Wednesday, July 13, 2016

උරුමය - හතරවන කොටස


පළවෙනි කොටස මෙතනින්





තෙමසක කඩිනම් ඉංග්රීසි පාඨමාලාවකින් පසු ඇරඹි සරසවියේ පළමු අධ්යන සමාසිකය තරම් මහිතේ පිබිදීමක් ඇතිකල කාලයක් නොවීය. බාලිකාවකම අකුරු කළ මා පිටස්තර පිරිමින් ඉදිරියේදී ඇතිවන සබකෝලී බවින් අත් මිදුනේ සරසවියට පැමිණි පසුය. හඬ නගා කතා කිරීම සේම සිනාසීමද මට තහනම් වූයේ වැඩිවිය පැමිණීමටත් පෙරය. මතක දා සිටම අත්විදි අනේක තහනම් බාධක සියල්ල ඉවත් වූයේ සරසවියට පැමිණි පසුය. අක්කර තුනක විශාල වත්තක් මැද පිහිටි අපේ සුවිසල් නිවහනේ නොතිබි නිදහසක් සරසවි නේවාසිකාරයේ කුඩා කාමරය තුල මා අත්විදින්නට ඇත්තේ එහෙයිනි.                      


දේශණ නිමවී නේවාසිකාගාරයට යාමට පෙර ආපනශාලාවට වී තේ බොමින් එකිනෙකාගේ විස්තර කතා කරමින් මඩ ගසා ගැනීමත් සරසවියේ ගත කළ කාලයේ අපේ පුරුද්දක් විය. විහිළුවක් කළ විට සිනාසීම හැර මා වැඩි කතාබහකට යොමු නොවන්නට ඇත්තේ පුරුද්දටය.


"භාග්යා මොකද වැඩි කතා නැත්තෙ" දෙවන වසර සිසුවෙකු වූ නලින්ද ඇසුවේ බොහෝ වේලාවක් මා දෙස බලා සිටීමෙන් අනතුරුව විය යුතුය. දෙවන වසර සිසුවෙකු වුවද ඔහු නිතර අප සමග ගැවසුනේත්, කාඩ් එක වෙනුවට ඔහුට නම කියා කතා කරන්නට අප පුරුදු වූයේත් මගේ යෙහෙළියක් වූ මනූජා ඔහුගේ පාසැල් මිතුරියක් නිසාය.


"භගීගෙ අප්පච්චි කියලා තියෙනවා කියන්නෙ අඩුවෙන් කතා කරලා වැඩියෙන් සවන් දෙන්න කියලලු" කටකාරියක වූ මනුජා කියද්දී මට සිහියට නැගුනේ හිච්චි අයියාය.  ඔහු මට එසේ කියා තිබුණේ වරක් දෙවරක් නොවේ


"ඇත්තද භාග්යා"


"මං දන්නෑ"


"ඔයත් දන්නෙ නැත්තං කවුද දන්නෙ"


"කිව්ව කෙනාගෙන්ම අහගන්න"


"කිව්ව කෙනා කියන්නෙ කවුද?. අප්පච්චිද නැත්තං මනූජද"


"මං දන්නෑ"


"ඔයා එතකොට දන්නෙ මොනාද කියන්නකො. ඔයා වගේ ලස්සන කෙල්ලෙක් දැක්කම මං වගේ හැන්ඩ්සම් කොල්ලෙකුට පිස්සු හැදෙනව කියලවත් දන්නැද්ද" ලේ පුරා කම්මුල රත් වෙමින් තිබුණද මට ඔහු දෙස යන්තමින් රවා බලන්නට හැකි විය. අපේ මේසය වටා වූ සියල්ලෝම සිනාසෙමින් සිටියද මා සිටියේ නලින්ද කෙරෙහි වූ කෝපයෙනි.


"කාලෙකින් කණ්නාඩියක් ළඟට ගිහින් නැද්ද කොහෙද. පව් අප්පා" කියමින් මනූජා නලින්දට සරදම් කර සිනාසුනේ අතින් මුව වසාගෙනය.


"උඹ හිටපන් පාඩුවේ. මං කතා කරන්නෙ භාග්යා එක්ක" කියූ නලින්ද යලි මා වෙත හැරුනේ "ඉතින් කියන්නකො භාග්යා ඔයා ඒකවත් දන්නැද්ද" අසමිනි.


