Tuesday, November 10, 2015

සුරංගනාවෝ (කෙටි කතාව )


ගුවන් යානය මොන්ට්පේලියර් අභ්යන්තර ගුවන් තොටුපල කරා පිටත් වීමට සූදානම් බව ඇසෙත්ම ගමනාන්තයට ළඟා වූවාක් වැනි හැඟීමකින් මහිත සැහැල්ලු විය. කටුනායක සිට පැරීසිය දක්වා වූ පැය එකොලහක දීර්ග ගුවන් ගමනත්, පැරීසියේ චාල්ස් ඩි ගෝල් ජාත්යන්තර ගුවන් තොටුපලේ අසුනක් මතට වී නින්දත් නොනින්දත් අතරේ ගතකල හෝරා කිහිපයත් මට මුළු ගමනම එපා කරවා තිබුනි. යානය ගුවන්ගත වීමට සූදානම් බැවින් සියළු මගීන්ට ආසන පටි තදකර ගන්නා ලෙසට නිවේදනය නිකුත් වූ වහා මට යාබද අසුනේ වූ මගියා ගුවන් සේවිකාවකගේ සහය අවශ්‍ය බව දන්වන බොත්තම එබීය. ඉන් මොහොතකට පසු එතනට ගුවන් සේවිකාවට ඔහු සිය අවශ්යතාවය දැනුම් දුන්නේ ප්රංශ බසින් වුවත් හඩේ වු කලබලය මගේ අවධානය ඔහු වෙත ඇදගන්නට සමත් විය.

