Monday, May 2, 2016

සකුරා සුවඳ 5 (සකුරා මල් පිපීම හා හනාමි-ii)

සකුරා සුවඳ 4 (සකුරා මල් පිපීම සහ හනාමි-i)
ජපානයේ සකුරා පිපීම ඇරඹෙන්නේ පහළම ඇති ඔකිනාවා වල සිට  ඉහළ ඇති හොකයිඩො දෙසට ක්‍රමයෙන් පැතිරෙමිනි. තෝක්යෝව ඇතුළු මැද කොටසේ සකුරා පිපීම ඇරඹෙන්නේ මාර්තු දෙවන තුන්වන සතිය වනවිටය. සීත කාලය අවසන් වනවිට ජපාන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ එක් එක් ප්‍රදේශයේ සකුරා පිපීම ඇරඹෙන දවසුත් සම්පූර්ණයෙන්ම මල් පිපෙන දවසත් (Full bloom/peak) සකුරා අපිට සයෝනරා කියන දවසත් පුරෝකතනය කරයි.සකුරා පිපෙන කාලයේ ජපානයේ සුන්දරත්වය බැලීමටත් ජපනුන්ට කොයි තරම් පිස්සු තිබෙනවාදැයි බලාගන්නටත් කැමති අයෙකු ජපානයට පැමිණිය යුත්තේ මේ මාර්තු අවසන් සතියේ හෝ අප්‍රේල් ආරම්භයේදීය.
ජපන් භාෂාවෙන් "හනා" කියන්නෙ මලටය."මිරු" කියන්නෙ බලනවාටය. මේ දෙක සන්ධි කර "හනාමි" කියන්නෙ සකුරා බලනවාටය.හනාමි යනු පෙරහැර කාල වලට පෙරහැර බලනවා වැනි අපූරු ඉවෙන්ට් එකක් නිසා ජායාරූප සමග ඒ ගැන  වැඩ් විස්තර පසුවට.
සකුරා වර්ග දෙසිය ගනනක් පමණ ජපානයේ ඇති අතර වඩාත් සුලභ වර්ගය සුදු හෝ ලා රෝස පැහැතිය.මේ සකුරා විශේෂය අනුවත් මල් පිපෙන කාලය මෙන්ම පිපීමට සහ පරවීමට ගතවන කාලය වෙනස්ය. සකුරා ගස ආසන්න වශයෙන් සමාන කළ හැකි ගහකට මට මතක් වන්නේ ජෑම් ගස පමණි. නමුත් පැරණි සකුරා ගස් ජෑම් ගස් වලට වඩා විශාලය.
සකුරා පිපෙන කාලය ජපානයේ ජීවත්වෙන ඕනෑම කෙනෙකු ආසාවෙන් බලාසිටින කාලයකි. ඒ කාලයට හිතට දැනෙන නැවුම් හැඟීමත් මොකද්දෝ කියන්නට නොතේරෙන අමුතු උද්යෝගයත් මට යන්තමින් හෝ සමාන කළ හැක්කේ අප කුඩා කාලයේ අවුරුදු කිට්ටු වනවිට දැනුන හැඟීමටය. මේ හේතුව නිසාදැයි මා හරියට නොදන්නා මුත් ජපානයේ බොහෝ වැඩ ආරම්භ වන්නේත් උපාධි ප්‍රදානෝත්සව ආදිය පැවැත්වෙන්නේත් මේ කාලයටය. ජාත්‍යන්තර කටයුතු වලදී සාමාන්‍ය කැලැන්ඩරයට වැඩ කටයුතු කළත් ජපාන මුදල් වර්ෂය ඇත්තේ අප්‍රේල් පළවෙනිදා සිට ඊළඟ මාර්තු 31 දක්වාය. පාසල් වලට අළුතින් ළමුන් ඇතුලත් කර ගන්නේත් විශ්ව විද්‍යාල ආදියට ළමුන් ඇතුළත් කරගන්නේත් මේ සකුරා පිපෙන අප්‍රේල් මුල් සතියේය. විශ්ව විද්‍යාල වලින් මාර්තු අවසානයේ උපාධි ලබාගන්නන් සිය වෘත්තීය දිවිය අරඹන්නේද අප්‍රේල් පලවෙනිදා හෝ ඉන්පසුව එලඹෙන මුල්ම වැඩ කරන දවසටය (මාර්තු අවසානයේ උපාධිලාභී වී අප්‍රේල් පළමුවනදා වැඩට යන්න කරන රැකියා දඩයම (Job hunting) ගැන විස්තර පසුවට )