"මං දන්නෑ ඔය මොකවත්"


"මොකවත්ම දන්නෙ නැත්තං දවසක ගන්න මිනිහට දෙයියන්ගෙම පිහිට තමයි" එවරද සියල්ලෝම කොක් හඬලා සිනාසෙන්නට ගත්තේ මා රතු කරවමිනි.


"මොකද මේ කට්ටියම වට වෙලා කැකිරි පලන්නෙ" අසමින් මා අසලම වාඩි වී උන් නලින්දගේ දෙවුරට දෑත් තබමින් අපේ කතාවට සහභාගී වූ අමුත්තා නෙත ගැටුන නිමේෂය මට අදටත් විදිහටම මතකය. හදිසි අකුණකින් පරිපථ සියල්ල අක්රිය වූවා සේ තත්පර කිහිපයක්ම මා සිටියේ සිතින් සිහිසුන්වය. අප්පච්චිගේ දෑසේ වූ නොසැලෙන බව, හිච්චි අයියාගේ මා ප්රියකල වාග් විලාශය සේම අයියලා තිදෙනාම සතු වූ මහා පෞරුෂය මා එකවිට ඔහු තුලින් දුටුවාද එසේත් නැත්නම් සියල්ලෝම  එකවිට මැවී පෙනුනාද යන්න අදටත් සිතාගන්නට අපහසුය.


"කාටද දැන් කට්ටියම එකතු වෙලා මඩ ගහන්නෙ"


"භාග්යාට"


"කවුද අප්පෙ ඒ භාග්‍යවන්ති" කියමින් ඔහු මා දෙස බැලුවේ සිනාසීගෙනය. බොහෝ වේලාවකට පසු මට සිනාසෙන්නට මතක් වූයේ එවෙලෙහිය.


"වෙන කවුද ඉතින් ඔය ගැට්ටයියා නේත් පූජාව දාගෙන ඉන්න ගැටිස්සි මිසක්" මා නැවත වරක් දෑස් ඉදිරියේ අසරණ වූයේ අපට ඉදිරිපස අසුනක සිටි අංජනගේ කතාවටය.


"දැන් මොකටද කට්ටියම භාග්යාට මඩ ගහන්නෙ"


"අහන අහන දේට මං දන්නෑ කියනව. ඊට පස්සෙ මං බොහොම චූටි ප්රශ්ණයක් ඇහුවා. එතකොට කියනවා මං ඔය මොකවත් දන්නෑ කියලා. අපි  හිනා වුණේ කවදහරි ගන්න මිනිහට දෙයියන්ගෙම පිහිටයි කියලා"


"ගන්න මිනිහට දෙයියන්ගෙ බැරිනම් කපුවගෙ පිහිට හරි ලැබෙයිනෙ. ඉතින් ඒකට  මොකටද උඹ ඔච්චර නලියන්නෙ. නම නලින්ද නිසාද"


"ඔන්න ඔන්න ඉතින් ගැට්ටයියත් මට උදැල්ල දාන්න එනවා" කියා ගැට්ටා නමින් ඔවුන් හැඳින්වූ ආගන්තුකයාගේ බඩට වැලමිටෙන් අනිමින් නලින්ද ජනේලයක් දෙසට දිව ගියේ පිටතින් ඇසුන ගීතයක හඬත් සමගය.


"ඒයි අන්න රුහුණෙ වීදි නාට් එනවා. මුං එක්ක කයිය ගහන්න ගියාගෙන් ඒකත් අමතක වුණාට මං මේ පැත්තට ආවෙම ඕක බලන්ඩ. බටයා කිව්වා  ඒකෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා" කියමින් ඔහු ආපන ශාලාවෙන් පිටතට දිව්වේ අපටත් අඬගසමිනි.


"යමු භගී" මනූජා නැගිට්ටේ පවනිගේ අතින් අදිමින් මා දෙස බලමිනි.