වයස අවුරුද්දක හෝ ඊට මදක් වැඩි කුඩා දැරියන් දෙදෙනෙකු ඔහුගේ උකුල මත තද නින්දකය. ඔහු අංශක අනූවකටත් වැඩියෙන් හිස හරවාගෙන පිටුපස බලා සිටින්නේ දැඩි නොඉවසිල්ලකිනි.   ගුවන් සේවිකාවක් අප සිටි අසුන අසලට පැමිණි පසු ඔහු ආපිට හැරුනේ කෘතවේදී සිනහවක්  දෙතොලතර තබාගෙනය . ප්රංශ බසින් ඔහුට මොනවදෝ පැවසූ ගුවන් සේවිකාව අත රැදි ළදරුවන් සදහා වන ආසන පටි දෙකෙන් එකක් ඔහු අතට දී අනෙක මා අත තබා නික්ම ගියේ ඔහු තවත් මොකක්දෝ කියන්නට කට හදද්දීය. ගුවන් සේවිකාව වැරදි වැටහීමකින් මා අතට ආසන පටිය දුන් බව තේරුනද මා සිටියේ කල යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවය. 
"සමාවෙන්න. පොඩි වැරදීමක් උනේ" ඔහු බොහෝ ආචාරශීලිව එසේ පවසා මා අත වූ ආසන පටිය ගැනීමට අත දිගු කලේය.
"ඒකට කමක් නෑ. ඔයා මේ දරුවො දෙන්නව අරන් යන්නෙ තනියම නම් මට පුළුවන් එක දරුවෙක්ව ටික වෙලාවක් තියාගන්න. අඩුගානෙ යානය උඩට ගන්නකල් වත්"
"ඔබට උදව්ව කරන්න පුළුවන්නම් ඒක මට ලොකු පහසුවක්. මටත් වඩා මගේ මේ පුංචි සුරංගනාවියො දෙන්නට" කියමින් ඔහු අත් දෙකෙන් දෙදෙනාම තුරුළු කරගෙන හිස සිපගත්තේය.
අවුරුදු තිහකට අඩු මිස වැඩි නැතැයි සිතිය හැකි වයසක සිටි ඔහු එවෙලෙහි මට සිහිපත් කෙරුවේ ටී එම් ජයරත්නයන්ගේ මා කැමතිම ගීයකි.
"මං බොහොම සතුටින් උදව්ව කරන්නම්. දෙන්නකො මට ඔයාගෙ සුරංගනාවියො දෙන්නගෙන් එක්කෙනෙක්"
"මං දෙන්න ගියොත් ඇහැරෙයි. ඔයාට පුළුවන්ද මෙයාව ගන්න" කියමින් ඔහු වම් අතින් තුරුළු කරගෙන උන් දැරියගේ හිස මත මෘදුවට නිකට තැබීය. ලෝකයේ විවිධ රටවල වසන මිනිසුන් ජාති ආගම් සිරිත් විරිත් අතින් කෙතරම් වෙනස් වුවත් මාපිය සෙනෙහස සමස්ථ ලෝකයාටම පොදු බව ඔහු   යලි යලිත් මට ඒත්තු ගන්වමින් සිටියේය.
ඔහුට තුරුළුව සුවැති නින්දක සිටි සිඟිත්තිය කෙතරම් සීරුවෙන් ඔසවා මා උකුලට ගත්තත් පියාගේ උණුසුමෙන් ඈත් වූ නිසාදෝ ඈ යන්තමින් අවදි  විය.  අඩන්නට සූදානම් වූ ඈ නළවා ගැනීම මට ඒ හැටි අපහසු කාර්යක් නොවීය. ඔහු සැහැල්ලුවෙන් සිනාසී මා දෙස බැලුවේ දියණිය යලිත් සුවසේ නිදන බව තහවුරු  කරගෙනය.
" පුංචි දරුවන්ව නළවලා හොදට පුරුදුයි වගේ"
"අපොයි ඔව්. මගේ සහෝදරියන්ගෙ දරුවො හතර දෙනෙක්ම මේ වගේ වයසෙදි වැඩිපුරම හිටියෙ මගෙ උකුලෙ" කියමින් මම උකුල මත වූ සිඟිත්තිය දෙස බැලීමි.
මා අසල වූ ආගන්තුකයාගේ මුහුණට අපූරු පෙනුමක් එකතු කර තිබූ සිහින් දිගු නාසය දැරියන් දෙදෙනාටද එලෙසම පිහිටා තිබුනි. උපතින්ම හිමි වූ රෝස පැහැයත්, තඹපාට සිනිදු කෙහෙ රැළිත්, දිගු ඇසි පියත් නිසා මට දැනුනේ මා තුරුළෙහි නිදන්නේ ජීවමාන බෝනික් කියක් බවය.
"ඔයාට පුළුවන්ද ඔය පටිය මෙහෙම ඔයාගෙ ආසන පටිය ඇතුළෙන්  අරන් මේ විදිහට දාගන්න" කියමින් ඔහු, ඔහු අත සිටි දියණියට ආරක්ෂණ පටිය පැළදවීය. මා ඔහුව අනුගමන කල පසු ඔහු ස්තූති පූර්වක බැල්මක් හෙලා සිනාසීය.
"මම මේ දෙන්නව ඕනි තරම් තනියම ගමන් බිමන් අරන් ගිහින් තියෙනවා. හැබැයි මේක තමයි මෙයාලව අරගෙන තනියම යන්න වුන පළවෙනි ගුවන් ගමන. ඇත්තටම මං කීයටවත් බලාපොරොත්තු උනේ නෑ මඟියෙකුගෙන් උදව් ලැබෙයි කියලා. මං හිතා හිටියෙ බැරිම උනොත් ගුවන් සේවිකාවකගෙ උදව් ගන්නවා කියලා"
"දෙන්නා කතා වෙලා වගේ නිදි"
"එයාලා එහෙම තමයි. නිදාගන්නෙ, බඩගිනි වෙන්නෙ විතරක් නෙවෙයි ලෙඩ වෙන්නෙත් එකටම" කුඩා කාලයේ හදා වඩා ගැනීම දුෂ්කර වුවත් නිවුන් දරුවන් ලැබීම කෙතරම් භාග්යක්දැයි මට සිතුනේ එවෙලෙහිය. .
"අදනම් මේ දෙන්නා මෙහෙම නිදාගන්නෙ ගමන් මහන්සියට. අපි මේ ඊයෙ රෑ පිටත් වෙච්ච ගමන්"
"ඊයෙ රෑ?"
"ඔව්..අපි පැරීසියට ආවෙ රාත්රී දුම්රියක. ගමන මටත් ටිකක් වෙහෙසයි. මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් නිදාගත්තෙ නෑ  උදේ වෙනකල්ම. ගමන් මහන්සියටත් වඩා ඒකයි දෙන්නා දැන් ඔහොම නින්දෙ ඉන්නෙ" ඔහුගේ මුවින් පිටවන සෑම වචනයක්ම කුමක් හෝ පැණයක් මහිතේ ඇති කලද ආගන්තුකයෙකුගෙන් ප්‍රශ්ණ ඇසීම සදාචාරාත්මක නොවන නිසා මම මුණිවත රකින්නට පරිස්සම් වීමි.
"මගේ බිරිඳ මේ දවස් වල ටිකක් අසනීපෙන්" ටික වේලාවකට පසු ඔහු තරමක් වේදනාත්මක හඩකින් එසේ පැවසුයේ මගේ සිතට වද දෙන සිතුවිලි හදුනාගත්තාක් මෙනි.
"මොනවා වෙලාද"
"මේ දරුවො දෙන්නා ලැබුන දවසෙ ඉදලම එයා අසනීපෙන්...ඔයා සමහරවිට අහලා ඇති, සමහර කාන්තාවන්ට දරුවො ලැබෙන වෙලාවට ඇතිවන ආතති තත්වයක් දිගටම පවතිනවා. මගේ බිරිඳටත් තියෙන්නෙ ඒ වගේ තත්වයක්. මේ දවස්වල ඒ තත්වය ගොඩක් නරක අතට හැරෙමින් තියෙන්නෙ. වෛද්‍යවරු කියන්නෙ ඉක්මනින් රෝහල්ගත කරලා ප්‍රතිකාර නොකොලොත් ලෙඩේ දරුණු වෙන්න පුළුවන් කියලා. ඉතින් මං හිතුවා  ඇයව හෙටම රෝහල්ගත කරන්න ඕනි කියලා. ඒත් මේ දෙන්නවත් බලාගෙන මට එයාගෙ ලෙඩ ගැන බලන්න අමාරු නිසා මගේ සහෝදරී කිව්වා මේ දෙන්නව ටික දවසකට එයා ළග තියන්න කියලා "
