Saturday, July 9, 2016

උරුමය - පළවෙනි කොටස





පෙර පාසල නිමාවූ පසු දියණිය නිවසට ඇරලවා වේගයෙන් රිය පදවන්නට උත්සහ කළත් නගරාසන්නයේ වූ වාහන තදබදය මගේ ගමන පමාකරවීය. දිවා කෑම පැය අවසන් වීමට පෙර කාර්යාලයට එන්නට උවමනාව තිබුණත් මා කාර්යාලයට ඇතුළු වන විට වෙලාව සටහන්ව තිබුණේ එකයි දහය ලෙසය. ඉක්මන් ගමනින් තරප්පු පෙළ නඟින මා වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව තේරුණද මම ඔවුන් දෙස නොබලන්නට පරිස්සම් වුණෙමි. සේවයට පැමිණ දෙසතියක් යන්නටත් පෙරම ප්රමාද වී එන්නට සිදුවීම ගැන මටම දොස් පවරා ගනිමින් මා කාමරයට ඇතුළු වූයේ තරමක චකිතයකිනි. දෑත් හිස පිටුපසට තබාගෙන පුටුවේ හොදින් හාන්සි වී දෑස් පියාගෙන උන් කළමණාකාර අධ්යක්ෂවරයා මා ඇතුළු වනවාත් සමගම නළලත රැළි කරගෙන අත බැඳි ඔරලෝසුව දෙස බලා පරිගණකය දෙසට හැරුනේ ප්රමාදයට හේතු විමසීමකින් තොරවය. බැණුමක් අපේක්ෂාවෙන් වුන් මට එය මහත් අස්වැසිල්ලක් විය. විනාඩි දහයකටත් වඩා කාලයක් නිහඬවම තම කාර්ය කරමින් සිටි ඔහු මේසය මත වූ ජංගම දුරකතනය සාක්කුවට දාගනිමින් නැගිට්ටේ මා දෙස බලාගෙනය. තවත් මොහොතකින් ඔහු මගේ මේසය ඉදිරියට පැමිණියේ ප්රස්නාර්ථයක් දෙනෙතේ රදවාගෙනය.

"ඇයි පරක්කු වුණේ"

"ට්රැෆික්"

"ඉතින් කෝල් එකක් දුන්නැත්තෙ. මං මෙතන බය වෙනවා කියලා දන්නැද්ද"

"කෝල් එකක් ගන්න කාර් එක අයින් කරගත්තනම් එන්න තව වෙලා යන නිසයි කතා කරේ නැත්තෙ. ඒත් මං හිතුවෙ නෑ මෙච්චර පරක්කු වෙයි කියලා"

"ඔයා හිතන්නැතුව කරන දේවල් වලින් මං කොච්චර විදවනවද කියලා දන්නවද" එක්වරම නිකටින් අල්ලා මුහුණ එසවූ ඔහු මගේ දෑසේ වූ කැළඹිල්ල හදුනාගෙන මෙන් අත ඉවතට ගත්තේය.

"සොරි. මං ආයෙ එහෙම කරන්නෑ"

"කරන්නෑ නෙවෙයි. මං ආයෙ ඔයාට එහෙම කරන්න ඉඩ තියන්නෑ. මින් පස්සෙ දෝණි ගන්න යතොත් යන්නෙ මෙහෙ ඩ්රයිවර් කෙනෙක් එක්ක. තමන් ඩ්රයිව් කරනකොටනෙ ඔය ඔක්කොම ප්රශ්ණ" තරමක් දැඩි හඬකින් එසේ කියමින් පිටතට යන්නට ගිය ඔහු දොර අසලදී නතර විය.

"කාලද ආවෙ"

නොකා බව පවසා ඔහු තවත් කේන්ති කරවනවාද නැත්නම් බොරුවක් කියනවාදැයි සිතන්නට මට තවත් තත්පර දහය දොළහක් ගතවිය. අවසරයෙන් ඔහු යලිත් මා ළඟට ආවේ නිහඬ බව පිළිතුරක් කරගෙනය.

"ඇයි නොකා ආවෙ"

"කකා හිටියනම් තව පරක්කු වෙනවනෙ"

"ඔච්චර දුක් විදින්නෙ ඇයි චූටි මැණික" බොහෝ වේලාවකට පසුව ඇසුන ඔහුගේ පියවි හඬට මා හිස එසෙව්වේ සිනාසීගෙනය.