"ඔයාලා යන්න මනූ. මං මෙහෙමම හොස්ටල් යනවා" වරක් නෝක්කාඩුවෙන් මෙන් මා දෙස බැලූ ඇය පවනිගේ අතින් ඇදගෙනම ගොස් ආපනශාලාවෙන් පිටතට යන සිසුන් අතරට එක්විය. කුඩා විහිළුවකට කේන්ති ගන්නට හෝ හිත රිදවාගන්නට තරම් සරසවි ශිෂ්යාවක බොළඳ විය යුතු නැතැයි මගෙ සිත මටම කොඳුරන්නට වූයේ එවිටය.


"පුංචි විහිළුවකට ඔය තරං හිත කලබල කරගන්ඩ එපා භාග්යා" අපේ මේසයේ සිටි සියල්ලෝම වීදි නාට් බලන්නට ගිය බව සිතා සිටි මා හිස හැරෙව්වේ හඬටය. මා කලබල වූයේ විහිළුවට නොව, ආගන්තුක බැල්මට බව මටම තේරුම් ගන්නට තවත් තත්පර තිහ හතලිහක් උවමනා විය.


"මොකද පාර බයවෙලා වගේ. බයවෙන්ඩ එපා මං නතර වුණේ ඔයාව ගිලින්ඩ නෙවෙයි" සංසුන් වීමට උවමනා වුවත් ඔහු අසලදී මට මාව පාලනය කරගැනීම දුෂ්කර විය.


"මං සමීර. මේ මගේ තර්ඩ් ඉයර් එක" ඔහු ඔහුව හදුන්වා දුන්නේ මගේ දෑස් දෙස එක එල්ලේම බලාගෙනය. මට කතා කරන්නට තබා හුස්මගන්නට පවා අපහසු වූ වග ඔහුට නොදැනෙන්නට ඇත.


"භාග්යාගෙ ගෙවල් කොහෙද"


"නුවර"


"ටවුම කිට්ටුවද"


"ලේවැල්ලෙ"


"චුට්ටක් ඔහොම ඉන්නකො. අපි තේ එකක් බිබී කතා කරමු" කියමින් ඔහු නැගිට්ටේය.


"මං තේ බීලා ඉන්නෙ"


"එහෙනං අයිස්ක්රීම් එකක් කමු" මගේ අවසරය ලැබෙන්නටත් පෙර ගිය ඔහු යලි ආවේ චොකලට් අයිස්ක්රීම් දෙකක්ද රැගෙනය. එය තරම් මා කැමති කෑමක් ආපනශාලාවේ නොමැති වුවද තිබහට ප්ලේන්ටියක් බොන සරසවි සිසුන් අතර විශේෂ අයෙකු වන්නට තිබූ අකමැත්තට මමද හැමදාමත් කරන්නේ ප්ලේන්ටියක් බීමය.


"කැමති මොනවටද අහන්නැතුව ගෙනාවට සමාවෙන්ඩ. මේ දෙක විතරමයි තිබ්බෙ" කියමින් ඔහු අයිස්ක්රීම් කප් එකක් මා අසලින් තැබීය.


"තෑන්ක්ස්"


"කන්න. අපි කන ගමන් කතා කරමු. මට කොහොමත් වැඩි වෙලා මෙතන ඉන්නත් බෑ. ක්ලාස් එකකට යන්න තියෙනවා"


"ක්ලාස්"


"ඔව්. මං ඉන්න ගමන් ඉන්ඩිවිජුවල් ක්ලාස් කරනවා ලෙවෙල් කරන ළමයි කීප දෙනෙකුට"


"අයියා මොන ෆැකල්ටියේද"


"ඔයාලගෙ එකේමයි. ඇයි මීට කලින් මාව දැකලා නැද්ද"


"නෑ"


"මට ඉතින් අනික් අයට තරං කැන්ටින් එකේ ඉන්ඩ වෙලාවක් නෑනෙ. වීක් එන්ඩ් එකේ මට ක්ලාස් නිසා මගේ ක්ලාස් ඔක්කොම වගේ තියෙන්නෙ වීක් ඩේ වල. ඉතිං ලෙක්චර් එකක් තියෙනවනම් විතරයි කැම්පස් එකට එන්නෙ. ආවත් හවස් වෙනකල් ඉන්නෑ දුවනවා. පහුගිය ටිකේනම් මට කොහොමවත් එන්ඩ බැරි උනා ලොකු අක්කගෙ වෙඩිං එක නිසා" කියමින් හිස් බදුන් දෙක අතට ගත් ඔහු එය කසල බදුනට දැමීය


"ඔයා දැන් හොස්ටල්නෙ යන්නෙ. යමු මාත් එන්නං"


"මට තනියෙන් යන්ඩ පුළුවන්"


"පේනවා චණ්ඩියෙක් බවනම්. මාත් යන්නෙ පැත්තට. ඒකයි යමු කිව්වෙ. යන ගමන් කතා කරන්ඩ බැරියැ" විරුද්ධත්වයක් පෑමට ඉඩ නොතබමින් ඔහු ඉස්සර විය.