"එතකොට මේ එහෙ යන ගමන්ද?"
"ඔව්. ඇය දැන් ඇගේ සැමියත් එක්ක ගුවන් තොටුපලට ඇවිත් බලන් ඇති. ඇගේ ගෙදර තියෙන්නෙ ගුවන් තොටුපලේ ඉදලා ටිකක් ඈත. මට එහෙ ගිහින් එන්න ගියොත් වෙලා යන නිසා මං මේ දෙන්නව දීලා මෙහෙමම ආපහු ගෙදර යන්නත් ඕනි"
"ඔබේ බිරිඳට ඉක්මනින් සනීප වෙයි"
"ඔව්...මමත් හිතනවා" කියමින් ඔහු දිගු කල්පනාවකට වැටුනි.
මවගේ රෝගී තත්වයවත් පියා මනසින් විදවන විදවීමවත් නොදත් දියණියන් දෙදෙනා තවමත් සුව නින්දකය. කිසිවක් හරිහැටි නොතේරෙන ළදරු විය කොයි තරම් මිහිරිදැයි මට සිතුනේ ඒ සුරතල් මුහුණු දෙස බලාසිටියදීය. ජීවිත කාලයම ළදරුවෙකු ලෙස ගෙවන්නට හැකිනම් ලෝකය මොන තරම් සුන්දර තැනක් වේවිද?
පැය එක හමාරක් වූ ගුවන් ගමන නිමා වන්නට ඔන්න මෙන්න තිබියදී මා සිටියේ කවුළුවෙන් එපිට පෙනෙනා මධ්‍යධරණී  මුහුදේ අපූර්ව දර්ශණයට වශීකෘතවය.
"ආ...මට අහන්නත් අමතක උනා. ඔයා යන්නෙ කොහෙටද?"
"මම හරියටම කියන්න දන්නෑ. ඒත් මට ලැබුන උපදෙස් අනුව නම් මං යන්න ඕනි ප්ලේස් ඩි ලා කොමඩි (Place De La Comedie)  කියන හරියට. මං උච්චාරණය කලා හරිද කියලනම් දන්නෑ"
"කොහොම උච්චාරණය කලත් කුලී රථ රියදුරෙකුට කිව්වනම් එතනින් ගිහින් බස්සයි. ඒ තමයි නගර චතුරශ්‍රයෙ කේන්ද්‍රස්ථානය"
"මං හිතුවෙ බස් එකකින් යන්න. මොකද තාම වෙලාව එකොලහටවත් නෑ. හෝටලයට ගියත් කාමරය ලැබෙන්නෙ තුනෙන් පස්සෙ" ඔහු තරමක් පුදුම වූ අයුරකින් මා දෙස බලා සිටින්නට වූයේ එවිටය.
"ඒ කියන්නෙ මේ විනෝදෙකට යන ගමනක්. මං හිතුවෙ මෙහෙ නැවතිලා ඉන්න කෙනෙක් කියලා. එතකොට ඉන්නෙ කොහෙද?. පැරිස්ද"
"අපෝ නෑ. මං මේ ප්‍රංශෙට ආව පළවෙනි වතාව"
"ගොඩක් දවස් මෙහෙ ඉන්නවද?"
"ඒත් නෑ. තව දවස් තුනකින් මං යනවා"
"දවස් තුනක් ඇති වෙයි කියලා හිතනවද මෙහෙ ඇවිදින්න"
"දවස් තුනක් තියා පැය තුනක්වත් ඇවිදින්න ලැබෙයිද දන්නෑ. මං මේ ආවෙ රාජකාරි ගමනක්"
ඒ වනවිට අප ගුවන් තොටුපලට සේන්දු වී තිබුනි. ඔහු දියණිය එක් අතකින් ඔසවාගෙන රාක්කය මත වූ විශාල කැන්වස් බෑගයක් ගෙන පිටේ එල්ලා ගත්තේය.
"ඔයාව කුලී රථයකින් ගිහින් බස්සවන්න තිබුනනම් ඒක මට සතුටක්. ඒත් සමාවෙන්න මේ වෙලාවෙ හැටියට  කාලය කියන දේ මට ගොඩක් වටිනවා. ඒ කොහොම උනත් මේ කරපු උදව්ව හැමදාම මගේ මතකයේ තියේවි"
"අපෝ ඒක බොහොම සුළු දෙයක්. මේ ආසනේ මං නැතුව වෙන කෙනෙක් හිටියත් ඔබට ඒ උදව්ව ලැබෙනවා කියලා මට විශ්වාසයි"
"මමනම් කොහෙත්ම එහෙම හිතන්නෑ. මේ වෙලාවෙ මගෙ ලග ආගන්තුක පතක් නෑ. ඔයා ළග තියෙනවනම් මට එකක් දෙන්න. මේ කරදට ඉවර උන ගමන්ම මං ලියන්නම්. මං හිතන්නෙ මගේ බිරිඳත් ගොඩක් සතුටු වේවි ඔයාට කතා කරන්න ලැබුනොත්"
එතෙක් ආසනය අසල බිම තබාගෙන සිටි අත් බෑගය අතට ගත් මා  ආගන්තුක පත්‍රයක් සොයද්දී නිදා සිටි සිඟිත්තිය අවදි වී මහ හඩින් අඩන්නට පටන් ගත්තේ යාබද අසුන් වල වූ මගීන්ගේ අවධානයද අප වෙත ඇද ගනිමිනි. මටත් වඩා කලබලයට පත් වූ ඔහු පිටේ එල්ලාගෙන සිටි බෑගය අසුන මත තබා එහි සාක්කුවකින් පිටතට ගත් සූප්පුවක් දැරියගේ කටේ ගසා ඇය නිහඩ කරගත්තේය.. ඉන්පසු යලිත් බෑගය පිටේ එල්ලා ගත් ඔහු මා අත වූ කාඩ් පත යන්තමින් බලා කමීස සාක්කුවට දමා ගත්තේය.
"ආයෙත් වතාවක් කියන්නම්. මේ කරපු උදව්වට ස්තූති කරන්න වචන නෑ. දැන් මං යන්න ඕනි. පරක්කු උනොත් මගේ මස්සිනාට තරහ යන්න පුළුවන්" කියමින් ඔහු මා අත උන් දියණිය ගැනීමට අත දිගු කලේය.
"දෙන්නම ගන්න අමාරුනෙ. යමු මං මෙයාව අරගෙන එන්නම්"
"ඔයාට වෙලාව ඕනි තරම් තියෙනවනෙ. ඔයා හෙමින් එන්න. මට පුළුවන් මේ දෙන්නව අරන් යන්න. මෙයාලගෙ ළදරු කරත්තෙත් ඉස්සරහා තියෙනවා"
නින්දෙන් උවත් හෝරා එක හමාරක් මුළුල්ලේ මා තුරුළෙහි නිදා උන් සිඟිත්තිය දෙන්නට ලෝබ කමක් දැනුනද උදව්වකට එහා බැදීමක් අප අතර නැති බව පසක් වී මා ඔහුට දියණිය ගන්නට ඉඩහැරියෙමි. ඒ වනවිට ඉදිරිපෙල අසුන්වල වූ මගීන් සියල්ලම පාහේ බැස ගොස් තිබුන නිසා මටද ඔවුන් පෙනෙන තරම් දුරකින් ගමන් කල හැකි වුවත් ආගමන විගමන කටයුතු නිමවා ඔහු ළදරු කරත්තයද තල්ලු කරගෙන ඉක්මන් ගමනින් පිටව ගියේ වැරදීමකින්වත් පසුපස හැරී නොබලමිනි.