"මොකද හිනාවෙන්නෙ"

"ඔයාගෙ යකා ගියාද"

"යකා යනවා නෙවෙයි එනවා ඔයා මේ කරන වැඩ වලට. ඔයා මෙහෙ ඇවිල්ලා දුක් විදිනවා චූටි මැණික"

"මේ රස්සාව මට දුකක් නෙවෙයි, සතුටක්"

"කෙහෙල්මල් රස්සාවක් ගැන නෙවෙයි මං කතා කරන්නෙ. ඔයා ගැන. මගේ පව් වලට කරගහන්න ඇවිත් ඔයා දුක් විදිනවා "

"මට මේ හැමදේකින්ම ලැබෙන්නෙ ලොකු සතුටක්. ඔයා දන්නෑ මං කොච්චර සැහැල්ලුවෙන්ද මෙහෙ ඉන්නෙ කියලා. ගෙදර හිටියනම් අප්පච්චි මෙලහකටත් මාව කාගෙ හරි ඇඟේ ගහලා"

මගේ කතාවට කට කොණකින් සිනාසුන ඔහු කරවටා අත යවා මා ළං කරගනිද්දී මට දොර දෙස බැලුනේ ඉබේටමය. භාග්යා බණ්ඩාර මේ ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ වූ විකුම් ලෙව්කේ බණ්ඩාරගේ පුද්ගලික ලේකම් මිස එකම සොයුරිය බව දන්නා කිසිවෙකුත් කාර්යාලය තුල නැත. නොගැලපෙන විවාහයක් කරගත් බව පවසමින් අප්පච්චී ඔහුව පවුලෙන් පිටමන් කළේ මා සාමාන් පෙළ විභාගයට ලියන්නටත් පෙරය.

"කාගෙ හරි ඇඟේ ගහන්න ඔයාට මොනාද අඩු" මහපටඟිල්ලත් දබරඟිල්ලත්  නිකටට තබා ඔහු මහිස එසෙව්වේ තරවටු බැල්මක්ද සමගිනි.

"මට මොනාද තියෙන්නෙ ලොකු අයියා"

"හොද නම්බුකාර පෙළපතක් එක්ක වැදගත් දෙමව්පියො දෙන්නෙක් ඉන්නවා. ඔයා දන්නෙ නැතුවට ඔයාට පණටත් වඩා ආදරේ අයියලා තුන්දෙනෙක් ඉන්නවා. තව ඔයා හොදට ඉගෙනගෙන තියෙනවා. ලස්සන ගැන කියන්න වචන නෑ"

"එච්චරද"

"නෑ. ඔක්කෝටම වඩා ලස්සන හිතකුත් ඔයාට තියෙනවා චූටි මැණික. නැත්නම් මෙහෙම මං ළඟට ඇවිත් දුක් විද විද ඉදියිද"

"පිටින් බැලුවම හැමදේම තියෙනවා වගේ පෙනුනට හිතේ සතුටක් නැති ජීවිතයක් මොකටද ලොකු අයියෙ. මං හිනාවෙලා සතුටින් සැහැල්ලුවෙන් හිටියනම් හිටියෙ කැම්පස් එකේ හිටිය ටික කාලෙදි විතරයි"

"මං නිසා ඒකත් නැති වුණා" හඬේ වූ පසුතැවිල්ල මා අතින් වූ වරද තේරුම් කළද කටින් වචනයක් පිටවූ පසු එය නිවරදි කිරීම දුෂ්කරය.

"මං දැන් එහෙම එකක් කිව්වද. දෝණිගෙ හුරතල් කතා අහනකොට, මෙහෙම ඔයත් එක්ක වැඩ කරනකොට මට වෙන මොකක්වත් මතක් වෙන්නෙත් නෑ. මං මේ ඇත්තමයි කියන්නෙ"

"ඔයා ඔයාගෙ හිත රවට්ටා ගන්න ගමන් මාවත් රවට්ටනවා "

"මොකක්ද ලොකු අයියා වෙලා තියෙන්නෙ. අද ආව වෙලාවෙ ඉදන් එක්කො මට බණිනවා. නැත්තන් ඇනුම්පද කියනවා"

"ඔයා ඔයාගෙ ජීවිතේ හැමදේම දාලා මං ළඟට ආව එක කොච්චර ලොකු වැරැද්දක්ද කියලා මටත් තේරෙන්නෙ දැන්. මං නිසා ඔයා කොච්චර නම් දේවල් නැති කරගත්තද"

"ඔයා ඔය කියන තරම් මහ ලොකු දෙයක් මට නැති වෙලා නෑ. ඩිග්රි එක අවුරුද්දකින් පස්සට ගියා තමයි. ඒක හැටි දෙයක් නෙවෙයිනෙ. මොකෝ මං  ඒක අරන් ගෙදර ගියා කියලා අප්පච්චි මට රස්සාවකට යන්න දෙයි කියලද? නෑනෙ. මගේ හිතට දැනෙන මට නැති වුණ ලොකුම දේ අම්මයි අප්පච්චියි මාත් එක්ක තරහා වෙච්ච එක විතරයි"