"භාග්යාගෙ ගෙදර තව කවුද ඉන්නෙ"


"අම්මයි අප්පච්චියි අයියලා තුන්දෙනයි"


"ෂා... නමටටම හරියන ලකී ගර්ල් කෙනෙක්නෙ. අයියලා බැඳලද"


"හිච්චි අයියා තාම බැඳලා නෑ"


"එතකොට එයාද අර සිකුරාදා හවසට රතුපාට කාර් එකකින් ඇවිත් ගේට්ටුව ගාව කට්ට කන්නෙ"


"ඔව්. අයියා කොහොමද දන්නෙ"


"අයියලා තුන්දෙනෙක් ඉන්න නංගියෙකුගෙ බෝයි ෆ්රෙන්ඩ් හවස් වෙලා කැම්පස් එක ළඟට ඇවිත් එක්ක යනවා කියලා හිතන්ඩ අමාරුනෙ. කසාද බැඳපු අයියා කෙනෙකුට නංගි වෙනුවෙන් උනත් ඔච්චර කට්ටක් කන්න බෑ කියලා උපකල්පනය කරාම ඉතුරු වෙන්නෙ හිච්චි අයියනෙ. හැබැයි මං ළඟදි අයියව දැක්කෙ නෑ"


"ආයෙ කාලයක් යනකල් මටත් එයාව දකින්ඩ වෙන්නෑ. හිච්චි අයියා රට ගියා"


"ජොබ් එකකටද?"


"නෑ. හයස්ටඩි වලට. ඒකෙන් මට තමයි පාලු"


"පාලුද පාඩුද?"


"දෙකම. එයා ගිහින් දැන් සති දෙකකටත් වැඩියි. මට තාම ගෙදර යන්ඩ බැරි උනා"


"ඇයි පාර මතක නැද්ද"


"පාරනම් බස් එකේ ඩ්රයිවර් හරි මතක ඇතිනෙ" මගේ කතාවට හඬ නගා සිනාසුන ඔහු ඉන්පසුව දෑස් කුඩා කර මා දෙස බැලුවේ "එහෙනං මොකක්ද ප්රශ්ණෙ නිවාඩු නැති එකද" අසමිනි.


"නෑ. අම්මා කැමති නෑ මං තනියම එනවට"


"ඉතින් තනියට කවුරුහරි මෙහෙන් හොයාගත්තා නම් ඉවරනෙ"


"අපෝ අප්පච්චි මාව මරයි" මා කිව්වා නොව කියවුනාය. එවැන්නක් අසන්නට කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයුරකින් එක්වරම ඉද්ද ගැසුවාක් මෙන් නතර වූ ඔහුගේ දෙනෙතේ වූයේ පුදුමයත් කේන්තියත් මිශ් වූ හැඟීමකි


"අප්පච්චි සැරද"


"අම්මෝ ඔව්. අප්පච්චි ළඟ ඉන්නකොට මං හයියෙන් හුස්ම ගන්නත් බයයි"


"ඔයාගෙ අප්පච්චි සැර ඇති. ඒත් දෙමව්පියො ගැන එහෙම හිතන්න එපා නංගි. එයාලා නීති දාලා දරුවො හදන්නෙ දරුවන්ට තියෙන ආදරේට  මිස තරහකට නෙවෙයිනෙ. අනෙක කොල්ලො තුන්දෙනෙක් ඉන්න ගෙදරක එකම කෙල්ල එයාලට මැණිකක් වගේ ඇති"


අයියලා තිදෙනෙකුට පසුව ඉපදුනද නංගී යන ඇමතුමට කිසිදාක හිමිකම් නොකී මට ඔහුගේ ඇමතුම සේම අවවාදයද දැනුනේ හදවතටය. එහෙත් පිටස්තරයෙකු ඉදිරියේ අප්පච්චී හෑල්ලුවකට ලක් කරන්නට වීම ගැන ඇති වූ ලැජ්ජාව නිසාම මා සිටියේ බිම බලාගෙනය.


