Friday, August 12, 2016

හරි පුදුම ඉස්කෝලෙ-4

හරි පුදුම ඉස්කෝලෙ -2
හරි පුදුම ඉස්කෝලෙ -3


මා පෙර සටහන් වලින් කිව්වේ ජපානයේ දරුවෙකු එක වසරට ඇතුළු කරගන්නා ආකාරයත් පාසලට ඇතුළු වීමේ උත්සවයත් පිළිබදවය. මෙතැන් සිට ඔවුන් හරි පුදුම ඉස්කෝලය තුල කාලය ගත කරන ආකාරයත් ඉගෙන ගන්නා ආකාරයත් තේරුම් ගත හැක.
පාසල තුල දවස ගෙවන හැටි ලියන්නට පෙර පාසලට රැගෙන යායුතු දෑ ගැන සදහන් කළ යුතුය. බීමට ජලය පංති කාමර වලට යාබදව ඇත. දහවල් 2.40 හෝ 3.30 තෙක් පාසල පැවැත්වෙන නිසා දිවා ආහරයද පාසලින් සපයන නිසා දරුවන් නිවසින් කෑම බීම රැගෙන යායුතු නැත (මේ කෑම ලබාදීම වෙනම සටහනකින් ලිවිය යුතු නිසා ගැන වැඩි විස්තර පසුවට ). පොත්පත් වලින් සමහරක් පාසලේ තබා ආවත් දිනපතා රැගෙන යායුතු පොත් කිහිපයක් ඇත. මින් ප්රධානම එක වන්නේ ගුරු දෙගුරු සම්බන්දතාවය පවත්වා ගන්නා "රෙන්රකුචො" නම් පොතය. මේ පොත පාසලට ඇතුල් වන දින පාසලින්ම ලබාදෙන්නේ සිපර් එකකින් ඇරීම වැසීම කළ හැකි "රෙන්රකුබුකුරො" නම් විනිවිද පෙනෙන  බෑගයක් සමගිනි. ගූගලයා මේ "රෙන්රකුබුකුරො" සිංහලයට පරිවර්තනය කරන්නේ "අප අමතන්න මල්ල" ලෙසය. පරිවර්තනයේ මටසිළුටු බව කෙසේ වෙතත් ඉන් මේ මල්ලෙ කාර්ය්බාරය මොනවට විග්රහ කරයි. පාසලින් දෙමව්පියන් වෙත එවන සියළු තොරතුරු පත්රිකා එවන්නේ මේ මල්ල තුලය. දෙමව්පියන් පාසලට යමක් යැවීම සඳහා යොදාගන්නේද ක්රමයයි. තුල ඇති පොත මගින්ද පංතිභාර ගුරුවරයාට දෙමව්පියන්ට පණිවිඩ ලබාදිය හැක.
Renrakubukuro

පංතිකාමරයේ පිටුපස දරුවන්ගේ උසට සරිලන උසකින් සවිකල බෝඩ් එකක එකේ සිට අංක යෙදූ ලැමිනේට් කළ කුඩා හැඳුනුම්පතක්  රදවා තිබේ. එහි යතුරු කටුවක් තිබෙන නිසා එය ඇඳුමට සම්බන්ද කරගත හැක. මගේ පෙර සටහනේ සඳහන් කළ පරිදි සෑම දරුවෙකුටම පංතිය තුල අංකයක් ඇති නිසා දරුවන් පංතියට ගිය වහාම පොත් පත් අදාල තැන් වල තබා තමාගේ අංකය ඇඳුමට අමුණාගෙන, එතනම තබා ඇති කුඩා මේසයක් මතින් "රෙන් රකුබුකුරො" තැබිය යුතුය. දරුවෙකුට පාසල් යාමට නොහැකි වුවත් මේ රෙන් රකුබුකුරෝ පාසලට එවිය යුතුය. සදහා දෙමව්පියෙකුට පාසලට යාම හෝ වෙනත් ළමයෙකු අත මෙය යැවීම සහ හැන්දෑවෙ නැවත ලබා ගැනීම කළ හැක. නමුත් මේ ජපානය නිසා එයද හිතුමනාපෙට කළ නොහැක. පාසල පටන් ගන්නා දිනයේම එය එවන්නේ කා අතද යන්න මල්ලේම තැනක සඳහන් කළ යුතුය. ළමුන් සියළු දෙනා තමාගේ අංකය පැළඳගන්නා නිසා නොපැමිණි ළමුන් හඳුනාගැනීම ගුරුවරයාට පහසුය.
මීට අමතරව දිවා ආහාරය ගන්නා විට මේසය මතට එලා ගැනීමට ලොකු ලේන්සුවකුත්, කට වට ආදිය පිහදා ගැනීමට තවත් කුඩා ලේන්සුවකුත්, ආහාර බෙදන තැනට යනවිට භාවිතා කිරීමට මුඛ වැස්මකුත් දිනපතාම පාසලට රැගෙන යායුතුය. මේ තුන දමාගෙන යාමට "ක්යුෂොකුබුකුරො" නම් කුඩා රෙදි බෑගයක් ඇති අතර එය පාසැල් බෑගයේ පැත්තකින් සවිකළ හැකිවන ලෙස පාසැල් බෑගය සකසා ඇත. මා පෙර සටහනක සඳහන් කළ පරිදිම කැමති පාවහන් පැළද පාසල යා හැකි වුවත් පාසලේදී පැළදීමට කැන්වස් සපත්තු ඇත. මීට අමතරව ශාරීරික අභ්යාස වලදී අඳින ඇඳුම් කට්ටලයක් (කොට කලිසමක්, ටී ෂර්ටයක් සහ තොප්පියක් ) ඇත. සපත්තු සහ මේ ඇඳුම සෑම සඳුදාවකම පාසලට රැගෙන ගොස් සිකුරාදාට හෝ සෙනසුරාදාට (මසකට සෙනසුරාදාවන් දෙකක්ද උදේ වරුවේ පමණක් පාසැල් පැවැත්වේ ) නිවසට ගෙනවිත් සෝදා පිරිසිදු කර නැවත රැගෙන යා යුතුය. මේ සපත්තු දැමීමට වෙනම මල්ලක්ද, ඇඳුම් වලට වෙනම මල්ලක්ද ඇත.  පංති කාමරය තුල මේවා තැබීමටද වෙනම තැන් ඇත.