මේ තියෙන්නෙ මල් පිපෙන්න ඔන්න මෙන්න ගස් පේළියක්



මේ තියෙන්නෙ මල් පිපෙන්න පටන් ගත්තු ගහක අත්තක්







එක ගහක එක අත්තක මල් සිය දහස් ගණනක් පිපෙන අතර ඒ වනවිට මේ ගස්වල කොළ එකක්වත් නොමැති නිසා (ඉහත පිංතූරය මල් පිපී හැලෙන්නට ඔන්න මෙන්න තිබියදී ගත් එකක් නිසා එහි අලුත් කොළ කිහිපයක් බලාගත හැක ) සකුරා ගස් යටින් ඇවිද යනවිට දැනෙන්නේ රෝස වියනක් යටින් යන බවය.






පහළින් ඇත්තේ පහුගිය වසන්තයේ (2015) සකුරා පිපෙද්දී  මා වත්පොතේ සටහන් කල නිසදැසකි


සුසිඳු මල්පිළි පළස අතුරා
රෝස දෙතොලේ රහස් තවරා
හොර හොරෙන් සවණටම කොඳුරා
මුමුණන්නෙ මොනවාද සකුරා

සකුරා පිපීම ඇරඹී සතියක් පමණ යනවිට ක්‍රමයෙන් පෙති හැලීමට පටන් ගනී. සුළග සහ වැස්ස එහි වේගය තීරණය කරමින් රෝස වියන් යටින් යාම වෙනුවට රෝස පලස් මතින් ඇවිද යාමට කාළය උදා කරවන්නේ අපට ජීවිතයේ අනිත්‍ය බවද මෙනෙහි කරවමිනි.
මේ පහත ජායාරූපයේ දැක්වෙන්නේ මා පෙර සටහනේ සරත් සමයේ හා ශීත කාලයේ ජායරූප පෙන්වූ පොකුණ අසල සකුරා පිපුණ, පරවෙන සහ ඉන් ටික දිනකට පසු තත්වයයි.




මේ පහතින් තිබෙන්නේ මල් හැලෙන්නට පටන් ගත් ගසක ස්වභාවයයි. සාමාන්‍යයෙන් එක රැයකින් දෙකකින් මුළු ගසේම මල් පිපෙන අතරම ඉන් දවස් 10-12ක් යනවිට මේ පෙති සියල්ල හැලී ගස් වල කොළ දළුලන්නට පටන් ගනී.




















කාලය මැව් වෙනසක අරුමේ




හනාමි ගැන විස්තරය ඊළග සකුරා සුවඳින්













20 comments:

  1. ඕක දැක්කම මතක් වෙන්නේ කොළඹ විහාර මහදේවි උද්‍යානය ගාවදි රොබරෝසියා ගස්වල මල්පිපිලා තියෙන විදිහ. දිග මදි බන්ල ලියපන්කො මිට වඩා දිගට. කොට කොට දාන්නේ නැතිව . විනාඩි 5ක් වත් කියවන්න දෙයක් නැහැ මොන මඟුල්කද මේ. ඊළඟ එක් ඉක්මනට දාපන්. ආපු දවසක පොතක්වත් ගාහන්න බැරියා මාළු බැම ගැන උගන්වනවන ගමන්.

    ReplyDelete
    Replies
    1. හි හි ... ඇත්ත නේන්නම් මාත් කියවලා බැලුවා . විනාඩි තුනයි.
      ෆොටෝස් එක්ක දානකොට ගොඩක් දාන්න අමාරුයි ( බොහෝවිට ඒ ගැන මගේ දැනුම මදි නිසා). ෆොටෝ දෙකක් අතර කිලෝමීටරයක් විතර දුරක් හිටිනවා. මම ඉස්සර පෝස්ට් වලට ෆොටෝ දාලා නැති නිසා වැඩි පළපුරුද්දකුත් නෑනෙ.
      ෂුවර් එකට ඊළග කොටස දානවා පැයක් දහයෙන් බෙදලා කියවන්න

      Delete
  2. මේ විස්තරේ ඇහුවම ඒ අද්දැකීම ලබන්න තරම් ආසාවක් ඇති උනා..