" ගැන වැඩිය හිතන්න එපා.අපි යමු. මටත් ඔයා වගේ නංගිලා තුන්දෙනෙක්ම ඉන්නවා" වටපිට බලා පිටට තට්ටුවක් දැමූ ඔහු ඉස්සර විය. මා ඔහු පසුපසින් වැටුනේ කිසිදාක පිටස්තර පිරිමියෙකු කෙරෙහි නොදැනුන ආශක්ත බවකින් හා ගෞරවයකින්ය. මද දුරක් ගිය ඔහු නැවතී මා සමගම යන්නට පටන් ගත්තේ වරක් දෑසට එබී බලා සිනාසීමෙන් පසුය. කතා බහකින් තොරව පැමිණි ඔහු නේවාසිකාගාරයට මදක් ඔබ්බෙන් නතර විය.


"ඔයාට පුළුවන්ද මට පුංචි උදව්වක් කරන්න"


"මොකක්ද"


"දෙසිය හතර රූම් එකේ ඇති ඉන්දිරා කියලා ගර්ල් කෙනෙක්. එයාට කියන්ඩ මං ඇවිල්ලා ඉන්නවා කියලා"


මා හිස වනාගෙනම එතනින් ඉවතට ගියේ දෑසට නැගෙන කඳුළු ඔහුගෙන් සගවන්නටය. ඔහු එන්නට ඇත්තේ පෙම්වතිය මුණ ගැසීමටය. දෙසිය හතර කාමරයේ ඉන්නෙ විද්යා පීඨයේ පළමු වසර සිසුවියන් බව දැන සිටියත් ඉන්දිරා කෙනෙකු මට මතක තිබුණේ නැත.


අදාල කාමරයට ගොස් පණිවිඩය දැනුම් දී මා  කාමරයට ආවේ අසිහියෙන් මෙනි. මනූජා සහ පවනි එනවිට කිසිවක් සිදු නොවූ පරිදි ඉන්නට හැකි වුවත් පසුදා උදෑසන  ආපන ශාලාවට ගියේ නොයා බැරි කමටය. ආගන්තුකයා මට මුණ ගැහුනේ එතැනදීය. හමුවීමෙන් අඩහෝරාවක් යන්නටත් පෙර ඔහු මට අහිමි බව දැනගනිද්දී මා  ඔහුට පෙම් කරන්නට පටන්ගෙන අවසානය.


මා කොතරම් ඔහුව මගහරින්නට සිතා සිටියත් ඉන්පසු ආපනශාලාවට එන සෑම දිනකම ඔහු අපේ මේසයට පැමිණීම පුරුද්දක් කරගත්තේය. සෑම විටකම හැකිතාක් ඔහුගෙන් දෑස් සඟවන්නට උත්සහ දැරුවත් මා සිතූ තරමට එය පහසු වූයේ නැත.


"ගැට්ටයියා මොකද දැන් ඉස්සරට වඩා කැම්පස් එන්නෙ" දේශණ නොතිබුණ උදේ වරුවක සමූහ නිබන්ධනයක් සකසමින් සිටි අප අසලට සමීරගෙන් අංජන ඇසුවේ මනූජා දෙසට ඇසක් ඉඟි කරමිනි.


"දැන් උඹලා මොකටද එන්නෙ. අන්න ඒකටම තමයි මාත් එන්නෙ"


"අපිනං එන්නෙ ඉගෙන ගන්න ගමන් පොඩි ආතල් එකක් ගන්න.ඉදලා හිටලා මේ කෙල්ලන්ගෙන් ටොක්කක් කන්න. ඒත් අයියා එන්නෙ එහෙම දේකට වෙන්ඩ බෑ"


"මං එන්නෙ මොකට උනත් ඒක උඹලට වැදගත් වෙන්ඩ විදිහක් නෑ. ඒක නිසා කටවල් පියාගෙන ඔය අසයිග්න්මන්ට් එක කරපල්ලා"


"අපිට ඒක වැදගත් වෙන්නෙ අයියා සයන්ස් එක පැත්තෙත් යන ගමන්ම මෙහෙ එන නිසයි"


