDeleteස්තූතියි හැලප කඩේ (මුදලාලිද මන්දා)....සුද්ද් බුද්ද කෙරෙන්න ඕනි කොයි කොටස්ද කියලත් ලියලා තිබුනනම් කොච්චර හොදද.
Deleteකමක් නෑ එහෙම තැන් තියෙන බව හරි සිහිපත් කලාටත් ස්තූතියි
අක්කා විතරක් නෙමේ අපිත් මුලා වුනා අන්තිම වෙන කම්ම.අක්කාට ඇත්ත පහදලා දුන්නොත් එකත් "ජයසිරි මංගලම්"
ReplyDeleteඅපි ඉතින් කොහොමත් මුලා වෙන්න දස්ස ජාතියක්නෙ මනෝජ්.
Deleteමෙය කියවා අවන්කවම සතුටට පත් වුනා . ඒ උත්සහවන්ත නිර්මාණ ශිල්පිනියක් පියවරක් ඉදිරියට ගොස් සිටින නිසා. ඒ වුනත් කමක් නෑ ආයෙමත් පාරක් මේක ලියන්න . ජය !
ReplyDeleteඔබේ කමෙන්ටුව කියවා මමද අවංකවම සතුටු වුනා.ස්තූතියි ඒ දිරිගැන්වීමට.
Deleteමේ කතාව විතරක් නෙවෙයි ඉතිරි ඒවත් ආපහු ලියන්න ඕනි...ඒ හැම තැනකදිම ඔබ ඇතුළු හැමෝම පෙන්නපු වැරදි ටික හදන්න ඕනි කියලා හිතා හිටියට තාම බැරි උනා. මේ ටිකේ ටිකක් කලබලයි සහ කරදරයි. ඉස්සරහට එන්නෙ හුදෙකලා අවුරුද්දක්. ඒ කාලෙ මේ ඔක්කොම ආපහු ලියන්න හිතන් ඉන්නෙ මේ ඇවිත් ඉන්න ප්‍රධාන වැඩේ මගේ කොටස කරලා ඉවර කරලා.
This is very beautiful. I enjoyed a lot. Well done Sandamali.
ReplyDeleteNice to see ur comment in my blog. Thanks Dinushi
Deleteකතාව ගොඩනඟාගෙන ආපු හැටියට මැඩම්, අවසානය නම් මදි කියලයි මට හිතුනෙ.... :(
ReplyDeleteස්තූතියි රවී හිතුන දේ හිතුන විදිහටම ලියලා ගියාට. එතකොට මට අඩුපාඩු හදාගන්න ලේසියි. හැබැයි ඉතින් දැක්ක එකම අඩුපාඩුව ඕක විතරක් කියලනම් මට හිතන්න බෑ...."ඔව්වා පෙන්නලා දෙන්න ගිහින් අන්තිමට මටම ඒකත් කරන්න වෙනවා" කියලා හිතලා නිකන් හිටියා නේ. මං මේකෙ අන්තිම කොටස ආයෙ හදන්නම්.
Deleteමට එක දිගට ලියන්න ඉඩක් නැති නිසා චුට්ට චුට්ට මාසයක් විතර ලිය ලියා මක මකා හදන නිසා අන්තිම වෙනකොට ඇත්තටම ආයෙ වතාවක් මුල ඉදන් අගට කියවන්න හිතෙන්නෑ. ඒකෙන් ගොඩක් අඩුපාඩු වෙනවා. කතාව බැලන්ස් නැති වෙන්නෙත් ඒකයි. ස්තූතියි ඒ වගේ අඩුපාඩු හදාගන්න උදව් වෙනවට.
ෂහ් මරු කතාව. අනිත් ඒවත් හෙමින්සීරුවේ කියවන්නම්.
ReplyDeleteස්තූතියි කසුන්!...ඉඩ තියෙන වෙලාවක අනෙක් කතා ටිකත් කියවන්නකො
Deleteනියමයි, මම හිතන්නේ කාලෙකින් කියවපු සාර්ථක කෙටි කතාවක් , ජය .
ReplyDeleteබොහොම ස්තූතියි ඉවාන්. ඔබේ ඇගයීම මට සතුටක්
Deleteකතාව අගෙයි... උත්සහාය සාර්ථකයි...... සුභ පතනවා ඉදිරි ගමනට
ReplyDeleteබොහොම ස්තූතියි කුරුටු ගී.... ආවට, කියෙව්වට සහ සුබ පැතුමට
DeleteI am really impressed with your writing skills and
ReplyDeletealso with the layout on your weblog. Is this a paid theme
or did you customize it yourself? Either way keep up the excellent quality writing,
it is rare to see a nice blog like this one today.
Feel fre to visit my web page: How To Hack Stormfall Rise Of Balur
Thank u so much for the comment and extremely sorry for the delay. It was in spam that I never checked.
DeleteI simply customized this layout & sure it is not something special.
Anyway thank u once again. Your words really encourage me to keep writing