"අප්පච්චිලගෙ හිතේ දැන් එහෙමට තරහක් නෑ චූටි මැණික. ඔයා එන්න ඩිංගකට කලින් අප්පච්චි මට කතා කරා"

"මොනාද අප්පච්චි කියන්නෙ. ෂුවර් එකට මට බණින්න ඇති"

"ඔයාට නෙවෙයි මට බැන්නා "

" මොකටද. මාව මෙතන රස්සාවට ගත්තු එකටද"

"මං ඔයාට දුක හිතෙයි කියලා නොකිව්වට ඒකට එදාම පළු යන්න බැන්නා. අද බැන්නෙ ඔයාව තනියම කාර් එකේ යැව්වා කියලා"

"ඒක හරි කතාවක්නෙ. ඔය මටත් වඩා පොඩි අය යසට තනියම යන්නෙ"

"අප්පච්චි කියන්නෙ ඔව්වා අපේ පවුල්වල ගෑණු ළමයි කරන වැඩ නෙවෙයි කියලා"

"අම්මයි අප්පච්චියි තාම ජීවත්වෙන්නෙ දහ අටවෙනි ශතවර්ෂෙ වුණාට මට දැන් එහෙම ඉන්න උවමනාවක් නෑ. මං කැම්පස් යන්න හදනකොටත් අම්මා කිව්වෙ ඔව්වා අපේ පරම්පරාවල ගෑණු ළමයි ගිය තැන් නෙවෙයි කියලා. ඇත්තමයි මං කැම්පස් ගියෙ හිච්චි අයියගෙ කටේ බලෙන්"

" ඒක මං දැනන් හිටියෙ නෑනෙ. මං හිතුවෙ විභාගෙ පාස් වෙලා කියලා"

"විහිළු නෙවෙයි ලොකු අයියා. ඔයාලා කොල්ලො නිසා ඒක එච්චර දැනෙන්න නැතුව ඇති. ඒත් මං කොච්චර දේවල් හිතේ හිරකරගෙන දුක් විදලා තියෙනවද?. මගේ වයසෙ ළමයි කරන කිසි දෙයක් කරන්න එයාලා මට පුංචි කාලෙදිවත් ඉඩ දුන්නෑ. අඩුගානෙ මට හයියෙන් හිනාවෙන්නවත් දුන්නෑ"

"දැන් ඒවා ගැන හිතන්න එපා චූටි මැණික. අප්පච්චිලා හිතන විදිහ අපිට වෙනස් කරන්න බෑනෙ.අනෙක එහෙම කරන්න ඕනිත් නෑ. කොහොමත් මං නිසා ඔයා අප්පච්චිලාගෙ හිත රිදවනවට මං කැමති නෑ. නිසා හෙටින් පස්සෙ දෝණි ගන්න වැඩෙත් මමම කරන්නම්. මට බැරි වෙලාවක විතරක් ඔයා යන්න. හැබැයි මෙහෙ ඩ්රයිවර් කෙනෙක් එක්ක"

"අප්පච්චි බැන්න එක ගැන එච්චර හිතන්න එපා අයියෙ"

"මගෙ හිතට වැදුනෙ අප්පච්චි කියපු දේවල් නෙවෙයි චූටි මැණික. පුංචම්මා කවදාවත් නැතුව අද මට දොස් කිව්වා"

"අම්මා මොනාද කිව්වෙ"

"ඒවා වැඩක් නෑ. මං කොහොමත් ඔයාව මෙහෙ තියාගන්නෙ දෝණි ඉස්කෝලෙ බාර දෙනකල් විතරයි. කියන්නෙ තව මාස තුනයි"

"මට බෑ ආයෙ ගෙදර යන්න. අප්පච්චි තාම ඉන්නෙ මාත් එක්ක කේන්තියෙන්"

"ගෙදර යන්න ඕන්නෑ. මං ඔයාව බාරදෙන්න කෙනෙක් හොයනවා"

"මාව බලාගන්න කවුරුවත් ඕන්නෑ. මට මං ගැන වගේම දෝණි ගැනත් බලාගන්න පුළුවන්. අයියට ඕනිනම් අයියා ආපහු මැරි කරන්න"