දහ අටවන සිය වසයට අයත් ඉපැරණි ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට අබ මල් රොනක තරම් වත් වෙනසක් නොකොට එලෙසම පවත්වාගෙන යමින් විසි එක්වන සිය වසයේ ජීවත් වන මොන්ට්පේලියර් වැසියන් අතරට මා එක්වන විට වෙලාව පස්වරු එක පසු වුවා පමණි. ගුවන් තොටුපලේදී ලබාගත් නගර චතුරශ්‍රයේ සිතියම් කිහිපය සහ මා ලැගුම් ගන්නට බලාපොරොත්තු වන හෝටලයෙන් එවා තිබූ මාර්ග සිතියම දෙස බලද්දී මට මතක් වූයේ ළමා පුවත්පත්වල ඇති "හා පැටියාට කැරට් අලය ළගට යන්නට පාර සොයා දෙන්න" වැනි අභ්‍යාසය. මටද බස් නැවතුමේ සිට යායුතු තැනට යාමට අතුරු මාර්ග දහ පහලොවක් පසු කල යුතු විය. එහෙත් නිවරදි ගමන් මග නොදැන ගමන් කරන්නට පටන් ගතහොත් අතුරු පාරවල් සිය ගනනකින් සමන්විත ඒ නගරයේ මා අතරමං වීමට ඒ හැටි කාලයක් ගත නොවන බව සැනෙකින් මටම අවබෝධ විය. ප්‍රංශය යනු දිවා කාලෙයේ වුවද තනිව ගමන් කිරීම එතරම් ආරක්ෂාකාරී නොවන රටක් බවට ආයතන ප්‍රධානියා දුන් අවවාදයද මොකද්දෝ හේතුවකට එවෙලෙහිම මතක් විය. දෙවරක් නොසිතාම මා කුලී රියක් නතර කරගත්තේ ඉන්පසුය. එහෙන් මෙහෙන් කැරකුන කුලී රිය විනාඩි දහයක් යන්නට පෙර හෝටලය ඉදිරියෙන් මා බැස්සවීය.
පිළිගැනීමේ අංශයේ සිටි තරුණයා සිනහ මුසු මුහුණින්  මා පිළිගත්තේය. ඔහුටද තිබුනේ ගුවන් යානයේදී හමුවූ ආගන්තුකයාට සහ ඔහුගේ දියණියන්ට තිබූ පරිදිම දිගු නාසයකි
"මැඩම් ගුවන් තොටුපලේ ඉදලම කුලී රථයකින්ද ආවේ"
"ආ...නෑ...මම පාරවල් හොයාගන්න අමාරු නිසා මේ කිට්ටුවකදි වගේ තමයි කුලී රථයකට කතා කලේ"
"මැඩම් එහෙම ආව එක හොදයි. දැන් ලොකු වැස්සක් එන්න යන්නෙ. මොන්ට්පේලියර් කියන්නෙ අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහෙන් තුන්සීයක්ම හොදට ඉර පායලා තියෙන බොහොම සෞම‍ය නගරයක්. හැබැයි පැය භාගෙක වැස්සක් ඇති ගමනාගමනෙ එහෙම පිටින්ම නවත්තන්න"
නිවසින් පිටවී විසි හතර පැයකටත් වැඩියෙන් කාලය ගත වී තිබුන ඒ මොහොතේ මා සිටියේ ඔහුගේ කාළගුණ වාර්තාවට සවන් දීමට බැරි තරමේ විඩාවකිනි.
"මැඩම්ට ගොඩක් මහන්සි පාටයි. ගමන් බලපත්‍රය දෙන්නකො. මං බලන්නම් කාමරේ දැන්ම දෙන්න පුළුවන්ද කියලා"
"ඒකනම් ලොකු උදව්වක්. මං හිතුවෙ තුන වෙනකල් පුටුවක් උඩම නිදාගන්න වෙයි කියලා"
"අපි තුන කියලා කිව්වට කාමරේ ශුද්ධ පවිත්‍ර කරලා ඉවර නම් දොළහෙන් පස්සෙ ඕනි වෙලාවක යන්න දෙනවා. මැඩම් ඔහොම පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකො. මං බලන්නම් මැඩම්ට වෙන් කරපු කාමරේ තත්වෙ කොහොමද කියලා" ඔහු බොහෝ ආචාරශීලිව එසේ පවසා පරිගණකය දෙසට හැරුනේ මට අසුනක් පෙන්වමිනි. 
මා අසුන් ගත්තේ රූපවාහිනිය ඉදිරිපිටය. ඒ වනවිට විකාශය වෙමින් පැවතියේ ළදරු විස්කෝතු වර්ගයක් ගැන වෙළද දැන්වීමකි. කුමක්දෝ හේතුවකට මට යලිත් වරක් මැවි මැවී පෙනෙන්නට ගත්තේ මා උකුලේ නිදා උන් දැරියය. ඒ තරම් කුඩා වයසකදී ටික දිනකට හෝ මව්පිය දෙදෙනාගෙන්ම ඈත් වී ජීවත් වන්නට වීම කෙතරම් අවාසනාවක්ද?. අපේ රටේ මෙන් දරු මුණුබුරන් ළග රැදෙන මිත්තනියක්වත් මේ දරුවන්ට සිටියේ නම් මව රෝහල්ගත කල පසු අඩුම වශයෙන් පියාගේ උණුසුමේ වත් රැදෙන්නට ඉඩ තිබුනි.
"මෙන්න මැඩම් කාඩ් එක. මැඩම්ට තව විනාඩි දහයකින් කාමරේට යන්න පුළුවන්. අපි උදේ කෑම හත හමාර......" කියමින් මා අසලට ආ පිළිගැනීමේ නිළධාරියාගේ අවධානය එක්වරම මගෙන් බැහැර වී රූපවාහිනිය දෙසට යොමුවිය. ඔහු ඒ තරම් උවමනාවෙන් නරඹන්නේ කුමක්දැයි දැනගන්නට මමද ඒ දෙස බලා සිටියද කිසිවක් තේරුම්ගත නොහැකි විය. පුදුමයකට මෙන් ඒත් සමගම තිරය මත දිස් වූයේ හෝරා කිහිපයකට පෙර මා උකුලේ නිදා උන් පුංචි සුරංගනාවිය සහ ඇගේ නිවුන් සොයුරියගේ ජායාරූපයකි . යලි කිසි දිනක දකින්නට නොලැබේයැයි සිතා සිටි ඒ සුරතල් මුහුණු අනපේක්ෂිත මොහොතක යලිත් දකින්නට ලැබීමේ ප්‍රීතිය මගේ නෙත් අගින් බැස යමින් තිබුනි.
මා දෙසට හැරුන පිළිගැනීමේ නිළධාරියා ඉන්පසු ප්රංශ බසින් මොන මොනවාදෝ කියා මා අත කාඩ්පත තැබීය.
"සමාවෙන්න. මට ඔයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ. කරුණාකරලා ආපහු ටික ඉංග්රීසියෙන් කියන්න පුළුවන්ද?"
"සමාවෙන්න මැඩම්. මැඩම් අර පොඩි දෙන්නා දිහා කඳුළු පුරවගෙන බලන් හිටිය විදිහට මං හිතුවෙ මැඩම්ට හොදට ප්රංශ භාෂාව පුළුවන් කියලා"
"ඇත්තටම මොකටද දරුවො දෙන්නව පෙන්නුවෙ"
"ඒක බොහොම දුක හිතෙන කතාවක්. දරුවන්ගෙ අම්මා මොකක් හරි අසනීපෙකින් ඉදලා තියෙන්නෙ. මේ දරුවො දෙන්නව එයාලගෙ නැන්දා කෙනෙක් ළග තියලා තාත්තා ගිහින් තියෙනවා අම්මව රෝහල් ගත කරන්න"
"ඉතින්" සියළු විස්තර ඔහුටත් වඩා හොදින් මා දැන සිටි නිසා මට තව දුරටත් පිලිබදව අසා සිටීමට උවමනාවක් නොවීය.
"තාත්තා නැති අතරෙ කවුරු හරි මේ ළමයි දෙන්නව පැහැරගෙන ගිහින්"
"දෙවියනේ. මොන අපරාදයක්ද?" මා මටම මුමුණා ගනිමින් අසුන මතට බර වූයේ හෝරා කිහිපයකට පෙර මගේ උණුසුමට ගුලිව උන් සුරංගනාවියගේ අවිහිංසක මුහුණ මැවි මැවි පෙනෙත්දීය.
"කොයි වෙලාවෙද ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ. දැන්ද?"
"දැන් තමයි පොලීසියට දැනුම් දීලා තියෙන්නෙ නම්. ඒත් සිද්ධිය වෙන්න ඇත්තෙ ඊයෙ රෑ හරි අද පාන්දර හරි කියලා තමයි සැක කරනවා කියන්නෙ. මොකද මේ දැන් ටිකකට ඉස්සෙල්ලා දරුවන්ගෙ තාත්තා ගෙදරට එනකොටත් දරුවො බලාගන්න හිටිය කෙනා නින්දෙලු"
 