පාසැල් බෑගය සහ සපත්තු  සහ ක්‍රීඩා ඇඳුම් ගෙනයන බෑග්

පාසැල් බෑගයේ පැත්තකින් එල්ලෙන්නේ Kyushokubukuro




විවිධ සමාජ ජාල වලින් දෙන පණිවිඩ නිසා බොහෝ දෙනෙකු සිතා සිටින්නෙ ජපානයේ ප්රාථමික පාසැල් වල අකුරු ඉගැන්වීමක් නොකරන බවය. එය සහමුලින්ම වැරදි අදහසකි. අකුරු ඉගැන්වීමක් නොකර සිරිත් විරිත් ආදිය පමණක් උගන්වන්නේ පෙර පාසැල් සහ දිවා සුරකුම් වලය.
ජපානයේ දියුණුවත් අනාගතයත් පවතින්නේ විද්යාව හා තාක්ෂණය මතය. මේ නිසා ප්රාථමික අධ්යාපනයේ සිටම විද්යාවට හා ගණිතයට මුල් තැනක් ලබාදේ. මීට අමතරම ජපන් භාෂාව ඉගැන්වීමද එක වසරේ සිටම පටන් ගනී. බොහෝ දෙනෙකු දන්නා පරිදි ජපානයේ මූලිකවම අක්ෂර වර්ග තුනක් භාවිතා වේ. ඒවා හැඳින්වෙන්නේ "හිරගන", "කතකන" සහ කන්ජි යනුවෙනි 
හිරගන සහ කතකන ජපානයට සීමා වූ ඔවුන්ගේම අක්ෂරය. අක්ෂර ලෙස හැඳින්වුවද මේවා ශබ්දය. මූලික ශබ්ද 46 ක් සහ තවත් ඒවා එකතු වී ඇති සම්පූර්ණ හිරගන ගණන 114 කි. හිරගන භාවිතා කරන්නේ ජපන් භාෂාවේ වචන, ක්‍රියාපද ආදිය ලිවීමටය. වෙනත් භාෂාවන්ගෙන් තත්සම වූ වචන ලිවීමට භාවිතා කරන්නේ කතකනය. උදාහරණයක් ලෙස "කේක්" සැලකිය හැක. කේක් වලට ජපන් භාෂාවේ වෙනත් වචනයක් නැත. ඔවුන් මෙය කියන්නේ "කේකි" ලෙසය. ඒ ඔවුන්ගේ ශබ්ද වල "ක්" නැති නිසාය. මේ නිසා හිරගන හෝඩියට අනුරූප කතකන හෝඩියක්ද ඇති අතර මා හිතන හැටියට එහිද අකුරු 114 ක් තිබිය යුතුය. කන්ජි යනු චීනයෙන් රූපාක්ෂර වන අතර ඒවා දහස් ගණනක් පවතී. ඉන් 1016ක් එක වසරේ සිට හය වසර දක්වා (ප්රාථමික පාසැල ) කාලයේ දරුවෙකු ඉගෙන ගත යුතුය. එනිසා එක වසරට නිර්දේශිත කන්ජි ප්රමාණය 80 කි. දෙක වසරට 160 කි.
එක වසරේදී ළමුන් අකුරු ඉගෙනීම අරඹන්නේ හිරගන වලිනි. කුඩා දරුවන් සදහා ඇති පොත් පත්ද මේ නිසා ඇත්තේ හිරගන වලිනි. අප්රේල් මුල් සතියෙන් ඇරඹී ජූලි දෙවන සතිය දක්වා ඇති පළමු වාරයේදී "ජපන් භාෂාව" යටතේ දරුවන් ඉගෙන ගන්නේ මේ හිරගන 114 (මට මතක හැටියට ). ඊළඟ වාර දෙකේදී කතකන 114 හා කන්ජි 80 ක් උගන්වනු ලැබේ. මා මේ ගැන සංඛ්යාත්මකව ලියා තැබුවේ බොහෝ දෙනෙකු තුල ඇති වැරදි අවබෝධය ඉවත් කළ යුතු නිසාය.  ලාංකික අපිට ජීවිත කාලයටම ප්රමාණවත් වන සිංහල අකුරු ප්රමාණය මෙන් පස් ගුණයක් අකුරු ජපානයේ එක වසර දරුවෙකු ඉගෙන ගත යුතුය.
a Kanji home work (Oct 14)