"මට කවදාවත් මීනුගෙන් එහා ලෝකයක් ගැන හිතන්ඩවත් බෑ චූටි මැණික. නැතත් අප්පච්චි කරපු වැඩේම මාත් කරලා මගේ දරුවටත් මට දැනුන වේදනාවල් දෙන්න මට ඕනි නෑ. පුංචම්මා මට වෙනස්කම් කරා කියලා මං කවදාවත් කියන්නෑ. ඒත් පුංචම්මට තව දරුවො ලැබෙනකොට, පුංචම්මට විතරක් නෙවෙයි අප්පච්චිටත් ඉබේටම මාව අමතක වුණා. අවුරුදු ගානකට පස්සෙ අප්පච්චිට ලොකු පුතාව මතක් වුණේ මං කැම්පස් සිලෙක්ට් වුණාට පස්සෙ. ඒත් මීනුගෙ ආදරේ ලැබෙනකොට අප්පච්චිගෙ ආදරේ මට ආයෙත් නැතුව ගියා. අන්තිමට මීනුගෙ ආදරේ වුණත් මට ලබාගන්ඩ පුළුවන් වුණේ කොයි තරම් පුංචි කාලෙකටද"

"අපි දැන් ඔය කතාව නතර කරමු ලොකු අයියෙ. ඔයා යන්න ගිය ගමන යන්න"

"මං සමන්ට කියාගෙන යන්නම් ඔයාට කෑම එකක් ගෙනත් දෙන්ඩ කියලා"

"බත් එපා. වෙන මොනාහරි"

"ෆ්රයිඩ් රයිස්. ඔයා කැමතියිනෙ"

"එපා. ෂෝට් ඊට්ස් මොනාහරි ගේන්න කියන්න"

ඔහු නික්ම ගියේ මහිස පිරිමැදගෙනය. අප්පච්චීගෙන් කිසිදාක නොලද දයාර්ද බව දෙනෙතට එක් කළ තෙතමනය බොහෝ වේලාවක් එලෙසෙම පැවතුනි. ලෙව්කේ බණ්ඩාර වලව්වේ එකම දරුවා වූ අප්පච්චීට වලව්වත් සමගම සරුසාර තේ වතු කිහිපයක්ම උරුමව තිබුණේ විවාහයත් සමගය. මා දන්න දා පටන් ඔහු සිය ජීවිතයෙන් වැඩි කොටසක් කැප කළේ ඒවා බලා කියා ගැනීමටය. දළදා මාළිගාවට කිරි ආහාර රැගෙන යන දිනක හැර ඔහු අප සමග පන්සලකට හෝ ආව මතකයක් මගේ හිත තුල නැත.කුඩා කළ පංතියේ යෙහෙළියන් නිවාඩු කාලයේ කළ සංචාරයන් ගැන කියද්දී කඳුළු සඟවාගෙන ඒවාට සවන් දෙන මා නිවසට ආ සැනින් අම්මාට කණ්නලව් කරන්නේ විනෝද චාරිකාවක් රැගෙන යන ලෙස ඉල්ලමිනි. ඇය එය අප්පච්චීට දැනුම් දෙන්නේ කිනම් මොහොතකදැයි නොදැන සිටියද පසුදාට ලැබෙන පිළිතුර ලබන නිවාඩුවට අප්පච්චිට විවේකයක් තිබුණොත් යමු කිව්වා යන්නය. ඒ උදා නොවන දිනය ගැන ඇඟිලි ගැනීම නිෂ්ඵල බව වයසින් වැඩෙත්ම තේරුම් ගත්තද ඒ ළමා කාලයේ අඳුරු මතකයන් හිතින් බැහැර කිරීම තවමත් දුෂ්කරය.


24 comments:

  1. අපූරුයි සද වියමන්. දෙවෙනි කොටසත් ඉක්මනින්ම දාන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දුමින්ද. පරක්කු නොකර ඉතිරි කොටස් ඉක්මණට දෙනවා

      Delete
  2. අපිට ලස්සන කතාවක් කියවන්න පුලුවන් වෙයි වගේ.. සඳවියමන් ලියන..

    ReplyDelete
    Replies
    1. වගේ කෑල්ල දිගටම තියාගන්න වෙයි. ලස්සන කෙසේ වෙතත් කතාවක් නම් කියවන්න පුළුවන් වෙයි.
      ස්තූතියි! ඔයාට

      Delete
  3. මේක ඔයාගෙද ? නැත්නම් සුජිව ප්‍රසන්න ආරච්චිගෙද?