නිමි!

සඳමාලී සකුන්තලා හේරත්, 2015.11.10

32 comments:

  1. Ah.. menna blog eke mathak wela.. full bc. Kiyewwe ne thawama.. will be back soon :)

    ReplyDelete
    Replies
    1. මතක් වෙලා නෙවෙයි මතක් කරවලා. කවුරු උනත් ඔය හැටියට උපහාසෙට ලක්වෙන්න කැමති වෙයියැ

      Delete
  2. හරිම අපූරැයි නංගී. අවසානය වෙනකම්ම මට මෙහෙම දෙයක් හිතුනෙ නෑ. බොහොම සාර්තකයි. ජී බී සේනානායක මහත්තය කියනව වගේ ඔයා පාඨකයව බෙල්ලෙන් අල්ලගෙන කතාව පුරා අවසානය දක්වාම ගෙන යනවා. මගේ සුබ පැතුම්. තව තව ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියෙ. ඔයාගෙ කමෙන්ට් එකක් මගේ blog එකේ දකින්න ලැබීම ලොකූ සතුටක්. ඒ වගේම ඒ හැම වචෙනෙකම තියෙන දිරිගැන්වීම මට ලොකු ශක්තියක්.

      Delete
  3. ලස්සනයි කතාව. අන්තිම පේලිය වෙනකල්ම වුන දේ තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකොනොමැට්ටො. අන්තිම පේලිය වෙනකල්ම උන දේ හිතාගන්න බැරි උන බව අහන්න ලැබීම සතුටක්

      Delete
  4. සඳමාලි, කවදැයි මේ පැත්තෙ ආවෙ?

    එතකොට හොරාගෙ අතේ හිටපු ලමයෙක්ද තියාගෙන ඉඳල තියෙන්නෙ? ඒක තමයිඉ බහිද්දි උදව් නොගත්තෙ. එහෙම උනානම් අහුවෙනවනෙ. හොරත් ලමයිට ආදරේ බවයි පෙනුනෙ.

    ReplyDelete
    Replies
    1. කසුන් මේ කවදැයි මේ පැත්තෙ ආවෙ කියලා අහන එකට දෙන්න ඕනි උත්තරේ මට හිතාගන්න බෑ.
      ඔයා ඔය කියන්නෙ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව එකනම් මට කියන්න තියෙන්නෙ ආවා නෙවෙයි එවුනා කියලා තමයි. මම මේක අතෑරලා දාලා පාඩුවේ වැඩක් කරගෙන ඉන්න හැදුවට එක මිත්‍රයෙක් මඩ ගහන්න ගත්තනෙ. ඒ හන්දා ඔන්න ආවා හැබැයි කී දවසක් ඉදීයිද දන්නෑ.
      හොරා ළමයින්ට ආදරේ බව දැනෙව්වෙ හේතු දෙකක් හිතේ තියාගෙන. එකක් පාඨකයව මුලා කිරීම, දෙක හොරෙක් උනත් කරන්නෙ හොරකමක් කියලා අනෙක් අයට නොදැනෙන්න කරන්න උත්සහ කරනවනෙ. ඒකයි

      Delete
  5. ඌඌඌප්ස් .................