"මේක උඹලගෙ ෆැකල්ටිය වෙන්ඩ කලිනුයි අපේ ෆැකල්ටිය වුණේ. ඒක නිසා කාගෙවත් අවසරයක් නැතුව ඔය ඕනි ෆැකල්ටියකට යන්ඩ අපිට අයිතිය තියෙනවා"


"එහෙනං අයිතිය වැඩි උනාම වෙන්නැති ලෙක්චර් හෝල් වල දොර ගාවටම කෙල්ලො ගෙනත් දානවා ඇත්තෙ" සමීරගේ නෙත් එක්වරම මා දෙසට යොමු වුවත් මා සිටියේ එය නොදැක්කා සේ නිබන්ධනය දෙසට නෙත් යොමාගෙනය. අංජනලා නොදැන සිටියද ඔහුගේ පෙම්වතිය සිටින්නේ විද්යාපීඨයේ බව මා දැනගත්තේ අප හමු වූ මුල්ම දිනයේමය.


"කෙල්ලො නෙවෙයි. කෙල්ලෙක්"


"ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට"


"දැන් උඹලට දැනගන්ඩ ඕනි කවුද කියලද?. නැත්තං මං නිතරම මෙතනට එන්නෙ ඇයි කියලද" ඔහු පුටුව තරමක් මේසයට ළංකරගෙන අප සියළු දෙනාම දෙස බලා ඇසුවේ දැඩි හඬකිනි.  එහෙත් ඊට පිළිතුරක් දෙන්නටත් පෙරම පිටුපසුන් අයෙකු සමීරගේ උරහිස මත අත තැබුවෙ " කොහොමද ගැට්ටයියා" කියමිනි.


" අඩේ උඹව දැක්ක කල්" කියමින් ඔහු මිතුරා දෙසට හැරුනේ ඔහුගේ භාහුවකට අත තබමිනි.


"පහුගිය ටිකේ මං ආවෙ නෑ. පොඩි කරදරයක් උනා. මං ඒක ගැට්ටයියට පස්සෙ කියන්නං. දැන් යන්න ඕනි කෙමිස් ට්‍රි ලෙක්චර් එකට"


"එහෙනං මේකත් ගිහින් දීපන්කො. එතකොට මටත් මෙහෙමම යන්ඩ පුළුවන්" කියමින් සමීර මිතුරා අත පාර්සලයක් තැබීය.


" මේක ගෙදර බත් එකක්නෙ. ලෙක්චර් එකට නොයා මේක කෑවනං හොදයි හිතෙනවා" කියමින් ඔහු නික්ම ගියේ කෑම පාර්සලයේ සුවඳ බල බලාය.


"කවුරු උනත් ඔයාගෙ කෙල්ල නම් මාර ලකී අයියෙ. අපිට කවුද ඔහොම ලෙක්චර්ස් ඉවරවෙනකොට කෑම ගෙනත් දෙන්න ඉන්නෙ" පවනි කට ඇද කරමින් කියද්දී සමීරට සිනහ නැඟිනි.


"මේ ... උඹලා දැන් ඔය අනුන්ගෙ කුණු අපුල්ලන එක නවත්තලා ඔය වැඩේ ඉවරයක් කරපල්ලා. මං යනවා" කියාගෙනම ඔහු නැගිට ගියේ යටිසිත මටත් හොරෙන් ඉදිකරගෙන තිබූ සිහින මාළිගාව කුඩු පට්ටම් කරමිනි.


මගේ සිත තුල ඇති අසහනය තේරුම් නොගත් පවනිත් මනූජාත් අංජනත්  දිගින් දිගටම කතා කළේ සමීර ඔහුගේ පෙම්වතිය යතුරු පැදියකින් දේශණ ශාලා අසලට ඇරලවන හැටිත් ඇය වෙනුවෙන් කෑම් බීම රැගෙන එන හැටිත්ය. ඔවුන්ගේ කතාවට සහභාගී නොවූ ජනක සිටීයේ මා ගැන විමසිල්ලෙනි.