ගණිත සංකල්ප ඉගැන්වීම ඉතාම නිර්මාණාත්මක ක්රමවේදයකින් වේගයෙන් සිදු කිරීමද මා නිරීක්ෂණය කළ දෙයකි. මගේ පුතාගේ පොත්පත් සියල්ල මේ වනවිට  ඇත්තේ ලංකාවේ නිසා මට ගැන විස්තර කිරීම අපහසු නමුත් මට මතක හැටියට එක වසර අවසන් වන විට සංඛ්යා දෙකක් ඇති ඉලක්කම් එකතු කිරීම්, අඩු කිරීම්, සංඛ්යා රටා, සම්මත මිනුම් වලින් මැනීම් ආදී බොහෝ දේ උගන්වා තිබුණි. දිනපතාම ගණිතය සහ භාෂාවට අදාල අහ්යාසයක් ගෙදරදී කරගෙන එන්නටද ලැබේ. 




ඊට අමතරව දිනපතා කීප වතාවක් එදිනට නිර්දේශිත පාඩමක කොටසක් කියවා එය කී වාරයක් කියෙව්වාද, නිවරදිව කියෙව්වාද, ආදී කරුණු දෙමව්පියන් ලවා සලකුණු කර මවගේ හෝ පියාගෙන් අත්සන් කරගෙන යායුතුය. ඒ සදහා වෙනම කාඩ් පතක් ඇති අතර එහි ඒ ඒ දිනයට කියවිය යුතු පිටු සඳහන් වේ. මෙය මේ භාෂාව ඉගැන්වීමේදී යොදාගන්නා වැදගත්ම ක්‍රියාමාර්ගයකි. මේ පාඩම් පොත් සකස් කර ඇත්තේ ඒ ඒ දින වලට ඉගෙන ගන්නට ඇති අකුරු පමණක් ඒ ඒ කොටස් වලට යෙදෙන ලෙසය. එය හරියට මහාචාර්ය ජේ බී දිසානායකයන්ගෙ අකුරු මිහිර පොතක් වැනිය. මුල් පාසැල් වාරය අවසන් වන විට දරුවන්ට කියවන්නට ඇති පාඩම් වල හිරගන සියල්ල ඇතුලත්ය. පළමු වසර අවසන් වන විට හිරගන, කතකන, හා ඔවුන් ඉගෙනගත් කන්ජි 80 ඇතුළත් වන පරිදි පාඩම් කියවන්නට ඔවුන්ට අවස්ථාව ලැබී තිබේ.