    මේක නම් නියමයි , කීයටවත් හිතුවේ නෑ මේ ළමයි දෙන්න පැහැරගෙන යන පුද්ගලයෙක් කියලා , අවසානය ඉතාම ඉහලයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන් සහෝදරයා. ඉවාන් වගේ බ්ලොග් ලෝකෙ නමගිය කතාකාරයෙකුගෙන් මේ වගේ කමෙන්ට් එකක් ලැබීම ඇත්තටම සතුටක්

      Delete
  6. සඳ වියමනේ හැම කතාවක්ම ඉවර උනේ සුඛ්න්තයකින්.මේක විතරයි මේ විදියේ අවසානයක් කරා ගෙනාවේ.එහෙනම් මේ දරුවෝ පැහැරගෙන තියෙන්නේ මේ පවුල ගැන හොඳින් දන්නා කෙනෙක් වගේ තමයි පේන්නේ.කාලෙකට පස්සේ ඇවිත් උනත් ලිව්වා කතාව අගෙයි පොඩි දුකක් තිබුණත්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව මේ විදිහට ලියන්න තීරණය කරපු වෙලාවෙ මනෝජ්ව මතක් නොවුනා කිව්වොත් බොරුවක්. ඒ මනෝජ් මගේ කතා ඉවරවෙන විදිහ ගැන කලින් වතාවකදි දක්වපු අදහසක් නිසා.
      ඒත් දිගින් දිගටම සතුටින් ඉවර වෙන විදිහට ලිව්වොත් මේවා කියවන මනෝජ්ලා වගේ පොඩි අය ජීවිතේ ගැන වැරදි වැටහීම් ඇතිකර ගනියි කියලා බයටයි මේක මේ විදිහට අවසන් කලේ.
      නෑ මනෝජ්. ඇත්තටම නම් මේ ප්ලොට් එක හිතට ආවෙ මීට මාස තුනකට කලින් පැරිස් ඉදලා මොන්ට්පේලියර් යන අතරතුරදි. ඒකමයි මම කතාවටත් ඒ නගර දෙකම සම්බන්ද කලේ. මේක තමයි ඒ වෙලාවෙ හිතේ ගෙතුන කතාව. ඒත් ඇත්තටම නම් මම පහුගිය මාස තුනක් තිස්සෙම කල්පනා කලා මේක වෙනස් විදිහකට ලියන්න. ඒත් මට සතුටු වෙන්න පුළුවන් විදිහට මේ කතාව ලියාගන්න පුළුවන් උනේ මෙහෙමයි

      Delete
    2. // දිගින් දිගටම සතුටින් ඉවර වෙන විදිහට ලිව්වොත් මේවා කියවන මනෝජ්ලා වගේ පොඩි අය ජීවිතේ ගැන වැරදි වැටහීම් ඇතිකර ගනියි කියලා බයටයි මේක මේ විදිහට අවසන් කලේ.//

      හෙහේ හෙහේ,ජිවිතේ සැප ලගම දුක තියෙනවා කියලා මම නම් පොඩි කාලේ ඉඳන්ම දන්නවා.එක අත්දැකලා තියෙනවා අක්කේ.

      එත් විදින්න තියෙන ජිවිතේ විදවන කතා අහනවාට,බලනවාට වඩා පොඩි සතුටක් ඇතුව හෝ අවසන් වන කතාවක් අහන්න,දකින්න ආසාවක් තියෙනවා.නැතිනම් අපි ජිවිතේ මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක තව,තව ප්‍රශ්න ඔලුවේ පුරෝ ගන්නවා කියන්නේ එක අවසානයේ මානසික පිඩාවක් වෙන්නත් බැරි නැහැ.

      කොහොම වෙතත් මේ අවසානයට මගේත් විරුද්ධත්වයක් නැහැ....:)

      Delete
    3. //එත් විදින්න තියෙන ජිවිතේ විදවන කතා අහනවාට,බලනවාට වඩා පොඩි සතුටක් ඇතුව හෝ අවසන් වන කතාවක් අහන්න,දකින්න ආසාවක් තියෙනවා//
      මමත් පැහැදිලිවම ඒ අදහසේ ඉන්නවා මල්ලි. ඒ නිසාමයි මගේ අතින් ලියවෙන හැම කතාවක්ම වගේ ඒ විදිහෙ අවසානෙකින් කෙලවර කරන්න මම උත්සහ කලෙත්.

      ජීවිතේ සැප ළගම දුක තියෙනවා කියලා තේරුම් අරන් ජීවත් වෙන එකම ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. මං දැකලා තියෙන විදිහට නිතර පොත පත කියවන යාවත්කාලීන වෙන ගොඩක් මිනිස්සුන්ට ඒ දෙක අනෙක් අයට සාපේක්ෂව උපේක්ෂාවෙන් විදගන්න පුළුවන්.

      Delete
  7. කතාවෙ දැරියන් පැහැර ගෙන යන පුද්ගලයා ගැන තව ටිකක් විස්තර වුනානම් හොඳයි කියල මට හිතෙනවා. දැන් ඔයා ලියල තියෙන විදිහට මේ මනුස්සය ගැන අපි මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ.කවුද ඒ? ඇයි දරුවන් පැහැර ගත්තෙ? අන්න ඒ වගෙ විස්තර පොඩ්ඩක් හරි ලියවුනානම් අපිට කතාව මීට වඩා සමීප වෙනවයි කියලයි මගේ අදහස.