    ලංකාවේ සකුරා පිපුනනම් මේහෙ කාලගුණ දෙපාර්තමේන්තුව මොනව කියයි ද කියලා මං මේ කල්පනා කළේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ කාළගුණේ එහෙම උනානම් මොනා කියයිද?
      "ඉදිරි සති දෙක ඇතුළත දිවයිනේ සෑම ප්‍රදේශයකම සකුරා පිපෙනු ඇත. මල් හැලෙන කාලය මල් පිපීම ආරම්භ වූ පසු දැනුම් දීමට හැකිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි"

      Delete
  3. යටම පින්තූරෙ ගැලපෙන විදියකට දැම්ම නං පට්ට ගති ඈ...
    අර පිංතූරෙ උඩ ලියල තියෙන කවියත් ලස්සනයි...
    හනාමි... අපිත් එන්ටෙයි

    ReplyDelete
    Replies
    1. ගැලපෙන විදිහ මොකක්ද කියලා ලියලා තිබ්බනම් ඒ විදිහට හදන්න තිබ්බා ඇ...
      මහේෂ් දකුණු පළාතෙ කෙනෙක්ද?..
      හනාමි එනවනම් ලබන් මාර්තු 20 න් පස්සෙ එන්න

      Delete
  4. ස්තුතියි ගොඩාරියක්.....ගොඩක් දේවල් දැනගත්තා ....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි! මෙතූ....ඒත් දැනගන්න තරම් මහ ගොඩක් විස්තර නම් තිබුනෙ නෑ කියලා මං දන්න්නවා

      Delete
  5. නොරිකො මතක් වෙනවා.. ජපානෙ ගැනම ලියල ඇඟ බේරගන්නෙ නැතුව තව මොනාහරි ලිව්ව නම් නරකද..

    ReplyDelete
    Replies
    1. වෙන දේවල් ඔය කවදා කොහේ ඉදන් ලියන්න බැරිද?. ජපානෙ ඉන්න කාලෙම ජපානෙ ගැන ලියන්න මම කැමතියි.

      Delete
  6. අක්කා නිසා සකුරා ගැන ඔන්න මටත් දැන් ඉතින් පොඩි වැටහීමක් තියෙනවා.

    වේලිච්චි දර ඉපල් වගේ ගස් තිබ්බාට එව්වා මැරිලා නැහැ.අතු අග පොහොට්ටු පිරිලා මලට ඇහරෙන්න දෙන්නේ නැතුව තියන් ඉන්නේ.
    මල් පිපෙනකොට ගහේ කොළ නැහැ.මල් විතරමයි.
    ගහේ කොළ එන්නේ මල් පිපිලා අවසන් වී ගෙන එනකොටයි.

    ඔන්න අක්කාගේ "සකුරා පාඩමෙන්" මම ඉගෙනගත්ත දේ පොඩ්ඩක් සංශික්ප්ත කෙරුවා.

    ReplyDelete
    Replies
    1. ෂා...අන්න නියම ගෝලයෙක්. ඔයාට උගන්නපු ගුරුවරු නම් මාර වාසනාවන්තයි.

      එක්කො ඔයා මේ කිව්වෙ "අක්කෙ මේ....ඔයා මේ ෆොටෝ කෑලි දදා මහ ලොකු දෙයක් කියනවා වගේ කිව්වෙ මෙන්න මේ ඩිංගනෙ කියලා"

      අපේ සර් කෙනෙක් හිටියා ලෙක්චර් එක ඉවර වෙන්න විනාඩි පහක් විතර තියලා අර පැයක් තිස්සෙ පටලා පටලා කියා කියා හිටිය ටික "මට කියන්න ඕනි උනේ මෙන්න මේකයි" කියලා අන්තිමට වචන දෙක තුනකින් කියන කෙනෙක්. ඔයාගෙ කමෙන්ට් එක දැක්කම මට සර්ව මතක් උනා. මං හිතන්නෙ අපේ ඔළුවට ගිය දෙයක් තියෙනවනම් ඒ අර අන්තිම විනාඩි පහේ කියන ටික.

      Delete
    2. //අන්න නියම ගෝලයෙක්. ඔයාට උගන්නපු ගුරුවරු නම් මාර වාසනාවන්තයි.//

      අනේ මට උගන්නපු ගුරුවරු කිසිම කෙනෙක් මේ බ්ලොග් කියවන්නේ නැහැනේ.එහෙනම් මට ඒ අයට මේ සහතිකය යවන්න තිබුණානේ.