භාෂාව සහ ගණිතයට අමතරව දරුවන් ඉගෙන ගන්නා තවත් විෂයන් ගනනාවක් තිබුණි. අතර ඉංග්රීසි, සංගීතය, ශාරිරික අධ්යාපනය, නිර්මාණ, ආරම්භක විද්යාව වැනි විෂයක් සහ තව නම් මතක නැති කිහිපයක් තිබූ බව මතකය. සංගීතය සඳහා එක වසරේ සිටම මෙලෝඩිකා වාදනය පුහුණු කරවයි. අනෙකුත් විෂයන් වලදී ඉගැන්වූ දේවල් වෙන් වෙන් වශයෙන් කීම අපහසු වුවත් දරුවෙකුට තමාගේ වටපිටාව හොඳින් හඳුනාගෙන ජීවත් වීමට එක වසරේ සිටම උගන්වයි. පරිසරය සහ සොබාදහම සමග දරුවන් බොහෝ සමීප කරවයි.පාසැල් යාම ආරම්භ වූ සතියේම පාර මාරුවෙන ආකාරය පොලීසියෙන් පැමිණ උගන්වා තිබුණි. සදහා කුඩා වීඩියෝ පට කිහිපයක් භාවිතා කර තිබූ අතර ඉන්පසු දරුවන් පාරට රැගෙන ගොස් වර්ණ සංඥා හඳුන්වා දී පාර මාරු වීමට ඉඩ සලසා තිබුණි.මේ මොන තරම් දේ ඉගැන්වුවත් වාර විභාග කිසිවක් ප්‍රාථමික පාසල් අධ්‍යාපනයට ඇතුළත් නොවීම විශේෂත්වයකි. නමුත් ගුරුවරුන් දරුවන්ගේ මට්ටම ගැන තමාට අදහසක් ලබා ගැනීමට වරින් වර කුඩා ප්‍රශ්ණ පත්තරයක් ලබාදේ. ඒ මගින් දුර්වල දරුවන් හඳුනාගන්නා අතර ඔවුන් නිවාඩු කාලයේ පාසලේ පැවැත්වෙන අමතර පංතියකට සහභාගී විය යුතුය.
සෑම පාසැල් දරුවෙකුම පංති කාමරයෙන් පිටත් ඇති කොටසක පැළයක් වැවීම සිදු කිරීම මා මේ පාසලේ දුටු විශේෂත්වයකි. සදහා බීජ සහ පෝච්චි පාසලෙන ලබා දෙයි. එක වසරේදී අපේ පුතාලගේ පංතියේ සියල්ලන්ටම ලැබී තිබුණේ මල් වර්ගයකි. වැලක් ලෙස හැදෙන එයට ඉහළට යාමට ආධාරක සවිකල පෝච්චියක් ලබා දී තිබුණි. බීජය පැළ කළ දිනයේ සිටම වතුර දමා එය හොඳින් නඩත්තු කිරීම සෑම දරුවෙකුගේම වගකීමක්ය. ඊට අමතරව ඔවුන් ගැන වාර්තාවක්ද සැකසිය යුතුය. එහිදී එය පොළවෙන් ඉහළට මතු වූ දිනය, මල් පිපීම ආරම්භ වූ දිනය ආදී සියල්ල සටහන් කර රූප ඇද තමාගේ පැළය ගැන සටහන ලිවිය යුතුය. ජූලි මැද සතියෙන් ඇරඹෙන සති හයක ගිම්හාන නිවාඩුවේදී මෙය නිවසට ගෙනවිත් නඩත්තු කර නැවත පාසැල් ආරම්භ කළ පසු පංතියට ගෙන යා යුතුය.
එක වසරේදී සරල මල් පැළයක් ලැබුණද දෙක වසරේදී අපේ පුතාගේ පංතියෙ ළමුන්ට බීජ වර්ග හතරක් ලැබී තිබුණි. ගර්කින්, තක්කාලි, මාළු මිරිස් වර්ගයක් සහ බණ්ඩක්කා හතරය. මේවායේ ඵල හටගත් පසු ඒවා යොදාගෙන "පස්ටා" වේලක් පිළියල කර එය දිවා ආහාරය ලෙස ගැනීමද මව්වරුන් කිහිප දෙනෙකුගේ සහයෙන් දරුවන්ම කරගෙන තිබුණි.
මේ පැළයක් වැවීමට ඉගැන්වීම ඉතා හොඳ දිරිමත් කිරීමකි. අපි කන සියළු එළවළු වැවීමට අදහස් කරගෙන සිටි අපේ පුතා ගෙදර කෑමට ගෙනා අර්තාපල් අලයක් යන්තමින් පැළ වී තිබෙනු දැක එයද සිටවා අස්වැන්නක් ගන්නට සමත් විය.

පාසැල් දිවා ආහාරය සහ සෙසු විස්තර ඊළඟ සටහනින්











16 comments:

  1. අර පැලේ වර්ධනය ගැන සටහන් ලියන්න ඕන දරුවමද?? ඉතිං දරුවා එතකොට හිරගත වත් හරියට දන්නෑනේ ටීචර්..

    ReplyDelete
    Replies
    1. නැත්තං. දේශකයා හිතුවෙ ලංකාවෙ වගේ අම්මලා හෝම් වර්ක් කරනවා කියලද.

      ඕක නං එයාලා කරලා තිබ්බෙත් ඉස්කෝලෙදිම. ළමයෙකුගෙන් මහා දෙයක් බලාපොරොත්තු වෙන්නෑනෙ. එතන වැදගත් වෙන්නෙ දරුවෙක් පැළයක් හැදෙන හැටි මල් පිපෙන හැටි නිරීක්ෂණය කිරීමනෙ. ඉතින් ඔය රූප ඇඳලා දින දාලා දන්න අකුරු වලින් වචන කීපයක ලියන එකයි කරන්නෙ. අපේ ගෙදර ඒ පොත ඇති. මං ෆොටෝ එකක් ගෙන්නගෙන මේකට අමුණන්නංකො

      Delete
    2. අන්න එහෙම එන්න.. හැක්..