    / "දැන් තමයි පොලීසියට දැනුම් දීලා තියෙන්නෙ නම්. ඒත් සිද්ධිය වෙන්න ඇත්තෙ ඊයෙ රෑ හරි අද පාන්දර හරි කියලා තමයි සැක කරනවා කියන්නෙ. මොකද මේ දැන් ටිකකට ඉස්සෙල්ලා ඒ දරුවන්ගෙ තාත්තා ගෙදරට එනකොටත් දරුවො බලාගන්න හිටිය කෙනා නින්දෙලු" /

    " ඉතිං කවුරුවත් සැකකරන්නෙ නැද්ද? "

    " දරුවන්ගෙ තාත්තගෙ මල්ලිව තමයි සැකකරන්නෙ. එයාටත් ඉඳල තියනව මේ වගෙම නිවුන් දැරියන් දෙදෙනෙක්. ඒ දෙන්නයි බිරිඳයි හදිසි අනතුරකින් මියගිහින්. මම කියන අර මල්ලි විතරයි බේරිල තියෙන්නෙ. එදා ඉඳල ඒ මනුස්සය ටිකක් අවසිහියෙන් වගෙ ඉඳල තියෙන්නෙ. මේ දරුවො දෙන්නට පුදුම විදිහට ආදෙරේ කලාලු ඒ පිස්සුවෙන්ම වගෙ. එයාව තමයි සැක කරන්නෙ. පොලීසිය එයා ගැන හොයනව. "

    මගේ ආගන්තුක කාඩ්පතක් ඔහු අත ඇතිබව එකෙණෙහිම මට සිහිවිය. එහි මගේ ජංගම දුරකථන අංකයද සටහන්ව ඇත. කිසිවක් පැහැදිලිව සිතාගත නොහැකිසේ විපිළිසර වූ සිතින් යුතුව මම කාමරයට යනු පිණිස සෝපානය දෙසට හැරුනෙමි. එකෙනෙහිම මගේ උරහිසෙහි ගමන් මල්ලෙහි වූ ජංගම දුරකථනය නාදවන්නට විය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවී ඌණ පූරණයක් සහිත දීර්ග කමෙන්ටුවට. ඒකට කොහොමත් දස්සයිනෙ.

      //කතාවෙ දැරියන් පැහැර ගෙන යන පුද්ගලයා ගැන තව ටිකක් විස්තර වුනානම් හොඳයි කියල මට හිතෙනවා. දැන් ඔයා ලියල තියෙන විදිහට මේ මනුස්සය ගැන අපි මේ ලෝකෙ දෙයක් දන්නෙ නෑ.කවුද ඒ? ඇයි දරුවන් පැහැර ගත්තෙ? අන්න ඒ වගෙ විස්තර පොඩ්ඩක් හරි ලියවුනානම් අපිට කතාව මීට වඩා සමීප වෙනවයි කියලයි මගේ අදහස//

      1.මේ වගේ කතා මේ ලෝකෙ කිසිම මනුස්සයෙකුට සමීප නොවෙන එකමයි හොද.
      2.මට කිසිසේත්ම ඕනි උනේ නෑ පැහැරගන්නා ගැන විස්තරයක් දෙන්න. කෙටි කතාවකදි එහෙමටම ඒ වගේ දෙයක් ගැන හිතන්න ඕනි කියලත් මම හිතන්නෑ. ඒක කියවන්නගෙ පරිකල්පනේ අනුව කැමති විදිහකට හිතාගන්න අරින්නයි මට ඕනි උනේ. හැබැයි ඔහු උපායශීලි බව දනවන්න මට ඕනි උනා. ඒකට මං භාවිතා කරපු ක්‍රමය කොච්චර දුරට සාර්ථකද කියන්න මං හරියටම දන්නෑ.
      එකක් දරුවන්ට දැක්වූ ආදරය
      අනෙක මේ දරුවන්ගෙ ගෙදර ඒ වනවිට තියෙන සැබෑ තත්වයම මේ ගෑණු ළමයට කීම. ඒ කියන්නෙ මේ සිද්දිය මේ ළමයා මේ වෙලාවෙ නැතුව හෙට අනිද්දාවක මාධ්‍ය මගින් දැනගත්තත් හිතන්නෙ කවුරුහරි දරුවො පැහැරගෙන කියලා මිස මේ මනුස්සයා පැහැරගත්තා කියලා නෙවෙයිනෙ.

      ඊළගට ඌණ පූරණය. ඒක මරු.බොහොම බොහොම ස්තූතියි තමන් අඩුපාඩුවක් විදිහට දැක්ක දෙයක් පෙන්නලා දීලා ඒක හදාගන්න උදව්වක් කරන්න හැදුවටත්. ඔබේ ඒ නිහතමානීකමට මං ගරු කරනවා.

      ඒත් රවී අන්න එතන තමයි අපි දෙන්නා ගැටෙන්නෙ. මම කැමති අන්තිම වාක්‍ය ඩෝං ගාලා දීලා ඇරලා පැත්තකට වෙලා කියවන්නට අග ඉදන් මුලට ආපහු හිතන්න අරින්න මිස සම්පූර්ණ අවසානයක් දෙන්න නෙවෙයි.

      අනෙක් කාරණේ ප්‍රංශෙ මාධ්‍ය කලාව ලංකාවට වඩා වෙනස්නෙ. කීයටවත් සැකකරුවෙක් හරියටම වැරදිකරුවෙක් කියලා ඔප්පු කරගන්නකල් ඒ ගැන මාධ්‍යකින් දෙන්නෙත් නෑනෙ.

      Delete
    2. හරි හරි අවුලක් නෑ...ඔබ පාඨකයට සම්පූර්ණ අයිතිය දෙනව, සම්පූර්ණ නිදහස දෙනව කැමති විදිහට හිතාගන්න.හෙහ්..හෙහ්…

      ඒත් කෙටිකතාවක් ගැන මම හිතන විදිහ වෙනස්. මම හිතන්නෙ තනිකරම පාඨකයට හිතාගන්න ඉඩ අරින්නෙ නැතුව පොඩි මඟපෙන්වීමක් අපි කරන්න ඕන. මගෙ කතාව ගොඩ නැඟෙන්නෙ මෙහෙමයි . මම හිතුවෙ මෙහෙමයි කියල රචකයා කියන්න ඕන කියලයි මම හිතන්නෙ.

      උදාහරණයක් ගත්තොත් මෙහෙමයි. යාලුවෙකුට ආරාධනා කරල කෑම වේලක් දෙන අවස්ථාවක් ගැන හිතමු. එතකොට සම්පූර්ණයෙන් ආහාර ඔක්කොම සූදානම් කරල මේසෙට ඇරල " ඇවිල්ල කන්න එහෙනම්" කියල කියන්නත් පුලුවන්. ඒ කියන්නෙ කතාව සම්පූර්ණයෙන් අපි කියනව.