      //එක්කො ඔයා මේ කිව්වෙ "අක්කෙ මේ....ඔයා මේ ෆොටෝ කෑලි දදා මහ ලොකු දෙයක් කියනවා වගේ කිව්වෙ මෙන්න මේ ඩිංගනෙ කියලා"//

      අනේ අම්මේ මම එහෙම කිව්වේ නැහැ අක්කේ.මම අක්කා කිව්ව එව්වා මතකයට දාගත්තේ එහෙමයි.

      ඔන්න දැන් ගෝලයෝ මෙහෙම කිව්වා කියලා ඊගාව පාඩම අපිට උඩින් පල්ලෙන් කියලා දෙනවා එහෙම නෙමේයි ඕන්.

      Delete
    3. ඔයාගෙ ගුරුවරු බ්ලොග් නොකියවන එකනම් හරි අපරාදයක්.

      ඊළඟ පාඩම උඩින් පල්ලෙන් කියලා දුන්නම ඇති කියලා තමයි මටත් හිතුනෙ. ඒත් ඉතින් අනතුරු ඇඟවීම ඔයා කලින්ම කරලා නිසා එහෙම ඇඟ බේරාගන්නත් බැරිවෙයි.හනාමිය මං හෙටින් ඉවර කරනවා.

      Delete
  7. හනමි ඇස නොගැටි ම
    සකුරා දේශයෙන් නික්මුණෙමි
    දිනෙක මතු පැමිණෙමි
    සපුරා රෝස සිහිනයෙ කිමිදෙමි...
    එතෙක්
    ඉපල් හිත් කොණ
    සකුරා මොට්ටු පූදින
    දිනක් ගැන ඇඟිලි ගණිනෙම්...

    ReplyDelete
    Replies
    1. හනාමි සති දෙකක් වගේ පුංචි කාලෙකට සීමා වෙච්ච දෙයක් නිසා ඒ වෙනුවෙන්ම එන කෙනෙකුට ඇරෙන්න අනෙකුත් බොහෝ දෙනෙකුට ඒක මඟ ඇරෙන්න තියෙන ඉඩ වැඩියි.

      තරූගෙ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ඨ වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා

      Delete
  8. සකුරා මල් නුවරඑලිය බදුල්ල පැත්තේ හදන්ඩ බැරිද?

    ReplyDelete
    Replies
    1. බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙ නම් හිතන්න අමාරුයි. ඒත් උත්සහ කරොත් නුවර එළියෙ බැරි වෙන එකක් නෑ. මොකද ඇපල් හැදෙනවනෙ. සකුරත් ඒ පවුලෙ ගහක් නිසා ගහ අනිවාර්‍ය යෙන්ම හැදෙයි කියලා හිතන්න පුළුවන්.

      Delete
  9. සකුරා සුවඳයිද
    ලස්සනට හැඩ වැඩට
    උඩුවියන් පාවඩින් සරසන
    සකුරා මල් සුවඳයිද?

    එකම තැන විවිධකාල වලදි ඡායාරූපගත කරල ඉදිරිපත් කරලා තියෙන හැටි අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සකුරා වලට දූරියන් සුවඳ ලැබුනනම් කොහොමද කියලා මං දැන් අවුරුදු තුනක් තිස්සෙ කල්පනා කරනවා.

      ඔයාගෙ ප්‍රශ්ණෙට හරි උත්තරේ ඊළඟ පෝස්ට් එකේ ලියලා තියෙන නිසා මං දැන් ඒ උත්තරේ නුදුන්නට අමනාපයක් නෑනෙ ගස් ලබ්බ. ඒක අද දවසෙ පෝස්ට් වෙන්න නියමිතයි...සකුරා සුවඳයි...හරියට සුදු අරලිය මලක් වගේ සුවඳයි

      ඔය එකම තැන කාලෙන් කාලෙට පින්තූර අරන් තියාගෙන ඉන්නෙ අම්මටයි අප්පච්චිටයි පෙන්නන්න. එයාලා නොදැක්ක ලෝකෙ මට දකින්න සැලැස්සුවට මං දකින ලෝකෙ මට එයාලට පෙන්නන්න පුළුවන් ඔය පිංතූර වලින් විතරයි.

      Delete