      Delete
    3. එකේ ළමයෙකුගෙ වැඩක් කිව්වම එකේ විදිහට හිතන්න පුරුදු වෙන්න. කැම්පස් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි ඒක

      Delete
  2. අපූරුයි සදවියමන්. ළමයෙක්ට කුඩා කලසිටම ගස්වැල් වලට ආදරයක් ඇතිවෙනවා ඔයවගේ වැඩවලින්. කුරුණෑගලත් එක ඉස්කෝලෙක මෑතකදී 4, 5 පන්තිවලට පැල සිටුවීම් වැඩසටහනක් කරලා. ළමයි ආසාවෙන් ඉස්කෝලෙ යනවලු. ඉස්කෝලෙ පටන් ගන්න පැය භාගයකට කලින් ඒවාට සාත්තු කරන්නත් ඕනේලු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමින්ද ලංකාවෙ එහෙම ඉස්කෝල තියෙනවා. අපේ පුතා දැන් යන ඉස්කෝලෙත් ඒ වගේ ගහ කොළ පිරුණු අපේ රටේ ඉස්කෝල එක්ක සසදනකොට දරුවො පරිසරයට ගොඩක් සමීප කරන අපූරු ඉස්කෝලයක්.

      හැබැයි අපි ඒකට දැම්මෙ එහෙම දෙයක් දැනගෙන නෙවෙයි මාතර හැම ඉස්කෝලෙකටම ගිහින් කතා කරලා අන්තිමට පුතාව ගන්න කැමති වෙච්ච ඉස්කෝලෙ ඒක නිසා. එදා අපිට යන්න ඉතුරු වෙලා තිබ්බෙ ඒකයි තව එකකුයි විතරයි. කොහොම වුණත් ඒ අහම්බය වාසනාවන්ත අහම්බයක් වෙලයි තියෙන්නෙ දැන්.

      Delete
  3. //ජපානයේ දියුණුවත් අනාගතයත් පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මතය. //

    සම්පූර්ණයෙන්ම පාහේ එකඟයි.

    ඔවුන්ගේ ක්‍රමය රැකගැනීමට ජපාන් ජාතිකයන්ට ඇති හැකියාව කොයිතරම්ද කියන එකෙනුත් ජපානයේ අනාගතය තීරණය වෙනු ඇති බව මගේ විශ්වාසයයි.

    ..............................................................................................
    නුතන ජපානයේ පියා ලෙස සැලකෙන "සකමොටෝ ර්යෝමා" නම් දුප්පත් "ටොස" සමුරායිවරයාගේ මැදිහත් වීමෙන් සහ "නකඔක ෂින්තරෝ", "තකෙඉචි හම්පෙයිද" ටොස සමුරායිවරුන්ගේ එකතුවෙන්; එකිනෙකා ඝාතනය කරගත් "සත්සුමා" සහ "චුෂෝ" සමුරායි කණ්ඩායම් එක් කර "තොකුගව ශෝගුම්" සමුරායි කණ්ඩායම පරදවා ජපන් අධිරාජ්‍යයට කිරුල පවරමින් නුතන ජපානයට බිහිකිරීමේ 1868 වසරේ "මෙඉජි විප්ලවය" ගැන විස්තරාත්මක ලියවිල්ලක් ජපන් කතා ගැන සිංහල බ්ලොග් සටහන් වලට මේ නිවාඩුවේ දී එක් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා, ඔයාගෙ අදහසට මමත් එකඟයි. මට මතක හැටියට මං ඒ ගැන ජපනුන්ගෙ සිරිත් විරිත් ගැන ලියපු තැනදි සදහන් කළා. මෙතනදි මං ඒක නොලිව්වෙ මට මෙතනදි කියන්න ඕනි වුණේ උගන්වන විෂයන් ගැන සහ ජපානය ගැන නිසයි. කොහොම වුණත් ඔය තුනේ අපූරු සංකලනයක් සහ ජාන වලින්ම එන තවත් ලක්ෂණ කිහිපයක් නිසා ඔවුන් මේ අපූරු රට ලෝකයේ බොහොම සුන්දර තැනක් බවට පත් කරගෙන තියෙනවා කියලා තමයි මටත් හිතෙන්නෙ.