25 comments:

  1. මෙතන කට්ටිය මහ ගොඩක්නේ. මට මේ අතීත කතාවෙයි වර්තමාන කතාවෙයි පොඩි සම්බන්ධයක් පේනවා පේනවා වගේ දැනෙනවා. ;)

    ආ, ඒක නෙවෙයි මමත් දන්න එක්කෙනෙක් ඉන්නවා නංගිලා තුන් දෙනෙක්ගේ අයියා කෙනෙක්. නංගිලා ටික පුදුම ආදරෙයි අයියට, අයියත් එහෙමම තමයි. :)

    ඉතිරි ටිකත් ඉක්මණට ඕනේ!

    ReplyDelete
    Replies
    1. ඔව් සිත්තමී කට්ටිය මහ ගොඩයි තමයි.
      අතීත කතාවයි වර්තමාන කතාවයි අතරෙ සම්බන්දයක් නැතුව කතාවක් ලියන්න අමාරුයිනෙ. ඉතිං ඔයාට ඒ පේන සම්බන්දෙයි මං ගොඩනගන සම්බන්දෙයි සමාන වෙන්න වගේම නොවෙන්නත් පුළුවන්. අපි බලමුකො.

      මමත් දන්න අයියා කෙනෙක් ඉන්නවා නංගිලා තුන්දෙනාට ගොඩක් ආදරේ. නංගිලත් එහෙමයි. ඒ අයියයි නංගිලා තුන්දෙනයි ඉගෙන ගත්තෙ එකම ඉස්කෝලෙ උඩ පහළ තිබ්බ හොස්ටල් දෙකක නැවතිලා.

      ඔයා දන්නවද ඔයා මෙච්චර වෙලා කියවපු කමෙන්ට් එක ඒ අයියගෙ දෙවෙනි නංගිගෙ කියලා

      Delete
  2. ඉක්මනට ඉතුරුටිකත්ලියන්න

    ReplyDelete
    Replies
    1. ලියනවා එරන්දි. ඉක්මණටම දෙන්නං

      Delete
  3. කතාව ලස්සනට යනවා සද වියමන්. ආසාවෙන් කියවන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියවන්න පුළුවන් මට්ටමේ තියෙනවනං හොදයි දුමින්ද. මං මේක පටන්ගත්ත අඩමානෙට

      Delete
  4. ඉන්දිරා නංගිද මන්දා... අපෙත් හිටියා ගැට්ටා කියල කෙනෙක්....

    ඊලඟ කොටස ඉක්මනින් දාන්නකෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ගැට්ටලා ඔය කොයි බැච් වලත් ඉන්නවා නිර්මාණි. එකෙක් නෙවෙයි වෙලාවකට කීප දෙනෙක් ඉන්නවා. ඒත් එකාටයිනෙ එක බැච් එකකින් ඔය කාඩ් එක ගන්න පුළුවන්නෙ

      ඉතිරි කොටස. ඔයා " ඔවා දෙනු පරහට" කියන්න කලින් දෙනවා

      Delete
    2. ගැට්ටෙක් අපෙත් ඉන්නවා.හැබැයි "ගැට්ටට" ඉස්සරහින් තව විශේෂන පදයක් එහෙමත් තිබ්බා.

      Delete
    3. විශේෂණ පදය කියන්න බැරි විදිහෙ එකක්ද මනෝජ් මල්ලි

      මං විශේෂණ පදයක් දාගෙනම කියෙව්වා මොකද මට කාලෙකට කලින් කියවපු පොතක තිබ්බ දෙයක් මතක් වෙලා

      ගන්න ගන්න පත්තරේ
      සත දහයයි පත්තරේ
      කණ් ගැට්ටගෙ විස්තරේ
      තියෙනවාලු පත්තරේ

      ඔය මට මතක විදිහට හදලා ලිව්වෙ. පොතේ ඔයිට වෙනස් ඇති.
      කියවලා තියෙනවද " තුඹස සහ මෙරු"

      Delete
    4. අපෝ ඒ විශේෂණ පදය මෙතන කියන්න බැහැ.

      "කණ් ගැට්ටා"කාලයක් රටේ පුවත් මැව්වා.මතකයි නේද අර කටුගේ කඩපු හොරා.එයත් "කණ් ගැට්ටා"නේ.

      " තුඹස සහ මෙරු" නැහැනේ අක්කේ මම කියවලා.

      Delete
    5. මට හිතුනා කියන්න බැරි විශේෂණයක් වෙන්නැති කියලා.