    ReplyDelete
    Replies
    1. හි හි... මං මේ එයාට අභියෝග කරන්න යන්නෙ

      Delete
  4. ලස්සන කතාවක් වගේ අක්කේ... ඊලඟ කොටසත් කියවන්න බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. නිර්මාණිට හෙට අනිද්දට මේකෙ කමෙන්ට් එකක් දාන්න පුළුවන්

      ඔවාදෙනු පරහට-තමා සම්මතහි පිහිටා සිට කියලා

      Delete
    2. හික්ස්.... බලමුකෝ...


      ඒක නෙවෙයි ඔයා මට කතාවක් කියනවා කියුව.... කියල නෑනෙ ඒක...

      Delete
    3. නිර්මාණි,
      ඔයා හිතුවෙ මට ඒක අමතක වුණා කියලද?. නෑ මං බැලුවෙ ඔයා සිහි කල්පනාවෙන් ඉන්නවද කියලා (කියන්ඩ බෑනෙ අර එලවපු භූතයා ඔයාට වහලා තිබ්බොත් )

      Delete
  5. හොඳයි ඉතුරු හරියත් බලමුකො.

    ReplyDelete
  6. කතාව රසයි සඳා...දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! පොකිරු. රස කෙසේ වෙතත් දිගටම ලියන්නම්

      Delete
  7. වැඩිය නිතර අහුවෙන්නෙ නැති කතන්දරයක් වගේ... උනන්දුවෙන් ඉන්නෙ ඉතුරු කතා බලන්න.ඔන්න මුලින්ම කිව්වා මැදින් නවත්තන වැඩ,කල් අදින වැඩ ඔට්ටු නෑ හොඳේ.. හුදී පාඨක ජනයා වෙනුවෙන් ලු කිව්වෙ. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරි හරි මං ඔය ඔට්ටු නෑ කියන එකට ඔට්ටුයි. මාත් ඉතිං පාඨකයෙක් විදිහට ඔය කියන අපහසුතා විදින නිසා මගේ පාඨකයින්ට ඒ අපහසුව විදින්න දෙන්ඩ අදහසක් නෑ. ඒත් ඉතිං හදිසි අලකලංචියක් වුණොත් තමයි පොරොන්දු කඩ කරන්න වෙන්නෙ

      Delete
  8. හරි රසවත් ලස්සන කතාවක්..

    ReplyDelete
  9. //"බත් එපා. වෙන මොනාහරි"//

    //"ෆ්‍රයිඩ් රයිස්. ඔයා කැමතියිනෙ"//

    විකුම් ලෙව්කේ බණ්ඩාර කැම්පස් ගිහින් ලොකු කම්පැණි එකක මැනේජින් ඩිරෙක්ටර් වුනත් දන්නේ නැහැ වගේ "ෆ්‍රයිඩ් රයිස්" හදන්නෙත් බත් වලින් කියලා.:D

    මම නම් මුලින් කියවන් එනකොට හිතුවේ මේ වෙනින් සම්බන්යදයක් ගැන.ඔන්න බලන්නකෝ අපේ උපකල්පන වරදින හැටිත්.

    ReplyDelete
    Replies
    1. විකුම් ලෙව්කේ බණ්ඩාර කැම්පස් ගිහින් ලොකු කම්පැණියක ලොක්කෙක් උනත් පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ව්‍යවහාරෙ තියෙන වචන. අනික් පැත්තෙන් එයත් ටිපිකල් වැඩිහිටියෙක්. නංගි බත් එපා කිව්වම, හා ඔය එපන්නෙ රයිස් ඇන්ඩ් කරීනෙ, ඒ වුණාට ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන්නෙ වගේ දෙයක් නෙවෙයිද එතන අදහස් වෙන්නෙ.

      ඕනි එකක්. ඒක ඔයාට කැමති හැටියකට දැක්කට මට මොකෝ.

      මල්ලි ඔය උපකල්පන කියන වචනෙ ඇතුලෙම වැරදීම් වෙන්ඩ ඉඩ තියෙනවා කියන තේරුම තියෙනවා නේද?. ඒක නිසා ඔයා උපකල්පන කියන ඒවා අනුමාන වලට වඩා වරදිනවා.

      Delete
  10. අදයි පලමු කොටස කියෙව්වේ. හොඳ කතාවක් වගේ. වෙලාව ලැබෙන විදිහට අනිත් හතරත් කියවන්නම්. තව සතියක් විතර යනකල් ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔයා විවේක පාඩුවේ බලන්න කසුන්. පහුවෙන තරමට ඔයාට ලේසියි. එක දිගට වැඩි කොටස් ගානක් කියවන්න පුළුවන්නෙ. මං මේ දවස් ටිකේ යාළුවන්ගෙන් බැණුං අහන එකේ ඉවරයක් නෑ චුට්ට චුට්ට ලියනවා කියලා

      Delete