      ඔය සමුරායි කතාව අර හිරොෂිමා වගේ වෙන එකක් නෑනෙ (විහිළුවට කිව්වෙ ඒක ඔයා සාධාරණ හේතුවක් නිසා නොලියන්න ඇති කියලා හිතෙනවා )

      මට ඔය ෂෝගුන් ලා ගැනත් ජපන් ඉතිහාසය ගැනත් හදාරන්න හදිස්සියේම මාර ආසාවක් ඇති වුණා පහුගිය සතියක ක්යොතො ට්‍රිප් එකක් ගිහින් ඇවිත්. අපි ගියා අර සමුරායි කෙනෙක් බිරින්දෑවො 33 ක් සහ ළමයි 55 ක් එක්ක හිටිය නිජෝ කාස්ල් බලන්න. නරක වෙලාවට ඒක මේ දවස්වල අළුත්වැඩියා කරන නිසා සම්පූර්ණයෙන් බලන්න බැරි වුණා. ඒත් අපිට ලැබුණ මග පෙන්වන්නා ඉතිහාසය හොඳට දන්න හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් වෙච්ච නිසා තව තව දේවල් ගැන හොයන්න ඉතිහාසය හදාරන්න ආසාවක් ඇති වුණා. ඒත් මේ ටිකේ වෙලා නෑ 18 ෆයිනල් ඩිෆෙන්ස්.

      ඒ නිසා අර හිරොෂිමා තාම බලන් ඉන්නවා වගේ ඔය සමුරායි කතන්දරේ කියවන්න ආසාවෙන් මඟ බලන් ඉන්නවා

      Delete
    2. සඳවියමන්, තරුණ ජපන් (ගැහැණු) ළමයි ජංගම දුරකථනය පසුපස සාක්කුවේ දාගෙන යන එක එහෙම පොඩි කලේ ඉදලම එයාලට පුරුදු කල දෙයක් බව මම අසා තිබෙනවා. ඒ වගේම සමාජයේ හෝ පරිසරයේ යම් ගැටළුවක් තිබේ නම් ඔවුන්ගේ විසදුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුලත් කිරීම මගින් ඔවුන් බොහොම සාර්ථක ප්‍රතිඵල ලබපු බව අසා තිබෙනවා. ඒ පුහුණුව හරිම පුදුමාකාර ලෙස සාර්ථකයි. ඔබ කියා ඇති විදියටම ජාන අතින් බැලුවත් ඔවුන්ගේ ජාන වෙනස්කම් තිබෙන්නේ සාපේක්ෂව ඉතා කුඩා පරාසයක. වසර 3000ක් පමණ තිස්සේ මිශ්‍ර නොවුණු ජාතියක් බව අසා තිබෙනවා.

      හිරෝෂිමා ගැන නම් ඇත්තටම වුනේ එහිදී සියල්ල බලාපොරත්තු වුන විදියටම සරලව සිදුවීම නිසා තවත් ලියන්නට ප්‍රමාණවත් දෙයක් නැතිවීමයි. හිරෝෂිමා සාම කෞතුකාගාරය ගැන ලියාතිබෙන්නේ...නමුත් ඡායාරුප නැතිව එම ලියවිල්ලෙන් වැඩක් නෑ. සාම කෞතුකාගාරය තුල ඡායාරුප අන්තර්ජාලයට එක්කිරීමට අවශ්‍ය ලිඛිත අවසරය මම ලබාගත් විගස එය සම්පූරණ කල හැකියි.

      සාමාන්යෙන් නම් ජපානයේදී ෆයිනල් ඩිෆෙන්ස් එකේදී, ප්‍රයිමරි ඩිෆෙන්ස් එකේ තරම් අභියෝගාත්මක ප්‍රශ්න එන්නේ නැති බවයි මගේ අදහස. 頑張れ

      Delete
    3. කෙන්කියුෂා....මං ඔය ජංගම දුරකතන සිද්ධිය නං දන්නෑ. මට එහෙමට ඒක නෝට් වෙලත් නෑ. මං ගොඩක් දැකලා තියෙන්නෙ අර ඇඟේ කෑල්ලක් වගේ තුන් තිස්පැයේ හරහට දාගෙන ඉන්න පොඩි බෑග් එක ඇතුළෙ ඔය අඩුම කුඩුම ඔක්කොම තියාගෙන ඉන්නවා. පොඩි ළමයිනම් ෆෝන් එක කරේ එල්ලගෙන ඉන්නවා තමයි මං නිතර දැකලා තියෙන්නෙ.

      ඒ කතාව කොයි හැටි වෙතත් ඔයා ඔය කියන සමාජයේ හෝ පරිසර ගැටළු අධ්‍යාපනයට ඇතුළත් කිරීම නං හරි කියලා මාත් හිතනවා. අපේ කැම්පස් එකේ කරන බොහොමයක් පර්යේෂණත් ඒකට උදාහරණයක්. ලෝකෙ අනෙක් අය මොනා කරත් මෙයාලට වැදගත් වෙන්නෙ එයාලගෙ අනාගත පරිභෝජන රටාවට තර්ජනයක් වෙන තැන් වලට පිළිතුරු සොයා තැබීම.