      අර පොතේ තිබ්බෙ කණ් ගැට්ටා නෙවෙයි, "කණ් තුනාගෙ විස්තරේ-තියෙනවා මේ පත්තරේ" කියලද කොහෙද

      ඒ පොත ටිකක් හොයාගන්න අමාරු ඇති. ඒක හරිම ලස්සන කතාවක්.හොයාගෙන බලන්න

      Delete
  5. එතකොට මෙහෙමයි කෙල්ලන්ට හිතෙන්නෙ... හ්ම්ම් හ්ම්ම්.... දැනගන්නකොට පමා වැඩියි.හෙහ් හෙහ්.. කතාව නම් මල් හතයි..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ පව්. මෙන්න බබෙක්. කෙල්ලන්ට කොල්ලො ගැන හිතෙන මොකුත් දන්නැතුව වෙන්නැති හිටියෙ

      දැනගන්නකොට පමා වැඩියි කියන්නෙ කලින් දැනං හිටියනෙ මොකද කරන්නෙ?

      Delete
  6. අපිනං අහුවෙයි හැක , බලමුකෝ , කතාව නියමෙට යනවා දැන්

    ReplyDelete
    Replies
    1. ඉතින් අහුවෙන්න මං උගුල් අටවලත් නෑනෙ ඉවාන්. කවුරුහරි තමන්ගෙ කැමැත්තෙන් උගුලක් අටවගෙන බලෙන්ම අහු වුණොත් ඉතින් මට කරන්න දෙයක් නෑ

      Delete
  7. waiting to read the next episodes...

    ReplyDelete
  8. Nice writing sadaviyaman...I always think how story writers link the characters without clashing.. how they build the story without forgeting the start & how they travel between time.. waiting for next episode..

    ReplyDelete
    Replies
    1. Thanks Heena Dakinni,

      In my case, I enjoy the story by myself for a long time without writing & still don't know the effectiveness

      Delete
    2. මේ හීන දකින්නී කියලා තියෙන කාරණාව ගැන මාත් සෑහෙන්න හිතලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ගැන කාලෙකට කළින් මම ලියපු දෙයක්:

      // මා කියවන පොතෙහි සෑම වදනක්ම සජීවී ය, එම වදන් සමස්ථ කතාන්දරයම මාගේ සිත තුළ මවා පායි. වටපිටාව සම්පූර්ණයෙන්ම අමතකව ගොස් මම මා කියවන කතාන්දරයේ සජීවී නරඹන්නෙකු බවට පත් වෙමි. පරිකල්පනය යනු කුමක්දැයි මම එම අපූරු අත්දැකීම තුළින් උගත්තෙමි. කතුවරුන් තමන්ගේ හැඟීම් වදන් බවට පරිවර්තනය කරනා අන්දම මා පුදුමයට පත් කළේය. එය මායාවකි. මටද එය උත්සාහ කර බැලීමට - එය කිරීමට උවමනා විය.

      එබැවින් මම ලිවීම ඇරඹුවෙමි.//

      මුළු ලිපියම කියවන්න කැමතිනම් ඒ සටහනට පාර මෙතන දැම්මට සඳු තරහා වෙන්නෙ නෑ නේද? මෙන්න පාර.

      Delete
    3. අපොයි මං මොකටද තරහා වෙන්නෙ. ඒක හීන දකින්නිට විතරක් නෙවෙයි අපි හැමෝටම කියවන්න හොදයිනෙ

      Delete
    4. ඔයා තරහා නොවෙන බව දන්න හින්දා තමයි අවසර දෙන්නත් කළින් බය නැතුව දැම්මේ. :) ස්තූතියි සඳු! :)

      Delete
  9. හපොයි මේකෙ කොටස් හතරක්ම ගිහින්නෙ. බෑ බෑ. මං වෙලාවක් හොයාගෙන හෙමින් මුල ඉඳලාම එන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි කසුන් අද පාටිය එහෙම ඉවර වෙලා වෙරි හිදුනට පස්සෙ වෙලාවක් ලැබුණොත් කියවලා බලන්නකො. හදිස්සියක් නෑනෙ ඉතිං මේක බ්ලොග් එකේ හැමදාම තියෙන එකනෙ

      Delete