      ඊළඟට කෑම හදල මේසෙට ඇරල තියනව. අවශ්‍ය පරිදි ලුණු,ඇඹුල් දාගන්න යාලුවට ඉඩ දෙනව. මම කරන්නෙ ඒක කියල කිව්වැහැකි.

      ඊළඟට මෙහෙමත් පුලුවන්නෙ.හාල් පොල් එලවලු කපල කොටල හට්ටි වලට දාල තියනව. ලුණු මිරිස් පදමට දාගෙන උයාගෙන කන එක යාලුවට බාර දෙනව. මම හිතන්නෙ ඔබතුමී කරන්නෙ අන්න ඒක.

      ඉතිං අවුලක් නෑ...ඒ තුන්විදිහටම යාලුවෙකුට කෑම වේලක් දුන්නැහැකි....:)

      Delete
    3. //ඒත් කෙටිකතාවක් ගැන මම හිතන විදිහ වෙනස්//
      කෙටිකතාවක් ගැන එක් එක්කෙනා හිතන විදිහ වෙනස් වගේම ඕනෑම සිදුවීමක් ගැනත් එක එක්කෙනා හිතන විදිහ දකින කෝණෙ වෙනස්. ඒක ඒ ඒ පුද්ගලයා අනුව වෙනස්. පරිකල්පනයට උනත් ඒක පොදුයි. ඒකයි මම පාඨකයට එතනින් එහා සිදුවීම කැමති විදිහකට හිතන්න දෙන්නෙ.

      අර උපහැරණෙ මගේ කතා ලිවීමට කොච්චර දුරට වලංගුද කියලා මං දන්නෑ...ඒක දන්නෙ කියවන ඔයාලා නිසා ඒක හරි ඇති.
      හැබැයි ඉතින් හැබෑවටම කෑමක් දීමේදි නම් ඔය තුන්වෙනි ක්‍රමේට මගේ කිසි අකමැත්තක් නෑ

      Delete
    4. සමාවෙන්න, මම හිතන්නෙ මගෙ උදාහරණය හරි නැහැ. සාහසික වැඩියි වගෙ කියල මට හිතෙනව..:(

      ඔබේ කෙටිකතා ලිවීමේ ශෛලිය විව්චනය කලා නෙවෙයි. මෙහෙම උනොත් හොඳයි කියලයි මම කිව්වෙ. ඒත් එහෙම කියපු එක උනත් අනවශ්‍යයයි කියල මට දැන් හිතෙනව ආයෙම කියවනකොට. සමාවෙන්න.

      Delete
    5. අයියෝ පිස්සුද මන්දා සමාවෙන්න කියන්නෙ. එහෙම විවේචන අවශ්‍ය නිසානෙ මේවා මෙහෙම කාටත් කියවන්න අදහස් දක්වන්න පුළුවන් තැනක පලකරන්නෙ.

      ඒ ගැන හෝ උදාහරණය ගැන තව හිතන්න එපා. මම කිසිසේත්ම ඒ ගැන තරහක් අමනාපයක් හිතේ ඇතිකරගන්න තරම් පොඩි වයසක ඉන්න කෙනෙක් නෙවෙයි. Peer reviewing & critical commenting කියන්නෙ මට බොහොම සාමාන්‍ය නිතර දෙවේලේ අත්දකින දෙයක්.

      මට තරහ යනවා අර සතියට කොටස් තුනක් ලියනවා කියලා පටන්ගත්තු කතාව සති තුනකට කොටසක් වගේ දානකොට නම්.

      Delete
  8. සුපිරියි කියන්නෙ සුපිරිම සුපිරියි.......... අවසාන වෙනකන් හිතාගන්න බෑ කතාව............. නියමයි............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අවංක ආර්යන්.අවසානය වෙනකල් හිතාගන්න බැරි උන බව අහන්න ලැබීම අවංකවම සතුටක්.

      Delete
  9. කෙටිකතාව හරි ලස්සනයි අක්කේ... මම කුතුහලය නිසා හුස්ම ගන්නෙ නැතිව එක දිගට කියෙව්වා...ආය ලියන්න මේ වගේ රසවත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නගෝ. තව කතා අටක්ම ඇති හොදට හුස්මක් එහෙම අරන් වෙලාව තියෙන වෙලාවක කියවන්නකො.

      ආපහු කතාවක් ලියන්න තරම් ලොකු දිරියක් ඔයාගෙ වචන ටික ඇතුලෙ තියෙනවා. බොහොම ස්තූතියි

      Delete
  10. another excellent piece of writing. I got goosebumbs

    ReplyDelete
  11. සඳවතිය ,සත්තකින්ම සඳවත සේම කදිමයි .

    ReplyDelete
  12. ලස්සන දුක්බර කටහ්වක්. මට මතක් වුනේ මැඩලින් ව.
    http://nelumyaya.com/?p=4780

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් මහත්මයා.

      ඔබට මතක් වෙච්ච "මැඩලින්" කවුද කියලා මට මතක් වෙන්නෑනෙ. එක්කො මං දන්නෑ

      Delete
    2. මැඩලින් මැකන් (නැති වුන ගෑණු ළමයා )

      Delete
    3. මං මේ දැන් වෙනකල් ඔය කියන මැඩලින් ගැන මේ ලෝකෙ දෙයක් දැනන් හිටියෙ නැතුවට මොකද මේ දැන් දැනගත්තා. ඇයටත් නිවුන් සහෝදරියො දෙදෙනෙකුත් ඉදලා තියෙනවනෙ.
      ඕක අවුරුදු අටකට උඩදි පෘතුගාලෙ නෙවෙයි මේ ඊයෙ පෙරේදා ලංකාවෙ වෙච්ච දෙයක් උනත් මං නොදැන ඉන්න ඕනි තරම් ඉඩ තිබුනා.ඔබටයි අන්තර්ජාලෙට පිං සිද්ද වෙන්න ඔන්න මං දැන් මෑත ඉතිහාසයේ සිදුවෙච්ච දරුණුම අතුරුදහන්වීම ගැනත් තොරතුරු දැනගත්තා.

      Delete