      වසර 3000 ක් තිස්සෙ මිශ්‍ර නොවුන ජාතියක් බව දැනෙනවනෙ ඔවුන්ගෙ චර්යාවෙ තියෙන සමානාත්මතාවයෙන්. දැන් අවුරුදු එක්දාස් ගානක් තිස්සෙ පැවත එන්නෙත් එකම අධිරාජ්‍ය පරම්පරාවක් කියලත් අහන්න ලැබුණා. තව පරම්පරා දෙකකටත් ඒක අනිවාර්‍යෙන්ම එහෙම පවතියිනෙ.

      ඔව් අපෙත් ෆයිනල් ඩිෆෙන්ස් එකේදි කමිටි එකෙන්නං මුල් එකේදි තරං ප්‍රශ්ණ එන්නෑ කියලයි මාත් හිතන්නෙ. ඒත් ඒක පබ්ලික් ෂෝ එකක් නිසා එන ප්‍රශ්ණ විවිධාකාරයි

      ありがとうございました

      Delete
  4. ඔය කියන විස්තර වලින් සෑහෙන ප්‍රමාණයක් අපේ රටෙත් තියෙනවා.කොටින්ම ගස්ලබ්බ අත්විඳල තියෙනවා.එකම අවුල දැන් පහ වසර ශිෂ්‍යත්වෙට ක්ලාස් දාගෙන ඒ මදිවට ගුරුවරුන් ව ලිපිකරුවන් කරවන වැඩසටහන් නිසා සැබෑ අරමුණු යට ගිහින්.
    ගණිතය ඉගැන්වීම කෙසේවෙතත් දියකිරීම නම් බොහොම ජයට කෙරෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බ, ඔව් අපේ රටෙත් ඔය කියන දේවල් තියෙනවා තමයි. මං මේ ඉස්කෝලෙ විස්තරේ කියනවා මිස අපේ රටේ ඔය තත්වය නෑ කියන එක මේ ලිපි වලින් අදහස් කරන්නෙත් නෑ.

      මං පුංචි කාලෙ ගිය ඉස්කෝලෙ වත්තෙ අපි බඩ ඉරිඟු හිටවලා ඒවා කරල් පැහුනම අල්ලපු ගෙදරින් ලොකු මුට්ටියක් ගෙනත් ඉස්කෝලෙදිම ඒවා තම්බලා කාපු මිහිරි මතකයක් මටත් තියෙනවා.

      දෑනටත් ලස්සනට එළවළු පළතුරු දරුවන් විසින්ම වවන සහ නඩත්තු කරන පාසැල් අපේ රටේ තියෙනවා. මං ගිය අවුරුද්දෙ දවසක නිල්දණ්ඩාහින්නෙ ඉස්කෝලෙකට ගියා, එළවළු වවලා තීය්න අපූරුව දැක්කම හරිම ආසා හිතෙනවා.

      අපේ පුතා දැන් යන ඉස්කෝලෙත් හරිම ෂෝක්. ශිෂ්‍යත්වෙටත් ඒකෙත් වැඩ කරවනවා. හැබැයි ළමයි මරවලා නෙවෙයි බොහොම ආකර්ශණීය විදිහට. අපේ පුතා මෙහෙන් යනකොට (තුන වසර අන්තිම සති 5-6 ) සිංහල භාෂාව ඒ වයසෙ සාමාන්‍ය ළමයෙකු මට්ටමට පෑහෙන තරම් නොතිබ්බ නිසා අපි ක්ලාස් ටීචර්ගෙන් ඇහුවා මෙයාව අමතර පංතියකට දාන්න වෙයිද කියලා (මොකද අපි දන්න අපේ හිතවත් ගුරුවරයෙක් පුතාගෙ වැඩ බලලා කිව්වා මෙයාව මොන්ටිසෝරි ටීච කෙනෙක් ළඟට දාලා එතන ඉදලම හදන්න ඕනි කියලා....හහ් හා). ටීච ඕනි නෑ මං හදාගන්නං කිව්වා. කිව්ව විදිහටම ටීච ඒක කරා.

      මං මේ රටේ විස්තර ටික ලියලා ඉවර කරලා අපේ පුතාගෙ දැන් ඉස්කෝලෙයි, ඒ ප්‍රින්සිපල් සහ ටීච ගැනත් ලියන්න හිතා ඉන්නවා.

      මගේ අයියගෙ පුතත් අපේ පුතාගෙ වයස. අක්කා මට මේ ඊයෙ පෙරේදාවක කිව්වා එයාට නිවාඩු මාසෙම වගේ ඉස්කෝලෙන් පංති දාලා තියෙනවලු, දවසට පැයක් දෙකක් නෙවෙයි පැය ගානක්. දරුවන්ට නිවාඩු කාලයක් දෙන්නෙ මොකටද කියලා හිතන්න බැරි ඉස්කෝල සහ ගුරුවරු.

      Delete
  5. ඒ පිළිවෙල, හරිම අපූරුයි.. ආකර්ෂනීයයි...

    අක්කේ පොඩි දෙයක් අහන්න තියනවා.. අක්කේ විශේ‍ස අවශ්‍යතා ඇති ළමයිට වෙනම පාසැල තියනවාද? එහෙම නැත්නම් සාමාන්‍ය ළමයින් එක්කම ඉගෙණ ගන්නවාද කියලා දැනගන්න කැමති...

    ගොඩක් ආසාවෙන් කියවන ලිපි මාලාවක්නේ මේක.... ඉතුරු ලිපි ටිකත් ඉක්මනින් දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, ඔව් විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් වෙනුවෙන් වෙනම පාසැල් තියෙනවා. අපි ඉස්සර හිටිය කිට්ටුවත් එහෙම එකක් තිබ්බා. ඒකෙ සමහර දරුවො හවසට පුතාලගෙ ගකුදො එකට ආවා. හැබැයි මං ඒවා ගැන විස්තර නං මොකුත් දන්නෙ නෑ තියෙනවා කියලා විතරක් දන්නවා

      Delete
  6. හැමදාම වගේ අදත් ලස්සනට පිළිවෙලට ගොඩක් විස්ටර කීවට පින් ඔයාට. කරන හුගක් දේවල් පෙරපාසල් කාලයේදී එහෙමත් නැත්නම් අවුරුදු 3 න ඉහල ලමන්ගේ දිවසුරකුම් වලත් ඒ විදිහටම කරනවා. චුටි කලේ ඉඳන්ම හැමදෙයක්ම පුළුවන් විදියට ගැලපෙන ලෙවෙල් එකකින් කරනන් පුරුදු කරන එක හුගක් සාර්ථක ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ. සංගීතය පුංචිම කාලේ ඉඳන් පටන් ගත්තේ, අවුරුදු 4 න පස්සේ මෙලොඩිකා ගහන්නත් කියල දෙනවා පුතාලගේ පෙරපාසලේ. පැ ල ඉන්දන එකත් එහෙමයි. අවුරුදු දෙකේදී ලොකු පන්තිවල අය ඉන්දන ඒවා බලන් ඉන්න, අවුරුදු 3 දී ටීචලා හිටවල දෙන පැළවලට වතුර දාන්න,අවුරුදු හතරේදී හෝ පහේදී තමන්ම හිටවල වතුර දාන්න, අස්වැන්න නෙලන්න, ඒවාට එන කෘමින් අහුලන්න වගේ වැඩ කරනවා මන් දැකල තියෙනව. අපේ පුතත් ඒ නිසා ගෙදර පැල හිටවල වතුර දල ගෙඩි කඩනවා. හැබැයි ගෙඩි කඩද්දි ගසුත් ගැලවෙනවා ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔව් නිරෝ මේ ගොඩක් දේවල් පටන් ගැනෙන්නෙ පෙර පාසැල්- දිවා සුරකුම් වල ඉදලා තමයි. අපෙ පුතා දිවා සුරකුමේ හිටියෙ මාස පහක් විතරනෙ. මට ඒ නිසා ඒ ගැන තියෙන අත්දැකීම් අඩුයි. පොඩි අය දිවා සුරකුම් වලදි දවාලට කාලා නිදියනවා නේද?. අප්‍රේල් ඉස්කෝලෙ යන්න ඉන්න අයට වින්ටර් වැකේෂන් එකෙන් පස්සෙ එහෙම නිදාගන්න දෙන්නෑ. හුරු කරවනවා කෑමෙන් පස්සෙ ඇහැරලා ඉන්න.

      අපේ බැල්කනියෙ ගොඩක් ජාති හිටවලා තිබ්බා. එක පාරක් පුංචි කෘමි උවදුරක් ආවා. ඕකට අපේ පුතා "ඉන්නකො ඕකට හොඳ බෙහෙතක් හදන්න" කියලා සබනුයි තව මොනා හරියි දාලා ස්ප්‍රේ කළා. ඒවත් ඉස්කෝලෙන් ඉගෙනගෙන තිබ්බෙ.

      ඔයා මේ විස්තර ටික එකතු කරපු එක හොඳයි. මමත් ඕවා පොඩි කාලෙ ඉදලම පුරුදු කරවන ඒවා කියලා දැනන් හිටියට ඔච්චර විස්තර දැනන් හිටියෙ නෑ

      Delete